දේ ජං ගුම්

විකිපීඩියා වෙතින්
(චං-ඊ වෙතින් යළි-යොමු කරන ලදි)
දේ ජං-ගුම්
දේ ජං-ගුම් අගසිරැසිය, 32වන කථාංගය
මෙලෙසද හැඳින්වේJewel in the Palace (මාලිගයේ මැණික)
ප්‍රභේදයඓතිහාසික ප්‍රබන්ධ
අධ්‍යක්ෂණය කලේලී බ්යුං-හූන්
රඟපෑමලී යොං-ඒ
ජී ජින්-හී
හොං රී-නා
ඉම් හෝ
යං මි-කියුං
කියොන් මි-රි
ඇරඹුම් තේමාව"චංග්රියොං"
අවසන් තේමාවඕනාරා
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන54
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)ජෝ ජූං-හ්යුන්
කැමරා සැලැස්මබහු-කැමරා
ධාවන කාලයමිනිත්තු 60ක් පමණ
සදුදා සහ අගහරුවාදා දිනවල 21:55 (KST)
ප්‍රචාරණය
මුල් නාලිකාවමුන්හ්වා විකාශන සංස්ථාව
රූප ආකෘතිය480i SDTV
මුල් ධාවනයසැප්තැම්බර් 15, 2003 (2003-09-15) – මාර්තු 23, 2004 (2004-03-23)
කාලානුක්‍රමය
පූර්වගමනය වනුයේRooftop Room Cat
අනුගමනය වනුයේPhoenix
බාහිර සබැඳි
වෙබ් අඩවිය

දේ ජං-ගුම් (කොරියානු대장금; හන්ජා大長今; ප්‍රරෝදේ ජං-ගුම්; මැ.ර.තේ චං-ගුම්; සාහිත්‍යමය “ශ්‍රේෂ්ඨ ජං-ගුම්”), නොහොත් Jewel in the Palace (මාලිගයේ මැණික), යනු 2003 වර්ෂයේ තිරගත වූ කොරියානු රූපවාහිනී මාලා නාට්‍යයකි. එය අධ්‍යක්ෂණය කළේ ලී බ්‍යුං -හූන් විසිනි. එය එරට විකාශය වූයේ 2003 සැප්තැම්බර් 15දින සිට 2004 මාර්තු 23 දින දක්වා MBC නාළිකාව මගිනි. මෙය 46.3% ක සාමාන්‍ය ප්‍රේක්ෂක පිරිසක් නරඹා තිබූ අතර එහි උච්චතම ස්ථානය 57.8% ක ප්‍රතිශතයක් වාර්තා කරමින් ඉමහත් ජනප්‍රියත්වයට පත් විය. (එය මෙතෙක් විකාශය වූ සියලු කොරියානු නාට්‍ය අතරින් 10වන ස්ථාන‍යට වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිශතය වාර්තා කළේ ය.) මෙය නිර්මාණය මගින් ඇමරිකන් ඩොලර් මිලියන 15ක ආදායමක් බලාපොරොත්තු වූ නමුත්, ලොව පුරා රටවල් 91ක විකාශය වූ මෙම නාට්‍යය ‍ඇමරිකන් ඩොලර් මිලියන 103.4ක වාර්තාගත ආදායමක් ලැබී ය. මෙය කොරියානු රැල්ල බැහැරට ව්‍යාප්ත කළ ප්‍රධාන නාට්‍යයක් ලෙසද සැලකෙයි.[1][2][3]

මෙහි ප්‍රධාන චරිතය ලී යොං-ඒ විසින් නිරූපණය කරන අතර ඇය විසින් රාජකීය මුළුතැන්ගෙයට අනාථ දැරියක් ලෙසින් අතුළු වී පසුව රජුගේ ප්‍රධාන රාජකීය වෙදැදුරුවරිය බවට පත් වූ “ජං-ගුම්” නම් කාන්තාවගේ චරිතය නිරූපණය කරයි.. ඇය ශ්‍රී ලංකාව තුළ ප්‍රසිද්ධියට පත් වූයේ “චංගුමී” නමිනි. ශ්‍රී ලංකාවේ මෙය සුජාත දියණී ලෙස ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය විය. එම යුගයේ දී කොරියාවේ කාන්තාවන්ට හිමිව තිබුණේ පහත් තත්ත්වයකි. මෙහිදී තරුණ චංගුමී කොරියානු සූපවේදය හා වෛද්‍යකර්මය පිළිබද හදාරන අයුරු මෙමගින් නිරූපණය වේ. ඇය එහිදී රජුගේ විවිධ රෝග සුවකිරී‍ම‍ට සමත් වේ. ජං-ගුම් නම් කොරියාවේ ජෝසුන් රාජවංශ යුගයේ සිටි ප්‍රථම හා එකම රාජකීය වෛද්‍යවරිය පිළිබද සත්‍ය කථාවක් ආශ්‍රයෙන් මෙය නිර්මාණය වී ඇත. තවද මෙමගින් ප්‍රධාන වශයෙන් සම්ප්‍රදායික කොරියානු සංස්කෘතිය, කොරියානු රාජමාලිග සූපවේදය සහ සම්ප්‍රදායික වෛද්‍යකර්මය පිළිබද අවබෝධයක් ද ලබාගත හැක.[4]

කථා සාරාංශය[සංස්කරණය]

මෙම කථාව දිවයන්නේ කොරියාවේ සියොංජොං රජු (1457–1494), යොන්සන් රජු (1494–1506) සහ ජුංජොං රජු (1506–1544) යන රජවරුන්ගේ රාජ්‍ය සමයන් හරහායි.

දඬුවම – කථාංගය 1[සංස්කරණය]

මෙම කථාව කොරියාවේ ජුංජොං රජුගේ රාජ්‍යකාලයට අයත් එකකි. කථා‍ව ආරම්භයේදී සියොංජොං රජු සිය බලයෙන් පහකළ බිසව වූත්, ළදරු යොන්සන් කුමරුගේ මව වූත්, යුන් අගබිසවහට වස දී මරණයට පත් කිරීමට අණ කරයි.මෙලෙස රැජිනහට වස දීම සඳහා රාජකීය යුධ නිලධාරියකු වූ සියෝ චුන්-සූ තෝරා ගැනිණ. චුන්-සූ රැජිනහට වස දී නැවත නිවසට යන අතරමගදී අනතුරකට පත්ව තුවාල ලබයි. ඔහුව සුවපත් කරනු ලබන්නේ අද්භූත තාපසයකු විසිනි. තාපසයා විසින් ඔහු හට ගුප්ත අනාවැකියක් පවසයි. ඒ අනුව ඔහුගේ ජීවිතය කාන්තාවන් තිදෙනෙකු වටා දිවෙයි: පළමු ස්ත්‍රිය ඔහු අතින් මරණයට පත් වූ තැනැත්තියයි. දෙවන ස්ත්‍රිය ඔහු නිසා ජීවත් වී ඔහු වෙනුවෙන් දිවි පුදන ස්ත්‍රියයි. තෙවන ස්ත්‍රිය නිසා ඔහු මරණයට පත් වුව ද ඇය බොහෝ දෙනෙකුගේ දිවි බේරා ගනී. මුලදී මෙය තේරුම් ගැනීම අපහසු වුවත් කථාව අනුව පළමු ස්ත්‍රිය යුන් අගබිසව බවත්, දෙවන ස්ත්‍රිය ඔහුගේ බිරිඳ හා චංගුමිගේ මව වූ පාක් මියුංග්-යි බවත්, තෙවන ස්ත්‍රිය ඔහුගේ දියණිය වන චංගුමි බවත් පැහැදිලි වේ. මේ නිසා ඔහු සිය ජීවිතය තාපසයකු ලෙස අවිවාහකව ගෙවීමට ‍පෙළඹුණේ ය.


පාක් මියුංග්-යී - කථාංග 1 - 2[සංස්කරණය]

වසර ගණනාවකට පසු පෙරසිටි රජු මිය ගිය නිසා ඔටුන්න හිමි කුමරු ‍ජෝසුන් රාජවංශයේ 10වන රජු ලෙස බලයට පත් වේ. මේ කාලයේ පාක් මියුංග්-යි නම් මාලිග ස්ත්‍රිය මුළුතැන්ගෙයි නවක පාලිකාවක ලෙස පුහුණුව ලබමින් සිටියා ය. ඇය බලවත් චෝයි පරම්පරාවට අයත් පාලිකාවක වූ චෝයි සියොං-ගුම් නම් පාලිකාව මව් බිසවගේ ආහාරයට විෂ එක් කරනු දුටුවා ය. මෙය මව් බිසව මැරවීම සඳහා ජ්‍යෙෂ්ඨ මුළුතැන්ගෙයි නිලධාරීන් විසින් මෙහෙය වූ කුමන්ත්‍රණයක් බව නොදත් පාක් මියුංග්-යි මේ බව සුවඳ පරීක්ෂක පාලිකාව වූ කිම් සංගුං හට දැනුම් දුන්නද එය චෝයි පරම්පරාවේ අයෙකු වූ මුළුතැන්ගෙයි ප්‍රධාන පාලිකාව (චෝයි-ගෝ සංගුං) දැනගනී.[5] මේ බව දැනගත් නිලධාරීන් පාක් මියුංග්-යි තම කුමන්ත්‍රණය පහළි කරාවියැයි සිතා ඇයව මරා දැමීමට තීරණය කරයි. පාක් මියුන්ග්-යිගේ හොඳම මිතුරිය වූ හන් බෙක්-යොං පාලිකාව මෙම අපරාධය දැක රහසේම තම මිතුරියගේ දිවි බේරයි. (ඒ මියුංග්-යි හට පෙවූ විසවලට විෂනාශකයක් එක් කිරීමෙනි.) සිහි විසඥ වූ මියුංග්-යි කැලයේ දමා යයි. ‍මෙලෙස වනයේ දමා ගිය සිහි විසඥ වූ පාක් මියුංග්-යිව දුටු තවුසෙකු සේ දිවි ගෙවීමට තැත්කළ සියෝ චුන්-සූ ඇයව බේරා ගෙන ඇය හා ප්‍රේමයෙන් බැඳී ඇය සමග විවාහ වෙයි. ඉන් පසු ඔවුන් සාමාන්‍ය ජනයන් ලෙස ගමක සාමකාමී ව දිවි ගෙවයි.(සියෝ චුන්-සූ මස් වෙළෙන්දෙකු හා කම්මල්කරුවකු ලෙස ක්‍රියා කරයි) ඔවුනට ලැබූ දියණිය සියෝ චංගුමි නම් විය.


චංගුමී[සංස්කරණය]

1504දී යොන්සන් කුමරු තම මවගේ මරණයට වගකිව යුතුපුද්ගලයන්හට මරණ දණ්ඩනය පනවයි. එහෙත් එයින් උගත් වියතුන් මුදා හරියි.මේ නිසා චංගුමිගේ දෙමාපියන් සිය සැබෑ අනන්‍යතාවය කිසිවකුට හෙළි නොකරන ලෙසත්, එසේ කළහොත් සැමදෙනා මියයන බවත් පවසයි.දිනක් චංගුමි හා ඇගේ පියා ගම්මානයේ වෙළඳපොළට යයි. එහි දී මල්ලවපොර තරගයකදී ඇය සිය පියාට අවඥාවෙන් සිනාසුණු පිරිසට කිසිවක් නොසිතාබලා, තම පියා පහත් කුලයේ මස් වෙළෙන්දෙකු නොවන බවත් ඔහු රාජ මාලිගාවේ පැරණි යුධ නිලධාරියකු බවත් හෙළි කරයි. මෙම ප්‍රකාශය ඇසූ රජුගේ සොල්දාදුවන් සියෝ ‍චුන්-සූ ව අත්අඩංගුවට ගෙන මරණ දණ්ඩනය පනවයි. ඔහුගේ බිරිඳ සහ දරුවා රජ සොල්දාදුවන් කෙරෙන් පලා ගියත් අවසානයේ ඔවුන් අල්ලා ගනු ලැබෙයි. ඔවුන් රැගෙන යන අතරමගදී චෝයි වංශික ප්‍රධානියන් විසින් යවන ලද කුලී හේවායන් මියුංග්-යිව හා ඇගේ දියණියව මරා දැමීමට රැක සිටී. කුලී හේවායන් විසින් විදින ලද ඊතලයකින් මියුංග්-යි තුවාල ලබන අතර ඇය මියයාමට පෙර තම අවසන් පැතුම ඉටු කරන ලෙස තම දියණිය චංගුමි‍ට පවසයි. එනම් සිය දියණිය වන චංගුමි හට මුළුතැන්ගෙයි ප්‍රධාන පාලිකාව (චෝයි-ගො සංගුං) වී අසාධාරණය හෙළි කරන ලෙසත් ය. වාසනාවකට මෙන් (යොන්සන් කුමරුගේ ඥාති සොහොයුරු ජින්සොං කුමරුගේ බලපෑම නිසා) චංගුමිහට රාජකීය මුළුතැන්ගෙයට ඇතුළු වීමට අවසර ලැබේ. නොදැනුවත්ව ඇය යොමු වන්නේ හන් පාලිකාවගේ එනම් තම මවගේ හොඳම මිතුරිය යටතේ අධ්‍යාපනයට යි. අන් අයට වඩා තමා‍ට හිමි වූ විශේෂ දක්ෂතා හේතුවෙන් චංගුමිහට විවිධ ආපදාවන්ටද මුහුණ දෙන්නට සිදු වෙයි.මුළුතැන්ගෙයි පාලිකාවක්ව සිටින කාලයේ චංගුමි තරුණ යුධ නිලධාරියෙකු වූ මින් ජුං-හෝ සමග මිතුරුවෙයි.මින් ජුං-හෝ ඇයට ආලය කරයි. චංගුමිගේ ප්‍රතිවාදියා වූයේ චෝයි ගියුම්-යොං නම් චෝයි වංශික පාලිකාවයි. (එමෙන්ම ඇය චෝයි සියොං-ගුම් පාලිකාවගේ ලේලියයි) ගියුම්-යොං මුලදී කෲර පුද්ගයෙකු නොවූවද පසුව ඕ සිය නැන්දනිය වූ චෝයි පාලිකාව මෙන් අනුකම්පා විරහිත ලෙස හැසිරුණා ය. මින් ජුං-හෝ, ගියුම්-යොං හට අවංකව කටයුතු කරන ලෙසත් සිය දුෂ්ට නෑදෑයන්ට එරෙහිව නැගී සිටින ලෙසටත් බලකරයි. එහෙත් මින්ජුං-හෝ තවදුරටත් තමාට ආලය නොකරන බවට ගියුම්-යොං දොස් පවරයි.

අවුරුදු ගණනක් ගත වන අතර චෝයි පාලිකාව රාජකීය මුළුතැන්ගෙයි ප්‍රධාන පාලිකාව වීමට උපක්‍රම යොදයි.චෝයි පරම්පරාවේ කාන්තාවන් පරම්පරා පහක්ම රාජකීය මුළුතැන්ගෙයි ප්‍රධාන පාලිකා ධුරය හෙබ වූ අතර, ඔවුන් සිය වංශයේ ප්‍රධානියන් හට රාජකීය මුළුතැන්ගෙයට අමුද්‍රව්‍ය සැපයීමේ අයිතිය ලබා දෙමින් පොහොසතුන් හා බලවතුන් බවට පත් වී තිබිණි. එහෙත් අවසානයේදී මුළුතැන්ගෙයි ප්‍රධාන පාලිකාව තේරීම සඳහා චෝයි පාලිකාව හා හන් පාලිකාව අතර ඉවුම් පිහුම් තරගයක් පවත්වයි. මෙම තරගයෙන් හන් පාලිකාව ජයග්‍රහණය කරමින් ප්‍රධාන පාලිකාව බවට පත් වේ. එහෙත් හදිසියේම උණුදිය උල්පතක් කරා ගිය විනෝද චාරිකාවකදී රජු හදිසියේම රෝගාතුර වේ. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා චෝයි පන්-සූල් (චෝයි පාලිකාවගේ සහෝදරයා මෙන්ම රාජකීය මුළුතැන්ගෙයි ප්‍රධාන සැපයුම්කරු) සහ ප්‍රධාන අමාත්‍ය ඕ ගියුම්-හෝ (චෝයි පරම්පාවේ අතකොළුවක් විය) එක්ව මෙහි වරද හන් පාලිකාව හා චංගුමි පිට පවරා ඔවුන් ජෝසුන් රාජවංශයට එරෙහි කැරලි නායකයකු වූ ජෝ ග්වං-ජෝ සමග එක්ව රජුට එරෙහිව කුමන්ත්‍රණය කළේ යයි චෝදනා කරයි. චංගුමිව බේරා ගැනීමේ අරමුණින් හන් පාලිකාව තමා මෙම වරදේ එකම වරදකරු බව පවසමින් වගකීම භාර ගනී. එහෙත් අවසානයේ දෙදෙනා පිටම වරද පටවා ඔවුන් දෙදෙනාම ජෙජු දූපතට වහලුන් ලෙස පිටුවහල් කරයි. මෙලෙස ජේජු දූපතට යන ගමනේදී සිය තුවාල හේතුවෙන් හන් පාලිකාව මිය යයි. චෝයි පාලිකාව මීළඟ මුළුතැන්ගෙයි ප්‍රධාන පාලිකාව බවට පත් වෙයි. චංගුමී සාධාරණය ඉටු කිරීමට ඉටා ගනී.

ජේජු දූපතේ පිටුවහලියක ලෙස[සංස්කරණය]

මින් ජුං-හෝ යුධ නිලධාරියා චංගුමි සොයා ජෙජු දූපතට යයි. ඔහු චංගුමි හට බේරි යාමට උදව් කළ ද, එසේ කිරීමෙන් හන් පාලිකාවට හෝ තම මවට සාධාරණයක් ඉටු නොවන නිසා ඇය ඒ ආරාධනය ප්‍රතික්ෂේප කරයි. චංගුමි නැවත මාලිගයට පැමිණෙන බව විශ්වාස කළ මින් ජුං-හෝ ඇය එනතුරු ඔහු බලා සිටින බව පවසයි.

ජෙජු දූපතේදී, වරදකට හවුල් වූයේ යැයි වරදවා වටහා ගැනීම නිසා වහල් බවට පත් වූ චං-දුක් නැමැති කාන්තාවක් චංගුමිහට හමු වෙයි. ඇය ප්‍රකට වෛද්‍යවරියක් බව චංගුමි ඉක්මණින් වටහා ගනී. චං-දුක්ගේ සෘජු හා දැඩි ස්වභාවය නිසා චංගුමි හට ඇයව අප්‍රියමනාප වුවත් කල්යත් ම ඇය රාජකාරියට කැප වූ, සැලකිළිමත් කෙනෙකු බවට ඇයට වැටහෙයි. මෙලෙස දින ගෙවීයත් ම තමාට නැවත රජමාලිගයට යා හැකි එකම ක්‍රමය හෙදියක් වීම බව චංගුමීට තේරුම් යයි. ඇය තමන්හට වෛද්‍ය ශාස්ත්‍රය උගන්වන ලෙස චං-දුක්ගන් අයැදී. චංගුමිගේ මිතුරකු වන ජුං වූන්-බේක් (රාජකීය ඔසු උයනේ පාලකතුමා), ජෙජු දූපතේදී ඇයට හමුවෙයි. එහෙත් වෛද්‍යය හදාරා චෝයි වංශිකයින්ගෙන් පලිගැනීම පිළිබඳව ඔහු අකැමැත්ත පල කරයි. එසේ වුවත් චංගුමි දැඩි උත්සාහයෙන් යුතු ව මාලිගයේ පුහුණුව ලැබීමට යන හෙදියක් වීමට වාසනාව ලබයි.[6]

මාලිගයට නැවත යන විට චංගුමි හට චෝයි පාලිකාව හමු වෙයි. ඇය විසින් පෙර ඇය හට හිතවත් ව සිටි පුරෝහිත පාලිකාව (ජේ-ජො සංගුං) වූ පාක් යොං-ෂින් නැමැත්තිය ධුරයෙන් නෙරපා දමා පුරෝහිත පාලිකාව බවට පත් වේ.[7] මින් ජුං-හෝ රජුගේ රාජකීය ඇමති මණ්ඩලයේ සහාය නිලධාරියකු ලෙස කටයුතු කරයි. චංගුමිගේ කුඩා කළ හොඳම මිතුරිය වූත් මුළුතැන්ගෙයි පාලිකාවක වූත් ලී යොන්-සෑං රජුගේ සිත දිනාගැනීමට සමත්ව රජුගේ සූක්-ඊ පරිවාර බිසවක්[8] බවට පත් වේ. චංගුමි හට මාලිගයේදී නොයෙක් දුක්ගැහැටවලට මුහුණ දීමට සිදු වෙයි. ඇය හට මුළුතැන්ගෙයි ප්‍රධාන පාලිකාව බවට පත් වූ චෝයි ගියුම්-යොංගේ පාද තැවීමට සිදු වූ අතර පාක් යෝල්-යි නම් ඊර්ෂ්‍යාකාර හෙදියකගේ නොයෙක් ගැහැටයන්ටද මුහුණ දීමට සිදු වෙයි. මෙම කරදරයන් විඳ දරා ගන්නා චංගුමි රාජකීය වෛද්‍යවරුනට පවා සුව කිරීමට නොහැකි වූ රජුගේ රෝගයක් සුව කර රජුගේ ජීවිතය රැක දෙයි.

මෙලෙස චංගුමිගේ නාමය දිදුලන විට චෝයි පරම්පරාවේ පරිහානිය උදා වේ. මෙහි දී අගමැති ඕ ගියුම්-හෝ ඇතුළු ‍පිරිස ද චෝයි වංශිකයන් ද අධිකරණය හමුවට පනවන ලබන අතර චෝයි පාලිකාව පමණක් පලායාමට සමත් වේ.චංගුමි චෝයි පාලිකාව සොයා ගොස් ඇයට වරද පිළිගෙන තම ලේලිය වූ ගියුම්-යොං ආරක්ෂා කර ගන්නා ලෙස පවසයි. තම දිවි රැක ගැනීමට චෝයි පාලිකාව ගම්බද ප්‍රදේශයකට පැන යන්නී ය. ඇය චංගුමිගේ මව වූ පාක් මියුංග්-යිගේ සොහොන අසලට ගොස් ආචාර කර තම වැරදිවලට සමාව දෙන ලෙස ඉල්ලයි. පසුව ඇය ඩොංගින් ශිඛරයෙන් පහළට ඇද වැටී මිය යයි. චෝයි ගියුම්-යොං හට සිය මුළුතැන්ගෙයි ප්‍රධාන පාලිකා තනතුර ("වෝයි-ගෝ සංගුං"') අහිමි වන අතර ඇයවද අන්‍යයන් මෙන් මාලිගයෙන් නෙරපා හැරෙයි.

සිය කැපවීම, උත්සාහය හා වෛද්‍ය හැකියාව යොදා ගනිමින් චංගුමී රජපවුලේ සාමාජිකයන්ගේ දිවි බේරයි. මළ දරු උපතකට පසු මුන්ජොං අගබිසව රෝගාතුර වෙයි. චංගුමී අගබිසවගේ ගර්භාෂයේ තවත් මළදරු උපතක් ඇති බව නිවැරදිව හඳුනාගෙන ඇගේ දිවි බේරයි. එසේම ඇය විසින් මව් බිසව‍හට වෛද්‍ය ප්‍රතිකාර නොගැනීමෙන් ඇති වන භයානක තත්ත්වය ඒත්තු ගන්වයි. ඇය අගබිසවගේ එකම පුතු වූ ඔටුන්න හිමි කුමරු ග්යුංවොන් හට වැළඳී තිබූ වසූරිය රෝගය සුව කර අගබිසවගේ ගෞරවාදරයට පාත්‍ර වෙයි.


මාලිගයේ වෙදැදුරුවරිය[සංස්කරණය]

චංගුමීගේ ජයග්‍රහණයන් සමග ජුංජොං රජු ඇයව 6 වන නිලමට්ටම දක්වා උසස් කරයි.[9] එමෙන්ම ඇයව සිය පෞද්ගලික වෛද්‍යවරිය බවට පත් කර ගනී. මෙය එවැනි නිලයක් කාන්තාවකට හිමි වූ ප්‍රථම අවස්ථාවයි. එසේ වුවද රාජසභාවේ ඇමතිවරුන් මෙම තීරණයට දැඩි ලෙස විරෝධය පල කරයි. සිය මව්බිසවගේ විරෝධය නිසා රජුට තම තීරණය වෙනස් කර ගැනීමට සිදු වේ. මව් බිසව රජුට යෝජනා කරන්නේ චංගුමීව සිය පරිවාර බිසවක් කර ගන්නා ලෙසයි. එසේ වුවත් රජුද චංගුමී හා ආලයෙන් බැ‍‍ඳයි. චංගුමී රජුගේ ආන්ත්‍රික රෝගයක් (බෙහ්සෙට්ගේ රෝගය) නැවත වරක් සුවපත් කරයි. මෙයත් සමගම රජු චංගුමීවසිය පෞද්ගලික වෛද්‍යවරිය බවට පත් කරගන්නා අතර ඇයව 3වන නිල මට්ටම දක්වා උසස් කර, ඇයට “දේ”(ශ්‍රේෂ්ඨ යන අරුතැති) නාමය ප්‍රදානය කරයි.

මෙම නිලය පිළිගැනීමෙන් තමාට හා තම මිතුරන්ට අනතුරක් වේ යයි චංගුමී බිය වුවත් මින් ජුං-හෝගේ සහාය ඇතිව ඇය මෙම නිලය පිළිගනියි. මෙම සිද්ධියත් සමග රාජ්‍ය අමාත්‍ය මණ්ඩලය දැඩි ලෙස කෝපයට පත් වන අතර මින් ජුං-හෝව පිටුවහල් කරන මෙන් ඔවුන් රජුට බල කරනු ලබයි. මෙමගින් චංගුමීව තමන් සතු කරගත හැකි වේයැයි සිතූ රජු ඊට අනුමැතිය ලබා දෙයි.


බේරීම සහ නීතියෙන් පලා යාම[සංස්කරණය]

අවසානයේදී රජුලේ පෙර පැවති රෝග තත්ත්ව නැවත ඉස්මතු වෙයි.චංගුමී සිය සියලු වෛද්‍ය දස්කම් යොදා ඊට පිළියම් යෙදුවද එය අසාර්ථක වෙයි. රජු මරණාසන්න වෙයි. එහෙත් චංගුමී එකම ප්‍රතිකාරයක් සොයාගනියි. එනම් නිර්වින්දනය කොට සැත්කමක් කරවීමයි.[10] එකල රජුගේ සිරුර පූජණීයත්වයෙන් සලකනු ලැබූ නිසා රාජ සභාවෙන් මෙයට අනුමැතියක් නොලැබේ. රජුද මීට අවසර නොදෙයි. තම මරණින් පසු චංගුමීගේ ජීවිතයට අනුතරාකාරී තත්ත්වයක් ඇති වන නිසා, රජු චංගුමීහට මින් ජුං-හෝත් සමග පැන යන මෙන් නියෝග කරයි. චංගුමී හා මින් ජුං-හෝ පලා යන්නන් ලෙස ජීවත් වේ.


අවුරුදු අටක් ගත වෙයි. චංගුමීගේ සුළුපියා වූ ඩුක්ගු මාමා ඇයව සොයා ගනී. ඔහු මෙය මාලිගයේ සිටින ඇගේ මිතුරු මිතුරියන්ටද දන්ව‍යි. මේ වන විට ජුංජොං රජු මිය ගොසිනි. මේ වන විට අග බිසවගේ පුතණුවන් වූ ඔටුන්න හිමි කුමරු ග්යුංවොන් රාජ්‍යත්වයට පත් වී සිටී. මුන්ජොං අගබිසව මේ වන විට රාජකීය මව්බිසව තනතුරට පත් ව අතිවිශාල බලයකට හිමිකම් කියන්නී ය.[11] ‍මව්බිසව චංගුමී මේ වන විටත් රටේ සිටින බව දැන ඇයට හා මින් ජුං-හෝට මාලිගයට නැවත පැමිණෙන ලෙස ආරාධනා කර ඔවුන්ගේ තනතුරු නැවත පිහිටුවයි. එසේ වුවත් චංගුමී හා මින් ජුං-හෝ සිය දියණිය ගැන සිතා මාලිගයෙන් පිටත ජීවත් වීමට තීරණය කරයි.


ඔවුන් නැවත පැමිණෙන විට චංගුමී හා මින් ජුං-හෝ හට ප්‍රසූත වේදනාවෙන් පෙළෙන ස්ත්‍රියක් හමු වේ. චංගුමී සිය වෛද්‍ය ඥානය උපයෝගී කර ගනිමින් සිසේරියන් සැත්කමක් කර එම ස්ත්‍රියගේ හා දරුවාගේ දිවි රැක ගනියි.

රංගනය[සංස්කරණය]

ප්‍රධාන රංගන ශිල්පීන්[සංස්කරණය]

මිත්‍රශීලී ලීලාවකින් ‍යුත්‚ උද්යෝගීමත්‚ බුද්ධිමත් හා රූමත් කාන්තාවක වන ඇය කැපී පෙනෙන තැනැත්තියකි. ‍ඇගේ දෙමව්පියන් දේශපාලන කුමන්ත්‍රණයකින් මරුමුවට පත් වීමත් සමග ඇයට අනේක විධ හිරිහැරයන්ට මුහුණ පෑමට සිදුවුව ද, සිය දැඩි අධිෂ්ඨානයත් කැපවීමත් නිසා ඇය ඒ සියල්ල දරා ගනී.

ශක්තිමත් අධිෂ්ඨානයකින් හෙබි චංගුමී සිය සුවිශේසී වෛද්‍ය ඥානයත් හැකියාවත් යොදා ගනිමින් කොරියානු අධිරාජයාගේ පළමු කාන්තා වෛද්‍යවරිය බවට පත් වීමට අවස්ථාව ලබන්නී ය. ඒ නිසායි ඇයට රාජසභාවේ තෙවන නිල මට්ටමත් සමග “ශ්‍රේෂ්ඨ චංගුමී” (තේ චංගුමී) යන නිල නාමය හිමි වූයේ.

උගත්, ඉතා බුද්ධිමත්, කඩවසම් තරුණයකු වන මින් ජුං-හෝ අධ්‍යාපනය‍ට මෙන්ම යුධ ශිල්පවලටද දක්ෂයෙකි. මින් ජුං-හෝ, හං සුං අගනගරයේ පාලනය භාර වූ අමාත්‍යාංශයේ (හං සුං බෝ) සේවය කළ විනිසුරුවකු විය. ඔහුව හ‍ඳුනාගෙන නොසිටි කාලයේ චංගුමී සටනකදී ඔහු දිවි රැක දෙයි. චංගුමී පොත් ඉල්ලා ගැනීමට ඔහුව නිතරම හමු වේ.ඔවුන් දෙදෙනාගේ සිත්වල පෙම්හැගුම් මෝදු වෙමින් පැවතිණි. මේ කාලයේදීයි මින් ජුං-හෝ රාජකීය ආරක්ෂක කමිටුවේ (නේ ගුම් වී) ජ්‍යේෂ්ඨ නිලධරයකු හෙවත් රාජකීය හමුදා නිලධාරියකු (ජොං සා ග්වන්) ලෙස පත්වන්නේ.

මහත් බලාපොරොත්තු සහිත උඩගු කාන්තාවක් වන චෝයි ගියුම්-යොං තම ජීවිතයතම නැන්දණිය වූ චෝයි පාලිකාවගේ මග පෙන්වීම මත රාජකීය මුළුතැන්ගෙයින් ආරම්භ කරන්නී ය. ඇය චංගුමීගේ සතුරාබවට පත් වේ. ඇය චෝයි වංශයට අයත් වුවත් තම ඥාතීන් අනුගමනය කළ අසාධාරණ පිළිවෙත්වලට ඇය අකමැති වුවද ඉන් බැහැර වීමට ඇයට නොහැකි වෙයි. ඇගේ බුද්ධිය හා තරගකාරීත්වය නිසා චංගුමී සමග කරටකර සිටීමට ඇයට හැකි වෙයි. නමුත් චෝයි පවුලේ ආභාසයත් ඇය තුළ මින් ජුං-හෝ කෙරෙහි තිබූ ආකර්ෂණයත් නිසාමයි ඇය චෝයිවරුන්ගේ අසාධාරණ පිළිවෙත්වලට ප්‍රවිෂ්ඨ වූයේ.

ජෝසුන් රාජවංශයේ 11වන රජු වන අතර ඉතාමත් ආචාරශීලී නමුත් අවිනිශ්චිත තීරණ ගන්නා අයෙකි. ඉතා කාරුණික අයකු වූ මොහුගේ පළමු බිරිද දේශපාලන සිදුවීම් මත අමාත්‍ය මණ්ඩලයේ බලකිරීම් නිසා මරණයට පත් කරන ලදී. තම ආදරණීය බිරිද රැක ගැනීමට නොහැකි වීම ගැන නිරතුරුවම දුක්වූ මෙතුමා තමා අමාත්‍ය මණ්ඩලයේ රූකඩයක් බවට පත් ව සිටි බව වටහා ගත්තේ ය.තම රාජ්‍යය දේශපාලන ප්‍රතිසංස්කරණයක් වෙත යොමු වෙමින් තිබියදී මෙතුමාට චංගුමීව හදුනාගන්නට ලැබුණු අතර ඇගේ ‍පෙෳරුෂය හා දස්කම් නිසා පුදුමයට පත්විය. රජු ඇය කෙරෙහි ආකර්ෂණය වන්නට විය.

රාජකීය මුළුතැන්ගෙයි පාලිකාවක වූ හන් පාලිකාව සූපවේදයෙහි නව තැන් සොයා යන්නී ය. චංගුමීගේ මවගේ හොදම යෙහෙළිය වූ හන් පාලිකාව තම මිතුරිය බේරා ගැනීමට නොහැකි වීම ගැන තැවුණා ය. මුරණ්ඩු ස්වභාවයකින් යුක්ත වුවද ඇය සැබවින්ම කාරැණික හදවතක් හිමි තැනැත්තියකි. ඇය චංගුමීට මවක් ගුරුවරියක් මෙන්ම මවක් ලෙස ද කටයුතු කළා ය .

චෝයි පන්-සූල්ගේ බාල සහෝදරිය හා ගියුම්-යොංගේ නැන්දණිය වූ චෝයි පාලිකාව මුළුතැන්ගෙයි ප්‍රධාන පාලිකා ධුරය දැරූ චෝයි පරම්පරාවේ අයෙකි. ඇය කුඩා අවධියේ සිටම ආහාරවල රසරහස් ඉගෙන ගත්තා ය.ඉතා අහංකාර හා මාන්නාධික තැනැත්තියකි. ඇය තම අවශ්‍යතා ඉටුකනාවන තෙක්ම යම් දෙයක් අත්නොහරින දරුණු අයෙකු විය. තියුණු-දෘෂ්ටියකින් යුතු ඇය චංගුමී හා හන් පාලිකාවට එරෙහි කුමන්ත්‍රණවල නියුළුණා ය.


අනෙකුත් රංගන ශිල්පීන්[සංස්කරණය]

කුඩා විය
මුළුතැන්ගෙයි පාලිකාවක්ව සිටි සමයේ
ජුංජොං රජුගේ රාජසභාව හා සම්බන්ධ කාලයේ
හෙදියක්ව සිටි කාලයේ

සටහන් පෙළ[සංස්කරණය]

සුජාත දියණි නාට්‍යය පැරණි කොරියාවේ විසූ චංගුමි නම් වෛද්‍යවරියගේ කතාව ඇසුරෙන් නිෂ්පාදනය කළ එකකි. එහෙත් ඉහත නම් වූ පුද්ගලයකු ජීවත් වූ බව මත භේදයට තුඩු දී ඇත.

මෙහි නාට්‍ය පිටපතට මුලින් මින් ජුං-හෝ සහ චංගුමි අතර සිපගැනීමේ දර්ශනයක් අඩංගු වුවත්, චංගුමිගේ චරිතය රඟ පෑ ලී යොං-ඒ එවැනි දර්ශනයක් කතාවට නොගැළපෙන බව පවසා සිටීම නිසා එය නාට්‍යයෙන් ඉවත් කෙරිණි.

හන් පාලිකාව (යං මි-කියුං) මියයාමට තිබුණේ 18වන කොටසේදී ය. එහෙත් විචාරක විරෝධය නිසා එය කල් දැමීමට අධ්‍යක්ෂකවරයාට සිදු විය.

ප්‍රථමයෙන් සියෝ චංගුමිගේ චරිතය නිරූපණය කිරීම සඳහා තෝරා ගැණුනේ පාක් ඉයුන්-හ්යේව ය. එහෙත් පසුව එම චරිතය සඳහා ලී යොං-ඒ තෝරා ගැනුණු අතර, පාක් ඉයුන්-හ්යේ හට චංගුමිගේ මිතුරිය වූ යොන්-සෑංගේ චරිතය පැවරිණි.

නාදපථ[සංස්කරණය]

තේමාගීතය[සංස්කරණය]

මෙහි තේමා ගීතය වන ‘ඕනාරා’(කොරියානු: 오나라) ගීතය පැරණි කොරියානු බසින් ලියැවුණකි. එහෙත් මෙහි පද හා වචන උච්චාරණය පිළිබඳ මතභේද ඇත. මේ නිසා මෙහි විවිධ අර්ථ මතු වී ඇත. මේ නිසා අවසානාය්දී මෙහි ගීත රචකයා වූ ඉම් සේ-හ්යොන් විසින් මෙහි ස්වභාවය පැහැදිළි කළේ ය [12]

මෙම ගීතය ජොසොන් රාජවංශ යුගයේ පැවති කොරියානු පන්සෝරි කාව්‍ය ආර අනුව නිමවා ඇත. මෙම ආර 19වන සියවසේදී වඩාත් ජනප්‍රිය විය. මේ ගීත සඳහා එක් එක් ප්‍රධාන ගායකයෙක් (සොරික්කුන්) සහ ප්‍රධාන බෙර වාදකයෙක් (ගොසු) අවශ්‍ය විය. එහි ධ්‍රැවපදය වන “හේ-ඉයා දී-ඉයා හේ-ඉයා නරානිනෝ” යන්න චු-ඉම්සේ යනුවෙන් හ‍දුන්වයි.

මෙම ගීතය පැරණි කොරියානු ආර අනුව නිර්මාණය වූවක් වුවත් මෙහි අර්ථය පිළිබදව විවිධ මත ඇත. ඉන් එකක් නම් තමාට කිසිදා එක් විය නොහැකි පුරුෂයකු වෙනුවෙන් බලා සිටින ස්ත්‍රියක් ගැන මින් හැගවෙන බවයි.

කොරියානු සංස්කරණය[සංස්කරණය]

“දේ ජං-ගුම්“ නාට්‍යයේ සෑම කොටසක් අවසානයේම “ඕනාරා” ගීතය වාදනය වන අතර එය ගයනු ලබන්නේ කොරියානු දරුවන් තිදෙනෙකු වන කිම් ජි-හ්යුන් (කොරියානු김지현; හන්ජා金智賢), ‍බෙක් බෝ-හ්යුන් (කොරියානු백보현; හන්ජා白寶賢) සහ කිම් සියුල්-ජී (කොරියානු김슬기; හන්ජා金슬기) විසිනි. ඔවුන් එම කාලයේ කොරියානු සාම්ප්‍රදායික සංගීතය හදාරමින් සිටි ශිෂ්‍යයන් විය. මෙම ඕනාරා ගීතයේ ඊ ආන් (කොරියානු이안; හන්ජා李安) විසින් ගයනු ලබන සෙමින් වාදනය වන ගීතයක් ද ඇත.

විදේශීය සංස්කරණ[සංස්කරණය]

ඕනාරා ගීතය කොරියාවෙන් පිටත ද ප්‍රේක්ෂක ඉල්ලීම් මත වෙනත් භාෂාවලින් ගැයුණු අවස්ථා ඇත. හොංකොං දේශයේ ජනතාවගේ ඉල්ලීම මත කෙලී චෙන් නැමැත්තිය විසින් කැන්ටනීසියානු භාෂාවෙන් ගයන ගීතය “පැතුම”(希望 හෙයිමොහ්න්ග්) නමින් නම් කර ඇත. . එසේම තායිවාන වැසියන්ගේ ඉල්ලීම මත ඇන්ජෙලා චෑං නම් ගායිකාව මැන්ඩරින් චීන බසින් ගයන ගීතය “බබා” (娃娃 වාවා) නමින් නම් කර ඇත. චීනය සදහා ටෑං කැන් ඇතුළු පිරිසක් ගයන ගීතය “ඇමතුම” (呼唤 හුහුවාන්) ලෙස නම් කර ඇත. පිලිපීනයේ ‍‍‍‍ෆේත් කුනේටා විසින් ගයන ගීතය “පන්ගාරප් නා බිටුයින්” ලෙස නම් කර ඇති බව පැවසේ.

2012 වර්ෂයේ ජාතික රූපවාහිනී නාලිකාව යටතේ ශ්‍රී ලංකාවේ “සුජාත දියණි” යන නාමය යටතේ “දේ ජං-ගුම්” නාට්‍යය විකාශය විය. එහි දී “ඕනාරා” ගීතයට සමාන ලෙස ගැයෙන අයුරින් සිංහල ගීතයක් නිර්මාණය විය. “ගහ කොළ මල් ගල් ගැසී බලා සිටිනවා” යනුවෙන් ආරම්භ වන එම ගීතය ඇන්ජලීන් ගුණතිලක ගායිකාව තවත් දරුවන් පිරිසක් සමග එක් ව ගයනු ලබන්නකි. රූපවාහිනී සංස්ථාවේ ම දෙමළ නාලිකාව වූ நேத்ரா TV (නේත්‍රා ටීවී) නාලිකාව මගින් 2013 වර්ෂයේ දී එය “සුජාත දියණි” (சுஜாத தியனி) යන නමින්ම දෙමළ භාෂාවෙන් හඩකවා විකාශනය කෙරිණි. එහි දී සිංහල ගීතයේ අර්ථයට සමාන ලෙස දෙමළ ගීතයක් ද විකාශනය විය.

මුල් නාදපථය (Original soundtrack)[සංස්කරණය]

  1. 고원 (高原)
  2. 창룡 (蒼龍)[13]
  3. 하망연 (何茫然) හමංග්යොන් - විස්තරාත්මක වාදනය සෆිනා
  4. 오나라 II
  5. 0815 (空八一五)
  6. 연밥
  7. 덕구
  8. හමංග්යොන් විස්තරාත්මක වාදනය. සෆිනා
  9. APNA
  10. 다솜
  11. 비 (悲)
  12. 단가 (短歌)
  13. 연도 (烟濤)
  14. 오나라 I
  15. The Legend Becomes History
  16. 자야오가 (子夜吳歌) Techno Ver.
  17. 하망연 (何茫然) හමංග්යොන්- වාදන භාණ්ඩ මගින්

සම්මාන[සංස්කරණය]

2003 MBC නාට්‍ය සම්මාන[14]
2004 බෙක්සං කලා සම්මාන උළෙල

ආර්ථික සාර්ථකත්වය[සංස්කරණය]

'දේ ජං-ගුම් නාට්‍යය ආසියාවේ චීනය, තායිවානය, හොංකොං, මැලේසියාව, සිංගප්පූරුව, බෲනායි, ජපානය, ඉන්දුනීසියාව, පිලිපීනය, තායිලන්තය හා වියට්නාමය වැනි රටවල් වල අතිශයින් සාර්ථකත්වයට පත්වූ අතර එය 2000දී සිට පමණ ආ “කොරියානු රැල්ල” තවදුරත් තිව්‍ර කළේ ය.[15][16] එය ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය,ස්වීඩනය, රුසියාව, ඉරානය, සවුදි අරාබිය, තුර්කිය, පීරු, කොලොම්බියාව, ඊජිප්තුව, රුමේනියාව, කැනඩාව, බංග්ලාදේශය , ඉන්දියාව, ඊශ්‍රායලය, හංගේරියාව, නවසීලන්තය, ශ්‍රී ලංකාව යන රටවල ප්‍රදර්ශනය කොට ඇත.[තහවුරු කර නොමැත]

ආසියාව[සංස්කරණය]

2004 මැයි මාසයේ සිට තායිවානයේ GTV නාලිකාව ඔස්සේ විකාශය වූ මෙම නාට්‍යය මැන්ඩරින් බසින් ඩා චංජින් (大長今) යන නමින් විකාශය විය. එය එකල ඉහළම ප්‍රේක්ෂක මනාප දිනාගත් ටෙලිනාට්‍යය වූ අතර තේමා ගීතය ගයන ලද්දේ ඇන්ජෙලා චෑං විසිනි.

2009 ඔක්තෝබර් සිට නවසීලන්තයේ Triangle TV සහ ස්ට්‍රේටොස් ටෙලිවිෂන් යන නාළිකා ඔස්සේ එය කොරියානු බසින් ඉංග්‍රීසි උපසිරැසි සහිතව සතියකට දෙවරක් විකාශය විය.

2005 සැප්තැම්බර් මස සිට එය දේ ජං-ගුම් (大長今) නමින් ම හොංකොංහි ටීවීබී නාළිකාවෙන් විකාශය කෙරිණි.එය එකල ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනූ වැඩසටහනක් විය. මෙහි තේමා ගීතය කෙලී චෙන් විසින් ගයන ලදී. එය ‍2005 TVB සංවත්සර සම්මාන උළෙලේදී හොදම විදේශීය වැඩසටහනට හිමි සම්මානය දිනාගත්තේ ය.

සැප්තැම්බර් මසම චීනයේ හුනාන් ටීවී නාලිකාව ඔස්සේ එරට පළමු වරට මෙය විකාශය වූ අතර එය ඩා චංජින් (大長今) නම් විය.මෙහි තේමා ගීතය CETV නාළිකාව ඔස්සේ විවිධ ගායකයන් විසින් විවිධ අයුරින් ගායනා කරන ලදී. සුපර් ගර්ල් සිංගින්ග් කන්ටෙස්ට් තරගයේ ජයග්‍රාහකයන් පස් දෙනෙකු විසින් ගැයූ ගීතය ජනප්‍රිය විය.. වරක් චීන ජනාධිපති හූ ජින්තාඕ පැවසූයේ තමා කෙතරම් කාර්යබහුල වුවත් තමා එම නාට්‍යයේ සෑම කොටසක් ම නැරඹූ බවයි. [17][18][19][20]

2005 ඔක්තෝබර් මාසයේ සිට ජපානයේ මෙම නාට්‍යය එන්එච්කේ නාලිකාව යටතේ විකාශය වූ අතර නාට්‍යයේ නම “චංගුමී නම් පාලිකාවගේ පොරොන්දුව” (宮廷女官チャングムの誓い – ක්‍යුතෙයි න්‍යොකන් චංගුමු නො චිකායි) ලෙස වෙනස් කෙරිණි. .[21] එය එම රටේම TBS නාලිකාවෙන් 2009දී ද විකාශනය විය.

දේ ජං-ගුම් නාට්‍යය 205 ඔක්තෝබර් මස තායිලන්තයේ Channel 3 නාළිකාව ඔස්සේ แดจังกึม จอมนางแห่งวังหลวง යන නමින් විකාශය ඇරඹී ය

2005 වසරේ මැද හරියේ දී පමණ කාම්බෝජයේ Royal Cambodian Armed Forces Television channel නම් නාලිකාව මගින් චවිත් නීන්ග් ජං කිම් (ඛෙමර් බසින් : ជីវីតនាងចំាងគឹម- චංගුමී පාලිකාවගේ ජීවිත කථාව) යන නමින් විකාශය කෙරිණි.

2005 දෙසැම්බර් සිට ඉන්දුනීසියාවේ Indosiar මගින් දේ ජං-ගුම් නාට්‍යය විකාශය විය

2004 නොවැම්බර් සිට 2005 පෙබරවාරි දක්වා මැලේසියාවේ 8TV නාලිකාව මගින් තායිවානයේ ඩා චංජින් නමින් මැන්ඩරින් බසින් විකාශය වූ මෙම කථා මාලාවට Jewel in the Palace යන නාමය යොදා විකාශය කරන ලදී. අවුරුදු කිහිපයකට පසු 2011දී TV Alhijrah (ඉස්ලාමික රූපවාහිනිය) නාලිකාවෙන් කොරියානු බසින් මලයානු උපසිරැසි සහිතව මෙම නාට්‍යය නැවතත් විකාශය කෙරිණි.

සිංගප්පූරුවේදී 2005 ජූලි 8සිට මෙය VV Drama Ch 855 නාලිකාව ඔස්සේ Jewel in the Palace යන නමින් විකාශය කෙරිණි. එය එය සතියේ දිනවල සවස 7ට විකාශය විය. එසේම සිංගප්පූරුවේ MediaCorp Channel U නාලිකාව මගින් ද මෙය 2006 මාර්තු 14 දිනසිට සතියේ දිනවල රාත්‍රී 10ට විකාශය විය.

පිලිපීනයේ GMA Network මගින් මෙම නාට්‍යය 2005 නොවැම්බර් සිට 2006 මාර්තු දක්වා Jewel in The Palace යන නමින් විකාශය කෙරිණි. එහි ජනප්‍රියත්වය දෙවැනි වූයේ මයි ලව්ලි සම් සූන් යන නාට්‍යයට පමණි. පිලිපීන ජනතාවගේ ඉල්ලීම මත ‍ෆේත් කුනේටා නම් ගායිකාව ටැගලොග් බසින් මෙහි තේමා ගීතය ගැයුවා ය. .[22]

2007 අප්‍රේල් මස බෲනායිහි RTB2 නාලිකාවෙන් ‍ Jewel in The Palace යන නමින් මෙය විකාශය විය.

2007 සැප්තැම්බර් සිට ඉන්දියාවේ රාජ්‍ය නාලිකාව වූ DD-TV මගින් මෙම නාට්‍යය "घर का चिराग" - “ඝාර් කා චිරාග්” (නිවසේ පහන) යන නාමය යටතේ හින්දි බසින් දෙබස් කවා විකාශය කෙරිණි.

2012 සිට බංග්ලාදේශයේ දේ ජං-ගුම් නාට්‍යය එරට රාජ්‍ය නාලිකාව වූ Bangladesh Television නාලිකාව ඔස්සේ Jewel in The Palace යන නමින් විකාශය වූයේ සෑම සෙනසුරාදා දිනකම උදෑසන ය.

2012 ඔක්තෝබර් සිට දේ ජං-ගුම් නාට්‍යය අතුල රන්සිරිලාල්ගේ මෙහයවීම යටතේ සිංහල බසින් හඩකවා “සුජාත දියණි” නමින් ශ්‍රී ලංකාවේ විකාශය කරන ලදී. එය ශ්‍රී ලංකාවේ රාජ්‍ය නාලිකාව වූ ජාතික රූපවාහිනී නාලිකාව මගින් විකාශය වූයේ සතියේ සෑම දිනකම ප.ව. 6.30 සිට 7.30 දක්වා ය. එය ශ්‍රී ලංකාවේ ඉමහත් ප්‍රසිද්ධියට පත් විය.. දේ ජං-ගුම් නාට්‍යයේ ඕනාරා තේමා ගීතය සිංහල බසින් “සුජාත දියණි” යන තේමාව යටතේ ඇන්ජලින් ගුණතිලක ගායිකාව විසින් ගායනා කළා ය.. මෙරට ප්‍රේක්ෂකයන්ගේන් 90%ක්ම එය නැරඹූ බව පැවසේ.මෙරට දෙමළ ජනතාවගේ නැරඹීම සදහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් நேத்ரா TV (නේත්‍රා ටීවී) නාලිකාව ඔස්සේ 2013 අගෝස්තු මස සිට එම නාට්‍යයට දෙමළ බසින් හඩකවා "சுஜாத தியனி" (සුජාත දියණි) යන නමින් ම එය විකාශය කරන ලදී. එහි ද තේමා ගීතය දෙමළ බසින් ගැයේ.. සුජාත දියණි නාට්‍යය ලැබූ ඉමහත් ප්‍රේක්ෂක ප්‍රසාදය නිසා නාට්‍යයේ කථාව පොතක් ලෙසින් එලි දක්වන ලදී. . ඒ අනුව නෙරංජලා හේමමාලි වෙඩික්කාර නම් ලේඛිකාව විසින් “සුජාත දියණි” යන නමින් ම එය සදීපා ප්‍රකාශනයක් ලෙස එළි දක්වා ඇත.

මැදපෙරදිග හා අප්‍රිකාව[සංස්කරණය]

ඉරානයේ දේ ජං-ගුම් නාට්‍යය Jewel in The Palace (මාලිගයේ මැණික) යන නාමයෙන් Channel 2 නාලිකාව ඔස්සේ 2006 හා 2007 වසරවල විකාශය කෙරිණ. එය වසර 20කට පෙර විකාශය වූ ‘ඔෂින්’ නම් ජනප්‍රිය ජපන් ටෙලි නාට්‍යය සිහි ගැන්වී ය.[23] IRIB (ඉරාන ප්‍රචාරක ඉස්ලාමික ජනරජය) නම් ආයතනයේ සමීක්ෂණයන් අනුව මෙය 2007 මාර්තු සිට අප්‍රේල් දක්වා කාලයේ ජනප්‍රියතම ටෙලිනාට්‍යය විය.[24]

Dae Jang Geum නාට්‍යය ජෝර්දානයේ හා ඊජිප්තුවේ ද විකාශය විය.

මෙම නාට්‍යයේ අරාබි හඩකැවුම 2007 ඔක්තෝබර් 14 දින සිට ජව්හරාතු අල්ක්වාසර් (جوهرة القصر) යන නමින් Dubai TV නාලිකාව ඔස්සේ විකාශය විය.

තුර්කි රූපවාහිනිය දේ ජං-ගුම් නාට්‍යය TRT 1නාලිකාව මගින් 2008 ජනවාරි 14වන දින සිට විකාශය කරන ලදී. එහි මාතෘකාව "Saraydaki Mücevher" යන්නයි.

අප්‍රිකානු නිදහස් රූපවාහිනී නාලිකාව මගින් “දේ ජං-ගුම්”නාට්‍යය විකාශය කරන ලද්දේ "Jewel in The Palace" (මාලිගයේ මැණික) යන නමිනි.

ඊශ්‍රායලයේ කේබල් රූපවාහිනී නාලිකාව යටතේ තිබූ දිවා කාලයේ නාට්‍ය විකාශය කළ නාලිකාව වූ "Viva"නාලිකාව කොරියානු බසින් උපසිරැසි සහිතව විකාශය කළ දේ ජං-ගුම් නාට්‍යය "ද ඩයමන්ඩ් ඉන් ද ක්‍රවුන් " (היהלום שבכת) යන නමින් 2008 ඔක්තෝබර් සිට විකාශය විය. නමුත් එය නැවත 2010 ජූලි10 සිට විකාශය කිරීමට සිදු විය.

සිම්බාබ්වේහිදී මෙම නාට්‍යය "Jewel in the Korean Palace" (කොරියානු මාලිගයේ මැණික) යන නමින් විකාශය කෙරිණි. මෙම නාට්‍යය විකාශයත් සමග දිනකට ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රශ්න තුන බැගින් ඇසූ අතර ජනගහනයෙන් හතරෙන් එකක් ඊට සම්බන්ධ වූ බව සදහන් වේ.

ඇමරිකාව[සංස්කරණය]

2005 ජූනි ආරම්භයේ සිට ඇමරිකා එක්සත් ජනපදයේ නාලිකා කිහිපයකින්ම මෙය විකාශනය කෙරිණි. ඒ අනුව AZN Television සහ කොරියානු වාර්ගික නාලිකා වූ හවායිහි KBFD සහ චිකාගෝහි WOCH-CA නාලිකා මගින් එලෙස විකාශය විය.

I2005 ජූලි මස කැනඩාවේ කැන්ටනීස් භාෂාමය Fairchild TV නාලිකාව සහ 2005 සැප්තැම්බර් සිට ඕස්ට්‍රේලියාවේ කැන්ටනීස් භාෂා TVB Jade නාලිකා මගින් මෙම නාට්‍යය විකාශය විය.

පීරුහි දේ ජං-ගුම් නාට්‍යය 2008 නොවැම්බර් සිට 2009 පෙබරවාරි දක්වා TV Perú නාලිකාවෙන් විකාශය වූයේ Una Joya en el Palacio යන නමිනි.

කොලොම්බියාවේ Canal Capital නාලිකාව මගින් 2010දී ස්පාඤ්ඤ බසින් "Una Joya en el Palacio" යන නමින් ප.ව. 4.30ට එය විකාශය කරන ලදී.

මෙක්සිකෝවේ කේබල් රූපවාහිනී නාලිකාව වූ TVMEX මගින් මෙම නාට්‍යය ස්පාඤ්ඤ බසින් "Una Joya en el Palacio" යන නාමය යටතේ සදුදා සිට සිකුරාදා දක්වා ප.ව. 5.30ට විකාශය කර ඇත.

වෙනිසියුලාවේ La Tele රූපවාහිනී නාලිකාව මගින් ද මෙම නාට්‍යය විකාශය කෙරිණි.

කෝස්ටා රිකාවේ Canal 13 නාලිකාව මගින් මෙම නාට්‍යය "Una Joya en el Palacio"යන නමින් විකාශය කරන ලදී.

පුවර්ටෝ රිකෝ රාජ්‍යයේ WIPR-TV නාලිකාව හරහා 2010 සැප්තැම්බර් මස සිට සදුදා සිට සිකුරාදා දක්වා ප.ව. 5.00ට මෙම නාට්‍යය Una Joya en el Palacio යන නම යටතේ විකාශය කරන ලදී .

ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ රාජ්‍යයේ මෙම නාට්‍යය CCN TV6 නාලිකාවෙන් Jewel in the Palace යන නමින් ඉංග්‍රීසි උපසිරැසි සහිතව විකාශය කරන ලදී. එය 2011 ජූලි සිට සෑම ඉරිදාවකම 5.55ට විකාශය කෙරිණි .

බාර්බඩෝස් රාජ්‍යයේ Jewel in the Palace යන නමින් CBC TV8 නාලිකාව ඔස්සේ  ඉංග්‍රීසි උපසිරැසි සහිතව මෙය විකාශය විය .

යුරෝපය[සංස්කරණය]

රුමේනියාවේ ජාතික රූපවාහිනී නාලිකාව (TVR1) මෙම ටෙලිනාට්‍යය "Giuvaierul Palatului"යන නාමය යටතේ එනම් “මාලිගයේ මැණික’’යන නාමයෙන් විකාශය කළේ ය. එය සඳුදා සිට සිකුරාදා තෙක් ප.ව. 5.10 සිට 6.10 තෙක් විකාශය වූයේ රුමේනියානු උපසිරැසි සමග ය. මෙම ටෙලිනාට්‍යය 2009 ඔක්තෝබර් 12 වන දින අවසන් විය .

බොස්නියාවේ සහ හර්ස්ගෝවිනාවේ සමම ටෙලිනාට්‍යය 2010 ජනවාරි මාසයේ දී "Dragulj u Carskoj Palati" යන නාමයෙන් කොරියන් භාෂාවෙන් සර්බියානු උපසිරැසි සහිතව විකාශය විය[තහවුරු කර නොමැත]

හංගේරියා‍වේදී මෙම ටෙලිනාට්‍යය හංග්රියානු භාෂාවෙන් හඬ කවා 2008 ඔක්තෝබර් 3 දින සිට ප්‍රදර්ශනය කළේ m1නාලිකාවෙනි. ඒ "A palota ékköve" යන නාමය යටතේ දී ය .[25] එය නැවත වරක් 2008 වසරේ ග්‍රීෂ්ම සෘතුවේදී විකාශය විය. එහෙත් බලවත් ප්‍රේක්ෂක ඉල්ලීම නිසා එය තෙවන වරටත් විකාශය වූයේ 2009 සරත් සෘතුවේ ය.

දේ ජං-ගුම් ටෙලි නාට්‍යය රුසියානු භාෂාවට පරිවර්තනය වූ අතර එය DVTRK නාලිකාවෙන් 2007 මාර්තු මාසයේදී විකාශය විය.

2010දී අන්තර්ජාලීය ව්‍යාපාරයක් බ්‍රිතාන්‍ය විකාශන සංස්ථාවට (BBC) දේ ජං-ගුම් විකාශය කරන ලෙස ඉල්ලා සිටියේය. [26]

ග්‍රීසියේ 2013 ශීත සෘතුවේ සිට දේ ජං-ගුම් නාට්‍යය Thessaloniki නාලිකාව මගින් Το Κόσμημα του Παλατιού (To Kosmima tou Palatiou) යන නමින් එයවිකාශය කරනු ලබයි.

අන්තර්ජාතික විකාශය[සංස්කරණය]

රට රූපවාහිනිය කාලය නාමය
 කොරියාව, දකුණු MBC 2003 සැප්තැම්බර් Dae Jang Geum (대장금)
 ඇෆ්ගනිස්තානය Tolo TV 2007 අගෝස්තු جواهر در قصر

(Jewel in the Palace)

 ඕස්ට්‍රේලියාව TVB Jade 2005 සැප්තැම්බර් The Great Jang-Geum
 බංග්ලාදේශය BTV 2012 Jewel in the Palace
 බොස්නියා සහ හර්සෙගොවිනා RTB2 2010 ජනවාරි Dragulj u Carskoj Palati (The Jewel in the Imperial Palace)
 බෲනයි RTB2 2007 අප්‍රේල් Jewel in the Palace
 බාබඩෝස් CBC TV 8 2012 ජනවාරි Jewel in the Palace
 කාම්බෝජය TV5 2005 ජූනි ជីវីតនាងចំាងគឹម (The Life of Jang Geum Lady)
 කැනඩාව Fairchild TV 2005 ජූලි The Great Jang-Geum
 චීන මහජන සමූහාණ්ඩුව Hunan TV 2005 සැප්තැම්බර් 大長今 (Great Jang Geum)
 කෙලොම්බියාව Canal Capital 2010 මාර්තු Una Joya en el Palacio (The Jewel in the Palace)
 කොස්ටා රිකා Canal 13 2009 ඔක්තෝබර් Una Joya en el

Palacio (The Jewel in the Palace)

 ඉක්වදෝරය Ecuador TV 2009 ජූනි Una Joya en el Palacio (The Jewel in the Palace)
 ඊජිප්තුව ERTU 2006 ජූනි جوهرة القصر (Jewel in the

Palace)

 ඝානාව TV3 2006 පෙබරවාරි Jewel in the Palace
 ඝානාව TV Africa 2009 ඔක්තෝබර් Jewel in the Palace
 ග්‍රීසිය TV 100 2013 දෙසැම්බර් Το Κόσμημα του Παλατιού
 ග්‍රෙනේඩා GNN 2012 ජනවාරි Jewel in the Palace
 හොංකොං TVB 2005 සැප්තැම්බර් 大長今 (Great Jang Geum)
 හන්ගේරියාව m1 2008 ඔක්තෝබර් A palota ékköve (The Jewel in the Palace)
 ඉන්දියාව DD National 2007 සැප්තැම්බර් घर का चिराग ඝාර් කා චිරාග් (නිවසේ පහන)
 ඉන්දුනීසියාව Indosiar 2005 දෙසැම්බර් Dae Jang Geum
 ඉරානය Channel 2 2006 නොවැම්බර් جواهری در قصر

(Jewel in the Palace)

 ඊශ්‍රායෙලය Viva ඔක්තෝබර් היהלום שבכתר (The Diamond in the Crown)
 ජපානය NHK 2005 ඔක්තෝබර් 宮廷女官チャングムの誓い (The Vow of Palace Court Lady Jang Geum)
 ජෝර්දානය MEM 2006 ජූනි جوهرة القصر (Jewel in the Palace)
 කෙන්යාව NTV 2009 ඔක්තෝබර් Jewel in the Palace
 මලයාසියාව 8TV 2005 දෙසැම්බ්ර් Jewel in the Palace
 මෙක්සිකෝව Canal 34 2009 ඔක්තෝබර් Una Joya en el Palacio (The Jewel in the Palace)
 මොන්ගෝලියාව UBS 2004 මාර්තු Dae Jang Geum
 නවසීලන්තය Triangle TV 2009 ඔක්තෝබර් The Great Jang-Geum
 නයිජීරියාව AIT 2008 අගෝස්තු Jewel in the Palace
 පෙරූ TV Perú 2008 නොවැම්බර් Una Joya en el Palacio (The Jewel in the Palace)
 පිලිපීනය GMA 2005 නොවැම්බර් Jewel in the Palace
 පිලිපීනය TeleAsia 2013 Jewel in the Palace
 පුවටෝ රිකෝ WIPR-TV 2010 සැප්තැම්බර් Una Joya en el Palacio (The Jewel in the Palace)
 තායිවානය GTV 2004 මැයි 大長今 (Great Jang Geum)
 රුමේනියාව TVR1 2009 අප්‍රේල් Giuvaierul Palatului (Jewel in the Palace)
 රුසියාව DTV 2007 මාර්තු Жемчужина дворца (The Jewel in the Palace)
 සවුදි අරාබියාව Dubai TV 2007 ඔක්තෝබර් جوهرة القصر (Jewel in the Palace)
 සිංගප්පූරුව VV Drama 2005 ජූලි Jewel in the Palace
 ස්පාඤ්ඤය TVE 2010 නොවැම්බර් Una Joya en el Palacio (The Jewel in the Palace)
 ශාන්ත ලුසියා GNN 2012 ජනවාරි Jewel in the Palace
 ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනාඩින්ස් GNN 2012 ජනවාරි

Jewel in the Palace

 ශ්‍රී ලංකාව ජාතික රූපවාහිනිය 2012 ඔක්තෝබර් සුජාත දියණී
 ශ්‍රී ලංකාව නේත්‍රා TV 2013 අගෝස්තු சுஜாத தியனி (සුජාත දියණී)
 ටැන්සානියාව AIT 2008 අගෝස්තු Jewel in the Palace
 තායිලන්තය Channel 3 2005 ඔක්තෝබර් แดจังกึม จอมนางแห่งวังหลวง (Great Jang Geum)
 ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ CCN TV6 2011 ජූලි Jewel in the Palace
 තුර්කිය TRT 1 2008 ජනවාරි Saraydaki Mücevher (Jewel in the Palace)
එක්සත් අරාබි එමීර් එක්සත් අරාබි එමීර් රාජ්‍යය Dubai TV 2007 ඔක්තෝබර් جوهرة القصر (Jewel in the Palace)
 ඇමරිකානු එක්සත් ජනපද AZN 2005 ජූනි The Great Jang-Geum
 උස්බෙකිස්තානය Uzbekistan channel 2005 නොවැම්බර් Saroy Javohiri (Jewel in the Palace)
 වියට්නාමය VTV 2005 සැප්තැම්බර් Nàng Đê Chang Kưm

(The Great Jang Geum)

 සැමිබියාව AIT 2008 අගෝස්තු Jewel in the Palace
 සිම්බාබ්වේ AIT 2008 අගෝස්තු Jewel in the Korean Palace


සංස්කෘතික බලපෑම[සංස්කරණය]

කොරියානු රැල්ලේ කොටසක් ලෙස නැගෙනහිර ආසියාවේ ජනප්‍රිය දකුණු කොරියානු සංස්කෘතිය ව්‍යාප්ත කිරීමක් ලෙස දේ ජං-ගුම් නාට්‍යය සැළකිය හැකි ය.

සංචාරක කර්මාන්තය[සංස්කරණය]

කොරියානු සංචාරක සංවිධානය විසින් ‍දේ ජං-ගුම් හා බැදුණු නැගෙනහිර ආසියාවේ හා එක්සත් ජනපදයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට කටයුතු යොදයි. මෙම නාට්‍යයේ රූගත කිරීම් සදහා MBC සමාගම විසින් නිර්මාණය කළ ස්ථාන දකුණු කොරියානු රජය විසින් මිලට ගනු ලැබ එය ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් ව පවතී. දේ ජං ගුම් තේමා උද්‍යානය නමින් නම් කළ මෙකී උද්‍යානය ග්යොංගි පළාතේ යංජු ප්‍රදේශයේ පිහිටි අතර එය 2004දී මහජන ප්‍රදර්ශනයට විවෘත කරන ලදී .[15]

කොරියානු සූපවේදය[සංස්කරණය]

දේ ජං-ගුම් නාට්‍යය දේශීය මෙන්ම විදේශීය ප්‍රේක්ෂකයන් තුළ කොරියානු රාජකීය සූපවේදය පිළිබද ඉමහත් උනන්දුවක් ඇති කළේ ය.. [27][28][29][30]

වෙනත් වැඩසටහන් තුළ සදහන් කිරීම්[සංස්කරණය]

King of the Hill නාට්‍යයේ එක් කොටසක කාන් සහ මින් දේ ජං-ගුම් නරඹමින් සිටී. (ලාඕසියානු බසින් හඩ කැවූ)

Princess Hours නම් නාට්‍යයේ පළමු කථාංගයේ චේ-ග්යොංගේ පවුල දේ ජං-ගුම්හි 30 වන කොටස නරඹනු දක්නට ලැබේ. (යොන්සැං රජුගේ බලුපැටියා සුරතල් කිරීම නිසා දොස් නැගුණු අවස්ථාව)

Love Truly නාට්‍යයේ 32 වන කොටසේ යූ බොං-සූන්ගේ මව (මෙය නිරූපණ‍ය කළේ ගුම් බෝ-රා විසිනි) දේ ජං-ගුම් නරඹමින් සිටී. ඇය දේ ජං-ගුම්හි චංගුමිගේ නැන්දණිය වූ නා ජූ-දේක්ගේ චරිතය නිරූපණය කළා ය.

Who Are You නාට්‍යයේ 9වන කොටසේ දේ ජං-ගුම් නාට්‍යයේ ‍විශාල පෝස්ටරයක් ගොඩනැගිල්ලක රඳවා ති‍බෙනු පෙනේ.

තායිවාන නාට්‍යයක් වූ Silence හි දෙවන කථාංගයේ දේ ජං-ගුම් ) ප්‍රසිද්ධ කොරියානු නාට්‍යයක් බව සඳහන් කරයි. මෙහි ප්‍රධාන චරිතය පාක් ඉයුන්-හ්යේ විසින් නිරූපණය කළා ය.

Playful Kiss නම් නාට්‍යයේ 8වන කොටසේ ප්‍රධාන චරිතයේ වැරදි සූපවේද ක්‍රම පිළිබඳව විරෝධය දක්වමින් දේ ජං-ගුම් පිළිබඳ සඳහන් කරයි.

2007 දී තිරගත වූ “යි සන්” කථාමාලාවේ අවසාන කොටසේ දී ලී ඉප්-සේ විසින් රගපෑ චර්තයේ ඇය හා ඇගේ මිතුරිය රාජකීය මුළුතැන්ගෙයි සිටින අවස්ථාවක් ඇති අතර ඔවුන් තම පෙර ආත්මයේදී මුළුතැන්ගෙයි සේවය කළ බව ඔවුනට හැගේ. මෙම කථා‍ව තේ චංගුමී ජීවත් වූ අවධියට සියවස් දෙකකට පමණ පසු සිදු වූවකි. ඒ වන විට ලී ඉප්-සේ මෙම සමාගම හා මෙම අධ්‍යක්ෂකවරයා අතින් ම නිර්මාණය වූ දේ ජං-ගුම් නාට්‍යයේ ද චරිතයක් (යූන් යොං-රෝ) නිරූපණය කර තිබිණි.

සංගීත සංදර්ශන[සංස්කරණය]

2007දී දේ ජං-ගුම් නාට්‍යය ඇසුරෙන් නිපද වූ "ද ග්‍රේට් ජංගුම්" නම් සංගීත සංදර්ශනය සෝල් කලා මධ්‍යස්ථානයේ දී මැයි 26 සිට ජූනි 16දක්වා වේදිකාගත විය. කථාව ගලාගෙන යන පරිදි කොටස් 54කින් යුත් නාට්‍යයේ කථා පුවත පැය දෙක හමාරක සංයුක්ත බටහිර වාද්‍ය වෘන්දයක් මගින් ඉදිරිපත් කළ අතර සම්ප්‍රදායික කොරියානු නර්තන කණ්ඩායමක් ඊට නර්තනයෙන් දායක විය. මනස්කාන්ත එකිනෙකට වෙනස් කොරියානු සම්ප්‍රදායික වස්ත්‍රාභරණයන් වේදිකාව වර්ණවත් කළේ ය. මෙහි ගීත 40ක් වූ අතර ඒ සියල්ල රචනා කරන ලද්දේ චෝ සුං-වූ (Cho Sung-woo) විසිනි. එය ඔහු සංගීත ප්‍රසංග සදහා පසුබිම් ගීත ලියූ ප්‍රථම අවස්ථාව විය. [31][32][33]

2008 සැප්තැම්බර් 5-30 දිනවල මෙම ප්‍රසංගය නැවත වේදිකාගත වූයේ ග්යොංහුයි මාලිගයේ සුංජොන් ශාලාවේදී ය. මෙහි සත්කාරකත්වය සෝල් කලා පදනම සහ සෝල් නාගරික දෙපාර්තමේන්තුව විසින් දරන ලදී [34]

වෙනත් නිර්මාණ[සංස්කරණය]

දේ ජං-ගුම් ඇතුළත් කාටූනයක් නිර්මාණය විය. Jang Geum's Dream (චංගුමීගේ සිහිනය) නම් එය මගින් චංගුමීගේ කුඩා කාලයේ සිද්ධීන් නිරූපණය කර ඇත. [35]

දෙවන කොටස[සංස්කරණය]

2012 සැප්තැම්බර් මස MBC ආයතනය නිවේදනය කළේ තමන් විසින් “දේ ජං-ගුම් 2” නම් මෙ නාට්‍යයේ දෙවන කොටස නිර්මාණයට සැලසුම් කර ඇති බවයි..[36][37][38] 2013දී MBC ආයතනයේ සභාපතිවරයා වූ කිම් ජොං-ගුක් සෝල් සංස්කෘතික සබදතා සංසදයේදී ප්‍රකාශ කළේ තමන් 2015 වර්ෂයේ පළමු භාගයේ මෙම නාට්‍යය නිර්මාණය අරඹන බවයි. [1][39][40][41]

2014 මාර්තු මසදී තිරපිටපත් රචක කිම් යොං-හ්යුන් පැවසූයේ මෙම නාට්‍යයේ දෙවන කොටස 2014ඔක්තෝබර් මසදී විකාශය වනු ඇති බවත් 2006දී රංගනයෙන් විශ්‍රාම ගත් ප්‍රකට රංගන ශිල්පිනී ලී යොං-ඒ මෙම නාට්‍යය සදහා නැවත දායකවීම පිළිබද යහපත් ප්‍රතිචාර දක්වනු ඇති බවත් ය. [42] කිම්ගේ සාරාංශයට අනුව චංගුමීගේ සැමියා මියයන අතර ඇගේ දියණියව චීනය වෙත පැහැරගෙන යනු ලබයි. චංගුමී ඇයව සෙවීමට මහන්සි වෙයි. මෙම කථාවේ මුල්අර්ධය මගින් ඇය චීනය වෙත යන ගමන නිරූපණය වේ. නමුත් කිසිදු ප්‍රතිඵලයකින් තොරව නැවතත් නිවස වෙත පැමිණෙන අතර ඇය නැවතත් කුඩා දරුවකුහට වෛද්‍ය ශිල්පය උගන්වයි. එහිදී චංගුමී ඉගැන්වීමට තෝරාගන්නේ ගියුම්-යොංගේ දියණියවයි. [2] ලී යොං-ඒ මෙම දෙවන නාට්‍යයේ රගපෑමට අකමැති වූවා ය. ජොං යූ-මි නම් නිළිය මෙහි චංගුමී චරිතය නිරූපණය කරයි.

සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 "Daejanggeum II to be produced". The Korea Times. 8 January 2014.
  2. 2.0 2.1 Yang, Sung-hee (22 March 2014). "Lee Young-ae could return to iconic series". Korea JoongAng Daily.
  3. Hua, Vanessa (31 August 2005). "Japanese soaps cleaning up". Asia Times.
  4. "10 Years On, Lee Young-ae Looks Back at Jewel in the Palace". The Chosun Ilbo. 14 September 2013.
  5. "මුළුතැන්ගෙයි ප්‍රධාන පාලිකා තනතුර” (චෝයි-ගො සංගුං) යනු 5වන ජ්‍යෙෂ්ඨ මට්ටමේ පාලිකා (පරිවාර කාන්තා) තනතුරක් විය. එය මාලිගයේ සේවය කළ කාන්තාවක ඉසිලූ උසස්ම තනතුර විය.
  6. කොරියානු රාජවංශ යුගයේදී ස්ත්‍රිය රක්ෂාව ඇතුළු හැම අංශයකින්ම පුරුෂයන්ට වඩා පහත් ලෙස සැලකිණි. යොන්සන්ගුන් රජසමයේ කාන්තා වෙදැදුරුවරියන්හට (මෙම ලිපිය තුළ “හෙදියන්” - උයින්යෝ ලෙස හදුන්වා ඇත ) වෛශ්‍යාවන් මෙන් සැලකූ අතර ඔවුන් මාලිගයේ සේවය කළ කාන්තාවන් අතරින් නිලයෙන් පහත්ම කාන්තාවන් විය.
  7. ජේ-ජො සංගුං තනතුර යනු 5වන මට්ටමේ කාන්තාවක් විසින් දරන ලද ඉහළම තනතුරයි. ඇය මාලිගයේ සේවය කළ සියලු කාන්තාවන් මෙහෙයවූවා ය.
  8. සූක්-ඊ රජුගේ උපබිසෝවරුන් අතර පහළම ස්ථානයයි. එය 8වන කනිෂ්ඨ මට්ටමට අයත් විය.
  9. කොරියානු රජය මට්ටම් නවයේ පද්ධතියකින් යුක්ත විය.
  10. සත්‍ය වශයෙන්ම සැත්කම් කොරියාවට හදුන්වාදුන‍්නේ 1884දී එක්සත් ජනපදයේ ප්‍රෙස්බිටීරියන් මිෂනාරිවරුන් විසිනි. ලිපිය නරඹන්න [1].
  11. ඇය විසින් ඇයගේ පුත්‍රයාගේ නාමය යටතේ මියයන තෙක්ම රාජ්‍යය අවුරුදු 12ක් පාලනය කළා ය.
  12. Lyrics, http://service.joins.com/asp/article.asp?aid=2061069, ප්‍රතිෂ්ඨාපනය 2015-12-19 
  13. දේ ජං-ගුම් ආරම්භක වාදනය, වෛද්‍යකර්මය පුහුණුවීමේ තේමා ගීතය සහ නැවත මාලිගයට පැමිණීම හැගවෙයි.
  14. Kim, Tae-geun (29 December 2003). "TV Dramas' Actresses Line up for Award Ceremony Takeover". The Chosun Ilbo.
  15. 15.0 15.1 "Overseas Press to Participate in the Hallyu Promotion Event" සංරක්ෂණය කළ පිටපත 2007-04-21 at the Wayback Machine at the Korea Tourism Organization website. 10 October 2005.
  16. Kositchotethana, Boonsong (11January 2006). "A lesson from South Korea". Bangkok Post. {{cite web}}: Check date values in: |date= (help)
  17. "Chinese Mainland in Thrall to Daejanggeum". The Chosun Ilbo. 30 September 2005.
  18. Coonan, Clifford (13 April 2007). "Reality TV pits networks against government". Variety.
  19. "Planting new high in bilateral ties". China Daily. 27 August 2008.
  20. "China leaders' top secretly-screened foreign film picks". China Times. 15 October 2013. {{cite web}}: line feed character in |title= at position 51 (help)
  21. "Korean Hit TV Drama Daejanggeum Sweeps Japan". The Chosun Ilbo. 31 October 2005.
  22. Salanga, Elias Isabelo (16 January 2008). "Top Asianovelas since the year 2002". Philippine Entertainment Portal. 2009-02-21 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  23. http://www.aftab.ir/articles/art_culture/TV/c5c1181723876_television_p1.php
  24. بر اساس آخرین نتایج بررسی تحقیقات صدا و سیما، «جواهری در قصر» با 57 درصد مخاطب و 92 درصد رضایت درصدر پرمخاطب ترین سریال های پخش شده در اردیبهشت ماه قرار دارد. روزنامه جام جم، 31 خرداد 1386، صفحه 3
  25. "Korean Drama to Debut in Europe". (The Chosun Ilbo). 14 January 2008.
  26. http://showdjgonbbc.blogspot.com/
  27. Lee, Hyo-won (20 March 2008). "Vive La Korean Food! Hallyu Revitalizes Culinary Tradition". The Korea Times.
  28. Michot, Alexandra (3 November 2007). "Slow food à Séoul". Madame Figaro (French බසින්). {{cite web}}: Unknown parameter |trans_title= ignored (|trans-title= suggested) (help)CS1 maint: unrecognized language (link)
  29. "French Discover Korean Cuisine". The Chosun Ilbo. 5 November 2007.
  30. "Lecture: Korean Royal Cuisine in Korean Drama, Jewel in the palace". Korean Cultural Service NY. 27 May 2010. {{cite web}}: line feed character in |work= at position 8 (help)
  31. "Daejanggeum Musical to Debut on Stage This Year". The Chosun Ilbo. 6 February 2007.
  32. Cho, Chung-un (7 February 2007). "Musical Great Janggeum unveiled". The Korea Herald. {{cite web}}: line feed character in |work= at position 6 (help)
  33. Lee, Woo-young (31 May 2007). "MUSICAL REVIEW: Great Janggeum offers a feast with unfilled dishes". The Korea Herald.
  34. Chung, Ah-young (21 August 2008). "Royal Palaces Open Wide". The Korea Times.
  35. "Daejanggeum Week Draws Diehard Fans". The Chosun Ilbo. 31 Mau 2007. {{cite web}}: Check date values in: |date= (help)
  36. "MBC to make sequel to popular TV drama Daejanggeum". The Korea Times. 17 September 2012.
  37. "MBC to make sequel to popular TV drama Daejanggeum". The Korea Herald. 17 September 2012.
  38. Sunwoo, Carla (19 September 2012). "MBC plans Dae Jang Geum sequel". Korea JoongAng Daily.
  39. "MBC president plans to produce sequel to Daejanggeum in 2015". en:Wikipedia:The Korea Herald. 18 October 2013. {{cite web}}: line feed character in |work= at position 20 (help)
  40. Kim, Peter (18 October 2013). "Sequel to Jewel in the Palace set for 2015". The Korea Observer. 19 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 December 2015.
  41. Chung, Ah-young (10 January 2014). "Epic dramas to rule small screen in 2014". The Korea Times.
  42. "Jewel in the Palace Sequel in the Works". The Chosun Ilbo. 21 March 2014.

මෙයත් නරඹන්න[සංස්කරණය]

බාහිර සබැදුම්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දේ_ජං_ගුම්&oldid=653567#රංගනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි