Jump to content

ජෝසුන්හි යොන්සන්ගුන් රජ

විකිපීඩියා වෙතින්
යි යුං
ජොසොන්හි රජ
රාජ්‍ය සමය20 ජනවාරි 1494 – 2 සැප්තැම්බර් 1506
පූර්වප්‍රාප්තිකයාසොං‍ජොං (යි හ්යොල්)
අනුප්‍රාප්තිකයාජුංජොං (යි යොක්)
උපත23 නොවැම්බර් 1476
මරණය20 නොවැම්බර් 1506 (29 වියැති)
බිසවමුන්සොං වල්ලභ කුමරිය
මරණාපර නාමය
කොරියාවේ මහා හොන්චොන් හොංදෝ ග්යුංමුන් විමු රජ
헌천홍도경문위무대왕
憲天弘道經文緯武大王
වංශයජොන්ජු යි
පියාසොංජොං (යි හ්යොල්)
මවජෙහොන්, බලයෙන් පහකළ අගබිසව
ජෝසුන්හි යොන්සන්ගුන් රජ
හංගුල්
හන්ජා
ප්‍රතිශෝධිත රෝමානුකරණයයොන්සන්-ගුන්
මැකූන්–‍රයිෂවර්යෝන්සන්'ගුන්
උපන් නාමය
හංගුල්
හන්ජා
ප්‍රතිශෝධිත රෝමානුකරණයඉ යුං
මැකූන්–‍රයිෂවර්යි යුං

යොන්සන්-ගුන් (23 නොවැම්බර් 1476 – 20 නොවැම්බර් 1506, රාජ්‍ය. 1494–1506), හෙවත් යි යුං යන උපන් නාමයෙන් හැඳින්වෙන්නේ කොරියාවේ ජොසොන් රාජවංශයේ 10වන පාලකයායි. ඔහු සොංජොං රජුට දාව ඔහුගේ දෙවන බිරිඳ වූ යූන් ආර්යාවට උපන් වැඩිමහල් පුත්‍රයා විය. ජොසොන් රාජවංශයේ ක්‍රෑරම සහ අයහපත්ම රජු ලෙස සැලකෙන්නේ යොන්සන්ගුන් ය. සොන්බි වංශවතුන් වෙත දියත් කළ ලේ පිපාසිත විරේචන ද්විත්වයක් හේතුවෙන් ඔහු කුප්‍රකට වී ඇත. විවිධ පළාත්වලින් ගෙන්වා ගත් කාන්තාවන් දහසක් පමණ මාලිග විනෝදය සපයන්නියන් ලෙස යොදා ගත් ඔහු, සොංග්‍යුංග්වාන් අධ්‍යයන ශාලාව සිය පෞද්ගලික විනෝද භූමියක් බවට පත්කොට ගත්තේ ය. පසුව සිහසුනෙන් නෙරපන ලදුව යොන්සන්-ගුන්හට විහාර නාමයක් ප්‍රදානය නොකෙරිණි.

ඔහුගේ මවගේ දඬුවම

[සංස්කරණය]

සොංජොං රජුගේ පළමු බිරිඳ වූ ගොංහ්යේ අගබිසවගේ මරණය තෙක් යොන්සන් කුමරුගේ මව වූ යූන් ආර්යාව හෙවත් බලයෙන් පහකළ යුන් අගබිසව රජුගේ උපබිසවක් ලෙස කටයුතු කළා ය. රජුට පුරුෂ උරුමකරුවකු නොවූ හෙයින්, රාජකීය අනුප්‍රාප්තිය සුරක්ෂිත කිරීමට දෙවන බිරිඳක් පත් කරගන්නා මෙන් උපදේශකවරු රජුට දැන්වූහ. රූමත් තැනැත්තියක වූ යුන් ආර්යාව 1476දී චාරිත්‍රානුකූලව විවාහ කරගැනිණි. මාස කිහිපයකට පසු ඇය සිය ප්‍රථම පුත්‍රයා වූ යි යුං හට උපත දුන් අතර, පසුකලෙක ඔහු යොන්සන් කුමරු නම් විය. මාලිගය තුළ විසූ සොංජොංගේ උපබිසෝවරුන් කෙරෙහි දැඩි ඊර්ෂ්‍යාවෙන් පෙළුණු මේ නව අගබිසව ඉන් එක් අයකුට 1477දී වස ලබාදුන්නා ය. 1479දී, එක් රාත්‍රියක ඇය සොංජොංගේ මුහුණ සූරා තුවාල කැලැල් ඇතිකළා ය. සිය තුවාලය වසන් කිරීමට රජු තැත්කළ ද, සොංජොංගේ මව වූ ඉන්සූ මහා බිසව සත්‍යය දැනගෙන යූන් ආර්යාව පිටුවහල් කරන්නට අණදුන්නා ය. බලයෙන් පහකළ යුන් අගබිසව සිය තනතුර යළි ප්‍රතිෂ්ඨාපනයට ප්‍රකට උත්සාහයන් කිහිපයක් දැරූ මුත්, අවසානයේ රාජ්‍ය නිලධාරීහු ඇයට වස ලබා දී මරණයට පත්කරන මෙන් පෙත්සම් යැවූහ. අවසානයේ ඇයට වස දී මරණයට පත්කෙරිණි.

ශෝධන ද්විත්වය

[සංස්කරණය]

කිරුළහිමි කුමරු ක්‍ර‍මයෙන් වැඩුණු අතර 1494දී සොංජොං රජුගෙන් පසු ඔහු රජකමට පත් විය. සිය රාජ්‍ය සමයේ මුල්කාලයේ ඔහු ඥානාන්විත දක්ෂ පාලකයකු ලෙස කටයුතු කරමින් රාජ්‍ය ආරක්ෂාව සහතික කළ අතර, දුගී ජනයාට උපකාර කළේ ය. කෙසේනමුත් රජකමට පත්ව නොබෝ දිනකින්, ඔහු සිය ගුරුවරයකු වූ ජෝ සා-සෝ මරණයට පත්කිරීමත් සමග ඔහුගේ සැහැසි ගති ඉස්මතු වන්නට විය. සිය සැබෑ මවට සිදු වූ දෙය පිළිබඳ ක්‍රමයෙන් වටහාගත් ඔහු මරණාපරව ඇගේ පදවිය සහ තනතුරු ප්‍රතිෂ්ඨාපනයට උත්සාහ දැරී ය. සරිම් දේශපාලන පක්ෂයේ නිලධාරීහු සොංජොං රජුගේ කැමැත්තට විරුද්ධව ක්‍රියාකළ යොන්සන්ගුන්ගේ උත්සාහයන් කෙරෙහි විරුද්ධත්වය පලකළහ. ඔවුන් කෙරෙහි අප්‍රසාදය පලකළ යොන්සන්ගුන් එම නිලධාරීන්ව ඉවත් කිරීමට කල්පනා කළේ ය. 1498දී, කිම් ජොං-ජික්ගේ ශිෂ්‍යයකු වූ කිම් ඉල් සොන් විසින් 1455දී සේජෝ රජු‍ගේ සිහසුන පැහැර ගැනීම පිළිබඳ විවේචනාත්මක ඡේදයක් රාජකීය වාර්තාවට ඇතුළු කළේ ය. බොහෝ සරිම් නිලධාරීන්ට දඬුවම් පැමිණවීමට මෙය අවස්ථාවක් කොටගත් යොන්සන්ගුන් කිම් ඉල් සොන් ඇතුළු කිම් ජොං-ජික්ගේ අනුගාමිකයන්ට රාජද්‍රෝහී චෝදනා එල්ල‍කොට මරණ දඬුවම නියම කළේ ය.‍[1] අනතුරුව කිම් ජොං-ජික්ගේ ශේෂයන් අංගච්ඡේදනය කරන ලදී.[2] මෙය පළමු වියත් ශෝධනය (무오사화 戊午士禍) ලෙස හඳුන්වයි.

1504දී, ඉම් සො-හොං විසින් යොන්සන්ගුන්ට ඔහුගේ මවගේ මරණය සම්බන්ධ තොරතුරු හෙළිකළ අතර, ඇය විසින් වස පානය කළ පසු වමනය කළ රුධිරය සහිත රෙදි කඩක් ඔහු පෙන්වී ය.[3] ඉන් මඳ කලකට පසු 1504 මාර්තු 20 දින, සිය මවගේ මරණයට දායක වූයේ යැයි පැවසුණු සිය පියාගේ උපබිසෝවරුන් දෙදෙනකු වූ ජොං සහ ඉයොම් ග්වයිඉන්වරියන් දෙදෙනකුට හිංසා කොට මරණයට පත්කරන ලදී. යොන්සන්ගුන්ගේ මිත්තණිය වූ මහා ඉන්සු රැජින හෙවත් සෝහ්යේ අගබිසව යොන්සන්ගුන් සමග ආරවුලක පැටලීමෙන් පසු මියගියා ය. සිය මවගේ දඬුවමට සහාය දුන් රාජ්‍ය නිලධාරීන් රැසකට දඬුවම් කළ රජු සිය මව මරණාපරව ජෙහොන් අගබිසව ලෙස නම්කළේ ය. එසේම ඔහු හන් මියොං-හොයිගේ සොහොන විවෘත කර එහි මෘතදේහයේ හිස වෙන්කිරීමට නියෝග කළේ ය. එපමණක් නොව එම සිදුවීම සිදු වූ සමයේ රාජ මාලිගයේ සිටි සුළු නිලධාරීන්ට පවා ඔහු දඬුවම් කළේ ය.[4] මේ අතර, ඉම් ‍සා-හොංට උසස්වීමක් පිරිනැමුණු අතර, ඔහුගේ හිත මිත්‍රාදීන්ට වැදගත් කාර්යාලවල තනතුරු සහ ත්‍යාග පිරිනැමිණි.[5] මෙම සිදුවීම දෙවන වියත් ශෝධනය (갑자사화 甲子士禍) ලෙස හඳුන්වයි.

කතා කිරීමේ සහ ඉගෙනීමේ අයිතිය මැඬලීම

[සංස්කරණය]

සොංග්යොංග්වාන් රාජකීය විශ්වවිද්‍යාලය මෙන්ම වොන්ගක්-සා විහාරය වසා දැමූ යොන්සන්ගුන් එම ස්ථාන සිය පෞද්ගලික විනෝද භූමිය කොටගත්තේ ය. අනතුරුව කොරියානු අර්ධද්වීපයේ විවිධ ප්‍රදේශවලින් ගෙන්වාගත් තරුණියන් සහ අශ්වයන් එහි රැස්කර තැබී ය. ඔහු එම ස්ථානයේ පෞද්ගලික වෛශ්‍යාගාරයක් ඉදිකිරීමට අදහස් කළේ ය.[6] ඔහු අගනුවර විශාල ජනාවාස ප්‍රදේශයක් සහ එහි වූ ජනාවාස 20,000ක් සමග ඉවත් කර දැමූයේ දඩයම් භූමියක් ඉදිකිරීම සඳහායි.[7] එසේම ඔහු මෙම ව්‍යාපෘතිවල සේවය කිරීමට බලෙන් මිනිසුන් බඳවා ගත්තේ ය. බොහෝ සාමාන්‍ය ජනයා හංගුල් බසින් රචිත දැන්වීම් ආධාරයෙන් රජුට අපහාස කළහ. මේ හේතුවෙන් කෝපයට පත් වූ යොන්සන්ගුන් හංගුල් භාවිතය තහනම් කළේ ය.

අමාත්‍යවරුන් රජුගේ ක්‍රියාකලාපයට විරෝධය දක්වන විට ඔහු සමීක්ෂක කාර්යාලය (රජුගේ අයෝග්‍ය ක්‍රියාමාර්ග සහ ප්‍රතිපත්ති විවේචනය සඳහා වූ) සහ හොංමූග්වන් (රජුට කොන්ෆියුසියානු ඉගැන්වීම් ආධාරයෙන් උපදෙස් සැපයූ පුස්තකාලය සහ පර්යේෂණ මධ්‍යස්ථානය) ආයතනය අවලංගු කළේ ය.[8] ඔහු ඇමතිවරුනට ලාංඡනයක් පළඳන ලෙස නියෝග කළේ ය. එම ලාංඡනයේ සඳහන් වූයේ: "ආපදා ගෙනෙන ද්වාරයකි මුඛය; දිව යනු ගෙල සිඳින අසිපතකි. මුඛය වැසී දිව පත්ළෙහි ඇති කල සිරුර සාමයෙහි පවතීවි." (口是禍之門 舌是斬身刀 閉口深藏舌 安身處處牢) යනුවෙනි.[9] රජුන් තිදෙනකු යටතේ සේවය කළ ප්‍රධාන පණ්ඩක කිම් චෝ-සුන්, යොන්සන්ගුන්ට ඔහුගේ ක්‍රම වෙනස් කරන ලෙස අයැද සිටි අවස්ථාවේ, යොන්සන්ගුන් ඔහුට හීවලින් විද මරණයට පත්කළ අතර, ඔහුගේ බාහු කපා දැමී ය. මීට අමතරව යොන්සන්ගුන් හත්වන මට්ටම දක්වා ඔහුගේ ඥාතීන්ට දඬුවම් පැමිණවී ය. යොන්සන්ගුන් රාජකීය ලේකම්වරුන්ගෙන් මෙම දඬුවම යෝග්‍ය දැයි විමසූ විට ඔවුන් එයට විරුද්ධව කිසිවක් පැවසීමට තරම් නිර්භය වූයේ නැත.[10] තමන් විසින් වත්කළ පානයක් විසිරීමට සැලැස්වීම හේතුවෙන් ඔහු චාරිත්‍ර අමාත්‍යවරයාව පිටුවහල් කළේ ය.

ඔහුගේ පියාගේ නිදහස් පාලන සමය හා සැසඳීමේ දී, අතිශය දරදඬු පාලනයක් වූ යොන්සන්ගුන්ගේ ආඥාදායක පාලනය හමුවේ ජනයා බියට පත් විය.

සිහසුනෙන් නෙරපීම

[සංස්කරණය]

1506දී, එනම් යොන්සන් රජුගේ 12වන වර්ෂයේ දී, නිලධාරීන් කණ්ඩායමක් විසින් – විශේෂයෙන්ම පාක් වොන්-ජොං,[a] සොං හුයි-ආන්, යූ සූන්-ජොං සහ හොං ග්යොං-ජු[b] මෙම ආඥාදායක පාලකයාට එරෙහිව සැලැස්මක් දියත් කරන ලදී. ඔවුහු 1506 සැප්තැම්බර් 2 දින කුමන්ත්‍රණයක් දියත් කොට රජුව සිහසුනෙන් නෙරපා ඔහුගේ අර්ධ-සොයුරු ජින්සොං ප්‍රධාන කුමරුන්ව සිහසුනට පත්කළහ. අනතුරුව යොන්සන් රජුව, කුමාර තනතුර දක්වා පහත හෙළන ලදී. අනතුරුව ඔහුව ගංහ්වාදෝ දිවයිනට පිටුවහල් කෙරුණු අතර, එම වර්ෂයේම සති කිහිපයකට පසු ඔහු මියගියේ ය.[7] යොන්සන්ගුන්ගේ සැහැසි පාලනයට අනුබල දුන් අතිශය රූමත් ජං නොක්-සු උපබිසවගේ හිස ගසා දැමුණු අතර, යොන්සන්ගුන්ගේ ළදරු පුතුන්ව ද මරා දමන ලදී.

  • පියා: සොංජොං රජු (성종)
  • මව: හමන් යුන් වංශයේ ජෙහොන් අගබිසව[11] (제헌왕후 윤씨)
  • බිසෝවරුන්:
  1. ෂින් වංශයේ මුන්සොං වල්ලභ කුමරිය[12][13] (거창군부인 신씨, 1472–1537)
    1. බලයෙන් පහකළ අනුප්‍රාප්තික කුමරු (폐세자)
    2. ප්‍රධාන කුමාර චංන්‍යොං (창녕대군)
    3. දොන්සු කුමරිය (돈수옹주)
  2. ජෝ වංශයේ බලයෙන් පහකළ රාජකීය වංශවත් බිසව (폐빈 조씨)
  3. ජොන් සුක්-යොං (숙용 전씨)
  4. කිම් සුක්-වොන් (숙원 김씨)
  5. ලී සුක්-උයි (숙의 이씨)[14]
    1. යංප්යොං කුමරු (양평군)
    2. යි දොන්-සූ කුමරු (왕자 이돈수)
    3. දියණියක්
  6. සුක්-යොං, ජං නොක්-සු (숙용 장녹수, ?–1506) [15][16]
    1. දියණියක්
  7. වූ සුක්-යොං (숙용 우씨)[17]
  • දරුවන් නැත

ඔහුගේ ප්‍රශංසාත්මක මරණාපර නාමය

[සංස්කරණය]
  • කොරියාවේ මහා හොන්චොන් හොංදෝ ග්යුංමුන් විමු රජ
  • 헌천홍도경문위무대왕
  • 憲天弘道經文緯武大王

මාධ්‍ය තුළ

[සංස්කරණය]
  • ඔහු සහ ඔහුගේ ප්‍රියතම උපබිසව වූ ජං නොක්-සු වටා ගෙතුණු, ජං නොක්-සු නැමැති රූපවාහිනී කතාමාලාව තුළ ඔහුගේ චරිතය දක්නට ලැබෙයි. ජං නොක්-සු කොරියානු ඉතිහාසයේ වඩාත් කුප්‍රකට රූමතියන් අතුරින් අයකු යැයි සැලකේ. යොන්සන්ගුන් බලයෙන් පහකළ පසු ඇගේ හිස ගසා දැමෙයි.
  • වුමන් ඔෆ් ද වර්ල්ඩ් (මෙහි ප්‍රධාන චරිතය ඔහුගේ අර්ධ සොයුරාගේ තෙවන බිසව සහ ඇගේ 2වන නෑනණ්ඩියයි) නැමැති කතාමාලාවේ පළමු කතාංගයේ පළමු දර්ශනයන්හි යොන්සන් කුමරුට එරෙහි කුමන්ත්‍රණය දැකගත හැක. මෙහි ඔහුව නිරූපණය කොට ඇත්තේ නොමග ගිය, වියරු රජකු ලෙසයි. ඇතැම් අවස්ථාවන්හි ඔහු සිහිමඳව බිම ඇදවැටෙනු ද නිරූපිත ය.
  • දේ ජං ගුම් නැමැති රූපවාහිනී කතාමාලාව තුළ කොරියාවේ සිටි දුෂ්ටම රජු ලෙස ඔහුව දක්වා ඇත.
  • 2005දී විකාශය වූ චිත්‍රපටයක් වන කිං ඇන්ඩ් ද ක්ලවුන්[18] තුළ යොන්සන්ගුන් වෙනස්ම අයුරකින් නිරූපිත ය. (ඇතැම්විට හැඟීම් රජකු ලෙසත්, බොළඳ රජමාලිග විකටයකු ලෙසත් නිරූපිත ය) මෙහි බලයෙන් පහකළ යුන් අගබිසවගේ කතාව ද අන්තර්ගත වන අතර, එහි වැන්දඹු ඉන්සු රැජින සහ යුන් රැජිනගේ සැමියාගේ ඊර්ෂ්‍යාකාර උපබිසෝවරුන් දෙදෙනකුගේ කුමන්ත්‍රණයකට ඇය මැදි වන අයුරු නිරූපිත ය.
  • ඔහුගේ චරිතය 2008 රූපවාහිනී කතාමාලාවක් වූ ද කිං ඇන්ඩ් අයිහි අවසන් කතාංග තුළ ද ඔහුගේ චරිතය දක්නට ඇත.
  • 2011 රූපවාහිනී කතාමාලාවක් වූ ක්වීන් ඉන්සූහි අවසන් කතාංග 5 තුළ යොන්සන්ගුන් දක්නට ලැබෙයි.
  • 2015 චිත්‍රපටයක් වූ ද ට්‍රෙච්රස් තුළ ද ඔහු නිරූපිත ය.

මේවාත් බලන්න

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]
  1. ^ ඔහුගේ හදාගත් දියණිය (පාක් සූ-රිම්ගේ ජීව විද්‍යාත්මක දියණිය) ප්‍රධාන ජින්සොං කුමරුගේ (අනාගත ජුංජොං රජු) රාජකීය වංශවත් ග්යොං උපබිසව බවට පත් වේ.
  2. ^ ඔහුගේ දියණිය ජින්සොං ප්‍රධාන කුමරුගේ (අනාගත ජුංජොං රජ) රාජකීය වංශවත් හුයි උපබිසව බවට පත් වේ.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ සැකිල්ල:Pl icon ජොඇනා රුරාර්ස් (2009). Historia Korei. ඩයලොග්. ISBN 978-83-89899-28-6. පි.234
  2. ^ නැගෙනහිර ආසියානු සංස්කෘතිය අනුව, මරණින් මතු ආත්මයට පුනරුත්පත්තිය ලැබීමට මෘතදේහය සම්පූර්ණ එකක් විය යුතු විය. මෘතදේහයේ අංග වෙන්කිරීම මෙලොව මෙන්ම පරලොව සඳහා ද දුන් දඬුවමකැයි ඔවුහු විශ්වාස කළහ.
  3. ^ සැකිල්ල:Pl icon ජොඇනා රුරාර්ස් (2009). Historia Korei. ඩයලොග්. ISBN 978-83-89899-28-6. පි.234-235
  4. ^ සැකිල්ල:Pl icon ජොඇනා රුරාර්ස් (2009). Historia Korei. ඩයලොග්. ISBN 978-83-89899-28-6. පි.234-235
  5. ^ සැකිල්ල:Pl icon ජොඇනා රුරාර්ස් (2009). Historia Korei. ඩයලොග්. ISBN 978-83-89899-28-6. පි.234-235
  6. ^ රුරාර්ස්, ජොඇනා (2009). Historia Korei [කොරියාවේ ඉතිහාසය] (පෝලන්ත බසින්). ඩයලොග්. pp. 234–35. ISBN 978-83-89899-28-6.
  7. ^ a b රුරාර්ස් 2009, පිටු අංකය: 234–35.
  8. ^ වාර්ෂික වාර්තා, ජූලි 14, 1506
  9. ^ "연산 52권, 10년(1504 갑자 / 명 홍치(弘治) 17년) 3월 13일(갑술) 8번째기사". ජොසොන් රාජවංශයේ වාර්ෂික වාර්තා (කොරියානු බසින්). කොරියානු ඉතිහාසය පිළිබඳ ජාතික ආයතනය. සම්ප්‍රවේශය 2015-12-09.
  10. ^ වාර්ෂික වාර්තා, අප්‍රේල් 1, 1505
  11. ^ ජෙහොන් යනු මරණාපර නාමයකි. ඇයව සිය පුතු සමයේ හැඳින්වුණේ "බලයෙන් පහකළ යුන් අගබිසව" යනුවෙනි.
  12. ^ ෂින් ස්‍යුං-සොන්ගේ දියණියයි. ෂින් සු-ග්‍යුන්ගේ නැගණියයි.
  13. ^ පසුව ඇයව හැඳින්වුණේ "බලයෙන් පහකළ ෂින් අගබිසව" (폐비신씨) යනුවෙනි
  14. ^ ලී ගොං ගේ දියණියයි.
  15. ^ ජං හන්-පිල්ගේ දියණියයි. ජං බොක්-සූගේ නැගණියයි.
  16. ^ යොන්සන් කුමරුගේ උපබිසවක වීමට පෙර ඇය ජීන් ප්‍රධාන කුමරුගේ නිවසේ වහල් සේවිකාවක විය.
  17. ^ වූ ‍බූ-රිගේ දියණියයි.
  18. ^ "ඊ-ඇනල්ස් බ්‍රිං චෝසුන් හිස්ට්‍රි ටු එව්රිමෑන්". චෝසුන් ඉල්බෝ. 27 ජනවාරි 2006. සම්ප්‍රවේශය 16 ඔක්තෝබර් 2012.
ජෝසුන්හි යොන්සන්ගුන් රජ
උපත: 1476 මරණය: 1506
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
සොංජොං
ජොසොන්හි රජ
1494–1506
අනුප්‍රාප්තික
ජුංජොං