ගුංන්යෝ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ගුංන්යෝ
කොළපැහැ දංගුයි වස්ත්‍රයෙන් සහ නිල් පැහැ චිමාවිශාල සායෙන් සැරසුණු ගුංන්යෝ නිරූපිකාවන්
කොරියානු නම
හංගුල්궁녀
හංජා
සංශෝධිත රොමානුකරණයගුංන්යෝ
මෙකන්–රයිෂවර්කුංන්යෝ

ගුංන්යෝ (සාහිත්‍යමය "මාලිග ස්ත්‍රීන්")[1] යනු සම්ප්‍රදායික කොරියානු සමාජයේ රජු සහ අනෙක් රාජකීයයන් වෙනුවෙන් නැවතී සිට සේවය සලසනු ලැබූ කාන්තාවන් සඳහා යොදන කොරියානු වදනකි. මෙය "ගුංජුංයෝග්වන්" යන වදනෙහි කෙටි යෙදුමක් ලෙස සැලකේ. මෙහි අරුත "රාජ මාලිගයේ නිලධාරිණිය" යන්නයි.[2] ගුංන්යෝ යටතට සංගුං (මාලිග පාලිකාව)[3] සහ නාඉන් (සහායක පාලිකාවන්) යන නිලධාරිණියන් පිරිස අයත් වූහ. නමුත් පුළුල්ව මෙම වදන නාඉන් සහ සංගුංවරියන්ට අමතරව මාලිගයේ මට්ටමක් නොමැති පහත් පාන්තික ස්ත්‍රීන් වූ මුසුරි (විවිධ කාර්යයන් සඳහා සිටි පහත් සේවිකාවන්), ගක්සිමි, සොන්නිම්, උයින්යෝ (කාන්තා වෛද්‍යවරියන්) සඳහා ද භාවිතා විය.[4][5]

ස්ථාපනය[සංස්කරණය]

දේ ජං ගුම් තේමා උද්‍යානය තුළ ගුංන්යෝවරියන් සේවය කළ රාජකීය මුළුතැන්ගෙයක් ආදර්ශනය කොට ඇත.

පළමුවරට “ගුංන්යෝවරියන්” පිළිබඳ පළමුවරට සඳහන් වන්නේ ගෝර්යෝහි ඉතිහාසය පිළිබඳ වාර්තාවක් වූ ගෝර්යෝසාහි ය. ජොසොන් රාජවංශය ස්ථාපනයෙන් පසු ජෝ ජුන් (趙浚) සහ අනෙකුත් නිලධාරීන්ගේ යෝජනා මත 1392දී පළමුවරට තේජෝ රජු විසින් මෙම තනතුර ප්‍රතිෂ්ඨාපනය කරන ලදී.

1428දී මහා සේජොං විසින් නිලධාරිණියන්[6] සහ ගුංග්වන් (මාලිග නිලධාරීන්), නේග්වන් (මාලිගයේ කටයුතු භාර අභ්‍යන්තර කාර්යාල) සඳහා වර්ග කරමින් ගුංන්යෝවරියන් පරිපාලනය සවිස්තරාත්මක නීති පද්ධතියක් සකස් කළේ ය. එසේම එමගින් ඔවුන්ගේ මට්ටම්, තනතුරු, සහ සමාජ තත්ත්වය තීරණය කරන ලදී. මීට අමතරව ඔහු විසින් ග්යොංගුක් දේජොන්හි (සම්පූර්ණ නීති පද්ධතිය) ප්‍රතිශෝධන සමග සංස්ථාගත කරන ලදී.[5] ගෝර්යෝ යුගයේ ගුංන්යෝවරියන් නිසි ලෙස අර්ථ දක්වා නොතිබූ අතර ඔවුන් මාලිගයේ සේවයට පැමිණියේ කෙසේද යන්න සහ ඔවුනට පැවරුණු කාර්යයන් මොනවාද යන්න පැහැදිළි නැත. එම යුගයේ භාවිතා වූ මෙම පදය මාලිගයේ රජු සඳහා සේවය කළ සියලු ස්ත්‍රීන් සඳහා භාවිතා වී ඇත. ගෝර්යෝ සමය හා සම්බන්ධ වාර්තා අනුව, ගුංන්යෝගේ සමාජ තත්ත්වය සාමාන්‍යයෙන් සාමාන්‍ය ජන හෝ වහලුන්ගේ දියණියන්, උපභාර්යාවන් හෝ චොන්මින් (ගැරහුමට ලක්වූවන්) වැනි පහත් තත්ත්වයක් ලෙස සැලකිණි. උයිජොං රජුගේ 22වන වර්ෂයේ දී ගුංන්යෝ තනතුරු සංගුං (尙宮, මාලිග කටයුතු සංවිධානය), සංචිම් (尙寢, යහන් පිළියල කිරීම), සංසික් (尙食 ආහාර සංවිධානය), සහ වෙනත් ආකාරයක සංචිම් (尙針, මැහුම් කටයුතු සංචිධානය) ලෙස වර්ග කෙරිණි. යොඅක් නම් වූ සංගීතඥවරියන් ද ගුංන්යෝවරියන්ගේ කොටසක් ලෙස සැලකිණි.[5] ජොසොන් රාජවංශ යුගයේ දී, රජු වටා මාලිග දිවිය සංකේන්ද්‍රගත වූ නිසා මාලිග ස්ත්‍රීන් විශාල පිරිසක් බඳවා ගැනිණි. ඔවුනව මාලිගයේ දේජොන් (大殿; මහා ශාලාව[7]), නේජොන් (內殿, රාජකීය පෞද්ගලික ඇතුළු ශාලාව[8]), දේබිජොන් (මව්බිසවගේ ගෘහය), හෝ සේජාජොන් (කිරුළහිමි කුමරුගේ ගෘහය) වෙත අනුයුක්ත කරන ලදී.[5]

තෝරා ගැනීම සහ අධ්‍යාපනය[සංස්කරණය]

ග්යේචුක් ඉල්ගි නම් වූ 1613 දිනපොත

ගුංන්යෝවරියන් බඳවා ගැනීම වසරකට දසදෙනකු බැගින් සිදු විය. නමුත් මේ පිළිබඳ වෙනස් අදහස් ද ඇත; එසේම ගුංන්යෝවරියන් පත්කිරීමේ ක්‍රමවේදය සහ ඔවුන්ගේ සමාජ තත්ත්වය කාලයෙන් කාලයට වෙනස් වූ නිසා මෙය නිසි පද්ධතියකට අනුව සිදුනොවිණි. සාමාන්‍යයෙන් ගුංන්යෝවරියන් තෝරාගැනුණේ ප්‍රධාන වශයෙන්ම පාලන පක්ෂයට අයත් වහලියන් සහ සුළුවශයෙන් සංමින් (සාමාන්‍ය මට්ටමේ ජනයා) ජනයාගේ දියණිවරුන් නමුත් ඇතැම් අවස්ථාවල රජු වටා සිටි ජනයාට සාමාන්‍ය ජනයාගේ දරුවන් අතරින් ගුංන්යෝවරියන් පත්කිරීමට අවශ්‍ය වූ අතර මෙය සිදුවූයේ වයස දහයට වඩා වැඩි දියණියක් සහිත නිවෙස්වල විවාහ චාරිත්‍රයක් පැවැත්වීමෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස ග්යොංජොං රජුගේ සමයේ සිට පහත් පාන්තිකයන්ගේ දියණියන් ගුංන්යෝ ලෙද බඳවා ගැනීම තහනම් කෙරිණි. සොක්දේජොන් (ජතික නීති පද්ධතිය සඳහා ඌනපූරණය) අනුව, යොංජෝ රජුගේ සමයේ සිට සෑම රාජ්‍ය කාර්යාලයකම සිටි ඇතැම් වහල් ස්ත්‍රීන්ව ද, ගුංන්යෝ සඳහා තෝරා ගැනිණි.

"සාමාන්‍ය ගුංන්යෝ" සඳහා මෙසේ සීමා පැවතුණ ද, රජු සහ අගබිසව අසල නැවතී සිටීම (උදාහරණ ලෙස ජිමිල් නාඉන් වැනි) වැනි වැදගත් තනතුරු සඳහා පත්කළ අයුරු මීට වෙනස් විය. ජිමිල් නාඉන් තෝරාගැනීම ඉහළ අයුරින් පැවැත්වුණු අතර සංගුංවරියනට එම තනතුරට තෝරාගැනීම සඳහා අපේක්ෂිකාවන්ගේ පෞද්ගලික සම්බන්ධතා සහ පවුල් සම්ප්‍රදායයන් සොයාබැලීමට සිදු විය. සේවයේ සිටි බොහෝ ගුංන්යෝවරියන් විසින් එම තනතුර සඳහා සිය ඥාතීන් නිර්දේශ කරන ලදී. ජිමිල්, චිම්බං (මැහුම් අංශය), සහ සුබං (ගෙත්තම් අංශය) සඳහා තෝරා ගැනුණු ගුංන්යෝවරියන් චුංගින් නැමැති සමාජ පන්තියට (සාහිත්‍යමය "මධ්‍යම පන්තිය") අයත් වූ අතර සෙස්සන් බොහෝමයක් "සාමාන්‍ය පාන්තික" ස්ත්‍රීන් විය. සාමාන්‍ය ගුංන්යෝවරියක් වයස අවුරුදු දොලහ සිට දහ තුනේ දී මාලිගයට ඇතුළත් වෙයි. නමුත් ජිමිල් නාඉන් සඳහා වයස අවුරුදු හතරේ සිට අට දක්වා ද, මැහුම් සහ ගෙතුම් අංශයේ නාඉන් සඳහා අවුරුදු හයේ සිට දහතුන දක්වා වූ දැරියන් ඇතුළත් කරගන්නා ලදී.

එවැනි "පුහුණුවන ගුංන්යෝවරියක්" ගුංන්යෝවරියක බවට පත් වීම සඳහා නිසි අධ්‍යාපනයක් ලබා දීම සිදු විය. එහි දී මාලිග භාෂාව, එදිනෙදා චර්යාවන් සහ හැසිරීම්, සහ ගුංචේ ලිවීම (මාලිග-ආරේ අක්ෂර) උගන්වන ලදී. සමහර ගුංන්යෝවරියන් හංගුල් (කොරියානු වර්ණමාලාව) බසින් ලියැවුණු ගුංචේහෝ ග්යේචුක් ඉල්ගි (ග්යේචුක් වර්ෂයේ දිනපොත, 1613[9]) සහ ඉන්හ්යොන් වංඝුජොන් (ඉන්හ්යොන් අගබිසවගේ කථා) වැනි “මාලිග සාහිත්‍යයේ” විශිෂ්ට කෘති රචනාකොට ඇත.[5][10]

ගුංන්යෝ ප්‍රභේද[සංස්කරණය]

පටු අරුතින්[සංස්කරණය]

ගුංන්යෝ තනතුර සංගුං සහ නාඉන් තනතුරුවලින් වෙනස් වන්නේ එහි සමාජ තත්ත්වය සහ කාර්යයන් බෙහෙවින් වෙනස් බැවිනි. මෙහි පසුව සඳහන් කළ කාණ්ඩ නැවත ආකාර තුනකට බෙදේ; එනම් පුහුණුවන නාඉන්, නාඉන්, සහ සංගුං වේ. අත්දැකීම්, මාලිගයේ සේවා කාලය සහ අනුයුක්ත අංශය අනුව ඔවුනට වෙනස් අයුරින් සැලකිණි. නමුත් අත්දැකීම් අනුව සංගුං කාණ්ඩය ද නැවත මට්ටම්වලට බෙදුණ ද, සමාන මට්ටම්වල සංගුංවරියනට සැමවිටම සමාන සමාජ පිළිගැනීමක් හිමි නොවිණි. පුහුණුවන නාඉන් යනු ග්වල්යේ (冠 වයස් සපිරීමේ උත්සවය) පසුනොකළ දැරියකි.ඔවුනව නැවත සෙංගක්සි සහ ගක්සි ලෙස වර්ග කෙරිණි. මෙම සෙංගක්සි යන වදන එම දැරියන් සතුව පැවති සෙංමොරි නැමැති කොණ්ඩා මෝස්තරය අනුව බිහි විණි. ජිමිල්, චිම්බං, සහ සුබං යන අංශ ත්‍රිත්වය සතුව පමණක් සෙංගක්සිවරියන් සිට ඇත. මාලිගයේ වසර 15ක සේවාවෙන් පසු පුහුණුවන නාඉන්, නිල වශයෙන් නාඉන් තනතුරට පත් වේ. නාඉන්වරියෝ ජේඩ්-පැහැති දංගුයි (ජොගොරි වර්ගයකි, කෙටි සැට්ටයකි) සහ නිල් පැහැ චිමා (විශාල සායක්) යන වස්ත්‍ර පැළඳි අතර සිය හිස ගෙඹි-හැඩැති චොප්ජි (කොණ්ඩා කටුවක්) මගින් සැරසූහ.[4]

පුළුල් අරුතින්[සංස්කරණය]

ගක්සිමි යන වදන ගෘහසේවිකාවන්, මුළුතැන්ගෙයි සේවිකාවන්, මසන්නියන් හෝ සංගුංවරිය දිනයේ වැඩ නිම වී සිය පුද්ගලික නිවහනට පැමිණි පසු එහි සේවයේ යදුණු සේවිකාවන් සඳහා ව්‍යවහාර වී ඇත. ඔවුන්ගේ මාසික වැටුප රජයෙන් ගෙවනු ලැබූ අතර එනිසා ඔවුන් "බැංජා" ලෙස ද හැඳින්විණි. බැංජා යන්නෙහි අරුත රජයේ කාර්යාලයක සේවයේ නියුතු ලිපිකරුවා යන්නයි. මෙය චුන්හ්යෑංජොන්හි (චුන්හ්යෑංගේ කථාව) සඳහන් පිරිමි චරිතයට ඇමතූ බංජා යන වදනම වේ.[4] මුසුරි යන වදන මාලිගයේ විවිධ ගෘහයන්හි විවිධ කාර්යයන්හි නියැළුණු ස්ත්‍රීන් (ජලය ගෙන ඒම, ගිනි දැල්වීම, ආදී) සඳහා භාවිත විණි.[4]

සොන්නිම් යනු රජුගේ උපබිසෝවරුන්ගේ නවාතැන් භාරව කටයුතු කළ ගෘහසේවිකාවන් ප්‍රභේදයකි. ඔවුන් සාමාන්‍යයෙන් උපබිසවගේ පවුලට සම්බන්ධ පුද්ගලයන් වූ අතර ඔවුනගේ වැටුප් උපබිසවගේ ජීවන වියදම්වලින් ගෙවනු ලැබිණි. මෙම වදන මගින් මාලිගයෙන් පිටත පුද්ගලයන් නිරූපණය වූ අතර ඔවුනට මුසුරි සහ ගක්සිමි මෙන් නොව ගෞරව නාමයක් හිමි විය.[4]

උයින්යෝ යන්නෙහි සාහිත්‍යමය අරුත "වෛද්‍ය ස්ත්‍රිය" යන්න වූ අතර ඔවුහු සාමාන්‍යයෙන් කටු චිකිත්සාව උපයෝගී කරගෙන ගුංන්යෝවරියනට ප්‍රතිකාර කිරීම සහ රජුගේ අගබිසව හෝ උපබිසෝවරුන්ගේ දරු ප්‍රසූතියේ දී වින්නඹු ස්ත්‍රියක් ලෙස කටයුතු කිරීම සිදු කළහ. මාලිගයේ භෝජන සංග්‍රහ පැවැත්වෙන විට ඔවුන්ව ගිසෙංවරියන් (විනෝදය ගෙනදෙන්නියන්) ලෙස යොදා ගන්නා ලදී. එවැනි උත්සව සඳහා ඔවුහු වොන්සම් (කාන්තා උත්සව ඇඳුමක්), හ්වාග්වන් (විසිතුරු ශීර්ෂාභරණයක්) හිස සැරසීමට යොදා ගත් අතර ඇඳුමේ අත් සඳහා නාට්‍යාංගනාවන්ගේ මෙන් වර්ණවත් තීරු සහිත හන්සම් (ඇඳුමේ අත් සඳහා එකතු කළ විසිතුරු සළු) පැළඳූහ.[11][12][13] මේ නිසා ඔවුහු යක්බං ගිසෙං ලෙස හඳුන්වන ලදහ. මෙම යක්බං යන්න නේඋයිවොන් (රාජකීය සෞඛ්‍ය සායනාගාරය) සඳහා භාවිතා වූ අන්වර්ථ නාමයක් ලෙස ද සැලකෙයි. උයින්යෝවරියන් නේඋයිවොන් වෙත අනුයුක්ත කළ ද, ඔවුන්ගේ පූර්වජයන් ගිසෙංවරියෝ වූහ. උයින්යෝ පද්ධතිය මුලින්ම ස්ථාපනය කරන ලද්දේ තේජොං රජ සමයේ ය. එයට හේතුව එකල කොන්ෆියුසියානුවාදයේ පැවති දැඩි නේඊබොප් (ලිංගික විසංගමන) ප්‍රතිපත්තිය නිසා රෝගී වූ අගබිසෝවරුන්, උපබිසෝවරුන් සහ ගුංන්යෝවරියන් පිරිමි වෙදැදුරන්ගේ සහාය ලබා ගැනීමට වඩා මිය යාම සැපතක් යැයි සිතූ නිසායි. මේ හේතුවෙන් රාජ්‍ය කාර්යාල සහ ගබඩාවල සිටි වහල් දැරියන්හට නාඩි බැලීම, කටු චිකිත්සාව වැනි විවිධ වෛද්‍ය පුහුණු ලබා දෙන ලදී. මෙම ස්ත්‍රීන් නූගත් චොන්මින් පන්තියට අයත් වූ නිසා මෙම උයින්යෝ පද්ධතිය එතරම් සාර්ථක වූයේ නැත. යොන්සන්ගුන් රජ සමයේ ඕනෑම රජයේ කාර්යාලයක් උත්සවයක් පැවති විට, ගිසෙංවරියන් ලෙස හැඩගැන් වූ උයින්යෝවරියනට එයට සහභාගී වීමට නියෝග කෙරිණි. මෙම පද්ධතිය රාජවංශයේ අවසානය දක්වාම පැවති අතර ගෝජොං රජුගේ සමයේ උයින්යෝවරියන් 80ක් පමණ සේවය කර ඇත. බටහිර වෛධයවරුන් රාජ මාලිගයට ඇතුළු වූ පසු මෙම උයින්යෝ පද්ධතිය වියැකී ගියේ ය.[4]

ගුංන්යෝගේ භූමිකාව[සංස්කරණය]

රාජකීය විවාහ මංගල්‍යයක නූතන ප්‍රතිනිර්මාණයක, අගබිසව ලෙස රතු පැහැ ලෝගුවෙන් සැරසුණු නිරූපිකාවට සහාය වන ගුංන්යෝ ලෙස සැරසුණු නිරූපිකාවන් දෙදෙනෙක්.

ගුංන්යෝවරියන් රාජකීය පෞද්ගලික දිවිය සඳහා උපකාරී වූ සුඛෝපභෝගී වහලියන් ලෙස ද අර්ථ දැක්විය හැක. ඔවුන් වස්ත්‍ර, මුළුතැන්ගෙය, ගෘහ පාලනය වැනි විවිධ අංශ සඳහා යෙදවිණි. එවැනි අංශ අතර ජිමිල් ("අති අභ්‍යන්තර ගෘහය", රාජකීයයන් අසලින් රැඳී සිටීම), චිම්බං (මැහුම් අංශය), සුබං (ගෙත්තම් අංශය), සෝජුබං ද්විත්වය වූ; නේසෝජොබං සහ ඊසෝජුබං (එකක් දිනපතා ආහාර පිළියෙල කිරීම සඳහා සහ අනෙක් උත්සව සඳහා ආහාර පිළියෙල කිරීම භාරව පැවති), සෙංග්වාබං (අතුරුපස අංශය), සහ සෙදප්බං (රෙදි සේදුම් අංශය) යන අංශ ප්‍රධාන විය .[14]

ඉහත ප්‍රධාන අංශ 7ට අමතරව, තවත් අංශ 4ක් පැවතිණි: සෙසුගන් (洗手間, රජු සහ අගබිසවගේ සේදුම් සහ ස්නාන කටයුතු භාර අංශය[15]), තොඑසොංගන් (退膳間; ආහාර සැකසුම් කුටිය[2]), බොගිචෝ (僕伊處, ගිනි දැල්වීමේ අංශය[16]), ද්‍යුංචොක්බං (燈燭房 ලන්තෑරුම් සහ ඉටිපන්දම් ආලෝක අංශය[17]).

ගුංන්යෝ සමාජය තුළ ඉහළම පිළිගැනීම හිමි වූ ජිමිල් නාඉන් සිය ස්වාමි දියණිය සඳහා පෞද්ගලික සේවිකාවක් ලෙස ක්‍රියාකළා ය. චිම්බං, සහ සුබංහි සේවය කළ නාඉන්වරියෝ (සහායක පාලිකාවන්) මසන්නියන් පෙස කටයුතු කළහ. සෝජුබං සහ සෙංග්වාබංහි සේවය කළ නාඉන් මුළුතැන්ගෙයි සේවිකාවන් ලෙස කටයුතු කරන ලදී. සෙදාප්බං මලින් රෙදි සේදීම මෙහෙයවන ලදී. මෙකල බොහෝ සාමාන්‍ය පවුල්වල වහල් ස්ත්‍රීන් විසින් සාමාන්‍යයෙන් පිරිසිදු කිරීම සිදු කළ නමුත් ඇඳුම් මැදීම සහ සෝදන රෙදිපිළිවලට පහර දී ඒවා සුමට කිරීම සිදු කළේ පළපුරුදු ගෘහණියන් විසිනි. ජිමිල් නාඉන් හට ඉහළම සමාජ තත්ත්වය හිමි වූ අතර, චිම්බං සහ සුබං හි නාඉන්වරියන්ගේ තත්ත්වය එයට පසුපසින් විය. ඔවුනට යැංබැන් ස්ත්‍රීන් මෙන් චිමා (විශාල සායක්) ඇඳීමට සිදු විය. එසේම ඒප්‍රනයක් නොඇඳ ඒ වෙනුවට එය පහළට දිගට වැටෙන පරිදි ඇඳීමට අවසර හිමි විය. බිමක හෝ කාමරයක සේවය කළ නිසා මෙම නාඉන්වරියනට සෝජුබං, සහ සේදාප්බං නාඉන්වරියන් මෙන් සිය සාය හැකිලීමට අවශ්‍ය නොවී ය. සෙසු අංශවල නාඉන්වරියෝ සිය සාය අකුලා ඒප්‍රනයක් පැළඳූහ. එසේම මුල් අංශ තුනට පමණක් '‍'සෙංගක්සිවරියන් (생각시, "සෙං" හෝ "සයාං" යනුවෙන් හැඳින් වූ කොණ්ඩා මෝස්තරයක් සහිත ලාබාල නාඉන්වරියකි) හිමි විය. සෙසු අංශවල ලාබාල නාඉන්වරියනට සිය කෙස්කලඹ සෙං පරිදි බැඳීමට අවසර නොතිබූ අතර ඔවුනට එයට දිගට ගෙතීමට සිදු විය.[4]

ගුංන්යෝගේ නිලය[සංස්කරණය]

ගුංන්යෝ සමාජයේ පරිපාලනය සිදුකරන ලද්දේ ගුංන්යෝ කණ්ඩායමේ ප්‍රධානියා, සහ සිය රැකියාවේ වැදගත්කම අනුව විශේෂ වරප්‍රසාද හිමි වූ සංගුංවරියන් විසිනි. ජේජො සංගුං (提調尙宮), හෙවත් ක්‍යුන්බැං සංගුං ගුංන්‍යෝවරියන් අතුරින් ජ්‍යෙෂ්ඨතමයා වූ අතර ඇය විසින් රජුගේ නියෝග භාරගැනීම සහ අගබිසවගේ මාලිගයේ කටයුතු සංවිධානය කිරීම සිදු කරන ලදී. එකල ඔවුනට දේශපාලන බලය ද හිමි විය. බුජේජො සංගුං හෙවත් අරිගෝ සංගුං (阿里庫) අගබිසවගේ මාලිගයේ ගබඩාවන්හි භාණ්ඩ භාරව සිටියා ය. ජිමිල් සංගුං හෙවත් දේර්යොං සංගුං විසින් රජු ආසන්නයේ රැඳී සිටින ලදී. බොමෝ සංගුං කුමාරවරුන් සහ කුමරියන් රැකබලා ගත් අතර, ඔවුන් අතුරින් කිරුළහිමි කුමරුන් රැකබලා ගත් තැනැත්තියට විශාල බලයක් හිමි විය. සින්යෝ සංගුංවරියන් ජාතික තේ උත්සවයක් හෝ භෝජන සංග්‍රහයක් පැවැත්වෙන විට රජුට, අගබිසවට සහ මව්බිසවට සහාය වන ලදී. එසේම ඔවුන් විසින් ජිමිල් සංගුංගේ පොත් සහ ලේඛන කළමනාකරණය කිරීම සිදු කරන ලදී. එසේම ඔවුහු ගෝක්‍යුප් (විලාපනැගීම සහ හඬ නගා කෑගැසීම) සිදු කරන ලදී. ගම්චල් සංගුං විසින් ගුංන්යෝවරියනට ත්‍යාග පිරිනැමීම සහ දඬුවම් දීම සිදුකරන ලද අතර පරිපාලන නිලධාරිණියන් ලෙස කටයුතු කළ ඔවුනට සෙසු ගුංන්යෝවරියන්ගේ ගෞරවය හිමි විය. රජු‍ගේ ප්‍රසාදය දිනූ ගුංන්යෝවරියනට සිය දේශපාලන බලය වැඩි කරගනිමින් සිය තත්ත්වය වැඩිදියුණු කරගත හැකි විය.[4]

මාලිග ස්ත්‍රීන් අගබිසවගේ යටත්වැසියන් වූ අතර ඔවුන්ගේ තත්ත්වය රාජකීය උපබිසෝවරුනට (නේ-ග්වන් 내관) වඩා පහළින් විය. ගුංන්යෝවරියන්ගේ තත්ත්වය සැලකූ විට 5වන මට්ටමට ළඟාවන ගුංන්යෝවරිය උසස්ම තැනැත්තිය වූ අතර සාමාන්‍යයෙන් ඔවුන් සිය දිවිය අරඹන්නේ 9වන මට්ටමේ සිට ය.

මාලිග ස්ත්‍රීන් (පාලිකාවන්) සඳහා මට්ටම් 5ක් පැවති අතර ඒ සෑම මට්ටමක්ම නැවත කොටස් දෙකකට බෙදිණි.

  • පස්වන මට්ටම ඉහළ - රාජකීය උපබිසව (සං-ගුං 상궁) රජු සමග ලිංගික සම්බන්ධයක් පැවති විශේෂ ස්ත්‍රියකි. ඇයගේ පත්කිරීම ප්‍රකාශයට පත් කළේ අගබිසව විසිනුයි.
  • පස්වන මට්ටම පහළ - පළමු මාලිග ස්ත්‍රිය (රාජකීය/අගබිසවගේ ලේකම්වරිය තනතුර උසුලන): සං-බොක් (상복) සහ සං-ෂික් (상식)
  • හයවන මට්ටම ඉහළ - ප්‍රධාන මාලිග ස්ත්‍රිය (රාජකීය මුළුතැන්ගෙයි ප්‍රධාන පාලිකාව වැනි): සං-චිම් (상침) සහ සං-ගොං (상공)
  • හයවන මට්ටම පහළ - සං-ජොං (상정) සහ සං-ගි (상기)
  • හත්වන මට්ටම ඉහළ - ප්‍රමුඛ මාලිග ස්ත්‍රිය (විශේෂ කටයුතු භාර): චොන්-බින් (전빈), චොන්-උයි (전의) සහ චොන්-සොන් (전선)
  • හත්වන මට්ටම පහළ - ජොන්-සොල් (전설), ජොන්-ජේ (전제) සහ ජොන්-ඉයොන් (전언)
  • අටවන මට්ටම ඉහළ - ජොන්-චන් (전찬), ජොන්-ෂික් (전식) සහ ජොන්-යක් (전약)
  • අටවන මට්ටම පහළ - ජොන්-ද්‍යුං (전등), ජොන්-චේ (전채) සහ ජොන්-ජොං (전정)
  • නවවන මට්ටම ඉහළ - ජු-ගුං (주궁), ජුං-සං (주상) සහ ජු-ගක් (주각)
  • නවවන මට්ටම පහළ - ජු-බ්යොන්-චි (주변치), ජු-චි (주치), ජු-ඌ (주우) සහ ජු-බ්යොන්-ගුං (주변궁)

‍මෙම මාලිග ස්ත්‍රීන් යටතේ පහළ මට්ටමැති පරිවාර කතුන් (පාලිකා අපේක්ෂිකාවන්), සේවිකාවන් සහ වහල් ස්ත්‍රීන් පාලනය විණි.

ගුංන්යෝ සංඛ්‍යාව[සංස්කරණය]

සම්පූර්ණ ගුංන්යෝවරියන් සංඛ්‍යාවට රජු වාසය කළ ප්‍රධාන මාලිගයේ වූ ගුංන්යෝවරියන් මෙන්ම ‍ජෙසාගුං, එනම් ජෙසාමාලිග, (පූරවජයන් සඳහා ගරුසැලකිලි ලෙස) සහ බ්යොල්ගුං, (ඈඳුණු මාලිගා) ආදී ස්ථානවල සේවය කළ තැනැත්තියන් ද අයත් විය. ප්‍රධාන මාලිගයේ සේවය කළ ගුංන්යෝවරියන් විසින් ඈඳුණු මාලිගාවල සේවය කළ අයට අවමන් කළ අතර, ඔවුන්ව අමතන ලද්දේ ගුංගොට් (මාලිගයේ කෙනා) ලෙස ය. ප්‍රධාන මාලිගය තුළ රජුගේ ගෘහය ස්වාධීනව පාලනය වූ අතර රජුගේ, අගබිසවගේ, සහ මව්බිසවගේ ගෘහයන්හි සේවය කළේ සමාන ගුංන්යෝ පිරිසකි. සම්පූර්ණ ගුංන්යෝ සංඛ්‍යාව 90ක් වන්නට ඇතැයි සැලකේ. ඉහත සෑම නවාතැනකම විස්සේ සිට විසි හත දක්වා වූ ජිමිල් නාඉන්වරියන් පිරිසක් සේවය කර ඇත. සෙසු ස්ථානවල පහළොවේ සිට විස්ස දක්වා වූ පිරිසක් සිටින්නට ඇතැයි විශ්වාස කෙරේ.[4]

කාලයත් සමග මොවුන්ගේ සංඛ්‍යාව වෙනස් විය මාලිගයේ සිදුවීම් අනුව ඔවුන්ගේ සංඛ්‍යාව අඩු හෝ වැඩි විය. ජොසොන් රාජවංශයේ මුල් කාලයේ ගුංන්යෝවරියන් විශාල සංඛ්‍යාවක් සිට නැත. කාලයත් සමය එය වැඩිවිණි. සියොංජොං රජ සමයේ (1469–1494), මාලිගයේ සේවය කළ සම්පූර්ණ ගුංන්යෝවරියන් සංඛ්‍යාව 105ක් වූ අතර ඉන් 29ක් පෙර සිටි රජුගේ මව සඳහාත්, 27ක් වැන්දඹු අගබිසව සඳහාත්, 49ක් රජුගේ ගෘහය සඳහාත් යෙදවිණි. ගෝජොං රජ සමයේ (1863–1907) සිටි සම්පූර්ණ ගුංන්යෝ සංඛ්‍යාව 480ට ළඟා විය. ඉන් 100ක් රජුගේ ගෘහය සඳහා ද, 100ක් මව්බිසවගේ ගෘහය සඳහා ද, 100ක් අගබිසව සඳහා ද, 60ක් කිරුළහිමි කුමරු සඳහා ද, 40ක් කිරුළහිමි කුමරුගේ බිසව සඳහා ද, 50ක් අනුප්‍රාප්තික කුමරුගේ පුත්‍රයා වූ සෙසොන් සඳහා ද, 30ක් සෙසොන්ගේ බිරිඳ සඳහා ද යෙදවිණි.[5]

රැකියාවෙහි නියුතු කාලය සහ වැටුප[සංස්කරණය]

මාලිගයට ඇතුළු කරගැනීමෙන් පසු සියලු ගුංන්යෝවරියෝ මාලිගය හැරයන තෙක්ම මාලිගයේ සේවයට බැඳී සිටිති. වරක් සේවයට ඇතුළු වූ පසුව ඇයට සමහර විශේෂ අවස්ථාවලදී හැර මුළු ජීවිත කාලයම මාලිගය තුළ ගෙවීමට සිදු වේ. රජු සහ රජුගේ ළඟම පවුලේ සාමාජිකයන් හැර සෙසු සියල්ලන්ට, රජුගේ උපබිසෝවරුනට පවා මාලිගය තුළ මිය යා නොහැකි විය. එම නිසා ගුංන්යෝවරියක් මහලු හෝ රෝගී වූ විට ඔවුනට මාලිගය හැර දා යා යුතු විය. මීට අමතරව ගුංන්යෝවරියන් මාලිගයේ සේවයෙන් නිදහස් වූ තවත් අවස්ථා ද පැවතිණි. සිය ප්‍රධානියා රෝගී විට, හෝ නියං තත්ත්ව පැමිණි විට ස්වභාවික විපත සංසිඳුවීමට ගුංන්යෝවරියන් ස්වල්ප දෙනෙක් සේවයෙන් නිදහස් කෙරිණි. පසුව සඳහන් කළ කාරණය මත නිදහස් කළ ගුංන්යෝවරියකට නීති කිහිපයක්ම පණවන ලදී. ඒ අතර විවාහවීම තහනම් විය. එම නීති කඩකළහොත් දැඩි දඬුවම් පමුණුවනු ලැබිණි. එම නිසා ගුංන්යෝ ගතකළේ පිටත ජීවිතයෙන් බොහෝ හුදකලා දිවියකි. ඔවුනට සේවයෙන් නිදහස් වූ අවස්ථාවල දී හැර පුරුෂයන් මෙන්ම ස්ත්‍රීන් සමග ද, සම්බන්ධතා පැවැත්වීම තහනම් විය. ජොසොන් රාජවංශ සමයේ අඥාත කර්තෘවරයකු විසින් ලියන ලද උන්යොංජොන් (雲英傳) නැමැති නවකතාව තුළ ගුංන්යෝ දිවිය නිරූපණය කොට ඇත.[5]

ගුංන්යෝ හට සිය වේතනය වශයෙන් නිලය අනුව මාසික වැටුපක් සහ ජීවත් වීමට අවශ්‍ය දෑ සපයන ලදී. නමුත් එම මුදල නිශ්චිත අගයයක් නොවී ය. එය එම කාලයේ ආර්ථික තත්ත්වය අනුව විචලනය විය. මෙම සේවය දිවා මුර ක්‍රමයක් මත පදනම් වී ඇතැයි සැලකේ.[5]

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Han, Hee-sook, pp. 141–146
  2. 2.0 2.1 "Korean Food Culture Series – Part 5; Royal Cuisine – Who made royal cuisines?". [[:en:Korea Tourism Organization|]].
  3. "상궁(尙宮), Sanggung" (in Korean and English). The Academy of Korean Studies.CS1 maint: unrecognized language (link)
  4. 4.0 4.1 4.2 4.3 4.4 4.5 4.6 4.7 4.8 궁녀 (宮女) (in Korean and English). [[Empas|]] / EncyKorea.CS1 maint: unrecognized language (link)
  5. 5.0 5.1 5.2 5.3 5.4 5.5 5.6 5.7 궁녀 (宮女) (in Korean and English). Empas / Britannica.CS1 maint: unrecognized language (link)
  6. "내관(內官), naegwan" (in Korean and English). en:The Academy of Korean Studies.CS1 maint: unrecognized language (link)
  7. "대전(大殿), daejeon" (in Korean and English). The Academy of Korean Studies.CS1 maint: unrecognized language (link)
  8. "내전(內殿), naejeon" (in Korean and English). The Academy of Korean Studies.CS1 maint: unrecognized language (link)
  9. "Glossary of Korean Studies". The Academy of Korean Studies. Retrieved 2010-01-07.
  10. Kichung Kim (1996). An Introduction to Classical Korean Literature: From Hyangga to Pʻansori. M.E. Sharpe. පි. 96. ISBN 1-56324-786-0. http://books.google.com/?id=lWuUVEKeAlwC&pg=PA96&dq=kyech'uk+ilgi. 
  11. Rajini Srikanth; Esther Yae Iwanaga (2001). Bold Words: A Century of Asian American Writing. Rutgers University Press. පි. 425. ISBN 0-8135-2966-2. http://books.google.com/?id=BcGzVoCvWZMC&pg=PA425&dq=hansam+korea. 
  12. Lee, Esther Kim (2006). A history of Asian American theatre. Cambridge University Press. පි. 193. ISBN 0-521-85051-7. http://books.google.com/?id=Rj2W7MrqgRUC&pg=RA1-PA213&dq=hansam+korea. Retrieved 2010-01-07. 
  13. Zile, Judy Van (2001). Perspectives on Korean dance. Wesleyan University Press. ISBN 0-8195-6494-X. http://books.google.com/?id=v9cQ8kyTpsoC&pg=PA81&dq=hansam+korea. Retrieved 2010-01-07. 
  14. "Glossary of Korean Studies". The Academy of Korean Studies. Retrieved 2010-01-07.
  15. "'세수간' – 네이트 국어사전". Kordic.empas.com. Retrieved 2010-01-07.
  16. "'복이처' – 네이트 국어사전". Kordic.empas.com. Retrieved 2010-01-07.
  17. "'등촉방' – 네이트 국어사전". Kordic.empas.com. Retrieved 2010-01-07.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ගුංන්යෝ&oldid=379129" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි