ජෝසුන්හි ජුංජොං රජ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
යි යොක්
朝鲜中宗.jpg
ජුංජොං රජු ජින්සොං කුමරු ලෙස
ජොසොන්හි රජ
රාජ්‍ය සමය1506–1544
පූර්වප්‍රාප්තිකයායොන්සන්ගුන් (යි යුං)
අනුප්‍රාප්තිකයාඉන්ජොං (යි හෝ)
උපත16 අප්‍රේල් 1488
මරණයප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය "{", 29 නොවැම්බර් 1544 (වයස Error: Need valid year, month, day)
බිසවදංග්යොං අගබිසව
ජංග්යොං අගබිසව
මුන්ජොං අගබිසව
දරුවන්ඉන්ජොං (යි හෝ)
මියොංජොං (යි හ්වන්)
මරණාපර නාමය
කොරියාවේ මහා ජුංජොං ගොංහී හ්වයිමුන් සොමු හ්‍යුමින් සොංහ්යෝ රජ
중종공희휘문소무흠인성효대왕
中宗恭僖徽文昭武欽仁誠孝大王
විහාර නාමය
ජුංජොං
වංශයජොන්ජු යි
පියාසියොංජොං (යි හ්යොල්)
මවජොංහ්යොන් අගබිසව
ජෝසුන්හි ජුංජොං රජ
හංගුල්중종
හංජා中宗
සංශෝධිත රොමානුකරණයජුංජොං
මෙකන්–රයිෂවර්චුංජොං
උපන් නම
හංගුල්이역
හංජා李懌
සංශෝධිත රොමානුකරණයඉ යොක්
මෙකන්–රයිෂවර්යි යෝක්

ජොසොන්හි ජුංජොං රජු (16 අප්‍රේල් 1488 – 29 නොවැම්බර් 1544, රාජ්‍ය කාලය. 1506–1544), හෙවත් උපන් නාමය යි යොක් යනු 16වන සියවසේ කොරියාව පාලනය කළ රජ කෙනෙකි. ඔහු බලයට පත්වූයේ ක්‍රෑර පාලනයක් ගෙනගිය ඔහුගේ අර්ධ සොයුරා වූ යොන්සන්ගුන්ව බලයෙන් පහකිරීමෙන් අනතුරුවයි.

ඉතිහාසය[සංස්කරණය]

ජෝ ග්වං-ජෝගේ ප්‍රතිසංස්කරණ[සංස්කරණය]

යොන්සන්ගුන් බලයෙන් පහකළ දිනයේ කුමන්ත්‍රණ මෙහෙයවූ නායකයින්ගේ සෙබලු ඔහුගේ අර්ධ-සොයුරා වූ ප්‍රධාන ජින්සොං කුමරුගේ නිවෙස වැටලූහ. අවසානයේ යොන්සන්ගුන් තමන්ව මරා දැමීමට යන බව සිතමින් ඔහු සිය දිවි හානිකරගැනීමට උත්සාහ කළේ ය. නමුත් ඔහුගේ බිරිඳ විසින් එය වළකන ලදී. ජින්සොං කුමරු පසුව ජොසොන්හි 11වන පාලකයා වූ ජුංජොං නමින් රජ විය. යොන්සන්ගුන් යුගයේ ශේෂයන් අතුගා දැමීමට කටයුතු කළ ජුංජොං රජු රාජකීය විශ්වවිද්‍යාලය වූ සොංග්‍යුංග්වාන් නැවත විවෘත කළ අතර, රජුගේ නුසුදුසු ක්‍රියාමාර්ග විවේචනය කිරීමට පිහිටුවා තිබූ පරීක්ෂක කාර්යාලය ද යළි ස්ථාපනය කළේ ය. කෙසේනමුත්, ජුංජොංගේ මුල්කාලයේ ඔහුට රාජකීය අධිකාරය නිදහසේ භුක්ති විඳීමට නොහැකි වූයේ ඔහුව බලයට පත්කළ නිලධාරීන් බලය මෙහෙයවූ නිසායි. වසර අටකට පසු කුමන්ත්‍රණය මෙහෙයවූ ප්‍රධාන නායකයින් තිදෙනා වියපත් වීම සහ ස්වභාවික හේතූන් මත අසනීප වී මියයාම නිසා ජුංජොංට විශාල බලයක් හිමු විය. ඔහු ජෝ ග්වං-ජෝ සහ සෙසු සරිම් විද්වතුන්ගේ සහාය ඇතිව රජයේ විශාල ප්‍රතිසංස්කරණ සිදුකළේ ය.

ජෝ ග්වං-ජෝ දේශීය ස්වාධිපථයය වඩාත් ශක්තිමත් කරමින් හ්යං'යක් නැමැති ස්වං-පාලන පද්ධතියක් ස්ථාපනය ‍කළේ ය. කොන්ෆියුසියානු ඉගැන්වීම් ප්‍රකාශයට පත්කළ ඔහු කොරියානු හංගුල් බසට පරිවර්තනය කොට ජනතාව අතර බෙදාහැරියේ ය. ඉඩම් ප්‍රතිසංස්කරණ සිදුකළ ඔහු දුප්පත් පොහොසත් ජනයා අතර සමානව ඉඩම් බෙදා දුන්නේ ය. රජයට දක්ෂයින් බඳවා ගැනීමේ අතිරේක ක්‍රමයක් ද ඔහු හඳුන්වා දුන්නේ ය. සමාජ තත්ත්වය නොසලකා වහලුන් අතරින් පවා දක්ෂතා ඇති පුද්ගලයින් හඳුනාගෙන ඔවුනට නිලධාරී තනතුරු ලබාදිය යුතු බව ඔහුගේ විශ්වාසය විය. පරීක්ෂක ජනරාල්වරයා ලෙස, ඔහු නීති දැඩිව ක්‍රියාත්මක කළ අතර ජොසොන් රාජවංශයේ අනුවාර්ෂික වාර්තා අනුව එකල කිසිදු නිලධාරීයකු අල්ලස් ගැනීමට හෝ මහජනයා සූරාකෑමට ඉදිරිපත් නොවූයේලු.[1]

කෙසේනමුත් මෙම ප්‍රතිසංස්කරණ 1506 කැරැල්ල මගින් ජුංජොංව බලයට පත්කළ සම්ප්‍රදායික වංශවතුන්ගේ ප්‍රසාදයට ලක්වූයේ නැත. ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වී වසර හතරකට පසු, ජුංජොං හදිසියේම ජොගේ ප්‍රතිසංස්කරණ නවතාලූයේ ඔහුට ජෝගේ ප්‍රතිසංස්කරණ පිළිබඳ විශ්වාසයක් නොතිබීම හෝ ජෝ වඩාත් බලවත් වේය යන බිය නිසා විය හැක. ජුංජොං සහ ජෝ ග්වං-ජෝ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ ද, ජුංජොංට අවශ්‍ය වූයේ රාජ්‍ය බලය ශක්තිමත් කරගැනීමට වූ අතර, ජෝට අවශ්‍ය වූයේ නව-කොන්ෆියුසියානු දර්ශනයට අනුව රාජ්‍ය පාලනය කරවීමටයි. අවසානයේ 1519 නොවැම්බර් මස සම්ප්‍රදායික නිලධාරීන් ජෝ ග්වං-ජෝ රාජද්‍රෝහියකු බව පවසන්නට වූයේ, ශාක පත්‍ර මත "ජෝ රජු බවට පත් වේවි" (주초위왕, 走肖爲王) යනුවෙන් පැණිවලින් ලිවීමෙනි. එවිට දළඹුවන් එම ලියූ කොටස ආහාරයට ගැනීමෙන් එම අක්ෂර මායාකාරී අයුරින් ඉස්මතු විය. මේ හේතුවෙන් ජුංජොං රජු කල්ලිවාදී චෝදනා එල්ලකොට ජෝ ග්වං-ජෝට දඬුවම් පැමිණවූ අතර, ඔහුගේ අනුගාමිකයින් පිටුවහල් කොට ඔහුගේ ප්‍රතිසංස්කරණ අත්හිටුවාලී ය. මෙම සිදුවීම 1519 තෙවන වියත් ශෝධනය හෙවත් ගිම්යෝ විද්වත් සංහාරය ලෙස හඳුන්වයි.

ඥාති දේශපාලනය[සංස්කරණය]

ජෝ ග්වං-හෝගේ වැටීමත් සමග, ජුංජොං රජුට සිය මනාපයට අනුව රාජ්‍ය පාලනය කිරීමට කිසිදින ඉඩසැලසුණේ නැත. ඔහුගේ රාජ්‍ය සමය සැලකෙන්නේ දේශපාලන පක්ෂ අතර නිරන්තර අරගලවලින් පිරි කාලයක් ලෙසයි. මේ සෑම දේශපාලන පක්ෂයකටම අනුබල දෙනු ලැබූයේ රජුගේ අගබිසෝවරුන් හෝ උපබිසෝවරුන් විසිනි. 1524දී පක්ෂ එකිනෙක හා ගැටුණු අතර, එක් පක්ෂයක් විසින් දූෂිත කිම් අන්රෝ නිලධාරියාව බලයෙන් පහකරන ලදී. 1527දී කිම් අන්රෝගේ අනුගාමිකයින් ඔවුන්ගේ පලිගැනීම ලෙස රජුගේ උපබිසවක් වූ පාක් උපබිසව කුමන්ත්‍රණයකට හසුකළ අතර, ඒ නිසා ඇයට සහ ඇගේ පුත්‍ර බොක්සොං කුමරුට මරණ දඬුවම හිමි විය. කිම් අන්රෝ නැවත බලයට පැමිණි අතර, ඔහු සිය සතුරන්ගෙන් පලිගන්නා ලදී. නමුත් නව අගබිසවගේ සොයුරන් වූ යුන් වොන්රෝ සහ යුන් වොන්හ්යොං විසින් ඔහුව මාලිගයෙන් ඉවත් කොට දඬුවම් පමුණුවන ලදී. කෙසේ නමුත්, කිම් අන්රෝට හිතවත් යුන් ඉම් සිය බෑණාව කිරුළහිමි කුමරුන් ලෙස නම් කිරීමට හැකි වූයේ නව අගබිසව වූ මුන්ජොං අගබිසවට ඒ වන විට පුත්‍රයකු නොසිටි නිසායි. ඒ හේතුවෙන් ඉන්ජොංව කිරුළහිමි කුමරු ලෙස නම්කරන ලදී. ඔහුගේ මාමණ්ඩිය වූ යූන් ඉම් බලය වෙනුවෙන් මුන්ජොං අගබිසවගේ සොයුරන් වූ යූන් වොන්-හ්යොං සහ යූන් වොන්රෝ සමග අරගලයක යෙදුණේ ය. බොහෝ නිලධාරීන් සහ විද්වතුන් මෙම බල මූලස්ථාන දෙක වටා එක්රොක් වූහ. ඒ සෑම කණ්ඩායමක්ම වෙන් වෙන්ව දේශපාලන පක්ෂ බවට පත් විය. යූන් ඉම්ගේ පක්ෂය ‘මහා යූන්’ ලෙස ප්‍රකට වූ අතර, යූන් සොයුරන්ගේ පක්ෂය ‘කුඩා යූන්’ ලෙස ප්‍රකට විය. ඔවුන්ගේ අරගලය ජුංජොං රජුගේ මරණින් පසු සිදු වූ 1545 සිව්වන වියත් ශෝධනය සඳහා හේතු විය.

මෙසේ නිරන්තර බලඅරගල හේතුවෙන් රාජවංශය දුර්වල වන්නට වූ අතර, පෙර රජවරුන් විසින් දුර්වල කොට තිබූ විදේශ බලවේග නැවත බලවත් විය. වොකොවු මුහුදු කොල්ලකරුවන් සහ පුද්ගලික සටන් නැව් දකුණු වෙරළ තීරයේ සිදු කළ මංකොල්කෑම් බහුල විය. එසේම ජුර්චෙන්වරු උතුරු දේශසීමාවට කිහිප වරක්ම පහර දී ඇත.

ඇගයුම[සංස්කරණය]

ජුංජොං රජු විශේෂයෙන්ම ජෝ ග්වං-ජෝගේ ප්‍රතිසංස්කරණ සමයේ හොඳ, දක්ෂ පාලකයකු ලෙස සැලකිණි. කෙසේනමුත් ඉතිහාසඥයින් පවසන්නේ ඔහු මූලිකව දුර්වල පාලකයකු බවත්, එයට හේතුව ඔහුගේ බලයට පත්වීම අවට කාලයේ වූ සිදු වීම් සහ ජෝ ග්වං-ජෝ සහ ඔහුව බලයට පත්කළ අමාත්‍යවරුන් ඔහුව සිය පැත්තට නම්මවා ගැනීමට දැරූ උත්සාහයන් නිසාත් ය. ඇතැම් අවස්ථාවල ඔහු හෝචනීය පාලකයකු ලෙස පෙනී යන්නේ, ඔහුට කිසිදින රජකු වීමට අවශ්‍ය නොවීමත් ඔහුව බලෙන් රජකමට පත්කිරීමත් නිසා ය. එසේම කුම්නත්‍රණ නායකයින්ගේ පීඩනය මධ්‍යයේ ඔහුට සිය ආදරණීය අගබිසව බලයෙන් පහකිරීමට සිදු වූ අතර, ඇගේ පියාව එම කුමන්ත්‍රණයේදී මරාදමා තිබිණි. මෑතකාලීනව ඇතැම් ඉතිහාසඥයින් පවසා ඇත්තේ ජුංජොංව සැබැවින්ම ඔහුගේ අමාත්‍යවරුන් සහ ඥාතීන් විසින් මෙහෙයවන ලද බවයි. ඔවුන් එක් අයකුට විරුද්ධව තවකෙක් සිය බලය තර කරගැනීමට රජුව මෙහෙයවන ලදී. මීට අමතරව ඔහුගේ පාලන සමය අවුල්වියවුල්, ප්‍රචණ්ඩත්වය, දූෂණ සහ අභ්‍යන්තර බලඅරගලවලින් ගහන ය. 1519 තෙවන වියත් ශෝධනය මගින් ජෝ ග්වං-ජොං සහ සෙස්සන් හසුකිරීම පිළිබඳ ඔහුට නොයෙකුත් විවේචන ඉල්ල වේ.

ප්‍රතිසංස්කරණ සමයේ මුල් අවධියේ, ජුංජොං බොහෝ පොත් මුද්‍රණය දිරිගැන්වී ය. 1519 වියත් ශෝධනය හේතුවෙන් මුද්‍රණය අඩපණ විය. එසේම ඔහු ප්‍රාදේශීක පෙදෙස්වල ස්වයං-පාලන ක්‍රමය වැඩිදියුණු කිරීමට උත්සාහ ගත් අතර, සිවිල් සේවා විභාගය ප්‍රතිසංස්කරණය සාර්ථක විය. ඔහුගේ අවසාන කාලයේ යුධ සේවාවේ වැදගත්කම වටහාගත් ඔහු යුධ සේවය දිරිමත් කළේ ය.

මීට අමතරව ජං ගුම් නැමැත්තිය සිය පෞද්ගලික වෛද්‍යවරයකු ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ද ජුංජොං ප්‍රකට ය. කොරියානු ඉතිහාසය තුළ කාන්තාවක කිසිදින රාජකීය වෙදැදුරු තනතුරට පත් වී නැත. එය ජුංජොං සමයේ සිදු වූ වැදගත් සිදුවීමක් වුවත්, වර්තමානයේ වුවද කොරියාවේ කිසිදු රාජකීය හෝ ජනාධිපතිගේ වෛද්‍ය තනතුරට කාන්තාවක් පත්ව නැත.

පවුල[සංස්කරණය]

  1. සොංග්‍යුන් ෂින් වංශයේ දංග්යොං අගබිසව (단경왕후 신씨)
  2. පප්යොං යුන් වංශයේ ජංග්යොං අගබිසව (장경왕후 윤씨)
    1. රාජකීය අනුප්‍රාප්තික කුමරු (왕세자)
    2. හ්යෝහ්යේ කුමරිය (효혜공주)
  3. පප්යොං යුන් වංශයේ මුන්ජොං අගබිසව (문정왕후 윤씨)
    1. ග්යොං‍වොන් ප්‍රධාන කුමරු (경원대군)
    2. උයිහ්යේ කුමරිය (의혜공주)
    3. හ්යෝසුන් කුමරිය (효순공주)
    4. ග්යොංහ්යොන් කුමරිය (경현공주)
    5. ඉන්සුන් කුමරිය (인순공주)
  4. පාක් වංශයේ බලයෙන් පහකළ රාජකීය වංශවත් ග්යොං බිසව (폐 경빈 박씨, ?-මැයි 23, 1533)[3]
    1. බොක්සොං කුමරු (복성군)
    2. හ්යේසුන් කුමරිය (혜순옹주)
    3. හ්යේජොං කුමරිය (혜정공주)
  5. හොං වංශයේ රාජකීය වංශවත් හුයි බිසව (희빈 홍씨, 1494–1581)[4]
    1. ගුම්වොන් කුමරු (금원군)
    2. බොංසොං කුමරු (봉성군)
  6. අන්සන් ආන් වංශයේ රාජකීය වංශවත් චං බිසව (창빈 안씨, 1499–1549)
    1. යොංග්යැං කුමරු (영양군)
    2. දොක්හ්‍යුං කුමරු (덕흥군). පසුකලෙක ඔහුගේ පුත්‍රයා සොන්ජෝ රජු බවට පත් වූ විට ඔහුව 덕흥대원군 "දොක්හ්‍යුං, මහා මාලිගයේ කුමරු" යනුවෙන් ප්‍රකට විය. [5]
    3. ජොංසින් කුමරිය (정신옹주)
  7. හොං සුක්-උයි (숙의 홍씨)
    1. හෙයෑන් කුමරු (해안군)
  8. ලී සුක්-උයි (숙의 이씨)
    1. දොක්යැං කුමරු (덕양군)
  9. නා සුක්-උයි (숙의 나씨)
  10. ලී සෝ-වොන් (소원 이씨)
    1. ජොංසුන් කුමරිය (정순옹주)
    2. හ්යොජොං කුමරිය (효정옹주)
  11. කිම් සුක්-වොන් (숙원 김씨)
    1. සුක්ජොං කුමරිය (숙정옹주)

ඔහුගේ සම්පූර්ණ මරණාපර නාමය[සංස්කරණය]

  • කොරියාවේ මහා ජුංජොං ගොංහී හ්වයිමුන් සොමු හ්‍යුමින් සොංහ්යෝ රජ
  • 중종공희휘문소무흠인성효대왕
  • 中宗恭僖徽文昭武欽仁誠孝大王

නූතන නිරූපණයන්[සංස්කරණය]

ජුංජොං රජුගේ චරිතය බොහෝ කොරියානු රූපවාහිනී කතාමාලාවල දක්නට ලැබෙන අතර, ඒ අතර වඩාත් ප්‍රකට නාට්‍යයන් නම් හ්වං ජින්-ඉ සහ දේ ජං ගුම් ය. මීට අමතරව ඔහුගේ චරිතය (සුළු චරිතයක් ලෙස) "ලේඩීස් ඉන් ද පැලස්" හෙවත් "යොඉන් චොන්හා" ("ලෝකයේ කාන්තාව") යන රූපවාහිනී කතාමාලාවේ ද නිරූපිත ය. මේ නාට්‍යයේ බලය මෙහෙයවූ කාන්තාවන්ගේ චරිත, විශේෂයෙන්ම මුන්ජොං අගබිසව සහ රාජකීය උපබිසෝවරුන් අතර එදිරිවාදිකම් නිරූපණය කොට ඇත. මේ නාට්‍ය තුනේම ඔහුව නිරූපණය කොට ඇත්තේ ජොසොන් ජනයාට සේවය කිරීමට අවශ්‍ය මුත්, අමාත්‍යවරුන් විසින් නම්මවා ගන්නා ලබන යහපත් රජකු ලෙස ය.

මීට අමතරව ඔහුගේ චරිතය සුළු වශයෙන් ද කිං ඇන්ඩ් අයි යන රූපවාහිනී කතාමාලාව තුළ ද දක්නට ලැබෙයි.

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ජොසොන් රාජවංශයේ වාර්ෂික වාර්තා, ඔක්තෝබර්, 1520
  2. වඩාත් ප්‍රකට "ජාසුන් මව්බිසව" (자순대비) යන නාමයෙනි
  3. පාක් සූ-රිම්ගේ සැබෑ දියණියයි. ජුංජොංට බලයට පත්වීමට උපකාර කළ සුළු නිලධාරියකු වූ පාක් වොන්-ජොං විසින් හදාගත් දියණියයි.
  4. ජුංජොංට සිහසුනට පත්වීමට උපකාර කළ සුළු නිලධාරියකු වූ හොං ග්යොං-ජුගේ දියණියයි.
  5. වෙනත් දේවොන්ගුන් කෙනකු සඳහා බලන්න හ්‍යුංසොන් දේවොන්ගුන්.
ජෝසුන්හි ජුංජොං රජ
උපත: 1488 මරණය: 1544
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තික වූයේ
යොන්සන්ගුන් (යි යුං)
ජොසොන්හි රජ
1506–1544
අනුප්‍රාප්තික වූයේ
ඉන්ජොං (යි හෝ)
"https://si.wikipedia.org/w/index.php?title=ජෝසුන්හි_ජුංජොං_රජ&oldid=383994" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි