හැටන්
හැටන් | |
---|---|
හැටන් | |
ඛණ්ඩාංක: 6°53′23″N 80°35′53″E / 6.88972°N 80.59806°Eඛණ්ඩාංක: 6°53′23″N 80°35′53″E / 6.88972°N 80.59806°E | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | මධ්‍යම පළාත |
ජනගහණය(2001) | |
• මුළු | 14,255 |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
හැටන් නගරය (කඳුකරයේ සාම නගරය) ශ්‍රී ලංකාවේ අයත්වන්නේ මධ්‍යම පළාත තුළ පිහිටි දිස්ත්‍රික්ක 3න් සුන්දරතම දිස්ත්‍රික්කයක් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයටයි. එහි නුවරඑළිය නගරය හැරුණු විට දෙවන ප්‍රධානතම නගරය වන්නේ හැටන් නගරයයි. සුන්දර කඳුකර පෙදෙසක පිහිටා ඇති මෙම ප්‍රදේශය, සානුවක පිහිටා ඇති අතර, එය හැටන් සානුව ලෙස ප්‍රසිද්දියට පත්ව ඇත. පාලනමය වශයෙන් මධ්‍යම පළාත් සභාව යටතේ සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ මෙන්ම නුවරඑළිය-මස්කෙලිය ඡන්ද කොට්ඨාශයටත් අඹගමුව කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත්, හැටන් දික්ඔය නගර සභා පාලන සීමාවටත් අයත්වේ.
පිහිටීම සහ ස්වභාවය
[සංස්කරණය]පිහිටීම ගැන සැළකීමේදී කොළඹ බදුල්ල දුම්රිය මාර්ගයේඑක් වැදගත් නැවතුම් පලක් වන්නේ එය දුම්රියෙන් ශ්‍රී පාද වන්දනාවේ යන බැතිමතුන්ගේ අවසාන නැවතුම් පල වන බැවින් සහ අවට පිහිටි නගර විශාල සංඛ්‍යාවකට ගමන් ගන්නා (දුම්රිය පහසුකම් නොමැති) මගීන්ගේද එකම නැවතුම් පල වන බැවිනි. එසේම නුවරඑළිය-අවිස්සාවේල්ල (A7)ප්‍රධාන මාර්ගයේ පිහිටි බැවින් පොදු ප්‍රවාහන සේවාවන්ගෙන් ප්‍රයෝජන ගන්නා විශාල පිරිසක් අතරද ජනප්‍රිය නගරයකි. නගරය අවට තේ වතු විශාල සංඛ්‍යාවක් පිහිටා ඇති බැවින් සහ ප්‍රදේශයටම ඇති ප්‍රධානතම වෙළඳ නගරයද වේ. ප්‍රධාන පාසැල්, තැපැල් හල්, ආගමික ස්ථාන, ක්‍රීඩා පිටි, පොලිස් ස්ථානය සහ වෙළඳ සැල් නිසාද නුවරඑළිය සහ ශ්‍රී පාද ස්ථානයට පිවිසුම් නගරයක් ලෙස දේශීය මෙන්ම විදේශීය ජනතාව අතරද ප්‍රසිද්ධ නගරයකි හැටන් නගරය.
නගරයේ ජීවත්වන ජනතාවගේ ඇති සහෝදරත්වය සහ එකමුතුකම නිසාම ප්‍රසිද්දියට පත්ව ඇති මෙම නගරයේ සිංහල, ලාංකික මෙන්ම ඉංදියානු සම්භවයක් සහිත ද්‍රවිඩ ජනතාවද මුස්ලිම්, බර්ගර්, මැලේ සහ තවත් විදේශිකයින් සුළු වශයෙන් සාමකාමීව සහයෝගයෙන් යුතුව ජීවත්වේ. එසේම බුද්ධාගම, හින්දු දහම, ඉස්ලාම් ආගම මෙන්ම ක්‍රිස්තු භක්තිකයින්ගෙන්ද යුත් නගරයේ සෑම ආගමකටම අයත් ආගමික සිද්ධස්ථානද පිහිටා ඇත.
ස්වාභාවික සුන්දරත්වය
[සංස්කරණය]නගරයට ආසන්නයේ ඩෙවෝන් සහ සාන්ත ක්ලෙයාර් දිය ඇලි දෙක පිහිටා ඇති අතර, කෙටි වේලාවක ගමනකින් පසු ලඟාවිය හැකි ඇබර්ඩින්, ගලබඩ, ලක්ෂපාන සහ තවත් අලංකාර කුඩා දිය ඇලි බොහෝ ගනනකින්ද පොහොසත් ප්‍රදේශයක් වන මෙය වසරේ සෑම කාලයක් පුරා විහිදී ගිය ශීත සහ සෞම්‍ය දේශගුණයකින් හෙබි සුන්දර නගරයක් වන අතර, සුන්දර කඳු වලින් වටවූ උස් තැනිතලා ප්‍රදේශයකි.
ජීවන තත්වය
[සංස්කරණය]නගරයේ වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ව්‍යාපාරික කටයුතු වන අතර, නගරයෙන් පිටතට රැකියා සඳහා යන සුළු පිරිසක්ද ඇත. ඇඟළුම් කර්මාන්ත ශාලාවක් මෙන්ම ලංකාවේම ප්‍රසිද්ධ පොලිතින් ද්‍රව්‍ය නිශිපාදනය කරනු ලබන කර්මාන්ත ශාලාවක්ද නගරයේ රැකියා අව්‍යතාවයෙන් සැළකිය යුතු ප්‍රතිශතයකට දායක වනු දැකිය හැක. නගරය අවට ජනතාව තේ වතු ආශ්‍රිතව රැකියාවල නියුතු වනු දැකිය හැකිය. එසේම එළවළු වගාවේ නියුක්ත සැළකිය යුතු පිරිසක්ද දක්නට ලැබේ. අර්තාපල්, ලීක්ස්, ගෝවා, බෝංචි, රාබු, කැරට් මෙන්ම කෙසෙල්, අලිගැටපේර, පේර සහ තවත් සුළු පළතුරු වර්ග කිහිපයක් සරුවට වැවෙනු දැකිය හැක. එමෙන්ම මැණික් ගැරීම, පාවහන් කර්මාන්තය, බේකරි කර්මාන්තය, වාහන අළුත්වැඩියාව සහ තවත් සුළු ස්වයං රැකියා වල නියුත්ක පිරිසක්ද මෙම ප්‍රදේශයේ දැකගත හැක.
පොදු පහසුකම්
[සංස්කරණය]පොදු පහසුකම් අතින් සර්ව සම්පූර්ණ නොවූ නමුදු නගරයේ විදුලිය, ජලය, මාර්ග පහසුකම් මෙන්ම ප්‍රවාහන පහසුකම්ද හොඳ මට්ටමේ ඇතත් තවත් දියුණුවට පත්කළ යුතු තත්වයේ පවතින අඩුපාඩු රැසකින් සමන්විත වේ. ජනතාවගේ ප්‍රධාන පානීය ජලය ලබාගැනීමේ ජල ප්‍රභවය වන්නේ නල මාර්ගයෙන් ජලය ලබා ගැනීමයි. වර්ෂය පුරා පැතිර ගිය වර්ෂාධික කාලගුණයකින් යුක්ත වුවද, සුළු පෑවිල්ලකට වුවද පානීය ජල අවශ්‍යතාවය වෙනුවෙන් ඇතිවන අසීරුකම් වලට ලක්වීමට ජනතාවට සිදුවී ඇත. කඳුකර ප්‍රදේශයක පිහිටා ඇති බැවින් සාමාන්‍ය වර්ශාවකට වුවද නාය යැමේ අවදානම සහිත ප්‍රදේශ බොහෝ ගනනක් ප්‍රදේශයේ ඇත. සමහර නායයෑම් අවස්ථාවලදී සිදුවන මාර්ග අවහිරතා නිසා පීඩා විඳිමටද ප්‍රදේශයේ ජනතාවට සිදුවේ. එසේම පුදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්වයද යහපත් තත්වයේ ඇති අතර, නගරය තුළ ප්‍රධාන රෝහලක් නොවූවද මූලික රෝහල් කිහිපයක් නගරයට ඉතා නුදුරින් කොටගල, වටවල, දික්ඔය සහ මස්කෙලිය යන ප්‍රදේශවල පිහිටා ඇත. නමුත් හදිසි තත්ව යටතේ රෝගීන් නුවර එළිය, නාවලපිටිය මහ රෝහලට හෝ මහනුවර, පේරාදෙණිය යන ශික්ෂණ රෝහල් වලට යොමු කිරීම් දක්නට ලැබේ. ප්‍රවාහන පහසුකම් හොඳ තත්වයේ පවතින අතර, පොදු පහසුකම් අඩු බස් නැවතුම් පලක් සහ සාමාන්‍ය හොඳ තත්වයේ දුම්රිය ස්ථානයකින්ද සමන්විත වේ. හැටන් නගරයේ සිට කොළඹ, මහනුවර, නුවර එලිය, කුරුණෑගල, දඹුල්ල, ත්‍රීකුණාමලය, කතරගම, බලංගොඩ සහ මීගමුව යන ප්‍රදේශවලට සහ ඒවාට අතරමැදිව පිහිටි නගර විශාල ප්‍රමාණයකට සෘජු ගමන් පහසුකම් බස්රථ මගින් ලබාගත හැකි අතර, කොළඹ සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ගයේ පිහිටි දුම්රිය ස්ථාන වලට සෘජු දුම්රිය පහසුකම්ද ලබාගත හැක.
අධ්‍යාපනය
[සංස්කරණය]නගරයේ මිශ්‍ර පාසැල් දෙකක් වන සිංහල මාධ්‍ය පාසැලක් වන ශ්‍රීපාද මධ්‍ය මහා විද්‍යාලය සහ ද්‍රවිඩ භාෂා පාසැලක් වන හයිලන්ඩ් දෙමළ විද්‍යාලයද, ද්වි භාශා කාන්තා පාසැලක් වන සාන්ත ගේබ්‍රියල් බාලිකා විදුහල සහ ද්වි භාෂා පිරිමි විදුහලක් වන සාන්ත ජෝන් බොස්කෝ විදුහලද පිහිටා ඇත. මෙම ප්‍රධාන විදුහල් හතරට අමතරව කුඩා වතු පාසැල් බොහෝ ගනනකින් අවට ප්‍රදේශය සමන්විත වේ. පුධාන පාසැල් හතරේ පමණක් අටදාහකට අධික ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ඉගෙනුම ලබයි. මොවුන් හැටන් නගරය මෙන්ම අවට පිහිටි නගර සහ ගම්මාන වලින්ද පොදු ප්‍රවාහන පහසුකම් භාවිතා කරමින් නගරයට පැමිණෙන පිරිසක් වේ.
නගරය තුළ පිහිටි ප්‍රධාන පාසැල්
[සංස්කරණය]- ශ්‍රී පාද මහා විද්‍යාලය
- හයිලන්ඩ් විද්‍යාලය
- ශාන්ත ගේබ්‍රියල් බාලිකා විද්‍යාලය
- ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලය
උත්සව/සැමරුම්
[සංස්කරණය]දෙසැම්බර් මස උඳුවප් පොහොය දින සිට මැයි මස වෙසක් පොහොය දින දක්වා නගරයේ ප්‍රවාහන පහසුකම් වලට කාර්ය බහුල සමයක් බවට පත්වන්නේ දුම්රියෙන් සහ බස්රථ මෙන්ම අනෙකුත් ප්‍රවාහන සේවා භාවිතා කරමින් සිරිපා වන්දනාවේ යෙදෙන දේශීය මෙන්ම විදේශීය වන්දනා නඩ සහ සංචාරකයින්ගෙන් පිරී යන සමයක් වන බැවිනි. එසේම සිංහල අළුත් අවුරුදු කාලයට, තෛපොන්ගල් දීපාවලී, මෙන්ම නත්තල් කාල වලදී නගරයේ තදබදය ඉතාමත්ම ඉහලයන කාලයන් වේ. මේ අතුරින් දීපාවලී සමය විශේෂ වේ. වෙළඳාම් කටයුතු කරන්නන්ගෙන් මෙන්ම වෙනත් ප්‍රධාන නගරයක් අසල නොවූ බැවින් පාරීභෝගික ජනතාවගෙන්ද එම දිනවල හැටන් නගරය අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී යයි.
ජන වර්ග
[සංස්කරණය]ජාතිකත්වය | ජනගහණය | % මුළු එකතුවෙන් |
---|---|---|
සිංහල | 3,752 | 26.32 |
ශ්‍රී ලාංකීය ද්‍රවිඩ | 3,278 | 23.00 |
ඉන්දියානු ද්‍රවිඩ | 4,713 | 33.06 |
ශ්‍රී ලාංකීය මුස්ලිම් | 2,309 | 16.20 |
අනෙකුත් (ඇතුලත්ව බර්ගර්, මැලේ ) | 203 | 1.42 |
එකතුව | 14,255 | 100 |
පිහිටීම | 6°53′14.45″N, 80°35′55.03″E | හැටන් |
තැපැල් සහ දුරකථන කේතයන්
[සංස්කරණය]- ශ්‍රී ලංකා 00 94
- ප්‍රාදේශීය 051
- තැපැල් කේතයන් 22000