බ්‍රහ්මේස්වර දේවාලය
බ්‍රහ්මේස්වර දේවාලය | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | භුබනේස්වර් |
අනුබැඳියාව | හින්දු ආගම |
දේවතාවා | බ්‍රහ්මේස්වර |
ජනපදය | ඔරිස්සා |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
සම්පූර්ණ කෙරුණේ | ක්‍රි.ව. 1058 |
බ්‍රහ්මේස්වර දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔඩිෂාහි භුබනේස්වර්හි පිහිටි ශිව දෙවිය්න උදෙසා කැපකළ හින්දු දේවාලයකි. ක්‍රි.ව. 9වන සියවසේ දී ඉදිවූ මෙහි ඇතුළත හා පිටත බහුල ලෙස කැටයමින් අලංකාර කොට ඇත. මෙම හින්දු දේවාලය ඉදිකළ දිනය පිළිබඳ මුලින් දේවාලයේ තිබූ අභිලේඛන පාදක කරගනිමින් සාධාරණ නිගමනයකට එළඹිය හැක. වර්තමානයේ එය දක්නට නැතත්, සංරක්ෂණය වී ඇති එහි වාර්තා අනුව මෙය ක්‍රි.ව. 1058 අවට කාලයේ ඉදිවූ බැව් පෙනේ. මෙම දේවාලය ඉදිකරන ලද්දේ සෝමවංශී රාජවංශයේ උද්‍යෝතකේසරී රජුගේ 18වන රාජ්‍ය වර්ෂයේ දී ඔහුගේ මව වූ කෝලවතී දේවී විසිනි. මෙය ක්‍රි.ව. 1058ට අනුරූප වේ.[1]
ඉතිහාසය
[සංස්කරණය]ඉතිහාසඥයන් මෙම දේවාලය පසුකාලීන ක්‍රි.ව. 11වන සියවසට අයත් යැයි නිශ්චිතවම කාල නිර්ණය කොට ඇත්තේ භුබනේස්වර් සිට කල්කටා වෙත රැගෙන ආ අභිලේඛනයක් අනුව ය. මෙම අභිලේඛනයේ විස්තර වන්නේ මෙම දේවාලය ඉදිකරන ලද්දේ සෝමවංශී රජ උද්‍යෝත කේසරීගේ මෑණියන් වූ කෝලවතීදේවී විසින් බවයි. එය ඉදිවූයේ ඒකාම්රා (වර්තමාන භුබනේස්වර්) හි සිද්ධතීර්ථ නම් ස්ථානයේ තවත් නාට්‍යශාලා හතරක් ද සමග ය. මෙම ලිපිය වාර්තා කොට ඇත්තේ උද්‍යෝත කේසරී රජුගේ 18වන රාජ්‍ය වර්ෂයේ ය. (ක්‍රි.ව. 1060) මෙම අභිලේඛනය එහි මුල් ස්ථානයෙහි නොවූ බැවින් පුරාවිද්‍යාඥයන් සඳහන් කරන්නේ මෙය වෙනත් දේවාලයකට අදාළ විය හැකි යැයි සිතිය හැකි නමුත්, ස්ථානය සහ එහි විස්තර වන අනෙක් අංග අනුව අභිලේඛනය මෙම දේවාලයට අයත් යැයි නිගමනය කළ හැකි බවයි. එසේම, පාණිග්‍රාහි විසින් ගෙනහැර දක්වන තවත් තර්කයක් වනුයේ මෙහි ප්‍රධාන දේවාල සතර අංගශාලා (පරිවාර දේවාල) මිස නාට්‍යාශාලා (නර්තන ශාලා) නොවන බවයි.[2]
ගෘහනිර්මාණ හිල්පය
[සංස්කරණය]ප්‍රධාන දේවාලයට අමතරව මෙහි දේවාලයේ සතර කොනෙහි අතිරේක දේවාල සතරක් ද පවතින බැවින් මෙම දේවාලය පංචතානය දේවාලයක් ලෙස වර්ග කෙරේ. මෙය ඉදිවූ කාලය සැලකිල්ලට ගත්විට, එය එහි පෙර කාලයේ දේවාලවලට වඩා සංවර්ධිත සැකැස්මක් පෙන්වයි. දේවාලයේ විමානය 18.96 m (62.2 ft) උසැති ය.[2] මෙම දේවාලය සම්ප්‍රදායික දැව කැටයම් ශිල්ප ක්‍රම භාවිතා කොට ඇතත්, අමුද්‍රව්‍ය ලෙස පාෂාණ භාවිතා කොට ඇත. ගොඩනැගිලි පූර්ණ පරිමා පිරමිඩයක ස්වරූපයෙන් නිර්මාණය කොට පිටතින් සහ ඇතුළතින් කැනීම සිදු විය.
දර්ශීය ඔරිස්සා දේවාල සැකැස්මක් සම්බන්ධිත ගොඩනැගිලි දෙකකින් යුක්ත වේ. ඉන් කුඩා ගොඩනැගිල්ල ජග්මෝහන හෙවත් සන්නිපාත ශාලාවකි. එයට පසුපසින් ශිඛර නම් ශිඛරයක හැඩය ගත් දේවස්ථානය පිහිටයි. පසුකාලීන දේවස්ථානවල මෙය ඉදිරියේ තවත් අමතර ශාලා දෙකක් ඉදිකෙරිණි. ඉන් එකක් නර්තනය සඳහාත්, අනෙක භෝජන සංග්‍රහ සඳහාත් වෙන්කෙරිණි.[3]
බ්‍රහ්මේස්වර දේවාලය මුල් කාලීන මුක්තේස්වර් දේවාලය වැනි දේවාල සමග සම්බන්ධතාවක් පෙන්වයි. එහි දී ජග්මෝහනයේ කැටයම් කළ අභ්‍යන්තර, සහ සිංහ ශීර්ෂ මෝස්තරය වැනි ප්‍රතිමා ලක්ෂණ ප්‍රධාන වේ. මෙම සිංහ හිස් මෝස්තරය පළමුවරට හමුවන්නේ මුක්තේස්වර දේවාලයේ වන අතර, මෙහි එය බහුලව යොදාගෙන තිබේ. මෙහි ද නව නිර්මාණ ගණනාවක් ඇති අතර, පිටත බිත්තිවල සංගීතයන් සහ නළඟනන්ගේ රූප ගණනාවක් ඇතුළත් කිරීම එයට නිදසුනකි. දේවාල ගෘහනිර්මාණ ශිල්පයේ ප්‍රථම වරට මෙහි යකඩ දඬු ද භාවිතයට ගෙන ඇත.
වැලිගල් බිත්තිවල මෝස්තර සහ දේවතා රූ දැකගත හැක. දොර රාමුවට ඉහළින් වූ කැටයම් අතර අලංකාර මල් සැරසිලි සහ පියාඹන රූ ද වේ. රාජාරාණි දේවාලයේ සේම මෙහි ද අට දිශාවන්හි ආරක්ෂක දේවතා රූ දැකගත හැක. එසේම තන්ත්‍රික-ක්‍රම හා සම්බන්ධ රූ ද ගණනාවක් දක්නට ලැබෙන අතර, බටහිර ප්‍රාසාද මුහුණතේ ත්‍රිශූලයක් සහ මිනිස් හිසක් අතින් ගත් චාමුණ්ඩා දෙවඟනගේ රුවක් වේ. ඇය මිනිස් මළකඳක් මත සිටගෙන සිටියි. ශිව සහ අනෙකුත් දෙවිවරුන් ද භයංකාර ස්වරූපයෙන් නිරූපණය කොට ඇත.
නැතිවූ තවත් එක් අභිලේඛනයක කෝලවතී රැජින විසින් 'දේවාලයට රූමත් ස්ත්‍රීන් ගණනාවක් පරිත්‍යාග කළ බව' සඳහන් වූ අතර, එමගින් 'දේවදාසි' සම්ප්‍රදාය මෙහි පැවති බවට සාක්ෂ්‍ය ලැබේ. පසුකාලීන ඔරිස්සානු දේවාල සහ දේවාල ජීවිතය තුළ එයට වැදගත් ස්ථානයක් හිමි විය.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "Brahmesvara Temple Complex" (PDF). IGNCA. සම්ප්‍රවේශය 2013-08-24.
- ^ a b Parida, A.N. (1999). Early Temples of Orissa (1st ed.). New Delhi: Commonwealth Publishers. pp. 101–4. ISBN 81-7169-519-1.
- ^ John Julius Norwich, ed. Great Architecture of The World. p26.