අෂ්ටසම්භු ශිව දේවාල
අෂ්ටසම්භු ශිව දේවාල | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | භුබනේස්වර් |
භූගෝලීය ඛණ්ඩාංක | 20°15′2″N 85°51′18″E / 20.25056°N 85.85500°Eඛණ්ඩාංක: 20°15′2″N 85°51′18″E / 20.25056°N 85.85500°E |
අනුබැඳියාව | හින්දු ආගම |
දේවතාවා | ශිව |
ජනපදය | ඔරිස්සා |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | කාලිංග ගෘහනිර්මාණ ශිල්පය |
සම්පූර්ණ කෙරුණේ | ක්‍රි.ව. 10වන සියවස. |
සම්පූර්ණ විස්තර | |
උන්නතාංශය | 33 m (108 ft) |
අස්ටසම්භු ශිව දේවාල යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ අගනගරය වන භුබනේස්වර් හි පිහිටි ශිව දෙවියන් උදෙසා කැපකළ හින්දු දේවාල 8 කින් යුත් සංකීර්ණයකි.[1]
දේවාලය
[සංස්කරණය]උත්තරේස්වර ශිව දේවාලයේ සීමාවේ සමාන ප්‍රමාණයෙන් සහ මිනුම්වලින් යුත් මෙම දේවාල අට දක්නට ලැබේ. මෙය ප්‍රාදේශීය ජනයා විසින් අෂ්ටසම්භු ලෙස හඳුන්වයි. අෂ්ට යනු අට වන අතර, "සම්භු" යන්න ශිව දෙවියන් සඳහා යෙදෙන අන්වර්ථ නාමයකි. මින් පහක් එකම පේළියට පිහිටා ඇති අතර, ඒවා "පංචු පාණ්ඩව" යනුවෙන් ද හැඳින්වේ. මෙම දේවාලය පවතින්නේ පෞද්ගලික හිමිකාරීත්වයක් යටතේ වන අතර, එය පවත්වාගෙන යන්නේ රත්නකාර ගර්ගාබාටු පවුල විසිනි. බාදා බෙදීම වැනි වාස්තු විද්‍යා ලක්ෂණ සහ පභාග බොරදම් අනුව මෙම දෙවොල ක්‍රි.ව. 10වන සියවස අවට නිර්මාණය වූ බැව් පෙනේ. ගල්වලින් තැනූ මෙම ගොඩනැගිල්ල රේඛා දොවොල් ආකාරයෙන් යුක්ත ය. මෙම දේවාලයේ නැගෙනහිරින් ගෝදාවරී ජලාශය ද, බටහිරින් උත්තරේස්වර ශිව දේවාල ප්‍රාකාරයත් සහ දකුණින් ප්‍රාකාරයට පිටතින් බින්දුසාගර් ජලාශයෙනුත් මායිම් වේ. මෙම දේවාලයේ නැගෙනහිරට මුහුණලා පිහිටි ආශ්‍රමයක් ඇත.[2]
ගෘහනිර්මාණ ශිල්පය
[සංස්කරණය]මෙම දේවාලයේ චත්‍රරස්‍රාකාර විමානම් අංගයක් ඇති අතර මීටර 2.45ක ප්‍රමාණයෙන් යුත් එහි මීටර 0.53ක ඉදිරි ද්වාර මණ්ඩපයක් ද ඇත. මෙහි පංචරථ අංගයෙහි වූ විශේෂ ලක්ෂණයක් ලෙස මධ්‍ය රාහ අංගයකුත්, රාහ අංගයේ දෙපස වූ 'අනුරථ සහ කණික පාග යුගළත් සැලකේ. උච්චත්වය සැලකූ විට, රේඛා ශෛලියෙන් යුත් විමානය පභාගයේ සිට කලස තෙක් මීටර 5.72ක උසකින් යුක්ත ය. දේවාලයේ පහළ සිට ඉහළට බාදා, ගණ්ඩි සහ මස්තක යන අංග පිහිටයි. මෙම දේවාලයේ බෙදීම් තුනකින් යුතු ත්‍රියංග බාදා අංගයක් පිහිටි අතර එය මීටර 1.72ක් පමණ වේ. පභාග කොටසෙහි පහළ මීටර 0.47ක ප්‍රමාණයේ ඛුර, කුම්හ, පට, බසන්ත යන පාදම් බොරදම් තීරු හතරක් ඇත. මෙහි ජංඝ කොටස මීටර 0.90ක් උසැති අතර, බරණ්ඩ කොටස මීටර 0.35ක ඝනකමින් යුත් අතර, එහි ද බොරදම් තුනක් පවතියි. මීටර 3.00ක් උසැති ගණ්ඩි කොටස කිසිදු මෝස්තර අංගයකින් තොර ය. මීටර 1.00ක් උසැති මෙහි මස්තකය බේකි, ආම්ලක, ඛාපූරි සහ කලස යන අංගවලින් විසිතුරු කොට ඇත.[3]
ජංඝ කොටසේ රාහ පාග අංගයන්හි දක්නට ලැබෙන පාර්ශ්වදේවතා අවකාශ උතුරු, බටහිර සහ දකුණ යන දිශා තුනෙහි දක්නට ලැබේ. මේවා මීටර 0.50 x මීටර 0.32 ප්‍රමාණයෙන් සහ මීටර 0.20ක ගැඹුරකින් යුක්ත වේ. දකුණු අවකාශය හැර සෙසු අවකාශ දෙක හිස්ව පවතියි. මෙම අවකාශඛාඛරා ශෛලියේ තාලගර්භික සහ ඌර්ධගර්භික අංගවලින් විසිතුරු කොට ඇත. දකුණු අවකාශය තුළ අත් සතරක් සහිත ගනේෂ ප්‍රතිමාවක් දක්නට ලැබේ. ගනේෂ පහළ වමතෙන් පරසුවක් ද, වරද මුද්‍රාවෙන් යුත් පහළ දකුණතින් නව ගුණ වැලක් ද දරා සිටියි. මෙම ප්‍රතිමාවේ ඉහළ අත් කැඩී ගොසිනි. මෙම දේවතා රුව වටා පරිවාර පියාඹන විද්‍යාධර රූ දෙකක් දැකගත හැක. මෙම විද්‍යාධරයෝ මල් මාලා දරා සිටිති. මෙම දේවාලය නිර්මාණය කොට ඇත්තේ වයිරම් සහිත අළු වැලිගලිනි. වියළි පෙදරේරු තාක්ෂණය භාවිතා කකොට නිමැවූ මෙය කාලිංග සම්ප්‍රදායයෙන් යුක්ත ය.
මෝස්තර අංග
[සංස්කරණය]උළුවහු කණු මීටර 1.20ක උසකින් සහ මීටර 0.84ක පළලින් යුත් සිරස් තීරු තුනකින් විසිතුරු කොට ඇත. උළුවහු කණුවල පාදමේ දෙපස දේවාපාල අවකාශ ඇති අතර, ඒවා උසින් මීටර 0.28ක් සහ පළලින් මීටර 0.12ක් වේ. මේවායේ ත්‍රිශූල අතින් ගත් ශෛවීය ද්වාරපාල රූ දැකගත හැක. ලලාටබිම්බයෙහි වමතෙහි නෙළුම් මලක් සහ දකුණත වරද මුද්‍රාවෙන් යුත් ගජලක්ෂ්මී කැටයමක් දැකගත හැක. උළුවස්සට ඉහළින් වූ ස්තරය සම්ප්‍රදායික නවග්‍රහ කැටයම්වලින් අලංකාර කොට ඇත.
මේවාත් බලන්න
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- K. C. Panigrahi, Archaeological Remains at Bhubaneswar, Calcutta, 1961. P. 19.
- T. E. Donaldson, Hindu Temple Art of Orissa, Vol. I, Leiden, 1985, P. 64.