ගංගේස්වර ශිව දේවාලය
ගංගේස්වර ශිව දේවාලය | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | භුබනේස්වර් |
භූගෝලීය ඛණ්ඩාංක | 20°14′33″N 85°51′17″E / 20.24250°N 85.85472°Eඛණ්ඩාංක: 20°14′33″N 85°51′17″E / 20.24250°N 85.85472°E |
අනුබැඳියාව | හින්දු ආගම |
දේවතාවා | ශිව ලිංගය |
ජනපදය | ඔරිස්සා |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | කාලිංග ශෛලිය (කාලිංග ගෘහනිර්මාණ ශිල්පය) |
සම්පූර්ණ කෙරුණේ | ක්‍රි.ව. 13වන-14වන සියවස |
සම්පූර්ණ විස්තර | |
උන්නතාංශය | 18 m (59 ft) |
ගංගේස්වර ශිව දේවාලය පිහිටා ඇත්තේ ඉන්දියාවේ ඔරිස්සාවේ භුබනේස්වර් පැරණි නගරයේ ගංගා-යමුනා මාර්ගයේ (තාලබසාර් චෞක් සිට ගංගා-යමුන් දේවාලය තෙක් දිවෙන) වම් පස ය.[1][2] මෙය ලිංගරාජ දේවාලයට මීටර 200ක් ඊසාන දිගින් ද, ලාඛේස්වර දේවාලයට මීටර 50ක් උතුරින් ද පිහිටා ඇත. එය සුබර්ණේස්වර දේවාලය මීටර 200ක් දකුණින් ද, ගෞරිසංකර් දේවාලයට මීටර 100ක් නැගෙනහිරින් ද පිහිටා ඇත. දේවාලය නැගෙනහිරට මුහුණලා පිහිටයි. මෙහි වන්දනාවට ලක්වන ප්‍රධාන දේව ප්‍රතිමාව වන්නේ වෘත්තාකාර යෝනි පීඨයක් මත පිහිටි ශිව ලිංගයයි. ජීවමාන දේවාලයක් වන මෙම දෙවොල පවත්වාගෙන යනු ලබන්නේ ගංගා යමුනා සංගථන නම් සංවිධානය විසිනි.[3]
ශිවරාත්‍රී, චන්දන යාත්‍රා, කාර්තික පූර්ණිම සහ ජලාභිෂේක වැනි ආගමික චාරිත්‍ර මෙහි දී ඉටු කෙරේ. එසේම නූල් මංගල්‍යය, විවාහ මංගල්‍ය, විවාහ ගිවිස ගැනීම් වැනි විවිධ සමාජ කටයුතු ද මෙහි දී සිදු කෙරේ.
පුරාවෘත්තය
[සංස්කරණය]ඒකාම්‍ර ක්ෂේත්‍රයේ දී පාර්වතී දෙවඟන විසින් කීර්ති සහ බාස යන අසුරයන් විනාශ කළ බවත්, මෙම වීර ක්‍රියාවෙන් පසු ඇයට පිපාසයක් දැනුණු බවත් පැවසේ. ඇගේ පිපාසය සංසිඳුවීමට ශිව දෙවියන් සිය ත්‍රිශූලය පොළොවෙහි අනින ලද්දේ ය. එතැනින් දිය උල්පත්ක පැනනැගුණු අතර, එහි ජලය අභිෂේක කරවීම සඳහා ගංගා සහ යමුනා යන ගංගා දේවතාවියනට ආරාධනා කෙරිණි. ඔරිස්සාවේ ගංග පාලන සමයේ දී මෙම අවස්ථාව සිහිගැන්වීමට ගංගේස්වර සහ යමුනේස්වර දේවාල ඉදිරිකෙරිණි. කෙසේනමුත්, වර්තමානයේ දක්නට ඇති ස්මාරකය පසුකාලීනව අලුත්වැඩියා කළ එකක් බැව් පෙනේ. මේ බව පැරණි අමද්‍රව්‍ය අක්‍රමවත්ව හසුරුවා තිබීමෙන් පෙනී යයි. එසේම ජංඝ කොටසේ පසුකාලීන ප්‍රතිමා නිර්මාණ දැකගත හැක.
ඉතිහාසය
[සංස්කරණය]මෙම දේවාලය ක්‍රි.ව. 13වන-14වන සියවසේ දී ගංගා පාලන සමයේ ඉදිවන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙහි ගෘහනිර්මාණ ලක්ෂණ සහ පිටත බිත්තියේ ඇති ප්‍රතිමා මේ සඳහා පාදක කොටගෙන ඇත.
භෞතික තොරතුරු
[සංස්කරණය]මෙම දේවාලයේ රේඛා දියුල් ලක්ෂණ දක්නට ලැබේ. දේවාලය දකුණු දෙසින් යමුනේස්වර දේවාලයෙන් ද, ඊසානදිගින් ගංගා-යමුනා ජලාශයෙන් ද සීමා වේ. නැගෙනහිර, පටහිර සහ උතුරු දිශාවලින් මෙම දේවාලයේ ප්‍රාකාරය වටා කුඹුරු යායවල් දක්නට ලැබේ. දේවාලයේ ප්‍රාකාරයට දකුණු දෙසින් ගංග-යමුනා මාවත දිවෙයි. දේවාලය නැගෙනහිරට මුහුණලා පිහිටා ඇත.
ගෘහනිර්මාණ ශිල්පය
[සංස්කරණය]සැලැස්ම අතින් මෙම දේවාලය පංචරථ ස්වභාවයක් ගන්නා අතර, එහි සතරැස් විමානයක් සහ නැගෙනහිරට මුහුණලා පිහිටි ද්වාර මණ්ඩපයක් දක්නට ලැබේ. විමානයේ බිම් ක්ෂේත්‍රඵලය වර්ග මීටර 3.35කි. ද්වාර මණ්ඩපය මීටර 0.25කි. උච්චත්වය අතින් රේඛා සම්ප්‍රදායයෙන් යුත් මෙහි බාදා, ගන්දි සහ මස්තක යන අංග දක්නට ලැබේ. මෙහි ඛුර යන අංගයේ සිට කලස තෙක් උස මීටර 8.00කි. බාදා කොටසේ උස මීටර 2.60ක් වන අර, එය සිරස් බෙදීම් පහකින් යුක්ත ය. මෙම අංග පහ නම් බොරදම් පහක් සහිත සරල පභාගය (මීටර 0.66), බොරදම් දෙකක් සහිත තල ජංඝ (මීටර 0.72), බොරදම් දෙකක් සහිත බන්ධනා (මීටර 0.40), උපර ජංඝ (මීටර 0.60) සහ මීටර 0.22ක් උසැති තනි බොරදමින් යුත් බරන්ද කොටසයි. බරන්දයට ඉහළින් පිහිටි ගන්දි කොටමේ උස මීටර 3.15කි. බරන්ද කොටස මධ්‍ය රාහයක් සහ එහි එක් එක් පැත්තේ වූ අනුරථ සහ කණිකා පාගවලින් සමන්විත ය. වක්‍රරේඛීය ශිඛරයක් වන රාහයේ කිසිදු මෝස්තරයක් දක්නට නොලැබේ. මස්තකය දර්ශීය ඔරිස්සා දේවාලවල දක්නට ලැබෙන බේකි, ආම්ලක, ඛාපූරි සහ කලස යන අංගවලින් යුත් අතර, එහි උස මීටර 2.25කි.
මේවාත් බලන්න
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Lesser Known Monuments of Bhubaneswar by Dr. Sadasiba Pradhan (ISBN 81-7375-164-1)
- ^ http://orissa.gov.in/e-magazine/Orissareview/2011/may/engpdf/16-17.pdf
- ^ http://www.ignca.nic.in/asi_reports/orkhurda064.pdf