Jump to content

දේවදාසි

විකිපීඩියා වෙතින්
1920 දශකයේ දකුණු ඉන්දියාවේ තමිල් නාඩුවේ දේවදාසියන් දෙදෙනකුගේ ඡායාරූපයක්

දකුණු සහ බටහිර ඉන්දියාවේ ඇතැම් පෙදෙස්වල, දේවදාසි (සංස්කෘත: දෙවියන්ගේ සේවිකාව) හෙවත් ජෝගිනී ලෙස හැඳින්වෙන්නේ සිය දිවියේ සෙසු කාලය පුරාම දේවාලයක හෝ දෙවියකුගේ පූජා කටයුතු සහ සේවාවන් වෙනුවෙන් "කැපවූ" යුවතියකි. දැරියන් දේවදාසියන් බවට පත්කරන ලද වයස් සීමාව අවුරුදු 8-16 අතර විය. මෙම කැපකිරීම පෝට්ටුකට්ටු නම් උත්සවයක දී සිදු විය. මෙය ඇතැම් අංග අතින් විවාහයකට සමාන ය. සැබැවින්ම දේවාලයේ චාරිත්‍ර ඉටු කරමින් එය බලාගැනීමට අමතරව, මෙම ස්ත්‍රීහු භරතනාට්‍ය සහ ඔඩිසි වැනි සම්භාව්‍ය ඉන්දියානු නර්තනයන් ප්‍රගණ කළහ. නර්තනය සහ සංගීතය දේවාල වන්දනයේ අත්‍යාවශ්‍ය අංගයක් වූ බැවින් ඔවුහු ඉහළ සමාජ තත්ත්වයකට හිමිකම් කීහ.

සම්ප්‍රදායිකව දේවදාසියනට සමාජයේ ඉහළ තත්ත්වයක් හිමි විය. ධනවත් අනුග්‍රාහකයන් සමග විවාහ වීමෙන් පසුව, ඔවුහු ගෘහණියන් බවට පත්වනු වෙනුවට සිය දක්ෂතා දියුණු කරගැනීමෙන් කාලය ගතකළහ. ඔවුහු සිය සැමියන්ට දාව උපන් දරුවන්ට ද සංගීතය හෝ නර්තනය ඉගැන්වූහ. බොහෝ අවස්ථාවල ඔවුන්ගේ අනුග්‍රාහකයන්ට ගෘහණියක ලෙස සේවය කළ තවත් බිරිඳක විය. මෙම ප්‍රජාවගෙන් පැවත එන කීර්තිමත් පුද්ගලයන් අතර භාරත රත්න එම්. එස්. සුබ්බලක්ෂ්මී, ලතා මංගේෂ්කාර්, කිෂෝරි අමොන්කාර්, පද්ම විභූෂණ ටී. බාලසරස්වතී සහ ආචාර්ය මුතුලක්ෂ්මී රෙඩ්ඩි වැන්නියෝ වෙති.

බ්‍රිතාන්‍ය පාලන සමයේ, ඉන්දියානු උපමහාද්වීපය තුළ දේවාල සහ දේවාල කලාවන්ට අනුග්‍රහ දැක්වූ රජවරුන්ගේ බලය හීන විය. එහි ප්‍රතිඵලයක් ලෙස, දේවදාසීනට ද සිය සම්ප්‍රදායික සහාය සහ අනුග්‍රහය අහිමි විය. යටත්විජිත සමයේ, ප්‍රතිසංස්කරණවාදීන් දේවදාසි සම්ප්‍රදාය නීතියෙන් බැහැර කිරීමට උත්සාහ ගත්තේ එය ගණිකා වෘත්තියට අනුබල දීමක් වූ නිසායි. දේවදාසියන් කෙරෙහි වූ යටත්විජිත දෘෂ්ටිය ඉන්දියාවේ විවිධ කන්ඩායම් හා සංවිධාන මෙන්ම බටහිර විද්වතුන්ගේ ද මතභේදයට ලක් විය. දෙවියන් කෙරෙහි වූ අධ්‍යාත්මික භක්තිය වෙනුවෙන් වීදිවල නර්තනයේ යෙදුණු දැරියන්ගෙන් දේවදාසියන් වෙන්කර හඳුනාගැනීමට බ්‍රිතාන්‍යයන් අපොහොසත් විය. මේ නිසා ජන කලාවන් කෙරෙහි සමාජ-ආර්ථික දුෂ්කරතාවන් ඇති විය.[1][2][3][4]

මෑතක දී දේවදාසි ක්‍රමය තුරන් වී යන්නට පටන්ගෙන ඇති අතර, 1988දී එය මුළු ඉන්දියාවේම තහනම් කෙරිණි.[5]

දේවදාසියන් ජෝගිනී යනාදී විවිධ ප්‍රාදේශීය වදන් ගණනාවකින් හැඳින්විණි‍. එපමණක් නොව කර්ණාටකයේ දේවදාසි වෘත්තිය බාසිවී ලෙසත්, මහාරාෂ්ට්‍රයේ මාතංගී ලෙසත්, ගෝවේ භාවින් හෝ කලාවන්තීන් ලෙසත් හැඳින්වීම සිදු විය.[6] එය වෙන්කටේසනී, නායිලී, මුරාලි සහ තේරඩියන් ලෙස ද හැඳින්වේ. අයියර් ප්‍රජාවගේ දේවදාසීහු භරතනාට්‍යම් නර්තනයේ යෙදුණහ.[7] ඇතැම් අවස්ථාවන්හි දේවදාසියන් කුලයක් ලෙස ද හැඳින්වේ; කෙසේනමුත්, මෙම යෙදුමෙහි නිරවද්‍යතාව පිළිබඳ ඇතැම් ගැටලු පවතියි. අම්රිත් ශ්‍රීනිවාසන් (1985) අනුව "දේවදාසියනට අනුව දේවදාසි 'ජීවන ක්‍රමයක්' හෙවත් 'වෘත්තීයමය ආචාරධර්ම' (වෘත්ති, මුරෛ) ඇති නමුත්, දේවදාසි ජාතියක් (උප-කුලයක්) නොපවතියි. පසුව, දේවදාසි පදවිය ප්‍රවේණිකව උරුමවූ නමුත්, නිසි සුදුසුකම් නොමැති නම් එහි නියැළීමේ අයිතිය හිමිනොවිණි " යුරෝපය තුළ, bayadere (ප්‍රංශ: bayadère වදනෙන්, පෘතුගීසි: balhadeira යන්නෙන් ආරූඩ වූ, සාහිත්‍යමය නළඟන) යන්න ඇතැම් අවස්ථාවල භාවිතා විය.[8]

මේවාත් බලන්න

[සංස්කරණය]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ Crooke, W., Prostitution?, Encyclopaedia of Religion and Ethics, Vol. X, Eds., James Hastings and Clark Edinburg, Second Impression, 1930.
  2. ^ Iyer, L.A.K, Devadasis in South India: Their Traditional Origin And Development, Man in India, Vol.7, No. 47, 1927.
  3. ^ V.Jayaram. "Hinduism and prostitution". Hinduwebsite.com. සම්ප්‍රවේශය 28 April 2013.
  4. ^ Donors, Devotees, and Daughters of God: Temple Women in Medieval Tamil Nadu සංරක්ෂණය කළ පිටපත 2007-09-27 at the Wayback Machine Leslie C. Orre
  5. ^ Devadasi.(2007). In Encyclopædia Britannica. Retrieved 4 July 2007, from Encyclopædia Britannica
  6. ^ De Souza, Teotonio R. (1994). Goa to Me. Concept Publishing Company. p. 68. ISBN 8170225043.
  7. ^ "devadasi, at The Skeptic's Dictionary". skepdic.com. සම්ප්‍රවේශය 8 January 2017.
  8. ^ Bayadère. Oxford English Dictionary. Retrieved 1 February 2008 from Oxford English Dictionary.

බාහිර සබැඳි

[සංස්කරණය]

සැකිල්ල:Social issues in India

"https://si.wikipedia.org/w/index.php?title=දේවදාසි&oldid=592324" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි