පබනේස්වර දේවාලය
පබනේස්වර දේවාලය | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | භුබනේස්වර් |
භූගෝලීය ඛණ්ඩාංක | 20°14′59″N 85°50′34″E / 20.24972°N 85.84278°Eඛණ්ඩාංක: 20°14′59″N 85°50′34″E / 20.24972°N 85.84278°E |
අනුබැඳියාව | හින්දු ආගම |
දේවතාවා | ශිව |
ජනපදය | ඔරිස්සා |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | කාලිංග ශෛලිය (කාලිංග ගෘහනිර්මාණ ශිල්පය) |
සම්පූර්ණ කෙරුණේ | ක්‍රි.ව. 10වන සියවස |
සම්පූර්ණ විස්තර | |
උන්නතාංශය | 16 m (52 ft) |
පබනේස්වර ශිව දේවාලය පිහිටියේ ඉන්දියාවේ ඔරිස්සාවේ භුබනේස්වර්හි පිහිටි දේවාලයකි. මෙය කේදාර-ගෞරි දේවාල වෙත දිවෙන මාර්ගයේ වම්පස පරසුරාමේස්වර දේවාලයට මීටර 100ක් පමණ නැගෙනහිරින් පිහිටා ඇත.[1][2] මෙම දේවාලය අතීතයේ දෛතේස්වර ශිව දේවාලය ලෙස ද හැඳින්විණි. විමානයක් සහ නවීකරණය කළ ද්වාර මණ්ඩපයකින් යුත් මෙම දේවාලය නැගෙනහිරට මුහුණලා පිහිටා ඇත. මෙහි වන්දනාවට ලක්වන ප්‍රධාන දේවතාවා වන්නේ ගර්භගෘහයේ වෘත්තාකාර යෝනිපීඨයක් මත පිහිටි ශිව ලිංගයයි. මෙය ජීවමාන දේවාලයකි. මෙම දේවාලය දකුණින් මාර්ගයෙන් සීමා වන අතර, අනෙක් දිශා තුනෙන් පෞද්ගලික ගොඩනැගිලි සහ වෙළඳ සංකීර්ණයෙන් මායිම් වේ. පසුකාලීනව මෙම දේවාලය නවීකරණය කොට ඇති අතර, පභාගයට ඉහලින් මෙහි දෙවන ඉදිකිරීම් අවධියක් ද හඳුනාගත හැක. පොදු හිමිකාරීත්වයක් යටතේ පවතින මෙම දේවාලය ප්‍රදේශ ජනයා විසින් පවත්වාගෙන යනු ලබයි.
මෙම දේවාලය ඉදිවූ නිශ්චිත දිනයක් නොදනියි. නමුත් ගෘහනිර්මාණ ලක්ෂණ අනුව මෙම දේවාලය ක්‍රි.ව. 10වන සියවසේ ඉදිවන්නට ඇතැයි අනුමාන කෙරේ. මෙම දේවාලය රේඛා දියුල් ලක්ෂණවලින් යුක්ත ය. වර්තමානයේ ද පූජා කටයුතු සඳහා භාවිතා වන මෙම දේවාලය ජීවමාන දේවාලයකි. එහි ශිවරාත්‍රී, සංක්‍රාන්ති සහ කාර්තික පූර්ණිම වැනි ආගමික උත්සව සැමරීම සිදු කෙරේ.
ගෘහනිර්මාණ ශිල්පය
[සංස්කරණය]මෙම දේවාලය නැගෙනහිර, බටහිර සහ උතුරු පැතිවලින් පෞද්ගලික නිවාස ගොඩනැගිලි සහ වෙළඳ සංකීර්ණයෙන් වටවී ඇති අතර, දකුණින් මාර්ගයෙන් ද වටවී ඇත. දේවාලය නැගෙනහිරට මුහුණලා පිහිටයි.
සම්පූර්ණ දේවාලයම අලුත්වැඩියාවට ලක් කළ එකකි. සැලැස්ම අතින් දේවාලයේ විමානයක් සහ නවීකරණය කළ ඉදිරි ද්වාර මණ්ඩපයක් දැකගත හැක. මෙම ද්වාර මණ්ඩපයේ දිග මීටර 3.80ක් වන අතර, පළල මීටර 0.75කි. දේවාලයේ පහත් වේදිකාවක පිහිටා ඇති අතර, වර්තමානයේ එය පසෙන් යටවී පවතියි. මෙම දේවාලය පංචරථ සැලැස්මෙන් යුත් අතර, එහි මධය රාහයක් සහ එහි එක් එක් පැත්තේ වූ අනුරථ පාග සහ කණික පාග යුගළ දැකගත හැක. උච්චත්වය අතින් දේවාලයේ මීටර 2.90ක් උසැති ත්‍රියංග බාදාවක් ඇත. මීටර 0.75ක් වන පභාගයේ ඛුර, කුම්භ, පට සහ බසන්ත යන බොරදම් සතර දක්නට හැක. ජංඝ කොටසේ උස මීටර 1.65ක් වන අතර එය චාම් ය. බරන්ද කොටසේ උස මීටර 0.50කි. මෙම දේවාලය කිසිදු ප්‍රතිමා මෝස්තරවලින් යුක්ත නොවේ. දේවාලයේ මස්තකයේ ඇති බේකි, ආම්ලක, ඛාපූරි සහ කලස යන අංග මගින් දර්ශීය කාලිංග සම්ප්‍රදායය සිහිපත් කරයි. මෙහි පැති තුනක ඇති සමාන පෙනුමින් යුත් රාහ නිකේතන උස මීටර 0.80 x පළල මීටර 0.45 x ගැඹුර මීටර 0.25 යන මිනුම්වලින් යුතු ය. මේවා හිස් ය. අළු වැලිගල් මාධ්‍යය යොදාගෙන වියළි පෙදරේරු තාක්ෂණනේ නිර්මිත මෙම දේවාලවල කාලිංග ගෘහනිර්මාණ ශිල්පී ලක්ෂණ දක්නට ලැබේ.
මෝස්තර අංග
[සංස්කරණය]උළුවහු කණු තනි සිරස් ලියවැල් තීරුවකින් අලංකාර කොට ඇත. ලලාටබිම්බ කොටසේ නෙළුමක් මත ලලිතාසනයෙක් හිඳගත් ගජලක්ෂ්මී දෙවඟනගේ රුවක් වේ. උළුවහු කණුවේ පාදමේ ද්වාර පාල නිකේතනයක් වේ. මෙහි ශෛවීය ද්වාරපාල රූ දැකගත හැකි අතර, ඔවුන් ත්‍රිශූල දරා සිටියි. මෙහි වම්පස උළවහු කණුව අලුත්වැඩියා කළ එකක් වන අතර, එය චාම් ය.
සංරක්ෂණ තත්ත්වය
[සංස්කරණය]මෙම දේවාලයේ උපරි ව්‍යූහයේ පිපිරීම් වර්ධනය වී ඇති අතර, එහි දකුණු සහ බටහිර පැතිවලට අර්ධ ලෙස හානි සිදුවී ඇත.[3] X සහ XI මූල්‍ය කොමිසමේ ප්‍රදානයන් අනුව ප්‍රාන්ත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කොට ඇත.
ශ්‍රේණිය (A/B/C)
[සංස්කරණය]i) වාස්තු විද්‍යා: B
ii) ඓතිහාසික: C
iii) සංවිධානික: C
iv) සමාජ/සංස්කෘතික: C
මේවාත් බලන්න
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Lesser Known Monuments of Bhubaneswar by Dr. Sadasiba Pradhan (ISBN 81-7375-164-1)
- ^ http://www.telegraphindia.com/1110511/jsp/orissa/story_13964794.jsp
- ^ සංරක්ෂිත පිටපත, http://www.niuzer.com/India/Heritage-structure-lies-in-sorry-state-4630291.html, ප්‍රතිෂ්ඨාපනය 2017-11-10