චන්දේල

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ජේජකභුක්තියේ චන්දේලයෝ

ක්‍රි.ව. 9වන සියවස–ක්‍රි.ව. 13වන සියවස
ක්‍රි.ව. 1200දී ආසියාව දැක්වෙන සිතියමක්; චන්දේල රාජධානිය මධ්‍ය ඉන්දියාවේ නිරූපණය කොට ඇත.
ක්‍රි.ව. 1200දී ආසියාව දැක්වෙන සිතියමක්; චන්දේල රාජධානිය මධ්‍ය ඉන්දියාවේ නිරූපණය කොට ඇත.
අගනුවරඛජුරාහෝ
කලන්ජාරා
මහෝබා
Common languagesසංස්කෘත
Religion
හින්දු ආගම
ජෛන ආගම
රජයරාජාණ්ඩුව
• ක්‍රි.ව. 831 -845 පමණ
නන්නුක
• ක්‍රි.ව. 1288-1311 පමණ
හම්මීරවර්මන්
ඓතිහාසික යුගයසම්භාව්‍ය ඉන්දියාව
• Established
ක්‍රි.ව. 9වන සියවස
• Disestablished
ක්‍රි.ව. 13වන සියවස
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
ගුර්ජර-ප්‍රතිහාරයෝ
දිල්ලි සුල්තාන් අධිරාජ්‍යය
Today part of ඉන්දියාව

ජේජකභුක්තියේ චන්දේලවරුන් යනුවෙන් හැඳින්වෙන්නේ මධ්‍ය ඉන්දියාවේ රාජ්පුත් රාජවංශයකි. 9වන සහ 13වන සියවස් අතර කාලයේ බුන්දෙල්ඛාන්ද් ප්‍රදේශයේ (එකල ජේජකභුක්ති නම් විය) ඔවුහු පාලනය ගෙනගියහ.

චන්දේලවරුන් මුලින් කාන්‍යකුබ්ජයේ (කනෞජ) ගුර්ජර-ප්‍රතිහාරයන්ගේ වැඩවසම් රාජ්‍යයක් ලෙස පාලනය ගෙනගොස් තිබේ. 10වන සියවසේ දී, චන්දේල පාලක යශෝවර්මන් අර්ධව ස්වාධීන විය. නමුත් ඔහු ප්‍රතිහාරයන්ගේ අධිපතීත්වය පිළිගත්තේ ය. ඔහු‍ගේ අනුප්‍රාප්තිකයා වූ ධංග රජ සමය වන විට, චන්දේලවරුන්ට ස්වාධිපත්‍යයෙන් නැගී සිටීමට හැකි විය. ඔවුන්ගේ බලය ගොඩනැගීම හා බිඳවැටීම තීරණය වූයේ සිය අසල්වැසි රාජවංශ වූ මාල්වාහි පරමාරවරුන් සහ ත්‍රිපූරිහි කලචූරිවරුන් අතර ඇතිවූ සටන් හේතුවෙනි. 11වන සියවසේ සිට, චන්දේලවරුන්ට උතුරින් මුස්ලිම් රාජවංශවල ආක්‍රමණවලට මුහුණපෑමට සිදු විය. මෙම මුස්ලිම් ආක්‍රමණිකයන් අතර ඝස්නවිද්වරුන් සහ ඝූරිද්වරුන් ඇතුළත් විය. 13වන සියවසේ දී චාහමාන සහ ඝූරිද් ආක්‍රමණ හේතුවෙන් 13වන සියවසේ ආරම්භය වන විට චන්දේල බලය අවසන් විය.

චන්දේලවරුන් ඔවුන්ගේ කලාව සහ ගෘහනිර්මාණ හේතුවෙන් සුප්‍රකට ය. විශේෂයෙන්ම ඔවුන්ගේ මුල් අගනුවර වූ ඛජුරාහෝවේ පිහිටි දේවාල මේ අතුරින් ප්‍රධාන ස්ථානයක් හිමි කරගනියි. මීට අමතරව ඔවුන් විසින් දේවාල, ජලාශ, මාලිග සහ වෙනත් ගොඩනැගිලි ගණනාවක් ඉදිකොට ති‍බේ. මේ අතරට අජේගාර්, කලින්ජාර් බලකොටු සහ ඔවුන්ගේ පසුකාලීන අගනුවර වූ මහෝබා අයත් වේ‍.

සම්භවය[සංස්කරණය]

වර්ණ රත්නාකර, පෘථිවිරාජ් රසෝ සහ කුමාරපාල-චරිත වැනි ලේඛන රැසකම චන්දේලවරුන් රාජ්පුත් වංශ 36 යටතට ඇතුළත්‍‍ කොට ඇත. සෙසු රාජ්පුත් රාජවංශ මෙන් ඔවුන්ගේ සම්භවය ද අපැහැදිළි අතර ඒවා මිත්‍යාමය ප්‍රවාද සමග මුසු වී පවතී.[1]

රාජවංශය පිළිබඳ ශිලාලේඛන වාර්තා මෙන්ම බාලභද්‍ර-විලාස සහ ප්‍රබෝධ-චන්ද්‍රෝදය වැනි ග්‍රන්ථවල සඳහන් වන්නේ ඔවුන් අයත්වන්නේ ජනප්‍රවාදගත චන්ද්‍රවංශයට බවයි. බාලභද්‍ර-විලාස මූලාශ්‍ර මෙහි මුතුන්මිත්තකු ලෙස ආත්‍රි නැමැත්තකුගේ නම සඳහන් කරයි. ඛජුරාහෝ ශිලාලේඛනයක දැක්වෙන්නේ චන්දේල ධංග රජු, යාදවවරුන්ගේ වෘෂ්ණි වංශයේ සාමාජිකයකු බවයි. (චන්ද්‍රවංශයේ කොටසක් යැයි සැලකෙන)[1]

හේමාවතීගේ පුරාවෘත්තය මගින් චන්දේලවරුන්ගේ චන්ද්‍ර සම්භවය මෙසේ විස්තර කරයි: බරණැස ගහාර්වාර් රාජ ඉන්ද්‍රජිත් රජුගේ පුරෝහිතයා වූ හේම්රාජ්ගේ දියණිය හේමාවතී වූවා ය. ඇගේ පුත්‍රයා චන්ද්‍රවර්ම නම් විට. ඇයව චන්ද්‍රයා (සෝම) විසින් සිපගත් අතර, එවිට චන්ද්‍ර වර්ම ඇයට උපත ලැබිණි. ඇය චන්ද්‍රයා සමග විවාහ වී නොසිටි බැවින් අපකීර්තිය වළක්වා ගැනීමට ඇයට භණ්ඩ යාඥාවේ නිරතවීමට උපදෙස් හිමි විය. ඔහු සිය පුත්‍රයාට ආශිර්වාද කළ අතර, දේශපාලනය ඉගැන්වී ය. මෙම පිරිමි දරුවා දක්ෂ, බුද්ධිමත්, අභීත දරුවකු විය. වයස 16වන විට ඔහු සිය ප්‍රථම ව්‍යාඝ්‍රයාව මරාදැමී ය. අනතුරුව ඔහුව මහෝත්සව නගර් (මහෝබා) හි රජු ලෙස පත්කෙරුණු අතර, ඔහුගේ දරුමුණුපුරෝ චන්දේල යන නාමයෙන් දිව්‍යමය රාජ්‍ය පාලනය ගෙනගියහ.[2]

කෙසේනමුත්, චන්දේලවරුන්ගේ නිල වාර්තාවල හේමාවතී පිළිබඳ සඳහන් නොවේ. මෙවැනි ජනප්‍රවාද ප්‍රතික්ෂේප කරන ආර්. කේ. දික්ෂිත් පවසන්නේ "ඒවා හුදු ප්‍රශස්ති නිපැයුම් සහ මනඃකල්පිතයන්" පමණක් බවයි.[3]

එක් මතයක් අනුව, චන්දේලවරුන්ට ඇත්තේ ගෝත්‍රික සම්භවයකි. ඔවුන් ගොන්ඩ්වරුන් හා සම්බන්ධ යැයි සිතිය හැක. ඔවුන් විසින් වන්දනාමාන කළ මණියා නැමැති දෙවඟනගේ දේවාල මහෝබා සහ මණියගාධ් යන ප්‍රදේශවල පිහිටා ඇත.[4]

ඉතිහාසය[සංස්කරණය]

මුල්කාලීන පාලකයින්[සංස්කරණය]

චන්දේලවරු මුලින් ගුර්ජර-ප්‍රතිහාරයින්ගේ යටත්වාසීන් වූහ.[5] රාජවංශයේ ආරම්භකයා වන නන්නුක (රාජ්‍ය. 831-845) ඛජුරාහෝ කේන්ද්‍ර කරගත් කුඩා රාජධානියක පාලනය මෙහෙයවී ය.[6]:22

චන්දේල ශිලාලේඛන අනුව, නන්නුකගේ අනුප්‍රාප්තිකයා වූ වාක්පති විසින් සතුරන් කිහිප දෙනකු පරාජය කොට ඇති බව පෙනේ.[7] වාක්පතිගේ පුත්‍රයින් වන ජයශක්ති (ජේජ) සහ විජයශක්ති (විජ) විසින් චන්දේල බලය ශක්තිමත් කරන ලදී.[8] මහෝබා ශිලාලේඛනය අනුව, චන්දේල භූමිය "ජේජකභුක්ති" ලෙස නම්කෙරුණේ ජයශක්තිගේ නාමය අනුව ය.[9] විජයශක්තිගේ අනුප්‍රාප්තිකයා වූ රහිලා විසින් ඇතැම් යුධ ජයග්‍රහණ ලබාගත් බව ශිලාලේඛනවල ප්‍රශංසාත්මකව සඳහන් කොට තිබේ.[10] රහිලාගේ පුත්‍රයා වන හර්ෂ විසින් මහීපාල නැමැති ප්‍රතිහාර රජුගේ පාලනය ප්‍රතිෂ්ඨාපනයට වැදගත් කාර්යභාරයක් ඉටුකොට ඇත. මෙය රාෂ්ට්‍රකූට ආක්‍රමණ සමයේ හෝ මහීපාල සහ ඔහුගේ අර්ධ සොයුරු IIවන භෝජ අතර අරගලයෙන් පසු කාලයක මෙය සිදුවන්නට ඇත.[11]

ස්වාධිපත්‍යය හිමි කරගැනීම[සංස්කරණය]

හර්ෂගේ පුත් යශෝවර්මන් (රාජ්‍ය. 925-950) තවදුරටත් ප්‍රතිහාර අධිපතීත්වය පිළිගත්තේ ය. නමුත් ප්‍රායෝගිකව ඔහු ස්වාධීන විය.[12] ඔහු විසින් කලන්ජාරාහි වැදගත් බලකොටුවක් ආක්‍රමණය කරන ලදී.[13] ක්‍රි.ව. 953-954 සමයට අයත් ඛජුරාහෝ හිලාලේඛනයක ඔහු විසින් යුධ ජයග්‍රහණ කිහිපයක් හිමිකරගත් බව දක්වා ඇත. මේ අතරට, ගෞඩවරුන්ට (පාලවරුන් ලෙස හඳුනාගෙන ඇත), ඛාසවරුන්, චේදිවරුන් (ත්‍රිපූරියේ කලචූරිවරුන්), කෝසලවරුන් (ඇතැම්විට සෝමවංශිවරුන් විය හැක), මිථිල (සුළු යටත් පාලකයකු විය හැක), මාල්වාවරුන් (පරමාරවරුන්), කුරුවරුන්, කාෂ්මීරවරුන් සහ ගුර්ජරවරුන් සමග සිදුකළ ආක්‍රමණ ඇතුළත් විය.[14] මෙවැනි ප්‍රකාශ අතිශයෝක්ති බැව් පෙනේ. උතුරු ඉන්දියාවේ මෙවැනි ආක්‍රමණ පිළිබඳ සමාන වාර්තා වෙනත් සමකාලීන රජුන් වන කලචූරි රජකු වූ යුව-රාජ සහ රාෂ්ට්‍රකූටයේ IIIවන ක්‍රිෂ්ණ රජුන් හා සම්බන්ධව ද හමුවේ.[15] යශෝවර්මන් රාජ්‍ය සමය සුප්‍රකට චන්දේල-යුගයේ කලා සහ ගෘහනිර්මාණ ශිල්පයේ ඇරඹුම සනිටුහන් කරයි. ඔහු විසින් ඛජුරාහෝවේ ලක්ෂ්මණ දේවාලය ඉදිකරවන ලදී.[13]

සෙසු චන්දේල ශිලාලේඛන මෙන් නොව යශෝවර්මන්ගේ අනුප්‍රාප්තික ධංග (රාජ්‍ය. 950-999) රජ සමයේ ප්‍රතිහාරවරුන්ගේ ආධිපත්‍යයක් පිළිබඳ සඳහන් නොවේ. මෙමගින් පෙනෙන්නේ ධංග විසින් නිල වශයෙන් චන්දේල ස්වාධිපත්‍යය ගොඩනගා ගත් බවයි.[16] ඛජුරාහෝ ශිලාලේඛනයක දැක්වෙන්නේ කෝසල, ක්‍රාඨ (විදර්භ ප්‍රදේශයේ කොටසක්), කුන්තාල, සහ සිංහල රාජ්‍යයන්හි පාලකයින් ධංගගේ නිලධාරීන්ගේ නියෝගවලට අවනත වූ බවයි. ඊට අමතරව ඔහු ලත් යුධ ජයග්‍රහණ හේතුවෙන් ආන්ධ්‍ර, අංග, කාංචි සහ රාධ රජවරුන්ගේ භාර්යාවන්ගේ ඔහුගේ සිරභාරයේ පසුවූ බව ය. මෙය රාජමාලිග කවියකුගේ අතිශයෝක්ති බැව් පෙනේ. නමුත් ධංග විසින් යුධ ආක්‍රමණ ගණනාවක් මෙහෙයවූ බැව් ඉන් පැහැදිළි වේ.[17][18] සිය පූර්වප්‍රාප්තිකයා මෙන්, ධංග විසින් ද ඛජුරාහෝවේ අනර්ඝ දේවාලයක් ඉදිකළ අතර, එය විශ්වනාථ දේවාලය ලෙස ප්‍රකට විය.[19]

ධංගගේ අනුප්‍රාප්තිකයා වූ ගන්ධ ද සිය භූමිය රැක ගැනීමට සමත් වූ බැව් පෙනේ.[20] ඔහුගේ පුත් විද්‍යාධර විසින් කනෞජයේ ප්‍රතිහාර රජුව (රාජ්‍යපාල විය හැක) මරාදමන ලද්දේ ඝස්නවිද් ආක්‍රමණික ඝස්නියේ මහමුද් සමග සටන් නොකොට අගනුවරින් පලායාම නිසායි.[21][22] පසුව මහමුද් විසින් විද්‍යාධරගේ රාජධානිය ආක්‍රමණය කරන ලදී. මුස්ලිම් ආක්‍රමණියකයන් අනුව, මෙම අරගලය අවසන් වූයේ විද්‍යාධර විසින් මහමුද් හට පඬුරු කප්පම් ගෙවීමෙනි.[23] විද්‍යාධර විසින් සිදුකළ විශිෂ්ට කර්තව්‍යයක් ලෙස කන්දාරියා මහාදේව දේවාලය ඉදිකිරීම සැලකේ.[24]

චන්දේල කලාව සහ ගෘහනිර්මාණ ශිල්පය එහි උච්චස්ථානයට පත්වූයේ මෙම යුගයේ ය. ලක්ෂ්මණ දේවාලය (ක්‍රි.ව. 930–950 පමණ), විශ්වනාථ දේවාලය (ක්‍රි.ව. 999-1002 පමණ) සහ කන්දාරියා මහාදේව දේවාලය (ක්‍රි.ව. 1030 පමණ) යන දේවාල ඉදිවූයේ පිළිවෙලින් යශෝවර්මන්, ධංග සහ විද්‍යාධර යන රජවරුන්ගේ සමයේ ය. මෙම නගර-ශෛලියේ දේවාල ඛජුරාහෝවේ පූර්ණ ව‍ශයෙන් වර්ධනය වූ කලා ආර නිරූපණය කරයි.[25]

පරිහානිය[සංස්කරණය]

කීර්තිවර්මන් චන්දේල විසින් ඛජුරාහෝ දේවාලයක් නරඹන අයුරු නිරූපිත 20වන සියවසේ සිත්තරකුගේ උපකල්පනයක්

විද්‍යාධරගේ රාජ්‍ය සමය අවසන් වන විට, ඝස්නවිද් ආක්‍රමණ හේතුවෙන් චන්දේල රාජධානිය දුර්වල විය. මෙහි වාසිය ලබාගත් කලිචූරි රජ ගංගේය-දේව විසින් රාජධානියේ නැගෙනහිර පෙදෙස් ආක්‍රමණය කරන ලදී.[26] චන්දේල ශිලාලේඛන අනුව පෙනෙන්නේ විද්‍යාධරගේ අනුප්‍රාප්තික විජයපාල (රාජ්‍ය. 1035-1050) විසින් සටනක දී ගංගේයව පරාජය කළ බවයි.[27] කෙසේනමුත්, විජයපාලගේ රාජ්‍ය සමයේ චන්දේල බලය පරිහානියට පත්වීම ඇරඹිණි.[28] මේ කාලයේ ග්වලියෝර්හි කච්ඡපඝාතවරුන් චන්දේලවරුන්ට දැක්වූ අවනතභාවය අත්හැරි බැව් පෙනේ.[29]

විජයපාලගේ වැඩිමහල් පුත් දේවවර්මන්, ගංගේගේ පුත් ලක්ෂ්මී-කර්ණ අතින් පරාජයට පත් විය.[30] ඔහුගේ බාල සො‍යුරු කීර්තිවර්මන් විසින් ලක්ෂ්මී-කර්ණ පරාජය කොට චන්දේල බලය යළි සියතට ගන්නා ලදී.[31] කීර්තිවර්මන්ගේ පුත්‍ර සල්ලක්ෂණවර්මන් පරමාරයන්ට සහ කලචූරිවරුන්ගේ රාජ්‍ය ආක්‍රමණය කරමින් යුධ ජයග්‍රහණ අත්කරගත් බැව් විශ්වාස‍ කෙරේ. මෞ ශිලාලේඛනය අනුව යෝජනා වී ඇත්තේ ඔහු විසින් අන්තර්වේදී ප්‍රදේශයේ (ගංගා-යමුනා දෙගංමැදිය) සාර්ථක ආක්‍රමණ මෙහෙයවා ඇති බවයි.[32] ඔහුගේ පුත් ජයවර්මන් ආගමික අංශය කෙරෙහි නැඹුරු වූ අතර, රාජ්‍ය පාලනයෙන් හෙම්බත් වූ ඔහු සිහසුන අත්හැරී ය.[33]

ජයවර්මන් උරුමකරුවකු නොමැතිව මියගිය බැව් පෙනේ. මේ නිසා ඔහුගේ මාමණ්ඩිය වූ පෘථිවිවර්මන් සිහසුනට පත් විය. පෘථිවිවර්මන් යනු කීර්තිවර්මන්ගේ බාල පුත්‍රයායි.[34] චන්දේල ශිලාලේඛනවල ඔහු විසින් ලබාගත් කිසිදු යුධ ජයග්‍රහණයක් පිළිබඳ සඳහන් නොවේ. මේ අනුව පෙනීයන්නේ ඔහු විසින් ආක්‍රමණික ප්‍රතිපත්තිය අත්හැර තමන් සතු වූ භූමිය රැකගන්නට කටයුතු යෙදූ බවයි.[35]

පුනරුත්ථානය[සංස්කරණය]

පෘථිවිවර්මන්ගේ පුත් මදනවර්මන් (රාජ්‍ය. 1128–1165) සිහසුනට පත්වන විට, යාබද කලචූරි සහ පරමාර රාජධානි ආක්‍රමණ හේතුවෙන් දුර්වල වී පැවතිණි. මෙම අවස්ථාවේ වාසිය ලබාගත් මදනවර්මන් කලචූරියේ ගයා-කර්ණ රජුව පරාජය කළ අතර, ඇතැම්විට බාඝෙල්ඛාන්ද් ප්‍රදේශයේ උතුරු කොටස ඈඳාගන්නට ඇත.[36] කෙසේනමුත්, ගයා-කර්ණගේ අනුප්‍රාප්තික නරසිංහ විසින් චන්දේලවරුන්ගෙන් මෙම භූමිය යළි සතුකරගන්නා ලදී.[37] මදනවර්මන් විසින් මීට අමතරව භිල්සා (විදිශා) අවට පරමාර රාධානියේ පර්යන්ත පෙදෙස් අල්ලාගන්නා ලදී. මෙය බොහෝවිට පරමාර රජකු වූ යශෝවර්මන් හෝ ඔහුගේ පුත් ජයවර්මන් රාජ්‍ය සමයේ සිදුවන්නට ඇත.[38][39] නැවත වරක්, චන්දේලවරුන්ට අලුතෙන් ඈඳාගත් භූමි ප්‍ර‍දේශ සිය අණසක යටතේ තබාගත නොහැකි විය. එම ප්‍රදේශය යශෝවර්මන්ගේ පුත් ලක්ෂ්මීවර්මන් විසින් නතු කරගන්නා ලදී.[37]

ගුජරාටයේ චාලුක්‍ය රජකු වූ ජයසිංහ සිද්ධරාජ විසින් ද චන්දේල සහ චාලුක්‍ය රාජධානි අතර පිහිටි පරමාර දේශය ආක්‍රමණය කරන ලදී. මෙය මදනවර්මන් සමග අරගලයකට හේතු විය. මෙහි ප්‍රතිඵලය අපැහැදිළි ය. එයට හේතුව මෙම රාජධානි‍ දෙකේම වාර්තා තමා ඉන් ජයගත් බව පවසා තිබීමයි.[40] කලන්ජාරා ශිලාලේඛනයක් අනුව යෝජනා වී ඇත්තේ මදවර්මන් විසින් ජයසිංහව පරාජය කළ බවයි. අනෙක් අතින්, ගුජරාටයේ විවිධ වංශකථාවල දැක්වෙන්නේ ජයසිංහ විසින් මදනවර්මන්ව පරාජය කළ බව හෝ ඔහුගේ පඬුරු කප්පම් ලබාගත් බව ය.[41] කෙසේනමුත්, මදනවර්මන් සිය උතුරු අසල්වැසියන් වූ ගහදවාලයන් සමග මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කොට ඇත.[42]

මදනවර්මන්ගේ පුත් IIවන යශෝවර්මන් රාජ්‍ය පාලනය සිදුනොකරන්නට ඇත. නැතහොත් ඉතා සුළු කාලයක් රාජ්‍ය පාලනය කරන්නට ඇත. මදනවර්මන්ගේ මුණුපුරු පරමාර්දි-දේව අවසන් බලවත් චන්දේල රජු ලෙස සැලකේ.[43]

අවසන් බිඳවැටීම[සංස්කරණය]

පරමාර්දි (රාජ්‍ය. 1165-1203) චන්දේල සිහසුනට පත්වූයේ ලාබාල අවධියේ ය. ඔහුගේ රාජ්‍ය සමයේ මුල් වර්ෂ සාමකාමී යුගයක් විය. නමුත් ක්‍රි.ව. 1182-1183 අවට, චාහමාන පාලක පෘථිවිරාජ් චෞහාන් විසින් චන්දේල රාජධානිය අක්‍රමණය කරන ලදී. මධ්‍යකාලීන ජනප්‍රවාදගත කාව්‍ය අනුව, පෘථිවිරාජ්ගේ හමුදාව තුර්කි හමුදාවන‍්ගේ හදිසි ප්‍රහාරයක් හේතුවෙන් විනාශයට පත් විය. නොදැනුවත්ව ඔවුන් චන්දේල අගනුවර වූ මහෝබා අසල කඳවුරු බැඳ තිබේ. මෙය චන්දේල සහ චෞහාන් අතර කෙටිකාලීන අරගලයක් සඳහා හේතු වූ අතර, පසුව පෘතිවිරාජ් දිල්ලිය කරා පිටත් විය‍. ඉන් මඳ කලකට පසු, පෘථිවිරාජ් විසින් චන්දේල රාජධානිය ආක්‍රමණය කළ අතර, ම‍හෝබාව අල්ලාගන්නා ලදී. බියපත් වූ පරමාර්දි රැකවරණ පතා කලන්ජාරා බලකොටුව වෙත පලාගියේ ය. අල්හා, උදාල් සහ සෙසු සෙන්පතීන් විසින් මෙහෙයවන ලද චන්දේල හමුදා මෙම සටනේ දී පරාජයට පත් විය. නොයෙකුත් කථා කාව්‍ය අනුව, පරමාර්දි අවමානය හේතුවෙන් සියදිවි නසාගන්නට හෝ විශ්‍රාමගෙන ගයා වෙත පිටත් වන්නට ඇති බව විශ්වාස කෙරේ.[44]

පෘථිවිරාජ් චෞහාන්ගේ මහෝබා ආක්‍රමණය පිළිබඳ ඔහුගේ මදන්පූර් ශිලා ලේඛනවල දැක්වේ. කෙසේනමුත්, මෙවැනි ප්‍රශස්ති පුරාවෘත්තවල නොයෙකුත් ඓතිහාසික සාවද්‍ය කරුණු අන්තර්ගතව පවතී. උදාහරණයක් ලෙස, චෞහාන් ආක්‍රමණයෙන් වහාම අනතුරුව පරමාර්දි විශ්‍රාමගත් හෝ මියගිය බව හඳුනාගෙන නැත. ඔහු චන්දේල බලය ප්‍රතිෂ්ඨාපනය කළ අතර, ක්‍රි.ව. 1202-1203 දක්වා ස්වාධීනව පාලනය ගෙනගොස් ඇත. මෙකල දිල්ලි සුල්තානය විසින් චන්දේල රාජධානිය ආක්‍රමණය කරන ලදී.[45] දිල්ලා සුල්තානයේ වංශකථාවක් වූ තාජ්-උල්-මාසීර් අනුව, පරමාර්දි දිල්ලි සුල්තාන් අධිරාජ්‍යයට යටත් වී තිබේ. ඔහු සුල්තාන් හට පඬුරු කප්පම් ගෙවීමට එකඟ වූ නමුත්, එය ඉටු කිරීමට ප්‍රථම හෙතෙම මියගියේ ය. ඔහුගේ දේවන් ආක්‍රමණික බලපෑම්වලට තරමක ප්‍රතිරෝධයක් දැක්වූ අතර, අවසානයේ ඔහු ද පරාජය විය. 16වන සියවසේ ඉතිහාසඥ ෆිරිෂ්තා පවසන්නේ දිල්ලි හමුදාවලට යටත් වීමට එකඟනොවූ අමාත්‍යවරයකු විසින් පරමාර්දිව මරාදැමූ බවයි.[46]

දිල්ලි සුල්තානයට පරාජය වීමෙන් පසු චන්දේල බලය යළි යථා තත්ත්වයට පත්නොවිණි. පරමාර්දිගෙන් පසු, ත්‍රෛලෝක්‍යවර්මන්, වීරවර්මන් සහ භෝජවර්මන් යන රජවරුන් සිහසුනට පත්ව තිබේ. ඉන් පසුව සිහසුනට පත් හම්මීරවර්මන් (රාජ්‍ය. 1288-1311) විසින් මහාරාජාධිරාජ යන අධිරාජ විරුදය භාවිතාකොට නොමැත. මින් පෙනෙන්නේ මේ කාලයේ චන්දේල රජුට හිමිවූයේ පහළ තත්ත්වයක් බවයි. මුස්ලිම් බලපෑම් මෙන්ම බුන්දේලවරුන්, බඝේලවරුන් සහ ඛාන්ගර්වරුන් වැනි දේශීය රාජවංශවල පිබීදීමත් සමග චන්දේල රාජවංශය බිඳවැටිණි.[47]

හම්මීරවර්මන්ගෙන් පසු IIවන වීරවර්මන් සිහසුනට පත් විය. නමුත් ඔහුට ඉහළ දේශපාලන තත්ත්වයක් හිමිවූ බවක් නොපෙනේ.[48][49] මෙම පවුලේ එක් කුඩා ශාඛාවක් විසින් දිගටම කලන්ජාරාවේ පාලනය ගෙනයන ලදී. නමුත් ක්‍රි.ව. 1545දී ෂේර් ෂා සූරිගේ හමුදා විසින් එහි පාලකයාව මරාදමන ලදී. මෙහිම තවත් පවුල් ශාඛාවක් විසින් මහෝබාව පාලනය කරන ලදී. එම ශාඛාවේ කුමරියකව මණ්ඩ්ලහි ගොන්ඩ් රාජකීය පවුලට විවාහ කරදෙන ලදී. තවත් පාලන පවුල් කිහිපයක්ම චන්දේල සම්භවයක් ඇතැයි කියනු ලැබේ. (චන්දේල් බලන්න)[50]

කලාව සහ ගෘහනිර්මාණ ශිල්පය[සංස්කරණය]

චන්දේලවරුන් ඔවුන්ගේ කලාව සහ ගෘහනිර්මාණ ශිල්පය හේතුවෙන් ප්‍රකට වී ඇත. ඔවුන් විසින් විවිධ ස්ථානවල දේවාල, ජලාශ, මාලිගා සහ බලකොටු ගණනාවක් ඉදිකොට ඇත. ඔවුන් ලත් සංස්කෘතික ජයග්‍රහණයන් අතුරින් සුප්‍රකටම නිදසුන ඛජුරාහෝවේ හින්දු සහ ජෛන දේවාලයි. තවත් වැදගත් චන්දේල බලකොටු තුනක් නම් ජයපුර-දුර්ග (වර්තමාන අජේගාර්), කලන්ජාරා (වර්තමාන කලින්ජාර්) සහ මහෝත්සව-නගර (වර්තමාන මහෝබා) ය.[51]

සෙසු කුඩා චන්දේල ඓතිහාසික ස්ථාන අතරට, චන්ද්පූර්, දියෝගාර්, දුදාහි, කාකදියෝ සහ මදන්පූර් යන ස්ථාන අයත් වේ.[51]

පාලකයින් ලැයිස්තුව[සංස්කරණය]

චන්දේල is located in ඉන්දියාව
චන්දේල
චන්දේල
චන්දේල
චන්දේල
චන්දේල
චන්දේල
චන්දේල
චන්දේල
චන්දේල
චන්දේල
චන්දේල
චන්දේල
චන්දේල
චන්දේල
චන්දේල
චන්දේල
චන්දේල
චන්දේල
චන්දේල
චන්දේල
චන්දේල
චන්දේල
චන්දේල භූමිය; මෙය සිතියමේ සෙවුම් සලකුණු මගින් දක්වා ඇති චන්දේල රාජ්‍ය සමයට අයත් ශිලා ලේඛන හමුවූ ස්ථාන අනුසාරයෙන් නිර්ණය කොට ඇත.[52]

ශිලාලේඛන වාර්තා මත පදනම්ව ඉතිහාසඥයින් විසින් ජේජකභුක්තියේ පහත චන්දේල පාලක ලැයිස්තුව ගොඩනගා ඇත:[53][54]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 R. K. Dikshit 1976, p. 3.
  2. 'Origin of the Chandellas', in J.N. Asopa, Origin of the Rajputs (Delhi- Varanasi-Calcutta, 1976), pp. 208
  3. R. K. Dikshit 1976, p. 4.
  4. Ali Javid and Tabassum Javeed (2008). World Heritage Monuments and Related Edifices in India. 1. Algora. පි. 44. ISBN 9780875864822. https://books.google.com/books?id=iXVNBAAAQBAJ&pg=PA44. 
  5. Radhey Shyam Chaurasia, History of Ancient India: Earliest Times to 1000 A. D.
  6. Sen, S.N., 2013, A Textbook of Medieval Indian History, Delhi: Primus Books, ISBN 9789380607344
  7. Sisirkumar Mitra 1977, pp. 27-28.
  8. Sisirkumar Mitra 1977, p. 30.
  9. R. K. Dikshit 1976, p. 28.
  10. R. K. Dikshit 1976, pp. 30-31.
  11. R. K. Dikshit 1976, pp. 32-35.
  12. Sisirkumar Mitra 1977, pp. 36-37.
  13. 13.0 13.1 Sushil Kumar Sullerey 2004, p. 24.
  14. Sisirkumar Mitra 1977, p. 42-51.
  15. R. K. Dikshit 1976, p. 42.
  16. Sisirkumar Mitra 1977, p. 57.
  17. R. K. Dikshit 1976, p. 56.
  18. Sisirkumar Mitra 1977, pp. 61-65.
  19. R. K. Dikshit 1976, p. 69.
  20. Sisirkumar Mitra 1977, pp. 72.
  21. Sisirkumar Mitra 1977, pp. 72-73.
  22. R. K. Dikshit 1976, p. 72.
  23. Sisirkumar Mitra 1977, pp. 81-82.
  24. Sushil Kumar Sullerey 2004, p. 26.
  25. James C. Harle (1994). The Art and Architecture of the Indian Subcontinent. Yale University Press. පි. 234. https://books.google.ca/books?id=LwcBVvdqyBkC&pg=PA234. 
  26. Sisirkumar Mitra 1977, pp. 89-90.
  27. Sisirkumar Mitra 1977, p. 88.
  28. R. K. Dikshit 1976, p. 101.
  29. Sisirkumar Mitra 1977, p. 90.
  30. Sisirkumar Mitra 1977, p. 91.
  31. Sisirkumar Mitra 1977, p. 94.
  32. R. K. Dikshit 1976, p. 120-121.
  33. R. K. Dikshit 1976, p. 126.
  34. Sisirkumar Mitra 1977, pp. 110-111.
  35. Sisirkumar Mitra 1977, p. 111.
  36. R. K. Dikshit 1976, p. 132.
  37. 37.0 37.1 R. K. Dikshit 1976, p. 135.
  38. R. K. Dikshit 1976, pp. 130-132.
  39. Sisirkumar Mitra 1977, p. 112-113.
  40. R. K. Dikshit 1976, p. 133.
  41. R. K. Dikshit 1976, pp. 133-134.
  42. R. K. Dikshit 1976, p. 132-133.
  43. R. K. Dikshit 1976, p. 130.
  44. Sisirkumar Mitra 1977, pp. 120-123.
  45. Sisirkumar Mitra 1977, pp. 123-126.
  46. R. K. Dikshit 1976, p. 148.
  47. R. K. Dikshit 1976, p. 179.
  48. 48.0 48.1 Jackson 2003, p. 199.
  49. Misra 2003, p. 11.
  50. Thapar 2013, p. 572.
  51. 51.0 51.1 Sushil Kumar Sullerey 2004, p. 17.
  52. Harihar Vitthal Trivedi 1991, pp. 335-552.
  53. R. K. Dikshit 1976, p. 25.
  54. Sushil Kumar Sullerey 2004, p. 25.

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=චන්දේල&oldid=414416" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි