ඛජුරාහෝ ස්මාරක සමූහය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ඛජුරාහෝ වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
ඛජුරාහෝ ස්මාරක සමූහය
Kandariya mahadev.jpg
ඛජුරාහෝවේ දේවාල 20 අතුරින් එකක් වන කන්දාරියා මහාදේව දේවාලය
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
පිහිටීමඡතර්පූර්, මධ්‍ය ප්‍රදේශ්, ඉන්දියාව
ඛණ්ඩාංක24°51′08″N 79°55′20″E / 24.85222°N 79.92222°E / 24.85222; 79.92222
මෙයට ඇතුළත් වන්නේBrahma Temple, Khajuraho
Colossal statue of Shri Hanuman
Khajuraho Protected Temple Area
Khajuraho chopra tank
ආදිනාථ දේවාලය, ඛජුරාහෝ
ඝණ්ටායි දේවාලය
චතුර්භූජ් දේවාලය
චෞසත් යෝගිනී දේවාලය, ඛජුරාහෝ
ජවාරි දේවාලය, ඛජුරාහෝ
දුලාදි‍යෝ දේවාලය
පාර්ශ්වනාථ දේවාලය, ඛජුරාහෝ
ලාල්ගුවන් මහාදේව දේවාලය
වාමන දේවාලය, ඛජුරාහෝ
ශාන්තිනාථ දේවාලය, ඛජුරාහෝ Edit this on Wikidata
නිර්ණායකසංස්කෘතික: i, iii
සමුද්දේශ240
අභිලේඛනය1986 (10වන සැසිය)
ඛජුරාහෝ ස්මාරක සමූහය is located in ඉන්දියාව
ඛජුරාහෝ ස්මාරක සමූහය
ඛජුරාහෝ ස්මාරක සමූහයහි පිහිටීම

ඛජුරාහෝ ස්මාරක සමූහය යනුවෙන් හඳුන්වන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි හින්දු සහ ජෛන දේවාල සමූහයකි. මෙය ජාන්සි ප්‍රදේශයේ සිට 175 km (සැත. 109) ගිනිකොනදිගින් පිහිටයි. මේවා ඉන්දියාවේ යුනෙස්කෝ ලෝක උරුම අඩවි අතුරින් එකකි.[1][2] මෙම දේවාල ඒවායේ නගර-ආරේ ගෘහනිර්මාණ ලක්ෂණ සහ ශෘංගාරාත්මක ප්‍රතිමා හේතුවෙන් ප්‍රචලිත ය.[3]

ඛජුරාහෝ දේවාල බොහෝමයක් ක්‍රි. ව. 950 සහ 1050 අතර කාලයේ චන්දේල රාජවංශය විසින් ඉදිකළ දේවාල වේ.[4] ඓතිහාසික වාර්තා අනුව, 12වන සියවස වන විට ඛජුරාහෝ දේවාල භූමියේ වර්ග කිලෝමීටර 20ක භූමියක් පුරා පැතිරුණු දේවාල 85ක් පැවති බව සඳහන් වුව ද, ඉන් වර්තමානයේ දැකගත හැකි වන්නේ වර්ග කිලෝමීටර 6ක භූමියක පැතිරි දේවාල 20ක් පමණි.[2] මෙම ඉතිරිව ඇති දේවාල අතුරින් කන්දාරියා මහාදේව දේවාලය අතිශයින් විස්තරාත්මක ප්‍රතිමා රාශියකින් විසිතුරු කර ඇත්තේ ඉන්දීය කලාවේ මහිමය කියාපාමිනි.[5]

ඛජුරාහෝ දේවාල සමූහය එකට තනා තිබුණත්, ඒවා ප්‍රධාන ආගම් දෙකකට අයත් ඒවා වේ. එනම් හින්දු ආගම සහ ජෛන ආගමයි. මෙමගින් හින්දූන් සහ ජෛනයින් අතර තිබූ ආගමික විවිධත්වය හා පිළිගැනීම නිරූපණය වේ.[6]

පිහිටීම[සංස්කරණය]

Lua දෝෂය in Module:Location_map at line 502: Unable to find the specified location map definition: "Module:Location map/data/India Madhya Pradesh" does not exist.

ඛජුරාහෝ ස්මාරක සමූහය පිහිටියේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඡතර්පූර් දිස්ත්‍රික්කයේ ය. එය නව දිල්ලියේ සිට 620 km (සැත. 385) ගිනිකොනදිගින් පිහිටා ඇත.මෙම දේවාල පිහිටි කුඩා නගරය ද ඛජුරාහෝ නම් වේ.[7] එහි ජනගහනය 20,000ක් පමණ ය. (2001 සංඛ්‍යාලේඛන අනුව)

ඛජුරාහෝවේ පිහිටි ඛජුරාහෝ සිවිල් ගුවන් තොටුපළ (IATA කේතය: HJR) මගින් දිල්ලි, අග්‍රා, වරාණාසි සහ මුම්බායි වෙත ගුවන් ගමන් දියත් කෙරේ.[8] මෙම භූමියට දුම්රිය මාර්ග ඔස්සේ ද ළඟාවිය හැකි අතර, ආසන්නතම දුම්රියපළ ස්මාරක පිවිසුමේ සිට කිලෝමීටර හයක් පමණ දුරින් පිහිටා ඇත.

මෙම ස්මාරක පිහිටියේ නැගෙනහිර-බටහිර දෙසට දිවෙන ජාතික ප්‍රධාන මාර්ගය 75 සිට කිලෝමීටර 10ක් පමණ දුරින් වන අතර, ඡතර්පූර් නගරයේ සිට කිලෝමීටර 50ක් පමණ දුරින් එය පිහිටා ඇත. ඡතර්පූර් නගරය නිරිතදිග-ඊසානදිග ඔස්සේ වැටී ඇති ජාතික ප්‍රධාන මාර්ගය 86 ඔස්සේ ප්‍රාන්ත අගනුවර වන භෝපාල් හා සම්බන්ධ වේ.

ඉතිහාසය[සංස්කරණය]

ඛජුරාහෝ දේවාල සංකීර්ණය ඉදිවූයේ රාජ්පුත් චන්දේල රාජවංශ සමයේ ය. මෙම ගොඩනැගිලි ඉදිකිරීම ඔවුන් බලයට පත්වූ විගස ඇරඹි බව පෙනේ. ඔවුන්ගේ රාජධානිය පසුව බුන්දෙල්ඛාන්ද් ලෙස ප්‍රකට විය.[9] මෙහි ඇති දේවාලවලින් බොහෝමයක් ඉදිවූයේ යශෝවර්මන් සහ ධංග යන හින්දු රජවරුන්ගේ සමයේ ය. යශෝවර්මන්ගේ රාජ්‍ය සමය හොඳින්ම නිරූපණය වන සාධක ලක්ෂ්මණ දේවාලයෙන් ලැබේ. ධංග රජුගේ සමයේ සුප්‍රකට විශ්වනාථ දේවාලය ඉදිවිය.[10]:22 මේ අතුරින් විශාලතම සහ වඩාත් සුප්‍රකට නිරුපද්‍රිත දේවාලය වන්නේ කන්දාරියා මහාදේව දේවාලයයි. මෙය ගන්ධ රජ සමයේ (ක්‍රි.ව. 1017-1029) ඉදිවූවකි.[2] දේවාලයේ ඇති ශිලාලේඛන අනුව පෙනෙන්නේ වර්තමානයේ දක්නට ඇති බොහෝ දේවාල 970 සහ 1030 අතර කාලයේ ඉදිවූ ඒවා බවයි. ඉන් පසු දශකවල දී තවත් දේවාල කිහිපයක් ඉදි විය.[6]

ඛජුරාහෝ දේවාල ඉදිවූයේ කලින්ජාර් ප්‍රදේශයේ පිහිටි චන්දේල රාජවංශයේ අගනුවර වූ මහෝබා නැමැති මධ්‍යකාලීන නගරයේ සිට සැතපුම් 35ක් පමණ දුරිනි.[11] පුරාතන සහ මධ්‍යකාලීන සාහිත්‍යය තුළ, ඔවුන්ගේ රාජධානිය ජිජ්හෝති, ජේජහෝති, චිහ්-චි-තෝ සහ ජේජකභුක්ති යන නම්වලින් හඳුන්වා තිබේ.[12]

ක්‍රි.ව. 1022 ඝස්නියේ මහමුද් හට කලින්ජාර් ආක්‍රමණයේ දී සහාය වූ පර්සියානු පර්සියානු ඉතිහාසඥයකු වන අබු රයිහාන්-අල්-බිරුනි ඛජුරාහෝව ගැන සඳහන් කොට තිබේ‍. ඔහු පවසා ඇත්තේ ඛජුරාහෝව යනු ජේජහුතිහි අගනුවර බවයි.[13] මෙම ආක්‍රමණය අසාර්ථක වූ අතර, හින්දු රජු විසින් ඝස්නියේ මහමුද්ට කප්පම් ගෙවීමට එකඟ වීමෙන් පසු ආක්‍රමණය නවතා දැමිණි.[12]

12වන සියවසේ අවසානය දක්වාම ඛජුරාහෝ දේවාල ක්‍රියාකාරීව පැවතිණි. නමුත්, 13වන සියවස වනවිට කුට්බ්-උද්-දීන් ආයිබක් නැමැති මුස්ලිම් සුල්තාන්වරයාගේ නියෝගය අනුව දිල්ලි සුල්තාන් අධිරාජ්‍යයේ සේනාව චන්දේල රාජධානිය යටත් කර ගැනීමත් සමග මෙම තත්ත්වය වෙනස් විය. ඉන් සියවසකට පමණ පසු, ක්‍රි.ව. 1335 සිට 1342 දක්වා ඉන්දියාවේ නැවතී සිටි කාලය තුළ මොරොක්කෝ ජාතික සංචාරකයකු වූ ඉබන් බතූතා සිය මතක සටහන් තුළ, ඛජුරාහෝ දේවාලය නැරඹූ බව සඳහන් කොට ඇත. ඔහු මෙය හඳුන්වා ඇත්තේ “කජරා”[14][15] ලෙස පහත පරිදි ය:

12වන සියවස තෙක් ඛජුරාහෝව හින්දු රජවරුන් යටතේ පැවති අතර, එකල දේවාල 85ක් පැවතිණි. 13වන සියවසේ මධ්‍ය ඉන්දියාව දිල්ලි සුල්තාන් අධිරාජ්‍යයට නතු විය. මුස්ලිම් පාලනය යටතේ, ඇතැම් දේවාල විනාශ කෙරුණු අතර, සහර දේවාල අත්හැර දමා තිබිණි. පැරණි දේවාලවල නටබුන් (ඉහත) තවමත් දැකගත හැක.

...මුස්ලිම්වරුන් විසින් අංගච්ඡේදනය කරන ලද ප්‍රතිමා දක්නට ඇති (ඛජුරාහෝ) දේවාල අසල සිරුරේ දිග තරම් දිගැති කේශකලාපයක් සහිත යෝගීහු ගණනාවක් ජීවත් වෙති. අතිශය තවුස් දිවස් දිවිපෙවෙතක් ගත කිරීම නිසා, ඒවා (කේශකලාප) කහ පැහැ ගැන්වී ඇත. බොහෝ මුස්ලිම්වරු ඔවුන් වෙත පැමිණ පාඩම් (යෝග) හදාරති.

ඉබන් බතූතාක්‍රි.ව. 1335 පමණ, රිහ්ලාත් ඉබන් බතූතා, පරිවර්තනය ආතර් කොටෙරල්[16]

13වන සිය‍වසේ සිට 18වන සියවස දක්වා ඛජුරාහෝ දේවාල පිහිටි මධ්‍ය ඉන්දියානු ප්‍රදේශ මුස්ලිම් රාජවංශවල පාලනය යටතේ පැවතිණි. මෙම යුගයේ ඇතැම් දේවාල වනසා දැමිණි. මේ වනවිට දේවාල අත්හැර දමා දිගු කාලක් ගතව තිබිණි.[6][9] ක්‍රි.ව. 1495දී, උදාහරණයක් ලෙස සිකන්දර් ලෝදි විසින් ඛජුරාහෝ ඇතුළු දේවාල රාශියක් විනාශ කිරීමට කටයුතු යොදන ලදී.[17] නමුත් ඛජුරාහෝවේ දුරබැහැර ස්වභාවය සහ හුදකලා ස්වරූපය හේතුවෙන් බොහෝ හින්දු සහ ජෛන දේවාල මුස්ලිම් ආක්‍රමණවලින් ආරක්ෂා වී පැවතිණි.[18][19] සියවස් ගණනාවක් ගතවන විටරා, දේවාල වල් බිහි වී වෘක්ෂලතාදියෙන් වටවී ගියේ ය.

1830 දශකයේ, ස්වදේශික හින්දුවරුන්ගේ මගපෙන්වීම යටතේ බ්‍රිතාන්‍ය සමීක්ෂකයකු වූ ටී. එස්. බර්ට් ඛජුරාහෝ දේවාල යලි අනාවරණය කරගත් අතර, මේවාට පුළුල් ගෝලීය ප්‍රසිද්ධියක් හිමි විය‍.[20] පසුව ඇලෙක්සැන්ඩර් කනිංහැම් සඳහන් කොට ඇත්තේ, මෙය යළි සොයාගැනීමෙන් වසර කිහිපයකට පසු, රහසේම යෝගීවරුන් විසින් මෙය භාවිතයට ගත් බවත් සහ හින්දූන් දහස් ගණනක් චන්ද්‍ර දිනදසුන මත පදනම්ව සෑම පෙබරවාරියකම හෝ මාර්තු මසකම පැවැත්වෙන මහාශිවරාත්‍රී උත්සවය වෙනුවෙන් වන්දනා ගමන් පිණිස මෙහි පැමිණි බව ය. 1852දී, මේසී විසින් ඛජුරාහෝ දේවාල පිළිබඳ පැරණිතම සිතුවම් නිර්මාණය කරන ලදී.[21]

නාමකරණය

ඛජුරාහෝ හෙවත් ඛර්ජුරවාහක යන වදන සම්භවය වී ඇත්තේ පුරාතන සංස්කෘත (ඛර්ජුර, खर्जूर යනු රටඉඳි යන්නයි,[22] වාහක, वाहक යනු "දරාසිටින්නා හෙවත් වාහකයා" යන්නයි.[23]) වදනකිනි. ප්‍රාදේශික ජනප්‍රවාද අනුව, දේවාලයේ දොරටුව ලෙස රන් රටඉඳි ගස් ද්විත්වයක් පැවති බව සඳහන් වේ. (නමුත් දේවාලය යළි සොයාගන්නා විට එවැන්නක් දක්නට ලැබුණේ නැත) දේසායි පවසන්නේ ඛර්ජුරවාහක යන්නෙහි අරුත ගෝනුසු දරන්නා බවයි. මෙය ශිව දෙවියන් (සිය රෞද්‍ර ස්වරූපයේ නාගයින් සහ ගෝනුසු මාලාවක් සහිතව නිරූපණය කෙරේ) හැඳින්වෙන එක් ස්වරූපයකි‍.[24]

1850 සහ 1860 දශකයේ කනිංහැම්ගේ නාමකරණය සහ විධිමත් වාර්තාකරණය පුළුල් පිළිගැනීමකට ලක්වූ අතර, දිගටම භාවිතයේ පැවතිණි.[21] ඔහු විසින් ලක්ෂ්මණ දේවාලය අවට දේවාල බටහිර සමූහය ලෙසත්, ජවේරි දේවාලය අවට ප්‍රදේශය නැගෙනහිර සමූහය ලෙසත්, සහ දුලදේව දේවාලය අවට දේවාල දක්ෂිණ සමූහය ලෙසත් හඳුන්වන ලදී.[25]

ඛජුරාහෝ යනු ශිව දෙවියන් හා සම්බන්ධ පූජනීය ස්ථාන සතරෙන් එකකි. (අනෙක් තුන වන්නේ කේදාර්නාත්, කාෂි සහ ගයා යන ස්ථානයි) මෙහි සම්භවය සහ නිර්මාණය විද්වතුන්ගේ විවිධ මතවාදයන්ට ලක්ව ඇත. ශෝභිතා පුන්ජා[26] යෝජනා කොට ඇත්තේ දේවාලයේ සම්භවය හින්දු මිත්‍යාවන්හි එන ශිව විවාහ වූ ස්ථානය ඛජුරාහෝ යැයි සැලකෙන මතය අනුසාරයෙන් පැහැදිළි කළ හැකි බවයි. රඝුවංශ ‍ශ්ලෝකය 5.53හි, මාතංගේශ්වර ‘’මාතංග’’ හෙවත් ප්‍රේමයේ දේවතාවා යනුවෙන් ගෞරව කොට ඇත.

විස්තරය[සංස්කරණය]

ඛජුරාහෝ දේවාලවල දිශානතිය සහ අංග

මෙම භූමිය මධ්‍ය ඉන්දියාවේ වින්ධ්‍යා කඳුවැටි කලාපය වටා පිහිටා ඇත. පුරාතව ප්‍රාදේශික ජනප්‍රවාද අනුව, හින්දු දෙවියකු වන ශිව සහ සෙසු දෙවිවරුන් කලින්ජාර් ප්‍රදේශයේ කඳුවැටි නිර්මාණය වීමට දායක වූයේ යැයි පැවසේ.[25] කඳුවැටි සහ ගංගාවලින් සමන්විත මෙම ප්‍රදේශයේ මධ්‍යය ඛජුරාහෝ ය. මෙම දේවාල සංකීර්ණය මගින් දෙවිවරුන් ක්‍රීඩා කිරීමට ප්‍රියකළ දේවාල ගොඩනැගීමේ පුරාතන හින්දු සම්ප්‍රදාය නිරූපිත ය.[25][27]

සෙසු හින්දු දේවාල මෙන් මෙම දේවාල ද ජලය අසල නිර්මාණය කොට තිබේ. වර්තමාන ජල ප්‍රභව අතර සිබ් සාගර්, ඛජුර් සාගර් (හෙවත් නිනෝරා තාල්) සහ ඛුදාර් නදී (ගංගාව) දක්නට ලැබේ.[28] ප්‍රදේශයේ ජනප්‍රවාද අනුව කියැවෙන්නේ දේවාල සංකීර්ණය සතුව ජල ප්‍රභව 64ක් පැවති බවයි. මින් 56ක් පුරාවිද්‍යාඥයින් විසින් ඓතිහාසිකව හඳුනාගෙන ඇත.[25][29]

එක් දේවාලයක් (චතුර්භූජ) හැර සෙසු සියලු දේවාල[25] හිරු නැගෙන දිශාවට මුහුණලා පිහා ඇත. මෙය ප්‍රමුඛ හින්දු දේවාලවල දක්නට ලැබෙන සුලබ ලක්ෂණයකි. මෙම දේවාලවල සාපේක්ෂ සැලැස්ම මගින් පුරුෂ සහ ස්ත්‍රී දේවතාවියන් සහ ඔවුන්ගේ සංකේතවල එන්‍යෝන්‍ය බැඳියාව නිරූපණය කරයි‍.[26] මෙම කලා නිර්මාණය මගින් හින්දු ආගමේ එන දිවියේ පරමාර්ථයන් යැයි සැලකෙන ධර්ම, කාම, අර්ථ සහ මෝක්ෂ යන අංග සංකේතවත් කරයි.

දැනට පවතින දේවාල අතුරින්, 6ක් ශිව දෙවියන් සහ ඔහුගේ භාර්යාවන්ට පුදකළ දේවාල වේ. 8ක් විෂ්ණු සහ ඔහුගේ භාර්යාවන්ට ද, 1ක් ගනේෂට ද, 1ක් සූර්ය දේවතාවාට ද, 3ක් ජෛන තීර්ථකයන්හට ද පුදකොට ඇත.[25] ඇතැම් දේවාල නටබුන්වල, එම දේවාල කුමන දෙවියන්ට පිදූයේ ද යන්න හඳුනාගැනීමට ප්‍රමාණවත් සාධක හමුවී නැත.

භූමිය පිළිබඳ සමස්ත අධ්‍යයනයක් අනුව යෝජනා වී ඇත්තේ සෑම දේවාල සැලසුමකම, චතුරස්‍ර සහ වෘත්ත පිළිබඳ හින්දු සංකේතාත්මක මණ්ඩල සංකල්පය ගැබ්ව ඇති බවයි.[30] මීට අමතරව, භූමිය පංචාස්‍රයක් සැකසෙන අයුරින් ත්‍රිකෝණ තුනක ආකාරයට නිමවා ඇත. විද්වතුන් පවසන්නේ මෙමගින් ත්‍රිත්ව විෂයයන් හෙවත් ත්‍රිලෝකිනාථ සංකල්පය, සහ පංච විශ්වීය ධාතූන් හෙවත් පංචභූතේශ්වර හින්දු සංකල්පය නිරූපණය වන බවයි.[25] ජීවිතය විනාශ කොට යලි උපදවන‍්නේ යැයි පැවසෙන ශිව දෙවියන්ට දේවාල භූමියේ විශේෂ ස්ථානයක් හිමිව ඇත. ඔහු විසින් කාලය, පරිණාමය සහ විනාශය පාලනය කරන විශ්වීය නර්තනයේ යෙදෙන්නේ යැයි විශ්වාස කෙරේ.[26]

මෙම දේවාලවල අතිශයින් කැටයම් කළ ප්‍රතිමා රාශියක් දක්නට ලැබේ. මෙම දේවාල ඒවායේ ශෘංගාරාත්මක දසුන් හේතුවෙන් ප්‍රචලිත වූව ද, ලිංගික තේමා රැගත් දසුන් ඇත්තේ දේවාලයේ සමස්ත ප්‍රතිමා අතුරින් 10%කට වඩා අඩු ප්‍රමාණයකි.[31] මීට අමතරව, බොහෝ ශෘංගාරාත්මක කැටයම් පනේල එසේ නොවන පනේල අභිබවා කැපී පෙනෙන අයුරින් පිහිටුවා නොමැති අතර, ලිංගික-නොවන දර්ශන සමග සමබරතාවයෙන් යුතුව ඒවා ස්ථානගත කොට ඇත.[32] මේවා දැකගැනීමට ප්‍රේක්ෂකයන්ට වඩාත් ළං වී බැලීමට හෝ මගපෙන්වන්නකුගේ සහාය ලබා ගැනීමට සිදු වේ.[33] හින්දු දේවසභාවේ වැදගත් යැයි සැලකෙන අභිමතාර්ථ සහ මිනිස් දිවියේ විවිධ අරමුණු මෙම කලා නිර්මාණ තුළින් ප්‍රකට වේ. එසේම, මෙම ප්‍රතිමා පෙළගස්වා ඇත්තේ හින්දු ආගමේ මූලික අදහස් ප්‍රකට වන අයුරිනි. ආගම්වල සඳහන් වන මූලික සංකල්ප ත්‍රිත්වයක් වන අව්‍යක්ත, ව්‍යක්තාව්‍යක්ත සහ ව්‍යක්ත යන සංකල්ප ඛජුරාහෝ දේවාලවල නිරූපණය කොට තිබේ.[34]

මෙහි දේවාල අතුරින් බීජමණ්ඩල් දේවාලයේ කැනීම් කටයුතු තවමත් සිදුවෙමින් පවතියි. ග්‍රහපති කෝකල්ල ශිලාලේඛනයේ සඳහන් වෛද්‍යනාත් දේවාලය මෙය වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

ඛජුරාහෝවේ සියලු දේවාල අතුරින්, මාතංගේශ්වර දේවාලය ක්‍රියාකාරී වන්දනා ස්ථානයක් ලෙස පවතියි.[26] චතුරස්‍ර ජාල සැලසුමකින් යුත් මෙම දේවාලය තුළ, 2.5 m (අඩි 8.2) උස සහ 1.1 m (අඩි 3.6) ක පළලකින් යුත් විශාල ලිංගයක් දැකගත හැක. මෙය 7.6 m (අඩි 25) ක විෂ්කම්භයක් ඇති වේදිකාවක් මත පිහිටුවා තිබේ.[25]

මෙහි ඇති දේවාල අතුරින් වඩාත් ප්‍රේක්ෂකාකර්ෂණයට ලක්වූ කන්දාරියා ‍මහාදේව දේවාලය වර්ග අඩි 6,500ක පමණ වර්ගඵලයක් පුරා පැතිර පවතී. මෙහි ශිඛරය අඩි 116ක් දක්වා උසට විහි‍දේ.[9][25]

ජෛන දේවාල

ජෛන දේවාල පිහිටියේ ඛජුරාහෝ ස්මාරක අතර නැගෙනහිර-ගිනිකොනදිග ප්‍රදේශයේ ය.[35] චෞසත් ජෝගිනි දේවාලය මගින් යෝගිනියන් 64ක් නිරූපණය වන අතර, ඝණ්ටායි දේවාලයේ කුළුණු මත කැටයම් කළ ඝණ්ටාර දක්නට ලැබේ.

දේවාලවල ගෘහනිර්මාණ ශිල්පය[සංස්කරණය]

කන්දාරියා මාහදේව දේවාලයේ බිම් සැලැස්ම; මෙහි පාද 64 ජාල සැලසුමක් ඇති. කුඩා ඛජුරාහෝ දේවාලවල ජාල 9, 16, 36 හෝ 49 මණ්ඩල සැලසුමක් අනුගමනය කොට ඇත.[36]

සියලු හින්දු දේවාල මෙන්ම ඛජුරාහෝ දේවාල ද වාස්තු-පුරුෂ-මණ්ඩල නැමැති ජ්‍යාමිතික ජාල සැලසුමක් භාවිතා කොට ඇත.[37] මෙම වාස්තුවිද්‍යා සැලසුම ප්‍රධාන අංග තුනකින් සමන්විත ය. එනම් මණ්ඩල හෙවත් වෘත්තය, පුරුෂ හෙව්ත හින්දු ආගමේ විශ්වීය හරය සහ වාස්තු හෙවත් නිවාස ව්‍යූහය යන්නයි.[38]

හින්දු දේවාලයක සැලසුම ගර්භගෘහය නම්වූ අභ්‍යන්තර හරයක් වටා සකස් වූ සමමිතික, ඒකකේන්ද්‍රීය ස්තරමය,ස්වයං-පුනරාවර්තන ව්‍යූහයකින් සමන්විත ය. ගර්භගෘහය මගින් පුරුෂ සංකල්පය නිරූපණය වන අතර, දේවාලයේ ප්‍රධාන දේව ප්‍රතිමාව එහි තබා ඇත. දේවාලයේ ශිඛරය ගර්භගෘහයෙන් ඉහළට පැන නගියි. සමමිතිය සහ ව්‍යූහය මධ්‍යම විශ්වාස, මිත්‍යා, ප්‍රමුඛතාව සහ ගණිතමය මූලධර්මා අනුසාරයෙන් ගොඩනැගූවකි.[39]

මණ්ඩල වෘත්තය මගින් චතුරස්‍රය සීමා වේ.‍ මෙහි චතුරස්‍රය දිව්‍යමය යැයි සැලකෙන අතර, එය මානව චින්තනයේ සහ ඥානයේ සංකේතාත්මක නිපැයුමක් ලෙස දැක්විය හැක. මෙහි වෘත්තය පෘථිවිමය, මානව සහ එදිනෙදා දිවියේ නිතර දක්නට ලැබෙන (හිරු, මඳු, ක්ෂිතිජය, ජල බිඳුව, දේදුන්න වැනි) අංගය්ක ලෙස විශ්වාස කෙරේ. මේ ෂෑම අංගයක්ම අනෙකට උපකාර වේ.[27] චතුරස්‍රය පූර්ණ උප-චතුරස්‍ර 64කට බෙදෙන අතර, මෙම උප-චතුරස්‍ර “පාද” නම් වේ.[37]

බොහෝ ඛජුරාහෝ දේවාල පීඨ මණ්ඩලය සහිත පාද 8x8 (64) ජාල මණ්ඩුක වාස්තුපුරුෂමණ්ඩලයක් මත විහිදී ඇත. ඒවායේ චතුරස්‍ර ජාලය ශිඛර නිර්මාණයට උපකාරී වේ.[36] මෙහි ප්‍රධාන දේව ප්‍රතිමාව හෝ ලිංගය පිහිටුවා ඇත්තේ ජාලයේ බ්‍රහ්ම පාදයේ ය.

ඛජුරාහෝ දේවාල 8x8 (64) වාස්තුපුරුෂමණ්ඩල මණ්ඩුක ජාල බිම් සැලැස්මක් (වමේ) අනුසාරයෙන් ගොඩනගා ඇත. මෙය හින්දු දේවාලවල දක්නට ලැබෙන ලක්ෂණයකි. දේවාලයේ බ්‍රහ්ම පාදය මත මධ්‍ය හරය වටා සමමිතිකව පැනනගින ශිඛරයක් (හෙවත් විමානයක්) පිහිටා ඇත. මෙම ශිඛර සාමාන්‍යයෙන්, වෘත්තාකාර හැඩයෙන් යුතු වන අතර ඒවා චතුරස්‍රයේ ඒක කේන්ද්‍රීය ස්තර සැලසුමක (දකුණේ) ආකාරයට ඉහළට විහිදේ‍.[27][40]

මේවායේ ගෘහනිර්මාණ ශිල්පය සංකේතාත්මක අතර, ඒවායේ ස්වරූපය, ව්‍යූහය සහ සැකැස්ම මගින් හින්දු ආගමේ මූලික සංකල්ප නිරූපණය වේ.[41] ඛජුරාහෝවේ මණ්ඩප මෙන්ම සෙසු සියලු කොටස් ද සමමිතික, පුනරාවර්තී රටාවකට අනුව සැකසී ඇත. නමුත් එහි සෑම රුපයක්ම හා ප්‍රතිමාවක්ම එකිනෙකට සමාන නොවේ. ප්‍රතිමා ස්ථානගත කිරීම අහඹු ලෙස සිදුකොට නොමැති අතර, සමස්තයක් ලෙස සැලකූවිට අර්ථයක් ප්‍රකාශවන අයුරින් තැන්පත් කොට ඇත. මෙය වචන කිහිපයක් සම්බන්ධ වීමෙන් අරුත්බර ඡේදයක් නිර්මාණය වන්නාක් වැනි ය.[42] මෙම ඛණ්ඩමය රටාව හින්දු දේවාලවල සුලබව දක්නට ලැබේ.[43] විවිධ ප්‍රතිමා සහ පනේලවල ශිලා ලේඛන ද දැකගත හැක. දේවාල බිත්තියේ ඇති බොහෝ ශිලාලේඛන ද්විත්වාර්ථයක් සහිත පද්‍ය ස්වභාවයක් ගනියි. මේවායේ සංකීර්ණ සංස්කෘත ‍ස්වභාවය මගින් අරුත්බර වැකි ගොඩනැගේ.[24]

එක් දෙවොලක් හැර සෙසු සියලු ඛජුරාහෝ දේවාල හිරු උදාවන දිශාවට මුහුණලා ඉදිකොට ඇත. මේවායේ බැතිමතුන් සඳහා වන පිවිසුම් දොරටු නැගෙනහිර දිශාවට මුහුණලා තනා ඇත.

ඛජුරාහෝ දේවාල ශිඛර (විමාන) දැක්වෙන පින්තූර; මේවා ඒක කේන්ද්‍රීය වෘත්තා සහ භ්‍රමණ-චතුරස්‍ර මූලධර්මය යොදාගෙන නිර්මාණය කොට ඇත. ඉහත (වමේ) රූපයෙහි ශිඛර හතරක් දැක්වේ. ඉන් එක් ශිඛර සිවිලිමක සමමිතික ස්වභාවය පෙන්වන අභ්‍යන්තර පෙනුමක් (දකුණේ) දැක්වේ.

සෑම දේවාලයකම වාස්තු-පුරුෂ-මණ්ඩලයට ඉහළින් ගෝලාර්ධයක් සහිත උපරිව්‍යූහයක් පිහිටයි. මෙය ශිඛර (හෙවත් විමාන) නම් වේ.[38] ශිඛර නිර්මාණයේ වෙනස්කම් ඇතිවන්නේ ඒවායේ චතුරස්‍ර යෙදෙන කෝණයේ වෙනස්වීම් මත ය. දේවාලයේ ශිඛරය ඇතැම් සාහිත්‍ය ග්‍රන්ථවල මිත්‍යාමය දේව විමානයක් යැයි පැවසෙන කෛලාශ පර්වතය හෝ මේරු පර්වතය සමග සම්බන්ධ කොට දක්වා ඇත.[27]

සෑම ඛජුරාහෝ දේවාලයකම මධ්‍ය අවකාශය බැතිමතුන්ට සක්මන් කිරීම සඳහා වූ සක්මන් මළුවකින් සමන්විත ය. සම්ප්‍රදායිකව ඔවුන් පුරුස සහ ප්‍රධාන දේවතාවා වටා පැදකුණු කිරීම සිදු වේ.[27] මෙම අවකාශය වටා පිහිටි කුළුණු, බිත්ති සහ සිවිලිම් අතිශයින් විසිතුරු කැටයමින් සමන්විත ය. මේවා දිවියේ අර්ථයන් සතරක් වන කාම, අර්ථ, ධර්ම සහ මෝක්ස යන අරුතින් යුතුව කැටයම් කොට තිබේ. මෙසේ දක්ෂිණාවර්තව සක්මන් කිරීම ප්‍රදක්ෂිණා ලෙස හඳුන්වයි.[38]

විශාල ඛජුරාහෝ දේවාල සතුව, මණ්ඩප නම්වූ කුළුණු සහිත ශාලා පිහිටා ඇත. ඉන් පිවිසුම අසල පිහිටි, නැගෙනහිර මණ්ඩපය බැතිමතුන් සඳහා විශ්‍රාම ශාලාවක් ලෙස භාවිතා විය. මෙම මණ්ඩප ද සමමිතිය, ජාල සහ ගණිතමය මූලධර්ම මත පදනම්ව නිර්මාණය කළ ඒවා වේ. මෙම ගෘහනිර්මාණ මූලධර්මය ඉන්දියාව පුරා සියලු හින්දු දේවාලවල දක්නට ලැබේ.[44] සෑම ඛජුරාහෝ දේවාලයක්ම එකිනෙකට වෙනස් කැටයම්වලින් යුක්ත වුවත්, ඒවායේ සියලු හින්දු දේවාලවල ප්‍රධාන මූලධර්ම නැවත නැවත විදහා පායි. මේ නිසා සුසෑන් පෙවැන්ඩොව්ස්කි මෙය “නැවත නැවත යෙදෙන සෛලවලින් යුත් ජීවියකු” ලෙස හඳුන්වා ඇත.[45]

ඉදිකිරීම[සංස්කරණය]

මෙම දේවාල ඒවායේ භූගෝලීය පිහිටීම අනුව ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදා ඇත: එනම් බටහිර, නැගෙනහිර සහ දක්ෂිණ වශයෙනි.

ඛජුරාහෝ දේවාල වැලිගලින් ඉදි කොට ඇත. මේවායේ පාදම ග්‍රැනයිට්වලින් තනා ඇති මුත්, එය පිටතට දිස් නොවේ.[46] ඉදිකරන්නන් විසින් හුණුබදාම භාවිතා කොට නොමැත. මෙහි පාෂාණ එකිනෙක සම්බන්ධ කර ඇත්තේ කුඩුම්බි සහ විදුම් සහිත සන්ධි මගිනි. ගුරුත්වය මගින් ඒවා නිසි ස්ථානවල රැඳවිණි. මෙවැනි ඉදිකිරීම් සඳහා ඉතා සියුම් සන්ධි අවශ්‍ය ය. කුළුණු සහ බාල්ක ඉදිකොට ඇත්තේ ටොන් 20පමණ දක්වා බරින් යුත් තනි ගල් කුට්ටිවලිනි.[47] ඇතැම් ඒවා 19වන සියවසේ දී, ගඩොල් සහ බදාම යොදා පිළිසකර කොට ඇත. කෙසේනමුත්, මෙම පසුකාලීන ප්‍රතිසංස්කරණ යෙදූ ස්ථාන නියම අමුද්‍රව්‍යවලට වඩා වේගයෙන් හායනය වන අතර, කාලයත් සමග අඳුරු පැහැ ගැන්වී ඇත.

ඛජුරාහෝ සහ කලින්ජාර් ප්‍රදේශවල උසස් ගුණාත්මයෙන් යුතු වැලිගල් හමුවේ. මෙම වැලිගල් සියුම් කැටයම් නිර්මාණ සඳහා භාවිතා වන්නට ඇත. වර්තමානයේ ඉතිරිව පවත්නා ප්‍රතිමාවල කෙස් රැළි, අලංකරණය කළ නිය සහ විසිතුරු ආභරණ වැනි විස්තරාත්මක අංග පවා කැටයම් කොට තිබෙනු දක්නට ලැබේ.

Lost Worlds (හිස්ට්‍රි නාළිකාව) රූපවාහිනී වැඩසටහන ඛජුරාහෝවේ රූගත කරන අතරතුර, ඇලෙක්ස් එවන්ස් විසින් අඩි 4ට අඩු ප්‍රමාණයකින් යුත් ශෛලමය ප්‍රතිමාවක් ප්‍රතිනිර්මාණය කළ අතර, ඒ සඳහා දින 60ක් පමණ ගත විය. මේ අනුව, මෙම ස්ථානය ඉදිකිරීමේ දී කොපමණ ශ්‍රමයක් අවශ්‍ය වූයේ දැයි සිතාගත හැක.[48] රොජර් හොප්කින්ස් සහ මාක් ලෙහ්නර් විසින් හුනුගල් වැඩපළක පර්යේෂණ සිදුකළ අතර, ටොන් 400ක පමණ පාෂාණවල වැඩ කටයුතු කිරීමට වැඩකරුවන් 12 දෙනකුට දින 22ක් ගත විය‍.[49] මෙම දේවාල ඉදිකිරීමේ දී, මනා පුහුණුව ලැබූ ප්‍රතිමා ශිල්පීන් සිය ගණනක් යොදා ගන්නට ඇතැයි ඔවුහු නිගමනය කළහ.

කාලානුක්‍රමය[සංස්කරණය]

ඛජුරාහෝ ස්මාරක සමූහය අයත් වන්නේ හින්දු ආගමේ වෛෂ්ණව ගුරුකුලයට, හින්දු ආගමේ ශෛව ගුරුකුලයට සහ ජෛන ආගමටයි. පුරාවිද්‍යා අධ්‍යයන අනුව, යෝජනා වී ඇත්තේ මෙම දේවාල ආකාර තුනම 10වන සියවසේ අග කාලය වනවිට ඉදිවෙමින් පැවති බවයි. එසේම ඒවා භාවිතයට ගන්නට ඇත්තේ ද සමකාලීනව විය හැක. විල් ඩුරාන්ට් පවසන්නේ ඛජුරාහෝ දේවාල මගින් හින්දු සහ ජෛන වැනි වෙනස් ආගම් දර්ශනයන් එකිනෙකා කෙරෙහි දැක්වූ සහනශීලී ප්‍රතිපත්තිය නිරූපණය වන බවයි.[50] ෂෑම ඛජුරාහෝ දේවාල සමූහයකම, කුඩා දෙවොල්වලින් වටවූ විශාල දේවාල දක්නට ලැබේ. මෙම ජාල රටාව අංකෝර් වට්, පරම්බරන් සහ දකුණු ඉන්දියාවේ විවිධ ස්වරූපවලින් දැකගත හැක.

දැනට පවත්නා විශාලතම ශෛව දේවාලය කන්දාරියා මහාදේව දේවාලය වේ. මෙහි දැනට පවත්නා විශාලතම වෛෂ්ණව දේවාල සමූහය අතරට චතුර්භූජ සහ රාමචන්ද්‍ර දේවාල අයත් ය.

කන්දාරියා මහාදේව දේවාලයේ බිම් සැලැස්ම අඩි 109 දිගකින් සහ අඩි 60ක පමණ පළලකින් සමන්විත ය.‍ පොළොවේ සිට අඩි 116ක් උසට විහිදෙන මෙය, එහි පාදමේ සිට අඩි 88ක උසකින් යුක්ත ය. මධ්‍යයේ වූ පාද ප්‍රතිමා සහිත කැටයම් තීරු තුනකින් වටවී ඇත. මේවායේ ප්‍රතිමා 870කට අධික ප්‍රමාණයක් ඇත. මින් බොහෝ ප්‍රතිමා අර්ධ ජීව ප්‍රමාණයෙන් (අඩි 2.5 සිට 3 දක්වා) යුක්ත ය. මෙහි ශිඛරය ස්වයං-පුනරාවර්ත්‍ය ව්‍යූහයකින් සමන්විත ය.

දේවාල, ආගමික අනුබැඳියාව සහ පුදකළ වර්ෂ
අනුපිළිවෙල වර්තමාන දේවාල නාමය ආගම දේවතාවා නිමකෙරුණේ
(ක්‍රි.ව.)[25][51]
පින්තූරය
1 චෞසත් යෝගිනී හින්දු ආගම දේවි, 64 යෝගිනියන් 885 Khajuraho,Chausath-Yogini-Tempel2.jpg
2 බ්‍රහ්ම හින්දු ආගම විෂ්ණු 925
3 ලාල්ගුන් මහාදේව හින්දු ආගම ශිව 900 India-5696 - Flickr - archer10 (Dennis).jpg
4 මාතංගේශ්වර හින්දු ආගම ශිව 1000 India-5772 - Flickr - archer10 (Dennis).jpg
5 වරාහ හින්දු ආගම විෂ්ණු 950 India-5595 - Flickr - archer10 (Dennis).jpg
6 ලක්ෂ්මණ හින්දු ආගම වෛකුන්ත විෂ්ණු 939 India-5679 - Flickr - archer10 (Dennis).jpg
7 පාර්ශ්වනාථ ජෛන ආගම පාර්ශ්වනාථ 954 Khajuraho Parshvanath temple 2010.jpg
8 විශ්වනාථ හින්දු ආගම ශිව 999 India-5749 - Visvanatha Temple - Flickr - archer10 (Dennis).jpg
9 දේවී ජගදම්බි හින්දු ආගම දේවී, පාර්වතී 1023 Khajuraho Devi Jagadambi Temple 2010.jpg
10 චිත්‍රගුප්ත හින්දු ආගම සූර්යයා, චිත්‍රගුප්ත 1023 India-5707 - Flickr - archer10 (Dennis).jpg
11 කන්දාරියා මහාදේව (විශාලතම දේවාලය) හින්දු ආගම ශිව 1029 Temple at Khajuraho, Madhya Pradesh, India.jpg
12 වාමන හින්දු ආගම වාමන 1062 Khajuraho Vaman Temple 2010.jpg
13 ආදිනාථ ජෛන දේවාලය ජෛන ආගම රිෂාභ 1027 Adinath Jain Temple Khajuraho 12.jpg
14 ජවේරි හින්දු ආගම විෂ්ණු 1090 Javari Temple, Khajuraho.jpg
15 චතුර්භූජ හින්දු ආගම විෂ්ණු 1110 Khajuraho Chaturbhuja Temple.jpg
16 දුලාදියෝ (දුලදේව) හින්දු ආගම ශිව 1125 Khajuraho Dulhadeo 2010.jpg
17 ඝණ්ටායි ජෛන ආගම ජෛන තීර්ථංකර 960 A ruin, pillars at Khajuraho, India.jpg
18 විෂ්ණු-ගරුඩ හින්දු ආගම විෂ්ණු 1000
19 ගනේෂ හින්දු ආගම ශිව 1000
20 හනුමාන් හින්දු ආගම හනුමාන් 922[52] Hanuman Inscription at Khajuraho.jpg
21 මහීෂාසුරමර්දිනී හින්දු ආගම මහීෂාසුරමර්දිනී 995 Khajuraho India, Lakshman Temple, Sculpture 10.JPG
22 ශාන්තිනාථ දේවාලය, ඛජුරාහෝ ජෛන ආගම ශාන්තිනාථ 1027 Jain group of temples - Khajuraho 09.jpg

කලාව සහ ප්‍රතිමා[සංස්කරණය]

ඛජුරාහෝ දේවාල ඒවායේ ඇති ශෘංගාරාත්මක කලා නිර්මාණ හේතුවෙන් ප්‍රකට ය. මෙහි අන්තර්ගත මුළු කලා නිර්මාණ අතුරින් 10%ක පමණ ප්‍රමාණයක් ශෘංගාරාත්මක කලා නිර්මාණ වේ.
ඛජුරාහෝවේ ශෘංගාරාත්මක ප්‍රතිමා

ඛජුරාහෝ දේවාල කලානිර්මාණ ගණනාවකින් සමන්විත ය. දේවාල අභ්‍යන්තරයේ සහ පිටත ඇති ප්‍රතිමා අතුරින් 10%ක් පමණ ලිංගික දර්ශන හෙවත් ශෘංගාරාත්මක කලා නිර්මාණ වේ. බිත්ති ස්තර දෙකකින් සමන්විත ඇතැම් දේවාලවල ඇතුළත සහ පිටත බිත්තිවල කුඩා ශෘංගාරාත්මක කැටයම් දක්නට ලැබේ. ඇතැම් විද්වතුන් යෝජනා කොට ඇත්තේ මේවා තන්ත්‍රික ලිංගික ක්‍රියාකාරකම් නිරූපණය කරන බවයි.[53] සෙසු විද්වතුන් පවසන්නේ මෙවැනි ශෘගාරාත්මක කලා නිර්මාණ කාමය දිවියේ මූලික අංගයක් ලෙස සලකන හින්දු ආගමේ සම්ප්‍රදායයක් නිරූපණය කරන බවයි. මෙවැනි සංකේතාත්මක නිරූපණයන් හින්දු දේවාලවල සුලබ ය.[5][54] ජේම්ස් මැකොනැචී සිය කාමසූත්‍රයේ ඉතිහාසය නැමැති ග්‍රන්ථයේ මෙසේ විස්තර කරන්නේ ලිංගික-තේමා රැගත් ඛජුරාහෝ ප්‍රතිමා "ශෘංගාරාත්මක කලාවේ උච්චස්ථානයක්" බවයි:

"ඇඹරුණු, පුළුල් උකුළැති සහ උස්වූ පයෝධර ඇති අප්සරාවෝ සිහ පරිණාහ, ආභරණවලින් සැරසූ සිරුරු බාහිර බිත්ති පනේලවල ප්‍රදර්ශනය කරමින් සිටිති. මෙවැනි ස්ථූල අප්සරාවෝ සිය අංගරාගයන් යොදමින්, සිය කේශ කලාපය සෝදමින්, ක්‍රීඩා කරමින්, නර්තනයෙහි යෙදෙමින්, සහ සිය මෙවුල්දම් ලිහා දමමින් ශිලා තලය මත නිමක් නොමැති කෝලාහල කරති....දිව්‍යමය අප්සාරවන් සමීපයෙහි, කිට්ටුවෙන් සිටින මිත්‍යා මෘග රූ, ආරක්ෂක දේවතාවන් සහ අතිශයින්ම වෙළී සිටින පෙම්යුවළවල් හෙවත් මෛථුන රූ දැකගත හැක්කේ ය."

දේවාලයේ කලා නිර්මාණවලින් 90%කට වැඩි ප්‍රමාණයක් එදිනෙදා දිවිය සහ ඉන්දියානු සංස්කෘතියේ සංකේතාත්මක අගයයන් නිරූපණය කරයි.

දේවාලවල ප්‍රතිමා සහ කලා නිර්මාණ දහස් ගණනක් වේ. කන්දාරියා මහාදේව දෙවොලේ පමණක් ප්‍රතිමා 870කට අධික ප්‍රමාණයක් හමුවේ. මෙවැනි ප්‍රතිමා කැටයම්වලින් 10%ක් පමණම ලිංගික තේමා සහ විවිධ ලිංගික ඉරියව් රැගත් කලානිර්මාණ වේ. පොදු දුර්මතයක් වන්නේ මෙවැනි පැරණි කැටයම් හමුවන ඛජුරාහෝ යනු දේවාලයක් බැවින් එමගින් නිරූපණය වන්නේ දෙවිවරුන් අතර ලිංගික හැසිරීම් බවයි.[55] කෙසේනමුත්, මෙවැනි කාම නිර්මාණ මගින් මිනිස් වර්ගයා අතර දක්නට ඇති විවිධ ලිංගික හැසිරීම් පිළිබිඹු වේ.[56] කලානිර්මාණවලින් අති බහුතරයක් එදිනෙදා දිවියේ සිදුවීම්, මිත්‍යා කථා පුවත් සහ හින්දු සම්ප්‍රදායයන්ගේ එන විවිධ ලෞකික සහ අධ්‍යාත්මික අගයයන් නිරූපණය වේ.[2][5] උදාහරණයක් ලෙස, කැටයම් මගින් මධ්‍යකාලීන යුග‍යේ විසූ කාන්තාවන් සිය අංගරාගයන් තවරන අයුරු, සංගීතඥයන් සංගීතය සපයන අයුරු, කුඹල්කරුවන්, ගොවීන් සහ සෙසු ගම්වාසීන්ගේ එදිනෙදා දිවිය නිරූපණය වේ.[57] සාමාන්‍යයෙන් මෙවැනි දර්ශන දැකගත හැකි වන්නේ හින්දු දේවාලවල පිටත පාදවල ය.

ඛජුරාහෝවේ දේවාලවල දක්නට ලැබෙන කලාකෘතිවල සංකේතාත්මක අර්ථයක් තිබේ.[5] මූලික හින්දු හරයයන් විවිධ ආකාරවලින් ප්‍රකාශ කළ හැක. කාම දර්ශන පවා, සෙසු ප්‍රතිමා අතර යොදා ඇත්තේ එයට පෙර සහ පසු මෝක්ෂ වැනි අධ්‍යාත්මික තේමාවන් නිරූපිත කැටයම් අන්තර්ගත කිරීමෙනි. ස්ටෙලා ක්‍රාම්රිෂ්ගේ අදහස නම්,

“පුරුෂයකු සහ ස්ත්‍රියක සමීප චුම්බනයේ නිරත වන්නාක්” මෙන් පෙනෙන මෙය මෝක්ෂයේ සංකේතයකි. එනම් හරය (පුරුෂ) සහ ස්වභාවය (ප්‍රකෘති) යන මූලිකාංග දෙකෙහි අවසන් නිදහස් වීම හෝ එකතු වීමයි.

—ස්ටෙලා ක්‍රාම්රිෂ්, 1976[27]

ඛජුරාහෝ දේවාල මගින් ක්‍රි.ව. 8වන සියවසේ සිට 10වන සියවස පමණ දක්වා ඉන්දියාවේ රාජ්පුත් රාධානි තුළ පැවති කලා ස්වරූපයක් පිළිබඳ තොරතුරු ලැබේ. උදාහරණයක් ලෙස, ඛජුරාහෝ හා සමකාලීනව ප්‍රබෝධචන්ද්‍රෝදය, කර්පුරමංජරි, විද්ධසාලාභංජිකා සහ කාව්‍යමිමංස වැනි නාට්‍ය සහ කාව්‍ය කෘතීන් ප්‍රකාශයට පත්ව තිබේ.[58] මෙවැනි සාහිත්‍ය කෘතිවලට මුල්වූ තේමා කිහිපයක් ඛජුරාහෝ දේවාලවල ප්‍රතිමා අතර ද දැකගත හැක.[24][59] විෂ්ණු දෙවියන් වෙනුවෙන් පුදකළ දේවාලවල ඇතැම් ප්‍රතිමා අතර සිංහයන්ගේ දේහයක් සහිත මිත්‍යාමය දෙමුහුම් සත්ත්වයකු වන ව්‍යාල රූප දැකගත හැක. මේවා සෙසු ඉන්දියානු දේවාලවල ද හමුවේ.[60] මෙවැනි ඇතැම් මිත්‍යාමය දෙමුහුම් ජීවීන් නිරූපිත කලා නිර්මාණ අතර වෘක ව්‍යාල (වෘකයකු සහ සිංහයකුගේ සංකලනයකි) සහ ගජ ව්‍යාල (හස්තියකු සහ සිංහයකුගේ දෙමුහුමකි) වැනි රූප හමුවේ. මෙම ව්‍යාල රූ මගින් විවිධ මතයන් ඒකරාශී කිරීමට තුඩු දෙන, ජීවීන් දෙදෙනකුගේ බලයන් එකතුවීමක් නිරූපණය කෙරේ.[61]

සංචාරක කර්මාන්තය සහ සංස්කෘතික අංග[සංස්කරණය]

දේවාල බිම් සැලැස්ම – ඛජුරාහෝ ස්මාරක සමූහය

ඛජුරාහෝවේ දේවාල ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් කෙරේ: එනම්, නැගෙනහිර සමූහය, දකුණු සමූහය සහ බටහිර සමූහයයි. මේ අතුරින් බටහිර සමූහයේ ශ්‍රවණ මාර්ගෝපදේශන සංචාරක සේවාවක් ක්‍රියාත්මක වන අතර, සංචාරකයන් හට දේවාල හතක් හෝ අටක් පමණ නැරඹීමට මාර්ගෝපදේශ සැපයේ. මීට අමතරව දේවාල ඉතිහාසය සහ ගෘහනිර්මාණ පිළිබඳ කියැවෙන ශ්‍රවණ මාර්ගෝපදේශක සංචාරක සේවාවක් ඉන්දියානු පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිර්මාණය කොට ඇත.[62]

ඛජුරාහෝ නර්තන උළෙල සෑම වර්ෂයකම පෙබරවාරි මස පැවැත්වෙන උත්සවයකි.[63] මෙහි දී චිත්‍රගුප්ත සහ විශ්වනාථ දේවාල පසුබිමෙහි විවිධ සම්භාව්‍ය ඉන්දියානු නර්තනයන් ප්‍රදර්ශනය කෙරේ.

සෑම සවසකම ඛජුරාහෝ දේවාල සංකීර්ණයේ ආලෝක සහ ශබ්ද වැඩසටහන් පැවැත්වේ. පළමු වැඩසටහන ඉංග්‍රීසි භාෂාවෙනුත් සහ දෙවැන්න හින්දි භාෂාවෙනුත් පැවැත්වේ. මෙය පැවැත්වෙන්නේ දේවාල සංකීර්ණයේ විවෘත තණ පිටිය මත ය. මෙය මිශ්‍ර ප්‍රතිචාර හිමි කරගෙන ඇත.

මධ්‍ය ප්‍රදේශ් සංචාරක සංවර්ධනාංශය මගින් දුරකථන කුටි සහ ඛජුරාහෝ නරඹන සංචාරකයන්ට තොරතුරු සපයන සංචාරක කාර්යාල ඛජුරාහෝ දුම්රිය ස්ථානය අසල ඉදිකොට ඇත.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "World Heritage Day: Five must-visit sites in India". 
  2. 2.0 2.1 2.2 2.3 Khajuraho Group of Monuments UNESCO World Heritage Site
  3. Philip Wilkinson (2008), India: People, Place, Culture and History, ISBN 978-1405329040, pp 352-353
  4. Gopal, Madan (1990). K.S. Gautam. ed. India through the ages. Publication Division, Ministry of Information and Broadcasting, Government of India. පි. 179. 
  5. 5.0 5.1 5.2 5.3 Devangana Desai (2005), Khajuraho, Oxford University Press, Sixth Print, ISBN 978-0-19-565643-5
  6. 6.0 6.1 6.2 James Fergusson, Norther or Indo-Aryan Style - Khajuraho History of Indian and Eastern Architecture, Updated by James Burgess and R. Phene Spiers (1910), Volume II, John Murray, London
  7. "Census of India 2001: Data from the 2001 Census, including cities, villages and towns (Provisional)". Census Commission of India. Archived from the original on 2004-06-16. සම්ප්‍රවේශය 2008-11-01. 
  8. Khajuraho airport AAI, Govt of India
  9. 9.0 9.1 9.2 G.S. Ghurye, Rajput Architecture, ISBN 978-8171544462, Reprint Year: 2005, pp 19-24
  10. Sen, Sailendra (2013). A Textbook of Medieval Indian History. Primus Books. ISBN 9789380607344. 
  11. ඒරාකන ලෙස ද හඳුන්වයි.
  12. 12.0 12.1 Mitra (1977), The early rulers of Khajuraho, ISBN 978-8120819979
  13. J. Banerjea (1960), Khajuraho, Journal of the Asiatic Society, Vol. 2-3, pp 43-47
  14. ඇතැම්විට ශබ්දානුකූලව අරාබි බසින් “කජ්වාරා” ලෙස හඳුන්වයි.
  15. Director General of Archaeology in India (1959), Archaeological Survey of India, Ancient India, Issues 15-19, pp 45-46 (Archived: University of Michigan)
  16. Arthur Cotterell (2011), Asia: A Concise History, Wiley, ISBN 978-0470825044, pp 184-185
  17. Michael D. Willis, An Introduction to the Historical Geography of Gopakṣetra, Daśārṇa, and Jejākadeśa, Bulletin of the School of Oriental and African Studies, University of London, Vol. 51, No. 2 (1988), pp. 271-278; See also K.R. Qanungo (1965), Sher Shah and his times, Orient Longmans, OCLC 175212, pp 423-427
  18. Trudy King et al., Asia and Oceania: International Dictionary of Historic Places, ISBN 978-1884964046, Routledge, pp 468-470
  19. Alain Daniélou (2011), A Brief History of India, ISBN 978-1594770296, pp 221-227
  20. Louise Nicholson (2007), India, National Geographic Society, ISBN 978-1426201448, see Chapter on Khajuraho
  21. 21.0 21.1 Krishna Deva (1990), Temples of Khajuraho, 2 Volumes, Archaelogical Survey of India, New Delhi
  22. kharjUra Sanskrit English Dictionary, Koeln University, Germany
  23. vAhaka Sanskrit English Dictionary, Koeln University, Germany
  24. 24.0 24.1 24.2 Devangana Desai (1996), Chapter 7 - Puns and Enigmatic Language in Sculpture in The Religious Imagery of Khajuraho, Project for Indian Cultural Studies, Columbia University Archives
  25. 25.0 25.1 25.2 25.3 25.4 25.5 25.6 25.7 25.8 25.9 Rana Singh (2007), Landscape of sacred territory of Khajuraho, in City Society and Planning (Editors: Thakur, Pomeroy, et al), Volume 2, ISBN 978-8180694585, Chapter 18
  26. 26.0 26.1 26.2 26.3 Shobita Punja (1992), Divine Ecstasy - The Story of Khajuraho, Viking, New Delhi, ISBN 978-0670840274
  27. 27.0 27.1 27.2 27.3 27.4 27.5 Stella Kramrisch, The Hindu Temple, Vol 1, Motilal Banarsidass, ISBN 978-81-208-0222-3
  28. ක්‍රි.ව. 1335 දිල්ලි සුල්තානය පිළිබඳ මතක සටහන්වල ඉබන් බතූතා පවසන්නේ සැතපුමක් පමණ දිග ජලාශයක් අසල දේවාල පැවති බවයි. වර්තමාන ජල ප්‍රභව කුඩා සහ වෙන්වෙන් ජලාශ ලෙස පවතී.; ඉන්දියාවේ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් (1959), ඉන්දියානු පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව, Ancient India, කලාප 15-19, පිටු 45-46 (සම්ප්‍රවේශනය: මිචිගන් විශ්වවිද්‍යාලය)
  29. 64 යන අංකය හින්දු දේවාල නිර්මාණයේ දී පූජනීය යැයි පිළිගැනේ. මෙය ඉතා සුලබ සැලසුම් ක්‍රමයකි. මෙය 8හි වර්ගය මගින් මෙන්ම, 4හි ඝනය මගින් ද දැක්වේ.
  30. බ්‍රහ්ම දේවාලය අඩි 19 චතරස්‍රයක ආකාරය ගනියි. කන්දාරියා මහාදේව දේවාලය සතුව සංයුක්ත කළ චතුරස්‍ර සතරක සැලැස්මක් ඇත. මාතංගේශ්වර දේවාලය අඩි 64 චතුරස්‍රයකි. බලන්න ජී. එස්. ඝූර්යේ, Rajput Architecture, ISBN 978-8171544462, යළි මුද්‍රණය: 2005, පිටු 19-25; සහ වී. ඒ. ස්මිත් (1879), “Observations on some Chandel Antiquities”, බෙංගාලයේ ආසියාතික සංගමය, වෙළු. 48, කොටස 1, පිටු 291-297
  31. D Desai (1996), The religious imagery of Khajuraho, Project for Indian Cultural Studies, ISBN 978-8190018418
  32. දේසායි පවසන්නේ ඛජුරාහෝ සහ ඔරිස්සා හින්දු දේවාල එකම තේමාවෙන් යුතු වුවත්, ශෘංගාරාත්මක කාම රූ නිරූපණයේ දී ඒවායේ ගෘහනිර්මාණ ක්‍රමය මත පදනම්ව සෙසු දේවාලවලින් විශේෂ ස්ථානයක් හිමි කරගන්නා බවයි. මේ හා සැසඳීමේ දී, ගුජරාත්, මහාරාෂ්ට්‍ර සහ මයිසූර් ප්‍රදේශවල දේවාලවල කාම සහ ලිංගික දර්ශන සහිත ප්‍රතිමා සඳහා වෙන්කොට ඇත්තේ දේවාලයේ නොවැදගත් පෙදෙස් ය. මෙයිස්ටර් පවසන්නේ දේවාල නිර්මාණයේ දී මෙම ශාංගාර සංකල්පය මගින් හින්දු කලා ශිල්පීන් ලත් ප්‍රගමනය පෙන්නුම් කරන බවයි. පසුකාලීන මධ්‍යතන සියවස්වල දී ඉදිවූ දේවාල කාම රූ නිරූපණය සඳහා සමබර ස්ථානයක් ලබා දී ඇත. බලන්න මෙයිස්ටර්, මයිකල් (1979). "Juncture and Conjunction: Punning and Temple Architecture". Artibus Asiae. 41 (2–3): 226–234. JSTOR 3249517. doi:10.2307/3249517. 
  33. Edmund Leach, The Harvey Lecture Series. The Gatekeepers of Heaven: Anthropological Aspects of Grandiose Architecture, Journal of Anthropological Research, Vol. 39, No. 3 (Autumn, 1983), pp 243-264
  34. Bettina Bäumer, A review, Artibus Asiae, Vol. 59, No. 1/2 (1999), pp. 138-140
  35. James Fergusson, Jaina Architecture - Khajuraho History of Indian and Eastern Architecture, Updated by James Burgess and R. Phene Spiers (1910), Volume II, John Murray, London
  36. 36.0 36.1 Meister, Michael W. (April–June 1979). "Maṇḍala and Practice in Nāgara Architecture in North India". Journal of the American Oriental Society. 99 (2): 204–219. JSTOR 602657. doi:10.2307/602657. 
  37. 37.0 37.1 Meister, Michael (1983). "Geometry and Measure in Indian Temple Plans: Rectangular Temples". Artibus Asiae. 44 (4): 266–296. JSTOR 3249613. doi:10.2307/3249613. 
  38. 38.0 38.1 38.2 Susan Lewandowski, The Hindu Temple in South India, in Buildings and Society: Essays on the Social Development of the Built Environment, Anthony D. King (Editor), ISBN 978-0710202345, Routledge, pp 68-69
  39. Stella Kramrisch (1976), The Hindu Temple Volume 1, ISBN 81-208-0223-3
  40. Meister, Michael W. (March 2006). "Mountain Temples and Temple-Mountains: Masrur". Journal of the Society of Architectural Historians. 65 (1): 26–49. JSTOR 25068237. doi:10.2307/25068237. 
  41. Meister, Michael W. (Autumn 1986). "On the Development of a Morphology for a Symbolic Architecture: India". RES: Anthropology and Aesthetics. Peabody Museum of Archaeology and Ethnology (12): 33–50. JSTOR 20166752. 
  42. Devangana Desai, Khajuraho, Oxford University Press Paperback (Sixth impression 2005) ISBN 978-0-19-565643-5
  43. Rian et al (2007), Fractal geometry as the synthesis of Hindu cosmology in Kandariya Mahadev Temple, Khajuraho, Building and Environment, Vol 42, Issue 12, pp 4093-4107, doi:10.1016/j.buildenv.2007.01.028
  44. Trivedi, K. (1989). Hindu temples: models of a fractal universe. The Visual Computer, 5(4), 243-258
  45. Susan Lewandowski, The Hindu Temple in South India, in Buildings and Society: Essays on the Social Development of the Built Environment, Anthony D. King (Editor), ISBN 978-0710202345, Routledge, Chapter 4
  46. V.A. Smith, “Observations on some Chandel Antiquities”, Journal of the Asiatic Society of Bengal, Volume 48, pp 290-291
  47. "Lost Worlds of the Kama Sutra" History channel
  48. "Lost Worlds of the Kama Sutra," History Channel
  49. Lehner, Mark (1997) The Complete Pyramids, London: Thames and Hudson. ISBN 0-500-05084-8. pp. 202–225
  50. Will Durant (1976), Our Oriental Heritage - The Story of Civilization, ISBN 978-0671548001, Simon & Schuster
  51. ශිලා ලේඛනයකින් හෝ වෙනත් සාධක අනුව
  52. පුරාවිද්‍යා සමීක්ෂණ වාර්තාවල කනිංහැම් පවසන්නේ හනුමාන් ප්‍රතිමා ද්විත්වයෙන් එකක ක්‍රි.ව. 868ට අයත් ශිලා ලේඛනයක් අන්තර්ගත වන බවයි.
  53. Rabe (2000), Secret Yantras and Erotic Display for Hindu Temples, Tantra in Practice (Editor: David White), ISBN 978-8120817784, Chapter 25, pp 434-446
  54. බලන්න:
  55. "Khajuraho". Liveindia.com. Retrieved on 2014-07-14.
  56. Alain Danielou (2001), The Hindu Temple: Deification of Eroticism, ISBN 978-0892818549
  57. George Michell, The Hindu Temple: An Introduction to Its Meaning and Forms, University of Chicago Press, ISBN 978-0226532301, pp 117-123 and pp 56-58
  58. L. H. Gray, Journal of American Society, Vol. 27
  59. H.M. Woodward (1989), The Lakṣmaṇa Temple, Khajuraho, and Its Meanings, Ars Orientalis, Vol. 19, pp. 27-48
  60. Smith, David (January 1, 2013). "Monstrous Animals on Hindu Temples, with Special Reference to Khajuraho": 27–43. doi:10.1558/rosa.v7i1-3.27. සම්ප්‍රවේශය February 9, 2015. 
  61. The Lakṣmaṇa Temple, Khajuraho, and Its Meanings, Hiram W. Woodward, Jr., Ars Orientalis, Vol. 19, (1989), pp. 27-48
  62. Tourists to Khajuraho will now have an audio compass The Times of India (August 25, 2011)
  63. Khajuraho Festival of Dances

වැඩිදුර කියවීමට[සංස්කරණය]

  • එම්. ආර්. ආනන්ද් සහ ස්ටෙලා ක්‍රාම්රිෂ්, Homage to Khajuraho, OCLC 562891704
  • එලේන් ඩැනියලූ, The Hindu Temple: Deification of Eroticism, ISBN 978-0892818549
  • ප්‍රසේන්ජිත් දාස්ගුප්තා, Khajuraho, පත්‍රලේඛා, කොල්කතා, 2014
  • දේවාංගනා දේසායි, The Religious Imagery of Khajuraho, ෆැන්කො-ඉන්ඩියන් රිසර්ච් පෞද්ගලික ෂීමාසහිත සමාගම. (1996) ISBN 81-900184-1-8
  • දේවාංගනා දේසායි, Khajuraho, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය කඩදාසි බැම්ම සහිත (හයවන මුද්‍රණය 2005) ISBN 978-0-19-565643-5
  • ෆානි කාන්ත් මිෂ්රා, Khajuraho: With Latest Discoveries, සන්දීප් ප්‍රකාශන් (2001) ISBN 81-7574-101-5
  • එල්. ඒ. නාරායන්, Khajuraho: Temples of Ecstasy. නව දිල්ලි: ලස්ට්‍රේ මුද්‍රණාලය (1986)

බාහිර සබැඳි[සංස්කරණය]

විකිවොයේජ් තුළ ඛජුරාහෝ සංචාරක මාර්ගෝපදේශනය

"https://si.wikipedia.org/w/index.php?title=ඛජුරාහෝ_ස්මාරක_සමූහය&oldid=414322" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි