විශ්වනාථ දේවාලය, ඛජුරාහෝ

විකිපීඩියා වෙතින්
විශ්වනාථ දේවාලය
මූලික තොරතුරු
පිහිටීමඛජුරාහෝ
අනුබැඳියාවහින්දු ආගම
දිස්ත්‍රික්කයඡතර්පූර්
රටඉන්දියාව
පාලන මණ්ඩලයඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව (ASI)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ශිල්පී(න්)ඡිඡා
ගෘහනිර්මාණ ප්‍රභේදයමධ්‍ය ඉන්දියානු නගර
සම්පූර්ණ විස්තර
උන්නතාංශය223 m (732 ft)

විශ්වනාථ දේවාලය යනු ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි හින්දු දේවාලයකි. මෙය පිහිටා ඇත්තේ යුනෙස්කෝ ලෝක උරුමයක් වන ඛජුරාහෝ ස්මාරක සමූහයේ බටහිර පෙදෙසේ ය. මෙම දෙවොල ශිව දෙවියන් වෙනුවෙන් කැපවූවකි. ශිව දෙවියන් ඇතැම්විටෙක "විශ්වනාථ" හෙවත් "විශ්වයට අධිපති" යනුවෙන් හඳුන්වන ලදී.

මෙම දේවාලය ඉදිකිරීම මෙහෙයවන ලද්දේ චන්දේල රජකු වූ ධංග විසිනි. මෙය නිමවා සම්පූර්ණ කෙරුණේ ක්‍රි.ව. 999 හෝ 1002දී යැයි විශ්වාස කෙරේ. මෙහි ගෘහනිර්මාණ ශෛලිය මෙයට වඩා පැරණි ලක්ෂ්මණ දේවාලය සහ මෙයට පසුව ඉදිවූ කන්දාරියා මහාදේව දේවාලයට සමානත්වයක් දක්වයි. මෙහි විවිධ දෙවිවරුන්, සුරසුන්දරියන් (දිව්‍යමය ස්ත්‍රීන්), පෙම් යුවළවල් සහ මිත්‍යාමය සත්ත්වයින්ගේ රූ දක්නට ලැබේ.

ඉතිහාසය[සංස්කරණය]

විශ්වනාථ දේවාලයේ ද්වාරමණ්ඩපයට සවිකළ පූජා ශිලාලේඛනයක චන්දේල රජකු වූ ධංග විසින් ඉදිකළ ශිව දේවාලයක් පිළිබඳ තොරතුරු සඳහන් වේ.[1] මෙම ශිලා ලේඛනයෙහි දිනය විවිධ අයුරින් අර්ථකථනය කොට 1056 VS (999 CE)[2] හෝ 1059 VS (1002 CE) ලෙස යෝජනා වී ඇත.[3]

මෙම ශිලා ලේඛනයේ සඳහන් වන්නේ ධංගගෙන් පැවතෙන්නකු වන ජයවර්මන් විසින් එම ලේඛනය 1173 VS දී පැහැදිළි අක්ෂරවලින් නැවත ලියවා ඇති බවයි. මින් පැවසෙන්නේ ධංග විසින් ශිව ලිංග ද්විත්වයක් සහිත අනර්ඝ ශිව දේවාලයක් ඉදිකළ බවයි.[4] එක් ලිංගයක් වන මරකතේෂ්වර ("මරකත අධිපති") ලිංගය මරකතවලින් තැනූවකි. ප්‍රමාථනාථ ("ප්‍රමාථයන් හෙවත් පිසාචයන්-වැනි ආත්මයන්ට අධිපති") නැමැති අනෙක් ලිංගය පාෂාණයෙන් තැනූවකි.[5] මෙම ශිලාලේඛනය ධංගගේ මරණින් පසු ලියවූවක් බැව් පෙනේ. එහි දැක්වෙන්නේ වසර සියයකටත් වඩා ජීවත් වීමෙන් පසු, ධංග සිය සිරුර ගංගා සහ යමුනා ජලයට භාරකොට මෝක්ෂයට පත්වූ බවයි.[4] සෙසු චාන්දේලා දේවාල අභිලේඛන මෙන් නොව මෙහි චන්දේලවරුන්ගේ ප්‍රතිහාර අධපතීන් පිළිබඳ සඳහන් නොවේ. මින් හෙළිවන්නේ මේ කාලය වනවිට චන්දේලවරුන් තවදුරටත් ප්‍රතිහාරයන්ගේ යටත් වාසීන් නොවූ බවයි. මරකත ලිංගය (මරකත එබ්බවූ ලිංගයක් විය හැක) පිළිබඳ තොරතුරු ද මේ බවට සාක්ෂි සපයයි. පුරාණ ග්‍රන්ථ අනුව, මැණික්-එබ්බනූ ලිංගය යනු සිය අභිප්‍රායයක් ඉටුවූ පසු කෙරෙන පූජාවක් බැව් දැක්වේ‍. මේ අනුව යෝජනා වන්නේ ධංග විසින් මෙම දෙවොල ඉදිකළේ ස්වාධීන රජකු ලෙස ඉහළ දේශපාලන තත්ත්වයක් හිමිකරගැනීමෙන් පසුව බවයි.[6]

ශිලා ලේඛනය මත පදනම්ව, මෙම දේවාලය ක්‍රි.ව. 999දී[7][8] හෝ ක්‍රි.ව. 1002දී නිර්මාණය කළ බැව් විද්වත්හු විශ්වාස කරති.[9][10] කෙසේනමුත්, කලා ඉතිහාසඥ ශෝපිතා පුන්ජා පවසන්නේ මෙම දේවාල වාර්තාවේ සඳහන් දෙවොල, විශ්වනාථ දේවාලය වීමට මෙන්ම නොවීමට ද ඉඩ ඇති බවයි. ඇයට අනුව, ධංග විසින් ශිලා ලිංගයට සහ මරකත ලිංගයට වෙනවෙනම දේවාල දෙකක් තනා ඇත.[1]

මෙම ශිලාලේඛනයේ සඳහන් වන්නේ ඡිඡා (හෝ ඡිච්චා) නැමැත්තකු මෙම දෙවොලේ ගෘහනිර්මාණ ශිල්පියා වූ බවයි. එසේම දේවාලයේ තොරණ සැලසුම් කරන ලද්දේ ශිල්පියාගේ සිරුරට ආරූඪ වූ වාස්තු විද්‍යාවට අධිපති විශ්වකර්ම දෙවියන් බවත් එහි දැක්වේ.[6][11]

ගෘහනිර්මාණ ශිල්පය[සංස්කරණය]

විශ්වනාථ දේවාලය ලක්ෂ්මණ දේවාලයෙන් (ක්‍රි.ව. 930–950 පමණ) ඇරඹී කන්දාරියා මහාදේව දේවාලය (ක්‍රි.ව. 1030) සමයේ උච්චත්වයට පත් මධ්‍ය ඉන්දියානු ගෘහනිර්මාණ ශෛලියේ මහිමය කියාපායි.[12] මෙම දේවාල ත්‍රිත්වය මගින් ඛජුරාහෝවේ වර්ධනය වූ කලා ශෛලියේ උච්චතම නිදසුන් වේ.[13]

විශ්වනාථ භූමිය පංචායතන සංකීර්ණයක් ලෙස ඉදි විය. මෙහි එක් ප්‍රධාන දේවාලයක් සහ එය වටා වූ තිරේක කුඩා දෙවොල්වලින් සමන්විත ය. කෙසේනමුත්, වර්තමානයේ පවතින්නේ කුඩා දෙවොල් දෙකක් පමණකි.‍[14] ප්‍රධාන දේවාලය නැගෙනහිරට මුහුණලා ඉදිකොට ඇත.[13] මෙයට නැගෙනහිරින් පිහිටි නන්දි දේවාලය ශිවගේ වාහනය වන නන්දිහට පුදකොට ඇත. මෙහි ඇති 2.2 m උසැති නන්දි ප්‍රතිමාව ප්‍රධාන දේවාලයට මුහුණලා පිහිටා ඇත.[15] නිරිතදිගින් පිහිටි දෙවොල ශිවගේ බිසව වූ පාර්වතී දේවිය වෙනුවෙන් ඉදිවූවකි. පාර්වතී දේවාලය තරමක් විනාශ වී ඇත. එහි ගර්භගෘහය සහ පියස්ස (ශිඛර) පමණක් දක්නට ඇත. මෙහි ගර්භගෘහයේ තලගොයකු මත සිටගත් පාර්වතී දෙවඟනගේ ප්‍රතිමාවක් දක්නට ලැබේ.[14]

ප්‍රධාන දේවාලය සහ එහි අතිරේක දෙවොල් ද්විත්වය

ප්‍රධාන දේවාලය නගර ශෛලියෙන් නිමවා ඇත: එහි ප්‍රවේශ ද්වාරයක් (අර්ධ-මණ්ඩප), කුඩා ශාලාවක් (මණ්ඩප), විශාල ශාලාවක් (මහා-මණ්ඩප), අන්තරාලයක්), සහ ගර්භගෘහය සමග පියැසි කුළුණක් (ශිඛර) දක්නට ඇත.[14] මේවා පිහිටි පාදම ද කැටයම්වලින් අලංකාර කොට ඇත. පාදමේ සිට ද්වාරය තෙක් විහිදෙන පියගැට එක් පසෙකින් සිංහ රූ ද, අනෙක් පසින් හස්ති රූ මගින් ද අලංකාර කොට ඇත. ප්‍රධාන දේවාලයේ ඍජුකෝණාස්‍රාකාර සැලැස්ම 27.5 m (අඩි 90) x 13.7 m (අඩි 45) යන පරිමාණවලින් යුක්ත ය.[14]

විශ්වනාථ දේවාලය
කන්දාරියා මහාදේව දේවාලය
ගර්භගෘහයේ ඇති ලිංගයන්ගේ සැසඳීමක්

ගර්භගෘහයේ ශෛලමය ලිංගයක් ඇත. අභිලේඛනයේ දැක්වෙන මරකත ලිංගය දක්නට නොලැබේ.[16] ලිංගය වටා ප්‍රදක්ෂිණා කිරීමට මාර්ගයක් ඇත. ගර්භගෘහයේ පැති තුනක ආලෝකය සහ වාතාශ්‍රය ලැබීමට සඳත්‍රිත්වයක් ඇත.[14]

මෙම ව්‍යූහය ඉදිකිරීමේ දී භාවිතා වූ ප්‍රධාන අමුද්‍රව්‍යය වැලිගල් ය.[17]

ප්‍රතිමා[සංස්කරණය]

දේවාලයේ පාදමේ සප්තමාත්‍රිකාවියන් (සප්ත දේවතාවියන්), ශිවගේ බිසව වන පාර්වතී දෙවඟනගේ සහ නර්කනයේ යෙදෙන ගනේෂ ප්‍රතිමා සඳහා අවකාශ සලසා ඇත.[14][17]

පාදමට ඉහළින් පිහිටි පිටත පෙදෙස කැටයම් තීරු තුනකින් සමන්විත ය. මෙහි විවිධ දෙවිවරුන්, අප්සරාවන් වැනි විවිධ සුරසුන්දරියන් (ස්ත්‍රී රූ) සහ මිත්‍යා රූ දක්නට ඇත. මෙම සුරසුන්දරියන් සින්දූර් (සාදිලිංගම් කුඩු) සිය නළලේ තවරමින්, ඇස්වල අඳුන් තවරමින්, ස්නානයෙන් පසු කොණ්ඩය මිරිකමින්, පතුළේ ඇනුණු කටු ඉවත් කිරීම, නර්තනයේ යෙදීම, කැඩපත ඉදිරියේ සිය රූ සපුව වර්ණනා කිරීම, වස්ත්‍ර පැළඳීම වැනි එදිනෙදා කටයුතුවල නියැළෙමින් සිටිනු නිරූපිත ය. ඔවුන්ගේ කොණ්ඩා විලාසිතා, අලංකාර වස්ත්‍ර, ආභරණ සහ හැඟීම් මතුකර පෙන්වන මුහුණු කැපී පෙනේ.[14][17]

ගර්භගෘහයේ ඇති පරික්‍රම හෙවත් ප්‍රදක්ෂිණා පථය පිළිබඳ අලි ජාවිඩ් සහ ටැබසම් ජාවීඩ් පවසන්නේ "ඛජුරාහෝවේ ඇති අනර්ඝතම නාරි රූ වලින් සමන්විත බවයි".[17] ඉන් එක් රුවක සුරසුන්දරියක් බටනලාවක් වයමින් සිය දේහය පසෙකට බර කොට ලාලිත්‍යානුකූලව නාරි දේහයේ සුන්දරත්වය නිරූපණය කරයි. අර්ධ වශයෙන් හානි වූ තවත් කැටයමක තරුණියක් නර්තන ඉරියව්වෙන් සිටිනු දැක්වේ. තවත් කැටයමක දරුවකු වඩාගෙන සිටින මවක් නිරූපිත ය. මෙහි ඇය පැත්තකට නැවී සිය දරුවා උකුල මත හිඳවා තබාගෙන සිටියි. තවත් කැටයමක ස්ත්‍රියක් සිය වම් පාදය පසුපසට නවා එහි සායම් තවරනු දක්නට ලැබේ. තවත් දසුනක යුවතියක් සිය තනපටය පසුපස ගැටගසන අයුරු දැක්වේ. මෙහි ඇගේ දේහය ලාලිත්‍යවත්ව නිරූපණය කොට තිබේ.[17]

දේවාලයේ උතුරු සහ දකුණු බිත්තිවල ශෘංගාරාත්මක කැටයම් දැකගත හැක.[14][18] මෙහි අන්තරාලය සහ ගර්භගෘහය අතර සන්ධියේ නව කන්දාරියා මහාදේව දේවාලයේ ඇති සුප්‍රකට "කරණම්කාර ලිංගික" දර්ශනයේ ප්‍රභේදයක් දැකගත හැක. කන්දාරියා දේවාලයේ ප්‍රතිමාවේ මෙන්, මෙහි ද යුවළට ස්ත්‍රීන් දෙදනකු විසින් සහාය වේ. නමුත් මිනිසා සිටින්නේ මුදුනේ ය. පහළ සිටින ස්ත්‍රිය සිය එක් අතකින් වම්පස සිටගෙන සිටින ස්ත්‍රියගේ භගමණිය පිරිමදින අතර, අනෙක් අත බිමට වාරු දී සිටියි. ඇතැම් කැටයම්වල මිනිසුන් පශු මෛථුන්‍යයේ යෙදෙන අතර, ස්ත්‍රීන් සිය දෑස් වසා සිටිනු නිරූපිත ය.[17]

අභ්‍යන්තරයේ සියලු කුටිවල කුළුණු කැටයම් කොට ඇත. සිවිලිමේ සහ එයට ආධාර වන කුරුපාවල (brackets) සංකීර්ණ කැටයම් දක්නට ඇත.[14] කෙසේනමුත්, විශාල ශාලාවේ කුරුපාවල ඇති කැටයම් දැඩිව විනාශ වී ඇත.[17]

ශෘංගාරාත්මක ප්‍රතිමා පිළිබඳ අර්ථ නිරූපණ[සංස්කරණය]

ශෘංගාරාත්මක ප්‍රතිමා පිළිබඳ විවිධ අර්ථකථන යෝජනා වී ඇත. යටත්විජිත කලා පරිපාලක අර්නස්ට් බී. හැවල් සලකා ඇත්තේ මේවා හින්දු සමාජයේ පරිහානි අවධියක නිමැවුම් ලෙසයි. මීට වෙනස් මතයක් මගින් යෝජනා වී ඇත්තේ පුළුල්-මනසැති සමාජයක කාමශාස්ත්‍රය නිසා පෙළඹුණු කලාකෘති බවයි.[19]

කොලොම්බියා විශ්වවිද්‍යාලයේ දකුණු ආසියානු කලා මහාචාර්ය විද්‍යා දෙහේජියා පවසන්නේ මෙම ප්‍රතිමා මගින් කෞල සහ කාපලික අංශවල චාරිත්‍ර නිරූපණය වන බවයි. එම අංශ මගින් විශ්වාස කෙරුණේ ලෞකික වරදෙහි බැ‍ඳීමේ ආශාවන්ට ඔරොත්තු දෙන අයට පමණක් මෝක්ෂය ලබාගත හැකිය යන්නයි‍. මෙවැනි පෙළඹවීම්වලට ඉහළින් යමකුට නැගී සිටිය හැකි නම්, ඔහුට කිසිදු බලපෑමක් සිදු නොවේ. මෙම අංශයන් නම්‍යශීලී චන්දේල පාලකයින්ට මෙවැනි "අතිශය මතභේදාත්මක ක්‍රියාකාරකම්වල නියැලීමට" පිටුවහලක් විය.[20]

ඉන්දීය කලා ඉතිහාසඥ දේවාංගනා දේසායි අනුව, විශ්වනාථ සහ කන්දාරියා මහාදේව දේවාලවල ඇති කාමුක ප්‍රතිමා පහත කාර්යයන් සඳහා වැදගත් විය:[21]

  • මෙම ප්‍රතිමාවල ගැඹුරු, සැඟවුණු අරුතක් ඇත: එමගින් සන්ධ්‍යා භාෂාව (රූපකාත්මක කේත භාෂාව) උපකාර කරගනිමින් "යෝගික-දාර්ශනික සංකල්ප" නිරූපණය කරයි. තන්ත්‍රිකයන් (තන්ත්‍ර අනුගාමිකයන්) එවැනි භාෂා භාවිතා කළේ සිය ක්‍රියාකාරකම් මහජනයාට හෙළි වීම වැළැක්වීමටයි.
  • මෙම ප්‍රතිමා මගින් වන්දනාවට පාත්‍ර වූ යන්ත්‍රයක් සඟවයි.
  • මෙහි මෛථුන්‍යයේ යෙදෙන යුවළවල් දැක්වෙන රූප ගර්භගෘහය හා ශාලාව සම්බන්ධවන සන්ධිවල දක්වා ති‍බේ. මේවා ගොඩනැගිල්ලේ අවදානම් පෙදෙස්වල ආරක්ෂාවට මායානර්මයක් වශයෙන් යොදන්නට ඇත.
  • මෙම ශෘංගාරාත්මක ප්‍රතිමා යෝගී නොවන සංචාරකයින්ට වින්දනයක් ලබා දිය හැකි විය.

කොලොම්බියා විශ්වවිද්‍යාලයේ කලාව සහ ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ මහාචාර්යවරයකු වන ෆ්‍රෙඩ් ක්ලයිනර් විශ්වාස කරන්නේ මෙම ප්‍රතිමා පූජනීය දේවාලයේ "සශ්‍රීකත්වය සහ දිවිය ප්‍රචාරණයටත්, ශුභ ආරක්ෂාව සැලසීමටත්" භාවිතා වන්නට ඇති බවයි.[18] ඩෙලාවෙයාර් විශ්වවිද්‍යාලයේ විද්වතකු වන මාගරට් ප්‍රොසර් ඇලන් සඳහන් කරන්නේ මෙම ශෘංගාරාත්මක ප්‍රතිමා මගින් මිනිස් දිවියේ අරමුණු නිරූපණය වන බවයි.[22]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 Shobita Punja (2010). Khajuraho: The First Thousand Years. Penguin Books Limited. pp. 30–31. ISBN 978-93-85890-40-6.
  2. Naval Krishna; Manu Krishna (2004). The Ananda-Vana of Indian Art: Dr. Anand Krishna Felicitation Volume. Indica Books. p. 209. ISBN 978-81-86569-48-1.
  3. Vibhuti Bhushan Mishra (1973). Religious Beliefs and Practices of North India During the Early Mediaeval Period. BRILL. p. 16. ISBN 90-04-03610-5.
  4. 4.0 4.1 F. Kielhorn (1892). James Burgess (ed.). Epigraphia Indica. Vol. 1. Archaeological Survey of India. pp. 137–139.
  5. Devangana Desai (1986). "Lord of Kalanjara and his Shrine of the Emerald Linga: Eleventh Century Khajuraho". Marg. 39 (2).
  6. 6.0 6.1 Heather Elgood (2000). Hinduism and the Religious Arts. Bloomsbury. p. 147. ISBN 9780826498656.
  7. Phanikanta Mishra (2001). Khajuraho, with latest discoveries. Sundeep Prakashan. p. 3.
  8. Devangana Desai (2000). Khajuraho. Oxford University Press. p. xvi. ISBN 978-0-19-565391-5.
  9. David Abram; Nick Edwards; Mike Ford (1 October 2013). The Rough Guide to India. Rough Guides. p. 425. ISBN 978-1-4093-4267-0.
  10. Journal of the Ganganatha Jha Kendriya Sanskrit Vidyapeetha. Ganganatha Jha Kendriya Sanskrit Vidyapeetha. 1999. p. 65.
  11. Dikshit, R. K. (1976). The Candellas of Jejākabhukti. Abhinav. p. 69. ISBN 9788170170464.
  12. "Visvanatha Temple". Archaeological Survey of India, Bhopal Circle. සම්ප්‍රවේශය 26 May 2016.
  13. 13.0 13.1 James C. Harle (1994). The Art and Architecture of the Indian Subcontinent. Yale University Press. p. 234.
  14. 14.0 14.1 14.2 14.3 14.4 14.5 14.6 14.7 14.8 Suchismita Banerjee; et al., eds. (2009). Great Monuments of India. DK / Penguin. pp. 86–87. ISBN 9780756665616. {{cite book}}: Explicit use of et al. in: |editor= (help)
  15. Sarina Singh, ed. (2009). India. Lonely Planet. p. 684. ISBN 9781742203478.
  16. Mitra, Sisirkumar (1977). The Early Rulers of Khajurāho. Motilal Banarsidass. p. 194. ISBN 9788120819979.
  17. 17.0 17.1 17.2 17.3 17.4 17.5 17.6 Ali Javid and Tabassum Javeed (2008). World Heritage Monuments and Related Edifices in India. Vol. 1. Algora. pp. 203–204. ISBN 9780875864822.
  18. 18.0 18.1 Fred S. Kleiner (2015). Gardner's Art Through the Ages: Backpack Edition, Book C: Non-Western Art to 1300. Cengage Learning. pp. 453–454. ISBN 978-1-305-54491-8.
  19. Shobita Punja (2010). Khajuraho: The First Thousand Years. Penguin UK. pp. 57–63. ISBN 9789385890406.
  20. Dehejia, Vidya (1978). Looking Again at Indian Art. Publications Division. pp. 70–71.
  21. Devangana Desai (1996). The Religious Imagery of Khajuraho (PDF). Franco-Indian Research. pp. 191–193. 2016-03-04 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-01.
  22. Margaret Prosser Allen (1991). Ornament in Indian Architecture. University of Delaware Press. pp. 209–210. ISBN 978-0-87413-399-8.

බාහිර සබැඳි[සංස්කරණය]