කන්දාරියා මහාදේව දේවාලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
කන්දාරියා මහාදේව දේවාලය (ඛජුරාහෝ දේවාලය)
Khajuraho.KandariyaMahadeva.jpg
මූලික තොරතුරු
පිහිටීමඛජුරාහෝ, මධ්‍ය ප්‍රදේශ්, ඉන්දියාව
අනුබැඳියාවහින්දු ආගම
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයඋතුරු ඉන්දියානු
නිර්මාපකවිද්‍යාධර (චන්දේල රජ)

කන්දාරියා මහාදේව දේවාලය (දේවනගරි: कंदारिया महादेव मंदिर, කන්දාරියා මහාදේව මන්දිර්) යනුවෙන් හැඳන්වෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඛජුරාහෝවේ පිහිටි මධ්‍යකාලීන දේවාල සමූහය අතුරින් විශාලතම සහ වඩාත් විසිතුරුම හින්දු දේවාලයයි. කන්දාරියා මහාදේව යන්නෙහි අරුත "ගුහාවේ මහා දෙවියා" යන්නයි. ඉන්දියාවේ මධ්‍යකාලීන යුගයට අයත් සංරක්ෂිත දේවාල අතුරින් හොඳම නිදසුනක් ලෙස මෙය සැලකේ.

පිහිටීම[සංස්කරණය]

ඛජුරාහෝ ස්මාරක සමූහයේ දේවාලවල පිහිටීම: ක්නදාරියා මහාදේව දේවාලය පිහිටියේ මෙහි බටහිර සමූ‍හයේ ය.

කන්දාරියා මහාදේව දේවාලය පිහිටියේ මධ්‍යම ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඡතර්පූර් දිස්ත්‍රික්කයේ ය.[1] ඛජුරාහෝ ගම්මානයේ පිහිටි මෙම දේවාල සංකීර්ණය වර්ග කිලෝමීටර 6ක (ව. සැත. 2.3) භූමි ප්‍රදේශයක් පුරා ව්‍යාප්ති වී ඇත.[2] මෙය ගම්මානයේ බටහිර පෙදෙසේ විෂ්ණු දේවාලයට බටහිරින් පිහිටයි.[3][4]

ඛජුරාහෝ ගම්මානයේ පිහිටි දේවාල සංකීර්ණය මීටර 282ක (අඩි 925) උන්නතාංශයක පිහිටි අතර, මෙය වෙත මාර්ග, දුම්රිය සහ ගුවන් ප්‍රවාහන සේවා මැනවින් ක්‍රියාත්මක වේ. ඛජුරාහෝව මහෝබාවට සැතපුම් 34 (55 km) දකුණින් ද, ඡතර්පූර් නගරයේ නැගෙනහිර සිට සැතපුම් 29 (47 km) ක දුරකින් ද පිහිටා ඇත. එසේම පන්නා සිට සැතපුම් 27 (43 km) ඈතින් පිහිටා ඇත. ජාන්සි සිට උතුරින් මාර්ගය ඔස්සේ 175 km (සැත. 109) දුරකින් ද යුතු අතර , දිල්ලියේ ගිනිකොනදිග පෙදෙසේ සිට 600 km (සැත. 370) දුරක් ද ඇත. මෙයට 9 km (සැත. 5.6) දුරින් දුම්රිය ස්ථානයක් ද ඇත.[1][5] ඛජුරාහෝවේ සිට ඛජුරාහෝ ගුවන්තොටුපළ (IATA කේතය: HJR) මගින් දිල්ලි, අග්‍රා සහ මුම්බායි වෙත සේවා සංචාර දියත් කෙරේ. මෙම ගුවන් තොටුපළ දේවාලයේ සිට 6 km (සැත. 3.7) දුරින් පිහිටා ඇත.[5][6]

ඉතිහාසය[සංස්කරණය]

ඛජුරාහෝව සහ ශුභම් යනු චන්දේල රාජ්පුත්වරුන්ගේ අගනුවරවල් විය‍ කන්දාරියා මහාදේව දේවාලය යනු ඉන්දියාවේ මධ්‍යකාලීන යුගයට අයත් ‍දේවාල අතුරින් ඉතිරිව ඇති හොඳම නිදසුනකි.[1][7] එසේම චන්දේල පාලකයින් විසින් ඉදිකළ ඛජුරාහෝ දේවාල සංකීර්ණයේ බටහිර සමූහයේ ඇති විශාලතම දේවාලය ද මෙයයි. මෙහි ගර්භගෘහයේ වන්දනාමානයට පාත්‍ර වූ ප්‍රධාන දෙවියා ශිව දෙවියන් ය.[8]

මෙම දේවාලය ඉදිකරන ලද්දේ 1017 සිට 1029 දක්වා පාලනය ගෙනගිය චන්දේල රජකු වූ විද්‍යාධර විසින් යැයි විශ්වාස කෙරේ.[1] මෙම රාජවංශයේ විවිධ රජවරුන්ගේ සමයයන්හි විෂ්ණු, ශිව, සූර්යා, හින්දු ආගමේ ශක්ති වැනි විවිධ දෙවිවරුන් සහ ජෛන ආගමේ තීර්ථංකරවරුන් පිදීම වෙනුවෙන් දේවාල ඉදි විය. විද්‍යාධර හෙවත් මුස්ලිම් ඉතිහාසඥ ඉබ්න්-අල්-අතිර්ගේ වාර්තාවල බීද යනුවෙන් හැඳින්වෙන් රජු බලවත් පාලකයෙකි. ඔහු විසින් කන්දාරියා මහාදේව දේවාලය ඉදිකළ අතර, 1019දී ඝස්නියේ මහමුද්ගේ පළමු ආක්‍රමණයට එරෙහිව ඔහු සටන් වැදුණේ ය.[1] මෙම සටනේ ප්‍රතිඵලය සාධනීය නොවූ හෙයින්, මහමුද් හට ඝස්නිය වෙත පලායාමට සිදු විය. 1022දී මහමුද් විසින් විද්‍යාධරට එරෙහිව තවත් ආක්‍රමණයක් දියත් කරන ලදී. ඔහු කලින්ජාර් බලකොටුවට ප්‍රාර එල්ල කළේ ය.[1] මෙම බලකොටුව වටලෑම ද සාර්ථක නොවිණි. මේ නිසා මහමුද් සහ විද්‍යාධර අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත්කොට ත්‍යාග හුවමාරු කර ගැනිණි. විද්‍යාධර විසින් මහමුද් සහ සෙසු පාලකයින්ට එරෙහිව තමන් ලත් ජයග්‍රහණය සැමරීම උදෙසා සිය පවුලේ දේවතාවා වූ ශිව දෙවියන්ට කැපකළ කන්දාරියා මහාදේව දේවාලය ඉදිකරවන ලදී. මණ්ඩපයේ වූ සතරැස් කුළුණක අන්තර්ගත ශිලා ලේඛනයක දැක්වෙන්නේ දේවාලය ඉදිකළේ විරිම්ද විසින් බවයි. මෙය විද්‍යාධරගේ නාමයේ ප්‍රභේදයක් ලෙස සැලකේ.[1] මෙහි ඉදිකිරීම් ක්‍රි.ව. 1025 සහ 1050 අතර කාලයේ සිදුවීයැයි විශ්වාස කෙරේ.[4]

කන්දාරියා මහාදේව දේවාලය ඇතුළු විද්‍යාමාන සියලු දේවාල 1986දී යුනෙස්කෝ ලෝක උරුම අඩවි ලැයිස්තුවට ඇතුළත් කෙරුණේ මෙහි කලාත්මක නිර්මාණය සලකා IIIවන නිර්ණායකය සහ චන්දේලවරුන්ගේ සංස්කෘතිය සලකා Vවන නිර්ණායකය යටතේත් ය. 1202දී මුස්ලිම්වරුන් විසින් දේශය ආක්‍රමණය කරන තෙක්ම මෙම සංස්කෘතිය ප්‍රචලිතව පැවතිණි.[9][10]

විශේෂ ලක්ෂණ[සංස්කරණය]

ඛජුරාහෝ කන්දාරියා මහාදේව දේවාලයේ ඇති විවිධ විශේෂාංග සලකුණු කොට ඇති අයුරු
දේවාලයේ සරල බිම් සැලැස්ම

කන්දාරියා මහාදේව දේවාලය 31 m (අඩි 102) ක උසින් යුක්ත ය. බටහිර සංකීර්ණයේ පිහිටි මෙය ඛජුරාහෝ දේවාල සංකීර්ණයේ ඇති දේවාල සමූහ ත්‍රිත්වය අතුරින් විශාලතම දේවාලය ද වේ.[11] කන්දාරියා, මාතංගේශ්වර සහ විශ්වනාථ දේවාල ඇතුළත් බටහිර දේවාල සංකීර්ණය ශිවගේ ත්‍රිත්ව ස්වරූපයන් පෙන්නුම් කරන "විශ්වීය ෂඩාස්‍ර සැලසුමක (යන්ත්‍රයක්)" ලෙස සැලකේ.[5] මෙම දේවාල ගෘහනිර්මාණය ශිඛරක් වටා නිමැවුණු ද්වාර සහ කුළුණුවලින් සමන්විත ය. මෙම ශිඛරය 10වන සියවසේ සිට මධ්‍ය ඉන්දියාවේ දේවාලවල සුලබ ගෘහනිර්මාණ අංගයකි.[11]

දේවාලය ඉදිකොට ඇත්තේ 4 m (අඩි 13) ක උසකින් යුත් දැවැන්ත පාදමක් මත ය.[12] පාදමට ඉහළින් පිහිටි දේවාල ව්‍යූහය මනා ලෙස සැලසුම් කොට ඇති අතර, අතිශයින් විස්තරාත්මක ය.[13] මෙහි උපරිව්‍යූහය මේරු පර්වතය සංකේතවත් කෙරෙන බෑවුම් ආකාර කන්දක ස්වරූපයෙන් නිමවා තිබේ. මෙම මේරු පර්වතය ලෝක‍ය මැවීමේ දී වැදගත් වූ මිත්‍යාමය ප්‍රභවයක් යැයි පැවසේ.[8] මෙහි උපරිව්‍යූහයේ පියසි අතිශයින් විසිතුරු කොට ඇති අතර, මෙහි මහා ශිඛරය වටා එවැනි කුඩා ශිඛර 84ක් පවතී.[4] දේවාලයේ බිම් සැලැස්ම සැලකූ විට ඛජුරාහෝ දේවාල සංකීර්ණයේ 22 km2 ක සමස්ත භූමි ප්‍රමාණයෙන් 6 km2ක (ව.සැත. 2.3) ප්‍රමාණයක් කන්දාරියා මහාදේව දේවාලය වෙනුවෙන් වෙන්කොට ඇත. මූලිකව මෙම දේවාලය දිගින් අඩි 102 (31 m) සහ අඩි 67 (20 m) ක පළලින් යුක්ත ය. මහා කුළුණ තෙක් උස අඩි 102ක් (31 m) වන මෙය "ඛජුරාහෝවේ ඇති විශාලතම සහ ප්‍රධානතම දේවාලය" වේ.[2][13][14] බිම් මට්ටමේ සිට දේවාලයේ පිවිසුම දක්වා අධික බෑවුමකින් යුත් පියගැට දක්නට ලැබේ‍.[15] ඛජුරාහෝ සංකීර්ණයේ ඇති ලක්ෂ්මණ සහ විශ්වනාථ දේවාල මෙන් මෙම දේවාලයේ සැලසුම ද, අංග 5කින් යුතුව නිමවා තිබේ. පිවිසුමට දකුණුපසින් පිහිටි තොරණ අතිශයින් කැටයමින් විසිතුරු කළ, තනි ගලින් නෙළූ වක්‍රාකාර ආරුක්කුවක හැඩයක් ගනී. මෙවැනි ආරුක්කු හින්දු විවාහ මංගල්‍යයන්ගේ අංගයක් ද වේ.[4] පිවිසුම් ද්වාරයේ වූ කැටයම් "පාෂාණයේ සුමට ස්වභාවයත්, නිර්මාණයේ වූ සමමිතික ස්වභාවයත්" විදහා පායි. මෙලෙසින් සම්පූර්ණ දේවාලයම බාහිරින් අතිශයින් කැටයම් කොට ඇත. උසස් අයුරින් නිර්මාණය කොට ඇති මෙම කැටයම් අලංකෘත කිරීමේ දී තියුණු රේඛා භාවිතා කොට තිබේ. දේවාල සංකීර්ණයේ සෙසු දේවාලවලට සාපේක්ෂව මෙම දේවාලයේ ඇති වෘත්තාකාර, සර්පිලාකාර හෝ තරංගාකාර කැටයම්, ජ්‍යාමිතික රටා, සිංහ රූප සහ වෙනත් මෝස්තර දේවාලයට දර්ශනීය ස්වරූපයක් ලබා දේ.[13]

කුඩා කොත් 84කින් සමන්විත ප්‍රධාන දේවාල ශිඛරය
දේවාලයේ බාහිර බිත්තිවල දක්නට ලැබෙන ශෘංගාරාත්මක ප්‍රතිමා

මෙහි පිවිසුමේ අභ්‍යන්තර අවකාශය මණ්ඩප තුනකින් සමන්විත ය. මේවා ක්‍රමයේන උසින් සහ පළලින් වැඩිවන අයුරින් නිමවා ඇත. අභ්‍යන්තරයේ ශිව දෙවියන්ට පිදූ කුඩා කුටීරයක් ඇත. මීට අමතරව ශිවගේ භාර්යාව වන පාර්වතී දෙවඟනට පිදූ කුටියක් ද වේ. මධ්‍යයේ වූ ගර්භගෘහය තුළ ශිව ලිංගය දක්නට ලැබේ. ගර්භගෘහයේ ඇතුළත කුටිය එකිනෙකා හා අන්තර්සම්බන්ධ පැසේජයන්ගෙන් සමන්විත ය. මේවායේ පැති සහ ඉදිරි සඳලුතල දැකගත හැක. ගර්භගෘහයේ සඳලුතල ඔස්සේ ලැබෙන ආලෝකය මඳ හෙයින් දේවාලයේ බාහිර පෙදෙස් හා සැසඳීමේ දී මෙම කලාපයේ ඇත්තේ "ගුහාවක වැනි ස්වරූපයකි".[4][12][16][17] දේවාලයේ ඇතුළු ශාලාවල සහ ඒවායේ බාහිර මුහුණත්වල දෙවිවරුන්, දෙවඟනන්ගේ, සංගීතඥයන්ගේ සහ අප්සරාවන් නිරූපිත අලංකෘත කැටයම් දැකගත හැක.[4] ශාලාවේ වූ දැවැන්ත කුළුණුවල "ලියවැල් මෝස්තර" දක්නට ලැබේ. ශාලාවල කෙළවරවල් අතර කැටයම් කළ රටාවන් දැකගත හැක.[13] ගර්භගෘහයට ඉහළින් ප්‍රධාන ශිඛරයක් දැකගත හැක. සෙසු මණ්ඩපවලට ඉහළින් තවත් ශිඛර දෙකක් පිහිටා ඇත. මේවා ද "අර්ධ ගෝලාකාර, පියගැට ස්වරූපයේ, පිරමිඩාකාර, උසින් යුත්" ව්‍යූහ වේ. ප්‍රධාන ශිඛරය වාට එකිනෙක හා සම්බන්ධ කුඩා ශිඛර මාලාවක් පිහිටා ඇත.[18] මේවා මධ්‍ය හරයක් වටා පිහිටි කුඩා ශිඛර සමූහ වශයෙන් පිහිටි අතර, මේ නිසා දේවාලයට ශිව දෙවියන් වාසය කරන්නේ යැයි පැවසෙන හිමාලයේ කෛලාස පර්වතයේ වැනි විෂම ස්වරූපයක් හිමි වී ඇත.මෙම ලක්ෂණය මෙහි බොහෝ දේවාලවල ද දැකගත හැක.[17]

දේවාලයේ බාහිර බිත්ති ප්‍රතිමා සහිත තිරස් කැටයම් තීරු තුනකින් සමන්විත ය.[4] මෙම කැටයම් සහිත තිරස් තීරු හිරු එළිය පතිත වූ විට, දීප්තිමත් ව පෙනේ. මේ නිසා දෙවොලේ ගෘහනිර්මාණ අංගවලට රිද්මයානුකූල ස්වභාවයක් හිමිව ඇත. මෙහි ඇතුළත් දේව රූප අතර, අග්නි හෙවත් ගිනි දේවතාවා බහුලව දක්නට ලැබේ.[13] එසේම ශෘංගාරාත්මක දසුන් සහිත ප්‍රතිමා රැසක් දෙවොල වටා වූ අවකාශවල කැටයම් කොට ඇත. මේවා සංචාරකයන්ගේ නොමඳ ආකර්ෂණයට හේතු වී ඇත. මෙම ශෘංගාරාත්මක ප්‍රතිමා කලාත්මක අයුරින් නිමවා ඇති අතර මේ අතුරින් සමහරක් මිථුන (මෛථුන්‍යයේ යෙදෙන) ඉරියව්වලින් යුක්ත වේ. එහිදී පරිවාර සේවිකාවන් මෛථුන්‍යයේ යෙදෙන යුවළට ආධාරවනු නිරූපිත ය. මෙහි එක්තරා මෛථුන්‍ය දර්ශනයක යෝගී ඉරියව්වක් අයුරින් "හිස යටිකුරු අතට පිහිටන පරිදි සිටින" පුරුෂයකු සංසර්ගයේ යෙදෙන අයුරු නිරූපිත ය.[4] මේවායේ අවකාශ අතර මාතෘ දේවතාවියන් සත්දෙනා සමග ගනේෂ සහ වීරභද්‍ර පෙනී සිටින සප්තමාත්‍රික කැටයමක් ද වේ. මෙම බියකරු ආරක්ෂ දේවතාවියන් සත්දෙනා පහත පරිදි වේ: බ්‍රහ්මයාගේ හංසයා මත හිඳගත් බ්‍රාහ්මි; ශිවගේ නන්දි ගවයා මත හිඳගත් මහේෂ්වරී; කුමාරි; ගරුඩා මත හිඳි වෛෂ්ණවී; වරාහ-හිසැති වරාහි; සිංහ-හිසැති නරසිංහි දේවතාවිය සහ ඡන්ද හා මුන්ද අසුරයින් මැඬලන ඡමුන්දා දේවතාවියයි‍.[4]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 Ring, Salkin & Boda 1994, p. 468.
  2. 2.0 2.1 "Khajuraho Group of Monuments". UNESCO organization.
  3. "Kandariya Temple (built c. 1025–1050)". Oriental Architecture.
  4. 4.0 4.1 4.2 4.3 4.4 4.5 4.6 4.7 4.8 Abram 2003, pp. 420–21.
  5. 5.0 5.1 5.2 "Physical and Regional Setting of Khajuraho" (pdf). Shodhganga – INFLIBNET Centre.
  6. "Khajuraho airport". Airport Authority of India (AAI). Retrieved 12 August 2015.
  7. Bhatnagar, Asgwini (20 March 1999). "Ode to immortality Celebrating 1000 years of celestial ecstasy". The Tribune.
  8. 8.0 8.1 "Kandariya Mahadeva Temple". Asian Art Museum.
  9. "Khajuraho Group of Monuments: UNESCO World Heritage Site". UNESCO. Retrieved 12 August 2015.
  10. "Evaluation Report:World Heritage List No 240" (PDF). UNESCO Organization. Retrieved 12 August 2015.
  11. 11.0 11.1 "Kandarya Mahadeva". Encylopaedia Britannica.
  12. 12.0 12.1 "The Greatest Sacred Buildings". Museum of World Religions.
  13. 13.0 13.1 13.2 13.3 13.4 Allen 1991, p. 210.
  14. Abram 2003, p. 420-21.
  15. Ross 2009, pp. 280–81.
  16. Ross 2009, p. 281.
  17. 17.0 17.1 Asher & Talbot 2006, pp. 16–17.
  18. Ross 2009, p. 282.

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

වැඩිදුර කියවීමට[සංස්කරණය]

  • මිචෙල්, ජෝර්ජ්; සිං, ස්නේහාල්. Hindu temples of India (PDF)
  • Khajuraho temples (PDF)
  • Surface, Space and Intention: The Parthenon and the Kandariya Mahadeva. ග්‍රෙගරි ඩී. ඇලස්. History of Religions, වෙළු. 28, අං.1, අගෝස්තු 1988, පිටු. 1–36.

බාහිර සබැඳි[සංස්කරණය]