යක්ෂණී

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(යක්ෂි වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
යක්ෂණී
Yakshini.jpg
දිදාර්ගන්ජ් යක්ෂි
ක්‍රි.පූ. 3වන සියවස–ක්‍රි.ව. 2වන සියවස[1][2] පැට්නා කෞතුකාගාරය, පැට්නා
දේවනගරිयाक्षिणि
අනුබැඳියදේවී
භූතේස්වර යක්ෂියෝ, මථුරා, ක්‍රි.ව. 2වන සියවස

යක්ෂණී (යක්ෂි, යක්ෂිණී ලෙස ද හැඳින්වේ; පාලියෙන් යක්ඛිණි) යනු හින්දු, බෞද්ධ, සහ ජෛන පුරාණෝක්තිවේදයන්හි එන මිත්‍යාමය ජීවී කොට්ඨාසයකි. යක්ෂයන්ගේ අනුරූප ස්ත්‍රී ප්‍රභේදය වන යක්ෂණියෝ (යක්ෂියෝ) මිත්‍යාමය හිමාලයේ ආලක රාජධානියේ වෙසෙන හින්දු ධනයට අධිපති දෙවි කුවේරගේ සහායිකාවෝ වෙති. යක්ෂණියන් නිතරම නිරූපණ‍ය කෙරෙන්නේ රූමත් සහ ශෘංගාරාත්මක ලෙසින් වන අතර, ඔවුන් පුළුල් උකුල, පටු ඉඟ, සහ අතිශයෝක්තියෙන් යුතු පුන් පියයුරුවලින් යුක්තව දැකගත හැක. උද්දාමරේශ්වර තන්ත්‍රය තුළ යක්ෂණියන් තිස්-හයදෙනකු පිළිබඳ විස්තර වන අතර, ඔවුන්ගේ මන්ත්‍ර සහ චාරිත්‍ර විධි ද එහි ඇතුළත් ය. මීට සමාන යක්ෂ සහ යක්ෂණී නාමාවලියක් තන්ත්‍රරාජ තන්ත්‍ර ග්‍රන්ථයෙහි ද සඳහන් වන අතර, ඉන් පැවසෙන්නේ මෙම ජීවීන් අපගේ ප්‍රාර්ථනාවන් ඉටු කරන්නන් ලෙසයි. සාමාන්‍යයෙන් යක්ෂණීන් කාරුණික යැයි සැලකුණ ද, ඉන්දියාවේ ජනශ්‍රැති තුළ දුෂ්ට යක්ෂණියන් පිළිබඳව ද අසන්නට ලැබේ.[3] මොවුන් පොළවේ සැඟවූ නිදන්වල ආරක්ෂිකාවන් ලෙස ද සැලකේ.

36 යක්ෂණියෝ[සංස්කරණය]

උද්දාමරේශ්වර තන්ත්‍ර‍යේ සඳහන් වන යක්ෂණියන් තිස්-හයදෙනා මෙසේ ය:[3]

  1. විචිත්‍රා (දයාබර තැනැත්තිය): සියලු ආශා ඉටු කරන්නී ය.
  2. විභ්‍රාමා (ශෘංගාරී තැනැත්තිය)
  3. හංසි (හංසයකු සමග සිටින්නිය): වැළලූ නිධන් සහිත ස්ථාන හෙලිකරන මැය ඝන ද්‍රව්‍ය විනිවිද බැලිය හැකි ආලේපයක් ලබා දෙන්නී ය.
  4. භීෂණී (බියවද්දන්නිය): තුන්මං සන්ධියක දී මැයට චාරිත්‍ර ඉටුකළ යුතු ය. මන්ත්‍රය 10,000 වරක් මැතිරිය යුතු ය. කපුරු සහ එළඟිතෙල් පූජා කළ යුතු ය. “ඕම් ඓම් ද්‍රීම් මහාමෝදේ භීෂණී ද්‍රාම් ද්‍රාම් ස්වාහා” එම මන්ත්‍රයයි.
  5. ජනරංජිකා (මිනිසුන් සතුටු කරන්නිය): වාසනාව සහ ප්‍රීතිය උදාකර දෙයි.
  6. විශාලා (විශාල නෙත් ඇත්තිය): ආදිරසායනික සාරෞෂධ ලබා දෙයි.
  7. මදවා (සරාගී): සියලු රෝග සුවකරන ඖෂධ ගුලියක් ලබා දෙන්නී ය.
  8. ඝණ්ටා (සීනුව): ලොව වසඟ කරගැනීමේ හැකියාව ලබාදෙන්නී ය.
  9. කලාකර්ණි (කලස්වලින් කන සරසන්නිය):
  10. මහාභයා (මහා භයානක): රෝගවලින් ආරක්ෂා කරයි. බියෙන් නිදහස ලබාදෙන මැය වියපත් වීමෙන් නිදහස් වීමේ රහස් රසායනය ලබාදෙන්නී ය.
  11. මහේන්ද්‍රි (මහා බලවන්තිය):පියාසර කිරීමේ සහ ඕනෑම ස්ථානය්ක වෙත යාමේ හැකියාව ලබා දෙයි. පාතාල සිද්ධි ලබාගනියි.
  12. ශංඛිණී (ශංඛ යුවතිය): ඕනෑම ආශාවක් පූර්ණ කරන්නී ය.
  13. චන්ද්‍රී (චන්ද්‍ර යුවතිය):
  14. ශ්මාෂනා (ආදාහන බිමේ යුවතිය): ධනය ලබා දෙන මැය, බාධාවන් බිඳහෙළයි. එක් බැල්මකින් ජනයා අඩපණ කිරීමේ හැකියාව මැය සතු ය.
  15. වාතයක්ෂිණී: දිව්‍යමය මහ මායාමය ආලේපයක් ලබා දෙයි.
  16. මේඛලා (මේඛලාවන්ට ප්‍රියකරන්නිය):
  17. විකාලා: ආශා ඵලයන්හි ඵලදාව වැඩි කරයි.
  18. ලක්ෂ්මී (ධනය): ලක්ෂ්මී සිද්ධිය ලබා දෙයි. රසායනයේ රහස් සහ දිව්‍යමය නිධානයන් ලබා දෙයි.
  19. මාලිනී (මාලාකාරිය): ඛඩ්ග සිද්ධිය ලබා දෙයි. එනම් ඕනෑම ආයුධයක් නැවැත්වීමේ හැකියාවයි.
  20. ශතපත්‍රිකා (පුෂ්ප 100):
  21. සුලෝචනා (ආදර නෙතැත්තිය): පාදුක සිද්ධිය ලබා දෙයි.
  22. ශෝභා: පූර්ණ ප්‍රීතිය සහ මහා රූසපුවක් ලබා දෙයි.
  23. කපාලිනී (කපාල යුවතිය): කපාල සිද්ධිය ලබා දෙයි. නින්දේදී පවා විශාල දුරක් ගමන් කිරීමේ හැකියාව ලබා දෙයි.
  24. වාරයක්ෂිණී:
  25. නටි (නිළිය): සැඟවුණු නිධාන, ආදිරසායනික ආලේප සහ මන්ත්‍ර යෝග බලය ලබා දෙයි.
  26. කාමේශ්වරී:
  27. මැය දැනටමත් විස්තර කොට ඇති බව පාඨය සඳහන් කරයි.
  28. මැය දැනටමත් විස්තර කොට ඇති බව පාඨය සඳහන් කරයි.
  29. මනෝහරා (මනෝහර තැනැත්තිය):
  30. ප්‍රමෝදා (සුගන්ධිනිය):
  31. අනුරාගිනී (අතිශයින් සරාගිනිය):
  32. නඛාකේශී:
  33. භාමිනී:
  34. පද්මිනී පහළින් (35) ඇතුළත් කළ යුතු යැයි දක්වා ඇත.
  35. ස්වර්ණවතී: අංජන සිද්ධිය ලබා දෙයි.
  36. රතිප්‍රියා (ප්‍රේමයට ප්‍රියතැනැත්තිය):

මුල්කාලීන රූ[සංස්කරණය]

මල් දරන අශෝක වෘක්ෂයක් යට සිටින යක්ෂිය; ශුංග, ක්‍රි.පූ. 2වන-1වන සියවස, ඉන්දියාව
බෙස්නගර් යක්ෂිය, ක්‍රි.පූ. 3වන සියවස.

භාරුත්, සාංචි, සහ මථුරා යන ස්ථාන තුනෙන් යක්ෂි රූ ගණනාවක් හමුවී ඇත. මින් බොහෝමයක් ස්තූපවල ගරාදි කුළුණු කැටයම්වල දක්නට ලැබේ. මේවායේ ක්‍රමික වර්ධනයක් සහ පැහැදිළි දියුණුවක් දක්නට ලැබෙන අතර, යක්ෂි රූව ලට අනන්‍ය ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකි ය. එනම් නග්න ස්වභාවය, සිනහමුසු මුහුණ සහ පැහැදිළි (බොහෝවිට අතිශයෝක්තියෙන් යුත්) කාන්තා ලාලිත්‍යයයි. මෙය සශ්‍රීකත්වය හා සම්බන්ධ යැයි සිතිය හැක. නිතරම යක්ෂියන් වෘක්ෂයක ශාඛාවක් අල්ලාගෙන ත්‍රිභංග අයුරින් නිරූපිත හෙයින්, ඇතැම් කතුවරුන් විශ්වාස කරන්නේ වෘක්ෂ පාමුල සිටින මෙම යුවතියන් පුරාතන වෘක්ෂ දේවතා සංකල්පයෙන් ආභාෂය ලද බවයි.[4]

අශෝක ගස යක්ෂණියන් සමග සමීප සම්බන්ධතාවක් දක්වයි. ඉන්දියානු කලාවේ ජනප්‍රිය අංගයක් වන මෙම යක්ෂියන් බෞද්ධ සහ හින්දු සිද්ධස්ථානවල ද්වාරයන්හි දැකගත හැක. ඔවුන් සිය පාදය ගසට හේත්තු කොටගෙන මල් දරන ‍අශෝක ගසක හෝ කලාතුරකින් මල් හෝ ඵල සහිත වෙනත් වෘක්ෂයක ශාඛාවක් අල්ලාගෙන සිටිනු සුලබව දැකගත හැක. කලාත්මක අංගයක් වන හෙයින්, වෘක්ෂය සහ යක්ෂිය අතිශයින් ශෛලිගතකරණයට ලක්ව ඇත.

ඇතැම් කතුවරුන් විශ්වාස කරන්නේ ගසක් පාමුල සිටින මෙම තරුණියන් සඳහා ඉන්දියානු උපමහාද්වීපයේ පුරාතන සශ්‍රීකත්ව සංකේතය පාදක කරගන්නට ඇති බවයි.[4] මුල්කාලීන බෞද්ධ ස්මාරකවල විසිතුරු අංගයක් ලෙස යක්ෂි රූ වැදගත් වූ අතර, බොහෝ පුරාතන බෞද්ධ පුරාවිද්‍යා ස්ථානවලින් යක්ෂි රූ හමුවේ. සියවස් ගණනක ඇවෑමෙන් ඔවුන් පරිණාමය වී ඉන්දියානු ප්‍රතිමා කලාවේ සහ ඉන්දියානු දේවාල ගෘහනිර්මාණ ශිල්පයේ සම්මත මෝස්තර අංගයක් වූ සාලභංජිකා රූ (සල් වෘක්ෂ යුවතියෝ) නිර්මාණය විය.[5]

ඉන්දියානු උපමහාද්වීපයේ පුරාතන සාහිත්‍යය තුළ සල් ගස (Shorea robusta) නිතරම පාහේ අශෝක ගස (Saraca indica) සමග වරදවා හඳුනාගෙන ඇත.[6] සාලභංජිකාවන්ගේ ඉරියව්ව ලුම්බිණි සල් උයනේ සල් ගසක් යට දී ගෞතම බුදුන් වහන්සේට උපත ලබාදුන් මහාමායා දේවියගේ ඉරියව්ව සිහිගන්වයි.[5]

ජෛන ආගමේ යක්ෂියෝ[සංස්කරණය]

එල්ලෝරාවේ ලෙන් අංක 34හි ඇති අම්බිකා නම් ජෛන දෙවඟනගේ රුව
ජෛන දෙවඟනක වන චක්‍රේශ්වරීගේ රුවක්, 10වන සියවස පමණ, මථුරා කෞතුකාගාරය
පද්මාවතී, 11වන සියවස, ‍වෝල්ටර්ස් කලා කෞතුකාගාරය

ජෛන ආගම තුළ යක්ෂියන් විසි-හතරදෙනකු හමුවන අතර, ඉන් චක්‍රේශ්වරී, අම්බිකා, සහ පද්මාවතී යන යක්ෂණියන්ගේ රූ නිතරම ජෛන දේවාලවල දැකගත හැකි ය.[7] තිලෝයපණ්ණත්ති (හෙවත් ප්‍රතිෂ්ඨාසාරසංග්‍රහය) සහ අභිධානචින්තාමණී ග්‍රන්ථ අනුව එම නාමයන් මෙසේ ය:

නූතන සාහිත්‍යයේ යක්ෂියෝ[සංස්කරණය]

දකුණු ඉන්දියාවේ, විශේෂයෙන් මලයාලම් සාහිත්‍යයේ සංත්‍රාස ප්‍රබන්ධ තුළ යක්ෂියන් කාරුණික තැනැත්තියන් ලෙස දැක්වෙන්නේ නැත. ඒවායේ යක්ෂියන් නිරූපණය කොට ඇත්තේ පිරිමින් වසඟයට ගෙන අවසානයේ ඔවුන්ව මරාදමන්නියන් ලෙසයි. පහත දැක්වෙන්නේ ඒ අතුරින් ප්‍රමුඛ ප්‍රබන්ධ චරිතයන් ය.

කල්ලියන්කට්ටු නීලි[සංස්කරණය]

කේරළයේ වඩාත් සුප්‍රකට ජනප්‍රවාදගත යක්ෂණිය නම් කල්ලියං‍කට්ටු නීලි ය. බලවත් යක්ෂණියක වූ ඇයව නවතාලන ලද්දේ ජන්‍රපවාදගත ක්‍රිස්තියානි පූජක කාඩමට්ටතු කාතනර් විසිනි. යක්ෂණී තේමාව ජනප්‍රිය කේරළ කථාවන්ට විෂය වී ඇත්තේ ය. මෙයට නිදසුන් ලෙස ත්‍රිවන්ද්‍රම් යක්ෂිය සහ නූතන මලයාලම් සිනමාවේ ඇතැම් චිත්‍රපට දැක්විය හැත.

මංගලාතු චිරුතේවි[සංස්කරණය]

තවත් එතරම් ප්‍රකට නොවූ යක්ෂියක වන මංගලාතු චිරුතේවී කංජිරොට්ටු යක්ෂිය ලෙස ද හැඳින්වේ. ඇය උපත ලැබූයේ දකුණු ට්‍රැවන්කෝරයේ කංජිරකෝඩේහි පාදමංගලම් නායිර් තාරාවද් හට දාව මංගලාතු යන නාමයෙනි. සිත් වසඟ කරවන තරමේ රූසපුවකින් හෙබි අබිසරුලියක වූ ඇය අනිලොම් තිරුනාල් මර්තාණ්ඩ වර්මාගේ සතුරා වූ රාමා වර්මාගේ පුත් රාමන් තම්පි සමග අයථා සම්බන්ධයක් පැවැත්වූවා ය.[8]

මංගලාතු චිරුතේවී ඇගේ සෙවකයකු වූ කුංජුරාමන්ට වෛර කළා ය. පොණ්ඩන් නායිර් (දෝළාව ගෙනයන්නකු) වූ කුංජුරාමන් පැහැපත්, උසැති සහ කඩවසම් තරුණයකු විය. ඇය සහ ඇගේ සොහොයුරා වූ ගෝවින්දන් අසල ස්ථාන කරා යාමේ දී ගමන් ගත්තේ කුංජුරාමන්ගේ කර මතිනි. චිරුතේවී කුංජුරාමන්ට කායිකව සහ මානසිකව වධහිංසා පමුණුවමින් සතුටක් ලැබුවා ය. ඇය කුංජුරාමන් සහ ඔහුගේ බිරිඳ වෙන් කරවීමට හැකි සෑම ප්‍රයත්නයක්ම දැරුවා ය.

කාලයාගේ ඇවෑමෙන්, අවිවාහක ගෝවින්දන් සහ කුංජුරාමන් දැඩි මිතුරෝ බවට පත්වූහ. ඔවුහු නිතරම එකම කාමරයේ නවාතැන් ගත්හ. සිය සොහොයුරා සිය පෙම්වතා කෙරෙහි උනන්දු වීම චිරුතේවී නොරිස්සුවා ය.

චිරුතේවී කුමන්ත්‍රණය කොට කුංජුරාමන්ගේ බිරිඳව මරාදැමුවා ය. ගෝවින්දන් වරක් කුංජුරාමන් විසින් ඔසවාගෙන යන අතරතුර, මෙම සැලැස්ම පිළිබඳ අනාවරණය කළේ ය. දින කිහිපයකට පසුව, සයනයේ දී කුංජුරාමන් විසින් චිරුතේවීගේ ගෙල සිරකොට මරාදැමී ය. මෙම අපරාධය පිළිබඳ දැනගත් ගෝවින්දන් සිය මිතුරාව ආරක්ෂා කළේ ය.

කංජිරකෝඩේහි යුවළකට දාව චිරුතේවී පළිගන්නා යක්ෂණියකව නැවත උපත ලැබුවා ය. උපතින් ‍මඳ වේලාවකට පසුව ඇය මෝහනීය රූමතියක බවට වර්ධනය වූවා ය. ඇය බොහෝ පිරිමින් වසඟයට ගෙන ඔවුන්ගේ රුධිරය උරා බීව ද, ඇගේ හදවත කුංජුරාමන් කෙරෙහි වෙන්වී තිබිණි. ඇය ඔහුට පැවසූයේ ඔහු තමන්ව විවාහ කරගත හොත්, තමන් ඔහුට සමාව දෙන බවයි. කුංජුරාම්න එය දැඩිව ප්‍රතික්ෂේප කළේ ය.යක්ෂිය සිය සියලු බලයන් යොදාගනිමින් ඔහු හිංසා පැමිණවූවා ය. අසරණ වූ කුංජුරාමන් බලරාම දෙවියන්ගේ උපසාකයකු වූ මංගලාතු ගෝවින්දන් හමුවීමට ගියේ යත ගෝවින්දන් මෙය සමාදානයට පත් කිරීමට උත්සාහ දැරී ය. ඔහු පැවසූයේ එක් වර්ෂයක් සඳහා කුංජුරාමන්ව යක්ෂියට ලබාදුනහොත්, ඇය පොරොන්දු තුනක් ලබාදුන් බවයි. පළමුවැන්න නම්, ඇව එක් වසරකින් අනතුරුව දේවාලයෙහි ප්‍රාප්ත විය යුතු ය. දෙවැන්න නම්, වසර ගණනාවකට පසුව දේවාලය විනාශ වන බවත්, අනතුරුව ඇය නරසිංහ දෙවියන්ගේ සරණාගතයකුව මෝක්ෂය ලබාගත යුතු බවත් ය. තෙවැන්න නම්, ඇය ගෝවින්දන් සහ කුංජුරාමන් සමග ඔහුගේ සබඳතාව වෙනුවෙන් මෙම ආත්මයේ පමණක් නොව ඉදිරි ආත්මය්නිහ ද යාඥා කළ යුතු බවත්. 'පොන්නුම් විලක්කුම්' ඉදිරියේ යක්ෂිය දිවුරා ප්‍රකාශ කොට සිටියේ තමන් මෙම කොන්දේසි තුන පිළිගන්නා බවයි.[9]

වර්ෂයකට පසුව, යක්ෂණිය කංජිරකොට්ටු වාලියවීඩු ලෙස පසුව ප්‍රකට වූ දේවාලයෙහි ස්ථාපනය කරන ලදී.[9] මෙම දේවාලය වර්තමානයෙහි දක්නට නොලැබේ.

ස්වාති තිරුණාල් රාමා වර්මාගේ බිසවක සහ නර්තන ශිල්පිණියක වූ සුන්දර ලක්ෂ්මී නැමැත්තිය කංජිරොට්ටු යක්ෂි අම්මාගේ ප්‍රබල බැතිමතිනියක වූ බැව් පැවසේ.

තෙක්කේඩොම්හි නරසිංහ දෙවියන්ගේ සරණ ලැබීමෙන් පසුව යන්ෂණිය වර්තමානයේ ශ්‍රී පද්මනාභස්වාමි දේවාලයේ කල්ලාරා බී හි නවාතැන් ගන්නා බව විශ්වාස කෙරේ.[10] මෙම යක්ෂණියගේ සිත් වසඟ කරවන සහ රෞද්‍ර ස්වරූප‍ය ශ්‍රී පද්මනාභ දේවාලයේ නිරිතදිග පෙදෙසේ සිතුවම් කොට ඇත.

ඉන්දියාවේ රක්ෂිත බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ දිල්ලි පිවිසුමේ ඇති යක්ෂණී ප්‍රතිමාවක් (1960 ප.); මෙමගින් "කෘෂිකර්මාන්තය තුළින් සමෘද්ධිමත්භාවය" සංකේතවත් කෙරේ.[11]
කනායි කුංජිරාමන් විසින් නිර්මාණය කළ මලම්පුල වේල්ලේ ඇති යක්ෂි ප්‍රතිමාව

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Huntington, John C. and Susan L., The Huntington Archive - Ohio State University [1], accessed 30 August 2011.
  2. "A History of Ancient and Early Medieval India: From the Stone Age to the 12th Century" by Upinder Singh, Pearson Education India, 2008 [2]
  3. 3.0 3.1 Magee, Mike (2006). "Yakshinis and Chetakas". Shiva Shakti Mandalam. Archived from the original on April 9, 2009. Retrieved March 2, 2016. Cite uses deprecated parameter |dead-url= (help)
  4. 4.0 4.1 Zimmer, Heinrich Robert (1972). Campbell, Joseph. ed. Myths and Symbols in Indian Art and Civilization. Delhi: Princeton University Press. ISBN 81-208-0751-0. 
  5. 5.0 5.1 Buddhistische Bilderwelt: Hans Wolfgang Schumann, Ein ikonographisches Handbuch des Mahayana- und Tantrayana-Buddhismus. Eugen Diederichs Verlag. Cologne. ISBN 3-424-00897-4, ISBN 978-3-424-00897-5
  6. Eckard Schleberger, Die indische Götterwelt. Gestalt, Ausdruck und Sinnbild Eugen Diederich Verlag. Cologne. ISBN 3-424-00898-2, ISBN 978-3-424-00898-2
  7. Vasanthan, Aruna. "Jina Sasana Devatas". Tamil Jain. Archived from the original on 27 October 2009. Retrieved March 2, 2016.
  8. Kaimal, Kesava. 'Thekkan Thiruvithamkurile Yakshikal'. Srinidhi Publications, 2002.
  9. 9.0 9.1 Nair, Balasankaran. 'Kanjirottu Yakshi'. Sastha Books, 2001.
  10. Bayi, Aswathi Thirunal Gouri Lakshmi. 'Sree Padmanabha Swamy Temple' (Third Edition). Bharatiya Vidya Bhavan, 2013.
  11. "Anecdote 3: Of Art, Central Banks, and Philistines". Reserve Bank of India. Retrieved March 2, 2016.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=යක්ෂණී&oldid=408274" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි