සාලභංජිකා

විකිපීඩියා වෙතින්
සාංලභංජිකාවක්, හොයිසාල යුගයේ ප්‍රතිමාවකි; බේලූර්, කර්ණාටක, ඉන්දියාව.

සාලභංජිකා හෙවත් ශාලභංජිකා[1][2] යනු විචිත්‍ර ස්ත්‍රී අඟපසඟවලින් යුත්, ගසක් අසල එහි අත්තක් අල්ලාගෙන සිටගෙන සිටින අයුරින් නිර්මිත කාන්තා රුවකි.[3] මෙම නාමය ගොඩනැගී ඇත්තේ 'සල් ගසෙහි අත්තක් බිඳින්නිය' යන අරුතැති සාලභංජිකා නම් සංස්කෘත වදනෙනි. මොවුන් මදනකෛ, මදනිකා හෝ ශිලාබාලිකා ලෙස ද හඳුන්වනු ලබයි.

කලාත්මක සම්ප්‍රදාය[සංස්කරණය]

සාංචි ස්තූපයේ නැගෙනහිර තොරණෙහි ඇති ශාලභංජිකා රුවක්

ශාලභංජිකා යනු ඉන්දියානු ප්‍රතිමා කලාවේ ඇති සම්මත විචිත්‍රාංගයකි. මෙය ශෛලිගත වෘක්ෂයක් යට නර්තනයේ යෙදමින් හෝ සංගීත භාණ්ඩයක් වාදනය කරමින් විවිධ ඉරියව්වලින් සිටින තරුණියකගේ රුවකි. ඇගේ පයෝධර සහ උකුල වැනි ස්ත්‍රී ලක්ෂන අති‍ශයෝක්තියෙන් යුතුව දක්වා තිබේ. මෙම ප්‍රතිමාවල නිතරම පාහේ සංකීර්ණ කොණ්ඩා මෝස්තර සහ විසිතුරු ආභරණ ගණනාවක් දක්නට ලැ‍බේ.

ශාලභංජිකා සංකල්පය ගොඩනැගී ඇත්තේ පවිත්‍ර ස්ත්‍රියක සහ සල් හෝ අශෝක ගසක් සම්බන්ධ කොට දෝහද හෙවත් තරුණියගේ සපර්ශයෙන් වෘක්ෂයේ ඵල හටගැන්වීමේ චාරිත්‍රය මතයි. කාලයත් සමග මෙම ‍සංකේතවාදය වෙනස් වූ අතර, ශාලභංජිකා රූ මෝස්තර කැටයම් අංගයක් බවට පත් විය. මෙය බොහෝවිට හින්දු දේවාලවල ගර්භගෘහය අසල බැතිමතුන් ප්‍රදක්ෂිණාවෙහි යෙදෙන ස්ථානවල දක්නට ලැබේ.[4] කෝණිකව ස්ථාපිත සාලභංජිකා රූ දේවාල ගෘහනිර්මාණයේ කුරුපා විසිතුරු කිරීමට ද භාවිතා විය.[5] පුරාතන සහ නූතන ඉන්දියානු සාහිත්‍යයේ ද සාලභංජිකාවන් පිළිබඳ සඳහන් වේ.

ස්ථාන[සංස්කරණය]

සුප්‍රකට සාලභංජිකා ප්‍රතිමා දකුණුමධ්‍යම කර්ණාටකයේ 12වන සියවසට අයත් හොයිසාල දේවස්ථාන වන බේලූර්, හාලේබිදු සහ සෝමනාථපුර වැනි ස්ථානවලින් හමුවේ. ලෝක උරුම අඩවියක් වන භෝපාල්හි සාංචි ස්තූපයේ නැගෙනහිර තොරණෙහි ඇති සාලභංජිකා රූ ක්‍රි.ව. 1වන සියවසට අයත් යැයි සැලකේ.[6] ක්‍රි.පූ. 2වන හෝ 1වන සියවසේ ශුංග යුගයේ ඉදිවූ පැරණිතම ශාලභංජිකා රුවත් දුරාඛි දේවි දේවාලයෙන් හුම විය. මෙය පාටලීපුත්‍ර පුරාතන නගරයේ කැනීම්වලින් හමුවූවකි.[7]

තවත් එතරම් ප්‍රචගිත නොවන අනර්ඝ සාලභංජිකා රූ හමුවන ස්ථානයක් ලෙස කර්ණාටකයේ උතුරු අන්තයේ ගුල්බර්ගා-බිදාර් ප්‍රාන්ත මාර්ගයේ පිහිටි චාලුක්‍ය යුගයට අයත් ජාලසංගවි දේවාලය සැලකේ. එහි වූ චිත්තාකර්ෂණීය මදනිකා රූ ත්‍රිභංග ඉරියව්වෙන් යුත් අතර ඉන්දියානු කලා ග්‍රන්ථ අනුව ඔවුන් "...සඳ වන් ප‍යෝධරවලිනුත්, තිසරකු වන් ඉණකිනුත්, සහ හස්තියකු බඳු උකුලකිනුත්" සමන්විත ය. මෙම තරමක් පැරණි ස්ත්‍රී රූ පසුකාලීන හොයිසාල කුරුපා-රූ සඳහා මුල්වන්නට ඇත.[8]

අදාළ ප්‍රතිමා ශිල්ප[සංස්කරණය]

ඉන්දියානු උපමහාද්වීපයේ පුරාතන සාහිත්‍යය තුළ සල් ගස (Shorea robusta) නිතරම අශෝක ගස (Saraca indica) බොහෝ අවස්ථාවල දී වරදවා වටහාගෙන ඇත.[9] සාලභංජිකාවගේ ඉරියව්ව ලුම්බිණියේ සල් වෘක්ෂයක් යට දී ගෞතම බුදුන් වහන්සේට උපත ලබාදුන් මායා දේවියගේ ඉරියව්ව සිහිගන්වයි.[10]

ඇතැම් විද්වතුන් විශ්වාස කරන්නේ වෘක්ෂයක පාමුල සිටින තරුණියන් වන සාලභංජිකාවන් සශ්‍රීකත්වය හා අදාළ පුරාතන වෘක්ෂ දේව වන්දනාව හා සම්බන්ධ වූ බවයි.[11]

පින්තූර ගැලරිය[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. "Sandstone figure of Shalabhanjika Yakshi, stupa 1 at Sanchi, Central India, 1st century AD". British Museum. සම්ප්‍රවේශය May 11, 2013.
  2. "Temple Strut with a Tree Goddess (Shalabhanjika)". The Metropolitan Museum of Art. සම්ප්‍රවේශය May 11, 2013.
  3. "salabhanjika". Asia Society Reference. සම්ප්‍රවේශය 2007-02-23.
  4. "Salabhanjika". pallakrisnan.com. සම්ප්‍රවේශය 2007-02-23.
  5. "Hoysala heritage". Frontline. සම්ප්‍රවේශය 2007-02-23.
  6. "Harmony set in stone". Frontline. Volume 24 - Issue 18 :: Sep. 08-21, 2007. සම්ප්‍රවේශය May 11, 2013. {{cite web}}: Check date values in: |date= (help)
  7. An overview of archaeological importance of Bihar සංරක්ෂණය කළ පිටපත 2016-03-03 at the Wayback Machine Directorate of Archaeology, Govt. of Bihar."Shalabhanjika (the breaker of branches),"
  8. India Travelogue - Jalasangvi
  9. Eckard Schleberger, Die indische Götterwelt. Gestalt, Ausdruck und Sinnbild Eugen Diederich Verlag. Cologne. ISBN 3-424-00898-2, ISBN 978-3-424-00898-2
  10. Buddhistische Bilderwelt: Hans Wolfgang Schumann, Ein ikonographisches Handbuch des Mahayana- und Tantrayana-Buddhismus. Eugen Diederichs Verlag. Cologne. ISBN 3-424-00897-4, ISBN 978-3-424-00897-5
  11. Heinrich Zimmer, Myths and Symbols in Indian Art and Civilization. (1946)
"https://si.wikipedia.org/w/index.php?title=සාලභංජිකා&oldid=593724" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි