දිදාර්ගන්ජ් යක්ෂි

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
දිදාර්ගන්ජ් යක්ෂිය (චාමරධාරිණිය)

දිදාර්ගන්ජ් යක්ෂිය (හෙවත් දිදාර්ගන්ජ් චාමරධාරිණිය ලෙස ද හඳුන්වයි) යනුවෙන් හැඳින්වෙන්නේ මෞර්ය කලාවේ විශිෂ්ටතම කලා නිර්මාණවලින් එකකි.[1] එසේවුව ද, මෙම ප්‍රතිමාව ඇතැමුන් විසින් ක්‍රි.වත 2වන සියවසට අයත් යැයි කාලනිර්ණය කරන්නේ එහි හැඩය සහ ආභරණ පිළිබඳ සලකා බලමිනි.[2][3][4]


මෙම ප්‍රතිමාව වර්තමානයේ තැන්පත් කොට ඇත්තේ ඉන්දියාවේ බිහාරයේ පැට්නා කෞතුකාගාරයේ ය. අඟල් 64ක් උසැති මෙම ප්‍රතිමාව කැටයම් කොට ඇත්තේ තනි පාෂාණ කුට්ටියකිනි.[5] ජීව ප්‍රමාණයෙන් යුතු මෙම ප්‍රතිමාව උසැති අතර, සමානුපාතික දේහ අංගවලින් යුක්ත ය. නිදහස් සිටි ප්‍රතිමාවක් වන මෙය හොඳින් ඔප දැමූ මතුපිටක් සහිත වැලි ගල් පාෂාණයෙන් නෙළා තිබේ. චාමර දරා සිටින්නේ දකුණු අතින් වන අතර, වම් අත කැඩී ගොස් ඇත. වස්ත්‍රයේ පහළ කොටස කිසියම් පාරදෘශ්‍ය ස්වභාවයක් පෙන්වයි. මෙම දිදාර්ගන්ජ් යක්ෂි ප්‍රතිමාව ක්‍රි.පූ. 3වන සියවස පමණ සිට ක්‍රි.ව. 2වන සියවස දක්වා වූ කාලය අතරතුර නිර්මාණය වන්නට ඇතැයි දිනනිර්ණය කොට ඇත.[6][7] මෙම ප්‍රතිමාව සොයාගන්නා ලද්දේ 1917 ඔක්තෝබර් මස ගංගා නදී ඉවුරේ, දිදාර්ගන්ජ් කාදම් බසුවාල් නැමැති ගම්මානයේ කැනීම් කටයුතු වලිනි.[8]

යක්ෂි ප්‍රතිමාව පැට්නා කෞතුකාගාරය වෙත රැගෙන යන ලද්දේ ප්‍රකට පුරාවිද්‍යාඥයකු සහ ඉතිහාසඥයකු වන ආචාර්ය ජේ. එන්. සමද්දාර් විසින. බෞද්ධ ඉතිහාසය සහ පුරාවස්තු පිළිබඳ විශේෂඥයකු වන මහාචාර්ය සමද්දාර් බුදුන් වහන්සේ වැඩ විසූ ප්‍රදේශ සහ බුදුන් වහන්සේගේ ප්‍රබල අනුගාමිකයකු වූ අශෝක අධිරාජයා හා සම්බන්ධ ප්‍රදේශවල පුළුල් කැනීම් කටයුතු මෙහෙයවී ය. මීට අමතරව ඔහු ගුප්ත අධිරාජ්‍යයේ සහ මෞර්ය රාජවංශයේ ගෘහනිර්මාණ ශිල්පය සහ පුරාවස්තු පිළිබඳව ද අධ්‍යයනය කළේ ය. බෞද්ධ ඉන්දියානු සමයේ උසස් අධ්‍යාපන ආයතන අතුරින් විශිෂ්ටතම උදාහරණය ලෙස සැලකෙන නාලන්දා විශ්වවිද්‍යාලයේ සිදුකළ පුරාවිද්‍යා සමීක්ෂණවලින් වැඩි ප්‍රමාණයක් දියත් කරන ලද්දේ ඔහුගේ මෙහෙයවීම යටතේ ය. සමද්දාර් විසින් බෞද්ධ ඉතිහාසය අලලා ග්‍රන්ථ කිහිපයක්ම ප්‍රකාශයට පත්කොට ඇත. මේ අතුරින් වඩාත්ම වැදගත් කෘතිය ලෙස "The Glories of Magadha" (මගධයේ ශ්‍රීවිභූතිය) නැමැති දේශන මාලාව සැලකේ.

මෙම ප්‍රතිමාවේ නාසය කැඩී ගියේ The Festival of India නැමැති සංචාරක පුරාවිද්‍යා ප්‍රදර්ශනය වෙනුවෙන් ස්මිත්සෝනියානු ආයතනය සහ ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් ඩී.සී.හි ජාතික කලා ගැලරිය වෙත රැගෙන යන අතරතුර ය.

දිදාර්ගන්ජ් චාමරධාරිණියගේ ප්‍රතිමාව ඉන්දියානු ප්‍රතිමා කලාවේ විශිෂ්ටතම සහ වඩාත් අනර්ඝම කලා කෘතියක් ලෙස පුරාවිද්‍යාඥයන්ගේ පුළුල් පිළිගැනීමට ලක්ව ඇත.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Chaudhary, Pranava K (28 September 2006). "A fortress chockfull of chinks". Indiatimes. Retrieved 17 February 2011.
  2. "A History of Ancient and Early Medieval India: From the Stone Age to the 12th Century" by Upinder Singh, Pearson Education India, 2008 [1]
  3. ""Ayodhya, Archaeology After Demolition: A Critique of the "new" and "fresh" Discoveries", by Dhaneshwar Mandal, Orient Blackswan, 2003, p.46 [2]
  4. "A Companion to Asian Art and Architecture" by Deborah S. Hutton, John Wiley & Sons, 2015, p.435 [3]
  5. Bengal Archeology website, "Didarganj Yakshi" (7 March 2009) [4], accessed 30 August 2011.
  6. Huntington, John C. and Susan L., The Huntington Archive - Ohio State University [5], accessed 30 August 2011.
  7. "A History of Ancient and Early Medieval India: From the Stone Age to the 12th Century" by Upinder Singh, Pearson Education India, 2008 [6]
  8. Davis, Richard H. (1997). Lives of Indian Images. New Jersey: Princeton University Press. 

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දිදාර්ගන්ජ්_යක්ෂි&oldid=411263" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි