සිංහල සාහිත්‍යය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

සිංහල සාහිත්‍යය යනුවෙන් හැදින්වෙන්නේ පාඨකයාට රසවින්දනයක් ලබා දීමේ සහ ඔහුගේ හෝ ඇයගේ ජීවන දෘෂ්ටිය පුළුල් කිරීමේ අරමුණින් සිංහල භාෂාවෙන් රචනා වන නිර්මාණ වේ. සිංහල සාහිත්‍යයට ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජධානිය වන අනුරාධපුරයේ සිට ම ඇරඹෙන ඉතා දිගු ඉතිහාසයක් ඇති අතර සරු අස්වැන්නකට ද හිමිකම් කියයි. 19 වන සියවසේ දී පමණ කෙටිකතාව, නවකතාව වැනි නූතන සාහිත්‍යාකෘතීන් අනුගමනය කිරීමට පෙර ගී කාව්‍ය, මහා කාව්‍ය, සංදේශ කාව්‍ය, ඛණ්ඩ කාව්‍ය, සහ බණකතා ලියැවුණු යුගය සිංහල සාහිත්‍යයේ පුරාතන අවධිය වශයෙනුත් 19 හා 20 වන සියවස්වලින් ඇරඹෙන බටහිර සාහිත්‍යාකෘති අනුගමනය කෙරුණු යුගය සිංහල සාහිත්‍යයේ නූතන අවධිය වශයෙනුත් විචාරකයන් විසින් හදුනා ගැනේ. ඉපැරණි සිංහල සාහිත්‍යයේ එකල රාජධානිය පැවති නගරය අනුව අනුව හදුන්වනු ලැබේ.

නූතන සිංහල සාහිත්‍යය ඇතිවීමට යටත් විජිත යුගයේ බලපෑම් තුළ ඉංග්‍රීසි සාහිත්‍යය කෘති පරිශීලනය කිරීමත්, ක්‍රිස්තියානි මිෂනාරී ව්‍යාපාරය සහ ඊට ප්‍රතිචාරයක් වූ සිංහල-බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයත් දැඩි ව බල පා තිබේ. කෙසේනමුත් නූතන සිංහල සාහිත්‍යය ජාතක කතා, බණ කතා සහ පැරණි සිංහල කාව්‍ය ඇතුලු ඉපැරණි සාහිත්‍යයේ දිගුවක් ලෙස ද සැලකිය හැකි ය. සිංහල නවකතාවේ ආදිතමයන් අතර පියදාස සිරිසේන, ඩබ්ලිවු. ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ ආදීහු කැපී පෙනෙති. ගුණදාස අමරසේකර, ජී. බී. සේනානායක, කේ. ජයතිලක, සයිමන් නවගත්තේගම සහ ටෙනිසන් පෙරේරා එය තවදුරටත් දියුණු කළෝ වෙති. සිංහල සාහිත්‍යයේ පළමු නූතන නවකතාව ලෙසින් සැලකෙන්නේ ඒ. සයිමන් ද සිල්වා ලියූ මීනා ය. මාර්ටින් වික්‍රමසිංහ, ඩබ්ලිවු ඒ. සිල්වා, හේමපාල මුනිදාස සිංහල කෙටිකාතවේ මුල්කාලීනයෝ ය. පළමු සිංහල කෙටිකතාව ලෙසින් සැලකෙන්නේ ද මාර්ටින් වික්‍රමසිංහ ලියූ වහල්ලු කෙටිකතා සංග්‍රහයයි. ජී. බී. සේනානායක, දයාසේන ගුණසිංහ, ජයතිලක කම්මැල්ලවීර, අජිත් තිලකසේන පසුකාලීන කෙටිකතා රචකයන් අතර කැපී පෙනෙති. ජී.බී. සේනානායක සහ සිරි ගුනසිංහ නිදහස් පද්‍ය සම්ප්‍රදාය අරඹමින් සිංහල කවියේ නව ගමන්මගක් සනිටුහන් කළෝ වන අතර ගුණදාස අමරසේකර, මහගමසේකර, පරාක්‍රම කොඩිතුවක්කු වැන්නෝ ද එහි නව්‍ය අත්හදාබැලීම් කරමින් ප්‍රචලිත කළෝ වෙති.

වත්මන් යුගයේ ඉපැරණි සාහිත්‍යාකෘති යොදාගැනෙනු දක්නට නොමැති අතර කෙටිකතාව, නවකතාව සහ කවිය වැනි නූතන ආකෘතීන් පමණක් සිංහල සාහිත්‍යය තුළ දැකගත හැකි ය. ගෝලීය වශයෙන් ප්‍රබල සාහිත්‍යයක් බවට පත් ව නො තිබුණ ද, සිංහල සාහිත්‍යකරුවන් සිය ඉපැරණි සම්භාව්‍ය සාහිත්‍යයෙන් මෙන් ම නවීන බටහිර සාහිත්‍යය ප්‍රවණතාවන්හි ආභාසය ද ලබමින් ගමන් කරනු පෙනේ.

පුරාතන අවධිය[සංස්කරණය]

මහින්දාගමනයත් සමග බ්‍රාහ්මී අක්ෂර මාලාව ලැබීමත් සමග ක්‍රි. පූ. 3 වන සියවසේ දී ලේඛන කලාවේ ආරම්භය සිදුවිය. මේ කාලවල ලෙන් පූජා කිරීමේ දී ඒවායේ කටාරම්වල පූජා කළ අය ගැන කළ සදහන් මුල් ම ලේඛන ලෙස දැක්විය හැකි ය. පසුව ලේඛනය තවදුරටත් දියුණු වීමත් සමග පුස්කොල පොත්වල රචනා කිරීම ඇරඹුණි. මුල් ම ග්‍රන්ථාගත සිංහල ලේඛන වශයෙන් සැලකිය හැක්කේ මගධ බසින් තිබූ බුද්ධ ධර්මයට ලක්දිව ධර්මාචාර්යවරුන් විසින් ක්‍රි. පූ. 1වන සියවසේ දී හෙළ බසින් ලියූ අටුවාවන් ය. “මගධ බසින් වැටෙමින් ආ බුදු කැලි අටුවා හෙළදිව් ඇජුරො හෙළ බසින් තුබූහ” යනුවෙන් දම්පියා අටුවා ගැටපදයේ පැවසීමෙන් මේ බව සනාථ වේ. කෙසේනමුත් ක්‍රි. ව. 5වන සියවසේ දී බුද්ධඝෝෂ හිමියන් විසින් එවක ජාත්‍යයන්තර භාෂාවක් වූ පාලි භාෂාවට මේ අටුවා පෙරළීමත් සමග මෙම සාහිත්‍යය අභාවයට ගියේ ය. [1] පැරණි සිංහල සාහිත්‍යය පිළිබද සදහන් කිරීමේ දී රසවත් කථාන්දර යන නූතන අර්ථයට වෙනස් ව සියලුම ආකාරයේ ලේඛන හැදින්වීමට එය යොදාගනු පෙනේ. එනම් අර්ථ ව්‍යාඛ්‍යාන, වංසකථා වැනි රසයක් ලබා දීම අරමුණු කර නොගත් ලේඛන ද ඇතුළත් කරගනිමින් ඒ භාවිත වන බැවිනි. කෙසේනමුත් මෙම වර්ගවලට අයත් කෘති ද සාහිත්‍ය කෘති නොවන බව පවසමින් මුලුමනින් ම බැහැර කළ නොහැක්කේ මෙවැනි ඇතැම් කෘති, විශේෂයෙන් ම වංසකථා වැනි ශානර රස නිෂ්පත්තිය ද සිදුකරන බව පෙනෙන හෙයිනි.

පුරාතන සිංහල සාහිත්‍යය ශ්‍රී ලංකාවේ රාජධානිවලට සමගාමීව එම සාහිත්‍යය කෘති රචනා වූ යුගයේ පැවති රාජධානියේ නමින් නම් කර අධ්‍යයනය කරනු ලැබේ. එනම් අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, කුරුණෑගල, ගම්පොල, කෝට්ටේ, මහනුවර වශයෙනි. මීට අමතර ව මාතර සාහිත්‍ය යුගය යනුවෙන් ද යුගයක් සමහරු හදුනා ගනිති. එහෙත් මාතර රාජධානියක් වශයෙන් නොපැවතුණි. එකල රාජධානිය වූයේ ද මහනුවර යි. ඇතැම්විට සීතාවක යුගය වශයෙන් ද කෝට්ටේ යුගයෙන් පසු යුගයක් හදුනා ගැණේ.

අනුරාධපුර යුගය[සංස්කරණය]

ක්‍රි. පූ. 3 වන සියවසේ දී මහින්දාගමනයත් සමග ලේඛන කලාව දියුණුවට පත්වීමත් සිංහල ජනතාව බුදුදහම වැළදගැනීමත් මෙරට සාහිත්‍යය බිහිවීමට මුල් වූ කාරණාවක් ලෙස හදුනාගත හැකි ය. පැරණි සිංහල සාහිත්‍යයෙහි ගද්‍ය හා පද්‍යා සෑම නිර්මාණයක් ම පාහේ බුද්ධ චරිතය හෝ බුද්ධ ධර්මය ආශ්‍රිත කරුණු හා කථාවස්තු විෂය කරගෙන තිබේ. [2]

“පෙදෙන් බුදු සිරිතැ - බසින් වත් සිරිත් ඈ පද යුතු බසින් නළු ඈ - අනතුරු ලකුණු දක්වම්”

යනුවෙන් සියබස්ලකරෙහි කාව්‍යයට වස්තු විෂය විය යුත්තේ පනවා තිබීමත් සාහිත්‍යයෙහි නියුතු බහුතරය බෞද්ධ භික්ෂූන් හෝ ධර්මට ඇසුරු කළ ගිහි වියතුන් වීමත් මෙයට හේතුවිය.[2]

කොස්‌සගම කන්ද විහාර ලිපිය, කිරින්ද ලිපිය, තිස්‌සමහාරාම ලිපිය වැනි සෙල්ලිපි ගී විරිතෙන් ලියැවී ඇති අතර එය පද්‍ය සාහිත්‍යයේ මූලය ලෙස සැලකිය හැකි ය.[3] කෙසේනමුත් සාහිත්‍යය රසාස්වාදය ම අරමුණු කරගත් සාහිත්‍යයක් පිළිබද අනුරාධපුර යුගයෙන් ලැබෙන මුල් ම සාක්ෂිය වන්නේ ක්‍රි. ව. 7,8,9 සියවස්වල දී සීගිරි සිතුවම් ගැන අදහස් දක්වමින් එය නැරඹි පුද්ගලයන් විසින් ගී විරිතෙන් කැටපත් පවුරේ ලියූ කවි වූ සීගිරි ගී ය. එවක කවිය පොදුජන සාහිත්‍යයක් ව තිබූ බව කිවහැක්කේ ඒ සමාජයේ විවිධ ස්තරවල අය විසින් ඒවා රචනා වී ඇති බැවිනි. [3]සිය හැගීම් පළකරමින් නිතැනින් ම ගලා ආ සිතුවිලි පළකරමින් ලියූ මෙම පද්‍ය අතර සාමාන්‍ය ජනතාව විසින් රීති නොතකා ලියූ සරල පද්‍ය මෙන් ම උගතුන් විසින් සැලකූ රීති අනුව ලියූ පැදි ද හදුනාගත හැකි ය.[3]

පොළොන්නරු යුගය[සංස්කරණය]

දඹදෙණි යුගය[සංස්කරණය]

කුරුණෑගල යුගය[සංස්කරණය]

කුරුණෑගල යුගයේ දී පාලි ජාතකට්ඨකථාව ඇසුරින් බුදුන්වහන්සේගේ පූර්ව ජන්ම කථා 547ක් ඇතුළත් කරමින් පන්සිය පනස් ජාතක පොත රචනා විය. බෞද්ධ සාහිත්‍යයේ විශිෂ්ට ගද්‍ය ග්‍රන්ථයක් ලෙස සැලකෙන මෙය කතුමඩුල්ලක් විසින් රචනා විය. මෙහි නිධාන කථා, වර්තමාන කථා, අතීත කථා, ගාථා සමෝධාන යන අංගවලින් යුතු පොදු ආකෘතියක් අනුගමනය කර තිබේ. ඇතැම් කථා සංස්කෘත තත්සම වචන බහුල සංකීර්ණ භාෂාවකින් ලියැවී ඇත.

ගම්පොල යුගය[සංස්කරණය]

කෝට්ටේ යුගය[සංස්කරණය]

මහනුවර යුගය[සංස්කරණය]

මාතර යුගය[සංස්කරණය]

නූතන අවධිය[සංස්කරණය]

කෙටිකතාව[සංස්කරණය]

කෙටිකතාව යනු මූලික අදහසක් ඉදිරිපත්වන සේ අත්දැකීමක් හා බැඳුණු සංසිද්ධියක් ඉස්මතු කරන කලා නිර්මාණයකි. සාමාන්‍ය වශයෙන් කෙටිකතාවක විවරණය වන්නේ, සීමිත චරිත සංඛ්‍යාවක් පමණි. එක් සිද්ධියක්හෝ සිද්ධි කිහිපයක් හෝ පාදක කර ගෙන නිර්මාණය කෙරෙන කෙටිකතාවක මුඛ්‍ය පරමාර්ථය වනුයේ, කිසි යම් විශේෂිත එක් කාරණයක් හුවා දැක්වීම ය. කෙටිකතාව හැඳින්වීම සඳහා දිය හැකි නිර්වචන බොහෝ ය. ඒ අතර, කෙටිකතාව වූකලී ජීවිතයෙන් පෙත්තකැයි(A slice of life) යන ඇන්ටන් චෙකොෆ්ගේ විවරණය, අතිශය අර්ථසම්පන්න වේ.

ප්‍රමාණයෙන් කෙටි වූ නිර්මාණ කෙටිකතා යනුවෙන් හැඳින්වීම සාවද්‍ය වේ. ලෝක සාහිත්‍යයෙහි එන ශ්‍රේෂ්ඨ කෙටිකතා හැම එකක් ම කෙටි නො වේ. ඒවා අතර පිටු සියය ඉක්මවන දීර්ඝ කෙටිකතා දක්නට ලැබේ. ඇන්ටන් චෙකොෆ්ගේ පළඟැටියා, හයේ වාට්ටුව වැනි කෙටිකතා ඊට නිදසුන් ය. ප්‍රතිභාපූර්ණ නූතන සිංහල කෙටිකතාකරුවකු වන දයාසේන ගුණසිංහ කෙටිකතාව නිර්වචනය කෙළේ මෙපරිදි ය.

කෙටිකතාව යනු කවරේ දැයි එක ම

වැකියකින් පවසන ලෙස යමකු මට කිව හොත්, කෙටිකතාව යනු ජීවිතයේ සමීප රූපයකැයි මම කියන්නෙමි. නිර්වචනයක් වශයෙන් ඒ කියමන කිසිසේත් ම පරිපූර්ණ නො වන බවට විවාදයක් නැත. එහෙත් කෙටිකතාවේ සමස්ත ස්වභාවය පිළිබඳ ඉඟියක්, ඒ තුළ ගැබ් වී ඇතැයි මම සිතමි.” (දයාසේන ගුණසිංහ - කේතුමතී හෝටලයේ රාත්‍රියක් - 1990)

එමෙන් ම සමාජ ජීවිතයෙන් අංශු මාත්‍රයක් නිරූපණය කරන රචනය කෙටිකතාව බව කේ. ජයතිලක මහතා පවසයි. එමතු නොව අර්ථවත් ලෙස චරිතාංගයක් හෝ චරිතයක් මතු කරන ප්‍රබල අවස්ථාව කෙටිකතාව බව ඒ.වී. සුරවීර මහතා පවසයි. වර්තමාන කෙටිකතාව, ලොවෙහි පැරණිතම කතා කලාවක නවීනතම ස්වරූපය වෙයි. බෞද්ධ ජාතක කථා ද, හිතෝපදේශයේ එන උපදේශ කථා ද, පංචතන්ත්‍රයේ උපමා කථා ද, ක්‍රිස්තු පූර්ව දෙදහසටත් පෙර මිසරයේ බිහි වුණු කතාන්තර ද, ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසෙහි විසූ ග්‍රීක ජාතික වහලෙකැයි සැලකෙන ඊසොප්ගේ උපමා කතා ද, එමෙන් ම ග්‍රීසියෙහි ලියවුණු කෙටි ප්‍රේම වෘත්තාන්ත ද, අරාබි නිසොල්ලාසයෙහි දැක්වෙන කතාන්තර ද, වර්තමාන කෙටිකතාවේ පූර්වගාමී අවස්ථා ලෙස සැලකීම විවාද රහිත ය. ඉනුත් මෑත කාලයෙක, ඉංග්‍රීසි සාහිත්‍යයේ ජෙෆ්රි චෝසර්ගේ කැන්ටබරි කතා සහ ඉතාලි ජාතික ජියෝවන්නි බොකැසියෝගේ දිකැමරන් කතා පන්තිය ද වර්තමාන කෙටිකතාවේ සමීපතම ඥාතීහු වෙති. සිංහල කෙටිකතාවේ උත්පත්ති ස්ථානය ගැන අදහස් දක්වන මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ, ස්වකීය වහල්ලු (1951) නමැති කෙටිකතා සංග්‍රහය කෙටිකතාව යන මාතෘකාව යටතේ ලියූ දීර්ඝ ලේඛනයෙහි මෙසේ පවසයි.

අපගේ කවිකොළකාරයා, බටහිර හෝ

පෙරදිග හෝ කථා කලාව නො දැන කෙටිකතා රචනා කළ ලේඛකයෙකි. එකල උගත්තු ග්‍රන්ථාරූඪ පැරණි බණ කතා ද පැරණි කවීන් රචනා කළ කව්සේකරය, ගුත්තිලය, කුසදාව ආදි කවි කතා ද කියවීමෙන් ආස්වාදයක් ලැබූහ. එයින් ආස්වාදයක් නො ලැබිය හැකි පොදු ජනයාගේ කථා ඇසීමේ කුහුල දුටු කවිකොළකාරයා, සංවේගජනක පුවත් වස්තු කොට ගෙන, ඔවුන් උදෙසා කවියෙන් කෙටිකතා රචනා කෙළේ ය. අලංකාර ශාස්ත්‍රය හා වියරණය විසින් තළා පෙළා බැඳීමෙන් සීමා නො කරන ලද කල්පනාවත් ශක්තියත් ඇති කවිකොළකාරයා, පණ්ඩිත කවීන්ට වඩා හොඳ කථාකාරයෙක් විය. ඔහු යම් කිසි උගැන්මක් හා ආවේශයක් ලැබී නම්, එය ජන කථාවෙනි. ජන කවියෙනි.”

බටහිර ලෝකයේ බිහි වූ කෙටිකතාව ද නීතිරීතිවලින් නො බැඳුණු සාහිත්‍යාංගයකැයි ඔහු තව දුරටත් පෙන්වා දුන්නේ ය.

"බටහිර කෙටිකතාව බෙහෙවින්

වෙනස් වූයේත්, විකාසනය වූයේත් එය විචාරකයන්ගේ නීතිරිතිවලින් නො බඳිනු ලැබූ නිසාය. අපූරු රටවල් සොයා යාත්‍රා කළ නැවියන් මෙන් බටහිර ලේඛකයෝ ද, ගතානුගතික නීතිරීතිවලින් නො බඳිනු ලැබූ කල්පනාව ඇත්තෝ වූහ.”

ඉනික්බිති ව, එසමයෙහි (ඉකුත් සිය වසේ මැද භාගයේ දී පමණ), සිංහල කෙටිකතාව වැඩුණු හා විකාසනය වූ ආකාරය ගැන ඔහු මෙසේ ද සඳහන් කරයි.

"සිංහල කෙටිකතාව ද මෙකල හැඳින්විය

යුත්තේ, අතු ඉතිවලින් දිය ලබමින් නඟින නදියක් ලෙසිනි. එය බටහිර කථාව ආශ්‍රයෙන් ම උපන්නක් ලෙස සලකා විවේචනය කිරීම වූ කලී එහි වැඩීම, බටහිර එක ම පරම්පරාවක විචාරකයන් ටික දෙනෙකුන් එල්බ ගත් නීතිරීතිවලින් පිට නො පැන්නීමට කරන වෑයමක් වෙයි. හැම අතින් දිය ලබන නදිය වඩාත් වේගයෙන් බසියි. ඒ බැසීම නිසා එහි දිය පිරිසිදු වෙයි. ගැඹුරු වෙයි. ඉවුරු පළල් වෙයි. ඉංගිරිසි කථාවක් ආශ්‍රයෙන් ලියන ලද සිංහල කථාව වුව ද බස, රීතිය, ලේඛකයාගේ ගති, ප්‍රතිභාව හා පරිසරය ද නිසා ගන්නේ පැරණි සිංහල කථාවට මඳක් හුරු ස්වරූපයකි.”

බටහිර චිචාරකයන් පොදුවේ පහත දැක්වෙන සියලු ම රචනා, කෙටිකතා ලෙස හඳුන්වතැ යි, ඔහු පෙන්වා දුන්නේ ය.

1. එක ම සිදුවීමක් මුල් කොට ගෙන රචිත කථාව
2. චරිතාංගයක් නිරූපණය සඳහා ලියන ලද ආඛ්‍යායිකාව
3. සිදුවීම් කිහිපයක් ඇසුරින් රචිත කථාව
4. කිසියම් අවස්ථාවක මිනිසකුගේ සිතට නැඟුණු හැඟීමක් විවරණය කරනු සඳහා කරන ලද රචනය
5. කෙනකුගේ යටි සිතෙහි සැඟවුණු හැඟීමක් හෙළි කෙරෙන විවරණය
6. උපහාසය හා මායා කථාව (fantasy)

ජෝසෆ් බර්ග් එසන්වීන් නම් විචාරකයා, කෙටි කතාවක් නො වන්නේ කවර ලක්ෂණවලින් යුතු ප්‍රබන්ධ නිර්මාණයක් දැයි පැහැදිලි කරන්නේ මේ අයුරිනි.

1. කෙටිකතාව සංක්ෂිප්ත නවකතාවක් නො වේ. 
2. එය උපාඛ්‍යානයක් ද නො වේ.
3. එය කෙටුම්පතක් හෝ දළ සටහනක්හෝ  නො වේ.
4. එය චරිත කථාවක් ද නො වේ.
5. එය හුදු චරිතාලේඛයක් ද නො වේ.
6. එය හුදු කතාන්තරයක් ද නො වේ.

ඒ කිසිවක්, ඒ ලෙසින් ම කෙටිකතාවක්නො වන්නේ නම්, කෙටිකතාවක මූලික ගුණාංග කවරේ දැයි විමසා බලමු. ජෝසෆ් බර්ග් එසන්වීන් නමැති විචාරකයා, කෙටිකතාවක තිබිය යුතු අංග හතක් ගැන සඳහන් කරයි.ඔහු පවසන ආකාරයට, හොඳ කෙටිකතාවක් තුළ,

1. සියල්ල අබිබවා සිටින එක් ප්‍රබල සිද්ධියක් තිබිය යුතු ය.
2. ඉස්මතු වී පෙනෙන එක් ප්‍රධාන චරිතයක් ද තිබිය යුතු ය.
3. නිර්මාණකරුගේ පරිකල්පනයෙන් බිහි වන නිර්මාණයක් විය යුතු ය.
4. කථා වින්‍යාසයක් තිබිය යුතු ය.
5. කතාවේ සිද්ධි මාලාව එකට කැටි වී තිබිය යුතු ය.
6. කතාවේ සංවිධානාත්මක බව තිබිය යුතු ය.
7. ධාරණාවේ ඒකීයත්වයක් තිබිය යුතු ය.

කෙටිකතාවක තිබිය යුතු එකී අංග ලක්ෂණ දැක්වීමෙන් පසුව, ජෝසෆ් බර්ග් එසන්වීන්න නැමැති එම විචාරකයා, කෙටිකතාව නිර්වචනය කොට දක්වන්නේ මතු දැක්වෙන ලෙසිනි.

කෙටිකතාව වූ කලි අනෙක් සියලු

සිද්ධීන් අබිබවා සිටින එක් ප්‍රබල සිද්ධියක් සහ ඉස්මතු වී පෙනෙන එක් ප්‍රධාන චරිතයක් අනාවරණය කෙරෙන්නා වූ ද, එකට කැටි වී සිටින කථා වින්‍යාසයකින් යුක්ත වූ ද, මනා අවයව සංවිධානයක් ඇත්තා වූ ද, ඒකත්වයෙන් යුක්ත ධාරණාවක් ඇත්තා වූ ද කෙටි, කල්පිත ආඛ්‍යානයකි.”

වර්තමාන කෙටිකතාව, කතා වින්‍යාසය අනුව, අතිශය විදග්ධ සංයුතියකින් යුතු සාහිත්‍ය නිර්මාණයක් බවට පත් ව තිබෙනු දැකිය හැකි ය. මේ සම්බන්ධයෙන් සාර්ථක කෙටිකතාවක පැවතිය යුතු ඒකීයත්වය පිළිබඳව ලියොන් සර්මෙලියන් (Leon Surmelian) නමැති විචාරකයා ස්වකීය Techniques of Fiction Writing නමැති කෘතියෙහි දක්වන අදහසක්, මතු සඳහන් ය.

එක් සිද්ධියක් අනෙක් තැනකට දැමූ

කල්හි හෝ ඉවත් කළ කල්හි හෝ, කතාවේ ඒකීයභාවය හෝ පරිසමාප්තිය පලුදු වන පරිද්දෙන් කථා වින්‍යාසයේ අවයව සංස්ථානය සිද්ධ කළ මනා ය. යම් සිද්ධියක් ඇතුළු වීම හෝ නො වීම හෝ හේතු කොට ගෙන, කතාවේ ප්‍රකට ලෙස වෙනසක් ඇති වන්නේ නම්, ඒ සිද්ධිය සමස්තයේ නියම ඉන්ද්‍රියයක් නො වන්නේ ය.”

කතාවක් ඉදිරිපත් කිරීමේ ක්‍රම දෙකකි. මුල් ක්‍රමය, කතාන්තරයක ස්වරූපයෙන්ක කතාවක් ඉදිරිපත් කිරීම ය. අනෙක් ක්‍රමය කතාව කීමෙන් වැළකී පාඨකයාට එය දැක ගන්නට සැලැස්වීම ය. පළමු වන ක්‍රමය කථනය නමින් ද, දෙවැන්න රූපණය නමින් ද හැඳින්වෙයි. කෙටිකතාවක දී ලේඛකයා විසින් අනුගමනය කළ යුත්තේ, රූපණ මාර්ගය යි. යම් ලේඛකයකු රූපණ මාර්ගය ග්‍රහණය කරගන්නා තෙක් ම, ඔහුගේ කතා කලාව පූර්ණත්වයට පත්වූ යේ යයි කියනු බැරි ය. ©උපුටාගැනීම සිංහල සාහිත්‍ය රසාස්වාදය 10- - 11 ශ්‍රේණි පෙළපොතෙනි


නවකතාව[සංස්කරණය]

පෘතුගීසීන් විසින් කඩදාසියත් 1737 දී ලන්දේසීන් විසින් මුද්‍රණ ශිල්පයත් හදුන්වා දුන් අතර ඉංග්‍රීසි යටත්විජිත යුගයේ දී මේවා ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරයට යොදාගැනීම; මෙතෙක් මෙරට ජනයා පුරුදු ව සිටි භික්ෂුවක් හෝ උගත් ගිහියකු විසින් පන්සලේ බණමඩුවේ දී පුස්කොල පොතක් බලාගෙන කී කතාවකට සවන් දීම වෙනුවට කියවීමේ සංස්කෘතියක් බිහිකිරීමට හේතු විය.[4] ක්‍රිස්තියානි මිෂනාරි ව්‍යාපාරය විසින් මෙන් ම ඊට ප්‍රතිචාර ලෙස සිංහල-බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය විසින් ද ඇතිකරන ලද පුවත්පත් ද නව සාහිත්‍ය කෙරෙහි මාධ්‍යයක් සහ තල්ලුවක් සපයන ලදී. විශේෂයෙන් ම බටහිර ප්‍රබන්ධ කතාවල පරිවර්තන මේවායෙහි කොටස් වශයෙන් පළ කෙරුණි. ඇතැම් නවකතා ද මුල්වරට පළ කෙරුණේ පුවත්පත්වල කොටස් වශයෙනි. භාෂාව පොදුජන සාහිත්‍යයකට සරිලන පරිද්දෙන් සුඛනම්‍ය කිරීම ද මෙකල පුවත්පත්වලින් ඉටු වූ තවත් සේවයක් විය.වාද සාහිත්‍යය ද මෙහිලා බලපෑ බවත් භාෂාව සුඛනම්‍ය කිරීම, කියවීමේ රුචිය වැඩිදුයුණු කිරීම, ලිවීම සාමාන්‍ය ජනයාට ද කළ හැකි වීම එහි ප්‍රතිඵල වූ බවත් මහාචාර්ය බන්දුසේන ගුණසේකර පවසයි. [5]1860 දී පළමු සිංහල පුවත්පත වූ ලංකාලෝකය මුද්‍රණය කෙරුණු අතර අනතුරුව 1960 දී ලක්මිණි පහණ පුවත්පත බිහිවිය. 1864 දී ලක්මිණි පහණ පුවත්පතේ "කථාවක්” යන සිරස්තලය යටතේ "අපේ පත්‍රයේ ඉඩ ප්‍රස්තා ලැබෙන හැටියට අන්‍ය භාෂා පොත්පත්වලින් කියවීමට මිහිරි වූ කථා ප්‍රබන්ධ සිංහල භාෂාවට හරවා ප්‍රසිද්ධ කරන්නෙමු" යැයි සදහන් කර තිබුණි. ඒ. ඩී. ජයසූරිය විසින් ජියොවන්නි බොකෑෂියෝගේ ඩිකැමරන් කෘතිය දස දවස මැයෙන් සිංහලට පරිවර්තනය කර ලක්මිණි පහණ පත්‍රයේ කොටස් වශයෙන් පළ කරන ලදී.[4]

ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපන හේතුවෙන් ඉංග්‍රීසි උගත් ලාංකික ලේඛකයෝ බටහිර සාහිත්‍ය කෘති පරිශීලනය කළහ. එම කථාවලද ආභාෂය ඇති ව ඔවුහු ලාංකික චරිත, පසුබිම් ඇතුළත් ව මෙරට සමාජය විග්‍රහ වන ප්‍රබන්ධ කතා රචනා කළහ. "යුරෝපීය පුබන්ධ කථාවල නොඑල්ලී යුරෝපීය උගතුන්ගේ පොතපතින් ද ප්‍රයෝජනවත් දේ ගනිමින් මේ පොත ලියන ලදී" යනුවෙන් පියදාස සිරිසේන මහා වියවුල සංඥාපනයේ කරන සදහනින් මෙය පැහැදිලි වේ. විශේෂයෙන් ම බෙන්තොට ඇල්බට් සිල්වා, පියදාස සිරිසේන, ඩබ්ලිවු ඒ. සිල්වා වැනි මුල්කාලීන රචකයන්ගේ කෘතිවල බටහිර ජනප්‍රිය ප්‍රේම කතාවල නැතොත් අද්භූත කථාවල ආභාසය දක්නට තිබේ. මුල්කාලීන සිංහල ප්‍රබන්ධ රචකයන් රචනා කළේ ප්‍රේම කතාවන් වීම නිසා එම සාහිත්‍යය ජනප්‍රියත්වයට පත්වීම මෙන් ම තරුණ පාඨකයන් දිනාගැනීමටත් හැකිවිය. පියදාස සිරිසේන, ඩබ්ලිවු ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ මුල් නවකතාකරුවන් අතරින් විශිෂ්ටතමයන් වන්නේ ඔවුන් සිංහල නවකතාවේ විෂය පුලුල් කරමින් සහ එය ජනප්‍රිය සාහිත්‍යයක් බවට පත්කරමින් කළ සේවාව නිසා ය.

1888 දී මොරටුවේ අයිසෙක් ද සිල්වා විසින් පළකළ 'වාසනාවන්ත සහ කාලකණ්ණි පවුල' සම්ප්‍රදායික සිංහල සාහිත්‍යයෙන් බිදෙමින් නූතන ප්‍රබන්ධ ලක්ෂණ පළකළ පළමු කෘතිය වෙයි. එදිරිවීර සරච්චන්ද්‍ර මෙය 'ප්‍රථම සිංහල ගද්‍ය ආඛ්‍යානය’ ලෙස නම් කළේ ය. 1866 සිට රුවන් මල්දම සගරාවේ පළ වූ මෙය දේශීය පවුල් දෙකක කතාවක් විය. බුද්ධාගම අත්හැර ක්‍රිස්තියානි ආගම වැළදගත් පවුල වාසනාවන්ත පවුල ලෙසත් බෞද්ධ පවුල විනාශයට යන ලෙසත් එහි නිරූපණය කර තිබිණ. දිගුකලක් තිස්සේ මෙරට පැවත ආ බණකතා හා ජනකතාවලට වෙනස් වෙමින් ආගමික කතා වෙනුවට සමකාලීන මිනිසුන්ගේ ජීවිතය විෂය කරගැනීම, කතුවරයාගේ අරමුණ කරා සිදුවීම් මෙහෙයවා තිබීම, පැරණි ආඛ්‍යාන ක්‍රමය වෙනුවට දෙබස් ආධාරයෙන් නාට්‍යමය ලෙස කතාව ගෙනයාම වැනි ලක්ෂණ විසින් මේ කෘතිය සිංහල සාහිත්‍යයේ හැරවුමක් සනිටුහන් කරන ලදී. පසුව මේ කෘතිය අනුකරණය කරමින් එච්. කන්නන්ගර දේවගැතිතුමන් විසින් 1876 දී "ග්‍රාම ප්‍රවෘත්තියක්: පවුල් දෙකක කතාවක්" ද රචනා කරන ලදී.[4]

මිෂනාරිවරුන් වූ පෙර රචකයන්ට වෙනස් ව බෞද්ධයෙක් වූ බෙන්තොට ඇල්බට් ද සිල්වා (1866-1918) විමලා, ආදර හසුන, සිරීබරී, වෙසක් දූතයා වැනි ප්‍රබන්ධ කතා ලියා පළකළ අතර මුල් රචකයන්ගෙන් වෙනස් ව ඔහු සමකාලීන නොවූ කල්පිත සිදුවීම් වස්තු කරගත්තේ ය. චාල්ස් ඩිකන්ස්ගේ කෘති සහ අරාබි නිසොල්ලාසය වැනි කෘති සිංහලට පරිවර්තනය කළ ඔහුගේ නවකතාවල එම කෘතිවල ආභාෂයන් දක්නට ලැබීම පුදුමයක් නොවී ය. විමලා සහ ආදර හසුන ඓතිහාසික පසුබිම් තුළ දිගහැරෙන අතර ආදර හසුන වැනි කෘතියක එන මන්ත්‍ර බලයෙන් ඇරෙන හා වැසෙන දොරවල් අරාබි නිසොල්ලාසයේ බලපෑම ප්‍රකට කරයි. වෙසක් දූතයා බුදුදහම සහ පැරණි සංස්කෘතිය පිළිබද අවබෝධයක් ලබාදෙන කෘතියක් වූ අතර සිරිබරී ප්‍රේමකතාවක් විය.

1905 දී පළ වූ අලුත්ගමගේ සයිමන් ද සිල්වා (1874-1920) ලියූ මීනා පළමු සිංහල නවකතාව ලෙස හැදින්වුවත් 1906 දී පොතක් ලෙස පළ වූ පියදාස සිරිසේනගේ ජයතිස්ස හා රොස්ලින් කොටස් වශයෙන් සරසවි සදරැස පත්‍රයේ පළවන්නේ ඊට පෙර ය. මීනා කෘතිය ඉංග්‍රීසියෙන් novel (නවකතා) ලෙසින් හදුන්වා තිබුණි. මීනා පළමු සිංහල නවකතාව ලෙස ඇතැම් විචාරකයන් විසින් හදුන්වා දෙනු ලැබීමට එහි උසස් චරිත නිරූපණය සහ මිනිස් සිත විවරණය කරන ස්වභාවය හේතු වී තිබේ. මහාචාර්ය සරච්චන්ද්‍ර පවසන පරිදි "වර්තමාන නවකතාවක නියම ස්වරූපය දරන පළමු වැනි ස්වතන්ත්‍ර රචනාව” මීනා ය. මීනා නවකතාවේ චරිත නිරූපණය උසස් තත්ත්වයක් ගන්නා බව ආචාර්ය කේ. ඩී. පී. වික්‍රමසිංහ පවසයි.[4]

පියදාස සිරිසේන, ඩබ්ලිවු ඒ. සිල්වා සහ මාර්ටින් වික්‍රමසිංහ මුලාකාලීන ලේඛකයන් අතර සුවිශේෂ වන්නේ සිංහල ප්‍රබන්ධ සාහිත්‍යය පුලුල් කරමින් එය ජනප්‍රිය සාහිත්‍යයක් බවට පත්කළ බැවිනි.

ප්‍රබන්ධ කතා 11ක් ලියා පළකළ පියදාස සිරිසේන මුල්කාලීන ලේඛකයන් අතර ආකෘතිකමය වශයෙන් ද, ශානරමය වශයෙන් ද විවිධත්වයක් පෙන්වූ ලේඛකයෙක් වූ අතර ඔහුගේ කෘති ජනප්‍රියත්වයට ද පත්විය. ඔහු බටහිර ප්‍රබන්ධ කතාවලින් ගත් වෙස්වළාගැනීම්, පුදුමාකාර හමුවීම්, කතුන් පැහැරගෙනයාම් වැනි උද්වේගකර ජවනිකා ද ඇතුළත් දේශීය ප්‍රේමකතා රචනා කරන අතර ම සිය කතානායකයන් ලවා යටත්විජිත යුගයේ සිදු වූ සංස්කෘතික පරිහානිය පිළිබද අදහස්, විවේචන ඉදිරිපත් කිරීමට ද අමතක නොකළේ ය.සිංහල බෞද්ධ තරුණයෙකුත් කතෝලික තරුණියකුත් අතර ප්‍රේමයක් ගැන වූ ජයතිස්ස හා රොස්ලින් හි ද ජයතිස්ස සිංහල සිරිත් හා කිතුදහම ගැන පවසනදීර්ඝ දේශනා හමුවෙයි. සිංහලයන් අතර ජාති මමත්වය හා ස්වදේශ වාත්සල්‍ය ඇතිකිරීම සිය කෘතිවල අරමුණ බව ඔහු සිය මහා වියවුල කෘතියේ සංඥාපනයෙන් පැවසුවේ ය. විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය වැනි රහස් පරීක්ෂක කෘති ද රචනා කළ ඔහු කෝන්ගොඩ වික්‍රමපාල නමැති දේශීය රහස් පරීක්ෂක චරිතය යොදාගනිමින් මෙරට සමාජයත්, මිනිසුන්ගේ විෂම හැසිරීමුත් ගැන කියාපෑවේ ය.

1914 ලීලා මාර්ටින් වික්‍රමසිංහගේ මුල් කාලීන නවකතාවක් වූ ලීලා පළවිය. මෙකල බොහෝ නවකතා මෙන් මෙය ද පෙම්කතාවක් විය.

මව මියගොස් අනාථ වීම නිසා හදාගන්නා පවුලේ මෙහෙකාරියක ලෙස ජීවත් වන්නට සිදුවන ධනවත් පවුලක තරුණියක් ධනවත් තරුණයකු හා විවාහවීමෙන් ඉන් මිදෙන අයුරු කථාව කොටගත් පියදාස සිරිසේනගේ මහා වියවුල (1916) එකල ලාංකික නාගරික මධ්‍යම පන්තික සමාජය ඉංග්‍රීසි සිරිත් විරිත් අන්ධානුකරණයෙන් පත්වන අවුල නිරූපණය කරයි. [4]

1920 දී මාර්ටින් වික්‍රමසිංහගේ සෝමා නවකතාවත් 1921 දී අයිරාංගනී නවකතාව සහ සීතා නවකතාවත් පළ විය. පියදාස සිරිසේනට වෙනස් ව වික්‍රමසිංහගේ සුවිශේෂත්වය වූයේ ඔහු සිංහල සමාජයේ පසුගාමී යැයි පෙනුණු විශ්වාස, සිරිත් ආදිය විවේචනය කිරීම ය.

එම්. සී. එෆ්. පෙරේරා ද දුෂ්ටයන්ගේ බාධක මැද ඉදිරියට යන තරුණ පෙම්වතුන් ගැන කතා රචනා කරමින් එතුළින් සමකාලීන සමාජයේ විසූ මුදලිවරුන්ගේ දුශ්චරිතවත් දුෂ්ට ජීවිත පිළිබද තතු ද ඉදිරිපත් කළේ ය. එහෙත් ඔහුගේ චරිත නිරූපණය කලු-සුදු චරිත ලෙස ඒකපාක්ෂික වූවක් විය. මගේ කරුමෙ, මගේ පෙම්බරී, ලංකා අබිරහස්, ආලයේ ලීලය හෙවත් මළවුන් ජීවත් වීම, විනාශ වූ නෞකාව, සිරිමැදුර හා ලලිතා ඔහුගේ කෘති ය. ප්‍රසාදසිංහ (1924) සහ වයලා හෙවත් බිහිසුණු රණබිම (1925) වැනි කතා රචනා කළ හේමපාල මුනිදාස ද මෙකල ලේඛකයන් අතර කෙනෙක් විය. නවකතාව කලාංගයක් ලෙස ගොඩනගනුවට වඩා පාඨකයා ත්‍රාසජනක ලොවකට ගෙනයාම කෙරෙහි සිත යොමුකළ ඔහුගේ වයලා සිංහල තරුණයකු හා සුදු තරුණියක අතර පෙම්කතාවක් විය.

මේ අවධියේ දී රූපා අමරාවතී අලස් හා ශ්‍රීමතී අභයගුණවර්ධන වැනි නවකතා රචිකාවියෝ ද බිහි වී සිටියහ. විහාර මහා දේවී, සෝමා දේවිය වැනි ඓතිහාසික කාන්තා වීර චරිත මොවුන්ගේ කතාවන්ට විෂය විය.[4]

චිත්‍රපට ශාලා විවෘත වීමත් සමග නූර්තිය පරිහාණියට පත්වීම විසින් එවක සිටි ඇතැම් නූර්තිකරුවන් ද නවකතා රචනයට යොමුකරන ලදී. පී. ටී. පී. ප්‍රේමචන්ද්‍ර, සිරිසේන විමලවීර, ඩී. බී. සෙනෙවිරත්න, ඩී. එස්. ජේ. ඩබ්ලිවු. ගුණතිලක එවැන්නෝ ය. එම්. ජී. ජෝන් පෙරේරා දමිල සිනමා කතා ද සිංහල නවකතා බවට පත්කළහ. පිරිමි නමසිය අනූනමදෙනෙකුගේ ගෙල සිද දැමූ චින්තාමණීගේ කතාව 1938 දී චින්තාමණී හෙවත් කාමලෝක රසකැකුළ නමින් ඔහු විසින් නවකතාවට නැගීමෙන් ඒ බව පැහැදිලි වේ. [4]

මුල් රචකයන්ට වෙනස් ව ආගම ධර්මය, සමාජ ශෝධනය වැනි අරමුණුවලින් බැහැර ව නවකතා ලියූ ඩබ්ලිවු ඒ. සිල්වා සිය රසවත් කථාන්දර තුළින් සිංහල නවකතාව ඉමහත් ජනප්‍රියත්වයකට පත් කළේ ය. සමකාලීන ඉංග්‍රීසි ප්‍රබන්ධ කථාවල ආභාසය ද ලැබූ හෙතෙම නවකතාව පිළිබද සාහිත්‍යමය වශයෙන් දැනුවත් බවක් පළ කළේ ය. නවකතා රචනය පිළිබද උපදෙස් සහිත ඔහුගේ ඇතැම් ලිපිවලින් ඒ බව හෙළි වෙයි. අනන්‍යතා වෙනස් කරගෙන සිටි ඥාතීන් දෛවෝපගත ලෙස මුණගැසීම, දෛවෝපගත අවසානයන්, මුල දී නොකී ඇතැම් කරුණු පසුව හෙළි වීම වැනි බටහිර ප්‍රබන්ධ කතාවලින් ගත් ලක්ෂණ ඔහුගේ කතා තුළ දැකිය හැකි වෙයි. සිරියලතා හෙවත් අනාථ තරුණිය, හිගන කොල්ලා වැනි කථා නිදසුන් ය. මිනිසුන් පැහැරගෙන යාම, හිර ගෙවලින් පැන යාම වැනි සිද්ධිවලින් ගහණ ලක්ෂමී හෙවත් නොනැසෙන රැජිනිය (1922) රහස් පරීක්ෂක නවකතාවක් විය. ඔහුගේ කැළෑහද වැනි ප්‍රේම කතා ඉතා ජනප්‍රිය විය.

සුනේත්‍රා හෙවත් අවිචාර සමය (1936), දෛව යෝගය (1937) හා විජයබා කොල්ලය (1938) වැනි උසස් ඓතිහාසික නවකතා තුළින් ඔහු සිංහල සාහිත්‍යයට නව ශානරයක් ද හදුන්වා දුන්නේ ය. ඔහුගේ ද මේ කතා මෙන් ම තව බොහොමයක් කතා ප්‍රේමකතා විය.

1944 දී පළ වූ මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය සිංහල නවකතාවේ සන්ධිස්ථානයක් විය. ඒ එය කලාත්මක නවකතාවක් මෙන් ම සමාජ පෙරළිය උසස් ලෙස නිරූපණය කිරීමක් ද වූ බැවිනි. යථාර්ථවාදී සාහිත්‍යය රීතිය සිංහල සාහිත්‍යය සමග ප්‍රබල ලෙස අත්වැල් බැදගැනීම ගම්පෙරළිය නවකතතාවෙන් පසු සිදුවිය. පැරණි වලව් පවුලක කතාව තුළින් ග්‍රාමීය සමාජය බිද වැටී ධනවාදය සමාජය ඇතිවන අයුරු ගම්පෙරළියෙන් පෙන්නුම් කළ වික්‍රමසිංහ එම චරිත සහ ඔවුන්ගේ ම ඉදිරි පරම්පරා නිරූපණය කරමින් කලියුගය හා යුගාන්තය ද රචනා කළේ ය.

ගුණදාස අමරසේකරගේ කරුමක්කාරයෝ (1955) නවකතාව ද ධනවාදය සහ සමාජ විපර්යාස මධ්‍යයේ ගැමි පවුලක් මුහුණදෙන අභියෝග නිරූපණය කළේ පවුල අභ්‍යයන්තරය කෙරෙහි අවධානයක් යොමුකරමිනි.

1956 දී විඥානධාරා රීතිය අනුගමනය කරමින් මාර්ටින් වික්‍රමසිංහ ලියූ විරාගය නවකතාව විචාරකයන් අතර ආන්දෝලනයක් ඇත කිරීමට ද සමත් විය. ඒ එහි වූ අරවින්දගේ චරිතයේ පරස්පර විරෝධී ස්වභාවය නිසා ය. සිය හැගීම් ක්‍රියාවේ යෙදවීමට අසමත් වන චරිතයක් වන අරවින්ද බොහෝ ලෞකික දේ අත්හැරීමට සමත් වේ. ඔහු බොහෝ අනුන්ට උදවු උපකාර ද කරයි. නමුත් ඇතැම් විට ඔහු සිය රාගය මැඩපවත්වා ගැනීමට අපොහොසත් ව අසම්මත සබදතාවන් ගෙන යයි. බොහෝදෙනා මේ චරිතය විවේචනය කළේ එය පරාජිත, අරමුණක් නැති චරිතයක් බවත් සමාජය මේ චරිතය ආදර්ශයට ගැනීමෙන් පරාජිතයන් වන බවත් කියමිනි. විශේෂයෙන් ම මිණිවන් පී. තිලකරත්න සිය ආචාර්ය උපාධි නිබන්ධනයේ මේ චරිතය හා රුසියානු නවකතාවක එන ඔබ්ලමෝෆ් චරිතයට සමාන ලක්ෂණ ඇති බව පෙන්වා දුන්නේ ය. මේ තත්ත්වය පසු ව බිහි වූ මීට සමාන ලක්ෂණ සහිත චරිත නිරූපණය කළ නවකතා පරාජිත නවකතා ලෙසත් එම චරිත පරාජිත චරිත ලෙසත් හැදින්වෙන්නට බලපෑවේ ය. අරවින්ද ලියා තැබූ ජීවිත කතාව ඔහුගේ සගයකු විසින් සංස්කරණය කර ඉදිරිපත් කරන ලෙසින් ලියැවුණු විරාගය ආකෘතික වෙනස්කමක් ද සිංහල සාහිත්‍යයට එක්කළේ ය.

යුගාන්තය නාගරික ඉහළ මධ්‍යම පන්තිය විග්‍රහ කරමින් ධනවාදී සමාජය තුළින් ප්‍රගතිශීලී දේශපාලන චින්තනයකින් යුතු තරුණ පරපුරක් බිහිවීම පෙන්නුම් කරයි.[4]

කවිය[සංස්කරණය]

සිංහල කවියේ නූතන ලක්ෂණ මුල්වරට පළවූයේ මාතර යුගයේ කවිය වෙතිනි. මාතර යුගයේ කවීහු මුලුවරට සිය පුද්ගලානුභූති කාව්‍යයට නැගුවෝ ය. ගජමන් නොනාගේත් මිහිරිපැන්නේ ධම්මරතන හිමිගේත් ඇතැම් කවි නිදසුන් වේ.[6] එමෙන් ම කවිය ලෞකික ජීවිතයේ සබදතා ආදිය වස්තු විෂය කරගැනීම ද මේ යුගයේ දක්නට හැකිවිය. මාතර යුගයෙන් පසු එළඹෙන කොළඹ යුගයේ දී සිංහල කවිය පැහැදිලි සහ විශිෂ්ට ලෙස නූතන ලක්ෂණ පිළිබිඹු කරන්නට වූයේ එකල කාව්‍යයකරුවන් බටහිර සාහිත්‍යය ප්‍රවණතාවන්හි ආභාසය ලැබූ බැවිනි. නූතන සිංහල කවිය කොළඹ යුගයේ මුල් පරපුර හා දෙවන පරපුර ලෙස වර්ග කර හදුනාගනු ලැබේ. ඇස්. මහින්ද හිමි, ආනන්ද රාජකරුණා, ජී. එච්. පෙරේරා යන අයත් කුමාරතුංග මුනිදාස, රැයිපියෙල් තෙන්නකෝන් වැනි හෙල හවුලේ කවියෝත් කොළඹ යුගයේ යුගයේ පළමු පරපුරට අයත් වෙති. [6]

මෙකල කවියෝ බොහෝදෙනෙක් අධිරාජ්‍යවාදයටත්, යටත් විජිත සමයේ සංස්කෘතික පරිහානියටත් එරෙහි ව කවිය අවියක් කරගත්හ. ඇස්. මහින්ද හිමි අධිරාජ්‍යවාදයට එරෙහි ව දැඩි උද්වේගකර කාව්‍ය රචනා කළේ ය. ඒ අතර ම කුමාරතුංග මුනිදාස, ඇස්. මහින්ද හිමි, ආනන්ද රාජකරුණා වැනි කවියෝ ලාංකීය ළමා සාහිත්‍යයක් ගොඩනැගීම සදහා ද කවිය උපයෝගී කරගත්හ.[6]

මීමන ප්‍රේමතිලක, සාගර පලන්සූරිය, පී. බී. අල්විස් පෙරේරා, විමලරත්න කුමාරගම වැනි කවියන් අයත් වන කොළඹ යුගයේ දෙවන පරපුර වර්ඩ්ස්වත්, ෂෙලී වැනි කවියන් අයත් වූ බටහිර රොමැන්ටික් කාව්‍ය ප්‍රවණතාවේ බලපෑම දැඩි ව පෙන්නුම් කළේ ය. ප්‍රේමය සහ ස්වභාව සෞන්දර්ය මොවුනගේ සුලබ තේමා විය. දේදුන්න, සුවද, මී වදය, වෙඩිල්ල වැනි මාසික කවි සගරා බිහිවෙමින් කවිය ජනප්‍රිය වෙමින් ආ මෙකල ලියැවුණු බොහෝ කවි සරල, සැහැල්ලු, සුන්දර රචනා විය. සිංහල කවිය බහුජන වින්දන මාධ්‍යයක් කිරීමට මෙය හේතු විය. එමෙන් ම ඔවුහු මින් පෙර කවියට වස්තු විෂය නොවූ පොදුජන චරිත විෂය කරගනිමින් සිංහල කවියට නව වස්තු විෂයන් හදුන්වා දුන්හ. මෙවැනි ඇතැම් රචනා විසින් පීඩිත පන්තියේ ජීවිත ද විවරණය කෙරුණි. නිදසුන් ලෙස විමලරත්න කුමාරගමගේ රචනා සහ පී. බී. අල්විස් පෙරේරාගේ ඇතැම් රචනා දැක්විය හැකි ය.[6]

නූතන සිංහල කවිය[සංස්කරණය]

සම්භාව්‍ය සිංහල පද්‍ය සාහිත්‍යයේ නිමාවත් සමඟ තත්කාලීන දේශපාලනික, සමාජයීය හා සංස්කෘතික පසුබිම පාදක කර ගනිමින් 19 වන සිය වසේ අග හා 20 වන සියවසේ මුල් භාගයේ දී පමණ ‘නූතන සිංහල කවියේ’ සමාරම්භය සිදු වෙයි. පුරාතන පද්‍ය සාහිත්‍යයෙහි වූ ආගමික මුහුණුවර පූර්ව නිශ්චිත කාව්‍ය ආකෘතිය, භාෂාව හා අලංකාර භාවිතයෙහි වූ නියමයන්ක්‍ රමයෙන් වෙනස් වී මෙම යුගයේ දී කවිය සමකාලීන දේශපාලන, ආර්ථික, සමාජීය හා සංස්කෘතික වෙනස් වීම්වලට සමගාමීව බිහි වූයේ ය. කවියේ ආගමික මුහුණුවර, පොදු ජනයාගේ ලෞකික අත්දැකීම් හා හැඟීම් ප්‍රතිනිර්මාණය කරා විතැන් වෙද්දී භාෂාවේ වූ පණ්ඩිත ප්‍රිය වූ විදග්ධ භාවය ක්‍රමයෙන් ව්‍යවහාරික භාෂාවට සමීප විය. කවිසමයානුගත අලංකාර හා රීතීන්වෙ නුවට පොදු ජන සුඛාවබෝධය හා අරමුණු සාධනය උදෙසා වූ අලංකාර හා රීතීන් වෙත කවීහු නැඹුරු වූහ. මුද්‍රණ තාක්ෂණයේ ආගමනයත් සමග කවිය පොදු ජන සමාජය අතර ජනප්‍රිය සාහිත්‍ය මාධ්‍යයක් බවට ක්‍රමයෙන් පත්වි ය. එතෙක් පැවතියා වූ සම්භාව්‍ය පද්‍ය සාහිත්‍යයේ හා ඉන් පසු පොදු ජන සාහිත්‍යයක් කරා විතැන් වූ කවියේ නො මඳ පෝෂණයත් බටහිර සාහිත්‍යයේ ප්‍රබල ආභාසයත් ලබමින් එය සිදු විය. නූතන කවියේ ප්‍රථම භාගයේ කවීන්අ තර පියදාස සිරිසේන, ආනන්ද රාජකරුණා, ජී. එච්. පෙරේරා හා එස්. මහින්ද හිමි ප්‍රමුඛ වෙති. එවකට යටත්නූතන සිංහල කවිය නොමිලේ බෙදා හැරීම සඳහා ය. 11 විජිතකරණයට ලක්ව සිටි ශ්‍රී ලාංකේය ජනතාව එම මානසිකත්වයෙන් මුදවා ගනු වස්ිජාත්‍යනුරාගය’ කුළුගැන්වෙන කාව්‍ය බන්ධනය කිරීමට මෙම යුගයේ දී ප්‍රමුඛත්වය හිමි විය. ඒ සඳහා කේන්ද්‍රය වශයෙන් ළමයා යොදා ගත් බව ඉහත කවීන්ගේ කාව්‍ය සමුච්ච නිරීක්ෂණය කිරීමේ දී විශද වෙයි. එම යුගයේ කවිය වෙසෙසින් ම මෙහෙය වූයේ යුගයේ අවශ්‍යතාව වෙනුවෙනි. එහෙයින් මෙම කාව්‍ය අධ්‍යයනය කළ යුත්තේ ඒ ඒ කවි හුදෙකලාව ගනිමින් නොව යුගයේ සමාජ පසුබිම කෙරෙහි සවිඥානික වෙමිනි. මින් පසු අවධිය ඉතා ප්‍රබල ලෙස කවිය පොදු ජනයාට සමීප වූ කාල වකවානුවක්ලෙ ස සැලකිය හැකි ය. සාගර පලන්සූරිය (කේයස්), විමලරත්න කුමාරගම, පී.බී. අල්විස් පෙරේරා, බී. එච්. අමරසේන, මීමන ප්‍රේමතිලක, එච්.එම්. කුඩලිගම, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ යන කවීහු මෙම යුගය නියෝජනය කළහ. ප්‍රමාණාත්මකව ඉතා විශාල සංඛ්‍යාවක් කවි ලියැවුණු මෙම යුගයේ කවිය ජනතාව අතර පතළ වීම කෙරෙහි මුද්‍රණ ශිල්පයේ දියුණුව ඍජුව බල පෑවේ ය. කවි පොත්, කවි සඟරා, කවි කොළ සුලබ වූ මෙම යුගයේ බොහෝ කවීහු බටහිර රොමැන්ටික් කවීන්ගේ ආභාසය නො මඳව ලදහ. ඒ අනුව ඔවුන්ගේ කවිය ඊට පූර්ව යුගයේ කවීන් ගෙන් බෙහෙවින්වෙ නස් විය. වස්තු විෂය විවිධ වීමත්භාෂාව සරල හා සුගම වීමත් භාව ගෝචර උපමා රූපකවලින් සමන්විත වීමත් මෙහි විශේෂ ලක්ෂණ ලෙස දැක්විය හැකි ය. ස්ත්‍රිය හා ස්ත්‍රීපුරුෂ ප්‍රේමය සෞන්දර්යාත්මකව චිත්‍රණය කිරීමට බොහෝ කවීන් පෙලඹුණු අතර පුද්ගල හා සමාජ අත්දැකීම් මානව දයාවෙන් යුක්තව ප්‍රතිනිර්මාණය කිරීමට මොවුහු නිබඳව ම උත්සාහ ගත්හ. නූතන කවිය සම්බන්ධව සලකා බැලීමේ දී ‘හෙළ හවුල’ සාකච්ඡාවට භාජනය කළ යුතු වෙයි. කුමාරතුංග මුනිදාස පඬිවරයාගේ පුරෝගාමීත්වයෙන් ඇරඹුණු ව්‍යාකරණ ශාස්ත්‍රය සම්බන්ධ දැඩි මතධාරී ගුරු කුලයක් වන මෙහි සිංහල කවිය කෙරෙහි සැලකිය යුතු දායකත්වයක් සැපයූ කවීහු කිහිප දෙනෙක් ද වෙති. ස්වකීය භාෂා මතවාද නිර්මාණ කාර්යයේ දී පවුරක් වුව ද සූක්ෂ්මව විශිෂ්ට නිර්මාණශීලී ප්‍රතිභාවක් කුමාරතුංග මුනිදාස, අරිසෙන්අ හුබුදු, රැයිපියල් තෙන්නකෝන් වැනි කවීන්ගේ නිර්මාණවලින් පිළිබිඹු වෙයි. ඉහත අවධීන්හි කවියේ වූ දුබලතා හඳුනා ගනිමින් මානව හා සමාජ අත්දැකීම්ප්‍ රතිනිර්මාණය කරනු වස් නවමු කාව්‍ය ප්‍රස්තුත, භාෂා හා රීතීන් මෙන් ම අලංකාර සම්ප්‍රදායක කාලීන අවශ්‍යතාව කාලීනව පැන නගිමින් තිබූ යුගයක ජී. බී. සේනානායක පලි ගැනීම (1948) නම් වූ ස්වකීය කෙටි කතා සමුච්චයට අන්තර්ගත කොට "ගද්‍යයත් පද්‍යයත් අතර රචනා විශේෂයක්” ලෙස නම් කරමින් නිදහස් පද්‍ය ආකෘතිය කවියට හඳුන්වා දෙයි. සිරි ගුනසිංහ ඔහු විසින් මිබුද්ධි ගෝචර කාව්‍ය’ ලෙස හඳුන්වා දෙන නිසඳැස් කාව්‍ය සම්ප්‍රදාය ද බිහිවන්නේ මීට තදාසන්න කාලයක දී ය. 1956 දී මස් ලේ නැති ඇට යනුවෙන් කාව්‍ය ග්‍රන්ථයක් ප්‍රකාශයට පත්ක ළ සිරි ගුනසිංහ "කවියෙහි ඇත්තේ බුද්ධියෙන් ග්‍රහණය කර ගත යුතු හැඟීම්හා අදහස් ය” යන මතයෙහි තරයේ එල්බ සිටියෙකි. ඔහු කවිය නවමු මාවතකට ප්‍රවේශ කිරීමේ නැති නම් සිවු පද ආකෘතියෙන්මි දී නව්‍ය කාව්‍ය සම්ප්‍රදායකට ප්‍රවේශ කිරීමේ කාර්යයේ දී ප්‍රබල මැදිහත්කරුවා ලෙස හැඳින්වීම සාවද්‍ය නො වේ. මෙසේ ආරම්භ වූිනිසඳැස් කාව්‍ය’ සම්ප්‍රදායෙහි ඇතැම් දුබලතා පැවතුණත් කවි රස විඳින ජනයාට එය ආගන්තුක අත්දැකීමක් විය. ඒ අනුව නිසඳැස් කවියෙහි නිෂේධනීය ලක්ෂණ බැහැර කරමින් සාධනීය ලක්ෂණ උකහා ගනිමින්, සම්භාව්‍ය සිංහල පද්‍ය සාහිත්‍යයෙන් ද ජන කාව්‍ය සම්ප්‍රදායෙන් ද, විදේශීය කවියෙන් ද නො මඳ ආභාසය ලබමින් නූතනය දක්වා කවිය රැගෙන ආ පුරෝගාමීන් ලෙස ගුණදාස අමරසේකර හා මහගම සේකර යන කවීන් දෙ පළ සැලකිය හැකි ය. මහගම සේකර ගත් මාර්ගය අනුව ගිය රත්න ශ්‍රී විජේසිංහ, දයාසේන ගුණසිංහ, පරාක්‍රම කොඩිතුවක්කු, මොනිකා රුවන්පතිරණ වැනි කවීන්ට හා කිවිඳියන්ට නූතන කවි කෙතෙහි ප්‍රමුඛස්ථානයක් හිමි වේ. නූතනයෙහි දී කවිය අර්ථපූර්ණ හා භාවපූර්ණ මාධ්‍යයක් බවට පත්කි රීමෙහි ලා නන්දන වීරසිංහ, යමුනා මාලිනී පෙරේරා, එරික් ඉලයප් ආරච්චි වැනි කවියෝ හා කිවිඳියෝ පුරෝගාමී වූහ. ඒ අතර ලක්ශාන්ත අතුකෝරළ, මංජුල වෙඩිවර්ධන, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, සුහර්ෂණී ධර්මරත්න වැනි තරුණ කවීහු ද වෙති. ©උපුටාගැනීම සිංහල සාහිත්‍ය රසාස්වාදය 10- - 11 ශ්‍රේණි පෙළපොතෙනි

ජනප්‍රිය සාහිත්‍යය[සංස්කරණය]

ළමා හා යොවුන් සාහිත්‍යය[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

කෙටිකතාව හා නූතන සිංහල කවිය උපුටාගැනීම සිංහල සාහිත්‍ය රසාස්වාදය 10- - 11 ශ්‍රේණි පෙළපොතෙනි

ආශ්‍රිත නාමාවලිය[සංස්කරණය]

  1. සිරිසුමන හිමි, අගලකඩ (23 සැප්තැම්බර් 2017). "සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ මඟ සලකුණු". සිළුමිණ. Retrieved 29 දෙසැම්බර් 2019.
  2. 2.0 2.1 සිරිසුමන හිමි, අගලකඩ (14 මැයි 2014). "බුදු දහමින් පෝෂිත සිංහල සාහිත්‍යය". බුදුසරණ - අන්තර්ජාල කලාපය. Retrieved 29 දෙසැම්බර් 2019.
  3. 3.0 3.1 3.2 දුමින්ද ලක්‌සිරි කුමාර, ඩී. එම්. (13 ජුනි 2018). "අනුරාධපුර යුගයේ ගද්‍ය හා පද්‍ය සාහිත්‍යය". දිවයින. Retrieved 29 දෙසැම්බර් 2019.
  4. 4.0 4.1 4.2 4.3 4.4 4.5 4.6 4.7 "නූතන සිංහල ප්‍රබන්ධ කථාවේ විකසනය". අ. පො. ස. (උසස් පෙළ) සදහා නිර්දිෂ්ට මළ ගිය ඇත්තෝ නවකතාව පිළිබද විමර්ශනය. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව. 2013. පිටු 1-21. 
  5. ගුණසේකර, බන්දුසේන (1999). සිංහල සාහිත්‍ය කෝට්ටේ යුගය හා එතැන් සිට. ගොඩගේ ප්‍රකාශන. ISBN ISBN 955-20-1547-2. 
  6. 6.0 6.1 6.2 6.3 විජේසිංහ, රත්න ශ්‍රී (2015). "ප්‍රස්තාවනාව". අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා නූතන පද්‍ය සංග්‍රහය. ගොඩගේ ප්‍රකාශන. පිටු 5-41. ISBN 978-955-39-2019-2. 
"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_සාහිත්‍යය&oldid=451460" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි