Jump to content

වැලිවිට සරණංකර හිමි

විකිපීඩියා වෙතින්

ලක්දිව සංඝරාජ පදවිය හෙබවූ අවසන් භික්ෂුව.

ළමා විය

[සංස්කරණය]

මහනුවර තුම්පනේ වැලිවිට නම් ගමේ කුලතුං මුදලි ට දාව කුලතුං බණ්ඩාර කුමරු මෙලොව එළි දැක ඇත්තේ ll වන විමලධර්මසූරිය (1687-1706) රජතුමාගේ කාලයේ දී 1698 ජූනි 18 වන දින වැලිවිට වත්තේ වලව්වේ දීය. එරමුදුලියද්දේ උපාසක රාළ ගෙන් සහ මුරුද්දෙණියේ හේරත් ගෙදර ගුරුතුමා ගෙන් හෙතෙම බාල වියේ අකුරු ඉගෙන ඇත. කුලතුංග බණ්ඩා කුමරු රාජ සේවයට යොමු කිරීම දෙමාපියන්ගේ අභිලාශය වුවද ඔහුගේ මනාපය තිබුනේ මහණ කමටයි. බාල වියේදී මේ කුමරුට තම මෑණියන්ගෙන් කුඩා මැටි වළඳක් ලබාගෙන භික්ෂූන් වහන්සේලා පිඩු සිගා යන ආකාරයෙන් ඇවිද, ඉන්පසු තම මෑණියන් ලවා ඊට ආහාර බෙදා ගෙන, නිවස අසළ වූ ගල්තලාවකට ගොස් අනුභව කිරීමේ පුරුද්දක් තිබූ බව සඳහන් වේ. මෙකල භික්ෂුන් වහන්සේ පිඬු සිඟා වඩින සිරිතක් බැවින් මේ පුරුද්ද මේ පින්වත් කුමරාට සසර පුරුද්දෙන්ම ලැබුණක් බව සිතිය හැක.

පැවිදිවීම

[සංස්කරණය]

සරණන්කර සාමණේර හිමි පැවිදිව සුළු කලෙකින් සූරියගොඩ රාජසුන්දර සාමණේර හිමි රාජ උදහසට ලක්ව මරණ දඬුවමට ලක් විය. මේ නිසා ධර්ම ශාස්ත්‍ර හැදෑරීමට උන්වහන්සේට ගුරු හිමි කෙනෙක් නැති විය.  මෙකල සසුන බෙහෙවින් පිරිහී තිබූ බැවින් ධර්ම ශාස්ත්‍ර අධ්‍යාපනය ලැබීමට පහසු මං නොවීය.  ගුරුවරුන් සොයා ඇවිද ගිය උන් වහන්සේට පාළි භාෂාව පිළිබඳ හසළ දැනුමක් ඇති ලෙව්කේ රාළහාමි හමු විය. උන් වහන්සේ ඔහු ගෙන් බාලාවතාරය නම් වූ පාලි ව්‍යාකරණ ග්‍රන්ථයේ නාම කාණ්ඩය උගත්තේය. ඉන් පසුපෝයමළු විහාරයේ වැඩ විසූ, වටපුළුවේ සාමණේර හිමි ගේ ශිෂ්‍ය,  පල්කුඹුරේ අත්ථදස්සි සාමණේර හිමි ගෙන් සමාස කාණ්ඩය උගත්තේය. මේ කාලයේ ලෙව්කේ රාළහාමිද රාජ උදහසට ළක්ව මාකෙහෙල්වල ගමේ නිවාස බන්ධනයට ළක් කොට තිබූ නිසා සරණංකර සාමණේර හිමියෝ ඊට නුදුරු අලගල්ල කන්දේ පිහිටි ගල් ලෙනක දුෂ්කර තත්වයන් යටතේ වැඩ විසූ බව සඳහන් වේ. පිණ්ඩපාතයෙන්ම යැපුණු නිසා “පිණ්ඩපාතික” නම උන්වහන්සේගේ නමට එක් විය.

සිල්වත් සමාගම

[සංස්කරණය]

ධර්ම ශාස්ත්‍ර ප්‍රගුණ කරමින් යන අතර සරණංකර සාමණේර හිමි රට පුරා වෙනත් සිල්වත් සාමණේර හිමි වරු සමඟ ඔහු සබඳතා වැඩි දියුණු කර ගත්තේය. සිල්වත් සමාගම නමින් සමාගමක් ඇරඹුණු අතර ඊට සිටිනාමළුවේ, ඉලිපැන්ගමුවේ, ඊසිපිටියේ, කප්පාගොඩ, අළුත්නුවර, මැදවල, පහන්කුඹුරේ,  නාගොල්ලේ,  කුඹුල්දිවෙල, වැවගෙදර, අහුගොඩ, මාලගම්මන, දාහිංගමුවේ ආදි සාමණේර හිමිවරු රාශියක් එක් විය. මේ අතරින් සිටිනාමළුවේ ධම්මජෝති සාමණේර හිමි පසු කාලයේ දකුණු පළාතේ සංඝ ප්‍රබෝධයට මූලික වූ බව මතක් කළ යුතුය.


මේ අතරතුර ගණින්නාන්සේලාගේ කුමන්ත්‍රණයක් හේතුවෙන් එකල මෙරට රජ වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ උදහසට ළක් වූ සරණංකර සාමණේර හිමි ලග්ගල ප්‍රදේශයට පිටුවහල් කෙරිණි. උන්වහන්සේ ලග්ගල වැඩ සිටින කාලය තුළ භාරතයෙන් පැමිණි බමුණකුගේ ශ්ලෝකයක් විසඳා ගැනීමට රජුට වුවමනා වූ අතර එකල වැඩ උන් ගණින්නාන්සේලා ඊට අපොහොසත් වූහ. අවසානයේ එය විසඳා ලූයේ සරණංකර සාමණේර හිමිය. ඒ හේතුවෙන් රජුගේ ප්‍රසාදය නැවත දිනා ගැනීමට උන්වහන්සේ සමත් වූහ. පසුව උන්වහන්සේ රජුගේ උපකාරයෙන් මහනුවර ඇම්බැක්කේ නියමකන්ද නම් තැනක පිරිවෙනක් පිහිටුවා ධර්ම ශාස්ත්‍ර අධ්‍යාපනයේ අභිවෘද්දියට කටයුතු කළහ.

ලක්දිව උපසම්පදාව පිහිටුවීම

[සංස්කරණය]

නැවත ලක්දිව උපසම්පදාව පිහිටුවීමට සරණංකර සාමණේර  හිමි උත්සාහ කළ නමුදු ඒ සඳහා ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු ගෙන් හෝ ඊට පසු රජ වූ විජය රාජසිංහ රජු ගෙන් උපකාර නොලැබිණි. කෙසේ හෝ කීර්ති ශ්‍රී රාජසිංහ රජු ම අදහසට අනුව කැමති කරවා ගැනීමට උන්වහන්සේ සමත් වූහ. ඒ අනුව හාරගොඩගණේගොඩළිඟවිටියේ, වටවනහල්පේ සිල්වතුන් වහන්සේලා, දොරණාගම මුහන්දිරම් රාළමාතොට රාළ, සහ වටවන උපාසක රාළ යන පිරිසගෙන් සමන්විත දූත පිරිසක් සියමය බලා පිටත් කරවන ලදී. මේ කාලයේ මුහුදු ගමන් යනු ජීවිතාශාව අතහැර කළ යුතු කටයුත්තක් විය. දූත පිරිස ගමන් ගත් නැව විනාශ වූ අතර පිරිසෙන් කිහිප දෙනෙක් දිවි ගලවාගෙන නැවත පැමිණියහ. දෙවන වර දරන ලද උත්සාහයක්ද අසාර්ථක විය. එහෙත් සරණංකර හිමියෝ උත්සාහය අත් හළේ නැත. තුන් වන වර ලන්දේසි ආණ්ඩුකාරයාගේ අනුග්‍රහයෙන් ලබා ගෙන 1750 දී “තාර්කා” නම් නැවෙන් විල්බාගෙදර මුහන්දිරම්, ආයිත්තාලියද්දේ මුහන්දිරම්, පට්ටේපොළ රටේ රාළ, ඇල්ලේපොළ වෙඩික්කාර මොහොට්ටාළ සහ යටිනුවර ඊරියගම නිලමේ ඇතුළු සිංහල දූත පිරිසක් සියමයට යැවීමට උන් වහන්සේට හැකි විය.

මේ දූත පිරිසගේ ආරාධනයෙන් සියම් රජුගේ පූර්ණ අනුග්‍රහ ඇතිව  ප්‍රවර උපාලි නාහිමි ප්‍රමුඛ භික්ෂුන් වහන්සේ විසි නමක් සියමයෙන් මෙරටට වැඩම කරන ලද අතර 1753 ඇසළ මස මහනුවර මල්වතු මහා විහාරයේ මෙකල බද්ධ සීමා මාලකය පිහිටි ස්ථානයේ ඉදිකළ මණ්ඩපයකදී උන් වහන්සේලාගේ ප්‍රමුඛත්වයෙන් උපසම්පදා පුණ්‍ය කර්මය සිදු කෙරිණි. එහිදී සරණංකර සාමණේර හිමි ප්‍රවර උපාලි නාහිමිගේ උපාධ්‍යායත්වයෙන් හා බ්‍රහ්මජෝතිමහාපුඤ්ඤ යන හිමිවරුන්ගේ කර්‍මාචාර්යත්වයෙන් උපසම්පදාව ලබා ගත්තේය..

සංඝරාජ පදවිය

[සංස්කරණය]

උපසම්පදා ලැබීමෙන් අනතුරුව සරණංකර හිමිට කීර්ති ශ්‍රී රාජසිංහ රජු “සංඝරාජ” පදවිය පිරි නැමුවේය. කෙතරම් කීර්ති ප්‍රශංසා, නම්බු නාම ලැබුවද සරණංකර හිමි සරල, අල්පේච්ඡ දිවියක් ගත කළේය . ජීවිත කාලය පුරාවට පිණ්ඩපාතයෙන් යැපුන බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් බව ඉතිහාස පුවත් වලින් පෙනේ. සංඝරාජ පදවිය ලැබූ පසු උන්වහන්සේ “උඩඟු නොව මහණ” යනුවෙන් තල්පතක ලියා වැඩ හුන් කුටියේ ඇතුළු වන දොරටුවේ නිතර පෙනෙන සේ තැබූ බව කියැවේ.

ශාසනික සේවා

[සංස්කරණය]

එකල වෙන් වෙන්ව පැවති මහනුවර සතර දේවාල පෙරහරත් දළඳා පෙරහරත් එක් කොට අද දක්නට ලැබෙන සිංහල බෞද්ධයන්ගේ මහ පෙරහර වන මහනුවර දළඳා මහ පෙරහර අරඹන ලද්දේ සංඝරාජ මාහිමියන්ගේ අදහසකට අනුවයි.

භික්ෂුන්වහන්සේලාගේ ධර්ම ශාස්ත්‍ර අධ්‍යාපනය නඟා සිටු වීම අත්‍යවශ්‍ය කාරණාවක් ලෙස දුටු උන්වහන්සේ නියමකන්ද පිරිවෙනට අමතරව පෝයමළුව, අස්ගිරිය, සුදුහුම්පොළ, අම්පිටිය දලුක්ගොල්ල,නිත්තවෙල, ගංගාරාමය ආදි විහාරයන්ගේ ශාස්ත්‍රශාලා ඇරඹූහ.

සිසු පරපුර

[සංස්කරණය]

මල්වතු මහා පාර්ශ්වයේ මුල්ම මහානායක ධුරයට පත් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්‍ෂිත නාහිමි, නියමකන්ද පිරිවෙන පවත්වාගෙන ගිය ගිනිගත්පිටියේ ශ්‍රී සංඝරක්ඛිත නාහිමිකඹුරුපිටියේ ගුණරතන නාහිමි, සහ පසුකලෙක මල්වතු මහා නාහිමිවරුන් බවට පත් වූ දරමිටිපොල ශ්‍රී ධම්මරක්ඛිත, වැරසැර රඹුක්වැල්ලේ ශ්‍රී ධම්මරක්ඛිත සහ මොරතොට රාජගුරු ශ්‍රී ධම්මක්ඛන්ධ යන නාහිමි වරු වැලිවිට සංඝරාජ මාහිමියන්ගේ කීර්තිමත් ශිෂ්‍ය රත්නයෝ වෙති. 

අපවත් විම

[සංස්කරණය]

අවුරුදු අසූවක් ආයු වළදා වසර 1778 දී මල්වත්තේ විහාරයේදී වැලිවිට සංඝරාජ මාහිමියෝ උන්වහන්සේගේ ශිෂ්‍ය කඹුරුපිටියේ ගුණරතන නාහිමි දෙසූ ආසන්න බණට සවන් දී අපවත් වී වදාළහ.

වැලිවිට සංඝරාජ මාහිමියන්ගේ ධෛර්යය නොවන්නට මෙරටින් බුදු සසුන සදහටම තුරන් වීමට ඉඩ තිබිණි.

••== රචිත ග්‍රන්ථ ==•• 1)සද්ධර්ම සාරාර්ථ සංග්‍රහය 2)භේසජ්ජ මංජුසා සන්නය 3)අභිසම්බෝධි අලංකාරය 4)රූප මාලාව 5)මධුරාර්ථ ප්‍රකාශනි 6)මුනිගුණාලංකාරය

"https://si.wikipedia.org/w/index.php?title=වැලිවිට_සරණංකර_හිමි&oldid=653525" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි