තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ කෝට්ටේ යුගයෙහි විසූ දීප්තිමත් ම කවියා වශයෙනි. බුද්ධිප්පසාදිනිය, පඤ්චිකා ප්‍රදීපය, පරෙවි සන්දේශය, කාව්‍යශේඛරය හා සැළලිහිණි සන්දේශය යන කෘතීන්හි කතුවරයා වූ රාහුල හිමියන් ක්‍රි. ව 1408 දී පමණ උපත ලබන්නට ඇතැයි මූලාශ්‍රානුසාරයෙන් අනුමාන කළ හැකි වුව ද උන්වහන්සේගේ අපවත් වීම පිළිබඳ පැහැදිලි හා නිශ්චිත තොරතුරු හමු නො වේ. සංස්කෘත, ප්‍රාකෘත, මාගධී, අපභ්‍රංශ, පෛශාචි, ශෞරසේනී යන භාෂා හයෙහි පරතෙරට පත් වූ හෙයින් ෂඩ්භාෂා පරමේශ්වර යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වනු ලැබූ රාහුල හිමියෝ දෙස් විදෙස් සිසුන් ශාස්ත්‍රෝද්ග්‍රහණයේ යෙදුණු කීර්තිමත් අධ්‍යාපන ආයතනයක් වූ තොටගමුව විජයබා පිරුවනෙහි අධිපති ව වැඩ විසූහ.

ජීවිතය[සංස්කරණය]

ශ්‍රී රාහුල හිමියන්ගේ ජීවිතය පිළිබඳ තොරතුරු සොයාගත හැක්කේ එහිමියන් ලියූ පතපොත ද ජනප්‍රවාද ද යන දෙඅංශයෙනි. තමන් දෙමටාන නම් ග්‍රාමයෙහි කඳවුරු කුලයට අගමිණි බවත් සවැනි පැරකුම්බා රජු විසින් පුතකු ලෙසින් හදාවඩාගන්නා ලද බවත් සියලු ශාස්ත්‍රයන්හි කෙළ පැමිණි බවත්, පිරිසිදු ශීලයෙන් යුක්ත බවත්, සියල් ලොව වියතුන්ට සිළුමිණි බවත්, තොටගමුව විජයබා පිරුවන්පති බවත් [1] උන්වහන්සේ ම විවිධ කෘතිවල සඳහන් කොට තිබේ. එසේ ම තමන් උතුරුමුළ රාහුල මහ තෙරුන්වහන්සේගේ මුනුබුරු බව ද උන්වහන්සේ ම හෙළි කරති.

ජනප්‍රවාදයෙහි කියැවෙන පරිදි රාහුල හිමි ගම්පොල විසූ වික්‍රමබාහු නම් කුමරකුගේ පුතෙකි. එහෙත් ළදරු වියෙහි දී ම පියාගේ අභාවය නිසා අනාථ භාවයට පත් රාහුල කුමරු සවැනි පැරකුම්බා රජු විසින් ඇතිදැඩි කරගන්නා ලදැයි ද කියැවේ.

බටුවන්තුඩාවේ පඬිතුමා මේ ජනප්‍රවාදය මෙසේ සංග්‍රහ කරයි[2] : "උපායෙහි දක්ෂ වූ පරාක්‍රමබාහු රජතුමා නොබෝ දවසකින් බලවත් උපායකින් අලකේශ්වරයන් මරවා රයිගම් පුරය හස්තප්‍රාප්ත කොට ගෙණ තුන් අවුරුද්දක් පමණ එහ් ම විසූයේ ය. මේ කාලයෙහි ගම්පළ විසූ භුවනෙකබාහු රජු ස්වර්ගපරායණ වූ හෙයින් ඒ රජහුගේ පුත්‍ර වූ අංගම්වල කුමාරයා ද සතර කෝරලේ සිටි ත්‍රිලෝකමල්ල කුමාරයාගේ පුත්‍ර සපුමල් කුමරු ද පරාක්‍රමබාහු රජුට පක්ෂ වූහ. මෙසේ පරාක්‍රමබාහු රජතුමා විජෘම්භිත වන කල්හි (දඹදෙණියට අඩුත්තු වූ) දෙමටාන ගම විසූ වික්‍රමබාහු කුමාරයා හදිසි රෝගයකින් මළේ ය. පරාක්‍රමබාහු රජ තෙමේ ඒ බැව් දැන වහා ම එහි ගොස් ඒ පළාත්වැසි අධිපතියන් තමන්ට නතු කොට ගත්තේ ය. ඒ කුමාරයාගේ දේවිය හා ළදරු පුත් රුවන පරාක්‍රමබාහු රජු හට අත්පත් වූහ. පරාක්‍රමබාහු මහරජ මට වෙන දරු කෙනෙකුන් නැති බැවින් දෙමටාන ගම ළදරු කුමරා කෙරෙහි පුත්‍ර ප්‍රේම උපන."

කුඩා රාහුල කුමරු පළමු වරට සවැනි පැරකුම්බා රජු හමු වූ මොහොතේ කියන ලදැයි ජනප්‍රවාදයේ එන කවිය මෙසේ ය:

මා වැනි බිලින් දා
වර වර ළඟට කැන් දා
දුක සැප කුමන් දා
අසන නිරිඳෝ වෙන කොයින් දා

තව ද

ආදිච්චවංස කමලාකරභාකරරේන
රාජින්ද මොලිමණිරඤ්ජිත සාසනේන
ලංකිස්සරේන මයමත්‍රජ පේමබුද්ධ්‍යා
සංවඩ්ඪිතා පිතුපදාධිගතෙන යේන
(සූර්ය වංශය නමැති පියුම් පොකුණ පුබුදුවන රජවරුන්ගේ කිරුළුමිණි රැසින් හෙබවූ අණසක ඇති පිය තනතුරට පැමිණි ඒ ලංකේශ්වරයා විසින් ප්‍රත්‍ර ප්‍රේමයෙන් මම ඇති දැඩි කර ගනු ලැබීමි)

රාජා පරක්කන්ති භූජෝ යසස්සී
යෝ සිහළින්දෝ බහුපුඤ්ඤතේජෝ
පෝසෙසී මං සාධුගුණේහි යුත්තෝ
ආ බාලභාවං සුතපේම යුත්තෝ

(යසසින් හා බොහෝ පින් තෙදින් හෙබි පරාක්‍රමබාහු නම් වූ යම් සිංහල රජ කෙනෙක් වී ද යහ ගුණයෙන් හෙබී ඒ රජතුමා පුත්‍ර ප්‍රේමයෙන් යුක්තව කුඩා කල සිටම මා හදා වඩා ගත්තේ ය)[3]

ආදී වශයෙන් රාහුල හිමියෝ ම මේ පුවත සිය පඤ්චිකා ප්‍රදීපය නමැති කෘතියෙහි හකුළුවා දක්වති. තතු එසේ නම් රාහුල කුමරු හැදී වැඩෙන්නට ඇත්තේ පැරකුම්බා රජුගේ දියණියන් වූ චන්ද්‍රවතී හා ලෝකනාථා යන දරු දෙදෙනා සමග එකට ය.

එසේ ම තමන් උතුරු මුල මහ තෙරිඳුන්ගේ මුනුබුරෙකු හැටියට ද හඳුන්වාදීමට රහල් හිමියෝ රිසි වූහ.

කුලග මිණි පිවිතුරු
දෙමටාන ගම කඳවුරු
තොටගමු වැසි සොඳුරු

උතුරු මුල මහ තෙරිඳු මුනුබුරු

ගිරා සන්දේශ කතුවරයා ද රහල් හිමියන් උතුරුමුල තෙරිඳුන්ට සම්බන්ධ කොට දක්වයි

පිවිතුරු උතුරු මුල මහ තෙරිඳුට සොඳුරු

මුනුබුරු මහරු ගුණසරු පිළිවෙත් ගැඹුරු

අධ්‍යාපනය සහ භාෂා, සාහිත්‍යික, සාමයික සේවය[සංස්කරණය]

රාහුල හිමියන්ට එවක ලබාගත හැකි ඉහළ ම මට්ටමේ අධ්‍යාපනයක් ලබා දීමට පැරකුම්බා රජු උත්සුක වූ බව පෙනේ. එහිමියන්ගේ ගුරුවරයා කවරක් ද යන්න ගැන පැහැදිලි සඳහනක් හමු නොවෙතත් ඒ වීදාගම මහාස්ථවිර නමින් ප්‍රකට වූ හිමිනමක් බව අනුමාන කෙරේ. මේ වීදාගම හිමියන් බුදුගුණ අලංකාරය ලියූ වීදාගම හිමියන් නො වේ.

සංස්කෘත, ප්‍රාකෘත, මාගධී, අපභ්‍රංශ, පෛශාචි, ශෞරසේනී යන භාෂා හයෙහි පරතෙරට පත් වූ හෙයින් ෂඩ්භාෂා පරමේශ්වර යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වනු ලැබූහ. තව ද මාහිමි නමැති සංඝරාජ පදවිය ද තොටගමුව විජයබා පිරුවනෙහි අධිපතීත්වය ද ඉසිළූ රාහුල හිමියෝ දේශීය මෙන් ම විදේශීය සිසුනට ද අධ්‍යාපනය ලබා දෙමින් සවැනි පැරකුම්බා රජුන්ගේ රාජ කාලය පුරා ම ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළහ. රාහුල හිමියන්ගේ බොහෝ කෘති ලියැවුනු වර්ෂ සඳහන් ව ඇත්තේ ද පැරකුම්බා රජුගේ රාජප්‍රාප්තියේ පටන් ගණන් බලමිනි.

එසේ වුව ද සවැනි පැරකුම්බා රජුගේ අභාවයෙන් පසු රාහුල හිමියන් රටේ ප්‍රධාන පෙළේ සාමයික හා ශාස්ත්‍රීය කටයුතුවලින් ඉවත් ව සිටි බවක් පෙනේ. උපසම්පදාව ලබනු පිණිස ලංකාවට පැමිණි බුරුම භික්ෂූන් උදෙසා පැවැත්වූ උපසම්පදා උළෙලට සහභාගී වූ නායක හිමිවරුන් අතර රාහුල හිමියන්ගේ නම සඳහන් නො වීම මේ අනුමානය සනාථ කරන අවස්ථාවකි.

අපවත් වීම පිළිබඳ ජනප්‍රවාද[සංස්කරණය]

සවැනි පැරකුම්බා රජුගෙන් පසු සිහසුනට පත් උලකුඩය දේවියගේ පුත් ජයවීර පරාක්‍රමබාහු රජු ඝාතනය කළ සපුමල් කුමරු ශ්‍රී භුවනෙකබාහු නමින් රජ බවට පත් වූ පසු රාහුල හිමියන් පිළිබඳ කිසිදු වාර්තාවක් අසන්නට නොලැබේ. කළකිරුණු සිත් ඇති රාහුල හිමියන් පිරුවන්වාසය හා රාජසභා ආශ්‍රය අතහැර පස්දුන් කෝරළේ ඉඳුරුගල නම් පර්වතයක වූ ගල් ලෙනක වාසය කළ බව ද මරණාසන්න කාලයෙහි සිද්ධාලෝක නම් ඖෂධයක් වළඳා මෘත ශරීරය නොදිරන ලෙස සලස්වා අපවත් වූ බව ද කලක් නොදිරා පැවතුණු දේහය පෘතුගීසීන් විසින් ගෝවට ගෙන යන ලද බව ද ජනප්‍රවාදයෙහි එයි:

"සතුරු සිංහල සාවියර් සෙන්පතිහු යුදයට පත් වතාවේ
ඉඳුරු ගල ගල් ලෙනේ යක් සෙන් අරග්ගනිමින් තිබු මනාවේ
අතුරු අවුරුදු දහස් ගණනක් පවතිනුව කළ මතුරු ජීවේ

මහරු රාහුල තෙරිඳුගේ මළ සිරුර ගෙන ගොස් තැබිය ගෝවේ"

කෘති[සංස්කරණය]

රාහුල හිමියන් මුලින් ම රචනා කළ කෘතිය වශයෙන් අද ඉතිරි ව තිබෙන්නේ පරෙවි සන්දේශය නමැති කෘතිය යි. ඉන් පසු කාව්‍යශේඛරයසැළලිහිණි සන්දේශය ද රචනා කෙරිණි. මෙයින් පළමුවැන්න හා තෙවැන්න සන්දේශ කාව්‍ය හෙවත් දූත කාව්‍ය ගණයට අයත් වේ. අවසාන භාගයේ ලියන ලද මොග්ගල්ලානපංචිකාප්‍රදීපය නමැති කෘතිය, මොග්ගල්ලානපංචිකා හෙවත් මොග්ගල්ලාන ව්‍යාකරණය නමින් ප්‍රකට පාළි ව්‍යාකරණ ග්‍රන්ථයට සම්පාදනය කෙරුණු අර්ථ ව්‍යාඛ්‍යාවකි. ඉන් පසු පදසාධන නමැති පාළි ව්‍යාකරණ කෘතිය වෙනුවෙන් සිංහල බසින් ලියූ අර්ථ විවරණයක් වූ බුද්ධිප්පසාදිනිය රචනා කරන ලදි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ගම්ලත්, සුචරිත, මෙමියුරු පදැති සැළලිහිණිය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ. 1995. 14 පිටුව
  2. ගම්ලත්, සුචරිත, මෙමියුරු පදැති සැළලිහිණිය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ. 1995. 15-16 පිටු
  3. සේනානායක, ජී. එස්. බී. සැළලිහිණි සන්දේශය, ප්‍රදීප ප්‍රකාශකයෝ, කොළඹ, 2006, 8 පිටුව

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

සැළලිහිණි සන්දේශය