අජිත් තිලකසේන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

අපිත් තිලකසේන (1933) යනු ප්‍රමුඛ සිංහල කෙටිකතාකරුවෙකි. කෙටිකතාකරණයට අමතර ව සංයුක්ත කවි පොත් කිහිපයක් ද, තිරනාටකයක් ද නාට්‍ය පිටපත් හා වෙනත් සමාජ දේශපාලන විමර්ශන කෘති කිහිපයක් ද රචනා කර ඇති තිලකසේන සිංහල ලේඛනයේ පරිණාමය හා අනාගත හැඩගැස්ම විෂයයෙහි ඉමහත් උනන්දුවක් ප්‍රකට කළ විද්වතෙක් ද වෙයි.[1]කේ. කේ. සමන් කුමාර අජිත් තිලකසේන, ටෙනිසන් පෙරේරා, සයිමන් නවගත්තේගම සිංහල සාහිත්‍යයේ නූතනවාදී ත්‍රිත්වය ලෙස හදුන්වයි. [2]

ජීවන තොරතුරු[සංස්කරණය]

හෙතෙම කලක් සිංහල භාෂාව උගන්වන පාසල් ගුරුවරයකු වශයෙන් කටයුතු කරන ලදී. [තහවුරු කරන්න]

කෙටිකතා[සංස්කරණය]

සිංහල කෙටිකතා කලාව විප්ලවීය වෙනසකට ලක් කළ සාහිත්‍යකරුවෙක් ලෙස අජිත් තිලකසේන විචාරක අවධානට පාත්‍ර වී තිබේ. ඔහුගේ කෙටිකතා තුළ සුවිශේෂී ආකෘතික වෙනස්කම් දක්නට ලැබේ. [3] ඔහුගේ බොහෝ කෙටිකතා තුළ දෙබස්[3], චරිතවල හැසිරීම් සහ සිද්ධි දක්වා ඇත්තේ විකාරරූපී ලෙස ය. තාර්කික සම්බන්ධයකින් තොර ව ය. ඔහුගේ කෙටිකතාවල සිදුවීම් අතර ගැලපීමක් හෝ සංවිධානය වූ කථා පුවතක් දැකිය නොහැක.[තහවුරු කරන්න]"සම්මත කෙටිකතා ව්‍යුහය, රචනා ශෛලිය හා භාෂා භාවිතය ප්‍රතික්ෂේප කළ අසම්මත කෙටිකතාකරුවකු" ලෙස අජිත් තිලකසේන ව හදුන්වන මහාචාර්ය කුලතිලක කුමාරසිංහ, "සම්මතය අභියෝගයට හසුකරන අත්දැකීම් හා කලා ආකෘති" ඔහුගේ සතුරෝ, සුන්නද්දූලි, රාත්‍රියේ පූර්වභාගය වැනි කෙටිකතා සංග්‍රහ තුළින් දැකගත හැකි බව පවසයි. [4] මේ කෙටිකතා මධ්‍යම පාංතික සුඛෝපභෝගී ජීවිතය විෂය කරගෙන තිබේ. [4]

දීප්ති කුමාර ගුණරත්න පවසන පරිදි අජිත් තිලකසේන සිය කෙටිකතා තුළ ඇරිස්ටෝටලියානු රේඛීය කථා වින්‍යාසය බැහැර කර ඇත. [5]"ඔහු සිය ආත්ම ප්‍රකාශනය සදහා ජාතික උපමා කතා භාවිතා කරන්නේ නැතැ" යි හෙතෙම පවසයි. කේ. කේ. සමන් කුමාර පවසන පරිදි පාරප්‍රබන්ධමය ලක්ෂණ "පළමුවෙන් ම සවිඥානක ව යොදාගත් සිංහල ලේඛකයා අජිත් තිලකසේන" ය. [6]වරක් පුවත්පතකට සමුමුඛ සාක්ච්ඡාවක් ලබා දෙමින් අජිත් තිලකසේන පවසා තිබුණේ "මට තිබෙන්නෙ කියන ආකාරයක් පමණයි. මම කියන දේවල් වැදගත් නැහැ යනුවෙනි.” ඔහු සිය කෙටිකතාවල තේරුම සොයන්නන් ව උපහාසයට ලක් කර තිබුණේ "ගලන මුහුදු රැල්ලක, ගලා හැලෙන දිය ඇල්ලක සෞන්දර්යයක් තිබුනත් එහි ඇති 'තේරුම' කුමක් ද?” විමසමිනි.[3]

පාර දිගේ[සංස්කරණය]

අජිත් තිලකසේන විසින් ලියන ලද සිනමා තිර රචනයක් වූ මෙය අධ්‍යක්ෂණය කෙරුණේ ධර්මසේන පතිරාජයන් විසිනි.මෙහි කේන්ද්‍රීය චරිත වන්නේ රථවාහන සීසර්වරයකු වන චන්දරේ නම් චරිතයක් සහ ලිපිකාරිනියන් ලෙස කටයුතු කරමින් කොළඹ බෝඩිම් ජීවිත ගත කරන ඔහු සමග හිතවත්කමක් ඇති තරුණියන් දෙදෙනෙකුත් ය. ඔවුන්ගෙන් අයෙක් චන්දරේගේ පෙම්වතිය යි. තමා වෙතින් පෙම්වතිය ගැබ්ගැනීම හේතුවෙන් ගැබ හෙළීම සදහා ශල්‍යකර්මයට රුපියල් තිස්තුන් දහසක් එකතු කර ගැනීමට චන්දරේට සිදු වේ. මුළු මුදලට ඉතා ආසන්න ව තිබිය දී ඉතිරිය සපයා ගැනීමට සූුදු කෙළියේ යෙදෙන ඔහු ඉන් පරාද වීමත් සමග දරුගැබ විනාශ කිරීම වෙනුවට ඇය ව විවාහ කරගැනීම තෝරාගනී.

ලේඛන රීතිය[සංස්කරණය]

නූතන ලෝකයේ මුද්‍රණ අවශ්‍යතාවයන්ද, පොදුජන පහසුවද පිණිස සිංහල භාෂාවේ අක්ෂර මෙන් ම වියරණයද නවීකරණය විය යුතු බව හෙතෙම පවසයි. ඒ අනුව මූර්ධජ ණ, ළ, ෂ අක්ෂර අත්හැරීමටත්, දීර්ඝ ඊ ශබ්දය වෙනුවට ඉ අක්ෂරයට හල් කර යෙදීමටත්, පිළි සමරූපකරණයටත් (ක් වැනි අක්ෂරවල යෙදෙන හල්කිරීම සහ නු වැනි අක්ෂරවල යෙදෙන පාපිල්ල අන් සියලුම අක්ෂර උදෙසාද යොදාගැනීම) ලේඛන ව්‍යාකරණය බැහැර කර කථාකරන භාෂාවේ වියරණය ලේඛනය සදහා ද යොදාගැනීමටත් හෙතෙම යෝජනා කරයි. මෙම ලේඛන රීතිය තිලකසේනයන් සිය ලේඛන තුළ යොදාගනු දකිත හැකි ය. භාෂාව නවීකරණය පිළිබද මේ අදහස බොහොමයක් සිංහල වියතුන්ගේ විවේචනයට ලක් වී ඇත.එහෙත් එසේ නොකිරීම නූතන ලෝකය තුළ සිංහල භාෂාව වියැකී යාමට හේතු විය හැකි බව තිලකසේනගේ මතය යි.

තිලකසේනයන්ගේ මෙම අක්ෂර රීතියට අනුකූල ව එෆ්. එම්. තිලක නමින් අකුරු මෝස්තරයක් ද මුද්‍රණාක්ෂරවේදී පුෂ්පානන්ද ඒකනායක විසින් නිපදවනු ලැබ ඇත.

අජිත් තිලකසේනගේ කෘති[සංස්කරණය]

කෙටිකතා[සංස්කරණය]

  • සතුරෝ (1960)
  • පිටුවහල් කර සිටියදී (1964)
  • සුන්නද්දූලි (1970)
  • රාත්‍රියේ පූර්ව භාගය (1976)
  • සුබ රාත්‍රියක් අහවරයි (1984)
  • සාදය (1992)
  • වන්දනාව (1996),
  • සුසුම සහ පීඩාව
  • අරුනැල්ල වැටෙනකොට විතර (2004)
  • පස් වසරක් (2010)

සංයුක්ත කවි[සංස්කරණය]

මල් වැනි ගල් (1978) රැලි සුලි (1991) මාරියාව (2008) ඒ එලඹෙන අගෝස්තුව (2015)

ශාස්ත්‍රීය[සංස්කරණය]

  • අදට ඔබින බස (1997)
  • නව සිංහලය නව අකුරු
  • මැදිවහර අත්පොත
  • නව ලේඛන රීතිය

නාට්‍ය පිටපත්[සංස්කරණය]

  • මද විරාමය (1995)

තිර නාටක[සංස්කරණය]

  • පාර දිගේ (1985) (මෙම චිත්‍රපට ධර්මෙස්න පතිරාජ විසින් අධ්‍යක්ෂණය කරන ලදි).

වෙනත්[සංස්කරණය]

  • සංස්කෘතික කාන්තාරයක් කරා (1987)
  • ජාතික අර්බුදය ආශ්‍රිත ප්‍රශ්න සමහරක් (1995)
  • භාශා අර්බුදයේ ගමන් මග (1998)

ආශ්‍රිත නාමාවලිය[සංස්කරණය]

  1. තිලකසේන අජිත්. නව ලේඛන රීතිය. ගොඩගේ ප්‍රකාශන.
  2. මිහිදුකුල, සුනිල්. මම ඉතිං ජීවත් වෙන්න මේසන් බාස්ලා වගෙ එක එක වැඩ කරනවා - කේ. කේ. සමන් කුමාර. විවරණ. 2017 ඔක්තෝම්බර් 5
  3. 3.0 3.1 3.2 අජිත් තිලකසේන - කෙටි විමසුමක්. 'බූන්දි' වෙබ් අඩවිය. 2009 මාර්තු 03. සම්ප්‍රවේශය - 2019. 09. 10.
  4. 4.0 4.1 කුමාරසිංහ, කුලතිලක. කේ. කේ. සමන් කුමාරගේ කෙටිකතා. සාහිත්‍යය උත්සව විශේෂ කලාපය, 2008. (සමන් කුමාර, කේ. කේ., සර්පයකු හා සටන් වැද. තෙවන මුද්‍රණය. 2014. සයුර ප්‍රකාශන. පි. 105-138 හි උපග්‍රන්ථයක් ලෙස යොදා ඇත.)
  5. කුමාර ගුණරත්න, දීප්ති. පසුවදන: සර්පයකු හා සටන් වැද. ඇත්තේ : සමන් කුමාර, කේ. කේ., සර්පයකු හා සටන් වැද. තෙවන මුද්‍රණය. 2014. සයුර ප්‍රකාශන. පි. 65-104
  6. සමන් කුමාර, කේ. කේ. (2014). සාහිත්‍ය ෂානර විමංසා. සයුර ප්‍රකාශන. පිටු 47. ISBN 978-955-4788-08-4. "මෙම ගූණාංගයන් සවිඥාණකව සිය මෙහෙයට ගත් එකම සිංහල ලේඛකයා අජිත් තිලකසේන පමණි. අනෙකුන් තවමත් රේඛීය කතාන්දරයේ ඒකීය බව පිළිබද සිහින දකිමින් සිටිති. එහෙත් ලෝකය රේඛීයවත් ඒකීයවත් නොවේ. එය රාජ්‍යයේ, ධනවාදයේ කුරිරු සිහිනයයි." 
"https://si.wikipedia.org/w/index.php?title=අජිත්_තිලකසේන&oldid=441802" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි