ටෙනිසන් පෙරේරා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ටෙනිසන් පෙරේරා යනු ශ්‍රී ලංකාවේ සිටින කෘතහස්ත ලේඛකයෙකි. කෘති සියයකට අධික ගණනක්[1] ලියා තිබෙන ඔහු ප්‍රවීණ කෙටිකතාකරුවෙක්, නවකතාකරුවෙක් සහ පරිවර්තයෙක් ද වෙයි. නව සාහිත්‍ය ප්‍රවණතා මෙරටට හදුන්වා දීමට මුල් වූ ලේඛකයන් අතර ප්‍රමුඛයෙක් ලෙස සැලකෙන ඔහුගේ මුල්කාලීන කෘති ආගමික සංස්ථාව, ජාතිවාදය, ධනේශ්වර සමාජය නිර්දය විවේචනයකට හසු කරයි. කේ. කේ. සමන් කුමාර තමන් විසින් සිංහල සාහිත්‍යයයේ නූතනවාදී ත්‍රිත්වය වශයෙන් හදුනා ගන්නා ලේඛකයන් අතරට සයිමන් නවගත්තේගම සහ අජිත් තිලකසේන සමග ටෙනිසන් පෙරේරා ද ඇතුළත් කරයි.[2]

වයස 18දී උත්තරීතර සඳඑළිය කෙටිකතා සංග්‍රහය පළකරමින් සාහිත්‍ය ලෝකයට[3] පිවිසෙන ඔහු 1967 වසරේ දී දැති රෝදෙන් උපන් බුදුන් නම් ආන්දෝලනාත්මක කෙටිකතා සංග්‍රහය රචනා කිරීමෙන් ප්‍රසිද්ධියට පත් විය. කාර්මික බුදුවරයකු ලාංකීය සමාජයට ඇවැසි ය යන අදහස දෙමින් ලියැවුණු එය රජය විසින් තහනම් කෙරුණි.[4]මෙය ලංකාවේ තහනමකට ලක් වූ මුල් ම කෘතිය යි. ඔහුගේ බොහොමයක් කෙටිකතා සහ නවකතා තුළ අධිතාත්විකවාදී සහ මායායථාර්ථවාදී ලක්ෂණ දැකගත හැකි ය.

ජීවන තොරතුරු[සංස්කරණය]

1940 පෙබරවාරි 2 දින[3]කැලණියේ දී[5]උපත ලැබී ය. එකල කුඩා බුත්ගමුවේ පිහිටි (අද කුමර විදුහල නමින් හැදින්වෙන) රජයේ ඉංග්‍රීසි මිශ්‍ර පාඨශාලාවෙන් ඉගෙනුම ලැබී ය.[1] උසස් පෙළ සදහා දර්ශනය විෂය හැදෑරූ[6]හෙතෙම පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් එම විෂය සදහා බාහිර උපාධියක් ලබා ගත්තේ ය.[තහවුරු කරන්න] රජයේ මුද්‍රණාලයේ ආධුනිකයකු වශයෙන් වෘත්තීය ජීවිතය ඇරඹී ය.[6] කොමියුනිස්ට් පක්ෂයේ චීන පිළේ සාමාජිකයෙකු ලෙස වාමාංශික දේශපාලනයෙහි ද නිරත විය.

සාහිත්‍ය කෘති[සංස්කරණය]

ටෙනිසන් පෙරේරා සිය නිර්මාණවලට පාදක කරගත්තේ සමාජයේ පීඩිත ව සිටින සාමාන්‍ය පංතියේ ජනතාවගේ ජීවිතයයි.[7] "ජීවන පුරුෂාර්ථ හා උදර පෝෂණය අතර අරගලය ටෙනිසන් තරම් ගැඹුරින් නූතනවාදී සාහිත්යික ලක්ෂණ උපයෝගී කරගෙන නිරූපණය කළ වෙනත් ලේඛකයෙකු නොමැති තරම්" යැයි මහාචාර්ය කුලතිලක කුමාරසිංහ පවසයි.[7] කේ. කේ. සමන් කුමාර සයිමන් නවගත්තේගමගේ කෘති ඇසුරින් හදුනාගන්නා බෞද්ධ දර්ශනය ඇසුරු කරගත් ශ්‍රී ලංකාවට ම උරුම වූ පශ්චාත් නූතන සාහිත්‍යය ප්‍රවර්ගයක් වන බෞද්ධ ප්‍රඥා මාර්ගික සාහිත්‍යයට ටෙනිසන්ගේ සක්වල දඩයම කෘතිය ද අයත් වන බව ඔහු පෙන්වා දේ.[8]ටෙනිසන්ගේ සක්වළ දඩයම නවකතාවේ සහ සයිමන්ගේ කෘති අතර සමානතා නිරීක්ෂණය කරන සමන් කුමාර මහා විහාරික ථෙරවාද මහාවංශ ඉතිහාස විවරණය ඉක්මවා යෑමට උත්සහ කිරීම, හීනයාන බෞද්ධ සංකල්ප වෙනුවට මහායාන බුදුදහම කරා යොමු වීම සහ හීනයානික ශ්‍රද්ධා මාර්ගය වෙනුවට මහායානික ප්‍රඥා මාර්ගය කරා යොමුවීම වැනි සිය නිරීක්ෂණ ඊට නිදසුන් ලෙස දක්වයි.[8]

ටෙනිසන් පශ්චාත් යටත්විජිත ප්‍රවේශයකින්[9] යුතු මෙන් ම උපහාසය අතිවිශිෂ්ට ව භාවිත කළ[10] ලේඛකයෙකු ද වේ.

දැතිරෝදෙන් උපන් බුදුන්[සංස්කරණය]

ඔහු සිය දෙවන කෙටිකතා සංග්‍රහය වන දැති රෝදෙන් උපන් බුදුන් ප්‍රකාශයට පත් කළේ 1967 වසරේ දී ය. ලාංකික සමාජයට කාර්මික බුදුවරයෙක් ඇවැසි ය යන අදහස දෙමින් ලියැවුණු එය පවතින ධනේශ්වර සමාජය සහ ආගමික සංස්ථාව දැඩි විවේචනයකට හසුකරන්නක් විය. බෞද්ධ සමිති සම්මේලනය වෙනුවෙන් ලීලානන්ද කල්දේරා නම් අය කළ පැමිණිල්ලක් මත එම කෘතිය ලිවීමෙන් බුදුදහමට අපහාස කළ බව පවසමින් පොලීසිය විසින් ටෙනිසන් පෙරේරා ව අත්අඩංගුවට ගැනුණු අතර කොටුව රහස් පොලීසියට ගෙන යන ඔහු ව එහි දී නිළධාරීන් විසින් ප්‍රශ්න කිරීමට ලක්විය.[4] පසුව කෘතිය රජය විසින් තහනම් කළ අතර වෙළදපොළේ තිබූ එහි පිටපත් සියල්ල මුද්‍රා තැබුණි. ටෙනිසන් පෙරේරා සතු ව තිබූ ඉතිරි පිටපත් සියල්ල ද රාජසන්තක කෙරුණි.[4]ඔහු කොමියුනිස්ට් පක්ෂයේ චීන පිළේ පෙළඹවීම මත එම කෘතිය ලියන්නට ඇතැ යි යන්න පැමිණිලිකරුවන්ගේ විශ්වාසය විය. [4]

ටෙනිසන්ගේ නිර්මාණවලට නිතරම වාගේ විෂය වී ඇත්තේ සමාජයේ පීඩිත පංතිවල අත්දැකීම් බව දක්වන මහාචාර්ය කුලතිලක කුමාරසිංහ ටෙනිසන් පෙරේරා "දැති රෝදෙන් උපන් බුදුන් කෘතියෙන්” ඉතා "නිර්දය ස්වරූපයකින් සම්මතය කඩා සුණු විසුණු කොට - මේඝ ගර්ජනා කරන ස්වරයකින් අත්දැකීම් විවරණය" කළ බව පවසයි.[7]

ලෝක සාහිත්‍ය කියැවීම, දර්ශනය හා මාක්ස්වාදය හැදෑරීම වෙතින් පෘථුල වූ චින්තනයේ භාව ප්‍රකාශනයක් විදියට තමයි මේ පොත එළිදකින්නේ. සමාජය පිළිබඳ ආගමික සංස්ථා පිළිබඳ මා තුළ තිබුණු කැකෑරෙන විරෝධය, විවේචනය හා පිළිකුල මේ පොතෙන් හොඳහැටි පේනවා.[6] - ටෙනිසන් පෙරේරා

දුට්ඨගාමිණී නොමළ වගයි[සංස්කරණය]

සක්වළ දඩයම[සංස්කරණය]

ටෙනිසන්ගේ සක්වළ දඩයමට විෂය වන්නේ බුදුවරියක් වීමට පෙරුම් පුරන බෝසත්වරියක් පිළිබද කථාවකි. ඔහු එය සිංහලයන්ගේ සම්භවය ගැන කිවෙන සිංහබාහු, විජය-කුවේණි පුවත් සමග බද්ධ කරමින් පුරාකෘතික තලයක ඉදිරිපත් කරයි. දේවසභාවේ පුරුෂාධිපත්‍යයට එරෙහි ව තමා විසින් බිහිකරන බෝසත්වරියක් අනාගතයේ බුදුබවට පත්කරවන බවට අඥ්ඥතරා අභියෝග කරයි. අඥ්ඥතරා යනු මහායාන පීතෘ දේවතා සංකල්පයකි. අඥ්ඥතරාගේ මේ බලාපොරොත්තුව ඉටුකිරීමට නියමිත වන්නේ පද්මි නම් බෝසත්වරියයි. බුදුබව ලබාගැනීමේ පූර්වඅවශ්‍යතාවයක් ලෙස ඇය පුරුෂ ශුක්‍ර එක්රැස් කරගත යුතු වෙයි. ඇයගේ ආරක්ෂාව සැපයීම බාරවන්නේ විජයට ය. නමුත් විජය සමග කාම පාශයේ ගැලීම නිසා පද්මිට බුදුබව අහිමි වේ.[11]

මෙමගින් ටෙනිසන් 90 දශකය මුල ශ්‍රී ලංකාවේ මතු වූ ස්ත්‍රීවාදී ව්‍යාපාරය ගැන පවසන බව සමන් කුමාරගේ මතයයි.[12]

කෙටිකතා[සංස්කරණය]

  • උත්තරීතර සඳඑළිය (1958)
  • දැති රෝදෙන් උපන් බුදුන් (1967) - වාරණය වී ඇත.
  • රතු බැනරය
  • නිදහසේ දරුවාගේ උමතු කතාව
  • ඔව් නගරයෙන් නෑ නගරයට
  • මහගෙදර නිධානය
  • ඉන්ද්‍රජාල කතන්දර
  • වෛවර්ණ
  • අසිරිමත් වැඩබිම (රාජ්‍ය සාහිත්‍යය සම්මාන)
  • වීරබිමේ කළබැගෑනිය (2012)

නවකතා[සංස්කරණය]

  • දුට්ඨගාමිණී නොමළ වගයි (1968)
  • සත්‍යවාදීන්ගේ මරණ මංචකය
  • අග්නි කල්පය
  • සක්වල දඩයම
  • මම චක්‍රවර්ති
  • මම වෙස්මාරු කරගෙන
  • රාජාභරණ
  • ගින්නෙන් නැගෙන දුම්
  • භවාන්තරය (ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ විය)
  • අබිරහස් ජීවිත තරණය (ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ විය)
  • සසර දිගන්තය
  • මහා රාවණා (ෆෙයා වේ සම්මානය)
  • එකොලොස් ගිනි
  • දණ්ඩභූමි
  • සූරිය කන්ද පාමුල

පරිවර්තන[සංස්කරණය]

  • නඩු යන්නෝ (ෆ්‍රාන්ස් කෆ්කාගේ the Trial නවකතාවේ සිංහල පරිවර්තනයකි)
  • රූපාන්තරණය (ෆ්‍රාන්ස් කෆ්කාගේ metamorphosis නවකතාවේ සිංහල පරිවර්තනයකි)
  • අරාබි නිසොල්ලාසය
  • ප්‍රේමය සහ තවත් යක්කු

ආශ්‍රිත නාමාවලිය[සංස්කරණය]

  1. 1.0 1.1 පෙරේරා, කමල්.පන්හිඳක් සමඟ හැට වසරක්. දිනමිණ. 2017 ජනවාරි 31
  2. මිහිදුකුල, සුනිල්. මම ඉතිං ජීවත් වෙන්න මේසන් බාස්ලා වගෙ එක එක වැඩ කරනවා - කේ. කේ. සමන් කුමාර. විවරණ. 2017 ඔක්තෝම්බර් 5
  3. 3.0 3.1 http://www.godage.com/authors/english-book/133-tennyson-perera.html
  4. 4.0 4.1 4.2 4.3 වික්‍රමසිංහ, සහන් කසීර. ආගමික ත්‍රස්තවාදය සහ සාහිත්‍යය. සමබිම. 2018. ඔක්තෝම්බර් 10
  5. සුබසිංහ, මනෝලි. පරිකල්පනයෙන් තොර නිර්මාණ බංකොලොත්: ප්‍රවීණ සාහිත්‍යධර ටෙනිසන් පෙරේරා. ලිවිසැරිය. දිනමිණ
  6. 6.0 6.1 6.2 මිහිදුකුල, සුනිල්. සිංහල නවකතාව දරදඬුයි; අනම්‍යයි . සිළුමිණ. 2017 පෙබරවාරි 4
  7. 7.0 7.1 7.2 කුමාරසිංහ, කුලතිලක. "කේ. කේ. සමන් කුමාරගේ කෙටිකතා”. සාහිත්‍යය උත්සව විශේෂ කලාපය, 2008. (සමන් කුමාර, කේ. කේ., සර්පයකු හා සටන් වැද. තෙවන මුද්‍රණය. 2014. සයුර ප්‍රකාශන හි උපග්‍රන්ථයක් ලෙස යොදා ඇත. පි. 105-138)
  8. 8.0 8.1 සමන් කුමාර, කේ. කේ. (2014). "බෞද්ධ ප‍්‍රඥා මාර්ගික සාහිත්‍යය". සාහිත්‍ය ෂානර විමංසා. සයුර ප්‍රකාශන. පිටු 171-172. ISBN 978-955-4788-08-4. https://cybersarpaya.blogspot.com/2012/03/blog-post_18.html?fbclid=IwAR2wv1vpndkXL-rxLytqsBLgw5yVvvynYHqnd0ev0mq7HB76A53xYnnf5m8. 
  9. සමන් කුමාර, කේ. කේ. (2014). සාහිත්‍ය ෂානර විමංසා. සයුර ප්‍රකාශන. පි. 127. ISBN 978-955-4788-08-4. 
  10. සමන් කුමාර, කේ. කේ. (2014). සාහිත්‍ය ෂානර විමංසා. සයුර ප්‍රකාශන. පි. 130. ISBN 978-955-4788-08-4. 
  11. සමන් කුමාර, කේ. කේ. (2007). සිංහල ජාතියේ වංශකතාව, සංසාරණ්‍යය සහ සයිමන් නවගත්තේගම. කර්තෘ ප්‍රකාශන. ISBN 9789551823009. 
  12. සමන් කුමාර, කේ. කේ. (2014). "බෞද්ධ ප‍්‍රඥා මාර්ගික සාහිත්‍යය". සාහිත්‍ය ෂානර විමංසා. සයුර ප්‍රකාශන. පි. 173. ISBN 978-955-4788-08-4. https://cybersarpaya.blogspot.com/2012/03/blog-post_18.html?fbclid=IwAR2wv1vpndkXL-rxLytqsBLgw5yVvvynYHqnd0ev0mq7HB76A53xYnnf5m8. 
"https://si.wikipedia.org/w/index.php?title=ටෙනිසන්_පෙරේරා&oldid=442578" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි