සිංහල නවකතාව

විකිපීඩියා වෙතින්

ආරම්භක අවධිය[සංස්කරණය]

පෘතුගීසි ජාතිකයන් විසින් මෙරටට සමාජයට කඩදාසියත් 1737 දී ලන්දේසීන් විසින් මෙරටට මුද්‍රණ ශිල්පයත් හදුන්වා දුන් අතර ඉංග්‍රීසි යටත්විජිත යුගයේ දී මේවා ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරයට යොදාගැනීම; මෙතෙක් මෙරට ජනයා පුරුදු ව සිටි භික්ෂුවක් හෝ උගත් ගිහියකු විසින් පන්සලේ බණමඩුවේ දී පුස්කොල පොතක් බලාගෙන කී කතාවකට සවන් දීම වෙනුවට කියවීමේ සංස්කෘතියක් බිහිකිරීමට හේතු විය.[1] ක්‍රිස්තියානි මිෂනාරි ව්‍යාපාරය විසින් මෙන් ම ඊට ප්‍රතිචාර ලෙස සිංහල-බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය විසින් ද ඇතිකරන ලද පුවත්පත් ද නව සාහිත්‍ය කෙරෙහි මාධ්‍යයක් සහ තල්ලුවක් සපයන ලදී. විශේෂයෙන් ම බටහිර ප්‍රබන්ධ කතාවල පරිවර්තන මේවායෙහි කොටස් වශයෙන් පළ කෙරුණි. ඇතැම් නවකතා ද මුල්වරට පළ කෙරුණේ පුවත්පත්වල කොටස් වශයෙනි. භාෂාව පොදුජන සාහිත්‍යයකට සරිලන පරිද්දෙන් සුඛනම්‍ය කිරීම ද මෙකල පුවත්පත්වලින් ඉටු වූ තවත් සේවයක් විය. 1860 දී පළමු සිංහල පුවත්පත වූ ලංකාලෝකය මුද්‍රණය කෙරුණු අතර අනතුරුව 1960 දී ලක්මිණි පහණ පුවත්පත බිහිවිය. 1864 දී ලක්මිණි පහණ පුවත්පතේ "කථාවක්” යන සිරස්තලය යටතේ "අපේ පත්‍රයේ ඉඩ ප්‍රස්තා ලැබෙන හැටියට අන්‍ය භාෂා පොත්පත්වලින් කියවීමට මිහිරි වූ කථා ප්‍රබන්ධ සිංහල භාෂාවට හරවා ප්‍රසිද්ධ කරන්නෙමු" යැයි සදහන් කර තිබුණි. ඒ. ඩී. ජයසූරිය විසින් ජියොවන්නි බොකෑෂියෝගේ ඩිකැමරන් කෘතිය දස දවස මැයෙන් සිංහලට පරිවර්තනය කර ලක්මිණි පහන පත්‍රයේ කොටස් වශයෙන් පළ කරන ලදී.[1]

ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපන හේතුවෙන් ඉංග්‍රීසි උගත් ලාංකික ලේඛකයෝ බටහිර සාහිත්‍ය කෘති පරිශීලනය කළහ. එම කථාවලද ආභාෂය ඇති ව ඔවුහු ලාංකික චරිත, පසුබිම් ඇතුළත් ව මෙරට සමාජය විග්‍රහ වන ප්‍රබන්ධ කතා රචනා කළහ. "යුරෝපීය ප්‍රබන්ධ කථාවල නොඑල්ලී යුරෝපීය උගතුන්ගේ පොතපතින් ද ප්‍රයෝජනවත් දේ ගනිමින් මේ පොත ලියන ලදී" යනුවෙන් පියදාස සිරිසේන මහා වියවුල සංඥාපනයේ කරන සදහනින් මෙය පැහැදිලි වේ. විශේෂයෙන් ම බෙන්තොට ඇල්බට් සිල්වා, පියදාස සිරිසේන, ඩබ්ලිවු ඒ. සිල්වා වැනි මුල්කාලීන රචකයන්ගේ කෘතිවල බටහිර ජනප්‍රිය ප්‍රේම කතාවල නැතොත් අද්භූත කථාවල ආභාසය දක්නට තිබේ. මුල්කාලීන සිංහල ප්‍රබන්ධ රචකයන් රචනා කළේ ප්‍රේම කතාවන් වීම නිසා එම සාහිත්‍යය ජනප්‍රියත්වයට පත්වීම මෙන් ම තරුණ පාඨකයන් දිනාගැනීමටත් හැකිවිය. පියදාස සිරිසේන, ඩබ්ලිවු ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ මුල් නවකතාකරුවන් අතරින් විශිෂ්ටතමයන් වන්නේ ඔවුන් සිංහල නවකතාවේ විෂය පුලුල් කරමින් සහ එය ජනප්‍රිය සාහිත්‍යයක් බවට පත්කරමින් කළ සේවාව නිසා ය.

1888 දී මොරටුවේ අයිසෙක් ද සිල්වා විසින් පළකළ 'වාසනාවන්ත සහ කාලකණ්ණි පවුල' සම්ප්‍රදායික සිංහල සාහිත්‍යයෙන් බිදෙමින් නූතන ප්‍රබන්ධ ලක්ෂණ පළකළ පළමු කෘතිය වෙයි. එදිරිවීර සරච්චන්ද්‍ර මෙය 'ප්‍රථම සිංහල ගද්‍ය ආඛ්‍යානය’ ලෙස නම් කළේ ය. 1866 සිට රුවන් මල්දම සගරාවේ පළ වූ මෙය දේශීය පවුල් දෙකක කතාවක් විය. බුද්ධාගම අත්හැර ක්‍රිස්තියානි ආගම වැළදගත් පවුල වාසනාවන්ත පවුල ලෙසත් බෞද්ධ පවුල විනාශයට යන ලෙසත් එහි නිරූපණය කර තිබිණ. දිගුකලක් තිස්සේ මෙරට පැවත ආ බණකතා හා ජනකතාවලට වෙනස් වෙමින් ආගමික කතා වෙනුවට සමකාලීන මිනිසුන්ගේ ජීවිතය විෂය කරගැනීම, කතුවරයාගේ අරමුණ කරා සිදුවීම් මෙහෙයවා තිබීම, පැරණි ආඛ්‍යාන ක්‍රමය වෙනුවට දෙබස් ආධාරයෙන් නාට්‍යමය ලෙස කතාව ගෙනයාම වැනි ලක්ෂණ විසින් මේ කෘතිය සිංහල සාහිත්‍යයේ හැරවුමක් සනිටුහන් කරන ලදී. පසුව මේ කෘතිය අනුකරණය කරමින් එච්. කන්නන්ගර දේවගැතිතුමන් විසින් 1876 දී "ග්‍රාම ප්‍රවෘත්තියක්: පවුල් දෙකක කතාවක්" ද රචනා කරන ලදී.[1]

මිෂනාරිවරුන් වූ පෙර රචකයන්ට වෙනස් ව බෞද්ධයෙක් වූ බෙන්තොට ඇල්බට් ද සිල්වා (1866-1918) විමලා, ආදර හසුන, සිරීබරී, වෙසක් දූතයා වැනි ප්‍රබන්ධ කතා ලියා පළකළ අතර මුල් රචකයන්ගෙන් වෙනස් ව ඔහු සමකාලීන නොවූ කල්පිත සිදුවීම් වස්තු කරගත්තේ ය. චාල්ස් ඩිකන්ස්ගේ කෘති සහ අරාබි නිසොල්ලාසය වැනි කෘති සිංහලට පරිවර්තනය කළ ඔහුගේ නවකතාවල එම කෘතිවල ආභාෂයන් දක්නට ලැබීම පුදුමයක් නොවී ය. විමලා සහ ආදර හසුන ඓතිහාසික පසුබිම් තුළ දිගහැරෙන අතර ආදර හසුන වැනි කෘතියක එන මන්ත්‍ර බලයෙන් ඇරෙන හා වැසෙන දොරවල් අරාබි නිසොල්ලාසයේ බලපෑම ප්‍රකට කරයි. වෙසක් දූතයා බුදුදහම සහ පැරණි සංස්කෘතිය පිළිබද අවබෝධයක් ලබාදෙන කෘතියක් වූ අතර සිරිබරී ප්‍රේමකතාවක් විය.

1905 දී පළ වූ අලුත්ගමගේ සයිමන් ද සිල්වා (1874-1920) ලියූ මීනා පළමු සිංහල නවකතාව ලෙස හැදින්වුවත් 1906 දී පොතක් ලෙස පළ වූ පියදාස සිරිසේනගේ ජයතිස්ස හා රොස්ලින් කොටස් වශයෙන් සරසවි සදරැස පත්‍රයේ පළවන්නේ ඊට පෙර ය. මීනා කෘතිය ඉංග්‍රීසියෙන් novel (නවකතා) ලෙසින් හදුන්වා තිබුණි. මීනා පළමු සිංහල නවකතාව ලෙස ඇතැම් විචාරකයන් විසින් හදුන්වා දෙනු ලැබීමට එහි උසස් චරිත නිරූපණය සහ මිනිස් සිත විවරණය කරන ස්වභාවය හේතු වී තිබේ. මහාචාර්ය සරච්චන්ද්‍ර පවසන පරිදි "වර්තමාන නවකතාවක නියම ස්වරූපය දරන පළමු වැනි ස්වතන්ත්‍ර රචනාව” මීනා ය. මීනා නවකතාවේ චරිත නිරූපණය උසස් තත්ත්වයක් ගන්නා බව ආචාර්ය කේ. ඩී. පී. වික්‍රමසිංහ පවසයි.[1]

පර්යේෂණාත්මක අවධිය[සංස්කරණය]

පියදාස සිරිසේන, ඩබ්ලිවු ඒ. සිල්වා සහ මාර්ටින් වික්‍රමසිංහ මුලාකාලීන ලේඛකයන් අතර සුවිශේෂ වන්නේ සිංහල ප්‍රබන්ධ සාහිත්‍යය පුලුල් කරමින් එය ජනප්‍රිය සාහිත්‍යයක් බවට පත්කළ බැවිනි.

ප්‍රබන්ධ කතා 11ක් ලියා පළකළ පියදාස සිරිසේන මුල්කාලීන ලේඛකයන් අතර ආකෘතිකමය වශයෙන් ද, ශානරමය වශයෙන් ද විවිධත්වයක් පෙන්වූ ලේඛකයෙක් වූ අතර ඔහුගේ කෘති ජනප්‍රියත්වයට ද පත්විය. ඔහු බටහිර ප්‍රබන්ධ කතාවලින් ගත් වෙස්වළාගැනීම්, පුදුමාකාර හමුවීම්, කතුන් පැහැරගෙනයාම් වැනි උද්වේගකර ජවනිකා ද ඇතුළත් දේශීය ප්‍රේමකතා රචනා කරන අතර ම සිය කතානායකයන් ලවා යටත්විජිත යුගයේ සිදු වූ සංස්කෘතික පරිහානිය පිළිබද අදහස්, විවේචන ඉදිරිපත් කිරීමට ද අමතක නොකළේ ය.සිංහල බෞද්ධ තරුණයෙකුත් කතෝලික තරුණියකුත් අතර ප්‍රේමයක් ගැන වූ ජයතිස්ස හා රොස්ලින් හි ද ජයතිස්ස සිංහල සිරිත් හා කිතුදහම ගැන පවසනදීර්ඝ දේශනා හමුවෙයි. සිංහලයන් අතර ජාති මමත්වය හා ස්වදේශ වාත්සල්‍ය ඇතිකිරීම සිය කෘතිවල අරමුණ බව ඔහු සිය මහා වියවුල කෘතියේ සංඥාපනයෙන් පැවසුවේ ය. විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය වැනි රහස් පරීක්ෂක කෘති ද රචනා කළ ඔහු කෝන්ගොඩ වික්‍රමපාල නමැති දේශීය රහස් පරීක්ෂක චරිතය යොදාගනිමින් මෙරට සමාජයත්, මිනිසුන්ගේ විෂම හැසිරීමුත් ගැන කියාපෑවේ ය. මව මියගොස් අනාථ වීම නිසා හදාගන්නා පවුලේ මෙහෙකාරියක ලෙස ජීවත් වන්නට සිදුවන ධනවත් පවුලක තරුණියක් ධනවත් තරුණයකු හා විවාහවීමෙන් ඉන් මිදෙන අයුරු කථාව කොටගත් පියදාස සිරිසේනගේ මහා වියවුල (1916) එකල ලාංකික නාගරික මධ්‍යම පන්තික සමාජය ඉංග්‍රීසි සිරිත් විරිත් අන්ධානුකරණයෙන් පත්වන අවුල නිරූපණය කරයි. [1]

1914 මාර්ටින් වික්‍රමසිංහගේ මුල් කාලීන නවකතාවක් වූ ලීලා පළවිය. මෙකල බොහෝ නවකතා මෙන් මෙය ද පෙම්කතාවක් විය. 1920 දී මාර්ටින් වික්‍රමසිංහගේ සෝමා නවකතාවත් 1921 දී අයිරාංගනී නවකතාව සහ සීතා නවකතාවත් පළ විය. පියදාස සිරිසේනට වෙනස් ව වික්‍රමසිංහගේ සුවිශේෂත්වය වූයේ ඔහු සිංහල සමාජයේ පසුගාමී යැයි පෙනුණු විශ්වාස, සිරිත් ආදිය විවේචනය කිරීම ය.

එම්. සී. එෆ්. පෙරේරා ද දුෂ්ටයන්ගේ බාධක මැද ඉදිරියට යන තරුණ පෙම්වතුන් ගැන කතා රචනා කරමින් එතුළින් සමකාලීන සමාජයේ විසූ මුදලිවරුන්ගේ දුශ්චරිතවත් දුෂ්ට ජීවිත පිළිබද තතු ද ඉදිරිපත් කළේ ය. එහෙත් ඔහුගේ චරිත නිරූපණය කලු-සුදු චරිත ලෙස ඒකපාක්ෂික වූවක් විය. මගේ කරුමෙ, මගේ පෙම්බරී, ලංකා අබිරහස්, ආලයේ ලීලය හෙවත් මළවුන් ජීවත් වීම, විනාශ වූ නෞකාව, සිරිමැදුර හා ලලිතා ඔහුගේ කෘති ය. ප්‍රසාදසිංහ (1924) සහ වයලා හෙවත් බිහිසුණු රණබිම (1925) වැනි කතා රචනා කළ හේමපාල මුනිදාස ද මෙකල ලේඛකයන් අතර කෙනෙක් විය. නවකතාව කලාංගයක් ලෙස ගොඩනගනුවට වඩා පාඨකයා ත්‍රාසජනක ලොවකට ගෙනයාම කෙරෙහි සිත යොමුකළ ඔහුගේ වයලා සිංහල තරුණයකු හා සුදු තරුණියක අතර පෙම්කතාවක් විය.

මේ අවධියේ දී රූපා අමරාවතී අලස් හා ශ්‍රීමතී අභයගුණවර්ධන වැනි නවකතා රචිකාවියෝ ද බිහි වී සිටියහ. විහාර මහා දේවී, සෝමා දේවිය වැනි ඓතිහාසික කාන්තා වීර චරිත මොවුන්ගේ කතාවන්ට විෂය විය.[1]

චිත්‍රපට ශාලා විවෘත වීමත් සමග නූර්තිය පරිහාණියට පත්වීම විසින් එවක සිටි ඇතැම් නූර්තිකරුවන් ද නවකතා රචනයට යොමුකරන ලදී. පී. ටී. පී. ප්‍රේමචන්ද්‍ර, සිරිසේන විමලවීර, ඩී. බී. සෙනෙවිරත්න, ඩී. එස්. ජේ. ඩබ්ලිවු. ගුණතිලක එවැන්නෝ ය. එම්. ජී. ජෝන් පෙරේරා දමිල සිනමා කතා ද සිංහල නවකතා බවට පත්කළහ. පිරිමි නමසිය අනූනමදෙනෙකුගේ ගෙල සිද දැමූ චින්තාමණීගේ කතාව 1938 දී චින්තාමණී හෙවත් කාමලෝක රසකැකුළ නමින් ඔහු විසින් නවකතාවට නැගීමෙන් ඒ බව පැහැදිලි වේ. [1]

මුල් රචකයන්ට වෙනස් ව ආගම ධර්මය, සමාජ ශෝධනය වැනි අරමුණුවලින් බැහැර ව නවකතා ලියූ ඩබ්ලිවු ඒ. සිල්වා සිය රසවත් කථාන්දර තුළින් සිංහල නවකතාව ඉමහත් ජනප්‍රියත්වයකට පත් කළේ ය. සමකාලීන ඉංග්‍රීසි ප්‍රබන්ධ කථාවල ආභාසය ද ලැබූ හෙතෙම නවකතාව පිළිබද සාහිත්‍යමය වශයෙන් දැනුවත් බවක් පළ කළේ ය. නවකතා රචනය පිළිබද උපදෙස් සහිත ඔහුගේ ඇතැම් ලිපිවලින් ඒ බව හෙළි වෙයි. අනන්‍යතා වෙනස් කරගෙන සිටි ඥාතීන් දෛවෝපගත ලෙස මුණගැසීම, දෛවෝපගත අවසානයන්, මුල දී නොකී ඇතැම් කරුණු පසුව හෙළි වීම වැනි බටහිර ප්‍රබන්ධ කතාවලින් ගත් ලක්ෂණ ඔහුගේ කතා තුළ දැකිය හැකි වෙයි. සිරියලතා හෙවත් අනාථ තරුණිය, හිගන කොල්ලා වැනි කථා නිදසුන් ය. මිනිසුන් පැහැරගෙන යාම, හිර ගෙවලින් පැන යාම වැනි සිද්ධිවලින් ගහණ ලක්ෂමී හෙවත් නොනැසෙන රැජිනිය (1922) රහස් පරීක්ෂක නවකතාවක් විය. ඔහුගේ කැළෑහද වැනි ප්‍රේම කතා ඉතා ජනප්‍රිය විය.

සුනේත්‍රා හෙවත් අවිචාර සමය (1936), දෛව යෝගය (1937) හා විජයබා කොල්ලය (1938) වැනි උසස් ඓතිහාසික නවකතා තුළින් ඔහු සිංහල සාහිත්‍යයට නව ශානරයක් ද හදුන්වා දුන්නේ ය. ඔහුගේ ද මේ කතා මෙන් ම තව බොහොමයක් කතා ප්‍රේමකතා විය.

කලාත්මක අවධිය[සංස්කරණය]

1944 දී පළ වූ මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය සිංහල නවකතාවේ සන්ධිස්ථානයක් විය. ඒ එය කලාත්මක නවකතාවක් මෙන් ම සමාජ පෙරළිය උසස් ලෙස නිරූපණය කිරීමක් ද වූ බැවිනි. යථාර්ථවාදී සාහිත්‍යය රීතිය සිංහල සාහිත්‍යය සමග ප්‍රබල ලෙස අත්වැල් බැදගැනීම ගම්පෙරළිය නවකතතාවෙන් පසු සිදුවිය. පැරණි වලව් පවුලක කතාව තුළින් ග්‍රාමීය සමාජය බිද වැටී ධනවාදය සමාජය ඇතිවන අයුරු ගම්පෙරළියෙන් පෙන්නුම් කළ වික්‍රමසිංහ එම චරිත සහ ඔවුන්ගේ ම ඉදිරි පරම්පරා නිරූපණය කරමින් කලියුගය හා යුගාන්තය ද රචනා කළේ ය. යුගාන්තය නාගරික ඉහළ මධ්‍යම පන්තිය විග්‍රහ කරමින් ධනවාදී සමාජය තුළින් ප්‍රගතිශීලී දේශපාලන චින්තනයකින් යුතු තරුණ පරපුරක් බිහිවීම පෙන්නුම් කරයි.[1]

සිංහල සාහිත්‍යයේ පළමු කලාත්මක නවකතාව ලෙස සැලකෙන්නේ ද ගම්පෙරළිය යි.[1] ගම්පෙරළියෙන් පසු යථාර්ථවාදී නවකතාව සමග සිංහල සාහිත්‍ය අත්වැල් බැදගත් අතර ගුණදාස අමරසේකර, ජී. බී. සේනානයක, සිරි ගුනසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, කේ. ජයතිලක, ඇරැව්වල නන්දිමිත්‍ර, ජයසේන ජයකොඩි, එරික් ‍ඉලයප්ආරච්චි, ජයතිලක කම්මැල්ලවීර ද මේ මග ම ගමන් කළෝ ය.[1]

ගුණදාස අමරසේකරගේ කරුමක්කාරයෝ (1955) නවකතාව ද ධනවාදය සහ සමාජ විපර්යාස මධ්‍යයේ ගැමි පවුලක් මුහුණදෙන අභියෝග නිරූපණය කළේ පවුල අභ්‍යයන්තරය කෙරෙහි අවධානයක් යොමුකරමිනි.

1956 දී විඥානධාරා රීතිය අනුගමනය කරමින් මාර්ටින් වික්‍රමසිංහ ලියූ විරාගය නවකතාව විචාරකයන් අතර ආන්දෝලනයක් ඇත කිරීමට ද සමත් විය. ඒ එහි වූ අරවින්දගේ චරිතයේ පරස්පර විරෝධී ස්වභාවය නිසා ය. සිය හැගීම් ක්‍රියාවේ යෙදවීමට අසමත් වන චරිතයක් වන අරවින්ද බොහෝ ලෞකික දේ අත්හැරීමට සමත් වේ. ඔහු බොහෝ අනුන්ට උදවු උපකාර ද කරයි. නමුත් ඇතැම් විට ඔහු සිය රාගය මැඩපවත්වා ගැනීමට අපොහොසත් ව අසම්මත සබදතාවන් ගෙන යයි. බොහෝදෙනා මේ චරිතය විවේචනය කළේ එය පරාජිත, අරමුණක් නැති චරිතයක් බවත් සමාජය මේ චරිතය ආදර්ශයට ගැනීමෙන් පරාජිතයන් වන බවත් කියමිනි. විශේෂයෙන් ම මිණිවන් පී. තිලකරත්න සිය ආචාර්ය උපාධි නිබන්ධනයේ මේ චරිතය හා රුසියානු නවකතාවක එන ඔබ්ලමෝෆ් චරිතයට සමාන ලක්ෂණ ඇති බව පෙන්වා දුන්නේ ය. මේ තත්ත්වය පසු ව බිහි වූ මීට සමාන ලක්ෂණ සහිත චරිත නිරූපණය කළ නවකතා පරාජිත නවකතා ලෙසත් එම චරිත පරාජිත චරිත ලෙසත් හැදින්වෙන්නට බලපෑවේ ය. අරවින්ද ලියා තැබූ ජීවිත කතාව ඔහුගේ සගයකු විසින් සංස්කරණය කර ඉදිරිපත් කරන ලෙසින් ලියැවුණු විරාගය ආකෘතික වෙනස්කමක් ද සිංහල සාහිත්‍යයට එක්කළේ ය.

නූතන අවධිය[සංස්කරණය]

ආශ්‍රිත නාමාවලිය[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 1.7 1.8 1.9 "නූතන සිංහල ප්‍රබන්ධ කථාවේ විකසනය". අ. පො. ස. (උසස් පෙළ) සදහා නිර්දිෂ්ට මළ ගිය ඇත්තෝ නවකතාව පිළිබද විමර්ශනය. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව. 2013. pp. 1–21.

මේවා ද බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_නවකතාව&oldid=493499" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි