කුමාරතුංග මුනිදාස

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉපදීම -කුමාරතුංග මුනිදාස වර්ෂ 1887 ජුලි මස විසිපස්වන දින(25) උපත ලැබීය. එය සිදුවී ඇත්තේ දික්වැල්ලේ, හිදගස් ආරේ කුමාරතුංග මුනිදාසයන්ගේ නිවසේදීයි.

කෘතීන්[සංස්කරණය කරන්න]
  • ශික්ෂා මාර්ගය
  • මඟුල් කෑම
  • හීන්සැරය
  • ප්‍රබන්ධ සංග්‍රහය
  • පහන් කටුවෙකි
  • කවි ශික්ෂාව


tiny globe
කුමාරතුංග මුනිදාස

කුමාරතුංග මුනිදාස (1887-1944) වූ කලී ශ්‍රී ලංකාවේ විසූ ප්‍රකට වාග් විශේෂඥෙයක්, අර්ථ කතාකරුෙවක්, කවිෙයක් සහ පත්‍ර කලාෙවීදිෙයක් දෙවී . ඔහු විසින් ෙහළ හවුල නම් සංවිධානය පිහිටුවා, සිංහල භාෂාව තුළ අරක් ගෙන තිබූ සංස්කෘත බලපෑම් ඉවත් කිරීමට ඉමහත් පරිශ්‍රයක් දරනු ලැබී ය.

මෙතුමන් ශ්‍රී ලංකාවේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ පඬිවරයකු ලෙස සලකනු ලබයි. ඔහු අන්‍ය සාහිත්‍යකරුවන් අතරින් විශේෂ වුයේ ඔහු තුළ පැවති අසාමාන්‍ය භාෂා ඥානයත්, නිර්මාණශීලී චින්තනය සඳහා සිංහල භාෂාව හැසිරවීමත් නිසාය. සිංහල, පාලි, සංස්කෘත භාෂා හැසිරවීමේ හසල දැනුමත් සහිත වූ මෙතුමා දමිළ, මලයාලම්, ඉංග්‍රීසි, ලතින් සහ ග්‍රීක් භාෂා හැසිරවීමේ දක්ෂෙයක් ද වුයේය.

යටත් විජිත සමයේ දී බ්‍රිතාන්‍ය බලපෑම් හේතුකොට ගෙන 19 වන ශතවර්ෂයේ මුල් භාගයේ සිටම සිංහල සාහිත්‍යයේ පිරිහීමක් දක්නට ලැබිණ. කුමාරතුංග මුනිදාස, මහගමසේකර, මඩවල එස් රත්නායක, ආදීන් සිංහල සංස්කෘතිය රැක ගැනීමට මහඟු පරිශ්‍රමයක් දැරීය.

ප්‍රථම සිංහල නවකතා රචනා වූයේ ද මේ අවධියේය. ඇල්බට් සිල්වාගේ විමලා (1892) සහ ආදර හසුන (1894) මෙම ප්‍රථම සිංහල නවකතාවලින් සමහරකි. සයිමන්ද සිල්වාගේ මීනා (1905) නමැති නවකතාවද වඩා ජනප්‍රියත්වයට පත් වූ නවකතාවකි. කුමාරතුංග මුනිදාසයන් සාහිත්‍යකරුවකුට අමතරව පර්යේෂකයකු ලෙස ශ්‍රී ලංකාවටම ආවේණික වූ සංගීත ශෛලියක් තැනීම සඳහා පර්යේෂණයන් රැසක් දියත් කළේය.

කුමාරතුංග මුනිදාසයන් තම ජීවිත කාලයේ විවිධ කාල වලදී සාහිත්‍යකරුවකු, ගුරුවරයකු, ගුරුවරු පුහුණු කරන්නකු, පාසල් පරීක්ෂකයෙකු කටයුතු කළේය.

වර්තමානයේදී ද ළමුන් අතර වඩාත් ජනප්‍රිය කෘතීන් වන ශික්ෂා මාර්ගය, මඟුල් කෑම, හීන්සැරය, ප්‍රබන්ධ සංග්‍රහය, පහන් කටුවෙකි, කවි ශික්ෂාව යනාදිය කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත කෘතීන් වේ.

ළමා සාහිත්‍යය සඳහා දායකත්වය[සංස්කරණය කරන්න]

සිංහල භාෂාව සහ සාහිත්‍ය ‍ක්ෂේත්‍රයේ එතුමා පතාක යෝධයකු බව කුමාරතුංග මුනිදාසයන්ගේ කෘති පරිශීලනයෙන් පෙනී යන්නේය. ආසාමාන්‍ය ආකෘතිමය ස්වරූපයකින් යුතු කාව්‍ය නිර්මාණ ඔහුගේ සාහිත්‍ය දිවියේ කැපී ‍පෙනෙන අංගවේ. ‘හා හා හරි හාවා’ (හාවාගේ වග කෘතියෙන්), මහ පුදුමෙකි, මලෙක මලකි, නැහැ එහි සකි, සමණළයෙකි’ (‘මල් බස්’) වැනි ඒවා ඒ සඳහා කදිම උදාහරණ වේ.

කුමාරතුංගයන් තුළ පැවති ගැඹුරු සංවේදී අදහස් ‘දරු සුරතල්’, ‘අවසාන’, ‘සොහොයුරු වියෝව’ සහ ‘මගේ වරද’ ගැන කාව්‍ය සංග්‍රහ වලින් දැකිය හැක. ‘මගේ වරද’ කෘතියේ සඳහන් වනුයේ බොරුවක් කීම සම්බන්ධව තම බාල පුතුට පහර දුන් ආකාරය පිළිබඳවයි. එය ඔහු විස්තර කරන්නේ ‍මෙසේය.

‘දරුවාගේ අනාගතේ කුසුම්
හටගන්වන්නට මයි මා තැත් කියා,
වැනසුම් හැම වත්මනේ කුසුම්’

හෙළ හවුල[සංස්කරණය කරන්න]

කුමාරතුංග මුනිදාසයන් දෙස, බස, රැස තෙරුවන් ලෙස සැලැකු අතර එය රැකැ-ගැනිමේ අරමුණින් ඇරැඹි හෙළ හවුල යනු 1941 දී ඒතුමා ගේ මුල් වීමෙන් බ්‍රිතයන්‍ය ලංකා යටත්විජිතයේ පිහිටුවන ලද ජාතික සංවිධානයෙකි. දෙස, බස, රැස යන හෙළ තෙරුවන සුරැකීම සඳහා ඇරැඹුණු හෙළ හවුල, සිංහළ බසෙහි අබිවැඩුම සඳහා විසල් මෙහෙවරක් ඉටු කළ ආයතනයෙකි. නිවැරැදි පිරිසුදු හෙළ බස නඟා-ලීම මේ ආයතනයෙහි මුල් අරමුණෙකි. තව ද හෙළ ඉතිහසෙහි සැබෑ යටගියාව ඉස්මතු කිරීම සඳහා ද හෙළ හවුලින් ඉටු වූ මෙහෙය නොපටු යැ. 1941 සිට මේ දක්වා ක්‍රියාකාරී වැ පවත්නා එක මැ සිංහළ භාෂා ගුරුකුලය ද මෙය යි. හෙළ හවුලින් බිහි වූ කිවිවරු ද පඬිවරු ද බොහෝ යැ.

"ලක්දිවට ඉතා බිහිසුණු කාලයකි.පිට රටින් සාල නැවතිණි නම් අපට කෑම නැත.පිට රටින් එන රෙදි නැවතිණි නම් අපට විළි වැස්ම නැත.පිට රටින් එන යාන නැතිනම් අපට ගමන නැත.කොටින් මැ පිට රට පිහිට නැත්නම් අපට කළහැකි කිසිවක් නැත."

(ලක් මිණි පහන් කතු වැකි_කුමාරතංග මුනිදාස)

ආනන්ද රාජකරුණා එස්.මහින්ද හිමියන් මුනිදාස කුමාරතුංග වැනි නිර්මාණශීලී නිර්මාණ කරුවන්ගේ ළමා නිර්මාණ ඉහළ මට්ටමක පැවැතුණා. ඒ අය ළමා මනසට උචිත ගීත සාහිත්‍යයක් ගොඩනැගුවා. අදත් අප ඒ ආස්වාදනීය ගීත රස විදිනවා. ‘සිරිමත් මගෙ සකි යහපත් ළමයෙකි’ එවැනි අරුත්බර ගීත සංකල්පනා අද ළමා නිර්මාණ තුළ සරවිඳින්නට ලැබෙන්නේ නැහැ. වර්තමානයේ වැඩිහිටි ගීතය මෙන්ම ළමා ගීතයද පරිහානිය කරා ගමන් කරන ලක්ෂණ දක්නට ලැබෙනවා.

ක්‍රි.ව. 20වන ‍ශත වර්ශය මුල වකවානුවේ කුමාරතුංග මුනිදාස පඪිදු ඇරඹි හෙළ බස ව්‍යාප්‍රතිය නීසාද, දිනමිණ වැනි පුවත් පත් නිසාද සිංහල භාෂාවට නව ඡීවයක් ලැබුණි.

ළමා පද්‍ය සාහිත්‍යයේ කුමාරතුංග සලකුණ

සිංහල ලේඛන කලාවේ ප්‍රමුඛයකු වශයෙන් පිදුම් ලද කුමාරතුංග මුනිදාස මහතා 1887 ජූලි මස 25 වැනි දින රුහුණේ දික්‌වැල්ලේ දී උපත ලැබීය. කුඩා කල පටන් සාහිත්‍ය ක්‌ෂේත්‍රයට දැඩි ඇල්මක්‌ දැක්‌වූ කුමාරතුංගයන් වෘත්තියෙන් ගුරුවරයෙකි. නිර්මාණශීලි ලේඛකයෙකු හා විශිෂ්ට ගණයේ අධ්‍යාපනඥයෙකු වශයෙන් එතුමාගෙන් සිංහල භාෂාවටත්, ජාතියටත් සිදුවූ සේවය අනභිභවනීයය.

ළමා පද්‍ය සාහිත්‍යය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ළමයින් සඳහා පද්‍ය රචනයට පිවිසුනු මූලිකයා වශයෙන් කුමාරතුංග මුනිදාස සූරීන් අවිවාදයෙන් සඳහන් කළ හැකිය. කුමර ගී, කියවන නුවණ, හා ශික්‍ෂා මාර්ග පොත් පෙළ ඔහු විසින් රචනා කරන ලද ළමා පද්‍ය ග්‍රන්ථ අතර ප්‍රමුඛ වෙයි. එපමණක්‌ නොව කුමාරතුංගයන් අතින් ලියෑවුණු ළමා ගද්‍ය සාහිත්‍ය කෘතිද බෙහෙවින් ජනාදරයට පාත්‍ර විය. හීන් සැරය, මඟුල් කෑම, හත් පණ යන ළමා, ගද්‍ය සාහිත්‍ය කෘති ත්‍රිත්වය ළමයින් තුළ පමණක්‌ නොව වැඩිහිටියන් තුළ පවා ජනාදරයට පාත්‍ර විය.

ජාතියේ ජීවනාලිය ළමා පරපුරයි. ළමයින් තුළ උදාර ආකල්ප ඇති කිරීමේ අදිටනින් යුතුව ළමා පද්‍යකරණයේ නියෑලුණු කුමාරතුංග මහතාට ළමා මනස, ඔවුන්ගේ ක්‍රියාකාරකම් ආකල්ප හා රුචි අරුචිකම් පිළිබඳ මනා අවබෝධයක්‌ තිබූ බව ඔහුගේ ළමා පද්‍ය රචනා විමර්ශනයට ලක්‌ කිරීමේදී පැහැදිලිව පෙනී යයි. ළමුන්ගේ පරිසරය හා ඔවුන්ගේ කල්පිත ලෝකය හා සමගාමීව යන අත්දැකීම් ළමා පද්‍ය රචනයේදී ඔහු උපයෝගී කොටගෙන තිබීම එහිදී දැකිය හැකි විශේෂ ලක්‍ෂණයකි. ළමා වහර පිළිබඳ අවබෝධයකින් යුක්‌තව සරල සුඛ නම්‍ය බස්‌ වහරක්‌ තම පද්‍යයන් සඳහා ඔහු විසින් යොදා ගන්නා ලදී. ලගන්නා සුළු අලංකාරෝක්‌ති භාවිත කිරීම මගින් ළමා මනස තුළ චමත්කාරයක්‌ ඇති කිරීමට ඔහු සමත් විය. කුමාරතුංගයන්ගේ ළමා පද්‍යවල දැකිය හැකි තවත් සුවිශේෂී වූ ගුණාංගයක්‌ ලෙස ගායනයට සුදුසු ආකෘති භාවිත කිරීම දැක්‌විය හැකිය. එනිසා ඔහුගේ ළමා පද්‍ය එදත් අදත් එකසේ රස විඳිය හැකිය.

ළමයින්ට උචිත වූ වස්‌තු විෂයන් ඔස්‌සේ කාව්‍යයන් ඉදිරිපත් කරන කුමාරතුංග මහතා ළමා සාහිත්‍යයේ ස්‌වරූපය දක්‌වා සිටියේ මෙලෙසිනි.

"දරුවන් හට මහත් - තැනක්‌ නැතිව වැමැ වැටහෙන

උන්නේ සිත් පුබුදුවන - ඇඟපත නිකම් නටවන

යහළුවන් සමගින් - සසඳන්නට පොළඹවන

උන් කියවනු ඇසූ - වැඩිහිටියවුන් පහදවන

විසිතුරු පබැදුමෙකි - ඒ වයසට කවියෙක්‌ නම්"

දරුවන්ට නිරායාසයෙන් අවබෝධ කරගත හැකි සරල නොගැඹුරු නිර්මාණ ළමයින්ගේ ඥනයට සරිලන අයුරින් රසාස්‌වාදය කළ හැකි වැඩිහිටියන්ටද සතුට දනවන කවි කතා රචනා විය යුතුය යන්න කුමාරතුංගයන්ගේ අදහස විය.

ළමයින්ගේ රුචි අරුචිකම් පිළිබඳ මනා අවබෝධයකින් යුක්‌ත ව කාව්‍ය රචනයෙහි නියෑලුණු කුමාරතුංගයන් විවිධ වයස්‌ මට්‌ටම්වල දරුවන්ට උචිත ආකාරයෙන් සිය රචනා ඉදිරිපත් කළේය. ඔහු අතින් ලියෑවුණු විශිෂ්ට ගණයේ ළමා පද්‍ය කාව්‍යයක්‌ සේ "කුමර ගී" කාව්‍යය හැඳින්විය හැකිය. එහි සඳහන් "වෙරි වූ මීයා", "රෝස ගස", "අකුරු සතර උගත යුතු", "හාවාගේ වග", "ලේනා", "දරු සුරතල්", "උදය" ආදී පද්‍ය පන්තීන් වත්මනේ පවා කුඩා ළමුන් අතර සිත්ගත් ළමා පද්‍ය පන්ති වශයෙන් හැඳින්විය හැකිය.

"ලේනා" නමැති ළමා පද්‍ය රචනාව මගින් කතුවරයා කුඩා ළමුන් ප්‍රිය කරන සත්ත්වයෙකු වූ ලේනා කවි පන්තිය සඳහා විෂය කර ගනියි. රස පලතුරු බුදිමින් නිදහසේ හැසිරෙන ලේනාගේ ක්‍රියාකාරකම්, කුඩා දරුවන් තුළ ලේනාට දක්‌වන කැමැත්ත මෙමගින් ධ්වනිත කිරීමට ඔහු උත්සාහ දරා ඇත.

"ලේනේ බව පා නිදහස

ටිං ටිං ගාමින් මේ ලෙස

බුදිමින් හොඳ හොඳ පළරැස

සිටිනු දකින මට වෙයි තොස"

ලේනාගේ හැසිරීමේ ස්‌වභාවය ළමා මනස තුළ සංකල්පරූප මැවීමට සමත් වන අතර මෙම පැදි පෙළ මගින් ලේනාගේ ස්‌වරූපය හැරුණු විට නිදහස පිළිබඳ තරමක්‌ ගැඹුරු අදහසක්‌ ද ධ්වනිත වේ.

කුමාරතුංගයන්ගේ තවත් අතිශය සාර්ථකත්වයට පත්වූ ළමා පද්‍ය නිර්මාණයක්‌ වශයෙන් "හාවාගේ වග" නම් පැදි පෙළ හැඳින්විය හැකිය. බාල මහලු වැඩිහිටි කා අතරත් ජනාදරයට පාත්‍ර වූ මේ පැදි පෙළට ඔහු විසින් වස්‌තු විෂය වශයෙන් තෝරා ගන්නා ලද්දේ සත්ත්ව ලෝකයේ අහිංසක සතෙකු ලෙස නම් දරා සිටින හාවාය.

"හා හා හරි හාවා

කැලේ මැදින් ආවා

හිටගෙන ගඟ ගාවා

වට පිට ඇහැ ලෑවා"


"කොළ දෙකටක්‌ කෑවා

පැන් උගුරක්‌ බීවා

තොල කට ලෙව කෑවා

ඉතින් ඇතැයි කීවා"

හාවා වේගයෙන් දුවවිත් ආහාරගත් ආකාරය ළමා මනසේ වාග් චිත්‍ර මැවෙන ආකාරයෙන් ඉදිරිපත් කොට ඇත. ඒ සඳහා ඔහු යොදාගත් සරල සුගම, සුලලිත බස්‌ වහරක්‌ වහ වහා බිඳී යන විරිතක්‌ ඊටම උචිත වූවකි. හාවාගේ ජංගමශීලි ස්‌වභාවය මේ තුළින් මනාව පෙන්නුම් කෙරේ.

කුමාරතුංගයෝ ජනකවි බසට තරමක්‌ සමීප භාෂාවක්‌ බොහෝ අවස්‌ථාවල තම ළමා පද්‍ය සඳහා යොදා ගත්හ. ව්‍යවහාරෝචිත භාෂාවෙන් ගත් වදන් සමූහයකින් රචිත මේ පැදි පෙළට ද ඔහු විසින් ජන කවි බසේ ආභාසය ලබා ගෙන ඇති බව සඳහන් කළ හැකිය.

ළමා සිත සැබැවින්ම පිවිතුරුය. ඔවුන්ගේ සිත් සතන් තුළ උපදින අදහස්‌ අව්‍යාජය. තම සිත් පරිදි නිදහසේ හැසිරීමට කැමැත්තක්‌ දක්‌වන කුඩා ළමයා තම චරිතය හැඩගසා ගන්නේ කෙනෙකු අනුකරණය කිරීමෙන් හෝ අන් අයගේ බලපෑම් මතය. එහිදී ළමයාට නිසි ආදර්ශයක්‌ නොලැබුණහොත් ඔවුන් තුළ සදාචාරාත්මක ගුණ වගාවක්‌ ඇති නොවේ. ළමා මනස තුළ එවන් ගති ගුණ ඇති කරවීමට සමත් පද්‍ය රචනාවන්ට යොමුවූ කුමාරතුංග මහතා ළමා පද්‍ය සාහිත්‍යයේ මෙහෙවර නිසි පරිදි හඳුනාගත් පුද්ගලයෙකු විය. හොඳ නරක නිසි පරිදි ළමයාට වටහා දීමට උපදෙස්‌ දෙන පද්‍ය රචනාවක්‌ වශයෙන් ඔහුගේ "සිරිමත්" නම් පැදි පෙළ හැඳින්විය හැකිය.

"සිරිමත් මගෙ සකි

යහපත් ළමයෙකි

නුවණත් ඇත්තෙකි

වැඩටත් සමතෙකි"


"උදයම පුබුදී

මුහුණට දියදී

කුල දෙවි නමදී

ගේ දොර අමදී"

ළමයෙකුට මෙවැනි කටයුතු එලෙසින්ම කළ යුතු යෑයි බල නොකරන කතුවරයා ආදර්ශවත් ළමයෙකු= තුළ මෙවන් ගති ගුණ පිහිටා තිබිය යුතු යෑයි ව්‍යංග්‍යාර්ථයෙන් පවසයි. ළමා මනස තුළ උසස්‌ ගතිගුණ ප්‍රගුණ කොට ගුණ නුවණින් පිරි සිරිමත් වැන්නවුන් බිහි කිරීම ඔහුගේ පරමාර්ථය වන්නට ඇතැයි සිතිය හැකිය. සදාචාර සම්පන්න ළමා පරපුරක්‌ බිහිකිරීමේ අටියෙන් නිර්මාණය වූ මෙවැනි පද්‍ය සර්වකාලීනය.

සෞන්දර්යාත්මක හැඟීම් ළමා මනස තුළ ඇති කිරීමට සොබා දහමේ නොයෙක්‌ වස්‌තූන් හා ක්‍රියාකාරකම් තම නිර්මාණවලට වැඩි වශයෙන් උපයෝගී කර ගැනීමට කුමාරතුංගයන් උත්සාහ දරා ඇත. ළමා මනසට සමීප ඔවුන් වඩාත් ප්‍රිය කරන ස්‌වභාව ධර්මයේ ජීවි, අජීවි වස්‌තු අවස්‌ථාවෝචිතව යොදා ගැනීමෙන් රසභාව පූර්ණ හැඟීම් ළමා මනසෙහි ජනිත කරවීමට ඔහු එමගින් සමත් විය.

පරිසරයේ ඇති විවිධ මල් වර්ග දෙස නෙත යොමන කුඩා දරුවාගේ මනස තුළ ඇති වන හැඟුම් සමුදායක්‌ "මල් බස්‌" නමැති පැදි පෙළ මගින් ඉදිරිපත් කොට ඇත.

"ගස වතුසුදු වී පිරිසිදු

පොහොය නැතිදා - සිල්ගත් බඳු"

වතුසුදු ගස පොහොය දිනට පමණක්‌ නොව සැමදා සිල් ගත් විලාසයක්‌ මවා පායි. සුදු පැහැති මල්වලින් ගැවසුණු වතුසුදු ගස පිළිබඳ සරල පද මාලාවකින් මවන කවි සංකල්පනාව අපූර්වත්වයෙන් යුක්‌තය.

"දහස්‌ දලා - ගස විමලා

මහණ වැල - සිටිනතුලා"

කහ පැහැයෙන් බබළන දාස්‌ මල් ගස මහණ වූ ආකාරයත් පෙන්නුම් කරයි. ඖචිත්‍ය නව්‍යත්වයෙන් යුක්‌ත වූ සරල උපමා යොදා ගනිමින් ඒ අවස්‌ථාව කුඩා දරුවාගේ මනස තුළ විත්‍රණය කරයි.

"නැණ ගුණ දම් - රුව පැහැතුම්

ඇති අය නම් - රෝස කුසුම්"

"මල කිණිහිරි - රුවිනි සසිරි

නැති නැණ සිරි - දරුවෙකු සරි"

ගුණ නුවණින් හා රූපයෙන් උසස්‌ දරුවෙකු රෝස මලකට සමාන කර දක්‌වන කතුවරයා රූපශ්‍රීයෙන් පමණක්‌ යුක්‌ත වූ ගුණ නුවණින් යුක්‌ත නොවූ දරුවෙකු කිණිහිරි මලකට සමාන කර දක්‌වයි.

සත්ත්ව ලෝකයේ බළලා හා මීයා පිළිබඳ විවිධාකාර කවි කතා සුලබව ළමා මනසේ තැන්පත් වූවකි. එක්‌ දිනක්‌ මීයෙකුට වූ ඇබැද්දියක්‌ පිළිබඳ "වෙරි වූ මීයා" නම් පැදිපෙළ මගින් කුමාරතුංග සූරීන් දක්‌වා ඇත්තේ ඉතා අපූර්ව ආකාරයෙනි.

"දවසක්‌ රා ටිකක්‌

ලැබ බී මත්ව මීයෙක්‌

බළලා වී මතක්‌

මෙසේ කීයේ උඩඟු වදනක්‌"

"බළලෙකු ඉතින් මට

අසුවුණු හොතින් විගසට

කඩා වූ දෙකකට

දමමි ඇදලා කහල ගොඩකට"

මත් වූ මීයා මෙලෙස පුරසාරම් බස්‌ දෙඩූවද පියවි සිහියෙන් නම් මීයෙකු කෙදිනකවත් බළලා ඉදිරියේ මෙවන් වදන් පැවසීම විහිලුවකි. මෙහිදී කවියා මත් පැනින් මත්වූ පසු අප සමාජයේ සිටින බොහෝ පුද්ගලයන්ට තමා කවුද යන වග අමතක වී යන බවත් බලවතුන් ඉදිරියේ පුරසාරම් බස්‌ පවසන එවන් පුද්ගලයන් වෙරි වූ මීයෙකුට සමාන බවත් නොකියා කියයි. තමාගේ තරම දැන ජීවත් විය යුතු බවද කතුවරයා පැවසීමට යත්න දරයි. කතුවරයා පැදි පෙළ අවසන දී උපදේශයක්‌ ද දෙයි.

"තම තරම දැනගෙන -

නොපැවතුණහොත් සැම තැන

මීයාට වූ මෙන - බියයි වන්නේ

නොසිතු විලසින"

මෙවන් උපදේශ ළමා පරපුරට පමණක්‌ නොව වැඩිහිටියනට වුවද සුදුසුය. පැදි පෙළේ රසවත් භාවයට ඔහු විසින් අවස්‌ථාචෝචිතව යොදා ගත් වදන් සමූහය ඊටම උචිත වූවකි.

"නැළවිල්ල" නම් පැදි පෙළ ද ළමුන් පමණක්‌ නොව වැඩිහිටියන් අතරද ජනාදරයට පාත්‍ර වූ අතිශය සාර්ථක නිර්මාණයකි. කුඩා දරුවෙකු නිදි ගැන්වීම පිණිස රචනා වූ මේ පැදි පෙළ නැළවිලි ගීයක ස්‌වරූපය ගනියි. බාහිර පරිසරයේ ජීවී හා අජීවී සියලු වස්‌තු හැසිරෙන්නේ සුවසේ නිදන ළදරුවාගේ නින්දට කිසිදු බාධාවක්‌ නොවන ආකාරයෙනි. දරුවා නිදාගන්නා අවස්‌ථාවේ අවට පරිසරයේ ස්‌වභාවය ඉතා චමත්කාරජනක ලෙසින් ඉදිරිපත් කිරීමට කුමාරතුංගයන් දරා ඇති උත්සාහය සාර්ථක යෑයි මෙම පැදි පෙළ රස විඳීමේදී හැඟී යනු ඇත.

"තොටිල්ල සැම සුව පිරී - පැද්දෙයි තාලෙට සරී

අසමින් ගී සුමිහිරී - නිදන්න පුත රන් කිරී"

සරල තේමාවක්‌ ඔස්‌සේ සැම විටම පද්‍යකරණයෙහි නියෑලුණු කුමාරතුංගයන්ගේ මෙවැනි බොහෝ නිර්මාණ අදටද බොහෝ දෙනා රස විඳිනු ඇත.

අසිරිමත් උදැසනක ස්‌වභාවය ළමා මනසට කා වැද්දවීම සඳහා රචනා කරන ලද "උදය" නමැති පැදි පෙළ තවත් සාර්ථක වූ නිර්මාණයකි. දසතින් නැගෙන කා කා හඬ කුඩා දරුවාට අවදි වීමට සංඥවක්‌ වැනිය. ප්‍රබෝධවත්ව අවදි වන කුඩා දරුවා ආයුබෝවන් කියා පිළිගන්නේ සිසිල් සුළඟයි. මෙවැනි සුන්දර වූ උදැසනක දරුවාගේ කාර්යය කුමක්‌ද යන්න කතුවරයා මෙලෙස දක්‌වයි.

"උතුම් වෙලාවැයි කියමින් සියල්ලෝ

යෙදෙත් නොලස්‌ වීම තමන්ගෙ කම්හී

ඇඟත් සැහැල්ලුයි සිතෙහිත් බරක්‌ නෑ

බලන්න පොත්පත් මට මේ වෙලාවයි"

අනලස්‌ව තම පොත්පත්වල කටයුතු ඇරඹීමට සුදුසුම කාලය සිතටත් ගතටත් සැහැල්ලු මේ උදැසන කාලය බව දරුවන්ට දන්වයි. උදැසනට පරිසරයේ ජීවී අජීවි සියලු වස්‌තූන්හි ක්‍රියාකාරීත්වය දක්‌වා දරුවාගේ කාර්යය කුමක්‌ද යන්න ඉන් පසුව දැක්‌වීම මගින් ඔහු සතුව ළමා මනස පිළිබඳ කෙතරම් අවබෝධයක්‌ තිබුණේද යන්න වටහාගත හැකිය.

එපමණක්‌ නොව ළමා මනස තුළ තම රට, ජාතිය ආගම පිළිබඳ උදාරතර හැඟීම් ඇති කරනු වස්‌ ඔහු විසින් රචනා කරන ලද "පුබුදුව" නම් පැදි නිමැවුම සමස්‌ත ළමා පරපුරටම දෙන මනා උපදේශයක්‌ වැන්න.

"ඉදිරියටම යව් හෙළයිනි - ඉදිරියට යවු

අපගේ රටෙහිම යෑද යෑද

ගැති වී තව තව හිඳිමුද

නිදහස නැති දිවි කුමටද

ඉදිරියටම යවු"

ජාත්‍යාලය හා ජාතික හැඟීම් ළමා මනස තුළ ඇති කරමින් තම දිවි පරදුවට තබා රට ජාතිය රැකගත යුතු බව මේ පැදි පෙළ මගින් පෙන්වා දී ඇත. නිදහසක්‌ නැති දිවිය ඵල රහිත බවත් නැතිවී සිටීම නොව හෙළයන් ඉදිරියටම යා යුතු බවත් කවියා අවධාරණය කරයි.

ළමා පද්‍යයක්‌ හුදෙක්‌ රස වින්දනයට පමණක්‌ සීමා නොවිය යුතු අතර එය ළමයාගේ පෞරුෂ සංවර්ධනයට හා ළමයාගේ බුද්ධි වර්ධනයටද ඉවහල් විය යුතුය. එය මැනවින් පසක්‌ කරගත් කුමාරතුංගයන්ගේ තවත් උසස්‌ නිර්මාණයක්‌ වශයෙන් ඉහත පැදි පෙළ සඳහන් කළ හැකිය.

මේ හැරුණු විට "ලක්‌ දරුවෙනි පුබුදු වවු" ආදී පැදි පන්තීන් මගින්ද ජාතිකාභිමානී හැඟීම් ඇති කිරීමට ඔහු උත්සාහ දරා ඇත. මේ අයුරින් ළමයින් වෙනුවෙන් කුමාරතුංගයන් අතින් රචනා වූ ළමා පද්‍ය සංඛ්‍යාව අති විශාලය.

ළමා පරපුරේ සුබසිද්ධිය උදෙසා නිතර පද්‍යකරණයෙහි නියෑලුණු කුමාරතුංග සූරීහු සුචරිතවත් ළමා පරපුරක්‌ අනාගතයට දායාද කිරීමේ ක්‍රියාවලියෙහි මූලික වූහ.

1944 මාර්තු 02 වැනි දින ඔහු දැයෙන් සමුගත්ත ද "කුමාරතුංග" නාමය සදා අමරණීයය.

හසීකා රංගනී ගමගේ

ආශ්‍රිත ග්‍රන්ථ - අමරසිරි, ගුණවර්ධන, අලව්ඉසි සැබිහෙළ, අරිසෙන් අහුබුදු, (1970), කුමාරතුංග පැදි එකතුව I වෙළුම (සංස්‌)( සංස්‌කෘතික කටයුතු අමාත්‍යාංශය, කොළඹ. මදුරසිංහ ගුණතිලක, පියසේන කහඳගමගේ (1998) ළමා පද්‍ය සාහිත්‍ය මූලධර්ම හා එහි පරමාර්ථ, එස්‌. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.

"https://si.wikipedia.org/w/index.php?title=කුමාරතුංග_මුනිදාස&oldid=366766" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි