සිංහල සාහිත්‍යය
සිංහල සාහිත්‍යය යනුවෙන් හැදින්වෙන්නේ පාඨකයාට රසවින්දනයක් ලබා දීමේ සහ ඔහුගේ හෝ ඇයගේ ජීවන දෘෂ්ටිය පුළුල් කිරීමේ අරමුණින් සිංහල භාෂාවෙන් රචනා වන නිර්මාණ වේ. සිංහල සාහිත්‍යයට ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජධානිය වන අනුරාධපුරයේ සිට ම ඇරඹෙන ඉතා දිගු ඉතිහාසයක් ඇති අතර සරු අස්වැන්නකට ද හිමිකම් කියයි.
19 වන සියවසේ දී පමණ කෙටිකතාව, නවකතාව වැනි නූතන සාහිත්‍යාකෘතීන් අනුගමනය කිරීමට පෙර ගී කාව්‍ය, මහා කාව්‍ය, සන්දේශ කාව්‍ය, ඛණ්ඩ කාව්‍ය, සහ බණකතා ලියැවුණු යුගය සිංහල සාහිත්‍යයේ පුරාතන අවධිය වශයෙනුත් 19 හා 20 වන සියවස්වලින් ඇරඹෙන බටහිර සාහිත්‍යාකෘති අනුගමනය කෙරුණු යුගය සිංහල සාහිත්‍යයේ නූතන අවධිය වශයෙනුත් විචාරකයන් විසින් හදුනා ගැනේ. ඉපැරණි සිංහල සාහිත්‍යය එකල රාජධානිය පැවති නගරය අනුව යුග වලට බෙදා දක්වනු ලැබේ.
නූතන සිංහල සාහිත්‍යය ඇතිවීමට යටත් විජිත යුගයේ බලපෑම් තුළ ඉංග්‍රීසි සාහිත්‍යය කෘති පරිශීලනය කිරීමත්, ක්‍රිස්තියානි මිෂනාරී ව්‍යාපාරය සහ ඊට ප්‍රතිචාරයක් වූ සිංහල-බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයත් දැඩි ව බල පා තිබේ. කෙසේනමුත් නූතන සිංහල සාහිත්‍යය ජාතක කතා, බණ කතා සහ පැරණි සිංහල කාව්‍ය ඇතුලු ඉපැරණි සාහිත්‍යයේ දිගුවක් ලෙස ද සැලකිය හැකි ය. සිංහල නවකතාවේ ආදිතමයන් අතර පියදාස සිරිසේන, ඩබ්ලිවු. ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ ආදීහු කැපී පෙනෙති. ගුණදාස අමරසේකර, ජී. බී. සේනානායක, කේ. ජයතිලක, සයිමන් නවගත්තේගම සහ ටෙනිසන් පෙරේරා එය තවදුරටත් දියුණු කළෝ වෙති. සිංහල සාහිත්‍යයේ පළමු නූතන නවකතාව ලෙසින් සැලකෙන්නේ ඒ. සයිමන් ද සිල්වා ලියූ මීනා ය. මාර්ටින් වික්‍රමසිංහ, ඩබ්ලිවු ඒ. සිල්වා, හේමපාල මුනිදාස සිංහල කෙටිකතාවේ මුල්කාලීනයෝ ය.
පළමු සිංහල කෙටිකතාව ලෙසින් සැලකෙන්නේ ද මාර්ටින් වික්‍රමසිංහ ලියූ ගැහැනියක් කෙටිකතා සංග්‍රහයයි. ජී. බී. සේනානායක, කේ. ජයතිලක, ඒ. වී. සුරවීර, පියසීලී විජේමාන්න, දයාසේන ගුණසිංහ, කීර්ති වැලිසර, ජයතිලක කම්මැල්ලවීර, අජිත් තිලකසේන, කේ. කේ. සමන් කුමාර පසුකාලීන කෙටිකතා රචකයන් අතර කැපී පෙනෙති. ජී.බී. සේනානායක සහ සිරි ගුනසිංහ නිදහස් පද්‍ය සම්ප්‍රදාය අරඹමින් සිංහල කවියේ නව ගමන්මගක් සනිටුහන් කළෝ වන අතර ගුණදාස අමරසේකර, මහගමසේකර, පරාක්‍රම කොඩිතුවක්කු වැන්නෝ ද එහි නව්‍ය අත්හදාබැලීම් කරමින් ප්‍රචලිත කළෝ වෙති.
වත්මන් යුගයේ ඉපැරණි සාහිත්‍යාකෘති යොදාගැනෙනු දක්නට නොමැති අතර කෙටිකතාව, නවකතාව සහ කවිය වැනි නූතන ආකෘතීන් පමණක් සිංහල සාහිත්‍යය තුළ දැකගත හැකි ය. ගෝලීය වශයෙන් ප්‍රබල සාහිත්‍යයක් බවට පත් ව නො තිබුණ ද, සිංහල සාහිත්‍යකරුවන් සිය ඉපැරණි සම්භාව්‍ය සාහිත්‍යයෙන් මෙන් ම නවීන බටහිර සාහිත්‍යය ප්‍රවණතාවන්හි ආභාසය ද ලබමින් ඉදිරියට ගමන් කර ඇත.
පුරාතන අවධිය
[සංස්කරණය]මහින්දාගමනයත් සමග බ්‍රාහ්මී අක්ෂර මාලාව ලැබීමත් සමග ක්‍රි. පූ. 3 වන සියවසේ දී ලේඛන කලාවේ ආරම්භය සිදුවිය. මේ කාලවල ලෙන් පූජා කිරීමේ දී ඒවායේ කටාරම්වල එම පූජා කළ අය ගැන කර ඇති සදහන් මුල් ම ලේඛන ලෙස දැක්විය හැකි ය. පසුව ලේඛනය තවදුරටත් දියුණු වීමත් සමග පුස්කොල පොත්වල රචනා කිරීම ඇරඹුණි. මුල් ම ග්‍රන්ථාගත සිංහල ලේඛන වශයෙන් සැලකිය හැක්කේ මගධ බසින් තිබූ බුද්ධ ධර්මයට ලක්දිව ධර්මාචාර්යවරුන් විසින් ක්‍රි. පූ. 1වන සියවසේ දී හෙළ බසින් ලියූ අටුවාවන් ය. “මගධ බසින් වැටෙමින් ආ බුදු කැලි අටුවා හෙළදිව් ඇජුරො හෙළ බසින් තුබූහ” යනුවෙන් දම්පියා අටුවා ගැටපදයේ පැවසීමෙන් මේ බව සනාථ වේ. කෙසේනමුත් ක්‍රි. ව. 5වන සියවසේ දී බුද්ධඝෝෂ හිමියන් විසින් එවක ජාත්‍යයන්තර භාෂාවක් වූ පාලි භාෂාවට මේ අටුවා පෙරළීමත් සමග මෙම සාහිත්‍යය අභාවයට ගියේ ය.[1]
පැරණි සිංහල සාහිත්‍යය පිළිබදව සදහන් කිරීමේ දී රසවත් කථාන්දර යන නූතන අර්ථයට වෙනස් ව සියලුම ආකාරයේ ලේඛන හැදින්වීමට එය යොදාගනු පෙනේ. එනම් අර්ථ ව්‍යාඛ්‍යාන, වංශකථා වැනි රසයක් ලබා දීම අරමුණු කර නොගත් ලේඛන ද ඇතුළත් කරගනිමින් ඒ භාවිත වන බැවිනි. කෙසේනමුත් මෙම වර්ගවලට අයත් කෘති ද සාහිත්‍ය කෘති නොවන බව පවසමින් මුලුමනින් ම බැහැර කළ නොහැක්කේ මෙවැනි ඇතැම් කෘති, විශේෂයෙන් ම වංශකථා වැනි ෂානර රස නිෂ්පත්තිය ද සිදුකරන බව පෙනෙන හෙයිනි.
පුරාතන සිංහල සාහිත්‍යය, ශ්‍රී ලංකාවේ රාජධානිවලට සමගාමීව එම සාහිත්‍යය කෘති රචනා වූ යුගයේ පැවති රාජධානියේ නමින් නම් කර අධ්‍යයනය කරනු ලැබේ. එනම් අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, කුරුණෑගල, ගම්පොල, කෝට්ටේ, මහනුවර යුගය ආදි ලෙස යි. මීට අමතර ව මාතර සාහිත්‍ය යුගය යනුවෙන් ද යුගයක් සමහරු හදුනා ගනිති. එහෙත් මාතර රාජධානියක් වශයෙන් නොපැවතුණි. එකල පැවති සිංහල රාජධානිය වූයේ ද මහනුවර යි. ඇතැම්විට සීතාවක යුගය වශයෙන් ද කෝට්ටේ යුගයෙන් පසු යුගයක් හදුනා ගැනේ.
අනුරාධපුර යුගය
[සංස්කරණය]ක්‍රි. පූ. 3 වන සියවසේ දී මහින්දාගමනයත් සමග ලේඛන කලාව දියුණුවට පත්වීමත් සිංහල ජනතාව බුදුදහම වැළදගැනීමත් මෙරට සාහිත්‍යය බිහිවීමට මුල් වූ සාධකය ලෙස හදුනාගත හැකි ය. පැරණි සිංහල සාහිත්‍යයෙහි ගද්‍ය හා පද්‍ය සෑම නිර්මාණයක් ම පාහේ බුද්ධ චරිතය හෝ බුද්ධ ධර්මය ආශ්‍රිත කරුණු හා කථාවස්තු විෂය කරගෙන තිබේ.[2]
“පෙදෙන් බුදු සිරිතැ - බසින් වත් සිරිත් ඈ පද යුතු බසින් නළු ඈ - අනතුරු ලකුණු දක්වම්”
යනුවෙන් කාව්‍යයට වස්තු විෂය විය යුත්තේ බුද්ධ චරිතය බවට සියබස්ලකරෙහි පනවා තිබීමත්, සාහිත්‍යයෙහි නියුතු බහුතරය බෞද්ධ භික්ෂූන් හෝ ධර්මට ඇසුරු කළ ගිහි වියතුන් වීමත් මෙයට හේතුවිය.[2]
කොස්‌සගම කන්ද විහාර ලිපිය, කිරින්ද ලිපිය, තිස්‌සමහාරාම ලිපිය වැනි සෙල්ලිපි ගී විරිතෙන් ලියැවී ඇති අතර එය පද්‍ය සාහිත්‍යයේ මූලය ලෙස සැලකිය හැකි ය.[3] කෙසේනමුත් සාහිත්‍යය රසාස්වාදය ම අරමුණු කරගත් සාහිත්‍යයක් පිළිබද අනුරාධපුර යුගයෙන් ලැබෙන මුල් ම සාක්ෂිය වන්නේ ක්‍රි. ව. 7,8,9 සියවස්වල දී සීගිරි සිතුවම් ගැන අදහස් දක්වමින් එය නැරඹූ පුද්ගලයන් විසින් ගී විරිතෙන් කැටපත් පවුරේ ලියූ කවි වූ සීගිරි ගී ය. එවක කවිය පොදුජන සාහිත්‍යයක් ව තිබූ බව කිවහැක්කේ ඒ සමාජයේ විවිධ ස්තරවල අය විසින් ඒවා රචනා වී ඇති බැවිනි. [3] සිය හැගීම් පළකරමින් නිතැනින් ම ගලා ආ සිතුවිලි පළකරමින් ලියූ මෙම පද්‍ය අතර සාමාන්‍ය ජනතාව විසින් රීති නොතකා ලියූ සරල පද්‍ය මෙන් ම උගතුන් විසින් සැලකූ රීති අනුව ලියූ පැදි ද හදුනාගත හැකි ය.[3]
පොළොන්නරු යුගය
[සංස්කරණය]පොළොන්නරු යුගයේ රචිත සාහිත්‍යය කෘති අතර අමාවතුර, මුවදෙව්දාවත, සසදාවත, සද ලකුණ පෙන්වා දිය හැකි ය. ගුරුළුගෝමීන් විසින් රචිත අමාවතුර පොළොන්නරු යුගයෙන් ඉක්බිතිව ම පැමිණෙන යුගය වන දඹදෙණි යුගයේ රචනා වූ ලෙස ද ඇතැම් වියත්තු සලකති.
දඹදෙණි යුගය
[සංස්කරණය]දඹදෙණි යුගයේ රචිත සාහිත්‍ය කෘති අතර දඹදෙණියේ දෙවන පරාක්‍රමබාහු රජතුමන් විසින් කුස ජාතකය ඇසුරෙන් රචිත කව්සිළුමිණ වැනි පද්‍ය ග්‍රන්ථ සහ ධර්මසේන හිමි විසින් රචිත සද්ධර්මරත්නාවලිය, බුද්ධපුත්‍ර හිමි විසින් රචිත පූජාවලිය සහ විද්‍යාචක්‍රවර්ති විසින් රචිත බුත්සරණ, දම්සරණ, සඟසරණ යන ගද්‍ය ග්‍රන්ථ දැක්විය හැකි ය.
කුරුණෑගල යුගය
[සංස්කරණය]කුරුණෑගල යුගයේ දී පාලි ජාතකට්ඨකථාව ඇසුරින් බුදුන්වහන්සේගේ පූර්ව ජන්ම කථා 547ක් ඇතුළත් කරමින් පන්සිය පනස් ජාතක පොත රචනා විය. බෞද්ධ සාහිත්‍යයේ විශිෂ්ට ගද්‍ය ග්‍රන්ථයක් ලෙස සැලකෙන මෙය කතුමඩුල්ලක් විසින් රචනා විය. මෙහි නිධාන කථා, වර්තමාන කථා, අතීත කථා, ගාථා සමෝධාන යන අංගවලින් යුතු පොදු ආකෘතියක් අනුගමනය කර තිබේ. ඇතැම් කථා සංස්කෘත තත්සම වචන බහුල සංකීර්ණ භාෂාවකින් ලියැවී ඇත.
ධර්ම ප්‍රසංගිනී විසින් ලියැවුණු දළදා සිරිත ද මෙකල ලියැවුණු ගද්‍ය සාහිත්‍ය කෘතියකි.
ගම්පොල යුගය
[සංස්කරණය]දේවරක්ඛිත ජයබාහු හිමි විසින් රචිත සද්ධර්මාලංකාරය මෙන් ම කර්තෘ අඥාත වන තිසර හා මයුර යන සන්දේශ කාව්‍ය දෙක ද මෙම යුගයේ රචිත සාහිත්‍යය කෘති අතර වේ. මීට පෙර සිංහල කවිය සිය ආකෘතිය ලෙස හෙළ ගීය යොදාගත්තත් මෙකල එය සිව්පදයට හැරීම සිදුවිය. සන්දේශ කාව්‍යයේ ආරම්භය ද මෙකල සිදුවිය. සිංහල සාහිත්‍යයේ මුල් ම සන්දේශ කාව්‍යය මයුරය ද, නැතිනම් තිසරය ද යන්න ගැන විද්වතුන් අතර මතභේද වෙයි.
කෝට්ටේ යුගය
[සංස්කරණය]ගම්පොළ යුගයේ දී බිහි වූ සිව්පද ආකෘතිය දියුණුවට පත් වීම සිදුවූයේ කෝට්ටේ යුගයේ දී ය. “මෙතෙක් මාත්‍රා ඡන්දසින් බැදුණු සිංහල කවිය” මෙකල “වර්ණ ඡන්දසට සැළකිලි දක්වන්නට වූ” බව බන්දුසේන ගුණසේකර පවසයි.[4] කෝට්ටේ යුගයේ පද්‍යයේ නැගීමක් සිදුවුවත් ගද්‍යයේ නැගීමක් සිදු නොවිණි. සන්දේශ කාව්‍යයේ සිදු වූ නැගීම හේතුවෙන් කෝට්ටේ යුගය සන්දේශ කාව්‍යයේ යුගය ලෙස ද හැදින්වෙයි. සිව්පද කාව්‍යය ශීඝ්‍ර ලෙස දියුණු වූයේ ද සන්දේශ කාව්‍ය නිසා ය.[5]
තොටගමුවේ ශ්‍රී රාහුල හිමි, වීදාගම මහා මෛත්‍රී හිමි, වෑත්තෑවේ හිමි යන ත්‍රිත්වයේ කවීත්වයෙන් එළිය වු කෝට්ටේ සාහිත්‍යය යුගය පැරණි සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙසින් හැදින්වෙයි. තොටගමුවේ රාහුල හිමි විසින් කාව්‍යශේඛරය, පරෙවි සන්දේශය, සැලලිහිණි සන්දේශය යන කාව්‍යයන් ද, වීදාගම මෛත්‍රී හිමි විසින් ලෝවැඩ සගරාව, දහම්ගැට මාලාව, බුදුගුණ අලංකාරය සහ හංස සන්දේශය යන කාව්‍යයන් ද, වෑත්තෑවේ හිමියන් විසින් ගුත්තිල කාව්‍යය ද රචනා කෙරුණි. හංස සන්දේශයේ ඇතැම් පිටපත්වල එන පද්‍යයක් නිදසුන් කර දක්වමින් එය වීදාගම මෛත්‍රී හිමියන් විසින් ලියැවෙන්නට ඇති බව මහාචාර්ය බන්දුසේන ගුණසේකර පවසයි. ඉරුගල් කුලතිලක පරිවේණාධිපති හිමියන් විසින් ලියැවුණු කෝකිල සන්දේශය සහ කර්තෘ අවිනිශ්චිත වන ගිරා සන්දේශය, පැරකුම්බා සිරිත, එළු සිලෝ ශතකය මෙකල ලියැවුණු සෙසු කාව්‍ය ග්‍රන්ථ අතර වෙයි.[6]
මහා කාව්‍යයක් වන කාව්‍යශේඛරය සත්තුභක්ත ජාතකය ඇසුරින් ලියැවුණු අතර පරෙවි සන්දේශය චන්ද්‍රවතී කුමරියට සුදුසු සැමියකු ලබා දෙන ලෙස දෙවිනුවර උපුල්වන් දෙවිදුන් අයැදවීම පිණිසත්, සැළලිහිණි සන්දේශය ලෝකනාථා කුමරියට පුත් කුමරකු දෙන ලෙස කැලණියේ විභීෂණ දෙවියන් අයදවමිනුත් රචනා කෙරී ඇත. යාපනයේ සපුමල් කුමරුට යැවූ අස්නක් වන කෝකිල සන්දේශය දිග ම ගමන් මාර්ගයක් සහිත සන්දේශ කාව්‍යය වෙයි. ගුත්තිල කාව්‍ය ඛණ්ඩ කාව්‍යයක් වූ අතර පැරකුම්බා සිරිත විරුද කාව්‍යයක් වෙයි. වීදාගම මෛත්‍රී හිමියන් විසින් එලු අත්තනගලු වංශය වැනි වංශ කතාවක්, ලෝවැඩ සගරාව වැනි උපදේශ කාව්‍යයක්, බුදුගුණ අංලංකාරය වැනි භක්ති කාව්‍යයක්/කථා කාව්‍යයක් සහ දහම්ගැට මාලාව වැනි මාලා කාව්‍යයක් රචනා කරමින් සිංහල සාහිත්‍යයට නවාංග එකතු කරන ලදී. බුදුගුණ අලංකාරය බුත්සරණෙහි එන ගංගාවරෝහණ කථාව ඇසුරින් ද, ලෝවැඩ සගරාව සද්ධම්මොපායන නම් ධර්ම ග්‍රන්ථය ඇසුරින් ද ලියැවී ඇත. ධම්මදින්නාචාර්ය සිද්ධාර්ථ විමලකීර්ති හිමියන් විසින් ලියැවුණු සද්ධර්මරත්නාකරය කෝට්ටේ යුගයේ විශාලත ම ගද්‍ය කෘතිය වෙයි.[7]
සීතාවක යුගය
[සංස්කරණය]ඇතැමෙකු විසින් සීතාවක සමය වෙන ම සාහිත්‍ය යුගයක් ලෙස නොසලකා කෝට්ටේ යුගය යටතේ ම සාකච්ඡා කරනු ද දැකිය හැකි ය. සීතාවක රාජධානි සමයේ සාහිත්‍ය අලගියවන්න මුකවෙටිතුමන් කේන්ද්‍ර කරගනිමින් පවතී. ඔහු විසින් රචිත සුභාෂිතය, කුස ජාතක කාව්‍යය, දහම්සොඩ දා කව, සැවුල් සන්දේශය, කොන්ස්තන්තීනු හටන සීතාවක යුගයේ සාහිත්‍යය කෘති ලෙස දැක්විය හැකි ය.
මහනුවර යුගය
[සංස්කරණය]මහනුවර යුගය අධ්‍යාපනික වශයෙන් ද, ශාසනික වශයෙන් ද පරිහානියක් පෙන්නුම් කළ යුගයක් විය. පැවති විදේශ ආක්‍රමණ සහ අභ්‍යන්තර දේශපාලන වියවුල් ආදිය විසින් ඇති කළ තත්ත්වය මෙයට හේතු විය. කෙසේනමුත් අසරණ සරණ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන් විසින් ඇති කළ ශාසනික පුනරුදයෙන් පසු ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ද ඇති විය. එබැවින් ඇතැමුන් වැලිවිට සරණංකර හිමිට පූර්ව යුගය හෙවත් මහනුවර යුගයේ පූර්වභාගය ලෙස සහ මහනුවර යුගයේ අපරභාගය හෙවත් වැලිවිට සරණංකර සමය (එනම් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ සමයේ සිට ශ්‍රී වික්‍රම රාජසිංහ සමය දක්වා කාලය) ලෙස මහනුවර යුගය ද අවධි දෙකකට බෙදා අධ්‍යයනය කරනු දැකිය හැකි ය. ඇතැම් අය විසින් මාතර යුගය ලෙස හදුනා ගැනෙන්නේ ද මේ මහනුවර පූර්වභාගය යි.[8]
මහනුවර යුගයේ සාහිත්‍ය නව විෂය ප්‍රදේශ කරා යොමු වෙමින් විශාල පරාසයක පැතිරී ඇති අතර ආකෘතිය අතින් ද වෙනස්කම් පෙන්වා ඇත. සරණංකර යුගය ගැන අදහස් දක්වමින් කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර හිමියන් එම යුගය හදුන්වන්නේ “විවිධත්වය අතින් අන් පරිච්ඡේදයකට නොඅඩු” යුගයක් ලෙස ය.[9] නමුත් මෙකල සාහිත්‍ය භාෂාව උසස් කලාත්මක ලක්ෂණයන්ගෙන් පිරිහුණකි. මහනුවර යුගයේ කෘති අතර ආගම වෙත යොමු වූ කෘති මෙන් ම ලෞකික විෂයන් වෙත යොමු වූ කෘති ද හදුනා ගත හැකි ය. මේ නිසා මහනුවර යුගය නූතන සාහිත්‍යට ද වඩාත් ළං වූ සාහිත්‍යයක් පෙන්නුම් කරයි. මහනුවර යුගයේ සාහිත්‍ය ජනකාව්‍ය සම්ප්‍රදාය කෙරෙහි ද නැඹුරු වී ඇත. මහනුවර යුගයේ ජාතක කාව්‍ය විශාල වශයෙන් රචනා වී ඇත.[10]
රණස්ගල්ලේ හිමියන් විසින් ලියැවුණු ලෝකෝපකාරය, විල්ගම්මුල හිමියන් විසින් ලියැවුණු සදකිදුරු ජාතක කාව්‍ය සහ කර්තෘ අඥාත වන වෙස්සන්තර ජාතක කාව්‍ය, යසෝදරාවත, විදුර ජාතක කාව්‍ය, මන්දාරම් පුවත, උපහාස කාව්‍යයක් වන ආඩිමාලය, ප්‍රශස්ති කාව්‍ය වන සෙනරත් රාජ පවත සහ රාජසිංහ විරුදාවලි පූර්ව සරණංකර යුගයේ ලියැවුණු කෘති අතර වේ. මෙකල සිටි ප්‍රමුඛ කවියකු වන්නේ කිරිමැටියාවේ කිවිදු ය. ලෝකෝත්පත්ති විස්තරය ආශ්‍රයෙන් ජනනන්දන කාව්‍ය ද, බුදුදහමෙහි ආ සත්වලෝක උත්පත්තිය ඇසුරෙන් සත්වලෝක කාව්‍ය ද රචනා කරමින් නැවුම් විෂයයන් කරා ගිය ඔහු මහා පදරංග ජාතක කාව්‍ය (මෙය මහාභාරත පුවතක් මිස ජාතක කතාවක් නොවේ), වේතාලන් කතාව, උමංදා කව, මහ හටන ආදී කාව්‍ය රැසක් රචනා කරන ලදී. [11]
සරණංකර සමයේ දී දෙමල සාහිත්‍යයෙන් සිංහලයට පරිවර්තනය කෙරෙමින් අතුල රජපවත, හරිශ්චන්ද්‍ර කථා කාව්‍ය, සිය බස් මල්දම, රතවතී කථාව, මලේ රජ කතාව වැනි කථා කාව්‍ය රැසක් ම රචනා විය. කිතලගම දේවමිත්ත විසින් ලියැවුණු කිරල සන්දේශය, දික්වැල්ලේ සාමණේර හිමියන් විසින් ලියැවුණු කහකුරුලු සන්දේශය වැනි සන්දේශ කාව්‍ය ද මෙකල කෘති අතර වේ. දෙමල සාහිත්‍යයේ අහම් (විරහ කාව්‍ය) සහ පුරම් (පුරාණ කාව්‍ය) වලින් ආභාසය ලබමින් පිළිවෙළින් ශෘංගාර කාව්‍ය සම්ප්‍රදායයක් සහ ප්‍රශස්ති කාව්‍ය රැසක් ද මෙකල බිහි විය. සබේ විදානේ ලියූ සහබන්දු හටන, දුනුවිල ගජනායක නිලමේ ලියූ දුනුවිල හටන, තල්අරඹේ ලියනප්පු ලියූ කොණ්ඩමාලය ශෘංගාර කාව්‍ය වෙයි. වැලිගල කවිසුන්දර මුදලි ලියූ වඩුග හටන හෙවත් ඇහැලේපොල වර්ණනාව, පාළුවැවේ ධර්මපාල හිමි ලියූ ශ්‍රී වික්‍රම අලංකාරය සහ කර්තෘ අඥාත වන ඉංග්‍රීසි හටන ප්‍රශස්ති හා හටන් කාව්‍ය ලෙස ගත හැකි වෙයි.[12]
මාතර යුගය
[සංස්කරණය]මාතර යුගය වෙන ම සාහිත්‍ය යුගයක් ලෙස හදුනා ගැනීම සම්බන්ධයෙන් ඇතැම්හු එකග නොවෙති. ඒ සම්ප්‍රදායික ව සිංහල සාහිත්‍යයේ යුග බෙදා දක්වා ඇත්තේ එකල පැවැති රාජධානිය අනුව හෙයිනුත් මාතර රාජධානියක් ව නොපැවති හෙයිනුත් ය. මාතර යුගය වශයෙන් ඇතැමුන් හදුනා ගන්නා වකවානුව අයත් වනුයේ ද මහනුවර රාජධානි සමයට ම ය. එබැවින් ඇතැම්හු මේ යුගයේ නිර්මාණ හා කවීන් ද මහනුවර යුගයෙහි ම ලා (වෙසෙසින් ම මහනුවර යුගයේ මුල් භාගයේ ලා) සලකති. නමුත් මහාචාර්ය බන්දුසේන ගුණසේකරයන් පෙන්වා දෙන පරිදි එකල මාතර ඇතුලු මුහුදුබඩ ප්‍රදේශ මහනුවර රාජධානියේ පාලන බලයෙන් බැහැර ව විදේශ පාලනයක් යටතේ පැවති හෙයින් සහ ඒ හේතුවෙන් වෙන ම සංස්කෘතික හා දේශපාලන පසුතලයක මාතර සාහිත්‍ය වැඩුණු බැවින් එය වෙන ම සාහිත්‍ය අවධියක් ලෙස හදුනා ගැනීම වැදගත් වෙයි.[13]
ගජමන් නෝනා, පත්තායමේ ලේකම්, සබේ විදානේ, ඇලපාත මුදලි, මිහිරිපැන්නේ ධම්මරතන හිමි, සාළිඇලේ මණිරතන හිමි, තල්අරඹේ ධම්මක්ඛන්ධ හිමි, රූණ හාමිනේ, රංචාගොඩ ළමයා සහ අන්දරේ මෙකල සිටි කවි කිවිදියෝ වෙති. මෙකල හිටිවන කවි බැදීම කෙරෙහි නැඹුරුවක් දැකිය හැකි වූ අතර ඇතැම් පද්‍ය මුඛපරම්පරාවෙන් පැවත එන්නේ ඒ කවි, කවියන් විසින් විවිධ පෞද්ගලික අවස්ථාවල දී පවසන ලද ඒවා වන බැවිනි. එමෙන් ම විවිධ අය වෙත යැවුණු කවියෙන් ලියන ලද පණිවිඩ, ලිපි ආදිය ලෙස ද මෙකල සාහිත්‍ය පවතී. මිහිරිපැන්නේ හිමියන්, ගජමන් නෝනා, ඇලපාත මුදලි, රූණ හාමිනේ, රංචාගොඩ ළමයා වැනි අයගේ කවි මීට නිදසුන් වෙයි.[14] සම්ප්‍රදායික බණ කථා තේමාවලින් මිදී කවීන් සිය පෞද්ගලික ජීවන අත්දැකීම් කවියට වස්තු කර ගනු දැකිය හැක්කේ මේ යුගයේ දී බැවින් නූතන සිංහල කවියේ මුල් බීජ හමුවන්නේ මාතර යුගයේ කවියෙනි.[15][16] දෙණිපිටියේ නුගරුක වැනුම, වියෝගමාලය, දැඩිතර සෝකමාලය ආදි කාව්‍ය කෘති රචනා කළ ගජමන් නෝනා මෙකල සිටි කවි කිවිදියන් අතරින් වඩාත් ම උසස් කවි හැකියාවක් තිබූ අය ලෙසින් වැජඹෙයි. මෙකල ශෘංගාර කවි බැදීම කෙරෙහි වැඩි රුචියක් දැකි හැකි වූ අතර එය රති සීපද සාහිත්‍යයක් බිහිවීමට හේතු විය. ගජමන් නෝනාගේ සහ ඇලපාත මුදලි ඇතුලු ඇය සමග මෙවැනි සංවාදවල නිරත වූ සෙසු කවිකාර වංශවතුන්ගේ රචනා තුළ මේ දැකිය හැකි ය.
නූතන අවධිය
[සංස්කරණය]කෙටිකතාව
[සංස්කරණය]1860 ගණන්වල සිට 1920 දක්වා කාලය තුළ පුවත්පත්වල සතියකට වරක්, කථාවස්තු නමින් නම් කරන ලදු ව පළ වූ, උපදේශනාත්මක අරමුණු වෙනුවෙන් රචනා වූ කථා සිංහල කෙටිකතාවේ මූල් ම අවස්ථාව ලෙස සැලකිය හැකි ය. මුල් ම සිංහල කෙටිකතා සංග්‍රහය ලෙස සැලකෙන්නේ 1924 දී මාර්ටින් වික්‍රමසිංහ විසින් පළ කළ ගැහැනියක් කෙටිකතා සංග්‍රහය යි. කලාත්මක ගුණයෙන් යම්තරමතට සාර්ථක නිර්මාණ මේ කෘතියේ ඇතුළත් විය. මාර්ටින් වික්‍රමසිංහ, හේමපාල මුනිදාස , ඩබ්ලිවු ඒ. සිල්වා සහ ටී. ජී. ඩබ්ලිවු. සිල්වා වැනි කෙටිකතාකරුවෝ දම්දෙසුම් ආදිය අඩුවෙන් යොදාගනිමින් යථාර්ථවාදී ව ජීවිතය අවලෝකනය කරන සහ කලාත්මක බවින් යුතු කෙටිකතා නිර්මාණයට උත්සාහ කළෝ ය. කෙසේනමුත් "අදීනත්වය හා ස්වතන්ත්‍රතාවය අතින් යම්බදු කුසලතා ප්‍රකට කෙරුණේ" මාර්ටින් වික්‍රමසිංහයන් විසින් යැයි මහාචාර්ය කුලතිලක කුමාරසිංහ පවසයි.[17] ජී. බී. සේනානායක විසින් ලියන ලදු ව 1945 වසරේ දී පළ වූ දුප්පතුන් නැති ලෝකය කෙටිකතා සංග්‍රහයේ එන වෙසක් පහන කෙටිකතාව ප්‍රථම කලාත්මක සිංහල කෙටිකතාව ලෙස සැලකේ. එඩ්ගා ඇලන් පෝ, ගී ද මෝපසාං, ඇන්ටන් චෙකෝෆ් වැනි ලෝ පතළ නිර්මාණකරුවන්ගේ නිර්මාණවලින් ආභාසයක් ලබමින් ජී. බී සේනානයක, මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර යන කෙටිකතාකරුවෝ සිංහල කෙටිකතාව තවදුරටත් පෝෂණය කළෝ ය.[18]
කේ. ජයතිලක, ඇරැව්වල නන්දිමිත්‍ර, සෝමරත්න බාලසූරිය, එච්. ඒ සෙනෙවිරත්න, ඊවා රණවීර, මදුරසිංහ ගුණතිලක, ඒ. වී. සුරවීර, දයාසේන ගුණසිංහ, සුනන්ද මහේන්ද්‍ර, රන්ජිත් ධර්මකීර්ති, අශෝක කොළඹගේ, මිණිවන් පී. තිලකරත්න, ඉන්ද්‍රකීර්ති සිරිවීර, කීර්ති වැලිසර, අනුරසිරි හෙට්ටිගේ, ජයතිලක කම්මැල්ලවීර, කමල් පෙරේරා, පියසීලී විජේමාන්න, කරුණා පෙරේරා, එරික් ඉලයප්ආරච්චි සිංහල සාහිත්‍යයේ කැපී පෙනෙන කෙටිකතාකරුවන් අතර වෙති.[19] මොවුහු බොහෝදෙනෙක් යථාර්ථවාදී රීතියට නැඹුරු වූවෝ වෙති. අජිත් තිලකසේන සම්ප්‍රදායික සිංහල කෙටිකතාවට අභියෝග කරමින් කථා පුවතින් බැහැර වෙමින් සහ විකාරරූපී ලෙස සිද්ධි සහ චරිත නිරූපණය කරමින් අධියථාර්ථවාදී ලක්ෂණ ප්‍රකට කළ අතර ටෙනිසන් පෙරේරා, කේ. කේ. සමන් කුමාර, පියල් කාරියවසම් වැනි කෙටිකතාකරුවන් ද සිය නිර්මාණය තුළ අධියථාර්ථවාදී සහ මායායථාර්ථවාදී ලක්ෂණ ප්‍රකට කරයි.[20] නිශ්ශංක විජේමාන්න ද නූතන කෙටිකතාකරුවන් අතර සුවිශේෂී ලක්ෂණ පළ කරයි.[21]
නවකතාව
[සංස්කරණය]මෙරටට මුද්‍රණ ශිල්පය හදුන්වා දීම සහ ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරකයන් විසින් මුද්‍රිත පොතපත ප්‍රචලිත කිරීම බණමඩුවේ දී කතාවකට සවන් දුන් සම්ප්‍රදායෙන් මිදී පොත් කියවීමේ සම්ප්‍රදායක් මෙරට ඇති කිරීමට හේතු වූ අතර මුල්කාලීන පුවත්පත් නූතන ප්‍රබන්ධ සාහිත්‍ය ප්‍රචලිත කිරීමේ මූලික කාර්යභාරයක් ඉටු කළේ ය.[22] මුල්වරට සිංහල ගද්‍යයේ නූතන ලක්ෂණ පිළිබිඹු වූයේ අයිසෙක් ද සිල්වා දේවගැතිතුමන් ලියූ වාසනාවන්ත පවුල හා කාලකණ්ණි පවුල (1888) නම් ප්‍රබන්ධයෙනි. කෙසේනමුත් පළමු සිංහල නවකතාව ලෙස සැලකෙන්නේ ඒ. සයිමන් ද සිල්වා ලියූ මීනා (1905) ය. ඒ එහි එන චරිත නිරූපණය හේතුවෙනි.[22] බටහිර අධ‍්‍යාපනය හේතුවෙන් බටහිර නවකතාවල ඇසුර ලැබූ ලේඛකයෝ බටහිර අද්භූත (රොමැන්ටික්/අරුමැසි) කතාවල ආභාසය ලබමින් අද්භූත කතා සහ ප්‍රේම කතා රචනා කිරීම සිංහල නවකතාවේ මූලාරම්භය ලෙස දැකිය හැකි ය. බෙන්තොට ඇල්බට් සිල්වා, පියදාස සිරිසේන, ඩබ්ලිවු ඒ. සිල්වා වැනි ලේඛකයන් නිදසුන් වශයෙන් දැක්විය හැකි ය.[22] 1944 දී පළ වූ මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය සිංහල නවකතාවේ සන්ධිස්ථානයක් විය. ඒ එය කලාත්මක නවකතාවක් මෙන් ම සමාජ පෙරළිය උසස් ලෙස නිරූපණය කිරීමක් ද වූ බැවිනි. සිංහල සාහිත්‍යයේ පළමු කලාත්මක නවකතාව ලෙස සැලකෙන්නේ ද ගම්පෙරළිය යි.[22] ගම්පෙරළියෙන් පසු යථාර්ථවාදී නවකතාව සමග සිංහල සාහිත්‍ය සමග අත්වැල් බැදගත් අතර ගුණදාස අමරසේකර, ජී. බී. සේනානයක, සිරි ගුනසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, කේ. ජයතිලක, ඇරැව්වල නන්දිමිත්‍ර, ජයසේන ජයකොඩි, එරික් ඉලයප්ආරච්චි, ජයතිලක කම්මැල්ලවීර ද මේ මග ම ගමන් කළෝ ය.[22] ටෙනිසන් පෙරේරා සහ සයිමන් නවගත්තේගම මායායථාර්ථවාදී රීතිය අනුගමනය කරමින් මේ සම්ප්‍රදාය ඉක්මවා යාමට තැත් කළෝ වෙති. සයිමන් නවගත්තේගමගේ සංසාරාණ්‍යයේ දඩයක්කාරයා වැනි (සුද්දිලාගේ කතාව හැර සෙසු) නවකතා සියල්ල ම ද ටෙනිසන් පෙරේරාගේ බොහෝ නවකතා ද, මොහාන් රාජ් මඩවලගේ කෘති ද මායායථාර්ථවාදය අනුදත් කෘති වෙයි.[23][24] බොහෝ ලාංකික ලේඛක ලේඛිකාවන් සිය කෘති රචනයේ දී යථාර්ථවාදය ම ගුරුකරගෙන ඇති අතර මායායථාර්ථවාදය හෝ අධියථාර්ථවාදය කෙරෙහි යොමු වී ඇත්තේ අතලොස්සකි. සිංහල සාහිත්‍ය තුළ බිහි වූ මායායථාර්ථවාදී නිර්මාණ එතරම් සාර්ථක වූ බවක් නොපෙනෙන බව මහාචාර්ය කුලතිලක කුමාරසිංහ පවසයි.[24] කේ. කේ. සමන් කුමාර පවසන පරිදි ලාංකීය ජනවිඥාණය තුළ "මායායථාර්ථවාදයට මුල් සොයා ගවේෂණයේ යෙදුණු පුරෝගාමියා සයිමන් නවගත්තේගම" යි.[25]
නූතන කවිය
[සංස්කරණය]සිංහල කවියේ නූතන ලක්ෂණ මුල්වරට පළවූයේ මාතර යුගයේ කවිය වෙතිනි. මාතර යුගයේ කවියෝ මුල්වරට සිය පුද්ගලානුභූති කාව්‍යයට නැගුවෝ ය. ගජමන් නෝනාගේත්, මිහිරිපැන්නේ ධම්මරතන හිමිගේත් ඇතැම් කවි නිදසුන් වේ.[16] එමෙන් ම කවිය ලෞකික ජීවිතයේ සබදතා ආදිය වස්තු විෂය කරගැනීම ද මේ යුගයේ දක්නට හැකිවිය. මාතර යුගයෙන් පසු එළඹෙන කොළඹ යුගයේ දී සිංහල කවිය පැහැදිලි සහ විශිෂ්ට ලෙස නූතන ලක්ෂණ පිළිබිඹු කරන්නට වූයේ එකල කාව්‍යයකරුවන් බටහිර සාහිත්‍යය ප්‍රවණතාවන්හි ආභාසය ලැබූ බැවිනි. නූතන සිංහල කවිය කොළඹ යුගයේ මුල් පරපුර හා දෙවන පරපුර ලෙස වර්ග කර හදුනාගනු ලැබේ. ඇස්. මහින්ද හිමි, ආනන්ද රාජකරුණා, ජී. එච්. පෙරේරා යන අයත් කුමාරතුංග මුනිදාස, රැයිපියෙල් තෙන්නකෝන් වැනි හෙල හවුලේ කවියෝත් කොළඹ යුගයේ යුගයේ පළමු පරපුරට අයත් වෙති.[16]
මෙකල කවියෝ බොහෝදෙනෙක් අධිරාජ්‍යවාදයටත්, යටත් විජිත සමයේ සංස්කෘතික පරිහානියටත් එරෙහි ව කවිය අවියක් කරගත්හ. ඇස්. මහින්ද හිමි අධිරාජ්‍යවාදයට එරෙහි ව දැඩි උද්වේගකර කාව්‍ය රචනා කළේ ය. ඒ අතර ම කුමාරතුංග මුනිදාස, ඇස්. මහින්ද හිමි, ආනන්ද රාජකරුණා වැනි කවියෝ ලාංකීය ළමා සාහිත්‍යයක් ගොඩනැගීම සදහා ද කවිය උපයෝගී කරගත්හ.[16]
මීමන ප්‍රේමතිලක, සාගර පලන්සූරිය, පී. බී. අල්විස් පෙරේරා, විමලරත්න කුමාරගම වැනි කවියන් අයත් වන කොළඹ යුගයේ දෙවන පරපුර වර්ඩ්ස්වත්, ෂෙලී වැනි කවියන් අයත් වූ බටහිර රොමැන්ටික් කාව්‍ය ප්‍රවණතාවේ බලපෑම දැඩි ව පෙන්නුම් කළේ ය. ප්‍රේමය සහ ස්වභාව සෞන්දර්ය මොවුන්ගේ සුලබ තේමා විය. දේදුන්න, සුවද, මී වදය, වෙඩිල්ල වැනි මාසික කවි සගරා බිහිවෙමින් කවිය ජනප්‍රිය වෙමින් ආ මෙකල ලියැවුණු බොහෝ කවි සරල, සැහැල්ලු, සුන්දර රචනා විය. සිංහල කවිය බහුජන වින්දන මාධ්‍යයක් කිරීමට මෙය හේතු විය. එමෙන් ම ඔවුහු මින් පෙර කවියට වස්තු විෂය නොවූ පොදුජන චරිත විෂය කරගනිමින් සිංහල කවියට නව වස්තු විෂයන් හදුන්වා දුන්හ. මෙවැනි ඇතැම් රචනා විසින් පීඩිත පන්තියේ ජීවිත ද විවරණය කෙරුණි. නිදසුන් ලෙස විමලරත්න කුමාරගමගේ රචනා සහ පී. බී. අල්විස් පෙරේරාගේ ඇතැම් රචනා දැක්විය හැකි ය.[16]
ජනප්‍රිය සාහිත්‍යය
[සංස්කරණය]ජනප්‍රිය සාහිත්‍යය (genre fiction) වශයෙන් හැඳින්වෙන්නේ ජීවිතය පිළිබඳ ගැඹුරු අරුත් මතුකිරීමට, තියුණු සමාජ දේශපාලනික කියවීම් සිදුකිරීම වෙනුවට බොහෝවිට පාඨකයාට සරළ විනෝදාස්වාදයක්, කතා රසයක් ලබාදීමේ අරමුණින් ලියැවෙන කතාවන් ය. නිදසුන් ලෙස ආදර කතා (romance), රහස් පරීක්ෂක කතා (detective fiction), අබිරහස් කතා (mystry), භීම කතා (horror), ත්‍රාසකථාව (thriller), විද්‍යා ප්‍රබන්ධය (science fiction) සහ සමපේක්ෂණාත්මක ප්‍රබන්ධය (speculative fiction) දැක්විය හැකි ය. මෙලෙස කිසියම් එක් රසයක් මුඛ්‍ය කරගත් උප දහරා ලෙස වෙන් ව පැවතීම මෙම සාහිත්‍යයේ ගුණාංගයකි. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කතාවේ මුල්කාලීන පුරෝගාමියා වන්නේ රහස් පරීක්ෂක හා මාරක කතා රාශියක් රචනා කළ ඩීමන් ආනන්දයන් ය.[26] ආදර කතාව ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සාහිත්‍යයේ විශාල පාඨක ප්‍රසාදයක් දිනාගත් උප ශානරයක් වන අතර කරුණාසේන ජයලත්, සුජීව ප්‍රසන්න ආරච්චි, මොහාන් රාජ් මඩවල, එඩ්වඩ් මල්ලවආරච්චි, චන්දි කොඩිකාර, සුජීව රත්සර මද්දුම ආරච්චි, දර්ශනා ශම්මි, ගංගා ෂයිනි ගමගේ මෙහි ලා කැපී පෙනෙන ලේඛක ලේඛිකාවෝ වෙති. එමෙන් ම මෑත යුගයේ සිංහල සාහිත්‍යය තුළ විද්‍යා ප්‍රබන්ධය ද නැගී එන සාහිත්‍යාංගයක් බවට පත් වි ඇති අතර එහි ලා දමිත නිපුණජිත්, සුසිත රුවන්, අයෝධ්‍යා සොනාලි, මනෝජ් ප්‍රසන්න රත්නායක කැපී පෙනෙන ලේඛක ලේඛිකාවෝ වෙති.
යොවුන් සාහිත්‍යය සහ ළමා සාහිත්‍යය
[සංස්කරණය]කුඩා ළමුන්, එනම් වයස අවුරුදු 12න් පහළ පිරිස් ඉළක්ක කරගනිමින් ලියැවෙන කතාන්දර ළමා සාහිත්‍යයට අයත් වන අතර ලංකාවේ මෙහි කැපී පෙනෙන ලේඛිකාව වන්නේ ළමා කතාන්දර රැසක් ම රචනා කළ සිබිල් වෙත්තසිංහයන් ය. ඇය විසින් රචිත "කුඩ හොරා" ළමා කතාව ජාත්‍යයන්තර සම්මානයට පවා පාත්‍ර විය.[27][28] එමෙන් ම මාර්ටින් වික්‍රමසිංහ, ජී. බී. සේනානායක, කේ. කේ. සමන් කුමාර වැනි ප්‍රධාන දහරාවේ ලේඛකයන් විසින් ද ළමා කතා රචනා වී ඇත. මෑත යුගයේ මෙහි කැපී පෙනෙන ලේඛිකාවක් වන්නේ ජානකී සූරියආරච්චි ය.
නවයොවුන් පාඨකයන් එනම් වයස 12ත් 18ත් අතර පිරිස් ඉළක්ක කරගනිමින් රචනා වන ප්‍රබන්ධ යොවුන් සාහිත්‍යය (young adult fiction) යනුවෙන් හැඳින්වෙන අතර ශ්‍රී ලංකාවේ යොවුන් සාහිත්‍යය කෘති ලෙස මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මඩොල්දූව, පීටර් පෙරේරා පියතුමන්ගේ පාලු දූපත, කුලසේන ෆොන්සේකාගේ තුන් යහළු වික්‍රමය සහ ආරියනන්ද දොඹගහවත්තගේ බෙරගල කන්දේ නිධානය වැනි කෘති හඳුනාගත හැකි ය.
මේවා ද බලන්න
[සංස්කරණය]සටහන්
[සංස්කරණය]- ^ සිරිසුමන හිමි 2017.
- ^ a b සිරිසුමන හිමි 2019.
- ^ a b c දුමින්ද ලක්සිරි කුමාර 2019.
- ^ ගුණසේකර 1996, පිටු අංකය: 44.
- ^ ගුණසේකර 1996, පිටු අංකය: 49.
- ^ ගුණසේකර 1996, පිටු අංකය: 1-66.
- ^ ගුණසේකර 1996, පිටු අංකය: 11-66.
- ^ ගුණසේකර 1996, පිටු අංකය: 98-99.
- ^ ගුණසේකර 1996, පිටු අංකය: 125.
- ^ ගුණසේකර 1996, පිටු අංකය: 116-117.
- ^ ගුණසේකර 1996, පිටු අංකය: 117-123.
- ^ ගුණසේකර 1996, පිටු අංකය: 141-174.
- ^ ගුණසේකර 1996, පිටු අංකය: 178-179.
- ^ ගුණසේකර 1996, පිටු අංකය: 182-222.
- ^ ගුණසේකර 1996, පිටු අංකය: 179.
- ^ a b c d e විජේසිංහ 2015.
- ^ කුමාරසිංහ 2018, පිටු අංක: 27-30.
- ^ කුමාරසිංහ 2018, පිටු අංක: 33-36.
- ^ කුමාරසිංහ 2018, පිටු අංක: 39-53.
- ^ කුමාරසිංහ 2018, පිටු අංක: 53-62.
- ^ කුමාරසිංහ 2018, පිටු අංක: 57-58.
- ^ a b c d e නූතන සිංහල ප්‍රබන්ධ කතාවේ විකසනය 2013.
- ^ සමන් කුමාර 2014, පිටු අංකය: 13.
- ^ a b කුමාරසිංහ & 2020 සත්මඩල.
- ^ සමන් කුමාර 2014, පිටු අංකය: 17.
- ^ සුගතදාස, හර්ෂා (26 ජුනි 2021), "කිසිදා නොමිෙයන ‘මාරක කතා චක්‍රවර්ති’ ඩීමන් ආනන්ද", සිළුමිණ, https://archives1.silumina.lk/2021/06/26/%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%92/%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8F-%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E2%80%8C%E0%B7%99%E0%B6%BA%E0%B6%B1-%E2%80%98%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F-%E0%B6%A0%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E2%80%99-%E0%B6%A9%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A-%E0%B6%86%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF, ප්‍රතිෂ්ඨාපනය 9 දෙසැම්බර් 2023[permanent dead link]
- ^ එම්. ගමගේ, විනීතා; උදංගනී, ඩයනා (1 ජූලි 2020), "ළමා ලෝකයේ ‘පුදුම පළිඟුව‘ වූ සිබිල් නැන්දා", ලංකාදීප, https://www.lankadeepa.lk/features/%E0%B7%85%E0%B6%B8%E0%B7%8F-%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A--%E2%80%8D%E2%80%98%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B8-%E0%B6%B4%E0%B7%85%E0%B7%92%E0%B6%9F%E0%B7%94%E0%B7%80%E2%80%98-%E0%B7%80%E0%B7%96-%E0%B7%83%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B1%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F/2-574646, ප්‍රතිෂ්ඨාපනය 9 දෙසැම්බර් 2023
- ^ උපුල් කුමාර, ෂර්ලි (2 ජූලි 2020), ළමා සාහිත්‍ය නිර්මාණ තුළින් ලෝකය දිනූ 'සිබිල් නැන්දා', බීබීසී සිංහල, https://www.bbc.com/sinhala/sri-lanka-53265256, ප්‍රතිෂ්ඨාපනය 9 දෙසැම්බර් 2023
ආශ්‍රිත නාමාවලිය
[සංස්කරණය]- අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව (2013). "නූතන සිංහල ප්‍රබන්ධ කථාවේ විකසනය". අ. පො. ස. (උසස් පෙළ) සදහා නිර්දිෂ්ට මළ ගිය ඇත්තෝ නවකතාව පිළිබද විමර්ශනය. pp. 1–21.
- කුමාරසිංහ, කුලතිලක (2018). කෙටිකතාව, කෙටිකතා මූලධර්ම හා සිංහල කෙටිකතාවේ ප්රභවය හා විකාශනය (PDF). සිංහල විශ්වකෝෂ පුස්තිකා. Vol. 2 (පළමු මුද්‍රණය ed.). බත්තරමුල්ල: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව. ISBN 978-955-3748-19-5. 2021-12-02 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2021-12-02.
- කුමාරසිංහ, කුලතිලක (2020 පෙබරවාරි 01), "යථාර්ථවාදී නවකතාවේ නූතන එළැඹුම", සත්මඩල, http://www.sathmadala.lk/2020/02/03/%E0%B6%B1%E0%B7%80-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B6%AB%E0%B6%AD%E0%B7%8F/%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93-%E0%B6%B1%E0%B7%80%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B6%B1%E0%B7%96%E0%B6%AD%E0%B6%B1-%E0%B6%91%E0%B7%85%E0%B7%90%E0%B6%B9%E0%B7%94%E0%B6%B8, ප්‍රතිෂ්ඨාපනය 2021-12-02
- ගුණසේකර, බන්දුසේන (1996). සිංහල සාහිත්‍යය : කෝට්ටේ යුගය හා එතැන් සිට. කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ. ISBN 955-20-1547-2.
- දුමින්ද ලක්සිරි කුමාර, ඩී. එම්. (13 ජුනි 2018). "අනුරාධපුර යුගයේ ගද්‍ය හා පද්‍ය සාහිත්‍යය". දිවයින. 2019-12-25 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 දෙසැම්බර් 2019.
- විජේසිංහ, රත්න ශ්‍රී (2015). "ප්‍රස්තාවනාව". අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා නූතන පද්‍ය සංග්‍රහය. ගොඩගේ ප්‍රකාශන. pp. 5–41. ISBN 978-955-30-2019-2.
- සමන් කුමාර, කේ. කේ. (2014). සාහිත්‍ය ෂානර විමංසා (පළමු මුද්‍රණය ed.). සයුර ප්‍රකාශන. ISBN 978-955-4788-08-4.
- සිරිසුමන හිමි, අගලකඩ (14 මැයි 2014). "බුදු දහමින් පෝෂිත සිංහල සාහිත්‍යය". බුදුසරණ - අන්තර්ජාල කලාපය. සම්ප්‍රවේශය 29 දෙසැම්බර් 2019.
- සිරිසුමන හිමි, අගලකඩ (23 සැප්තැම්බර් 2017). "සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ මඟ සලකුණු". සිළුමිණ. 2019-09-14 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 දෙසැම්බර් 2019.