යාපහුව බලකොටුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
නගරය සඳහා, යාපහුව.බලන්න
යාපා02.jpg

ශ්‍රී ලංකාවේ අගනගර රාජධානි සොළී ආක්‍රමණ සහ ස්වභාවික ආපදා තත්ත්වයන් නිසා ක්‍රමයෙන් නිරිත දිගට සංක්‍රමණය විය. එම සංක්‍රාන්තියේ සිවුවන නැවතුම්පොළ වූයේ යාපහුව බලකොටුවයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහව මංසන්දියට කිලෝමීටර 04ක් පමණ වයඹ දිශාවෙන් පිහිටි යාපහුව 13 වන සියවසේ දශකයක් පමණ කෙටි කාලසීමාවක් සඳහා දිවයිනේ අගනගරය බවට පත්ව තිබූ පර්වත ආශ්‍රිත පැරණි නගරයකි. පොළොන්නරුව රාජධානි සමයෙන් පසුව නිරන්තර ඇතිවූ විදේශීය ආකුමණ හමුවේ වැදගත් ආරක්‍ෂාස්ථානයක් ලෙස යොදාගත් බවට සාක්ෂි ඇති මෙම පුරාස්ථානය පෞරාණිකත්වය අතින් ඉනිදු බෙහෙවින් ඈත වකවානුවක පටන් ජනාවාසයක් ලෙස පැවතුණකි. ප්‍රාග් ඓතිහාසික අවධියට අයත් ජනාවාස සාධක සහිත යාපහුව සහ තදාසන්න ප්‍රදේශය පූර්ව ඓතිහාසික සමයේදීත් මූල ඓතිහාසික සමයේදීත් වැදගත් ජනාවාසයක් විය. මේ වගට පුරාවිද්‍යාත්මක සාධක අනුසාරයෙන් සාක්‍ෂි ඵලවන්නේ වුවද යාපහුව පිළිබඳ මුල්ම විස්වසනීය ලිඛිත මූලාශ්‍රගත සදහන් 13 වන සියවසට බොහෝ දුරට සීමාවෙයි. සුභ නම් ප්‍රාදේශීය පාලකයෙකු කාලිංග මාඝගේ ආක්‍රමණ සමයේ යාපහුවේ බලකොටුවක් සහ නගරයක් ගොඩනංවා එහි සිට එම ප්‍රදේශය පාලනයකළ බවට සාධක ලිඛිත මූලාශ්‍රයන්හි දක්නට ලැබේ. මින් අනතුරුව සිව්වන විජයබාහු යාපහුවේ යම් යම් සංවර්ධන වැඩ සිදුකරන ලද අතර මෙය එම වකවානුවේ වැදගත් ආරක්‍ෂක මධ්‍යස්ථානයක් විය. රාජ්‍යත්වයට පෙරද යාපහුවෙහි විසුම්ගෙන සිටි සිව්වන විජයබාහු රජුගේ සොයුරු බුවනෙකබාහු සිය සොයුරාගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත්වීමෙන් ටික කලකට පසු යාපහුව සිය අගනගරය ලෙස තෝරාගනී. එය ලංකාවේ සිව්වන රාජධානියයි.

භූභෞතික පසුබිම[සංස්කරණය කරන්න]

යාපහු පර්වතය නැගෙනහිරින්.jpg

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි යාපහුව පැරණි නගරය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමෙන් අඩි 300 ක් පමණ උස්වූ සමබිමේ සිට අඩි 400 ක් ඉහළට නැගෙන පාෂාණ උන්නතයක් ආශ්‍රිතවයි. සමබිමෙන් අඩි 400 ට කනාවැඩි උසකට නැගෙන කදුවැටි මෙම කලාපයේ දුලබ වශයෙන් දක්නට ලැබෙන අතර මොනරකන්ද, දියටැඹේ. යාපහුව වැනි කදුගැට කිහිපයක් එකී උස පරයා නැගේ. යාපහු පෙදෙස වී ගොවිතැන සඳහා හිතකර වන්නා වූ රතු-දුඹුරු පසෙන් සහ නොමේරූ දුඹුරු ලොම් පසෙන් යුත් පස් සැකැස්මකින් යුතුවේ. සාමාන්‍ය වාර්ෂික වර්ෂපතනය මිලිමීටර 1500-2000 ත් අතර වන අතර සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 25.0-27.5 ත් අතර වේ.

ඓතිහාසික පසුබිම[සංස්කරණය කරන්න]

යාප03.jpg

මෙකල යාපහුව නමින් දන්නා පව්වෙහි පැරණි නම අප්‍රකටය. යාපහුව පිළිබඳ මුලින්ම අසන්නට ලැබෙනුයේ සුභ නම් සෙනවියා විසින් 13 වන සියවසේ මුල් භාගයේ පැවති කාළිංග මාඝගේ අවිචාරවත් පාලන සමයේ දී ප්‍රදේශ ආරක්ෂාව පිණිස බලකොටුවක් ගොඩනගා එහි විසීම සම්බන්ධයෙනි. මෙම අවස්ථාවේදීත් මීට පසු අවස්ථා කිහිපයකදීත් මෙම පර්වතය හදුන්වනු වස් යාපව්ව, යාපව්ගල යන නම් වංශකතාවල යෙදී තිබේ. සිංහල බෝධිවංසය යාපහුව විෂයෙහි 'සුන්දරගිරි පව්ව' යන නම ආරෝපණය කොට තිබේ. සුභ සෙනවියා විසින් සිය වාසය සඳහා තෝරා ගැනීමෙන් ඉක්බිති මෙම පව්ව සුභවාල, සුභගිරි යන නම් වලින් ද හැදින්වූ බව පෙනේ. දළදා පූජාවලියේ මෙම පව්ව හදුන්වනු වස් අයෝපබ්බත යන්න යොදයි. යාපහුව පුරාස්ථානය සහ තදාසන්න ප්‍රදේශය පිළිබඳ ඉපැරණිම පුරා විද්‍යාත්මක සාධක ප්‍රාග් ඓතිහාසික සමය දක්වා දිවේ. යාපහු පර්වත මස්තකයෙන් ද පර්වත බෑවුමේ ඇති ලෙනකින් ද අවට ප්‍රදේශයෙන් ද ප්‍රාග් ඓතිහාසික ජනාවාස සාධක අනාවරණය කෙරේ. මෙම සාධක අතරට භාවිතකළ සහ නොකළ තිරුවානා වටගල්, භාවිතකළ රත්හිරියල්, කහඳ හා තිරුවානා අපද්‍රව්‍ය සහ දුලබ තිරුවානා ගල් අයත්ය. දඹදෙණියේ රජකල හතරවන විජයබාහු රජුගේ ඇවෑමෙන් රාජ්‍යත්වයටපත් පළමු බුවනෙකබාහු රජුද රාජ්‍යත්වයෙන් පසු වසර කිහිපයක් දඹදෙණියේ වාසයකොට පසුව යාපහුවට පැමින එහි සෞභාග්‍යයෙන් බබලන අතිශය සංකීර්ණ වූ රාජධානියක් කරවීය. පළමු බුවනෙකබාහු රාජ්‍යකාලය වසර 12 කට සීමා වේ. ඔහු රාජ්‍යත්වයට පැමින වසර කිහිපයක් අවසන් දඹදෙණි පාලකයා ලෙස දඹදෙණි නුවරද ගතකල හෙයින් බුවනෙකබාහු රටේ අගරජ ලෙස යාපහුවෙහි කොපමන කලක් ගතකලේ දැයි අපහැදිලිය. යාපහුව දිවයිනේ අගනගරය ලෙස පැවති කෙටි කාලසීමාව රටේ අගනගරය ලෙස පැවති ස්ථාන අතරින් දෙවැනි වන්නේ නම් ඒ දැදිගම රාජධානියට පමණි. එසේ වුවද අගනගරයක් වශයෙන් යාපහුවේ ශේෂව ඇත්තා වූ පුරාවිද්‍යාත්මක නෂ්ටාවශේෂයන්හි ප්‍රමාණය දෙවැනි වන්නේ අනුරාධපුරය, පොළොන්නනරුව, සීගිරිය සහ ඇතැම් විටෙක මහනුවරට පමණි. ආරක්‍ෂිත බලකොටුවක් වශයෙන් ඇති වැදගත්කම අතින් යාපහුව දෙවැනි වන්නේ සීගිරියට පමණකැයි පරණවිතාන පවසයි.

පුරාවිද්‍යාත්මක අවශේෂ[සංස්කරණය කරන්න]

සීගිරිය හැරුණුවිට දිවයිනේ ඇති පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වූ බලකොටුව යාපහුව බවට විවාදයක් නැත. උතුරු, නැගෙනහිර සහ බටහිර පාර්ශවයෙන් තරණයකල නොහැකි ප්‍රපාතාකාර පර්වතයක් වූ යාපහුවේ පර්වත මස්තකයට පිවිසිය හැකි පැරණි මග පර්වතයෙහි දකුණු පසින් පිහිටා තිබේ. පර්වත මස්තකයට පිවිසිය හැකි ප්‍රපාතාකාර නොවන පර්වතයේ දකුණු පාර්ශවයේ ආරක්ෂක සංවිධාන කෘත්‍රිම උපාය මාර්ග සැළසීමෙන් ශක්තිමත් කිරීම අවශ්‍ය විය. එකී අරමුණ ශාක්ෂාත් කරගනු පිණිස පර්වතයේ දකුණින් වූ සම බිම පවුරු සහ දිය අගල් වලින් පිරිකෙව් කර ඉන් අනතුරුව පුවනෙකබාහු රජු යාපහුව රාජධානිය ගොඩනගන්නට ඇත. දිය අගල් දෙකකින් සහ ප්‍රාකාර දෙකකින් ආරක්ෂිත වූ ඇතුල් නගරය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් වැදගත් වී යැයි සිතිය හැකි ගොඩනැගිලි ගණනාවකින් ද විසිතුරු සෝපානයකින් ද සමන්විත වේ. පර්වත මස්තකයේ රජ මාළිගය සහ තවත් ගොඩනැගිලි ද පනාබැමි සහ පොකුණු ඇතුලු ඉදිකිරීම් ද තිබී ඇත. එදා පළමු බුවනෙකබාහු රජු සමයේකළ ඒ විශ්මිත නිමැවුම්වල අද අපිට දක්නට ඇත්තේ නෂ්ටාවශේෂ පමණි.

පිට නගරය[සංස්කරණය කරන්න]

පිට දිය අගල සහ පිටනගර ප්‍රාකාරයත් පිට නගරයට සම්බන්ධ ද්වාර මණ්ඩපයත් පිටනගර ප්‍රාකාරයේ සිට ඇතුල් නගර අගල දක්වා වු බිම් ප්‍රදේශයත් පිට නගරය සේ සැලකේ. වපසරිය අතින් පිට නගරයට වඩා ඇතුල් නගරය කිහිපගුණයකින්ම විශාල මුත් මෙම බිම් ප්‍රදේශය තුල පැහැදිලි ගොඩනැගිලි කිසිවක් හදුනාගත නොහැකිය. නමුත් ඇතුල් නගරයේ බටහිර දොරටුවේ සිට මීටර 22 ක් පමණ බටහිර දෙසින් වූ ගල් තලාවක කොටා ඇති පියගැට 03 පිට නගරයට අයත් ගොඩනැගිල්ලක් පිළිබඳ අනුමාන සහගත වූ එකම පුරාවිද්‍යාත්මක සාධකය වේ. මීට අමතරව ඇතුල් නගරයේ දක්නට නොලැබෙන පොකුණු කිහිපයක් පිට නගරයේ දක්නට ලැබෙන බැවින් පිට නගර ප්‍රදේශය රජ මාළිගයක අවශ්‍ය අංගයක් ලෙස සලකන ලද්දාවූත් එහෙත් යාපහුවේ හදුනාගත නොහෙන 'රාජකීය උද්‍යානය' ද යන්න පිළිබඳ පුරාවිද්‍යාඥයින් තුළ සැකයක් මතු වී ඇත.

පිට දිය අගල[සංස්කරණය කරන්න]

පර්වතයට දකුණින් පර්වත පාදස්ථානයේ පිහිටි ඇතුල් නගරයත් ඒ වටා පිහිටි පිට නගරයත් ඇතුලත් බිම් ප්‍රදේශය පිරිකෙව් වන පරිදි පිට නගර ප්‍රාකාරයත් එහට පිටතින් පිට දිය අගලත් ගොඩනගා තිබේ. දිය අගලෙහි දෙපස යාපහු පර්වතය හා වැදී කෙළවර වේ. අශ්ව ලාඩමක හැඩයට කිලෝමීටරයකට අධික දුරක් ගමන් ගන්නා පිටත දිය අගල මෙකල පුළුලින් මීටර 18 ක් ද ගැඹුරින් මීටර 03 ක් ද වෙයි.

පිට ප්‍රාකාරය[සංස්කරණය කරන්න]

පිට දිය අගලට ඇතුලතින් පිහිටි පිට නගර ප්‍රාකාරය දිය අගල ගමන් ගන්නා සමස්ථ දුර ප්‍රමාණය ඊට සමාන්තරව ගමන් ගනී. ප්‍රාකාරය මැනවින් ශේෂිත ස්ථානයන් හි උපරිම උස මීටර 04 ක් පමණ ද පළල මීටර 22 ක් පමණ ද වේ. මෙහි පහළ කොටස ගල් කුට්ටිවලින් තනා ඉහළ කොටස ගඩොලින් ඉදිකර ඇති බවට සාධක කිහිප ස්ථානයක දක්නා ලැබේ. පිට නගරය මධ්‍යයෙන් ඇතුල් නගරයට ප්‍රවේශවීම සඳහා දොරටු 03 කි. මින් වඩා සිත්ගන්නා සුළු වනුයේත් වඩා වැඩි ආයාසයකින් තනා ඇත්තේත් දකුණු දොරටුවයි. ද්වාර මණ්ඩපයට ගොඩවීමටත් බැසීමටත් පියගැට 16 ක් සහිත මෙම දොරටුව පාගමනින් යන්නන්ගේ ප්‍රයෝජනයට යොදාගන්නට ඇතැයි සිතිය හැකි අතර එය මෙහි ප්‍රධාන දොරටුව වන්නට ඇත.

පියගැට පෙළ සහ ගල් කෙමිය[සංස්කරණය කරන්න]

ඇතුල් නගර පව්වේ බටහිර දොරටුවේ සිට මීටර 22 ක් පමණ බටහිර දෙසින් ඇති ගල් තලාවක් මත ගලෙහිකෙටූ පියගැට 03 කි. මෙම පියගැට පෙළට මීටර 06 ක් නැගෙනහිරින් ස්වභාවික ගල් කෙමියක් ඇති අතර එහි ඉවුරු සක්කා ගලින් බැද තිබූ බවට සාක්ෂි දක්නට ඇත.

ඇතුල් නගරය[සංස්කරණය කරන්න]

ඇතුල් නගරයේ සීමාවන් ලෙස යෙදෙන ඇතුල් නගර ප්‍රාකාරයත් දිය අගලත් පිට දිය අගල සහ පවුර මෙන් ම අශ්ව ලාඩමක හැඩති සැලැස්මකින් යුතුව ගමන් ගනී. ඇතුල් නගර පව්වෙහි සහ දිය අගලෙහි එක් අන්තයක් පුරාවිද්‍යා කෞතුකාගාරය පිටුපසින් පර්වතයට සම්බන්ධවන අතර අනෙක් අන්තය යාපහු පර්වතයේ දකුණු පසට ඇති නෙරුමට පහළින් පර්වතය හා සම්බන්ධ වේ. යාපහු නගරයට අයත් කැපීපෙනෙන ස්මාරක අතරින් බහුතරය දක්නා ලැබෙන්නේ ඇතුල් නගරය තුළයි.

ඇතුල් අගල[සංස්කරණය කරන්න]

ඇතුල් නගරයේ බාහිර සීමාව ලෙස යෙදෙන ඇතුල් දිය අගලේ පළල තැනින් තැනට වෙනස්වන අතර එය දළ වශයෙන් මීටර 14 ක් පමණ ද දැන් ඇති ගැඹුර 1.7 ක් පමණ ද වේ. ඇතුල් දිය අගලේ සමස්ථ දිග ප්‍රමාණය මීටර 330 කි.

ඇතුල් පවුර[සංස්කරණය කරන්න]

ඇතුල් දිය අගලත් සමගම ඊට ඇතුලතින් දිවෙන ඇතුල් පවුර මනාසේ සැකසුන ගලින් නිමි චිත්තාකර්ෂණීයවූත් චාම්වූත් නිමැවුමකි. භූ විෂමතාවට අනුරූපීව උසින් විෂම වන මෙම පවුරේ උසම ස්ථානය මීටර් 03 කි. පවුර මුදුනෙහි බොකු පියස්සක හැඩයට නෙලූ තෙප්පි ගල් පෙළක් යොදා තිබේ. පවුර ඔස්සේ ඇතුල් නගරයට පිවිසීමට දොරටු දෙකකි. ඇතුල් නගරයේ එක්රැස්වන ජලය ඇතුල් පවුර තුළින් ඇතුල් දිය අගල කරා බැස්සීමට ඉවහල් වූ ගලින් කල සොරොව් දෙකක් ද මේ පවුරේ දක්නට හැකිය. ප්‍රාකාරයේ සම්පූර්ණ දිග මීටර 440 ක් පමණ වේ.

සභා ශාලාව[සංස්කරණය කරන්න]

දළදා මාළිගාවට පිවිසෙන විසිතුරු පියගැට පෙළෙහි ආරම්භක පියගැට පංතිය ආරම්භ වන තැන සමබිමේ ඇති සිව්රැස් සැලැස්මෙන් යුත් ගොඩනැගිල්ල සභා ශාලාව නමින් හැදින්වේ. ඊසාන-නිරිත අතට මීටර 17.7 ක් ද වයඹ-ගිනිකොන දෙසට මීටර 11.9 ක් ද බැගින් දිග පළල වූ මෙම ගොඩනැගිල්ලට පිවිසෙනු සඳහා පියගැට පංති 03 ක් එහි ගිනිකොන,වයඹ සහ නිරිත දිසාවන්ගෙන් වේ.

රජ මාළිගය[සංස්කරණය කරන්න]

සැලැස්මෙන් සිවුරැස් වූ මෙම ගොඩනැගිල්ල රජ මාළිගය බැව් සාමාන්‍ය පිළිගැනීම වුවත් මෙය සහතික කරවනු වස් කිසිදු ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක සාධකයක් හමුනොවේ. දිගු පුළුලින් මීටර් 26.7 ක් බැගින්වන මෙම ගොඩනැගිල්ල ගඩොළුමය ඉවුරෙන් යුත් සිවුරැස් වේදිකාවක් ලෙස දිස් වේ.

ගොඩනැගිලි[සංස්කරණය කරන්න]

ඇතුල් නගරයේ ප්‍රධාන වශයෙන් ගොඩනැගිලි 03 ක නටඹුන් දක්නට හැකිය. 'සභාශාලාව' නමින් හැදින්වෙන ගොඩනැගිල්ලට බටහිර දෙසින් පිහිටි ආයත චතුරඝ්‍රාකාර පෙනුමෙන්යුත් ගොඩනැගිල්ලක්වන මෙහි අපේක්ෂිත අරමුණ අපහැදිලිය. පැරණි වීථියේ එක් පාර්ශවයක ඇති මෙම ගොඩනැගිල්ල මීටර 66.3 ක් දිගුවන මුත් පළල මීටර 6.6 කි. මෙම ගොඩනැගිල්ලට යාබදව වීථියේ අනෙක් පාර්ශවයේ තවත් එවැනිම ගොඩනැගිල්ලක් වෙයි. දිගින් මීටර් 70 ක් වන මෙය වීථියට විරුද්ධ දිශාවෙන් පර්වතයට මළුවක ආකාරයෙන් සම්බන්ධවන බැවින් බිත්තියක් නොදක්නා ලැබේ. අනෙක් ගොඩනැගිල්ල දළදා මාළිගය නම් ගොඩනැගිල්ල අසල පිහිටා ඇත.

ද්වාර මණ්ඩපය සහිත විසිතුරු පියගැට පෙළ[සංස්කරණය කරන්න]

ද්වාර මණ්ඩපය සහිත පියගැට පෙළ.jpg

යාපහුවේ ඇති වාස්තු විද්‍යාත්මක සහ කලාත්මක අංග සියල්ල 'දළදා මාළිගය' නමින් හැදින්වෙන ගොඩනැගිල්ල සහිත මළුවට පිවිසෙනු සඳහා වූ පියගැට පෙළත් එහි ඉහළ අන්තයේ වූ ද්වාර මණ්පයත් අලංකාරවත් කිරීම මූලික අභිප්‍රාය කොට ගත්තේ වේ. මෙය කෙතරම් විස්තීරණ නිමැවුමක් ද යත් මේ විසිතුරු පියගැට පංතියේ ස්වරූපය විස්තර කිරීම පවා අසීරුය. ගලින්කළ වාමනරූප, නලඟනන්ගේ රූප, කාන්තා රූප, දොරටුපාල රූප, පුන්කලස්, ලියවැල්, කොරවක් ගල්, කූඩ්‍ය ස්ථම්භ, කිඹිහි මුහුණ සහිත තොරණ, ගජසිංහ කොරවක් ගල්, නටන වයන රූප ආදියෙන් සුසැදි පියගැට පෙළ යාපහුවේ විස්මිත නිමැවුම් වන අතර දෙපසෙහි අල්වැල මත නිමවූ 'සිංහ මූර්ති' යුගලය එහි වටිනාකම තවත් වැඩි කරවන්නකි. ( විසිතුරු පියගැට පෙළෙහි ඇති මෙම සිංහ මූර්ති දෙක අතරින් නැගෙනහිර පාර්ශවයේ අත්වැල මත වන සිංහ රුව සම්පූර්ණයෙන්ම නිමකර ඇති අතර දකුණු පාර්ශවයේ සිංහ මූර්තිය සම්පූර්ණ වශයෙන් ඉදිකර නැත.) මීට අමතරව ද්වාර මණ්ඩපයේ උළුවස්සත්, ත්‍රිත්ව කුළුණු සහ මකර තොරණත් යාපහුවේ වාස්තු විද්‍යාව සහ කලාව ලොවට හඩගා කියන්නක් වෙයි.

දළදා මාළිගය[සංස්කරණය කරන්න]

ද්වාර මණ්ඩපය ඔස්සේ කුඩා සම බිමට පිවිසෙන්නා අභිමුඛ වනුයේ බටහිර-නැගෙනහිර අතට මීටර 30 ක් ද උතුරු-දකුණු අතට මීටර 17.1 ක් ද වන ගඩොළුමය ගොඩනැගිල්ලක් වෙතටයි. දළදා මාළිගය සේ සැලකෙන මෙහි ඉදිරි බිත්තියේ මීටර 3.4 ක් ඉදිරියට ප්‍රක්ෂේපනය වන කොටසින් ගොඩනැගිල්ලට ප්‍රවේශ වීමට පියගැට පේළි දෙකකි.

පර්වත මස්තකයේ නටඹුන්[සංස්කරණය කරන්න]

පර්වත මස්තකයේ ඇති ඉපැරණි පුරාවිද්‍යාත්මක සාධක වශයෙන් සැලකිය හැක්කේ විශ්වසනීයත්වය සැක සහිත ප්‍රාග් ඓතිහාසික සාධක ස්වල්පයකුත් ක්‍රිස්තු පූර්ව අවසන් සහශ්‍රකයට හෝ ක්‍රිස්තු වර්ෂාරම්භ මුල් සියවස් දෙක තුනට හෝ නිසැක ලෙස දින නියමකළ හැකි කාල රක්ත වර්ණ මැටි බදුන් වලින් හෙලිවන ජනාවාස සාධකත්ය. මේ හැරුනුවිට අක්කර 05 ක් පමණ වන පර්වත මස්තකයෙහි 13,14 වන සියවස් වල ඉදිකලා යැයි සිතිය හැකි පොකුණු සහ පනාබැමි ඇතුළු ඉදිකිරීම් 32 ක් හදුනාගෙන තිබේ. ඇතැම් තැනක ගොඩනැගිලි ඉදිකිරීමට යෝග්‍යවන පරිදි විෂම බිම් පනාබැමි මගින් සමකොට තිබේ. මෙම ගොඩනැගිලි අතරින් විශාලම ගොඩනැගිල්ල වන රජ මාළිගයත් තවත් ගොඩනැගිලි කිහිපයකුත් හැරුනුවිට බොහෝ ගොඩනැගිලිවල අපේක්‍ෂිත අර්ථය මෙකල අපහැදිලිය. පර්වත මස්තකයට ගමන්කල මාර්ගයට අයත් බැව් බොහෝ විට නිසැක සෝපාන පංතියක අවශේෂ පර්වතයේ දකුණු බෑවුමේ කඩින් කඩ දක්නට හැකිය. පර්වත මස්තකයේ විවිධ ප්‍රමාණයෙන් යුත් ස්වභාවික ගල්කෙමි 05 ක් දක්නට හැකි අතර ඉන් සමහරක් ඉවුරු බැද පොකුණු බවට පත්කර ඇත. ප්‍රමාණයෙන් සහ ගණනින්ද වෙනස් කුඩුම්බි සිදුරු සහ ඒහා බැඳි අත්තිවාරම් කාණු සහිත ස්ථාන 03 ක් ද පර්වත මස්තකයේ ඇති අතර කුඩුම්බි සිදුරු පමණක් හමුවන ස්ථාන 02 කි. පිහිටි ගලේ කෙටු කාණුවක් මෙන්ම වෘත්තාකාර පාදම් යුගලයක් ද පර්වත මස්තකයේ නටඹුන් අතර වේ. මීට අමතරව පොකුණු 02 ක් සහ මල්විලක් ද පර්වත මස්තකයේ දැකිය හැකිය. පර්වත මස්තකයේ නටඹුන් අතර විවිධ ප්‍රමාණයෙන් සහ හැඩයෙන් යුත් පනා බැමි 06 ක් ද වේ. මේ හැරුණුවිට ගොඩනැගිලි කිහිපයක නටඹුන් දැකියහැකි පර්වත මස්තකයේ මුර කුටියක නටඹුන් ද ඇත. තවද පර්වත මස්තකයේ උසම ස්ථානයට වන්නට ඇති ස්ථූපයත් ඊට නුදුරුව ඇති බෝධිඝරයත් පර්වත මස්තකයේ නටඹුන් අතර ශේෂව පවතී.

ලෙන් සංකීර්ණය[සංස්කරණය කරන්න]

යාපහුව පර්වතය ආශ්‍රිත ලෙන් 40 ක් පමණ දක්නා ලැබෙන අතර ඉන් ලෙන් 25 ක් පමණ කටාරම් කොටා සකසන ලද ඒවායි. මෙම ලෙන් පර්වතය ආශ්‍රිතව පැවති ආරාම සංකීර්ණයක් පිළිබඳ සාධක සපයයි. මෙම ලෙන් අතරින් ලෙන් 03 ක පූර්ව බ්‍රාහ්මී ශිලා ලිපි දක්නා ලැබෙන අතර ක්‍රිස්තුවර්ෂාරම්භයේ හෝ ක්‍රිස්තුවර්ෂයට සුළු කළකට පෙරාතුවප පටන්ම මෙම ලෙන් සංඝාවාසයක් ලෙස උපයෝගී කොටගත් බව පෙනේ. කටාරම් නොකෙටූ ස්වභාවික ලෙන් අතරින් ඇතැමක් වාසස්ථාන ලෙස යොදාගත් බවට සාධක වෙයි. ඇතැම් ලෙන් ඇසුරේ ප්‍රාග් ඓතිහාසික යුගය නියෝජනය කරන්නා වූ සාධක ද හමුවන හෙයින් ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මෙම ලෙන් මානව ක්‍රියාකාරකම් වලට හසුවී ඇති බව පෙනේ. පර්වතයේ උතුරු, නැගෙනහිර සහ දකුණු බෑවුම් ප්‍රදේශ ආශ්‍රිතව ලෙන්වල බහුල ව්‍යාප්තියක් දක්නා ලැබේ. විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් මෙම ලෙන් 40 අතරින් විශාලම ලෙනේ දිග මීටර 30 ක් ද ගැඹුර මීටර 08 ක් ද උස මීටර 30 ක් ද වේ.

ඡායාරූප එකතුව[සංස්කරණය කරන්න]

පිට නගරයේ නටඹුන්

ඇතුල් නගරයේ නටඹුන්


ද්වාර මන්ඩපය සහිත පියගැට පෙළෙහි කැටයම් සහ මූර්ති


පර්වත මස්තකයේ නටඹුන්

යාපහුවේ ස්වභාවික ගල් ගුහා

ආශ්‍රිත ලිපි[සංස්කරණය කරන්න]


"https://si.wikipedia.org/w/index.php?title=යාපහුව_බලකොටුව&oldid=326579" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි