ජෝසුන්හි හ්යෝජොං රජ

විකිපීඩියා වෙතින්
ජෝසුන්හි හ්යෝජොං රජ
හංගුල්효종
හන්ජා孝宗
ප්‍රතිශෝධිත රෝමානුකරණයහ්යෝජොං
මැකූන්–‍රයිෂවර්හ්යෝජොං
උපන් නාමය
හංගුල්이호
හන්ජා李淏
ප්‍රතිශෝධිත රෝමානුකරණයයි හෝ
මැකූන්–‍රයිෂවර්යි හෝ

හ්යෝජොං රජු (3 ජූලි 1619 – 23 ජූනි 1659) යනු කොරියාවේ ජොසොන් රාජවංශයේ දාහත්වන පාලකයායි. ඔහු විසින් 1649 සිට 1659 දක්වා එරට පාලනය කොට ඇත. ඔහු වඩාත් ප්‍රකට වූයේ මැංචු ක්විං රාජවංශය වෙත ඔහු සැලසුම් කළ ගවේෂණය හේතුවෙනි. එසේම ක්විං රාජවංශයේ ඉල්ලීම අනුව ඔහු විසින් රුසියානු අධිරාජ්‍යයට එරෙහිව ආක්‍රමණයක් දියත් කරන ලදී. ඔහු විසින් උතුරු ගවේෂණය සඳහා ද සැලසුම් කර තිබුණත්, ඊට පෙර ඔහු මියයාම නිසා එය ක්‍රියාවට නැංවුණේ නැත.

උපත සහ පසුබිම[සංස්කරණය]

හ්යෝජොං රජු උපත ලැබූයේ 1619දී ඉන්ජෝ රජුගේ දෙවන පුත්‍රයා ලෙස ය. ඔහු උපදින විට ඔහුගේ පියා කුමරකුව සිටියේ ය. 1623දී, බටහිර පක්ෂය (西人) විසින් කුමන්ත්‍රණයක් මෙහෙයවා ග්වංහේගුන් රජ නෙරපා ඉන්ජෝව සිහසුනට පත්කරන ලදී. අනතුරුව හ්යෝජොංව ද මාලිගය වෙත කැඳවන ලද අතර, 1626දී ඔහුට බොංරිම්දේගුන් (බොංරිම් ප්‍රධාන කුමරු) යන පදවිය පිරිනැමිණි.

ක්විං රාජවංශයේ සිරභාරයට පත්වීම[සංස්කරණය]

1627දී, ඉන්ජෝ රජුගේ දැඩි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් කොරියාව සහ මැංචුවරුන් අතර යුද්ධයක් ඇති විය. පසුව, 1636දී, මැංචුවරුන් (ක්විං රාජවංශය) විසින් ජොසොන් රාජ්‍යය පරාජයට පත්කළ අතර, ඉන්ජෝ රජු සංම්ජොන්දෝහි දී, ක්විං අධිරාජයාට පක්ෂපාතී වන බවට බොරොන්දු වූයේ ය. එහිදී ඔහුට හොං තායිජිගේ දෙපාමුළ නව වරක් ආචාර කිරීමට සිදු විය. එහිදී ඉන්ජෝ සහ හොං තායිජි විසින් ගිවිසුමක් අත්සන් කළ අතර, එමගින් මැංචුවරු ඉන්ජෝගේ වැඩිමහල් පුත් ‍කිරුළහිමි සෝහ්යොන් කුමරු සහ හ්යෝජොංව සිරකරුවන් ලෙස චීනයට රැගෙන ගියහ.

චීනයේ පිටුවහලකුව සිටි සමයේ, හ්යෝජොං සිය වැඩිමහල් සොහොයුරාව ක්විං රාජවංශයේ තර්ජනවලින් බේරා ගැනීමට විශාල පරිශ්‍රමයක් දැරී ය. මෙකල හොං තායිජි සහ ඔහුගේ මැංචු හමුදා චීන මිං රාජවංශයට එරෙහි සටනේ නිරතව සිටි අතර, ඔවුහු මොංගෝලියානුවන් සහ චීන මුස්ලිම්වරුන් සමග ද කටන්වලට එළඹ සිටියේ ය. ඇතැම් අවස්ථාවල දී, ක්විං අධිරාජයා විසින් සෝහ්යොන් කුමරුට යුධ පෙරමුණට ගොද් මැංචුවරුන්ගේ සතුරන් පරාජය කිරීමට ආධාර කරන මෙන් පැවසී ය. කෙසේනමුත්, ජොසොන් සිහසුනේ නිල උරුමකරු වූ සිය සොහොයුරා පිළිබඳ හ්යෝජොං බිය වූයේ ඔහුට යුධ අත්දැකීම් නොතිබූ නිසායි. මේ නිසා සිය සොහොයුරා වෙනුවට සටනට ගිය ඔහු, උයිඝර්වරුන්ට සහ බටහිර පෙරමුණේ මුස්ලිම්වරුනට එරෙහිව සටන් වැදීමට සෝහ්යොන් කුමරුට ආධාර කළේ ය.

සිය සොහොයුරා සමග චීනයේ සිටි අවධියේ ඔහු යුරෝපීයයන් සමග සබඳතා ගොඩනගා ගත්තේ ය. එසේම ජොසොන් රාජ්‍යය විදේශ බලපෑම්වලින් ආරක්ෂා කරගැනීම සඳහා නව තාක්ෂණය සහ ශක්තිමත් දේශපාලන හා යුධ පද්ධතියක් ගොඩනැගිය යුතු බව ඔහු වටහා ගත්තේ ය. ඔහු තමන්ව සිය රාජ්‍යයෙන් සහ පවුලෙන් වෙන් කළ ක්විං රාජවංශය කෙරෙහි කෝපයෙන් පසු විය. මෙකල ඔහු 1636 ක්විං රාජවංශයේ යුද්ධයට ප්‍රතිචාර ලෙස මැංචුවරුන්ට එරෙහි උතුරු යුධ ව්‍යාපාර සඳහා දැවැන්ත සැලසුම් ගොඩනැගී ය.

සිංහාසනාරූඪය[සංස්කරණය]

1645දී, කිරුළහිමි සෝහ්යොන් කුමරු තනිව ජොසොන් වෙත පැමිණියේ,[1] සිහසුන භාරගෙන ඉන්ජෝට රාජ්‍ය පාලනයට උපකාර කිරීම සඳහායි. කෙසේනමුත්, සෝහ්යොන් කුමරු තුළ යුරෝපීය සංස්කෘතිය කෙරෙහි තිබූ විවෘත දැක්ම සහ ක්විං රාජවංශය වෙත උපාය මාර්ගික අදහස් හේතුවෙන් ඉන්ජෝ රජු සහ ඔහු අතර ගැටුම් ඇති විය. මඳකලෙකින් රජුගේ කුටිය තුළ සෝහ්යොන් කුමරු මියගිය අතර, කෙටි අවමංගල්‍ය උත්සවයකින් පසු දේහය භූමදානය කෙරිණි. පසුව ඉන්ජෝ රජු විසින් සිය සැමියාගේ මරණයට සැබෑ හේතුව සෙවීමට තැත් කළ සෝහ්යොන්ගේ බිරිඳට ද දඬුවම් ලබාදුන්නේ ය. පුරාවෘත්ත අනුව පැවසෙන්නේ, කිරුළහිමි කුමරු චීනයේ සිට රැගෙන ආ තීන්ත පුවරුවකින් ඉන්ජෝ සිය පුත්‍රයාව මරා දැමූ බවයි.

කිරුළහිමි සෝහ්යොන් කුමරුගේ වැඩිමහල් පුත්‍රයා වූ සුක් චුල් කුමරු වෙනුවට, ඉන්ජෝ රජු විසින් බොං රිම් ප්‍රධාන කුමරුන්ව කිරුළහිමි කුමරු පදවියට පත්කරන ලදී. 1649දී, ඉන්ජෝ රජු මියයාමත් සමග හ්යෝජොං ජොසොන් රාජවංශයේ 17වන පාලකයා ලෙස සිහසුනට පත් විය.

උතුරු යුධ ව්‍යාපාර[සංස්කරණය]

සිහසුනට පත්වීමෙන් පසු, හ්යෝජොං විසින් කොරියාවේ යුධහමුදාව ප්‍රතිසංස්කරණයට සහ පුළුල්කරණයට ලක්කරන ලදී. පළමුව ඔහු රජුටත් වඩා වැඩි බලයක් ඉසිලූ දූෂිත දේශපාලනඥයකු වූ කිම් ජා-ජොම්ව ඉවත් කරන්නට කටයුතු යෙදී ය. අනතුරුව ඔහු ක්විං රාජවංශයට එරෙහිව සටනට උපකාර කළ සොං සි-යොල් (හංගුල්: 송시열; හන්ජා :宋時烈) සහ කිම් ‍සං-හොන් මාලිගයට කැඳවී ය. ඔහු යුධ අංශය දැවැන්ත පුළුල් කිරීමකට ලක් කළ අතර, ජොසොන් සහ ක්විං අතර දේශසීමාවේ යාලු ගඟ අසල දේශසීමා බලකොටු කිහිපයක්ම ඉදිකළේ ය. හෙන්ඩ්‍රික් හැමල් ඇතුළු ලන්දේසි නාවිකයින් පිරිසක් ජේජු දූපත වෙත සේන්දු වීමත් සමග, හ්යෝජොං ඔවුනට හමුදාව වෙනුවෙන් තුවක්කු නිපදවන ලෙස අණකළේ ය. මෙය සත් අවුරුදු යුද්ධයෙන් පසුව කොරියාව තුළ තුවක්කු නිපදවූ ප්‍රථම අවස්ථාවයි.

1644දී සාර්ථකව මින් රාජවංශය ආක්‍රමණය කිරීමෙන් පසු ක්විං රාජවංශය බටහිර දෙසුන් ක්‍රමයෙන් ව්‍යාප්ත වන්නට විය. දැවැන්ත චීන හමුදාව මැංචුවරුන් විසින් සිය භාරයට පත් කරගැනීමත් සමග, හ්යෝජොංගේ යුධ ව්‍යාපාරය ක්‍රියාත්මක කළ නොහැකි බව පෙනිණි. ප්‍රතිසංස්කරණයට සහ පුළුල්කරණයට භාජනය කළ ද, ජොසොන් හමුදාව, මැංචු සහ චීන හමුදා සමග සටන් කළ හැකි තත්ත්වයේ නොපැවතිණි. එපමණක් නොව මේ වන විට ක්විං රාජවංශය, ජොසොන් රාජ්‍යය සැලකූයේ සිය සමීපතම මිතුරා ලෙසයි.

කොරියාව සිය පුළුල් කළ හමුදාව ක්‍රියාවට නැංවූයේ 1654දී, ක්විං රාජවංශය රුසියානුවන් සමග සටනට උපකාර ඉල්ලූ අවස්ථාවේයි. ජොසොන් තුවක්කුකරුවන් 150ක් සමග මැංචු සෙබලුන් 3,000ක් හුතොං සටනේ දී (හංගුල් : 호통 හන්ජා : 好通) රුසියානුවන් සමග සටන් කළහ. වර්තමාන යිලාන් ප්‍රදේශයේ පැවති මෙම සටනින් ජයගැනීමට ක්විං-ජොසොන් මිත්‍ර හමුදාවන්ට හැකි විය. නැවත අවුරුදු හතරකට පසු 1658දී, හ්යෝජොං රජු රුසියාව එරෙහි සටනට ආධාර වීමට ක්විං රාජවංශ සෙබලුන් වෙත කොරියානු සෙබලුන් පිටත්කළේ ය. මෙහිදී ‍ෂින් ර්යුගේ නායකත්වයෙන් යුත් ජොසොන් තුවක්කු සහ කාලතුවක්කු සෙබලුන් 260ක් නින්ගුතා යුධ ආණ්ඩුකාර සර්හුදා වෙත යැවී ය. මෙම ඒකාබද්ධ හමුදාව හුර්කා සහ සුංගරි ගඟ වෙත ගමන් කළහ. අනතුරුව ඔවුහු සුංගරි ගඟ අමුර් වෙත වැටෙන ස්ථානයේ දී, අමුර් කොසැක් නායකයකු වූ ඔනුෆ්‍රිජ් ස්ටෙපානොව් යටතේ වූ රුසියානු හමුදා මුණගැසුණහ. මෙහිදී රුසියානුවන් 270ක් මරාදැමූ අතර, ඔවුන්ව මැංචු භූමියෙන් පලවාහරින ලදී. රුසියාවට එරෙහි සටන්වලින් හ්යෝජොං රජු යටතේ ජොසොන් හමුදාව කෙතරම් ස්ථාවර තත්ත්වයකට පත්ව සිටියේ ද යන්න වටහා ගත හැක. මෙසේ යුධ ව්‍යාපාර පැවතුණ ද, රුසියාව සහ ජොසොන් රාජ්‍යය අතර යහපත් සබඳතා පැවතිණි. මෙම උතුරු යුධ ආක්‍රමණය නන්සොන් ජොංබොල් (හංගුල්: 나선정벌 ; හන්ජා : 羅禪征伐), හෙවත් "රුසියානුවන් මැඬලීම" ලෙස හඳුන්වයි.

වෙනත් කාර්යයන්[සංස්කරණය]

සත් අවුරුදු යුධ සමයේ පරිහානියට පත්ව තිබූ කෘෂිකර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා වගා ක්‍රම පිළිබඳ බොහෝ ග්‍රන්ථ මෙකල ප්‍රකාශයට ‍පත්කෙරිණි. යුධ අංශය සමග ආර්ථිකය ද යථා තත්ත්වයට පත්කිරීම ඔහුට තරමක් අපහසු කටයුත්තක් විය. එසේම හ්යෝජොං විසින් ග්වංහේගුන් රජුගේ ඉදිකිරීම් ප්‍රතිසංස්කරණය කරන ලදී. සිය රාජධානිය නැවත ගොඩනැගීම පිණිස උණ්ඩ නිෂ්පාදනයට යෙද වූ ලෝහවලින් කාසි නිපදවීම මෙකල සිදු විය. ඔහුට රාජධානිය තුළ මෙන්ම පිටත ද නොයෙකුත් ගැටලුවලට මුහුණපෑමට සිදු වූ අතර, 1659දී මියයන විට ඔහුගේ වයස අවුරුදු 40කි. උතුරු ආක්‍රමණය සඳහා ඔහුගේ සැලැසුම ක්‍රියාවට නැංවුණේ නැතිවුවද, බොහෝ පුද්ගලයන් සලකන්නේ ඔහු දීප්තිමත් සහ අභීත පාලකයකු බවය.

පවුල[සංස්කරණය]

  1. දොක්සු ජං වංශයේ ඉන්සොන් අගබිසව (인선왕후 장씨)
    1. අනුප්‍රාප්තික කුමරු (세자)
    2. සුක්ෂින් කුමරිය (숙신공주)
    3. සුකන් කුමරිය (숙안공주)
    4. සුක්මියොං කුමරිය (숙명공주)
    5. සුඛ්වි කුමරිය (숙휘공주)
    6. සුක්ජොං කුමරිය (숙정공주)
    7. සුක්ග්යොං කුමරිය (숙경공주)
  2. ග්යොංජු යි වංශයේ රාජකීය වංශවත් ආන් බිසව (안빈 이씨)
    1. සුක්න්‍යොං කුමරිය (숙녕옹주)

ඔහුගේ සම්පූර්ණ මරණාපර නාමය[සංස්කරණය]

  • කොරියාවේ මහා හ්යෝජොං හ්‍යුම්චොන් දල්දෝ ග්වංගොක් හොංග්යොල් සොන්මුන් ජංමු සින්සොං හ්යෝනින් මියොංග්‍යුයි ජොංදොක් රජ
  • 효종흠천달도광곡홍열선문장무신성현인명의정덕대왕
  • 孝宗欽天達道光穀弘烈宣文章武神聖顯仁明義正德大王

නූතන නිරූපණ[සංස්කරණය]

හ්යෝජොංගේ චරිතය, බොංරිම් ප්‍රධාන කුමරුන් (봉림대군) ලෙස කොරියානු නාට්‍යයක් වන ද ස්ලේව් හන්ටර්ස් (KBS2, 2010) තුළ සුළු වශයෙන් දක්වා ඇත. එසේම හ්යෝජොං රජුගේ චරිතය හෝර්ස් ඩොක්ටර් (MBC, 2012) කතාමාලාව තුළ මෙහි ප්‍රධාන චරිතය වන ග්වං-හ්යුන් දොළොස්වන වියේ දී සුළු චරිතයක් ලෙස දක්වා ඇත. ක්රුවල් පැලස් කතාමාලාව තුළ ද හ්යෝජොංගේ චරිතය දක්නට ලැබේ. පසුව කිරුළහිමි කුමරු බවට පත්වන බොංරිම් ප්‍රධාන කුමරුන්ගේ චරිතය "හ්වාජුං (화정)" හෙවත් ස්ප්ලෙන්ඩිඩ් පොලිටික්ස් (MBC, 2015) යන කතාමාලාව තුළ ද දක්නට ලැබෙයි.

පෙළපත[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. පැලයිස්, ජේම්ස් බී. (1995). කන්ෆියුෂියන් ස්ටේට්ක්‍රාෆ්‍‍ට් ඇන්ඩ් කොරියන් ඉන්ස්ටිටියුෂන්ස් : යු හ්යොංවොන් ඇන්ඩ් ද ලේට් චොසොන් ඩයිනාස්ටි. සියැටල් [u.a.]: යුනිවර්සිටි ඔෆ් වොෂිංටන් ප්‍රෙස්. p. 103. ISBN 0295974559.

බාහිර සබැඳි[සංස්කරණය]

ජෝසුන්හි හ්යෝජොං රජ
උපත: 3 ජූලි 1619 මරණය: 23 ජූනි 1659
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
ඉන්ජෝ
ජොසොන්හි රජ
1649–1659
අනුප්‍රාප්තික
හ්යොන්ජොං
"https://si.wikipedia.org/w/index.php?title=ජෝසුන්හි_හ්යෝජොං_රජ&oldid=597618" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි