ජෝසුන්හි ග්වංහේගුන් රජ

විකිපීඩියා වෙතින්
ජෝසුන්හි ග්වංහේගුන් රජ
හංගුල්광해
හන්ජා光海君
ප්‍රතිශෝධිත රෝමානුකරණයග්වංහේ
මැකූන්–‍රයිෂවර්ක්වංහේ
උපන් නාමය
හංගුල්이혼
හන්ජා李琿
ප්‍රතිශෝධිත රෝමානුකරණයඉ හොන්
මැකූන්–‍රයිෂවර්ඉ හොන්

ග්වංහේගුන් හෙවත් ග්වංහේ කුමරු (3 ජූනි 1575 - 7 අගෝස්තු 1641; රාජ්‍ය සමය 1608 - 1623) යනු කොරියාවේ ජොසොන් රාජවංශයේ පහළොස්වන පාලකයායි‍. ඔහුගේ පෞද්ගලික නාමය යි හොන් විය. ඔහුව කුමන්ත්‍රණයක් මගින් සිහසුනෙන් පහකෙරුණු හෙයින් පසුව නිල ඉතිහාසඥන් විසින් ඔහුට විහාර නාමයක් ලබා දුන්නේ නැත.

උපත සහ පසුබිම[සංස්කරණය]

ග්වංහේගුන් යනු කිම් ආර්යාව (ගොංබින්) නැමැති උපබිසවට උපන් සොන්ජෝ රජුගේ දෙවන පුත්‍රයායි. මිං රාජවංශයට පහරදීම සඳහා ජපානය විසින් කොරියාව ආක්‍රමණය කළ සමයේ ඔහුව කිරුළහිමි කුමරු ලෙස නම් කරන ලදී. රජු උතුරු පෙදෙසේ මිං දේශසීමා වෙත පලාගිය අවස්ථාවේ, ශාඛා බලකොටුවක් ඉදිකොට ආරක්ෂාව පිණිස සටන් කළේ ය. සත් අවුරුදු යුද්ධය (1592 - 1598) සිදු වූ සමයේ සහ ඉන්පසුව ජොසොන් රාජවංශයේ පාලනය මෙහෙයවූ ග්වංහේ, සටන් මෙහෙයවමින් සහ සටන් හේතුවෙන් පරිහානියට පත්ව තිබූ ජාතිය යළි ගොඩනගමින් වියපත් දුර්වල සොන්ජෝ රජු වෙනුවෙන් රාජ්‍ය පාලනය සිදුකළේ ය.

එමගින් ඔහුට ගෞරවය හිමි වුවද, ඔහුගේ තනතුර දැඩි අස්ථාවර තත්ත්වයක පසු විය. ඔහුට තරගකාරී නොවූ ඉම්හේ කුමරු (ඉම්හේගුන්, 임해군, 臨海君) නැමැති වැඩිමහල් සොහොයුරකු සහ යොං-චං ප්‍රධාන කුමරු (යොං-චං දේගුන්, 영창대군, 永昌大君) නැමැති බාල නමුත් නීත්‍යානුකූල සොහොයුරකු විය. යොං-චංහට කුඩා උතුරු පාක්ෂිකයන්ගේ සහයෝගය හිමි විය. නමුත් ග්වංහේගේ වාසනාවට, සොන්ජෝ රජු හදිසියේම මියගිය බැවින්, රජුගේ ප්‍රියතම පුත් යොං-චං දේගුන්ට සිහසුනට පත්විය නොහැකි විය.

මහා උතුරු පක්ෂයේ ප්‍රචණ්ඩත්වය[සංස්කරණය]

සොන්ජෝ රජු මියයාමට ප්‍රථම ඔහු ග්වං-හේ කුමරුන්ව සිය නිල අනුප්‍රාප්තිකයා ලෙස නම් කළ අතර, ඔහු වෙනුවෙන් නීත්‍යානුකූල ලේඛනයක් සකස් කරන මෙන් නිලධාරීන්ට නියෝග කළේ ය. කෙසේනමුත්, කුඩා උතුරු පක්ෂයේ ල්‍යු යොං-‍ග්යොං මෙම ලේඛනය සඟවා යොං-චං කුමරුන්ව සිහසුනට පත් කිරීමට සැලසුම් කළේ ය. නමුත් මහා උතුරු පක්ෂයේ (대북; 大北) නායක චුං ඉන්-හොං විසින් මෙය අනාවරණය කරගන්නා ලදී. අනතුරුව ල්‍යුහට මරණ දඬුවම ලබා දුන් අතර, යොං-චං කුමරුන්ව සිරගත කෙරිණි. යොං-චං කුමරු ඊළඟ වර්ෂයේ මියගියේ ය.

මෙම සිදුවීමෙන් පසු විවිධ දේශපාලන සහ ප්‍රාදේශික පසුබිම් ඇති නිලධාරීන් මාලිගයට ගෙන්වා ගැනීමට තැත්කළ ද, ලී ඉචොම් සහ චුං ඉන්-හොං ඇතුළු මහා උතුරු පාක්ෂිකයන් මෙයට බාධා කළේ ය. අනතුරුව මහා උතුරු පාක්ෂිකයෝ, ප්‍රධානව කුඩා උතුරු පාක්ෂිකයන් ඇතුළු වෙනත් දේශපාලන පක්ෂවල සාමාජිකයින් මාලිගයෙන් ඉවත් කිරීමට නටයුතු යෙදූහ. අවසානයේ 1613දී, මහා උතුරු සාමාජිකයින් විසින් යොං-චං කුමරුන්ව ඉවත් කිරීමට සිතා යොං-චංගේ මුත්තණුවන් වූ කිම් ජෙනාම්හට කුමන්ත්‍රණ චෝදනා එල්ලකොට මරණ දඬුවම ලබාදුන්හ. අනතුරුව යොං-චංව පිටුවහල් කෙරුණු අතර, එහිදී ඔහුව මරා දැමිණි. එම කාලයේම මහා උතුරු පාක්ෂිකයන් විසින්, කුඩා උතුරු පාක්ෂිකයන් මර්දනය කරන ලදී. 1618දී, යොං-චංගේ මව වූ ඉන්-මොක් රැජිනගේ තනතුරු ඉවත් කොට ඇයව සිරගත කරන ලදී. කෙසේනමුත්, රජයේ නිල ප්‍රධානියා වූ ග්වං-හේට මෙය වැළැක්වීමට බලයක් නොතිබිණි.

කාර්යසාධනය[සංස්කරණය]

ඔහුගේ අවසන් සමයේ නොයෙකුත් අපවාද පැවතිය ද, ග්වංහේ යනු දක්ෂ, යතාර්ථයාදී දේශපාලනඥයකු ලෙස සැලකෙයි. රාජ්‍යය යළි නගාසිටුවීමට උත්සාහ දැරූ ඔහු ලේඛන ප්‍රතිසංස්කරණයට අනුග්‍රහ දැක්වී ය. ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයේ දී, ඉඩම් පනත ප්‍රතිශෝධනය කළ ඔහු, ජනතාවට ඉඩම් නැවත බෙදා දුන්නේ ය. මීට අමතරව චංදොක් මාලිගය සහ තවත් මාලිගා කිහිපයක් ප්‍රතිනිර්මාණය කරන ලදී. දිගු කාලයක් පුරා අභාවයට ගොස් තිබූ හොපේ හැඳුනුම් ක්‍රමය යළි හඳුන්වා දුන්නේ ද ඔහු විසිනි.[1]

විදේශ සම්බන්ධතා සැලකූ විට ඔහු මිං අධිරාජ්‍යය සහ මැංචුවරුන් අතර සමබරව සබඳතා පවත්වා ගත්තේ ය. එවකට කොරියාව මිං ආධිපත්‍යය යටතේ පැවතිය ද, ජොසොන් හමුදාවට මැංචු යුධ සේනාවට මුහුණදිය නොහැකි බව වටහාගත් ඔහු මැංචුවරුන් සමග මිත්‍රශීලී සම්බන්ධතා පවත්වා ගත්තේ ය. මෙය මිං රාජ්‍යයේ සහ විරුද්ධවාදී කොන්ෆියුසියානු කොරියානුවන්ගේ දෝෂ දර්ශනයට ලක් විය. මැංචු-මිං සම්බන්ධතා දැඩිව ආරවුල් සහගත තත්ත්වයකට පැමිණීමත් සමග, 1619 දී මිං රාජ්‍යය ආධාර පතා කොරියාවෙන් සෙබලුන් දසදහසක් ඉල්ලා සිටියේ ය. කෙසේනමුත්, සාර්හු සටනේ දී මැංචු හමුදා ජයගැනීමත් සමග සටන අවසන් විය. සිය හමුදාවෙන් තුනෙන් දෙකක් පමණ අහිමි වූ කොරියානු සෙන්පති ගං හොං-රිප්, නුර්හාකි වෙත යටත් විය. තවත් යුද්ධයක් ඇති වීම වැළැක්වීම සඳහා ග්වංහේගුන් ස්වාධීනව මැංචුවරුන් සමග සාමය ඇති කරගැනීමට මුලපිරී ය. එසේම 1609දී ජපානය සමග රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ප්‍රතිෂ්ඨාපනය කළ ඔහු, ගියු ගිවිසුම ඔස්සේ සිය වරායයන් ජපනුන් වෙත විවෘත කළ අතර, 1617දී ජපානය වෙත තානාපතිවරුන් පිටත්කර හැරියේ ය.

සිය රාජ්‍ය සමය තුළ දී, රාජධානියේ පැරණ ශී විභූතිය නැවත ගොඩනැංවීම පිණිස ග්වංහේගුන් ග්‍රන්ථ මුද්‍රණය දිරිගැන්වී ය. බොහෝ ග්‍රන්ථ මෙකල ප්‍රකාශයට පත්කෙරිණි. ප්‍රකට වෛද්‍ය ග්‍රන්ථයක් වන දොංගුයිබාගම් මෙන්ම ඓතිහාසික වාර්තා ග්‍රන්ථ කිහිපයක්ම මෙකල නැවත ලියැවිණි.

1616දී, පළමු වරට කොරියාව වෙත දුම්කොළ හඳන්වා දෙන ලදී. එය වංශවතුන් අතර බෙහෙවින් ජනප්‍රිය විය.

සිහසුනෙන් නෙරපීම සහ පසුකාලීන දිවිය[සංස්කරණය]

1623දී බටහිර පක්ෂය විසින් මෙහෙයවන ලද කුමන්ත්‍රණයක් මගින් ග්වංහේගුන් සිහසුනෙන් නෙරපන ලදී. පළමුව ඔහු ගංග්හ්වා දූපතේ සිරගත කෙරුණු අතර, පසුව ජේජු දූපතේ සිරගත කෙරිණි. එහිදී 1641දී ඔහු මරණයට පත් විය. සෙසු ජොසොන් පාලකයන් මෙන් ඔහුට රාජකීය සෙහොන්ගැබක් හිමි නොවී ය. ඔහුගේ සහ ර්යු ආර්යාවගේ ‍ශේෂයන් ග්යොංගි පළාතේ නම්යංජුහි භූමදානය කරන ලදී. බටහිර පක්ෂය විසින් ‍න්‍යුංග්යැංගුන් කුමරුන්ව ඉන්ජෝ යනුවෙන් ජොසොන්හි දහසයවන රජ ලෙස පත්කරන ලදී. මෙම ඉන්ජෝ මිං-හිතාවාදී සහ මැංචු-විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කළේ ය. මේ හේතුවෙන් පසුකලෙක මැංචු ආක්‍රමණ ඇති විය.

උරුමය[සංස්කරණය]

ග්වංහේගුන්ගේ සොහොන්ගැබ

සිහසුනෙන් පහකොට නැවත තනතුර ප්‍රතිෂ්ඨාපනයට ලක් නොකොට විහාර නාමයක් ප්‍රදානය නොකෙරුණු රජවරුන් දෙදෙනා අතරින් අයෙකි, ග්වංහේගුන්. (අනෙක් රජු නම් යොන්සන්ගුන් නැමැති ක්‍රෑර පාලකයායි) නමුත් බොහෝදෙනකු සලකන්නේ ඔහු දේශපාලන අරගලයක පීඩිතයකු වූ බවයි. කෙසේනමුත් ඔහු සිය පූර්වප්‍රාප්තික සොන්ජෝ රජු සහ ඔහුගේ අනුප්‍රාප්තික ඉන්ජෝ රජුටත් වඩා කාර්යසාධනීය පුද්ගලයකු ලෙස සැලකෙයි. වර්තමාන දකුණු කොරියාව තුළ ග්වංහේගුන් සැලකෙන්නේ අත්තනෝමතික පාලකයකුට වඩා, දූරදර්ශී පාලකයකු ලෙසයි.

පවුල[සංස්කරණය]

  • පියා: සොන්ජෝ රජු (선조)
  • මව: කිම් වංශයේ රාජකීය වංශවත් ගොං බිසව (공빈 김씨)
  • බිසෝවරුන් සහ ඔවුන්ගේදරුවන්:
    • යු වංශයේ මුන්සොං අගබිසව (문성군부인 유씨, 15 අගෝස්තු 1576 – 31 ඔක්තෝබර් 1623)[2][3]
      • බලයෙන් පහකළ අනුප්‍රාප්තික කුමරු (폐세자 පෞද්ගලික නාමය යි ජි (이지), 31 දෙසැම්බර් 1598 - 22 ජූලි 1623)
    • හොං සෝ-උයි (소의 홍씨)[4]
      • දරුවන් නැත
    • යූන් සෝ-උයි (소의 윤씨)[5]
      • දියණියක් (1619–1664)
    • හියෝ සුක්-උයි (숙의 허씨)[6]
      • දරුවන් නැත
    • වොන් සුක්-උයි (숙의 원씨)[7]
      • දරුවන් නැත
    • ක්වොන් සුක්-උයි (숙의 권씨)[8]
      • දරුවන් නැත
    • ඉම් සෝ-යොං (소용 임씨)[9]
      • දරුවන් නැත
    • ජොං සෝ-යොං (소용 정씨)
      • දරුවන් නැත
    • සින් සුක්-වොන් (소원 신씨)[10]
      • දරුවන් නැත
    • සිම් සුක්-වොන් (소원 심씨)
      • දරුවන් නැත
    • ජෝ මාලිග ආර්යාව (궁인 조씨)
      • දරුවන් නැත
    • ලී ආර්යාව (상궁 이씨)
      • දරුවන් නැත
    • කිම් ගේ-ෂි ආර්යාව (상궁 김씨, 김개시)[11]
      • දරුවන් නැත
    • චෝයි ආර්යාව (상궁 최씨)
      • දරුවන් නැත

ඔහුගේ ප්‍රශංසාත්මක මරණාපර නාමය[සංස්කරණය]

  • කොරියාවේ මහා චේචොක් හ්‍යුන්ගුන් ජුන්දොක් හොංගොං සින්සොං යොංසුක් හ්‍යුම්මුන් ඉන්මු සෝර්යුන් ඉප්ගි මියුංසොං ග්වංර්යොල් යුංබොං හ්යොන්බෝ මුජොං ජුංහ්‍යුයි යේචොල් ජංග්‍යුයි ජංහොන් සුන්ජොං ගොන්‍යුයි සුජොං චංදෝ සුන්ගොප් රජ
  • 체천흥운준덕홍공신성영숙흠문인무서륜입기명성광렬융봉현보무정중희예철장의장헌순정건의수정창도숭업대왕
  • 體天興運俊德弘功神聖英肅欽文仁武敍倫立紀明誠光烈隆奉顯保懋定重熙睿哲壯毅章憲順靖建義守正彰道崇業大王

ජනප්‍රිය සංස්කෘතිය තුළ[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. රට්, රිචඩ්; ප්‍රැට්, කීත් එල්.; හොවර්, ජේම්ස් (1999). කොරියා: අ හිස්ටොරිකල් ඇන්ඩ් කල්චරල් ඩික්ෂනරි. එක්සත් රාජධානිය: රූට්ලෙජ්. ISBN 0-7007-0463-9. (පි. 252)
  2. ඇගේ සැමියා සිහසුනෙන් නෙරපීමෙන් පසු ඇය "බලයෙන් පහකළ යු අගබිසව" (폐비 유씨) ලෙස හැඳින්විණි.
  3. ඇගේ මරණාපර නාමය "හ්යේජං අගබිසව" (혜장왕후) යන්නයි.
  4. හොං මේගේ දියණියයි
  5. යූන් හොං-ඉයොප්ගේ දියණියයි
  6. හියෝ ග්යොංගේ දියණියයි
  7. වොන් සූ-සින්ගේ දියණියයි
  8. ක්වොන් යෝ-ග්යොංගේ දියණිය
  9. ඉම් මොං-ජොංගේ දියණියයි
  10. සින් ගුම්-ග්යොංගේ දියණියයි
  11. ඇය ඔහුගේ පියාගේ උපබිසවක යැයි පැවසේ.
  12. බෙක්, බ්යුං-යුල් (31 මැයි 2013). "රීසන්ට් බුක්: ග්වංහේ'ස් ලවර්". ද කොරියා ටයිම්ස්. සම්ප්‍රවේශය 2014-01-24.

මේවාත් බලන්න[සංස්කරණය]

ජෝසුන්හි ග්වංහේගුන් රජ
උපත: 1574 මරණය: 1641
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
සොන්ජෝ
ජොසොන්හි රජ
1608–1623
අනුප්‍රාප්තික
ඉන්ජෝ