Jump to content

ජෝසුන්හි යොංජෝ රජ

විකිපීඩියා වෙතින්
යොංජෝ
ජොසොන්හි රජ
රාජ්‍ය සමය1724 ඔක්තෝම්බර් 16 – 1776 අප්‍රේල් 22
පූර්වප්‍රාප්තිකයාජොසොන්හි ග්යොංජොං
අනුප්‍රාප්තිකයාජොසොන්හි ජොංජෝ
උපත31 ඔක්තෝබර් 1694(1694-10-31)
චංදොක්ගුං මාලිගය, කොරියාව
මරණය22 April 1776(1776-04-22) (වයස 81)
ග්යොංහුයිගුං මාලිගය, කොරියාව
භූමදානයවොන්න්‍යුං, ගුරි, ග්යොංගි
වල්ලභයාජොංසොං අගබිසව,
ජොංසුන් අගබිසව
දරුවන්කිරුළහිමි හ්යෝජං කුමරු
කිරුළහිමි සදෝ කුමරු
දියණියක්
හ්වාසූන් කුමරිය
හ්වප්යොං කුමරිය
හ්වායොප් කුමරිය
හ්වාවැන් කුමරිය
හ්වායූ කුමරිය
හ්වාර්යොං කුමරිය
හ්වාගිල් කුමරිය
වංශයයි ගෘහය
පියාජොසොන්හි සුක්ජොං රජු
මවහේජු චෝයි වංශයේ රාජකීය වංශවත් සුක් බිසව
කොරියානු නම
හංගුල්영조
හන්ජා英祖
ප්‍රතිශෝධිත රෝමානුකරණයයොංජෝ
මැකූන්–‍රයිෂවර්යෝංජෝ
ලේඛන නාමය
හංගුල්양성헌
හන්ජා養性軒
ප්‍රතිශෝධිත රෝමානුකරණයයැංසොංහොන්
මැකූන්–‍රයිෂවර්යැංසෝංහෝන්
උපන් නාමය
හංගුල්이금
හන්ජා李昑
ප්‍රතිශෝධිත රෝමානුකරණයඉ ගුම්
මැකූන්–‍රයිෂවර්යි කූම්
Courtesy name
හංගුල්광숙
හන්ජා光叔
ප්‍රතිශෝධිත රෝමානුකරණයග්වංසුක්
මැකූන්–‍රයිෂවර්ක්වංසුක්

යොංජෝ (1694 ඔක්තෝම්බර් 31 – 1776 අප්‍රේල් 22, රාජ්‍ය පාලනය 1724 ඔක්තෝම්බර් 16 – 1776 අප්‍රේල් 22) යනු කොරියාවේ ජොසොන් රාජවංශයයේ 21වන පාලකයායි. ඔහු සුක්ජොං රජුගේ දෙවන පුත්‍රයා විය. ඔහුගේ මව චෝයි වංශයේ සුක් උපබිසව වූවා ය. බලයට පත්වීමට පෙර ඔහුව යෙඔනිං කුමරු ලෙස හැඳින්විණි. 1720දී, ඔහුගේ වැඩිමහල් සොයුරා වූ ග්යොංජොං රජු 20වන රජු ලෙස බලයට පත්වීමත් සමග, යෙඔනිං කුමරු රාජකීය අනුප්‍රාප්තික සහෝදර කුමරු (වංසෙජේ, 왕세제) බවට පත් විය. මෙය දේශපාලන පක්ෂ අතර නොයෙකුත් මතභේද සඳහා හේතු විය. අනතුරුව, වසර හතරකට පසු ග්යොංජොංගේ මරණින් පසු යොංජෝ සිහසුනට පත් විය.

යොංජෝ රජු සිය වසර 52ක රාජ්‍ය සමය තුළ, ජොසොන්හි බදු ක්‍රමය ප්‍රතිසංස්කරණයට උත්සාහ දැරූ අතර, කොන්ෆියුසියානු මූලධර්ම අනුව රාජ්‍ය පාලනය කරමින්, ඔහුගේ "විශිෂ්ට සමගිය" ප්‍රතිපත්තිය (තංප්යොං, 蕩平, 탕평) අනුව දේශපාලන පක්ෂවල ආරවුල් සමනය කිරීමට උත්සාහ ගත්තේ ය. ඔහුගේ සමයේ 1762දී සිය පුතු වූ සදෝ කුමරුහට දඬුවම් පැමිණවී ය. ඔහුගේ මතභේදාත්මක ක්‍රියාමාර්ග හැරුණු විට, යොංජෝගේ සමය කොරියානු ඉතිහාසයේ විශිෂ්ට යුගයක් ලෙස සැලකෙයි.

සිහසුනට පත් වීම

[සංස්කරණය]

1720දී, ඔහුගේ පියා වූ සුක්ජොං රජු මියගිය අතර, සුක්ජොංගේ වැඩමහප් පුත්‍රයා වූ කිරුළහිමි යි යුන් කුමරු වයස 32දී, ග්යොංජොං රජු ලෙස රාජ්‍යත්වයට පත් විය. 1720දී සුක්ජොං මියගිය අතර, ඔහු විසින් යි යි-ම්යොං කුමරුට, යෙඔනිං-ගුන් කුමරුන් ග්යොංජොංගේ අනුප්‍රාප්තිකයා ලෙස පත්කිරීමට පවසා තිබිණි. නමුත් මෙය පිළිබඳ ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් නොවේ.[තහවුරු කර නොමැත].

ඔහුගේ සමයේ ඔහුට සිය පහත් ජන්මය නිසා වූ අභ්‍යන්තර අරගල සහ විරෝධතාවලට මුහුණදීමට සිදු විය. වංශවතුන් අතර වූ නොරොන් පක්ෂය (노론, 老論) ග්යොංජොං රජුට සිය අර්ධ-සොයුරා වූ යෙඔනිං කුමරු (අනාගත යොංජෝ රජු) පිළිබඳ ඇති ප්‍රසාදය නැතිකිරීමට බලපෑම් එල්ලකළහ. 1729දී, රජුගේ සිංහාසනාරූඪයෙන් මාස 2කට පසු, යෙඔනිං කුමරුන්ව රාජකීය අනුප්‍රාප්තික සහෝදර කුමරු (වංසෙජේ, 왕세제, 王世弟) ලෙස පත්කරන ලදී. මෙය බල අරගලය තවත් තීව්‍ර කළ අතර, ෂිනිම්සහ්වා (辛壬士禍) නැමැති විශාල සංහාරයකට හේතු විය. නොරොන්වරු රජුට කිසිදු පියවරක් නොගන්නා ලෙස පණිවිඩ යැවූ අතර, ඊට ප්‍රතිවිරුද්ධ මතයක් සුරූ සොරොන් පක්ෂය (소론, 少論) මෙම සිදුවීම සිය වාසියට හරවාගනිමින් – නොරොන් පක්ෂය බලය උදුරාගැනීමට තැත්කරන බව පවසමින් ඔවුන්ගේ ප්‍රතිවාදීන් සමහර කාර්යාලවලින් ඉවත්කරන ලදී.

සොරොන් පක්ෂයේ සාමාජිකයින්, අනුප්‍රාප්තිකයාව (යෙඔනිං-ගුන්) ඝාතනයට අදහස් කළේ මාලිගයට ඇතුළු වූ සුදු හිවලකු දඩයම් කරන බවසමිනි. නමුත්, යෙඔනිං-ගුන්ට සිය සුළු මව වූ ඉන්වොන් මව්බිසවගේ ආරක්ෂාව හිමි වූ නිසා ජීවිතය රැකගැනීමට හැකි විය. අනතුරුව, ඔහු සිය අර්ධ-සොයුරා වූ රජුට පැවසූයේ තමා මාලිගයෙන් පිට වී සාමාන්‍ය වැසියකු ලෙස දිවි ගෙවීමට කැමති බවයි.

1724 ඔක්තෝම්බර් 11 වනදින, ග්යොංජොං රජු මියගියේ ය. එවිට සොරොන් පක්ෂය යෙඔනිං කුමරුට දොස් පැවරූයේ රජුගේ මරණයට ඔහු දායක වන්නට ඇති බවයි. මෙයට හේතු වූයේ වරක් නොරොන් පාර්ශ්වය ග්යොංජොං, වෙනුවට ඔහුව සිහසුනට පත්කිරීමට ගත් උත්සාහය නිසායි.රජුගේ මරණයට හේතු වූ රෝග ලක්ෂණ සලකා බලා, අදවන විට ඉතිහාසඥයන් පිළිගන්නේ රජු මියගියේ මුහුදු ආහාර ආසාදනයක් නිසා බවයි. හෝමර් හල්බර්ට් සිය ද හිස්ට්‍රි ඔෆ් කොරියා කෘතිය තුළ සඳහන් කරන්නේ, "සොයුරා මෙය සිදුකිරීමට කිසිදු හේතුවක් පෙන්වා නොමැති වීමත්, මුහුදේ සිට සැතපුම් 30ක් පමණ ඈත පෙදෙසකට, මධ්‍ය ග්‍රීෂ්ම සමයේ අයිස් නොමැතිව ගෙනඑන ලද කූනිස්සන් ආහාරයට ගැනීමෙන් මිනිසකු මිය යා හැකි වීමත් නිසා මෙම සිද්ධිය පිළිබඳ පැතිරුණු දූෂමාන ආරංචි පිළිබඳ ප්‍රබල සැකයක් ඇතිවන බවයි."[1] 1724 ඔක්තෝම්බර් 16දින යෙඔනිං කුමරු යොංජෝ රජු ලෙසින්, එනම් ජොසොන්හි 21වන පාලකයා ලෙස සිහසුනට පත් විය.

රාජ්‍ය සමය

[සංස්කරණය]

යොංජෝ රජු දැඩි කොන්ෆියුසියානු පාලකයකු වූ අතර, ඔහුගේ නිලධාරීන්ට වඩා සම්භාව්‍ය ග්‍රන්ථ පිළිබඳ ඔහුගේ දැනුම පුළුල් වූ බව පැවසේ.[තහවුරු කර නොමැත] යොංජෝ රජු සහ ඔහුගේ මුණුපරු ජොංජෝ රජ සමයේ, කොන්ෆියුසියානුකැණය එහි උච්චත්වයට පත් විය. 16වන සියවසේ අගභාගයේ සහ 17වන සියවසේ මුල් කාලයේ පරිහානියට පත්ව තිබූ ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්යට පත් විය. ඔහුගේ පාලන සමය ජොසොන් රාජවංශයේ වඩාත් දීප්තිමත්ම යුගවලින් එකක් ලෙස සැලකෙයි.[2]

යොංජෝ සිය ජනයා පිළිබඳ බෙහෙවින් සැලකිළිමත් විය. ජොසොන් රාජවංශයේ අනුවාර්ෂික වාර්තා පවසන්නේ සිය 4වන වර්ෂයෙහි පාන්දර ඇති වූ වර්ෂාවක හඬකින් අවදි වූ යොංජෝ රජු සිය සේවකයන්ට මෙසේ පවසා ඇති බවයි,

අනේ! මාගේ අයහපත් බව නිසා පසුගිය වසර හතර තුළ ජලගැලීම්, නියඟ හා සාගත පැමිණියේ ය. මේ වසර තුළ යි ඉන්-ජ්වා නැමැති රාජද්‍රෝහියකුගේ කැරැල්ලක් ඇති වී තිබේ. මෙවන් දුෂ්කරතාවන් හමුවේ කෙසේ නම් මාගේ දුගී ජනයා දිවිගෙවනු ඇත් ද? 'යුද්ධයකට පසු හැමවිටම දුෂ්කර වසරක් එළඹේ' යනුවෙන් පැරණි කියමනක් ද ඇත. වාසනාවට පසුගිය වසර දෙක පුරාවටම අපට විශාල සාගතයක් පැමිණියේ නැහැ. මේ වසරේ හොඳ අස්වැන්නක් ලැබේ යැයි අපි ‍අපේක්ෂා කරමු. නමුත් මා තවමත් බියෙන් පසුවන්නේ ස්වනු නෙලීමේ කාලය ආසන්න නිසායි. ඊට පෙර ජලගැලීමක් හෝ නියඟයක් ඒදැයි කාටවත් පැවසිය නොහැකියි. හදිසියේම සීතල වැස්සක් ඇදහැළී අස්වනු නෙළීමට නියමිත බිම් ජලයෙන් යටකරාවිදැයි කවුරුන්වත් නොදනී. මගේ අවාසනාව නිසා මෙවන් දේ සිදුවුවහොත්, මට දෙව්ලොව දයාව හිමි නොවේවි. මාවිසින් ආවර්ජනා නොකර, උත්සාහ නොදරා සිටියහොත් මා කෙසේ ද දෙව්ලොව අනුකම්පාව දිනාගන්නේ? මම මා ගැනම ආවර්ජනය කිරීමට උත්සාහ ගත යුතුයි.[3]

සිය අවාසනාව නිසා ජනයාගේ වගාවන් විනාශ වී ඔවුනට කුසගින්නේ සිටීමට සිදු වේදැයි යොංජෝ බියවුණේ ය. රජු ජනයාගේ බදු ප්‍රමාණය අඩුකිරීමට අමාත්‍යවරුනට නියෝග ක‍ළ අතර, තමන්ගේ භෝජන බඳුන් ප්‍රමාණය ද අඩුකළේ ය. සිය කුසගින්නෙන් පෙළෙන ජනයා වෙනුවෙන් සිතා, ඔහු තමන් ආහාරයට ගත් ආහාර වර්ග ප්‍රමාණය අඩුකළේ ය.

වසර 25කට පසු, 1753දී පමණ උදෑසනක ඇදහුලුණු නොනැවතුණු වර්ෂාව යොංජෝට සිය 4වන වර්ෂයේ ඇති වූ ජලගැල්ම සිහිපත් කළේ ය. අඩු ආහාර ප්‍රමාණයක් ගත් ඔහු: "අනේ! මගේ ගුණාංගවල අඩුබව නිසායි ජලගැලීම් සහ නියං ඇතිවන්නේ. එම වර්ෂයට වඩා මම තරමක් වැඩමහල්, කෙසේද මා ජනයාට අනුකම්පාව දැක්විය යුත්තේ? ඔවුන් වෙනුවෙන් මා තවත් වැඩිපුර ‍වෙහෙසිය යුතුයි".[4] නැවත වරක්, යොංජෝ සිය භෝජන මේසයේ බඳුන් සංඛ්‍යාව අඩුකිරීමට නියෝග කළේ ය. ඔහු වටා සිටි මිනිසුන් ඔහු දීප්තිමත්, ත්‍යාගශීලී, සහ කාරුණික රජකු බව පවසන්නට වූහ. ඔහුට තියුණු නිරීක්ෂණ හැකියාවක් සහ ඉක්මන් ධාරණ ශක්තියක් තිබූ බව පැවසේ.[5]

ප්‍රතිපත්ති

[සංස්කරණය]

17වන සියවසේ අගභාගය තුළ දේශපාලන පක්ෂආරවුල් නිසා රාජ්‍ය පරිපාලනයට සිදුවන අහිතකර බලපෑම වටහාගත් යොංජෝ රජු, සහසුනට පත්ව නොබෝකලකින්ම මෙම පක්ෂ ආරවුල් අවසන් කිරීමට උත්සාහ ගත්තේ ය. යොංජෝ කෙටිකාලීන සර්වත්‍ර යුධ සේවා බද්ද ස්ථාපනය කළ අතර, මාලිගයේ දොරටුවෙන් පිටතට යන සෑම විටම, ඔහු නිලධාරීන්, විද්වතුන්, සෙබලුන් සහ ගොවීන්ගේ අදහස් විමසුවේ ය. යුධ සේවා බද්ද අඩකින් අඩු කළ යොංජෝ, එහි අතිරික්තය ධීවර කර්මාන්තය, ලුණු, යාත්‍රා සහ අමතර ඉඩම් බදු මගින් පූරණය කරගැනිණි. මීට අමතරව යොංජෝ, රාජ්‍ය ආදායම් සහ වියදම් මූල්‍ය පද්ධතිය විධිමත් කරමින් ගිණුම්කරණ පද්ධතියක් පිහිටුවී ය. ඔහුගේ යතාර්ථවාදී ප්‍රතිපත්ති නිසා ග්යොංසං දෝ පළාතේ දුරබැහැර කඳුකර ප්‍රදේශ සිට ආසන්න වරායයන් දක්වා ධාන්‍ය බද්ද, මුදල් හෝ කපුවලින් අයකර ගත හැකි විය. මෙලෙසින් මුදල් සංසරණය වීම නිසා කාසි නිෂ්පාදනය වැඩි විය.

ගොවි ජීවිත සමෘද්ධිමත් කිරීමට යොංජෝගේ තිබූ දැඩි ආශාව නිසා ඔහු කොරියානු භාෂාවෙන් (හංගුල්) රචිත වැදගත් පොත් ජනතාව අතර බෙදා දීමට උත්සාහ ගත්තේ ය. ඒ අතර කෘෂිකර්ම ග්‍රන්ථය වැනි ග්‍රන්ථ ප්‍රධාන වේ. වර්ෂාමාන නැවත නිෂ්පාදනය කෙරුණු අතර, ඒවා ප්‍රදේශීය පරිපාලන කාර්යාල වෙත බෙදා දුණි. පොදු ව්‍යාපෘති ද ඇරඹිණි. සමාජ සචලතාවය ඉහළ නැංවීමේ නව ක්‍රමයක් ආරම්භ කරමින් යොංජෝ සමානා්‍ය ජනයාගේ සමාජ තත්ත්වය ඉහළ නැංවී ය. යොංජෝගේ මෙම ප්‍රතිපත්ති කොන්ෆියුසියානු රාජ්‍ය ක්‍රමය මානුෂීය පාලනයක් කරා ගෙනගියේ ය. නමුත් ඔවුනට එමගින් ඇති වූ සමාජ වෙනස වළක්වාගත නොහැකි විය.

වෙළඳ කටයුතු ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ ගියේ ය. අගනුවර වෙළඳ ඒකාධිකාරය සහ තොග වෙළඳාම නොයෙකුත් සංවිධාන ඔස්සේ ගොඩනැගුණු අතර, බොහෝ වෙළඳුන් හන්යං නුවර වටා සංකේන්ද්‍රගත වන්නට විය. සම්ප්‍රදායිකව බෙදුණු රජයේ අවසරලත් වෙළඳසැල්, වීදි සහ පටු මංපෙත්වල අවසරලත් භාණ්ඩ සැපයුම්කරුවන් සහ කුඩා වෙළඳසැල්හිමියන් ඒකාබද්ධ කර ඒකාධිකාරී තොගවෙළඳ පද්ධතියකට ඒකරාශී කරන ලදී.

සිය සමාජ තත්ත්වය නොසලකා බොහෝ යැංබැන් වංශවත්හු සහ සාමාන්‍ය ජනයා හවුල් වෙළඳ කටයුතුවල නියැලෙන්නට වූහ. මෙලෙසින් හන්යං නගරය 18වන සියවසේ වෙළඳ සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුවට පත් විය. අත්කම් සහ පිහි, අශ්ව කෙඳි හිස්වැසුම්, භෝජන මේස සහ පිත්තල භාණ්ඩ වැනි භාණ්ඩ සඳහා ඉල්ලුම ඉහළ ගියේ ය. මූලිකව අශ්ව කෙඳි හිස්වැසුම් පැළඳීමට යැංබැන්වරුන්ට පමණක් තිබූ අයිතිය ක්‍රමයෙන් නැති වී ගියේ ය.

නීතිවිරෝධීව සෑදූ පොත් වෙළඳාම වාණිජකරණය වූ අතර, ධනවත් යැංබැන්වරු සිය මුතුන්මිත්තන් ලියූ සාහිත්‍ය ග්‍රන්ථ ප්‍රකාශයට පත්කරන්නට වූහ. එලෙසම ජනප්‍රිය ප්‍රබන්ධ සහ කාව්‍ය ග්‍රන්ථ මුද්‍රණය ප්‍රචලිත විය. ජනතාව විශේෂයෙන්ම උපහාස සහ සමාජ විවේචන සඳහා ප්‍රියකළහ. එයට උදාහරණයක් ලෙස රජයේ නිලධාරීන්ගේ නොමනා ක්‍රියා සහ ලෝභීත්වය නිරූපණය කරමින් ගිසෙංවරියකගේ (විනෝදය ගෙනදෙන්නියකගේ) දියණියකගේ නිවැරදිබව තේමාකොට ගෙන ලියූ උපහාස ග්‍රන්ථයක් වන චුන්හ්යංජොන් (චුන්හ්යංගේ කථා) යන ග්‍රන්ථය බෙහෙවින් ප්‍රචලිත විය.[6]

දූෂණයට වැටබැඳීම

[සංස්කරණය]

මේ රජු පාක් මුන්-සු නැමැති අම්හෙං-ඉයොසා (암행어사), එනම් රජුගේ රහස් පරීක්ෂකවරයාට අනුග්‍රහ දැක් වූ බව ප්‍රකට ය. පාක්, යි ඉන්-ජ්වාගේ කැරැල්ල මැඬලීමේදී වැදගත් කාර්යභාරයක් ඉටුකළ අතර, රජුගේ නාමයෙන් වංචා දූෂණ සිදුකළ නිලධාරීන්ව ඔහු විසින් සිරභාරයට ගන්නා ලදී.

මතභේදය

[සංස්කරණය]

යොංජෝ රජ සමයේ සිදු වූ වැදගත්ම අපකීර්තිමත් සිදුවීම ලෙස ඔහුගේ පුත්‍රයා වූ කිරුළහිමි සදෝ කුමරුගේ මරණය සඳහන් කළ හැකි ය. ඉතිහාසය අනුව, සදෝ මානසික රෝගයකින් පෙළුණු අතර, ඔහු හේතු රහිතව මාලිගයේ නොයෙක් වැසියන් මරණයට පත් කළ අතර, ඔහු ලිංගික විකෘතිතාවන්ගෙන් පෙළුණු අයෙක් ලෙස සඳහන් වේ. මාලිගයේ නීති අනුව යොංජෝ රජුට සිය පුතු සිය දෑතින්ම මරා දැමිය නොහැකි විය. ඒ නිසා 1762 උණුසුම් ජූලි දිනයක සදෝව විශාල දැව සහල් මංජුසාවක සිරකරන ලදී. ඉන් දින අටකට පසු, හුස්ම හිර වීම නිසා සදෝ මරණයට පත් විය.[7] 19වන සියවසේ දී, සදෝ කුමරුට මානසික ආබාධයක් නොතිබූ බවත්, නමුත් රචකයන් විසින් එසේ ලියා ඇති බවටත් කටකතා පැතිරිණි. නමුත් මෙම කටකතාවලට පටහැනි තොරතුරු ඔහුගේ වැන්දඹුව වූ හ්ය්ග්යොං ආර්යාව විසින් රචිත හ්යේග්යොං ආර්යාවගේ මතක සටහන් සහ ජොසොන් රාජවංශයේ අනුවාර්ෂික වාර්තාවන්හි සඳහන් වේ.

කතෝලික ධර්මය

[සංස්කරණය]

රට තුළ සිදු වූ රෝමානු කතෝලික ක්‍රියාකාරකම්වලට එරෙහිව පළමුව පියවර ගත් රජු වන්නේ ‍යොංජෝ රජුයි. 18වන සියවස විට විශේෂයෙන්ම ගංවොන් සහ හ්වංහේ පළාත් තුළ කතෝලික ධර්මය පැතිරගියේ ය. 1758දී, යොංජෝ රජු නිලවශයෙන් කතෝලික ධර්මය ඇදහීම සාහසික ක්‍රියාවක් ලෙස නිවේදනය කරන ලදී.

කිරුළහිමි සදෝ කුමරුන්ගේ මරණයෙන් වසර 14කට පසු, සදෝගේ පුත්‍රයා සහ යොංජෝගේ මුණුපරා වූ ජොංජෝ රජු බවට පත් විය. නව රජුගේ මුල් රාජ්‍ය කාලය තුළ, දේශපාලන කුමන්ත්‍රණ බහුල වූ අතර, ඔහුගේ පියා වූ කිරුළහිමි සදෝ කුමරුන්ට දඬුවම් පැමිණවීමට, පෙත්සම් ඉදිරිපත් කළ රාජ්‍ය නිලධාරීහු ජොංජෝ තමන්ගෙක් පලිගනීවි යැයි බියවූහ.

යොංජෝ රජුගේ දේහය දොංගුර්‍යුංහි රාජවංශ සොහොනෙහි මිහිදන් කරන ලදී. යොංජෝ රජුගේ සිරුර, සිය දෙවන බිරිඳගේ දේහය සමග ගුරි නගරයේ, වොන්න්‍යුංහි (원릉, 元陵) රාජකීය සොහොනේ භූමදාන කොට ඇත.

  1. දල්සුං සියෝ වංශයේ ජොංසොං අගබිසව (정성왕후 서씨, 1692 දෙසැම්බර් 7 – 1757 පෙබරවාරි 15)[8][9] (1703 නොවැම්බර් මස විවාහ විය)
    1. දරුවන් නැත
  2. ග්යොංජු කිම් ‍වංශයේ ජොංසුන් අගබිසව (정순왕후 김씨, 1745 නොවැම්බර් 10 – 1805 ජනවාරි 12)[10]
    1. දරුවන් නැත
  3. ලී වංශයේ රාජකීය වංශවත් ජොං උපබිසව (정빈 이씨, 1694-1721)
    1. කිරුළහිමි හ්යෝජං කුමරු (효장세자, 1719–1728).[11]
    2. හ්වාඔක් කුමරිය (화억옹주, 1717-1718)
    3. හ්වාසූන් කුමරිය (화순옹주, 1720-1758) ඇය අනපේක්ෂිත ලෙස මියගිය සිය සැමියා වූ කිම් හන් ෂින් (වොල් සුං වී) ගේ මරණින් පසු සියදිවි නසාගත්තා ය.[12]
  4. ලී වංශයේ රාජකීය වංශවත් යොං උපබිසව (영빈 이씨, 1696 – 23 August 1764)[13][14]
    1. කිරුළහිමි සදෝ කුමරු (사도세자, 1735–1762)[15]
    2. හ්වාප්යොං කුමරිය (화평옹주, 1727–1748)
    3. හ්වාහ්යොප් කුමරිය (화협옹주, 1733–1752)
    4. හ්වාවැන් කුමරිය (화완옹주, 1738–1808)
  5. ජෝ ග්වයි-ඉන් (귀인 조씨)
    1. හ්වායූ කුමරිය (화유옹주, 1741–1771)
  6. මූන් සුක්-උයි (숙의 문씨)[16]
    1. හ්වාර්යොං කුමරිය (화령옹주, 1752–1821)
    2. හ්වාගිල් කුමරිය (화길옹주, 1754–1772)

ඔහුගේ සම්පූර්ණ මරණාපර නාමය

[සංස්කරණය]
  • කොරියාවේ මහා යොංජෝ ජංසුන් ජිහෙං සුන්දොක් යොංමෝ උයිර්යොල් ජං-උයි හොං-යුන් ග්වං-ඉන් දොන්හුයි චෙචොන් ගොන්-ග්‍යුක් සොංගොං සින්හ්වා දේසොං ග්වං-උන් ගෙතේ ගියොං යොම්යොං සුන්චොල් ගොන්-ගොන් ගොන්යොං බේම්යොං සුතොං ග්යොංන්‍යොක් හොංයු ජුංහ්වා යුංදෝ සුක්ජං චංහුන් ජොංමුන් සොන්මු හුයිග්යොං හ්යොන්හ්යෝ රජ
  • 영조장순지행순덕영모의렬장의홍윤광인돈희체천건극성공신화대성광운개태기영요명순철건건곤영배명수통경력홍휴중화융도숙장창훈정문선무희경현효대왕
  • 英祖莊順至行純德英謨毅烈章義洪倫光仁敦禧體天建極聖功神化大成廣運開泰基永堯明舜哲乾健坤寧配命垂統景曆洪休中和隆道肅莊彰勳正文宣武熙敬顯孝大王

ජනප්‍රිය සංස්කෘතිය තුළ

[සංස්කරණය]

මේවාත් බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ හල්බර්ට්, හෝමර් බී. (1905). ද හිස්ට්‍රි ඔෆ් කොරියා. Vol. 2. සෝල්: ද මෙතෝඩිස්ට් පබ්ලිෂිං හවුස්. p. 164. ISBN 9780700707003. සම්ප්‍රවේශය 2013-09-10.
  2. ^ "ද හිස්ට්‍රි ඔෆ් කොරියා". Archive.org. සම්ප්‍රවේශය 2014-06-04.
  3. ^ 1728, එනම් ඔහුගේ 4වන වර්ෂයේ ජූලි 27වන දිනට අයත් යොංජෝ රජුගේ අනුවාර්ෂික වාර්තා
  4. ^ ඔහුගේ 29වන රාජ්‍ය වර්ෂයේ, 1753 අවට ජූලි 23 දිනට අයත් යොංජෝ රජුගේ අනුවාර්ෂික වාර්තාව
  5. ^ හ්යේග්යොං ආර්යාවගේ මතක සටහන්. පි.250
  6. ^ සංරක්ෂිත පිටපත, http://www.koreaaward.com/kor/151, ප්‍රතිෂ්ඨාපනය 2016-09-16 
  7. ^ හ්යේග්යොං ආර්යාවගේ මතක සටහන් (한중록, 閑中錄)
  8. ^ සියෝ ජොං-ජේ (서종제) සහ ලී මැතිණියගේ දියණියයි.
  9. ^ ඇයට "අගබිසව" තනතුර ලාබදීමට ප්‍රථම "බිසෝ කුමරිය" (군부인) යන තනතුර ලබාදිණි.
  10. ^ කිම් හං-ගු (김한구) සහ වොන් මැතිණියගේ දියණියයි.
  11. ^ ඔහුට "ජින්ජොං" (진종) යන නාමය ලබාදිණි.
  12. ^ 박, 주 (2012). ""ද ලයිෆ් ඇන්ඩ් ඩෙත් ඔෆ් කිං යොංජෝ'ස් ඩෝටර් හ්වා සුන්" [කොරියානු බසින්]". කොරියන් තෝට් ඇන්ඩ් කල්චර් (LXIV): 201–234.
  13. ^ ලී යෝ-බොන් (이유번) සහ කිම් මැතිණියගේ දියණියයි.
  14. ^ Also known as Lady Seonhui.
  15. ^ ඔහුට "ජංජෝ" (장조) යන මරණාපර නාමය ලබාදිණි.
  16. ^ පසුකාලීනව "බලයෙන් පහකළ මූන් සුක්-උයි" (폐숙의 문씨) ලෙස ප්‍රසිද්ධ විය.
  17. ^ බෙක්, බ්යුං-යූල් (2014 අගෝස්තු 18). "සේම් රෝල්, ඩිෆරන්ට් ඇක්ටර්ස්". ද කොරියා ටයිම්ස්. සම්ප්‍රවේශය 2014-11-09. {{cite web}}: Check date values in: |date= (help)
ජෝසුන්හි යොංජෝ රජ
උපත: සැප්තැම්බර් 13 1694 මරණය: මාර්තු 5 1776
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
ග්යොංජොං
ජොසොන්හි රජු
1724–1776
අනුප්‍රාප්තික
ජොංජෝ
"https://si.wikipedia.org/w/index.php?title=ජෝසුන්හි_යොංජෝ_රජ&oldid=592094" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි