ජෝසුන්හි ඉන්ජෝ රජ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ජෝසුන්හි ඉන්ජෝ රජ
හංගුල්인조
හංජා仁祖
සංශෝධිත රොමානුකරණයඉන්ජෝ
මෙකන්–රයිෂවර්ඉන්ජෝ
උපන් නම
හංගුල්이종
හංජා李倧
සංශෝධිත රොමානුකරණයඉ ජොං
මෙකන්–රයිෂවර්ඉ චොං

ජොසොන්හි ඉන්ජෝ (17 දෙසැම්බර් 1595 – 17 ජූනි 1649, රාජ්‍ය. 1623–1649) යනු කොරියාවේ ජොසොන් රාජවංශයේ දහසයවන පාලකයායි. සොන්ජෝ රජුගේ මුණුපුරකු වූ ඔහු ජොංවොන් ප්‍රධාන කුමරු (정원군) ගේ පුත්‍රයායි. ඉන්ජෝ රජ සමයේ පළමු සහ දෙවන මැංචු ආක්‍රමණ සිදු විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1636දී ජොසොන් රාජ්‍යය ක්විං රාජවංශයට යටත් විය.

දිවිය[සංස්කරණය]

උපත සහ පසුබිම[සංස්කරණය]

1595දී උපන් ඉන්ජෝ ජොංවොන් ප්‍රධාන කුමරුගේ[1] පුත්‍රයෙකි. ජොංවොන් කුමරුගේ පියා සොන්ජෝ රජු විය. 1607දී, ජොංවොන් ප්‍රධාන කුමරුගේ පුත්‍රයාට න්‍යුංයැං කුමරු (綾陽都正, 능양도정) යන පදවියත්, පසුව න්‍යුංයැං ප්‍රධාන කුමරු (綾陽君, 능양군) යන පදවි නාමයත් පිරිනැමිණි. රාජකීය පවුලේ සාමාජිකයකු වූ ඔහුට එකල දේශපාලනයෙහි නිරත වූ කිසිදු දේශපාලන පක්ෂයක සහාය හිමි නොවිණි‍.

1608දී, සොන්ජෝ රජු රෝගාතුර වී මියයාමත් සමග ඔහුගේ පුත් ග්වංහේගුන් සිහසුනට පත් විය. එම කාලයේ රජය විවිධ දේශපාලන පක්ෂවලට බෙදී පවැතිණි. ජපනුන්ට එරෙහිව වඩාත් ක්‍රියාකාරීව සටන් කළ නිදහස් මතධාරී නැගෙනහිර පක්ෂය සත් අවුරුදු යුද්ධයෙන් පසු බලවත් වන්නට විය. සොන්ජෝ රජුගේ අවසන් කාලයේ නැගෙනහිර පක්ෂය, උත්තර සහ දක්ෂිණ ලෙස දේශපාලන පක්ෂ දෙකකට වෙන් විය. මින් උත්තර පක්ෂය විප්ලවවාදී ප්‍රතිසංස්කරණ සඳහා සහාය දැක්වූ අතර, දක්ෂිණ පක්ෂයට අවශ්‍ය වූයේ සීමිත ප්‍රතිසංස්කරණ සංඛ්‍යාවක් ක්‍රියාත්මක කිරීමටයි. සොන්ජෝගේ මරණය සිදු වූ කාලයේ රජයේ පාලනය අතැතිව සිටි උත්තර පක්ෂය, වාමාංශික මහා උත්තර පක්ෂය සහ මඳක් අන්තගාමී කුඩා උත්තර පක්ෂය ලෙස කොටස් දෙකකට බෙදිණි. ග්වංහේගුන් සිහසුනට පත් වූ පසු, ඔහුට කිරුළහිමි කරගැනීමට සහාය දැක්වූ මහා උත්තර පක්ෂය රාජසභාවේ ප්‍රමුඛ පක්ෂය බවට පත් විය. මේ අතර, ගතානුගතික මතධාරී බටහිර පක්ෂය සුළු පක්ෂයක් ලෙස පැවතිණි. කෙසේනමුත්, බටහිර පක්ෂයේ බොහෝ සාමාජිකයන් පාලන පක්ෂය ලෙස බලය අත්කරගැනීමට ප්‍රයත්න දැරූහ.

1623 කුමන්ත්‍රණය[සංස්කරණය]

බොහෝ දේශපාලනඥයන්ගේ සහ විද්වතුන්ගේ සහාය හිමි නොවූවද, ග්වංහේගුන් (光海君, 광해군) යනු විශිෂ්ට පාලකයකු සහ බුද්ධිමතකු විය. ඔහුට බොහෝ දේශපාලනඥයන්, විද්වතුන් සහ වංශවතුන්ගේ සහාය හිමි නොවූයේ ඔහු පළමු-උපන් පුත්‍රයා නොවීමත්, උපබිසවකට දාව උපන් පුත්‍රයකු වීමත් නිසායි. මෙම මතයන් යටපත් කිරීම සඳහා කටයුතු කළ මහා උත්තර පක්ෂය කුඩා උත්තර පක්ෂය මර්දනය කොට සොන්ජෝ රජුගේ පළමු පුත්‍රයා වූ ඉම්හේ කුමරුන්ව (臨海君, 임해군) මරාදැමී ය. එසේම අගබිසවගේ පුත්‍රයා වූ යොංචං ප්‍රධාන කුමරුන්ව (永昌大君, 영창대군) ඝාතනය කිරීම ද සිදු විය. මෙය සිය සිහසුන රැකගැනීමට ග්වංහේගුන් යෙදූ සැලසුමක් නොවී ය. ඔහුට අවශ්‍යව තිබුණේ සුළු පක්ෂ රජයට ඇතුළත් කරගැනීමටයි. නමුත් ජොං ඉන්-හොං සහ යි ඉචොම් වැනි මහා උත්තර පක්ෂයේ සාමාජිකයෝ මීට විරුද්ධත්වය පලකළහ. මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් ග්වංහේගුන් කෙරෙහි වූ වංශවතුන්ගේ අප්‍රසාදය වැඩි වූ අතර, ඔවුහු රජුට එරෙහිව කුමන්ත්‍රණ සැලසුම් කළහ.

1623දී අති-ගතානුගතික බටහිර පක්ෂයේ කිම් ජා-ජොම්, කිම් ර්යු, යි ග්වි සහ යි ග්වල් විසින් කුමන්ත්‍රණයක් දියත් කොට ග්වංහේගුන් සිහසුනෙන් පහකරන ලදී. අනතුරුව ග්වංහේගුන්ව ජේජු දූපත වෙත පිටුවහල් කෙරිණි. ජොං ඉන්-හොං සහ යි ඉචොම්ව ඝාතනය කෙරුණු අතර, පාලක මහා උත්තර පක්ෂය විස්ථාපනය කරමින් බටහිර පක්ෂය බලයට පැමිණියේ ය. බටහිර පාක්ෂිකයන් විසින් ඉන්ජෝව මාලිගයට කැඳවාගෙන විත් ඔහුව ජොසොන්හි නව රජ වශයෙන් සිංහාසනාරූඪ කරන ලදී. ඉන්ජෝ රජු වුවද, ඔහුට කිසිදු බලයක් නොතිබූ අතර, බලය අතැතිව තිබුණේ ග්වංහේගුන්ව සිහසුනෙන් පහකළ බටහිර පක්ෂය අතෙහි ය.

යි ග්වල් කැරැල්ල[සංස්කරණය]

කුමන්ත්‍රණයේ දී සිය දායකත්වය වෙනුවෙන් ඉතා සුළු ත්‍යාගයක් පමණක් හිමි වූ නිසා යි ග්වල් තමන්ට අසාධාරණව සැලකූ බවට සිතන්නට වූයේ ය. මැංචුවරුන්ට එරෙහිව සටන් කිරීමට ඔහුව උතුරු දේශ සීමාවේ ප්යොංග්යැං වෙත යැවීමත් සමග, 1624දී ඔහු ඉන්ජෝට එරෙහිව කැරැල්ලක් ඇරඹී ය. කුමන්ත්‍රණයට දායක වූ සෙසු ප්‍රධානීන්ට රජ මාලිගයේ ඉහළ තනතුරු හිමිව තිබිණි. ජපන් සෙබලුන් 100ක් ඇතුළු (කොරියාව වෙත ජපන් ආක්‍රමණ (1592–1598) සමයේ කොරියාව වෙත පලා ආ) සෙබළුන් 12,000ක් සමග යි ග්වල් හන්සොං අගනුවර වෙත පැමිණි අතර, එහිදී යි ග්වල් විසින් ජං මන් සෙන්පතියා හමුදා පරදා හන්සොං වැටලී ය. මෙම සිදුවීම ජොතන් සටන ලෙස හඳුන්වයි. ඉන්ජෝ ගොංජු වෙත පලාගිය අතර, හන්සොං නගරය කැරැලිකරුවන්ගේ අතට පත් විය.

1624 පෙබරවාරි 11 දින, යි ග්වල් විසින් හ්‍යුංගන් කුමරුන්ව (興安君, 흥안군) නව රජු ලෙස සිංහාසනාරූඪ කරන ලදී. නමුත් තවත් සේනාවක් රැගෙන පැමිණි ජං මන් සෙන්පති විසින් යි ග්වල්ගේ හමුදා පරදවන ලදී. කොරියානු හමුදාව අවසානයේ අගනුවර පාලනය සියතට ගත් අතර, ඔහුගේ ආත්මාරක්ෂකයා විසින් යි ග්වල්ව මරාදැමීමෙන් පසු කැරැල්ල අවසන් විය. ඉන්ජෝ නැවත සිහසුන ලබාගැනීමට සමත් වුවද, ‍මෙම කැරැල්ල මගින් ඔහුගේ රාජ්‍ය බලයේ ඇති දුර්වලතාවත්, කැරැල්ලට එරෙහිව සටන් වැද තවතවත් බලය අතින් වර්ධනය වූ වංශවතුන්ට හිමි ස්ථානයත් වටහාගත හැක. ග්වංහේගුන් රජුගේ ප්‍රතිසංස්කරණ‍ හේතුවෙන් යථා තත්ත්වයට පත්වෙමින් පැවති කොරියාවේ ආර්ථිකය, මෙලෙසින් යළිත් ඇද වැටී කොරියාව තවත් සියවස් ගණනාවක් පුරාවට දරිද්‍රභාවයට පත්වූයේ ය.

මැංචුවරුන් සමග යුද්ධය[සංස්කරණය]

දක්ෂ සහ බුද්ධිමත් පාලකයකු වූ ග්වංහේගුන් රජු ජොසොන් රාජ්‍යයේ සම්ප්‍රදායික මිතුරා වූ චීන මිං රාජවශය මෙන්ම වර්ධනය වෙමින් පැවති මැංචුවරුන් සමග ද මධ්‍යස්ථ සම්බන්ධතා පවත්වා ගැනීමට සමත් විය. කෙසේනමුත්, ග්වංහේගුන් රාජ්‍ය සමය බිඳවැටීමත් සමග, ගතානුගතික මතධාරී බටහිර පක්ෂය මැංචු විරෝධී සහ මිං රාජවංශ හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට වූයේ ය. මේ හේතුවෙන් ඒ වන විට ජොසොන් රාජ්‍යයේ සමීප මිතුරකුව සිටි මැංචුවරු ජොසොන් රාජ්‍යය සතුරකු ලෙස දකින්නට වූහ. යි ග්වල්ගේ කැරැල්ලට දායක වූ හන් යුන් මැංචූරියාව වෙත පලාගොස්, ජොසොන් රාජ්‍යය ආක්‍රමණය කරන මෙන් මැංචු නායක නුර්හාකිගෙන් ඉල්ලා සිටියේ ය. මෙලෙසින් කොරියාව සහ මැංචු දේශය අතර පැවති මිත්‍ර සම්බන්ධතා අවසන් විය.

1627දී, අමින් සෙන්පතියා (阿敏) සහ හිටපු කොරියානු සෙන්පති ගං හොං-රිප්ගේ නායකත්වයෙන් යුත් 30,000ක මැංචු අශ්වාරෝහක හමුදාවක් ජොසොන් රාජවංශය ආක්‍රමණය කළහ. ඔවුහු ග්වංහේගුන් රජු යළි තනතුරෙහි පිහිටුවා කිම් ජා-ජොම් ඇතුළු බටහිර පක්ෂ නායකයන්ට දඬුවම් කිරීමට අපේක්ෂා කළහ. ජං මන් සෙන්පතියා මැංචුවරුන්ට එරෙහිව සටන් කළ ද, එය වැළැක්වීමට අපොහොසත් විය. නැවත වරක් ඉන්ජෝ ගංග්හ්වා දූපත වෙත පලාගියේ ය. මේ වන විට, කොරියාවට පහර දීමට තවදුරටත් හේතුවක් නොවූ හෙයින් මැංචුවරු චීනයට එරෙහි යුද්ධයට සූදානම් වූහ. සාමය නැවත උදා විය. පසුව ක්විං සහ ජොසොන් රාජ්‍ය සහෝදර රාජ්‍ය ලෙස ප්‍රකාශයට පත්කෙරුණු අතර, මැංචුවරු කොරියාවෙන් නික්ම ගියහ. මෙය කොරියා‍ව වෙත පළමු මැංචු ආක්‍රමණය ලෙස හඳුන්වයි.

කෙසේනමුත්, බොහෝ බටහිර පාක්ෂිකයන් තවදුරටත් සිය දැඩි ප්‍රතිපත්තිය අනුගමනය කරන්නට විය. කොරියාව කෙරෙහි සුබවාදී ආකල්පයක් දැක්වූ නුර්හාකි යළි කොරියාව ආක්‍රමණය කළේ නැත. නමුත් නුර්හාකි මියගිය පසු මැංචුවරුන්ගේ නායකයා බවට පත් වූ හොං තායිජි යුද්ධයක් ඇරඹීමට අවස්ථාවක් හිමි වන තෙක් සිටියේ ය. මැංචුවරුන් වෙතින් පලාගිය මිං සෙන්පති මාඕ වෙන්රොං සහ ඔහුගේ හමුදාවට ඉන්ජෝ රජු රැකවරණය සැලසීම හේතුවෙන් මැංචුවරුන්ට කොරියාව ආක්‍රමණයට නැවත අවස්ථාව හිමි විය.

1636දී සිය ජාතිය නිල වශයෙන් ක්විං රාජවංශය යනුවෙන් නම්කළ හොං තායිජි පෞද්ගලිකව ජොසොන් රාජ්‍යය ආක්‍රමණය ආරම්භ කළේ ය. මැංචුවරු උයිජු බලකොටුව ආරක්ෂා කළ ඉම් ග්යොං ඉයොප්ගේ ප්‍රධාන හමුදාව පහසුවෙන් මගහැරියහ. ඉන්ජෝ ගංග්හ්වා දූපත පලායාමට ප්‍රථම, මිනිසුන් 128,000කින් සමන්විත මැංචූරියානු හමුදාව ඍජුවම හන්සොං වෙත ළඟා වූ අතර, ඉන්ජෝට පලා යා හැකි වූයේ නම්හන්සන්සොං වෙත පමණි. මැංචුවරුන් විසින් ආහාර සහ සැපයුම් අවහිර කිරීමට සමත් වූ බැවින් ඉන්ජෝට අවසානයේ ක්විං රාජවංශය වෙත යටත් වීමට සිදු විය. මෙහිදී චාරිත්‍රානුකූලව ඉන්ජෝ විසින් හොං තායිජිට නවවරක් ආචාර කළ අතර, ඉන්ජෝ යනු හොං තායිජගේ සේවකයකුය යන්න ඉන් අදහස් විණි. අනතුරුව අත්සන් කෙරුණු සම්ජොන්දෝ ගිවිසුම මගින් ඉන්ජෝගේ පළමු සහ දෙවන පුත්‍රයා සිරකරුවන් ලෙස චීනය වෙත රැගෙන යන ලදී. අනතුරුව ජොසොන් රාජ්‍යය ක්විං රාජවංශයේ යටත් රාජ්‍යයක් බවට පත් වූ අතර, 1644දී ක්විං රාජවංශය විසින් මිං රාජවංශය ආක්‍රමණය කරන ලදී. මෙම යුද්ධය කොරියාවේ දෙවන මැංචු ආක්‍රමණය ලෙස හඳුන්වයි.

කිරුළහිමි කුමරුගේ මරණය[සංස්කරණය]

1644දී ක්විං රාජවංශය විසින් බෙයිජිං ආක්‍රමණය කළ පසු,[2] කුමාරවරුන් දෙදෙනා නැවත කොරියාව වෙත පැමිණියහ. ඉන්ජෝගේ පළමු පුත්‍රයා වූ කිරුළහිමි සෝහ්යොන් කුමරු බටහිර ලෝකයෙන් නොයෙකුත් නිෂ්පාදන රැගෙන ආ අතර, මේ අතර ක්‍රිස්තු ලබ්ධිය ද විය. ඔහු ප්‍රතිසංස්කරණ සඳහා යෝජනා කළ ද, ගතානුගතික ඉන්ජෝ රජු මෙම මතය අනුමත කළේ නැත. කතෝලික ධර්මය සහ බටහිර විද්‍යාව රැගෙනවිත් කොරියාව නූතනකරණය කිරීමට උත්සාහ දැරීම නිසා ඉන්ජෝ කිරුළහිමි කුමරුට හිංසා පැමිණවී ය.

පසුකලෙක රජුගේ කුටිය තුළ කිරුළහිමි කුමරු අභිරහස් ලෙසමරණයට පත් විය. ඔහුගේ හිසෙන් දැඩිව රුධිරය වහනය වෙමින් පැවතිණි. ජනප්‍රවාද අනුව පැවසෙන්නේ ඉන්ජෝ රජු විසින්, සෝහ්යොන් කුමරු චීනයේ සිට රැගෙන ආ තීන්ත පුවරුවෙන් පහර දී සිය පුත්‍රයාව මරා දැමූ බවයි. කෙසේනමුත් මරණින් පසු ඔහුගේ දේහයේ කළු පැහැ ලප දක්නට ලැබීමත්, සිරුර ඉක්මණින් නරක් වීමත් නිසා මෙය වස දීමක් බව ඇතැම් ඉතිහාසඥයෝ පවසති. කුමරුගේ බිරිඳ ඇතුළු බොහෝ දෙනා මේ පිළිබඳ සථයය හෙළි කරගැනීමට උත්සාහ දැරුව ද, ඉන්ජෝ රජු එම දේහය ඉක්මණින් භූමදාන කිරීමට නියෝග කළ අතර, කිරුළහිමි කුමරුගේ අවමංගල්‍ය උත්සවයේ උත්කර්ෂවත් ස්වභාවය දැඩි ලෙස අඩුකළේ ය.

අනතුරුව ඉන්ජෝ රජු විසින් සෝහ්යොන් කුමරුගේ වැඩිමහල් පුත්‍රයා වූ ග්යොංසොන් කුමරු වෙනුවට බොංරිම් ප්‍රධාන කුමරුන්ව (පසුව හ්යෝජොං රජු වූ) කිරුළහිමි කුමරු තනතුරට පත්කරන ලදී. ඉන් මඳ කලකට පසු ඉන්ජෝ සෝහ්යොන් කුමරුගේ පුත්‍රයන් තිදෙනා ජේජු දූපත වෙත පිටුවහල් කළේ ය. (ඉන් නිරුපද්‍රිතව නැවත මහා භූමිය වෙත පැමිණියේ ලාබාලතමයා වූ ග්යොංගන් කුමරු පමණකි) එ‍සේම සෝහ්යොන්ගේ බිරිඳ වූ කිරුළහිමි මින්හොයි කුමරියට රාජද්‍රෝහී චෝදනා එල්ල කොට මරණ දඬුවම ද ලබාදුන්නේ ය.

උරුමය[සංස්කරණය]

අදවන විට බොහෝ දෙනකු පිළිගන්නේ ඉන්ජෝ දුර්වල, තීරණ ගැනීමෙහි අපොහොසත්, අදක්ෂ පාලකයකු ලෙසයි. ඔහුගේ ක්‍රියා හේතුවෙන් යි ග්වල් කැරැල්ල, මැංචු යුද්ධ ද්විත්වය සහ ආර්ථිකය බිඳ වැටීම ද සිදු විය. බොහෝවිට ඔහුව ඔහුගේ පූර්වප්‍රාප්තිකයා වූ ග්වංහේගුන් සමග සසඳා කථාකරනු ලැබෙයි. ග්වංහේගුන් සිහසුනෙන් පහකෙරුණ ද, ඔහු විශිෂ්ට සේවාවන් රැසක් සිදුකොට තිබිණි. නමුත් ඉන්ජෝ සිය රාජ්‍ය සමය තුළ කිසිදු වැදගත් සේවාවක් සිදු නොකළ ද, ඔහුව විහාර නාමයක් පවා ලබා දී ඇත. සිය රාජධානිය රැක ගැනීමට අපොහොසත් වීම පිළිබඳ බොහෝ ජනයා ඔහුට දොස් පැවරූ අතර, ඔහු දේශපාලනඥයකු අනුගමනය නොකළ යුතු චරිතයැකැයි සැලකිණි. නමුත් ඔහු විසින් 1592 සිට 1636 අතර කාලයේ රාජ්‍යයට ඇති වූ ආක්‍රමණ හමුවේ, යුධ හමුදාව පුළුල් කිරීම බුද්ධිමත් තීරණයක් යැයි සැලකේ. 1649දී ඉන්ජෝ මියගියේ ය. ඔහුගේ සොහොන ග්යොංගි-දෝහි පාජු ප්‍රදේශයේ පිහිටියේ ය.

පවුල[සංස්කරණය]

  • පියා: වොන්ජොං රජු[3]
  • මව: න්‍යුංසුං ගු වංශයේ ඉන්හොන් අගබිසව (인헌왕후 구씨)[4]
  • බිසෝවරුන් සහ ඔවුන්ගේ දරුවන්:
  1. චොංජු හන් වංශයේ ඉන්ර්යොල් අගබිසව (인렬왕후 한씨)
    1. සෝහ්යොන් අනුප්‍රාප්තික කුමරු (소현세자, 1612–1645)
    2. බොංරිම් ප්‍රධාන කුමරු (봉림대군), (1619–1659); රාජකීය අනුප්‍රාප්තික (රාජ්‍ය. 1649-1659)
    3. ඉන්ප්යොං ප්‍රධාන කුමරු (인평대군, 1622–1658)
    4. යොංසොං ප්‍රධාන කුමරු (용성대군, 1624-1629)
  2. යංජු ජෝ වංශයේ ජංර්යොල් අගබිසව (장렬왕후 조씨)
  • දරුවන් නැත
  1. ජෝ ග්වයි-ඉන් (폐귀인 조씨, 1615-1652) [5]
    1. හ්යෝම්යොං කුමරිය (효명옹주,1637-1700)
    2. සුංසොන් කුමරු (숭선군, 1639-1690)
    3. නක්සොන් කුමරු (낙선군, 1641-1695)
  2. ජං ග්වයි-ඉන් (귀인 장씨)
  • දරුවන් නැත

ඔහුගේ සම්පූර්ණ මරණාපර නාමය[සංස්කරණය]

  • කොරියාවේ මහා ඉන්ජෝ ගේචොන් ජෝඋන් ජොංගි සොන්දොක් හොන්මුන් යෝල්මු මියොංසුක් සුන්හ්යෝ රජ
  • 인조개천조운정기선덕헌문열무명숙순효대왕
  • 仁祖開天肇運正紀宣德憲文烈武明肅純孝大王

නූතන නිරූපණ[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 14වන රජු වූ සොන්ජෝගේ නීත්‍යානුකූල නොවන පුත්‍රයෙකි.
  2. පැලයිස්, ජේම්ස් බී. (1995). කන්ෆියුෂියන් ස්ටේට්ක්‍රාෆ්‍‍ට් ඇන්ඩ් කොරියන් ඉන්ස්ටිටියුෂන්ස් : යු හ්යොංවොන් ඇන්ඩ් ද ලේට් චොසොන් ඩයිනාස්ටි. සියැටල් [u.a.]: යුනිවර්සිටි ඔෆ් වොෂිංටන් ප්‍රෙස්. පි. 103. ISBN 0295974559. https://books.google.com/books?id=kwpSxkUYCSAC&pg=PA103&dq=dorgon+korean+princess&hl=en&sa=X&ei=KaNsVbuZC8KEsAXjy4HoDQ&ved=0CCsQ6AEwAg#v=onepage&q=dorgon%20korean%20princess&f=false. 
  3. සොන්ජෝ රජුගේ සයවන නීත්‍යානුකූල නොවන පුත්‍රයා ඔහු ජොංවොන් කුමරු නම් විය. 1623දී, ඉන්ජෝගේ පියා වීම හේතුවෙන් ඔහුට ‍”දේවොන්ගුන්” යන මරණාපර පදවිය පිරිනැමිණි. නොයෙකුත් විරෝධතා මධ්‍යයේ ඔහුට මරණින් පසු 1632දී වොන්ජොං රජ යන ගෞරව නාමය පිරිනැමිණි.
  4. ඉන්ජෝ රජුගේ මව වීම හේතුවෙන් 1623දී ඇයට “ග්යෝඋන්ගුං” යන පදවිය පිරිනැමිණි‍. ගු සා-මෙං (구사맹) ගේ දියණියයි.
  5. 1652 ජනවාරි 24 දින හ්යෝජොං රජු විසින් මරණ දඬුවම ලබා දෙන ලදී
ජෝසුන්හි ඉන්ජෝ රජ
උපත: 1595 මරණය: 1649
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තික වූයේ
ග්වංහේගුන්
ජොසොන්හි රජ
1623–1649
අනුප්‍රාප්තික වූයේ
හ්යෝජොං
"https://si.wikipedia.org/w/index.php?title=ජෝසුන්හි_ඉන්ජෝ_රජ&oldid=387070" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි