ජෝසුන්හි සේජෝ රජ

විකිපීඩියා වෙතින්
යි යු
ජොසොන්හි රජ
රාජ්‍ය සමය11 ජූනි 1455 – 23 සැප්තැම්බර් 1468
පූර්වප්‍රාප්තිකයාදන්ජොං (යි හොං-වි)
අනුප්‍රාප්තිකයායේජොං (යි ග්වං)
උපත2 නොවැම්බර් 1417
මරණය23 සැප්තැම්බර් 1468 (50 වියැති)
බිසවජොංහුයි, ජොසොන්හි අගබිසව
මරණාපර නාමය
කොරියාවේ මහා සේජෝ හ්යේජං සුංචොන් චේදෝ යොල්මුන් යොංමු ජිදොක් යුංගොං සොංසින් මියොංග්යේ හ්‍යුම්සුක් ඉන්හ්යෝ රජ
세조혜장승천체도열문영무지덕융공성신명예흠숙인효대왕
世祖惠莊承天體道烈文英武至德隆功聖神明睿欽肅仁孝大王
විහාර නාමය
සේජෝ
වංශයජොන්ජු යි
පියාසේජොං (යි දෝ)
මවසෝහොන් අගබිසව
ජෝසුන්හි සේජෝ රජ
හංගුල්세조
හන්ජා世祖
ප්‍රතිශෝධිත රෝමානුකරණයසේජෝ
මැකූන්–‍රයිෂවර්සේජෝ
උපන් නාමය
හංගුල්이유
හන්ජා李瑈
ප්‍රතිශෝධිත රෝමානුකරණයඉ යු
මැකූන්–‍රයිෂවර්ඉ යු
Courtesy name
හංගුල්수지
හන්ජා粹之
ප්‍රතිශෝධිත රෝමානුකරණයසුජි
මැකූන්–‍රයිෂවර්සුජි

ජොසොන්හි සේජෝ (කොරියානු:조선 세조, 2 නොවැම්බර් 1417 – 23 සැප්තැම්බර් 1468, රාජ්‍ය. 1455–1468) යනු කොරියාවේ ජොසොන් රාජවංශයේ හත්වන පාලකයායි. 1453 සිට 1455දක්වා ජොසොන් රාජවංශයේ අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ ඔහු, ජොසොන්හි මුන්ජොංගේ සොහොයුරා වූ අතර ජොසොන්හි දන්ජොං රජුගේ මාමා විය. 1455දී කුමන්ත්‍රණයක් මගින් ඔහු සිහසුනට පත් විය.

මුල්කාලීන දිවිය[සංස්කරණය]

1417දී යි යු යනුවෙන් උපත ලද සේජෝ, මහා සේජොං රජුගේ දෙවන පුත්‍රයා විය. ඔහු දුනු ශිල්පය, අසුන් පැදවීම, සහ සටන් කලාවට දක්ෂතාවන් පෙන්වී ය. විශිෂ්ට යුධ සෙන්පතියකු වූ නමුත්, ඔහු කිසිදින සටන් බිමට පිවිසියේ නැත. 1428දී ඔහු ප්‍රධාන කුමරු සුයාං' බවට පත් වූ අතර, ඔහු වඩාත් ප්‍රකට වූයේ එම නාමයෙනි.

සේජොංගේ මරණින් පසු, සුයාංගේ රෝගී සොහොයුරා වූ මුන්ජොං සිහසුනට පත් වූ නමුත් ඔහු නොබෝ කලකින්ම මියගියේ ය. අනතුරුව කිරුළ 12 වියැති මුන්ජොංගේ පුත්‍රයා වූ දන්ජොං හට හිමි විය. නව රජු රාජ්‍ය පාලනයට ලාබාල වැඩි වූ හෙයින්, දේශපාලන කටයුතු මෙහෙයවන ලද්දේ එවකට අග්‍රාමාත්‍ය හ්වංබෝ ඉන් සහ උප-අග්‍රාමාත්‍ය කිම් ජොංසෝ සෙන්පති විසිනි. රාජකීය පවුලේ සාමාජිකයන්ට එරෙහිව කිම් ජොංසෝ හා ඔහුගේ පක්ෂය බලය අතින් වර්ධනය වන විට, කිම් සහ සුයාං අතර අරගලය තීව්‍ර විය. සුයාං පමණක් නොව, සුයාංගේ බාල සොහොයුරු අන්ප්යොං ප්‍රධාන කුමරු ද රාජධානියේ පාලනය අතට ගැනීමට අපේක්ෂාවෙන් පසු විය.

සුයාං, සිය හිතවත් උපදේශක හන් මියුං-හොයි ඇතුළු විශ්වාසවන්තයින් තමා වටා රැස්කරගත්තේ ය. හන් උපදෙස් දුන්නේ සුයාං හට කුමන්ත්‍රණයක් සිදුකොට රාජ්‍ය බලය අතට ගන්නා ලෙසයි. ඒ අනුව 1453 නොවැම්බර් 10 (10වන චන්ද්‍ර මාසයේ 10වන දිනය) දින ඔහු කිම් ජොංසෝ හා ඔහුගේ පාක්ෂිකයන් විනාශ කොට රාජ්‍ය බලය සියතට ගත්තේ ය. එම කුමන්ත්‍රණයේ දී, ඔහු සිය සොහොයුරු අන්ප්යොං කුමරුන්ව සිරගත කොට පසුව පිටුවහල් කළේ ය. එහි දී අන්ප්යොං කුමරු මියගියේ ය.

රාජ්‍ය සමය[සංස්කරණය]

අවසානයේ 1455දී ඔහු සිය බල රහිත ළදරු බෑනා වූ දන්ජොංට සිහසුන අත්හැරීමට බලකොට ජොසොන්හි සත්වන රජු බවට පත් විය. පසුව ඔහු දන්ජොංව කුමාර තනතුර දක්වා පහත හෙළී ය. පසුව ඔහුගේ බාල සොහොයුරු ගුම්සුං ප්‍රධාන කුමරු සහ සොං සම්-මුන්, පාක් පෙං-න්‍යොන් හා යි ගේ ඇතුළු ෂඩ් විද්වතුන් සුයාංව බලයෙන් නෙරපා දන්ජොංව සිහසුනට පත්කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් දන්ජොංට වස දී මරණයට ත් කරන ලදී.

සිය ලාබාල බෑනාගෙන් සිහසුන පැහැරගෙන, බොහෝ මිනිසුන්ව ඝාතනය කළ මුත්, ඔහු කොරියානු ඉතිහාසයේ කාර්යශූර පාලකයන් අතුරින් අයකු ලෙස සැලකෙයි. පළමුව, තේජොං රජු විසින් ස්ථාපිත රාජාධිකාරී බලය ශක්තිමත් කළ ඔහු රාජසභාව රජුගේ ඍජු පාලනයට ගෙනඒමෙන් අග්‍රාමාත්‍යවරයාගේ බලය අඩුකළේ ය. තේජොං විසින් හඳන්වා දුන් පරිපාලන ක්‍රමය ශක්තිමත් කළ ඔහු, සැබෑ ජනගහණ ප්‍රමාණය රජයට නිර්ණය කළ හැකි ක්‍රමවේදයක් සැකසී ය. තේජොං මෙන් දැඩි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ඔහු, 1460 (오랑캐/兀良哈) සහ 1467 (호리개/胡里改) යන වර්ෂවල දී උතුරු දේශසීමාවේ වූ ජුර්චෙන්වරුන්ට ප්‍රහාර එල්ල කරන ලදී. මීට අමතරව ජාතික ආර්ථිකය වැඩිදියුණු කිරීම සඳහා ඔහු ඉඩම් පනත් ප්‍රතිශෝධනය කළේ ය. තමන්ට එරෙහිව කුමන්ත්‍රණයට තැත් කිරීම හේතුවෙන් ඔහු සේජොං රජ සමයේ විසූ විද්වතුනට දඬුවම් පැමිණවූවද, ඉතිහාසය, ආර්ථිකවිද්‍යාව, කෘෂිකර්මාන්තය පිළිබඳ ලියැවුණු මෙන්ම ආගමික ග්‍රන්ථ ප්‍රකාශනයට ද ඔහු අනුග්‍රහ දැක්වී ය.

පසුකාලීන අවුරුදු[සංස්කරණය]

ඔහුගේ වඩාත් වැදගත් සේවාවක් ලෙස රාජ්‍ය පරිපාලනය සඳහා ප්‍රධාන නීත පද්ධතියක් සකස් කිරීම දැක්විය හැක. මෙය රාජවංශික පරිපාලනය සඳහා අස්වැසිල්ලක් වූ අතර, මෙය කොරියාවේ ප්‍රථම ව්‍යවස්ථානුකූල ලිඛිත නීති සංග්‍රහය ලෙස සැලකෙයි. 1468දී ඔහු මියගිය අතර සිහසුන ඔහුගේ දුර්වල පුතු වූ යේජොං හට හිමි විය.

පවුල[සංස්කරණය]

  • පියා: සේජොං රජු (세종)
  • මව: චොංසොං ෂිම් වංශයේ සෝහොන් අගබිසව (소헌왕후 심씨, 28 සැප්තැම්බර් 1395 – 24 මාර්තු 1446)
  • බිසෝවරුන් සහ ඔවුන්ගේ දරුවන්:
  1. පප්යොං යූන් වංශයේ ජොංහුයි අගබිසව (정희왕후 윤씨), 8 දෙසැම්බර් 1418 – 6 මැයි 1483)[1][2]
    1. යි ජං, කිරුළහිසි උයිග්යොං (이장 의경세자, 1438 – 2 සැප්තැම්බර් 1457), 1වන පුත්‍රයා[3]
    2. යි හ්වං, හේයැං ප්‍රධාන කුමරු (이황 해양대군), අනාගත ජොසොන්හි යේජොං (1450 – 1469), 2වන පුත්‍රයා
    3. යි සේ-සොන්, උයිසූක් කුමරිය (이세선 의숙공주, 1442–1477), එකම දියණිය[4]
    4. මතභේදාත්මක දෙවන දියණියක්;[5] ඇයව යි සේ-හුයි (이세희),[6] යි සේ-ජොං (이세정), උයිර්යොං කුමරිය (의령공주), සහ උයිහ්වා කුමරිය (의화공주) වැනි විවිධ නම්වලින් හඳුන්වා ඇත.
  2. සොන්සන් පාක් වංශයේ රාජකීය වංශවත් ග්‍යුන් බිසව[7] (근빈 박씨, 1425(?)–?)[8]
    1. යි සෝ, දොක්වොන් කුමරු (이서 덕원군, 1449–1498), 1වන පුත්‍රයා
    2. යි සොං, චංවොන් කුමරු (이성 창원군, 1458–1484), 2වන පුත්‍රයා
    3. නම් නොලද පුත්‍රයෙක් (1458–1463)
  3. බලයෙන් පහකළ පාක් සෝ-යොං (폐소용 박씨)
    1. නම් නොලද පුත්‍රයෙක් (ළමා වියේ මියගිය)
  4. ෂින් දුක්-වොන් (숙원 신씨)
  • දරුවන් නැත.

ජොසොන්හි සේජෝ රජු විසින් සම්පාදිත ග්‍රන්ථ[සංස්කරණය]

ජොසොන්හි සේජෝ සිය ලැදියාවක් දැක් වූ ක්ෂේත්‍ර පිළිබඳග්‍රන්ථ ගණනාවක් සම්පාදනය කොටඇත. ඉන් එකක් වන සොක්බොසංජොල් නැමැති ග්‍රන්ථය ගෞතම බුදුරජාණන් වහන්සේ පිළිබඳ චරිතාපදානයකි.[9] මීට අමතරව ඔහු තවත් ග්‍රන්ථ දෙකක් නිර්මාණය කොට ඇත:

  • වොලිල්සුක්බෝ (월인석보, 月印釋譜)
  • යුක්දේබ්යුංග්යෝ (역대병요, 歷代兵要)

ඔහුගේ සම්පූර්ණ මරණාපර නාමය[සංස්කරණය]

  • කොරියාවේ මහා සේජෝ හ්යේජං සුංචොන් චේදෝ යෝල්මුන් යොංමු ජිදොක් යුංගොං සොංසින් මියොංග්යේ හ්‍යුම්සුක් ඉන්හ්යෝ රජ
  • 세조혜장승천체도열문영무지덕융공성신명예흠숙인효대왕
  • 世祖惠莊承天體道烈文英武至德隆功聖神明睿欽肅仁孝大王

කලාවන් සහ මාධ්‍ය තුළ නිරූපණ[සංස්කරණය]

  • නම් සුං-වූ විසින් 1984-1985 රූපවාහිනී කතාමාලාවක් වන 500 ඉයර්ස් ඔෆ් ජොසොන්: ද උමේ ට්‍රී ඉන් ද මිඩ්ස්ට් ඔෆ්ද ස්නෝ තුළ ඔහුගේ චරිතය නිරූපණය කරයි.
  • සියෝ ඉන්-සොක් විසින් 1994 රූපවාහිනී කතාමාලාවක් වන හන් මියුං-හොයි තුළ නිරූපණය කරයි.
  • ඉම් දොං-ජින් විසින් 1998-2000 රූපවාහිනී කතාමාලාවක් වන ද කිං ඇන්ඩ් ද ක්වීන් තුළ ඔහුගේ චරිතය නිරූපණය කරයි.
  • චෝයි බොං-සික් විසින් 2007 රූපවාහිනී කතාමාලාවක් වූ සායුක්සින් තුළ නිරූපිත ය.
  • කිම් බ්යුං-සේ විසින් 2007-2008 රූපවාහිනී කතාමාලාවක් වූ ද කිං ඇන්ඩ් අයි තුළ නිරූපිත ය.
  • කිම් යොං-චොල් විසින් 2011 රූපවාහිනී කතාමාලාවක් වන ද ප්‍රින්සස්' මෑන් තුළ නිරූපණය කරයි.
  • කිම් යොං-හෝ විසින් 2011 රූපවාහිනී කතාමාලාවක් වූ ක්වීන් ඉන්සූ තුළ ඔහුගේ චරිතය නිරූපණය කළේ ය.
  • ලී ජුං-ජේ විසින් 2013 චිත්‍රපටයක් වූ ද ෆේස් රීඩර් තුළ ඔහුගේ චරිතය නිරූපණය ‍කළේ ය.

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ජොංජොං වංශාධිපතිතුමා (정정공) හෙවත් අභ්‍යන්තර කුමාර පප්යොං (파평부원군) යනුවෙන් හැඳින්වුණු යූන් බොන් (윤번) ගේ සහ ලී වංශයේ හ්‍යුංන්‍යොං ආර්යාවගේ දියණියයි
  2. 1428දී සේජෝගේ වල්ලභ කුමරිය ලෙස විවාහ කරගැනිණි
  3. සිය පියා ප්‍රධාන කුමරුව සිටි කාලයේ ඔහුව දෝවොන් කුමරු (도원군) ලෙස හැඳින්විණි
  4. පසුව මුන්සොං වංශාධිපති (문성공) ජොං ඉන්-ජි (정인지) පුත්‍රයා වූ ජොංහ්යොන්-ජෝ (정현조) සමග විවාහ විය.
  5. නිල නොවන ඉතිහාසය (야사 野史) අනුව, විශේෂයෙන්ම සියෝ යූ-යොං (서유영) ගේ "ග්‍යුම්‍ග්යේ පිල්දම්" (금계필담 錦溪筆談; 1873දී) තුළ මේ බව සඳහන් වේ. නමුත් නිල වාර්ෂික සටහන් මගින් එය සනාථ වී නැත. නමුත්, 1446දී (සේජොංගේ 28වන වර්ෂය), වාර්ෂික වාර්තාවල ප්‍රධාන කුමරු සුයාංහට (එකල සේජෝ හැඳින්වුණු නම) "එක් පුත්‍රයකු සහ දියණියන් දෙදෙ‍නකු" සිටි බව සඳහන් වෙතත්, මේ දෙවන දියණියක් පිළිබඳකිසිදු වාර්තාවක් හමු නොවේ
  6. මෙය නිල නොවන ඉතිහාසයේ සඳහන් වේ
  7. සැබැවින්ම ඇය ග්වයි-ඉන් (귀인) ශ්‍රේණියේ උපබිසවකි. 1483 ජූනි 15 දින ඇයව බින් ශ්‍රේණියට උසස් කෙරිණි.
  8. පාක් පෙං-න්‍යොන් (박팽년) (පසුකාලීන ෂඩ් ප්‍රාණත්‍යාගී අමාත්‍යවරුන්ගෙන් අයෙක්) ගේ වැඩිමහල් සොහොයුරියයි
  9. "ලයිෆ් හිස්ට්‍රි ඇන්ඩ් සර්මන් ඔෆ් බුද්ධා ඇබ්ස්ට්‍රැක්ටඩ් ෆ්‍රොම් බුඩිස්ට් ස්ක්‍රිප්චර්ස්". ලෝක ඩිජිටල් පුස්තකාලය. 1447. සම්ප්‍රවේශය 2013-05-24.
ජෝසුන්හි සේජෝ රජ
උපත: 1417 මරණය: 1468
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
දන්ජොං
ජොසොන්හි රජ
11 ජූනි 1455 – 23 සැප්තැම්බර් 1468
අනුප්‍රාප්තික
යේජොං
"https://si.wikipedia.org/w/index.php?title=ජෝසුන්හි_සේජෝ_රජ&oldid=450965" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි