මහාබලිපුරම් ස්මාරක සමූහය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
මහාබලිපුරම් ස්මාරක සමූහය
4 scenes at Mahabalipuram monuments 2.jpg
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
පිහිටීම මහාබලිපුරම් (නගරය), භාරත ජනරජය විකිදත්ත සංස්කරණය කරන්න
ඛණ්ඩාංක 12°37′00″N 80°11′30″E / 12.6167°N 80.19167°E / 12.6167; 80.19167
මෙයට ඇතුළත් වන්නේ ආකාශ ගංගාවරෝහණය
පංච රථ
වෙරළාන්ත දේවාලය Edit this on Wikidata
නිර්ණායක සංස්කෘතික: i, ii, iii, iv
සමුද්දේශ 249
අභිලේඛනය 1984 (8වන සැසිය)
මහාබලිපුරම් ස්මාරක සමූහය is located in ඉන්දියාව
මහාබලිපුරම් ස්මාරක සමූහය
මහාබලිපුරම් ස්මාරක සමූහයහි පිහිටීම
මහාබලිපුරම් ස්මාරක සමූහය is located in තමිල් නාඩු
මහාබලිපුරම් ස්මාරක සමූහය
මහාබලිපුරම් ස්මාරක සමූහයහි පිහිටීම

මහාබලිපුරම් ස්මාරක සමූහය යනුවෙන් හඳුන්වන්නේ බෙංගාල බොක්කේ කොරමැන්ඩල් වෙරළ තීරයේ පිහිටි ස්මාරක සංකීර්ණයකි. මෙය ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තයේ කාංචීපුරම් දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. මෙය පිහිටියේ චෙන්නායි අසල ය. සිද්ධස්ථාන 40කින් පමණ සමන්විත මෙයට ලොව විශාලතම එළිමහන් ශෛලමය උන්නත කැටයම ද අයත් යත 1984දී මහාබලිපුරම් යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම්කෙරිණි.[1] මෙම පල්ලව යුගයේ අඩවි අතරට පංච රථ ලෙස සැලකෙන ධර්මරාජ රථ, අර්ජුන රථ, භීම රථ, ද්‍රෞපදි රථ, නකුල සහදේව රථ, සමගින් ගනේෂ රථයත්; වරාහ ලෙන් දේවාලය, ක්‍රිෂ්ණා ලෙන් දේවාලය, මහීෂාසුරමර්දිනී මණ්ඩප, පංචපාණ්ඩව ලෙන් දේවාලය ඇතුළු මහාබලිපුරම්හි ලෙන් දේවාල කිහිපයකුත්; වෙරළාන්ත දේවාලය සහ ඕලක්කනේස්වර දේවාලය ඇතුළු ව්‍යූහමය දේවාලත්; සහ ලොව විශාලතම හළිමහන් අල්ප-උන්නතවලින් එකක් ලෙස සැලකෙන ආකාශ ගංගාවරෝහණය කැටයමත් අයත් වේ.[1][2] මහාබලිපුරම් එහි ගෘහනිර්මාණ ශිල්පයේ අරුමය හේතුවෙන් ප්‍රකට වී ඇත.

නිරුක්තිය[සංස්කරණය]

මහාබලිපුරම් ප්‍රදේශය විවිධ නම්වලින් හැඳින්වේ. ඒ අතරට මල්ලපුරම්, මාමල්ලපුරම්, මාවලිපුරම් සහ මහාබලිපුරම් වැනි නම් ඇතුළත් ය. මින් අවසානයට සඳහන් කළ නම වඩාත් මෑතකාලීන සහ සංඛ්‍යාලේඛන තුළ භාවිතා වී ඇති නිල නාමයයි. මෙම ස්ථානය යුරෝපීය නාවිකයන් විසින් "සප්ත පැගෝඩා දේශය" ලෙස හඳුන්වා ඇත්තේ වෙරළ ගොඩබට විට ඔවුනට හින්දු දේවාලවල කොත් සතක් (ස්තූපවල මෙන්) දිස්වූ නිසායි.[3]

ඉතිහාසය[සංස්කරණය]

වාර්තා අනුව මෙම භූමියය පෙරිප්ලස් (ක්‍රි.ව. 1වන සියවස) සහ ටොලමි (ක්‍රි.ව. 140) යුගයේ ‍වරායයක්ව පැවති බවට සාක්ෂි හමුවේ. මෙය නගරයක් ලෙස ස්ථාපනය කරන ලද්දේ 7වන සියවසේ දී මදුරාසියේ (වර්තමාන චෙන්නායි) දකුණු පෙදෙස පාලනය කළ පල්ලව රජවරුන් විසිනි. මෙය අග්නිදිග ආසියාවේ රාජධානි වූ කාම්බූජ (වර්තමානය කාම්බෝජය) සහ ශ්‍රීවිජය (වර්තමාන මැලේසියාව, සුමාත්‍රා සහ ජාවා දූපත්) මෙන්ම චම්පා අධිරාජ්‍යය (අන්නම් ලෙස හැඳින්වේ) වැනි රාජධානි සමග වෙළඳ කටයුතුවල නිරත වූ සුප්‍රකට වරායයක් විය. අනුයාත සියවස් තුළ මෙය වඩාත් ප්‍රකට වූයේ ක්‍රි.ව. 630 සහ 728 අතර කාලයේ නිර්මාණය වූ එහි ඇති ගලෙන්-නෙළූ දේවාල, ලෙන් සහ ව්‍යූහමය දේවාල හේතුවෙනි..[1][4]

මහාබලිපුරම් නම්කෙරුණේ පල්ලව රාජවංශයේ උච්චතම සමයේ රාජ්‍ය පාලනය කළ මාමල්ල (අර්ථය මහා මල්ලවයා) යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු Iවන නරසිංහවර්මන් (ක්‍රි.ව. 630 – 670 පමණ) රජුගේ නම ඇසුරෙනි.[5] කෙසේනමුත් මාමල්ලගේ පියා වූ Iවන මහේන්ද්‍රවර්මන් (ක්‍රි.ව. 600-30) රජු විසින් ද සිය රාජ්‍ය සමයේ මෙහි ඇති ඇතැම් ගොඩනැගිලි ඉදිකළේ යැයි සැලකේ. 7වන සියවසේ දී, මෙලෙස දේවාල-ගොඩනැගිලි ක්‍රියාකාරකම් දකුණු ඉන්දියාවේ ද්‍රවිඩියානු ආරේ ගෘහනිර්මාණ ස්මාරක ඉදිවීමේ ආරම්භය සනිටුහන් කළේ ය. මෙම යුගයේ ඉදිවූ ස්මාරක කිහිපයක් ලෙස ගලෙන් නෙළූ පංච රථ, ආකාශ ගංගාවරෝහණය නැමැති විවෘත අල්ප-උන්නත කැටයම, ගෝවර්ධනධාරී, මහීෂාසුරමර්දිනී වැනි අලංකෘත ලෙන් සහ ජාල-සයන පෙරුමාල් දේවාලය සැලකේ. මේ සියල්ල මාමල්ල යුගයේ ඉදිවූ ඒවායි.[4]

8වන සියවසේ දී, ගලෙන්-නෙළූ ඒකශෛලීය දේවාල කෙරෙහි අඩු වැදගත්කමක් හිමිවූ අතර, තවත් පල්ලව රජකු වූ රාජසිංහ[වක්‍රොත්තිහරණය අවශ්‍ය වෙයි] (ක්‍රි.ව‍. 700-28) රජ සමයේ ව්‍යූහමය දේවාල ඉදි වන්නට විය. ව්‍යූහමය ගෘහනිර්මාණ ඉදිවීමට ඔහුගේ දායකත්වය අනුස්මරණීය වී ඇත්තේ ඔහු විසින් ඉදිකළ විශාල දේවාලයක් වූ වෙරළාන්ත දේවාලය හේතුවෙනි. මෙම දේවාල සංකීර්ණය දේවාල තුනකින් සමන්විත ය: ඉන් කුඩා ත්‍රිතාල විමාන සහිත බටහිරට මුහුණලා පිහිටි දේවාල රාජසිංහේශ්වර දේවාලය නම් වේ; විශාලතම විමාන සහිත නැගෙනහිරට මුහුණලා පිහිටි දෙවොල ක්ෂත්‍රීයසිංහේශ්වර දේවාලය නම් වේ; අනෙක් දේවාලය වන නරපතිසිංහ පල්ලව විෂ්ණුගෘහය ද නැගෙනහිරට මුහුණලා පිහිටි දිගටි හැඩයෙන් යුත් මණ්ඩපයකි. මෙහි වැතිරගත් විෂ්ණු රුවක් දක්නට ලැබේ. දේවාල වටා පිහිටි ප්‍රාකාර බිත්ති යුගල පසුකාලීන යුගයකට අයත් යැයි කාලනිර්ණය කෙරේ.[4] ක්‍රි.ව. 897දී චෝළ රාජවංශය විසින් පරාජයට පත්කරන තෙක්ම, 4වන සිට 9වන සියවස් දක්වා පල්ලව පාලනය පැවතිණි. ඉන් අනතුරුව මහාබලිපුරම්හි ඓතිහාසික වැදගත්කම ක්‍රමයෙන් පිරිහී ගියේ ය. ඇතැම් කාලවල දී එය වරායයක් ලෙස හඳුනාගැනුණු නමුත්, ක්‍රමයෙන් එය අභාවයට ගියේ ය.

19වන සියවසේ දී පුරාවිද්‍යාඥයින් විසින් මෙය යළි අනාවරණය කරගන්නා ලදී. 20වන සියවසේ දී එය ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් වූ අතර, 1984දී එය UNESCO ලෝක උරුම අඩවියක් ලෙස නම්කෙරිණේ i, ii, iii සහ iv සහ නිර්ණායක ඔස්සේ ප්‍රවර්ග හතරක් යටතේයි.[1][2] බෙංගාල බොක්ක ඇතුළු ඉන්දියානු සාගරයේ 2004 සුනාමිය ඇතිවීමට මොහොතකට පෙර, මහාබලිපුරම් වෙරළ තීරයේ සාගර ජලය 500 metres (1,600 ft) පමණ පසුපසට ඇදී ගිටේ ට. වෙරළේ සිට මෙය නිරීක්ෂණය කළ සංචාරකයින් සහ නිවැසියන් පවසා තිබුණේ ජලයෙන් ඉස්මතු වූ දිගු, ඍජු සහ විශාල ගල් කුළු පෙළක් තමන් දුටු බවයි. සුනාමිය වෙරළ වෙත ඇදෙන විට මෙම ගල් ජලයෙන් නැවත යට විය. කෙසේනමුත්, සියවස් ගණනාවක් පුරා ඒ මත තැන්පත්ව තිබූ අවසාදිත ඉවත්ව ගියේ ය. සුනාමිය හේතුවෙන් පෙර වැසීගොස් පැවති ප්‍රතිමා සහ කුඩා ව්‍යූහයන් කිහිපයක් අනාවරණය විය.[6]

ගෘහනිර්මාණ ශිල්පය[සංස්කරණය]

මහාබලිපුරම්හි අනන්‍ය ස්මාරක තුළින් හින්දු දේව සභාවට අයත් ආගමික, සංස්කෘතික සහ ජනප්‍රවාද යන අංගවල සම්මිශ්‍රණයක් පෙන්නුම් කරයි.[7] බෙංගාල බොක්කේ වෙරළ තීරයේ පිහිටි මෙම ස්මාරක සියල්ල තමිල් නාඩුවේ කලාව සහ සංස්කෘතිය පෝෂණය කළ ද්‍රවිඩියානු ගෘහනිර්මාණ ශෛලියෙන් සමන්විත ය. මෙම ස්මාරක පහත පරිදි වේ: මණ්ඩප හෙවත් ලෙන් දේවාල; රථ; ශිව දෙවියන්ගෙන් පශුපත ආයුධය ලබාගැනීමට අර්ජුනගේ තපස දැක්වෙන එළිමහන් අල්ප-උන්නතය; සහ ව්‍යූහමය දේවාල ලෙස වර්ග කළ හැක.[8] ගලෙන්-නෙළූ දේවාල, විශේෂයෙන්ම රථ පසුකාලීන යුගවල දකුණු ඉන්දියානු දේවාල ගෘහනිර්මාණ ශිල්පය සඳහා මූලාකෘති ලෙස භාවිතා විය.[9] ගෘහනිර්මාණ අංග, විශේෂයෙන්ම ප්‍රතිමා දකුණු ඉන්දියාව තුළ පුළුල්ව ව්‍යාප්ත වූ අතර, කාම්බෝජය, අන්නම් සහ ජාවා වෙත ද එහි ආභාසය ව්‍යාප්ත විය.[1] මෙම පූජාස්ථාන නිමැවූ ප්‍රතිමාකරුවන්ගෙන් පැවතෙන්නන් ක්‍රියාකාරී අතර, මහාබලිපුරම් අද්‍යතන නගර සංස්කෘතිය ගොඩනැගීමට ඔවුහු දායක වෙති.[7]

වැදගත් සන්ධිස්ථාන[සංස්කරණය]

භීම සහ ධර්මරාජ රථ

රථ දේවාල[සංස්කරණය]

රථ දේවාල යනු රථවල හැඩයෙන් යුතුව ගොඩනැගූ දේවාලයන් ය. මෙම ඒකශෛලීය ස්මාරක පහ වැලි සහිත වෙරළෙහි ඉහළට මතුව තිබූ ඩයෝරයිට් හෝ ග්‍රැනයිට් පාෂාණවලින් ඉදිකොට ඇත. මේවා පෙරහැරක ඇති රථ මෙන් දිස්වේ.[1] මෙම පංච රථ, පාණ්ඩව රථ (පාණ්ඩවයන් යනු මහාභාරත වීරකාව්‍යයෙහි එන සොයුරන් පස්දෙනා සහ ඔවුන්ගේ පොදු භාර්යාව වන ද්‍රෞපදී) ලෙස හඳුන්වන මේවා 7වන සියවසේ පාල්ලව රාජවංශ සමයට අයත් ය. මෙම පංච රථ පහත පරිදි වේ: ධර්මරාජ රථ, භීම රථ, අර්ජුන රථ, නකුල සහදේව රථ සහ ද්‍රෞපදි රථ එම රථයන් ය. මේවා තනි පාෂාණයකින් වෙනස් සැලැස්මකින් යුතුව කැටයම් කොට ඇත. මේවා අසම්පූර්ණ බැවින් මෙම දේවාලවලින් කිසිවක් වන්දනා කටයුතු සඳහා භාවිතා වූයේ නැත.[4][9] පංච රථවලට අමතරව 7වන සියවසේ පසුකාලීනව ඉදිවූ ගනේෂ රථ නම් තවත් රථයක් ද වේ. මෙම රථයේ කාලනිර්ණය සඳහා පාදක කොටගෙන ඇත්තේ මාමල්ලගේ මුණුපුරු Iවන පරමේශ්වරවර්මන් පිළිබඳ සඳහන් සෙල් ලිපියකිනි.[10][11]

මණ්ඩප[සංස්කරණය]

වරාහ ලෙන් දේවාලයේ ඇතුළත බිත්තිවල ඇති අල්ප-උන්නත කැටයම්.

මණ්ඩප හෙවත් ගලෙන්-නෙළූ ලෙන් අල්ප-උන්නත කැටයම්වලින් යුත් සිද්ධස්ථාන වේ. මෙවැනි ලෙන් විහාරවල ආදිතම ස්වරූප බෞද්ධ සහ ජෛන යුගවලින් හමුවේ. ලෙන තුළට කැනීම් කළ පසු නියන සහ ගල්කටුව යොදාගෙන කැටයම් කටයුතු සිදු විය. මහාබලිපුරම්හි දැකගත හැකි මණ්ඩප හෙවත් ලෙන් එකොළහ අතුරින් වඩාත්ම වැදගත් ලෙන් දේවාල වන්නේ වරාහ ලෙන් දේවාලය, ක්‍රිෂ්ණා ලෙන් දේවාලය, පංචපාණ්ඩව ලෙන් දේවාලය, සහ මහීෂාසුරමර්දිනී මණ්ඩපයයි;[1][12] 7වන සියවසේ පල්ලව යුගයේ මාමල්ල ශෛලියෙන් යුතුව මේවායේ පනේල කැටයම් කොට ඇති අතර, මීට සමාන කැටයම් ඇති ආදිරාන්චන්ද ලෙන් දේවාල 8වන සියවසේ මහේන්ද්‍රවර්මන් රජ සමයට අයත් යැයි සැලකේ. ලෙන්වල නෂ්ටා‍වශේෂ දුටුවිට පෙනීයන්නේ අතීතයේ ඒවා මත බදාම ආලේපකොට වර්ණගන්වා තිබූ බවයි.[4] මෙහි ලෙන් බිත්තිවල දක්නට ලැබෙන කැටයම් අතුරින් වඩාත්ම විශිෂ්ට කැටයමක් ලෙස දුර්ගා (ශක්ති දේවතාවියගේ ස්වරූපයක්) දෙවඟන විසින් මීගව හිසැති මහීෂාසුරයාව විනාශ කරනු දැක්වෙන කැටයම හැඳින්විය හැක. මහීෂාසුරමර්දිනී ලෙන් දේවාලයේ දක්නට ලැබෙන මෙම කැටයම ඉන්දීය කලාවේ අග්‍රකෘතියක් ලෙස ද හැඳින්වේ.[13] පල්ලව යුගයට අයත් බොහෝ ලෙන් අසම්පූර්ණ ලෙසින් පවතියි.

ශෛලමය උන්නතය[සංස්කරණය]

ආකාශ ගංගාවරෝහණය නිරූපිත ශෛලමය කැටයම්

පර්වත හෝ නිදහස් ගල් කුළු මත ග්ල කැටයම් නිර්මාණය කිරීම ද සිදු විය. මහාබලිපුරම්හි දක්නට ලැබෙන වඩාත්ම ප්‍රචලිත අල්ප-උන්නත කැටයම ආකාශ ගංගාවරෝහණය (අර්ජුනගේ තපස හෝ භගීරථගේ තපස යනුවෙන් ද හැඳින්වේ) නැමැති විශාල එළිමහන් පර්වත කැටයමකි. මෙය ලොව පිහිටි විශාලතම අල්ප-උන්නත නිර්මාණය ලෙස වාර්තා වේ.[1][4] මෙම කැටයම නිර්මාණය කොට ඇත්තේ දැවැන්ත 27 metres (89 ft) දිගැති සහ 9 metres (30 ft) උසැති දැවැන්ත ගල් කුළු දෙකක් මත ය. එහි හින්දු ආගමික විශ්වාසවල එන කථාපුවත් රැගත් කැටයම් ගණනාවක් දැකගත හැක.[14] ග්‍රනයිට් පාෂාණයෙන් නිර්මාණය කරන ලද මේවා මැදි 7වන සියවසට අයත් අතර, ද හින්දු පුවත්පත පවසන පරිදි එය "ඉන්දියාවේ ප්‍රතිමා කලාවේ විස්මිත නිමැවුමක් වේ."[15]

ව්‍යූහමය දේවාල[සංස්කරණය]

වම: වෙරළාන්ත දේවාල සංකීර්ණයේ සම්පූර්ණ දර්ශනය. දකුණ: වෙරළාන්ත දේවාලයේ ඇති අනන්තශයන විෂ්ණු ප්‍රතිමාව.

ව්‍යූහමය දේවාල ද ඉදිකරන ල්දදේ පල්ලව රජවරුන් විසින් 8වන සියවසේ මුල්කාලයේ ය. මෙය පල්ලව රජකු වූ රාජසිංහ (ක්‍රි.ව. 700-28) සමයේ සිදු විය. මෙය පිහිටා ඇත්තේ ඉන්දියානු සාගරයේ වෙරළ තීරයේ වෙරළ අයිනේ ය. මෙය මුහුදු රළ සහ සුනාමිවලින් ද නොනැසී පැවතිණි. මෙම ආකාරයේ දේවාලවලින් වඩාත්ම සුප්‍රකට සහ ප්‍රමුඛ දේවාලය නම් වෙරළාන්ත දේවාල සංකීර්ණයයි. මෙහි කුඩා දෙවොල් දෙකක් සහ විශාල දේවාලයක් දක්නට ලැ‍බේ. මෙය ශිව‍ගේ වාහනය වන නන්දි ගව රුව රැගත් ද්විත්ව ස්තර ප්‍රාකාරයකින් වටවී ඇත. ප්‍රධාන දේවාලය උසින් වැඩි අතර (50 feet (15 m) සමචතුරස්‍රාකාර පාදමක් මත 60 feet (18 m) උසට විහිදේ) එය පේසාමය පිරමිඩීය කුළුණක් ලෙස යුක්ත ය. මෙහි මහල් පහක් දක්නට ලැබේ. මෙහි නැටයම් ගණනාවක් ඇති අතර, එය ශිව දෙවියන්ට පුදකොට ඇති. මෙම දේවාලයේ මුල් අංගණයේ තවත් කුඩා දේවාලයක් ඇත. මෙම සංකීර්ණයේම පිහිටි අනෙක් දේවාල ද්විත්වය මෙම විශාල දේවාලයට පසුපසින් එකිනෙකට මුහුණලා ඉදිකොට ඇත. මේවා රාජසිංහේශ්වර හෙවත් නරපතිසිංහ පල්ලව විෂ්ණුගෘහ සහ ක්ෂත්‍රීයසිංහේශ්වර යන නම් වලින් හැඳින්වේ. මින් අවසානයට සඳහන් කළ දෙවොල ශිව දෙවියන්ට පුදකළ එකක් වන අතර, මුලින් සඳහන් කළ දේවාලය තුළ වැතිරගත් අනන්තශයන විෂ්ණු නිරූපිත ුපරාතන ප්‍රතිමාවක් ඇත.[4][16] පසුපස දේවාල බිත්තිවල ශිව, පාර්වතී සහ ඔවුන්ගේ පුත් ස්කන්ධ නිරූපිත කැටයම් දැකගත හැක.[15] රාජසිංහේශ්වර දේවාලය ඉදිරිපිට මණ්ඩපය එහි යටමාලය තෙක් දැකගත හැක. සම්පූර්ණ දේවාල සංකීර්ණයම නන්දි ගව රූවලින් විසිතුරු කළ ප්‍රාකාරයකින් වටවී ඇත.[17] වෙරළාන්ත දේවාලය මුහුදට යාබදව පිහිටි නිසා, එය රළු මුහුදු රළ සහ ලවණ මිශ්‍ර සුළංවලට නිරාවරණය වේ. ඉන්දියානු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රළ කඩන සවිකිරීම, බිත්තිවල පල්පයක් ගැල්වීම සහ වෙරළ තීරයේ Casuarina ශාක වගාකිරීම වැනි සංරක්ෂණ ක්‍රම දියත් කොට ඇත.[17]

සංරක්ෂණය[සංස්කරණය]

වසර 40කට පමණ පසු, 2003දී මහාබලිපුරම් අලංකාර කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. සංචාරක සහ සංස්කෘතික ඒකාබද්ධ අමාත්‍යාංශය විසින් කෝටි ගණනක මුදලක් වැයකොට "මාමල්ලපුරම් සමෝධානිත සංවර්ධනය" නම් ව්‍යාපෘතියක් දියත් කොට ඇත. ස්මාරක අවට පෙදෙස් පිරිසිදු කිරීම, වැටවල් යෙදීම, තෘණ වගා සහ මාවත් සැකසීම, උද්‍යාන ගොඩනැගීම අවසර ඉදිකිරීම් ඉවත් කිරීම වැනි ක්‍රියාමාර්ග මෙහි දී අනුගමනය කෙරේ. Son et lumiere (ආලෝක සහ ශබ්ද වැඩසටහන) වැඩසටහනේ දී ස්මාරක රාත්‍රියේ ආලෝකවත් කිරීම සිදුවේ.[18] පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තෘණ වගා සහ මාවත් සකසා තිබුණ ද, නිවාස සහ නාගරික සංවර්ධන සංස්ථාව (HUDCO) විසින් වෙරළාන්ත දේවාලය සහ පංච රථ වෙත දිවෙන මාර්ගවල දෙපස උද්‍යාන සැලසුම් කොට ඇත.[18]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 1.7 "Group of Monuments at Mahabalipuram". UNESCO.org. සම්ප්‍රවේශය 23 October 2012. 
  2. 2.0 2.1 "Advisory body evaluation" (PDF). UNESCO.org. සම්ප්‍රවේශය 23 October 2012. 
  3. Ayyar, P. V. Jagadisa (1982). South Indian Shrines: Illustrated. Asian Educational Services. පිටු 157–. ISBN 978-81-206-0151-2. https://books.google.com/books?id=NLSGFW1uZboC&pg=PA157. Retrieved 7 February 2013. 
  4. 4.0 4.1 4.2 4.3 4.4 4.5 4.6 "World Heritage Sites – Mahabalipuram, Group of Monuments Mahabalipuram (1984), Tamil Nadu". Archaeological Survey of India. සම්ප්‍රවේශය 23 October 2012. 
  5. "Pancha Rathas, Mamallapuram". Archaeological Survey of India. සම්ප්‍රවේශය 23 October 2012. 
  6. Maguire, Paddy (27 October 2005). "Tsunami Reveals Ancient Temple Sites". BBC News. සම්ප්‍රවේශය 9 September 2006. 
  7. 7.0 7.1 Bruyn, Pippa de; Bain, Keith; Allardice, David; Shonar Joshi (18 February 2010). Frommer's India. John Wiley & Sons. පිටු 333–. ISBN 978-0-470-64580-2. https://books.google.com/books?id=qG-9cwHOcCIC&pg=PA333. Retrieved 7 February 2013. 
  8. Nagaswamy, R. (1 October 2010). Mahabalipuram (Mamallapuram). Oxford University Press India. ISBN 978-0-19-807127-3. https://books.google.com/books?id=oHY5YgEACAAJ. Retrieved 7 February 2013. 
  9. 9.0 9.1 "The Rathas, monolithic [Mamallapuram]". Online Gallery of British Library. සම්ප්‍රවේශය 23 October 2012.  උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "Brit" defined multiple times with different content
  10. "Ganesha ratha, Mamallapuram". Online Gallery of British Library. සම්ප්‍රවේශය 23 October 2012. 
  11. "Ganesh Temple, monolith [Mamallapuram]". Online Gallery of British Library. සම්ප්‍රවේශය 23 October 2012. 
  12. Michell, George (1977). The Hindu Temple: An Introduction to Its Meaning and Forms. University of Chicago Press. පිටු 81–. ISBN 978-0-226-53230-1. https://books.google.com/books?id=ajgImLs62gwC&pg=PA81. Retrieved 7 February 2013. 
  13. "Durga Temple [Mahishasuramardini Cave Temple, Mamallapuram]". Online Gallery of British Library. සම්ප්‍රවේශය 23 October 2012. 
  14. "Animals crowding in to admire Arjuna performing Penance [Mamallapuram]". Online Gallery of British Library. සම්ප්‍රවේශය 23 October 2012. 
  15. 15.0 15.1 "Mamallapuram". Frontline: India’s national Magazine from the publishers of The Hindu. සම්ප්‍රවේශය 30 December 2012. 
  16. "Shore Temple of the Seven Pagodas at Mahabalipuram. five story pyramid, 60 ft. high". Great Buildings. සම්ප්‍රවේශය 23 October 2012. 
  17. 17.0 17.1 "The Shore Temple stands its ground". The Hindu. 30 December 2004. සම්ප්‍රවේශය 30 January 2013. 
  18. 18.0 18.1 "A monumental effort". Front Line India's National Magazine from the publishers of The Hindu. 8 November 2003. Archived from the original on 10 April 2013. සම්ප්‍රවේශය 30 December 2012.