මාතංගේශ්වර දේවාලය, ඛජුරාහෝ

විකිපීඩියා වෙතින්
මාතංගේශ්වර දේවාලය
मतंगेश्वर मन्दिर
මාතංගේශ්වර දේවාලය, ඛජුරාහෝ is located in මධ්‍ය ප්‍රදේශ්
මාතංගේශ්වර දේවාලය, ඛජුරාහෝ
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශය තුළ පිහිටීම
මාතංගේශ්වර දේවාලය, ඛජුරාහෝ is located in ඉන්දියාව
මාතංගේශ්වර දේවාලය, ඛජුරාහෝ
මාතංගේශ්වර දේවාලය, ඛජුරාහෝ (ඉන්දියාව)
මූලික තොරතුරු
පිහිටීමඛජුරාහෝ
භූගෝලීය ඛණ්ඩාංක24°51′07″N 79°55′18″E / 24.8519316°N 79.9216873°E / 24.8519316; 79.9216873ඛණ්ඩාංක: 24°51′07″N 79°55′18″E / 24.8519316°N 79.9216873°E / 24.8519316; 79.9216873
අනුබැඳියාවශෛව ආගම
දේවතාවාමාතංගේශ්වර (ශිවගේ ස්වරූපයක්)
දිස්ත්‍රික්කයඡතර්පූර්
ජනපදයමධ්‍ය ප්‍රදේශ්
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ස්ථාපිත දිනයක්‍රි.ව. 11වන සියවස

මාතංගේශ්වර දේවාලය (හෙවත් මාතංගේශ්වර මන්දිරය) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඛජුරාහෝ නගරයේ පිහිටි ශිව දේවාලයකි. මෙය පිහිටියේ ඛජුරාහෝ දේවාල සංකීර්ණයේ බටහිර දේවාල සමූහයේ ය. ඛජුරාහෝවේ පිහිටි චන්දේල යුගයට අයත් ස්මාරක අතුරින් වර්තමානයේ ද ක්‍රියාකාරීව පවතින, වන්දනාමාන කටයුතු සඳහා භාවිතා වන එකම හින්දු දේවාලය මෙයයි.

ඉතිහාසය[සංස්කරණය]

ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව (ASI) විසින් මාතංගේශ්වර දේවාලය ක්‍රි.ව. 900-925 පමණ කාලයට අයත් යැයි යෝජනා කොට ඇත. එයට හේතුව ඛජුරාහෝවේ පසුකාලීන දේවාල මෙන් නොව මෙහි සැලැස්ම ඉතා චාම් ස්වභාවයක් ගැනීමයි.[1] කෙසේනමුත්, විද්වතකු වන රානා පී. බී. සිං විසින් මෙය ක්‍රි.ව. 1000 අවට කාලයට අයත් යැයි සඳහන් කොට ඇත.[2]

මෙම දේවාලය ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජාතික වැදගත්කමක් සහිත ස්මාරකයක් ලෙස වර්ගීකරණය කොට ඇත.[3]

පුරාණෝක්ති වාර්තා අනුව මාතාංග නැමැති තාපසයකු ලිංගයක් ස්වරූපයෙන් පෙනී සිට ප්‍රේමයේ දේවතාවා පාලනය කළේ ය. ඔහුගේ ආශ්‍රම ඛජුරාහෝ, කේදාර්නාත්, වාරානාසි සහ ගයාවේ පිහිටා ඇත. මේවා වර්තමානයේ සිව් මාතංගේශ්වර ("මාතාංගට අධිපති") දේවාල බිම් ලෙස සැලකේ. වෙනත් වාර්තාවක් අනුව කියැවෙන්නේ මෙම‍ දේවාලය නම් කෙරුණේ ප්‍රේමයට අධිපති දෙවියන්ව පාලනය කළ ශිවගේ ස්වරූපයක් අනුව බවයි.[4]

කලාව සහ ගෘහනිර්මාණ ශිල්පය[සංස්කරණය]

මාතංගේශ්වර දේවාලය එහි බිම් සැලැස්ම සහ ආකෘතිය අතින් බ්‍රහ්ම‍ දේවාලයේම ප්‍රමාණයෙන් විශාල ප්‍රභේදයක් වැනි ය.[1] මෙහි බිම් සැලැස්ම සමචතුරස්‍රාකාර හැඩැති ය. මෙම දේවාලය තුළ මීටර 2.5ක් උසැති ශිව ලිංගයක් තැන්පත් කොට ඇත. මෙම ලිංගය පිහිටුවා ඇති පාදක මණ්ඩපයේ උස මීටර 1.2ක් වන අතර, එහි විෂ්කම්භය මීටර 7.6කි.[5] මෙම ලිංගයේ නගරි සහ පර්සියානු අභිලේඛන දැකගත හැකි ය.[1]

මාතංගේශ්වර දේවාලය ඛජුරාහෝවේ පිහිටි වැලිගල් පාෂාණයෙන් නිම කළ දේවාල අතුරින් වඩාත්ම චාම් සේ පෙනෙන දේවාලය වේ.[1] මෙය අතිශයින් කැටයම්වලින් අලංකාර කොට නැත. දේවාලයේ ඇතුළත බිත්ති, පිටත බිත්ති සහ වක්‍රරේඛීය කුළුණ කැටයම්වලින් තොර ය.[6] මෙහි සිවිලිම තුළ මූලික ලියවැල් රටා සහිත ශිඛර දක්නට ලැබේ.[1]

වර්තමාන භාවිතය[සංස්කරණය]

ඛජුරාහෝවේ හින්දු දේවාල අතුරින් තවමත් සක්‍රීයව වන්දනාමානයට පාත්‍ර වන එකම දේවාල භූමිය මාතංගේශ්වර දේවාලයයි.[5] ශිවරාත්‍රී දිනය ආසන්නයේ පෙබරවාරියෙහි හෝ මාර්තු මාසයෙහි ශිවගේ විවාහ මංගල්‍යය සැමරීම වෙනුවෙන් දින තුනික් යුත් විශේෂ උත්සවයක් සංවිධානය කෙරේ. මෙයට ජනයා 25,000ක් පමණ සහභාගී වේ. මෙම මංගල්‍යයේ දී ශිව ලිංගය ජලයෙන් ‍‍නහවා මිනිස් මනමාලයකු මෙන් වස්ත්‍රාභරණවලින් එය සැරසවීම සිදු කෙරේ.[7]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 ASI Bhopal Matangesvara 2016.
  2. Rana P. B. Singh 2009, පිටු අංකය: 58.
  3. ASI MP List 2016.
  4. Rana P. B. Singh 2009, පිටු අංක: 61-62.
  5. 5.0 5.1 Rana P. B. Singh 2009, පිටු අංකය: 61.
  6. Ali Javid & Tabassum Javeed 2008, පිටු අංකය: 201.
  7. Rana P. B. Singh 2009, පිටු අංකය: 62.

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

  • Ali Javid; Tabassum Javeed (2008). World Heritage Monuments and Related Edifices in India. Algora. ISBN 978-0-87586-482-2. {{cite book}}: Invalid |ref=harv (help)
  • "Matangesvara Temple". Archaeological Survey of India, Bhopal Circle. සම්ප්‍රවේශය 2016-11-16.
  • "Alphabetical List of Monuments - Madhya Pradesh". Archaeological Survey of India, Bhopal Circle. සම්ප්‍රවේශය 2016-11-16.
  • Rana P. B. Singh (2009). Cosmic Order and Cultural Astronomy. Cambridge Scholars. ISBN 9781443816076. {{cite book}}: Invalid |ref=harv (help)