දුලාදියෝ දේවාලය
දුලාදියෝ දේවාලය | |
---|---|
![]() ඛජුරාහෝවේ දුලාදියෝ දේවාලය | |
මූලික තොරතුරු | |
පිහිටීම | ඛජුරාහෝ[1] |
අනුබැඳියාව | හින්දු ආගම |
දිස්ත්‍රික්කය | ඡතර්පූර්[1] |
ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
නිර්මාපක | චන්දේල පාලකයින් |
දුලාදියෝ දේවාලය (දේවනගරි: दुलादेव मंदिर) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඛජුරාහෝවේ හින්දු දේවාලයකි. මෙම දේවාලය ශිව දෙවියන්ට පුදකොට ඇති අතර, ගර්භගෘහයේ ශිව ලිංගයක් වන්දනාමානයට ලක් කෙරේ.[1][2] 'දුලාදියෝ' යන්නෙහි අර්ථය “පූජනීය මනමාලයා” යන්නයි.[3] මෙම දේවාලය "කුන්වාර් මාත්" යනුවෙන් ද හඳුන්වයි.[1] නැගෙනහිරට මුහුණලා ඇති මෙම දෙවොල ක්‍රි.ව. 1000-1150 අතර කාලයේ නිර්මාණය වූවකි.[1] චන්දේල යුගයේ ඉදිවූ අවසන් දේවාලය මෙයයි. මෙම දේවාලය සප්තරථ සැලැස්මට අනුව නිමවා ඇත.[4] වෙනත් දේවාල මෙන් නොව මෙම දේවාලය තුළ ඇති කැටයම්වල මෘදු ප්‍රකාශන ලක්ෂණ දැකගත හැක. බිත්තිවල ශෘංගාරාත්මක ඉරියව්වලින් යුත් අප්සරාවන් සහ වෙනත් රූප කැටයම් කොට ඇත.[5][6]
පිහිටීම[සංස්කරණය]
මෙම දේවාලය පිහිටා ඇත්තේ ඛෝදාර් ගං ඉවුරේ, ඛජුරාහෝ ගම්මානයේ කිලෝමීටර 6ක (සැත. 3.73) භූමි ප්‍රදේශයක පැතිරුණු ඛජුරාහෝ දේවාල සංකීර්ණයේ දක්ෂිණ සමූහයේ ය. මෙය ජෛන මධ්‍යස්ථානයට ආසන්න ඛජුරාහෝ ගම්මානයේ සිට කිලෝමීටර 5ක් (සැත. 3.1) දුරින් පිහිටා ඇත.[7][1] මෙයට ප්‍රවේශ වන මාර්ගය රළු ය.[8]
ඉතිහාසය[සංස්කරණය]

මධ්‍ය ඉන්දියාවේ චන්දේල පාලකයින් විසින් ඉදිකළ දේවාල 87 අතුරින් හින්දු දෙවි ශිවහට පිදූ දේවාල 22ට අයත් එක් දෙවොලකි, දුලාදියෝ දේවාලය. මෙකල ගෘහනිර්මාණ කර්මාන්තයේ උච්චස්ථානය ක්‍රි.ව. 950-1050 අතර කාලයේ ඛජුරාහෝ ගම්මානයෙන් දක්නට ලැබේ.[9] ඛජුරාහෝවේ දේවාල හින්දු ආගම සහ ජෛන ආගම යන සම්ප්‍රදායික ආගම් ද්විත්වයට අයත් ය. මේවා බටහිර කලාපය, නැගෙනහිර කලාපය සහ දක්ෂිණ කලාපය ලෙස සමූහ හෙවත් කලාප තුනකට වෙන්කොට දක්වා ඇත. මොරොක්කානු සංචාරකයකු වූ ඉබන් බතූතා ක්‍රි.ව. 1335දී පවා මෙම දේවාල පැවති බවට සාක්ෂ්‍ය දරයි. දක්ෂිණ දේවාල සමූහයේ දේවාල අතරට දුලාදියෝ සහ චතුර්භූජ් දේවාලය යන දේවාල අයත් වේ. වර්තමානයේ දක්නට ලැබෙන සියලු දේවාල 1986දී යුනෙස්කෝ ලෝක උරුම අඩවි ලැයිස්තුවට ඇතුළත් කෙරුණු අතර, කලාත්මක නිර්මාණය සලකා නිර්ණායකය III සහ සංස්කෘතිය සලකා නිර්ණායකය Vටත් ඇතුළත් කෙරිණි. 1202දී මුස්ලිම්වරුන් විසින් රාජ්‍යය ආක්‍රමණය කරන තෙක්ම දේශයේ චන්දේල සංස්කෘතිය ප්‍රචලිතව පැවතිණි.[10] චන්දේල රාජවංශයේ මදනවර්මන් (ක්‍රි.ව. 1128-1165) රජුගේ සමයේ මෙම දේවාලය නිර්මාණය වූ බව පැවසේ.[11]
දේවාලය තුළ ඇති ප්‍රතිමා උත්තර් ප්‍රදේශ්හි කන්පූර් අසල ජාම්සෝර්හි දේවාලයක නටබුන්වලින් හමුවූ ප්‍රතිමාවලට අතිශයින් සමානත්වයක් පෙන්වයි. මෙම සමානත්වය අනුව අනුමාන කෙරෙන්නේ මෙම ස්ථාන දෙකේම කැටයම් එකම ශිල්පීන් විසින් සිදුකොට ඇති බවයි. ඒ අනුව මෙම දේවාලය අයත් කාලසීමාව ලෙස ක්‍රි.ව. 1060-1100 කීර්තිවර්මන් රාජ්‍ය සමය සැලකේ.[12] කෙසේනමුත්, පුරාක්ෂර විද්‍යාව සහ ගෘහිනර්මාණ ශෛලිය සලකා ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව අනුමාන කරන්නේ ඛජුරාහෝවේ මෙම දේවාලයේ ඉදිකිරීම් කටයුතු ක්‍රි.ව. 950 සහ 1150 අතර කාලයේ සිදුවන්නට ඇති බවයි.[1]
දේවාලයේ ස්ථාන ගණනාවකම වාසල යන නාමය අභිලේඛනය කොට තිබීම නිසා අනුමාන කෙරෙන්නේ එය ප්‍රතිමා නිර්මාණය කළ ප්‍රධාන ප්‍රතිමා ශිල්පියාගේ නාමය බවයි.[13]
ගෘහනිර්මාණ ශිල්පය[සංස්කරණය]
මෙම දේවාලය නිරන්ධර දේවාලයක් ලෙස ප්‍රවර්ගීකරණය කෙරේ. නිරන්ධර යන්නෙහි අර්ථය ප්‍රදක්ෂිණා පථයක් නොමැති සැලැස්ම යන්නයි.[14] මෙහි ප්‍රදක්ෂිණා පථයක් නොමැති ගර්භගෘහයක්, ආලින්දයක්, මහා මණ්ඩපයක් සහ ප්‍රවේශ ආරුක්කුවක් දක්නට ලැබේ.[1] දේවාලයේ සැලැස්ම තුළ ප්‍රද්කෂිණා පථයක් දක්නට නොලැබීම හේතුවෙන් මෙය 12වන සියවසේ චන්දේලවරුන්ගේ සමයේ ඉදිවූ අවසන් දේවාල අතුරින් එකක් ලෙස සැලකේ. මේ වනවිටත් ඔවුන්ගේ නිර්මාණ අවධියේ උච්චස්ථානය පසුවී පැවතිණි.[15] දේවාලයේ ශිඛරය කුඩා ශිඛර පේළි තුනක සංයුක්තයේන නිමවා තිබේ.[1] මෙහි ලක්ෂණ ඛජුරාහෝවේ සෙසු දේවාලවල දක්නට ලැබෙන සාමාන්‍ය ලක්ෂණවලට සමාන ය. ස්මාරකවල බාහිර ලක්ෂණ අනුව වර්ගීකර්ණයේ දී උස්වූ පාදමක් සහිත වීම වැදගත් වේ. උප ව්‍යූහයක් වන මෙය අතිශයින් විසිතුරු කළ ව්‍යූහයක් සමග යොදා තිබීම අනුව, මෙය ද කැටයම්වලින් සමන්විත වූ බැව් පෙනේ.[16] මෙහි ගෘහනිර්මාණ ශෛලිය නගර ශෛලියෙන් යුතු අතර, එමගින් ශිවගේ වාසභවන වූ කෛලාශ කූඨය සංකේතවත් කෙරේ.[16]
දේවාලයේ මහා මණ්ඩපය ඉතා විශාල අතර අෂ්ටාස්‍රාකාර හැඩයෙන් යුක්ත ය. මෙහි සිවිලිම අලංකාර අප්සරා රූ වලින් විසිතුරු කොට ඇත. අප්සරා රූ සහිත එවැනි කුරුපා විස්සක් දක්නට ලැබෙන අතර, සෑම කුරුපාවකම එකිනෙකාට පසුපසින් අප්සරාවන් දෙදෙනකු හෝ තිදෙනකු සිටිනු දක්වා ඇත. එය සිවිලිමේ පේකඩමය වක්‍රයක් ලෙස සකසා ඇත.[1] වෘක්ෂ වටා නර්තනයේ යෙදෙන යුවතියන් සහ ශෘංගාරාත්මක ඉරියව්වලින් යුත් කාන්තාවන්ගේ රූ ද දේවාලයේ දක්නට ලැබේ. මෙය “ඛජුරාහෝවේ ගෘහනිර්මාණ සහ ප්‍රතිමා සම්ප්‍රදායේ අවසන් දිස්නය” යැයි පැවසේ.[7] ප්‍රසාද මුඛයේ මුදුනේ වූ කැටයම් තීරුවල අධිස්වාභාවික රූ (විද්‍යාධරයින්) දක්නට ලැබේ. ප්‍රවේශ ද්වාර මණ්ඩපයේ ඡත්‍රයන් යට සිටිනා ගංගා දේවතාවියන්ගේ ප්‍රතිමා දැකගත හැක.[1]
මෙහි ඇති අනර්ඝ ප්‍රතිමාවක් ලෙස දේවාලයේ ඇතුළු පැසේජයෙහි ආධාරක දෙකක් අතර දක්නට ලැබෙන නර්තන ශිල්පිනියගේ රුව සැලකේ. ඇගේ මාලයේ කැටයම් දක්නට ලැබෙන අතර, දෑත් දාදු ක්‍රීඩාවෙහි නියැලෙන අයුරින් පිහිටුවා ඇත.[17] ජාම්සෝර් දේවාලයේ නටබුන් සහ දුලාදියෝ දේවාලය අතුර ඇති තවත් සමානත්වයක් නම් සශ්‍රීකත්වය සංකේතවත් කෙරෙන අඹගස් සහ ඵලවලින් යුත් වියනක ස්වරූපයෙන් සමන්විත කැටයම් ය. මෙම ගස් අතර දක්නට ලැබෙන රූප වල මුහුණේ ඉදරිපස මැනවින් නිරූපණය කොට තිබුණත් ඒවායේ "ද්විත්ව නිකටක් සහ තියුණු ඇහිබැමි" දක්නට ලැබේ. මේවා සියල්ල ආභරණවලින් අලංකාර කොට ඇත.[12] තවත් වැදගත් කැටයමක් ලෙස දිගු ඍජුකෝණාස්‍රාකාර ග්‍රීවාභරණයකින් අලංකාර කොට ඇති පියාඹන දේව රූපය සැලකේ. එසේම සූර්යා, බ්‍රහ්ම සහ ශිව යන දේව රූප ද දැකගත හැක.[18]
ගර්භගෘහයේ ප්‍රවේශයේ උඩළිපතෙහි ශිවගේ රුව කැටයම් කොට ඇත. ගර්භගෘහයේ ප්‍රධාන වන්දනා ප්‍රතිමාව වන ලිංගය සැබෑ එකක් නොවන අතර, එය මුල් ප්‍රතිමාවෙහි අනුරුවකි. එහි මුල් ලිංගය දක්නට නොලැබේ.[19] ප්‍රදේශයේ ජනයා විසින් දේවාලයේ පුද පූජා කටයුතු සිදුකරනු ලබයි. ලිංගයෙහි ද්කනට ලැබෙන අනන්‍ය ලක්ෂණය නම් එහි පෘෂ්ඨය මතුපිට කුඩා ලිංග 999ක් කැටයම් කොට තිබීමයි. මෙය ආගමික වැදගත්කමකින් යුතු වන්නේ ලිංගය වටා 1,000 වරක් ප්‍රදක්ෂිණා කළ යුතු බවට මතයක් පැවතීම නිසායි.[20]
මෙහි ගෘහනිර්මාණ තුළින් පැරණි ශෛලිය නිරූපණය වන්නේ එය චන්දේල යුගයේ අවසානයේ ඉදිවූවක් බැවිනි. එම නිසා මුල්කාලීන දේවාල හා සැසඳීමේ දී ප්‍රතිමා "දැවමය" සහ "ඒකාකෘතික" ස්වභාවයෙන් යුතු යැයි කියනු ලැබේ.[8]
බ්‍රිතාන්‍යයන්ගේ ආගමනය සිදුවූ කාලයේ මෙම දේවාලය ජරාවාසව අර්ධව නටබුන් වී පැවතිණි. ශිඛරය මෙන්ම පැති බිත්ති සහ කුළුණු ද ප්‍රතිසංස්කරණය ලක්කෙරිණි. ප්‍රතිසංස්කරණයට ලක්කළ ප්‍රදේශවල වැලිගලෙහි ඇති ලා පැහැය හේතුවෙන් එම ස්ථාන පහසුවෙන් හඳුනාගත හැක. මේවා කැටයම් කොට නොමැති අතර, කිසිදු ආකාරයක මෝස්තරයක් හෝ ප්‍රතිමාවක් දැක්නට නොලැබේ.
ගැලරිය[සංස්කරණය]
මේවාත් බලන්න[සංස්කරණය]
ආශ්‍රේයයන්[සංස්කරණය]
- සටහන්
- ↑ 1.00 1.01 1.02 1.03 1.04 1.05 1.06 1.07 1.08 1.09 1.10 1.11 1.12 "Archaeological Survey of India (ASI) – DulaDeo Temple". Archaeological Survey of India (ASI). Retrieved 21 March 2012.
- ↑ Pacaurī 1989, p. 35.
- ↑ Kramrisch 1976, p. 365.
- ↑ Shah 1988, p. 56.
- ↑ Pacaurī 1989, p. 32.
- ↑ Gajrani 2004, p. 88.
- ↑ 7.0 7.1 Kumar 2003, p. 114.
- ↑ 8.0 8.1 Sajnani 2001, p. 201.
- ↑ "Khajuraho". Official website of Madhya Pradesh Tourism. Archived from the original on 21 October 2013. Retrieved 5 October 2013. Unknown parameter
|deadurl=
ignored (|url-status=
suggested) (help) - ↑ "Evaluation Report:World Heritage List No 240" (PDF). UNESCO Organization. Retrieved 5 November 2013.
- ↑ Sullere 2004, p. 26.
- ↑ 12.0 12.1 Indian Sculpture: 700-1800. University of California Press. 1988. ISBN 978-0-520-06477-5. https://books.google.com/books?id=-fvKVDxcJoUC&pg=PA115.
- ↑ Kramrisch 1976, p. 377.
- ↑ "The Religious Imagery of Kajuraho" (pdf). Columbia Education. p. 178. Retrieved 11 November 2013.
- ↑ Kuiper 2010, p. 309.
- ↑ 16.0 16.1 "World Heritage Centre (UNESCO) – 240 – Khajuraho Group of Monuments". UNESCO Organization. Retrieved 5 November 2013.
- ↑ Kramrisch 1976, p. 381.
- ↑ Gangoly 1957, p. 23.
- ↑ Mitra 1977, p. 198.
- ↑ Knapp 2009, p. 109.
- ග්‍රන්ථාවලිය
- Gangoly, Ordhendra Coomar (1957). The Art of the Chandelas. Rupa. https://books.google.com/books?id=leBOAAAAYAAJ.
- Gajrani, S. (2004). History, Religion and Culture of India. Isha Books. ISBN 978-81-8205-064-8. https://books.google.com/books?id=T02CC0ihCmcC&pg=PA88.
- Knapp, Stephen (1 January 2009). Spiritual India Handbook. Jaico Publishing House. ISBN 978-81-8495-024-3. https://books.google.com/books?id=djI5mL2qeocC&pg=PT109.
- Kuiper, Kathleen (15 August 2010). The Culture of India. The Rosen Publishing Group. ISBN 978-1-61530-149-2. https://books.google.com/books?id=c8PJFLeURhsC&pg=PA309.
- Kumar, Brajesh (2003). Pilgrimage Centres of India. Diamond Pocket Books (P) Ltd.. ISBN 978-81-7182-185-3. https://books.google.com/books?id=Qqei_Wo1qXwC&pg=PA114.
- Kramrisch, Stella (1976). The Hindu Temple. Motilal Banarsidass Publ.. ISBN 978-81-208-0224-7. https://books.google.com/books?id=8-aS52MgIkMC&pg=PA377.
- Mitra, Sisirkumar (1 January 1977). The Early Rulers of Khajurāho. Motilal Banarsidass Publ.. ISBN 978-81-208-1997-9. https://books.google.com/books?id=irHN2UA_Z7gC&pg=PA198.
- Pacaurī, Lakshmīnārāyaṇa (1989). The Erotic Sculpture of Khajuraho. Naya Prokash. ISBN 978-81-85109-79-4. https://books.google.com/books?id=ewbWAAAAMAAJ&focus=searchwithinvolume&q=+Duladeo.
- Sajnani, Manohar (2001). Encyclopaedia of Tourism Resources in India. Kalpaz Publications. ISBN 978-81-7835-017-2. https://books.google.com/books?id=vdMNBxOsvrUC&pg=PA201.
- Shah, Kirit K. (1 January 1988). Ancient Bundelkhand: Religious History in Socio-economic Perspective. Gian Books. ISBN 978-81-212-0189-6. https://books.google.com/books?id=UtD_Wo7Iq58C&pg=PA56.
- Sullere, Suśīla Kumāra (1 January 2004). Chandella Art. Aakar Books. ISBN 978-81-87879-32-9. https://books.google.com/books?id=Rj8RusFpYHIC&pg=PA26.
බාහිර සබැඳි[සංස්කරණය]
දුලාදියෝ දේවාලය ඛජුරාහෝ සඳහා අදාළ මාධ්‍ය විකිපීඩියා කොමන්ස්හි ඇත