ආදිනාථ දේවාලය, ඛජුරාහෝ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ආදිනාථ දේවාලය
आदिनाथ मन्दिर
Krajuraho Adinath temple 2010.JPG
Lua දෝෂය in Module:Location_map at line 502: Unable to find the specified location map definition: "Module:Location map/data/India Madhya Pradesh" does not exist.
මූලික තොරතුරු
පිහිටීමඛජුරාහෝ
භූගෝලීය ඛණ්ඩාංක24°50′42″N 79°56′12″E / 24.845111°N 79.936607°E / 24.845111; 79.936607ඛණ්ඩාංක: 24°50′42″N 79°56′12″E / 24.845111°N 79.936607°E / 24.845111; 79.936607
අනුබැඳියාවජෛන ආගම
දේවතාවාආදිනාථ
දිස්ත්‍රික්කයඡතර්පූර්
ජනපදයමධ්‍ය ප්‍රදේශ්
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ස්ථාපිත දිනයක්‍රි.ව. 11වන සියවස

ආදිනාථ දේවාලය (හෙවත් ආදිනාථ මන්දිරය) යනුවෙන් හඳුන්වන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඛජුරාහෝවේ පිහිටි ජෛන දේවාලයකි. මෙම දෙවොල ජෛන තීර්ථංකර ආදිනාථ වෙනුවෙන් පුද කොට තිබුණ ද, එහි පිටත බිත්තිවල හින්දු දෙවිවරුන්ගේ රූ දැකගත හැක. මෙම දේවාලය සහ ඛජුරාහෝ ස්මාරක සමූහයේ සෙසු දේවාල යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම් කොට ඇත.

ඉතිහාසය[සංස්කරණය]

ආදිනාථ දේවාලය පසුකාලීන ක්‍රි.ව. 11වන සියවසට අයත් යැයි කාලනිර්ණය කොට ඇත.[1] මෙය ඛජුරාහෝවේ වාමන දේවාලයට වඩා මඳක් පසු කාලීනව නිර්මාණය වන්නට ඇතැයි සැලකේ.[2]

ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම දේවාලය ජාතික වැදගත්කමක් සහිත ස්මාරකයක් ලෙස වර්ගීකරණය කොට ඇත.[3]

ගෘහනිර්මාණ ශිල්පය[සංස්කරණය]

ආදිනාථ දේවාලයේ බිම් සැලැස්ම සහ ආකෘතිය වාමන දේවාලයට සමාන ය. මෙම දේවාල දෙක අතර ඇත්තේ ඉතාම සුළු වෙනස්කම් කිහිපයකි. උදාහරණයක් වශයෙන් ආදිනාථ දේවාලයේ පිටත බිත්තියේ මුදුන් තීරුවේ පියඹන විද්‍යාධරයින් කැටයම් කොට ඇත. නමුත් වාමන දේවාලයේ ඒ වෙනුවට ඇත්තේ දියමන්ති හැඩැති මෝස්තර ය. ආදිනාථ දේවාලයේ වක්‍රරේඛීය ශිඛරය වාමන දේවාලයට වඩා හොඳින් සමානුපාතිකව සකසා ඇත. මෙවැනි ලක්ෂණ සහ වඩාත් වැඩි දියුණු වූ ප්‍රතිමා ශිල්පීය ලක්ෂණ අනුව පෙනීයන්නේ ආදිනාථ දේවාලය ඉදි වූයේ වාමන දේවාලයට පසුව බවයි.[1]

වර්තමානය වන විට දැකගත හැක්කේ දේවාලයේ ප්‍රධාන අංග දෙක පමණි. එනම් අන්තරාලය සහ ගර්භගෘහයයි.[2] අන්තරාලයේ පියස්ස එහි ඇති අලංකාර කැටයම් හේතුවෙන් සුවිශේෂීභාවයක් අත් කරගෙන තිබේ.[1]

ප්‍රතිමා[සංස්කරණය]

ආදිනාථ දේවාලයේ කැටයම්

දේවාලයේ බාහිර බිත්තිවල කැටයම් තීරු තුනක් දැකගත හැක. මේවායේ සුරසුන්දරියන් (සුන්දර ලලනාවන්), පියාඹන විද්‍යාධර යුවළවල්, ව්‍යාලයින් (මිත්‍යාමය සිංහයකු වැනි ජීවියෙකි), නර්තන සහ සංගීතඥයන්ගේ රූ දැකගත හැක.[2] මෙම දේවාලය ජෛන දෙවොලක් වුව ද, බාහිර බිත්තිවල හින්දු දෙවිවරුන්ගේ රූප ද කැටයම් කොට ඇත.[4] මෙහි වූ නිකේතනවල ජෛන යක්ෂිණියන් වන අම්බිකා, චක්‍රේශ්වරී, සහ පද්මාවතීගේ රූප කැටයම් කොට ඇත.[2]

දේවාලයෙන් හමු වූ එක් ප්‍රතිමාවක හිසෙහි උෂ්ණීෂය සහිත හිඳගත් ආදිනාථගේ රුවක් හමු විය. මෙහි ධර්මචක්‍රයක් සහ කුඩා ගව රූපයක් දැකගත හැක.[5] අසුනේ දකුණු පස විශාල උදරයක් සහිත යක්ෂයකු බඳුනක් සහ මුදල් පසුමිබියක් සිය දෑතෙහි දරා සිටිනු නිරූපිත ය. ප්‍රතිමාවේ වම් පසින් ගරුඩකු මත හිඳගත් චක්‍රේශ්වරී යක්ෂිණියගේ රුව ද වේ. ඇයගේ අත් සතරකි. ඉහළ අත් යුගල මගින් චක්‍රයක් දරා සිටින්නී ය.[6]

මීට සමාන තවත් ප්‍රතිමාවක යක්ෂයකු, යක්ෂිණියක සහ ධර්මචක්‍රයක් දරා සිටින ගවයකු නිරූපිත ය. එහි අසුනක් මත පද්මාසනයෙන් වැඩහිඳින ආදිනාථගේ රුවත්, නෙළුම් මල් සහ දියමන්ති මෝස්තරත් දක්වා ඇත.[6]

ආශ්‍රේයයන්[සංස්කරණය]

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

  • Ali Javid; Tabassum Javeed (2008). World Heritage Monuments and Related Edifices in India. Algora. ISBN 978-0-87586-482-2. https://books.google.com/books?id=iXVNBAAAQBAJ&pg=PA209. 
  • "Adinatha Temple". Archaeological Survey of India, Bhopal Circle. Retrieved 2016-11-16.
  • "Alphabetical List of Monuments - Madhya Pradesh". Archaeological Survey of India, Bhopal Circle. Retrieved 2016-11-16.
  • Umakant Premanand Shah (1987). Jaina Iconography. Abhinav. ISBN 9788170172086. https://books.google.com/books?id=m_y_P4duSXsC&pg=PA122.