ගුප්ත රාජවංශය

විකිපීඩියා වෙතින්
ගුප්ත අධිරාජ්‍යය

ක්‍රි.ව. 320–ක්‍රි.ව. 550
ගුප්ත අධිරාජ්‍යය එහි උච්චස්ථානයේ
ගුප්ත අධිරාජ්‍යය එහි උච්චස්ථානයේ
අගනුවරපාඨලිපුත්‍ර
පොදු භාෂාවන්සංස්කෘත (සාහිත්‍යමය සහ ශාස්ත්‍රීය); ප්‍රාකෘත (ස්වදේශික භාෂාව)
ආගම
රජයරාජාණ්ඩුව
මහාරාජාධිරාජ 
• 240දශකය – 280දශකය
ශ්‍රී-ගුප්ත
• 319–335
චන්ද්‍රගුප්ත I
• 540–550
විෂ්ණු ගුප්ත
ඓතිහාසික යුගයපුරාතන ඉන්දියාව
• ස්ථාපිත කළේ
ක්‍රි.ව. 320
• අහෝසි කළේ
ක්‍රි.ව. 550
වර්ග ප්‍රමාණය
3,500,000 km2 (1,400,000 sq mi)
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
මහාමේඝවාහන රාජවංශය
කාන්වා රාජවංශය
කුෂාණ රාජවංශය
භාර්ෂිව රාජවංශය
බටහිර ක්ෂත්‍රපයන්
පසුකාලීන ගුප්ත රාජවංශය
පාල අධිරාජ්‍යය
රාෂ්ට්‍රකූට රාජවංශය
මෞඛරි
වර්තමානයේ මෙය අයත් වන්නේ

ගුප්ත අධිරාජ්‍යය යනු ශ්‍රී ගුප්ත විසින් පිහිටුවන ලද පුරාතන ඉන්දියානු අධිරාජ්‍යයකි. ආසන්න වශයෙන් ක්‍රි.ව. 320 සිට 550 දක්වා පැවති මෙම අධිරාජ්‍යය උච්චස්ථානයට පත්වන විට එයට ඉන්දියානු උපමහාද්වීපයෙන් විශාල ප්‍රදේශයක් අයත්ව පැවතිණි.[1] ගුප්තවරුන්ගේ නායක්තවය යටතේ පැවති සාමය සහ සෞභාග්‍යය හේතුවෙන් විද්‍යාත්මක සහ කලා අංශවල දියුණුවක් ඇති විය.[2] ගුප්ත යුගය ඉන්දියාවේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්වෙයි.[3] මෙම යුගයේ ඉන්දියානු නව නිමැවුම්, විද්‍යාව හා තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, කලාව, සාහිත්‍යය, තර්ක ශාස්ත්‍රය, ගණිතය, තාරකා විද්‍යාව, ආගම සහ දර්ශනය යන අංශයන්හි ප්‍රබෝධයක් ඇති විය.[4] ගුප්ත රාජවංශයේ වඩාත් වැදගත්ම පාලකයින් ලෙස Iවන චන්ද්‍රගුප්ත, සමුද්‍රගුප්ත සහ IIවන චන්ද්‍රගුප්ත යන රජවරුන් සැලකෙයි. ක්‍රි.ව. 4වන සියවසේ සංස්කෘත කවියකු වන කාලිදාස සඳහන් කොට ඇත්තේ ගුප්තවරුන් විසින් ඉන්දියාව තුළ හා පිටත රාජධානි විසි එකක් ආක්‍රමණය කළ බවයි. මේ රාජධානි අතර පාරසික, හූන, කාම්බෝජවරුන්, ඔක්සස් නිම්නයේ බටහිර සහ නැගෙනහිර පෙදේසවල විසූ ගෝත්‍ර, කින්නරුවරුන්, කිරාතවරුන් ආදීන්ගේ රාජධානි ද අයත් විය.[5]

මෙකල ගෘහනිර්මාණ ශිල්පය, ප්‍රතිමා ශිල්පය සහ සිතුවම් කලාව වැනි සංස්කෘතික අංග උච්චත්වයට පත් විය.[6] ගුප්ත යුගය තුළ කාලිදාස, ආර්යභට, වරාහමිහිර, විෂ්ණු ෂර්මා සහ වත්ස්‍යායන වැනි විද්වතුන් ද බිහි විය.[7][8] විද්‍යාව සහ දේශපාන පරිපාලන අංශ නව මානයන් කරා ළඟා වීම මෙකල සිදු විය.[9] ශක්තිමත් වෙළඳ සබඳතා හේතුවෙන් මෙම කලාපය වැදගත් සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත් වූ අතර, මෙහි ආභාසය යාබද රාජ්‍යයන් වූ බුරුමය, ශ්‍රී ලංකාව, සහ අග්නිදිග ආසියාව කරා ව්‍යාප්ත විය.[10] පැරණිම ඉන්දියානු වීර කාව්‍ය ද මේ යුගයේ ලියැවෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.

භූමි ප්‍රමාණය ක්‍රමයෙන් අහිමි වී යාම, යටත් රාජ්‍යවල ආධිපත්‍යය දුර්වල වීම සහ මධ්‍යම ආසියාවේ හුන ජනයාගේ (එෆ්තලයිට් හන්වරුන්) ආක්‍රමණ හේතුවෙන් අධිරාජ්‍යය ක්‍රමයෙන් පරිහානයට පත් විය.[11][12] 6වන සියවසේ ගුප්ත අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසු ඉන්දියාවේ පාලනය ප්‍රාදේශික රාජධානි අතට පත් විය. අධිරාජ්‍යය කැබලි වී යාමෙන් පසු ගුප්ත වංශයේ සුළු පෙළපතක් මගධය පාලනය කිරීමට සමත් විය. නමුත් 7වන සියවසේ මුල් භාගයේ වර්ධන පාලකයකු වූ හර්ෂ විසින් මෙම ගුප්තවරුන් නෙරපා සිය අධිරාජ්‍යය ගොඩනැගීය.

ගුප්තවරුන්ගේ සම්භවය[සංස්කරණය]

බොහෝ ඉතිහාසඥයන් අනුව ගුප්ත රාජවංශය වෛශ්‍ය රාජවංශයකි.[13][14] ඉතිහාසඥ රාම් ෂරන් ෂර්මා පවසන්නේ වෛශ්‍ය ගුප්තවරුන් "නැගී එන්නට ඇත්තේ පීඩාකාරී රජවරුන්ගේ ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් ලෙස බවයි".[15] ගුප්ත කාසි ක්‍රමය පිළිබඳ ග්‍රන්ථයක් ලියා ඇති ඉතිහාසඥයකු හා පුරාවිද්‍යාඥයකු වන ඒ. එස්. අල්තෙකාර්[16] ද පවසන්නේ ගුප්තවරුන්ගේ කුලය වෛශ්‍ය කුලය බවයි. ඔහු මේ සඳහා උදාහරණ ලෙස පුරාතන නීති පාඨයක ගුප්ත යන්නෙන් අවසන් වන නාමයක් හිමි තැනැත්තකු වෛශ්‍ය කුලයට අයත් බැව් සඳහන් වාර්තාව දක්වයි. ඉතිහාසඥ මයිකල් සී. බ්‍රැනිගන් පවසන්නේ පුරාතන ඉන්දියාවේ ප්‍රමුඛතම කුල ක්‍රමය බිඳහෙළුණු අවස්ථාව ගුප්ත රාජවංශය බවයි.[14]

ගුප්තවරුන්ගේ මුල් බිම පිළිබඳ නොයයෙකුත් විවාදාත්මක අදහස් ඇත.

ගුප්තවරුන්ගේ මුල් නිජබිම[සංස්කරණය]

සාරානාත් කෞතුකාගාරයේ ඇති ගුප්ත යුගයට අයත් ධර්මචක්‍ර මුද්‍රාවෙන් යුත් බුදුන් වහන්සේගේ ප්‍රතිමාවක්, ක්‍රි.ව. 5වන සියවසට පමණ අයත් ය.

ගුප්තවරුන්ගේ මුල් බිම සම්බන්ධයෙන් විද්වතුන් අතර නොයෙකුත් වාදවිවාද ඇත. ජයස්වාල් පවසන්නේ ගුප්තවරුන් යනු සැබැවින්ම උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි නාගවරුන් හෝ භාර්ෂිවවරුන් යටතේ විසූ ප්‍රයාග (අලහබාද්) ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි. පසුව ඔවුහු ප්‍රමුඛ වන්නට වූහ. වෙනත් විද්වතකු වන ගයාල් ද ජයස්වාල්ගේ අදහසට සහාය දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ ගුප්තවරුන්ගේ නිජබිම ඖධ් සහ ප්‍රයාග් ප්‍රදේශ අතර පිහිටි අන්තර්වේදි පෙදෙස බවයි. මෙම ඉතිහාසඥයන් සිය මතයට එළඹී ඇත්තේ මෙම ප්‍රදේශවලින් හමු වූ ගුප්ත යුගයට අයත් කාසි පදනම් කරගනිමිනි. මේ නිසා ඔවුහු ගුප්තවරුන්ගේ සම්භවය ඊසානදිග ඉන්දියාවේ සිදු වූ බව පවසති. කෙසේනමුත් මෙකල තවත් ඉතිහාසඥයකු වූ ගංගුලි ඉන්දියා ඉතිහාසයේ ගුප්තවරුන්ගේ නිජබිම පිළිබඳ වෙනස්ම මතයක් ඉදිරිපත් කරයි. ඔහුට අනුව ගුප්තවරුන්ගේ නිජබිම තවත් දකුණට වන්නට පිහිටියේ ය. එය බිහාරයේ මගධය නොව බෙංගාලයේ මුර්ෂිදාබාද් ප්‍රදේශයයි. ඔහු මේ සඳහා පාදක කොටගෙන ඇත්තේ ක්‍රි.ව. 675 සහ 696 අතර කාලයේ ඉන්දියාවේ සංචාරය කළ චීන බෞද්ධ භික්ෂුවක් වූ යිජිං (ඉ-ත්සිං) ගේ ඓතිහාසක වාර්තාවන් ය. නමුත් ෆ්ලීට් ඇතුළු සෙසු ඉතිහාසඥයන් ගංගුලිගේ වාදය විවේචනයට පත්කරන්නේ යිජිං භික්ෂුව විසින් 3වන සියවසේ අගභාගයේ රාජ්‍ය පාලනය කළ ශ්‍රී ගුප්තගේ රාජ්‍ය සමය 2වන සියවස අගභාගය ලෙස දක්වා තිබීම නිසායි. මේ නිසා යිජිං භික්ෂුවගේ වාර්තා මත පදනම්ව ගොඩනැගුණු මතවාදවලට වඩා කාසි මත පදනම්ව ගොඩනැගූ ‍වාද විශ්වසනීයත්වයෙන් වැඩි බව ඉතිහාසඥයෝ විශ්වාස කරති.

මෙම වාද අනුව ගුප්තවරුන්ගේ නිජ බිම පිළිබඳ නොයෙකුත් පරස්පර යෝජනා ඉදිරිපත්ව ඇත. ඇලන් ඇතුළු විද්වතුන් පිරිසක් පවසන්නේ ගුප්තවරුන් මුලින් මගධයෙහි සාන්ද්‍රගත වී සිටි බවත්, පසුව ඔවුන් බෙංගාලය පුරා ව්‍යාප්ත වූ බවත් ය. තවත් පිරිසක් පවසන්නේ ගුප්තවරුන්ගේ මුල් බිම බෙංගාලයේ වරේන්ද්‍රි හෝ වරේන්ද්‍ර භුමි ප්‍රදේශය බවයි. එහිසිට ඔවුන් මගධය වෙත සිය අධිරාජ්‍යය ව්‍යාප්ත කරන්නට ඇති බව කියැවේ. මෙම මතවාදයන් කුමක් වුවත්, ගුප්තවරුන් මුළු උතුරු ඉන්දියාවේම බලය සියතට ගැනීමට සමත් වූ හෙයින් ඔවුන් ස්වර්ණමයක් යුගයක් ඇරඹූ බව අවිවාදිතව පිළිගැනේ.

එච්. සී. රායිචෞධරි වැනි බෙංගා ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ ගුප්තවරුන් සම්භවය වූයේ බංගලාදේශයේ වර්තමාන රංග්පූර් සහ රාජ්ෂාහි කොට්ඨාසයන්ට අයත් වරේන්ද්‍රි කලාපයේ සිදුවන්නට ඇති බවයි. නමුත් ඩී. සී. ගංගුලි විශ්වාස කරන්නේ ගුප්තවරුන්ගේ නිජබිම මුර්ෂිදාබාද් අවට ප්‍රදේශය බවයි.[17]

ශ්‍රීගුප්ත සහ ඝටොත්කච[සංස්කරණය]

අද වන විට ශ්‍රී ගුප්ත රජුගේ පාලන සමය ලෙස 240 පමණ – 280 දක්වා කාලය සැලකෙයි.[18] ඔහුගේ අනුප්‍රාප්තික පුත්‍රයා වූ ඝටොත්කච ක්‍රි.ව. 280 පමණ සිට 319 දක්වා රාජ්‍ය පාලනය කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඔහුගේ අනුප්‍රාප්තික Iවන චන්ද්‍රගුප්ත සමග මහාරාජාධිරාජ යන විරුදය යෙදී තිබුණ ද, ශ්‍රී ගුප්ත හා ඔහුගේ පුත් ඝටොත්කච සඳහා ශිලාලේඛනවල යෙදී ඇත්තේ මහාරාජ' යන විරුදයයි.'[19] 4වන සියවස ආරම්භයේ ගුප්තවරුන්ට මගධය සහ වර්තමාන බිහාරය අවට කුඩා හින්දු රාජධානියක් ස්ථාපනයට හැකියාව ලැබිණි.

යිජිං[20] විසින් සිය වාර්තාවල ශ්‍රී ගුප්ත පිළිබඳ සඳහන් කොට ඇත. ශ්‍රී ගුප්තගෙන් පසු ඔහුගේ පුත් ඝටොත්කච සිහසුනට පත් විය.

චන්ද්‍රගුප්ත I[සංස්කරණය]

කුමාරදේවි රැජින සහ Iවන චන්ද්‍රගුප්ත රජුගේ රුව ඔවුන්ගේ පුත් සමුද්‍රගුප්තගේ (335-380) කාසියක නිරූපණය කොට ඇති අයුරු

ඝටොත්කච (රාජ්‍ය. ක්‍රි.ව. 280 පමණ – 319) රජුට චන්ද්‍රගුප්ත (රාජ්‍ය. ක්‍රි.ව. 320 පමණ – 335) නැමැති (මෞර්ය අධිරාජ්‍යයේ ආදිකර්තෘ චන්ද්‍රගුප්ත මෞර්ය (ක්‍රි.පූ. 322–298) සමග වරදවා වටහා නොගන්න) පුත්‍රයකු විය. රාජ්‍යෝපාය ගනුදෙනුවක් වශයෙන් චන්ද්‍රගුප්තට මගධයේ ප්‍රධාන බලවතුන් වූ ලිච්ඡවි වංශික කුමාරදේවි කුමරියව සරණපාවා දෙන ලදී. මෙහිදී දායාදය වශයෙන් මගධ රාජධානිය (අගනුවර පාඨලිපුත්‍ර) සමග නේපාලයේ ලිච්ඡවීන්ගේ සන්ධානය හිමි විය. මගධයෙහි විශාල පෙදෙසක්, ප්‍රයාග සහ සාකේත යන ප්‍රදේශ ආක්‍රමණය කළ චන්ද්‍රගුප්ත සිය රාජ්‍යය පුළුල් කළේ ය. අනතුරුව 321දී ඔහු විසින් ගංගා නදියේ සිට ප්‍රයාග (වර්තමාන අලහබාද්) ද්කවා පැතිරුණු රාජධානියක් ස්ථාපනය කරන ලදී. අනතුරුව ඔහු මහාරාජාධිරාජ යන අධිරජ විරුදය ආරූඪ කොටගත්තේ ය. ආවාහ-විවාහ සම්බන්ධතා මගින් ඔහු සිය අධිරාජ්‍යය ව්‍යාප්ත කරවීය.

සමුද්‍රගුප්ත[සංස්කරණය]

සමුද්‍රගුප්ත සහ ගරුඩ කුළුණක් නිරූපිත කාසියක්; බ්‍රිතාන්‍ය කෞතුකාගාරය.

335දී සමුද්‍රගුප්ත, පරාක්‍රමාංක සිය පියාගෙන් පසු සිහසුනට පත් විය. 380දී සිය මරණය වනතෙක්ම රාජ්‍ය පාලනය කළ ඔහු වසර 45ක් පමණ රාජ්‍ය පාලනය මෙහෙයවී ය. සිය රාජ්‍ය සමයේ මුල්කාලයේ අහිච්ඡත්‍රා සහ ‍පද්මාවති රාජ්‍ය යටත් කරගැනීමට ඔහු සමත් විය. අනතුරුව ඔහු මාල්වා, යෞධෙය, අර්ජුනායන, මදුරා සහ අභිරා යන ගෝත්‍ර යටත් කරගැනීමට සමත් විය. 380දී ඔහු මරණයට පත්වන විට රාජධානි විස්කට වඩා සිය අණසකට නතුකරගැනීමට සමත්ව තිබූ අතර, ඔහුගේ අධිරාජ්‍යය හිමාලයේ සිට නර්මදා ගංගාව දක්වාත්, බ්‍රහ්මපුත්‍ර සිට යමුනා ගංගාත් තෙක් විහිදිණි. ඔහු තමන්හට රජුන්ගේ රජ සහ ලෝකයේ රජ යන විරුදයන් ආරූඪ කොටගෙන ඇත. ඉතිහාසඥ වින්සන්ට් ස්මිත් ඔහුව හඳුන්වන්නේ "ඉන්දියානු නැපෝලියන්" ලෙස ය.[21] ඔහු විසින් අශ්වමේධ යාගය පැවැත්වූ අතර, මෙහිදී හමුදාවක් සමග අශ්වයකු යාබද සියලු රාජ්‍ය වෙත යවනු ලැබිණි. එහිදී යාබද රජවරුනට යාඥාව සිදුකරන රජුගේ මිත්‍රත්වය පිළිගැනීම හෝ එසේ නොවේ නම් යුධ වැදීම සිදුකළ යුතු විය. අනතුරුව අශ්වයාගේ ශෛලම අනුරුවක් නිර්මාණය කෙරිණි. මෙම අනුරුවක් දැනට ලක්නව් කෞතුකාගාරයේ තබා ඇත. සමුද්‍රගුප්තගේ ප්‍රශස්තියක් අශෝක ස්තම්භයක කැටයම් කෙරුණු අතර, අදවන විට එය අලහබාද්හි අක්බර්ගේ බලකොටුවේ පිහිටුවා ඇත. මෙම අලහබාද් ප්‍රශස්තිය සමුද්‍රගුප්තගේ ආක්‍රමණ සහ ජයග්‍රහණ බොහෝමයක් පිළිබඳ තොරතුරු සපයන ප්‍රධාන මූලාශ්‍රයයි.

සමුද්‍රගුප්ත දක්ෂ රණකාමියකු වුව ද, කලාව සහ ගෘහ නිර්මාණ ශිල්පය කෙරෙහි විශාල අනුග්‍රහයක් දැක් වී ය. වර්තමානයේ කාෂ්මීරය සහ ඇෆ්ඝනිස්ථානයට අයත් ප්‍රදේශ ආක්‍රමණය කළ ඔහු සිය අධිරාජ්‍යය පුළුල්කළේ ය.[22] ඔහුගේ රාජසභාවේ විසූ වැදගත් විද්වතුන් අතර, හරිසේන, වසුබන්ධු සහ අසංග ආදීන් ද විය. සමුද්‍රගුප්ත රජු කවියකු මෙන්ම සංගීතඥයකු ද විය. හින්දු ආගමිකයකු වූ ඔහු විෂ්ණු දෙවියන්ව වන්දනාමාන කළ බව පැවසේ. සෙසු ආගම් කෙරෙහි ද සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ ඔහු, ලංකාවේ බෞද්ධ රජකු වූ සිරි මේඝවණ්ණ හට බුද්ධගයාවේ විහාරයක් ඉදිකිරීමට අවසර ලබාදුන්නේ ය. මෙම විහාරය මහාබෝධි සංඝාරාම යනුවෙන් හැඳින්වුණු බව හියුං සාං විසින් වාර්තාකොට ඇත.[23] ඔහු බෝධි වෘක්ෂය වටා රන් වැටක් ඉදිකොට තිබේ.

රාමගුප්ත[සංස්කරණය]

දේවිචන්ද්‍රගුප්ත කථාවේ එන තොරතුරු ලේඛන මගින් සනථ නොවූව ද, දුර්ජන්පූර්හි ඇති ජෛන රූ ත්‍රිත්වයක ඇති ශිලාලේඛන මගින් රාමගුප්තගේ ඓතිහාසිකත්වය තහවුරු වේ. මෙහි ඔහුව මහාරාජාධිරාජ යනුවෙන් හඳුන්වා ඇත. එමෙන්ම එරාන්-විදිසා ප්‍රදේශයෙන් තඹ කාසි විශාල සංඛ්‍යාවක් හමු වී ඇති අතර ඒවා ප්‍රධාන කාණ්ඩ පහකට අයත් වේ. ඒ අතර ගරුඩා,[24] ගරුඩධ්වජ, සිංහ සහ දාර පාඨ සහිත වර්ගයන් වේ. මෙම කාසිවල ඇති බ්‍රාහ්මි පාඨ ලියැවී ඇත්තේ මුල්කාලීන ගුප්ත ශෛලියෙනි.[25] කලා ඉතිහාසඥ ආචාර්ය ආර්. ඒ. අගරවාලා අනුව රාමගුප්ත ඇතැම්විට සමුද්‍රගුප්තගේ වැඩිමහල්ම පුත්‍රයා වන්නට ඇත. වැඩිමහල් පුතු වීම හේතුවෙන් ඔහු සිහසුනට පත්වන්නට ඇත. ඔහු විසින් සාර්ථකව රාජ්‍ය පාලනය නොකළ හෙයින් ඔහුගේ බාල සොහොයුරු IIවන චන්ද්‍රගුප්ත විසින් ඔහුව සිහසුනෙන් පහකොට රාජ්‍යත්වයට පත්වන්නට ඇතැයි සිතිය හැක.

චන්ද්‍රගුප්ත II "වික්‍රමාදිත්‍ය"[සංස්කරණය]

අශ්ව අසුර කේෂි සමග සටන් කරන ක්‍රිෂ්ණා නිරූපිත කැටයමක්; 5වන සියවස

ගුප්ත වාර්තා අනුව, සමුද්‍රගුප්ත සිය පුතුන් අතුරින්, දත්තදේවි බිසවට උපන් IIවන චන්ද්‍රගුප්ත කුමරුන්ව අනුප්‍රාප්තිකයා ලෙස නම්කළේ ය. IIවන චන්ද්‍රගුප්ත හෙවත් වික්‍රමාදිත්‍ය (බලයේ සූර්යයා) රජු 375 සිට 415 තෙක් රාජ්‍ය පාලනය සිදුකොට ඇත. ඔහු කදම්බාවේ කුමරියක වූ කුන්තලාව ද, නාග පෙළපතේ (නාගකුලෝත්පන්න) කුබර්නගා කුමරියව ද සරණපාවා ගත්තේ ය. මෙම නාග රැජිනට දාව උපන් ඔහුගේ දියණිය වූ ප්‍රභාවතිගුප්ත කුමරියව ඩෙකෑනයේ වාකාටක පාලකයා වූ දෙවන රුද්‍රසේන රජුට විවාහ කර දෙන ලදී.[26] ඔහුගේ පුත් Iවන කුමාරගුප්ත කර්නාටක ප්‍රදේශයේ කදම්බා කුමරියකට ආවාහ කරදෙන ලදී. සිය අධිරාජ්‍යය බටහිර දෙසට ව්‍යාප්ත කළ IIවන චන්ද්‍රගුප්ත රජු 409 දක්වා මෙහෙයවූ යුධ ව්‍යාපාර මගින් මාල්වා, ගුජරාට් සහ සෞරාෂ්ට්‍ර ප්‍රදේශවල ශක බටහිර ක්ෂත්‍රපයන්ව පරාජය කළේ ය. 395දී ඔහු සිය ප්‍රධාන ප්‍රතිවාදියා වූ IIIවන රුද්‍රසිංහ රජුව පරාජය කොට බෙංගාල (වංග) බල ප්‍රදේශ විනාශකළේ ය. රරට පුරාම සිය බලය ව්‍යාප්ත කළ ඔහු උජ්ජයින්හි දෙවන අගනුවරක් ස්ථාපනය කළේ ය. මෙය ගුප්ත අධිරාජ්‍යයේ උච්ච අවස්ථාව ලෙස සැලකෙයි.

IIවන චන්ද්‍රගුප්තගේ රන් කාසි

යුධ ව්‍යාපාර මතින් අධිරාජ්‍යය ගොඩනැගුණ ද, මෙම රාජ්‍ය සමය කලාව, සාහිත්‍යය, සංස්කෘතිය සහ විද්‍යා ක්ෂේත්‍රවල දියුණුවක් ඇති වූ යුගයක් ලෙස සැලකෙයි. IIවන චන්ද්‍රගුප්තගේ සමය මෙහි දී විශේෂයෙන් වැදගත් වේ. හින්දු කලාවේ විශිෂ්ට නිර්මාණයක් ලෙස සැලකෙන දියෝගාර්හි දශාවතාර දේවස්ථානය නිර්මාණය වූයේ ද මෙම යුගයේ ය. ගුප්ත කලා‍ව එහි විශිෂ්ට ස්වභාවයට පත්වූයේ මෙම කාලයේ ය. මේ කාලය වනවිට ගුප්තවරු බෞද්ධ සහ ජෛන සංස්කෘතීන්ට ද අනුග්‍රහ දක්වන්නට වූහ. මෙයට සාක්ෂි ලෙස හින්දු නොවන ගුප්ත කලා නිර්මාණ රැසක් මෙකල නිර්මාණය වී තිබීම දැක්විය හැක. මීට අමතරව නැගනහිර සහ අග්නිදිග ආසියාවේ බෞද්ධ කලාව හැඩගැස්වීමට ගුප්ත කලාව බෙහෙවින් උපකාරී විය. මෙකල පැවති ප්‍රගමනය සංචාරක ෆාෂියෑන් (ෆා-හියෙන්) ගේ වාර්තාවල ද සඳහන් වේ.

චන්ද්‍රගුප්තගේ රාජ සභාව තවත් ප්‍රකට වූයේ එහි සිටි නවරත්න නැමැති විශිෂ්ඨ සාහිත්‍යධරයින් නවදෙනාගේ මඬුල්ල නිසායි. මේ සාහිත්‍යධරයින් අතර මහා කවි කාලිදාස ද විය. ඔහුගේ නිර්මාණ එකල පමණක් නොව වර්තමානයේ පවා ඉමහත් ප්‍රසාදයට ලක් වී ඇත. කාලිදාස ප්‍රසිද්ධ වූයේ ඔහුගේ කාව්‍යයන්හි ඇති ශෘංගාර රසය හේතුවෙනි.

විදේශීය ගෝත්‍රවලට ‍එරෙහි IIවන චන්ද්‍රගුප්තගේ යුධ ව්‍යාපාර[සංස්කරණය]

4වන සියවසේ විසූ සංස්කෘත කවියකු වූ කාලිදාස සඳහන් කොට ඇත්තේ චන්ද්‍රගුප්ත වික්‍රමාදිත්‍ය රජු විසින් ඉන්දියාව තුළ මෙන්ම පිටත රාජධානි විසිඑකක් පමණ ආක්‍රමණය කළ බවයි. නැගෙනහිර සහ බටහිර ඉන්දියාවේ සිය යුධ ආක්‍රමණ අවසන් කිරීමෙන් පසු, වික්‍රමාදිත්‍ය (IIවන චන්ද්‍රගුප්ත) රජු උතුරු දෙසට සේනා මෙහෙයවී ය. එහිදී ඔහු විසින් පාරසිකවරුන්ව පරාජය කරන ලදී. අනතුරුව ඔක්සස් නදියේ පිළිවෙලින් බටහිර සහ නැගෙනහිර නිම්නවල විසූ හූනවරුන්ව සහ කාම්බෝජවරුන්ව ද යටත් කරගන්නා ලදී. ඉන් පසුව, හිමාලය ඔස්සේ ගමන් ගත් රජු කින්නරවරුන්, කිරාතවරුන් යන ගෝත්‍රවල භූමිය සීමාකළ බව එම වාර්තාහි වැඩිදුරටත් දැක් වේ.[5]

කාෂ්මීර රචකයකු වන ක්ෂේමේන්ද්‍ර සිය බෘහත්කථාමංජරි ග්‍රන්ථයේ සඳහන් කරන්නේ වික්‍රමාදිත්‍ය රජු (IIවන චන්ද්‍රගුප්ත) රජු විසින් "ශක, ම්ලේච්ඡ, කාම්බෝජවරුන්, යවනයින්, තුෂරයින්, පාරසිකයන්, හූනයන් වැනි ම්ලේච්ඡයින් සම්පූර්ණයෙන්ම විනාශ කොට ශුද්ධ භූමිය බරින් මුදාගත් බවයි".[27][28][29]

ෆා-හියෙන්[සංස්කරණය]

චීන බෞද්ධ භික්ෂුවක වූ ෆා හියෙන් වන්දනා චාරිකාවක් පිණිස ඉන්දියාවට පැමිණියේ ගුප්ත අධිරජ IIවන චන්ද්‍රගුප්ත රජසමයේ ය. 399දී චීනයෙන් සිය සංචාරය ඇරඹි එතුමා 405දී ඉන්දියාව වෙත ළඟා විය. 411 වර්ෂය තෙක් ඉන්දියාවේ රැඳී සිටි එතුමා මථුරා, කනෞජ්, කපිලවස්තු, කුෂිනගර්, වෛශාලි, පාඨලිපුත්‍ර, කාෂි සහ රාජගෘහ යන ස්ථාන වෙත චාරිකා කොට ඇති අතර, අධිරාජ්‍යයේ තත්ත්වය පිළිබඳි පැහැදිළි නිරීක්ෂණ සිදුකොට ඇත. රාජ්‍ය පාලනයේ මෘදු බව දැක ෆා හියෙන් සතුටට පත් විය. දඬුවම් ක්‍රමය ලිහිල් එකක් වූ අතර, වැරදි සඳහා දඩ ගැසීම පමණක් සිදු විය. ඔහුගේ වාර්තා අනුව හන් රාජවංශයේ පරිහානියත් රෝම-චීන වෙළඳ මාර්ගය බිඳවැටෙන තෙක්ම එකල ගුප්ත අධිරාජ්‍යය සමෘද්ධිමත්ව පැවතී ඇත. මේ යුගයේ ඉතිහාස‍ය හැදෑරීමට ඉතා වැදගත් මූලාශ්‍ර ලෙස එතුමන්ගේ වාර්තා සැලකේ.

කුමාරගුප්ත I[සංස්කරණය]

ගුප්ත රජ Iවන කුමාරගුප්තගේ රිදී කාසියක් (ඔහුගේ බටහිර භූමියේ කාසියක් වන මෙහි මෝස්තරය බටහිර ක්ෂත්‍රපයන්ගේ ආභාසය ලැබූවකි).
ඉදිරි මුහුණත (වම): අඩ සඳ සහිත රජුගේ උඩුකය රුව, අක්‍රමවත් ග්‍රීක අක්ෂර සමග.[30][31]
පසුපස (දකුණ): පියාපත් විහිදාගත් ගරුඩා රුව. බ්‍රාහ්මි පාඨය: පරාක්‍රම-භගවත රාජාධිරාජ ශ්‍රී කුමාරගුප්ත මහේන්ද්‍රාදිත්‍ය.
ක්‍රි.ව. 450දී ගුප්ත අධිරාජ්‍යය

IIවන චන්ද්‍රගුප්ත රජුගෙන් පසු මහාදේවි ධෘවස්වාමිණි බිසවට උපන් ඔහුගේ දෙවන පුත් Iවන කුමාරගුප්ත රජු සිහසුනට පත් විය. Iවන කුමාරගුප්ත විසින් මහේන්ද්‍රාදිත්‍ය යන විරුදය භාවිත කොට ඇත.[32] ඔහු 455 තෙක් රාජ්‍ය පාලනය සිදුකළේ ය. ඔහුගේ රාජ්‍ය සමයේ අවසන් කාලයේ නර්මදා නිම්නයේ විසූ ගෝත්‍රයක් වූ පුෂ්‍යමිත්‍රවරු බලයට පත්ව අධිරාජ්‍යයට තර්ජන එල්ල කරන්නට වූහ. කුමාරගුප්ත විසින් වර්තමාන බිහාරයේ නාලන්දාහි බෞද්ධ විශ්වවිද්‍යාලයක් ඉදි කරවන ලදී.[33]

ස්කන්ධගුප්ත[සංස්කරණය]

Iවන කුමාරගුප්ත රජුගේ පුත්‍රයා මෙන්ම අනුප්‍රාප්තිකයා ද වූ ස්කන්ධගුප්ත රජු අවසාන ශ්‍රේෂ්ඨ ගුප්ත පාලකයා ලෙස සැලකෙයි. ඔහු විසින් වික්‍රමාදිත්‍ය සහ ක්‍රමාදිත්‍ය යන විරුද භාවිතා කොට ඇත.[34] ඔහු පුෂ්‍යමිත්‍ර තර්ජනය මැඬපැවැත්වීමට සමත් වුවත්, වයඹ දෙසින් හෙෆ්තලයිට් හෙවත් "ශ්වේත හූනයන්ගේ" ආක්‍රමණයන්ට මුහුණ දීමට ඔහුට සිදු විය. 455දී පමණ ඔහු හූන ආක්‍රමණයක් පරාජය කිරීමට සමත් වුව ද, අධික යුධ වියදම් හේතුවෙන් අධිරාජ්‍යයේ සම්පත් වියැකී යන්නට වීම හේතුවෙන් අධිරාජ්‍යය පරිහානියට පත්වන්නට විය. 467දී ස්කන්ධගුප්ත මියගිය අතර, ඔහුගේ පීතෘ පාර්ශ්වීය සොහොයුරකු වූ පුරුගුප්ත සිහසුනට පත් විය.[35]

අධිරාජ්‍යය බිඳ වැටීම[සංස්කරණය]

ස්කන්ධගුප්තගේ මරණින් පසු අධිරාජ්‍යය පරිහානියට පත්වන ලකුණු පෙනෙන්නට තිබිණි.[36] ඔහුගෙන් පසුව පිළිවෙලින් පුරුගුප්ත (467–473), IIවන කුමාරගුප්ත (473–476), බුධගුප්ත (476–495), නරසිංහගුප්ත (495—?), IIIවන කුමාරගුප්ත (530—540), විෂ්ණුගුප්ත(540—550) යන රජවරුන් ද, එතරම් තොරතුරු නොදත් වෛන්‍යගුප්ත සහ භානුගුප්ත යන රජවරුන් දෙදෙනාත් සිහසුනට පත් විය. ක්‍රි.ව. 480 දශකයේ හෙෆ්තලයිට්වරුන් වයඹදිගින් ගුප්ත යුධ බලය බිඳහෙලූහහ. 500 දශකය වන විට අධිරාජ්‍යයේ වයඹදිගින් විශාල කොටසක් හන්වරුන් අතට පත් විය. තොරමානා සඑ ඔහුගේ අනුප්‍රාප්තික මිහිරකුලාගේ ආක්‍රමණ හේතුවෙන් අධිරාජ්‍යය කැබලි වෙන්වන්නට විය. සිය බලය ක්‍රමයෙන් හීන වුවද, ගුප්තවරුන් දිගින් දිගටම හූනවරුන් කෙරෙහි ප්‍රතිරෝධය දැක් වූ බව ගුප්තවරුන්ගේ ශිලාලේඛනවලින් පෙනේ. 510දී භානුගුප්ත රජු විසින් හූන ආක්‍රමණිකයකු වූ තොරමානාව පරාජය කරන ලදී.[37][38] 528දී ගුප්ත අධිරාජ නරසිංගුප්ත සහ මාල්වාහි යශෝධර්මන් රජුගේ සන්ධානය මගින් හූනයන් පරාජය කොට ඉන්දියාවෙන් පිටතට පලවා හරින ලදී.[39] 6වන සියවසේ ගුප්තවරුන්ගේ අනුප්‍රාප්තිය පිළිබඳ තොරතුරු පැහැදිළි නැත. රාජවංශයේ හඳුනාගත් අවසන් පාලකයා ලෙස 540 සිට 550 දක්වා රාජ්‍ය පාලනය කළ විෂ්ණුගුප්ත රජු සැලකෙයි. හූන ආක්‍රමණයට අමතරව, අධිරාජ්‍යයේ බිඳවැටීමට හේතු වූ සෙසු කරුණු අතර වාකාටකවරුන් අතර තරගය සහ මාල්වාහි යශෝධර්මන් රජුගේ නැගීම ද ප්‍රධාන වේ.[40]

යුධ සංවිධානය[සංස්කරණය]

ගුප්ත යුගයේ රන් කාසියක්; දුන්නක් ගෙන සිංහයකු සමග සටන් කරන ගුප්ත රජකු නිරූපණය වේ.
රතු වැලිගලින් කළ විෂ්ණු ප්‍රතිමාවක්; ක්‍රි.ව. 5වන සියවස

කාර්යක්ෂම යුධ ක්‍රමයක් නොමැතිව ගුප්තවරුන්ට සිය යුධ බලයෙන් පමණක් සිය සාර්ථකත්වය හිමිකර ගත හැකි නොවිණි. ඓතිහාසික මූලාශ්‍ර සැලකූ කල, මේ පිළිබඳ හොඳමා වාර්තා හමුවන්නේ ඉන්දියාවෙන් නොව, චීන සහ බටහිර මූලාශ්‍රවලිනි. කෙසේනමුත්, එකල යුධ ග්‍රන්ථයක් වශයෙන් වැදගත් වූයේ යැයි පැවසෙන සිව-ධනුර්-වේද කෘතියෙන් ගුප්තවරුන්ගේ යුධ සංවිධානය පිළිබඳ අවබෝධයක් ලබාගත හැක.

ගුප්තවරුන් ජයග්‍රහණ බොහෝ සෙයින් පාබල දුනුවායන්ගේ හැකියාව මත රඳාපැවති බව පෙනේ. දුන්න එකල හමුදාවේ ප්‍රමුඛ අවියක් විය. හින්දූන්ගේ දිගු දුන්න ලෝහවලින් හෝ බොහෝවිට උණ බට භාවිතයෙන් නිමකොට ඇති අතර, ලෝහමය හිසක් සහිත දිගු උණ දණ්ඩක් හීය ලෙස භාවිතා කොට ඇත. බටහිර හා මධ්‍ය ආසියානු හමුදා සතු වූ සංයුක්ත දුනු මෙන් නොව මෙම දුනු තෙත් සහ ආර්ද්‍ර තත්ත්වලදී ඇදවන්නේ අඩුවෙනි. ඉන්දියානු දිගු දුන්න බලවත් අවියක් ලෙස පිළිගැනුණු අතර, එහි පුළුල් පරාසය සහ තියුණු විනිවිදීමේ හැකියාව හේතුවෙන් අස් දුනුවායන්ට ආක්‍රමණවලදී බෙහෙවින් ප්‍රයෝජනවත් විය. සන්නාහ හස්තීන්ට එරෙහිව යකඩ දඬු භාවිතා වූ අතර, දුනුවායන්ගේ කම්හල්වල ගිනි ඊතල සඳහා ද වැදගත් ස්ථානයක් හිමි විය. ඓතිහාසිකව ඉන්දියාව එහි ලෝහ ආයුධ සඳහා ද ප්‍රසිද්ධියක් උසුලයි. මේ අතුරින් එකකි, වානේ දුන්න. එහි ඉහළ ආතන්‍යභාවය හේතුවෙන් එය දිගු පරාසයක් පුරා එල්ල කළ හැකි වූ අතර, ඝනකම් සන්නාහ පවා විනිවිද යා හැකි විය. උණබට මෝස්තරයේ දුනුවලට වඩා අඩුවෙන් දක්නට ලැබුණු මේ ආකාරය, වංශවතුන් අත රැඳිණි. දුනුවායන්ගේ ආරක්ෂාවට හෙළි, පළිහ සහ දිගු කඩු‍ රැගත් පාබල සේනා ද විය. මීට අමතරව ගුප්තවරුන් සතුව වැටලුම් උපකරණ, කැටපෝල සහ වෙනත් යුධ උපාංග පිළිබඳ දැනුමක් පැවති බව පෙනේ.

අස් දුනුවායන් භාවිතය කෙරෙහි ගුප්තවරුන් දැක්වූයේ අඩු අවධානයකි. නමුත් මෙම අස් දුනුවායන් ඔවුන්ගේ සතුරු සිතියන්, පාතියන් සහ හෙෆ්තලයිට් (හූන) හමුදාවල ප්‍රධාන අංගයන් විය. කෙසේනමුත් ගුප්ත හමුදා මැනවින් ශික්ෂිතව සිටි බව පැවසේ. සමුද්‍රගුප්ත සහ IIවන චන්ද්‍රගුප්ත වැනි දක්ෂ සෙන්පතීහු සංයුක්ත යුද්ධෝපාය ක්‍රමයක් සහ මනා සංවිධානයක් පැවති යුතු බව වටහා ගත්හ. හස්තීන් සහ සන්නාහ පැළඳි අශ්වාරෝහක හමුදාවන්ගෙන් සන්නද්ධ වූ ගුප්ත හමුදා අනෙකුත් හින්දු රාජධානි මෙන්ම වයඹදිග විදේශ හමුදා ද පරාජයට පත්කළහ. ගොඩබිම මෙන්ම මුහුදේද සිය ආධිපත්‍යය පැතිරවීමට ගුප්තවරුන් සතුව නාවික හමුදාවක් ද තිබී ඇත.

හූන ආක්‍රමණ හමුවේ ගුප්ත අධිරාජ්‍යය බිඳ වැටීමට හේතු වූයේ එහි හමුදාවන්ගේ දුර්වලතාවන් නොවේ. ස්කන්ධගුප්ත රජු යටතේ මෙවැනි ආක්‍රමණිකයන් පරාජය කොට තිබීමෙන් ඒ බව පැහැදිළි වේ. බොහෝ විට අභ්‍යන්තර බල අරතල හේතුවෙන් විදේශ ආක්‍රමණ කෙරෙහි ගුප්තවරුන් දැක්වූ ප්‍රතිරෝධය හීන වූ අතර, මෙම තත්ත්වය බටහිර යුරෝපයේ හා චීනයේ ද දක්නට ලැබිණි.

IIවන චන්ද්‍රගුප්ත රජ සමයේ, ගුප්ත අධිරාජ්‍යය සතුව සෙබලුන් 500,000කින් යුත් පාබල හමුදාවක්, 50,000ක අශ්වාරෝහක හමුදාවක්, 20,000ක රථාචාර්යවරුන් සහ අලිඇතුන් 10,000ක් මෙන්ම නැව් 1200කට වඩා පැවති විශාල නාවික හමුදාවක් ඇතුළුව දැවැන්ත හමුදාවක් විය. IIවන චන්ද්‍රගුප්ත මුළු ඉන්දියානු උපමහාද්වීපයම පාලනය කළේ ය. බටහිරින් රෝම අධිරාජ්‍යය පවා බිඳවැටෙමින් පැවති මේ යුගයේ, ලොව බලවත්ම අධිරාජ්‍යය ගුප්ත අධිරාජ්‍යය වන්නට ඇතැයි සැලකෙයි.

ගුප්ත පරිපාලනය[සංස්කරණය]

ගුප්ත අධිරාජ්‍යයේ අභිලේඛන අධ්‍යයන අනුව පෙනීගොස් ඇත්තේ ඉහළ සිට පහළ දක්වා ධුරාවලියකින් යුත් පරිපාලන කොට්ඨාස මෙකල පැවතී ඇති බවයි. අධිරාජ්‍යය හැඳින්වීම සඳහා රාජ්‍ය, රාෂ්ට්‍ර, දේශ, මණ්ඩල, පෘථිවි සහ ආවනි යන නම් භාවිතා වී ඇත. එය පළාත් 26කට බෙදන ලදී. මෙම පළාත් භුක්ති, ප්‍රදේශ සහ භෝග වැනි නම්වලින් හැඳින්විණි. පළාත් නැවත විෂයයන්ට බෙදුණු අතර, ඒවායේ පාලනය විෂයපතිවරුනට හිමි විය. විෂයපතිවරයකු විසින් විෂය පාලනය කිරීමට අධිකරණ (නියෝජිත මණ්ඩලයක්) උපකාරී වූ අතර, මෙම අධිකරණ නියෝජිතයන් සිව්දෙනකුගෙන් සමන්විත විය. එනම්: නගරශ්‍රෙෂෙස්ති, සාර්තවාහ, ප්‍රථමකුලිකේ සහ ප්‍රථම කායස්ථ යන නිලධාරීන් ය. විෂයක කොටසක් විථි ලෙස හැඳින්වෙයි.[41] ගුප්ත අධිරාජ්‍යය සහ රෝම අධිරාජ්‍යය අතර වෙළඳ සබඳතා ද පැවතී ඇත.

ගුප්ත අධිරාජ්‍යයේ උරුමය[සංස්කරණය]

ක්‍රිෂ්ණා සහ රාධා 8 × 8 අෂ්ඨපාදයක චතුරංග ක්‍රීඩාවේ නියැළෙන අයුරු නිරූපිත පසුකාලීන සිතුවමක්

මේ යුගයේ විසූ විද්වතුන් අතර වරාහමිහිර සහ ආර්යභට වැනි විද්වතුන් වැදගත් වේ. ආර්යභට විසින් පළමුවරට ශුන්‍යය පිළිබඳ සංකල්පය ඉදිරිපත් කළ අතර, පෘථිවිය සූර්යයා වටා ගමන් කරන බව උපකල්යන කළ ඔහු සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ නිරීක්ෂණය කොට ඇත. ශ්‍රේෂ්ඨ නාට්‍ය රචකයකු වූ කාලිදාස විසින් ශකුන්තලා වැනි නාට්‍ය රචනා කළේ මේ යුගයේදී ය. මෙය සංස්කෘත සාහිත්‍යයේ උච්චස්ථානය නිරූපණය කරයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රධාන සිද්ධාන්ත සහ සැත්කම් පිළිබඳ තොරතුරු සඳහන් සුප්‍රකට සුෂ්රුත සම්හිතා ග්‍රන්ථයේ සංස්කෘත සංස්කරණය ද ගුප්ත යුගයේ නිමැවුමක් යැයි සැලකේ.

චෙස් ක්‍රීඩාව මෙම යුගයේ ඇරඹෙන්නට ඇතැයි සැලකේ.[42] 6වන සියවසේ එහි මුල් ප්‍රභේදය හඳුන්වන ලද්දේ චතුරංග යන නාමයෙනි. එහි අරුත "[හමුදාමය] අංග සතර" – එනම් පාබල හමුදාව, අශ්වාරෝහක හමුදාව, හස්තීන් සහ යුධ රථ හමුදායි – මේවා පිළිවෙලින් වර්තමාන පෝන්, නයිට්, රූක් සහ බිෂොප් යන ඉත්තන්ගෙන් නිරූපණය වේ යැයි සැලකේ. මෙකල ඉන්දියානු වෛද්‍යවරුන් විසින් වෛද්‍ය උපකරණ නිපදවා ඇති අතර, ශල්‍යකර්ම පවා සිදු වූ බව පැවසේ. ප්‍රථම ධන දහයේ පාදයේ සංඛ්‍යා පද්ධතියක් වන ඉන්දියානු සංඛ්‍යා ක්‍රසය ච ගුප්ත ඉන්දියාවේ නිමැවුමකි. පුරාතන ගුප්ත ග්‍රන්ථයක් වන කාම සූත්‍රය මානව ලිංගික හැසිරීම් පිළිබඳ සංස්කෘත භාෂාවෙන් ලියැවුණු ප්‍රාමාණික ග්‍රන්ථයක් යැයි සැලකේ. ඉන්දියානු විද්වතකු වූ වත්ස්‍යායන විසින් මෙම කාම සූත්‍රය රචනාකොට ඇත. ගුප්ත යුගයේ විසූ දක්ෂ ගණිතඥයකු සහ තාරකා විද්‍යාඥයකු වූ ආර්යභට විසින් පෘථිවිය ගෝලාකාර බවත්, එය එහි අක්ෂය වටා භ්‍රමණය වන බවත් යෝජනා කොට ඇත. එසේම චන්ද්‍රයා සහ ග්‍රහලෝක දීප්තිමත් වන‍්නේ පරාවර්තිත සූර්යාලෝකයෙන් යැයි ඔහු පවසා ඇත. මෙකල රාහු සහ කේතු නැමැති ව්‍යාජ-ග්‍රහයන් දෙදෙනාගේ ඝට්ටනයෙන් සූර්ය සහ චන්ද්‍රග්‍රහණ ඇති වන බවට විශ්වෝත්පත්තිවාදී මතයන් පිළිගැනුණ ද, ආර්යභට විසින් ග්‍රහණ යනු පෘථිවිය මත ඇතිවන ඡායාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන සංසිද්ධි බව පැවසූයේ යැයි කියනු ලැබේ.[43]

ඉන්දුනීසියාවේ ජාවාහි ඇති බොරෝබුදූර් විහාරය. මෙම විහාරයේ වාස්තු විද්‍යාත්මක ශෛලිය ගුප්ත ගෘහනිර්මාණ ශිල්පයට නෑකම් කියන අතර, ඉන් මෙම ප්‍රදේශ වෙත ඇති වූ ඉන්දියානු ආභාසය වටහා ගත හැක.[44]

කලාව[සංස්කරණය]

සියලු ප්‍රධාන ආගමික කණ්ඩායම් සඳහා උතුරු ඉන්දියානු කලාවේ ස්වර්ණමය යුගය ලෙස ගුබ්ත යුගය අවිවාදිතව පිළිගැනේ. මෙකල සිතුවම් කලාව පුළුල්ව ව්‍යාප්තව පැවති බවට සාධක ඇතත්, අදවන විට ශේෂව ඇති බොහෝ කෘති ආගමික ප්‍රතිමා වේ. මෙම යුගයේ හින්දු ශෛලමය දේව ප්‍රතිමා මෙන්ම බුද්ධ ප්‍රතිමා ද  ජෛන තීර්තංකර ප්‍රතිමා ද ඉදි විය. ප්‍රධාන ප්‍රතිමා ශිල්පීය මධ්‍යස්ථාන ලෙස මථුරාව සහ ගන්ධාරය පැවති අතර, මින් ගන්ධාරය ග්‍රීක-බෞද්ධ කලාවේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙයි. මෙම මධ්‍යස්ථාන ද්විත්වය උතුරු ඉන්දියාවේ සෙසු ප්‍රදේශ වෙත ප්‍රතිමා අපනයනය කොට තිබේ. පෙර පැවති කුෂාණ අධිරාජ්‍යයේ මෙන් මෙකල රජවරුන් කලාකෘතිවල නිරූපණය කිරීමක් සිදුනොවිණි. නමුත් බටහිර ක්ෂත්‍රප ආභාසය ලත් ගුප්ත කාසි කිහිපයක[45] රජවරුන්ගේ රූ නිරූපණය කොට ඇති බව දක්නට ලැබේ.

ගුප්ත සම්ප්‍රදාය දක්නට ලැබෙන වඩාත් ප්‍රකට ශේෂ වී ඇති ස්මාරක අතර අජන්තා ලෙන් විහාර, එලිෆන්ටා ගුහාව සහ එල්ලෝරාව ප්‍රධාන ස්ථානයක් හිමි කරගනියි. මින් අජන්තා ලෙන් විහාර බෞද්ධ ලෙන් වේ. එලිෆන්ටා ලෙන් හින්දු ආභාසය ලත් ලෙන් වේ. එල්ලෝරා ලෙන් අතර, බෞද්ධ, හින්දු මෙන්ම ජෛන ලෙන් ද දක්නට ලැබෙයි. සැබැවින්ම මෙම ‍සිද්ධස්ථාන පසුකාලීන රාජවංශ විසින් ඉදිකළ ඒවා වේ. නමුත් එහි ගුප්ත සම්ප්‍රදායේ ආභාසය ඍජුවම දැකගත හැක. මෙකල පැවති දියුණු සිතුවම් කලාව අජන්තා බෞද්ධ ලෙන් විහාර තුළින් පිළිබිඹු වේ. මෙම සිතුවම්වල ශිල්පීය පරිණත ස්වභාවයක් දක්නට ලැබෙන අතර, මෙකල රාජ මාලිග සිතුවමින් සරසා තිබෙන්නට ඇතැයි සිතිය හැක.[46] හින්දු උදයගිරි ලෙන් මගින් රාජවංශය සහ එහි අමාත්‍යවරුන් අතර පැවති සම්බන්ධතා පිළිබඳ වාර්තා සපයයි.[47] එසේම මෙකල ඉතිරිව ඇති මුල්කාලීන දේවස්ථාන අතුරින් එකක් වන දියෝගාර්හි දශාවතාර දේවාලය අනර්ඝ ප්‍රතිමාවලින් සමන්විත ය.[48]

මේවාද බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. "ගුප්ත ඩයිනාස්ටි – MSN එන්කාර්ටා". ගුප්ත ඩයිනාස්ටි – MSN එන්කාර්ටා. http://encarta.msn.com/encyclopedia_761571624/gupta_dynasty.html. 
  2. ඉන්ඩියා – හිස්ටොරිකල් සෙටිං – ද ක්ලැසිකල් ඒජ් – ගුප්ත ඇන්ඩ් හර්ෂ. Historymedren.about.com (17 ජූනි 2010). සම්ප්‍රවේෂණය 2011-11-21.
  3. එන්. ජයපාලන්, හිස්ට්‍රි ඔෆ් ඉන්ඩියා, වෙළු. I, (ඇට්ලැන්ටික් පබ්ලිෂර්ස්, 2001), 130.
  4. ඒන්ෂන්ට් ඉන්ඩියා. ද ඒජ් ඔෆ් ද ගුප්තස්.wsu.edu
  5. 5.0 5.1 රඝු වංසය 4.60–75
  6. ගුප්ත ඩයිනාස්ටි (ඉන්ඩියන් ඩයිනාස්ටි). බ්‍රිටනිකා ඔන්ලයින් එන්සයික්ලොපීඩියා. සම්ප්‍රවේෂණය 2011-11-21.
  7. මහාජන්, පි. 540
  8. ගුප්ත ඩයිනාස්ටි: එම්පයර් ඉන් 4ත් සෙන්චරි. බ්‍රිටනිකා ඔන්ලයින් එන්සයික්ලොපීඩියා. සම්ප්‍රවේෂණය 2011-11-21.
  9. ද ගුප්ත එම්පයර් ඔෆ් ඉන්ඩියා | චන්ද්‍රගුප්ත I | සමුද්‍රගුප්ත. Historybits.com (11 සැප්තැම්බර් 2001). සම්ප්‍රවේෂණය 2011-11-21.
  10. ට්‍රේඩ් | ද ස්ටෝරි ඔෆ් ඉන්ඩියා – ෆොටෝ ගැලරි. PBS. සම්ප්‍රවේෂණය 2011-11-21.
  11. අගර්වාල්, අශ්විනි (1989). රයිස් ඇන්ඩ් ෆෝල් ඔෆ් ද ඉම්පීරියල් ගුප්තස්, දිල්ලි: මෝතිලාල් බනාර්සිදාස්, ISBN 81-208-0592-5, පිටු.264–9
  12. ග්‍රෝසෙට්, රීනි (1970). ද එම්පයර් ඔෆ් ද ස්ටෙප්ස්. රට්ගර්ස් යුනිවර්සිට ප්‍රෙස්. p. 69. ISBN 0-8135-1304-9.
  13. නෙහ්රා, ආර්. කේ. හින්දුයිස්ම් ඇන්ඩ් ඉට්ස් මිලිටරි එතොස්. ලැන්සර් පබ්ලිෂර්ස්,2010. සම්ප්‍රවේශය 2012-08-25.
  14. 14.0 14.1 බ්‍රැනිගන්, මයිකල් සී. ස්ට්‍රයිකිං අ බැලන්ස්: අ ප්‍රයිමර් ඉන් ට්‍රැඩිෂනල් ඒෂියන් වැලියුස්. රොව්මන් ඇන්ඩ් ලිට්ල් ෆීල්ඩ්, 2010. සම්ප්‍රවේශය 2012-08-25.
  15. ෂර්මා, ආර්. එස්. අර්ලි මීඩියේවල් ඉන්ඩියන් සොසයිටි: අ ස්ටඩි ඉන් ෆියුඩලිස්ම්. Books.google.co.in. සම්ප්‍රවේශය 2012-06-06.
  16. ලිස්ට් ඔෆ් අල්තෙකාර්'ස් පබ්ලිකේෂන්ස් ඕපන් ලයිබ්‍රරි.
  17. "ගුප්ත රූල්". banglapedia.org.
  18. අගර්වාල්, අශ්විනි (1989). රයිස් ඇන්ඩ් ෆෝල් ඔෆ් ද ඉම්පීරියල් ගුප්තස්, දිල්ලි: මෝතිලාල් බනාර්සිදාස්, ISBN 81-208-0592-5, පිටු.84–7
  19. මජුම්දාර්, පි. 474
  20. "ෆවුන්ඩර් ඔෆ් ද ගුප්ත එම්පයර් මහාරාජ ශ්‍රී ගුප්ත". theindianhistory.org.
  21. ස්මිත්, වින්සන්ට් ඒ. (1999). ද අර්ලි හිස්ට්‍රි ඔෆ් ඉන්ඩියා: ෆ්‍රොම් 600 බී.සී. ටු ද මුහම්මඩන් කන්ක්වෙස්ට්t. ඇටැලැන්ටික්. p. 289. ISBN 81-7156-618-9.
  22. ද ගුප්ත පොලිටි, පිටු.199
  23. මහජාන්, පි. 487
  24. අගර්වාල්, අශ්විනි (1989). රයිස් ඇන්ඩ් ෆෝල් ඔෆ් ද ඉම්පීරියල් ගුප්තස්. දිල්ලි: මෝතිලාල් බනාර්සිදාස්. pp. 153–9. ISBN 81-208-0592-5.
  25. බාජ්පායි, කේ. ඩී. (2004). ඉන්ඩියන් න්‍යුමිස්ටිමැටික් ස්ටඩීස්. නව දිල්ලි: අභිනව් පබ්ලිකේෂන්ස්. pp. 120–1. ISBN 81-7017-035-4.
  26. රායිචෞධරි, පි. 489
  27. ආටා වික්‍රමාදිත්‍යෝ හෙල්යා නිර්ජිතඛිලා ම්ලේච්ඡනා කාම්බෝජා. යවනන් නීචන් හුනාන් සබර්බ්‍රාන් තුෂරා. පාර්සිකාන්ෂ්චා තයාකාතචරන් විශ්‍රාන්ඛාලන් හාත්යා භෘභංගමාත්‍රෙයනා භුවෝ භාරමාවරායතේ (බෘහත කථා, 10/1/285-86, ක්ෂේමේන්ද්‍ර).
  28. කථාශ්‍රැත්සාගර 18.1.76–78
  29. Cf:"කථාසරිත්-සාගර තුළ අන්තර්ගත කථාවේ වික්‍රමාදිත්‍ය රජු කාම්බෝජවරුන්, යවනයින්, හුනයින්, තොඛාරාවරුන් ඇතුළු සියලු ම්ලේච්ඡ ගෝත්‍ර විනාශ කළ බව පැවසේ. නැෂනල් කවුන්සිල් ‍ඔෆ් ටීචර්ස් ඔෆ් ඉංග්ලිෂ් කමිටී ඔන් රීක්‍රියේෂනල් රීඩිං – සැන්ස්ක්‍රිට් ලැංග්විජ්.
  30. ප්‍රසන්න රාඕ බන්දේලා (1 ජනවාරි 2003). කොයින් ස්ප්ලෙන්ඩර්: අ ජර්නි ඉන්ටු ද පාස්ට්. අභිනව් පබ්ලිකේෂන්ස්. pp. 112–. ISBN 978-81-7017-427-1. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2011.
  31. "IIවන චන්ද්‍රගුප්ත රජුගේ සෞරාෂ්ට්‍ර ආක්‍රමණයේ සාධක මෙම රිදී කාසිය තුළ ද දැකගත හැක. මෙය බටහිර ක්ෂත්‍රපයන්ගේ ශෛලියේ ඍජු අනුකරණයක් බව පෙනේ... මෙහි පැරණි ග්‍රීක අක්ෂර දැකගත හැකි අතර, එහි පසුපස චෛත්‍ය ආකාර‍ අඩසඳ සහ තරු වෙනුවට ගුප්ත සංකේත (මොනර රුවක්) යොදා ඇත." රැප්සන්ගේ "අ කැටලොග් ඔෆ් ඉන්ඩියන් කොයින්ස් ඉන් ද බ්‍රිටිෂ් මියුසියම්. ද ආන්ධ්‍රාස් etc...", පි.cli
  32. අගර්වාල්, අශ්විනි (1989). රයිස් ඇන්ඩ් ෆෝල් ඔෆ් ද ඉම්පීරියල් ගුප්තස්, දිල්ලි: මෝතිලාල් බනාර්සිදාස්, ISBN 81-208-0592-5, පි.191–200
  33. http://www.sgilibrary.org/search_dict.php?id=1489
  34. රායිචෞධරි, පි. 510
  35. රායිචෞධරි, පි. 516
  36. සච්ඡිදානන්ද භටාචාර්ය, ගුප්ත ඩයිනාස්ටි, අ ඩික්ෂනරි ඔෆ් ඉන්ඩියන් හිස්ට්‍රි, (ජෝජ් බ්‍රසිලර්, Inc., 1967), 393.
  37. ඒන්ෂන්ට් ඉන්ඩියන් හිස්ට්‍රි ඇන්ඩ් සිවිලයිසේෂන්; ශෛලේන්ද්‍ර නාත් සේන් විසිනි; පි.220
  38. එන්සයික්ලොපීඩියා ඔෆ් ඉන්ඩියන් ඉවෙන්ට්ස් ඇන්ඩ් ඩේට්ස්; එස්. බී. භටාචර්ජි පි.A15
  39. කොලොම්බියා එන්සයික්ලොපීඩියා
  40. සිං, උපින්දර් (2008). අ හිස්ට්‍රි ඔෆ් ඒන්ෂන්ට් ඇන්ඩ් මෙඩියේවල් ඉන්ඩියා: ෆ්‍රොම් ද ස්ටෝන් ඒජ් ටු ද 12ත් සෙන්චරි. නව දිල්ලි: පියර්සන් එඩියුකේෂන්. p. 480. ISBN 978-81-317-1677-9.
  41. මහාජන්, පිටු. 530–1
  42. මරේ, එච්. ජේ. ආර්. (1913). අ හිස්ට්‍රි ඔෆ් චෙස්. බෙන්ජමින් ප්‍රෙස් (මුල් මුද්‍රණය ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්). ISBN 0-936317-01-9. OCLC 13472872.
  43. ‍තෝමස් කෝෂි, ඉලෙමන්ටරි නම්බර් තියරි විත් ඇප්ලිකේෂන්ස්, ඇකඩමික් ප්‍රෙස්, 2002, පි. 567. ISBN 0-12-421171-2.
  44. "වොන්ඩර්ෆුල් ඉන්දුනීසියා - බොරෝබුදුර්: අ වොන්ඩර් ඔෆ් ඉන්දුනීසියා හිස්ට්‍රි". Indonesia.travel. 26 සැප්තැම්බර් 2012. සම්ප්‍රවේශය 2013-01-26.
  45. හාර්ලි, 87-89
  46. හාර්ලි, පිළිවෙලින් 118-122, 123-126, 129-135
  47. හාර්ලි, 92-97
  48. හාර්ලි, 113-114

මූලාශ්‍ර[සංස්කරණය]

  • හාර්ලි, ජේ. සී., The Art and Architecture of the Indian Subcontinent, 2වන සංස්. 1994, යේල් යුනිවර්සිටි ප්‍රෙස් පෙලිකන් හිස්ට්‍රි ඔෆ් ආට්, ISBN 0300062176
  • මජුම්දාර්, ආර්. සී. (1977). Ancient India, නව දිල්ලි: මෝතිලාල් බනාර්සිදාස්, ISBN 81-208-0436-8
  • රායිචෞධරි, එච්. සී. (1972). Political History of Ancient India, කල්කටා: කල්කටා විශ්වවිද්‍යාලය ISBN 1-4400-5272-7
  • තේජ් රාම් ෂර්මා (1978). Personal and geographical names in the Gupta inscriptions. කන්සෙප්ට් පබ්ලිෂිං සමා., දිල්ලි.

බාහිර සබැඳි[සංස්කරණය]

පූර්වප්‍රාප්තිකයා
කාන්වා රාජවංශය
මගධ රාජවංශ
ක්‍රි.ව. 240–550
අනුප්‍රාප්තික
පාල රාජවංශය විය හැක
"https://si.wikipedia.org/w/index.php?title=ගුප්ත_රාජවංශය&oldid=427688" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි