සමුද්‍රගුප්ත

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සමුද්‍රගුප්ත
මහාරාජාධිරාජ[1]
SamudraguptaCoin.jpg
ගුප්ත අධිරාජ්‍යයේ සංකේතය වන ගරුඩ කුළුණක් සමග සිටින සමුද්‍රගුප්ත නිරූපිත කාසියක්.
4වන ගුප්ත අධිරාජයා
රාජ්‍ය සමය ක්‍රි.ව. 335 – 380 පමණ
පූර්වප්‍රාප්තිකයා චන්ද්‍රගුප්ත I
අනුප්‍රාප්තිකයා චන්ද්‍රගුප්ත II හෝ රාමගුප්ත
වල්ලභයා දත්තදේවි
දරුවන් චන්ද්‍රගුප්ත II, රාමගුප්ත
වංශය ගුප්ත රාජවංශය
පියා චන්ද්‍රගුප්ත I
මව කුමාරදේවි

සමුද්‍රගුප්ත (රාජ්‍ය. ක්‍රි.ව. 335 පමණ - 380) යනුවෙන් හැඳින්වෙන්නේ ගුප්ත අධිරාජ්‍යයේ සිව්වන පාලකයායි. Iවන චන්ද්‍රගුප්ත රජුගේ පුත්‍රයා වූ ඔහුගේ රාජ්‍ය සමයේ අධිරාජ්‍යය ව්‍යාප්ත වූ අතර, යාබද රාජ්‍ය ආක්‍රමණය කොට අනතුරුව නැගෙනහිර සහ දකුණු දිග රාජධානි පරාජය කරන ලදී. සමුද්‍රගුප්ත රජුගේ යුධ ජයග්‍රහණ බොහෝමයක් පිළිබඳ තොරතුරු අනාවරණය වන්නේ අශෝක රජුගේ අලහබාද් ස්තම්භයේ ඇති ගුප්ත අධිරාජයාගේ ගුණ සහ වීරකම් පිළිබඳ සටහන් කොට ඇති ප්‍රශස්තියෙනි. මෙම ශිලාලේඛනය අනුව, ඉන්දියානු අර්ධද්වීපයේ විශාල ප්‍රදේශයක සිය අණසක ඍජුව මෙන්ම වක්‍රව පැතිරවීමට සමුද්‍රගුප්ත රජු සමත් විය. එහිදී උතුරින් නේපාලයේ සහ පන්ජාබයේ රාජධානි මෙන්ම අග්නිදිගින් කාංචිපුරම්හි පල්ලව රාජධානිය දක්වා ද ඔහුගේ අධිරාජ්‍යය ව්‍යාප්තව පැවති බව සඳහන් ය.[1]

සමුද්‍රගුප්ත යනු Iවන චන්ද්‍රගුප්ත රජුගේ සහ ලිච්ඡවි කුමරියක වූ කුමාරදේවිගේ පුත්‍රයායි. සමුද්‍රගුප්තට වැඩිමහල් සොයුරන් කිහිප දෙනකු සිටියත් ඔහුගේ පියා විසින් ඔහුව සිහසුනට උරුමකරු ලෙස නම්කරන්නට ඇතැයි සැ‍ලකේ. එම නිසා ඇතැමුන් විශ්වාස කරන්නේ Iවන චන්ද්‍රගුප්තගේ මරණින් පසු මාලිගයේ බල අරගලයක් පවතින්නට ඇති බවත් ඉන් ජයගන්නට ඇත්තේ සමුද්‍රගුප්ත බවත් ය. සමුද්‍රගුප්ත රජකමට පත්වූයේ සිය ප්‍රතිවාදියා වූ කාච නැමැති රාජවංශයේ අප්‍රකට කුමරකු පැරදවීමෙන් බව පැවසේ.[1]

සමුද්‍රගුප්තව ඔහුගේ කාසිවල "සටන්වලදී ඇති වූ තුවාල සියගණනක කැළැල් සහිත" ශක්තිමත් රණකාමියකු ලෙස මෙන්ම කවියකු හා සංගීතඥයකු ලෙස ද නිරූපණය කොට ඇත. ඔහුගේ යුගය ඉන්දියානු ඉතිහාසයේ ස්වර්ණමය යුගයන්ගෙන්[2] එකක් ලෙස සැලකෙයි. මෙකල ගුප්ත අනුග්‍රහය ලද කලාවන් සහ ගෘහ නිර්මාණ උච්චත්වයට පත් විය. ඔහුගේ පුත් IIවන චන්ද්‍රගුප්ත සමුද්‍රගුප්තගේ අනුප්‍රාප්තිකයා ලෙස සැලකුණත්, සියවස් දෙකකට පමණ පසු ලියැවුණු දේවි-චන්ද්‍ර-ගුප්ත නැමැති නාට්‍යය අනුව පළමුව රාමගුප්ත සිහසුනට පත් වූ බවත්, අනතුරුව ඔහුගේ සොහොයුරු IIවන චන්ද්‍රගුප්ත විසින් ඔහුව සිහසුනෙන් නෙරපා රජ වූ බවත් පැවසේ.[1]

මුප්කාලීන දිවිය[සංස්කරණය]

ගුප්ත අධිරාජ්‍යයේ තුන්වන පාලකයා වූ මගධ රජ Iවන චන්ද්‍රගුප්ත, ලිච්ඡවි කුමරියක වූ කුමාරදේවි සමග විවාහ විය. මෙමගින් ඔහුට උතුරු ඉන්දියානු වානිජ මධ්‍යස්ථානය වූ ගංගා නදී-ද්‍රෝණිය සිය පාලනයට නතු කරගත හැකි විය. උතුරුමැද ඉන්දියාවේ පාඨලිපුත්‍ර අගනුවර සිට ඔහු සිය පුත්‍රයා වූ සමුද්‍රගුප්ත සමග වසර 10ක් පමණ රාජ්‍ය පාලනය ගෙනගියේ ය.

ඔහුගේ මරණින් පසු සමුද්‍රගුප්ත සිහසුනට පත් වූ අතර, ඔහු ඉන්දියාවේ විශාල භූමි ප්‍රදේශයක් සිය අණසකට නතු කරගැනීමට සමත් විය. ඔහුගේ රාජ්‍ය සමය තුළ යුධ ව්‍යාපාර විශාල සංඛ්‍යාවක් දියත් කෙරුණු බව සඳහන් වේ. ආරම්භයේදී ඔහු යාබද රාජධානි වූ අහිච්ඡත්‍රා (රෝහිල්ඛාන්ඩ්) සහ පද්මාවති (මධ්‍යම ඉන්දියාව) රාජ්‍ය ආක්‍රමණය කළේ යි. අනතුරුව බෙංගාලයෙන් විශාල කොටසක් සහ නේපාලයේ ඇතැම් රාජධානිය ආක්‍රමණය කළ ඔහු, ඇසෑමයට පඬුරු කප්පම් ගෙවන ලෙස බලකළේ ය. මාල්වා, යෞධය, අර්ජුනයාන, අභිරා සහ මදුරා ඇතුළු ගෝත්‍රික රාජ්‍ය කිහිපයක්ම අවශෝෂණය කරගන්නට ඔහුට හැකි විය. වර්තමානයේ ඇෆ්ඝනිස්ථානය සහ කාෂ්මීරයට අයත් ප්‍රදේශ සිය අධිරාජ්‍යය‍ට ඈඳාගත්තේ ය.[3]

ප්‍රභව[සංස්කරණය]

අලහබාද් ස්තම්භය[සංස්කරණය]

අලහබාද් ස්තම්භයේ ඇති සමුද්‍රගුප්තගේ අභිලේඛන.

සමුද්‍රගුප්ත යුගයේ ඉතිහාසය පිළිබඳ හැදෑරිය හැකි ප්‍රධාන ප්‍රභවය ලෙස අලහබාද් අහෝක ස්තම්‍භයේ ඇති අභිලේඛනය සැලකේ. මෙම ශිලාලේඛනය තුළ සමුද්‍රගුප්තගේ ආක්‍රමණ පිළිබඳ විස්තර කොට ඇත. මෙම ශිලාලේඛනයේ සඳහන් වන්නේ, "ඔහුගේ මනහර දේහය සටන් පරසු, හී, හෙලි, කුන්ත, අසිපත්, ලන්සයන්ගෙන් ඇති වූ සිය ගණනක් තුවාල කැලැල්වල අලංකාරයන්ගෙන් වැසී ඇත". මෙම ශිලාලේඛනය ඉන්දියාවේ දේශපාලන පසුබිම වටහා ගැනීමට ඉතා වැදගත් මූලාශ්‍රයක් වන්නේ මෙහි ක්‍රි.ව. හතරවන සියවසේ මුල් භාගයේ ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල විසූ රජවරුන් සහ ජනයාගේ නම් අන්තර්ගත නිසායි. මෙම සමුද්‍රගුප්තගේ යුධ ජයග්‍රහණ පිළිබඳ ප්‍රශස්තියෙහි රචකයා සමුද්‍රගුප්තගේ රාජසභාවේ වැදගත් කවියකු වූ හරිසේන බව සඳහන් වේ.[4]

සමුද්‍රගුප්තගේ එරාන් ශිලා ලිපිය[සංස්කරණය]

සමුද්‍රගුප්තගේ එරාන් ශිලා ලිපිය දැනට කොල්කටා ජාතික කෞතුකාගාරයේ තබා ඇත.

(පේළි 1 සිට 6; පළමු කවිය, දෙවන කවියේ මුල් භාගය සඳහන් කොටස සම්පූර්ණයෙන් කැඩී ඉවත් වී ඇත.)
(පේළිය 7.)— ....................................රන් ලබාදීමෙහි ...................................... [කවුරුන් විසින් ද යන වග] ප්‍රිතු සහ රාඝව සහ සෙසු රජවරුන් [දස්කම් පෑහ.]
(පේළිය 9.)— . . . . . . . . . සමුද්‍රගුප්ත, (පිළිවෙලින්) සොම්නස සහ කෝපය අතින් (දෙවිවරුන් වූ) ධානද සහ අංතකට සමාන; . . . . . . . . . . . . . . . . . පිළිවෙත් අතින්; (සහ) [කවුරුන් විසින් ද යන වග] පෘථිවිය මත රජවරුන්ගේ මුළු ගෝත්‍රයම [සිහසුනෙන් නෙරපා] සහ ඔවුන්ගේ ස්වාධිපත්‍යය ධනය අතින් හීන කෙරිණි;—
(පේළිය 13.)— [කවුරුන් ද යන වග], විසින් . . . . . . . . . කැපවීම සහ පිළිවෙත් සහ පරාක්‍රමය අතින් තෘප්තියට පත්,—ශ්‍රී විභූතියෙන්, මෙවන් කැපවීමක් ඇත්තේ 'රජකුට,'— (සහ) වෙතින් . . . . . . . . . . . විශිෂ්ට තෘප්තිය සමග සංයුක්ත වූ, — .................. (යනු) විරෝධය පෑ නොහැකි ඔද ඇති රජෙකි;—
(පේළිය 17.)— [කවුරුන් විසින් ද යන වග] ගුණවත් සහ පක්ෂපාතී බිරිඳක් විවාහ කරගැනිණි. ඇගේ ආයාදය (ඔහුගේ) ධෛර්යවන්තභාවය සහ ශූරත්වය වෙනුවෙන් පිරිනැමිණි; [හස්තීන්] හා අසුන් සහ ධනධාන්‍යවලින් සපිරිව ඔහු භුක්ති වින්දේ ය; .............ගේ නිවෙස්වලින් ප්‍රීතියට පත් විය; (සහ) බොහෝ පුතුන් සහ පුතුන්ගේ පුත්‍ර සමාගමයක් ලද්දේ;—
(පේළිය 21.)— යුද්ධයේදී ඔහුගේ ක්‍රියාවන් ඔහුගේ ශූරභාවය පුබුදුවාලී ය; (ඔහුගේ) . . . . . . දැවැන්ත යසස නිරතුරු ඔහු වටා සංසරණය විය; සිතුමෙන් පමණක් නොව ඔහුව සිහිනෙන් දැකුමෙන් පවා ඔහුගේ සතුරන් බියෙන් ත්‍රස්ත වූහ, (ඔහුගේ). . . . . . . යුද්ධයේ දී තේජසින් යුක්ත ය; —
(පේළිය 25.) . . . . . . . . . . . . . . . . . . . . ඓර්කිනාහි ස්ථානයක, ඔහුගේ ආස්වාදය සඳහාම වූ නගරය. . . . . . . . . . . . . ගොඩනැගිණි. ඒ ඔහුගේම යසස පතුරුවාලීම සඳහායි.
(පේළිය 27.) — . . . . . . . . . . . . . . . . . . . . . . . . . රජු පවසන විට . . . . . . .

(මෙම ශිලාලේඛනයේ ඉතිරි කොටස සම්පූර්ණයෙන්ම කැඩී ගොස් ඇති අතර එය අද දක්නට නැත්තේ ය.)[5]

සමුද්‍රගුප්තගේ ආක්‍රමණ[සංස්කරණය]

ගුප්ත අධිරාජ්‍යය එහි උච්චස්ථානයේ

සමුද්‍රගුප්තගේ රාජ්‍ය සමයේ මුල්කාලයේ සිය අසල්වැසි රාජ්‍ය වූ අහිච්ඡත්‍රාවේ පාලක අච්‍යුත සහ නාගසේන යන අයව පරාජය කිරීම සිදු විය. ඉන් අනතුරුව සමුද්‍රගුප්ත දකුණින් වූ රාජධානි වෙත ද ආක්‍රමණ මෙහෙයවී ය. මෙම දකුණු යුධ ව්‍යාපාරය හේතුවෙන් ඔහුට බෙංගාල බොක්කෙන් දකුණුට සිය බලය ව්‍යාප්ත කිරීමට හැකි විය. මධ්‍ය ප්‍රදේශ්හි වනාන්තර කලාපය පසු කළ ඔහු, ඔදිෂා වෙරළ තීරය තරණය කොට ගැන්ජම්, විසාඛපට්නම්, ගෝදාවරි, ක්‍රිෂ්ණා සහ නෙල්ලෝර් දිස්ත්‍රික්ක හරහා ගමන් ගත් අතර, ඇතැම් විට කාංචීපුරම් තරම් ඈතට ගමන් ගන්නට ඇතැයි සැලකේ. කෙසේනමුත් මෙම ප්‍රදේශවල ඔහු ඍජු පාලනයක් පැවැත්වීමට කටයුතු නොකළේ ය. සිය සතුරන් අල්ලාගත් පසු ඔහු ඔවුන්ව, සිය යටත් රජවරුන් ලෙස පත්කළේ ය. මෙමගින් සමුද්‍රගුප්තගේ රාජ්‍යෝපාය ඥානය පැහැදිළි වේ. ඔහුගේ අරමුණ වූයේ "රාජ චක්‍රවර්තී" හෙවත් මහා අධිරාජයා වී "ඒක්රට්", එනම් අවිවාදිත පාලකයා බවට පත්වීමටයි. උතුරු පෙදෙස්වල "දිග්විජය" ප්‍රතිපත්තියක් අනුගමනය කළ මෙතුමා එම ප්‍රදේශ ආක්‍රමණය කොට ඈඳාගැනීමට ක්‍රියාකළේ ය. දකුණු දිග ප්‍රදේශ සඳහා, ඔහු "ධර්ම විජය" ප්‍රතිපත්තිය එනම්, ආක්‍රමණයක් මුත් ඈඳාගැනීමක් නොවූ ප්‍රතිපත්තිය අනුගමනය කළේ ය.

සෙසු පුත්‍රයන් සිටියදී සමුද්‍රගුප්තව ඔහුගේ පියා විසින් සිහසුනේ උරුමකරු ලෙස නම්කළ බැවින් මුල්කාලයේ ඔහුට කැරැලි මර්දනය කරන්නට සිදුවී යැයි සිතිය හැක. රාජධානිය සමාධාන කරවීමේ දී, වර්තමාන අලහබාද් (උත්තර් ප්‍රදේශ්) සිට පෙංගාල දේශසීමා දක්වා ඔහුට යුධ ව්‍යාපාර මාලාවක් අනුගමනය කරන්නට සිදු වන්නට ඇත. දුකණු දිගින් කාංචිපුරම්හි පල්ලව රාජධානියේ විෂ්ණුගෝප රජුව පරාජය කළ ඔහු පඬුරු කප්පම් පදනම මත විෂ්ණූගෝප සහ පරාජිත ‍සෙසු රජවරුන් යළි තනතුරෙහි පිහිටුවන ලදී. ඇතැම් උතුරෙහි රජවරුන් මරාදැමුණ ද, ඒවායේ භූමි ගුප්ත අධිරාජ්‍යය‍ට යටත් කරගැනිණි. සමුද්‍රගුප්ත සිය බලය අතින් උච්චස්ථානයට ළඟාවන විට ඔහුට සම්පූර්ණ ගංගා නදී නිම්නයම තමන් සතු කරගත හැකි වූ අතර, නැගෙනහිර බෙංගාලය, ඇසෑමය, නේපාලය, පන්ජාබයේ නැගෙනහිර පෙදෙස සහ රාජස්ථානයේ විසූ විවිධ ගෝත්‍රවල නායකයින්‍ගේ ප්‍රණාමය රජුට හිමි විය. ඔහු විසින් රජවරුන් 9 දෙනකුව විනාශ කරන ලද අතර, තවත් 12 දෙනකුව මර්දනය කරන ලදී.[2] සමුද්‍රගුප්ත දක්ෂ සෙන්පතියකු සහ මහා ආක්‍රමණිකයකු බව හරිසේනගේ ශිලාලේඛනයෙන් පැහැදිළි වේ. ඔහු සඳහන් කරන්නේ සමුද්‍රගුප්ත ඉන්දියානු රාජ්‍ය නවයක් විනාශ කොට, බජල්පූර් සහ චෝටා නාග්පූර් අසල අටවික රාජධානි දහඅටක් යටත් කරගත් බවත් ය. ඔහුගේ ක්ෂණික යුධ ව්‍යාපාර මගින් දකුණු ඉන්දියානු රජවරුන් දොළොස් දෙනකුගේ ඔද බිඳ, දේශසීමා ගෝත්‍ර නවයකගේ සහ ස්මතතා, දේවක, කරුපා, නේපාලය සහ කෘත්‍රිපූර්හි රාජ්‍ය පහක් 'මහා සමුද්‍රගුප්තට බදු ගෙවා, නියෝගවලට අවනත වූ බවත්, ඔහුට නමස්කාර කළ බවත් ය'. මෙම ආක්‍රමණ මගින් ඔහු ඉන්දියාවේ මහා බලවතා බවට පත් විය. සමුද්‍රගුප්ත කිසිදු සටනකින් පරාජය නොවූ බව පැවසේ. ඔහුගේ එරාන් ශිලාලේඛනය මගින් ද යුද්ධයේ දී ඔහුගේ 'අනභිබවනීය' ස්වරූපය විස්තර කොට ඇත.[2]

සමුද්‍රගුප්තගේ යුධ ව්‍යාපාර පිළිබඳ තොරතුරු, විස්තර කිරීමට අපහසු තරම් විශාල ය. (පහත පළමු මූලාශ්‍රයෙහි මේ පිළිබඳ තොරතුරු ඇත) කෙසේනමුත් ඔහුට යුධ හමුදාවට අමතරව බලවත් නාවික හමුදාවක් විසූ බව පැහැදිළි ය. යටත් රාජ්‍යවලට අමතරව, ශක සහ කුෂාණ වැනි විදේශීය රජවරුන් පවා සමුද්‍රගුප්තගේ ආධිපත්‍යය පිළිගත් අතර, ඔහුට සිය සේවය සැපයූහ.[6] උත්තර් ප්‍රදේශ්හි බටහිර පෙදෙසේ සහ දිල්ලියේ පාලකයින් යටත් කරගැනීමෙන් පසු, සමුද්‍රගුප්ත එම ප්‍රදේශ සිය ඍජු පාලනයට පවරාගත්තේ ය. මීළඟට ප්‍රත්‍යන්ත රාජ්‍ය වූ කාමරූප (ඇසෑම්), නැගෙනහිරින් බෙංගාලය සහ බටහිර දෙසින් පන්ජාබය සිය අණසකට යටත් කරගත්තේ ය. වින්ධ්‍යා ප්‍රදේශයේ විසූ වනචාරී ගෝත්‍ර ද ඔහු සිය අණසකට නතු කරගත්තේ ය.

ආවාහ-විවාහ සම්බන්ධ ප්‍රතිපත්තිය[සංස්කරණය]

ඔහුගේ සමයේ සිදු වූ වඩාත් වැදගත් සිදුවීමක් ලෙස වාකාටකයේ IIවන රුද්‍ර සේන රජු සමග ආවාහ-විවාහ සම්බන්ධතා පැවැත්වීම සහ කතියවාර්හි සෞරාෂ්ට්‍ර අර්ධද්වීපය යටත් කරගැනීම සැලකෙයි. මෙම සෞරාෂ්ට්‍ර පුදේශය ශක රාජවංශය විසින් සියවස් ගණනාවක් පුරා බටහිර ක්ෂත්‍රපයන් ලෙස එහි පාලනය ගෙනගොස් තිබිණි ආවාහ-විවාහ සම්බන්ධතාවලට ගුප්ත විදේශ ප්‍රතිපත්තියේ ප්‍රමුඛස්ථානයක් හිමි විය. ලිච්ඡවි සන්ධානය හේතුවෙන් බිහාරයේ ඔවුන්ගේ තත්ත්වය ශක්තිමත් විය. අසල්වැසි රාජමාලිගවලින් ත්‍යාග ලෙස එවන ලද ස්ත්‍රීන්ව සමුද්‍රගුප්ත විසින් පිළිගන්නා ‍ලදී. මේ අරමුණින්ම සමුද්‍රගුප්තගේ පුත් IIවන චන්ද්‍රගුප්ත නාග කුමරියක් වූ කුබර්නගාව සරණපාවා ගත් අතර, චන්ද්‍රගුප්ත සිය දියණිය වූ ප්‍රභාවති කුමරියව වාකාටක රජ IIවන රුද්‍ර සේන හට විවාහ කරදෙන ලදී. මෙම වාකාටක මිත්‍රත්වය ගුප්තවරුන්ගේ උපයා මාර්ගික වශයෙන් වැදගත් පියවරක් ලෙස සැලකේ. රුද්‍ර සේන රජු තරුණ වියේදීම මියයාම හේතුවෙන් ඔහුගේ වැන්දඹුව වූ ප්‍රභාවති සිය පුතුන් නිසි වියට එළඹෙන තෙක් රාජ්‍ය පාලනය මෙහෙයවූවා‍ ය. ඩෙකෑනයේ සෙසු රාජවංශවල සාමාජිකයන් ද ගුප්ත රාජකීය පවුලට ඇතුළත් කරගන්නා ලදී. ගුප්තවරු දකුණින් වූ යටත් ප්‍රදේශ සමග මිත්‍රශීලී සම්බන්ධතා අනුගමනය කළහ. එනම් IIවන චන්ද්‍රගුප්ත විසින් සමුද්‍රගුප්තගේ දකුණු යුධ ව්‍යාපාර යළි අලුත් නොකළ අතර, ඔහු නිරිතදිග ප්‍රදේශ ආක්‍රමණය කෙරෙහි අවධානය යොමුකළේ ය.

කාසි මුද්‍රණය[සංස්කරණය]

සමුද්‍රගුප්ත පිළිබඳ බොහෝ තොරතුරු අනාවරණය වී ඇත්තේ ශිලාලේඛන සහ කාසිවලිනි. මෙකල පිරිසිදු රනින් නිමකළ වෙනස් කාසි වර්ග අටක් නිමවා ඇත. ඔහුගේ ආක්‍රමණ හේතුවෙන් රාජ්‍යයට රත්රන් ලැබුණු අතර, කුෂාණවරුන් සමග සම්බන්ධතා පැවැත්වීමෙන් කාසි නිර්මාණය පිළිබඳ දැනුම ද දියුණු විය. ගුප්ත මූල්‍ය ක්‍රමයේ පියා ලෙස සමුද්‍රගුප්ත සැලකේ. ඔහු වෙනස් වර්ග අටක කාසි මුද්‍රණය කරවී ය. මෙම කාසි ප්‍රභේද සම්මත වර්ගය, දුනුවායා වර්ගය, යුධ කෙටේරි වර්ගය, අශ්වමේධ වර්ගය, ව්‍යාඝ්‍ර මරන්නා වර්ගය, රජු සහ රැජින වර්ගය සහ වීණා වාදක වර්ගය යනුවෙන් කාණ්ඩ කොට ඇත. මෙම කාසි සියුම් ලෙස අනර්ඝ අයුරින් නිමවා ඇත. අවම වශයෙන් කාසි තුන් වර්ගයක — එනම් දුනුවායා වර්ගය, යුධ කෙටේරි සහ ව්‍යාඝ්‍ර ප්‍ර‍භේදවල — සමුද්‍රගුප්ත රජු යුධ සන්නාහ සහිතව නිරූපණය කොට ඇත. මෙම කාසිවල පරාක්‍රම, කෘතන්ත-පරශු (මරණීය යුධ කෙටේරිය), ව්‍යාඝ්‍ර පරාක්‍රම (නීර්භීත ව්‍යාඝ්‍රයා) යන විරුද යොදා තිබීමෙන් ඔහු දක්ෂ රණකාමියකු වූ බව පෙනේ. සමුද්‍රගුප්තගේ අශ්වමේධ වර්ගයේ කාසි මගින් ඔහුගේ අශ්වමේධ යාගය සහ ශ්‍රේෂ්ඨත්වය අනුස්මරණය කරයි.

අනුග්‍රහය[සංස්කරණය]

සමුද්‍රගුප්ත රජු කලාකාමී රජකු ලෙස ද ප්‍රකට ය. අධ්‍යාපනය සඳහා අනුග්‍රහ දැක් වූ ඔහු කීර්තිමත් කවියකු සහ සංගීතඥයකු ලෙස ප්‍රකට ය. ඇතැම් කාසිවල ඔහු වීණාවක් වයනු නිරූපිත ය. කවියන් සහ විද්වතුන් රැස්කළ ඔහු ඉන්දියානු සංස්කෘතිය කලාව, ආගමික සහ සාහත්‍යමය අතින් ප්‍රවර්ධනය කිරීමට මූලික වූයේ ය. සෙසු ගුප්ත රජවරුන් මෙන් ඔහු හින්දු ආගමට අනුග්‍රහ දැක්වූව ද, සෙසු ආගම් කෙරෙහි සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ය. ඔහු විසින් ලංකාවේ බෞද්ධ රජකු වූ සිරි මේඝවණ්ණ රජුට බුද්ධ ගයාවේ විහාරයක් ඉදිකිරීමට අවසර දුන් බවට පැහැදිළි සාධක ඇත.[2]

සමුද්‍රගුප්ත රජු නොයෙකුත් අංශවලට සමර්ථකම් පෙන්වූයෙකි. රණකාමියකු, පාලකයකු, සෙන්පතියකු, කවියකු, සංගීතඥයකු වූ ඔහු පරාර්ථකාමී රජකු විය. කලාවට සහ සාහිත්‍යයට අනුග්‍රහ දැක්වූ ඔහුගේ කාසි සහ ශිලාලේඛනවලින් ඔහුගේ අපූර්ව හැකියා පිළිබඳ පැහැදිළි වේ.

අලහබාද් ප්‍රශස්තියෙන් විස්තර වන ආකාරයට 'සමුද්‍රගුප්ත යනු සෑම අංශයකම විද්වතකු වූ අතර, ඔහු සිය තියුණු නුවණ, සංගීත ඥානය සහ වාදන හැකියාවෙන් දෙවිවරුන්, තඹුරු සහ නාරද ඇතුළු සෙස්සන් පරදවනසුලු තරමේ අයෙකි.ඔහුගේ නාමයක් වූ කවිරාජ් (කවියන්ගේ රජ) යන්න ඔහුගේ නොයෙකුත් කාව්‍ය නිර්මාණ මගින් මොනවට පැහැදිළි වේ.' අවාසනාවට ඔහුගේ කාව්‍ය නිර්මාණ කිසිවක් අද දක්නට නැත. ලේඛකයන්ට ඔහු ඉමහත් අනුග්‍රහයක් දැක් වූ බව හරිසේන සහ වසුබන්ධු වැනි ප්‍රකට සාහිත්‍යධරයන් සිටීමෙන් පැහැදිළි වේ. සමුද්‍රගුප්තගේ දැනුම සහ සංගීත ඥානය පිළිබඳ හරිසේනගේ අනුස්මරණය තහවුරු කෙරෙන දුර්ලභ රන් කාසි කිහිපයක් හමු වී ඇත. මේවායේ රජු උස් ඇන්දක් සහිත සයනයක පහසුවෙන් වාඩි වී වීණාවක් වයන අයුරු නිරූපිත ය.

අනුප්‍රාප්තිය[සංස්කරණය]

සමුද්‍රගුප්ත වසර 40ක් රාජ්‍ය පාලනය සිදුකළ අතර, ඔහුගෙන් පසු සිහසුනට යෝග්‍ය යැයි තේරුණු ඔහුගේ පුත්‍රයකු පත්වන්නට ඇත. පළමුව ඔහු සිය වැඩිමහල් පුත්‍රයාව සිංහාසනාරූඪ කළ ද, අනෙක් පුත්‍රයා වූ චන්ද්‍රගුප්ත ඔහුව මරාදමා සිහසුනට පත්ව ඇත. මෙම නව පාලකයා IIවන චන්ද්‍රගුප්ත ලෙස හැඳින්වෙයි. ඔහු විසින් වික්‍රමාදිත්‍ය යන නාමය උසුලා ඇත.

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 තාපර්, රොමිලා (2002). "ගුප්තවරු සහ ඔවුන්ගේ අනුප්‍රාප්තිකයෝ". ද පෙන්ගුයින් හිස්ට්‍රි ඔෆ් අර්ලි ඉන්ඩියා : ෆ්‍රොම් ද ඔරිජින්ස් ටු AD 1300. ලන්ඩන්: පෙන්ගුයින්. පිටු 282–285. ISBN 9780143029892. https://books.google.co.in/books?id=-5irrXX0apQC. Retrieved 15 අප්‍රේල් 2016. 
  2. 2.0 2.1 2.2 2.3 "සමුද්‍ර ගුප්ත". බ්‍රිටනිකා විශ්වකෝෂය. සම්ප්‍රවේශය 15 අප්‍රේල් 2016.  Check date values in: |access-date= (help)
  3. දික්ෂිතාර්, වී. ආර්. රාමචන්ද්‍ර (1993). ද ගුප්ත පොලිටි (යළි මුද්‍රණය 1952 සංස්.). දිල්ලි: මෝතිලාල් බනාර්සිදාස්. පි. 199. ISBN 9788120810242. https://books.google.co.in/books?id=KP_DTtd6kJEC. Retrieved 19 අප්‍රේල් 2016. 
  4. "ඉන්ඩියා හිස්ට්‍රි - රීන් ඔෆ් සමුද්‍රගුප්ත". 
  5. ෆ්ලීට්, ජෝන් ඔෆ්. Corpus Inscriptionum Indicarum: ඉන්ස්ක්‍රිප්ෂන්ස් ඔෆ් අර්ලි ගුප්තස්. වෙළු. III. කල්කටා: ඉන්දියානු රජය, මධ්‍යම ප්‍රකාශන ශාඛාව, 1888, 20-21.
  6. උපින්දර් සිං (1 සැප්තැම්බර් 2008). අ හිස්ට්‍රි ඔෆ් ඒන්ෂන්ට් ඇන්ඩ් අර්ලි මීඩියේවල් ඉන්ඩියා: ෆ්‍රොම් ස්ටෝන් ඒජ් ටු ද 12ත් සෙන්චරි. පියර්සන් එඩියුකේෂන් ඉන්ඩියා. පිටු 477–. ISBN 978-81-317-1120-0. https://books.google.com/books?id=H3lUIIYxWkEC&pg=PA477. Retrieved 4 අගෝස්තු 2012. 

බාහිර සබැඳි[සංස්කරණය]

රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තික වූයේ
චන්ද්‍රගුප්ත I
ගුප්ත අධිරාජයා
335–380
අනුප්‍රාප්තික වූයේ
චන්ද්‍රගුප්ත II
"https://si.wikipedia.org/w/index.php?title=සමුද්‍රගුප්ත&oldid=387382" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි