Jump to content

බුද්ධගයා

විකිපීඩියා වෙතින්
බුද්ධගයා
बोधगया
නගරය
මහාබෝධි විහාරය
මහාබෝධි විහාරය
බුද්ධගයා is located in ඉන්දියාව
බුද්ධගයා
බුද්ධගයා
බුද්ධගයා is located in බිහාරය
බුද්ධගයා
බුද්ධගයා
ඛණ්ඩාංක: 24°41′42″N 84°59′29″E / 24.695102°N 84.991275°E / 24.695102; 84.991275ඛණ්ඩාංක: 24°41′42″N 84°59′29″E / 24.695102°N 84.991275°E / 24.695102; 84.991275
රටඉන්දියාව
ප්‍රාන්තයබිහාර්
දිස්ත්‍රික්කයගයා
සරිය
 • මුළු249 කිමී2 (96 සතරැස් සැත)
ජනගහණය(2011)
 • මුළු38,434
 • ඝණත්වයBad rounding here150/කිමී2 (Bad rounding here400/වර්ග සැත)
භාෂා
 • නිලමාගධී, හින්දි
වේලා කලාපIST (UTC+5:30)

බුද්ධගයා යනු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගයා දිස්ත්‍රික්කයෙහි නගරයකි. එහිදී බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වූ නිසා එම නගරය ප්‍රසිද්ධියට පත් වී ඇත.

ඓතිහාසිකව එය හැඳින්වුයේ බෝධි මණ්ඩ යනුවෙනි (බෝධිය වටා බිම) එහි අති විශාල භික්ෂු සංඛ්‍යාවක් වැඩ සිටියහ. බුද්ධගයාවේ ප්‍රධාන භික්ෂු ආරාමය හඳුන්වන ලද්දේ බෝධි මණ්ඩ විහාරය යන (පාලි) නාමයෙනි. දැන් එය මහා බෝධි විහාරය නමින් හැඳින් වේ.

බුද්ධගයාව, බෞද්ධයින්ට ඉතා වැදගත් ගෞතම බුදුන් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ ප්‍රධාන වන්දනීය ස්ථාන හතරෙන් එකකි. අනික් ස්ථාන වන්නේ කුශිනගර්, ලුම්බිණි සහ සාරානාත් යන ස්ථානයි. 2002 වර්ෂයේ බුද්ධගයාවේ මහා බෝධි විහාරය යුනෙස්කෝ ලෝක උරුම භූමියක් ලෙස නම් කරන ලදි. බෞද්ධ පරම්පරාගත කථා අනුව ක්‍රි.පු. 500 දි පමණ ශාක්‍ය කුමාරයෙකු වූ සිද්ධාර්ථ ගෞතම, භික්ෂුවක මෙන් සංචාරය කරද්දි 'ගයා' ආසන්නයේ වු ෆල්ගු නදියෙහි ඉවුරට පැමිණියේය. එහි බෝ රුකක් යට සිද්ධාර්ථ බෝසත්හු භාවනායෝගිව වැඩ සිටියහ. දින තුනක් සහ රාත්‍රි තුනක් මෙසේ භාවනානුයෝගීව සිටීමෙන් අනතුරුව සිදුහත් තවුසාණන් බුද්ධත්වයට පත්ව උන් වහන්සේගේ බලාපොරොත්තුව සාක්ෂාත් කර ගත්තහ. ඉන් පසු සති හතක් තිස්සේ ඒ අසලම ස්ථාන හතක භාවනා කරමින් තම අත්දැකිම් නැවත නැවත සිහි කරමින් කල් ගත කොට අවසානයේ සාරානාත් වෙත ගොස් තමන්ගේ ධර්මය (බුද්ධ ධර්මය) දේශනා කිරීම ආරම්භ කළේය.

හින්දු දින දර්ශනය අනුව වෙසක් මස පුර පසොලොස්වක දිනයක බුදුන් බුද්ධත්වයට පත් වූ ස්ථානය වෙත ගෞතම සිද්ධාර්ථයන්ගේ සිසුහු පැමිණුනාහ. කල් ගත වත්ම එම ස්ථානය බුද්ධගයා නමින්ද බුද්ධත්වයට පත් වූ දිනය බුද්ධ පූර්ණිමා ලෙසද එම වෘක්ෂය බෝධිය ලෙසින්ද හැඳින්වීම ආරම්භ වුනේය.

බොහෝ වාර්තා වල සහ වන්දනාකරුවන්ගේ සටහන් වල බුද්ධගයාව ගැන තොරතුරු ඇතුලත් වී ඇත. චීන වන්දනා කරුවෙකු වූ ෆාහියන්ගේ (5 සියවස) සහ හියුං සෑං (7 වෙනි සියවස) ගේ සටහන් වලට මෙයින් ප්‍රධාන තැනක් හිමි වේ. 13 වන සියවසේදි තුර්කි හමුදාව විසින් යටත් කර ගන්නා තෙක් මෙම ප්‍රදේශය බෞද්ධ ශිෂ්ඨාචාරයේ හදවත ලෙස ශත වර්ෂ ගණනාවක් මුලුල්ලේ පැවතුනේය.

7 වැනි සියවසේදී මෞර්ය අධිරාජ්‍යය වන අශෝක රජු විසින් බෝධි වෘක්ෂය අසළ ඉදි කරන ලද පන්සල

මහාබෝධි පන්සල

[සංස්කරණය]

මෙම විහාර සංකීර්ණය පැට්නා නගරයට කි.මී. 96 ක් ඈතින් පිහිටයි. එහි වජ්‍රාසන නම් දියමන්ති සිංහාසනයක්ද, පූජනීය බෝධියද පිහිටයි. මෙම බෝධිය ශ්‍රී ලංකාවේ ශ්‍රී මහා බෝධියේ අංකුරයකින් ජනිත වූවකි. ශ්‍රී ලංකාවේ ශ්‍රී මහා බොධිය යනු බුදුන් පිට දුන් මුල් බෝධියේ ශාඛාවකි.

බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වීමෙන් අවුරුදු 250 කට පසු අශෝක අධිරාජයා මෙම බුද්ධගයාවට පැමිණියේ යයි විශ්වාස කරනු ලැබේ. මුල්ම මහා බෝධි විහාරයේ නිර්මාතෘවරයා ඔහු යයි සළකනු ලැබේ. මෙම විහාරය දිගැටි කොත් ආකාරයෙන් නිර්මිතය. මුදුනේ කුඩා ස්ථූපයක්ද ඒ මත වූ වේදිකාවක චත්‍රාවලියක්ද ඇත. ඉහළ පූජා මහලට සහ වේදිකාවට යාමට ද්විත්ව පියගැට පෙලක් තිබේ. කොතෙහි කුහර තුල ඇති කුඩා කුටි බුද්ධ ප්‍රථිමා වලින් යුක්තය. කුශාන් රජ සමය තුල 1 වැනි සියවසේදි මෙම විහාරය පිළිසකර කරන්නට හෝ ගොඩනංවන්නට ඇතැයි ඉතිහාසඥයෝ විශ්වාස කරති. ඉන්දියාවේ බුදු දහම පරිහාණියට පත් වීමෙන් පසු මෙම පන්සල මහජන අවධානයෙන් බැහැර වී පාලුවට ගොස් පස් තට්ටුවලින් වැසී ගිය බව පැවසේ.

පසුව 19 වෙනි ශතවර්ෂයේ අගභාගයේ බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා සංගමයෙන් පැවරුණ රාජකාරියක කොටසක් ලෙස ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතා මෙම සිද්ධස්ථානය ප්‍රතිසංස්කරණය කළේය. 1883 දි කණිංගැම් ජේ.ඩි.බෙග්ලර්,ආචාර්ය රාජේන්ද්‍ර ලාල් මිත්‍රා හා එක්ව මහත් පරිශ්‍රමයක් දරා මෙම පුදබිමෙහි කැණීම් ආරම්භ කළේය. බුද්ධාගමේ පෞරාණික ශ්‍රී විභූතිය නැවත ලබා ගැනීම සඳහා මහා පරිමාණයේ ප්‍රතිසංස්කරණ කටයුතු කරගෙන යන ලදී.

අනෙකුත් බෞද්ධ පන්සල්

[සංස්කරණය]

සමුද්‍රගුප්ත රජතුමාගේ සමකාලීනයෙකු වූ ශ්‍රී ලංකාවේ කිත්තිසිරිමෙවන් රජු සමුද්‍රගුප්තගේ අවසරය ඇතිව මහා බෝධි විහාරය අසල සංඝාරාමයක් කරවන ලද්දේ බුද්ධගයාවට බෝධි වන්දනාව පිණිස පැමිණෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය පිණිසයි. සංඝාරාමය පිළිබඳ තත්වය හියුංග් සෑන්ග් විසින් ඔහු දැක තිබූ පරිද්දෙන් විස්තර කර ඇත. බුද්ධඝෝෂ තෙරුණුවන්හට රේවත තෙරණුවන් හමුවී ඔහුට ලංකාවට පැමිණීමට ඇරයුම් කරන්නට ඇත්තේ මෙහිදී විය හැක.

වර්තමානයේ බ්‍රිතාන්‍යය, චීනය, ජපානය, මියන්මාරය, නේපාලය, සික්ඛිම්, ශ්‍රී ලංකාව, තායිලන්තය, ටිබෙට්ය සහ වියට්නාම්ය යන රටවල් විසින් බෞද්ධ පන්සල් ගොඩ නංවා ඇත. මෙම ගොඩනැගිලි තුළින් ඒ ඒ රටවල් වල ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයන් මෙන්ම බාහිර සහ අභ්‍යන්තර සැරසිලි කලාවන්ද පිළිබිඹුවේ. චීන විහාරයේ තිබෙන බුදු පිළිමය අවුරුදු 200 ක් පැරණි වූවකි. තවද ජපානයේ නිපොන් විහාරය දාගැබක හැඩය ගනී. මියන්මාර් (බුරුමය) විහාරයද පැගෝඩාවක හැඩය දරන අතර, 'පගන්' සිහි ගන්වන්නකි. තායි පන්සල තායිලන්තයේ අනන්‍යතාවයෙන් යුත් බෑවුම් ආකාර, රත්‍රරන් උළු සෙවිළි කළ කවාකාර වහලින් යුක්ත විය. එතුල දැවැන්ත අලංකාර ලෝකඩ බුදු පිළිමයක් තිබේ. තායි පන්සල අසලින්ම උද්‍යානයක් තුල මෑත කාලීන මීටර් 25 ක් දිග බුදු පිළිමයක් තිබේ. එය අවුරුදු 100 ක් පමණ කාලයක් තිස්සේ එහි තිබෙන බව කියවේ. ටිබෙට් ජාතිකයින් සඳහා ද එහි පන්සල් දෙකක් ගොඩනගා ඇත.

බුද්ධගයාවේ ජනගහණය

[සංස්කරණය]

2001 ඉන්දීය ජනගහණයට අනුව බුද්ධගයාවේ ජනගහණය 30,883 කි. පිරිමි සංයුතිය 54% ක් වන අතර, ගැහැණු 46% කි. සාක්ෂරතාවය 51% වන අතර එය ජාතික මට්ටම වන 59.5% ට වඩා අඩුය. පිරිමින්ගේ සාක්ෂරතාවය 63% කි. ගැහැණු 38% කි.ජනගහණයෙන්18% ක ප්‍රමාණයක් අවුරුදු 6 ට අඩු ළමයි වෙති.

මේවාද බලන්න

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=බුද්ධගයා&oldid=473507" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි