කන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(කණ වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
කන
Earrr.JPG
මානව (බාහිර) කන
තොරතුරු
ලතින් ඔරිස්
පද්ධතිය ශ්‍රවණ පද්ධතිය
හඳුන්වනයන්
MeSH D004423
TA A01.1.00.005
A15.3.00.001
FMA 52780
කාය විද්‍යාත්මක නාමකරණය

සැකිල්ල:Ear series

කන යනු ශ්‍රවණය සඳහාත්, ක්ෂීරපායීන් තුළ සමබරතාව පවත්වාගැනීම සඳහාත්, වැදගත් වන අවයවයයි. ක්ෂීරපායීන් තුළ කන ප්‍රධාන කොටස් තුනකට බෙදා විස්තර කෙරේ—එනම් බාහිර කන, මැද කන සහ ඇතුළු කන ලෙසයි. බාහිර කන යටතට කන්පෙත්ත සහ බාහිර ශ්‍රවණ නාලය අයත් වේ. බොහෝ සතුන්ගේ බාහිර කන පමණක් පිටතට දිස්වන නිසා "කන" යන වදන බොහෝ විට එහි බාහිර කොටසට භාවිතා කරන දැකිය හැක.[1] මැද කන යටතට, කර්ණපටහ කුටීරය සහ කර්ණ අස්ථිකා තුනක් අයත් වේ. අස්ථිමය ගහනය තුළ ඇතුළු කන පිහිටා ඇති අතර, එය නොයෙකුත් සංවේදනයන් ප්‍රතිග්‍රහණයට වැදගත් වන විවිධ ව්‍යුහ දරයි: ඒ අතර ක්ෂණික චලනවලදී දේහ සමතුලිතතාව පවත්වා ගැනීමට වැදගත් අර්ධ චක්‍රාකාර නාල, ස්ථිතික සමතුලිතතාව සඳහා වැදගත් තුම්භිකාව සහ ස්‍යෝනිකාව ද, ශ්‍රවණය සඳහා වැදගත් කර්ණශංඛය යන ව්‍යූහ වැදගත් වේ. පෘෂ්ඨවංශීන්ගේ කන හිසේ දෙපස යම් සමමිතික ආකාරයකින් ස්ථානගත වී පවතී.

කන වර්ධනය වන්නේ මුල් කලලයේ පළමු ග්‍රසනික මඩියෙන් සහ බහිෂ්චර්මයෙන් ඇති වන ශ්‍රවණ ඵලකාභයෙන් හටගන්නා ඉදිමුම් හයකිනි.

නොයෙකුත් ආසාදන සහ අනතුරු හේතුවෙන් කනට හානි සිදු විය හැක. කනේ ඇතිවන රෝග හේතුවෙන් බිහිරිභාවය සහ සමබරතාවේ අක්‍රමවත් භාවයන් ඇති විය හැක. බොහෝ විට මෙවැනි තත්ත්ව හටගන්නේ මොළයේ හෝ කන වෙ. දිවෙන ස්නායුවලට සිදුවන හානි නිසායි..

වසර දහස් ගණනක සිට නොයෙකුත් සංස්කෘතීන් විසින් කරාඹු වැනි ආභරණ භාවිතයෙන් කන් සරසනු ලබයි.

ව්‍යූහය[සංස්කරණය කරන්න]

බාහිරින් බැලූවිට කන්බෙරය පෙනෙන අයුරු. බාහිර කන කන්බෙරය අසලින් අවසන් වන අතර, පිටුපසින් කර්ණපටහ කුහරය දැකිය හැක.

මානව කන ප්‍රධාන කොටස් තුනකින් සමන්විත ය— බාහිර කන, මැද කන සහ ඇතුළු කන ඒවා වේ.[2] බාහිර කනේ පිහිටි බාහිර ශවණ නාලය, මැදකනේ කර්ණපටහ කුහරයෙන් වෙන්කරන්නේ කන්බෙරය මගිනි. මැද කන කුඩා අස්ථිකා තුනකින් සමන්විත ය. කර්ණ අස්ථිකා ලෙස හඳුන්වන මේවා ධ්වනි සම්ප්‍රේෂණය සඳහා වැදගත් වේ. මැද කන යුස්ටේකීය නාළයේ ග්‍රසනික විවෘතවීම හරහා උගුරේ නාසාග්‍රසනිකාව වෙත විවෘත වේ. ඇතුළු කන තුම්භිකාව සහ ස්‍යෝනිකාව යන කර්ණාශ්ම අවයව දෙකෙන් ද, අර්ධ චක්‍රාකාර නාල සහ ශ්‍රවණ පද්ධතියට අයත් කර්ණශංඛය යන අවයවයන්ගෙන් සමන්විත ය.[2]

බාහිර කන[සංස්කරණය කරන්න]

බාහිර කන, කනේ බාහිරතම කොටස වන අතර, එය යටතට මාංසලමය කන්පෙත්ත, බාහිර ශ්‍රවණ නාලය, සහ කන්බෙරයේ පිටත පටලය (කර්ණපටහ පටලය ලෙස ද හඳුන්වයි) අයත් වේ.[2][3]

කන්පෙත්තේ ඇති පිටත වක්‍රාකාර ගැට්ට හෙලික්සය ලෙස හඳුන්වයි. එහි ඇතුළු වක්‍රාකාර ගැට්ට ප්‍රතිහෙලික්සය නම් වේ. එය බාහිර ශ්‍රවණ නාලයට විවෘත වේ. ජාගය නෙරා තිබීමෙන් කර්ණ නාලය තරමක් අපැහැදිළි වේ. ශ්‍රවණ නාලයට ඉදිරියෙන් වූ වක් වූ ස්ථානය ශංඛිකාව ලෙස හඳුන්වයි. බාහිර ශ්‍රවණ නාලය අඟල් 1ක් (2.5 cm) පමණ දුරකට විහිදේ. ශ්‍රවණ නාලයේ පළමු කොටස කාටිලේජවලින් ආවරණය වී ඇත. කන්බෙරය අසල බිහිටි එහි දෙවන කොටස අස්ථිවලින් ආවරණය වී ඇත. මෙම අස්ථිමය කොටස ශ්‍රවණ බුද්බුදය ලෙස හඳුන්වයි. මෙය ශංඛක අස්ථියේ කර්ණපටහ පෙදෙස මගින් ඇති වේ. ශ්‍රවණ නාලය වටා පිහිටි සමේ සෙරුමිනස් ග්‍රන්ථි සහ ස්නේහස්‍රාවී ග්‍රන්ථි පිහිටයි. මේවා ආරක්ෂක කර්ණ ඉටි හෙවත් කලාඳුරු නිපදවයි. ශ්‍රවණ නාලය අවසන් වන්නේ කන්බෙරයේ බාහිර පෘෂ්ඨය අසලිනි.[3]

බාහිර කන සමග පේශි කට්ටල දෙකක් සම්බන්ධව පවතියි. එනම්: අභ්‍යන්තරස්ථ පේශි සහ බාහිරස්ථ පේශි ය. ඇතැම් ක්ෂීරපායීන් තුළ, මෙම පේශිවලට කන්පෙත්තේ පිහිටුම පාලනය කළ හැක.‍[3] මිනිසුන් තුළ මෙම පේශිවලින් ඇත්තේ ඉතා අල්ප ප්‍රයෝජනයක් හෝ ප්‍රයෝජනයක් නොමැති තරම් ය.[4] මෙම කර්ණ පේශිවලට වක්ත්‍ර ස්නායුව මගින් ස්නායු සැපයෙන අතර, මෙය කනේ සමෙහි මෙන්ම බාහිර කර්ණ කුටීරයේ සංවේදන සඳහා ද හේතු වේ. මහා කර්ණාකාර ස්නායුව, කාර්ණාකාර ස්නායුව, කර්ණාකාරශංඛක ස්නායුව සහ ග්‍රෛවී ප්‍රතානයේ කුඩා හා මහා අපරකපාල ස්නායු බාහිර කනේ කොටස් සහ අවට සම වෙත සංවේදන සපයයි.[3]

බාහිර කන්පෙත්ත තනි ප්‍රත්‍යාස්ථ කාටිලේජ කොටසකින් සමන්විත ය. එහි ඇතුළු පෘෂ්ඨය උන්නත ස්වරූපයක් සහ අපර පෘෂ්ඨය සුමට ස්වභාවයකින් යුක්ත ය. ඇතැම්විට කන්පෙත්තේ හෙලික්සයේ අවරෝහණ පෙදෙසේ ඩාවින්ගේ ගැටිත්ත නැමැති ගැටිත්තක් පිහිටයි. මෙය ඇතැම් ක්ෂීරපායීන්ගේ කර්ණ තුඩට අනුරූප වේ. කන්පෙත්ත අරියල සහ මේද පටකයෙන් නිර්මාණය වී ඇත.[5] කන් දෙකෙහි සමමිතික සැකසුම හේතුවෙන් ශබ්ද ස්ථානගතකරණය පහසු වේ. මොළය මෙය තේරුම් ගන්නේ එක්එක් කනෙහි ආවර්ත කාල සහ තීව්‍රතා අනුවයි. මේ සඳහා කන් දෙකටම සම්බන්ධව ඇති උත්තර ඔලීව සංකීර්ණය සහ ත්‍රපීසියම් දේහ උපකාරී වේ.[6]

මැද කන[සංස්කරණය කරන්න]

මැද කන

මැද කන පිහිටන්නේ බාහිර කන සහ ඇතුළු කන අතර ය. මෙය වාතය පිරි කුටීරයක් වන අතර, මෙම කුටීරය කර්ණපටහ කුටීරය නම් වේ. කර්ණපටහ කුටීරය තුළ කර්ණ අස්ථිකා තුනක්, ඒවායේ සම්බන්ධක බන්ධනි, යුස්ටේකීය නාලය, ගෝලාකාර සහ අණ්ඩාකාර ගවාක්ෂ පිහිටයි. කර්ණ අස්ථිකා යනු කන්බෙරයේ සිට ඇතුළු කන වෙත ධ්වනි තරංග වර්ධනය කර සම්ප්‍රේෂණය කරන කුඩා අස්ථි වේ. මෙම කර්ණ අස්ථිකා තුන නම්, මුද්ගරිකාව, නිඝාතිය සහ ධරණකයයි. ධරණකය යනු සිරුරේ ඇති කුඩාම නම්කළ අස්ථියයි. මැද කන යුස්ටේකීය නාළයේ ග්‍රසනික විවරය ඔස්සේ නාසාග්‍රසනිකාවේ දී උගුරේ ඉහළ පෙදෙස හා සම්බන්ධ වේ.[3][7]

මෙම කර්ණ අස්ථිකා තුන ඔස්සේ ධ්වනිය බාහිර කනේ සිට ඇතුළු කන වෙත සම්ප්‍රේෂණය වේ. මුද්ගරිකාවේ දිගු කොටස (මිට) බන්ධනියක් මගින් කන්බෙරයට සම්බන්ධ වේ. මුද්ගරිකාව කන්බෙරයේ ධ්වනි කම්පන ප්‍රතිග්‍රහණය කරගනියි. අනතුරුව එම කම්පන නිඝාතිය වෙත සම්ප්‍රේෂණය වන අතර, නිඝාතිය ඔස්සේ එය කුඩා ධරණය වෙත සම්ප්‍රේෂණය වේ. ධරණ‍කයේ පළල් පාදම කොටස අණ්ඩාකාර ගවාක්ෂය හා සම්බන්ධව පවතියි. ධරණකය කම්පනය වන විට, එම කම්පන අණ්ඩාකාර ගවාක්ෂය ඔස්සේ කර්ණශංඛයේ ඇති තරලය වෙත සම්ප්‍රේෂණය වේ.[3]

ගෝලාකාර ගවාක්ෂය ඇතුළු කනේ තරලය චලනය වීමට ඉඩ සලසා දෙයි. ධරණක අස්ථිකා ද්විතීයික කර්ණපටහ පටලය කම්පනය කරන විට, ඇතුළු කනේ තරලය කම්පනය වී ගෝලාකාර ගවාක්ෂයේ පටලය සැලකිය යුතු ප්‍රමාණයක් මැද කන දෙසට තල්ලු වේ. මෙම කර්ණ අස්ථිකා ධ්වනි තරංග ආසන්නව 15-20 වරක් පමණ වර්ධනය කරයි.[2]

ඇතුළු කන[සංස්කරණය කරන්න]

පිටත කන ලබාගන්නා ධ්වනිය මැදි කනේ කර්ණ අස්ථිකා ඔස්සේ ඇතුළු කන වෙත සම්ප්‍රේෂණය වේ. එහි දී ධ්වනි තරංග කර්ණශංඛයේ දී ස්නායු ආවේගයක් බවට පත්ව ශ්‍රවණ ස්නායුව ඔස්සේ සම්ප්‍රේෂණය වේ

ඇතුළු කන පිහිටන්නේ ශංඛක ඛණ්ඩිකාවේ පිහිටි අස්ථිමය ගහනය නැමැති සංකීර්ණ කුටීරය තුළ ය. මෙහි ආලින්දය යනුවෙන් හඳුන්වන මධ්‍ය පෙදෙස තරලය පිරි අවකාශයන් දෙකකින් යුක්ත වේ. එම ස්ථාන දෙක තුම්භිකාව සහ ස්‍යෝනිකාව ලෙස හඳුන්වයි. මේවා අර්ධ චක්‍රාකාර නාල සහ කර්ණශංඛයට සම්බන්ධ වේ. ඇතුළු කනේ එකිනෙකට ලම්බව පිහිටි අර්ධ චක්‍රාකාර නාල තුනකි‍. මේවා දේහයේ ගතික සමතුලිතතාව පවත්වා ගැනීමට උපකාරී වේ. ශ්‍රවණ සංවේදනය සඳහා වැදගත් අවයවය වන කර්ණශංඛය සර්පිලාකාර බෙලිකටු හැඩැති අවයවයකි‍. මෙම ව්‍යූහ එක්වී පටලමය ගහනය සෑදේ.[8]

අස්ථිමය ගහනය යනුවෙන් හැඳින්වෙන්නේ ශංඛක අස්ථිය තුළ පිහිටි පටලමය ගහනය දරා සිටින අස්ථිමය කුටීරයයි. ව්‍යුහාත්මකව, ඇතුළු කන ඇරඹෙන්නේ අණ්ඩාකාර ගවාක්ෂයෙනි. මෙම අණ්ඩාකාර ගවාක්ෂය මැදකනේ ධරණකයෙන් තරංග ප්‍රතිග්‍රහණය කරයි. අනතුරුව මෙම කම්පන ඇතුළු කනේ පිහිටි අන්තෝවසා නැමැති තරලය වෙත සම්ප්‍රේෂණය වේ. පටලමය ගහනය අන්තෝවසාවලින් පිරී ඇත. අන්තෝවසා කර්ණාලින්දයේ තුම්භිකාව සහ ස්‍යෝනිකාව යන කොටස් දෙක තුළ පිහිටයි. අනතුරුව කම්පන සර්පිලාකාර හැඩැති ව්‍යූහයක් වන කර්ණශංඛය වෙත සම්ප්‍රේෂණය වේ. කර්ණශංඛය තරලය පිරි අවකාශ තුනකින් සමන්විත ය. එනම්: ආලින්ද නාලය, කර්ණශංඛ නාලය, සහ කර්ණපටහ නාලයයි.[3] කර්ණශංඛයේ පිහිටි කෝර්ටි අවයවය තුළ යාන්ත්‍රික සංවේදන විද්‍යුත් ආවේගයක් බවට පරිනාමණය කරන රෝම සෛල අන්තර්ගත ය.[8]

රුධිර සැපයුම[සංස්කරණය කරන්න]

කනේ එක් එක් කොටස අනුව රුධිර සැපයුම සිදුවන ආකාරය විවිධ වේ.

බාහිර කන වෙත ධමනි කිහිපයක් මගින්ම රුධිර සැපයුම සිදු කරයි. මේ අතුරින් අපර කර්ණාකාර ධමනිය වැඩිම රුධිර ප්‍රමාණයක් සපයයි. මීට අමතරව පූර්ව කර්ණාකාර ධමනි කනේ පිටත ගැටිත්ත සහ එය පසුපස ශීර්ෂචර්මය වෙත රුධිරය ස්වල්පයක් සපයයි. අපර කර්ණාකාර ධමනිය යනු බාහිර ශීර්ෂපෝෂී ධමනියේ ඍජු ශාඛාවකි. පූර්ව කර්ණාකාර ධමනි යනු තලස්ථ ශංඛක ධමනියේ ශාඛා වේ. අපරකපාල ධමනිය ද රුධිර සැපයුමේ දී වැදගත් වේ.[8]

මැද කන වෙත රුධිර සපයන්නේ අපරකපාල හෝ අපර කර්ණාකාර ධමනිවල චූචුකාකාර ශාඛා මගින් සහ ඌර්ධවහනුක ධමනියේ ශාඛාවක් වන ගැඹුරු කර්ණාකාර ධමනිය මගිනි. මේ හැර තවත් ධමනි පැවතුණ ද, ඒවා වැදගත් වන්නේ සුළු වශයෙනි. මෙම වෙනත් ධමනි අතර මධ්‍ය මෙනින්ජීය ධමනිය, ආරෝහණ ග්‍රසනික ධමනිය, අභ්‍යන්තර ශීර්ෂපෝෂී ධමනිය යන ධමනිවල ශාඛාවන් සහ ගරුකාභ නාලයේ ධමනිය ද වේ.[8]

ඇතුළු කන වෙත රුධිරය සපයන්නේ උර්ධවහනුක ධමනියේ පූර්ව කර්ණපටහ ශාඛාව, අපර කර්ණාකාර ධමනියේ කීලාභචූචුකාකාර ශාඛාව, මධ්‍ය මෙනින්ජීය ධමනියේ සෙලැට ශාඛාව සහ පූර්ව අධර අනුමස්තිෂ්ක ධමනිය හෝ පාදාශ්‍ර ධමනිය මගින් පැනනගින ගහනමය ධමනිය යන ධමනි මගිනි.[8]

කෘත්‍යය[සංස්කරණය කරන්න]

ශ්‍රවණය[සංස්කරණය කරන්න]

ධ්වනි තරංග බාහිර කන ඔස්සේ ගමන්කොට මැද කන තුළ කම්පනය වී ඇතුළු කනේ ශ්‍රවණ ස්නායුව වෙත සම්ප්‍රේෂණය වේ. මෙම ස්නායුව මොළයේ ශංඛක ඛණ්ඩිකාව වෙත තොරතුරු සම්ප්‍රේෂණය කරන අතර, එහිදී එම ආවේග ශබ්දය ලෙස හඳුනාගැනේ.

බාහිර කන ඔස්සේ ඇතුළු වන ධ්වනිය කන්බෙරයේ ගැටී කන්බෙරය කම්පනය කරවයි. අනතුරුව ශ්‍රවණ අස්ථිකා ත්‍රිත්වය මගින් මෙම ධ්වනිය, තරල පිරි ඇතුළු කන ආරක්ෂා කරන දෙවන කවුළුවක් (අණ්ඩාකාර ගවාක්ෂය) වෙත සම්ප්‍රේෂණය වේ. සවිස්තර පැවසුවහොත් බාහිර කනේ බාහිර කන් පෙත්ත ශබ්දය සාන්ද්‍රණය කොට කන්බෙරය වෙත යොමු කරවයි. කන්බෙරයේ ඇතුළු පටලය හා සම්බන්ධව ඇති මුද්ගරිකාව එම කම්පන ප්‍රතිග්‍රහණය කරයි‍. අනතුරුව මෙම කම්පන නිඝාතිය සහ ධරණකය ඔස්සේ අණ්ඩාකාර ගවාක්ෂය වෙත සම්ප්‍රේෂණය කෙරේ. කුඩා පේශි දෙකක් වන කර්ණපටහ ආතානකය සහ stapedius යන පේශීන් ද හඬ උස් පහත් කිරීමට උපකාරී වේ. මෙම පේශි දෙක මගින් ප්‍රතීකයක් ලෙස සංකෝචනය වෙමින් අතිරික්ත කම්පන අවශෝෂණය කර ගනියි‍. අණ්ඩාකාර ගවාක්ෂය කම්පනය හේතුවෙන් ආලින්දය සහ කර්ණශංඛය තුළ ඇති අන්තෝවසා කම්පනය වේ.[9]

අභ්‍යන්තර කන තුළ මැද කන ඔස්සේ බාහිර පරිසරයෙන් ලැබෙන කම්පන මොළය වෙත ගමන් කරන ශ්‍රවණ ස්නායුවේ ස්නායු ආවේග බවට පරිනාමණය කළ හැකි පරිවර්තක අවයවයක් පිහිටා ඇත. ඇතුළු කනෙහි පිහිටි සියලු නාල තරලයකින් පිරී ඇති අතර, එහි සංවේදී අපිච්ඡදයක් සහ එයට සම්බන්ධ වූ රෝම සෛල පිහිටා ඇත. මෙම සෛලවල පිහිටි ආලෝක අන්වීක්ෂීය "රෝම" ව්‍යූහමය ප්‍රෝටීන සූත්‍රිකා වන අතර ඒවා තරලය දෙසට දිශාගත වී ඇත. මෙම රෝම සෛල යාන්ත්‍ර ප්‍රතිග්‍රාහක විශේෂයක් වන අතර, එය උත්තේජනය වූ විට රසායනික ස්නායු සම්ප්‍රේෂක මුදා හැරේ. තරලය ඔස්සේ සම්ප්‍රේෂණය වන ධ්වනි තරංග කෝර්ටි අවයවයේ ප්‍රතිග්‍රාහක සෛලවලට එරෙහිව ගමන් කරයි. තරලය ගලා යන විට මෙම තනි සෛලවල සූත්‍රිකා චලනය වන අතර මේ හේතුවෙන් ප්‍රතිග්‍රාහක සෛලවල පරිවහන මාර්ග පොටෑසියම්-බහුල අන්තෝවසාවලට විවෘත වේ. මේ හේතුවෙන් සෛල විධ්‍රැවණය වී ක්‍රියා විභවයක් නිර්මාණය වේ. මෙම ක්‍රියා විභවය සර්පිල ගැංග්ලියම ඔස්සේ සම්ප්‍රේෂණය වී ශ්‍රවණ තොරතුරු ශ්‍රවණ ස්නායුව ඔස්සේ මොළයේ ශංඛක ඛණ්ඩිකාව වෙත ගමන් කරයි.[9]

මිනිස් කනට සාමාන්‍යයෙන් 20 Hz සහ 20 kHz (ශ්‍රවණ පරාසය) අතර සංඛ්‍යාත පරාසයක වූ ධ්වනිය සංවේදනය කළ හැක. මෙම පරාසයෙන් පිටත පිහිටි ධ්වනිය අධෝධ්වනිය (20 Hzට අඩු)[10] හෝ අතිධ්වනිය (20 kHzට වැඩි) ලෙස හඳුන්වයි.[11] සාමාන්‍යයෙන් ශ්‍රවණය සඳහා මධ්‍ය ස්නායු පද්ධතියේ ශ්‍රවණ පෙදෙසේවල නිසි ක්‍රියාකාරීත්වයක් පැවතියි යුතු වුවද, මානව බිහිරිභාවය (ශබ්දයට අතිශයින් සංවේදී නොවීම) සඳහා බොහෝවිට හේතු වනුයේ මධ්‍ය ස්නායු පද්ධතියේ ප්‍රදේශ හෝ ස්නායුවල ආබාධ නොව ඇතුළු කනේ අසාමාන්‍යතාවන් ය.

සමතුලිතතාව[සංස්කරණය කරන්න]

චලනවලදී මෙන්ම ස්ථායීව සිටින විට දේහ සමතුලිතතාව පවත්වා ගැනීම කනේ ප්‍රධාන කෘත්‍යයකි. කන සමතුලිතතා ආකාර දෙකක් පවත්වා ගැනීම සඳහා වැදගත් වේ. එනම්: ගතික සමතුලිතතාව සහ ස්ථිතික සමතුලිතතාවයි. ස්ථිතික සමතුලිතතාව මගින් ගුරුත්වයේ බලපෑම් සංවේදනය කිරීමට හැකියාව ලැබේ. ගතික සමතුලිතතාව හේතුවෙන් පුද්ගලයාට ත්වරණ සංවේදනය කළ හැකි වේ.

ස්ථිතික සමතුලිතතාව සඳහා වැදගත් වනුයේ ආලින්දයේ පිහිටි කොටස් දෙක වන තුම්භිකාව සහ ස්‍යෝනිකාවයි. ආලින්දයේ මෙම කොටස් දෙකෙහි බිත්ති සෑදී ඇති සෛලවල සිහින් සූත්‍රිකා දක්නට ලැබෙයි. එසේම මෙම සෛල ජෙලටිනීය ස්තරයකින් ආස්තරණය වී ඇත. සෑම සෛලයක් සතුවම සිහින් සූත්‍රිකා 50–70ක් පමණ සහ විශාල සූත්‍රිකාවක් ඇත. මෙම විශාල සූත්‍රිකාව kinocilium ලෙස හඳුන්වයි. මෙහි ජෙලටිනීය ස්තරය තුළ කර්ණාශ්ම නැමැති කුඩා කැල්සියම් කාබනේට් ස්ඵටික අන්තර්ගත ය. පුද්ගලයකු චලනය වන විට, මෙම කර්ණාශ්මවල පිහිටීම වෙනස් වේ. මේ හේතුවෙන් සූත්‍රිකාවල පිහිටුම් ද වෙනස් වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සෛල පටලයේ පිහිටි අයන නාල විවෘත වේ. එවිට සෛල පටල විධ්‍රැවණය වී ශ්‍රවණ ස්නායුව ඔස්සේ මොළය වෙත ක්‍රියා විභවයක් සම්ප්‍රේෂණය වේ.[9][12]

ගතික සමතුලිතතාව පවත්වා ගැනීම සඳහා අර්ධ චක්‍රාකාර නාල ත්‍රිත්වය උපකාරී වේ. මෙම නාල තුන එකිනෙකට ලම්බ දිශාවලට පිහිටා ඇත. මේ සෑම නාලයකම අග කෙළවර මඳක් විශාල වී ඇත. මෙම ස්ථාන කුම්භිකා ලෙස හඳුන්වයි. මෙම කුම්භිකාවල මධ්‍ය ප්‍රදේශයේ විවිධ සෛල සහ සූත්‍රිකාවලින් සෑදුණු ගොටුව නැමැති ව්‍යූහයන් පිහිටයි. මෙම අර්ධ චක්‍රාකාර නාල තුළ පිහිටි තරලය හිසේ ගම්‍යතාව අනුව භ්‍රමණය වේ. පුද්ගලයකුගේ ත්වරණය වෙනස් වන විට, තරලයේ අවස්ථිතිය වෙනස් වේ. මේ හේතුවෙන් ගොටුව මත පීඩනයක් ඇති වී අයන නාල විවෘත වේ. මේ හේතුවෙන් විධ්‍රැවණය වී සංඥාව ස්නායු ආවේගයක් ලෙස ශ්‍රවණ ස්නායුව ඔස්සේ මොළය වෙත ගමන් කරයි.[9] මෙම ගතික සමතුලිතතාව සහ ආලින්ද-අක්ෂීය ප්‍රතීකය මගින්, චලනය වන විට ඇස්වල දර්ශන පථය පවත්වා ගැනීමට උපකාරී වේ.

වර්ධනය[සංස්කරණය කරන්න]

කලලජනනයේ දී කන වර්ධනය වන්නේ වෙනස් ව්‍යූහයන් තුනක් ලෙසයි: එනම් ඇතුළු කන, මැද කන සහ බාහිර කන ලෙසයි.[13] මේ සෑම ව්‍යූහයක්ම සම්භවය වන්නේ වෙනස් ජනක ස්තරයන්ගෙනි: එනම් පිළිවෙලින් බහිෂ්චර්මය, අන්තශ්චර්මය සහ මධ්‍යශ්ලේෂයයි.[14][15]

ඇතුළු කන[සංස්කරණය කරන්න]

වර්ධනය වන කලලයක ශ්‍රවණ ඵලකාභය දිස්වන අයුරු නිරූපිත සිතුවමක්.

අධිරෝපණයෙන් පසු, දෙවන සිට තෙවන සති අතර කාලයේ වර්ධනය වන කලලයක ජනක ස්තර තුනක් දක්නට ලැබෙයි: එනම් අන්තශ්චර්මය, මධ්‍යචර්මය සහ බහිෂ්චර්මය යි. පළමුවෙන්ම වර්ධනය වන කනේ කොටස ඇතුළු කනයි.[15] මෙය කලල වර්ධනයේ 22වන දිනය අවට බහිෂ්චර්මයෙන් සම්භවය වේ.[14] විශේෂයෙන්ම ඇතුළු කන පැන නගින්නේ හිසේ එක් එක් පැත්තේ පිහිටි ශ්‍රවණ ඵලකාභය යනුවෙන් හඳුන්වන ඝනවීම් ස්ථාන දෙකකිනි. සෑම ශ්‍රවණ ඵලකාභයක්ම බහිෂ්චර්මයෙන් පහතට නෙරා ශ්‍රවණ කූපයක් සහ අනතුරුව ශ්‍රවණ ආශයිකාවක් සෑදේ.[16] මෙම සම්පූර්ණ ස්කන්ධයම, ක්‍රමයෙන් මධ්‍යශ්ලේෂයෙන් වට වී අස්ථිමය ගහනය සෑදේ.[16][17]

වර්ධනයේ 33වන දිනය අවට, මෙම ආශයිකා විභේදනය වීමට පටන් ගනියි. කලලයේ පිට පෙදෙසට සමීපව එමගින් තුම්භිකාව සහ අර්ධ චක්‍රාකාර නාල සෑදේ. කලලයේ ඉදිරිපසට සමීපව ආශයිකා විභේද‍නයෙන් ආකෘතික ස්‍යෝනිකාවක් සෑදේ. මෙය අනාගතයේ ස්‍යෝනිකාව සහ කර්ණශංඛය බවට වර්ධනය වේ. ස්‍යෝනිකාවේ කොටසක් ක්‍රමයෙන් කර්ණශංඛ නාලය බවට වර්ධනය වී සම්බන්ධ වේ. මෙම නාලය දක්නට ලැබෙන්නේ ආසන්න වශයෙන් සයවන සතියේ වන අතර, එය ස්‍යෝනිකාවට සම්බන්ධ වන්නේ ductus reuniens නැමැති ප්‍රණාලයක් ඔස්සේ ය.[14]

කර්ණශංඛ නාලයේ මධ්‍ය ශ්ලේෂය විභේදනය වන්නට පටන් ගැන්මත් සමග, උත්තර සෝපානිකාව, අධර සෝපානිකාව සහ මධ්‍ය සෝපානිකාව යන කුටීර ත්‍රිත්වය නිර්මාණය වේ.[14][17] උත්තර සෝපානිකාව සහ අධර සෝපානිකාව යන කුටීර තුළ පරිවසා නැමැති බහිඃසෛලීය තරලයක් අන්තර්ගත වේ. මධ්‍ය සෝපානිකාව තුළ අන්තෝවසා අන්තර්ගත ය.[17] ආලින්ද පටලය සහ පාදාශ්‍ර පටලය යන පටල සංකීර්ණ වර්ධනය වීමෙන් කර්ණශංඛ නාලය, පිළිවෙලින් ආලින්ද නාලය සහ කර්ණපටහ නාලයෙන් වෙන් කෙරේ.[14]

ශ්‍රවණ ආශයිකාවේ කොටස් ආලින්දකර්ණශංඛ ස්නායුව සාදයි.[18] මේවා ද්විධ්‍රැව ස්නායු සාදන අතර, එමගින් ඇතුළු කනේ කොටස් (නම් වශයෙන් කිවහොත් අර්ධ චක්‍රකාර නාලවල කොටස්, තුම්භිකාව සහ ස්‍යෝනිකාවේ මැකියුලා සහ කෝර්ටි අවයවය) අතර ස්නායු ආවේග සම්ප්‍රේෂණය කරයි. මෙම ස්නායුව නිර්මාණය වීම ඇරඹෙන්නේ 28වන දිනයේ ය.[16]

අණුක ජීවවිද්‍යාත්මක යාමනය

ඇතුළු කන නිර්මාණය සහ එහි රූපජනනය යාමනය කිරීමට වැදගත් ජාන හෝමියොබොක්ස් ජාන පවුලට අයත් ය. මෙයට උදාහරණ ලෙස Pax, Msx සහ Otx හෝමියොබොක්ස් ජාන දැක්විය හැක. කර්ණශංඛය වැනි ඇතුළු කනේ ව්‍යූහ නිර්මාණය යාමනය කරන්නේ Dlx5/Dlx6, Otx1/Otx2 සහ Pax2 ජාන මගිනි. මේවා පාලනය කරන ප්‍රධාන ජානය Shh ජානයයි. Shh ජානය ස්‍රාවය කරනු ලබන්නේ පෘෂ්ඨ රජ්ජුව මගිනි.[19]

මැද කන[සංස්කරණය කරන්න]

මැද කන සහ එහි සංරචක වර්ධනය වන්නේ පළමු සහ දෙවන ග්‍රසනික වක්‍රවලිනි.[16] කර්ණපටහ කුටීරය සහ යුස්ටේකීය නාලය වර්ධනය වන්නේ පළමු වක්‍ර දෙක අතර පිහිටි ග්‍රසනික මඩියේ පළමු කොටසිනි. මෙම ස්ථානය ග්‍රසනිකාව වර්ධනයට ද වැදගත් ය. ඉහත මැද කනේ ව්‍යූහ වර්ධනය වන්නේ නාලකර්ණපටහ අවකාශය (tubotympanic recess) නැමැති ව්‍යූහයක් ලෙස ය.[16] කර්ණ අස්ථිකා (මුද්ගරිකාව, නිඝාතිය, ධරණකය) සාමාන්‍යයෙන් පෙනෙන්නට පටන් ගන්නේ භ්‍රෑණ වර්ධනයේ පළමු අර්ධයේ ය. මින් පළමු අස්ථිකා ද්විත්වය (මුද්ගරිකාව සහ නිඝාතිය) ඇතිවන්නේ පළමු ග්‍රසනික වක්‍රයෙන් වන අතර, ධරණකය ඇතිවන්නේ දෙවන වක්‍රයෙනි.[14] සියලු කර්ණ අස්ථිකා ත්‍රිත්වයම වර්ධනය වන්නේ ස්නායු මාර්ග ශිඛාවෙනි.[16] අස්ථිකා වටා පිහිටන පටකයේ සෛල ක්‍රමයෙන් විනාශ වීමට ලක්වන අතර, නව අන්තශ්චර්මීය අපිච්ඡදයක් මගින් කර්ණපටහ කුටීරයේ බිත්තිය සැකසේ.[14][15]

බාහිර කන[සංස්කරණය කරන්න]

ගෙලේ පහළ ප්‍රදේශයෙන් වර්ධනය වන කන යටිහනුව වර්ධනය වීමත් සමග ඉහළට ගමන් කරයි.

ග්‍රසනික වක්‍රවලින් වර්ධනය වන ඇතුළු කන සහ මැද කන වැනි ව්‍යූහ මෙන් නොව, බාහිර ශ්‍රවණ නාලය සම්භවය වන්නේ පළමු ග්‍රසනික පැළුමේ පෘෂ්ඨීය පෙදෙසිනි.[14][16] වර්ධනයේ 18වන සතිය අවසානය වන විට, මෙය හොඳින් පැතිරී පවතියි.[17] කන්බෙරය සෑදෙන්නේ ස්තර තුනකිනි. (බහිෂ්චර්මය, අන්තශ්චර්මය සහ සම්බන්ධක පටකය) කන්පෙත්ත සම්භවය වන්නේ ගොඩැලි (hillocks) සයක් හා වීමෙනි. පළමු ගොඩැලි තුන ඇතිවන්නේ පළමු ග්‍රසනික වක්‍රයෙන් වන අතර, ඉන් පිළිවෙලින් ජාගය (tragus), හෙලික්සයේ ජංඝාව (crus) සහ හෙලික්සය හටගනියි. අවසන් ගොඩැලි තු‍න දෙවන ග්‍රසනික වක්‍රයේ ඉහළ පෙදෙසින් සම්භවය වන අතර, එය ප්‍රතිහෙලික්සය, ප්‍රතිජාගය සහ කන්පෙත්ත හටගන්වයි.[14][16][17] බාහිර කන් ගෙලේ පහළ පෙදෙසේ වර්ධනය වේ. නමුත් අධෝහනුව නිර්මාණය වීමේ දී එය ඉහළට තල්ලු වී අවසානයේ ඇස් හා සමාන පිහිටුම කරා එළඹේ.[13][18]

සායනික වැදගත්කම[සංස්කරණය කරන්න]

ශ්‍රවණ හානිය[සංස්කරණය කරන්න]

ජිද්‍රණය
මැද කනේ කුටීරයේ තරල පිරීම
ශ්‍රවණ හානිය සඳහා හේතු විය හැකි මධ්‍ය ශ්‍රොත්‍රදාහය (otitis media) නිසා ඇතිවන සංකූලතාවන් කර්ණ නිරීක්ෂණ මානයකින් (otoscope) නිරීක්ෂණය කළ විට පෙනෙන අයුරු.

ශ්‍රවණ හානිය (hearing loss) හෙවත් බිහිරිභාවය සම්පූර්ණ හෝ භාගික හානියක් විය හැක. මෙය තුවාලයක හෝ හානියක, සහජ රෝගයක් හෝ කායික විද්‍යාත්මක තත්ත්වයක ‍ප්‍රතිඵලයක් ලෙස ඇති විය හැක. ශ්‍රවණ ඌනතාව, බාහිර කන හෝ මැද කනට සිදුවන තුවාලයක හෝ හානියක ප්‍රතිඵලයක් ලෙස ඇති වේ නම් එය, සම්ප්‍රේෂක ශ්‍රවණ හානිය ලෙස හඳුන්වයි. බිහිරිභාවය ඇතුළු කනේ, ශ්‍රවණ ස්නායුවේ හෝ මොළයේ ආබාධයක් හෝ හානියක් නිසා ඇති වේ නම් එය ස්නායුක ශ්‍රවණ හානිය ලෙස හඳුන්වයි.

සම්ප්‍රේෂක ශ්‍රවණ හානියට හේතූන් ලෙස කර්ණ ඉටි මගින් බාහිර ශ්‍රවණ නාලය අවහිර වීම, කර්ණ අස්ථිකා එකට සවි වී තිබීම‍ හෝ ශ්‍රවණ අස්ථිකා නොතිබීම, කන්බෙරයේ සිදුරු පැවතීම වැනි සාධක දැක්විය හැක. සම්ප්‍රේෂක ශ්‍රවණ හානිය සඳහා ඇතැම්විට, මැදි කනේ ආසාදනයක් හේතුවෙන් සාමාන්‍යයෙන් වාතයෙන් පිරි මැදි කනේ කුටීරය තරලයකින් පිරී යාම (මධ්‍ය ශ්‍රොත්‍රදාහය) වැනි හේතූන් ද මුල් විය හැක. මැදිකනේ කන්බෙරය සහ කර්ණ අස්ථිකා සැකසීමේ ශල්‍යකර්මය Tympanoplasty ලෙස හඳුන්වයි. සාමාන්‍යයෙන් කන්බෙරය සැලසීඹ සඳහා පේශි තන්තු කලඹවල කොටස් බද්ධ කෙරේ. ඇතැම්විට හානි වූ අස්ථි වෙනුවට කෘත්‍රිම අස්ථි බද්ධ කෙරෙන අතර, ශබ්දය නිවැරදිව සන්නයනය වීම සඳහා බිඳවැටුණු කර්ණ අස්ථික දාමය යළි ගොඩනගනු ලැබේ.

ශ්‍රවණ ඌනතාව බරපතල හෝ දිගුකාලීන එකක් වන්නේ නම් ශ්‍රවණාධාරක භාවිතය හෝ කර්ණශංඛ බද්ධය ඇතැම්විට සිදු කෙරේ. බාහිර පරිසරයේ ශබ්ද වර්ධනය කොට ලබා දෙන ශ්‍රවණාධාරක සම්ප්‍රේෂක ශ්‍රවණ ඌනතාවට සුදුසු ය.[20] කර්ණශංඛ බද්ධය මගින් ඇසුණු ශබ්දය ස්නායු සංඥාවක් ලෙස කර්ණශංඛයෙන් විපථව යැවේ.

සහජ අසාමාන්‍යතා[සංස්කරණය කරන්න]

කන්පෙත්තේ අසාමාන්‍යතා හෝ විකෘති වීම් සුලබව දක්නට ලැබේ. මේ අසාමාන්‍යතා අතර රින්ග් 18 වැනි වර්ණදේහ විකෘති නිසා ඇතිවන සහලක්ෂණ ද වේ. මීට අමතරව කුඩා දරුවන් තුළ අසාමාන්‍ය බාහිර ශ්‍රවණ නාල සහ කන පහතින් පිහිටීම වැනි අවස්ථා ද දැකගත හැක.[15] කලාතුරකින් කන්පෙත්තක් නොපිහිටීම (atresia) හෝ තඅශයින් කුඩා කන්පෙති පිහිටීම (microtia) වැනි අසාමාන්‍යතා ද දක්නට ලැබේ. කුඩා කන්පෙති පිහිටන්නේ කර්ණාකාර ගොඩැලි නිසිලෙස වර්ධනය නොවූ විටයි. බාහිර ශ්‍රවණ නාලයේ නාලය ක්‍රමවත්ව නිර්මාණය නොවීම හෝ අවහිරවීමක් ඇති විට බාහිර ශ්‍රවණ නාලය නිසි පරිදි වර්ධනය නොවේ.[15] අවුරුදු පහට වැඩි දරුවන්ගේ ශ්‍රවණ හානි සඳහා ප්‍රතිනිර්මාණ ශල්‍යකර්මයක් යෝග්‍ය වේ.[21] එහිදී කනේ ප්‍රමාණය හෝ හැඩය වෙනස් කිරීම සඳහා සිදුකරන බාහිර ශල්‍යකර්මය otoplasty යනුවෙන් හැඳින් වේ. ආරම්භක වෛද්‍ය අර්ථ කථන අනුව, දරුවාගේ ශ්‍රවණය, බාහිර ශ්‍රවණ නාලයේ තත්ත්වය මෙන්ම මැද කන සහ ඇතුළු කන පිළිබඳ ද සොයා බලනු ලැබේ. මෙම පරීක්ෂාවල වාර්තා අනුව පදනම්ව ක්‍රමානුකූලව බාහිර කන ප්‍රතිනිර්මාණය කරන අතර, කනේ සෙසු කොටස් පිළිබඳ ද සොයාබලනු ලැබේ.[22][23][24]

ආසන්න වශයෙන් සෑම දරුවන් දහසකින් එක් අයකු ඇතුළු කන වර්ධනය වීමට අදාළ සහජ බිහිරිභාවයෙන් පෙළෙයි[25] ඇතුළු කනට අදාළ සහජ අසාමාන්‍යතාවන් හේතුවෙන් ස්නායුත ශ්‍රවණ හානිය ඇති වේ. මෙය අනාවරණය කරගැනීමට පරිගණකගත කළ තීරු ප්‍රතිබිම්බ (CT) පරිලෝකන හෝ චුම්බක අනුනාද ප්‍රතිබිම්බ (MRI) පරිලෝකන ක්‍රම භාවිතා වේ.[21] ඇතුළු කන මැද සහ බාහිර කනෙන් වෙන්ව වර්ධනය වන බැවින් ඇතුළු කනේ අසාමාන්‍යතා හේතුවෙන් ශ්‍රවණ හානි ඇති විය හැක.[15] මැද කනේ අසාමාන්‍යතා ඇතිවීමට හිස සහ ගෙල වර්ධනයේ ඇති වන දෝෂ හේතු වේ. පළමු ග්‍රසනික මඩි සහලක්ෂණය හේතුවෙන් මුද්ගරිකාව සහ නිඝාතියේ ව්‍යූහ අසාමාන්‍යතාවන් මෙන්ම, වලයාකාර ධරණක බන්ධනිය විභේදනය නොවීම ද සිදුවිය හැක. ශංඛක අස්ථියේ සහ ශ්‍රවණ නාලයේ අසාමාන්‍යතා ද මේ කනේ ව්‍යූහයන්ට හේතු වන අතර, එය ස්නායුක ශ්‍රවණ හානිය සහ සම්ප්‍රේෂක ශ්‍රවණ හානිය සමග සම්බන්ධ යැයි සැලකේ.[21]

කරකැවිල්ල[සංස්කරණය කරන්න]

කරකැවිල්ල හෙවත් බමනය යන වදන චලනයේ අයෝග්‍ය සංජානනයන් සඳහා භාවිතා වේ. මේ සඳහා කර්ණාලින්ද පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ අසාමාන්‍යතාවක් හේතු වේ. එක් බහුල ආකාරයේ කරකැවිලි ආකාරයක් නම් මෘදු පරාශෛතික ස්ථානීය බමනයයි. මෙය කර්ණාශ්ම ආලින්දයේ සිට අර්ධ චක්‍රාකාර නාල වෙත විස්ථාපනය වීමෙන් සිදු වේ. මෙවිට විස්ථාපිත කර්ණාශ්ම ගොටුව මත තැන්පත් වේ. මෙවිට චලනයක් සිදු නොවූවද, චලනයක් සිදු වන බවට සංවේදනයක් ඇති වේ. මෙනියර් රෝගය, ලැබිරින්තයිටිස්, ආඝාතය සහ වෙනත් සහජ රෝග ද කරකැවිල්ල ඇතිවී‍ම කෙරෙහි හේතු විය හැක.[26]

තුවාල[සංස්කරණය කරන්න]

බාහිර කන

බාහිර කනට තුවාල සිදුවන අව්සථා බහුල ය. මේවා ස්වරූපය අනුව කුඩා මෙන්ම විශාල දක්වා පරාසයක වේ. මේ තුවාල අතර: දාරණය (ඉරීම්), අපකර්ෂණය තුවාල, පිළිස්සීම් සහ හික්මවීම හෝ වධයක් වශයෙන් නැවත නැවත කන ඇඹරීම හෝ ඇදීම යන අවස්ථා දැකිය හැක.[27] කන්වලට සිදුවන නිධන්ගත හානි හේතුවෙන් කන විකෘති විය හැක. මෙම තත්ත්වය බොක්සිංකරුවන් සහ මල්ලවපොර ශිල්පීන් අතර බහුලව දක්නට ලැබේ. මෙහි දී කනවටා පිහිටි කාටිලේජය කැට සහිත විරූප ස්වභාවයක් ගන්නා අතර, පෙරිකොන්ඩ්‍රියම වටා රුධිරය මිදී රක්තමාව නැමැති තත්ත්වය ඇති වේ. මේ හේතුවෙන් රුධිර සැපුයම අවහිර වීම සහ තුවාල සුවවීම ප්‍රමාද වීම සිදු විය හැක.[28] නිරාවරණය වූ පිහිටුමක ඇති නිසා බාහිර කන සීතල නිසා ඇතිවන ආබාධ[29] හා ශල්කමය-සෛල කාසිනෝමාව සහ පාදස්ථ-සෛල කාසිනෝමාව වැනි චර්ම පිළිකාවන්ට පහසුවෙන් ගොදුරුවීමේ හැකියාව ඇත.ද ඉයර්ස්, අ හයි රිස්ක් ඒරියා ෆෝ ස්කින් කැන්සර් - SkinCancer.org. www.skincancer.org. සම්ප්‍රවේශය 2016-02-25. </ref>

මැද කන

විශාල ශබ්ද හෝ පිපිරී‍ම් මෙන්ම පිහිනීමේ දී සහ පියාසර කිරීමේ දී (මෙය බැරෝට්‍රෝමා නම් වේ) හෝ කනට විවිධ දෑ ඇතුළත් කිරීම හේතුවෙන් කන්බෙරය සිදුරු විය හැක. මේ සඳහා මධ්‍ය ශ්‍රොත්‍රදාහය වැනි ආසාදන තත්ත්ව ද හේතු විය හැක.[30] මෙය ඇතැම් විට otorrhea නැමැති තත්ත්වය සඳහා හේතු වේ.[31] මෙය අනාවරණය කරගැනීමට බොහෝ විට කර්ණ නිරීක්ෂණ මානය සහ ශ්‍රව්‍යමිතිය භාවිතා වේ. මෙයට ප්‍රතිකාර ලෙස සාවධානව බලා සිටීම, ප්‍රතිජීවක භාවිතය සිදුකෙරේ. තුවාලය දිගුකාලීනව පැතිරී අස්ථිකාවල පිහිටුමට බලපෑම් වී ඇත්නම් සැත්කමක් සිදු කෙරේ.[32] හිස්කබල් බිඳීමක දී කනේ ව්‍යූහ අන්තර්ගත අස්ථි කොටස් (ශංඛක අස්ථිය) බිඳී යාමෙන් මැද කනට හානි සිදුවිය හැක.[33] cholesteatoma යනුවෙන් හැඳින්වෙන්නේ ශල්කමය චර්මීය සෛල නිසා ඇතිවන කෝෂ්ඨයකි. මෙමගින් ශ්‍රවණ හැකියාව අඩු වීම, බිහිරිභාවය හෝ කරකැවිලි ගතියක් ඇතිවිය හැක. මෙය ද කර්ණ නිරීක්ෂණ මානය (otoscope) මගින් අනාවරණය කරගත හැකි අතර, ඇතැම් විට CT පරිලෝකන පරීක්ෂාවක් ද සිදු කළ යුතු වේ.[34]

ඇතුළු කන

කාර්මීකරණය වූ සමාජයක ඇතුළු කන වෙත ඇති විය හැකි හානි ප්‍රධාන ආකාර දෙකකි. මේ ආකාර දෙකේදී ම රෝම සෛලවලට හානි සිදු වේ‍. පළමු ආකාරය ඉහළ ශබ්ද මට්ටම්වලට නිරාවරණය වීමයි (ශබ්ද ක්ෂතිය). දෙවන ආකාරය ඖෂධ සහ වෙනත් ද්‍රව්‍යයන්ට නිරාවරණය වීමයි. දිනපතා විශාල ජනතාවක් ශබ්ද මට්ටම්වලට අනාවරණය වීමෙන් ශ්‍රවණ හානිවලට ලක් වෙති[35] වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය සඳහා වූ ජාතික ආයතනය විසින් මෑතක දී සිදුකළ පර්යේෂණයක් අනුව ඇස්තමේන්තුගත ශ්‍රවණ අපහසුතා ඇති පුද්ගල සංඛ්‍යාව (11%) සහ වෘත්තීය ශබ්දවලට නිරාවරණයෙන් සිදු වූයේ යැයි සිතිය හැකි ප්‍රතිශතය (24%) ප්‍රකාශයට පත්කොට ඇත.[36] මීට අමතරව, ජාතික සෞඛ්‍ය සහ පෝෂණ අධ්‍යයන සමීක්ෂණය (NHANES) අනුව ආසන්න වශයෙන් එක්සත් ජනපදයේ කම්කරුවන් මිලියන විසිදෙකක් (17%) වැඩබිමේ අධික ඝෝෂාවට නිරාවරණය වූ බව පිළිබඳ වාර්තා කොට ඇත.[37] ශ්‍රවණ ආරක්ෂණ උපාංග නොපැළැඳ උපද්‍රවකාරී ශබ්දයට නිරාවරණය වන කම්කරුවන්හට ශබ්ද-ප්‍රේරිත ශ්‍රවණ හානිය ඇතිවීමේ අවදානමක් ඇත.

කන් කුරුකුරුව[සංස්කරණය කරන්න]

කන් කුරුකුරුව(Tinnitus) යනුවෙන් හඳුන්වන්නේ බාහිර ශබ්දයක් නොමැති වුවද, ශබ්දයක් ඇසීමයි‍.[38] නිතරම මෙය රැව් දෙන හඬක් ලෙස විස්තර කළ ද, එය ක්ලික් හඬක් හෝ ගෙරවුම් හඬක් විය හැක.[39] කලාතුරකින් අපැහැදිළි කටහඬවල් සහ නාද ඇසුරණු අවස්ථා ද හමු වේ.[40] මෙම ශබ්දිය මෘදු හෝ රළු, පහත් හෝ උස් හඬක් විය හැකි අතර එය එක් කනකින් හෝ කන් දෙකෙන්ම පැමිණෙන්නක් විය හැක.[39] බොහෝ විට, එය ක්‍රම ක්‍රමයෙන් ඇති වන්නකි.[40] ඇතැම් පුද්ගලයින්ගේ, මෙම ශබ්දය නිසා ආතතිය, සාංකාව හෝ අවධානය මඳකම වැනි අපහසුතා ඇති විය හැක.[39]

කන් කුරුකුරුව යනු රෝගයක් නොවේ. එය නොයෙකුත් හේතූන් නිසා ඇති වන සංකූලතාවකි. මේ සඳහා බලපාන වඩාත් සුපබ හේතුව ශබ්ද-ප්‍රේරිත ශ්‍රවණ හානියයි. මීට අමරතව පහත හේතූන් ද මුල් විය හැක: කර්ණ ආසාදන, හෘදයේ හෝ රුධි රවාහිනී රෝගය, මෙනියර්ගේ රෝගය, මොළයේ අර්බුද, මානසික ආතතිය, ඇතැම් ඖෂධ, පෙර පැවති හිසේ තුවාල සහ කර්ණ ඉටි හේතු විය හැක.[39][41] මෙය මානසික ආතතිය ඇති පුද්ගලයන් අතර සුලබ ය.[40]

සමාජය සහ සංස්කෘතිය[සංස්කරණය කරන්න]

කන්පෙත්ත ඇද, විවිධ කාටිලේජ සිදුරු කර ඇති අයුරු

වසර දහස් ගණනක සිට කන් ආභරණවලින් විසිතුරු කොට ඇත. සම්ප්‍රදායිකව මෙය කන්පෙති විදීම මගින් සිදු කෙරිණි. පුරාතන සහ වර්තමාන සංස්කෘතීන්හි කන්පෙති ඇද ප්‍රමාණයෙන් විශාල කරගැනීම පිණිස විවිධ ආභරණ පැළඳීම සිදුකොට තිබේ. මෙහි දී කන්පෙත්තේ වූ මාංසලමය සිදුරට විශාල පේනු ආකාර ආභරණ පැළඳීම සිදුකරයි. බරැති කරාබු පැළඳීම හේතුවෙන් කන්පෙතී ඉරීගිය අවස්ථා සුලබව දැකගත හැක.[42]

කන්වලට වූ තුවාල පිළිබඳ රෝම යුගයේ පවා වාර්තා වේ. එය එකල දඬුවම් ක්‍රමයක් ලෙස භාවිතා විය. - "රෝම යුගයේ, මතභේදයක් සමථයට පත්කරගත නොහැකි වූ විට, තුවාලලත් පාර්ශ්වය මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ මෙයට වගකිව යුතු තැනැත්තාගේ නාමය හෙළි කරයි. චූදිතයා නම්කළ වේලාවේ නොපැමිණියහොත්, පැමිණිලිකරු සාක්ෂිකරුන් කැඳවා ප්‍රකාශ ලබාගන්නා ලදී. ඔවුන් සාක්ෂි දීම ප්‍රතික්ෂේප කළහොත්, බොහෝ අවස්ථාවල පැමිණිලිකරුට ඔවුන්ව කනෙන් ඇදගෙන ඒමට අවසර තිබිණි. ඔවුන් දැඩිව ප්‍රතිරෝධය දැක්වුවහොත් ඔහුට දැඩිව කෙනිත්තීමට ද අවසර තිබිණි.මෙය ප්‍රංශ කියමනක් වන "se faire tirer l’oreille" හෙවත් සාහිත්‍යමය අරුත "කෙනෙකුගේ කනින් ඇදීමට" යන කියමන සඳහා මූලාරම්භය වන්නට ඇත. මෙහි ව්‍යාංගාර්ථය "දැඩිව ඇවිටිලි කළ යුතු" යන්නයි." [27]

කන්පෙති මුහුණේ පෙනුම සඳහා දායක වේ. බටහිර සමාජයන්හි නෙරා ආ කන් (යුරෝපීය ජාතීන්ගෙන් 5%ක පමණ දක්නට ලැබෙයි) අසමමිතික වූ හෙයින් එය අකර්ෂණීය නොවන අංගයක් ලෙස සැලකිණි.[43] ප්‍රමුඛ කන්වල නෙරීම අඩු කිරීමට පිළිබඳ පළමු සැත්කම ප්‍රකාශයට පත්කරන ලද්දේ අර්න්ස්ට් ඩියෙෆෙන්බැච් විසින් 1845 දී ය. පළමු විෂය වාර්තාව 1881දී එළිදැක්විණි.[44]

උල් වූ කන් ජනශ්‍රැතිවල එන විවිධ සත්ත්වයන්ගේ ලක්ෂණ අතර වේ. මේ අතර ප්‍රංශ ක්‍රොකෙමිටේයින්, බ්‍රසීලයේ කුරුපිරා[45] සහ ජපානයේ බිම් මකුළුවා ද වේ.[46] එසේම මෙය පුරාතන ග්‍රීසියේ[47] සහ මධ්‍යකාලීන යුරෝපයේ කලාවේ එන අංගයක් ද විය.[48] මීට අමතරව උල් වූ කන් බොහෝ ෆැන්ටසි ගණයේ අද්භූත ජීවීන්ගේ ලක්ෂණයකි.[49] මේ අතර එල්ෆ්වරුන්,[50][51][52] මායාවියන්[53][54] වැනි චරිත වේ. වැම්පයරයන් වැනි භීම ගණයේ කථාන්තරවල ජීවීන්ගේ ද උල් කන් ඇති බව කියැවේ.[55][56] විද්‍යා ප්‍රබන්ධවල ද උල්කන් ඇති ජීවීන් හමු වේ. උදාහරණ ලෙස ස්ටාර් ට්‍රෙක් විශ්වයේ හමුවන වල්කන් සහ රොමියුලන් ජාතීන් දැක්විය හැක.[57] එසේම එක්ස්-මෙන් කථාවේ හමුවන නයිට්ක්‍රෝලර් ද එවැන්නෙකි.[58]

හංගේරියාවේ බුඩාපෙස්ට් නගරයේ උපන් ජෛවභෞතික වේදියකු වන ජෝර්ජ් වොන් බෙක්සි 1961දී, කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූයේ ඔහු විසින් ක්ෂීරපායි ශ්‍රවණ අවයවයේ කර්ණශංඛයේ ක්‍රියාකාරීත්වය අනාවරණය කිරීමත් සමගයි.[59]

වේකන්ටි මීයා යනුවෙන් හැඳින්වෙන්නේ මිනිස් කනක් වැනි ව්‍යූහයක් සිරුර පිටුපස වගාකරන ලද විද්‍යාගාර ඹීයෙකි. සැබැවින්ම මේ "කන" කනක්-හැඩැති කාටිලේජ ව්‍යූහටකි. මෙය තනාගන්නා ලද්දේ ගවයකුගේ කාටිලේජ සෛල තුළට ජෛව හායනය වන කනක් හැඩැති අච්චුවක් ඇතුළත් කොට මීයාගේ සම තුළ තැන්පත් කිරීමෙනි. අනතුරුව මෙම කාටිලේජය ස්වාභාවිකව ස්වාධීනව වැඩෙන්නට විය.[60] මෙය කන් ප්‍රතිසංස්කරණ සහ කන් බද්ධ කිරීමට විකල්පයක් ලෙස යෝජනා විය. එහි ප්‍රතිඵල 1997දී දැඩි ප්‍රසිද්ධියට මෙක්ම තර්ක විතර්කවලට ද ලක් විය.[61][62]

වෙනත් සතුන් තුළ[සංස්කරණය කරන්න]

විවිධ වවුල් විශේෂවල කන්පෙතිවල ස්වරූප

ශබ්දය ශ්‍රවණ නාලය ඔස්සේ කන්බෙරය වෙත දිශාලත කරගැනීමට කන්පෙත්ත උපකාරී වේ. ඇතැම් ක්ෂීරපායී විශේෂවල කන්වල ඇතුළු පෘෂ්ඨයේ ඇති මියරමය සැකසුමේ සංකීර්ණ ජ්‍යාමිතිය, ගොදුරුවලින් නිපදවන ශබ්දය පරාවර්තන සංඥා භාවිතයට ගනිමින් තියුණු ලෙස හඳුනාගැනීමට උපකාරී වේ. මෙම මියරමය සැකසුම පුළුල් සත්ත්ව පරාසයක් තුල දැකගත හැක. ඒ අතර වවුලා, ආයි-ආයි, පුංචි ගැලගෝ, වවුල්-කන් නරියා, මී ලෙමූර් වැනි සතුන් ද වේ.[63][64][65]

ගෝරිල්ලාවන් සහ ඔරං-උටන් වැනි (එසේම මිනිසුන්ගේ ද) ඇතැම් විශාල ප්‍රයිමේටාවන්ගේ වර්ධනය නොවූ කර්ණ පේශි පිහිටයි. මේවා කෘත්‍යමය නොවන අවශිෂ්ට ව්‍යූහයන් වේ.[66] කිසියම් හේතුවක් නිසා මෙම කර්ණ පේශිවලට කන චලනය කළ නොහැක. මේ හේතුවෙන් එහි ජීව විද්‍යාත්මක කෘත්‍යය අහිමි වී ඇත. මෙය බන්ධුතා දක්වන ජීවී විශේෂ අතර සමප්‍රභවතාවයට සාක්ෂියකි. නමුත් මිනිසුන් තුළ, මෙම පේශිවල විවිධත්වයක් දක්නට ලැබෙයි. ඇතැම් මිනිසුන්ට සිය දෙකන් විවිධ දිශාවන්ට චලනය කළ හැක. නමුත් සෙස්සන්ට ද නැවන නැවත උත්සාහ කිරීමෙන් මෙම හැකියාව ලබාගත හැකි බව විශ්වාස කෙරේ.[66] එවැනි ප්‍රයිමේටාවන් හට, කන සෙලවීමට ඇති නොහැකි වුවද, හිස තිරස් තලයක හැරවීමට හැකියාව ලැබී ඇත. මෙම හැකියාව බොහෝ වඳුරු විශේෂවල දක්නට නොලැබෙන්නකි. මෙලෙස එක් ව්‍යූහයක අවශිෂ්ට භාවය වෙනුවට අමතර හැකියාවක් හිමි වී ඇත.[67]

සචල කන්පෙති හිමි ඇතැම් සතුන්ට (අශ්වයන් වැනි) සෑම කන්පෙත්තක්ම එකිනෙකින් ස්වාධීනව හැසිරවීම මගින් ශබ්දය හොඳින් ප්‍රතිග්‍රහණය කළ හැකි වේ. මෙවැනි සතුන්ට කන්පෙති මගින් ධ්වනි ප්‍රභවයේ පිහිටීම හඳුනාගත හැක.

අපෘෂ්ඨවංශීන්[සංස්කරණය කරන්න]

පෘෂ්ඨවංශී සතුන්ට පමණක් කන් පිහිටිය ද, බොහෝ අපෘෂ්ඨවංශීන් සිය විවිධ සංවේදී ඉන්ද්‍රියයන් යොදා ගනිමින් ශබ්දය නිර්ණය කරති. කෘමීන් තුළ පිහිටි කර්ණපටහ අවයවය දූරස්ථ ශබ්ද ශ්‍රවණයට උපකාරී වේ. මෙම අවයවය කෘමියාගේ කුලය අනුව හිසේ හෝ වෙනත් ස්ථානයක පිහිටිය හැක.[68] ඇතැම් කෘමීන්ගේ කර්ණපටහ අවයවය අතිශයින් සංවේදී ය. මෙමගින් ඔවුනට වෙනත් බොහෝ සතුනට වඩා නිරවද්‍ය ශ්‍රවණ හැකියාවක් ලබා දේ. Ormia ochracea ගැහැණු පළඟැටියාගේ උදරයේ දෙපසම කර්ණපටහ අවයව පිහිටයි. මේවා සිහින් බහිඃසැකිලි සේතුවකින් සම්බන්ධ වී ඇත. ඒවා කුඩා කන්බෙර යුගලක් ලෙස ක්‍රියා කරයි. නමුත්, මේවා එකිනෙකට සම්බන්ධ වී ඇති හෙයින්, වඩාත් නිරවද්‍ය තොරතුරු ලබා ගත හැක. ගැහැනු පළඟැටියා සිය "කන්" යොදා ගනිමින් සිය ධාරකයා වන පිරිමි පළඟැටියකුගේ ඇමතුම ශ්‍රවණය කරයි. පළඟැටියාගේ ගායනය ඇසෙන දිශාව මත පදනම්ව, කෘමියාගේ ශ්‍රවණ අවයව වෙනස් සංඛ්‍යාත දෝංකාරය ඇති කරයි. මේවායේ අන්තර්ය තත්පරයට බිලියන 50ක් පමණ තරම් ඉතා කුඩා ය. නමුත් කෘමියාට ගයන පිරිමි සත්ත්වයා වෙත පියාඹා ඔහු මත යැපෙන්නට එම ධ්වනිය ප්‍රමාණවත් ය.[69]

සෙසු ආත්‍රොපෝඩාවන් සතුව ඇති මීට වඩා සාපේක්ෂව සරල අවයව සමීප ශබ්ද හඳුනාගැනීමට වැදගත් ය. උදාහරණයක් ලෙස මකුළුවන් සහ කැරපොත්තන්ගේ පාදවල ඇති රෝම ශබ්ද අනාවරණයට උපයෝගී වේ. දළඹුවන්ගේ සිරුරේ ඇති රෝම ද කම්පන අනාවරණයට වැදගත් වේ.[70] එමගින් ඔවුනට ශබ්දයට ප්‍රතිචාර දැක්වීමට අවස්ථාව හිමි වේ.

මූලාශ්‍ර[සංස්කරණය කරන්න]

  1. ඉයර්. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය. සම්ප්‍රවේශය 2016 පෙබරවාරි 25.  Check date values in: |accessdate= (help)
  2. 2.0 2.1 2.2 2.3 ස්ටැන්ඩ්‍රිං, සුසෑන් (2008). බෝර්ලි, නීල් ආර්.. ed. ‍ග්‍රේ'ස් ඇනටමි: ද ඇනටමිකල් බේසිස් ඔෆ් ක්ලිනිකල් ප්‍රැක්ටිස් (40 සංස්.). එඩින්බර්ග්: චර්චිල් ලිවිංස්ටෝන්/එල්සිවියර්. පිටු ‍පරිච්ඡේදය 36. "බාහිර සහ මැද කන", 615–631. ISBN 978-0-443-06684-9. Archived from the original. දෝෂය: If you specify |archiveurl=, you must also specify |archivedate=. https://archive.org/stream/GraysAnatomy40thEd_201403/Gray's%20Anatomy%20-%2040th%20Ed_djvu.txt. 
  3. 3.0 3.1 3.2 3.3 3.4 3.5 3.6 ඩ්‍රේක්, රිචඩ් එල්.; වෝග්ල්, වේන්; ටිබිට්ස්, ඇඩම් ඩබ්. එම්. මිෂෙල්; සිතුවම් රිචඩ්; රිචඩ්සන්, පෝල් (2005). ග්‍රේ'ස් ඇනටමි ෆෝ ස්ටුඩන්ට්ස්. ෆිලඩෙල්ෆියා: එල්සිවියර්/චර්චිල් ලිවිංස්ටෝන්. පිටු 855–856. ISBN 978-0-8089-2306-0. 
  4. ක්ලිනිකලි ඔරියන්ටඩ් ඇනටමි, 7වන සංස්.. ලිපින්කොට් විලියම්ස් ඇන්ඩ් විල්කින්ස්. 2013. පිටු 848–849. ISBN 978-1-4511-8447-1. 
  5. ස්ටෙන්ස්ට්‍රොම්, ජේ. ‍ස්ටෙන්: ඩිෆෝමලිටීස් ඔෆ් ද ඉයර්; ඉන්: ග්‍රැබ්, ඩබ්., සී., ස්මිත්, ජේ. එස්. (සංස්කරණය කළ): “ප්ලාස්ටික් සර්ජරි”, ලිට්ල්, බ්‍රවුන් ඇන්ඩ් කම්පනි, බොස්ටන්, 1979, ISBN 0-316-32269-5 (C), ISBN 0-316-32268-7 (P)
  6. පර්විස්, ඩී. (2007). නියුරොසයන්ස් (4වන සංස්.). නිව් යෝක්: සයිනෝවර්. පිටු 332–336. ISBN 978-0878936977. 
  7. මිෂෙල්, රිචඩ් එල්. ඩ්‍රේක්, වේයින් වෝග්ල්, ඇඩම් ඩබ්. එම්. (2005). ග්‍රේ'ස් ඇනටමි ෆෝ ස්ටුඩන්ට්ස්. ෆිලඩෙල්ෆියා, Pa.: එල්සිවියර්. පි. 858. ISBN 978-0-8089-2306-0. 
  8. 8.0 8.1 8.2 8.3 8.4 ස්ටැන්ඩ්‍රිං, සුසෑන් (2008). බෝර්ලි, නීල් ආර්.. ed. ග්‍රේ'ස් ඇනටමි: ද ඇනටමිකල් බේසිස් ඔෆ් ක්ලිනිකල් ප්‍රැක්ටිස් (40 සංස්.). එඩින්බර්ග්: චර්චිල් ලිවිංස්ටන්/එල්සිවියර්. පිටු පරිච්ඡේදය 37. "ඇතුළු කන", 633–650. ISBN 978-0-443-06684-9. 
  9. 9.0 9.1 9.2 9.3 හෝල්, ආතර් සී. ගයිටන්, ජෝන් ඊ. (2005). ටෙක්ස්ට්බුක් ඔෆ් මෙඩිකල් ෆිසියොලොජි (11වන සංස්.). ෆිලඩෙල්ෆියා: ඩබ්. බී. සෝන්ඩර්ස්. පිටු 651–657. ISBN 978-0-7216-0240-0. 
  10. ග්‍රෙයින්වෝල්ඩ්, ජෝන් එච්. Jr MD; හාට්නික්, ක්‍රිස්ටෝෆර් ජේ. MD ද ඉවැලුවේෂන් ඔෆ් චිල්ඩ්‍රන් විත් සෙන්සරිනියුරල් හියරිං ලොස්. ආකයිව්ස් ඔෆ් ඔටොලැරින්ජොලොජි – හෙඩ් ඇන්ඩ් නෙක් සර්ජරි. 128(1):84-87, ජනවාරි 2002
  11. ඩිෆිනිෂන් ඔෆ් "අල්ට්‍රාසවුන්ඩ්" | කොලින්ස් ඉංග්ලිෂ් ඩික්ෂනරි. www.collinsdictionary.com. සම්ප්‍රවේශය 2016-03-20. 
  12. හෝල්, ආතර් සී. ගයිටන්, ජෝන් ඊ. (2005). ටෙක්ස්ට්බුක් ඔෆ් මෙඩිකල් ෆිසියොලොජි (11වන සංස්.). ෆිලඩෙල්ෆියා: ඩබ්. බී. සෝන්ඩර්ස්. පිටු 692–694. ISBN 978-0-7216-0240-0. 
  13. 13.0 13.1 මුවර්, කීත් එල්. (2009). Fundamentos de Anatomía con Orientación Clínica. පිටු 1021–1035. 
  14. 14.0 14.1 14.2 14.3 14.4 14.5 14.6 14.7 14.8 සැඩ්ලර්, ටී. ඩබ්. (2010). Embriología Médica. පිටු 321–327. 
  15. 15.0 15.1 15.2 15.3 15.4 15.5 මුවර්, කීත් එල්. (2008). Embriología Clínica. පිටු 477–482. 
  16. 16.0 16.1 16.2 16.3 16.4 16.5 16.6 16.7 ස්ටැන්ඩ්‍රිං, සුසෑන් (2008). බොර්ලි, නීල් ආර්.. ed. ග්‍රේ'ස් ඇනටමි: ද ඇනටමිකල් බේසිස් ඔෆ් ක්ලිනිකල් ප්‍රැක්ටිස් (40 සංස්.). එඩින්බර්ග්: චර්චිල් ලිවිංස්ටන්/එල්සිවියර්. පිටු පරිච්ඡේදය 38. "කනෙහි වර්ධනය", 651–653. ISBN 978-0-443-06684-9. 
  17. 17.0 17.1 17.2 17.3 17.4 UNSW එම්බ්‍රයොලොජි. හියරිං-ඉනර් ඉයර් ඩිවෙලොප්මන්ට්. http://php.med.unsw.edu.au/embryology/index.php?title=Hearing_-_Inner_Ear_Development. Retrieved අප්‍රේල් 20, 2013. 
  18. 18.0 18.1 ඩ්‍රේක්, රිචඩ් එල්.; වේන්, ඒ.; මිචෙල්, ඇඩම් (2010). GRAY Anatomía para estudiantes. පිටු 854–871. 
  19. චැටර්ජී, සමන්ත්‍රා; ක්‍රවුස්, පෙට්‍රා; ලෆ්ට්කින්, තෝමස් (2010). අ සිම්ෆනි ඔෆ් ඉනර් ඉයර් ඩිවෙලොප්මන්ට් කන්ට්‍රොල් ජීන්ස්. http://www.biomedcentral.com/1471-2156/11/68. Retrieved අප්‍රේල් 20, 2013. 
  20. හියරිං එයිඩ්ස්. බිහිරිභාවය සහ වෙනත් සන්නිවේදන ආබාධ සඳහා වූ ජාතික ආයතනය. සම්ප්‍රවේශය 20 මාර්තු 2016. 
  21. 21.0 21.1 21.2 ක්ලියෙග්මන්; බෙහ්ර්මන්; ජෙන්සන් (2007). "367". නෙල්සන් ටෙක්ස්ට්බුක් ඔෆ් පිඩ්‍රියටික්ස්. 
  22. ලැම් එස්එම්. එඩ්වඩ් ටැල්බොට් එලි: ෆාදර් ඔෆ් ඇස්තටික් ඔටෝප්ලාස්ටි. [චරිතාපදානය. ඓතිහාසික ලිපිය. ජර්නල ලිපිය] ආකයිව්ස් ඔෆ් ෆේෂල් ප්ලාස්ටික් සර්ජරි. 6(1):64, 2004 ජන-පෙබ.
  23. සියේගෙට් ආර්. කම්බයින්ඩ් රිකන්ස්ට්‍රක්ෂන් ඔෆ් කන්ජෙනිටල් ඕරිකියුලර් ඒට්‍රිසියා ඇන්ඩ් සිවියර් මයික්‍රෝෂියා. [ඇගයීම් අධ්‍යයන. ජර්නල් ලිපිය] ලැරින්ජොස්කෝප්. 113(11):2021-7; සාකච්ඡාව 2028-9, 2003 නොවැ.
  24. ට්‍රිග් ඩීජේ. ඇපල්බෝම් ඊඑල්. ඉන්ඩිකේෂන්ස් ෆෝ ද සර්ජිකල් රිපෙයාර් ඔෆ් යුනිලැටරල් ඕරල් ඒට්‍රිසියා ඉන් චිල්ඩ්‍රන්. [විචාරය] [33 refs] [ජර්නල් ලිපිය. විචාරය], ඇමරිකන් ජර්නල් ඔෆ් ඕටොලොජි. 19(5):679–684; සාකච්ඡාව 684–686, 1998 සැප්තැම්බර්
  25. ලැල්වානි, ඒ. කේ. (2009). Diagnóstico y tratamiento en Otorrinolaringología. Cirugía de Cabeza y Cuello. පිටු 624–752. 
  26. බ්‍රිටන්, සංස්කාරකවරුන් නිකි ආර්. කොලෙජ්, බ්‍රයන් ආර්. වෝකර්, ස්ටුවර්ට් එච්. රැල්ස්ටන් ; සිතුවම් රොබට් විසිනි (2010). ඩේවිඩ්සන්'ස් ප්‍රින්සිපල්ස් ඇන්ඩ් ප්‍රැක්ටිස් ඔෆ් මෙඩිසින්. (21වන සංස්.). එඩින්බර්ග්: චර්චිල් ලිවිංස්ටන්/එල්සිවියර්. පිටු 1151–1171. ISBN 978-0-7020-3084-0. 
  27. 27.0 27.1 ඇලෙක්සැන්ඩෲ, ෆ්ලොරින් (30 ජනවාරි 2004). "ඉයර් ඉන්ජරීස්". යුරෝපා කවුන්සිලය. http://www.cpt.coe.int/en/working-documents/cpt-2004-12-eng.pdf. 
  28. ඉයර් ඉන්ජරි - ඉන්ජරීස් ඇන්ඩ් පොයිසනිං. මර්ක් මැනුවල්ස් කන්සියුමර් වර්ෂන්. සම්ප්‍රවේශය 2016-02-25. 
  29. කොලෙජ්, නිකි (2010). ඩේවිඩ්සන්'ස් ප්‍රින්සිපල්ස් ඇන්ඩ් ප්‍රැක්ටිස් ඔෆ් මෙඩිසින්. චර්චිල් ලිවිංස්ටන්. පිටු 102. 
  30. රප්චර්ඩ් ඉයර්ඩ්‍රම්: සිම්ටම්ස්, ට්‍රීට්මන්ට්ස්, ඇන්ඩ් රිකවරි. WebMD (in en-US). සම්ප්‍රවේශය 2016-02-25. 
  31. හව් ෂුඩ් අයි ඉවැලුවේට් අ ඩ්‍රේනිං ඉයර්?. මෙඩ්ස්කේප්. සම්ප්‍රවේශය 2016-02-25. 
  32. ට්‍රෝමැටික් පර්ෆොරේෂන් ඔෆ් ද ටිම්පැනික් මෙම්බ්‍රේන් - ඉයර්, නෝස්, ඇන්ඩ් ත්‍රෝට් ඩිස්ඕඩර්ස්. මර්ක් මැනුවල්ස් ප්‍රොෆෙෂනල් එඩිෂන්. සම්ප්‍රවේශය 2016-02-25. 
  33. ඉවැලුවේෂන් ඇන්ඩ් මැනේජ්මන්ට් ඔෆ් මිඩ්ල් ඉයර් ටෝමා. www.uptodate.com. සම්ප්‍රවේශය 2016-02-25. 
  34. කොලෙස්ටීටෝමා: මෙඩ්ලයින්ප්ලස් මෙඩිකල් එන්සයික්ලොපීඩියා. www.nlm.nih.gov. සම්ප්‍රවේශය 2016-02-25. 
  35. සෙනට් පොදු සේවා කමිටුව, ශබ්ද දූෂණ සහ අවකරණ පනත 1972, S. Rep. No. 1160, 92nd Cong. 2වන සැසිය.
  36. ටක් එස්. ඩබ්., කැල්වර්ට් ජී. එම්., "හියරිං ඩිෆිකල්ටි ඇට්‍රිබියුටබල් ටු එම්ප්ලෝයිමන්ට් බයි ඉන්ඩස්ට්‍රි ඇන්ඩ් ඔකියුපේෂන්: ඇන් ඇනලයිසිස් ඔෆ් ද නැෂනල් හෙල්ත් ඉන්ටර්වීව් සර්වී - එක්සත් ජනපදය, 1997 සිට 2003," J. Occup. Env. Med. 2008, 50:46-56
  37. ටක්, එස්. ඩබ්.; ඩේවිස්, ආර්. ආර්.; කැල්වර්ට්, ජී. එම්. (2009). "එක්ස්පෝෂර් ටු හැසාර්ඩස් වර්ක්ප්ලේ නොයිස් ඇන්ඩ් යූස් ඔෆ් හියරිං ප්‍රොටෙක්ෂන් ඩිවයිසස් අමං යූඑස් වර්කර්ස්, 1999-2004". Am. J. Ind. Med. 52: 358–371. doi:10.1002/ajim.20690. 
  38. ලෙවින්, ආර්. ඒ.; ඔරන්, වයි. (2015). "ටිනිටස්.". ශෑන්ඩ්බුක් ඔෆ් ක්ලිනිකල් නියුරොලොජි 129: 409–31. doi:10.1016/B978-0-444-62630-1.00023-8. PMID 25726282. 
  39. 39.0 39.1 39.2 39.3 ටිනිටස්. සැප්තැම්බර් 2014. සම්ප්‍රවේශය 22 මැයි 2015. 
  40. 40.0 40.1 40.2 බැගුලේ, ඩී.; මැක්ෆෙරැන්, ඩී.; හෝල්, ඩී‍. (නොවැ 9, 2013). "ටිනිටස්.". ලැන්සෙට් 382 (9904): 1600–7. doi:10.1016/S0140-6736(13)60142-7. PMID 23827090. 
  41. හන් බී. අයි., ලී එච්. ඩබ්., කිම් ටී. වයි., ලිම් ජේ. එස්., ෂින් කේ. එස්. (මාර්තු 2009). "ටිනිටස්: කැරැක්ටරිස්ටික්ස්, කෝසස්, මෙකනිස්ම්ස්, ඇන්ඩ් ට්‍රීට්මන්ට්ස්". ජේ ක්ලින් නියරල් 5 (1): 11–19. doi:10.3988/jcn.2009.5.1.11. PMID 19513328. "About 75% of new cases are related to emotional stress as the trigger factor rather than to precipitants involving cochlear lesions.". 
  42. ඩෙබෝරා එස්. සානොෆ්; රොබට් එච්. ගොට්කින්; ජොඈන් ස්විර්ස්කි (2002). ඉන්ස්ටන්ට් බියුටි: ගෙටිං ගෝර්ජස් ඔන් යුවර් ලන්ච් බ්‍රේක්. සෙන්ට්. මාටින්'ස් ප්‍රෙස්. ISBN 0-312-28697-X. https://books.google.com/books?id=ljeY_Tvyl_MC&pg=PA60&ots=pt_I8xjg9k&dq=earlobe+tear+earring&sig=YBnRJSoIUiA1Kjhrzpq_Odd_0yk. 
  43. තෝමස්, ජේ. රේගන් (2010-01-01) (ඉංග්‍රීසියෙන්). ඇඩ්වාන්ස් තෙරපි ඉන් ෆේෂල් ප්ලාස්ටික් ඇන්ඩ් රීකන්ස්ට්‍රක්ටිව් සර්ජරි. PMPH-USA. පි. 513. ISBN 9781607950110. https://books.google.com/books?id=j0_r6YZIvbYC. 
  44. මිලොරෝ, මිෂෙල්; ඝාලි, ජී. ඊ.; ලාර්සන්, පීටර්; වේයිට්, පීටර් (2004-01-01). "පරිච්ඡේදය 71. ඔටෝප්ලාස්ටික් සර්ජරි ෆෝ ද ප්‍රෝට්‍රියුඩිං ඉයර්." (ඉංග්‍රීසියෙන්). පීටර්සන්'ස් ප්‍රින්සිපල්ස් ඔෆ් ඕරල් ඇන්ඩ් මැක්සිලෝෆේෂන් සර්ජරි. PMPH-USA. ISBN 9781550092349. https://books.google.com/books?id=uzZhODdfn8gC. 
  45. තෙරේසා බේන් (4 සැප්තැම්බර් 2013). එන්සයික්ලොපීඩියා ඔෆ් ෆේරීස් ඉන් ද වර්ල්ඩ් ෆෝක්ලෝ ඇන්ඩ් මිතොලොජි. මැක් ෆාලන්ඩ්. පි. 91. ISBN 978-0-7864-7111-9. https://books.google.com/books?id=rUqpAAAAQBAJ&pg=PA91. 
  46. ලෝරන්ස් බුෂ් (5 ඔක්තෝබර් 2001). ඒෂියන් හොරර් එන්සයික්ලොපීඩියා: ඒෂියන් හොරර් කල්චර් ඉන් ලිට්රිචර්, මංගා ඇන්ඩ් ෆෝක්ලෝ. අයියුනිවර්ස්. පි. 43. ISBN 978-1-4697-1503-2. https://books.google.com/books?id=JvYV8EmdejMC&pg=PA43. 
  47. ජොහෑන් ජෝචිම් වින්කල්මාන් (1850). ද හිස්ට්‍රි ඔෆ් ඒන්ෂන්ට් ආට් අමන්ග් ද ග්‍රීක්ස්. චැප්මන්. පි. 80. https://books.google.com/books?id=zHwEAAAAYAAJ&pg=PA80. 
  48. ඇලික්සි බෝවි (2002). මොන්ස්ටර් ඇන්ඩ් ග්‍රොටෙස්ක්ස් ඉන් මීඩියේවල් මැනුස්ක්‍රිප්ට්ස්. යුනිවර්සිටි ඔෆ් ටොරන්ටෝ ප්‍රෙස්. පි. 38. ISBN 978-0-8020-8512-2. https://books.google.com/books?id=8rytlDZ4xdgC&pg=PA38. 
  49. ජේ. පෙෆර් (25 ඔක්තෝබර් 2012). ඩ්‍රැගන් ආට් කලෙක්ටර්'ස් එඩිෂන්: යුවර් අල්ටිමේට් ගයිඩ් ටු ඩ්‍රෝවිං ෆැන්ටසි ආට්. IMPACT. පි. 28. ISBN 1-4403-2417-4. https://books.google.com/books?id=jcPqm5smoMMC&pg=PA28. 
  50. මයිකල් ජේ. ට්‍රෙස්කා (16 නොවැම්බර් 2010). ද ඉවොලුෂන් ඔෆ් ෆැන්ටසි රෝල්-ප්ලේයිං ගේම්ස්. මැක්ෆාලන්ඩ්. පි. 34. ISBN 978-0-7864-6009-0. https://books.google.com/books?id=8H8bzqj6S4sC&pg=PA34. 
  51. ඩේවිඩ් ඔකම් (21 අප්‍රේල් 2006). මංගා ෆැන්ටසි මෑඩ්නස්: ඕවර් 50 බේසික් ලෙසන්ස් ෆෝ ඩ්‍රෝවිං වොරියර්ස්, විසාර්ඩ්ස්, මොන්ස්ටර්ස් ඇන්ඩ් මෝ. IMPACT. පි. 31. ISBN 1-60061-381-0. https://books.google.com/books?id=_4aPjotgxJcC&pg=PA31. 
  52. සිරොනා නයිට් (7 June 2005). ද කම්ප්ලීට් ඉඩියට්'ස් ගයිඩ් ටු එල්ව්ස් ඇන්ඩ් ෆේරීස්. ඩීකේ පබ්ලිෂිං. පි. 171. ISBN 978-1-4406-9638-1. https://books.google.com/books?id=7m5s8HmpSp8C&pg=PT171. 
  53. ජෝන් මයිකල් ග්‍රීයර් (1 සැප්තැම්බර් 2011). Monsters. ලිවෙලයින් වර්ල්ඩ්. පි. 107. ISBN 978-0-7387-1600-8. https://books.google.com/books?id=qDda4Q27kXYC&pg=PT107. 
  54. ක්‍රිස්ටෝෆර් හාට් (2008). ඇස්ටොනිෂිං ෆැන්ටසි වර්ල්ඩ්ස්: ද අල්ටිමේට් ගයිඩ් ටු ඩ්‍රෝවිං ඇඩ්වෙන්චර් ෆැන්ටසි ආට්. වොට්සන්-ගප්ටිල් පබ්ලිකේෂන්ස්. පි. 103. ISBN 978-0-8230-1472-9. https://books.google.com/books?id=geE2AQAAIAAJ. 
  55. නෝවා විලියම් අයිසන්බර්ග් (13 අගෝස්තු 2013). වෙයිමාර් සිනමා: ඇන් එසෙන්ෂල් ගයිඩ් ටු ක්ලැසික් ෆිල්ම්ස් ඔෆ් ද ඊරා. කොලොම්බියා යුනිවර්සිටි ප්‍රෙස්. පිටු 96–. ISBN 978-0-231-50385-3. https://books.google.com/books?id=A9vbWimrmcEC&pg=PT96. 
  56. කෙන් ගෙල්ඩර් (2000). ද හොරර් රීඩර්. සයිකොලොජි ප්‍රෙස්. පි. 27. ISBN 978-0-415-21356-1. https://books.google.com/books?id=upGM6haNBR8C&pg=PA27. 
  57. හෙන්රි ජෙන්කින්ස් III; ටාරා මැක්ෆර්සන්; ජේන් ෂටුක් (2 ජනවාරි 2003). හොප් ඔන් පොප්: ද පොලිටික්ස් ඇන්ඩ් ප්ලෙෂර් ඔෆ් පොපියුලර් කල්චර්. ඩියුක් යුනිවර්සිටි ප්‍රෙස්. පි. 119. ISBN 0-8223-8350-0. https://books.google.com/books?id=ZZSz3ThOv9gC&pg=PA119. 
  58. විලියම් අර්වින්; රෙබෙකා හවුසල්; ජේ. ජෙරමි විස්නිව්ස්කි (18 මැයි 2009). එක්ස්-මෙන් ඇන්ඩ් ෆිලොසොෆි: ඇස්ටොනිෂිං ඉන්සයිට් ඇන්ඩ් අන්කැනි ආගියුමන්ට් ඉන් ද මියුටන්ට් එක්ස්-වර්ස්. ජෝන් විලී ඇන්ඩ් සන්ස්. පි. 189. ISBN 978-0-470-73036-2. https://books.google.com/books?id=bK-ax5Ttj3wC&pg=PA189. 
  59. ස්ටීවන්ස්, එස්. එස්. (සැප්තැම්බර් 1972). "ජෝර්ජ වොන් බෙක්සි". ෆිසික්ස් ටුඩේ 25 (9): 78–80. doi:10.1063/1.3071029. Bibcode1972PhT....25i..78S. http://www.physicstoday.org/resource/1/phtoad/v25/i9/p78_s1?bypassSSO=1. 
  60. සැකිල්ල:Cite journal doi=10.1097/00006534-199708000-00001
  61. ගුඩ්ඉයර්, ඩැනා. "ද ස්ට්‍රෙස් ටෙස්ට්". නිව් යෝකර්. http://www.newyorker.com/magazine/2016/02/29/the-stem-cell-scandal. ප්‍රතිෂ්ඨාපනය 23 මාර්තු 2016. 
  62. කරින් සෙල්බර්ග්, ලෙනා වැංග්‍රෙන් (2016). කෝපරියලිටි ඇන්ඩ් කල්චර්: බොඩීස් ඉන් මූව්මන්ට්. Routledge. පිටු 75–76. ISBN 9781317159247. https://books.google.com.au/books?id=fL21CwAAQBAJ&pg=PT75&lpg=PT75&dq=earmouse+1997+controversy&source=bl&ots=SPXr5maTPC&sig=4GnA7PCRggEw-82CtuCVKd31W6w&hl=en&sa=X&redir_esc=y#v=onepage&q=earmouse%201997%20controversy&f=false. 
  63. පැවී, සී. ආර්.; බර්වෙල්, සී. ජේ. (1998). "බැට් ප්‍රිඩේෂන් ඔන් ඉයර්ඩ් මොත්ස්: අ ටෙස්ට් ඔෆ් ද ඇලොන්ටික් ෆ්‍රික්වන්සි හයිපොතෙසිස්". ඔයිකොස් 81 (1): 143–151. doi:10.2307/3546476. 
  64. ද බැට්'ස් ඉයර් ඈස් අ ඩිෆ්‍රැක්ෂන් ග්‍රේටිං
  65. කුක්, ආර්. (2009). "මොඩ්ල් ප්‍රිඩික්ට්ස් බැට් පිනා රිජස් ෆෝකස් හයි ෆ්‍රික්වන්සීස් ටු ෆෝම් නැරෝ සෙන්සිටිවිටි බීම්ස්". ද ජර්නල් ඔෆ් අකෝස්ටිකල් සොසයිටි ඔෆ් ඇමරිකා 125 (5): 3454–3459. doi:10.1121/1.3097500. PMID 19425684. 
  66. 66.0 66.1 ඩාවින්, චාල්ස් (1871). මිනිසාගේ අවරෝහණය සහ ලිංගය සම්බන්ධයෙන් වරණය. ජෝන් මරේ: ලන්ඩන්.
  67. සෙන්ට්. ජෝජ් මිවාර්ට්, එලිමන්ටරි ඇනටමි, 1873, පි. 396. දෙකන් පිහිටීම මගින් ත්‍රිමාන අවබෝධයක් මොළයට ලබා දෙන අතර, එය ත්‍රිමාණ ශබ්ද ක්ෂේත්‍රයක් ගොඩනගා ගැනීමට හැකියාව සලසා දෙයි.
  68. යැක්, ජේ. ඊ.; ෆලාර්ඩ්, ජේ. එච්. (1993). "වට් ඊස් ඇන් ඉන්සෙක්ට් ඉයර්?". Ann. Entomol. Soc. Am. 86 (6): 677–682. 
  69. පයිපර්, රොස් (2007), එක්ස්ට්‍රාඕඩිනරි ඇනිමල්ස්: ඇන් එන්සියික්ලොපීඩියා ඔෆ් කියුරියස් ඇන්ඩ් අන්යූෂුවල් ඇනිමල්ස්, ග්‍රීන්වුඩ් ප්‍රෙස්.
  70. ‍ස්කොබ්ලි, එම්. ජේ. 1992. ද ලෙපඩොප්ටෙරා: ෆෝම්, ෆන්ක්ෂන්, ඇන්ඩ් ඩයිවර්සිටි. ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්

බාහිර සබැඳි[සංස්කරණය කරන්න]

සැකිල්ල:Auditory and vestibular anatomy සැකිල්ල:Human regional anatomy

"https://si.wikipedia.org/w/index.php?title=කන&oldid=387742" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි