Jump to content

ජොසොන් රාජවංශයේ සැබෑ වාර්තා

විකිපීඩියා වෙතින්
ජොසොන් රාජවංශයේ සැබෑ වාර්තා
හංගුල්조선 왕조 실록
හන්ජා朝鮮 王朝 實錄
ප්‍රතිශෝධිත රෝමානුකරණයJoseon Wangjo Sillok
මැකූන්–‍රයිෂවර්Chosŏnwangjo-sillok[1]

ජොසොන් රාජවංශයේ අනුවාර්ෂික වාර්තා (ජොසොන් රාජවංශයේ සැබෑ වාර්තාව ලෙස ද හඳුන්වයි) යනුවෙන් හැඳින්වෙන්නේ 1413 සිට 1865 තෙක් කාලය තුළ තබන ලද කොරියාවේ ජොසොන් රාජවංශයේ වාර්ෂික වාර්තායි. මෙම අනුවාර්ෂික වාර්තා හෙවත් සිලොක් වෙළුම් 1,893කින් සමන්විත වූ අතර, ලෝකයේ තනි රාජවංශයක් වෙනු‍වෙන් අඛණ්ඩ කාල පරිච්ඡේදයක් ආවරණය වන දීර්ඝතම වාර්තා මෙය යැයි විශ්වාස කෙරේ. යටත්විජිත යුගයේ සම්පාදිත සිලොක් ද්විත්වයක් හැරෙන්නට සෙසු වාර්ෂික වාර්තා 151වන කොරියානු ජාතික වස්තුව ලෙස නම්කොට ඇති අතර, යුනෙස්කෝව විසින් එය ලෝකයේ මතක නාමාවලියට ද ඇතුළත් කොට තිබේ.

2006 වර්ෂයේ සිට කොරියානු ඉතිහාසය පිළිබඳ ජාතික ආයතනය විසින් මෙම අනුවාර්ෂික වාර්තා ඩිජිටල්කරණය කොට ඇත.[2] මේවා අන්තර්ජාලය ඔස්සේ[3] හංගුල්වලින් නූතන කොරියානු පරිවර්තනය සහ සම්භාව්‍ය චීන බසින් යුත් මුල් පෙළ සහිතව ලබාගත හැක.

2012 ජනවාරි මස කොරියානු ඉතිහාසය පිළිබඳ ජාතික ආයතනය විසින් නිවේදනය කළේ 2033 වර්ෂය වන විට මෙම අනුවාර්ෂික වාර්තා ඉංග්‍රීසි බවට පරිවර්තනය කිරීමට ඔවුන් සූදානම් වන බවයි. 2014 වර්ෂයේ දී වොන් මිලියන 500ක ආරම්භක අයවැයකින් යුක්තව එය ආරම්භ කිරීමට ඔවුන් සැලසුම් කොට ඇති බවයි. නමුත් මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට වොන් බිලියන 40ක වියදමක් දරන්නට සිදුවේ යැයි ඇස්තමේන්තු කොට ඇත.[4]

සම්පාදනය

[සංස්කරණය]

රජුගේ රාජ්‍ය සමය තුළ වෘත්තීය ඉතිහාස රචකයින් විසින් රාජ්‍ය කටයුතු සහ ක්‍රියාකාරකම් පිළිබඳ සවිස්තර වාර්තා සටහන් කරන ලදී. විවිධ ලේඛන එක්රැස් කළ ඔවුන් දෛනික වාර්තා තැබූ අතර, මේ අතරට ස්වදේශ කටයුතු මෙන්ම රාජ්‍යතාන්ත්‍රික සබඳතා, ආර්ථිකය, ආගමික කටයුතු, කාලගුණ විද්‍යාත්මක සිද්ධි, කලාවන් සහ දෛනික දිවිය වැනි තොරතුරු ද වාර්තා කොට තිබේ. මෙම දෛනික වාර්තා සචෝ ("ඉතිහාස කෙටුම්පත්") බවට පත් විය. ඉතිහාස රචකයින්ගේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරගැනීමට ඉමහත් අවධානයක් යොමුවූ අතර, මෙම නිලධාරීනට නීතිමය වශයෙන් ස්වාධීනභාවය හිමිව තිබිණි. කිසිවකුට, විශේෂයෙන් රජුට පවා සචෝ කියවීමට අවසර නොතිබූ අතර, සැබෑ තොරතුරු වසන් කළ හෝ විකෘති කළ රචකයින්ගේ හිස ගසා දමනු ලැබිණි. මෙම දැඩි නීති හේතුවෙන් ඉහත වාර්තාවල විශ්වසනීයත්වය ඉහළ නැංවී ඇත.[5] අවම වශයෙන් එක් රජකුවත්, විශේෂයෙන් කෲර යොන්සන්ගුන් රජු විසින් මෙම අනුවාර්ෂිකයන් කියවූ අතර, එය 1498 පළමු වියත් ශෝධනයට හේතු විය. සචෝහි රචිත දෙය හේතුවෙන් එක් වාර්තාකරුවකු සහ තවත් පස්දෙනකුට කෲර ලෙස මරණ දණ්ඩනය ලබාදෙනු ලැබිණි. මෙම සිදුවීම නිසා රජු විසින් අනුවාර්ෂිකයන් නැරඹීම වැළැක්වීමට ප්‍රබල සමීක්ෂණයක් ක්‍රියාත්මක විය. පසුකාලීන ජොසොන් යුගයේ දී දේශපාලන පක්ෂ අතර අරගලය උග්‍ර විය. සිලොක් ප්‍රතිශෝධනය කිරීම හෝ නැවත රචනා කිරීම එදිරිවාදී පාක්ෂිකයන් විසින් සිදුකළ ද, මුල් සංස්කරණය සුරැකිව පැවතිණි.

මුල් වාර්තාකරුවන් විසින් රජුගේ සෑම වචනයක්ම සහ ක්‍රියාවක්ම සචෝ තුළ වාර්තා තැබුව ද, අවසන් සංස්කරණයෙහි සියලුම ‍තොරතුරු ඇතුළත් කිරීම සිදුනොවිණි. උදාහරණයක් වශයෙන්, තේජොං රජු අසු පිටින් ඇදවැටුණු අතර, ඔහු ක්ෂනිකව තමා අවට සිට අයට පැවසූයේ වාර්තාකරුවකුට මෙය දැන ගැනීමට ඉඩ නොතබන ලෙසයි. නමුත් වාර්තාකරුවකු විසින් තේජොං ඇදවැටුණු ආකාරයත්, ඒවා වාර්තා නොකරන ලෙස ඔහු පැවසූ වදන් ද වාර්තා කොට තිබිණි. තවත් උදාහරණයක් ලෙස, තේජොං විසින් තමන් පසුපස ලුහුබැඳ රහසින් කන්දීම හේතුවෙන් වාර්තාකරුවකු පිළිබඳ පැමිණිලි කළ අයුරු ද දක්වා තිබීම සැලකිය හැක.

රජකුගේ මරණින් සහ ඔහුගේ අනුප්‍රාප්තිකයාගේ රාජාභිෂේකයෙන් පසුව, සිලොක්චොං ("අනුවාර්ෂික සම්පාදනය සඳහා වූ කාර්යාලය") විසින් ඔහුගේ අනුවාර්ෂික වාර්තා සම්පාදනයට මෙම සචෝ භාවිතය ආරම්භ කරන ලදී.

ජොසොන් රාජවංශයේ පළමු රජවරුන් තිදෙනා වන තේජෝ (රා.1392–1398), ජොංජොං (රා.1399–1400) සහ තේජොං (රා. 1401–1418) යන රජවරුන්ගේ අනුවාර්ෂික වාර්තා අතින් ලියන ලද අත් පිටපත් විය. සේජොං (රා. 1418–1450) රජුගේ සිට පසුකාලීන රජවරුන්ගේ අනුවාර්ෂික වාර්තා ලෝහ චලන මුද්‍රණ ක්‍රමය සහ දැව මුද්‍රණ ක්‍රමය භාවිතා කොට මුද්‍රණය කෙරිණි. මෙය ජපානයේ සහ චීනයේ අනුවාර්ෂික ාවර්තා සම්පාදනය කිරීමේ දී පෙර භාවිතා නොවූ ක්‍රමවේදයකි.

අනුවාර්ෂික වාර්තාවල පිටපත් තැන්පත් කිරීම සඳහා චුන්චුග්වන්, චුංජු ප්‍රාන්තය, ‍ජොන්ජු ප්‍රාන්තය සහ සොංජු ප්‍රාන්තයේ සුරක්ෂිතාගාර හතරක් ස්ථාපිත කෙරිණි. නමුත් ඉම්ජින් යුධ සමයේ දී ජොන්ජුහි සුරක්ෂිතාගාරය ගිනිබත් විය. යුද්ධයෙන් පසුව අනුවාර්ෂික වාර්තාවල තවත් පිටපත් පහක් නිර්මාණය කෙරුණු අතර ඒවා චුන්චුග්වන් සහ මියෝහ්යැං-සන්, තේබෙක්සන්, ඕදේසන්, සහ මනි-සන් යන කඳුකර සුරක්ෂිතාගාරවල තැන්පත් කෙරිණි. යි ග්වල්ගේ රාජද්‍රෝහී ක්‍රියාවන් හේතුවෙන් 1624දී චුන්චුග්වන් පිටපත නැති විය. මනි-සන් පිටපතේ කොටසක් මැංචු ආක්‍රමණය (1636) හේතුවෙන් විනාශ වූ අතර, ශේෂව පැවිත වෙළුම් 1678දී ජොංජොක්-සන් වෙත රැගෙන යන ලදී. 1633දී මියොහ්යැං-සන් පිටපත ද ජොංක්සොං-සන් වෙත ගෙනයන ලදී. යටත් විජිත යුගයේ දී, ජපනුන් විසින් ඕදේ-සන් පිටපත ටෝකියෝ විශ්වවිද්‍යාලය වෙත රැගෙන ගිය නමුත්, මාහ කැන්ටෝ භූමිකම්පාව හේතුවෙන් ඉන් වැඩි ප්‍රමාණයක් විනාශ විය. ග්‍රන්ථ 47ක් ශේෂ වූ අතර, ඒවා 2006 ජූලි මස දකුණු කොරියාව වෙත නැවත ලබාදෙන ලදී.

අනුවාර්ෂික වාර්තා ලියැවී ඇත්තේ සම්භාව්‍ය චීන අක්ෂරවලිනි; 1980 දශකයේ දී උතුරු කොරියාවේත්, 1994දී දකුණු කොරියාවේත් මේවා නූතන කොරියානු බසට පරිවර්තනය කෙරිණි. ජොසොන් රාජවංශයේ අනුවාර්ෂික වාර්තාවලින් කොටසක් සෝල් ජාතික විශ්වවිද්‍යාලය විසින් පරිලෝකනය කරන ලදුව, අන්තර්ජාලය ඔස්සේ මාර්ගස්ථව ලබාගත හැක.

එකතුවෙන් ඉවත් කරන ලද අනුවාර්ෂික වාර්තා

[සංස්කරණය]

අවසන් ජොසොන් පාලකයින් දෙදෙනා වන ගෝජොං සහ සුන‍්ජොං යන අධිරාජවරුන් දෙදෙනාගේ අනුවාර්ෂිකයන් ජොසොන් රාජවංශයේ අනුවාර්ෂික වාර්තා තුළට ඇතුළත් කොට නැත. කොරියාවේ ජපන් පාලන සමයේ ලියැවුණු ගෝජොං සිලොක් සහ සුන්ජොං සිලාක් යන වාර්තා කොරියානු අධ්‍යයනායතන විසින් "විශ්වසනීය නොවන ලේඛන" ලෙස සලකන්නේ මෙය සම්පාදනය කිරීමේ දී ජපන් නිලධාරීන්ගේ බලපෑම් සිදුවී තිබීම සහ ඓතිහාසික සිදුවීම් අසත්‍යයනය කොට ඇති බැවිනි. ජොසොන් රාජවංශයේ අවසන් අධිරාජවරුන් දෙදෙනාගේ අනුවාර්ෂික වාර්තා ලෙස කොරියානු ඉතිහාසය පිළිබඳ ජාතික ආයතනය විසින් මේවා නූතන කොරියානු බසට පරිවර්තනය කොට තිබුණත්, මෙම වාර්තා ජොසොන් රාජවංශයේ අනුවාර්ෂික වාර්තාවන්ට ඇතුළත් කොට නොමැත. ‍මේ නිසා එම ලේඛනය දකුණු කොරියාවේ ජාතික වස්තුවක් ලෙස හෝ යුනෙස්කෝ ලෝකයේ මතක ලේඛනයට ඇතුළත් කොට නොමැත.[6][7][8]

මේවාත් බලන්න

[සංස්කරණය]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ "Korean McCune-Reischauer Romanization Dictionary". {{cite web}}: |access-date= requires |url= (help); |archive-url= requires |url= (help); Missing or empty |url= (help); Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  2. ^ "E-Annals Bring Chosun History to Everyman". Chosun Ilbo. 27 January 2006. සම්ප්‍රවේශය 16 October 2012.
  3. ^ "The Annals of the Choson Dynasty". The Annals of the Choson Dynasty. සම්ප්‍රවේශය 14 June 2015.
  4. ^ Lee Sun-min; Ha Hyun-ock (16 January 2012). "Annals of the Joseon Dynasty to be translated". Joongang Daily. සම්ප්‍රවේශය 29 March 2013.
  5. ^ "Summary of the Annals of the Choson Dynasty". National Institute of Korean History. සම්ප්‍රවේශය 2009-05-27.
  6. ^ "About the Annals of Last Two Emperors of the Choson Dynasty". National Institute of Korean History. සම්ප්‍රවේශය 2009-05-27.
  7. ^ Yu Seok-jae (유석재) (2007-01-14). "고종·순종실록의 '찜찜한' 인터넷 공개". The Chosun Ilbo.
  8. ^ Jae-un Kang; Suzanne Lee; Sook Pyo Lee (2006). The Land of Scholars: Two Thousand Years of Korean Confucianism. Homa & Sekey Books. pp. 218–219. ISBN 1-931907-30-7.

බාහිර සබැඳි

[සංස්කරණය]