Jump to content

1998 දළදා මාලිගාවට එල්ල වූ ප්‍රහාරය

විකිපීඩියා වෙතින්
1998 දළදා මාලිගාවට එල්ල වූ ප්‍රහාරය
1998 Temple of the Tooth attack
ගොනුව:Sri Dalada Maligawa Attack 1.jpg
ප්‍රහාරයෙන් හානියට පත්වූ මාලිගාව
ස්ථානයමහනුවර, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක7°17′38″N 80°38′19″E / 7.29389°N 80.63861°E / 7.29389; 80.63861
දිනය1998 ජනවාරි 25
6:10 am (UTC+6)
ඉලක්කයශ්‍රී දළදා මාලිගාව
ප්‍රහාර මාදිලියමරාගෙන මැරෙන ට්‍රක් බෝම්බ ප්‍රහාරය
මරණ17
තුවාලකරුවන්25+
අපරාධකරුවෝදෙමළ ඊළාම් විමුක්ති කොටි
චේතනාව50වන නිදහස් උළෙල කඩාකප්පල් කිරීමට

1998 දළදා මාළිගාවට එල්ල වූ ප්‍රහාරය ලෙස හඳුන්වන්නේ එම වසරේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට, දෙමළ කොටි ත්‍රස්තවාදීන් (එල්ටීටීඊ) විසින් එල්ල කළ මරාගෙන මැරෙන ට්‍රක් බෝම්බ ප්‍රහාරයයි. බුදුන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ තැම්පත් කොට තිබෙන දළදා මාළිගාව, ශ්‍රී ලාංකික බෞද්ධ ජනයාගේ මුදුන්මල්කඩ ලෙසද හැඳින්වෙයි. මාළිගාව, යුනෙස්කෝව විසින් නම් කරනු ලැබූ ලෝක උරුම අඩවියක්ද වෙයි.[1][2] 1998 වසරේදී එම ප්‍රහාරය සිදුකල, එල්ටීටීඊ සංවිධානය, 1983-2009 අතර කාලය තුල ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල වෙනම දෙමළ රාජ්‍යයක් ඉල්ලා සටන් වැදුනු ත්‍රස්ත සංවිධානයකි.[3][4][5][6][7]

පසුබිම

[සංස්කරණය]

1990 සමයේ අවසන් භාගය වනවිට, ශ්‍රී ලංකා සිවිල් යුද්ධය උපරිම මට්ටමක් දක්වා වර්ධනය වී තිබුණි. 1995 දී, එතෙක් එල්ටීටීඊ ග්‍රහණයේ තුබූ රටේ උතුරු පර්යන්තය වූ යාපනය අර්ධද්වීපය නැවතත් සියතට ලබා ගැනීමට, ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව සමත් විය.[8] 1996 දී, ඊට පළිගැනීමක් වශයෙන් එල්ටීටීඊ ය, රජයේ හමුදාවන්ට බරපතළ හානි සිදුකරමින් මුලතිව් හී පාලනය ඔවුන් යටතට නතුකර ගන්නා ලදී.[9] 1997 වර්ෂයේදී ජය සිකුරුයි මෙහෙයුම දියත් කරමින් රජයේ හමුදාවන්, එල්ටීටීඊ ග්‍රහණයේ පැවැති සමහරක් භූමි ප්‍රදේශ නැවතත් අල්ලා ගන්නා ලදී.[10] මෙසේ ගැටුම් සිදුවන අතරතුරදී පවා, ශ්‍රී ලංකා හමුදාවට, ආර්ථික මරමස්ථානවලට සහ අහිංසක සිවිල් වැසියන්ව ඉලක්ක කොට ගෙන, මරාගෙන මැරෙන ප්‍රහාර රැසක් දියත් කිරීමට එල්ටීටීඊ ය මිලේච්ඡ වී තිබුණි.[11]

මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස් වී 50වන සංවත්සරය සැමරීම සඳහා ශ්‍රී ලංකාව 1998 මුල් වකවානුවේදී සූදානම්ව සිටි අතර,[12] ඒ වෙනුවෙන්, බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු ඇතුළු විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් එම කාලය තුලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණි.[3] එම සංවත්සර උළෙලේ සැමරුම් කටයුතු, පෙබරවාරි 4 දින මහනුවරදී සිදුකිරීමට තෝරා ගෙන තිබුණි. මේ අතරතුර, ජනවාරි 28 වන දින, ගැටුම් නිසා වසර 16 ක් බිඳවැටී තුබූ යාපනය ප්‍රාදේශීය මැතිවරණය පැවැත්වීමටද කටයුතු යෙදුණි.[13] මේ සමයේ කිලිනොච්චිය සහ ඒ අවට ප්‍රදේශ වල දරුණු ලෙස ගැටුම් ඇවිලී තිබුනද, ජනතාවගේ සාමාන්‍ය දිවිපෙවෙත යලි පැමිණ ඇතැයි ආදර්ශමත් කිරීමට මින් ශ්‍රී ලංකා රජයට වුවමනා වී තිබුණි.[3]

සිදුවීම

[සංස්කරණය]

1998 ජනවාරි 25 වන දින එල්ටීටීඊ ත්‍රස්තවාදීන්, එවර නිදහස් උළෙලට සැරසෙමින් තිබූ ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය තුල දැවැන්ත ට්‍රක් බෝම්බය පුපුරුවා මෙම සාහසික අපරාධය සිදු කලහ.[14] එදින පෙරවරු 6:10 ට පමණ, මරාගෙන මැරෙන කළු කොටි තිදෙනෙකු විසින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් පැටවූ ට්‍රක් රථයක් රජ වීදිය ඔස්සේ පදවාගෙන පැමිණ, අවට මං බාධක වල සිටි හමුදා භටයින්ටද වෙඩි තබා, මාලිගාවේ පිවිසුම් අංගණය වෙත කඩා වැදෙමින් පිපිරවීම සිදු කරන ලදී.[15][16][17] අධි පුපුරණ ද්‍රව්‍ය කිලේ ග්රෑම් 300-400ක් පමණ අන්තර්ගතවූ ට්‍රක් රථය, ප්‍රධාන පිපිරීම් දෙකකින් විනාශයට පත්වූ බව සඳහන් වෙයි.[11] ප්‍රහාරයෙන් මිනීමරු කළු කොටි තිදෙනා සහ වයස අවුරුදු 2 ක දරුවෙකු ඇතුළු 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර,[18][19] තවත් 25 දෙනෙකු තුවාල ලැබූහ. තුවාල ලැබූ අය අතර කාන්තාවන් සිව් දෙනෙක්, භික්ෂුන් වහන්සේ නමක් සහ පොලිස් නිළදාරියෙක් වූහ.[12] මේ අතර භූ විද්‍යා මහාචාර්යවරයෙකු වූ පී. ඩබ්. විතානගේ මහතා, මෙම සිදුවීම ඇසීමෙන් කම්පනයකට ලක්ව මිය ගිය බවද සඳහන් වෙයි.[20] මේ දැවැන්ත ප්‍රහාරයේ බලපෑම නිසා, වටපිටාවේ කිලෝ මීටර 5 ක් පමණ දුරින් වූ සමහර ගොඩනැගිලිවලට හානි සිදුව තිබුණි.[21]

ප්‍රතිඵල

[සංස්කරණය]

දළදා මාළිගාවට ප්‍රහාරයක් එල්ල වීමේ ප්‍රවෘත්තිය, රටේ මහජනයා අතර ඉක්මනින් පැතිර ගිය අතර, මාළිගාව අවට එක්රැස් වූ පිරිසක් එම අවස්ථාවේ වාහන 3 කට සහ මහනුවර හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයකට ගිනි තබන ලදී.[22] එම පිරිස විසිරුවා හරිනු වස් පොලීසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කල අතර,[13] අවසානයේ කිසිවෙකුටවත් හානි සිදු නොවී, තවදුරටත් ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරීම වැළැක්වුණි.[23] මෙවැනි ප්‍රහාරයක් සිදු කිරීම හේතුවෙන් දෙමළ ජනයාගෙන් පළිගැනීමට නොයන ලෙස, එවක ජනපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය සිංහල ජනයාගෙන් ඉල්ලා සිටියාය. එවැන්නක් සිදුවීම එල්ටීටීඊ යේ අරමුණු ඉෂ්ඨ වීමක් යැයි ඇය තව දුරටත් ප්‍රකාශ කලාය.[22][24]

ප්‍රහාරයෙන් පසු දිනයේම ශ්‍රී ලංකා රජය, නිල වශයෙන් එල්ටීටීඊ සංවිධානය තහනම් කරන ලදී.[25] එල්ටීටීඊ සංවිධානය ප්‍රජාතන්ත්‍රවාදී මගකට ගැනීම උදෙසා, එය මීට පෙර තහනමකට ලක් කිරීමට රජය කටයුතු නොකල බවද අවධාරණය කෙරුණි.[22][26] එවකට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යවරයා වූ අනුරුද්ධ රත්වත්තේ මහතාද, මෙම ප්‍රහාරය සිදුවීමට හේතුවූ ආරක්ෂක දුර්වලතාවල වගකීම භාරගනිමින්, සිය තනතුරින් ඉල්ලා අස්වන ලදී.[27] මෙම ප්‍රහාරය සහ උතුරේ යුධ ගැටුම් ඇවිලී ගිය වකවානුවක් අතරතුරදී වූවද, යාපනය ප්‍රාදේශීය මැතිවරණය පැවැත්වීමටද රජය කටයුතු කරන ලදී.[26] මේ පසුබිම තුල මහනුවර පැවැත්වීමට සැළසුම් කොට තිබූ නිදහස් සැමරුම කොළඹ වෙත ගෙන යාමට තීරණය කල අතර, ඊට සහභාගී වීම පිණිස බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු සහ විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් අගනුවරට සපැමිණි බව සඳහන්ය.[28] මේ අතර, රජීව් ගාන්ධි ඝාතනයට සම්බන්ධතාවයක් පැවතීම හේතුවෙන් ජනවාරි 28 වනදා මැඩ්‍රාස් මහාධිකරණය විසින්, එල්ටීටීඊ ත්‍රස්ථ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ඇතුළු 25 දෙනෙකුට මරණ වරෙන්තු නිකුත් කරණ ලදී.[29]

පුදබිමට ඇතුල් වන ස්ථානයේ වූ ප්‍රතිසංස්කරණය කල ගල් කැටයම්: ඇත් කැටයම (වම) සහ සඳකඩපහණ (දකුණ). ප්‍රහාරය නිසා මුල් සඳකඩ පහණ කොටස් 43කට බිඳී ගොස් තිබූ අතර, එය යළි ප්‍රතිසංස්කරණය කර මාලිගාව තුල කෞතුකාගාරයෙහි තැම්පත් කර ඇත.[30]

2003 ඔක්තෝම්බරයේදී, මේ ප්‍රහාරය සම්බන්ධ වරදකරුවන් වූ එල්ටීටීඊ සාමාජිකයෝ තිදෙනෙක්ට, මහනුවර මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කරන ලදී.[31] ඉන් දෙදෙනෙකුට බරපතල වැඩසහිතව වසර 680 ක සිරදඬුවම් නියම වූ අතර, තුන්වැන්නාට වසර 490 ක සිරදඬුවමක් නියම විණි.[32] මාකන්සී (Mackenzie) ආයතනයේ ඇගයීම් අනූව, මෙම ප්‍රහාරය දියත් කිරීමෙන් එල්ටීටීඊ ය බලාපොරොත්තුව සිට ඇත්තේ, 1983 කළු ජූලිය අවස්ථාවේදී මෙන් රට පුරා සිංහල ජාතික බහුතරය, දමීළ සුළුතරය වෙත ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරවීම අවුස්සීමටයි.[33] නමුත් මෙම ප්‍රහාරය නිසා එවැනි තත්වයක් හට නොගැනුණි.

ප්‍රතිචාරයන්

[සංස්කරණය]

මෙම නින්දිත ත්‍රස්ථ ප්‍රහාරය, එකල දේශීය මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව තුලද හෙළාදැකීමට මෙන්ම දැඩි විවේචනයට ලක්විය.

දේශීය

[සංස්කරණය]

එම අවධියේ මල්වතු පාර්ශ්වයේ මහනායක වූ පූජ්‍ය රඹුක්වැල්ලේ ශ්‍රී විපස්සි හිමි, අස්ගිරිය පාර්ශවයේ මහනායක වූ පූජ්‍ය පැලිපානේ ශ්‍රී චන්දනාන්ද හිමි සහ ශ්‍රී දළදාවේ භාරකරුවන්, මෙම ප්‍රහාරය සිදුකිරීම සම්බන්ධයෙන් සිය බලවත් කම්පාව ප්‍රකාශ කරන ලදී. විපස්සි හිමියන් මේ පිළිබඳව තවදුරටත් ප්‍රකාශ කරමින් කියා සිටියේ, "මුළු මහත් බෞද්ධ ලෝකයා තුල පූජනීයත්වයට හා වන්දනීයත්වයට ලක්වූ, ශ්‍රී දලදා මාලිගාවට ත්‍රස්ථවාදීන් විසින් හානි සිදුකිරීම සම්බන්ධයෙන් හිතේ ඇතිවන අපරිමිත වේදනාවත් සමග බලවත් කම්පාව සහ කණගාටුව ප්‍රකාශ කරන බවයි."[32]

ශ්‍රී ලංකා හින්දු සංගමයේ සභාපති, යෝගේන්ද්‍ර දුරෙයිස්වාමි මේ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ "ශ්‍රී ලාංකික බෞද්ධයින්ගේ පූජනීයම පුදබිම බඳු වූ දළදා මාලිගාවට එල්ල වූ මෙම නිවට ප්‍රහාරය, සම්බන්ධයෙන් හින්දු කවුන්සිලය අතිශය සංවේගයට පත් වන බවයි." එවක කොළඹ රදගුරු, නිකලස් මාකස් ප්‍රනාන්දු තුමාද, මීට අමතරව ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානය (SLIC) සහ ජාත්‍යන්තර බෞද්ධ පදනමද මෙම ප්‍රහාරය හෙළා දකින ලදී.

ශ්‍රී ලංකා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරමින් කියා සිටියේ, "වසර 2000 ක් පමණ වූ ශ්‍රී ලංකා ඉතිහාසයෙහි එතෙක් උදාවී තුබූ අඳුරු යුගවලදීවත්, අපගේ ශිෂ්ඨාචාරය සහ ඓතිහාසිකමය වශයෙන් වටිනා සංකේතයන්ට, මේ ආකාරයේ හානි කිරීමක් සිදු නොවූ බවයි."[21]

ජාත්‍යන්තර

[සංස්කරණය]

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය – මෙම ප්‍රහාරය මගින් සිවිල් වැසියන් ඝාතනය කිරීම හෙළාදුටු ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ, විශේෂයෙන්ම ජිනීවා සම්මුතියේ 3න් වන පොදු වගන්තිය සහ II වන ප්‍රොටොකෝල ප්‍රතිපත්ති වලට, එල්ටීටීඊ සංවිධානය ගරු කල යුතු බවට ප්‍රකාශ කරන ලදී.[34]

 එක්සත් රාජධානිය – වේල්සයේ කුමාරයා වූ චාල්ස් කුමරු, පෙබරවාරි 4 වන දින, කොළඹ පැවැති 50වන නිදහස් උළෙලේදී මෙසේ ප්‍රකාශ කරන ලදී. "පසුගිය මස දළදා මාළිගාව බෝම්බ පිපිරීම නිසා ඔබලා තියුණු වේදනාවෙන් පසුවන්නේ. එය සැබැවින්ම මිලේච්ඡ සහ දුෂ්ඨ ක්‍රියාවක්, අපි සියලුදෙනා එය හෙළාදකිනවා. දළදා මාළිගාව ලෝකයේම උරුමයක්; එය ශ්‍රී ලාංකිකයන්ටවත්, බෞද්ධයන්ටවත් පමණක් නොවේ. මාළිගාවේ දුෂ්කර ප්‍රතිසංස්කරණ කර්තව්‍යයන් සාර්ථකව නිමකරමින්, එහි සැබෑ විභූතිය ගොඩනැංවීම සඳහා, ඔබලාගේ සියළුම විදෙස් අමුත්තන් සුභ ප්‍රාර්ථනා කරනවා."[35]

යුනෙස්කෝ – එවක යුනෙස්කෝ අධ්‍යක්ෂක ජනරාල් Federico Mayor Zaragoza මහතා, ජනවාරි 27 දින මේ සම්බන්ධව ප්‍රකාශයක් සිදුකරන ලදී, " සාමය සතුට සහ ධ්‍යානය වඩවන මෙවැනි පුදබිමකට හානි කරමින් එල්ල වූ මෙම අන්ධ ප්‍රහාරය සම්බන්ධයෙන් මම අතිශය කම්පාවට පත්වනවා. සියළුම ආගම් පදනම්ව තිබෙන්නේ ආදරය සහ ජීවිතයට ගරු කිරීම මත. මෙවැනි පූජනීය ස්ථානයකට පහර දීම යනු උතුම් මනුෂ්‍යත්වයට පහර දීමක්, අවිහිංසාව සහ ශුද්ධත්වයට හානි කිරීමක්. ආගමික විෂමතාවය සැබැවින්ම ගැටුම් සඳහා සාධාරණීකරණ හේතුවක් නොවේ සහ වන්දනාමානයට ලක්වන පුදබිම් මෙවැනි ප්‍රහාර වල ඉලක්ක නොවිය යුතුයි."[36]

 එක්සත් ජාතීන් – එවක එක්සත් ජාතීන්ගේ මහලේකම් කොෆි අනන් කාර්යාලයද මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයක් නිකුත් කරන ලදී. "ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රධාන බෞද්ධ පූජාබිමකට එල්ල වූ මේ සැහැසි බෝම්බ ප්‍රහාරය නිසා ජීවිත අහිමිවීම සහ දේපළ විනාශවීම පිළිබඳව, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා දැනුවත් වුනා. මෙවැනි ආකාරයේ අවස්ථාවලදී ඔහු කටයුතු කල ලෙසම, ඕනෑම හේතුවක් සඳහා ත්‍රස්තවාදය යොදා ගැනීම, මහලේකම්වරයා දැඩි ලෙස හෙළා දකිනවා. ආගමික සහ වාර්ගික පසුබිම් යොදා ගනිමින් මනුෂ්‍ය වර්ගයා බෙදීමට දරණ වෑයම් සම්බන්ධයෙන් ඔහු කණගාටුව පළකරනවා."[15]

 ඇමරිකානු එක්සත් ජනපද – එවක ශ්‍රී ලංකාවේ සිටි ඇමෙරිකානු තානාපති Shaun Donnelley මහතා, මෙම ප්‍රහාරය හෙළාදකිමින් ප්‍රකාශ කලේ "සමස්ථ ලෝක නායකත්වයම, මේ පූජනීය බිමට එල්ල වූ ප්‍රහාරය හෙළාදකින බවත්, ආගමික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථාන වලට එල්ල වන මෙවැනි ආකාරයේ ප්‍රහාර අප විසින් හෙළා දැකිය යුතු බවත්ය."

හානිය සහ ප්‍රතිසංස්කරණය

[සංස්කරණය]
සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කල මාලිගාව 2005 වසරේදී.

මාලිගාවට දරුණු ලෙස හානි සිදු කිරීමට, මේ ප්‍රහාරය සමත්ව තිබුණි. මාලිගාවේ වහළට සහ ඉදිරිපස මුහුණතට ප්‍රහාරය නිසා දැඩි හානි සිදුව තිබූ නමුත්,[12] දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටි කුටියට සහ ඇතුල් කුටි වලට හානි සිදු කිරීමට, එය අසමත්ව තිබුණි .[13] මාලිගාවේ පත්තිරිප්පුව, මහාවාහල්කඩ, රාජකීය මාළිගය, ප්‍රවිශ්ඨ සඳකඩපහණ, රැජිණ තටාකය, පුස්ථකාලය සහ සමහරක් පිටත කැටයම් නිර්මාණ වලටද ප්‍රහාරය හේතුවෙන් හානි සිදුව තිබුණි.[37] මාළිගාවට යාබදව පිහිටි මහනුවර ක්වීන්'ස් හෝටලය, මහනුවර නාථ දේවාලයට සහ ශාන්ත. පෝල්'ස් දෙව් මැදුරටද, මෙම පිපිරීම නිසා හානි සිදුවී තිබූ බවටද තොරතුරු සඳහන් වෙයි.[38]

ප්‍රහාරයේ සුන්බුන් අස් කොට, පෙබරවාරි 10 වන දින නැවතත් මාළිගාව මහජනයා වෙනුවෙන් විවෘත කෙරුණත්,[39] එහි සම්පූර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට වසර එකහමාරක් ගතවිය.[35] එවක ජනපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ජනපති කාර්ය සාධක බලකාය සහ, එවක සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය වූ ලක්ෂ්මන් ජයකොඩි මහතා විසින් පත්කල දළදා මාළිගාව ප්‍රතිසංස්කරණ කොමිටිය එක්ව, මාළිගාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදී. මීට අමතරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, රජයේ ඉංජිනේරු සංස්ථාව, ඉදිකිරීම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ජල හා පරිවහන මණ්ඩලය සහ ලංකා විදුලිබල මණ්ඩලයද, මාළිගාවේ ප්‍රතිසංස්කරණ සහ සුරක්ෂා කිරීමේ කටයුතු වලට දායකත්වය සපයන ලදී.[39]

දැඩි ලෙස හානියට පත්වූ වහළ සැකසීම, ප්‍රධාන අවශ්‍යතාවයක් ලෙස සැළකූ නිසා එහි ප්‍රතිසංස්කරණය කිරීම් මාස 2 - 4 ත් අතර කාලයකදී නිම කෙරිණි.[39] මාළිගාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය, රුපියල් මිලියන 2 ක ආධාර සිදු කල අතර, මහජනතාවගෙන්ද රුපියල් මිලියන 100 ඉක්මවූ ආධාර මුදල් ප්‍රමාණයක් හිමිවිය. එම ආධාර ප්‍රමාණය, මාළිගාවේ ප්‍රතිසංස්කරණ වියදම් තක්සේරු අගය මෙන් තුන් ගුණයක් ඉක්මවූ අගයක් බවද සඳහන් වෙයි.[35] මාළිගාවේ විනාශයට පත්වූ ගල් කැටයම් ආදිය, දක්ෂ කර්මාන්තකරුවන් අතින් පිළිසකර කරවූ අතර, හානියට පත් වූ බිතු සිතුවම්ද නැවතත් යථා තත්වයට පත් කෙරුණි. මේ අතර ප්‍රතිසංස්කරණ වලදී, ඇතුල් කුටියක බිත්තියකින් කීර්ති ශ්‍රී රාජසිංහ යුගයට අයත් එතෙක් සැඟවී තිබූ සිතුවම් කිහිපයක්ද හමුවූ බව සඳහන්ය.[30] මාළිගාවේ සියළුම ප්‍රතිසංස්කරණ කටයුතු 1999 අගෝස්තුව එළඹෙන විට අවසන් කෙරුණි.[35]

මේවාද බලන්න

[සංස්කරණය]
  1. ^ "වර්ල්ඩ් හෙරිටේජ් ලිස්ට්: සැක්‍රඩ් සිටි ඔෆ් කැන්ඩි". යුනෙස්කෝ. සම්ප්‍රවේශය 9 අප්‍රියෙල් 2012.
  2. ^ පෙන්ෆීල්ඩ්, ෆ්‍රෙඩරික් කොට්ලන්ඩ්]] (1907). East of Suez. කැලිෆෝනියා: ඊකො ලයිබ්‍රරි. pp. 41–43. ISBN 978-140-6894-27-1.
  3. ^ a b c "ලෙවන් ඩයි ඉන් ශ්‍රී ලංකන් ටෙම්පල් සුයිසයිඩ් බෝම්බ්". බීබීසී. 25 ජනවාරි 1998. සම්ප්‍රවේශය 8 අප්‍රියෙල් 2012.
  4. ^ "රිලිජස් සෙරමනීස් ටු කම්මෙමොරේට් ද එල්ටීටීඊ ඇටෑක් ඔන් ටෙම්පල් ඔෆ් ද ටූත් ඉන් ශ්‍රී ලංකා". කලම්බු පේජ්. ශ්‍රී ලංකා. 25 ජනවාරි 2009. 2015-04-02 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 අප්‍රියෙල් 2012.
  5. ^ නුබින්, වෝල්ටර් (2003). ශ්‍රී ලංකා: කරන්ට් ඉෂූස් ඇන්ඩ් හිස්ටෝරිකල් බැග්‍රවුන්ඩ්. නිව් යෝර්ක්: නෝවා පබ්ලිෂර්ස්. p. 11. ISBN 978-159-0335-73-4.
  6. ^ මාෂල් කැවෙන්ඩිෂ් කෝපොරේෂන් (2007). වර්ල්ඩ් ඇන්ඩ් ඉට්ස් පීපල්ස්: ඊස්ටර්න් ඇන්ඩ් සදර්න් ඒෂියා. සිංගප්පෝර්: මාෂල් කැවෙන්ඩිෂ්. p. 553. ISBN 978-076-1476-31-3.
  7. ^ රොට්බර්ග්, රොබට් අයි. (1999). ක්‍රියේටිං පීස් ඉන් ශ්‍රී ලංකා: සිවිල් වොර් ඇන්ඩ් රීකන්සිලියේෂන්. වොෂිංටන්, ඩී.සී.: බෘකිං ඉන්ස්ටිටියුෂන්. p. 2. ISBN 978-081-5775-78-2.
  8. ^ "1995: ජැෆ්නා ෆෝල්ස් ටු ශ්‍රී ලංකන් ආමි". බීබීසී. 5 දෙසැම්බර් 1995. සම්ප්‍රවේශය 12 අප්‍රියෙල් 2012.
  9. ^ ඉක්බල් අතාස් (13 ඔක්තෝම්බර් 1996). "සෙන්සර්ශිප් අවුට්: දෙන් ඉවෙන්ට්ස් අන්ෆර්ල්ඩ්". ද සන්ඩේ ටයිම්ස්. සම්ප්‍රවේශය 12 අප්‍රියෙල් 2012.
  10. ^ ඉක්බල් අතාස් (10 මැයි 1998). "ඔපරේෂන් ජය සිකුරුයි වන් ඉයර්: හවු ජස්ටිෆයබල්?". ද සන්ඩේ ටයිම්ස්. සම්ප්‍රවේශය 12 අප්‍රියෙල් 2012.
  11. ^ a b රාමසුබ්‍රමනියම්, ආර් (අගෝස්තු 2004). "සුයිසයිඩ් ටෙරරිස්ම් ඉන් ශ්‍රී ලංකා". IPCS රිසර්ච් පේපර්ස්. IPCS කන්ෆරන්ස්. නිව් ඩෙලි: ඉන්ස්ටිටියුට් ඔෆ් පීස් ඇන්ඩ් කන්ෆ්ලික්ට් ස්ටඩීස්. p. 23. Archived from the original on 2014-01-12. https://web.archive.org/web/20140112144614/http://kms1.isn.ethz.ch/serviceengine/Files/ISN/29174/ipublicationdocument_singledocument/9e7f2527-5f41-4e2f-b212-44f33a25ef71/en/5_Suicide_Terrorism_in_Sri_Lanka.pdf. ප්‍රතිෂ්ඨාපනය 12 අප්‍රියෙල් 2012. 
  12. ^ a b c "8 කිල්ඩ් ඉන් ශ්‍රී ලංකන් බ්ලාස්ට් ඇට් ටෙම්පල්". සීඑන්එන්. රොයිටර්ස්. 25 ජනවාරි 2012. සම්ප්‍රවේශය 11 අප්‍රියෙල් 2012.
  13. ^ a b c "8 කිල්ඩ් ඉන් ට්‍රක් බෝම්බිං ඇට් කැන්ඩි, ශ්‍රී ලංකා බුඩිස්ට් සයිට්". අනූෂ.කොම්. ඇසෝසියේටඩ් ප්‍රෙස්. 26 ජනවාරි 1998. සම්ප්‍රවේශය 11 අප්‍රියෙල් 2012.
  14. ^ කොමන්වෙල්ත් සෙක්‍රටේරියට් (2006). ද කොමන්වෙල්ත් ඉයර්බුක්. ග්‍රේට් බ්‍රිට්න්: නෙක්සස් ස්ට්‍රැටජික් පාර්ට්නර්ශිප්ස් ලිමිටඩ්. p. 369. ISBN 978-095-4962-94-4.
  15. ^ a b "ස්ට්‍රයිකින් ද වෙරි බෙස්ට් ඉන් හියුමැනිටි; එල්ටීටීඊ'ස් ඇටෑක් ඔන් වර්ල්ඩ් හෙරිටේජ් සයිට්". මින්ස්ට්‍රි ඔෆ් ඩිෆෙන්ස් (ශ්‍රී ලංකා). සම්ප්‍රවේශය 11 අප්‍රියෙල් 2012.
  16. ^ "එල්ටීටීඊ ටෙරරිස්ට් ඇටෑක් හෝලි ශ්රයින්". සිංහයා.කොම්. සම්ප්‍රවේශය 12 අප්‍රියෙල් 2012.
  17. ^ "11 කිල්ඩ් ඉන් ඇසල්ට් ඔන් බුඩිස්ට් ශ්රයින්". ලොස් ඇන්ජලිස් ටයිම්ස්. 26 ජනවාරි 1998. සම්ප්‍රවේශය 11 අප්‍රියෙල් 2012.
  18. ^ "සුයිසයිඩ් ඇටෑක්ස් බයි ද එල්ටීටීඊ". සවුත් ඒෂියන් ටරරිස්ම් පොර්ටල්. සම්ප්‍රවේශය 11 අප්‍රියෙල් 2012.
  19. ^ "ටයිගර්ස් බෝම්බ් ටෙම්පල් ඔෆ් දි ටූත්". පීස් ඇන්ඩ් කන්ෆ්ලික්ට් ටයිම්ලයින්. 2016-11-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 8 අප්‍රියෙල් 2012.
  20. ^ විමලසුරේන්ද්‍ර, සිරිල් (24 ජනවාරි 2012). "ෆෝර්ටීන්ත් ඇනිවසරි ඔෆ් එල්ටීටීඊ ඇටෑක් ඔන් ටෙම්පල් ඔෆ් දි ටූත්". ද අයිලන්ඩ්. කැන්ඩි. සම්ප්‍රවේශය 11 අප්‍රියෙල් 2012.
  21. ^ a b "කැන්ඩි රිටන්ස් ටු නොමලිටි ඈස් මෝර් ඩීටේල්ස් අබවුට් ද ඇටෑක් එමර්ජ්". සිංහයා.කොම්. සම්ප්‍රවේශය 12 අප්‍රියෙල් 2012.
  22. ^ a b c "ක්රෝනොලොජි ෆෝර් ශ්‍රී ලංකන් ටැමිල්ස් ඉන් ශ්‍රී ලංකා". යුනයිටඩ් නේෂන්ස් හයි කොමිෂනර් ෆෝර් රෙෆියුජීස්. සම්ප්‍රවේශය 11 අප්‍රියෙල් 2012.
  23. ^ ප්‍රයිස්, සුසී (25 ජනවාරි 1998). "ඩෙස්පැචස්: සුසී ප්‍රයිස්". බීබීසී. ශ්‍රී ලංකා. සම්ප්‍රවේශය 11 අප්‍රියෙල් 2012.
  24. ^ නරපාලසිංගම්, එස්. (3 මාර්තු 2007). "වයි එල්ටීටීඊ විල් නොට් නෙගෝෂියේට් ෆෝර් පොලිටිකල් සෙට්ල්මන්ට්?". ටැමිල් වීක්. සම්ප්‍රවේශය 12 අප්‍රියෙල් 2012.
  25. ^ පෙරේරා, ජනක (25 ජනවාරි 2012). "ඩේ ඔෆ් ඉන්ෆමි – ජැනුවරි 25, 1998". ඒෂියන් ට්‍රිබියුන්. සම්ප්‍රවේශය 11 අප්‍රියෙල් 2012.
  26. ^ a b "සමරයිස්ඩ් ක්රෝනොලොජි ඔෆ් ශ්‍රී ලංකන් කන්ෆ්ලික්ට්". ටැමිල්නේෂන්.කො. 2013-10-24 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 අප්‍රියෙල් 2012.
  27. ^ "ජෙන්. රත්වත්තේ සබ්මිට්ස් රෙසිග්නේෂන්". ටමිල්නෙට්. 28 ජනවාරි 1998. සම්ප්‍රවේශය 12 අප්‍රියෙල් 2012.
  28. ^ "චාල්ස් ඉන් ලංකා ෆෝර් I-ඩේ ජුබ්ලී". ද ඉන්ඩියන් එක්ස්ප්‍රස්. කොළඹ. 4 පෙබරවාරි 1998. සම්ප්‍රවේශය 12 අප්‍රියෙල් 2012.
  29. ^ බ්‍රැඩි, ලින්ඩා., උබයසිරි, කසුන් (2003). "වන් ටෙම්පල්, වන් බෝම්බ්, ඇන්ඩ් ත්‍රී ලයින්ස් ඔෆ් පොලිටිකල් නරේටිව්" (PDF). සෙන්ට්‍රල් ක්වීන්ස්ලන්ඩ් යුනිවර්සිටි. p. 26. සම්ප්‍රවේශය 12 අප්‍රියෙල් 2012.{{cite web}}: CS1 maint: multiple names: authors list (link)
  30. ^ a b ආටිගල, උදේන (31 ජනවාරි 1999). "වන් ඉයර් ආෆ්ටර් ද එල්ටීටීඊ ඇටෑක්, මාලිගාව ඉස් ස්ලොව්ලි රිටර්නින්ග් ටු ඉට්ස් ෆෝමර් ග්ලෝරි". ද සන්ඩේ ටයිම්ස්. සම්ප්‍රවේශය 12 අප්‍රියෙල් 2012.
  31. ^ "සික්ස්ත් ඇනිවසරි ඔෆ් එල්ටීටීඊ ඇටෑක් ටු ද හෝලියස්ට් ශ්රයින් ඔෆ් බුඩිස්ට්". සිංහයා නිව්ස් ඒජන්සි. 26 ජනවාරි 2004. 2016-03-06 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 අප්‍රියෙල් 2012.
  32. ^ a b "ටුඩේ ඉස් ද 9ත් ඇනිවසරි ඔෆ් එල්ටීටීඊ`ස් බෝම්බ් ඇටෑක් – ශ්‍රී දළදා මාළිගාව". lankanewspapers.com. ඩේලි මිරර්. 25 ජනවාරි 2007. සම්ප්‍රවේශය 12 අප්‍රියෙල් 2012.
  33. ^ තොම්සන්, ජෝන් (අප්‍රියෙල් 2009). "ද ලිබරේෂන් ටයිගර්ස් ඔෆ් ටැමිල් ඊළාම්: එසෙන්ෂියල් පොයින්ට්ස්". මාකෙන්සී ඉන්ස්ටිටියුට්. සම්ප්‍රවේශය 11 අප්‍රියෙල් 2012.
  34. ^ "ශ්‍රී ලංකා: ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් අපෝල්ඩ් ඇට් එල්ටීටීඊ ඇටෑක් ඔන් සිවිලියන්ස්". ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය. 26 ජනවාරි 1998. සම්ප්‍රවේශය 11 අප්‍රියෙල් 2012.
  35. ^ a b c d විජේසූරිය, ගාමිණී (ඔක්තෝම්බර් 2005). "කල්චරල් හෙරිටේජ් ඉන් පෝස්ට්වොර් රිකවරි". in ස්ටැන්ලි-ප්‍රයිස්, නිකලස්. ආර්ම්ඩ් කන්ෆ්ලික්ට් ඇන්ඩ් කන්සර්වේෂන්: ප්‍රමෝටින් කල්චරල් හෙරිටේජ් ඉන් පෝස්ට්වෝර් රිකවරි. 2nd ICCROM Forum. Rome: ඉන්ටර්නැෂනල් සෙන්ටර් ෆෝ ද ස්ටඩි ඔෆ් ද ප්‍රිසර්වේෂන් ඇන්ඩ් රෙස්ටොරේෂන් ඔෆ් කල්චරල් ප්‍රොපටි]]. pp. 87–97. . Archived from the original on 2011-05-16. https://web.archive.org/web/20110516205323/http://www.iccrom.org/pdf/ICCROM_ICS06_CulturalHeritagePostwar_en.pdf. ප්‍රතිෂ්ඨාපනය 12 අප්‍රියෙල් 2012. 
  36. ^ නානායක්කාර, ත්‍රිෂාන්ත. "පෝස්ට්-කොළෝනියල් වයලන්ස් ඉන් ශ්‍රී ලංකා – අ නරේටිව් ඔෆ් හිස්ටරිකල් ඉවොලූෂන් ඇන්ඩ් කන්ටෙම්පරරි ට්‍රෙන්ඩ්ස්" (PDF). රැඩ්ක්ලිෆ් ඉන්ස්ටිටියුට් ෆෝර් ඇඩ්වාන්ස්ඩ් ස්ටඩි, හාවඩ් යුනිවසිටි. සම්ප්‍රවේශය 11 අප්‍රියෙල් 2012.
  37. ^ "එල්ටීටීඊ බෝම්බ්ස් ශ්‍රී දළදා මාලිගාව ඉන් ශ්‍රී ලංකා". සොසයිටි ෆෝර් පීස් යුනිටි ඇන්ඩ් හියුමන් රයිට්ස් ඉන් ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා. සම්ප්‍රවේශය 11 අප්‍රියෙල් 2012.
  38. ^ "ලිබරේෂන් ටයිගර්ස් ඔෆ් ටමිල් ඊළාම් (එල්ටීටීඊ)". ග්ලෝබල්සිකියුරිටි.ඔර්ග්. සම්ප්‍රවේශය 11 අප්‍රියෙල් 2012.
  39. ^ a b c හඳුන්නෙත්ති, දිල්රුක්ෂි (12 අප්‍රියෙල් 1998). "මාලිගාව: අ ස්ලෝ රෙස්ටොරේෂන්". ද සන්ඩේ ටයිම්ස්. සම්ප්‍රවේශය 11 අප්‍රියෙල් 2012.

බාහිර සබැඳි

[සංස්කරණය]