කළු ජූලිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

1983 වර්ෂයේ ජුලි 23 දින ශ්‍රි ලංකාවේ ඇතිවුණු වර්ගවාදි කැරැල්ල හැඳින්විමට පොදුවේ යොදන නාමය "කළු ජූලිය" යන්නයි. ගණන් බලා ඇති අන්දමට එම සිද්ධියේදී දෙමළ වැසියන් 1000 ක් පමණ ඝාතනය කරන ලදහ. ගෙවල් දහස් ගණනක් ගිනිබත් කරන ලද අතර ශ්‍රි ලාංකික දෙමළ වැසියන් විශාල ප්‍රමාණයක් වෙනත් රටවලට සංක්‍රමණය වූ බවත් ඇස්තමේන්තු කර තිබේ. දෙමළ ආයුධ සන්නද්ධ සංවිධානයක් වූ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින් සැඟවී සිට කරන ලද පහර දිමකින් ශ්‍රි ලංකා හමුදාවේ සෙබළු 13 දෙනෙකු ජිවිතක්ෂයට පත් වීම මෙම අරගලයට බලපෑ මුලික හේතුව විය.

සිංහල වැඩි බලයක් හිමි ශ්‍රි ලංකා රජයත් දෙමළ බෙදුම්වාදීනුත් අතර මහා පරිමාණ යුද්ධයකට ප්‍රවේශයක් ලෙසද මෙම කළු ජූලිය සාමාන්‍යයෙන් පිළිගැනේ.

පසුබිම[සංස්කරණය]

බ්‍රිතාන්‍ය යටත් විජිතවාදි පාලකයින් විසින් ශ්‍රි ලංකාවේ පාලන කටයුතුවලදී මෙන්ම අධ්‍යාපනික, ආර්ථික පාලනය වැනි කටයුතුවලදී ද දෙමළ ජනතාවට වැඩි සැලකිල්ලක් දැක්වූහ. මෙසේ කිරිමට බ්‍රිතාන්‍යයන්ගේ බෙදා වෙන් කොට පාලනය කිරිමේ ප්‍රතිපත්තිය මුල් විය. දෙමළ සුළු ජනතාව සහ සිංහල මහ ජාතිය අතර ප්‍රචණ්ඩකාරි අර්බුදයක් ඉක්මණින් ඇති වීමට හේතු වුයේ එයයි. 1956 දි ඉදිරිපත් කරන ලද සිංහල පමණයි පනත මගින් ඉංග්‍රිසි සහ දෙමළ භාෂාව පාවිච්චි කිරිමේ සාධාරණ අයිතියට සීමාවන් පන වන ලදි. මෙම ක්‍රියාවලියට එරෙහිව දෙමළ ජනතාව දැක්වූ විරෝධතාවලට ප්‍රචණ්ඩකාරි පිරිස්වලින් පහර ඵල්ල විය. මෙවැනි සිද්ධීන් ක්‍රම ක්‍රමයෙන් වැඩි වී 1958 දී ඇති වූ කැරැල්ලක් දක්වා එම තත්ත්වය වර්ධනය විය.

1960 දශකය පුරා පැවති විරෝධතා ව්‍යාපාර සහ ඒවා වැළැක්විමට රජය ගත් ක්‍රියා මාර්ගද දෙපාර්ශවය අතර ද්වේශය වර්ධනය වීමට හේතු විය. 1971 දි දෙමළ සිසුන් ඉලක්ක කර ගත් ප්‍රමිතිකරණ ප්‍රතිපත්තිය සහ වෙනත් සීමාකිරිම් හඳුන්වා දෙන ලදි. එයින් වඩාත් තහවුරු කරන ලද්දේ සිංහල සහ මුස්ලිම් සිසුන්ට පමණක් ඉඩදෙන ක්‍රියා පිළිවෙලකි. මෙහි ප්‍රතිඵලය වූයේ දෙමළ සිසුන් වැඩි පිරිසක් සන්නද්ධ කණ්ඩායම් කරා යොමු විමයි. මෙම නැගී ගෙන එන අංකුර තත්ත්වයන් සම්බන්ධයෙන් පොලීසිය ගත් ක්‍රියාමාර්ගයන්හි ප්‍රතිඵලය වූයේ දෙමළ ජනතාව සහ රජය අතර විරසකය තව තවත් වැඩි වීමයි.

ඉන්පසුව 1977 දී එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණිමෙන් පසු "1977 කැරලි" යන නමින් හැඳින්වෙන කැරළි කීපයක් ඇති වුනි. 1981 දි ප්‍රචණ්ඩකාරි පිරිසක් විසින් ඉතා ප්‍රසිද්ධියක් ඉසිලු යාපනය පුස්තකාලය ගිනි තබන ලදි. 1983 දක්වා ඒ හා සමාන කුඩා පරිමාණයේ ප්‍රචණ්ඩකාරි ක්‍රියාවන් රජයත් හතු පිපෙන්නාක් මෙන් බිහිවු දෙමළ සන්නද්ධ කණ්ඩායම් අතරත් ඇතිවුණි. සැළකිය යුතු සංඛ්‍යාවක් වූ මිනිමැරුම්, පැහැරගෙන යාම්, හිරිහැර කිරිම්, අතුරුදන් කිරිම් පිළිබඳව එම දෙපාර්ශවයට චෝදනා ඵල්ල විය.

කළු ජුලියේ සිදුවීම්[සංස්කරණය]

කළු ජුලිය ආරම්භ වුයේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් 1983 ජුලි 23 වන දින උතුරේදී හමුදා රථ පෙළකට සැඟවී කරන ලද පහරදීම මුල් කරගෙනය. මෙය දෙමළ කැරලිකරුවන් විසින් පොලිස් නිලධාරීන් හට කරන ලද පහරදීම් පෙළක එක් පහරදීමක් පමණක් විය. මුලින්ම රථ පෙලේ ඉදිරියෙන් ගමන් කරන ලද ජීප් රිය ඉලක්ක කරගෙන බිම් බෝම්බයක් පුපුරවන ලද අතර එයින් අඩුම වශයෙන් සොල්දාදුවන් දෙදෙනෙක් තුවාල ලබන්නට ඇතැයි විශ්වාස කෙරේ. ජීප් රියට පසු පසින් පැමිණි ට්‍රක් රථයේ සිටි සෙබළුන් ජීප් රිය තුළ සිටි පිරිසට ආධාර පිණිස එළියට පැමිණි විගස ඔවුන්ට ස්වයංක්‍රීය ගිනි අවි හා ග්‍රෙනේඩ්වලින් පහර දෙන ලදී. මෙහිදී එක් නිලධාරියෙක් හා සෙසු නිල 12 ක් මරණයට පත් වූ අතර , තවත් දෙදෙනෙක් බරපතල ලෙස තුවාල ලදහ. මුළු මරණ ගණන 15 ක් වූ අතර , එල්.ටී.ටී.ඊ ප්‍රාදේශීය නායකයෙක් වූ කිට්ටු විසින් සැගවී සිට කරන ලද මෙම පහරදීම සංවිධානය කිරීම හා ක්‍රියාත්මක කිරීමේ වගකීම භාර ගන්නා ලදී.

මෙම සිද්ධිය මුල කරගෙන පසුව ඇති විය හැකි විනාශකාරී ක්‍රියා නැවැත්වීමේ අරමුණෙන් මියගිය ඒ පහලොස් දෙනාගේ මළ සිරුරු පිළිබද අවසන් කටයුතු ඉතා නිශ්ශබ්දව කොළඹ කනත්තේදී කිරීමට රජය කටයුතු කළේය. මෙය සාමාන්‍ය ක්‍රියා පිළිවෙලට විරුද්ධ වීමකි. සාමාන්‍ය පිළිවෙල විය යුත්තේ මියගිය සෙබලුන්ගේ සිරුරු ඹවුන්ගේ ගම්වල අවසන් කටයුතු කිරීමයි. මියගිය හමුදා පිරිසගේ අවසන් කටයුතු සිදු කිරිමට නියමිතව තිබු 24දින සුසාන භූමියට එකතු වු සිංහල සිවිල් වැසියන් පිරිසක් මෙම සිද්ධියට පසුබිම් වු පහරදීම ගැන කෝපයට පත්ව ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට තවත් පිටු බලයක් විය. ඔවුහු සිදුවී ඇති දෙසට පළිගැනීමක් වශයෙන් දෙමළ ජනතාව සොයා යමින් මිනී මැරීමටත්. දුෂණය කිරිමටත් පහරදිමටත් පටන් ගත්හ. ඒ අතරවාරයේ කොල්ල කෑම් සහ ගිණි තැබීම්ද සිදුවිය. සිදුවීම් මෙසේ පෙළ ගැසෙද්දී නගරය අතහැර පලා යන දෙමළ මිනිසුන්ට සිංහල ජනතාවගෙන් වැඩි දෙනෙක් ඔවු‍න‍්ගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමට ක්‍රියා කළහ. එම දිනවල බොහෝ දෙමළ මිනිසුන් සිංහල මිනිසුන්ගේ නිවෙස්වල ආරක්ෂාව ලැබුහ.

රජය 24 දින සැන්දෑවේ කොළඹට හදිසි ඇඳිරි නීතිය පැනෙව්වේය. කලහකාරී තත්වයේ අති දරුණු ස්වභාවය හේතුවෙන් පොලීසිය ඇඳිරි නීතිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අසමත් වුහ. එක්කෝ අකමැති වුහ. මේ නිසා පොලීසියේ සහායට හමුදාව කැදවීමට සිදුවිය.

ප්‍රචණ්ඩ ක්‍රියා දෙවැනි දිනයේදීත් නොකඩවා සිදුවිය. එය දෙමළ මිනිසුන් වැඩිපුර ජීවත් වු නුවර (මෙහි ඇඳිරි නීතිය සවස 6.00ට පනවන ලදී) මාතලේ , නාවලපිටිය, බදුල්ල සහ නුවර එළිය වැනි ප්‍රදේශ මුල් කරගෙන මුලු දිවයින පුරා පැතුරුනි. මස මග ගමන්ගත් වාහන ගිනි බත් කරන ලදී. ඒවායේ ගමන් ගත් දෙමළ මිනිසුන් එළියට ඇද ඔවුනට පහර දුන්හ. නැතහොත් පිහි පොරෝ වලින් කපා කොටා මරා දැමුහ. ගිනි නිවන රථ පවා කැරළිකරුවන් විසින් පලවා හරින ලදී.

මෙම සිද්ධීන් වලින් සිදුවු අපකීර්තිමත් සිදුවීම්වලින් එකක් නම් වැලිකඩ අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ 25 දින සිදුවු මහා මනුෂ්‍ය ඝාතනයයි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඒ තුළ රදවා සිටි දෙමළ රැදවියන් 37 දෙනෙකු ඒ තුලම සිටි සිංහල සිරකරුවන් විසින් කැති ‍පොලු ‍ආදියෙන් පහරදී මරා දමන ලදහ. මෙම සිද්ධියෙන් දිවි ගලවා ගත් අය කියා සිටියෝ බන්ධනාගාර නිලධාරීන් මෙයට සහයෝගය දැක්වු බවත් , සිර මැදිරි වල සතුරු කැරළිකරුවන් අතට පත් වීමට ඔවුන් ක්‍රියා කළ බවත්ය. පශ්චාත් මරණ පරීක්ෂණයේදි නිලධාරීන් කියා සිටියේ ඔවුන්ගේ සතුරු සොරකම් කර ගත් බවයි. 28 වෙනි දින සිරගෙදර තුළම දෙවැනි මනුෂ්‍ය ඝාතනයද සිදුවිය. එහිදී තවත් සිරකරුවන් 15 දෙනෙකු මිය ගියහ.

ජුලි 26 දින ඇඳිරි නීතිය මුලු දිවයිනටම බලපාන පරිද්දෙන් පනවන ලද්දේ දෙමළ මිනිසුන් ජීවත්වන දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලින් මතුවිය හැකි ප්‍රචණ්ඩකාරී ක්‍රියා තවදුරටත් පැතිර යාම වැලැක්වීමේ අරමුණෙනි. විශාල හමුදා සහ පොලිස් පිරිසක් මුර සංචාරක කටයුතුවල යෙදීමත් , කැරළිකරුවන්ට එරෙහිව කටයුතු කිරීමත් හේතුවෙන් 26 වන දින හැන්දෑව වන විට කැරළි කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය තරමක් දුරට අඩුවිය. යාපනය සිද්ධියෙන් මිය ගිය පිරිසගේ අවසාන කටයුතු ඇදිරි නීතිය පනයා තිබු රාත්‍රී කාලයක සිදු කරන ලදී. කොළඹට පවනවා තිබු දිවා ඇදිරි නීතිය ඊට පසුදින ඉවත් කරන ලදී. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල තැනින් තැන ඉන් පසුවද දින කිහිපයක් යන තෙක් සුලු සිදුවීම් වාර්ථා වුණේ දෙමළ කොටින් (කොටියා එනවා) නගරයට පහර දීමට එනවා යයි ලැබුණු කට කථා ආරංචිවලට ප්‍රතික්‍රියාදැක්වීමක් වශයෙනි.

නැවතත් 29 දින ප්‍රචණ්ඩ ක්‍රියා පැවතුණි. එය ඉතා කෙටි එකක් විය. පොලීසිය ඉන් පසු කළ වෙඩි තැබීමෙන් කැරළි කරුවන් 15 දෙනෙකු මිය ගියහ. අගනුවරට පැය 24 පුරාම ඇදිරි නීතිය පැනවින. නගරයේ පාලනය යථා තත්වයට ගෙන ඒමට ආරක්ෂක හමුදාවට හැකි විය.

"https://si.wikipedia.org/w/index.php?title=කළු_ජූලිය&oldid=396319" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි