යතුරු ලියනය

විකිපීඩියා වෙතින්
Remington Typewriter

මුද්‍රණ යන්ත්‍රය නිපදවිම මානව සන්නිවේදන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් විය. මෙතෙක් අතින් ලියු පොත් පත් දැන් මුද්‍රණ ද්වාරයෙන් නිකුත් වන්නට පටන් ගැනිණි. පොතක පිටපත් සංඛ්‍යාව දහස් ගණනින් වැඩි වත්ම ඒවා කියවන පාඨක පිරිස් ද වැඩි විණ. පාඨකයාගේ ඥාන සම්භාරයද ශිඝ්‍රයෙන් වර්ධනය විණ.

එසේ වුවද මුද්‍රණ මාධ්‍ය මුලික වශයෙන් ජන මාධ්‍යයක් විය. අන්තර් පුද්ගල සන්නිවේදනය අරබයා ඉන් ලැබුණු පිටිවහල මඳය. ඒ අන්තර් පුද්ගල අවශ්‍යතා පිරිමසා ගැනිමේ කාර්ය භාර්ය පැවරැණේ තවත් නව නිෂ්පාදනයකටය ඒ typewriter (ටයිප් රයිටර් ) හෙවත් යතුරු ලියනය' යි .

මුලින්ම යතුරු ලියනයක් නිපදවන ලද්දේ දහනවවන සියවසෙහිය. වෙළද පොළට මුලින්ම පිවිසියේ " රෙමිංටන්" (Remington) සංරක්ෂණය කළ පිටපත 2009-10-26 at the Wayback Machine යන නමින් හැඳින්වුණු ඉංග්‍රිසි යතුරු ලියනයකි. ඉංග්‍රිසි පාලන සමයේ දි මේ යතුරු ලියනය මෙරටටද හඳුන්වා දෙනු ලැබිණ. රජයේ කාර්යාල වල ලිපි ලේඛන සකස් කිරිමට මෙන්ම මුද්‍රණය සඳහා අත් පිටපත් සකස් කිරිමට ද මේ යතුරු ලියනයක් අවශ්‍ය වුයේ විසිවන සියවසේ මැද භාගයේ දී සිංහලය රාජ්‍ය භාෂාව බවටත් අධ්‍යාපන මාධ්‍යය බවටත් පත් වීමෙන් පසුවය.


සිංහල යතුරු ලියනය[සංස්කරණය]

සිංහලය අරබයා යතුරු ලියනයක් සකස් කිරිම ගැටලු සහිත ප්‍රශ්නයක් විය. පළමුවැන්න "යතුරු පුවරුව" (Keyboard) සැලසුම් කිරිමේ ප්‍රශ්නයයි. ඉංග්‍රිසි භාෂාව ලිවිමට අවශ්‍ය වන්නේ අකුරු 26 ක් පමණකි. එහෙත් සිංහලයෙන් ලිවීම සඳහා අකුරුවලට අමතරව "පිලි" නම සංකේත විශේෂය ද අවශ්‍ය වේ. අකුරු දෙකක් එකට බැඳ ලිවිමේ සම්ප්‍රදායක් ද සිංහලයෙහි ඇත. "බැඳි අකුරු" නම් අකුරු නම් අකුරු විශේෂය ඉංග්‍රිසියෙහි නැත.

සිංහලයෙහි ඇති අක්ෂර සංඛ්‍යාවද ඉංග්‍රිසි අක්ෂර සංඛ්‍යාවට වඩා වැඩිය. ඉංග්‍රිසි හෝඩි‍යේ ඇත්තේ අකුරු 26 ක් පමණකි. සිංහල හෝඩියේ අක්ෂර සංඛ්‍යාව 60 ආසන්නය. එහෙත් හැම ඉංග්‍රිසි අකුරකටම Small හා Large යනුවෙන් රූප දෙකක් ඇති බැවින් එහි අක්ෂර රූප සංඛ්‍යාව ද 52 තරම් විශාලය.

සිංහලය සඳහා යතුරු ලියනයක් නිපදවිමේ ගෞරවය හිමි වන්නේ අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු ලෙස සේවය කළ එචි එස් පෙරේරා මහතාට යැයි සඳගෝමි කෝපරහේවා මහතා පෙන්වා දෙයි. එවක රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සේවය කළ ලෝරන්ස් පෙරේරා මහතා ද ඔස්ටින් කැන්ටර් මහතා ද සිංහල යතුරු ලියන නිර්මාණයෙහිලා බෙහෙවින දායක වු බව අසන්නට ලැබිණ.ටයිප් රයිප් රයිටරය සඳහා "යතුරු ලියනය"යන පදය නිර්මාණය කරන ලද්දේ කැන්ටර් මහතා විසින් බව කෝපරහේවා මහතා කියයි.

1946 දී පමණ භාවිතයට ආ සිංහල යතුරු පුවරුවෙහි යතුරු 46 ක් වු බව කියනු ලැබේ. ඉම්පීරියල් (imperial) නම් ඉංග්‍රිසි සමාගමක් විසින් වෙළඳ පොළට හඳුන්වා දුන් මෙහි කොතරමි අඩුපාඩු තිබුණත් එය පසුකාලින යතුරු පුවරුවලට පාදක වුණු බව පෙනේ. 1950 පමණ වන විට ක්‍රිස්ටෝ (Christo) ඕර්බිස් (Orbis ) හා ඔලිම්පියා (Olympia)යනුවෙන් තවත් සිංහල යතුරු ලියන තුනක් වෙළඳ පොළට පිවිසිණ. මේවායෙහි යතුරු පුවරු එක හා සමාන නුවුයෙන් සිංහලය සඳහා වඩාත් විධිමත් වු ද කාර්යක්ෂම වු ද යතුරු පුවරුවක අවශ්‍යතාව දැනිණ. ඒ ගැන සොයා බැලිමට කාරක සභා කිපයක්ම රජය විසින් පත් කරන ලදි.

මේ කාරක සභාවල වගකීම වුයේ "සම්මත යතුරු පුවරුවක් " නිර්මාණය කිරිමට උපදෙස් දීමයි මේ එක් කාරක සභාවක වාර්තාව 1959 දී Report of the committee on the Arrangement of the sinhala Typewriter keyboad යන නමින් සැසි වාර්තාවක් වශයෙන් පළ කෙරිණ. මේ කාරක සභාවෙන් අනුමත කළ යතුරු පුවරුව සහිත යතුරු ලියනය පමණක් 1961 වර්ෂයේ සිට රජයේ කාර්යාල වල භාවිතයට නිර්දේශ කෙරිණ. එහෙත් එහි වලංගු භාවය අවුරැදු පහක කාල පරිචිඡේදයකට පමණක් සීමා කරන ලද්දේ ඊට වඩා හොඳ යතුරු පුවරුවක් නිර්මාණයට ඇති ඉඩ ප්‍රස්තාව නොවළක්වනු පිණිසය.

යතුරු ලියන පුවරුවක අකුරුපෙළගස්වා තිබෙන්නේ අකාරාදී පිළිවෙළින් නොවේ. වඩාත් බහුලව යොදන අකුරු පුවරුවේ මැද කොටසටත් විරල වශයෙන් යෙදෙන අකුරු ඈතිනුත් යෙදෙන ආකාරයට සිංහල අකුරු අතුරින් වඩාත් බහුලව යෙදෙන අකුරු මොනවා දැයි තීරණය කිරිම ලේඛන ව්‍යවහාර සමීක්ෂණයකින් පසුව පමණක් කළ යුත්තකි කැන්ටර් මහතා මෙන්ම ලෝරන්ස් පෙරේරා මහාතාද මේ සම්බන්ධයෙන් සෑහෙන වෙහෙසක් දෑරු පුරෝගාමීන් වශයෙන් හැඳින්විය හැකිය.

සිංහල යතුරු ලියනය ගැන තව දුරටත් සොයා බැලිමට 1964 දී අධිකරණ අමාත්‍යංශය විසින් තවත් කාරක සභාවක් පත් කරනු ලැබිණ. එහි සභාපති වශයෙන් ක්‍රියා කළේ එවක රාජ්‍ය භාෂා කොමසාරිස් පදවිය දරු ආචාර්ය නන්දදේව විජේසේකර මහතායි. මේ කාරක සභාව විසින් අනුමත කරන ලද යතුරු පුවරුව "විජේසේකර යතුරු පුවරුව" යන නමින් පසු කලෙක හැඳින්වෙන්නට විය. ඔලිම්පියා යතුරු ලියනයට අමතරව Adler (ඇඩිලර් ) යන නමින් අලුත් යතුරු ලියනයක් ද මේ නව යතුරු පුවරුව ජනප්‍රිය කිරිමට දායක විය.

"විජේසේකර " යතුරු පුවරුව තනි අකුරු පමණක් නොව "බැඳි අකුරු " ලිවිමට ද ඉඩ ලබා දෙයි . මේ යතුරු පුවරුව ද පසුව මඳ සංශෝධනයන්ට භාජනය කරන ලදි.

ආශිත ග්‍රන්ථ[සංස්කරණය]

(ජේ .බී දිසානායක‍ "සිංහල අක්ෂර විචාරය"කෘතිය ඇසුරුණි)

මේ අඩවිත් බලන්න[සංස්කරණය]

Sinhala Search [1] සංරක්ෂණය කළ පිටපත 2009-08-31 at the Wayback Machine

"https://si.wikipedia.org/w/index.php?title=යතුරු_ලියනය&oldid=628638" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි