සෞරග්‍රහ මණ්ඩලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන අංග: (පරිමාණයට නොවේ, වමේ සිට දකුණට) නෙප්චූන්, යුරේනස්, සෙනසුරු, බ්‍රහස්පති, ග්‍රහක වළල්ල, හිරු, බුද, සිකුරු, පෘථිවිය හා එහි චන්ද්‍රයා සහ අඟහරු. එයට අමතරව වමෙන් වල්ගාතරුවක්ද දර්ශනය වේ.

සෞරග්‍රහ මණ්ඩලය යනු, හිරු සහ එයට ගුරුත්වය මගින් බැඳුණු අනෙකුත් අභ්‍යවකාශ වස්තූන් (celestial objects) පද්ධතියයි: ප්‍රධාන ග්‍රහයන් අට (8) සහ ඒවායේ දැනට හඳුනාගෙන ඇති චන්ද්‍රයන් 165, වාමන ග්‍රහයන් තුන (3) (Ceres, Eris සහ ප්ලුටෝ) හා එම වාමන ග්‍රහයන්ගේ හඳුනාගෙන ඇති චන්ද්‍රයන් සිව් (4) දෙනා සහ බිලියනයක් පමණ වන කුඩා ග්‍රහවස්තූන් එයට අයත් වේ. මෙහි අවසානයට සඳහන් ප්‍රවර්ග ග්‍රාහක, කූපර් පටියේ ඇති වස්තූන්, වල්ගාතරු, උල්කා (meteoroids) සහ අන්තර් ග්‍රහලෝක දුහුවිලි වලින් සමන්විත වේ.

පසුබිම හා ව්‍යුහය[සංස්කරණය කරන්න]

සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන වස්තුව වන්නේ හිරුය. ප්‍රධාන අනුක්‍රම G2 තරුවක් වන එහි මණ්ඩලයේ ස්කන්ධයෙන් 99.86% අඩංගු වේ.එසේම හිරුගේ ආකර්ෂණ බලයෙන් ග්‍රහ මණ්ඩලය නතු කරගෙන සිටී. පද්ධතියේ ඉතිරි ස්කන්ධයෙන් 90% ක් පමණ අයත් කර ගන්නේ හිරුගේ විශාලතම කක්ෂීය වස්තූන් වන බ්‍රහස්පති හා සෙනසුරුය.

හිරු වටා කක්ෂයේ ඇති බොහෝමයක් විශාල වස්තු, ක්‍රාන්තිවලය ලෙස හදුන්වන පෘතුවි කක්ෂයේ තලයට ආසන්නව පවතී. ග්‍රහලෝක කාන්ති වලයට ඉතා සමීප අතර ධූම කේතු හා කුයිපර් වළල්ලේ වස්තු සාමාන්‍යයෙන් එම තලයට සැලකිය යුතු ආනතියකින් පිහිටා ඇත.

ග්‍රහලෝක සියල්ල හා අනෙකුත් බොහොමයක් වස්තු හිරුගේ භ්‍රමණය සමග කක්ෂවල චලනය වෙයි. (හිරුගේ උත්තර ධ්‍රැවයට ඉහළ සිට නිරීක්ෂණය කරන විට ඔරලෝසු කටු කැරකෙන දිශාවට විරුද්ධ දිශාවට) හේලිගේ වල්ගා තරුව වැනි මෙයින් වෙනස් වු ඒවාද ඇත.

ග්‍රහවස්තු හිරු වටා චලනය වන්නේ කෙප්ලර්ගේ ග්‍රහ වස්තු චලන මුලධර්මයට අනුවය. සියලු වස්තු ඉලිප්සයේ එක් නාභියක් ලෙස සුර්යයා තබා ගෙන දළ ඉලිප්සයක් දිගේ චලනය වේ. සුර්යයාට වඩා ආසන්නයෙන් ඇති වස්තු වඩාත් වේගයෙන් ගමන් කරයි.

ග්‍රහලෝකවල කක්ෂ සුළු වශයෙන් වක්‍රාකාර වේ. එහෙත් බොහෝමයක් ධූම කේතු, උල්කා හා කුයිපර් වළල්ලේ වස්තු අතිශයින් ඉලිප්සීය පථවල ගමන් ගනී. සම්බන්ධ වී ඇති විශාල දුරවල් සමඟ ක්‍රියා කිරීම සඳහා සෞරග්‍රහ මණ්ඩලයේ බොහොමයක් නිරූපනවල කක්ෂ අතර දුර එකම වේ. නමුත් සැබවින්ම අවස්ථා කිහිපයක් හැරුණු කොට හිරුගෙන් ඈතටයත්ම කක්ෂ දෙකක් අතර දුරද වැඩිවේ. උදාහරණයක් ලෙස සිකුරු බුධට වඩා දළ වශයෙන් 0.33 Au දුරින් පිහිටන අතර සෙනසුරු බ්‍රහස්පතිට වඩා 4.3Au ද නෙප්චූන් යුරේනස්ගෙන් 10.5Au දුරින්ද පිහිටයි. මෙම කක්ෂ දුර අතර සබඳතාවක් ගොඩ නැගීමට තාරකා විද්‍යාඥයෝ ප්‍රයත්න දරා තිබේ.(විටියස් බෝඩ් නීතිය බලන්න) එහෙත් තවමත් එවැනි පිළිගත් සිද්ධාන්තයක් ඉදිරිපත් නැත.

නිර්මාණය වීම හා පරිණාමය[සංස්කරණය කරන්න]

නෙබියුලා අවස්ථාව[සංස්කරණය කරන්න]

නිහාරිකා කල්පිතයට අනුව සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වී ඇත්තේ වසර බිලියන 4.6කට පෙර සුවිසල් වායු - ධූලි වළාකුලක් ගුරුත්වාකර්ෂණ බිඳ වැටීමකට ලක් වීමෙනි.

එම වළාව ආලෝක වර්ෂ කිහිපයක් විශාල විය යුතු අතර තාරකා ගණනකට ජීවය ලබා දි තිබිය යුතුය. පැරණි උල්කා අධ්‍යයනයේ දී පිපිරෙන අති විශාල තරුවක මධ්‍යයේ පමණක් නිර්මාණය කළ හැකි මූලද්‍රව්‍ය පිළිබඳ ඉඟි හමුවී ඇත. එයින් සූර්යයා තාරකා පොකුරක් තුළ නිර්මාණය වූ බව හැඟවේ. එසේම එම ප්‍රදේශය අසල සුපර්නෝවා පිපිරීම් කිහිපයක් ද සිදු වී ඇත. මෙම සුපර්නෝවා මඟින් ඇතිවන කම්පන තරංගය අසල ඇති නිහාරිකාවේ අධි ඝනත්ව කලාප ඇති කර ගුරුත්වජ බලවලට අභ්‍යන්තර වායු පීඩනය මැඩ පැවැත්වීමට ඉඩ සලස්වා බිඳ වැටීම සිදු කරවයි. එලෙස සූර්යයා නිර්මාණය වූ බව සැලකේ.

දැනට සෞරග්‍රහ මණ්ඩලයේ වැඩිපුර ඇති සමස්ථානික එලෙසින්ම පූර්වයේ සූර්ය ග්‍රහ මණ්ඩලය තැනීමට දායක වූ නිහාරිකාවේද තිබෙන්නට ඇතැයි සැලකේ. ඒවා නම්,

මූලද්‍රව්‍ය මිලියනයකට න්‍යෂ්ටි
හයිඩ්‍රජන්-1 705,700
හයිඩ්‍රජන් -2 23
හීලියම්-4 275,200
හීලියම්-3 35
ඔක්සිජන්-16 5,920
කාබන්-12 3,032
කාබන්-13 37
නියෝන්-20 1,548
නියෝන්-22 208
යකඩ-56 1,169
යකඩ-54 72
යකඩ -57 28
නයිට්‍රජන්-14 1,105
සිලිකන්-28 653
සිලිකන්-29 34
සිලිකන්-30 23
මැග්නීසියම්-24 513
මැග්නීසියම්-26 79
මැග්නීසියම්-25 69
සල්ෆර්-32 396
ආර්ගන්-36 77
කැල්සියම්-40 60
ඇලුමිනියම්-27 58
නිකල්-58 49
සෝඩියම්-23 33

පූර්ව සූර්ය නිහාරිකාව[සංස්කරණය කරන්න]

සෞරග්‍රහ මණ්ඩලය බවට පත්වීමට තිබූ ප්‍රදේශය හඳුන්වන්නේ පූර්ව සූර්ය නිහාරිකාව ලෙසය. 7000ත් 200000AU ත් (AU=නක්‍ෂත්‍ර ඒකක, එනම් පොළවේ සිට සූර්යයාට ඇති දුර) අතර පරිධියකින් යුක්ත වූ එය ස්කන්ධයෙන් සූර්යයාට වඩා මඳක් ඉදිරියෙන් සිටී. (සූර්ය ස්කන්ධ 0.1 හා 0.001 අතර ? ). මුලදී එහි අංශු ඉතා ඈතින් පිහිටා ඇති වළාවක් ලෙසින් පැවතුණි. වසර මිලියන ගණනක් ඇවෑමෙන් එය අංශු එකිනෙක කැටි වූ (ළං ව ඇසිරුණු) ධූලි-වායු වළාවක් ලෙස පෙනෙන්නට විය. මුලදී මෙම ධූලි වලාවට ඉතා කුඩා කෝණික ගම්‍යතාවක් තිබු බව විශ්වාස කෙරේ. ගුරුත්වය හේතුවෙන් නිහාරිකාව බිඳ වැටීමත් (සංකෝචනය) සමඟ, කෝණික ගම්‍යතා සංස්ථිතිය තුළින් පැහැදිලි කෙරෙන පරිදි එය වේගයෙන් භ්‍රමණය වන්නට විය. එවිට නිහාරිකාව ආසන්න වශයෙන් ගෝලයක හැඩයට පත් වූ අතර, (මේ සඳහා අවුරුදු 10,000 - 1,000,000ත් අතර කාලයක් ගතවී ඇත.) කේන්‍ද්‍රාපසාරී බලය හේතුවෙන් ගෝලයේ සමකය ලෙස හැඳින්විය හැකි ප්‍රදේශයේ ඇති ද්‍රව්‍ය පිටතට විහිදී තැටියක් ආකාරයේ හැඩයක් ජනනය විය. එය පූර්ව ග්‍රහලෝක තැටිය (proto planetary disk) ලෙස හඳුන්වයි.

පූර්ව සුර්යයා[සංස්කරණය කරන්න]

tiny globe
T Tauri (T ටෝරි) තරුවක් සිය පූර්ව ග්‍රහ තැටිය සමඟ

නිහාරිකාව තුළ සංඝනීකරණය වීමත් සමඟම එය තුළ වූ පරමාණු වැඩි සංඛ්‍යාතයකින් ගැටීමට පටන් ගැණුනි. වැඩිම ස්කන්ධ ප්‍රමාණයක් එකතු වී ඇති මධ්‍යයය තැටියේ අනෙක් පෙදෙස්වලට වඩා උණුසුම් විය. ගුරුත්වය, වායු පීඩනය, චුම්භක ක්ෂේත්‍රය හා භ්‍රමණය නිහාරිකාව මත ක්‍රියාකර එය භ්‍රමණය වන ප්‍රාථමික ග්‍රහ තැටියක් බවට පත් විය. දළ වශයෙන් එහි පරිධිය 200AU වේ. එහි මාධ්‍යය ඉහළ උණුසුමකින් හා ඝනත්වයකින් යුක්තය. වයසින් අඩු හා පරිමාණයෙන් අඩු හිරුට සාමාන යැයි විශ්වාස කෙරෙන පූර්ව විලයන සූර්ය ස්කන්ධ තාරකා, (T ටෝරි තාරකා) පිළිබඳ අධ්‍යයනයන් පෙන්වන්නේ එම තාරකා නිතරම පූර්ව ග්‍රහ පදාර්ථවලින් යුත් තැටි සමඟ ඇති බවයි. මෙම තැටි නක්‍ෂත්‍ර ඒකක සිය ගණනක් දක්වා විස්තීරණය වන අතර එළඹෙන උපරිම උෂ්ණත්වය කෙල්වින් දහසක් පමණ වේ.

ප්‍රධාන අනුක්‍රමයට පිවිසීම[සංස්කරණය කරන්න]

වසර මිලියන 50 ක් තුළ, බිඳ වැටෙන නිහාරිකාවෙහි කේන්ද්‍රයේ ඇති හයිඩ්‍රජන්හි ඝනත්වය හා පීඩනය ප්‍රාථමික සූර්යයාට තාප න්‍යෂ්ටික විලයන ආරම්භ කිරීමට ප්‍රමාණවත් තරම් ප්‍රමාණයකට වැඩි වෙයි. (එනම් මධ්‍යයේ උෂ්ණත්වය කෙල්වින් අංශක මිලියන එකක් පමණ උෂ්ණත්වයක් හා පීඩනය ප්‍රමාණවත් තරම්.) ද්‍රවස්ථිතික තුල්‍යතාව (hydrostatic equilibrium) ලැබෙන තෙක් උෂ්ණත්වය, ප්‍රතික්‍රියා සීඝ්‍රතාව, පීඩනය හා ඝනත්වය ඉහළ නගී. එවිට තාප ශක්තිය (විකිරණ පීඩනය - radiation pressure) ගුරුත්වජ ආකර්ෂණයට එරෙහිව ක්‍රියාකිරීමට ද පටන් ගනී. මෙම අවස්ථාවේ දී හිරු පූර්ණව වැඩුණු ප්‍රධාන අනුක්‍රම තාරකාවක් බවට පත්වේ. දැනුදු අප සූර්යයා ප්‍රධාන අනුක්‍රමයේ තරුවකි. තවත් වසර බිලියන 5-6ක් පමණ එය ප්‍රධාන අනුක්‍රමයේ පවතිනු ඇත.

ග්‍රහලෝක නිර්මාණය[සංස්කරණය කරන්න]

tiny globe
පූර්ව ග්‍රහ තැටි තුළින් ග්‍රහලෝක නිර්මාණය වෙමින්

ඉතිරිව පවතින වායු වළාකුළු හා දූවිලි (පූර්ව ග්‍රහ තැටිය) මඟින් විවිධ ග්‍රහලෝක නිර්මාණය විය. මධ්‍ය ප්‍රාථමික තාරකාව වටා කක්ෂවල දූවිලි අංශු ලෙස ග්‍රහලෝක ආරම්භ විය. ඉන්පසු ඒවා සෘජු ගැටීම් හරහා පරිධිය මීටර් එකක් හා දහයක් අතර අගයක් ගන්නා තැටියක් බවට පත්වේ.අනතුරුව ඒවා තව තවත් ගැටී ප්‍රමාණයෙන් 5km පමණ වන විශාල වස්තු (ප්ලැනටෙසිමල්ස්) බවට පත්වේ. ඒ අයුරින් නැවත නැවත ගැටීම්වලට ලක්වීම හේතුවෙන් දළ වශයෙන් වසරකට 15cm බැඟින් ඊළඟ වසර මිලියන ගණන පුරාවට විශාල වීම සිදුවේ. ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය ජලය හා මීතේන් වැනි වාෂ්පශීලී අණුවලට සංඝනීකරණය විය නොහැකි තරම් උණුසුම් නිසා එහි නිර්මාණය වන ප්ලැනටෙසිමල්ස් සාපේක්ෂව කුඩා වේ. (තැටියේ ස්කන්ධයෙන් 0.6% ක් පමණ)එසේම ඒවා සිලිකේට හා ලෝහ වැනි ඉහළ ද්‍රවාංක සහිත සංයෝගවලින් විශාල ලෙස සමන්විත වේ. මෙම දෘඩ වස්තු කාලයත් සමඟම භෞමික ග්‍රහලෝක බවට පත්වේ. තවදුරටත් විමසා බලන කළ බ්‍රහස්පතීගේ ගුරුත්වාකර්ෂණ බලපෑම් නිසා ඒ අවට වූ ප්‍රාථමික ග්‍රහ වස්තුවලට එකතු වීමට නොහැකි විය. ග්‍රාහක වළල්ල නිර්මාණය වූයේ එලෙසය. වඩා වාෂ්පශීලී අයිස් සංයෝග ඝන ආකාරයෙන් පැවතිය හැකි වූ තුහින රේඛාවට පිටින් වූ ප්‍රදේශයෙහි වූ බ්‍රහස්පති හා සෙනසුරු වායු දැවැන්තයන් විය. යුරේනස් හා නෙප්චූන් අඩු පදාර්ථ ප්‍රමාණයක් අල්වා ගත් අතර එම ග්‍රහලෝක අයිස් දැවැන්තයන් ලෙස හඳුන්වයි. එයට හේතුව ඒවා වැඩි වශයෙන් අයිස්වලින් (හයිඩ්‍රජන් සංයෝග) නිර්මාණය වී ඇතැයි සැලකීමය. සූර්යයා ශක්ති නිපදවීම ආරම්භ කළ විට සූර්ය සුළං (solar wind) ප්‍රාථමික ග්‍රහ තැටියේ වායු හා දූවිලි තාරකා විශ්වයට පා කර හරින අතර ග්‍රහලෝකවල වර්ධනය නිමා කරයි. T ටෝරි තාරකාවලට, වඩා පැරණි ස්ථායී තාරකාවලට වඩා වැඩි ශක්තිමත් තාරකා සුළඟක් (stellar wind) පවතී.

සූර්යයාගේ මියයාම[සංස්කරණය කරන්න]

සූර්යයාගේ අනාගත පරිණාමනය චිත්‍ර ශිල්පියෙකුගේ ඇසින්. වම : ප්‍රධාන අනුක්‍රමය, මැද: රතු දැවැන්තයා, දකුණ : සුදු වාමනයා

සුර්යයා ප්‍රධාන අනුක්‍රමණයෙන් ඉවත් වනතෙක් සෞරග්‍රහ මණ්ඩලය පවතින බව විශ්වාස කෙරේ. හයිඩ්‍රජන් ඉන්ධන දහනය හරහා සූර්යයා දහනය වන විට එය ඉතිරි ඉන්ධන දහනය කිරීම සඳහා තවත් උණුසුම් වේ. එම නිසා එහි තවත් වේගයෙන් දහනය සිදුවේ. එහි ප්‍රතිඵලයක් ලෙස සෑම වසර බිලියන 1.1 ටම දළ වශයෙන් 10% කින් සුර්යයාගේ දීප්තිය වැඩිවේ.එතැන් සිට වසර බිලියන 7.6 ගතවු කළ, හයිඩ්‍රජන් විලයනය අඩු ඝනත්ව උඩ වියන්වල සිදුවීමට තරම් සූර්ය හරය උණුසුම් වනු ඇත. එය සුර්යයා දැන් පවතින පරිධිය මෙන් 260 වාරයක් පමණ දක්වා විශාල වීමට හේතු වේ. සුර්යයා රතු දැවැන්තයා බවට පත් වන්නේ ඒ අයුරිනි. එම අවස්ථාවේ දී එහි විශාලම ලෙස වැඩි වූ පෘෂ්ටික වර්ගඵලය නිසා සූර්යයා සීතල වීමට පටන් ගනී.එවිට ක්‍රම ක්‍රමයෙන් සූර්යයාගේ බාහිර ස්ථර සුදු පැහැති කුඩා වස්තුවක් ඉතිරි කරමින් නැතිවී යනු ඇත. අසාමාන්‍ය ඝනත්වයකින් යුත් මෙම වස්තුව එහි මුල් ස්කන්ධයෙන් භාගයක් වන අතර ප්‍රමාණයෙන් පෘථිවිය තරම් වේ.

සෞර ග්‍රහ මණ්ඩලයේ සැකැස්ම[සංස්කරණය කරන්න]

සෞර ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානතම සාමාජිකයා සූර්යයා අහසේ දක්නට ලැබෙන විශාලතම තාරකාව ද ‍වේ. සැමගේ ප්‍රධාන ශක්ති ප්‍රභවය ද වන සූර්යයා වටා සෙසු ග්‍රහලෝක විවිධ කක්ෂවල ගමන් කරනු ලබයි. මෙසේ සූර්යයා වටා ගමන් කරන ග්‍රහලෝක නවයකි.

එනම්,

  1. බුධ
  2. සිකුරු
  3. පෘථිවිය
  4. අඟහරු
  5. බ්‍රහස්පති
  6. සෙනසුරු
  7. යුරේනස්
  8. නෙප්චූන්
  9. ප්ලූටෝ‎

ග්‍රහ ලෝක ප්‍රවර්ගයන්[සංස්කරණය කරන්න]

ප්‍රධාන ග්‍රහලෝක නවය ඒවායේ ප්‍රමාණය හා ඝනත්වය මුල් කරගෙන ප්‍රවර්ගයන් දෙකකට බෙදනු ලැබේ.

එනම්,

  1. අභ්‍යන්තර ග්‍රහලෝක සහ බාහිර ග්‍රහලෝක
  2. භෞමික ග්‍රහලෝක සහ යෝධ ග්‍රහලෝක

අභ්‍යන්තර ග්‍රහලෝක සහ බාහිර ග්‍රහලෝක[සංස්කරණය කරන්න]

අභ්‍යන්තර ග්‍රහලෝකවල ඝනත්වය වැඩිය. බාහිර ග්‍රහලෝකවල ඝනත්වය අඩුය. එයට හේතුව ඒවායේ වැඩිපුර වායු තිබීමය.

  • අභ්‍යන්තර ග්‍රහලෝක - බුධ, සිකුරු, පෘථිවි, අඟහරු
  • බාහිර ග්‍රහලෝක - බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන්, ප්ලූටෝ

භෞමික ග්‍රහලෝක සහ යෝධ ග්‍රහලෝක[සංස්කරණය කරන්න]

භෞමික ග්‍රහලෝක යනු බුධ ග්‍රහයාගේ සිට පෘථිවිය තරම් විශාල ග්‍රහලෝක වේ. මේවා බොහොමයක්ම සෑදී ඇත්තේ සිලිකේට් පාෂාණයෙනි. යෝධ ග්‍රහලෝක සූර්යයාගෙන් ඈත්ව පිහිටා ඇත. මෙම යෝධ ග්‍රහයන් ඇති වීමේ දී ඒවා වටා තිබූ වායු ගෝලවල ආධාරය ද ලැබී ඇත.

භෞමික ග්‍රහලෝක -බුධ, සිකුරු, පෘථිවි, අඟහරු යෝධ ග්‍රහලෝක -බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන්

සෞර ග්‍රහ මණ්ඩලය[සංස්කරණය කරන්න]

සූර්යයා[සංස්කරණය කරන්න]

The Sun.JPG

සූර්යයා අප සෞර ග්‍රහ මණ්ඩලයේ එකම තාරකාව වේ. ඉන් පිටවන ආලෝකය මිනිත්තු අටක් තුළ පෘථිවියට ළඟා වේ. විෂ්කම්භය කි.මී.1,391,400 (මිලියන 1.3) ක් වන මෙය සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන බ්‍රහස්පති මෙන් දස ගුණයක් විශාලය. සෞර ග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහලෝකවල බර මෙන් 743 ගුණයක් වන මෙය සෞර ග්‍රහ මණ්ඩලයේ සුවිශාලම වස්තුව වේ.

සූර්යයා මතුපිට ලප විශේෂයක් දකිනට ලැබෙන අතර එය සෑම දිනකම එකම ස්ථානයක දක්නට නොලැබේ. ඒ අනුව සූර්යයා ද තමා වටා භ්‍රමණය වේ.එම එක් වටයක් සම්පූර්ණ වීමට දින 25ක් ගත වේ. සූර්යයා මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 15,000,000ක් වේ. එවැනි අධික උෂ්ණත්වයක් යටතේ කිසිඳු ඝන ද්‍රව්‍යවක් හෝ ද්‍රවයක් තිබිය නොහැකි නිසා සූර්යයා නිර්මාණය වී ඇත්තේ වායුවලිනි.

සූර්යයා සතුව සුවිශාල බලයක් පවතින බව 1871දී හර්මන් වොන් හෙල්ම්(HERMON VON HELM) විසින් පෙන්වා දුනි. එනම් ගල් අඟුරු රාත්තල් 1500ක් පැයක් දහනය කළ විට පිටවන ශක්ති ප්‍රමාණය සූර්යයාගෙන් සෑම මොහොතකම එහි වර්ග අඩියකින් පිටවන බවයි. සූර්යයා සතුව ග්‍රහයින් 09ක් ද චන්ද්‍රයන් 66ක් ද සිටී.

බුධ[සංස්කරණය කරන්න]

Mercury.JPG

ග්‍රීකයෝ මීට අවුරුදු 5000කට පෙර සුමේරියන් යුගයේ දී බුධ ග්‍රහයා හදුනා ගනි. මෙහි විෂ්කම්භය කි.මී.4,878කි. සූර්යයා ආසන්නයේම පිහිටා ඇති ග්‍රහලෝකය බුධ වේ. මෙහි විශාලත්වය පෘථිවියෙන් 40% ක් වන අතර චන්ද්‍රයාට වඩා 40%ක් පමණ විශාලය. බුධ ග්‍රහයා තම අක්ෂය වටා කැරකීම ඉතාම සෙමින් සිදුවන්නකී. බුධ ග්‍රහයා ට දවල් සහ රාත්‍රිය ගත වීමට දින 59ක් ගතවේ. නිරන්තරයෙන් අධික උෂ්ණත්වයකින් හෙබි ගල්, පර්වත, කඳුවලින් ගහණ වූ බුධ තුළ වායුගෝලයක් හෝ ජලය නොමැත. එබැවින් ජීවීන් ද නැත. යකඩ,නිකල්, සිලිකේට් වලින් සැදී ඇත. සූර්යයාට ආසන්නයෙන්ම පිහිටා ඇති බැවින් මෙහි උෂ්ණත්වය වැඩිය.එය දිවා කාලයේ කෙල්වින් 673ක් වන අතර රාත්‍රී කාලයේ දී කෙල්වින්175කි. බුධ ග්‍රහයා මතුපිට චුම්භක ක්ෂේත්‍රය පෘථිවිය මෙන් 1%කි. එයට හේතුව බුධ ග්‍රහයාගේ අභ්‍යන්තර මදය ද්‍රව යකඩවලින් සමන්විත වීමය. පෘථිවියේ සිට දුර සැතපුම් මිලියන 57කී බුධ ග්‍රහයා සූර්යයා වටා ගමන් කරනුයේ ඉලිප්සාකාර කක්ෂයකය. බුධට තමා වටා භ්‍රමණය වීමට පෘථිවි දින 59ක් ගත වන අතර සූර්යයා වටා එක් වරක් භ්‍රමණය වීමට දින 89ක් ගත වේ.

සිකුරු[සංස්කරණය කරන්න]

Venus 1.JPG

සෞර ග්‍රහ මණ්ඩලයේ අලංකාරවත්ම ග්‍රහලෝකය සිකුරු වේ. සමහර දිනවල ඉර බැස යාමෙන් පසුව ද සමහර දිනවල පාන්දර ද මෙම ග්‍රහලෝකය දැක ගත හැක. එබැවින් මෙය "පහන් තරුව", "ඉරබටු තරුව" හා "උදාන තරුව" ලෙසින් ද හඳුන්වයි. මෙහි විෂ්කම්භය කි.මී.12,104කි. එය පෘථිවියේ විෂ්කම්භයෙන් 95%කි. එසේම සිකුරු ග්‍රහයා පෘථිවියේ බරින් 82% වේ. එය පෘථිවියට ඉතා ළඟින් පිහිටි ග්‍රහයා ද වෙයි. සූර්යා වටා ගමන් කිරීමට දින 262 ක කාලයක් ගතවේ සුර්යයා සිට දුර කීලෝ මීටර් මිලියන 108 කී. සිකුරු ග්‍රහයා ආවරණය වී ඇත්තේ වළාකුළු, ජලවාෂ්ප , සල්ෆියූර්ක් ඇසිඩ් වලිනි. සාමාන්‍ය දුරේක්ෂයකින් බලා ගත නොහැක. බුධ වැනි ග්‍රහයින් තම අක්ෂයේ භ්‍රමණය වන්නේ බස්නාහිර සිට නැගෙනහිරට වන අතර සිකුරු නැගෙනහිර සිට බස්නාහිරට භ්‍රමණය වේ.

මෙහි මතුපිට උෂ්ණත්වය ඉතා ඉහළය.සුර්යාට ආසන්නයේ බුධ ග්‍රහයා ගමන් කළත් බුධට වඩා උණුසුම්ය. එය කෙල්වින් 750ක් වේ. එබැවින් ජලය හෝ ජීවීන් නොමැත. එම නිසා මෙය ද බුධ මෙන්ම කාන්තාර ග්‍රහයෙක් ලෙස හඳුන්වයි. එහි මතුපිටින් 80%ක් පවතින්නේ තැනිතලා බිම්ය. වායු ගෝලය කාබන්ඩයොක්සයිඩ් සංයුක්ත වීඇත. එබැවින් ග්‍රහලෝක මතුපිටට ලැබෙන සූර්යය කිරණ මඟින් තදින්ම උණුසුම් වී ඇති අතර එම උණුසුම වළාකුළු සහ කාබන්ඩයොක්සයිඩ් හේතුවෙන් පරාවර්ථනය සිදුවීමක් සිදු නොවේ. මෙහිදී ද හරිතාගාර ආචරණය ද බලපානු ලැබේ සිලිකේට්,යකඩ,නිකල් වලින් සැදී ඇත.

පෘථිවිය[සංස්කරණය කරන්න]

Earth.jpg

ග්‍රහලෝක අතරින් ජීවය පවතින එකම ග්‍රහලෝකය පෘථිවිය වේ. විෂ්කම්භය කි.මී.12,756කි. එය මතුපිටින් 2/3ක් ඇත්තේ ජලයයි. ජීවීන් දක්නට ලැබෙන අතර එක් චන්ද්‍රයෙක් ඇත.

පෘථිවිය තම අක්ෂය වටා සෑම පැය 24කටම වරක් බස්නාහිර සිට නැගෙනහිරට භ්‍රමණය වේ. මෙය "පෘථිවි දිනක්" නමින් හැඳින්වේ. පෘථිවියට සූර්යයා වටා යාමට දින 365.25ක් ගත වේ. මෙම දින 0.25 වසර 4ක් පුරා එකතු කිරීම නිසා වමර 4නට පසු එළ‍ඹෙන වසර අධි වසරක් ලෙස සැල‍කේ.

පෘථිවිය ස්ථර කිහිපයකින් නිර්මාණය වී ඇත. එහි ඇතුළතින්ම ඇත්තේ අභ්‍යන්තර මදය වේ. ඊට පිටතින් ඇත්තේ පිටත මදයයි. ඊට පිටතින් වැස්ම නම් කොටසක් ඇත. ඊට පිටතින් බාහිර වැස්ම නම් කොටසක් ඇත. පිටතින්ම ඇත්තේ පිට කුෂ්ටලයයි.

පෘථිවියට එක් චන්ද්‍රයෙක් සිටින අතර එය පෘථිවියට කි.මී. 3,80,000ක් දුරින් පිහිටා ඇත. මෙය පෘථිවියට ආසන්නම ග්‍රහ වස්තුව වේ. එමගින් බල පවත්නා ආකර්ෂණ බලය නිසා පෘථිවියේ ඇති මුහුදු හා සාගරවල වඩදිය හා බාදිය ඇති කරනු ලබයි. පෘථිවියේ උසම ස්ථානය එවරස්ට් කඳු මුදුන(8,850m) වන අතර ගැඹුරුම ස්ථානය මරියානා ආගාධය (11,520m) වේ.

අඟහරු[සංස්කරණය කරන්න]

Mars1.JPG

සෞර ග්‍රහ මණ්ඩලයේ රතු පැහැයෙන් දිස්වන එකම ග්‍රහලෝකය අඟහරුය. එබැවින් මෙය රතු ග්‍රහයා ලෙස ද හැඳින්වේ. පෘථිවියට සිකුරු හැර ළඟින්ම පිහිටා ඇති ග්‍රහලෝකය අඟහරුය. මෙහි විෂ්කම්භය කි.මී.6794කි.

අඟහරු ග්‍රහයාගේ ඍතු ඇති වීම් සොයා ගෙන ඇති අතර ඒවායේ කාලය පෘථිවියේ ඍතුවලට වඩා දෙගුණයකි. අඟහරුට ඉතාමත් තුනී වායුගෝලයක් පවතින අතර එහි ඇත්තේ භූමි කම්පා නිසා එකතු වූ කාබන් ඩයොක්සයිඩ්ය. මෙහි රාත්‍රී කාලයේ උෂ්ණත්වය කෙල්වින් 187ක් වන අතර දිවා කාලයේ දී කෙල්වින් 244කි.

දැනට සෞර ග්‍රහ මණ්ඩලයේ සුවිශාලම ගිනි කන්ද සොයා ගෙන ඇත්තේ අඟහරු මතිනි. එය සොයා ගෙන ඇත්තේ 1971 දී අඟහරු කරා ගිය මැරිනර් නම් අභ්‍යවකාශ යානයෙනි.

අඟහරුට චන්ද්‍රයන් දෙදෙනෙකු සිටින අතර එය හඳුනා ගනු ලැබුවේ ඇමරිකානු ජාතික එසාප් හෝල් විසිනි. අඟහරු ආසන්නයේම ඇති චන්ද්‍රයා "‍පොබෝස්" (Phobos)ලෙස ද එයට පිටතින් ඇති චන්ද්‍රයා ඩයිමෝස් (Deimos) ලෙස ද නම් කර ඇත. මේ වන විට අඟහරු මත ජලය සහ ජීවීන් පවතීද යන්න පිළිබඳ පර්යේෂණවල නිරත වේ.

බ්‍රහස්පති[සංස්කරණය කරන්න]

Jupiter.JPG

සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතරින් විශාලතම ග්‍රහයා බ්‍රහස්පති වේ. සෙසු ග්‍රහලෝකවල මුළු බරෙන් 71%ක ස්කන්ධයකින් යුක්ත මෙය සියලුම ග්‍රහලෝකවල පරිමා එක් කළ විට ඒවා මෙන් 2.5ක ගුණයකින් යුක්ත වේ. බ්‍රහස්පතිගේ විෂ්කම්භය පෘථිවියේ විෂ්කම්භය මෙන් 10 ගුණයකට ආසන්නය.එය කි.මී.1,42,984කි.

බ්‍රහස්පති මත තද පැහැති පටි (Belt) වැනි ප්‍රදේශ ද දීප්තිමත් ප්‍රදේශ ද දැක ගත හැක. ඒවා පෘථිවියට ද වඩා විශාල ව්‍යුහයන් වේ. එම පටිවල වර්ණ කොළ, රතු හෝ දුඹුරු වේ. මෙහි දක්ෂිණ ධ්‍රැවයේ ආසන්නයේ තද රතු පැහැ ලප දක්නට ලැබේ.

ග්‍රහලෝක අතරින් අධිකතම ගුරුත්වාකර්ෂණ බලය ඇත්තේ බ්‍රහස්පතිටය. බ්‍රහස්පති සතුව චන්ද්‍රයින් 16ක් පවතී. බ්‍රහස්පති සතුව වළලු පවතින අතර ඒවා ඉතා දුර්වල ලෙස බ්‍රහස්පති අසළ පවතී.

සෙනසුරු[සංස්කරණය කරන්න]

Saturn.JPG

සෞර ග්‍රහ මණ්ඩලයේ දර්ශනීයම ග්‍රහලෝකය ලෙස හඳුන්වන්නේ සෙනසුරුය. සෙනසුරු වටා දර්ශනීය වළලු පද්ධතියක් පිහිටා තිබීම නිසා මෙම විරුදාවලිය ලබා ඇත. ගල්, පර්වත හා අයිස්වලින් නිර්මාණය වූ වළලු තුනක් මේ වටා පවතී. එහි වර්ණ ප්‍රධාන ලෙස කළු හා දුඹුරු වේ. මේවා විවිධාකාර දුරවලින් එකම තලයක පිහිටමින් සෙනසුරු වටා භ්‍රමණය වේ.

විෂ්කම්භය කි.මී. 1,20,660ක් වන මෙය දෙවන විශාලතම ග්‍රහයා වේ. සෙනසුරුගේ මධ්‍යයේ ඇති පාෂාණ ඝනත්වය ඉතා අඩු බැවින් මෙය ඝනත්වය අඩුම ග්‍රහයා ලෙස සැලකේ. මෙයට චන්ද්‍රයන් 23ක් සිටින අතර වැඩිම චන්ද්‍රයන් හිමි ග්‍රහලෝකය වේ

යුරේනස්[සංස්කරණය කරන්න]

Urenus.JPG

මෙය 1781 දී විලියම් හර්ෂල් (William Herschel) විසින් සොයා ගෙන ඇත. යුරේනස් සෞර ග්‍රහ මණ්ඩලයේ ඇති තුන්වන විශාලතම ග්‍රහයා වේ. මෙහි විෂ්කම්භය කි.මී.50,800කි.

යුරේනස් වටා වර්ණ වළලු 10ක් පවතින අතර ඒවා සෙනසුරු හා බ්‍රහස්පතිගේ වළලුවලට වඩා පටුය. සූර්යයා වටා යුරේනස් ගමන් කරනුයේ ද සිකුරු මෙන් වාමාවර්තවය. සූර්යයා වටා වසරක් යාමට යුරේනස්ට පෘථිවි වසර 84ක් ගත වේ.

සූර්යයා වටා යුරේනස් ගමන් කිරීමේ දී ඇති වන අසාමාන්‍ය හැසිරීම් රටාව නිසා ඍතු ඇති වේ. යුරේනස් සතුව චන්ද්‍රයන් 15ක් පවතී.

නෙප්චූන්[සංස්කරණය කරන්න]

Neptune.JPG

ප්‍රංශ ජාතික ලැවේරියල් හා ඇඩම්ස් විසින් සොයා ගෙන ඇත. මෙහි විෂ්කම්භය කි.මී.48,600කි. නිල් පැහැතිය.

නෙප්චූන්හි ආරුක්කු හැඩැති වළලු දෙකක් දැක ගත හැක. සෙසු ග්‍රහලෝක වටා ඇති ඒවා වෘත්තාකාර අතර මෙහි වළලු ආරුක්කු හැඩැති(U)ය. ඒවා සෙනසුරු වටා ඇති වළලුවලට වඩා පටුය.

නෙප්චූන් සතුව චන්ද්‍රයන් 8ක් පවතින අතර සෞර ග්‍රහ මණ්ඩලයේ චන්ද්‍රයන්ගෙන්විශාලතම චන්ද්‍රයෙක් වන ටයිට්‍රන් එය සතුය.

ප්ලූටෝ[සංස්කරණය කරන්න]

Pluto 2.JPG

මෙය ක්ලයිඩ් විලියම් ටොම්බෝ(Clyde William Tombaugh) විසින් සොයා ගන්නා ලදී. මෙහි විෂ්කම්භය කි.මී.2,300කි. ප්ලූටෝ සෙසු ග්‍රහලෝකවලට වඩා ප්‍රමාණයෙන් කුඩාය. එය චන්ද්‍රයා මෙන් 63%ක් වන අතර බුධ මෙන් 47%කි.

ප්ලූටෝ සියලුම ග්‍රහලෝකවල කක්ෂයට ඉතා ඈතින් පිහිටන අතර විටෙක නෙප්චූන්ගේ කක්ෂයට ද ඇතුළු වේ. වෙනත් ග්‍රහලෝකවල කක්ෂයට ඇතුළු වන එකම ග්‍රහලෝකය මෙය වේ.

ප්ලූටෝ සතුව එක් චන්ද්‍රයෙක් පවතින අතර එය අනෙක් ග්‍රහලෝකවල චන්ද්‍රයින් මෙන් නොව සාපේක්ෂව විශාලය. එය ප්ලූටෝගේ ප්‍රමාණයෙන් 57%කි. ප්ලූටෝ හැර අන් සියලුම ග්‍රහයින් එකම තලයක ගමන් කරන අතර ප්ලූටෝ ඒ සෑම එකකටම ඉහළින් තනිව ගමන් කරයි. එබැවින් එය අන්තර් ග්‍රහ වස්තුවක් ලෙස ද හඳුන්වයි. ප්ලූටෝගේ කක්ෂය සෙසු ග්‍රහලෝකවල කක්ෂය මෙන් නොව බො‍හෝ දුරට ඉලිප්සාකාරය.

මෙතෙක් කල් සෞර ග්‍රහ මණ්ඩලයේ නව වන ග්‍රහලෝකය ලෙස හැඳින්වූ ප්ලූටෝ සෞර ග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝකයක් ලෙස පිළිගත නොහැකි බව අන්තර් ජාතික තාරකා සංගමය 2006.08.24 දින ප්‍රකාශ කර ඇත.ප්ලූටෝ ආසන්නයෙහි තවත් ග්‍රහ වස්තූන් රාශියක් තිබීමත් ප්ලුටෝගේ ගුරුත්වාකර්ෂණ බලය අඩුවීමත් නිසා කක්ෂ මාර්ගය පැහැදිලිව තබා ගත නොහැකි බව ඔවුන් දක්වයි. මේ අනුව ප්ලූටෝ 2003UB 313 හෙවත් ෂෙනා(Xena) සෙරස්(Ceres) යන වස්තූන් වාමන ග්‍රහයන් ලෙස හඳුන්වා ඇත. මේ පිළිබඳව විවිධ මත පළ වී ඇත.

ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය කරන්න]

සබැඳි පිටු[සංස්කරණය කරන්න]

බාහිර සබැදි[සංස්කරණය කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=සෞරග්‍රහ_මණ්ඩලය&oldid=364702" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි