ලිංගිකත්ව අධ්‍යාපනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ලිංගිකත්ව අධ්‍යාපනය
Intervention
Barbara-Hastings-Asatourian.jpg
සැල්ෆර්ඩ් සරසවියේ විශේෂඥ්ඥවරියක වන බාර්බරා හැස්ටිං එක්සත් රාජධානියේ පාසැල්වල සිදුකරන Contraception නම් කාඩ්පත් ආශ්‍රිත ලිංගික අධ්‍යාපන ක්‍රීඩාවහි යෙදෙමින්

ලිංගිකත්ව අධ්‍යාපනය යනු චිත්තවේගී සම්බන්ධතා සහ වගකීම්, ලිංගික අවයවයන්හි අභ්‍යන්තර ව්‍යුහය, ලිංගික හැසිරීම්, ලිංගික ප්‍රජනනය,  අවම නෛතික සීමාව(age of consent), සෞඛ්‍යය, අයිතිවාසිකම්, වගකීමෙන් යුතු ලිංගික හැසිරීම් (Safe sex), උපත් පාලනය සහ ලිංගික වේරමණිය (sexual abstinence) ආදී මිනිසාගේ ලිංගිකත්වය හා සබැඳි පිළිබඳ දැනුම ලබාදීමයි.සාමාන්‍ය ක්‍රමය නම් දෙමාපියන් වැඩිහිටියන් ගෙන් හා පාසැල් වැඩසටහන් මෙන්ම පොදු සෞඛ්‍ය වැඩමුළු වලදී මේ ගැන දැනුවත් කිරීමයි.ඉහත සදහන් සියලු ම අංශයන් ආවරණය කෙරෙන ලිංගික අධ්‍යාපනය පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයක් වශයෙන් හඳුනාගත හැකි ය.

සාම්ප්‍රදායික ව බොහෝ සංස්කෘතීන්හි ලිංගික කරුණු සංවාදයට නුසුදුසු ලෙස සැලකුණු බැවින් යෞවනයන් ලිංගික කරුණු පිළිබඳ ව දැනුවත් නොකෙරුණි. එ් පිළිබඳ ව දැනුවත් කිරීම සාම්ප්‍රදායික ව පැවරුණේ දැරියගේ මව්පියන් වෙත වූ අතර  මෙය නිරතුරු ව  අැයගේ විවාහාසන්නය තෙක් කල් දමනු ලැබිණි.කෙසේ නමුත් 19වන සියවසේ අැරඹි ප්‍රගතිශීලී ඉගෙනුම් ව්‍යාපාරය (Progressive education movement) විසින් උතුරු අැමරිකානු පාසල් විෂය මාලාවට සමාජ සවස්ථතාව (Social hugiene) හඳුන්වා දීමත් සමග පාසල් පාදක ලිංගික අධ්‍යාපනයට මගපෑදිනි.[1]පාසල් පාදක ලිංගික අධ්‍යාපනයක් උදෙසා වූ මුල්කාලීන  ප්‍රයත්නයන් නොතකමින් ලිංගික කරුණු පිළිබඳ බො‍හෝ තොරතුරු  20 වන සියවසේ මැදභාගයේ අත්කරගැනුනේ මිතුරියන් සහ ජනමාධ්‍ය වෙතින් අවිධිමත් අන්දමිනි.  යෞවනෝදයෙන් ඉක්බිති ලිංගික කරුණු පිළිබඳ ව කුතුහලය බෙහෙවින් තියුණු වන අවධියෙහි පැතිරුණු මෙම තොරතුරු බොහෝමයක් උෟනතාවන් සහිත සහ අවිශ්වසනීය ද විය. 1960 ගණන් වලින් පසු විශේෂයෙන් ම බටහිර රටවල පැතිරී ගිය නවයොවුන් ගැබ්ගැනීම් විසින් මෙම දැනුම් උෟනතාවය වඩාත් ඉස්මතු කෙරුණි. මෙවැනි ගැබ්ගැනීම් වැළැක්වීම සදහා විවිධ රටවල රජයන් විසින් ගත් ප්‍රයත්නයක් වශයෙන් මව්පියන්ගේ සහ අාගමික කණ්ඩායම්වල දැඩි විරෝධය මධ්‍යයෙහි ලිංගික අධ්‍යාපන වැඩසටහන් ස්ථාපිත කෙරුණි.

එ්ඩ්ස් ව්‍යසනය විසින් ලිංගික අධ්‍යාපනයෙහි අවශ්‍යතාවය පිළිබඳ ව නැවුම් සංවේදනයක් අැතිකර තිබේ. එ්ඩ්ස් වසංගත මට්ටමින් පැතිරී අැති බොහෝ  අප්‍රිකානු රටවල් උදෙසා ලිංගික අධ්‍යාපනය වැදගත් මහජන සෞඛ්‍යය උපක්‍රමයක් ලෙස විද්‍යාඥයෝ දකිති.[2] සැලසුම්ගත මාපියභාවය (Planned Parenthood) වැනි අැතැම් ජාත්‍යයන්තර සංවිධාන පුළුල් ලිංගික අධ්‍යාපන වැඩසටහන් තුළින් ජනගහන වර්ධනය සීමාකිරීම සහ කාන්තා අයිතිවාසිකම් ශක්තිමත් කිරීම වැනි ගෝලීය වාසි සලසාගත හැකි බව විශ්වාස කරති.

නිර්වචන[සංස්කරණය]

බර්ට් (Burt) ලිංගික අධ්‍යාපනය නිර්වචනය කරන්නේ මිනිසුන් තුළ ස්ත්‍රීන් සහ පුරුෂයින් වශයෙන් වන චරිතලක්ෂණ පිළිබඳ ව හැදෑරීමක් ලෙසිනි. ඔහුට අනුව පුද්ගලයාගේ ලිංගිකත්වය ගොඩනංවන්නේ මෙකී චරිතලක්ෂණයන් විසින් ය. ලිංගිකත්වය මිනිස් දිවියේ අතිශය වැදගත්  ඉසව්වක් වන බැවින් දරුවන් ද ඇතුළු ව සෑම පුද්ගලයෙකු ම ඒ පිළිබඳ ව දැනුවත් විය යුතු ය. ලිංගිකත්වය කේන්ද්‍ර කරගන්නා සියලු ම  අධ්‍යාපන වැඩසටහන් ඉගෙනුම් ක්‍රමවේදය පිළිබද තැකීමකින් තොර ව ලිංගික අධ්‍යාපනය යන්නට ඇතුළත් කළ හැකි ය. සුරක්ෂිතකරණයට සහ පවුල පදනම් කරගත් සම්මත සදාචාරාකල්පයන්හි උන්නතියටත් ලිංගික අධ්‍යාපනය හේතුවන බව හෙතෙම තවදුරටත් පවසයි.[3]

ලිංගික සබඳතාවන් තුළ දී පෙන්නුම් කරන ප්‍රතිචාරයන් සහ ලිංගික ප්‍රජනනයෙහි විවිධ කායිකවිද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක සහ සමාජවිද්‍යාත්මක වූ අංශයන් පිළිබඳ ව ඉගැන්වීම ලිංගික අධ්‍යාපනය වශයෙන් ලීප්සන් (Leepson) හඳුනාගනී.[3] කර්නි (Kearny) -  2008 නිර්වචනය කරන  පරිදි ද  ලිංගික අධ්‍යාපනය යනු සමාජසම්මත  සිතුම් පැතුම්, පිළිවෙත් සහ පෞද්ගලික පැවැත්මක් දරුවන් සහ වැඩිහිටියන් තුළ ඇතිකිරීම අරමුණු කරගත් පරිපූර්ණ පාසල් පාඨමාලාවකි. එ මගින් පුද්ගලයාගේ මනුෂ්‍යත්වය මෙන් ම පවුල නැමති සමාජ සංස්ථාව ද බෙහෙවින් සුරක්ෂිත වෙයි.මේ අරුතින් ලිංගික අධ්‍යාපනය (Sex education) පවුල් සැළසුම්කරණය, ප්‍රජනනය (සංසේචනය [fertilization], පිළිසිඳ ගැනීම [conception], කලලයේ හා භ්‍රෑණයේ විකසන‍යේ සිට දරුඋපත තෙක් කරුණු ) වැනි ලිංගිකත්වයට අයත් අංශයන් පිළිබඳ ව මතු නොව ශාරීරික පෙනුම (Body Image), ලිංගික දිශානතිය (Sexual Orientation), ලිංගික තෘප්තිය (Sexual Pleasure), ගුණධර්ම (Values), තීරණ ගැනිම, සන්නිවේදනය, ආදරය සහ පෙම් සබඳතා ඇතිකරගැනීම, ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග (Sexually Transmitted Infections)  හා ඉන් වැළකෙන අයුරු සහ උපත් පාලන ක්‍රම (Birth Control Methods) වැනි පුද්ගලයකුගේ ලිංගිකත්වය ඇසුරු කරන අනිකුත් අංශයන් පිළිබඳ ව ද තොරතුරු එක්කරගන්නා බැවින් එය ලිංගිකත්ව අධ්‍යාපනයක් (Sexuality Education) ලෙස හැදින්වීම වඩාත් යුක්තිසහගත වෙයි.[3] ලිංගික අධ්‍යාපනයෙහි විෂය අන්තර්ගතයෙහි උචිතානුචිත බව එම කරුණු වටහා ගැනිමට සිසුවියන්ට ඇති හැකියාව සහ ඔවුන්ගේ වයස මත නිර්ණය වෙයි. ලිංගික අධ්‍යාපනය හුදු ප්‍රජනනය පිළිබඳ පරිච්ඡේදයක් හෝ දරුවන් නිෂ්පාදනය කරන සහ බිහිකරන අන්දම කියාදීමක් නො විය යුතු වග රූබින් සහ කින්ඩෙන්ඩාල් (Rubin & Kindendal) අවධාරණය කර සිටිති. යෞවනයාට ලිංගිකත්වයේ  සෑම අංශයක් පිළිබඳ ව ම මූලික අවබෝධයක් සපයමින් සිය වර්තමාන සහ අනාගත ජීවිතයට ලිංගිකත්වය වඩාත් අර්ථාන්විත ව සමීප කරගැනීමට සහායවීමේ පුළුල් අවකාශයක් සහ ඉළක්කයක් එය සතු ව පවතී.[4]

පර්යේෂණාත්මක සාක්ෂි[සංස්කරණය]

උපත්පාලන ක්‍රම සඳහා ප්‍රවේශ වීමේ අවස්ථාව නවයෞවනයන්ට ලබාදෙන පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයක් විසින් අනපේක්ෂිත යොවුන් ගැබ්ගැනිම් අවම කරන බව පර්යේෂණාත්මක සාක්ෂිවලින් පෙනී යයි.[5] හුදු- වේරමණි (abstinence only programms) වැඩසටහන් මගින් ගැබ්ගැනීමේ වැඩිවීමක් මිස අඩුවීමක් සිදු නොවන බව පරිපූර්ණ ලිංගික අධ්‍යාපන වැඩසටහන් (comprehensive sex education programms) සහ හුදු-වේරමණී වැඩසටහන් අතර කළ සැසඳීමක දී පෙනී ගොස් ඇත.[6] යෞවනයන් විසින් වාර්තා කෙරෙන අවදානම් සහගත චර්යාවන් මෙන් ම අනපේක්ෂිත ගැබ්ගැනීම් සහ ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග අවම කිරීමට, උපත් පාලන ක්‍රම පිළිබඳ ව නිවැරදි තොරතුරු සපයන විෂය මාලාවකට හැකි බව අධ්‍යනයන් රැසක් විසින් සාධනය කර තිබේ.[7] හුදු වේරමණී වැඩසටහන්වලින් කිසිදු මෙහෙයක් සිදුවන බවක් පෙනී ගොස් නැත.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) ට අනුව, ස්ත්‍රී පුරුෂ සමාජභාවයන් පිළිබඳ ව සංවේදී (gender focused) එනම් ලිංගික සමානාත්මතාවය අරමුණු කරගත් ඉගෙනුම් සංරචකයන් සහිත විෂය මාලාවක් ඒ පිළිබඳ ව නො සලකන වැඩසටහනකට වඩා , අවදානම් සහගත චර්යාවන් අවම කිරීමට සැලකිය යුතු අන්දමින් දායක වන බව 2010 වසරේ කළ විමසුමකින් හෙළි වී ඇත.[7] ලිංගික එක්වීම් පමාකිරීම සහ උපත් පාලන ක්‍රම භාවිතය යෞවනයන් විසින් ස්ත්‍රී පුරුෂ භූමිකාවන් (gender roles) කෙරෙහි සමානාත්මතාවාදී ආකල්පයන් ඇතිකරගැනීමේ ප්‍රතිඵලයන් බව ද එ මගින් පෙන්වා දි ඇත.එසේ ම එවන් අධ්‍යාපනයකට උරුමකම් කියන යෞවනයන් හිංසාකාරී සබඳතාවන්හි නියැලීමේ ඉඩකඩ මඳ බවත් ඔවුන් තුළ එච්. අයි.වී. ඇතුළු අනෙකුත් ලිංගික සම්ප්‍රේෂණ රෝග සහ අනෙප්ක්ෂිත ගැබ්ගැනිම් ද පහළ අගයක් ගන්නා බවත් එළි වි ඇත.[7]

ස්ත්‍රී - පුරුෂ සමාජභාවයන් සහ අයිතිවාසිකම් වැනි කරුණු පිළිබඳ ව අවධානය යොමු කිරීමෙන් ලිංගිකභාවය පදනම් කරගත් හිංසනයන් සහ අඩන්තේට්ටම් කිරීම් අවම කිරීමටත්, සුරක්ෂිත පාසල් පරිසරයක් (safe school) බිහිකිරීමටත්, ස්වකීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීමට යෞවනියන් ව දිරිගැන්වීමටත් , ලිංගික සමානාත්මතාවය වැඩිදියුණු කිරීමටත් මෙම වැඩසටහන් සහාය වෙයි.[7]

ලිංගික සෞඛ්‍යය වැඩසටහන් කිහිපයක පමණක් සැලසුම්කරනය සඳහා යෞවනයන්ගේ ප්‍රතිචාරයන් ද සැලකිල්ලට ගෙන ති‍බේ. ලිංගික අධ්‍යාපනය වඩාත් ඵලදායක වීමට නම් ශරීරාභ්‍යන්තර ව්‍යුහය (anatomy) පිළිබඳ අඩු අවධානයක් යොමු කළ යුතු බව සහ ලිංගික සබඳතාවන්හි සහ සන්නිවේදන‍යෙහි නියෝජනාත්මක කුසලතාවන් (negotiation skills) මුල් කරගත යුතු බව ඔවුන් යෝජනා කර තිබේ.ලිංගික සෞඛ්‍ය සායනයන් පිළිබඳ තොරතුරු පාසල් වැසිකිලි, වෙළද සංකීර්ණ වැනි නිතර යෞවනයන්ගේ ඇස ගැටෙන ස්ථානවල ප්‍රදර්ශනය කළ යුතු බව ද යෝජනා කර ඇත.[8]උපත්පාලනය පිළිබඳ ව සංවාදයට ගැනෙන ලිංගික අධ්‍යාපන වැඩසටහන් මගින් ලිංගික හැසිරීම්වලට අනුබල නො සැපයෙන බව පෙන්වා දෙන පර්යේෂණාත්මක සාක්ෂි ප්‍රමාණය කෙතරම් ද යන්න එක්සත් ජනපද වාර්තාවක් විසින් පෙන්වා දෙයි.[9][10]

බොහෝ අය බියපත් වන පරිදි කිසිදු පරිපූර්ණ වැඩසටහනක් විවාහ පූර්ව ලිංගික සබඳතාවන්හි ඉහළ නැංවීමක් සිදු නො කරන බව 2007 වසරේ අධ්‍යනයකින් හෙලි විය.පරිපූර්ණ වැඩසටහන් ස්ත්‍රීන්, පුරුෂයන් ඇතුළු සියලු ම වාර්ගික කණ්ඩායම් සහ ලිංගික අත්දැකීම් ඇති හෝ නැති යන සෑම කාණ්ඩයක් කෙරෙහි ම එක සේ යෝග්‍ය වන බව එම වාර්තාව විසින් තවදුරටත් පෙන්නුම් කෙරෙයි.[10] එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් ද පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය නිර්දිෂ්ඨ කර සිටින්නේ ඒ විසින් යෞවනයන්ට සිය ලිංගිකත්වය පිළිබඳ ව අවබෝධාත්මක තීරණ ගැනීමට හැකියාව ලබාදෙන බැවිනි.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට අනුව, [11]ලිංගිකත්ව අධ්‍යාපනය යෞවනයන්ගේ අවබෝධ ශක්තියට සමගාමී ව වයස් මට්ටමට උචිත විෂය කරුණු නිර්දේශයට එක්කරමින් වසර කිහිපයක් පුරා උගන්වනු ලබන්නකි.මනුෂ්‍ය ජීවිතයේ ගමන්මග (humen development), ව්‍යවච්ඡේදය(anatomy) සහ ගර්භනීභාවය පිළිබඳ විද්‍යාත්මක වූ ද නිර්දේශානුකූල වූ ද තොරතුරු විසින් එය සංයුක්ත වෙයි.උපත් පාලන ක්‍රම සහ එච්. අයි. වී. ඇතුළු අනෙකුත් ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳ ව තොරතුරු ද එයට ඇතුළත් වේ. එමෙන් ම එය පෞරුෂය ඉහළ නැංවීම සහ සන්නිවේදන කුසලතා වැඩිදියුණු කිරීම වැනි දැනුවත් කිරීමෙන් බැහැර අරමුණු කරා ද ගමන් කළ යුතු ය. සංස්කෘතික උපමාන (cultural norms), පවුල් ජීවිතය සහ අන්තර්පුද්ගල සබඳතා වැනි ලිංගිකත්වය සහ ප්‍රජනනය ඇසුරු කරන සමාජීය අංශයන් කෙරෙහි ද ඒ විසින් ආමන්ත්‍රණය කළ යුතු ය.

මෙම සංවාදයන් හැමවිට ම මානව හිමිකම්, ලිංගික සමානාත්මතාවය සහ ස්ත්‍රී-පුරුෂ භූමිකාවන් (gender roles) කෙරෙහි විශේෂ අවධානයකින් සිදුවිය යුතු අතර එකී අරමුණ සැපිරීමට නම්: මානව හිමිකම් ආරක්ෂා කිරීම, සාධනය සහ බලගැන්වීම; ලිංගභාවය පදනම් කරගත් වෙනස්කම්හි (gender based discriminations) දුර්විපාක; සමානාත්මතාවයේ සහ විරුද්ධ ලිංගිකයන්ට ගරු කිරීමේ වටිනාකම; සහ ස්ත්‍රී-පුරුෂ භූමිකාවන් මෙහෙයවන සමාජාකල්ප වැනි කරුණු නිර්දේශයට ප්‍රවේශ කරගත යුතු ය. ලිංගික අපචාර, ලිංගභාවය පදනම් කරගත් හිංසනය සහ අනතුරුදායක හැසිරීම් ද සංවාදයට බඳුන් විය යුතු ය. අවසාන වශයෙන් ගත්කල මේ සියලු විෂය කරුණු විසින් යෞවනයන්ට සිය ජීවිතය සම්බන්ධ ව වගකීම් සහගත තීරණ ගැනිමටත් අන්‍යයයන්ගේ අයිතීන්ට ගරු කිරීමටත් ඇවැසි ජීවන නිපුණතාවන් ලබා දිය යුතු ය. [7] යෞවනයන්ට සිය ලිංගිකත්වය සහ සෞඛ්‍ය සම්බන්ධ ව අවබෝධාත්මක තීරණ ගැනීමේ හැකියාව ලබාදෙන්නේ පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනයක් විසින් පමණකි . මෙම වැඩසටහන් විසින් ජීවන නිපුණතාවන් ගොඩනැඟීමත්, වගකීම් සහගත චර්යාවන් සුලබ කිරීමත් සිදුකරන අතර ම ඒවා මානව හිමිකම් මූළධර්ම පදනම් කරගෙන තිබීම හේතුවෙන් මානව අයිතිවාසිකම් සහ ලිංගික සමානාත්මතාවය ඉහල නැංවීමටත්, තාරුණ්‍යය බලගැන්වීමටත් දායක වෙයි. [7]

ලබාදෙන ආකාරය[සංස්කරණය]

දෙමාපියන් මිතුරන් හා ආගමික නායකයන්ගෙන් ලැබෙන නොවිධිමත් ලිංගික අධ්‍යාපනය සේම ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා ද බොහෝවිට ලැබෙන්නේ ද නොවිධිමත් ලිංගික අධ්‍යාපනයකි.විධිමත් ලිංගික අධ්‍යාපන ක්‍රම ලෙස පාසැලේ දී ඉගැන්වෙන ලිංගික අධ්‍යාපන කරුණු හා මහජන සෞඛ්‍ය නිලධාරීන් වෛද්‍යවරුන්ගේන් ලැබෙන අධ්‍යාපනය දැක්විය හැකිය.සඟරා, උපදේශාත්මක තීරු ලිපි සහ ලිංගික අධ්‍යාපන වෙබ් අඩවි හරහා ද ලිංගික අධ්‍යාපනය සැපයීමට පුලුවන.සිය පෞද්ගලික ජීවිතයත් පුද්ගල සබඳතාවනුත් පිළිබඳ ව යෞවනිය විසින් දැන සිටිය යුතු කරුණු සම්බන්ධයෙන් ඇය ව දැනුවත් කිරීම ලිංගිකත්ව අධ්‍යාපනය විසින් සිදුවන බව ස්ලයර් (Slyer) පවසයි. [12] ජීවන අභියෝගයන්ට මුහුණ දීමට යෞවනයන් ව පුහුණුකිරීම සම්බන්ධයෙන් ලිංගිකත්ව අධ්‍යාපනයෙහි වටිනාකම නොතකා හැරිය නොහැකි බව ගෘයන්බර්ග් (Gruenburg) ද පෙන්වා දෙයි. ඔහු පවසන පරිදි යම්කිසි ප්‍රමාණයක විධිමත් ලිංගික අධ්‍යාපනයක් සැපයීම අත්‍යවශ්‍ය බව නිළධාරීහු ද සාමාන්‍යයෙන් පිළිගනිති. [13]

විධිමත් ලිංගික අධ්‍යාපනය ඇතැම්විට උසස් ප්‍රාථමික පාසැලේ (junior high school) හෝ උසස් පාසැලේ (high school) නිර්දේශය තුළ පූර්ණකාලීන ව තනි විෂයක් ලෙස උගැන්විය හැකිය. නැතිනම් එය ජීව විද්‍යාව, සෞඛ්‍යය, ගෘහ ආර්ථික විද්‍යාව යන විෂයයන්ගේ පුළුල් සහභාගීත්වයෙන් යුතු ව නිර්දේශයට බාහිර වැඩසටහනක් ලෙස ද ඉගැන්විය හැකිය.ඇමරිකා එක්සත් ජනපදය වැනි, ලිංගික අධ්‍යාපනයට සම්බන්ධ ඇතැම් කරුණු විවාදාත්මක තත්ත්වයක පවතින රටවල් කිහිපයක පාසැල් ලිංගික අධ්‍යාපන වැඩසටහන් පවත්වනු නොලබයි. විශේෂයෙන් ම දරුවන්ට මෙම කරුණු පිළිබඳ ව උගැන්විය යුතු වයස් සීමාව, ඔවුන් නිරාවරණය විය යුතු විෂය ප්‍රමාණය, ලිංගික සුළුතර වැඩසටහන්[14] සහ මානව ලිංගික හැසිරීම් ඇසුරු කරන ඇතැම් කරුණු (නිදසුන් ලෙස වගකීමෙන් යුතු ලිංගික හැසිරීම් (safe sexual practises), ස්වයං වින්දනය, විවාහ පූර්ව මෛථූන්‍යය සහ ලිංගික සදාචාරය) එහි විවාදාත්මක තත්ත්වයක පවතී.

සිය අධ්‍යාපන සමයේ දි ලිංගික අධ්‍යාපනය යනුවෙන් හැඳින්වූයේ නවයෞවනයෙකුගේ වැඩිමහත් උනන්දුව යොමුවන තැන් ජීවවිද්‍යාත්මක කඩතුරාවක සඟවමින් සිදුකළ වංචනික ක්‍රියාවක් බව විල්හෙල්ම් රීක් (Wilhelm Reich) පවසා තිබේ. තමන් මූලික ම මනෝවිද්‍යාත්මක සිද්ධාන්තයක් ලෙස සැලකූ "සෑම දොම්නසක ම සහ දුෂ්කරතාවක ම මූලය අසංතෘප්ත වූ ලිංගික ආශාවන් ය" යන්න මෙම අවධාරණය විසින් නොසලකාහරින බව හෙතතෙම පවසයි.[15]ලීප්සන් සඳහන් කරන පරිදි පොදුජනතාවගෙන් බහුතරයක් නිශ්චිත සීමාවක් තුළ ලිංගික කරුණු පාසැල් තුළ ඉගැන්වීම අගයති. නමුත් ලිංගික කරුණු මනුෂ්‍ය ජීවිතයේ අතිශය රහස්‍ය සහ සංවේදී ප්‍රදේශයක් වන බැවින් ලිංගික අධ්‍යාපනය ආන්දෝලනාත්මක මාතෘකාවක් වීම නොවැළැක්විය හැකි බව ඔහු පවසයි. ලිංගික අධ්‍යාපනය පංති කාමරය හරහා ලබාදිය යුතු බවට හෙතෙම යෝජනා කරයි. [3]

ළමා ලිංගිකත්වය නිර්දේශයට ඇතුලත් කිරීම, ලිංගික සුළුතරයන් පිළිබඳ ව නිර්දේශයට ඇතුළත් කිරීම[14], උපත් පාලන ක්‍රම ඉගැන්වීම සහ විවාහයෙන් බැහැර ගැබ්ගැනීම් කෙරෙහි ඉන් වන බලපෑම, යොවුන් ගැබ්ගැනීම් සහ ලි.ස.රෝ. ව්‍යාප්තිය: ලිංගික අධ්‍යාපනය සම්බන්ධ ව විවාදයට තුඩු දී ඇති කරුණු වේ. බටහිර සමාජය තුළ ලිංගිකත්වය පිළිබඳ (සාපේක්ෂ වශයෙන් ) ගතානුගතික ආකල්ප පවතින ඇ.එ.ජ. සහ එක්සත් රාජධානිය වැනි රටවල ලි.ස.රෝ. ව්‍යාප්තිය සහ යොවුන් ගැබ්ගැනිම් ඉහළ අගයක් ගනී. [16]

සදාචාරමය ගැටලු[සංස්කරණය]

ලිංගික අධ්‍යාපනය පිළිබඳ ව ඔවුනොවුන්ට ප්‍රතිවිරුද්ධ මත දරන දෙපිරිසක් හඳුනා ගත හැකි ය. එනම් ලිංගිකත්වය පිළිබඳ ව පාරම්පිරික පිළිවෙත අනුගමනය කරන්නන් සහ නිදහස් මතවාද දරන්නනුත් ය. නිදහස් මතධාරීන් ලිංගික කරුණු පිළිබඳ ව ඉගැන්වීම සිය ලිංගික ජීවිතයට අදාළ ව අවබෝධාත්මක තීරණ ගැනීමට යෞවනයන්ට හැකියාව ලබා දෙන්නක් ලෙස සුබවාදී ව දකිති.එ මෙන් ම ඔවුහු එය බාල වියේ දී ම ලබා දිය යුතු බව පවසති. පාරම්පරික මතධාරින් ලිංගික හැසිරීම් පිළිබඳ ව උගැන්වීම තුළින් දරුවන් බාල වියේ දී ම ලිංගික ව හැසිරීමට දිරිමත් කෙරෙන බව පවසති. එ මෙන් ම ලිංගික කරුණු පිළිබඳ ව දැනුවත් කිරීම සමාජ සාරධර්මයන්ට අනුව දරුවන් ව හික්මවමින් පවුල් සංස්ථාව හරහා ඉටුවිය යුත්තක් බව ද ඔවුහු විශ්වාස කරති. ලිංගික අධ්‍යාපනය සුරැකුම්කරණය පදනම් කරගනිමින් පමණක් ලබා දිය යුතු බව ඔවුහු පවසති. [17]

ලිංගික අධ්‍යාපනයෙහි අභිප්‍රාය වන්නේ කායික සංවරය ඇතිකරගැනීම පෞද්ගලික වූ කාර්යයක් බවට පත්කිරීම සහ ඒ සඳහා සමාජය සතු ව ඇති බලපෑමෙන් පුද්ගලයා ව නිදහස් කිරීම බව ලිංගික අධ්‍යාපනය පිළිබඳ තවත් මතවාදයකි. මෙම මතය විල්හෙල්ම් රීක් වැනි ලිංගවේදීන්ගෙන් සහ සිග්මන්ඩ් ෆ්රොයිඩ් හා ජේම්ස් ඩබ්ලිවු. ප්රෙස්කොට් (James W. Prescott) වැනි මනෝවිද්‍යාඥයන්ගේ ද න්‍යායන්ගෙන් ආභාසය ලබා ඇත. මෙම මතය දරන්නන් ලිංගික චර්යාධර්ම ඉගැන්වීම පෞද්ගලික අවශ්‍යතාවක් ද නැතිනම් පොදු සමාජයෙහි අවශ්‍යතාවක් ද වැනි දේශපාලනික ගැටලු මතු කරති. මේ අයුරින් ගත්විට ලිංගික අධ්‍යාපනය යනු පුද්ගලයාට පොදු සමාජය විසින් ඇතිකෙරෙන ලිංගික අසහනයෙන් නිදහස් වීමටත්, තමන්ගේ ම වූ ජීවන දැක්මක් ගොඩනගා ගැනීමටත් ඇවැසි අවබෝධය සපයන්නකි. ලිංගික අසහනය සාමාජීය වශයෙන් හානිකර බව ද වැඩිදුරටත් පැවසිය හැකිය. ශාරීරික එක්වීම් විවෘත සංවාදයට බඳුන් වීම සහ සෞඛ්‍ය අධ්‍යාපනය තුළින් ඉහළ ආත්මාභිමානයක් ඇතිකිරීමට සහ ආත්ම විශ්වාසයක් ඇතිකිරීමටත්, රසවින්දනයක් ලබාදීමටත් (humor), සහ පොදු සෞඛ්‍ය වැඩිදියුණු කිරීමටත් හැකි බව රීඩ් මිහල්කෝ නම් ලිංගික සහ පුද්ගල සබඳතා විශේෂඥයා පවසයි. [18]

ඇතැම් ලිංගික අධ්‍යාපන විෂය නිර්දේශයන් විසින් පාරම්පරික විනීත පැවතුම් බිඳ දමන බවත් සමලිංගිකත්වය සහ විවාහ පූර්ව මෛථූන්‍ය වැනි සදාචාර විරෝධී (යැයි ඔවුන් අදහස් කරන) චර්යාවන්ට අනුබල දෙන බවත් සමහරු පවසති. විය යුතු පරිදි ම සමලිංගිකත්වය සහ විවාහ පූර්ව මෛථූන්‍ය මිනිස් දිවියේ සාමාන්‍ය සහ ස්වාභාවික හැසිරීම් ලෙස දකින අය මීට ප්‍රතිවිරුද්ධ අදහස් දරති.

විවාහ‍යෙන් පරිබාහිර ලිංගික සබඳතා සදාචාර විරෝධී සහ මනෝවිද්‍යාත්මක ව හානිකර තත්ත්වයන් ඇතිකරන බව බොහෝ ආගමික ඉගැන්වීම්වල සඳහන් වෙයි. එ මෙන් ම සම්මත සදාචාරාකල්ප ලිංගික අධ්‍යාපනය තුළ ඉගැන්වෙනු දැකීමට බොහෝ සැදැහැවත්හු කැමති වෙති. ලිංගික කරුණු පිළිබඳ දැනුම අත්‍යාවශ්‍ය එනම් නොතැකිය හැකි දෙයක් නොවන නිසා එය ලබාදීම හැකිතාක් දුරට සුරක්ෂිතකරණය අරමුණුකරගනිමින් සිදුවිය යුතු බව ඔවුහු පවසති. [19]

ලිංගික සුළුතරයන් උදෙසා ලිංගික අධ්‍යාපනය[සංස්කරණය]

ලිංගික සුළුතරයන්ට සම්බන්ධ කරුණු පාසල් විෂය නිර්දේශයන්ට ඇතුළත් කිරීම ද මතභේදයන්ට මුල් වූ කරුණකි. ලිංගික සුළුතරයන් (LGBT) යනුවෙන් හැඳින්වෙන්නේ ස්ත්‍රී සමසරාගික (Lesbian), පුරුෂ සමසරාගික (Gay), උභය සරාගික (Bisexual) සහ ලිංගික සංක්‍රාන්තික (Transgender) පිරිස් ය. ඔවුන්ගේ ලිංගික අනන්‍යතාවයන්ට ආමන්ත්‍රණය කරන ලිංගික අධ්‍යාපන වැඩසටහන් LGBT Sex Education හෙවත් ලිංගික සුළුතරයන් උදෙසා වැඩසටහන් යන්නෙන් අදහස් වෙයි. මෙම වැඩසටහන් තුළ ඔවුන්ගේ ලිංගික දිශානතියට අනන්‍ය වූ වගකීම් සහිත ලිංගික හැසිරීම් උගන්වනු ලැබේ. නමුත් පාසල් බොහොමයක මෙවැනි අධ්‍යාපන වැඩසටහන් නොපවතින බව හෙළි වී ඇත. [20] ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත අටක ( එනම් ඇලබාමා, ඇරිසෝනා, ලුයිසියානා, මිසිසිපි, ඔක්ලහෝමා, සවුත් කැරොලිනා, ටෙක්සාස් සහ උටා යන ප්‍රාන්තවල) ලිංගික සුළුතරයන් උදෙසා වැඩසටහන් ප්‍රතිශේධ කරන නීති පවතී. තම ප්‍රජාව පිළිබඳ සුභවාදී යමක් අසා තිබුණේ ලිංගික සුළුතර සිසුන්ගෙන් 20%ක ප්‍රතිශතයක් පමණක් වූ අතර ඔවුන්ට ලිංගික සුළුතරයන් පිළිබඳ , ඉතිහාසය හෝ සමාජ අධ්‍යයනය විෂයේ දී තරම් ධනාත්මක දැක්මක් සෞඛ්‍ය වැනි විෂයක දී හමු නොවන බවත් වාර්තා කර තිබේ. [21]

පක්ෂව[සංස්කරණය]

සුළුතර ලිංගික වැඩසටහන්වලට පක්ෂ ව කරුණු දක්වන්නන් සමලිංගිකත්වය නිර්දේශගතවීම තුළින් ලිංගික සුළුතර සිසුන්ට ඇවැසි ලිංගික සෞඛ්‍ය තොරතුරු ලබාදීමටත්[22] ලිංගික සුළුතර සිසුන්ගේ දුර්වල ආත්මාභිමානය (low self esteem) නඟාසිටුවීමට සහ ඔවුන් තුළ පැවතිය හැකි විෂාදය (depression) වැනි තත්ත්වයන්ගෙන් අත්මිදවීමටත් උපකාරී වන බව පවසති. [23] (ලිංගික සුළුතර සිසුන් මෙවැනි තත්ත්වයන්ට ගොදුරු විය හැකි බව පර්යේෂණ විසින් පෙන්වා දී ඇත.) සමලිංගද්වේෂයෙන් සිදුකෙරෙන අඩන්තේට්ටම් (homophobic bullying) අඩුකිරීමටත් ඉන් හැකි වන බව ඔවුහු පවසති. [23][24] ලිංගික අධ්‍යාපනයේ හෙට දවස(Future of Sex Education) විසින් ඉදිරිපත් කරන ලද ජාතික ලිංගිකත්ව අධ්‍යාපන ප්‍රමිතීන් ලිංගික සුළුතරයන් ඇතුළත් කරගත් විෂය නිර්දේශයකට කදිම නිදසුනකි. එම අධ්‍යාපන ප්‍රමිතීන් ලිංගික අධ්‍යාපන වැඩසටහනක අනිවාර්යයෙන් ම ඉගැන්විය යුතු විෂය ප්‍රදේශ හතක දළ ව්‍යුහය දක්වන අතර ඉන් එකක් වන්නේ අනන්‍යතාවයයි(Identity). එහි දී සිසුන්ට තම ජීවන ගමනේ දී තමන් කවුරුන්ද යන්න වටහා ගැනිම තුළ ස්ත්‍රී සමසරාගිකත්වය, පුරුෂ සමසරාගිකත්වය, උභය සරාගිකත්වය සහ ලිංගික සංක්‍රාන්තිකත්වය සිය අනන්‍යතාවය ලෙස තෝරාගත හැකි ජීවන විලාසිතාවන් වශයෙන් පෙන්වා දෙයි. ලිංගික අධ්‍යාපනයේ හෙටදවස පවසන අන්දමට මෙම නිර්දේශය ළදරු පාසැලේ දී සිට ඇරඹිය යුතු අතර සිසුන්ගේ පරිණත බවට සහ වයසට සාපේක්ෂ ව පාසැල් අධ්‍යාපනය තුළ වඩා සංකීර්ණ විෂය කොටස් බවට පත්විය යුතු ය. [25]

විපක්ෂව[සංස්කරණය]

ලිංගික සුළුතරයන් පිළිබඳ ව පංති කාමරය තුළ සංවාදයට ගැනීම දරුවන් ව අනුචිත මාතෘකාවන්ට නිරාවරණය [20] කරන බවටත් ඇතැම් ආගමික ඉගැන්විම්වලට [14]නිගරු කිරීමක් බවටත් විරුද්ධවාදීහු නිරතුරු ව චෝදනා නගති. සමලිංගිකත්වය නිර්දේශගතවීම තුළින් සිය දරුවන්ට ඉගෙනීමට සුදුසු නුසුදුසු දේ ගැන තීරණ ගැනිමට මවුපියන්ට ඇති අයිතිය උල්ලංඝනය වන බවත් පාසල විසින් දරුවන්ගේ සමාජ සංවරයට අදාළ නිශ්චිත දේශපාලන මත දැක්වීමක්[26] නොකළ යුතු බවත් ඔවුහු පවසති. වර්තමානයේ පවතින බොහෝ ලිංගික අධ්‍යාපන නිර්දේශයන්හි සුළුතර ලිංගිකත්වය ආශ්‍රිත මාතෘකා අන්තර්ගත නොවන අතර සුළුතර ලිංගිකත්වයට අදාළ කරුණු පිළිබඳ ව ප්‍රමාණවත් අධ්‍යාපනයක් නොසැපයෙන බව සිසුන්ට නිතර හැඟී ගොස් ඇති බව අධ්‍යයන වාර්තා පෙන්වා දෙයි. [20][27]

ලිංගිකත්ව අධ්‍යාපනය පිලිබඳ ලෝක තත්වය[සංස්කරණය]

අප්‍රිකාව[සංස්කරණය]

ඊජිප්තුවේ රජයේ පාසැල් වල, මධ්‍ය-ප්‍රාරම්භ අවධියෙහි දෙවන හා තෙවන වසරන්හිදී (ශිෂ්‍යයෝ වසර 12–14 සපුරත්ම), පුරුෂ හා ස්ත්‍රී ප්‍රජනන පද්ධතීන්, ලිංගික අවයව, උපත් පාලනය සහ ලිංගාශ්‍රිතව බෝවෙන රෝග පිළිබඳව උගැන්වුම මගින් දැනුමක් ලබා දෙනු ලැබේ.[උපහරණ ඇවැසිය]

ආසියාව[සංස්කරණය]

ඉංදුනීසියාව, මොංගෝලියාව සහ දකුණු කොරියාව යන රටවල පාසැල් ලිංගිකත්ව අධ්‍යාපන වැඩසටහන් උදෙසා ක්‍රමවත් ප්‍රතිපත්ති රාමුවක් පවතී.

මලයාසියාව සහ තායිලන්තය තුළ නවයෞවනයන්ගේ ප්‍රජනක සෞඛ්‍යය අවශ්‍යතාවන් උදෙසා සුවිශේෂී සේවාවන්, පණිවිඩ සහ අමුද්‍රව්‍ය සැපයීම විසින් දායක වි තිබේ.

බංග්ලාදේශය, මියන්මාරය, නේපාලය සහ පාකිස්තානය තුළ කිසිදු විශේෂ ලිංගික අධ්‍යාපන වැඩසටහනක් දක්නට නොමැත. [28]

ජපානයේ ලිංගික අධ්‍යාපනය වයස අවුරුදු 10/11 වයස්වල පටන් වරප්‍රසාදිත ව පවතින අතර එම වයස්වල දී ආර්තවය සහ ශුක්‍ර මෝචනය වැනි මාතෘකා ආවරණය කෙරේ. [29]

චීනය සහ ශ්‍රී ලංකාව තුළ ලිංගික අධ්‍යාපනය ජීවවිද්‍යා පෙළපොත්වල ප්‍රජනනය පිළිබඳ පරිච්ඡේදවලට සාම්ප්‍රදායික ව කොටු ව පවතී. ශ්‍රී ලංකාවේ තාරුණ්‍යය නිවැරදි ලෙස දැනුවත් වන්නේ වයස අවුරුදු 17ක් 18ක් තරම් වන විට ය.ජාත්‍යන්තර සැලසුම්ගත මාපියභාවය සංවිධානය සහ බී.බී.සී. ලෝක සේවය ලිංගික අධ්‍යාපනය, පවුල් ජීවිත අධ්‍යාපනය, උපත්පාලනය සහ මාපියභාවය පිළිබඳ ව සංවාද ඇතුළත් Sexwise නම් කොටස් දොළහකින් සමන්විත වැඩසටහන් මාලාවක් විකාශය කළ අතර එය මුල්වරට දකුණු ආසියාව තුළත් පසු ව ලොව පුරාත් ප්‍රචාරය විය. [30]

යුරෝපය[සංස්කරණය]

ලෝක සෞඛ්‍යය සංවිධානය සියලුම වයස් සිමාවල දරුවන්ට එක්තරා ආකාරයක ලිංගිකත්ව අධ්‍යාපනයක් නිර්දිෂ්ඨ කර සිටී.

ප්‍රංශය[සංස්කරණය]

ලිංගික අධ්‍යාපනය 1973 පටන් ප්‍රංශයේ පාසල් විෂය නිර්දේශයේ කොටසක් ව පවතී.සෑම පාසැලක් ම ලිංගික අධ්‍යාපන වැඩසටහන් සඳහා පැය 30-40 කාලයක් වෙන්කළ යුතු අතර උපත්පාලන කොපු එරට අට සහ නමය වසරවල සිසුවියන් අතර අතිනත යැවීම ද දැකිය හැකි ය. 2000 වසරේ ජනවාරි මස ප්‍රංශ රජය රූපවාහිනී සහ ගුවන්විදුලි වැඩසටහන් යොදාගනිමින් උපත්පාලනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කළ අතර මිලියන පහකට ආසන්න අත්පත්‍රිකා සංඛ්‍යාවක් ද උසස් පාසල් සිසුවියන් අතර බෙදාහරින ලදී. [31]2013 සැප්තැම්බර් මස ප්‍රංශ රජය “ les ABCD de l’ égalité ”(සමානාත්මතාවයේ අ යනු ආ යනු) නමින් “පාසල් තුළ ස්ත්‍රී -පුරුෂ රාමුගතකිරීම් සමග සටන්වැදීම” අරමුණු කරගත් වැඩසටහනක් දියත් කරන ලදී.The ultimate goal is to foster mutual respect between boys and girls early on so that it impacts their conception of the world later on. [32]

ජර්මනිය[සංස්කරණය]

1970 පටන් ලිංගික අධ්‍යාපනය ජර්මනියේ පාසල් විෂය නිර්දේශයේ කොටසක් ව පවතී. 1992 සිට එය රාජ්‍ය වගකීමක් බවට නෛතික ව පත්කර තිබේ. [33]පොදු වශයෙන් ගත්විට ඒ තුළ පරිණතවීමේ ක්‍රියාවලිය, යෞවනෝදයේ ශාරිරික වෙනස්වීම්, සංවේදනයන්, ප්‍රජනක ක්‍රියාවලිය සම්බන්ධ ජීවවිද්‍යාත්මක කරුණු, පෙම්සබඳතා පැවැත්වීම, සමලිංගිකත්වය, අනවශ්‍ය ගැබ්ගැනීම් සහ ගබ්සාව, ලිංගික ප්‍රචණ්ඩත්වයේ අනතුරුදායක බව, ළමා අපයෝජනය, සහ ලිංගික ව සම්ප්රේීෂණය වන රෝග වැනි සෑම අංශයක් ම ආවරණය කෙරේ. ලිංගික ඉරියව් (sex positions) පවා ඇතැම්විට නිර්දේශගත කරගන්නා තරමට එය පරිපූර්ණය. [34]

ස්වීඩනය[සංස්කරණය]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

සඳහන් තැන්[සංස්කරණය]

  1. Tupper, Kenneth (2013). "Sex, Drugs and the Honour Roll: The Perennial Challenges of Addressing Moral Purity Issues in Schools". Critical Public Health. 24 (2): 115–131. doi:10.1080/09581596.2013.862517. 
  2. "Namibia National Policy on HIV/AIDS for the Education Sector" (PDF). USAID Health Policy Initiative. 2003. Archived (PDF) from the original on November 8, 2013. සම්ප්‍රවේශය November 8, 2013. 
  3. 3.0 3.1 3.2 3.3 Referred in paper by Jeanette De La Mare. October 2011.
  4. Rubin and Kindendall (2001)
  5. Oringanje, C; Meremikwu, MM; Eko, H; Esu, E; Meremikwu, A; Ehiri, JE (Oct 7, 2009). "Interventions for preventing unintended pregnancies among adolescents.". The Cochrane database of systematic reviews (4): CD005215. PMID 19821341. doi:10.1002/14651858.CD005215.pub2. 
  6. DiCenso, A; Guyatt, G; Willan, A; Griffith, L (Jun 15, 2002). "Interventions to reduce unintended pregnancies among adolescents: systematic review of randomized controlled trials.". BMJ (Clinical research ed.). 324 (7351): 1426. PMC 115855Freely accessible. PMID 12065267. doi:10.1136/bmj.324.7351.1426. 
  7. 7.0 7.1 7.2 7.3 7.4 7.5 http://www.unfpa.org/comprehensive-sexuality-education
  8. DiCenso, A.; et al. (2002). "Interventions to Reduce Unintended Pregnancies Among Adolescents: Systematic Review of Randomized Controlled Trials". British Medical Journal. 324 (7351): 1426. PMC 115855Freely accessible. PMID 12065267. doi:10.1136/bmj.324.7351.1426. 
  9. Kirby, D. (2001). "Emerging Answers: Research Findings on Programs to Reduce Teen Pregnancy". National Campaign to Prevent Teen Pregnancy.  Homepage of the study.
  10. 10.0 10.1 Kirby, D. (2007). "Emerging Answers 2007: Research Findings on Programs to Reduce Teen Pregnancy and Sexually Transmitted Diseases". National Campaign to Prevent Teen Pregnancy. Archived from the original on July 14, 2014. 
  11. "UNFPA Operational Guidance for Comprehensive Sexuality Education: A Focus on Human Rights and Gender" (PDF). UNFPA. 
  12. Slyer (2000)
  13. Gruenberg (2000)
  14. 14.0 14.1 14.2 Janofsky, Michael. "Gay Rights Battlefields Spread to Public Schools". The New York Times. සම්ප්‍රවේශය November 2, 2013. 
  15. Reich (2006) Die Sexualität im Kulturkampf. Part one "the failure.." 6. The puberty problem - (3°) "A reflection.." - c. sexual relationships of pubescents - paragraph 4.a (pp. 198-99 of Italian edition)
  16. "Joy of sex education" by George Monbiot, The Guardian, May 11, 2004
  17. Luker, Kristen (2006). When Sex Goes To School: Warring Views on Sex- And Sex Education- Since The Sixties. W.W. Norton & Company. 
  18. Mihalko, Reid. "About Reid". Reid About Sex. සම්ප්‍රවේශය June 3, 2011. 
  19. PBS, February 4, 2005 Religion & Ethics Newsweekly, Episode 823 Accessed December 30, 2006
  20. 20.0 20.1 20.2 Formby, Eleanor (August 2011). "Sex and relationships education, sexual health, and lesbian, gay and bisexual sexual cultures: views from young people". Sex Education. 11 (3): 255–266. doi:10.1080/14681811.2011.590078. 
  21. Kosciw, J.G. (2012). "The 2011 National School Climate Survey: The experiences of lesbian, gay, bisexual, and transgender youth in our nation's schools". Gay, Lesbian and Straight Education Network. 
  22. Sanchez, Marisol. "Providing inclusive sex education in schools will address the health needs of LGBT Youth" (PDF). Center for the Study of Women UCLA. සම්ප්‍රවේශය October 17, 2013. 
  23. 23.0 23.1 Slater, Hannah. "LGBT-Inclusive Sex Education Means Healthier Youth and Safer Schools". Center for American Progress. සම්ප්‍රවේශය November 2, 2013. 
  24. Goodman, Josh. "5 Reasons Schools Should Adopt LGBTQ-inclusive Sex Ed". The Huffington Post. සම්ප්‍රවේශය November 2, 2013. 
  25. McGarry, Robert (2013). "Build a curriculum that includes everyone: ensuring that schools are more accepting of LGBT students and issues requires more than passing mentions of diversity in sex education classes". Phi Delta Kappan. 94. 
  26. Villalva, Brittney. "Sex Education in Schools Should Include a Gay Agenda, Report Claims". The Christian Post. සම්ප්‍රවේශය November 2, 2013. 
  27. Ellis, Viv; High (April 2004). "Something More to Tell You: Lesbian, Gay, or Bisexual Young Peoples". Journal of Adolescence. 30 (2): 213–225. doi:10.1080/0141192042000195281. 
  28. Adolescents In Changing Times: Issues And Perspectives For Adolescent Reproductive Health In The ESCAP Region United Nations Social and Economic Commission for Asia and the Pacific Archived January 19, 2014, at the Wayback Machine.
  29. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; swedsexed නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  30. Involve The Young! Interview with Dr Pramilla Senanayake, assistant director-general of the International Planned Parenthood Federation
  31. Britain: Sex Education Under Fire UNESCO Courier Archived December 22, 2009, at the Wayback Machine.
  32. Vincent Peillon, Assemblée nationale, 28 janvier 2013 (January 13, 2014). "Les ABCD de l’égalité : un outil pour lutter dès l’école contre les inégalités filles-garçons | Portail du Gouvernement". Gouvernement.fr. සම්ප්‍රවේශය August 5, 2014. 
  33. Sexualaufklärung in Europa (German)
  34. Sexualkunde-Schmutzige Gedanken (German)

වැඩිදුර කියවීමට[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Education by subject සැකිල්ල:Sexual ethics සැකිල්ල:Reproductive health

"https://si.wikipedia.org/w/index.php?title=ලිංගිකත්ව_අධ්‍යාපනය&oldid=423552" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි