විවාහය

විකිපීඩියා වෙතින්
මංගල මුදු

විවාහය විශ්වීය සමාජ සංස්ථා අතරින් එකකි.මිනිසාගේ ලිංගික ජීවිතය පාලනය කිරීමටත් එය විධිමත්ව සංස්ථාපනය කිරීමටත් මානව සමාජයේ විවාහය නම් සංස්ථාව ගොඩ නැගී ඇත.පවුල නම් වන සංස්ථාව සමග ඉතා කිට්ටු සබදතාවයක් පවතී.සමාජ සංස්කෘතික ආගමික හා ආර්ථික පදනමක් මත විවාහය ක්‍රියාත්මක වෙයි.ෆෙඩ්රික් ඒංගල්ස් දක්වන පරිදි මනවයාගේ වර්ධනය අනුව ගොඩනැගුන විවාහ ක්‍රම තුනක් දක්වයි.

  • වනචාරී මිනිසාට සමූහ විවාහ
  • වැදි මිනිසාට ලිහිල් විවාහ
  • ශිෂ්ට මිනිසාට ඒක පන්ති විවාහ

එංගල්ස් ගේ මෙම අදහස මානව සංවර්ධනයේ අදියරයන් කියාපායි.විවාහය යනු සමාජය පිළිගත් ආකාරයට ලිංගික සබදතා පවත්වන වැඩිහිටියන් දෙදනකු හෝ කිහිප දෙනකු ලෙස සරලව දැක්විය හැක.විවාහය සලකා බලන සංස්කෘතියට අදාල චාරිත්‍ර වාරිත්‍ර වලට හා එම සමාජය පිළිගත් නෙෙතික රාමුවට යටත් වෙයි සරල සමාජ වල චාරිත්‍ර වාරිත්‍ර හා සංස්කෘතික පිළිගැනීම් වලට මුල් තැන දෙන අතර සංකීර්ණ සමාජවල නෙෙතික ගිවිසුමට ප්‍රධාන තැනක් දෙයි.විවාහය අර්ථ දැක්වීමේ දී ඉතා සංකීර්ණ ගැටළවකට මුහුණ දීමට සිදුවතු නියතය.උදාහරණ ලෙස එක්සත් රාජධානියේ හෙවත් බ්‍රිතාන්‍ය රාජකීය මානව විද්‍යා සංගමයේ ප්‍රකාශයක සදහන් වන්නේ“ විවාහය යනු එක් ම්නිසෙක් සහ එක් ගැහැනියක අතර ඇතිවන සම්බන්දතාවයේ ප්‍රතිඵල ලෙස ඒ ගැහැණිය බිහිකරන දරුවන් නීතියට අනුකූලයැයි පිළි ගැනීමයි.


මානව විදයාඥයෙකු වූ ජී·පී මර්ඩොක් විවාහය පිළිබඳව දැක්වූ නිර්වචනය (1846) හේමන්ත කුමාර විසින් පවුල , විවාහය හා චාති ක්‍රමය පිළිබඳ සමාජ විද්‍යාව (2017) යන පොතේ මෙලෙස දක්වා ඇත.

“සමලිංගික නොවන පුද්ගලයන් දෙදෙනකු අතර පවත්නා සාපේක්ෂ ලෙස ස්ථීර ලිංගික සම්බන්ධතාවයක් මෙන්ම ආර්ථිකමය වශයෙන් ශ්‍රම විභජනයක් අනුගමනය කිරීම විවාහයයි”

විවාහය පිළිබදව නිර්වචනයක් ඉදිරිපත් කරන කැතලින් ගොෆ් දක්වන්නේ මෙවැනි අදහසකි “එක් ස්ත්‍රියක් එක් පුරුෂයෙකු හෝ පුරුෂයන් එක් අයකුට වඩා වැඩි ගණනක් සමග ලිංගින සම්බන්ධකම් ගොඩනගා ගැනීම තුලින් සමාජය පිළිගත් දරුවන් ලබා ගැනීම විවාහයයි”බී මැලිනොවුස්කි සදහන් කරන්නේ විවාහට යනු දරුවන් උත්පාදනය හා නඩත්තු කිරීම පිළිබද ගිවිසුමක් බවයි.එහෙත් මේ සියලුම නිර්වචන මගින් විවාහය පිළිබද නිවැරදි හා සම්පූර්ණ අදහසක් පෙන්වා නොදෙයි.විවාහය නිර්වචන ඇසුරින් තේරුම් ගැනීමට සුදුසු පැහැදිලි නිර්වචනයක් බිහිවී නොමැති වීමෙන් මෙහි සංකීර්ණ බව වටහා ගත හැක.එඩ්මන් ලීචි පෙන්වාදෙන ආකාරයට විවාහය තුල අඩංගුවිය යුතු ලක්ෂණ කිහිපයක් මෙසේය.

  • ගැහැණියගේ දරුවනට නෙෙතික පියකු ලැබීම
  • පුරුෂයාගේ දරුවනට නෙෙතික මවක ලැබීම
  • ස්ත්‍රියගේ ලිංගික ඒකාධිකාරය පුරුෂයාට ලැබීම
  • පුරුෂයාගේ ලිංගික ඒකාධිකාරය ස්ත්‍රියට ලැබීම
  • පුරුෂයාගේ ගෘහස්ථ හා අනෙකුත් ශ්‍රම සේවාවන්හි ඒකාධිකාරය ස්ත්‍රියට ලැබීම
  • ස්ත්‍රිටගේ ගෘහස්ථ හා අනෙකුත් ශ්‍රම සේවාවන්හි ඒකාධිකාරය පුරුෂයාට ලැබීම
  • පුරුෂයාට අයත් දේපල අයිතිය ස්ත්‍රියට ලැබීම
  • ස්ත්‍රියට අයත් දේපල අයිතිය පුරුෂයාට ලැබීම
  • විවාහයෙන් උපදින දරුවන් වෙනුවෙන් සාමූහික දේපලක් ගොඩනැගීම
  • පුරුෂයාගේ හා ස්ත්‍රියගේ නෑදෑයන් අතර ඥාතිත්ව බන්ධනයක් ගොඩනැගීම

ඊ ඒ වෙස්ටර් මාරක් තම මානව විවාහයේ ඉතිහාසය නම් ග්‍රක්තයෙන් සදහන් කරන්නේ පුරුෂයන් එක් අයකු හෝ වැඩි ගණනක් ස්ත්‍රීන් එක් අයකු හෝ වැඩි ගණනක් පවතින සමාජය අනුමත කරන ආකාරයෙන් ලිංගික සබදතා පවත්වා එයින් නෙෙතික හිමිකමක් සහිත දරුවන් බිහිකිරීම විවාහය බවයි

මේ සියල්ල සලකා බැලූවිට විවාහය යනු යම් සමාජයක් පිළිගත් ආකාරයට චාරිත්‍රානුකූලව හෝ පිළිගත් නීතියට අනුකූලව ලිංගික සබදතා පැවැත්වීම විවාහය ලෙසයි.විවාහය විශ්වීය සමාජ සංස්ථාවකි.

විවාහ වර්ග[සංස්කරණය]

ලෝකයේ විවිධ සංස්කෘතීන් වල දක්නට ලැබෙන විවාහ ක්‍රම කිහිපයක් මෙසේය.

එක පුරුෂ ඒක භාර්‍යා විවාහ[සංස්කරණය]

ඒක පුරුෂ ඒක භාර්‍යා විවාහ ක්‍රමය

එක් ගැහැනියක හා එක් පිරිමියෙකු සමග ඇති කරගන්නා විවාහය මේ නමින් හැදින්වෙයි.ලෝකයේ වැඩිපුරම දක්නට ලැබෙන විවාහ ක්‍රමයකි.නූතන ලෝකයේ බොහෝ සමාජයන්හි සම්මත විවාහ ක්‍රමය මෙයයි.

බහු භාර්‍යා විවාහ[සංස්කරණය]

එක් පුරුෂයෙකු ස්ත්‍රීන් කිහිප දෙනකු සමග ඇතිකර ගන්නා විවාහ ක්‍රමය මෙනමින් හැදින්වෙයි මෙම විවාහ ක්‍රමය ක‍්‍රෝ ඉන්දියන්වරු පොලිනීසියාවේ ටොන්ගා මැඩගස්කරයේ ටනාලා දකුණු ශාන්තිකරයේ සිවායිවරු කලහාරී කාන්තාරයේ බුෂ්මන්වරු නැමිබියාවේ හිම්බා වැනි ජන කොටස් අතර පවතී මීට අමතරව මුස්ළිම් ජනතාව අතර ද බහුභාර්‍යා විවාහ දැකිය හැක.අතීත දකුණු ආසියාතික සමාජයතුල බහුභාරයා විවාහ පැවතුනබව අතීත මූලාශ්‍ර ඇසුරෙන් අපට නිගමනය කළහැක.විෂ්ණු මිත්‍රියේ දක්වන ආකාරයට ටෙෙදික යුගයේ කුල භේදයට අනුව විවාහවිය හැකි කාන්තාවන් ගණන දක්වා ඇති බවයි.ඒ අනුව බ්‍රාහ්මණයන්ට ස්ත්‍රීන් 04 දෙනකුද ක්ෂත්‍රීයයන්ට ස්ත්‍රීන් 03 දෙනකුද වෙෙශයයන්ට ස්ත්‍රීන් දෙදෙනකුද ශුද්‍රයන්ට එක් ස්ත්‍රියක් පමණක්ද විවාහකරගත හැක බෟෙද්ධ ග්‍රන්තයක්වූ ජාතක කතා පොත තුලද අතීත ඉන්දියානු සමාජයතු බහු බාර්යා විවාහ සිදුවූබවට දැක්වේ උදාහරණ ලෙස කුලාවක ජාතකයේදී මඝ මානවකයන්හට හාර්යාවරුන් 4 දෙනෙක් සිටිබව දැක්වේ.පෙරදිග රජවරු බිසොවරුන් බොහෝ දෙනකු සරණපාවාගෙන සිටිබව දැක්වේ.අතීත රජවරුන් අවම වශයෙන් බිසෝවරු 500 පමණ සරණපාවාගෙන ඇත.

ඉංග්‍රීසියෙන් මෙය Polygamy ලෙස හදුන්වන අතර ලොව මෙම විවාහ ක්‍රමය තවමත් දුලබව දක්නට ලැබේ.

බහු පුරුෂ විවාහය[සංස්කරණය]

එක් ස්ත්‍රියක පුරුෂයන් කිහිප දෙනකු සමග විවාහ වීම මෙනමින් හදුන්වයි.මෙම විවාහ ක්‍රමයට ඉන්දියාවේ නායර් හා ටොඩාවරු දකුණු ඇමරිකාවේ ක්‍රෝ ජාතිකයන් උතුරු ඇමරිකාවේ හිඩැට්සාවරු උතුරු අර්ධගොලයේ ඇස්කිමෝවරු හා අතීත රජ දවස සිංහලයන් අතර පැවති එකගයෙි කෑම විවාහ ක්‍රමය ද මීට උදාහරණ ලෙස දැක්විය හැක

ශ්‍රි ලංකාවේ අතීතයේ පැවති එකගෙයි කෑම විවාහ ක්‍රමය බහු පුරුෂ විවාහ ක්‍රමයට උදාහරණයකි.එය සිදුවී ඇත්තේ මෙසේය.පවුලේ වැඩිමහල් සහෝදරයා විසින් මනාල මනාලි දෙපාර්ෂවයේ එකඟතාවයෙන් චාරිත්‍රානුකූල විවාහයකින් නිවසට කැදවාගෙන එන බිරිඳ ඔහුට බාල සහෝදරයන් 06 දෙනකු දක්වා තමාගේද බිරිඳ ලෙස සලකා තම වැඩිමල් සොයුරාගේ බිරිද සමග ලිංගික ඇසුර ලබාගැනීමට මෙම විවාහ ක්‍රමයේ අවසර ලැබිණ.එහෙත් පවුලේ 08 වන සාාමාජිකයෙකු සිටිය හොත් ඔහුට වෙනත් මනාලියක් කැදවාගෙන ඒමට සිදුවේ.මේ ආකාරයට එකම පවුලේ පිරිමි සහෝදරයන් 07 දෙනකු හා ඔවුනට පොදු එක් බිරිඳක් සමග විවාහ දිවිය ගත කිරීම මෙම විවාහ ක්‍රමයේ ලක්ෂණය විය.මෙම විවාහ ක්‍රමය වර්තමානයේ ශ්‍රි ලංකාව තුල දක්නට නොලැබේ.මෙම විවාහ ක්‍රමය බටහිර අධිරාජ්‍ය යුගයේදී තහනමට ලක්විය.

බහු පුරුෂ විවාහ ක්‍රමයට තවත් උදාහරණයකි ඉන්දියාවේ නායර් ජනයා අතර පවතින විවාහ ක්‍රමය මෙම විවාහ ත්‍රමය සිදුවන්නේ මෙසේය නායර් ගෝත්‍රික වැඩිහිටියන් විසින් විවාහයට සුදුසු තරුණයන් හා තරුණියන් කැඳවා ඔවුනට සුදුසු සහකරුවන් තෝරා මෙම සියලු යුවලවල් සියල්ල එකම අවස්ථාවකදී එකම උස්සවයක් පවත්වා එකවර විවාහ කර දෙයි.එයින් පසු ඔවුන් දින කිහිපයක සංවාස කාලයක් සදහා පිටත්කර යවයි පසුව ඔවුන් කැදවා චාරිත්‍ර ඉටුකොට පිටත්කර යවයි මෙම චාරිත්‍රානුකූල විවාහයෙන් විවාවූ තරුණියට තමා පෙර විවාවූ තරුණයා සමග පමණක් නොව තම ගෝත්‍රයට අයත් ඕනෑම තරුණයෙකු හා ලිංගික සබදතා ඇතිකරගත හැක මෙසේ චාරිත්‍රානුකූලව විවාහවූ තරුණයා හැර ලිංගික සබදතා ඇතිකර ගන්නා පුරුෂයින් සම්භන්දන් යනුවෙන් හදුන්වයි.මෙම විවාහ ක්‍රමය තාලිකට්ටු කල්‍යානම් නමින් හදුන්වයි.මෙයින් ලැබෙන දරුවන් පෝෂණය කිරීම පියා විසින් නොව මාමා විසින් සිදු කරයි.එනම් මනාලියගේ සොහොයුරන් විසින් දරුවන් පෝෂණය කරයි.ඇතම් මානව විද්‍යාඥයන් මෙම විවාහ ක්‍රමය සමූහ විවාහ ගනයෙහිලා සලකති.

සමූහ විවාහ[සංස්කරණය]

සමූහ විවාහයේ දී තමා අයත් සමූහයේ ඕනෑම විරුද්ධ ලිංගිකයෙකු සමග අඹු සැමි සම්භන්ධතා පැවැත්වීමේ අයිතිය ඇත

මෙම විවාහ ක්‍රමයේදී ස්ත්‍රීන් කිහිප දෙනකු හා පුරුෂයන් කිහිප දෙනකු එම සමූහයට අයත් විරුද්ධ ලිංගිකයන් හවුලේ බෙදා ගැනීමේ විවාහ ක්‍රමයකි.මෙහිදී එක් පාර්ෂවයකට පමනක් නොව දෙපාර්ෂවයටම තම සමූහයට අයත් කාලත්‍රයන් කිහිප දෙනකු සමග අඹුසැමි ඇසුර පැවැත්විය හැක. අතීතයේ ලංකාවේ පැති එකගෙයි කෑම විවාහ ක්‍රමය ඇතැම් අවස්ථාවලදී සමූහ විවාහ ක්‍රමයකට පරිවර්තනයවූ අවස්ථා හමූවූ බව ඇතඅම් විද්වතුන් පවසයි.මෙහිදී එකම පවුලේ පිරිමි සහොදරයන් කිහිප දෙනකු හා තවන් පවුලක ගැහැනූ සහොදරියන් කිහිපයක් වූවිට මේ පවුල් දෙක අතර සමූහ විවාහයක් ගොඩනැගේ.එවිට ඔවුනොවුන් තම සමූහයට අයත් සාමාජිකයන් ගෙන් තම ලිංගික වුවමනාවන් සපුරාගනී.මෙය තරමක් විරලව දක්නට ලැබිණ.මෙම විවාහ ක්‍රමය පවතින සමාජ වලට උදාහරණ ලෙස හවායි දූපත්වෘසීන් දැක්විය හැක.මෙහිදී එකම පවුලේ සහෝදරයින් කිහිප දෙනෙක් තම තමන් විවාහ කරගන්නා සහකාරියන් පොදුවේ තම අනෙකුත් සහොදරයන් සමගද හවුලේ බෙදාගැනීමේ ක්‍රමයක් ලෙස පැවතින.මේ ආකාරයටම එකම පවුලේ සහෝදරියන් තම තමන් විවාහ කරගත් සහකරුවන් තම පවුලේ අනකුත් සහෝදරියන් අතර හවුලේ බෙදාගැනීමේ ක්‍රමයකි.මෙම ක්‍රමය වර්තමාන හවායි දූපත්වාසීන් අතර නොපවතී.මීට අමතරව මෙලනීසියා ජාතිකයින් අතර දකුණු ඉන්දියාවේ ටෝඩාවරු අතර සමූහ විවාහ පවති මෙම විවාහ එකම පවුලක් කේන්ද්‍රකරගනිමින් පවතින සමූහ විවාහ ක්‍රමයි.මෙවැනි විවාහ ඇතිවීමට බොහෝවිට ඉඩම් භුක්තිය හා බැදුනු සාධක බලපා ඇත තම උරුම දේපල බෙදියාම වැලැක්වීම මෙහි අරමුණයි මීට වෙනස් ක්‍රමද පවතී.උදාහරණ ලෙස උතුරු ඇමරිකාවේ ඔමහාස්වරු ඔස්ට්‍රේලියාවේ කුනන්දබර්වරු වකෙර්බුවා කුනායිවරු දැක්විය හැක.එසේමෙ ඇමරිකාවේ හිපි සංස්කෘතිය තුලද සමූහ විවාහ පැවතුනි.එහිදී තරුණයින් කණ්ඩායමක් හා තරුණියන් කණ්ඩායමක් සමූහ විවාහ ක්‍රමයට විවාහවී තම සමූහයට අයත් විරුද්ධ ලිංගිකයන් හවුලේ අසුරු කළහ.මොවුන් අතර සමූහ ලිංගික ක්‍රියාකාරකම් හා සමලිංගික ක්‍රියාද පවතුනි.

භුත විවාහය[සංස්කරණය]

භූත විවාහය සංකේත ඇසුරින්

මෙම විවාහ ක්‍රමයේදී මියගිය ස්ත්‍රිය හෝ පුරුෂයා වෙනුවට වෙනත් අයකු සරණපාවා ගනී.එමගින් ලබන දරුවන් ගේ අයිතිය වර්ථමමාන කාලත්‍රයාට නොව මියගිය කාලත්‍රයාට හිමිබව සලකයි.මෙවන් විවාහයන්ට උදාහරණ ලෙස ඩොහොම් හා නූවර් සමාජ උදාහරණ ලෙස දැක්විය හැක.

නූවර් සමාජයේ පවතින භුත විවාහය පිළිබද සලකා බැලීමේ දී බිරිඳට දරුවන් ලැබීමට පෙර සැමියා මියගිය විට මියගිය පුරුෂයා වෙනුවට ඇයව ගැබ් ගැන්වීම සැමියාගේ සහෝදරයෙකු විසින් සිදු කරයි.එ් අනුව මියගිය සහොදරයාගේ බිරිඳ හා ලිංගික ඇසුර පවත්වා ඇයට දරුවකු ලබා දෙයි.එහෙත් දෙවන සැමියාට දාව භුත විවාහයෙන් ලද දරුවාගේ පිය අයිතිය ඔහුට නොලැබේ.ඒ වෙනුවට මියගිය පුරුෂයා මෙම දරුවන්ගේ පියා ලෙස සලකනු ලබයි.එම දරුවනට මියගිය පුරුෂයාට අයත් ස්ථිර හා චංචල දේපල හිමිවේ.භූත විවාහයෙන් විවාහවූ දෙවන සැමියාට කිසිදු පිය අයිතියක් සාම්ප්‍රධායිකව නොලැබේ.ඔහුට දාව දරුවන් ලැබුවද දරුවන් ඔහුට නොව මියගිය පුරුෂයා පමණක් පියා යනුවෙන් හදුන්වයි.මෙම විවාහයේදී ජීව විද්‍යාත්මක පියා සහ සමාජ සම්මත පියා එකකු නොව දෙදෙනෙකි.

සමලිංගික විවාහ[සංස්කරණය]

ගොනුව:Celebrating same-sex marriage at the Lexington Pride Festival 2015.jpg
ලෙක්සිනටන්මහි පැවති ලිංගික විවාහ සැමරුමක් (2015)

මෙය ඇතැම් රටවල වර්ථමානයේ බිහිවෙමින් යන විවාහ ක්‍රමයකි.විශේෂයෙන් බටහිර රටවල ප්‍රචලිත වෙමින් යයි.මීට අමතරව ඇතැම් සමාජවල ව්‍යාජ සමලිංගික විවාහ සිදුකරයි උදාහරණ ලෙස ඇතැම් ගෝත්‍රික සමාජවල මෙම ක්‍රමය පවතී.එක් ක්‍රමයක් නම් විවාවූ ස්ත්‍රියකට දරුවන් නොමැතිවිට බිරිඳ විසින් තවත් ස්ත්‍රියක් මෙම ක්‍රමයට විවාහ කරගනී.එහි දී මෙම ව්‍යාජ සමලිංගික විවාහයෙන් විවාහපත්වන ස්ත්‍රිය ඇයව විවාහ කරගත් ස්ත්‍රියෙග් සැමියා හා ලිංගික ඇසුර පවත්වා ඔහුට දාව දෙවන නාන්තාව දරුවකු බිහිකල විට එම දරුවාගේ මවු අයිතිය පළමු විවාහක කාන්තාවට හිමිවේ මේ ආකාර විවිධ ව්‍යාජ සමලිංගික විවාහ නොයෙක් ගොත්‍රික සමාජයන්හි දක්නට ලැබේ එහෙත් ඔවුන් අතර සමලිංගික ක්‍රියාකාරකම් කිසිටිට සිදු නොවේ වර්ථමාන බටහිර සමාජවල පවතින විවාහ ගොත්‍රික සමාජවල මෙන් විශේෂ වුවමනාවන් මත නොව හුදෙක් ලිංගික වුවමනාවන් සපුරාගැනීම උදෙසාම සකස්වී ඇත පුරුෂයින් දෙදෙනකු අතර ඇතිවන විවාහ වලදී මෙන් නොව සුත්‍රීන් දෙදෙනකු අතර ඇතිවන විවාහ වලදී ඇතැමුන් දරුවන් අරන් හදාගැනීමට පෙළඹේ

ළමා විවාහ[සංස්කරණය]

දරුවන් කුඩා වයෙස්දීම විවාහ කරදීම මෙම විවාහ ක්‍රමයේ දී සිදු කරයි.මෙම විවාහ බොහොවිට හින්දු හා මස්ලිම් අන්තවාදී සමාජවල සිදුවේ කුඩා දරුවන් දෙදෙනකු විවාහ කරදීම වැඩිහිටි පුරුෂයෙකුට කුඩා දැරියක් විවාහකර දීම මෙම ක්‍රමෙය්දී බොහෝවිට සිදුවේ.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තීන්ට අනුව ළමා විවාහ යනු මානව හිමිකම් කඩකිරීමකි ෂරියා නීතිය පවතින ඇතැම් ඉස්ලාමීය සමාජයන්හි වයස අවුරුදු 10 අඩු දරියන් විවාහයට සුදුසු බවට සඳහන්වේ.එයට හේතුව නබිතුමා තම තුන්වන බිරිඳ වන අයිෂා විවාහ කරගන්තේ ඇය වයස අවුරුදු 06 ව තිබියදීය.ඇතැම් දකුණු ආසියාතික රටවල පවා මුස්ළිම් විවාහ නීතිය යටතේ ළමා විවාහ නීතිගතවී පවතී.උදාහරණ ලෙස ශ්‍රී ලංකාවේ සාමාන්‍ය විවාහ නීතිය උඩරට විවාහ නීතිය හා මුස්ළිම් විවාහ නීතිය වශයෙන් විවාහය සම්බන්ධ නීති පද්ධති තුනක් ක්‍රියාත්මකවේ සාමාන්‍ය හා උඩරට විවාහ නීතිය අනුව විවාහ අපේක්ෂකයින් දෙදෙනා අනිවාර්‍යයෙන්ම වයස අවුරුදු 18 සම්පූර්ණවී තිබිය යුතුය.එහෙත් මුස්ළිම් විවාහ නීතිය අනුව විවාහවීමේ අවම වයස් සීමාව වන්නේ වයස අවුරුදු 12 සම්පූර්ණ වීමය.නමුත් ක්වාසි මණ්ඩලයේ අනුමැතිය ලබා ඇති අවස්ථාවක වයස අවුරුදු 12 අඩු උවද විවාහය සිදුකරගත හැක.හින්දු අන්තවාදී සමාජවලද මේ ආකාරෙයන් ළමා විවාහ සිදුවෙයි.මෙවන් විවාහ සදහා බිය දුප්පත්කම සමාජ පීඩනය දැරියන්ගේ ආරක්ෂාව පිළිබද ප්‍රශ්න බලපායි.අරාබි හා අකුණු ආසියාතික රටවල ළමා අපයෝජන ඉහල මටිටමක පවතී.මෙම සංස්කෘතින්තුල ස්ත්‍රියකගේ පතිවෘතාව කන්‍යාභාවය වැනි සංකල්ප දැඩිව පවතී.විවාහයට පෙර ලිංගික ඇසුර විවාහයට පෙර ගැබ් ගැනීම වැනි ක්‍රියා දැරියකගේ පවුලට දැඩි අවනම්බුවක් ගෙනදෙන කාරණාවෙයි.මෙවන් සාධකමත දෙමාපියන් දැරියක් වැඩි කලක් තම භාරයේ තබා ගන්නවාට වඩා කාට හෝ විවාහ කරදීමට පෙළඹේන බව මේ සමාජ පිළිබද පර්යේෂණ සිදුකළ මානව හා සමාජ විද්‍යාඥයන් පවසයි.මේ අනුව ගතහොත් ළමා විවාහ සදහා ඔවුන් පොළඹවනු ලබන්නේ ඔවුන්ගේ සංස්කෘතිය විසිනි.

මීට අමතරව ඇතැම් රටවල මනුෂයෙකු හා තිරිසන්ගත සතකු හෝ වෘක්ෂයකට විවාහ කරදීමේ චාරිත්‍රයක්ද පවතී සාම්ප්‍රධායික ගතානුගතික අදහස් දරන ඇතැම් සමාජවල මෙය සිදුවේ ඉන්දියාව වැනි රටවල කුජ භෞම දෝෂය නම්වූ දෝෂයෙන් මිදීමට මෙම විවාහ සිදුකරන බව පැවසේ මෙම දෝෂය බලවත්ව යෙදුන විට විවාහ සහකරු හෝ සහකාරිය මියයන බව විශ්වාස කරනු ලබයි.එයින් මිදීමට තිරිසන් සතකුට හෝ ගසකට විවාහ කරදීම සිදුකරයි.මෙය තාවකාලික විවාහයකි.මෙම විවාහ ක්‍රමය යටතේ බොහෝවිව තරුණියන් විවාහ කර දෙයි සහකරු ලෙස බොහෝවිට බල්ලකු යොදා ගනී.

නිදහස් ආලය[සංස්කරණය]

මෙම ක්‍රමයේදී විවාහවීමක් සිදු නොවී ලිංගික සම්භන්දතා ඇතිකරගනු ලබයි.සාමාන්‍ය සම්ප්‍රධාය නම් චාරිත්‍රාණුකූලව හෝ නීතිමය ගිවිසුමක් මහින් එකට එක්වන යුවලක් හෝ පිරිසක් තම ලිංගික අවශ්‍යතාවයත් එම චාරිත්‍රාණුකූල හෝ නෛතික ගිවිසුමට යටත්ව සිදු කිරීමයි.එහෙත් මෙම ක්‍රමයේදී විවාහයට පත් නොවී ලිංගික සබදතා පවත්වයි.එහෙත් මේ සදහා නීතිමය අවසරයක් රජය විසින් අනුමතකල යුතුය.නිදහස් ආලය ඇතැම් රජයන් විසින් අනුමතකර නීතිගතකර ඇත.විශේෂයෙන් බටහිර රටවල මෙම ක්‍රමය ව්‍යාප්තව පවතී.

විවාහ සහකරු තෝරාගැනීම[සංස්කරණය]

ඇතැම් සංස්කෘතීන් තුල තම කාලත්‍රයා තෝරාගැනීමේ අයිතිය මනාලයාට හෝ මනාලියට හිමි අතර ඇතැම් සමාජවල කලත්‍රයා තොරාදීමේ සම්පූර්ණ අයිතිය දෙමාපියන්ට හෝ ඥාතීන්ට එසේත් නැතිනම් වැඩිහිටියන්ට පමණක් අයිති කාර්‍යයකි.2003 දී ප්‍රකාශයට පත්කළ එක්සත් ජනපද වාර්ථාවකට අනුව ලෝකයේ ජනගහනයෙන් 89%ක්ම වයස අවුරුදු 49 පෙර විවාහ වන බවයි.විවාහ

සමාජීය සාධක[සංස්කරණය]

සමහර පුද්ගලයින්ට තමාට වඩා උසස් තත්වයක හෝ පහත් තත්වයක සිටින සමකරුවකු තොරාගැනීමට කැමැත්තක් දක්වයි.තවත් අයට අවශ්‍ය තමා හා සමාන සමාජීය තත්වයත් ඇති පුද්ගලයන් හා විවාහවීමටයි.බොහෝ සමාජයන්හි කාන්තාවන් වැඩි කැමැත්තක් දක්වන්නේ තමාට වඩා උසස් සමාජ මට්ටමක් ඇති පුරුෂයන් හා විවාහ වීමටයි බොහෝ සමාජයන්හි මනාලියට වඩා මනාලයා වයසින් වැඩිවිය යුතුබව පිළිගනී.

අන්තර්ජන්‍යබව[සංස්කරණය]

තම සහකරුවා තම සමූහයෙන්ම තෝරා ගැනීම අන්තර්ජන්‍යබවයි එනම් තම කුලය ගෝත්‍රය පන්තිය ජාතිය ගම ප්‍රදේශය ආගම සමූහය තුලින් පමණක් කාලත්‍රයා තොරා ගැනීමයි සමාන්‍ය යෙන් අන්තර්ජන්‍යබව විද්‍යානුකූලව ගතහොත් ඉතා නොගැලපෙන විවාහ ක්‍රමයකි එයට හේතුව එකම ජාන පරම්පරාවකින් පැවතඒම තුල යම් රෝගාබාධයන්ට ගොදුරු වියහැකි නිලීන ජාන ඉස්මතු වීම මගින් ජානමය ආබාධ ඇතිවේ දිරිඝ කාලයක් තිස්සේ අන්තර්ජන්‍යබව පැවතුන සමාජ සතුව බොහෝ ජානගත ආබාධ පවතිනබව විද්‍යාඥයන් තහවුරු කරගෙන ඇත එසේම ඇතැම් ගෝත්‍රික සමාජ මිහිතලයෙන් සහමුලින්ම තුරන් වීමට අන්තර්ජන්‍යබව හේතුවී ඇත ඇතැම් වසංගත තත්ව වලදී ඔවුන්ට එම රෝගකාරක වෛරස හා සටන් කිරීමට ජානමය වශයෙන් ශක්තිමත් නොවීම හේතුවී ඇත.

අන්තර්ජන්‍ය බවේ ස්වරූප කිහිපයක් පවතී

  • කුල අන්තර්ජන්‍යබව
  • පන්ති අන්තර්ජන්‍යබව
  • ජාති අන්තර්ජන්‍යබව
  • ගොත්‍රික අන්තර්ජන්‍යබව

කුල අන්තර්ජන්‍යබව පිලීබද අවධානය යොමු කිරීමේ දී විශේෂයෙන් දකුණු ආසියාතික සමාජය සංවිධානය වැදගත් වෙයි වර්ථමානයේ පවා කුල භෙදය තදින් ක්‍රියාත්මකවන ඉන්දියාව වැනි රටවල් සැලකුවහොත් අන්තර්ජන්‍යබව විවාහයේදී ප්‍රදාන වශයෙන් සොයාබලයි හැමවිටහ යුවතිපතින් දෙදෙනා සමකුලවීම අනිවාර්‍ය වෙයි එසේ නොවන විවාහ මහාසමාජ සංස්කෘතියේ පිළිගැනීමට ලක් නොවේ අතීතයේ කුල අන්තර්ජන්‍ය නොවන විවාහයක් සිදුකරගැනීමක් සිදුවුහොත් එම යුවතිපති දෙනොටම මාරක සංග්‍රහයකට නතුවීමට සිදුවිය.වර්ථමාන ඉන්දියාවේ පවා ඇතැම් ග්‍රාමීය පෙදෙස්වල සංස්කෘතියට පටහැනිව විවාහවන යුවතිපතීන්ට සිදුවන්නේ ගම්මුන් අතින් මරණයට පත්වීමටයි.මෙය ක්‍රියාත්මක වෙයි අතීතයේ ශ්‍රී ලංකාව තුලද කුල අන්තර්ජන්‍ය විවාහ පමණක් සිදුවූ අතර වරතමානයේ ඒ තත්වය ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතී.අතීත ශ්‍රී ලංකාවේ කුල අන්තර්ජන්‍ය නොවන විවාහ සිදුකර ගැනීම මරණ දඩුවමට හෝ රොඩී රැහැට පන්නා දැමීමවැනි බරපතල දඩුවමක් ලැබිය හැකි වරදක් විය.

පංති අන්තර්ජන්‍යබව බොහෝවිට ධනවාදී අර්ථකම පවතින සමාජ අතර පවතී.ධනවාදී සමාජ ස්ථර කිහිපයකට බෙදී පවතී.ඉහළ පංතිය ඉහළ මධ්‍යම පංතිය මධ්‍යම පංතිය පහළ මධ්‍යම පංතිය තුන්වන පංතිය හෙවත් දුප්පත් ජනයා අදී වශයෙන් ආදායම් විෂමතාව පදනම් කරගෙන බෙදීමක් පවතී. බොහෝවිට ඔවුන් තම පංතියෙන් පිට විවාහ සිදුකර නොගනී.මෙය පංති අන්තර්ජන්‍යබවයි.ආර්ථික ශක්‍යතාව මෙහි ඇති ප්‍රධාන සාධකයයි.

ජාති අන්තර්ජන්‍යබව යනු තමා අයත් ජාතියෙන් පිට විවාහ සම්භන්ධතා ඇතිකර නොගැනීමයි.එක් රටක විවිධ ජාතීන්ට අයත් මිනිසුන් ජීවත් වුද තම ජාතියෙන් පිට විවාහ බොහෝ දුරට අල්පය.විශේෂයෙන් දකුණු ආසියාව අරාබිකරය ආදී මෙය දක්නට ලැබේ.විශේෂයෙන් ජාතීන් අතර ගැටුම් පවතින සමාජවල තම ජාතියට සතුරු ජාතියක් හා විවාහ ප්‍රතික්ෂේප කරයි.

ගොත්‍රික අන්තර්ජන්‍යබව බවයනු තම ගෝතත්‍ර යෙන් පිට විවාහ සබදතා ඇතිකර නොගැනීමයි.අප්‍රිකානු සමාජ අතර ඉන්දියානු ඇමරිකානු ඕස්ට්‍රේලියානු ආදී සමාජවල වෙසෙන ගොත්‍රිකයන් තම ගොත්‍රෙයන් පිට විවාහ සිදුකර නොගනී.

අන්තර්ජන්‍ය බව හේතු කොටගෙන විවිධ ප්‍රශ්න ඇතිවනබව මානව හා සමාජ විද්‍යාඥයන් පවසයි.විශේෂයෙන් ජානමය වශයෙන් පරම්පරාවෙන් පරම්පරාවට යන ඇතැම් ශාරීරික රෝග පමණක් නොව ඇතැම් මානසික රෝග පවා ජානමය සාධක මගින් ව්‍යාප්තවන බව පර්යේෂකයන් සනාථ කරයි..මවු පාර්ශවය හා පිය පාර්ශවය යන පාර්ශව දෙකේම එකම් ජානමය වශයෙන් ව්‍යප්තවන රෝගයක් තිබුනහොත් ඉදිරි පරපුරට එය උරුමවීමට ඇති සම්භාවිතාව අධිකය.දිගින් දිගටම අන්තරජන්‍ය විවාහ පමණක් සිදුවූ සමාජවල මේ ආකාරයට ජානමය වශයෙන් උරුමවන අබාධ බහුලබව විද්‍යාත්මක පර්යේෂණ මගින් සනාතවී ඇත.ඇතැම් ප්‍රාථමික සමාජයන් මිහිමතින් සදහටම තුරන්වීමට හේතුව ද ඔවුන් අතර දිගින් දිගටම ඇතිවූ අන්තර්ජන්‍ය විවාහ නිසා බව මානව විද්‍යාඥයන් විශ්වාස කරයි.අන්තර්ජන්‍ය විවාහ නිසා ඇතිවන ඉදිරි පරම්පරාවන් බොහෝවිට පරිසරයේ ඇතිවන වෙනස්වීම් වලට හැඩගැසීමට අපහසුවීමෙන් ඉක්මනින් වඳවීයයි.

ව්‍යාභිචාර තසංචිය[සංස්කරණය]

ව්‍යාභිචාර තහංචිය යනු සමීපතම ලේ ඥාතීන් අතර විවාහ තහනම් වීමයි ලොකයේ දක්නට ලැබෙන සෑම සංස්කෘතියකම මෙය ක්‍රියාත්මක වෙයි මෙ පිළිබදව අධ්‍යනය කිරීමේ දී එල් එච් මොගන් දක්වන්නේ මානව සමාජයේ මූලාරම්භයෙදී මානවයා එකම පවුලේ සහොදර සහොදරියන් මෙන්ම අනෙකුත් සමීපතම ඥාතීන් අතරපවා ලිංගික සබදතා පැවතුන බවයි මෙම සබදතානිසා බිහිවූ දරුවන් නොයෙකුත් අසාමාන්‍ය ශරීර ලක්ෂණ හා අසාමාන්‍ය මානසික ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමග මෙට හේතුව සමීප ඥාතීන් අතර ඇතිවන ලිංගික සම්බන්ධතාබව ඔවුන් වටහා ගන්නට ඇත ක්‍රමයෙන් මිනිසා මෙය අපචාරී ක්‍රියාවක් ලෙස සලකා ලිංගික සංතර්පය ලැබීම ලේ ඥාතීන්ගෙන් විනිර්මුක්තව ලැබීටල පෙළඹුනි ඒ අනුව ලේ ඥාතීන් අතර ලිංගික සබදතා අපචාරී හැසිරීමක් ලෙස පිළිගන්නට ඇත.සෑම සමාජයකම පාහේ ව්‍යාභිචාරය බිදීම මහා පාපකර්මයක් ලෙ සලකනු ලබයි

ප්‍රේම සබදතා[සංස්කරණය]

ප්‍රේම සම්භන්ධතා මගින් විවාහ සහකරු තෝරාගැනීම නූතන සංකීර්ණ සමාජවල බහුල වශයෙන් සිදුවේ.බොහෝවිට මෙම තත්වය සංවර්ධි රටවල බහුලය.මෙහිදී විවාහ අපේක්ෂිත තරුණිය හා තරුණයා තමා කැමති තමාට ගැලපේ යැයි සිතන සහකරු/සහකාරිය තම අභිමතය පදරිදි තෝරාගනී.සිදුකරයි.

යෝජිත විවාහ[සංස්කරණය]

යොජිත විවාහ ක්‍රමයේ දී විවාහ සහකරු සහකාරිය තොරාගැනීම සිදුකරන්නේ මනාල හා මනාලි පාර්ෂවයේ දෙමාපියන් ඥාතීන් හෝ භාරකරුවන් විසින්ය.මෙහිදී විවාහ අපේක්ෂිත ස්ත්‍රිය හෝ පුරුෂයාගේ අභිමතය සලකා බැලීම ඇතැම් සමාජවල ක්‍රියාත්මක වෙයි.කෙසේ වෙතත් මෙම ක්‍රමයේ දී වැඩි අවධානයට ලක්වන්නේ විවාහ අපේක්ෂිත ස්ත්‍රියගේ හෝ පුරුෂයාගේ දෙමාපියන් ගේ ඥාතීන් ගේ හෝ භාකරුවන්ගේ අභිමතයයි.

බලහත්කාර විවාහ[සංස්කරණය]

මෙම විවාහ ක්‍රමයේ දී විවාහ අපේක්ෂිත ස්ත්‍රියගේ හෝ පුරුෂයාගේ අභිමතයට පටහැනිව විවාහය සිදුකරයි.මෙය යොජික විවාහයට වඩා වෙනස් වන්නේ යොජිත විවාහ වලදී ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේ දෙමාපියන්ගේ ඥාතීන්ගේ භාකරුවන්ගේ එකගත්වයකින් විවාහ අපේක්ෂක දෙපලගේද අනුමැතියට අනුව විවාහය සිදුවීමයි.එහෙත් බලහත්කාර විවාහ වලදී බොහෝවිට මනාලියගේ හෝ මනාලියගේ ඥාතිපාර්ශවයේද එකගත්වයකින් තොරව විවාහය සිදුවේ.මෙහි එක් ක්‍රමයක් වන්නේ ස්ත්‍රිය පැරගැනීමකට ලක්කර ඇගේ කැමැත්තේන් තොරව විවාහකර ගැනීමයි.ඇතැම් සමාජවල මෙය සංස්කෘතිකාංගයක් ලෙස පවතී.පුරුෂයෙක් විසින් තමා විවාහ කරගැනීමට අපේක්ෂිත තරුණිය පැහැරගෙන ගොස් ඇගේ කන්‍යාභාවය බිද පසුව විවාකර ගැනීමේ සිරිත් ඇතැම් ප්‍රාථමික සමාජවල සාම්ප්‍රායික අංගයක් ලෙස සිදුකරයි.කෙසේ වෙතත් මෙම බලහත්කාර විවාහ නූතන සංකීර්ණ සමාජ අනුමත නොකරන අතර නීතියෙන් දඩුවම් ලැබියහැකි වරදකි.

විවාහයේ ආර්ථික කාර්‍ය[සංස්කරණය]

අඹුමිල[සංස්කරණය]

පිරිමියකු පිට සමූහයකින් විවාහයක් කර ගැනීමේදී ඹහු විසින් කාන්තාවගේ සමුහයට කරනු ලබන ගෙවීම අඹුමිලයි මෙම ක්‍රමය ක්‍රියාත්මකවෙන සමාජ වලට උදාහරණ ලෙස ගුසී ඔබැම්හෝ විම්බු හෝපි අම්බා නූවර් නවාජෝ ටිවි නයාකුසා සමාජ දැක්විය හැත

නූවර් සමාජයේ අඹුමිල ලෙස මනාලයාගේ පාර්ෂවයෙන් මනාලියගේ ඥාති සමූහයා වෙත ගවයින් 40ක් ලබා දෙයි එහිදී මනාලියගේ සමීප ඥාතීන්ට වැඩි ගවයන් ප්‍රමාණයකුත් දුර ඥාතීන්ට අඩු ගවයන් ප්‍රමාණයකුත් ලැබේ මේ ආකාරයට සෝමාලි නවහෝ ටිවී ජනයා අශ්වයින් මගින් අඹුමිල ගෙවයි නිව්ගිනියාවේ සියනි පිලිපීනයේ ඉෆුගාවෝවරු ඌරන්ගෙන් අඹුමිල ගෙවයි මීට අමතරව අම්බා ගොත්‍රිකයෝ මනාලියගේ පාර්ෂවයට මනාල පාර්ෂවයේන් ස්ත්‍රියක් ලබා දෙයි මෙම ක්‍රමය ටිවීවරු අතරත් පවතින ක්‍රමයකි


අඹුමිල ක්‍රමය මගින් විවාහය යනු ස්ත්‍රියක හා පුරුෂයෙකු අතර පමණක්වූ ගණුදෙනුවක් වෙනුවට ඥාති පාර්ෂව දෙකක් අතරවන ගණුදෙනුවක් බවට පත්වේ මෙම සාමූහික ගිවිසුම මගින් විවාහය බිද වැටීම නවතී එසෙම යුවතිපති දෙදෙනාට දෙපාර්ෂවයටම අයත් සමූහයන්ගෙන් උපකාර ලැබෙයි

අඹු කමුව[සංස්කරණය]

විවාහය කරගැනීමට අපේක්ෂිත තරුණයා විසින් තරුණිගේ පාර්ෂවය වෙත යම්කිසි කාලයක්තුල සේවය කර තරුණිය අපේක්ෂාවෙන් මනාලියගේ පාර්ශවය වෙත ශ්‍රමය සැපයීම අඹු කමුව නමින් හදුන්වයි මෙම ක්‍රමය අඹුමිල ක්‍රියාත්මකවන සමාජවල බොහෝදුරට සිදුවේ අඹුමිල ගෙවීමට මනාලයාට ආර්ථික ශක්තියක් නැති අවස්ථාවල මනාලිය අපේක්ෂාවෙන් මනාලියගේ පාර්ෂවය වෙත යම් නිශ්චිත කාලයක්තුල ශ්‍රමය සැපයීමෙන් අඹුමිල ගෙවීමකින් තොරව මනාලිය ලබාගත හැක උදාහරණ ලෙස නූවර් සමාජය හැදින්විය හැක

දෑවැද්ද[සංස්කරණය]

විවාහවන අවස්ථාවේ මනාලියගේ පාර්ෂවයෙන් යුවතිපතීන් හට ලබාදෙන තෑග්ගක් ලෙස සැළකිය හැක මෙම ක්‍රමය මගින් යුවතිපති දෙදෙනාගේ ඉදිරි ජීවිතය යහපත් කරගැනීමට රුකුල් වන ලෙස දෙනු ලබන ප්‍රාග්ධනයකි එසේම සැමියා මියයැමකදී බිරිදට තනිව නැගීසිටීමට මෙය රැකුලක් වේ මෙම ක්‍රමය ආසියාතික හා යුරොපීය රටවල දක්නට ලැබේ මෙම ක්‍රමය තරමක් පීඩාකාරී සංස්කෘතිකාංගයක් ලෙස අතීත ලාංකික සමාජයේ හා වර්ථමනයේ පවා ඉන්දියාවේ දක්නට ලැබේ මෙමගින් දැඩිලෙස මනාලියගේ පාර්ෂවයට පීඩා ගෙන දුනි ඉන්දියාව වැනි රටවල පොරොන්දු වූ ලෙස දෑවැද්ද නොලැබුන හොත් විවාහය කඩා දැමීමට හෝ මනාලිය මරා දැමීමට පවා පෙළඹෙන අවස්ථා දැකිය හැක

නීතිය[සංස්කරණය]

== ආගම ==මුස්ලීම්

මූලාශ්‍ර[සංස්කරණය]

  • හේමන්ත කුමාර, එන්.වී.ජී.ඒ. (2018). සමාජවිද්‍යව: මූලික සංකල්ප න්‍යාය හා ක්‍රමවේදය, කොළඹ: විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය.

හේමන්ත කුමාර, එන්.වී.ජී.ඒ. (2001). හා විවාහය: සමාජ විද්‍යාත්මක විමර්ශනයක්, කොළඹ විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

  • පීරිස්, රැල්ෆ්. (1956).සිංහල සමාජ සංවිධානය මහනුවර යුගය, මහරගම: සමන් ප්‍රකාශකයෝ.
  • රත්නපාල, නන්දසේන. (2001). මානව විද්‍යව, වරකාපොල:ආරිය ප්‍රකාශකයෝ.

බාහිර සබැදුම්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=විවාහය&oldid=494066" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි