නිදහස් ආලය

විකිපීඩියා වෙතින්

නිදහස් ආලය යනු මානව ප්‍රේමයේ සෑම මුහුණුවරකට ම එකඟත්වය පළ කළ සමාජ ව්‍යාපාරයකි. විවාහය, උපත් පාලනය, සහ අනාචාරය වැනි ලිංගිකමය කරුණු රාජ්‍යයේ බලපෑමෙන් මුදා ගැනීම නිදහස් ආලය ව්‍යාපාරයේ මුල් අභිප්‍රාය විය. එවැනි කාරණාවන් සම්බන්ධ ව පූර්ණ වගකීම එකී පුද්ගලයා සතු විය යුතු බවත් ඒ සම්බන්ධ ව වෙනත් කිසිදු පාර්ශ්වයක මැදිහත්වීමක් සිදු නොවිය යුතු බවත් ඔවුහු කියා සිටියහ.[1]

මූළධර්ම[සංස්කරණය]

නිදහස් ආලයට අයත් බොහෝ සම්ප්‍රදායයෝ පුද්ගල සබඳතාවන් රාජ්‍ය නියාමනයන්ගෙන් සහ පල්ලියේ සම්බාධකයන්ගෙන් නිදහස් කිරීම අරමුණු කරගත් ලිබරල්වාදී දර්ශනයක් ප්‍රකට කළහ. මෙම දැක්මට අනුව වැඩිහිටි පුද්ගලයන් අතර ඇතිවන නිදහස් බැඳීම් චිත්තවේගික වුවත් ලිංගික සබඳතාවන් වුවත් පිළිගත් බැඳීම් ලෙස බාහිර සමාජයේ ගරුත්වයට පාත්‍ර විය යුතු ය. මිනිසුන් සහ ගැහැනුන් යන දෙපිරිසට ම සමාජීය සහ නෛතික අවහිරකිරීම් වලින් තොර ව ලිංගික ආස්වාදය ලැබීමට අයිතියක් ඇති බවට ද නිදහස් ආලය ප්‍රවණතාවට අයත් ඇතැම් රචනාවන් විසින් අදහස් දක්වා තිබේ. වික්ටෝරියානු සමය තුළ දී මෙය රැඩිකල් අදහසක් විය. පසුකාලීන ව රැඩිකල් සමාජීය වෙනසක් දක්වා එය ව්‍යාප්ත වූ අතර නව අධිපතිවිරෝධී, ප්‍රති අවරෝධානාත්මක සංවේදීතාවයක ශුභාරංචිකරුවකු ලෙස එය පෙනීගියේ ය.[2]

අද දවසේ පිළිගැනීමට අනුව, මුල්කාලීන මධ්‍යම පාංතික ඇමරිකානුවන්ට අවිනිශ්චිත ලෝකය තුළ ස්ථායීතාවෙන් යුතු ස්ථානයක් බවට නිවස පත්කර ගැනීමට ඇවැසි විය.නිදහස් ආලය ව්‍යාපාරය විසින් සිදුකෙරුණේ මෙම මානසිකත්වය උදෙසා බිහිවුණු දැඩි සීමාවන් තුළ අර්ථකථනය කෙරුණු ස්ත්‍රී පුරුෂ භූමිකාවන් සුරක්ෂිත කිරීමයි. [3]

නිදහස් ආලය යන යෙදුම (වෙසෙසින් ම 1960 සහ  1970 වකවානුවල ප්‍රතිසංස්කෘතික ව්‍යාපාර හේතුවෙන්)  පොදුජන විඥාණය තුළ අවිචාරය සමග අත්වැල් බැඳගත් යෙදුමක් බවට පත් වී තිබෙන නමුත්, ඓතිහාසික ව නිදහස් ආලය ව්‍යාපාරය ලිංගික සහකරුවන් කිහිපදෙනෙකු සමග සබඳතා පවත්වා ගැනීම වෙනුවෙන් හෝ කෙටිකාලීන ලිංගික සබඳතාවන් වෙනුවෙන් හෝ පෙනී නොසිටියේ ය. වඩාත් ප්‍රමුඛ ලෙස ම ඔවුන් පෙනී සිටියේ ලිංගිකමය බැඳීම් නෛතික සීමාකිරීම්වලින් තොර ව නිදහසේ වින්දනය කළ හැකි තත්ත්වයට ගෙන ඒමටයි.

Sex Radical යන යෙදුම ද Free Lover යන යෙදුම සමග අතුරුමාරු ලෙස භාවිත ව ඇති අතර Free Love යන යෙදුම විසින් ගෙනෙන අහිතකර සමාජ අර්ථයන් හේතුවෙන් Sex Radical යන යෙදුම අධිවාචකයන්ගේ සිත්ගත් යෙදුම බවට ද පත් ව තිබේ. කවරාකාරයෙන් හඳුන්වාගත්තද සෑම අධිවාචකයකු ම දැඩි ව පෙනී සිටි විශ්වාසයන් දෙකක් විය. යුගලන බන්ධනයක් තුළ බලහත්කාරයෙන් ලිංගික ක්‍රියාවකට සහභාගී කරවා ගැනීම යුක්තිසහගත බවට වූ අදහසට විරෝධය දැක්වීමත්, ගැහැනියකට සිය සිරුර රිසි පරිදි හැසිරවීමට විමුක්තිය ලබාදීමත් ය.[4]

සෑම අධිවාචකයෙකු ම එක ම මතයක නොසිටියත්, අවිවාහක පෙම්වතුන් ව එක් ව වාසය කිරීමෙන් වළක්වන නීති, අනාචාරය සහ දික්කසාදය නියාමනය කළ නීති මෙන් ම ලිංගික ව හැසිරිය හැකි අවම නෛතික වයස් සීමාව, උපත් පාලනය, සමලිංගිකත්වය, ගබ්සාව සහ ඇතැම්විට ගණිකා වෘත්තිය සම්බන්ධ ව පැවතුණු නෛතික බාධකයන් ද නිදහස් ආලය ව්‍යාපාරයන්හි විශේෂ අවධානයට ලක් වූ නීති අතර විය. විවාහය තුළ පුද්ගල අයිතිවාසිකම් අහෝසි වී යාම කෙරෙහි ද අවධානය යොමු විය. නිදසුනක් ලෙස ඇතැම් අධිකරණයන් විසින් කලත්‍රයකු අතින් දූෂණය වීම කලත්‍රයකු නොවන අයකු විසින් දූෂණය වීම තරම් තදබල ලෙස නොසැලකීම හෝ එය අපරාධයක් ලෙස නොසැලකීම දැකගත හැකි විය. නිදහස් ආලය ව්‍යාපාර 19වන සියවසේ පටන් ලිංගිකත්වය පිළිබඳ ව පොදු සමාජය ඉදිරිපිට කතාකිරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් ද පෙනී සිටි අතර අශ්ලීලත්වය පිළිබඳ නීති සමග සටන් කළේ ය.

20වන සියවසට පා තැබීමත් සමග ඇතැම් නිදහස් ආලය ව්‍යාපාරයේ යෝජකයෝ විවාහය යනු ස්වාමිභක්තිය සහ මානසික වහල්භාවය දිරිමත් කරන සමාජ සංස්ථාවක් බවට කරුණු දක්වමින් විවාහය පිළිබඳ විවේචනය තවදුරටත් පුළුල් කළහ.[තහවුරු කර නොමැත]

ස්ත්‍රී වාදය සමග ඇති සබඳතාවය[සංස්කරණය]

නිදහස් ආලයේ ඉතිහාසය ස්ත්‍රී වාදයේ ඉතිහාසය සමග වෙළී පවතී. 18වන සියවසේ අගභාගයේ පටන් මේරි වොල්ස්ටන්ක්රාෆ්ට් වැනි ප්‍රමුඛ ස්ත්‍රීවාදිනියන් විවාහය නැමති සංස්ථාව අභියෝගයට ලක් කර තිබූ අතර එහි අහෝසිකරණය පිණිස අධිවාචනය කළෝ ද බොහෝ වූහ. [5]

ස්ත්‍රීවාදී විග්‍රහයට අනුව විවාහක ස්ත්‍රියක් යනු බිරිඳක් සහ මවක් වීම හේතුවෙන් වෙනත් කාර්යභාරයක යෙදීමට ඇයට ඇති අවස්ථාවන් අහිමි කරගන්නියකි. විවාහක ස්ත්‍රීන්ට සහ මවුවරුන්ට ගුරුවෘත්තියේ නියැලීමට තහනම් කර තිබීම විසින් මේ තත්ත්වය ඇතැම්විට නෛතික ව පවා පිළිගෙන තිබුණි. 1855 දී නිදහස් ආලය ප්‍රවණතාවේ අධිවාචිකාවක වූ මේරි ගෝව් නිකල්ස් නෛතික තලයේ දී මෙන් ම ජනමතය තුළ දීද ගැහැනිය ව පුරුෂයන්ගේ දේපලක් ලෙස ගැනීම තුළ දරදඬු පුරුෂයන්ට සිය භාර්යාවන්ගේ නිදහස මුළුමනින් ම උදුරා ගැනීමට ඉඩ සැලසෙන බව පවසමින් විවාහය යනු ගැහැනිය ව අගතියට පිරිහෙලන්නක් (annihilation of women) බව පෙන්වා දුන්නා ය. [6][7] නිදසුනක් ලෙස ඇතැම්විට සිය භාර්යාව කායික ව හික්මවීමට නීතිමය ඉඩකඩ විය. සෙනෙහසේත් අ‍න්‍යෝන්‍ය කැමැත්තේත් ප්‍රතිඵලයක් විය යුතු ව තිබුණත් බොහෝ දරුවන් ප්‍රේමයෙන් තොර විවාහයන් තුළ මවුපියන්ගේ කැමැත්තෙන් තොර ව උපත ලබා ඇති බවත් නමුත් විවාහයෙන් බැහැර ප්‍රේමයෙන් උපත ලබන දරුවන් විවාහය තුළ උපත ලබන දරුවන් හා සමාන අයිතිවාසිකම් නොලබන බවටත් නිදහස් ආලය ව්‍යාපාරයේ අධිවාචකයෝ චෝදනා නැගූහ. [8]

නිදහස් ආලය පිළිබඳ කතිකාවේ දී කිසිදු කාන්තාවක් සිය මතවාදයන් ඉදිරිපත් කිරීමට උත්සුක වී නැතැ යි 1857 දී Minerva Putnam චෝදනා කළා ය. නිදහස් ආලය පිළිබඳ සංකල්පය විදාරණය කරමින් කෘති 6ක් මෙම සමය තුළ රචනා වී තිබුණ මුත් සිවිල් යුද්ධයෙන් පසු ඇරඹුණු ප්‍රධාන නිදහස් ආලය සඟරාවන් හතරෙන් ම කර්තෘවරියන් සිටියේ සඟරාවන් දෙකක පමණි. මේරි ගෝව් නිකල්ස් අධිවාචකයන් අතර ප්‍රමුඛ කාන්තාව වූ අතර නිදහස් ආලය ව්‍යාපාරය ගැන සඳහන් කරන විට බොහෝ දෙනෙකුගේ සිහියට නැගුණු කාන්තාව ද ඇය විය. ඇය විසින් ලියූ සිය ස්වයංචරිතාපදානය ස්ත්‍රීවාදී දෘෂ්ටියකින් විවාහයට එදිරි ව එල්ල වූ ප්‍රථම ප්‍රහාරය විය. [9]

නිදහස් ආලය ව්‍යාපාරයේ යෝජකයෝ ලිංගික හැසිරීම් යනු ප්‍රජනනය උදෙසා පමණක් වූවක් ලෙස නොදුටුවෝ ය. උපත් පාලනයට ප්‍රවේශ වීමේ හැකියාව ස්ත්‍රීන්ගේ ස්වෛරීත්වයට ආධාර කරන්නක් ලෙස දුටු අතර උපත් පාලනය ප්‍රචලිත කිරීමට ක්‍රියා කළ බොහෝදෙනෙක් ම නිදහස් ආලය ද වැළඳ ගත්හ.

ලිංගික නිදහස්කාමීහු උපත්පාලනය, වෛවාහික ලිංගික අපයෝජන (කායික මෙන්ම මානසික) සහ ලිංගික අධ්‍යාපනය වැනි මාතෘකාවන් ප්‍රචලිත කිරීම තුළින් ශාරීරික හිමිකම් සම්බන්ධයෙන් කාන්තාවන්ට ඇති අයිතිවාසිකම් වඩාත් ඉහළ තලයකට ගෙනයාමට කටයුතු කළහ. ස්ත්‍රී ලිංගිකත්වයට අදාළ කාරණාවන් සංවාදයට ලක්කිරීමෙන් කාන්තාවන් බලගැන්වීමට හැකි බව ඔවුන්ගේ විශ්වාසය වූ අතර ග්‍රන්ථ, අත්පත්‍රිකා, සහ වාරික වැනි මුද්‍රිත මූලාශ්‍රයන් ඒ පිණිස ඔවුහු සහාය කරගත්හ. මෙමගින් සිය ව්‍යාපාරය 50 වසරකට අධික කාලයක් නොනැසී පවත්වා ගැනීමටත්, සිය මතවාදයන් සමස්ත එක්සත් ජනපදය පුරා පැතිරවීමට රුකුලක් ලැබීමටත් ඔවුහු සමත් වූහ. [10]

විවාහවීම තුළ ඔබේ අයිතිවාසිකම් අඩ වශයෙන් අහිමි වේ ( you became a semi-nonperson when you got married ) යනුවෙන් ප්‍රසිද්ධ ස්ත්‍රීවාදිනියක් වු ග්ලෝරියා ස්ටෙයිනම් වරක් ප්‍රකාශ කළා ය. ගැහැනියකට පිරිමියකු අවශ්‍යය යැයි කීම මත්ස්යකකුට පාපැදියක් අවශ්‍ය යැයි කීමක් බඳු ය යන ප්‍රසිද්ධ කියමන ද සූත්‍රගත කෙරුණේ ඇය විසිනි. එය ලබා ඇත්තේ එතරම් හොඳ නාමයක් නොවන බැව් පවසමින් 1987 දී විවාහය ප්‍රතික්ශේප කළ ඇය 2000 දී විවාහ දිවියට ඇතුළත් වූයේ අතීතයේ දී ස්ත්‍රීවාදීන් විසින් පහරදුන් සංස්ථාවන් අද දවසේ දී සිය අභිමතය මත තෝරාගැනෙන බව, එනම් සමාජය වෙනස් වී ඇති බව පවසමිනි. [11]

ඉතිහාසය[සංස්කරණය]

ආදිතමයන්[සංස්කරණය]

ආදම්වරු විවාහය ප්‍රතික්ෂේප කළ නිකායක් විය. සිතුවමේ දැක්වෙන්නේ ඔවුන් සිය ආගමික අදහස් බෙදාගැනීම පිණිස රොක් වී සිටින ආකාරය යි.

ඉතිහාසය පුරා පැවති උතෝපියානු සමාජ ව්‍යාපාර රැසක් ම නිදහස් ආලය පිළිබඳ දැක්මක් සහිත වූවෝ වුහ. ක්‍රි. පූ. 1වන සියවසත් ක්‍රි. ව. 1වන සියවසත් අතර කාලයේ මැද පෙරදිග විසූ පිරිමින්ගෙන් පමණක් සමන්විත වූ එසන්ස්වරු පෙනීයන පරිදි මෛථූන්‍යය, විවාහය සහ වහල්හිමීත්වයෙන් වැළකී සිටියහ. [12] මිල මුදල් පරිහරණයද ප්‍රතික්ශේප කළ ඔවුහු සාමූහික දිවිපෙවෙතක් ගෙනගිය අතර අවිහිංසාවාදීයෝද [13] නිර්මාංශාහාරිකයෝද වූහ. ආදම්වරු නමින් දෙවන, තෙවන සහ සිව්වන සියවස්වල උතුරු අප්‍රිකාවේ සිටි මුල්කාලීන ක්‍රිස්තියානි නිකායක් ද විවාහය ප්‍රතික්ශේප කළහ. නග්නත්වය ප්‍රගුණ කළ කළ ඔවුහු තමන් මුල් පාපයෙන් නිදහස් බව ද විශ්වාස කළහ.

6වැනි සියවසේ පූර්ව මුසල්මාන පර්සියාවේ විසූ මස්දකීයවාදී බැතිමතුන් ද විවාහ සම්බන්ධයෙන් එක්තරා අරුතකින් නොබැඳි ප්‍රේමයට නෑකම් කියන පිළිවෙතක් අනුගමනය [14] කළ අතර නිදහස් ආලය ව්‍යාපාරයන් බොහොමයක්[තහවුරු කර නොමැත] පරිද්දෙන් ම නිර්මාශාහාරය, අවිහිංසාව සහ සාමූහික පැවැත්ම ප්‍රිය කළහ. පෞද්ගලික දේපල ප්‍රතික්ශේප කිරීම සහ විවාහය ප්‍රතික්ශේප කිරීම හිමිකාරීත්වයෙන් බැහැර වීම උදෙසා ගත් ප්‍රතිපත්තීන් බව පෙන්වාදීමට ඇතැම් ලේඛකයන් විවාහය සහ දේපළ අතර ඇති දේශපාලනික සබඳතාවය ගවේෂණය තුළින් උත්සාහ දරා ඇත.[තහවුරු කර නොමැත] එක්දහස් එක් රැය හි එන කිඳුරෙකු වූ අබ්දුල්ලා නම් ධීවරයාගේ කතා පුවත ද මුහුද යට පිහිටි නිදහස් ආලය (සහ නිරුවත් බව) දැකගත හැකි වූ ජනාවාසයක් පිළිබඳ ව සඳහන් වන මෙ සමයට ම අයත් ජනකතාවක් වෙයි. [15]

කාල් කවුට්ස්කි 1895දී ලියන සිය රචනාවක දීද විවාහය ප්‍රතික්ශේප කළ මධ්‍යකාලීන යුගයේ පැවති කොමියුනිස්ට්වාදී සමාජ විශාල සංඛ්‍යාවක් හඳුනාගනී. [16] මෙවැනි එක් ව්‍යාපාරයක් වූ 10වැනි සහ 14වැනි සියවස්වල බටහිර යුරෝපයේ විසූ කැතර්වරු සිය අනුගාමිකයන් ව සියලු ම සදාචාරමය වාරණයන්ගෙන් සහ ආගමික බැඳීම්වලින් නිදහස් කළහ. නමුත් තිරිසන් හෝ මනුෂ්‍ය ජීවිතයකට අනුගත නොවෙමින් අල්පේච්ඡ ව සහ බ්‍රහ්මචාරී ව වාසය කළ පුද්ගලයන් කෙරෙහි ගෞරව කළහ. ඉතා කලාතුරකින් දැකගත හැකි වූ සමානත්වයකට සහ ස්වාධීනත්වයකට ගැහැනුන් හිමිකම් කී අතර ආගමික නායකයන් ලෙස පවා පිළිගැනීමට ලක් වූ අය සිටියහ. කැතර්වරු සහ අනෙකුත් එවැනි කණ්ඩායම් (වෝල්ඩන්ස්වරු, අපෝස්තුලු සහෝදරවරු, බෙහාර්ඩ්වරු සහ බෙගුයින්වරු, ලොලාඩ්වරු සහ හුසයිට්වරු) රෝමානු කතෝලික පල්ලිය විසින් මිත්යාතදෘෂ්ටිකයන් වශයෙන් නම් කළ අතර මර්දනයටද කටයුතු කළහ. ශුද්ධාත්මයේ සොහොයුරෝ, ටැබොරයිට්වරු සහ පිකාඩ්වරු වැනි අනෙකුත් ව්‍යාපාරයන් ද විවාහය පිළිබඳ ව ඔවුන්ගේ වූ විවේචනය සමග එක් වූ නමුත් බ්‍රහ්මචාරය වෙනුවට නිදහස් ලිංගික සබඳතාවන්ට අනුග්‍රහ දැක්වූහ.

බුද්ධි ප්‍රබෝධක අවධිය[සංස්කරණය]

විලියම් බ්ලේක්ගේ Visions of the Daughters of Albion (1793) පිටකවරය. මෙය විවාහය පිළිබද යුදෙව්-ක්‍රිස්තියානි වටිනාකම් සම්බන්ධයෙන් ඔහු තුළ පැවති විවේචනාත්මක බව ප්‍රකට කරයි. ඕතෝන් (මැද) සහ බ්‍රෝමියන් (වම්පස) දම්වැලකින් ගැටලසා සිටී. මක්නිසාද යත් ඕතෝන් ව බ්‍රෝමියන් විසින් දූෂණය වුණු බැවින් සහ ඇය දැන් ඔහු වෙතින් ගැබ්ගෙන සිටින බැවිනි. තියටෝමන් (දකුණුපස) සහ ඕතෝන් ප්‍රේමවන්තයෝ වෙති. නමුත් තියටෝමන් ඇය අපිරිසිදු ය යන හැගීම නිසා, ක්‍රියා කළ නොහැකි ව ඔහු විසින් අත් පය ගැට ගසා ගෙන, අතීරණයේ බැඳුමට හසු ව සිටී.

ප්‍රබුද්ධ සමය විසින් ගතානුගතික සදාචාරයට සහ ආගමට අභියෝග එල්ල වුණු අතර ප්‍රංශ විප්ලවයේ විමුක්ති දේශපාලනය විසින් නිදහස් ආලය වැනි මාතෘකාවන්ට සුපෝෂණීය විය හැකි වාතාවරණයක් ඇති කරන ලදී.

ඉංග්‍රීසි ජැකොබියන්වරුන් ලෙස හැදින්වුණු ප්‍රංශ විප්ලවයට සහය දැක්වූ එංගලන්තයේ සිටි රැඩිකල් බුද්ධිමතුන් කණ්ඩායමක් විසින් ස්ත්‍රීවාදයේ සහ නිදහස් ආලයේ මුල් අදහස් ඉදිරිපත් කරන ලදී.

ඒ අතර කැපී පෙනෙන චරිතයක් වූයේ රොමැන්ටික් කවියෙකු වූ විලියම් බ්ලේක් ය. ඔහු සිය Visions of the Daughters of Albion (1793) වැනි කෘතිවල විවාහය තුළ ඇති ලිංගික පීඩනය සමාන කරනු ලැබුවේ වහල්භාවයකට ය. ඔහු එකල පැවති විවාහ නීති කෙරෙහි විවේචනාත්මක වූ අතර පතිවත සුචරිතයක් ලෙස දුටු සාම්ප්‍රදායික ක්‍රිස්තියානි ආකල්පයන් නිර්දය ලෙස විවේචනය කළේ ය.[17] සිය බිරිද වූ කැතරින්ට දරුවන් නොලැබීම ද හේතුවක් වූ බව පෙනෙන ඔහුගේ විවාහයේ දෙදරා යාම තුළ ඔහු දෙවන බිරියක් පාවාගැනීම වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ය.[18] විවාහයක තිබිය යුතු අන්‍යෝන්‍ය බැදීම රැකගැනීමට බාහිර බලපෑම් එල්ලවීම තුළ ආදරය අවංක බැදීමක සිට තමන් පිට පැවරුණු රාජකාරියක් දක්වා පිරිහෙන බවටත් මිනිසුන්ගේ ලිංගික ඊර්ෂ්‍යාව සහ ආත්මාර්ථකාමීත්වය යොදාගනිමින් විවාහ නීතිය රැකගැනීම පමණක් ඉන් සිදුවන බවටත් ඔහු දැරූ මතයට ඔහුගේ ඇතැම් පද්‍යයන් දෙස් දෙයි. "Why should I be bound to thee, O my lovely Myrtle-tree?" සහ "Earth's Answer" යන පද්‍ය ලිංගික සහකරුවන් කීපදෙනෙකු සමග සබදතා පැවැත්වීම වෙනුවෙන් පෙනී සිටින බව සිතිය හැකි ය.

සිය ලන්ඩන් නම් පද්‍යයේ ඔහු යොවුන් සිරියෙන් යුතු වෙසගනගේ සාපයෙන් බැට කන විවාහයේ අවමංගල රිය (the Marriage-Hearse) ගැන පවසමින් ප්‍රතිඵලය වී ඇත්තේ බොරු චරිතවත් බවකින් රගපෑමත් වේසකමත් බව පෙන්වාදෙයි. එකිනෙකා කෙරෙහි කිසිදු හැගීමක් නැති බ්‍රෝමියන් සහ ඕතෝන් අතර නීතිය නිසා ඇතිවන බැදීම ගැන කියවෙන Visions of the Daughters of Albion නිදහස් ආලය වෙනුවෙන් ඉදිරිපත් කළ සටන්කාමී ප්‍රකාශනයක් ලෙස ප්‍රසිද්ධියට පත් විය. නීතිය සහ ප්‍රේමය එකිනෙකට සතුරු ලෙස දුටු බ්ලේක් "ගල්ගැසුණු විවාහක යහන (frozen marriage-bed)" පතුරු ගැසුවේ ය.

Till she who burns with youth, and knows no fixed lot, is bound
In spells of law to one she loathes? and must she drag the chain
Of life in weary lust? (5.21-3, E49)

මිනිසුන් පිරිහුණු තත්ත්වයක සිටින බවත් නිදහස් ආලයෙන් යුතු සමාජයකට ප්‍රධාන ම බාධකය දූෂ්‍ය වූ මනුෂ්‍ය ස්වභාවය බවත් ඔහු විශ්වාස කළේ ය. එයට හේතුව හුදෙක් සමාජයේ නිදහස්කාමී චර්යා නොඉවසීම හෝ පිරිමින්ගේ ඊර්ෂ්‍යාව නොව මානව සන්නිවේදනයේ ව්‍යාජ, කුහක ස්වභාවය බව ඔහු විශ්වාස කළේ ය.[19] විවාහය සතුටට සහ ආදරයට අනුග්‍රහ දැක්විය යුතු නමුත් යථාර්ථයේ දී එය එසේ නොවන බවත්[20] තමන් ගැටගැසී සිටින බවට යුවළකගේ වන දැනුම විසින් ම බොහෝවිට ඔවුන්ගේ සතුට විනාශ කරන බවත් ඔහු සිතූ බව පෙනෙන්නට තිබේ.

Title page reads "A VINDICATION OF THE RIGHTS OF WOMAN: WITH STRICUTRES ON POLITICAL AND MORAL SUBJECTS. BY MARY WOLLSTONECRAFT. PRINTED AT BOSTON, BY PETER EDES FOR THOMAS AND ANDREWS, Faust's Statue, No. 45, Newbury-Street, MDCCXCII."
1792 දී මුල් කාලීන ස්ත්‍රීවාදිනියක් සහ නිදහස් ආලයේ යෝජිකාවක් වූ මේරි වොල්ස්න්ක්‍රාෆ්ට් විසින් ලියූ A Vindication of the Rights of Woman හි කවර පිටුව.

බ්ලේක්ගේ කවයේ සිටි තවත් අයෙක් වූයේ පුරෝගාමී ස්ත්‍රීවාදිනියක වූ මේරි වොල්ස්ටන්ක්‍රාෆ්ට් සහ මුල්කාලීන අරාජකවාදියකු වූ විලියම් ගොඩ්වින් ය. ගොඩ්වින් පසුකලෙක ඇගේ සැමියා බවට පත් විය. නිදහස් ආලයේ පරමාදර්ශ මුල් ම යුගයේ ස්ත්‍රීවාදිනියක වෙතින් උත්කෘෂ්ටත්වයට පත්කෙරිණ. විවාහය නැමති සංස්ථාවට අභියෝග කළ වොල්ස්ටන්ක්‍රාෆ්ට් එය අහෝසි කිරීම පිණිස පෙනී සිටියා ය. ඇගේ නවකතා විවාහය පිළිබද සමාජ නිර්මිතය සහ කාන්තාවන් කෙරෙහි ඉන් වන බලපෑම විවේචනයට ලක්කරන ඒවා විය. 1788 දී ලියූ Mary: A Fiction නම් ඇගේ මුල් ම නවකතාවේ වීරවරිය ආර්ථික හේතූන් මත ප්‍රේමයෙන් තොර විවාහයකට තල්ලු කරනු ලැබේ. ඇය වෙනත් මිනිසකු හා ගැහැනියක සමග සිය සබදතා තුළ සිය ආදරය සොයාගනී. ලියා අවසන් නොකළ නමුත් 1798 දී පළකෙරුණු Maria: or, The Wrongs of Womanනවකතාව සිය සැමියා විසින් උම්මත්තකාගාරයක සිරගත කෙරුණු කාන්තාවක් වටා ගෙතුණු කතාවකි. මරියා සිය උම්මත්තකාගාර සගයෙකු වෙතින් විවාහයෙන් බැහැර ව සිය ජීවිතයේ සැනසීම සොයාගනී. “කාන්තාවන්ට ප්‍රබල ලිංගික ආශාවන් තිබෙන බවත් එය එසේ නොවන බවට හැගවීම පහත් සහ සදාචාර විරෝධී දෙයක් බවත්” වොල්ස්ටන්ක්‍රාෆ්ට් පැහැදිලි ව පෙන්වා සිටියා ය.[5]

කාන්තාවන් සිය නිදහස සහ ලිංගිකත්වය පිළිබද පාලනය අත්නොහැරිය යුතු බව වොල්ස්ටන්ක්‍රාෆ්ට්ගේ මතය වූ අතර ඒ අනුව යමින් ඇය සිය සහකරුවා වූ ගිල්බර්ට් ඉම්ලේ වෙතින් ඇයට දරුවන් දෙදෙනෙකු පිළිසිදගෙන සිටිය දී සහ ප්‍රංශ විප්ලවයේ භීෂණය මධ්‍යයේ දරුවකුට උපත දීමට සිදුවීමත් නොතකමින් ඔහු හා විවාහ වීමෙන් වැළකුණි. එම සබදතාවය ඉම්ලේගේ විකල්ප සබදතාවයක් සොයාගැනීම නිසා අමිහිරි ලෙස අවසන් වුවත් නිදහස් ආලයක් පිළිබද ඇගේ විශ්වාසය සුරැකී පැවතුණි. පසුකලෙක ඇය නිදහස් ආලය පිළිබද සිය අදහස් බෙදාහදාගත් සහ ඔහුගේ ජීවිත කාලය පුරා ම විෂය පිළිබද පළකිරීම් කළ විලියම් ගොඩ්වින් සමග සබදතාවයක් ඇතිකර ගත්තා ය. නමුත් අවසානයේ දී ඔවුන් දෙදෙනා විවාහ වීමට තීරණය කළහ. ඒ ප්‍රසූතියේ දී සිදු වූ සංකූලතා හේතුවෙන් ඇගේ මරණය සිදුවීමට දින කිහිපයකට පෙර ය.

නිදහස් ආලයට සහය දැක්වීමක් ලෙස හදුනාගත හැකි ආදර්ශයක් සපයමින් මේරිගේ හා ගොඩ්වින්ගේ දරුවා වූ මේරි බාල වියේ දී, එවකටත් විවාහ වී සිටි ඉංග්‍රීසි කවි පර්සි බෙසී ෂෙලී විසින් සිය රැකවරණයට ගන්නා ලදී. ෂෙලී ද නිදහස් ආලය (සහ නිර්මාංශාහාරිකත්වය) වෙනුවෙන් සිය රචනා තුළ පෙනී සිටියේ ය. Queen Mab (1813) හි ගැදි සටහන් තුළ ද, ඔහුගේ On Love (c. 1815) නම් රචනාව තුළ ද, Epipsychidion (1821) පැදිය තුළ ද ඒ දැකිය හැකි ය. Epipsychidion හි ඔහු මෙසේ ලියයි:

I never was attached to that great sect,
Whose doctrine is, that each one should select
Out of the crowd a mistress or a friend,
And all the rest, though fair and wise, commend
To cold oblivion...

True love has this, different from gold and clay,
That to divide is not to take away.

මනෝරාජික සමාජවාදය[සංස්කරණය]

ආදිම සමාජ ව්‍යාපාරවල වූ නිදහස් ආලය ආශ්‍රිත සංකල්ප මෙන් ම ස්ත්‍රීවාදය, අහිංසාවාදය, සරළ සාමූහික ජීවිතය වැනි සංකල්ප 19 වැනි සියවසේ මුල ප්‍රංශයේ හා බ්‍රිතාන්‍යයේ ඇරඹුණු මනෝරාජික සමාජවාදී සමාජ වෙත ගමන් කිරීම ප්‍රංශයේ ඔන්රේ ඩි සෙන්ට් සිමොන් (Henry de Saint Simon), ෂෝල් ෆූරියේ (Charles Fourier) සහ එංගලන්තයේ රොබට් ඕවන් වැනි චින්තකයන් හරහා සිදුවිය. Feminism යන යෙදුම ද පබැදූ ෆූරියේ සැබෑ නිදහස ඇතිවන්නේ හිමිකරුවන්, ශ්‍රමයේ රීති, ආශාවන් යටපත් කිරීම යන මේ සියල්ල නැති වූ කල්හි පමණක් බැව් කියා සිටියේ ය. ආශාවන් යටපත් කරවීම පුද්ගලයාට පමණක් නොව සමස්තයක් ලෙස සමාජයට ද හානිකර බව ඔහු කියා සිටියේ ය. මිනිසුන් හිංසනයට පත් නොවන තාක් කල් ලිංගිකත්වයේ සෑම ප්‍රකාශමානවීමක් ම වින්දනයට නිදහස තිබිය යුතු බවත් “කෙනකුගේ වෙනස්බවට ඉඩ දීම” නිසැක ව ම සමාජ අන්තර්ග්‍රහණය ඉහළ නංවනු ඇති බව ද ඔහුගේ මතය විය.

රොබට් ඕවන් මනුෂ්‍ය වර්ගයා පීඩාවට පත් කරන භයංකර ත්‍රිත්වය (awful trinity) ලෙසට විවාහය, ආගම සහ පෞද්ගලික දේපල නම් කළේ ය. ඔහුගේ පුතු වූ රොබට් ඩේල් දික්කසාදයේ නිදහස වෙනුවෙන් පෙනී සිටි ප්‍රබල මතධාරියකු විය. සාන්ත සිමොන්වාදී ස්ත්‍රීවාදිනියක වූ පෝලින් රෝලන්ඩ් විවාහයට එදිරි ව නිදහස් ආලයට අනුගත ස්ථාවරයක් ගනිමින් 1830 වැනි සමයක දරුවන් සිව් දෙනෙකුට ම උපත ලබා දුන්නේ ඔවුන්ගේ පෙළපත් නාමය ඇගේ වාසගම බවට පත්වන ලෙසිනි.

ජර්මානු සංගීතවේදී රිචඩ් වැග්නර් සිය කෘති කීපයක ම නිදහස් ආලයේ ස්වභාවය ගත් සංකල්පයක් වෙනුවෙන් පෙනී සිටි අතර වාද්‍ය ශිල්පී හෑන්ස් වොන් බුලෝ සමග ඒ වනවිටත් විවාහ වී සිටි කොසිමා ලිස්ට් සමග පවුල් ජීවිතයක් ගතකිරීමට ද පෙළඹූණි. යුගයේ සමාජ සාරධර්මවල කෝණයෙන් බලන කල්හි අවකල් හැසිරීමක් ලෙස පෙනී ගිය ද, මෙවැනි සබදතා සමාජ සම්මුතියට වඩා සිය නිදහස් සිතුම් පැතුම්වලට තැන දුන් ප්‍රසිද්ධ සහ විශිෂ්ට කලාකරුවන්ගේ ස්වභාවය ලෙස හදුනාගත හැකි ය. එනයින් බලන කළ ඔවුන් එකල ලිංගිකත්වය සහ ප්‍රේමය විෂයෙහි නිදහස්කාමී අදහස් ප්‍රකට කළ ෆූරියේ වැනි දාර්ශනිකයන්ගේ කුලකයේ සිට ඇති බවත් ඔවුන්ගේ සවිඥාණක ව හෝ අවිඥාණක ව හෝ සිදු වූ විවෘත හැසිරීම විසිවැනි සියවසේ වඩාත් නිදහස්කාමී වූ සමාජ සම්මතයන්ට පදනම සැපයූ බවත් පැවසිය හැකි ය. ෆ්‍රෙඩ්රික් නිට්ෂේ ද නිදහස් ආලයේ ස්වභාවය ගත් අදහස් ඇතැම්විට දැක්වී ය. නමුත් ඔහු එහි සුප්‍රසිද්ධ පිළිවෙත් පුරන්නියක වූ ලුයි ඇන්ද්‍රියේ සැලෝමේ (Louis Andreas Salome) වෙත විවාහ යෝජනාවක් ඉදිරිපත් කළ කල්හි ඇය නිදහස් සහ සුපිරිසදාචාර සුපිරිමිනිසා පිළිබද ඔහුගේ ම දර්ශනයට එරෙහි ව යාම ගැන ඔහු ව අවඥාවෙන් හෙලා දුටු අතර මේ විවේචනය ඔහු ගැඹුරු ලෙස සිතාබැලීමකට නැතිනම් කම්පනයකට පත්කළේ ය. සංගීතවේදී ෆ්‍රෙඩ්රික් ෂොපින් සහ ලේඛිකා ජෝර්ජ් සෑන්ඩ් අතර පැවති සබදතාවය ද නිදහස් ආලයේ ප්‍රකාශයක් ලෙස පැති කිහිපයකින් ම දැකිය හැකි ය. සුප්‍රසිද්ධ චරිතවල මේ ආකාරයේ හැසිරීම් ආදර සබදතා සහ විවාහය පිළිබද පැවති සාම්ප්‍රදායික මතය කෙරෙහි වූ විශ්වාසය හීන කිරීමට මහෝපකාරී විය. වෙසෙසින් ම මෙවැනි සාම්ප්‍රදායිකත්වයක් නිසැක ව එහි ප්‍රතිපත්ති පූරකයන්ගේ ජීවිතවල සෞඛ්‍යයට හානිකර වන විට ඒ එසේ සිදුවිය.

ව්‍යාපාරයේ මූලයන්[සංස්කරණය]

සම්භාවනීය සමාජ විද්‍යාඥයකු වූ හර්බට් ස්පෙන්සර් සිය Principles of Sociology හි නිදහස් දික්කසාද ක්‍රමයක් ඇති කිරීම වෙනුවෙන් පෙනී සිටියේ ය. නීතියෙන් ඇතිවන බැදීම සහ ආදරයෙන් ඇති වන බැදීම යනුවෙන් සංරචක දෙකකින් විවාහය සමන්විත වන බව පැවසූ ඔහු ආදරයෙන් ඇති වන බැදීම නැති වීමත් සමග ම නීතියෙන් ඇති වන බැදීම ස්වයංක්‍රීය ව ම අහෝසි වන බවටත්, එබැවින් දික්කසාදය සදහා නීතිමය ක්‍රියාදාමයක අවශ්‍යතාවයක් නොමැති බවටත් තර්ක කරන ලදී. [21] නිදහස් ආලය විශේෂයෙන් ම කාන්තාවන්ගේ අයිතිවාසිකම් ගැන අවධාරණය කරන ලදී. මක්නිසාද යත් ලිංගිකත්වය ආශ්‍රිත ව පැවති බොහෝ නීති (නිදසුන්: විවාහ නීති සහ උපත් පාලනය සම්බන්ධ සීමා) කාන්තාවන්ට එරෙහි ව වෙනස්කම් කරනසුලු වූ බැවිනි. [22]

ඇමරිකා එක්සත් ජනපදය[සංස්කරණය]

ඔනෙයිඩා සමාජය 1840 දී පිහිටුවනු ලැබු මනෝරාජික සමාජයක් වූ අතර එවුහු නිදහස් ආලයක් භාවිතාවේ යෙදවුහ. ඔනෙයිඩා මන්දිරයේ රූපයක් සහිත 1907 දී මුද්‍රිත තැපැල් පතක් රූපයේ දැක්වේ.

නිදහස් ආලය තනි ව්‍යාපාරයක් බවට පත්වීම 19වන සියවසේ අගභාගයේ දී සිදුවිය. ක්‍රිස්තියානි සමාජවාදී ලේඛකයකු වූ ජෝන් හම්ප්‍රි නොයෙස් (John Humphrey Noyes) විසින් Free love යන යෙදුම පබදින ලදී. කෙසේනමුත් ඔහු වඩාත් ප්‍රිය කළ යෙදුම වූයේ සංකිර්ණ විවාහය (complex marriage) යන්නයි. නොයෙස් 1848 දී ඔනෙයිඩා සමාජය (Oneida community) පිහිටුවූ අතර, මනෝරාජික සමාජයක් වූ එය කාන්තාවන් කෙරෙහි හිමිකාරීත්වයක් තබාගැනීමට පිරිමින්ට ඉඩ දීම මගින් ක්‍රිස්තියානින් විසින් ප්‍රතික්ෂේප කළ යුතු ම සංකල්ප දෙකක් වන නීතිගතභාවය (legalism) සහ ආත්මාර්ථකාමීත්වය ප්‍රවර්ධනය කරන බැවින් සම්ප්‍රදායික විවාහය ප්‍රතික්ෂේප කළේ ය. ඔහු එයට බයිබලීය පදනමක් ද සපයා ගත්තේ ය. "මක්නිසාද නැවත නැගිටීමේ දී ඔවුන් සරණපාවාගන්නේවත් සරණපාවා දෙන්නේවත් නැත. එහෙත් ස්වර්ගයෙහි දේවදූතයන් හා සමාන වෙති." (මැතිව් 22: 30)[23] නොයෙස් සුජනකවාදයට (eugenics) ද සහය දැක්වූ අතර ඔනෙයිඩා සමාජයේ සාමාජිකයන්ගෙන් නොයෙස් සහ තවත් තෝරාගත් කිහිපදෙනෙක් පමණක් ප්‍රජනනයට සුදුසුකම් ලැබී ය. ඔනෙයිඩා සමාජයේ තවත් ශාඛාවක් බර්ලින් හෙයිට්ස්හි ඔහියෝ හි පිහිටුවනු ලැබී ය.

1852 දී මාර්ක්ස් එජ්වර්ත් ලසාරස් නම් ලේඛකයෙක් "Love vs. Marriage pt. 1," මැයෙන් පොත් පිංචක් පළ කළ අතර ඔහු එහි විවාහය "සමාජ සංහිදියාව සමග ගැටෙනසුලු සහ මානසික සහ කායික අබලත්වයන්ගේ මූල හේතුව ලෙස ද" පෙන්නුම් කරන ලදී. ලසාරස් සිය ලියවිලි සිය ක්‍රිස්තියානි ආගමික ඉගැන්වීම් සමග බද්ධ කළ අතර එය ක්‍රිස්තියානි සමාජයන් ඔහුගේ නිදහස් ආලය ආශ්‍රිත සංකල්පයන්ට ප්‍රතිරෝධී නොවීමට හේතු විය.[4] නිදහස් ආලය ව්‍යාපාරයේ මූලිකාංග අහෝසිකරණ ව්‍යාපාර (abolitionist movements) සමග ද නෑකම් දක්වයි. ඒ වහල්භාවය සහ ලිංගික වහල්භාවය වන විවාහය අතර සමානකම් දැකීම තුළ සහ කළු විමුක්ති ක්‍රියාකාරිකයන් සමග අත්වැල් බැද ගැනීමත් නිසා ය.

1872 වසරේ දී ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙමින්, ඇමරිකානු ජනාධිපතිවරණයකට තරග කළ පළමු කාන්තාව බවට පත් වූ ඇමරිකානු ස්ත්‍රීවාදිනී වික්ටෝරියා වුඩ්හල් (1838-1927) ද නිදහස් ආලය ව්‍යාපාරයේ ප්‍රධාන සාමාජිකාවක ලෙස සැලකේ. 1871 දී වුඩ්හල් මෙසේ රචනා කළා ය. “ඔව්, මම නිදහස් ආලවන්තියක්මි. මා හට, මා කැමති ඕනෑම අයකුට, මා කැමති තරම් දිගු හෝ කෙටි කාලයක් ආලය කිරීමට, මට ඇවැසි නම් දවසින් දවස වුවත් ඒ ආලය වෙනස් කිරීමට අන්සතු කළ නොහැකි, ව්‍යවස්ථානුකූල සහ ස්වාභාවික අයිතියක් ඇත. ඔබටවත් ඔබ සදන කිසියම් නීතියකටවත් මගේ එම අයිතියට අතපෙවීමට නොහැක.” [24]

කාන්තා ව්‍යාපාරය, නිදහස් ආලය සහ ආධ්‍යාත්මිකවාදය (spiritualism) එකල එකිනෙක දැඩි ව සබැදුණු ව්‍යාපාර ත්‍රිත්වය වූ අතර වුඩ්හල් ද ආධ්‍යාත්මික නායිකාවක වූවා ය. නොයෙස් මෙන් ම ඇය ද සුජනකවාදයට සහාය දැක්වූවා ය. තවත් එවැනි සමාජ ක්‍රියාකාරිනියක සහ ශික්ෂිකාවක වූ මේරි ගෝව් නිකල්ස් ඇගේ දෙවන සැමියා සමග විවාපත් වූ අතර දෙපළ එක් ව පුවත්පතක් පළ කළ අතර වෛද්‍ය කෘති, ලියවිලි[25][26][27], නවකතාවක් සහ නිදහස් ආලය වෙනුවෙන් කරුණු දක්වමින් තර්ක කළ නිබන්ධයක් ද රචනා කළහ. කෙසේනමුත් වුඩ්හල් සහ නිකොල්ස් යන දෙදෙනා ම එක්වර ම නිදහස් ආලය අත්හළහ.[තහවුරු කර නොමැත]

19වන සියවසේ දෙවන භාගය තුළ නිදහස් ආලය ව්‍යාපාරය විසින් පළ කළ ප්‍රකාශන අතර Nichols' Monthly, The Social Revolutionist, Woodhull & Claflin's Weekly (සංස්කරණය. වික්ටෝරියා වුඩ්හල් සහ ඇගේ සොයුරිය වූ ටෙනසි ක්ලැෆින්), The Word (සංස්. එස්රා හේවුඩ්), Lucifer, the Light-Bearer (සංස්. මෝසෙස් හාර්මන්) සහ ජර්මන් භාෂා Detroit පුවත්පතක් වූ Der Arme Teufel (සංස්. රොබර්ට් රෙයිට්සෙල්) විය. සංවිධාන අතර ඇමරිකානු ලිංගික නිදහස්කාමික සමාජවාදී බෙන්ජමින් ටකර් විසින් New England Labor Reform League (NELRL) හි ශාඛාවක් ලෙසින් පිහිටුවනු ලැබූ New England Free Love League වේ. නිදහස් චින්තකයන් සුළුතරයක් ද නිදහස් ආලයට සහාය දැක්වූහ. [28]

වඩාත් ම රැඩිකල් නිදහස් ආලය සගරාව වූයේ 1856-1857 දක්වා පළ වූ ජෝන් පැටර්සන් විසින් පළ කරන ලද The Social Revolutionist ය. පළමු වෙළුම ලේඛකයන් විසිදෙනෙකු විසින් රචනා කෙරුණු අතර එයින් කාන්තාවන් සිටියේ එක් අයෙකු පමණි.[9]

ලිංගික නිදහස්කාමීන් විවාහය පිළිබද සංකල්පයන්ට එරෙහි සිය සටනේ දී හුදකලා වූයේ නැත. 19වන සියවසේ සිටි තවත් ඇමරිකානුවන් රැසක් ම, (එය අහෝසි ම කරදැමීමට පැකිලුණත්) එම සමාජ සංස්ථාවේ ගැටලු ඇති බව දුටහ. ෂේකර්වරු (shakers), ඔනෙයිඩා සමාජය සහ අද්‍යයතන සාන්තුවරයන්ගේ නිකාය (Latter Day Saints) වැනි කණ්ඩායම් ද විවාහය පිළිබද සමාජ ආකල්පය කෙරෙහි මිශ්‍ර ආකල්පයක් දැරී ය. බිරියන් සිය සැමියන්ට යටපත් වීමේ ගැටලුව තවත් අර්බුදයට යවමින් පල්ලිය සහ රජය එක් ව කටයුතු කරන තාක් කල් ස්ත්‍රීන් සහ පුරුෂයන් අතර සැබෑ සමානාත්මතාවය ඇති නොවන බව මෙම සංවිධාන සහ ලිංගික නිදහස්කාමීහු විශ්වාස කළහ.[4]

නිව්යෝක්හි ග්‍රීන්විච් ගම්මානයේ බොහීමියානු කව දක්වා ම ගමන් කරමින් නිදහස් ආලය ව්‍යාපාරය 20 වැනි සියවසේ මුල්භාගය තුළ ද ක්‍රියාත්මක විය. නිදහස් ආලයට අනුගත ව ජීවත් වූ ගම්වාසීන් පිරිසක් The Masses නම් දේශපාලනික සගරාව තුළින් සහ එහි සහෝදර ප්‍රකාශනය වූ The Little Review නම් සාහිත්‍යමය ප්‍රකාශනය තුළින් එම අදහස් ප්‍රචලිත කිරීමට ද කටයුතු කළහ. එඩ්වර්ඩ් කාපෙන්ටර් සහ හැව්ලොක් එලිස් වැනි ඉංග්‍රීසි චින්තකයන්ගේ ලියවිලිවලින් ආභාෂය ලබමින්, එම්මා ගෝල්ඩ්මන් වැනි කාන්තාවෝ සමලිංගික නිදහස සහ උපත් පාලනයේ අයිතිය ඇතුලු ලිංගික අයිතිවාසිකම් ගණනාවක් දක්වා ම අරගල මෙහෙයවූහ. ග්‍රීන්විච් ගම්මානයේ ව්‍යාපාරය තුළ සිටි සෙසු ප්‍රසිද්ධ සාමාජිකයන් වුයේ එඩ්නා ශාන්ත වින්සන්ට් මිලේ, මැක්ස් ඊස්ට්මන්, ක්‍රිස්ටල් ඊස්ට්මන්, ෆ්ලොයිඩ් ඩෙල්, මාබෙල් ඩොජ් ලුහාන්, ඉඩා රෞහ් (Idah Rough), හචින්ස් හැප්ගුඩ් සහ වෙයිත් බොයිස්. ඩොරති ඩේ ද නිදහස් ආලය, කාන්තා අයිතිවාසිකම් සහ උපත්පාලනය වෙනුවෙන් උද්යෝගයෙන් රචනා කළ නමුත් පසුකාලීනව කතෝලික දහම වැළද ගැනීමත් සමග 1960 ගණන්වල සිදු වූ ලිංගික විප්ලවය හෙළා දුටුවා ය.

ඇමරිකා එක්සත් ජනපදයේ නිදහස් ආලය සංකල්පයේ සංවර්ධනය ප්ලේබෝයි සගරාවේ ප්‍රකාශක වූ හියු හෙෆ්නර්ගේ ක්‍රියාකාරීත්වය සහ ප්‍රතිරූපය වෙතින් ද සැලකිය යුතු බලපෑමක් ලැබී ය. ඔහුගේ පේෟද්ගලික ජීවිතය අඩ සියවසක කාලයක් පුරා නිදහස් ආලය පොදු ජනතාව අතර ප්‍රචලිත වීමට හේතු විය.

එක්සත් රාජධානිය[සංස්කරණය]

පුරෝගාමී ලිංගවේදියෙක් සහ නිදහස් ආලයේ සහායකයකු වූ හැව්ලොක් එලිස්

ස්කොට් ජාතික බුද්ධිමතකු වූ තෝමස් ඩේවිඩ්සන් විසින් 1883 දී පිහිටුවන ලද Fellowship of the New Life හි දර්ශනයේ ප්‍රධාන අංගයක් වූයේ ද නිදහස් ආලය යි.[29] සංගමයේ සාමාජිකයන් අතරට එවක සමාජයේ සම්මත ව පැවති ලිංගිකත්වය සහ සදාචාරය පිළිබද වික්ටෝරියානු සම්මතයන්ට රැඩිකල් ලෙස අභියෝග කළ එඩ්වර්ඩ් කාපෙන්ටර් සහ ජෝන් ඩේවිඩ්සන් වැනි කවියන්, සත්ත්ව හිමිකම් ක්‍රියාකාරික හෙන්රි ස්ටීවන් සෝල්ට්[30], ලිංගවේදී හැව්ලොක් එලිස්, ස්ත්‍රීවාදිනියන් වූ ඊඩිත් ලීස්, එමලින් පැන්ක්හර්ස්ට්, පරමවිඥානාර්ථවාදිනියක වූ ඇනී බෙසන්ට්, ලේඛකයන් වූ එච්. ජී. වෙල්ස්, බර්නාර්ඩ් ෂෝ, බර්ට්‍රන්ඩ් රසල්, ඔලිව් ෂ්‍රෙයිනර්[31] වැනි එවක සිටි බොහෝ සම්භාවනීය වියත්තු ඇතුළත් වූහ. සියලුදෙනා තුළ ම සෑම අංශයක ම පරිපූර්ණ චරිතයක් ගොඩනැගීම වූ සංගමයේ පරමාර්ථය වූ අතර අන්‍යයන්ට ආදර්ශයට ගැනීම පිණිස සරළ පිරිසිදු ජීවන රටාවක් ක්‍රියාවට නැංවීමෙන් සමාජ පරිවර්තනයක් කළ හැකි බව විශ්වාස කළහ. සංගමයේ බොහෝ සාමාජිකයෝ අහිංසාවාදය, නිර්මාංශාහාරිකත්වය සහ සරළ ජීවන පැවැත්ම වෙනුවෙන් පෙනී සිටියහ.[32]

එඩ්වර්ඩ් කාපෙන්ටර් සමලිංගිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ප්‍රථම ක්‍රියාකාරිකයා වූයේ ය. ඔහු ප්‍රගතිශීලී අධ්‍යාපනය කෙරෙහි, විශේෂයෙන් ම තරුණ ජනයාට ලිංගික අධ්‍යාපනය ආශ්‍රිත දැනුම ලබාදීම කෙරෙහි විශේෂ අවධානයක් දැක්වීය. කාපෙන්ටර්ට අනුව ලිංගික අධ්‍යාපනය යනු ලිංගිකත්වය සහ ස්ත්‍රී-පුරුෂභාවය කාන්තාවන් පීඩාවට පත් කිරීමට යොදාගැණෙන ආකාරය ගැන පැහැදිලි අවබෝධයක් ලබා දීම යි. ඔහුගේ රැඩිකල් කෘතිය වූ Love's Coming-of-Age හි ඔහු තර්ක කළ පරිදි සාධාරණ සහ සමානාත්මතාවාදී සමාජයක් කාන්තාවන්ගේ ලිංගික සහ ආර්ථික නිදහස ප්‍රවර්ධනය කළ යුතු ය. ඔහුගේ විශ්ලේෂණයේ මූලික පදනම වූයේ විවාහය නමැති සංස්ථාවේ සෘණාත්මක බලපෑම් ය. එවක එංගලන්තයේ පැවති විවාහ සංස්ථාව බලහත්කාර බ්‍රහ්මචාරීත්වයක් මෙන් ම ගණිකා සේවයක් ද වූ බව ඔහු සැලකී ය.

එඩ්වර්ඩ් කාපෙන්ටර් 1857 දී

සමාජවාදී සමාජයක් බිහිවන තුරු කාන්තාවන් සැබෑ විමුක්තිය නොලබන බව හෙතෙම විශ්වාස කළේ ය. කෙසේනමුත්, ඔහුගේ බොහෝ සමකාලීනයන්ට වෙනස් ව යමින්, කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමේ අරගලය, පිරිමි කම්කරුවන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමේ අරගලයට යටපත් කිරීම වෙනුවට, කාන්තාවන්ගේ අයිතීන් දිනාගැනීමේ අරගලයට සියලු පීඩිත කම්කරුවන් සහාය දැක්විය යුතු බව නිගමනය කිරීමට මෙය ඔහු ව යොමු කළේ ය. ඔහු මෙසේ පැවසුවේ ය. "...කාන්තාවන්ගේ නිදහස හැර වෙනත් විකල්පයක් නැත. කාන්තාවන්ගේ නිදහස යන්නෙන් අදහස් වන්නේ, සමස්ත පොදු මහජනතාවගේ ම, ගැහැනුන් හා පිරිමින් යන දෙපිරිසේ ම නිදහස යි. එනයින් ම ආර්ථිකමය වහල්භාවය මුලුමනින් ම තුරන් කිරීම යි. නිදහස් කාන්තාවන් සහ නිදහස් ආලය එහි සැබෑ අරුතින් සහ සැබෑ මිලෙන් අන්තර්ගත කර නොගන්නා කිසිදු විසදුමක් නොමැත. සිය ලිංගභාවයය හේතුවෙන් වේදනා විදින්නට ව ඇති සෑම ගැහැනියකට ම ඇයට හැකිතාක් දුරට තමන් ව ප්‍රකාශයට පත්කරගැනීමට, තමා ම බවට පත්වීමට, කෙළින් ම කිවහොත් නිදහස් ගැහැනියක් බවට පත්වීමට ඉඩ දිය යුතු වෙමු."

සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය ජාතික නිදහස් ආලය ක්‍රියාකාරිකයෙක් වූයේ තෙවැනි රසල් අර්ල්වරයා බවට පසුකලෙක පත් වූ දාර්ශනික බර්ට්‍රන්ඩ් රසල් ය. කාන්තාවක් සමග කායික ඇසුරක් පවත්වන තුරු ඇය සැබවින් ම හදුනාගත් බව තමන් නොසලකන බව හෙතෙම පැවසී ය. රසල් සිය දැවැන්ත කෘති මගින් දිගින් දිගට ම නිදහස් ආලයෙහි විවිධ අංශ ආමන්ත්‍රණය කළ අතර, ඉතා ම වයෝවෘද්ධ සමය වන තුරු ම සාම්ප්‍රදායික ඒකභාර්යාවෘතයෙන් සෑහීමකට පත් නොවී ය. නිදහස් ආලය අරබයා ලියැවුණු ඔහුගේ ප්‍රකට ම කෘතිය වන්නේ 1929 දී පළ කළ Marriage and Morals (විවාහය සහ සදාචාරය: පරිවර්තනය - දයාරත්න ගරුසිංහ, විවාහය හා සාර්ධර්ම: පරිවර්තනය - ඉ. කොලොන්නගේ) ය. මේ කෘතිය ලිංගිකත්වය සහ විවාහය සම්බන්ධයෙන් පැවති වික්ටෝරියානු සදාචාරාකල්ප තදබල ලෙස විවේචනයට ලක් කළේ ය. ඔහුගේ සමයේ පැවති ලිංගිකත්වය පිළිබද නීති සහ සමාජාකල්ප විවිධ මුලාශ්‍රවලින් ගෙන සෑදූ අච්චාරුවක් බවටත්, උපත් පාලනයේ ආගමනය මගින් ලිංගික ක්‍රියාවන් ප්‍රජනනයෙන් වෙන් කිරීමත් සමග එම සදාචාරය තවදුරටත් වලංගු නොවන බවටත් රසල් තර්ක කළේ ය. පවුල දරුවන්ගේ සුබසිද්ධිය ඉතා වැදගත් බවටත්, ඒ අනුව කාන්තාවක් හා පිරිමියෙක් සැබවින් ම එකිනෙකා හා බැදුණු ලෙස සැලකිය යුත්තේ ප්‍රථම දරුඋපතින් පසු බවටත් ඔහු තර්ක කළේ ය.[33]

Marriage and Morals කෘතිය පළ වී කෙටිකලකට පසු ව ම රසල්ට එරෙහි ව දැවැන්ත උද්ඝෝෂණ සහ හෙළාදැකීම් ඇති කිරීමට සමත් විය.[34] ඉන් දශකයකට පසු, නිව්යෝක්හි සිටි කොලීජියේ ඔහුගේ මහාචාර්ය ධුරය අහිමි කිරීමට පොත සමත් විය. ඒ ඔහු අධ්‍යාපනය ලබාදීමට නුසුදුසු සදාචාරයකින් හෙබි අයකු (morally unfit to teach) බවට ඔහුගේ අදහස් ඔහු ව පත්කර ඇති බව පවසමින් පොත සම්බන්ධයෙන් ලබාදුන් අධිකරණ තීන්දුවක් නිසා ය.[35]

ප්‍රචලිත විශ්වාසය කුමක් වුවත්, රසල් අතිශය ලිංගික නිදහස්කාමී ස්ථාවරයක් වෙනුවෙන් පෙනී නොසිටියේ ය. ඒ වෙනුවට ඔහු, ලිංගික හැසිරීම් ද කුසගින්න හෝ පිපාසය වැනි ම වූ තවත් ආවේගයක් වුවත්, එයට වඩා වැඩිමනසත් දෙයක් ද වන බව විශ්වාස කළේ ය. මක්නිසාද යත් කිසිවකු හුදෙක් ලිංගික ක්‍රියාවෙන් ම සෑහීමකට පත් නොවන බැවිනි. වේරමණිය ලිංගික හැසිරීමේ වින්දනය වැඩිදියුණු කරන බවටත්, ලිංගික හැසිරීමක් මුලුමනින් ම කායික වනවාට වඩා විශාල කායික සංරචකයකින් සමන්විත වන විට වඩා යහපත් බවත් ඔහු තර්ක කළේ ය.[36]

විවාහයක් සාර්ථක වීමට නම් "දෙපාර්ශවයට ම, තමන් පූර්ණ සමානාත්මතාවය අත්විදින බවට හැගී යාම, අන්‍යෝන්‍ය නිදහස කෙරෙහි කිසිදු අතපෙවීමක් නොසිදු වීම, කායික හා මානසික සමීපත්වයේ උපරිමය, වටිනාකම් සම්බන්ධයෙන් එකිනෙකාගේ දැක්මේ කිසියම් සමානත්වයක් තිබීම" යන කරුණු සැපිරීම අනිවාර්ය බව ඔහු පෙන්වා දුන්නේ ය. පොදු වශයෙන් ගත් විට, මෙවැනි සමීප බැදීමක් ජීවිත කාලයක් පුරා ම පවත්වා ගැනීම ප්‍රායෝගික නොවන බවත්, තිබෙන එකම විකල්පය වන්නේ දික්කසාදය ලබාගැනීම පහසු කිරීම හෝ විවාහ පරිබාහිර ලිංගික සබදතාවන්ට සමාජ පිළිගැනීම ලබා දීම බවත් ඔහු පැවසුවේ ය.[36]

කෙසේනමුත් රසල්, ඔහුගේ පසුකාලීන විවාහයන් සමග පුද්ගලික අර්බුදයන්ට මුහුණුපෑමත් සමග විවාහය පිළිබද ඔහුගේ මතය වෙනස් විය. "මා විවාහය නමැති විෂය ගැන දැන් කුමක් සිතන්නේ ද යන්න ගැන මට ම නිශ්චිත නැත. ඒ පිළිබද වන සෑම පොදු න්‍යායකට ම විරුද්ධ ව නොවැළැක්විය හැකි විරෝධතා පැන නගින බව පෙනෙන්නට ඇත. ඇතැම්විට දික්කසාදය පහසු කිරීම වෙනත් විසදුම්වලට වඩා නොසතුට අවම කරනවා විය හැකි ය. කෙසේනමුත් විවාහය පිළිබද විෂය ගැන අන්තනෝමතික ලෙස මතයක එල්බ සිටීමට තවදුරටත් මා හට පුලුවන්කමක් නම් නැත." රසල්, පුරුෂයන් අතර සමලිංගික ක්‍රියාකාරකම් තහනම් කළ නීති (sodomy laws) අහෝසි කිරීම පිණිස පෙනී සිටි මුල්කාලන ක්‍රියාධරයකු ද විය.

ඕස්ට්‍රේලියාව[සංස්කරණය]

නිදහස් ආලය කෙරෙහි උද්යෝගය 19වන සියවසේ දී ඕස්ට්‍රේලියාවට ද පැතිරුණි. එංගලන්තයේ උපත ලැබූ අරාජකවාදියකු වූ චමි ෆ්ලෙමිං 1886 දී මෙල්බර්න් අරාජකවාදී සංගමය පිහිටුවූ අතර නිදහස් ආලය ගැන එමගින් විවාදයක් ඇති කළ අතර වසර දෙකකින් පසු 'Free Love—Explained and Defended' මැයෙන් ඒ පිළිබද ව නිර්නාමික ලියවිල්ලක් ද පළකෙරුණි. මෙය බොහෝවිට ඩේවිඩ් අන්ද්‍රාදි හෝ චමි ෆ්ලෙමිං විසින් රචනා කෙරෙන්නට ඇත.

අරාජකවාදී සමාජයේ මතවාදය හැඩගැස්වීමට කුප්‍රකට ජැක් ද රිපර්ගේ වයිට්චැපල් ඝාතන ද හේතු විය. ඔහුගේ කුරිරු ක්‍රියාවන් එකල ඇතමෙකු වෙතින්, අඩු තරමේ අරාජකවාදීන් වෙතින්වත් හදුනා ගැනුණේ කම්කරු පංතියේ ඇතැම් ආන්තික ප්‍රජාවන්ට අයත් කාන්තාවන්ගේ නිදහස අහිමි කිරීමක් ලෙස නොව සියලු ම කාන්තාවන්ගේ නිදහස බිදවැටීමක් ලෙස ය.

නිව්කාසල්හි විසූ නිදහස්කාමිනියක වූ ඇලිස් වින්ස්පෙයා, එනම් පුරෝගාමී සමාජවාදී විලියම් රොබර්ට් වින්ස්පෙයාගේ බිරිද, මෙසේ රචනා කළා ය. "අපි නිදහස ලබාගන්නෙමු. ස්ත්‍රී-පුරුෂ දෙපිරිසට ම නිදහස ලබා ගනිමු. අපේ ආහාර වේල අප කැමති අපට ගැලපෙන ඕනෑම වෘත්තියකින් උපයා ගැනීමටත්, අප කැමති ඕනෑම අයකුට ආලය කිරීමත්, අප ආලය කරන සහ පෙරළා අපට ආලය කරන පුද්ගලයන් සමග වාසය කිරීමටත් නිදහස අපේක්ෂා කරමු.” දශක දෙකකට පසු මෙල්බර්න්හි විසූ අරාජකවාදී ස්ත්‍රීවාදී කිවිදියක වූ ලෙස්බියා හාර්ෆෝඩ් ද නිදහස් ආලය උත්කර්ෂයට නැංවූවා ය.

ප්‍රංශය[සංස්කරණය]

එමිල් ආමන්

ප්‍රංශයේ මොන්මාත්‍රෙ (Montmatre) සහ මොන්පර්නාසෙ (Montparnasse) යන බොහීමියානු දිස්ත්‍රික්කවල සිටි බොහෝදෙනා කාලීන සමාජයේ වූ මධ්‍යයම පාංතික සංවේදීතාවයන් කම්පනයට පත්කිරීමට අදිටන් කරගෙන සිටියහ. අරාජකවාදී බෙනුආ බෝෂෝ (Benoît Broutchoux) වැනි බොහෝ දෙනා නිදහස් ආලය ප්‍රිය කළහ. මෙ සමයේ ම සිටි විරුද්ධ ලිංගික ඇදුම් ඇදි ක්‍රියාකාරිනියක වූ මැදලින් පෙලෙචියේ (Madeleine Pelletier) බ්‍රහ්මචාරීත්වය අනුව ජීවත් වෙමින් උපත් පාලන උපකරණ බෙදාහැරීම සහ දැනුවත් කිරීමත් ගබ්සා සිදුකිරීමත් සිදු කළා ය.

නිදහස් ආලයේ වැදගත් ප්‍රචාරකයකු වූයේ පුද්ගල අරාජකවාදී ඒමිල් ආර්මන් (Émile Armand) ය. හෙතෙම තමන් විසින් la camaraderie amoureuse (ආදරණීයයන්ගේ සංගමය) ලෙස හදුන්වන්නට යෙදුණු සංකල්පය තුළ සමාජ නිරුවත සහ බහුප්‍රේම සබදතාවන් පෙනුවෙන් පෙනී සිටියේ ය.[37] 1907 දී ලියූ "De la liberté sexuelle" වැනි බොහෝ ප්‍රචාරක ලිපි ඔහු ඒ වෙනුවෙන් රචනා කළ අතර මෙම ලිපියේ දී ඔහු නොපැහැදිලි නිදහස් ආලයක් වෙනුවෙන් පමණක් නොව සැබවින් ම ලිංගික සහකරුවන් රැසක් තබාගැනීම වෙනුවෙන් පෙනී සිටියේ ය. ඔහු මෙය හැදින්වූයේ බහුප්‍රේමය (plural love) යනුවෙනි.[37] පුද්ගල අරාජකවාදී සගරාවක් වූ L'en dehors (පිටත) හි ඔහු සහ තවත් අය මෙලෙස ලිපි පළ කළහ. නිදහස් ආලය ව්‍යාපාරයේ සහය දක්වන්නන්ගේ සම්ප්‍රදායික අදහස්වලින් කිහිප ආකාරයකින් ම වෙනස් වූ විප්ලවවාදී ලිංගිකවාදය සහ ආදර සංගමයට පක්ෂ ව සිය න්‍යායන් ගොඩනගන්නට ආමන් මේ අවස්ථාව යොදා ගත්තේ ය.

පුද්ගලවාදී කෝණයකින් බලන කළ යමකු සමග දැඩි මානසික බැදීමක් නැති ව වුවත් යම් තැනැත්තියක සිය කැමැත්තෙන් ලිංගික ව එක්වීම අපවාදයට ලක් විය යුතු මැඩ පවත්වා ගත යුතු ආශාවක් ලෙස නොසැලකිය යුතු බව පසු කාලීන ව ඔහු පැවසුවේ ය.[37]

ආදර සංගමය ප්‍රවාදය සංගමයට අයත් ඕනෑම ලිංගයකට අයත් පුද්ගල අරාජකවාදීන් අතර, ප්‍රතික්ෂේපය, භේදය, බැහැර කිරීම, හිමිවීම, ඒකත්වය, වශීකරගැනීම, ක්ෂණික ආවේග, චාටුබව, අන්‍යයන් පිළිබද නොසැලකීම සහ ගණිකාකරණය වැනි ආදර අත්දැකීමේ අවදානම්වලින් අනෙක් පාර්ශ්වයන් ආරක්ෂා කරගැනීම මුල්කරගත් දෘෂ්ටියක් මත ලිංගික ස්වස්ථතාවය පිළිබද නිසි ප්‍රමිතීන්ට අනුගත වීමට අවශ්‍ය කොන්දේසිවලට යටත් ව ඇතිකරගන්නා ඕනෑම අවස්ථාවක දී පූර්ව එකගතාවය අනුව පෙර දැනුම් දීමකින් තොර ව අවලංගු කළ හැකි නිදහස් ගිවිසුම්ගතවීමක් අදහස් කරන බව ඔහු පැවසුවේ ය.[37] ඔහු Le Combat contre la jalousie et le sexualisme révolutionnaire (The fight against jealousy and revolutionary sexualism) – 1926 ද, ඉන් වසර කීපයකින් පසු Ce que nous entendons par liberté de l'amour (ආලයේ නිදහස යන්නෙන් අප අදහස් කරන්නේ කුමක් ද?) – 1928 ද, La Camaraderie amoureuse ou "chiennerie sexuelle" (ආදරයේ සංගමය හෙවත් sexual bitchiness) -1930 සහ අවසන් වශයෙන් ලිංගිකත්වය පිළිබද ඔහුගේ ලියවිලි විශාල වශයෙන් සංග්‍රහ කරගත් පිටු 350කින් පමණ සමන්විත වූ කෘතියක් වූ La Révolution sexuelle et la camaraderie amoureuse (ලිංගික විප්ලවය සහ රොමෑන්තික සංගමය) – 1934 ද යන ලියවිලි පළ කළේ ය.[37] 1937 දී ලියූ රචනාවක ඔහු පුද්ගලවාදී අරමුණු අතරින් එකක් වශයෙන් විෂමලිංගික, සමලිංගික, උභයලිංගික යන සියලුම ආකාරයේ, හුදෙක් ම ලිංගිකමය සබදතාවයන් සදහා ස්වේච්ඡා සංගමයන් පිහිටුවීම සදහන් කරයි.

ඔහු පුද්ගලයන්ට සිය ජීවවිද්‍යාත්මක ලිංගය වෙනස් කරගැනීමට ඇති අයිතිය වෙනුවෙන් ද පෙනී සිටි අතර තහනම් විනෝදයන්, සාම්ප්‍රදායික නොවන උත්තේජනයන් (non conformist caresses) සහ පුරුෂයන් අතර සමලිංගික ක්‍රියාකාරකම් ද යථා තත්ත්වයට ගෙන ඒමට (ඔහු පෞද්ගලික වශයෙන්, නැරඹුම්කාමයට නැඹුරු වූවකු විය.) ඔහුගේ ඇති ආශාව ප්‍රකාශ කර සිටියේ ය. ඔහු විසින් (ශාරීරික ප්‍රචණ්ඩත්වය මගහරිමින්) ලිංගික නිර්-ගතානුගතිකත්වය (non-conformist caresses) යනුවෙන් ඔහු විසින් හදුන්වන්නට යෙදුණු දෙය වෙනුවෙන් වැඩි වැඩියෙන් කැපවීමට මෙය ඔහු ව යොමු කළේ ය.[37] ඔහුගේ සටන්කාමී කාර්යභාරයට, ඇලෙක්සැන්ද්‍රා කොලොන්තායි සහ විල්හෙල්ම් රයික් වැනි අයගේ ලියවිලි පරිවර්තනය කිරීම මෙන් ම සැබෑ ලිංගික අත්දැකීම්වලින් ආදර සංගමය සංකල්පය භාවිතාවේ යෙදවූ නිදහස් ආලය සංගම් පිහිටුවීම ද ඇතුළත් විය.

මේ සමයේ ක්‍රියාකාරී ව සිටි නිදහස් ආලය කණ්ඩායම් අතරට Association d'Études sexologiques (ලිංගිකවිද්‍යා අධ්‍යයන සදහා වූ සංගමය) සහ Ligue mondiale pour la Réforme sexuelle sur une base scientifique (විද්‍යාත්මක පදනමක් මත ලිංගික ප්‍රතිසංස්කරණ කිරීම සදහා වූ ගෝලීය ලීගය) අයත් විය.[37]

ජර්මනිය[සංස්කරණය]

ලිලි බවුන්

1891 සිට 1919 දක්වා ජර්මනියේ Verband Fortschrittlicher Frauenvereine (ප්‍රගතිශීලී කාන්තාවන්ගේ සංගමයන්හි ලීගය) විසින් විවාහය වර්ජනය කරන ලෙසත් ලිංගිකත්වය නිදහසේ වින්දනය කරන ලෙස ඉල්ලා සිටින ලදී. ලිලී බවුන් (Lily Braun) සහ මිනා කවුවර් (Mina Cauer) විසින් පිහිටුවන ලද මෙම ලීගය ලිංගික සේවා සපයන්නියන් ව වෘත්තීය සංගම් ලෙස සංවිධානගත කිරීමටත් උපත් පාලන ක්‍රම ඉගැන්වීමටත් අරමුණු කළ අතර ගබ්සා කිරීමේ අයිතිය වෙනුවෙන් සහ සමලිංගිකත්වය අපරාධ වරදක් කළ නීති අහෝසි කිරීම වෙනුවෙනුත් පෙනී සිටියේ ය. එමෙන් ම අවිවාහක මව්වරුන් වෙනුවෙන් දරුවන් රැකබලා ගැනීමේ සේවා ද ඔවුන් විසින් පවත්වා ගෙන යන ලදී. 1897 දී ගුරුවරියක සහ ලේඛිකාවක වූ එමා ට්‍රොසේ Ist freie Liebe Sittenlosigkeit? ("නිදහස් ආලය සදාචාර විරෝධී ද?") මැයෙන් පත්‍රිකාවක් ද පළ කළා ය.

ලෝක ව්‍යාප්ත සමලිංගික විමුක්ති ව්‍යාපාරය ද 19වන සියවස අග භාගයේ ජර්මනියේ ඇරඹුණු අතර සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්, ඔටෝ ග්‍රොස්, හර්බර්ට් මාර්කස්, විල්හෙල්ම් රයික් සහ මැක්ස් ස්ට්‍රිනර්ගේ අනුගාමික සහ චරිතාපදාන රචක ජෝන් හෙන්රි මැකේ වැනි ලිංගික නිදහස්කාමී ව්‍යාපාරයට ආභාෂය ලබා දුන් බොහෝ චින්තකයෝ ද ජර්මන්-භාෂීය ලෝකයෙන් බිහි වූවෝ වූහ.

සෝවියට් සමූහාණ්ඩුව[සංස්කරණය]

රුසියාවේ ඔක්තෝම්බර් විප්ලවයෙන් පසු ඇලෙක්සැන්ඩ්‍රා කොලොන්තායි සෝවියට් පරිපාලනයේ වඩාත් ම කැපී පෙනුණ කාන්තාව බවට පත් වූවා ය. කොලොන්තායි ද නිදහස් ආලය ව්‍යාපාරයේ පෙරමුණේ සිටි නායිකාවක වූවා ය. කෙසේනමුත් ලෙනින් එය මුලුමනින් ම මාක්ස්-විරෝධී බවත් එමෙන් ම සමාජ-විරෝධී ද වන බවටත් පවසමින් නිදහස් ආලය ව්‍යාපාරයට එරෙහි වූ බව ක්ලාරා සෙට්කින් වාර්තා කර තිබේ. [38] හැම්බර්ග්හි ලිංගික සේවා සපයන්නියන් විශේෂ විප්ලවවාදී බලඇණියක් ලෙස සංවිධානගත කිරීමේ සැලසුම් දූෂිත සහ පිරිහුණු ක්‍රියාවක් ලෙස සලකමින් ලෙනින් එයට විරුද්ධ වූ ආකාරය ඇය ගෙනහැර දක්වයි.

ලෙනින් සහ සෙසු බොල්ෂෙවික් පාක්ෂිකයන් සම්ප්‍රදායික විවාහ ජීවිත ගත කළ අය වුවත් ලිංගික සබදතා රාජ්‍ය බලපෑම්වලට ලක් නොවිය යුතු බව ඔවුහු විශ්වාස කළහ. පෞද්ගලික ජීවිතයට සීමා පනවමින් සමලිංගිකත්වය තහනම් කළ සහ කාන්තාවන්ට දික්කසාද ලබාගැනීම සහ තනි ව ජීවත් වීම දුෂ්කර කළා වූ සියවස් ගණන් පැරණි සාර් රෙගුලාසි සෝවියට් සමූහාණ්ඩුව විසින් අහෝසි කෙරුණි.

කෙසේනමුත් 1920 දී ස්ටාලින් කොමියුනිස්ට් පක්ෂයේ බලය ලබාගැනීමත් සමග යළි ගතානුගතික සමාජ ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම ඇරඹුණි. සමලිංගිකත්වය මානසික රෝගයක් ලෙස නම් කෙරුණු අතර නිදහස් ආලය ව්‍යාපාරය ද විනාශකාරී ලෙස චිත්‍රණය කෙරුණි.

ආශ්‍රිත නාමාවලිය[සංස්කරණය]

සටහන්

  1. McElroy, Wendy. "The Free Love Movement and Radical Individualism." Libertarian Enterprise .19 (1996): 1.
  2. Dan Jakopovich, Chains of Marriage, Peace News සංරක්ෂණය කළ පිටපත 14 මැයි 2011 at the Wayback Machine
  3. Spurlock, John C. Free Love Marriage and Middle-Class Radicalism in America. New York, NY: New York UP, 1988.
  4. 4.0 4.1 4.2 Passet, Joanne E. Sex Radicals and the Quest for Women's Equality. Chicago,IL: U of Illinois P, 2003.
  5. 5.0 5.1 Kreis, Steven. "Mary Wollstonecraft, 1759–1797". The History Guide. 23 November 2009 <http://www.historyguide.org/intellect/wollstonecraft.html>.
  6. Gove Nichols, Mary S. (1855). Mary Lyndon, or Revelations of a Life. An Autobiography. New York: Stringer & Townsend. p. 166. සම්ප්‍රවේශය 14 January 2009. Full text at Internet Archive (archive.org).
  7. Nichols, Mary Gove, 1855. Mary Lyndon: Revelations of a Life. New York: Stringer and Townsend; p. 166. Quoted in Feminism and Free Love
  8. Silver-Isenstadt, Jean L (2002). Shameless: The Visionary Life of Mary Gove Nichols. Baltimore, Maryland: The Johns Hopkins University Press. ISBN 0-8018-6848-3. සම්ප්‍රවේශය 14 December 2009.
  9. 9.0 9.1 Spurlock, John. "A Masculine View of Women's Freedom: Free Love in the Nineteenth Century." International Social Science Review 69.3/4 (1994): 34–45. Print.
  10. Passet, Joanne E. Sex Radicals and the Quest for Women's Equality. Chicago,IL: U of Illinois P, 2003.
  11. Frey, Jennifer Gender Equity: A Woman Needs a Man like a Fish Needs a Bicycle. Signs of the Times, 7 09. 2000. Web. 21 Nov 2009 <http://george.loper.org/trends/2000/Sep/91.html[permanent dead link]>.
  12. See Essenes#Contemporary ancient sources
  13. Although they appear to have been involved in a revolt against the Roman occupiers
  14. Crone, Patricia, Kavad's Heresy and Mazdak's Revolt, in: Iran 29 (1991), S. 21–40
  15. Irwin, Robert, Political Thought in The Thousand and One Nights, in: Marvels & Tales – Volume 18, Number 2, 2004, pp. 246–257. Wayne State University Press
  16. Kautsky, Karl (1895), Die Vorläufer des neuen Sozialismus, vol. I: Kommunistische Bewegungen in Mittelalter, Stuttgart: J.W. Dietz.
  17. Poetry Foundation's bio of William Blake
  18. Hamblen, Emily (1995). On the Minor Prophecies of William Blake. Kessinger Publishing. p. 10.Berger, Pierre (1915). William Blake: Poet and Mystic. E. P. Dutton & Company. p. 45.
  19. S. Foster Damon William Blake: His Philosophy and Symbols (1924), p. 105.
  20. Wright, p. 57.
  21. Theresa Notare (2008). "A Revolution in Christian Morals": Lambeth 1930-Resolution #15. History & Reception. ProQuest. pp. 78–79. ISBN 9780549956099.
  22. The Free Love Movement and Radical Individualism By Wendy McElroy, http://www.ncc-1776.org/tle1996/le961210.html, ප්‍රතිෂ්ඨාපනය 2021-11-09 
  23. William Blake before him had made the same connection: "In Eternity they neither marry nor are given in marriage." (Jerusalem: The Emanation of the Giant Albion, 30.15; E176)
  24. "And the Truth Shall Make You Free" සංරක්ෂණය කළ පිටපත 2006-01-06 at the Wayback Machine (November 20, 1871)
  25. Gove, Mary S. (1842). Lectures to Ladies on Anatomy and Physiology. Boston: Saxton & Peirce. සම්ප්‍රවේශය 13 January 2009. Full text at Internet Archive (archive.org).
  26. Gove Nichols, Mary S. (1846). "Lectures to Women on Anatomy and Physiology". with an Appendix on Water Cure. New York: Harper & Brothers. සම්ප්‍රවේශය 13 January 2009. Full text at Internet Archive (archive.org).
  27. Gove Nichols, Mary S. (1855). "Experience in the Water Cure: A familiar exposition of the Principles and Results of Water Treatment, in the Cure of Acute and Chronic Diseases". in Fowlers and Wells' Water-Cure Library: Embracing all the most popular works on the subject. Vol. Vol. 2 of 7. New York: Fowlers and Wells. සම්ප්‍රවේශය 29 October 2009. {{cite book}}: |volume= has extra text (help) Full text at Internet Archive (archive.org).
  28. Kirkley, Evelyn A. 2000. Rational Mothers and Infidel Gentlemen: Gender and American Atheism, 1865–1915. (Women and Gender in North American Religions.) Syracuse, N.Y.: Syracuse University Press. 2000. Pp. xviii, 198
  29. Good, James A. "The Development of Thomas Davidson's Religious and Social Thought".
  30. George Hendrick, Henry Salt: Humanitarian Reformer and Man of Letters, University of Illinois Press, pg. 47 (1977).
  31. Jeffrey Weeks, Making Sexual History ,Wiley-Blackwell, pg. 20, (2000).
  32. Colin Spencer, The Heretic's Feast:A History of Vegetarianism, Fourth Estate, pg. 283 (1996).
  33. "Sex Seer" සංරක්ෂණය කළ පිටපත 2013-07-21 at the Wayback Machine, in Time, November 4, 1929
  34. Haeberle, Erwin J. (1983). "Pioneers of Sex Education". The Continuum Publishing Company. 13 March 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-02-17. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  35. Leberstein, Stephen (November–December 2001). "Appointment Denied: The Inquisition of Bertrand Russell". Academe. සම්ප්‍රවේශය 2008-02-17.
  36. 36.0 36.1 Stanley Hauerwas (2011). After Christendom?: How the Church Is to Behave If Freedom, Justice, and a Christian Nation Are Bad Ideas. Abingdon Press. ISBN 9781426722011.
  37. 37.0 37.1 37.2 37.3 37.4 37.5 37.6 "Emile Armand and la camaraderie amourouse – Revolutionary sexualism and the struggle against jealousy." by Francis Rousin Retrieved 10 June 2010
  38. Zetkin, Clara, 1934, Lenin on the Woman Question, New York: International , p.7. Published in Reminiscences of Lenin.
    A more extensive quote from Lenin follows: "It seems to me that this superabundance of sex theories [...] springs from the desire to justify one's own abnormal or excessive sex life before bourgeois morality and to plead for tolerance towards oneself. This veiled respect for bourgeois morality is as repugnant to me as rooting about in all that bears on sex. No matter how rebellious and revolutionary it may be made to appear, it is in the final analysis thoroughly bourgeois. It is, mainly, a hobby of the intellectuals and of the sections nearest to them. There is no place for it in the party, in the class-conscious, fighting proletariat.”
"https://si.wikipedia.org/w/index.php?title=නිදහස්_ආලය&oldid=619220" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි