ජර්මනිය

විකිපීඩියා වෙතින්
ජර්මානු ෆෙඩරල් සමූහාණ්ඩුව

Bundesrepublik Deutschland
ජර්මනිය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
ජාතික ගීය: 

The third stanza of [Das Lied der Deutschen] Error: {{Lang}}: text has italic markup (help)  
The Song of the Germans
Location of  ජර්මනිය  (dark green) – in Europe  (green & dark grey) – in the යුරෝපියානු සංගමය  (green)  –  [Legend]
Location of  ජර්මනිය  (dark green)

– in Europe  (green & dark grey)
– in the යුරෝපියානු සංගමය  (green)  –  [Legend]

අගනුවරබර්ලින්
විශාලතම නගරයඅගනගරය
නිල භාෂා(ව)ජර්මානු[1]
ජාති නාම(ය)ජර්මානු
රජයෆෙඩරල් පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සමූහාණ්ඩුව
Frank-Walter Steinmeier
Olaf Scholz
Formation
2 February 962
18 January 1871
23 May 1949
3 October 1990
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
357,021 km2 (137,847 sq mi) (63rd)
• ජලය (%)
2.416
ජනගහණය
• 2010 ඇස්තමේන්තුව
81,799,600[1] (15th)
• ඝණත්වය
229/km2 (593.1/sq mi) (55th)
දදේනි (ක්‍රශසා)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$3.089 trillion[2] (5th)
• ඒක පුද්ගල
$37,935[2] (18th)
දදේනි (නාමික)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$3.628 trillion[2] (4th)
• ඒක පුද්ගල
$44,555[2] (19th)
ගිනි (2006)27
පහළ
මාසද (2011)Increase 0.905[3]
දෝෂය: අනීතික HDI අගය · 9th
ව්‍යවහාර මුදලEuro ()[2](2002 – present) (EUR)
වේලා කලාපයUTC+1 (CET)
• ගිම්හාන (DST)
UTC+2 (CEST)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය49
ISO 3166 codeDE
අන්තර්ජාල TLD.de [3]
  1. ^ Danish, Low German, Sorbian, Romany and Frisian are officially recognised by the ECRML.
  2. ^ Before 2002: Deutsche Mark (DEM).
  3. ^ Also .eu, shared with යුරෝපියානු සංගමය member states.

ජර්මනියේ නිල නාමය වනුයේ ජර්මන් ෆෙඩරල් සමුහාණ්ඩුව යන්නයි. මෙය මධ්‍යම යුරෝපයේ පිහිටා ඇති රටකි. උතුරින් උතුරු මුහුද, ඩෙන්මාර්කය හා බෝල්ටික් මුහුද, නැගෙනහිරින් ‍පෝලන්තය සහ චෙක් සමූහාණ්ඩුවද, දකුණින් ඕස්ට්‍රියාව සහ ස්විට්සර්ලන්තයද, බස්නාහිරින් ප්‍රංශය, ලක්සමිබර්ග්, බෙල්ජියම සහ නෙදර්ලන්තය යන දේශ සීමාවන්ගෙන්ද ජර්මනිය වට වී තිබේ. ජර්මනිය සන්තක ප්‍රදේශ වර්ග කිලෝමීටර් 35,7021 ක් (වර්ග සැතපුම් 137,847 ක් ) පුරා පැතිර පවතී. මෙරට සමශිකෝෂ්ණ සෘතුමය දේශගුණයෙන් බලපෑමක් ලබයි. 2010 ජනවාරි මස දී ජනගහනය මිලියන 81.8 ක් වාර්තා වී ඇත. යුරෝපා සංගමයේ සාමාජික රටවල් අතරින් වැඩිම ජනගහනයක් සහිත සාමාජික රට වන්නේ ජර්මනියයි. ලොව නන්දෙසින් එන අන්තර් ජාතික සංක්‍රමණිකයන් වැඩිම සංඛ්‍යාවකට නිවහන සපයන රටවල් අතුරින් තෙවනි තැන ලැබෙන්නේ ජර්මනියටයි.

ක්‍රි.ව. 100 පෙරාතුව ජර්මේනියාව නම් වූ ප්‍රදේශයෙහි ජර්මානු ගති ලක්ෂණ ඇති ‍බොහෝ ජනයා වාසය කර ඇති බැව් දැනගන්නට ලැබී ඇතිවා පමණක් නොව, ලේඛනවලින් ඒ බව ඔප්පු කර ද තිබේ. 10 වන ශත වර්ෂය ආරම්භයේ දී, ජර්මන් සන්තක ප්‍ර‍දේශ සියල්ලෙන් ශුද්ධ රෝමන් අධිරාජ්‍යයේ මධ්‍ය‍ කොට්ඨාශය සැකසිණි. මෙය වර්ෂ 1806 දක්වා වූ දිගු කාලයක් පුරා පැවති‍යේ ය. 16 වන ශතවර්ෂය තුළදී උතුරු ජර්මනිය 'ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණවාදී’ නිකායේ මධ්‍යස්ථානය බවට පත් විය. 1871 පැවති ප්‍රංශ - ප්‍රසියන් යුද්ධය මධ්‍යයේ ජර්මනිය නූතන ජාතික රාජ්‍යයක් වශයෙන් එක්සත් කරන ලදි. 1949 දී දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව, ජර්මනිය වෙනම රාජ්‍ය දෙකක් ලෙස, එනම් නැගෙනහිර ජර්මනිය හා බටහිර ජර්මනිය යනුවෙන් බෙදා වෙන් කරන ලදි. බර්ලින් සහ සාර් යනුවෙන් තවදුරටත් මිත්‍ර පාක්ෂික රටවල් රුදී සිටි ආකාරය මත දේශපාලනමය විශේෂ තත්ත්වයන් සහිත කොටස් දෙකකට බෙදන ලදි.

වර්ෂ 1990 දී ජර්මනි‍ය නැවත ඒකාබද්ධ කරන ලදි. 1957 දී පිහිටුවන ලද 'යුරෝපීය ප්‍රජාව' නමින් වූ සංවිධානයේ ජර්මනිය ද ආරම්භක සාමාජිකයෙක් වුයේය. මෙම සංවිධානය 1993 දී 'යුරෝපා සංගමය ' බවට පත්විය. ජර්මනිය 'ෂෙනගන්' කලාපයේ කොටස්කරුවකු වන අතර, 1999 දී යුරෝ (euro) නමින් හඳුන්වන යුරෝපා මුදල් භාවිතය පිළිගත්තේය.

ජර්මනිය ජනපද දහසකින් සෑදුනු ෆෙඩරල් පාර්ලිමේන්තු සමූහාණ්ඩුවකි. මෙහි අගනුවර ද, විශාලතම නගරයද බර්ලින් පුරවරය වන්නේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, නේටෝ 8 කණ්ඩායම (G8), කණ්ඩායම (G20), ආර්ථික සහයෝගීතාව හා සංවර්ධනය පිළිබඳ සංවිධානය (O E C D) සහ ලෝක වෙළඳ සංවිධානය යන(W TO) ජාත්‍යන්තර සංවිධානයන් හි ජර්මනිය ද සාමාජිකත්වය උසුලයි. ජර්මනියේ දළ දේශිය නිෂ්පාදිතයේ නාමික අගය සලකා බැලූ විට එරට සතුව ඇත්තේ ලොව සිව්වන ස්ථානය ‍ගන්නා ප්‍රබල ආර්ථිකයක් බැව් පෙනි යයි. ඒ හැර එරට සතු 'මිලදී ගැනීමේ හැකියාවේ අනුපාතය' ( Parchasing Power Parity) අනුව බැලූ විට එය පස්වන ස්ථානයේ පසුවේ. ජර්මනිය දෙවන විශාලතම භාණ්ඩ අපනයනකරුවා ද, තුන්වන විශාලතම ආනයනකරුවා ද වන්නේය. සංවර්ධන ආධාර සඳහා මුදල් පිරිනමන ලෝකයේ රටවල් අතුරින් ස්වකීය වාර්ෂික අයවැයෙන් ඒ සඳහා වෙන්කරන අරමුදල ලෝකයේ දෙවන විශාලතම අරමුදල් ප්‍රමාණය වේ.එමෙන්ම ජර්මනියේ යුධ හමුදාව සඳහා කෙරෙන වියදම අනෙක් රටවල් අතර හයවන ස්ථානය ගනී.

ජර්මනිය උසස් ජීවන මට්ටමක් වර්ධනය කරගෙන තිබේ. තවද පරිපූර්ණ සමාජ ආරක්ෂණ ක්‍රියාවලියක් ස්ථාපිත කර ඇත. යුරෝපිය කටයුතු පිළිබඳව ප්‍රධාන තැනක් හිමිව සිටින ජර්මනිය, ගෝලීය මට්ටමින් සමීප සබඳතා රාශියක් පවත්වාගෙන යයි. ජර්මනිය පිළිගනු ලබන්නේ විවිධ කේෂේත්‍රයන්හිලා විද්‍යාත්මක හා තාක්ෂණික නායකයා ලෙසය.

ජර්මනිය නිර්මාණය කිරීම

නැපෝලියන්ට පෙර යුරෝපය

මධ්‍යම යුරෝපයේ විසූ ජර්මන් බස වහරන ජනකොටස් වල නායකත්වය අරබයා ඔස්ට්‍රියාවේ හැබ්ස්බර්ග් හා ප්‍රසියාවේ හෝහන්සෝර්ලන් රජ පෙළපත් අතර වූ හබයේ අග මුල ලංකාවේ කන්ද උඩරට ශ්‍රී විජය රාජසිංහ රජ දවස දක්වා දිව යයි. වත්මන් ජර්මන් ශිෂ්ඨාචාරයේ න්‍යෂ්ඨිය ලෙස සැලකිය හැකි ප්‍රසියාවේ රජු ලෙස 1740 දී කිරුළු පලන් දෙවන ෆෙඩ්රික් සිය මූලික කාර්යය ලෙස සැලකුවේ සම්ප්රදායික ජර්මන් වාස භූමි වෙනුවෙන් අසල්වාසී ඔස්ට්රිියාව හා සටන්වැදීමය. මේ නිසා හටගත් ආදී සයිලේසියානු යුද්ධ වලින් බරපතල පරාජයක් ලද ඔස්ට්රියාවේ හැබ්ස්බර්ග් වරු උදවු පතා රුසියාවේ එළිසෙබෙත් අධිරාජිණියට හසුන් යැව්වෝය. ප්‍රසියාවේ දෙවන ෆෙඩ්රික් ගේ යුද කාමී පිළිවෙත එළිසෙබෙත් සාර් තුමියද රිසි නැත. ඈ විපතට පත් ඔස්ට්‍රියාවට උදවු පිණිස විශාල හමුදාවක් මධ්‍යම යුරෝපයට යැව්වාය. ඕඩර් නදිය තරණය කල රුසියානුවෝ ප්‍රසියාවේ අගනුවර වූ බර්ලිනය කරා ගමන් ගත්හ. දෙවන ෆෙඩ්‍රික් පරාජය අභිමුව සිටියේය. කිසිදු බලාපොරොත්තුවක් ඔහුට ඉතිරිව නොතිබිණ. එක් ලක්ෂ විසිදහසක් වූ නගර වැසියෝ සංත්‍රාසයෙන් ඇලැලී ගියෝය. කොසෑකයෝ පැමිණෙති! 1762 ජනවාරියේ සිය අගමැතියා වූ ඩි’අර්ගන්සන් සිටු තැන කැඳවූ මහා රණ ශූරයා මෙසේ කීවේලු. “පෙබරවාරි 15 වෙන කම් බලමු. තත්වයේ වෙනසක් ඇති නොවුනොත් මම වස බොන්නම්. නුඹලා කැමති නම් යටත් වෙලා සාකච්ඡා කරපල්ලා…” දෛවය විටෙක ඇදහිය නොහෙන පෙළහර පාන්නේ සිය සැලසුම මිනිස් මැදිහත් වීම් තුලින් වියවුල් නොවනු පිණිස මෙනි. වසපානය කිරීමට සූදානම් වෙමින් සිටි දෙවන ෆෙඩ්රි ක්ට පෙබරවාරි මස 12 දා අසන්නට ලැබුනේ තම පරම සැතිරිය වූ රුසියාවේ එළිසෙබෙත් සාර් තුමිය මියගොස් ඇති බවය. ඇගේ බෑනා මෙන්ම රොමොනොව් පෙළපතේ ඊලඟ උරුමක්කාරයා වූ තුන්වන පීටර් ජර්මන් සම්භවයක් ඇත්තෙකි. නව සාර් තුල ප්‍රසියාවේ ෆෙඩ්රික් කෙරේ විශාල ගෞරවයක් තිබිණ. බර්ලිනයේ ගේට්ටු අසලට ලඟාවී සිටි රුසියානු හමුදාවට නවතින ලෙස අණ කල ඔහු ෆෙඩ්රිික්ට සහාය පල කොට සිටියේය. මෙය ‘බ්රැේන්ඩන්බර්ග් හි හාස්කම’ ලෙස ඉතිහාසයේ ලියැවී ඇත. දෙපාර්ශ්වය සමඟි වීමේ ගිවිසුම මැයි 5 දා රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී අත්සන් තබන ලදී. එහි ප්‍රතිඵලය වූයේ දෙවන ෆෙඩ්රික් ලෙස මිය යාමට නියමිතව සිටි රණ දෙටුවා ‘මහා ෆෙඩ්රික් රජු’ ලෙස පූජනීයත්වයට පත් වීමය. යුද බිමේ තනිවූ ඔස්ට්රිීයාව උකටලීව පසු බැස ගිය අතර කුඩා ප්ර‍සියාව සිය සම්ප්‍රදායික වාස භූමි ඈඳා ගනිමින් පස්වන යුරෝපීය බලවතකු බවට පත් වූවාය. එසේ වුවදු තමා මුහුණ පෑ ඒ බිහිසුණු අත්දැකීම බර්ලින් නුවරුන්ගේ මතකයේ නොමැකී රැඳිණ. “ඔන්න, කොසෑක් වරු එනවා!” අනාගත ජර්මන් මවුවරු තම අකීකරු දරුවන් බියගැන්වීම සඳහා නිතර යොදාගත් ඒ මුර පදයේ සම්භවය වූයේ මේ අතීත වෘත්තාන්තයයි. බොහෝ අතීත සිංහල රජුන් මෙන්ම කන්ද උඩරට කීර්ති ශ්‍රී රාජසිංහ ද සතුරාගේ සතුරා මිතුරාය යන පිළිවතෙහි පිහිටා කටයුතු කල අයෙකි. යුරෝපයේ දේශපාලනය පිළිබඳ යම් අවබොධයකින් පසුවූ බව පෙනෙන නායක්කර් වාංශික නරපතියා බැහැ දැකීමට ඉංග්රීබසි නියෝජිත ජෝන් පයිබස් සෙංකඩගල රාජධානියට සැපත් වන විට ශාන්ත පීටර්ස්බර්ග් ගිවිසුම අත්සන් කොට තෙසතියක් ගතවූවා පමණි. දෛවය විසින් අකලට වස පානය කිරීමෙන් වලක්වන ලද ප්‍රසියාවේ මහා ෆෙඩ්රික් රජ්ජුරුවෝ දේශය ධනයෙන් ධාන්‍යයෙන් යෙන් සරු සාරකොට 1786 දී සිය ඇඳි පුටුව මතම සාමාකාමීව අවසන් හුස්ම හෙලූහ. අනතුරුව කිරුළු පැලඳි ඔහුගේ බෑනා වූ දෙවන ෆෙඩ්රික් විලියම් විනෝදයට කැමති සැහැල්ලු සිතැති පුද්ගලයෙකි. හේ කලා ශිල්පයේ දියුණුව උදෙසා මහත් සේ කැපවී කටයුතු කලද යුරෝපය තුල ප්‍රසියාව දැරූ කිත් යසස එතැන් පටන් කෙමෙන් පිරිහී යන්නට විය. වැඩවසම් ක්‍රමයේ අවසන් යදම් බිඳ දමමින් 1789 වසරේ ප්‍රංශයේ හටගත් විප්ලවය යුරෝපයේ සියළු රාජාණ්ඩු වෙත කෙරුන අනතුරු ඇඟවීමක් වැන්න. හෝහන්සෝර්ලන්, හැබ්ස්බර්ග්, රොමොනොව් හා වේල්ස් රජ පෙළපත් භූ දේශපාලන මතභේද මොහොතකට අමතක කොට දමමින් දහසය වන ලුයිස් රජුට සහාය පල කලේ එය රාජකීයයන්ගේ පැවැත්ම පිළිබඳ ගැටළුවක් වූ නිසාය. එහෙත් ප්‍රංශ විප්ලවවාදීහූ ජනරජයක් පිහිටුවාගෙන රාජාණ්ඩුව යලි පිහිටුවීමට තැත් කල විදෙස් බලවතුන්ට එරෙහිව යුද වැදුනෝය. ඔවුනට නායකත්වය දුන්නේ නැපෝලියන් බොනපාර්ට් නැමති විසි හතර වියැති ජනරාල් වරයෙකි. ප්‍රංශ විප්ලවවාදී හමුදා 1795 දී ඕලන්දයට පහර දුන් අතර ඇම්ස්ටර්ඩෑම් හි පස්වන විලියම් රජු සරණාගතයකු සේ බ්‍රිතාන්‍යයට පලා ගියේය. කලදුටු කල වල ඉහගත් ඉංග්‍රීසීහූ ඊලඟ වසරේ ලංකාව ඇතුළු පෙරදිග ලන්දේසි යටත් විජිත තමාට නතු කොටගත්හ.

Chamara Siriwardene

2. නැපෝලියන්ට පසු යුරෝපය (1796-1862)

කුමන්ත්‍රණයකින් පැරිසියේ බලය අල්ලා ගත් ජනරාල් නැපෝලියන් බොනපාර්ට් 1804 දී ප්‍රංශ අධිරාජයා ලෙස තෙමේම කිරුළු පැලැන්දේය. ඔහුගේ අරමුණ වූයේ පුරාණ රෝමන් යුගයට සමාන පාලනයක් ස්ථාපිත කිරීමයි. රාජාණ්ඩුවාදී සෙසු යුරෝපීය බලවත්තු ඔහුට එරෙහිව අවි අමෝරා ගත්හ. එහෙත් වාසනාව නැපෝලියන් හැර නොගියේය. ඩැනියුබ් ගඟ අසබඩ උල්ම් නගරයේදී ඔස්ට්‍රියන් හමුදා පරාජය කල ඔහු 1806 දී සැක්සනි පලාතේ ජෙනාහි දී ප්‍රසියානු හමුදාවකට පහරදී විනාශ කොට දැමීය. හෝහෙන්සෝර්ලන් රජ පවුල බර්ලිනය හැරදමා පලා ගියහ. දෛවෝපගත එක් සිදුවීමක් නොවන්නට යුරෝපයේ අපරාජිත බලයක් ලෙස ප්‍රංශ අධිරාජ්‍යය තවදුරටත් වැජඹීමට ඉඩ තිබිණ. එහෙත් ජයෙන් උදම්ව සිටි නැපෝලියන් 1812 දී රුසියාවට පහරදීමට තීරණය කලේය. මොස්කොව් හිදී දරුණු සිසිරයට හසුවූ ඔහුගේ හාර ලක්ෂයක හමුදාවෙන් ඉතිරිවූයේ දහයෙන් පංගුවක් පමණි. එය ඔහුගේ අභාග්‍යමත් ඇදවැටීම පිළිබඳ කෙරුන සංඥාවක් වැන්න. 1815 දී කන්ද උඩරට රාජධානිය අත්පත් කොටගත් ඉංග්‍රීසීහූ යුරෝපයේදී ප්‍රසියාව, ඔස්ට්‍රියාව හා රුසියාව සමඟ එක්ව ප්රංශය ආක්‍රමණය කොට රාජාණ්ඩුව යලි බලයේ පිහිටවූහ. වෝටර්ලූ සටනින් පැරදී සිරභාරයට ගනු ලැබූ නැපෝලියන් බොනපාර්ට් බටහිර අප්‍රිකානු වෙරලට සැතපුම් දහසක් ඔබ්බෙන් පිහිටි ශාන්ත හෙලේනා දූපතේ පිටිවහලෙකු ලෙස මිය ගියේය. කෙසේ වුවද යුරෝපයට ලිබරල්වාදය මෙන්ම නව නෛතික රටාවක් හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ නැපෝලියන්ටයි. ඔහු විසින් ස්ථාපිත කරන ලද සිවිල් නීති සංග්‍රහයේ (Napoleonic Code) ආභාසය ලොව පුරා රටවල් හැත්තෑවක පමණ අධිකරණ පද්ධති තුල තවමත් දැකිය හැක. 1815 වසරේදී පස් මහ බලවතුන්ගේ සහභාගීත්වයෙන් ඔස්ට්‍රියාවේ වියානා නුවර පැවති සමුළුවේ අරමුණ වූයේ යුරෝපයේ ප්‍රංශ විප්ලවයට පෙර පැවති බලතුලනය යලි ස්ථාපිත කිරීමය. කලබගෑනියට වගකිවයුතුවූ ප්‍රංශය පැරණි මායිම් වලට කොටු කෙරුන අතර පෙරදිග යටත්විජිත සඳහා බ්‍රිතාන්‍යය කී අයිතිවාසිකම් සමුළුවේදී නිල වශයෙන් පිළි ගැණින. ප්‍රසියාවට සැක්සනියද රුසියාවට පෝලන්ත රාජධානියද හිමි විය. කුඩා ජර්මන් පලාත් රාජ්‍යයන්ගේ සංගමයේ නායකත්වය තවදුරටත් රැක ගැනීමට ඔස්ට්රිියාව සමත් වූවාය. නැපෝලියන් බොනපාර්ට් පරාජය කරනු ලැබුවද යුරෝපය කෙරේ ප්‍රංශ විප්ලවයේ බලපෑම ඉන් අවසන් වූයේ නැත. ස්පාඥ්ඥයේ රාජාණ්ඩුවට එරෙහිවත්, ග්‍රීසියේ හා රොමේනියාවේ තුර්කි ඔටෝමන් පාලනය එරෙහිවත්, පෝලන්තයේ සාර්ට එරෙහිවත් ඇතිවූ මහජන නැඟිටීම් මැඩපවත්වන ලැබුවද 1848 යුරෝපය පුරා පැතිර ගිය තවත් මහා විප්ලව රැල්ලකි. ප්‍රංශයේ රාජණ්ඩුව යලි පෙරලා දැමුන අතර නැපෝලියන් බොනපාර්ට්ගේ බෑනා තුන්වන නැපෝලියන් ලෙස අධිරාජ්‍යයක් ප්‍රකාශයට පත් කලේය. වර්ග සැතපුම් දෙලක්ෂ හතලිස් දාහක් වූ ඔස්ට්‍රියන් අධිරාජ්‍යය තුල වාසය කල දුසිමක් පමණවූ සුළු ජාතීහූ මින් නොසන්සුන් වූවෝ, නිදහස පතා තුමුද කැරලි ගැසීමට වන්හ. හංගේරියානු ඈපා වසමේ හටගත් මැග්යාර් වරුන්ගේ නිදහස් සටන මැඩලීමට රුසියාවේ සාර්ගේ සහාය පැතීමට පවා හැබ්ස්බර්ග් වරුනට සිදුවිය. අපරාදේ නොකියන්නට ගොන්ගාලේගොඩ බණ්ඬා හා පුරන් අප්පු ඇතුළු සිංහලයෝද මෙහිදී කිසිසේත් යුරෝපීයයන්ට දෙවැනි නුවූහ. ඒ වසරේ ලංකාවේ උඩරට නැගිටීම විජිත පාලකයන් විසින් මැඩලන ලද්දේ යුද නීතිය පණවමිනි. මේ අතර ප්‍රසියාව ක්‍රමයෙන් සිය යුද වැදීමේ හැකියාව වර්ධනය කොටගනිමින් සිටියාය. යුරෝපයේ සෙසු බලවතුන් හා සසඳන පූර්ණ කාලීන සෙනෙවි මණ්ඩලයක් (General Staff) යටතේ සංවිධානාත්මකව පාලනය වූ හමුදාවක් තිබුනේ ඈ සතුව පමණි. ඔවුහු උදා විය හැකි මෙන්ම නොහැකි යැයි සැලකුන තත්වයන් සඳහාද නිති සූදානමින් පසු වූහ. යුරෝපයේ ඕනෑම බලවතෙකු හා යුද වැදීමේ මූලික සැලැස්මක් ප්‍රසියානු සෙනෙවි මණ්ඩලය සතුව තිබිණ. 1857 දී එහි ප්‍රධානියා ලෙස පත්වූ හෙල්මුත් වොන් මෝල්ට්කේ සෙනෙවියා බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙකි. රටේ පුළුල් දුම්රිය මාර්ග පද්ධතිය හා ටෙලිග්රැසපික් සන්නිවේදනය හමුදාමය කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට ඔහු සැලසුම් කලේය. ඊලඟ දශකය තුල ප්‍රසියාව යුරෝපයේ බලවතුන් අතර ලා සැලකීමට හේතුවූයේ මෝල්ට්කේගේ සෙනෙවි මණ්ඩලය සිය ප්‍රතිවාදීන් අභිභවා දැක්වූ විශිෂ්ඨ සංවිධාන හැකියාවය.

Chamara Siriwardene

3. බිස්මාර්ක් ගේ එක්සත්කරණය (1862-1871)

1862 දී ඔටෝ වොන් බිස්මාර්ක් කුමාරයා ප්‍රසියාවේ චාන්ස්ලර් ලෙස පත් වූයේය. නැගෙනහිර ප්‍රසියානු ‘ජුන්කර් ’ වරයකු වූ ඔහු ජාතිවාදියෙකු මෙන්ම අති දක්ෂ රාජ්‍යතාන්ත්‍රිකයෙකි. මහාද්වීපය තුල ප්‍රසියාව හා ඔස්ට්‍රියාව අතර වූ ඓතිහාසික වැයික්කි ගැටළුව යලි උත්සන්න විය. 1864 ඩෙන්මාර්කය පරාජය කොට හොල්ස්ටයින් නැමති උතුරු දිග පලාත් අත්පත් කොටගත් බිස්මාර්ක් අනතුරුව භූමි කොල්ලයේ තනි අයිතිය වෙනුවෙන් 1866 දි ඔස්ට්රිඅයාව සමඟද පුරා සත් සතියක් සටන් වැදුනේය.සොස්ට්‍රියාව ඩිවිෂන 12ක් රැස් කිරීමට සති හතක් ගත කරන විට තෙසතියක් ඇතුලත ඩිවිෂන 16ක් පෙරමුණට යැවීමට හෙල්මුත් වොන් මෝල්ට්කේගේ සෙනෙවි මණ්ඩලයට හැකිවිය. මේ සටනින් පහසු ජයක් ලද ප්‍රසියාව1867 දී ජර්මන් පලාත් 22ක් හා එක්ව තමාගේ නායකත්වයෙන් උතුරු ජර්මන් ඒකාබද්ධ සංගමය ස්ථාපිත කලාය. පරාජයෙන් හා අවමානයෙන් දුර්මුඛ වූ ඔස්ට්‍රියාව මධ්‍යම යුරෝපයේ ජර්මන් නායකත්වය වෙනුවෙන් තරඟ වැදීමේ අදහස සදහටම හැර දැමුවාය. හැබ්ස්බර්ග් පාලනය යටතේ විසූ සුළු ජාතික ජන කොටස් අතර නොසන්සුන්තාව වර්ධනය වෙමින් තිබිණ. යුරෝපීය බලවතකු ලෙස පැවතීමට නම් 1848 දී මැඩලන ලද හංගේරියානු ඈපා වසමේ මැග්යාර් වරු සමඟ යලි සහජීවනයක් ඇතිකොට ගතයුතු බව ඈට වැටහිණ. මේ තත්වය මත හංගේරියානු රාජධානියට පරිපාලන හා ආර්ථික නිදහස පිරිනැමීමට හැබ්ස්බර්ග් වරු කැමැති වූහ. එහෙත් දෙරට තවදුරටත් පොදු විදෙස් පිළිවෙතක් හා ඒකාබද්ධ හමුදා අණදෙන අධිකාරියක් පවත්වාගෙන යනු ඇත. මෙතැන් පටන් ඈ ඔස්ට්රි යා-හංගේරිය නම් වූවාය. දේශපාලන ශාස්ත්ර යේදී මෙය ද්විත්ව-රාජාණ්ඩුවක් ලෙස හඳුන්වනු ලැබේ. ගරා වැටෙමින් පැවති බහු ජාතික අධිරාජ්යසයේ භෞමික ඒකාග්රයතාවය තවත් කෙටි කලකට රැක ගැනීමට හැබ්ස්බර්ග් වරුනට හැකි විය. ඔස්ට්‍රියාව සමඟ සත් සතියේ යුද්ධයෙන් ප්‍රසියන් සෙනෙවි මණ්ඩලයද අනාගතයට බොහෝ වැදගත් පාඩම් රැසක් උගත්තේය. අසරු හමුදා හා රයිෆල් භටයන් පෙරමුණූ සටන් වල යෙදවීමට තීරණය කල ඔවුහු අණදෙන නිළධාරීන් හා පෙරමුණ අතර සන්නිවේදනය වැඩි දියුණු කිරීම කෙරේ විශේෂ අවධානයක් යොමු කලහ. “අප විසින්ම කලින් තෝරාගන්නා ලද ස්ථානයකට සතුරා ලවා පහර දීමට සැලැස්වීමට අපට හැකි විය යුතුය. අපගේ උපක්ටමය ආරක්ෂාව විය හැකි මුත් උපාය වන්නේ ප්‍රහාරයයි.” හෙල්මුත් වොන් මෝල්ට්කේ තම නිළධාරීන්ට කීය. මධ්‍යම යුරෝපයේ ජර්මන් ආධිපත්‍යය ඔස්ට්‍රියන් හැබ්ස්බර්ග් වරුන් අතින් ප්‍රසියන් හෝහන්සෝර්ලන් වරු අතට පත්වීමෙන් වඩාත්ම කලබලයට පත්වූයේ ප්‍රංශයයි. නිවාරණය යුද්ධයක් හරහා යුද කාමී ප්‍රසියාව කල් ඇතිවම මැඩලීමට බොනපාර්ට්ගේ බෑනා වූ තුන්වන නැපෝලියන් අධිරාජයා අදහස් කලේය. නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරොවෙන් කැපිය යුත්තේ මන්ද? එහෙත් ඒ සඳහා යුක්ති යුක්ත හේතුවක් ඔහුට නොතිබිණ. හෝහන්සෝර්ලන් රාජ වාංශිකයෙක් වූ ලියෝපෝල්ඩ් කුමරා ස්පාඥ්ඥයේ කිරුලට නම් කෙරුනේ ඔය අතරේය. ප්‍රංශය ඒ පිළිබඳ සිය දැඩි විරෝධය පලකොට සිටියාය. මහාද්වීපය තුල ඒ වනවිටත් පමණට වඩා බලවත් ව සිටි ප්‍රසියාව හා ස්පාඥඥය අතර හවුලක් ගොඩ නැඟෙනු ඇතැයි පැරිසිය බියෙන් පසුවේ. නිකරුණේ ආරවුලක් ඇති වීම වකල්වනු වස් අපේක්ෂකත්වයෙන් ඉවත් වන මෙන් සිය ඥාති වරයාට උපදෙස් දුන් ප්‍රසියාව ආණ්ඩු කල පළමුවන විල්හෙල්ම් කාරණාව එතැකින් සමාප්ත වූ ලෙස සැලකීය. රජු අනුගමනය ලිහිල් පිළිවෙත ගැන අමනාපයෙන් සිටි බිස්මාර්ක් පසුවූ‍යේ ඉල්ලා අස්වීමට සූදානමිනි. 1870 ජුලි 13 දා ප්‍රසියාවේ යුද ඇමති ඇල්බර්ච්ට් වොන් රූන් හා සෙනෙවි මණ්ඩල ප්‍රධානී මෝල්ට්කේ සමඟ රෑ කෑම ගනිමින් සිටි ඔහුට අසන්නට ලැබුනේ ලද විසඳුමෙන් සෑහීමකට පත් නොවී මතු කිසිදා හෝහන්සෝර්ලන් වරයෙක් ස්පාඥ්ඥ කිරුලට හිමිකම් නොකියන බවට අතිරේක සහතියක් ඉල්ලාගෙන ප්රංසශ තානාපතියා නැවත පැමිණියද රජු විසින් හරවා යවා ඇති බවයි. සුළු තුලින් එම පුවතේ අර්ථය මුළුමනින්ම වෙනස් කොට පැරිසිය තවදුරටත් ප්රයකෝප කොට හැකි බව ඔහුට පෙණින. ප්‍රංශයේ නුසුදුසු ඉල්ලීම් ප්‍රසියාවේ රජු විසින් කොටින් ප්‍රතික්ෂෙප කොට ඇතැයි හැඟෙන ලෙසය ඔහු නිවේදනය නිකුත් කලේ. පසුවදා යුරෝපය පුරා පුවත්පත් සිරස්තල වලට පාදක වූයේ හෝහෙන්සෝර්ලන් මැදුරේදී පැරිස් නියෝජිතයා අවමානයට පත්වීමයි. සිය ගෞරවය කෙලෙසනු ලැබී යැයි උරණ වූ ප්‍රංශය පස් දිනකින් ප්‍රසියාවට එරෙහිව යුද ප්‍රකාශ කලාය. මේ බව ඇසූ බැවේරියාව, බේඩ්න් හා හැසේ ඇතුළු උතුරු ජර්මන් ඒකාබද්ධ සංගමයට අයත් නුවූ දකුණු දිග පලාත්ද ප්රේසියාව යටතේ එක්සත් වූහ. බිස්මාර්ක් ඉතා සූක්ෂම ලෙස තමාට අවැසිව තිබූ වාතාවරණය සකසා ගත්තේ ආක්‍රමණීකයා ප්‍රංශය ‍යැයි ලොවට හැඟෙන ආකාරයටය. යුද්ධයට තමා සූදානම් යැයි තුන්වන නැපෝලියන්ට පම්පෝරි ගැසූ ප්‍රංශ ජනරාල් වරු ප්ර්සියන් සෙනෙවි මණඩලයේ උපා උපක්ර ම හඳුනා ගැනීමෙහිලා අපොහොසත් වූහ. අවසන් මිනිත්තුව දක්වා කලින් නිර්ණය කල නිශ්චිත සැලැස්මකට අනුව යුද්ධයට එලැඹි ප්‍රසියන් ඩිවිෂන 30කට එරෙහිව ඔවුනට කැඳවිය හැකි වූයේ ප්‍රංශ ඩිවිෂණ 16 ක් පමණි. පෙරමුණු සටන් වල යෙදෙනු වෙනුවට මෝල්ට්කේ විසින් හඳුන්වාදුන් සතුරා දෙපසින් වැටලීමේ උපාය බෙහෙවින් සාර්ථක විය. සේඩන් හි සිදුවූ මහ සටනකට පසු ප්‍රංශයේ තුන්වන නැපෝලියන් අධිරාජයා සිරභාරයට පත් වූයේ ඔහුගේ බොනපාර්ට් මාමා මෙන් තනිව නොව භටයින් ලක්ෂයක්ද සමඟය. දෙවන ප්‍රංශ අධිරාජ්යවය ඇද වැටිණ. බිස්මාර්ක්ට සාමය උවමනා වුවද ඊට හරහට හිටියේ සාම සාකච්ඡා පැවැත්වීම සඳහා පැරිසියේ පිළිගත හැකි රජයක් නොතිබීමයි. 1871 ජනවාරි 18 දා ජර්මන් පලාත් රාජ්ය නියෝජිතයන් පරාජිත ප්‍රංශයේ වර්සෙල්ස් මැදුරේ ‘දර්පන ශාලාවට’ රැස් කරවූ බිස්මාර්ක් ප්‍රසියාවේ පළමුවන විල්හෙල්ම් රජු ‘කයිසර් ’ (ජර්මන් අධිරාජයා) ලෙස කිරුළු පැලඳවීය. ඔස්ට්‍රියාව හිතාමතාම බැහැර කරමින් යුරෝපයේ මහා ජර්මන් අධිරාජ්යපය ප්ර කාශයට පත් කරන ලදී. බිස්මාර්ක් ‘අයෝමය චාන්ස්ලර්’ ලෙස විරුදාවලි ලැබීය. නැගී එන නව යුරෝපීය බලවතා තම යටත්විජිත කෙරේ බැල්ම හෙලනු ඇතැයි සැකයෙන් බ්‍රිතාන්‍යය නොසන්සුන් වූවාය. වාණිජ බෝග වගාව සඳහා අතිශය යෝග්‍ය වූ කුඩා ලංකාව මෙකල ලොව විශාලතම කෝපි නිෂ්පාදකයන් තිදෙනා අතර ලා ගැනුන අතර මහනුවර ‘ලූල්කඳුර’ වතුයායේ සාර්ථක ලෙස තේ වගාව අත්හදා බැලෙමින් තිබිණ. ප්‍රංශ-ප්‍රසියන් යුද්ධය අවසන් කරමින් ෆ්‍රැන්ක්ෆර්ට් හිදී අත්සන් කෙරුන ගිවිසුම මඟින් වර්ග සැතපුම් 5000 ක්වූ ඇල්සාස් හා ලෝරේන් කලාපය අභිනව ජර්මනියට පවරා දීමටද ප්‍රංශයට සිදුවිය. අප්‍රිකාවේ, ඉන්දු චීනයේ හා දකුණු පැසිෆික් කලාපයේ වර්ග සැතපුම් තිස් ලක්ෂයක් පුරා පැතිරුන යටත් විජිත පද්ධතියක් ආණ්ඩු කල ඈට දැරිය නොහැකිවූයේ පාඩුව නොව අවමානයයි.

Chamara Siriwardene

4. අයෝමය චාන්ස්ලර් හා ඔස්ට්‍රියන් රේගු නිළධාරියා (1871- 1888)

බෝල්කන් කලාපයේ පැන නැඟුන ස්ලාව් නිදහස් සටන් කෲර ලෙස මර්ධනය කිරීම නිසා උරණ වූ රුසියානුවෝ 1877 දී තුර්කියට පහර දුන්හ. රොමේනියාව හා සර්බියාව ස්වාධීනත්වය දිනා ගත් අතර බල්ගේරියාව අර්ධ ස්වතන්ත්‍ර රාජ්‍යයක් බවට පත්වූවාය. පරාජයට පත් ඔටෝමන් තුර්කි දේශය තව දුරටත් කැඩී බිඳී ගියේ ‘යුරෝපයේ රෝගියා’ යන අනවර්ථ නාමය ද සමඟය. පරිහාණිය කරා යමින් සිටි ඔස්ට්රි්යා-හංගේරි බහු ජාතික අධිරාජ්ය ය දැන් කඩදාසි ගෙයකට සමාන විය. ජනගහනයෙන් 64% ක් නියෝජනය කල චෙක්, ස්ලෝවැක්, පෝල්, රුතෙනියන්, සර්බ්, ක්රෝලට් යනාදී දුසිමක් පමණ එකී නොකී සුළු ජාතීන් තුල ස්වාධීනත්වය සඳහා වූ උද්වේගය හේතුකොටගෙන එය ද ඕනෑම මොහොතක ඉරිතලා යාමට ඉඩ තිබිණ. යුරෝපීය බලවතුන් ගේ ප්‍රධානත්වයෙන් 1878 බර්ලින් සමුළුව කැඳවීමේ අරමුණ වූයේ බෝල්කන් කලාපය තුල පෙර නොවිරූ ලෙස ඉහල ගිය රුසියානු බලය සමනය කිරීමය. නැගී එන සර්ව ස්ලාව් බෙදුම් වාදය විසින් යුරෝපය අස්ථාවර කරනු ඇතයි බ්‍රිතාන්‍යය හා ප්‍රංශය බියෙන් පසුවූහ. රුසියාව ලද භූමි ලාභයන්ට හිලව් වනසේ බෝල්කන් කලාපය තුල පිහිටි බොස්නියාව අත්පත් කොට ගැනීමට ඔස්ට්‍රියා-හංගේරියට එහිදී අවසර ලැබිණ. සමුළුවේ සත්කාරක රට වූ ජර්මනිය මධ්ය-ස්ථ පිළිවෙතක් අනුගමනය කලාය. බිස්මාර්ක්ගේ අරමුණ වූයේ තමාට අහිතකර නුවූ පැවති බලතුලනය ඒ ආකරයෙන්ම පවත්වා ගැනීමයි. බර්ලින් චාන්ස්ලර් මන්දිරයේ කෙරුන ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අතරතුරදී ටයිරස් නැමති බිස්මාර්ක්ගේ දැවැන්ත සුනඛයා රුසියානු අගමැති ඇලෙක්සැන්ඩර් ගොර්චෙකොව් කුමාරයා වෙත හදිසියේ කඩා පැන්නේ ඔහුගේ අංග චලනයන් තම ස්වාමියාට එල්ලවිය හැකි ශාරීරික ප්රැහාරයක පෙර ලකුණු ලෙස සැක කරමිනි. දෙරට අතර සබඳතා තර වීමට සිද්ධිය උපකාරී නුවුනද කලිසම ඉරීයාම හැරුන කොට වෙනත් හානියක් රාජ්යදතාන්ත්රිුකයාට සිදු නුවූයෙන් යුරෝපයේ සාමය තවදුරටත් ආරක්ෂා විය. 1878 බර්ලින් සමුළුවෙදී කැපී පෙනුනේ සියළුම බලවතුන් එකිනෙකා කෙරේ දැක්වූ සැකමුසු ආකල්පයයි. උද්ගතව තිබූ නව වාතාවරණය තුල පැරණි කෝන්තර යම්තාක් දුරකට නොතකා හරිමින් සිය අභිවෘද්ධිය තකා යම් සීමාසහිත එකඟත්වයන්ට එළඹීමට ඔවුන් තුල සූදානමක් ඇති බවද පෙණින. මෙය යථාර්ථයක් බවට පත් කරමින් ඊලඟ වසරේ ජර්මනිය හා ඔස්ට්රි යා-හංගේරිය මහත් ආන්දෝලනාත්මක ද්විත්ව සන්ධානයකට එළඹුනෝය. රුසියානු ආක්ර.මණයකදී එකිනෙකාට උපකාර කිරීමටත් වෙනත් බලවතෙකු සමඟ ඇති වන යුද්ධයකදී අනිත් පාර්ශ්වය මධ්යණස්ථව සිටීමටත් එමඟින් දෙරට ගිවිස ගත්හ. ද්විත්ව-රාජාණ්ඩු මර උගුලින් ගැලවී මහා ජර්මනිය හා භෞතික වශයෙන් සුසංයෝග වීමට ඔස්ට්රියයාවේ විසූ 36% වූ ජර්මන් බස වහරන්නන් අතර වූ අශාව මේ හේතුවෙන් වඩාත් දැඩි විය. මේ සඳහා වැඩිම උද්යෝගගයක් පලකලෝ ජර්මනියට වඩාත් ආසන්නව පිහිටි ඔස්ට්රිියාවේ වයඹ දිග පලාත් වල වැසියෝය. ප්‍රමාණයෙන් වර්ග සැතපුම් දහයක් වූ බෲනෝ-ඈම් යනු වාර්ගික ජර්මන්වරු බහුල කුඩා දේශසීමා නගරයකි. අසලින් ගලා යන ‘ඉන්’ නදිය හරහා ඔස්ට්‍රියාව හා අසල්වැසි ජර්මනියේ බැවේරියානු පලාත යාකෙරෙන දැවැන්ත යකඩ පාලම ඇත. ඒ අසලම වූ සැල්ස්බර්ගර් පෙදෙසේ පිහිටි පැරණි තට්ටු ගොඩනැගිල්ලක ඉහල මාලයේ කැරකැවූ උඩු රැවුලක් සහිත මැදිවියේ බේබදු රේගු මුළාදෑනියෙක් පදිංචිව සිටියේය. වාර්ගික ජර්මානුවෙකු වූ ඔහු ඇලොයිස් හිට්ලර් නම් විය. හමුදා කපිතන් වරයකුට සමාන තම නිළය නිසා බොහෝ හිස උදුම්මවාගෙන සිටි හේ සැර පරුෂය. සුළු දෙයකට පවා වහා කිපුනේය. පෞද්ගලිකව ලිබරල්වාදී අදහස් දැරුවද හැබ්ස්බර්ග් රජ පෙළපතට ඉමහත් ලැදිව සේවය කල මේ රේගු නිළධාරියා සිය ස්වාමියා වූ ෆ්‍රාන්ස් ජොසොෆ් අධිරාජයාගේ උපන්දිනය දාට දවස ගත කලේ පූර්ණ නිළ ඇඳුමිනි. රාජකීය රැවුල් විලාසිතාව අනුකරණය කිරීමෙහිලා විශාල ආශාවක් ද ඔහු තුල තිබිණ. ජීවීතයේ නිරන්තර වෙනස් කම් පැතීම මේ ඇලොයිස් තුල වූ එක්තරා උමතුවක් වැන්න. බොහෝ වාර ගණාවක් තම පදිංචිය වෙනස් කල ඔහු සිය පවුල් සංස්ථාවද වරක් දෙවරක් හෙම නොව තෙවරක්ම 'ප්‍රතිව්‍යුහගත' කළේය. කලින් බිරින්දෑවරු දෙදෙනාම අකාලයේ රෝගාතුර වී මලෝය. විසිතුන් අවුරුද්දක් ඔහුට වඩා වයසින් බාල ක්ලාරා, දෙවැනි බිරිඳ වූ ෆ්‍රැන්සිස්කා අසනීපව සිටියදී ගේ දොර වැඩපලට උදවු පදවු දීම පිණිස නිවසේ නතර වූ සිටි නෑ කමට ඔහුගේ ලේලියක් වූවාය. එහෙයින් ෆ්රැන්සිස්කා මරණයෙන් මාස කිහිපයකට අනතුරුව ලියා පදිංචි කෙරුන මේ තෙවැනි කසාදය සඳහා පල්ලියෙ විශේෂ අවසරය පැතීමට පවා ඇලොයිස්ට සිදුවිය. බවලතුන්ට මනාප රේගු නිලධාරියා සිය නිදහසට ඉදිරිපත් කල කරුණ වූයේ දරුවන් දෙදෙනා කලක් පුරා ක්ලාරා ඇසුරේ ඇති දැඩි වූ බැවින් ක්ලාරාට වඩා සුදුසු සුළු මවක් අපේක්ෂා කොට නොහෙන බවයි. දරුවන්ට සිදුවෙන යහපත කෙසේ වෙතත් ඈ වැනි අසරණ තරුණියකගේ අනාගතය සුරක්ෂිත වීමට හෝ මේ විවාහය හේතු වාසනා වනු ඇතැයි පැතූ මීසම භාර යහපත් බිෂොප් තුමා වතිකානුවෙන් ද වැඩිදුර උපදෙස් ගෙන සිය අනුමැතිය පල කලේ ඒ වන විටත් දරුවෙකු ඇගේ කුස පිළිසිඳගෙන සිටි බව නොදැනය. 1885 ජනවාරියේ දිනෙක වරුවක නිවාඩුවක් ගත් රේගු නිළධාරී ඇලොයිස් හිට්ලර් සිය තෙවැනි විවාහය ද ලියාපදිංචි කලේය. එහෙත් පස් මසකට පසු ඔවුන් ලද පිරිමි දරුවා වූ ගුස්තාව් මෙන්ම ඊලඟ වසරේ උපත ලද දියණිය අයිඩා ද ඩිප්තීරියා වසංගතයට ගොදුරුවී අකාලයේ මිය ගියහ. සැල්ස්බර්ගර් පෙදෙසේ පිහිටි ‘හිට්ලර්’ නිවස එකම මළ ගෙයක් විය. 1887 මෙළොව එලිය දුටු ඔටෝ ජීවත් වීමට වරම් ලද්දේ දින තුනක් පමණි. වැඩිමහල් දරුවන් තිදෙනාම අත දරු වියේදීම අකාලයේ මිය ගියේ දස පණතේ හත්වැන්න කඩකොට තමා කල පාපයට දඬුවම් වශයෙනැයි භක්තිමත් කතෝලිකයකු වූ ක්ලාරා හිට්ලර්ගේ වැටහීම විය. එහෙයින්දෝ ඈ නිතර යාඥා කරමින් පසුතැවිලි වූවාය. දෙමාපියන් සමීප ලේ ඥාතීන් වීම මෙම ළදරු මරණ වලට තුඩු දෙන්නට ඇතැයි ඇතැම් ඉතිහාසඥයෝ සැක පහල කරති. දෙවියන් හෝ වෙදුන් කෙරේ විශ්වාසයක් නුවූ ක්ලාරාගේ වැඩිමහළු සැමියා ඒ කිසිවක් ගණනකට නොගත්තේය. රාජකාරි ස්ථානයේ හෝ තැබෑරුමේ වැඩි කාලයක් ගත කල ඔහු තුල යම් භක්තියක් වී නම් ඒ ෆ්රානන්ස් ජෝසොෆ් අධිරාජයා කෙරේ පමණි. හැබ්ස්බර්ග් සුළු නිළධාරී පැළැන්තියට ඇලොයිස් හිට්ලර් නිදසුනකි. ඔස්ට්රිියානුවන්ගේ පක්ෂපාතීත්වය හිමිවූයේ පාලකයන්ට මිස වර්ගයාට නොවේ. බිස්මාර්ක්ගේ මතය වූයේ පොදුවේ ගත් කල ඔස්ට්රිායානු යුද හා සිවිල් සේවා සාමාජිකයන් සාමුහිකව වගකීම් ඉටු කරන වෘත්තිකයන් සමූහයකට වඩා පටු නීති රීති මාලාවක් ක්රිමයාත්මක කරන ලිපිකරුවන් රොත්තකට සමාන බවය.

Chamara Siriwardene


පළමු ලෝක යුද්ධයේ පෙර තනුව නොහොත්

බිස්මාර්ක්ගේ නික්ම යාම

1871 ජර්මන් එක්සත්කරණය සෙසු ජාතීන් වෙතද සිය අනන්යතාවයන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා කෙරුණ නිහඬ දිරි ගැන්වීමකි. එය මුලින්ම ග්රහණය කොටගෙන පෙරමුණ ගත්තෝ ඔටෝමන් අධිරාජ්යය තුල විසූ ස්ලාව් වරුය. බල්ගේරියාවේ හටගත් කැරැල්ල මැඩලන ලද්දේ සුල්තාන්ගේ හමුදා විසින් බෝල්කන් වාසී ටටාර් වරු මරා දමනු ලැබීමෙනි. මින් උරණ වූ රුසියානුවෝ 1877 දී තුර්කියට පහර දුන්හ. ගෝත්රයේ වැඩිමලා වූ ඈ සහෝදර ස්ලාව් ජාතීන්ගේ අයිතිවාසිකම් රැකීම සිය යුතුකම කොට සැලකුවාය. කොකේසස් කඳු තරණය කොට බෝල්කන් පෙදෙසට කඩා වැදුන කොසෑක් අසරුවන් හමුවේ පසු බැසීමට තුර්කි භටයන්ට සිදු විය. රොමේනියාව හා සර්බියාව ස්වාධීනත්වය දිනා ගත් අතර බල්ගේරියාව අර්ධ ස්වතන්ත්ර රාජ්යයක් බවට පත් වූවාය. පරාජයට පත් ඔටෝමන් අධිරාජ්යය තව දුරටත් කැඩී බිඳී ගියේ ‘යුරෝපයේ රෝගියා’ යන අනවර්ථ නාමය ද සමඟිනි. මේ තත්වය වඩාත් තදින් බලපෑවේ ඔස්ට්රියා-හංගේරියටයි. ජනගහනයෙන් 76% ක් නියෝජනය කල චෙක්, ස්ලෝවැක්, පෝල්, රුතෙනියන්, සර්බ්, ක්රෝට් යනාදී දුසිමක් පමණ එකී නොකී ජාතීන් නැවතත් නොසන්සුන් වීම හේතුවෙන් බහු ජාතික අධිරාජ්යය ඕනෑම මොහොතක ඉරිතලා යාමට ඉඩ තිබිණ. හැප්ස්බර්ග් වරුන් හමුවේ වූ එකම විකල්පය නම් වඩාත් බලය විමධ්යගත කිරීමේ වඩාත් නම්යශීලී පිළිවෙතකට යොමු වීමයි. එය පහසු කටයුත්තක් නුවූයේ ස්ලාව් වරුන්ට වැඩි බලතල ලබා දීමේ සෑම යෝජනාවකටම සර්ව ජර්මන් වාදීන් තීරණාත්මක ලෙස එරෙහි වූ බැවිණි.

යුරෝපීය බලවතුන් ගේ ප්රධානත්වයෙන් 1878 බර්ලින් නුවරදී කැඳවුන සමුළුවේ අරමුණ වූයේ බෝල්කන් කලාපය තුල පෙර නොවිරූ ලෙස ඉහල ගිය රුසියානු බලය සමනය කිරීමය. නැගී එන සර්ව ස්ලාව් බෙදුම් වාදය විසින් යුරෝපය අස්ථාවර කරනු ඇතයි බ්රිතාන්යය හා ප්රංශය බියෙන් පසුවූහ. රුසියාව ලද භූමි ලාභයන්ට හිලව් වනසේ ඔටෝමන් පාලනයෙන් ගිලිහී ගිය බෝල්කන් කලාපයේ වාර්ගික ස්ලාව් වරු විසූ බොස්නියාව හා හෙර්සගොවිනාව අත්පත් කොට ගැනීමට ඔස්ට්රියා-හංගේරියට එහිදී අවසර ලැබිණ. සමුළුවේ සත්කාරක රට වූ ජර්මනිය මධ්යස්ථ පිළිවෙතක් අනුගමනය කලාය. බිස්මාර්ක්ගේ අරමුණ වූයේ තමාට ඒ හැටි අහිතකර නුවූ පැවති බලතුලනය ඒ ආකරයෙන්ම පවත්වා ගැනීමයි. ඒ අරමුණ සාර්ථක වුවද සාකච්ඡා අතරතුරදී හටගත් අනපේක්ෂිත සිදුවීමක් නිසා මහ යුද්ධයක් හට ගැනීම වැලකී ගියේද අනූ නවයෙනි. ද්විපාර්ශ්වික සාකච්ඡා අතරතුරදී බිස්මාර්ක් සුරතලයට ඇතිදැඩි කල ‘ග්රේට් ඩෑන්ස්’ වර්ගයට අයත් ටයිරස් නැමති දැවැන්ත සුනඛයා රුසියානු අගමැති ඇලෙක්සැන්ඩර් ගොර්චෙකොව් කුමාරයා වෙත හදිසියේ කඩා පිනුවේය. ඒ සඳහා රාජ්යතාන්ත්රික පැහැදිලි කිරීම වූයේ කුමාරයාගේ අංග චලනයන් තම ස්වාමියාට එල්ලවිය හැකි ශාරීරික ප්රහාරයක පෙර ලකුණු ලෙස සැක කරමින් සුනඛයා මෙලෙස හැසිරෙන්නට ඇති බවයි. කලිසම ඉරීයාම හැරුන කොට වෙනත් හානියක් රුසියානු අගමැතියාට සිදු නුවූයෙන් යුරෝපයේ සාමය තවදුරටත් ආරක්ෂා විය.

සියළුම බලවතුන් එකිනෙකා කෙරේ දැක්වූ සැකමුසු ආකල්පය බර්ලින් සමුළුවෙදී කැපී පෙනුන මූලික ලක්ෂණයයි. උද්ගතව තිබූ නව වාතාවරණය තුල පැරණි කෝන්තර යම්තාක් දුරකට නොතකා හරිමින් සිය අභිවෘද්ධිය තකා යම් යම් සීමාසහිත එකඟත්වයන්ට එළඹීමට ඔවුන් තුල පෙර නොතිබූ සූදානමක් ඇති බවද පෙණින. මෙය යථාර්ථයක් බවට පත් කරමින් ඊලඟ වසරේ පැරණි ප්රතිවාදීන් වූ ජර්මනිය හා ඔස්ට්රියා-හංගේරිය මහත් ආන්දෝලනාත්මක ද්විත්ව සන්ධානයකට එළඹුනෝය. රුසියානු ආක්රමණයකදී එකිනෙකාට උපකාර කිරීමටත් වෙනත් බලවතෙකු සමඟ ඇති වන යුද්ධයකදී අනිත් පාර්ශ්වය මධ්යස්ථව සිටීමටත් එමඟින් දෙරට ගිවිස ගත්හ. මෙය හුදෙක්ම උපාය මාර්ගික සන්ධානයක් වුවද අධිරාජ්යය තුල විසූ 24% වූ ජර්මන් බස වහරන්නන්ට හැඟුනේ එතුලින් ජාතික එකමුතුවක් සඳහා මුල් පියවර තබා ඇති සැටියකි. ද්විත්ව-රාජාණ්ඩු මර උගුලින් ගැලවී මහා ජර්මනිය හා භෞතික වශයෙන් සුසංයෝග වීමට ඔවුන් තුල වූ පැරණි අශාව මේ හේතුවෙන් වඩාත් දැඩි විය.

බිස්මාර්ක්ගේ න්යාය වූයේ යුරෝපයේ පස් මහා බලවතුන් අතර පිල් බෙදීමකදී වඩා වැඩදායී වන්නේ ඕනෑම පිලක තුන්වන සාමාජිකයා වීම බවයි. යම්හෙයකින් රුසියාව තම සම්ප්රදායික සතුරා වූ ප්රංශය හා කල්ලි වැදුනහොත් ජර්මනියට පෙරමුණු දෙකක යුද්ධයකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි බිස්මාර්ක් තුල විශාල බියක් තිබිණ. එම අවදානම සමනය කොටගනු වස් 1887 ඔහු දී රුසියාව සමඟ ප්රතිආරක්ෂණ ගිවිසුමකට එළඹුනේය. රුසියාව හා ඔස්ට්රියාව අතර හෝ ජර්මනිය හා ප්රංශය අතර හෝ ඇතිවන ගැටුමකදී හැර, අන් විටෙකදී එක් පාර්ශ්වයක් යුරෝපීය බලවතෙකු සමඟ යුද වැදුනහොත් අනෙත් පාර්ශ්වය මධ්යස්ථව සිටීමට එමගින් ගිවිස ගනු ලැබීය. ගිවිසුමේ වැඩිම ප්රතිලාභ ලද්දී ඔස්ට්රියාවය. බෝල්කන් ආරවුලක් මත ඈට එල්ල විය හැකි හදිසි රුසියන් ප්රහාරයක අවදානම එමඟින් අවම කරවනු ලැබ තිබිණ. එහි විලෝමය වූයේ සර්ව ස්ලාව් වාදයට එරෙහිව හිතුවක්කාර යුද්ධයකට එළැඹීමෙන් ඈද වලක්වන ලද බවය. බෙහෙවින් තෘතිමත්ව සිටි බිස්මාර්ක් පැවති ශමථය බිඳ වැටිය හැකි ඕනෑම යුද්ධයක් පිටු දැකීමට දැන් උත්සහ කලේය. ප්රසියන් සම්ප්රදායට අනුව කයිසර් තුමා චාන්ස්ලර්ගේ විදෙස් පිළිවෙතට අත පෙවීම් නොකලද කණගාටුවට කරුණ වූයේ තමා අපරාජිතය යන ආකල්පය තුල හැදුන වැදුන ජර්මන් අධිරාජ්යයේ නව පරපුර ඔහුගේ උපායමාර්ගය වටහා ගැනීමට අපොහොසත් වීමයි. ඔවුන් නියෝජනය කල දෙවන විල්හෙල්ම් කුමාරයා සිය පියාගේ ඇවෑමෙන් 1888 දී ‘කයිසාර්’ ලෙස කිරුළු පැළඳීම බිස්මාර්ක් ස්ථාපිත කොට තිබූ ඒ සියුම් සමතුලිතතාව උඩු යටිකුරු වීමට හේතු විය.

අභිනව දෙවන විල්හෙල්ම් කයිසර් තැනගේ පිය රජතුමා විවාහ වී සිටියේද බ්රිතාන්යයේ වික්ටෝරියා රැජිනගේ වැඩිමහල් දියණිය සමඟය. සෙසු රටවල රාජ වාංශිකයන් සමඟ අවාහ විවාහ ගණුදෙණු කිරිම ලංකාවට පමණක් සීමාවූ සම්ප්රදායක් නොවේ. විසි නව හැවිරිදි දෙවන විල්හෙල්ම් ස්වහාවයෙන්ම නොඉවසිලිමත්ය. නාහෙට නාහන හේ ඔවදන් උපදෙස් නොතකයි. උපතේ දී සිදුවූ තෙරපීමක් නිසා ඔහුගේ වමත පණ නැත.

“මගේ අත කැඩුවෙත් ඉංග්රීසි දොස්තරෙක්! මේව අපෙ අම්මගෙ වැරදි” කයිසර් නිතර දෙවේලේ ආඩපාලි කීය. මේ හේතුව නිසාදෝ මවගේ ඥාතී සනුහරය ඔහුට නයාට අඳුකොල මෙනි. ජර්මන් බෑනා තමාට ‘නාකි මොණරා’ ලෙස අවමන් කරන බව ඇගේ සොයුරා වූ වේල්ස් හි කිරුල හිමි එඩ්වඩ් කුමරුද සක් සුදක් සේ දැන සිටියේය. ‘නාකි මොණරා’ සරණපාවා ගෙන සිටි ඩෙන්මාර්ක් රජ කුමරියගේ සොයුරිය ශාන්ත පීටර්ස්බර්ග් නුවර රොමනොව් රජ පෙලපතට කරකාර බන්දවා දෙනු ලැබ සිටිම හේතුවෙන් රුසියාවේ නිකොලස් සාර් හා ජර්මනියේ කයිසාර්ද ඥාති සහෝදරයෝ වූහ. ඒ නෑකම් කුමක් වුවද රුසියාව සමඟ රාජ්යතාන්ත්රික එකඟත්වකින් යුතුව කටයුතුකිරීමේ බිස්මාර්ක්ගේ උපාය දෙවන විල්හෙල්ම්ට රිසි රිසි නැත. ඔහුගේ සිහිනය වූයේ තනි ජර්මන් ආධිපත්යයට නතුවූ යුරෝපයකි.

“පේන විදියට ‘රාජකීය කොල්ලට’ දැන් ඕන වෙලා තියෙන්නෙ රුසියාවත් එක්ක යුද්දෙක පැටලෙන්න වගේ. හැබැයි මම නම් ඕවට නෑ ,” බිස්මාර්ක් කෙඳිරුවේ තම ඇජුටන්ට් තැන සමඟය. එතැන් පටන් ඔහු හැකි උපරිම වෙරදරා දෙවන විල්හෙල්ම්ට අකුල් හෙලීය. දක්ෂ රාජ්යතාන්ත්රිකයකු වුවද බිස්මාර්ක් තරමක් කුඩුකේඩු මහල්ලෙකි. ‘රාජකීය කොල්ලා’ගේ සීයා වූ සාමකාමී පළමුවන විල්හෙල්ම් හිටපු කයිසර් තැන පවා එකල සිය හිතවතුන් හා උපහාසාත්මක ලෙස පවසා තිබුනේ ‘බිස්මාර්ක් යටතේ කයිසාර් තනතුරක් දැරීම’ ලෙහෙසි කටයුත්තක් නොවන බවය. ස්නායු දුර්වලත්වයෙන් පෙළුන මහළු ‘ජුන්කර්’ වරයා දැන් නිතර කිපෙන හෙයින් බිරිඳ හැර අන් කිසිවෙකු ඔහු හා පයිරු පාසානමට කැමැති නැත. 1889 වසරේ අප්රේල් මස යාබද ඔස්ට්රියාවේ බෲනෝ ඈම්නැමති දේශසීමා නගරයේ විසූ මධ්යම පාන්තික වාර්ගික ජර්මන් පවුලක සිවු වන දරුවා ලෙස ඇඩොල්ෆ් හිට්ලර් මෙලොව එළිය දකින විට චාන්ස්ලර් වරයා හා අධිරාජයා අතර මතගැටුම් උච්චාවස්ථාවට ලඟාවී තිබිණ..

1890 මාර්තුවේදී බිස්මාර්ක් දෙවන විල්හෙල්ම් සමඟද සණ්ඩු කළේය. දබරයට මුල්වූයේ අධිරාජයාට නොදන්වා කතෝලික පක්ෂය සමඟ සන්ධානයකට එළැඹීමට බිස්මාර්ක් විසින් දැරූ උත්සාහයකි. පාර්ලිමේන්තු බහුතරය සඳහා ඕනෑම කණ්ඩායමක් සමඟ එකඟත්වයකට එලැඹීමට තමාට බලයක් ඇතැයි තර්ක කල බිස්මාර්ක් එහිදී කයිසාර්ට එරෙහිව ඉතා අනුචිත පෞද්ගලික අවලාද නැඟුවේ ගරුසරු නැති අන්දමයට. රුසියාවේ හිටපු සාර් වූ තුන්වන ඇලෙක්සැන්ඩර් විසින් තමාට එවන ලද ලිපියක් ද එහිදී ඔහු සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීමට සූදානම් විය. “ඔබවහන්සෙව පොඩි කාලෙ හරියට හදල නැහැ කියල සාර්තුමාත් කියනවා… !”

එබස් අසා නොසෑහෙන උදහස් වූ කයිසාර් තැන තනතුරින් ඉල්ලා අස්වන ලෙස බිස්මාර්ක්ට අණ කලේය. ජර්මන් අධිරාජ්යයේ චාන්ස්ලර් ගේ බලය මුළුමනින් රඳා පැවතියේ පාර්ලිමේන්තු බහුතරය නොව අධිරාජයාගේ විශ්වාසය මතය. පැවැත්ම බ්රිතාන්යයේ ‘පන්ච්’ සඟරාව සිද්ධිය අර්ථ දක්වමින් කියා සිටියේ කප්පිත්තා නැව හැර ගිය බවයි. තෙමසකින් රුසියාව සමඟ ඇතිකොට ගෙන තිබූ ප්රතිආරක්ෂණ ගිවිසුම කල් ඉකුත් වුවද කයිසාර් නොවේ එය අළුත් කිරීමට කැමති උනේ. බිස්මාර්ක්ගේ අවවාද අනුශාසනා තවදුරටත් කිසිවෙකු නොපැතූහ.

බලවත් සිත් වේදනාවට පත් ජුන්කරයා දේශපාලනයෙන් විශ්රාම ගෙන වත්මන් උතුරු පෝලන්තයේ වර්සින් හි පිහිටි තම වතුයාය බලා යන්නට ගියේය. ඔහුගේ ස්වභාවය වඩාත් තිත්ත පරුෂ විය. වරක් තම මාලිගයේ අමුත්තන් ලෙස රැය ගත කල මිතුරන් දෙදෙනෙක් හිමිදිරියේ කතිකා කොටගත් පරිදි දඩයමේ යනු පිණිස අවදි නොවීම නිසා උරණ වූ බිස්මාර්ක් දොරගුළු ලූ කාමරය තුලට ජනේලයකින් වෙඩි තැබීමට වන. අමුත්තෝ ඇඳන් වලින් පැන බිම දිගා වූහ. එදිරිවාදී කම් අත්හිටවුනේ ලීයක අමුණන ලද සුදු ලේන්සුවක් වහා ජනේලයෙන් ඉහලට එසවීමෙන් අනතුරුවයි.

මිනිස් ඇසුරින් වඩාත් ඈත්වූ බිස්මාර්ක් තම සුනඛයන් දෙදෙනා සමඟ වතුයාය තුල හුදෙකලා වෙද්දී ඔහු අනුමාන කල පරිදිම රුසියාව හා ප්රංශය ද්විත්ව සන්ධානයක් ඇති කොට ගත්හ. බලවතුන් දෙදෙනා 1894 අත්සන් කල ගිවිසුමේ එකඟතාව වූයේ ජර්මන් ආක්රමණයකදී එකිනෙකාට උපකාර කිරීමයි. ඒ සමඟ යුරෝපය බල කඳවුරු දෙකකට බෙදී ගියේය. ඊලඟ යුද්ධයේදී පෙරමුණු දෙකක සටන් කිරීමට මේ තත්වය යටතේ ජර්මනියට සිදුවනු ඇති බව කිසිදු සැකයක් නොවීය.

නහින දෙහින කාලයේ තම සමීපයන් කෙරේ උමතු ලෙස අණසක පැතිරවීම ජර්මන් සම්භවයෙන් පැවතෙන සියළු විශ්රාමික සිවිල් නිළධාරීන්ට වැළඳෙන රෝගයක් වැන්න. සිය වතුයායට වී ජීවිතයේ සැඳෑ සමය හුදෙකලාවේ පසුවූ බිස්මාර්ක් ඉහත රෝගයට අමතරව දෙපා කෝඨයට ද ගොදුරුව සිටියේය. නොබෝ දිනෙකින් එක්තැන් වුවද ඔහු නොවේ වෙදෙක් කැඳවීමට කැමැති වූයේ. මරණ මංචකයේ ඔහුගේ පසුතැවිල්ල වූයේ විසි වසරකට පෙර මිය ගොස් සිටි සුල්තාන් නැමති සුනඛයාට වඩාත් හොඳින් සැලකීමට තමාට නොහැකිවීමය. 1898 දී ඔහු මිය ගියේ මහ භයානක අනාවැකියක් ද පල කරමිනි.

“මහා ෆෙඩ්රික් රජු මැරිල විසි අවුරුද්දකින් ප්රසියාව ජෙනා සටනින් පරාජය උනා. මේ විදියට තව විසි අවුරුද්දක් ගියොත් ජර්මනියට ආපහු වෙන්නෙත් ඒ සන්තෑසියම තමයි.…”

බිස්මාර්ක් මරුවිකල්ලෙන් කොරහේ කිඹුලන් දකින්නට ඇතැයි කයිසර් තුමා හා සෙනෙවි මණ්ඩලය අනුමාන කලහ. කාලය හා සූදානම අතින් ප්රතිවාදීන් පරයා ජර්මනිය සතුව තිබූ තීරණාත්මක හමුදාමය වාසිය වියැකී යාමට පෙර යුද්ධයක් ඇරඹීම ඔවුන්ගේ අදිටන විය. ප්රංශය හා රුසියාව සමඟ පෙරමුණු දෙකක යුද්ධයක් සඳහා මැලි නොවූ අධිරාජයා ජර්මන් නාවුක හමුදාවට බර යුද නැව් 19 ක් හා සන්නාහ සන්නද්ධ කෲසර් යාත්රා 50 ක් අළුතින් තැනීමට අණ කලේය. ඔහු සැබෑ අභියෝගය ලෙස සැලකුවේ බ්රිතාන්යයේ නාවුක බලයට මුහුණ දීමය. පරාජිතයන්ගෙන් අය කෙරෙන වන්දි හා සයුරින් එතෙර යටත් විජිත දිනා ගැනීම තුලින් යුද්ධයේ පිරිවැය පියවා ගැනීමට කයිසර් කල්පනා කල සැටියකි. - චාමර සිරිවර්ධන

5. නැව හැර ගිය කප්පිත්තා (1888-1896)

මහාද්වීපික දේශපාලනයේදී ඔස්ට්රිියා-හංගේරිය විශ්වාසනීය සහකරුවෙකු ලෙස නොසැලකූ බිස්මාර්ක් ඒ හේතුවෙන් රුසියාව කුපිත කරවීමෙන් වැලකී සිටීමටද පරෙස්සම් වූයේය. ඔහුගේ මූලධර්මය වූයේ යුරෝපයේ පස් මහා බලවතුන් අතර පිල් බෙදීමකදී වඩා වැඩදායී වන්නේ ඕනෑම පිලක තුන්වන සාමාජිකයා වීම බවයි. යම්හෙයකින් රුසියාව තම සම්ප්‍රදායික සතුරා වූ ප්‍රංශය හා කල්ලි වැදුනහොත් ජර්මනියට පෙරමුණු දෙකක යුද්ධයකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි ඔහු තුල විශාල බියක් තිබිණ. එම අවදානම සමනය කොටගනු වස් ජර්මනිය 1887 දී රුසියාව සමඟ ප්‍රතිරක්ෂණ ගිවිසුමකට එලඹුනාය. රුසියාව හා ඔස්ට්රි යාව අතර හෝ ජර්මනිය හා ප්‍රංශය අතර හෝ ඇතිවන ගැටුමකදී හැර, අන් විටෙකදී එක් පාර්ශ්වයක් යුරෝපීය බලවතෙකු සමඟ යුද වැදුනහොත් අනෙත් පාර්ශ්වය මධ්‍යස්ථව සිටීමට එමගින් ගිවිස ගනු ලැබීය. ගිවිසුමේ වැඩිම ප්‍රතිලාභ ලද්දී ඔස්ට්‍රියා-හංගේරියයි. බෝල්කන් ආරවුලක් මත ඈට එල්ල විය හැකි හදිසි රුසියන් ප්රඩහාරයක අවදානම එමඟින් අවම කරවනු ලැබ තිබිණ. එහි විලෝමය වූයේ සර්ව ස්ලාව් වාදයට එරෙහිව හිතුවක්කාර යුද්ධයකට එළැඹීමෙන් ඈද වලක්වන ලද බවය. බිස්මාර්ක් මේ අයුරින් යුරෝපය තුල අසීරුවෙන් පවත්වාගෙන ගිය වාසිදායක සමතුලිතතාව නොසිතූ විරූ ලෙස උඩු යටිකුරු වූයේ 1888 දී දෙවන විල්හෙල්ම් කුමාරයා ‘කයිසාර්’ ලෙස කිරුළු පැළඳීමත් සමගයි. ලංකාවේ රජවරු දකුණු ඉන්දියාවෙන් බිසවුන් ගෙන්වූවාක් මෙන් දෙවන විල්හෙල්ම් කයිසර් තැනගේ පිය රජතුමා විවාහ වී සිටියේ වූයේද බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ වැඩිමහල් දියණිය සමඟය. වාංශිකයන් අතර අවාහ ගණුදෙණු සිදුවීම එකල පිළිගත් සිරිතකි. දෙවන විල්හෙල්ම් ස්වහාවයෙන්ම නොඉවසිලිමත්ය. ඔවදන් උපදෙස් නොතකයි. උපතේ දී සිදුවූ තෙරපීමක් නිසා ඔහුගේ වමත පණ නැත. “මගේ අත කැඩුවෙත් ඉංග්රීීසි දොස්තරෙක්! මේව අපෙ අම්මගෙ වැරදි” කයිසර් නිතර දෙවේලේ ආඩපාලි කීය. මවගේ ඥාතී සනුහරය ඔහුට නයාට අඳුකොල මෙනි. බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනියට ලිපියක් ලියූ බර්ලිනයේ සිටි ඇගේ දියණිය තම විල්හෙල්ම් පුතා රජකම දැරීමට තරම් මුහුකුරා ගොස් නැතැයි බිය පලකොට සිටියාය. ජර්මන් බෑනා තමා ‘නාකි මොණරා’ ලෙස හඳුන්වමින් අවමන් කරන බව ඇගේ සොයුරා වූ කිරුල හිමි එඩ්වඩ් කුමරුද සක් සුදක් සේ දනී.

ලංකාවේද මීලඟ රජු වීමට නියමිතව සිටි ‘නාකි මොණරා’ සරණපාවා ගෙන සිටියේ ඩෙන්මාර්ක් රජ කුමරියකි. ඇගේ සොයුරිය කරකාර බන්දවා දෙනු ලැබ සිටියේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර රොමනොව් රජ පෙලපතටයි. මේ හේතුවෙන් රුසියාවේ නිකොලස් සාර්  හා ජර්මනියේ කයිසාර්ද ඥාති සහෝදරයෝ වූහ. එසේ වුවද හුදෙක්ම හමුදාමය හේතූන් මත රුසියාව හා රාජ්‍යතාන්ත්‍රික එකඟත්වයක් මත පිහිටා කටයුතු කිරීමේ බිස්මාර්ක් පිළිවෙතටද දෙවන විල්හෙල්ම් තරයේ විරුද්ධ විය. නැගෙනහිර යුරෝපයේ ආධිපත්යර පිළිබඳ ගැටළුවේදී ජර්මනිය හා රුසියාව තරඟ කරුවෝ වෙත්. පන්ති අරගලය තුල අනුකම්පා විරහිත ඉඩම් හිමියෙකු වූ බිස්මාර්ක් කුමාරයා මහාද්වීපික දේශපාලනයේදී උත්සුක වූයේ සෙසු බලවතුන් සමඟ ගැටුම් මඟ හරිමින් පැවති සමතුලිතතාව රැක ගැනීමටයි. වත්මන් ශමථය ගැන අතෘප්තියෙන් පසුවූ තරුණ හෝහන්සෝර්ලන් අධිරාජයා ජර්මන් ආධිපත්යශයට නතුවූ යුරෝපයක් දැකීමට පෙරුම් පිරුවේය.

“පේන විදියට නම් රාජකීය කොල්ලට දැන් ඕන වෙලා තියෙන්නෙ රුසියාවත් එක්ක යුද්දෙක පැටලෙන්න වගේ. හැබැයි මම ඕවට නෑ,” බිස්මාර්ක් කෙඳිරුවේ තම ඇජුටන්ට් තැන සමඟය. එතැන් පටන් ඔහු හැකි උපරිම වෙරදරා දෙවන විල්හෙල්ම්ට අකුල් හෙලීය. දක්ෂ රාජ්‍යතාන්ත්‍රිකයකු මෙන්ම බිස්මාර්ක් තරමක් කුඩුකේඩු මහල්ලෙකි. ‘රාජකීය කොල්ලා’ ගේ සීයා වූ පළමුවන විල්හෙල්ම් හිටපු කයිසර් තැන පවා එකල හිතවතුන් හා පවසා තිබුනේ ‘බිස්මාර්ක් යටතේ කයිසාර් තනතුරක් දැරීම’ ලෙහෙසි වැඩක් නොවන බවයි. වික්ටෝරියා රැජිනගේ වැඩිමහල් දියණිය බර්ලිනයේ සිට සිත් වේදනාවෙන් යුතුව සිය මවට එවන ලද ලිපිය ලන්ඩනයේ බකින්ග්හැම් මාලිගයට ලඟාවූ 1889 අප්‍රේල් 20 දා වයඹ දිග ඔස්ට්රියයාවේ බෲනෝ-ඈම් නුවරට වැහිබර සෙනසුරාදාවකි. නගර වැසියන් පසුවදාට යෙදුන පාස්කු උළෙලට ලහි ලහියේ සූදානම් වෙමින් සිටියෝය. ගර්භනීව සිටි රේගු නිළධාරී ඇලොයිස් ගේ තෙවැනි බිරිඳ ක්ලාරා එදා ගොම්මන් යාමයේ තවත් පුතකු මෙලොවට දායාද කලාය. දුර්වල සිරුරකින් යුත් ඔහුගේද උපත් බර බොහෝ අඩුවූයෙන් ප්‍රසූතිය සඳහා කැඳවූ ෆ්‍රැන්සිස්කා පොයින්ටෙකර් නැමති වින්නඹුව ‘හිට්ලර් නිවසේ’ තවත් ළදරු මරණයක් නොවැලැක්විය හැකි බවට නිකරුනේ සැක පහළ කලේ එතැන් පටන් තුන් සාලිස් වසක් ගතවූ තැන බිළිඳා විසින් රට ආණ්ඩු කරනු ලැබීමට දෛවය විසින් නියැම කොට තිබූ වගක් නොදැනයි. මවගේ සුනිල් වන් ගැඹුරු දෑස් උපතින්ම උරුම කොටගෙන සිටි දරුවාගේ නම කතෝලික පල්ලියේ බෞතීස්ම ලේඛණයේ ‘ඇඩොල්ෆස් හිට්ලර්’ ලෙස ලියාපදිංචිව තිබිණ. උප්පැන්නයේදී ඔහු ඇඩොල්ෆ් හිට්ලර් විය. යාබද ජර්මන්-බැවේරියාව මෙන්ම ඔස්ට්රිේයාවේ විසූ අති බහුතරයද කතෝලිකයෝ වෙති. බර්ලිනයට සැතපුම් තුන් සියයක් දකුණින් දේශ සීමාවේ පිහිටි බෲනෝ-ඈම් හි ඇඩොල්ෆ් හිට්ලර් මෙලොව එළිය දකින විට ජර්මන් අධිරාජ්‍යයේ නිර්මාතෘ බිස්මාර්ක්ගේ වයස හැත්තෑ පහකි. ස්නායු දුර්වලත්වයෙන් පෙළුන ඔහු දැන් නිතර නිතර කිපෙයි. බිරිඳ හැර අන් කිසිවෙකු මහළු කුමාරයා හා පයිරු පාසානමට කැමැති නැත. 1890 මාර්තුවේදී බිස්මාර්ක් දෙවන විල්හෙල්ම් සමඟද සණ්ඩු කළේය. දබරයට මුල්වූයේ අධිරාජයාට නොදන්වා කතෝලික පක්ෂය සමඟ සන්ධානයකට එළැඹීමට දැරුන උත්සාහයකි. පාර්ලිමේන්තු බහුතරය සඳහා ඕනෑම කණ්ඩායමක් සමඟ එකඟත්වයකට එලැඹීමට තමාට බලයක් ඇතැයි තර්ක කල බිස්මාර්ක් එහිදී කයිසාර්ට එරෙහිව ඉතා අනුචිත පෞද්ගලික අවලාද නැඟුවේ ගරුසරු නැති අන්දමයට. රුසියාවේ හිටපු සාර් වූ තුන්වන ඇලෙක්සැන්ඩර් විසින් තමාට එවන ලද ලිපියක් ද එහිදී ඔහු සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීමට සූදානම් විය.

“ඔබවහන්සෙ පොඩි කාලෙ හරියට හදල නැහැ!”
එබස් අසා නොසෑහෙන උදහස්  වූ කයිසාර් තැන තනතුරින් ඉල්ලා අස්වන ලෙස බිස්මාර්ක්ට අණ කලේය. ජර්මන්  අධිරාාජ්‍යයේ චාන්ස්ලර් ගේ බලය මුළුමනින් රඳා පැවතියේ පාර්ලිමේන්තු බහුතරය නොව අධිරාජයාගේ විශ්වාසය මතය.  ලන්ඩනයේ ‘පන්ච්’ සඟරාව සිද්ධිය අර්ථ දක්වමින් කියා සිටියේ කප්පිත්තා නැව හැර ගිය බවයි. තෙමසකින් රුසියාව සමඟ ඇතිකොට ගෙන තිබූ  ප්‍රතිආරක්ෂණ ගිවිසුම කල් ඉකුත් වුවද කයිසාර් නොවේ එය අළුත් කිරීමට කැමති උනේ. බිස්මාර්ක්ගේ අවවාද අනුශාසනා තවදුරටත් කිසිවෙකු නොපැතූහ. 

බලවත් සිත් වේදනාවට පත් ජුන්කරයා දේශපාලනයෙන් විශ්රාම ගෙන වත්මන් උතුරු පෝලන්තයේ වර්සින් හි පිහිටි තම වතුයාය බලා යන්නට ගියේය. ඔහුගේ ස්වභාවය වඩාත් තිත්ත පරුෂ විය. වරක් තම මාලිගයේ අමුත්තන් ලෙස රැය ගත කල මිතුරන් දෙදෙනෙක් හිමිදිරියේ කතිකා කොටගත් පරිදි දඩයමේ යනු පිණිස අවදි නොවීම නිසා උරණ වූ බිස්මාර්ක් දොරගුළු ලූ කාමරය තුලට ජනේලයකින් වෙඩි තැබීමට වන. අමුත්තෝ ඇඳන් වලින් පැන බිම දිගා වූහ. එදිරිවාදී කම් අත්හිටවුනේ ලීයක අමුණන ලද සුදු ලේන්සුවක් වහා ජනේලයෙන් ඉහලට එසවීමෙන් අනතුරුවයි. මිනිස් ඇසුරින් වඩාත් ඈත්වූ බිස්මාර්ක් තම සුනඛයන් දෙදෙනා සමඟ වතුයාය තුල හුදෙකලා වෙද්දී ඔහු අනුමාන කල පරිදිම රුසියාව හා ප්රංශය අතර ද්විත්ව සන්ධානයක් ඇති විය. හදිසි ජර්මන් ආක්‍රමණයකදී එකිනෙකාට උපකාර කිරීමට 1894 දී බලවතුන් දෙදෙනා ගිවිස ගත්හ. ඒ සමඟ යුරෝපය බල කඳවුරු දෙකකට බෙදී ගියේය. ඊලඟ යුද්ධයේදී ජර්මනියට පෙරමුණු දෙකක සටන් කිරීමට සිදුවනු ඇති බව කිසිදු සැකයක් නොවීය. ජර්මන්ය පෙරදිගින් හා බටහිරින් සතුරන් විසින් වටකරනු ලැබ සිටි අතර ඇගේ අස්ථිර සගයා වූ ඔස්ට්‍රියා-හංගේරිය වාර්ගික ගැටළුවෙන් පීඩා විඳිමින් සිටියාය. හය වන සියවසේ පටන් බොහිමියානු ඈපා වසමේ විසූ චෙක් බස වහරන්නෝ ජර්මන් හා හන්ගේරියන් රාජ්‍ය භාෂා අතර සමතැන ඉල්ලා උද්ඝෝෂණය කරති. දුසිමක් වූ සෙසු ජාතීන්ටද තමාගේ බසින් උගෙනුම ලැබීමට මෙන්ම එදිනෙදා කටයුතු වෙල යෙදීමට ආශාවක් ඇති වීම ස්වභාවිකය. මීට එක හෙලා විරුද්ධ වූ ජර්මන් ජාතිවාදීහූ හැබ්ස්බර්ග් වරු සිය පැවැත්ම තකා ජාතික උරුමය සුළු ජාතීන්ට පාවාදෙන්නේ යැයි චෝදනා නැඟූහ. මේ හේතුවෙන් පරිපාලනමය අවුල්ජාලයක් වූ බහුජාතික අධිරාජ්ය ය දේශපාලන වශයෙන් සමාන වූයේ පිපිරී යාමට ආසන්න යමහලකටය. ජර්මන්, හංගේරියන් හා චෙක් භාෂා චතුර ලෙස වැහැරූ ඔස්ට්‍රියාවේ අසරණ ෆ්රාන්ස් ජෝසොෆ් අධිරාජයාට මේ වන විට පෝලිෂ්, ක්‍රෝට්, සර්බ් හා ඉතාලි භාෂා ද උගෙනීමට සිදුව තිබිණ. කිසියම් ජන කොටසක් පාලනය කිරීමට නම් පළමුව ඔවුන්ගේ බස වැහැරිය යුතු බව හේ සිතයි. හැබ්ස්බර්ග් වරුන්ට සේවය කිරීම සඳහා සිය ජීවිතයෙන් අඩකට වඩා කැපකල සුළු රේගු මුළාදෑනී ඇලොයිස් හිට්ලර් ද 1895 දී විශ්‍රාම ලැබීය. හය හැවිරිදි ඇඩොල්ෆ් හිට්ලර් මව සමඟ පල්ලියේ ඉරිදා මෙහෙයට සහභාගී වූ කාලයයි ඒ.

Chamara Siriwardene

ජර්මන් අධිරාජ්යය නිර්මාණය කල මහා රාජ්යතාන්ත්රිකයා -ඔටෝ වොන් බිස්මාර්ක්

යුරෝපයේ නැපෝලියන් ගේ බොනපාර්ට් ගේ පසුබෑමෙන් ධෛර්යමත් ව සිටි ඉංග්රීසීහූ 1815 ආරම්භයේ සෙංකඩගල රාජධානිය ආක්රමණය කලහ. ඉංග්රීසීන්ගේ උපකාරයෙන් මලබාර් රජු පන්නා දමා සිංහල රාජාණ්ඩුවක් පිහිටුවීම උඩරට අධිපතීන්ගේ අරමුණ වුවද මාර්තු 02 දා අත්සන් කල ගිවිසුමේ කොන්දේසි අනුව පෙනී ගියේ යටත් විජිත තත්වයක් විනා සිංහලයන්ට ස්වයං පාලනයක් ලබා දීමේ කිසිදු අදහසක් බ්රිතාන්යයන් තුල නුවූ බවයි. විශාලතම යුරෝපීය බලවතා විසින් භේදබින්නව සිටි කුඩා ආසියාතික ජාතිකයක් නින්දිත ලෙස රවටනු ලැබ තිබිණ. ඉතිහාසයේ තවත් වරක් ඉඟුරු දී මිරිස් ගත් බව පසක් කොටගත් ලංකාවේ උඩරට අධිපතීන් කල මෝඩකම ගැන පසුතැවෙමින් සිටි ඒ වසරේ අප්රේල් 01 දා ප්රසියාවේ සැක්සනි පලාතේදී වංචනික ඉංග්රීසීන්ගේ අනාගත ප්රතිවාදියාවූ ඔටෝ වොන් බිස්මාර්ක් උපත ලැබීය. නැගෙනහිර ප්රසියානු ඉඩම්හිමි ප්රභූ පෙලැන්තියෙන් නොහොත් ජුන්කර් පෙලපතකින් පැවතෙන බිස්මාර්ක්, කුඩා කල පටන්ම වචනයේ පරිසමාප්ති අර්ථයෙන්ම රදලයෙකි. ඔහු හොඳින් කෑවේය බීවේය, ඇඳ පැලඳ සිටියේය. මනා අධ්යාපනයක් ලද ඔහු සියබසට අමතරව ඉංග්රීසි, ප්රංශ, ඉතාලි, පෝලිෂ්, හා රුසියන් භාෂා ද ව්යක්ත ලෙස හැසිරවීය. අනතුරුව නීතිය හැදෑරූ බිස්මාර්ක් කිසිදිනෙක නීතීඥයකු වීමට අදහස් නොකලෙය. ජුන්කර් චින්තනයට අනුව පෙරකදෝරු කම යනු ප්රභූ වරුනට කොහෙත්ම නොහොබිනා සුළු ධනපති වෘත්තියකි. අනතුරුව අධිකරණ කාර්යාලයක පරිපාලන තනතුරක් දැරූ ඔහු නොබෝ කලෙකින් එයිනුදු ඉවත් විය. “මම සංගීතය සපයන්නෙ මට පෙරමුණු වයලීනය වයන්න හම්බවෙනව නම් විතරයි. නැත්නම් මම වයන්නෙ නෑ…” එ ඔහු තම තීරනය මිතුරකුට පැහැදිලි කල ආකාරයයි. වයස 30 දී බිස්මාර්ක් පෙනුනේ බලාපොරොත්තු සුන් වූවකු ලෙසටය. ඔහුට හරිහමන් සැලැස්මක් හෝ ඉලක්කයක් නොවීය. හේ තරමක් බීමටද ඇබ්බැහි විය. මෙම තත්වය වෙනස් කලේ ඔහුගේ විවාහයයි. මනාලිය වූ ජොහානා පුට්කැමර් ඉහල පසුබිමකින් පැමිනෙන ප්රීතිමත් තරුණියක් වූවාය. ඈ ඇදහූ ඉහල පන්තියේ ක්රිස්තියානි කිකායකට ඉමහත් කැමැත්තෙන් එක්වූ ඔහුට ඒ හරහා රාජකීයයන් හා රාජ්යතාන්ත්රිකයන් රැසක් දැන හදුනාගැනීමට ලද අවස්ථාව බිස්මාර්ක්ගේ අනාගත දේශපාලන් අජීවිතයේ ආරම්භය ලෙස සැලකිය හැක. නිකායේ ඉහල සබඳතා වලට පින්සිදු වන්නට මෙ තාක් හුදෙකලා ජුන්කරයකු වූ බිස්මාර්ක්ට 1847 වසරේ දී ප්රසියානු පාර්ලිමේන්තුවේ අසුනක් පිරි නමන ලදී. එවිට ඔහුගේ වයස 32කි. කුඩා කල පටන් තිබූ කථන හැකියාව මෙහිදී ඔහුට ඉමහත් පිටිවහලක් වූවාට නිසැකය. එහෙත් බිස්මාර්ක් ජනප්රිය දේශපාලඥයෙකු නොවීය. සෑම ලිබරල් වාදී යෝජනාවකටම නිර්දය විරුද්ධවූ ඔහු ප්රතිගාමියෙකු ලෙස ප්රසිද්ධියක් ඉසිලීය. සභාවේ කොන්සර්වෙටිව් පිල පවා බිස්මාර්ක් කෙරේ සැකයෙන් පසුවූහ. ඔවුන්ගේ මතය වූයේ ස්ථිර පිළිවෙතක් නුවූ බිස්මාර්ක් අවශ්යතාව අනුව තම මාර්ගය තෝරා ගන්නා බවය. මේ 1740 මහා ෆෙඩ්රික් රජු අනුගමනය කල උපායයි. 1848 ප්රසියාවේ මහා විප්ලවයක් ඇතිවිය. බර්ලිනයේ බලය අල්ලාගත් ලිබරල් වාදීහූ ප්රතිසංස්කරණ ඉල්ලා වීථි දෙවනත් කල අතර බිස්මාර්ක් සෘජුවම රජුට සහාය පල කලේය. නොබෝ දිනකින් ප්රතිසංවිධානය වූ කොන්සර්වේටිව් වරු විසින් විපල්වය මැඩලූ අතර බිස්මාර්ක් මේ වන විට හෝහන්සෝර්ලන් රජවාසලේ අවධානයට ලක්ව සිටියේය. අනතුරුව ඔහු පාර්ලිමෙන්තු අසුනින් ඉල්ලා අස්වූයේ රාජ්යතාන්ත්රික නිලයක් භාර ගනු සඳහාය. මෙ වනවිටත් ප්රසියාව යුරෝපයේ එතරම් වැදගත් නොවන කුඩා රාජ්යයකි. ක්රිමියානු යුද්දයෙන් අනතුරු ව පැවති ශමථ සාකච්ඡා සඳහා බර්ලිනයට ආරාදනා පවා ලැබී නොතිබිණ. ප්රසියාව, බැවේරියාව, සැක්සනිය, රයින්ලන්තය හැනොවරය යනාදී වූ ජර්මන් රාජ්ය සමූහයේ නායකත්වය මෙ වනවිට දැරුවේ ඔස්ට්රියාවයි. බිස්මාර්ක්ගේ උපාය වූයේ පළමුව ප්රංශය හා රුසියාව සමඟ සබදතා තරකොට ගැනීමය. එමඟින් එ දෙරට අතර ස්අන්දානයක් ඇතිවීම වැලැක්වීමට ඔහු අපෙක්ෂා කලේය. 1858 ඔහු රුසියාවේ තානාපති ලෙස පත් කොට යවන ලදී. එහෙත් සක්රිය හමුදා සෙවයේ නොසිටීම නිසා නිළයට අදාල මෙජර්-ජනරාල් තනතුර ඔහුට ලැබුනෙ නැත. බොහෝ විට ප්රසියානු හා රුසියානු රජවරු තානාපති මාර්ග වෙනුවට යුද මුලාදෑනීන් හරහා සෘජු පණිවුඩ හුවමාරුවට හුරුව සිටි බැවින් මෙය බිස්මාර්ක්ට මහ මදිකමක් විය. ප්රසියාව මෙ වන විට ලහි ලහියේ සිය හමුදා ප්රතිසංවිධානය කරමින් සිටියාය. සෙනෙවි ම්ණ්ඩල ප්රධානි හෙල්මුත් වොන් මෝල්ට්කේ ගේ ඉලක්කය වූයේ හමුදා සන්නිවෙදනය සදහා ටෙලිග්රපික් තාක්ස්ෂණයද ප්රවාහනය සඳහා පුළුල්ක් දුම්රිය මාර්ග පද්ධතියද යොදා ගෙනීම තුලින් මීලඟ යුද්ධය ජය ගැනීමයි. එහෙත් පාර්ලිමේන්තුවේ ලිබරල් වදීහූආතිරේක යුද අයවැය අනුමත කිරීම ප්රතික්ෂේප කලහ. රජු බෙහෙවින් කෝප වුවද ඔහුට කල හැකි දෙයක්ද නොවීය. යුද ඇමති ඇල්බර්ච්ට් වොන් රූන් කියා සිටියේ මෙම ආරවුල විසඳීමට හැකි එකම පුද්ගලයා බිස්මාර්ක් පමණක් බවය. එ අසා ජුන්කරයා රුසියාවේ සිට යලි කැඳවූ රජු ඔහු රාජකීය චාන්ස්ලර් ධුරයට පත් කලේය. ප්රසියානු ව්යවස්ථාව අනුව යම් අණ පණත සම්මත වීම සඳහා ව්යවස්ථාදායකයේ මෙන්ම කිරීටයේද අනුමැතිය අවශ්යය. යුද අයවැය සඳහා ලිබරල් වරුන් අසුපස යාමට නොසිතූ බිස්මාර්ක් ඔවුන් පණතට එරෙහිවීම නිසා අනුමත වී නොමැත යන පදනම මත කලින් වසරේ අයවැය ඉදිරි වසර සඳහාද යොදා ගන්නා බව කීවේය. නීතියෙන් ඒ සඳහ ඉඩකඩ තිබිණ. රජු බිස්මාර්ක් කෙරේ ඇතිකොටගත්තේ පැහැදීමකි. එහෙත් ඔහු ඉතිහසගත වීමට හේතුවූයේ චාන්ස්ලර් ධුරයට පත්ව අට දිනකින් ඔහු ව්යවස්ථාදායකය අමතා කල කථාවයි. “ප්රසියාව අද දවසෙ මුහුන පාන ගැටළු විසඳිය හැක්කෙ ලෙයින් හා යකඩින් මිස දේශන හෝ විවාද තුලින් නොවේ. 1848 දී අපිට වැරදුනේද මෙතෙනය…” ලිබරල් වරු දුර්මුඛ වූ අතර බිස්මාර්ක් ‘අයෝමය චාන්ස්ලර්’ යන විරුදාවලි ලැබීය.

1863 දී ඩෙන්මාර්කට ෂ්ලෙස්විග් ගා හොල්ස්ටයින් යන ජර්මන් ඈපා වසම් ඈඳා ගත්තාය. ජර්මන් සංසදයේ නායකත්වය දැරූ ඔස්ට්රියාව යුද්දය සදහා පොළොඹවා ගැනීමට මබිස්මාර්ක් සමත්විය. ඩෙන්මාර්කය පරාජය කෙරුන අතර ඈපා වසම් දෙක ඔස්ට්රියන්-ප්රසිය දෙබෑයන් අතර බෙදා ගන්නා ලදී. 1866 දී ඔහු ඔස්ට්රියාව හා යුද වෙඅදීමට හෙතුවක් කොටගත්තේ දෙවැන්නා විසින් මෙම ශමථය එකපාර්ෂ්විකව ඉරා දැමීමයි. ජර්මන් ස්අංසදයේ රටවල සහාය ඔස්ට්රියාවට හිමි වුවද වොන් මෝල්ට්කේ විසින් විද්යානුකූලව පුහුණු කොට තිබූ ප්රසියන් හමුදාවේ සංවිධාන ශක්තියත්, සෙනෙවි මන්ඩලයේ විශිෂ්ඨ  මෙහෙයවීමත්, දුම්රිය මාර්ග පද්දතියේ ජංගමශීලී තාවයත්, ටෙලෙග්රපික් සන්නිවේදනයේ වාසියත් මත ක්ෂණිකබ ඔස්ට්රියාව පරාජය කිරීමට ප්රසියාවට හැකිවිය. අනතුරුව වෙනත් බලවේග මැදිහත් කිරීමට පෙර පරාජිතයා හා ලිහිල් කොන්ද්සි මත සාමය ඇතිකොටගත් හේ  ඔස්ට්රියාව නායකත්වය දැරූ ජර්මන් රාජ්ය සංසදය විසුරුවා හැර ඒ වෙනුවට ප්රසියානු නායකත්වයෙන්  උතුරු ජර්මන් රාජ්ය සංසදය පිහිටුවීය. මින් මත්තට ප්රසියාවේ කටයුතුවලට මැදිහත් නොවීමට ඔස්ට්රියාව පොරොන්දු වූවාය. මෙ වන විට කඩදාසි ගෙයක් බඳුවූ  සිය බහු ජාතික අධිරාජ්යයේ ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා යාබද හංන්ගේරියානු රාජදානිය සමඟ ද්විත්ව-රාජාණ්ඩුවක් පිහිටවූ  ඈ ජර්මන් වාසභූමි මත  ප්රසියාවේ අධිකාරිය පිළි ගත්තාය. වඩාත් වැඩගත් වූයේ  බිස්මාර්ක් මෙම තීරණාත්මක ජය ප්රසියාවට ගෙන දුන්නේ තමා පසුපස දේශපාලන හෝ හමුදාමය හෝ වෙනත් බලස්වෙගයක් නොමැතිඉ හුදකලා රාජ්යතාන්ත්රිකයකු ලෙස වීමය. යුද්දයෙන් පසු ඔහුට  මේජර් ජනරාල් තනතුර ද ප්රදානය කරන ලදී. අනතුරුව ඔහු බොහෝ විට පෙනී සිටියේ හමුදා ඇඳුමිනි.  

මධ්යම යුරෝපයේ ජර්මන් ආධිපත්යය ඔස්ට්රියන් හැබ්ස්බර්ග් වරුන් අතින් ප්රසියන් හෝහන්සෝර්ලන් වරු අතට පත්වීමෙන් වඩාත්ම කලබලයට පත්වූයේ ප්රංශයයි. නිවාරණය යුද්ධයක් හරහා යුද කාමී ප්රසියාව කල් ඇතිවම මැඩලීමට බොනපාර්ට්ගේ බෑනා වූ තුන්වන නැපෝලියන් අධිරාජයා අදහස් කලේය. නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරොවෙන් කැපිය යුත්තේ මන්ද? එහෙත් ඒ සඳහා යුක්ති යුක්ත හේතුවක් ඔහුට නොතිබිණ. හෝහන්සෝර්ලන් රාජ වාංශිකයෙක් වූ ලියෝපෝල්ඩ් කුමරා ස්පාඥ්ඥයේ කිරුලට නම් කෙරුනේ ඔය අතරේය. ප්රංශය ඒ පිළිබඳ සිය දැඩි විරෝධය පලකොට සිටියාය. මහාද්වීපය තුල ඒ වනවිටත් පමණට වඩා බලවත් ව සිටි ප්රසියාව හා ස්පාඥඥය අතර හවුලක් ගොඩ නැඟෙනු ඇතැයි පැරිසිය බියෙන් පසුවේ. නිකරුණේ ආරවුලක් ඇති වීම වලක්වනු වස් අපේක්ෂකත්වයෙන් ඉවත් වන මෙන් සිය ඥාති වරයාට උපදෙස් දුන් ප්රසියාවේ පළමුවන විල්හෙල්ම් කාරණාව එතැකින් සමාප්ත වූ ලෙස සැලකීය. රජු අනුගමනය ලිහිල් පිළිවෙත ගැන අමනාපයෙන් සිටි බිස්මාර්ක් පසුවූ‍යේ ඉල්ලා අස්වීමට සූදානමිනි. 1870 ජුලි 13 දා ප්ර සියාවේ යුද ඇමති ඇල්බර්ච්ට් වොන් රූන් හා සෙනෙවි මණ්ඩල ප්රතධානී මෝල්ට්කේ සමඟ රෑ කෑම ගනිමින් සිටි ඔහුට අසන්නට ලැබුනේ ලද විසඳුමෙන් සෑහීමකට පත් නොවී මතු කිසිදා හෝහන්සෝර්ලන් වරයෙක් ස්පාඥ්ඥ කිරුලට හිමිකම් නොකියන බවට අතිරේක සහතියක් ඉල්ලාගෙන ප්රංනශ තානාපතියා නැවත පැමිණියද රජු විසින් හරවා යවා ඇති බවයි. සුළු තුලින් එම පුවතේ අර්ථය මුළුමනින්ම වෙනස් කොට පැරිසිය තවදුරටත් ප්ර කෝප කොට හැකි බව ඔහුට පෙණින. ප්රං.ශයේ නුසුදුසු ඉල්ලීම් ප්රථසියාවේ රජු විසින් කොටින් ප්රවතික්ෂෙප කොට ඇතැයි ඔහු නිවේදනය කලේය. පසුවදා යුරෝපය පුරා පුවත්පත් සිරස්තල වලට පාදක වූයේ හෝහෙන්සෝර්ලන් මැදුරේදී පැරිස් නියෝජිතයා අවමානයට පත්වීමයි. සිය ගෞරවය කෙලෙසනු ලැබී යැයි උරණ වූ ප්රංයශය පස් දිනකින් ප්ර සියාවට එරෙහිව යුද ප්රීකාශ කලාය. මේ බව ඇසූ බැවේරියාව, බෑඩ්න් හා හැසේ ඇතුළු උතුරු ජර්මන් ඒකාබද්ධ සංගමයට අයත් නුවූ දකුණු දිග පලාත්ද ප්රවසියාව යටතේ එක්සත් වූහ. බිස්මාර්ක් ඉතා සූක්ෂම ලෙස තමාට අවැසිව තිබූ වාතාවරණය සකසා ගත්තේ ආක්ර මණිකයා ප්රංරශය යැයි ලොවට හැඟෙන ආකාරයටය. යුද්ධයට තමා සූදානම් යැයි තුන්වන නැපෝලියන් හමුවේ කාබී නිතර පම්පෝරි ගැසූ ප්රංාශ ජනරාල් වරු ප්ර සියන් සෙනෙවි මණඩලයේ උපා උපක්රනම හඳුනා ගැනීමෙහිලා අපොහොසත් වූහ. අවසන් මිනිත්තුව දක්වා කලින් නිර්ණය කල නිශ්චිත සැලැස්මකට අනුව යුද්ධයට එලැඹි ප්ර සියන් ඩිවිෂන 30කට එරෙහිව ඔවුනට කැඳවිය හැකි වූයේ ප්රංයශ ඩිවිෂණ 16 ක් පමණි. පෙරමුණු සටන් වල යෙදෙනු වෙනුවට මෝල්ට්කේ විසින් හඳුන්වාදුන් සතුරා දෙපසින් වැටලීමේ උපාය බෙහෙවින් සාර්ථක විය. සේඩන් හි සිදුවූ මහ සටනකට පසු ප්රංිශයේ තුන්වන නැපෝලියන් අධිරාජයා සිරභාරයට පත් වූයේ මාමා මෙන් තනිව නොව භටයින් ලක්ෂයක්ද සමඟය. දෙවන ප්රංසශ අධිරාජ්ය ය ඇද වැටිණ. බිස්මාර්ක්ට සාමය උවමනා වුවද ඊට හරහට හිටියේ සාම සාකච්ඡා පැවැත්වීම සඳහා හෝ පැරිසියේ පිළිගත හැකි රජයක් ඒ වන විට නොතිබීමයි. 1871 ජනවාරි 18 දා ජර්මන් පලාත් රාජ්ය නියෝජිතයන් පරාජිත ප්රංශයේ වර්සෙල්ස් මැදුරේ ‘දර්පන ශාලාවට’ රැස් කරවූ බිස්මාර්ක් ප්රසියාවේ පළමුවන විල්හෙල්ම් රජු ‘කයිසර් ’ ලෙස කිරුළු පැලඳවීය. ඔස්ට්රියාව හිතාමතාම බැහැර කරමින් යුරෝපයේ මහා ජර්මන් අධිරාජ්යය ප්රකාශයට පත් කරන ලදී. යුරෝපීය බලවතුන් ගේ ප්රධානත්වයෙන් 1878 බර්ලින් නුවරදී කැඳවුන සමුළුවේ අරමුණ වූයේ තුර්කිය පරාජය කිරීමෙන් පසු බෝල්කන් කලාපය තුල පෙර නොවිරූ ලෙස ඉහල ගිය රුසියානු බලය සමනය කිරීමය. නැගී එන සර්ව ස්ලාව් බෙදුම් වාදය විසින් යුරෝපය අස්ථාවර කරනු ඇතයි බ්රිතාන්යය හා ප්රංශය බියෙන් පසුවූහ. සමුළුවේ සත්කාරක රට වූ අහිනව ජර්මනිය මධ්යස්ථ පිළිවෙතක් අනුගමනය කලාය. බිස්මාර්ක්ගේ අරමුණ වූයේ තමාට අහිතකර නුවූ පැවති බලතුලනය ඒ ආකරයෙන්ම පවත්වා ගැනීමයි. ඒ අරමුණ සාර්ථක වුවද ටයිරස් නැමති බිස්මාර්ක්ගේ සුනඛයා ගේ හැසිරීම හේතුවෙන් තව පොඩ්ඩෙන් එම වෑයම මුළුමනින්ම කඩකප්පල් වීමටද ඉඩ තිබිණ. ද්විපාර්ශ්වික සාකච්ඡා අතරතුරදී ‘ඩෑන්ස්’ වර්ගයට අයත් දැවැන්ත සුනඛයා රුසියානු අගමැති ඇලෙක්සැන්ඩර් ගොර්චෙකොව් කුමාරයා වෙත හදිසියේ පිනුවේ ඔහු පල කල අංග චලනයන් තම ස්වාමියාට එල්ලවිය හැකි ශාරීරික ප්රහාරයක පෙර ලකුණු ලෙස සැක කරමිනි. කලිසම ඉරීයාම හැරුන කොට වෙනත් හානියක් රාජ්යතාන්ත්රිකයාට සිදු නුවූයෙන් යුරෝපයේ සාමය තවදුරටත් ආරක්ෂා විය. බිස්මාර්ක්ගේ රීතිය වූයේ බලවතුන් පස් දෙනෙකු අතර පිල් බෙදීමකදී ඕනෑම පිලක තුන්වන සාමාජිකයා ලෙස එක් වීමය. 1879 දී බිස්මාර්ක් ඔස්ට්රිුයා-හංගේරිය සමඟ දිවිත්ව සන්ධානයකට එලැඹි හේ රුසියාව සමඟ ද ප්රුති ආරක්ෂණ ගිවිසුමකට එලැඹියේ රුසියව හා තම පරම සතුරා වූ ප්රංශය අතර එකඟත්වයක් ඇති වීමේ ඉඩකඩ අවහිර කරනු පිණිසය. රුසියාව හා ඔස්ට්රි යාව අතර හෝ ජර්මනිය හා ප්රංපශය අතර හෝ ඇතිවන ගැටුමකදී හැර, අන් විටෙකදී එක් පාර්ශ්වයක් යුරෝපීය බලවතෙකු සමඟ යුද වැදුනහොත් අනෙත් පාර්ශ්වය මධ්ය්ස්ථව සිටීමට එමගින් ගිවිස ගනු ලැබීය. නො එසෙ වී නම් ජර්මනියට පෙරමුණු දෙකක යුද්ධයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි බිස්මාර්ක් තුල විශාල බියක් තිබිණ. මෙ වන විට ජර්මන් විදෙස් පිළිවෙත මුළුමනින්ම මෙහෙයවන ලද්දේ ඔහු විසිනි. තමා කෙන්ද්රාකොටගත් දැඩි නිලදාරිවාදයක් ගොඩ නැංවූ අයෝමය චාන්ස්ලර් තැන දැන් අධිරාජයා නොතකා කටයුතු කලේය. “බිස්මාර්ක් යටතෙ රජකම් කරන එකත් ලෙසි වැඩක් නෙවෙයි,” අදිරාජයා සිය හිතවතුන් හා එකල මැසිවිලි කී බව ප්රකටය. සියල්ල උඩු යටිකුරු වූයේ 1888 දී දෙවන විල්හෙල්ම් කුමාරයා ‘කයිසාර්’ ලෙස කිරුළු පැළඳීමත් සමගයි. රුසියාව හා රාජ්යලතාන්ත්රිටක එකඟත්වයක් මත පිහිටා කටයුතු කිරීමේ බිස්මාර්ක් පිළිවෙත තරයේ විරුද්ධ වූ තරුණ හෝහන්සෝර්ලන් අධිරාජයා තනි ජර්මන් ආධිපත්යමයට නතුවූ යුරෝපයක් දැකීමට පෙරුම් පිරුවේය. “පේන විදියට නම් රාජකීය කොල්ලට දැන් ඕන වෙලා තියෙන්නෙ රුසියාවත් එක්ක යුද්දෙක පැටලෙන්න වගේ. හැබැයි මම ඕවට නෑ,” බිස්මාර්ක් කෙඳිරුවේ තම ඇජුටන්ට් තැන සමඟය. එතැන් පටන් ඔහු හැකි උපරිම වෙරදරා දෙවන විල්හෙල්ම්ට අකුල් හෙලීය. දක්ෂ රාජ්යතාන්ත්රිකයකු වුවද බිස්මාර්ක් තරමක් කුඩුකේඩු මහල්ලෙකි. බර්ලිනයට සැතපුම් තුන් සියයක් දකුණින් දේශ සීමාවේ පිහිටි බෲනෝ-ඈම් හි ඇඩොල්ෆ් හිට්ලර් මෙලොව එළිය දකින විට ජර්මන් අධිරාජ්ය්යේ නිර්මාතෘ බිස්මාර්ක්ගේ වයස හැත්තෑ පහකි. ස්නායු දුර්වලත්වයෙන් පෙළුන ඔහු දැන් නිතර නිතර කිපෙයි. බිරිඳ හැර අන් කිසිවෙකු මහළු කුමාරයා හා පයිරු පාසානමට කැමැති නැත. 1890 මාර්තුවේදී බිස්මාර්ක් දෙවන විල්හෙල්ම් සමඟද සණ්ඩු කළේය. දබරයට මුල්වූයේ අධිරාජයාට නොදන්වා කතෝලික පක්ෂය සමඟ සන්ධානයකට එළැඹීමට දැරුන උත්සාහයකි. පාර්ලිමේන්තු බහුතරය සඳහා ඕනෑම කණ්ඩායමක් සමඟ එකඟත්වයකට එලැඹීමට තමාට බලයක් ඇතැයි තර්ක කල බිස්මාර්ක් එහිදී කයිසාර්ට එරෙහිව ඉතා අනුචිත පෞද්ගලික අවලාද නැඟුවේ ගරුසරු නැති අන්දමයට. රුසියාවේ හිටපු සාර් වූ තුන්වන ඇලෙක්සැන්ඩර් විසින් තමාට එවන ලද ලිපියක් ද එහිදී ඔහු සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීමට සූදානම් විය. “ඔබවහන්සෙ පොඩි කාලෙ හරියට හදල නැහැ!” එබස් අසා නොසෑහෙන උදහස් වූ තරුණ කයිසාර් තැන තනතුරින් ඉල්ලා අස්වන ලෙස බිස්මාර්ක්ට අණ කලේය. ජර්මන් අධිරාජ්ය්යේ චාන්ස්ලර් ගේ බලය මුළුමනින් රඳා පැවතියේ පාර්ලිමේන්තු බහුතරය නොව අධිරාජයාගේ විශ්වාසය මතය. බ්රි තාන්ය්යේ ‘පන්ච්’ සඟරාව සිද්ධිය අර්ථ දක්වමින් කියා සිටියේ කප්පිත්තා නැව හැර ගිය බවයි. තෙමසකින් රුසියාව සමඟ ඇතිකොට ගෙන තිබූ ප්රසතිආරක්ෂණ ගිවිසුම කල් ඉකුත් වුවද කයිසාර් නොවේ එය අළුත් කිරීමට කැමති උනේ. බිස්මාර්ක්ගේ අවවාද අනුශාසනා තවදුරටත් කිසිවෙකු නොපැතූහ. බලවත් සිත් වේදනාවට පත් ජුන්කරයා දේශපාලනයෙන් විශ්රාවම ගෙන වත්මන් උතුරු පෝලන්තයේ වර්සින් හි පිහිටි තම වතුයාය බලා යන්නට ගියේය. ඔහුගේ ස්වභාවය වඩාත් තිත්ත පරුෂ විය. වරක් තම මාලිගයේ අමුත්තන් ලෙස රැය ගත කල මිතුරන් දෙදෙනෙක් කලින් කතිකා කොටගත් පරිදි හිමිදිරියේ දඩයමේ යනු පිණිස අවදි නොවීම නිසා උරණ වූ බිස්මාර්ක් ඔවුන් නිදා සිටි දොරගුළු ලූ කාමරය තුලට ජනේලයකින් වෙඩි තැබීමට වන. අමුත්තෝ පණ බේරාගනු වස් ඇඳන් වලින් පැන බිම දිගා වූහ. එදිරිවාදී කම් අත්හිටවුනේ ලීයක අමුණන ලද සුදු ලේන්සුවක් වහා ජනේලයෙන් ඉහලට එසවීමෙන් අනතුරුවයි. මිනිස් ඇසුරින් වඩාත් ඈත්වූ බිස්මාර්ක් තම සුනඛයන් දෙදෙනා සමඟ වතුයාය තුල හුදෙකලා වෙද්දී ඔහු අනුමාන කල පරිදිම රුසියාව හා ප්රංශය අතර ද්විත්ව සන්ධානයක් ඇති විය. ජර්මන් ආක්රවමණයකදී එකිනෙකාට උපකාර කිරීමට 1894 දී බලවතුන් දෙදෙනා ගිවිස ගත්හ. ඒ සමඟ යුරෝපය බල කඳවුරු දෙකකට බෙදී ගියේය. ඊලඟ යුද්ධයේදී ජර්මනියට පෙරමුණු දෙකක සටන් කිරීමට සිදුවනු ඇති බව කිසිදු සැකයක් නොවීය. සිය වතුයායට වී සුනඛයන් හා හුදෙකලාවේ පසුවූ හිටපු ‘අයෝමය චාන්ස්ලර්’ බිස්මාර්ක් දෙපා කෝඨයට ගොදුරුව සිටියේය. මේ හේතුවෙන් එක්තැන් වුවද ඔහු නොවේ වෙදෙක් කැඳවීමට කැමති උනේ. මරණ මංචකයේ ඔහුගේ පසුතැවිල්ල වූයේ විසි වසරකට පෙර මිය ගොස් සිටි සුල්තාන් නැමති සුනඛයාට වඩාත් හොඳින් සැලකීමට තමාට නොහැකිවීම ගැනය. 1898 දී ඔහු මිය ගියේ මහ භයානක අනාවැකියක් ද පල කරමිනි. “මහා ෆෙඩ්රික් රජු මැරිල විසි අවුරුද්දකින් ප්රසියාව ජෙනා සටනින් පරාජය උනා වගේ මේ විදියට තව විසි අවුරුද්දක් ගියොත් ජර්මනියට ආපහු වෙන්නෙත් ඒ සන්තෑසියම තමයි.…” බිස්මාර්ක්ගේ ඒ අනුමානය නිවැරදි බව ඉතිහාසය විසින් ඔප්පු කොට හමාරය. Chamara Siriwardene

thumb|වම|Prince von Bismarck - the Iron Chancellor

ගොනුව:Bismarck in retirement with dogs.jpg
Bismarck in retirement with dogs

thumb|මධ්‍යය|Bismarck on deathbed thumb|මධ්‍යය|Dropping the Pilot - Bismarck's resignation

හිට්ලර්

හිට්ලර් ගේ ළමා කාලය (1889-1903)

Chamara Siriwardene

බෲනෝ-ඈම්-ඉන් නැමති වයඹ දිග ඔස්ට්‍රියාවේ ජර්මන් දේශසීමාව මත වූ කුඩා නගරයට 1889 අප්‍රේල් 20 වැනි දා වැහිබර සෙනසුරාදාවකි. වර්ග සැතපුම් දහයක් වූ එහි බහුලව වෙසෙන වාර්ගික ජර්මන් වරු සූදානම් වෙමින් සිටියේ පසු දිනට එලැඹෙන පාස්කු මංගල්‍යය සඳහාය. ‘ඉන්’ නදිය හරහා ඔස්ට්‍රියාව හා අසල්වැසි ජර්මනියේ බැවේරියානු ප්‍රාන්තය යාකෙරෙන දැවැන්ත යකඩ පාලමක් ඇත. අසල වූ වොර්ස්ටැඩ් වීථියේ තට්ටු ගොඩනැගිල්ලක ඉහල මාලයේ කැරකැවූ උඩු රැවුලක් සහිත මැදිවියේ බේබදු රේගු මුළාදෑනියෙක් පදිංචිව සිටී. ඔහුගේ නම ඇලොයිස් හිට්ලර්ය. ලෙඩ රෝග වලට ගොදුරු වීම නිසා වැඩිමහල් දරුවන් තිදෙනාම ඔවුන් කුඩා කලම අහිමිව සිටි ඔහුගේ තරුණ තෙවැනි බිරිඳ එදින සවස් යාමයේ තවත් පුතකු වැදුවාය. අඩු බරින් යුත් දරුවා දුර්වලය. ප්‍රසූතියට අධාර පිණිස ගෙන්වාගත් තරමක් අඥාන වින්නඹුව අළුත උපන් බිළිඳා උපන්ගෙයිම මිය යනු ඇතැයි නිකරුනේ සැක පහළ කළේ එතැන් පටන් සතලිස් වසක් ගතවූ තැන ඔහු රට ආණ්ඩු කරන වග නොදැනයි. කතෝලික පල්ලියේ බෞතීස්ම ලේඛණයට අනුව ඔහුගේ නම ලියාපදිංචි වූයේ ඇඩොල්ෆ් හිට්ලර් ලෙසය. දරුවා සිය මවගේ නිල් පැහැති ගැඹුරු දෑස උරුම කොටගෙන සිටියේය.

නොබෝ කලකින්ම රේගු නිළධාරී ඇලොයිස් හිට්ලර් සිය පවුල සමඟ ඩැනියුබ් ගඟ අසබඩ පිහිටි රමණීය නගරයක් වූ ලින්ස් හි පදිංචියට පැමිණියේය. ඔවුන් පදිංචි වූයේ හැම්බෝල්ඩ්ට් වීථියේ අංක 31 දරණ ස්ථානයේ වූ නිවසක තෙවැනි මහලේය. ජීවීතයේ නිරන්තර වෙනස් කම් සඳහා වූ ආශාව ඇලොයිස් හිට්ලර් තුල වූ උමතුවක් වැන්න. හේ සිය පවුල් සංස්ථාව තෙවරක්ම යලි හැඩගැන්වීය. තමාට වඩා විසිතුන් අවුරුද්දක් වයසින් බාල තෙවැනි මනාලිය නෑ කමින් ලේලියක් වූ බැවින් විවාහය සඳහාමැවර පල්ලියේ විශේෂ අවසරය පැතීමටද ඔහුට සිදු විය. හමුදා කපිතන් වරයකුට සමාන තම නිළය නිසා බොහෝ හිස උදුම්මවාගෙන සිටි ඔහු සැර පරුෂය; කිපෙන සුළුය. 1896 ඔහුගේ බිරිඳ දියණියක් ද වැදුවාය. නිහඬ ලස්සන දැරියක් ඇගේ නම වූයේ පෝලාය. පසු කළෙක හිට්ලර් තමාගේ උපන් ගම ලෙස සැලකුවේ බෲනෝ-ඈම්-ඉන් නොව ලින්ස් නගරයයි. තම එකම පුත් ඇඩොල්ෆ් අනාගත සිවිල් සේවකයකු වනු දැකීමට මහල්ලා තරයේ අදිටන් කොට ගෙන සිටියේය. හැබ්ස්බර්ග් පාලනයට ඉමහත් ලැදිව සේවය කල ඔහුගේ උඩු රවුළද ෆ්‍රාන්ස් ජොසොෆ් අධිරාජයා මෙන් ඉහලට කරකවා ඇත. ජීවිතයේදී මිනිසෙකුට මෙළොව ලැබිය හැකි ඉහලම සැපත සිවිල් සේවයට ඇතුල්වීමේ වාසනාව යැයි ඔහු විශ්වාස කළ අතර පරළොව ගැන සිතීමට කොහෙත්ම කරදර නොවීය. ඔහුගේ විනෝදාංශ වූයේ වයින් පානය කිරීම හා මීමැසි පාලනයයි.

පියාගේ නොනිමි කන්දොස්කිරියාවට පින්සිදු වෙන්නදෝ යන්තම් කරදඬු උස්මහත් වන විටම පුතාට සිවිල් සේවය ගැන ඇසීම පවා අරහංය. සුදු කරපටි රැකියා පිළිකුල් කල හිට්ලර්ගේ අදහස වූයේ සිවිල් සේවකයන් යනු කිසිදු වැදගැම්මකට නැති මුග්ධයන් පිරිසක් බවය. ඔහු ගේ සිහිනය චිත්‍ර ශිල්පියෙකු වීමය. “මොනවා? සිත්තරෙක් වෙන්න? උඹ මගෙ මූනෙ දැලි ගාන්නද හදන්නෙ? ඒවා හරියන්නෙ නෑ පුතෝ මම ඉන්නකම්…” ඒ ඇසූ පියා වියරුවෙන් මෙන් ගර්ජනා කළේ වැරෙන් අඩි පොළොවේ හප්පමිනි. මව හා කුඩා නැගණිය බියෙන් සලිත වූහ. ඔහුගේ දොළොස් හැවිරිදි පුතා ඒ කිසිවක් ගණනකට නොගත්තේය. මවගේ දෑස් පමණක් නොව පියාගේ චරිතයේ වූ දැඩි බවද එමෙන් සිය දහස් වාරයක් බලවත්ව පුතා තුල පිහිටා ඇති සැටියකි. පියාගේ ගෝරනාඩු නෑසූ කනින් ඔහු කිසියම් වෙනත් නොවැදගත් වැඩක යෙදී සිටී. නිදහස ප්‍රිය කල හිට්ලර්ට සිප්හල මෙන්ම දිසාපාමොක්වරුද වහ කදුරු මෙන් තිත්තය. දුර්වල පාසැල් වාර්තාවක් සහිත ඔහු කෙරේ ගුරුවරුද පැහැදීමකින් පසු නොවූහ; හේ නාහෙට නාහන දඩබ්බර කොල්ලෙකි. සෙස්සන් ගෙන් වෙන්ව හුදෙකලාවේ සිටීමට කැමැත්තක් දැක්වූ ඔහුගේ ප්‍රියතම විෂය වූයේ ඉතිහාසයයි. එක්දහස් අටසිය හැත්තෑවේ ප්‍රංශ-ප්‍රසියන් යුද්ධය ගැන ලියැවුන බරැති වෙළුම් ගණනාවක් ඒ වන විටත් ඔහු කියවා හමාර කොට සිටියේය. තම සිත තුල ජාත්‍යානුරාගයේ ගිණි සිළුව දැල්වූයේ ලින්ස් හි තාක්ෂණික පාසලේ ඉතිහාස ගුරුවරයා වූ ආචාර්ය ලියෝපොල්ඩ් පෝට්ෂ් විසිනැයි හිට්ලර් නොයෙක් විට පවසා ඇත. සර්ව-ජර්මන් වාදියකු වූ පොට්ෂ් ඔස්ට්‍රියව හා ජර්මනිය හා එක්විය යුතු යැයි දැඩිව ඇදහූවෙකි. හිට්ලර් සිය ජීවිත කාලය මුළුල්ලේ පොට්ෂ් ට කෘතඥ විය. නවසිය තිස් අටේ යුද්ධයට ලක ලැහැස්තිවෙමින් සිටියදී සිය ඇදුරා දැක බලා ගැනීමේ සිතක් හදිසියේම ඔහුට උපන. විශ්‍රාමික ගුරුවරයා ගේ ක්ලැගන්ෆර්ට් හි කුඩා නිවසට පැමිණෙන විට නිවෙස් හිමියා පසුවූයේ අසනීපයෙනි. තනිව කාමරයට ඇතුළුවී දොර වසාගත් විධායක-චාන්ස්ලර් තැන අසූපස් හැවිරිදි මහල්ලා සමඟ වී පුරා පැයක් හිඳ සැනසුම් බස් තෙපලේය. ආපසු එන ගමනේ දී මේ අවදානම් සහගත ක්‍රියාව පිළිබඳ නොසතුට පළකල එස්. එස්. නිළධාරියෙකුට ඔහු දුන්නේ අපූරු පිළිතුරකි. “ඒ වයසක මනුස්සයට මම මොනතරම් ණයගැතිද? තමුසෙලට ඒ ගැන හිතා ගන්නවත් බැහැ.”

1903 දුරුතු මස 03 දින හරියට උදේ දහයට සුපුරුදු ලෙස තැබෑරුමට ගොඩ වැදුන හිටපු රේගු නිළධාරී ඇලොයිස් හිට්ලර් වයින් වීදුරුවක් පානය කිරීමෙන් අනතුරුව මුර්ඡා වී හුනස්නෙන් බිම ඇද වැටුනේ කපා හෙළූ කඳක් මෙනි. වෙදෙකු හෝ පූජකයකු කැඳවීමට පොරොතුවම හේ මියගොස් සිටියේය. ඒ වනවිට ඇඩොල්ෆ් හිට්ලර් ගේ වයස දහ හතරකි. සිය පියාගේ සිරුර දුටු ඔහු කදුළු සලමින් වැලපුනේය.

thumb|වම|බිළිඳු ඇඩොල්ෆ් 1890-1891 (දිනය අපැහැදිලිය)

ගොනුව:පාසල් වියේ හිට්ලර් 1903-1904 ( දිනය අපැහැදිලිය).jpg
පාසල් වියේ හිට්ලර් 1903-1904 ( දිනය අපැහැදිලිය)
ගොනුව:හිට්ලර්ගේ දෙමාපියන් - ක්ලාරා සහ අලොයිස් . හිට්ලර්ගේ දෑස් බෙහෙවින් තම මවට සමාන වූ බව පැවසේ..jpg
හිට්ලර්ගේ දෙමාපියන් - ක්ලාරා සහ අලොයිස් . හිට්ලර්ගේ දෑස් බෙහෙවින් තම මවට සමාන වූ බව පැවසේ

හිට්ලර්ගේ තරුණ විය (1904-1908)

ලූලා නැති වලට කණයා පණ්ඩිතයා වූවා සේ් පියාගේ ඇවෑමෙන් නිවසේ එකම පිරිමියා වූයේ හිට්ලර්ය. නොපමාව සිය මව හා හත් හැවිරිදි නැගනිය වූ පෝලා කෙරේ අධිපති කම් පෑමට ගත් ඔහු වහා ගත් එක් තීරණයක් වූයේ සිය පාසල් ගමන අත් හිටුවීමයි. ඉන් කිසිදු ඵලක් නොමැත. ‘වේල සරි කොට ගැනීමේ’ අරමුණින් රැකියාවක් කිරීමේ සූදානමක් තමා තුල නැතැයි හේ නිවේදනය කළේය. ශෝකයට පත් මව හඬා වැලපෙන්නට වූවාය. එහෙත් තමා ඒ වෙනුවට අගනුවර චිත්‍ර කලා ඇකඩමියට ඇතුල් වීමට අදහස් කරන බවත් එය පාසැල් ගමනට වඩා බොහෝ ඵලදායී බවත් ඒත්තු ගන්වා ඈ සැනසීමට ඔහුට අපහසු නොවීය. මෙසේ තමා අතිශය ආශා කළ පරිදි කාලයේ ස්වාමිත්වය දිනාගත් හිට්ලර් එතැන් පටන් කල් ගත කළේ මායාකාරී සිතිවිලි ලෝකයක් තුලය. තමා කවදත් ආදරය කල චිත්‍ර කලාව හා ගෘහ නිර්මාණ ශිල්පය තුල මිඩංගු වීම සඳහා ඔහුට දැන් ඉස්පාසුවක් ඇත. ඊට බාධා කිරීමට පියා හෝ ගුරුවරු නොවීම පිළිබඳ හේ බොහෝ ප්‍රීති විය. සිය කාමරය තුල වැදී දොර වසා ගන්නා ඔහු ලින්ස් නගරය සඳහා දැවැන්ත නව ගොඩනැගිලි හා පාලම් ඉමහත් සැලකිල්ලෙන් සැලසුම් කරන්නේ වහා වැඩ නිම කරන ලෙස රජයෙන් තමාට පෞද්ගලිකවම නියෝග ලැබී ඇතිවාක් මෙනි. දැවැන්ත චිත්‍ර කඩදාසි මත තීන්තෙන් ඇඳි ඒ සැලසුම් ඉතා පැහැදිලිය; විස්තරාත්මක බවින් අනූනය. හිට්ලර් සවස් කාලය ගත කරන්නේ නුවර සිරි නරඹමින් වීථි සක්මනේ යෙදෙමිනි. එහෙත් මහා සංගීතඥ රිචඩ් වැග්නර්ගේ සංගීත නාට්‍යකින් රඟ දැක්වෙන්නේ නම් එදාට ඔහු නොවැරදීම ඔපෙරා ශාලාවේය. කථාංගය හා සංගීතය පමණක් නොව වේදිකා සැකැස්ම හා වාදකයන්ගේ ඇඳුම් පැළඳුම් ගැන පවා ඔහු උනන්දු විය. වේදිකාව මත දිග හැරෙන වීරයන් හා අසුරයන්, පරිත්‍යාග හා පාවාදීම්, මහිමාවින්ත ජය හා වීරෝදාර මරණය වැනි සංවේදී තේමා මගින් ඇති කල උත්තේජනය ඔහු තුල ප්‍රබල හැඟීම් දැනවූ බවට නිසැකය. ඔපෙරා නාටකයේ වීරයා වෙසෙසින්ම ප්‍රිය කළේය. හේ මහා කලා ශූරීය; ආගන්තුක විප්ලවවාදීයෙකි; සතුරා සමඟ ගනුදෙනු පිලිකෙව් කරයි; මරණය තෙක් සටන් වැදීමට සූදානම්ය... බඩ වියත රැක ගැනීමට රැකියාවක නොයෙදෙන ඔහුගේ ජීවිතයේ පරමාදර්ශය සිවිල් සේවකයකු ලෙස හැබ්ස්බර්ග් වරුනට දීන ලෙස බැලමෙහෙවරකම් කිරීමට වඩා බොහෝ උසස්ය. වැන්දඹු විශ්‍රාම වටුපකට හිමිකම් කිවූ මව මුළුතැගෙයි තනන රසමසවුළු භුක්ති විඳිමින්ද, කුඩා නැගනිය ලවා අතට පයට ආවතේව කරවා ගනිමින් ද, සම්භාව්‍ය කලාව රස විඳිමින්ද සුවපහසු ලෙස කල්ගත කල හිට්ලර් ගේ ජීවිතයේ එක් තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස ලින්ස් හි ඔපෙරා ශාලාව සැලකිය හැක්කේ එය වර්ධනය වෙමින් පැවති ඔහුගේ පෞරුෂයට ඇති කළ ප්‍රබල බලපෑම නිසාම පමණක්ම නොවේ. තරුණ වියේ ඔහුගේ කළණ මිතුරා වූ ඕගස්ට් කුබිසෙක් හමුවූයේද ප්‍රසංගයක් අතරතුරදී වීම නිසාය. මෙට්ට සාදන්නෙකුගේ පුතෙකු වූ කුබිසෙක් ද සංගීත ලෝලියෙකි. එහෙත් මිත්‍රත්වය දළුලා යාමට හේතු වූයේ එය නොව තමා හිට්ලර් වයසින් වසරක් වැඩිමහළු වග නොතකමින් ඔහුගේ නායකත්වය පිළි ගැනීමට කුබිසෙක් කැමැති වීම යැයි සිතිය හැක. යුගයේ ශ්‍රේෂ්ඨතම චිත්රම ශිල්පියා වීම එකල ඔහුගේ සිහිනය වූ බවත්, තම සිත්ගත් ඕනෑම දෙයක් සීමාන්තිකව හැදෑරීමේ ආශාවෙන් ඔහු පෙළුන බවත් පසුකලෙක කුබිසෙක් විසින් රචිත ‘මා දත් තරුණ හිට්ලර්’ [Young Hitler I Knew] යන කෘතියේ සඳහන් කොට ඇත. කුබිසෙක් දුටු හිට්ලර් හීන්දෑරි ගැටවරයෙකි. ඔහුගේ ඇඳුම චාම් ය; ඉතා පිරිසිදුය. පාසැලෙන් කට්ටි පැන්නද, කිසිදු කර්මාන්තයක් ඉගනීම ප්‍රතික්ෂේප කළද, හේ සියළු දුසිරිතෙන් තොරය. ඔහු බොහෝ පොත පත කියවීය. සෞන්දර්යට ආශා කළේය. “පුතාගෙ යාළුවට තියෙන්නෙ මහ පුදුම ඇස් දෙකක් නොවැ!” කුබිසෙක්ගේ අළුත් මිතුරා දුටු ඔහුගේ මව කීවාය. හිට්ලර්ගේ සිතුම් පැතුම් අතිශය බරපතලය; අවංකය. පවතින ලෝකයේ අඩු පාඩු කටුක ලෙස විවේචනය කරයි. විසඳුම් ලෙස ඔහු ඉදිරිපත් කළ යෝජනා අතිශය රැඩිකල් වාදීය. සකස් කල සැලසුම් ඉතා සවිස්තරාත්මකය. ඒ පිළිබඳ ඔහු කරන විස්තරයට සවන් දෙන ඕනෑම අයෙකුට හැඟෙනු ඇත්තේ මෙම ව්‍යාපෘතිය අත හෙටම ඇරඹෙනු ඇති බවයි. මහත් පරිශ්‍රමකින් ඉතා විස්තරාත්මකව ඇඳ තිබූ දැවැන්ත ගොඩනැගිලි හා පාලම් ඉදිකිරීමේ සැලසුම් වෙනුවෙන් මුදල් වියදම් කවුදැයි කුබිසෙක් වරක් ඇසුවේ නිකමට මෙනි. හිට්ලර් කෝපවිය. “සල්ලි? බල්ලොත් නොකන සල්ලි! සල්ලි යකාට යද්දෙන්!” පිළිතුර එපමණකි.

වරක් දෙමිතුරෝ අත ඉතිරිව තිබූ මුදලින් හවුලේ ලොතරැයියක් මිලදී ගැනීමට තීරණය කලහ. දින ගණනාවක් මුළුල්ලේ දිනුම් ඇදීමේ කොන්දේසි හා නීති රීති හැදෑරූ හිට්ලර් තවත් පැය ගණනක් ලොතරැයි හලේ එකල මෙකල වී අවසානයේ එක් ටිකට් පතක් තෝරා ගත්තේය. එම අංකයට මුල් දිනුම හිමි වන බවට ඔහුට කිසිම සැකයක් නොවීය. තම විශ්වාසයට හේතුව මේ යැයි ඔහු කුබිසෙක්ට කිසි විටෙකත් විස්තර නොකළේය. දැන් ගැටළුව වූයේ එය නොව තෑගි වශයෙන් ලැබීමට නියමිත මේ සා විශාල මුදල වියදම් කරන්නේ කෙසේද යන්නයි. හිට්ලර්ගේ මූලික අරමුණ වන ලින්ස් නගරය යලි ගොඩ නැගීමට නම් එය ප්‍රමාණවත් නොවන බව මුල සිටම ඉතා පැහැදිලි විය. එහෙයින් නිවසක් මිලදී ගැනීම මැනවයි ඔහු තීරණය කළේය. අතිශය කලාත්මක ලෙස නිමැවෙන පරිසරයක් තුල ඔහු හා කුබිසෙක් අධ්‍යයන කටයුතු හා නිර්මාණ වල යෙදෙමින් ජීවත් වනු ඇත. කුබිසෙක් ගේ සංගීත පුහුණු කටයුතු වලින් සිය නිර්මාණකරණයට බාධා නොවනු පිණිස දෙදෙනා ගේ කාමර හැකිතාක් දුරින් පිහිටා තිබිය යුතු යැයි හිට්ලර් විශේෂයෙන් කියා සිටියේය. සහෝදරයන් මෙන් එකම ආකාරයෙන් හැඳ පැලඳ කලා කටයුතු වල යෙදෙන දෙදෙනාගේ ආවතේව කරනු ඇත්තේ වැදගත් පෙනුමැති මැදි වියේ ගෘහ පාලිකාවක් විසිනි…කෙතරම් සුන්දර සිහිනයක්ද? අනාගත නිවසේ ගෘහ භාණ්ඩ, බිම් පලස් හා බිත්ති සැරසිලි එකි නොකී සියල්ල හිට්ලර් විසින්ම සැලසුම් කළ අතර ජනෙල් තිර රෙදි ගැන තීරණය කිරීම පමණක් කුබිසෙක්ට පැවරිණ. සියල්ල යහතින් සිදු වීමට ඉඩ තිබිණ. එහෙත් එසේ නොවූයේ ඔවුන්ගේ ටිකට් පතට සැනසිලි ත්යාදගයක් හෝ ඉතිරි නොකොට ලොතරැයි දිනුම් ඇදීම අවසන් වීම නිසාය. වියරු වැටුන හිට්ලර් ප්‍රථිඵල ලැයිස්තුවත් අතැතිව කුබිසෙක් සොයා දිව ගියේය. සිය මිතුරා එතරම් කෝපවී සිටිනු කුබිසෙක් ඊට පෙර දැක තිබුනේ නැත. මිනිස් දුර්වලකම් වලින් නින්දිත ලෙස ගසා කෑම සඳහා නිළ වශයෙන් සංවිධානය වී පුරවසියන් ගේ මුදල් වංචා කරන රාජ්‍ය ලොතරැයි කාර්යාලයට ඔහු දස අතේ දෙස් දෙවොල් තැබීය. “අහේතුක විදියට බලාපොරොත්තු තබා ගැනීම ගැන පළමුව දොස් කියා ගන්න ඕන තමාට කියල ඇඩොල්ෆ් ට කවදාවත් හිතුනෙ නෑ... ඒ ඒයාගෙ හැටි” කුබිසෙක් පවසයි. රජයටද පවතින ක්‍රමයටද තවත් බොහෝ වේලාවක් තිස්සේ බැන වැදුන ඔහුගේ අවසන් නිගමනය වූයේ මේ සියල්ලට මුල හැබ්ස්බර්ග් රජ පෙළපත අනේක විවා මඟුල් හරහා ජාතීන් දහයක් හෝ දොළහක්-හරියටම කීයක් දැයි දන්නේ දෙවියන් පමණි-එක් කොට අටවා ගත් කාලකන්නි අධිරාජ්‍යය බවයි!

සිය මව සමඟ පුරුද්දක් ලෙස සවස් කාලයේ වීථි සක්මනෙහි යෙදුන ලින්ස් නුවර විසූ ඉහල පංතියේ තරුණියක් වූ ස්ටෙෆනි අයිසැක් හිට්ලර්ගේ ඇස ගැටෙන විට ඔහුගේ වයස දහසයකි. දුටු පළමු දිනයේ ඈ කෙරේ බැඳුන සිතැති ඔහු ඈ දුටුවේ නිර්මල බවේ සංකේතයක් ලෙසය. එය සතුටුදායක ලෙස අවසන් වී නම් ඉන් මහත් සෙතක් සැලසීමට ද ඉඩ තිබිණ. විශාලතම ගැටළුව වූයේ හිට්ලර්ගේ අදහස් පිළිබඳ ඔහු තෝරාගත් පෙම්වතිය හාංකවිසියක් හෝ නොදැන සිටීමය. දැන ගත්තද ඉන් එතරම් යහපතක් අපෙක්ෂා කිරීම උගහට වූයේ රැකියාවක් නැති තරුණයකුට දියණියක කරකාර බන්දවා දීමට කිසිදු මවක් ඉදිරිපත් නොවීමයි. ස්ටෙෆනි සිය මව සමඟ සවසට වීථි බසින වේලාව බලමින් හොර ගල් අහුලන හිට්ලර් ඔවුන් මුහුණට මුහුණ ලා හමුවන සේ අහම්බයෙන් මෙන් ඉදිරියට ඇවිද එන්නේ කුබිසෙක් ද සමඟය. ඇතැම් දිනක ස්ටෙෆනි ඔවුන් හා යන්තම් සිනාසෙන්නීය. එදිනෙදා මහමඟ දකින සහෝදර නගර වාසීන් දෙදෙනෙකු වෙත පල කෙරන හිතවත් කමේ ලකුණක් හැර අන් කිසිවක් කුබිසෙක් එහි නුදුටුවද හිට්ලර්ගේ අපේක්ෂා පුබුදුවාලීමට එය සෑහේ . ඔහුගේ මතය වූයේ එය ඈ සිය හැඟීම් තේරුම් ගෙන ඇති වගට පළකල ඉඟියක් බවයි.

එපමණකින් උණුසුම් වූ සිතැති හිට්ලර් ඇගේ හා තමාගේ ඉදිරි අනාගතය සැලසුම් කිරීමට පටන් ගත්තේය. නුදුරේදීම ඔහු යුගයේ ශ්‍රේෂ්ඨතම සිත්තරා වනු ඇති; එතෙක් ඈ බලා සිටින බවට කවර සැකයක් ද? අනතුරුව විවාපත් වන යුවල පදිංචි වනු ඇත්තේ ඈ වෙනුවෙන්ම ඉදිකෙරෙන දැවෙන්ත ‘විලා’ ගෘහයකය. සියළු ගෘහ භාණ්ඩ ඇගේ රුචියට අනුව තෝරා ගැනෙනු ඇත. එම අගනා ගොඩනැගිල්ලේ සවිස්තරාත්මක සැලසුමක් ඔහු නොපමාව ඇන්දේය. මේ දිනවල නිතර සතුටින් පසුවූ ඔහුගේ අහාර රුචියද ඉතා යහපත් ය. ස්ටෙෆනි පිළිබඳ එදිනෙදා තොරතුරු විශ්වාසවත් කුබිසෙක් විසින් වාර්තා කරනු ලැබේ. දෙදෙනා අතර දැන් රහසක් නැති තරම්ය. ජීවිතය මෙතරම් සොඳුරු අත්දැකීමක් විය හැකි බව මීට පෙර කිසිදා ඔහු නොදැන සිටියේය. එහෙත් අව්‍යාජ ප්‍රාර්ථනා බියකරු සිහිනයක් බවට පෙරළීමට ඒ හැටි කළක් ගතවූයේ නැත. දිනක් ඔහු හමුවීමට පැමිණි කුබිසෙක් සැල කොට සිටියේ දින කිහිපයකට පොරොතුව ඉහල සමාජයේ සාදයක සහභාගී වූ ස්ටෙෆනි තරුණ හමුදා නිළධාරීයෙකු සමඟ බාල් නැටුමකට සහභාගී වී ඇති බවයි. මෙය ඈ සහභාගී වූ පළමු සන්ධ්යා නැටුම විය නොහැකි වගද වාර්තාවෙන් වැඩි දුරටත් කියැවිණ. මේ අසා ඊර්ෂ්‍යාවෙන් වියරු වැටුන හිට්ලර් දින ගණනාවක්ම මූසල කපුටුවෙකු සේ නොකා නොබී කාමරය තුලට වැද හොත්තේය. අසරණ ඔහු කුමක් කරන්නද? ඇගේ අත පැතීමට ඔහුට වඩා බොහෝ සුදුස්සෝ නගරයේ වෙත්. සිය පුතුගේ හදිසි වෙනස නිසා බියට පත් ක්ලාරා හිට්ලර් ඔහුගේ කලණ මිතුරු කැඳවා කරුණු විචාල මුත් කුබිසෙක් ගෙන් හරි හමන් වචනයක් ගැනීමෙහිලා අපොහොසත් වූවාය. හෙණ ගෙඩියක් මෙන් කඩා පාත් වූ අසුභ පුවත ඇසීමෙන් හටගත් කම්පනය වියැකීමෙන් ඉක්බිතිව තරමක් සන්සුන්වූ හිට්ලර් සතියක් පමණ ගතවන විට යමක් තේරුම් බේරුම් ඇතිව සාකච්ඡා කළ හැකි මට්ටමක සිටියේය. මේ අතර කුබිසෙක් ට දීප්තිමත් අදහසක් පහළ විය. හිට්ලර්ද ජෝඩු නැටුම් උගෙන ඈ හා සාද වලට සහභාගී නොවන්නේ මන්ද? හිට්ලර් ඊට අකැමති විය; මධ්‍යම පාංතික අරුමෝසම් ඔහු පිළිකුල් කරයි. ඒ නැතත් ඔහුට සාද වලට ආරාධනා කිරීමට මිතුරෝ නොවෙති. එහෙයින් ඔහු කෙල්ල පැහැරගෙන යාමට අර ඇන්දේය. ඒ සැලැස්ම ඉතා සරල විය. ස්ටෙෆනි සිය මව සමඟ වීථියේ ඇවිද එන විට කුබිසෙක් ඔවුන් ඉදිරියට ගොස් ආචාර කොට මැහැල්ල සමඟ කිසියම් කතා බහක් පටන් ගත යුතුය. ඒ අවසරයෙන් හිට්ලර් තරුණියද රැගෙන පලා යනු ඇත. “හරි, ඒක කරා කියමුකො. ඊට පස්සෙ කොහේද යන්නෙ? ගිහින් ජීවත් වෙන්නෙ කොහොමද?” යහපත් කුබිසෙක් ප්‍රායෝගික කරුණු ගැන නිරන්තරයෙන් ඔහුගේ අවධානය යොමු කරවීය.යැහෙත් හිට්ලර් නිරුත්තරය. බොහෝ වේලාවක් තිස්සේ ඔහු සිතිවිල්ලේ පසුවිය. ප්රෙශ්නයේ බරපතකල කම ඔහුට වටහා ගත්තා විය යුතුය. ව්යාසපෘතිය එතෙකින් අත් හිටුවන ලදී. එසේ වුවදු මේ කාලය මුළුල්ලේම හිට්ලර් තම කුඩා සොයුරිය පෝලා සමඟ හොර රහසේ ‘වොල්ට්ස්’ පියවර කිහිපයක් නිසැකවම පුහුණු වන්නට ඇතැයි කුබිසෙක් අනුමාන කළේය.

තමා ඉදිරියේ ඇති උභතෝකෝටික ගැටළුවට අන් විසඳුමක් නුදුටු හිට්ලර් ස්ටෙෆනි ද සමඟ නගරයේ පාලම මතින් ඩැනියුබ් ගඟට පැන නාට්යමයමය ලෙස දිවි නසා ගැනීමට අදහස් කළේය. සමස්ත ලින්ස් පුරවරයම නිසැකවම කළඹනු ඇති මේ මහා ශෝකාන්තයේ එකම සාක්ෂි කරුවා ලෙස තෝරා ගැනුනේ අසරණ කුබිසෙක්ය. එහි සෑම පියවරක්ම නාට්ය මය ලෙස සැලසුම් කෙරුන අතර ඛේදජනක පුවත නගරයට සැල කල යුතු ආකාරය පිලීබඳ කුබිසෙක්ට විස්තරාත්මක උපදෙස් නිකුත් කෙරිණ. තමා මුහුණ පෑමට නියමිත බිහිසුනු අත්දැකීමේ පීඩනය දරා ගත නුහුනු කුබිසෙක් රෑ කිහිපයක් ගත කළේ නිදි වර්ජිතවය. මේවා කාට කියන්නද? ඔහුගේ බලවත් සහනය හේතු වෙමින් නොබෝ දිනක් ගත වෙත්ම දිවි නසා ගැනීම පිළිබඳ කතා බහ කෙමෙන් අඩු වී ගියේය. එයද විකාර අදහසක් බව හිට්ලර් වටහා ගත්තා විය යුතුය. අනතුරුව ඔහු සන්සුන් විය. නොබෝ දිනකට පසු සවස් යාමයේ කුබිසෙක් දැකීමට පැමිණි හිට්ලර් තමා සියල්ල අතහැර චිත්‍ර ශිල්පය වැඩි දුර හැදෑරීම පිණිස වියානාව බලා යන බව අඹ යහළුවාට පැවසීය. හේතූන් කවරක් වුවද ස්ටෙෆනි විවාහ කොට ගැනීමට හිට්ලර් ට අවස්ථාව අහිමි වීම ඔහුගේ පමණක් නොව ලෝකයේම අවාසනාවකි. නො එසේ නම් දෙවන ලෝක යුද්ධයක් ඇති නොවීමට බෙහෙවින් ඉඩ කඩ තිබිණ.

ශිල්පය මනා උගෙන යුගයේ මහා සිත්තරා වී ස්ටෙෆනි ගේ මවට උජාරුව පෙන්නන්නෙමැයි අදිටනින් දහසකුත් එකක් බලපොරොත්තු පොදි බැඳගෙන ගිය ඔස්ට්රිනයාවේ වියානා නගරය බලා හිට්ලර්ට මුහුණදීමට සිදුවූයේ නොසිතූ අකරතැබ්බකටය. චිත්‍ර කලා ඇකඩමිය මූලික පරීක්ෂණයෙන් ඔහු අසමත් කළේය. මේ පිළිබඳ කරුණු විමසීමට ඔහු ආයතනයේ අධිපතීන් හමු වුවද ඵලක් වූයේ නැත. “ඔය ළමයගේ හැකියාව තියෙන්නෙ චිත්‍ර කලාවට නෙවෙයි ගෘහ නිර්මාණ ශිල්පය පැත්තට. මේ පේන්නෙ නැද්ද ඇඳපුවගෙ විදිය? වැඩි අවධානය තියෙන්නෙ ගොඩනැගිලි වලට. මිනිස් රූප බොහොම අඩුයි. ඒ හන්ද නරකද වාස්තු විදුහල පැත්තෙ ගිහින් කතා කරල බැළුවොත්?” විටෙක අවාසනාව පසුපස හඹා එන්නේ වීථි වල අයාලේ යන දඩෝරියන් මෙනි. වාස්තු විද්‍යා ආයතනයේ දොරටුවද ඔහුට වැසින! හිට්ලර් සතුව පාසලෙන් අස්වීමේ කඩදාසියක් නොමැත.

බලවත් සේ සිතින් කම්පාවට පත් වුවද හිට්ලර් තමාට මුහුණ දීමට සිදුවූ විපත ගැන කිසිවෙකුටත් නොකීවේය. ඒ වන විට ඔහුගේ මව පිළිකා රෝගයෙන් ඔත්පොල ව සිටියාය. පුතා සිත්තරෙකු වී ගමට එනු දැකීමට තරම් කල් තමා ජීවත් වීමට තමාට නොලැබෙතයි සිතමින් ඈ දැනටමත් ලතවන්නීය. එහෙයින් චිත්‍ර කලාව හදාරන සිසුවෙක් බව රටට ලෝකයට හඟවමින් තවදුරටත් ඔහු අරමුණකින් තොරව වියානා නුවරම රැඳී සිටියේය. ඔහුගේ තාවකාලික නවාතැන වූයේ මැල්ඩමාන් වීථියේ අංක විසි හත දරණ පිරිමි නේවාසිකාගාරයයි. අඩු තරමින් සිය කළණ මිතුරා වූ කුබිසෙක්ට පවා හිට්ලර් තමාට සිදුවූ අබැද්දිය හෙලි කිරීමට නොසිතූ හිට්ලර් වියානා නුවරට වී ගත කලේ දුක්ඛිත ජීවිතයක් ගත කළේය. අගහිඟ කම් වලින් මිරිකුන ඔහු ගේ දෛනික ආහාරය වූයේ පාන් ගෙඩියක් හා කිරි බෝතලයකි; නැතහොත් හාමතේ පසු විය. සිය දයාබර පුතු වියානා චිත්‍ර කලා ඇකඩමියේ දීප්තිමත් සිසුවෙක්ය යන අචල විශ්වාසයෙන් පහන් වූ සිතැති හිට්ලර්ගේ මව එක්දහස් නවසිය හතේ නත්තලට දින කිහිපයකට පොරොතුව අවසන් හුස්ම හෙළුවාය. මිය යාමට කලින් කුබිසෙක් සිය මරණමංඡකය අසලට කැඳවූ ඈ සිය පුතා ගැන සොයා බලන ලෙස ඉල්ලා සිටියේ හිට්ලර්ට වෙනත් මිතුරන් නොසිටි බව දැන සිටි නිසා විය යුතුය. යහපත් කුබිසෙක් ද කඳුළු සලමින් එය ඉටු කරන වගට ඈට පොරොන්දු විය. අවමඟුලින් දින කිහිපයකට පසු නිවෙස හා දෙමාපියන්ගේ ගෘහ භාණ්ඩ එකොලොස් හැවිරිදි නැගනියට පවරා දුන් හිට්ලර් ඈ ඥාතීන්ට භාර කළේය. ඔවුනතර වූ වයස් පරතරය නිසාදෝ ඔහු පෝලාට එතරම් සමීප නැත. අනතුරුව ඔහු නැවත වියානාව බලා යාමට සූදානම් වූයේ තමා සිසුවෙක් බව තවදුරටත් හඟවමිනි. සංගීතය ඉගනීම සඳහා තමා සමඟ වියානාවට පැමිණෙන්නයි සමුගැනීමට පැමිණි කුබිසෙක් ගෙන් හේ උදක්ම ඉල්ලා සිටියේය. මවගේ මරණයත් සමඟ හටගත් අධ්යාෙත්මික රික්තය තුල සිටි ඔහුට ඕනෑ කළේ සමාගම් පැවැත්වීම සඳහා මිතුරා තමා අසලක සිටීමයි. වැඩිදුර ශිල්පය හදාරා සංගීතඥයකු වීම බොහෝ කලෙක පටන් කුබිසෙක් ද දුටු සිහිනයකි. සිය සගයා ගැන සොයා බලන වගට ඔහුගේ මවට දුන් ඉටු කළ යුතු පොරොන්දුවක් ද ඇත. එහෙයින් ඔහු අදහසට එක පයින් කැමති විය. ගැටළුව වූයේ කුබිසෙක් ගේ පියා ගෙන් එල්ලවූ දැඩි විරෝධයයි. පාරම්පරික කර්මාන්තය අතහැර වියානාවට ගොස් සංගීතය හැදෑරීමට මහළු මෙට්ට සාදන්නා අවසර නුදුන්නේය.

අවසානයේ ගැටළුව නිරාකරණය කිරීමට හිට්ලර් ඉදිරිපත් විය. ඔහු මේ පිළිබඳ කතා බහ කළේ එය ඉතා නොවැදගත් ගැටළුවක් බවත්, එහි අවසන් තීරණය මුළුමනින්ම පියා සතු බවත් ඒත්තු යන ආකාරයටය. කෙසේ වුවද සංගීතය තවදුරටත් හැදෑරීමේ වාසිද බොහෝය. කුබිසෙක් වැනි සංගීතයට උපන් හපන් කම් ඇත්තෝ සුලබව නොවෙත්. “කව්ද දන්නෙ?” හිට්ලර් දෙඋර සොලවමින් තමාටම මුමුණයි. “බාග වෙලාවට යුගයේ ශ්‍රේෂ්‍ඨතම සංගීතඥයා වෙන්නත් බැරි නැහැ. මොකද බැරි? වෙන්න පුළුවනි.” දෙනෙතට නැඟුන කඳුල කුබිසෙක් ගේ මව පිසලා ගත්තාය. “ඕව කවද වෙන දේවල්ද?” පියා බී අවසන් කල තේ කෝප්පය බේසය මත තැබුවේ මහ හඬිනි. එහෙත් ඔහු පසුබසිමින් සිටි වග පැහැදිලිය. දුර්මුඛව සිටි මහල්ලා තවත් සුළු විරෝධතා කිහිපයක් දැක්වීමෙන් පසු සුසුම් හෙලා ගමනට අවසර දුන්නේය. “යන තැනක අවංකව නම තියාගෙන ඉඳපන්.” අවසානයේ ඔහු කීවේ එපමණකි. කුබිසෙක් පැවසුවේ සිය දරදඬු පියා මෙලෙස නම්මා ගත හැකි වීම තරුණ හිට්ලර්ගේ කතා බහ හා ඉරියව් තුල වූ අසාමන්ය ඒත්තු ගැන්වීමේ ශක්තිය ගෙන හැර පෑමට ඇති අගනාම උදාහරණය බවයි. කුබිසෙක් වියානාව බලා පැමිණි නවසිය අටේ පෙබරවාරියේදීය. කලින්ම පැමිණ සිටි හිට්ලර් කතිකා කොටගත් පරිදි දුම්රිය පොලට පැමිණ සිටියේය. ස්ටම්පර්ගැසේ වීථියේ අංක විසි නවය දරණ ස්ථානයේ වූ ගෘහ භාණ්ඩ සහිත හිට්ලර්ගේ කාමරයේ දෙදෙනාම නවාතැන් ගත්හ. කුලිය දෙදෙනා අතර බෙදී යනු ඇත. කුබිසෙක් ගේ පැමිණීම වෙනුවෙන් හිට්ලර් තම සුපුරුදු පාන් ගෙඩිය හා කිරි බෝතලයට අමතරව පත්තර පිටුවක එතූ සොසෙජස් කරල් කිහිපයක් ද ඔහු ඉදිරියේ දිග හැරියේය. කෑමෙන් පසු හති ඇරීමට පවා ඉඩක් නොලද කුබිසෙක් බලාත්කාරයෙන්ම ඔපෙරා ශාලාව නැඹීමට රැගෙන යන ලදී. “වියානාවට පය ගහපු මනුස්සයෙකුට ඔපෙරා ශාලාව නොදැක නිදා ගන්න පුළුවන්ද?” අනාගත අඥාදායකයා සමඟ කුබිසෙක් දුක සැප බෙදාගත් අමතක නොවන සුළු දහ අට මසක ආරම්භයයි ඒ. සංගීත විදුහලේ ඇතුලත් වීමේ පරීක්ෂණය කුබිසෙක් අපේක්ෂා කලාට වඩා බොහෝ පහසු විය. වාදක කණ්ඩායමට පවා තෝරා ගනු ලැබූ ඔහු නොබෝ කලකින්ම එහි දීප්තිමත් සිසුවෙකි. දිනපතා උදෑසන ඔහු පිටව යන විට හිට්ලර් පසු වූයේ තද නින්දේය; සවසට එන විට සුපුරුදු ලෙස වීථි සංචාරයේ ගොසිනි. ගොම්මන් කරුවල වැටෙන විට කාමරය සොයා එන ඔහු එක්කෝ රෑ බෝ වන තුරු පොත් කියවයි; නොඑසේනම් වියානා නගරයේ ගොඩනැගිලි හා පාලම් ප්රනතිනිර්මාණය කිරීම සඳහා විස්තරාත්මක සැලසුම් සකසයි. නාට්‍ය හෝ කාව්‍ය ප්‍රබන්ධයේ යෙදෙන ඔහු පුරාණ ජර්මන් වෘත්තාන්ත ඇසුරින් වරක් ඔපෙරාවක් සම්පාදනය කිරීමට පවා අදහස් කළේය.

බොහෝ වෙහෙසට පත්ව සිටින කුබිසෙක්ට නින්දට යාමට ඉඩක් නොදෙන හිට්ලර් අනතුරුව මැදියම් රැය පසු වන තුරුත් රටේ තොටේ අඩුපාඩු හා ඒවා නිවැරදි කලයුතු අන්දම විස්තර කරයි. මේ පල් හෑලි වලට කන්දෙමින් හෝ කන් දෙන වග අඟවමින් වැතිරී සිටින කුබිසෙක් චිත්‍ර ඇකඩමියේ ඉගෙන ගන්නා හිට්ලර්ට මෙතරම් විවේකයක් ලැබෙන්නේ කෙසේදැයි කිරා වැටෙමින් මවිත විය; පුද්ගලයාගේ හැටි දන්නා හෙයින් අනවශ්‍ය ප්‍රශ්න නැඟීමට නොසිතූ ඔහු හිට්ලර් මුහුණ පා සිටි අබැද්දිය පිළිබඳ හාංකවිසියක් නොදත්තේය.

බළලා මල්ලෙන් එළියට පැන්නේ නොසිතූ ලෙසය. එය නා කපන වැසි සහිත දවසකි. හිට්ලර් කාමරය තුලට වැදී පොතක් කියැවමින් සිටියේ අයහපත් කාලගුණය නිසාය. කුබිසෙක් සුපුරුදු ලෙස පියානෝ වාදන පුහුණුව ඇරඹීය. මේ දිනවල ඔහු සංගීත විභාගයකට සූදානම් වේ. එහෙත් ඔහුට ස්වර කිහිපයකට වඩා හැඬවීමට ඉඩක් ලැබුනේ නැත. හිට්ලර් බෝම්බයක් මෙන් පුපුරා හැලුනේය. “මේ මොන කරච්චලයක්ද? කණක් ඇහිල පොතක් කියවගන්නවත් නැද්ද…?” කලෙක පටන් හිට්ලර්ට හොස්ස ලඟින් මැස්සා යන්න බැරි බව කුබිසෙක්ටද වැටහී නොතිබුනා නොවේ. දෙමාපියන් හෝ රැකියාවක් නැති තම අවාසනාවත් මිතුරාට ඔහු අනුකම්පා කරයි. කවදත් සාමකාමී ඔහු තම කාල සටහන බිත්තියේ එල්ලුවේය. එය දෙදෙනාටම කාලය බෙදා ගැනීමට උපකාරී වනු ඇත. එහෙත් හිට්ලර්ට උවමනා වූයේ විසඳුමක් නොව ප්‍රශ්නයක් ඔස්සේ තම කෝපය පිට කිරීමටයි. කාල සටහන පිළිබඳ ඇසූ ඔහු වඩාත් කුපිත විය. “කාල සටහන එල්ල ගන්නවා තමුසෙගෙ බෙල්ලෙ” හිට්ලර් කෑගෑවේය. “කරන්න තියෙන්නෙ ඔය ඇකඩමි වලට ඩයිනමයිට් දාල පුපුරවලා දාන එකයි. නියම කලාකාමීත්වය කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැති මෝඩ ගුරුවරු රොත්තක් ඕවැයි ඉන්නෙ…” හිට්ලර් එක්වරම කලායතන වලට බැණ වදින්නේ මන්දැයි කුබිසෙක්ට නොවැටහේ. “මොනව උනත් ගුරුවරුන්ට ඔහොම කතා කරන එක වැරදියි නේද? විශේෂයෙන් තමනුත් ශිෂ්යායෙක් වෙලා ඉන්න කොට...” කුබිසෙක් සියළු විදුහල් ඇදුරන් වෙනුවෙන් යමක් කීමට කට ඇරියා පමණි; එකෙණෙහිම ඔහු නිහඬ කරවනු ලැබීය. “කථා කරන්න එපා ඔය නීචයො ගැන. උන් මාව ඇකඩමියට ගත්තෙ නෑ. ඒ හණමිටි නිළධාරීවාදී ඌරුමීයො මාව දොට්ට දැම්මා! චිත්‍ර කලාව ගැන ඕකුන් දන්න කෙහෙල් මලක් නෑ. ඔය මොට්ටයොන්ගෙ ඇකඩමි නැතුවට මට තනියම ඉගෙන ගන්න පුළුවන් මම උන්ට කරල පෙන්වන්නම්...තමුසෙට තේරෙනවද ගස්ට්ල් ? මේක මුන් මගේ අනාගතය විනාස කරන්න හිතාගෙනම කරපු අන්තිම තුච්ඡ වැඩක්....” කුබිසෙක් මැනෙවින් තේරුම් ගත්තේය; ඒ සිය ඉගැන්වීම් තුලින් ඇති කොට හැකිව තිබූ ශක්තිය මෙන් සිය දහස් ගුණයක් බලවත් ජවයක් ප්‍රතික්ෂේප කිරීම මගින් වියානා චිත්‍ර කලා ඇකඩමියේ ගරු කටයුතු ඇදුරන් විසින් ඔහු තුල ජනිත කොට තිබූ බවයි. කරුණු එසේ නොවන්නට දෙවැනි ලෝක යුද්ධයක් ඇති නොවෙන්නට තවදුරටත් ඕනෑ තරම් ඉඩ කඩ තිබිණ

thumb|වම|හිට්ලර් විසින් අදින ලහ දිය සායම් චිත්‍රයක් 1908-1909 (දිනය අපැහැදිලිය)

thumb|මධ්‍යය|හිට්ලර් විසින් පැන්සලෙන් අඳින ලද වොක්ස්වැගන් රථයේ මුල් ආකෘතිය (1932)

thumb|දකුණ|හිට්ලර් ගේ ගජ මිතුරා වූ ඕගස්ට් කුබිසෙක්

හිට්ලර් නම් ජාතිවාදියා (1908-1912)

චිත්‍ර කලා ඇකඩමියට ඇතුලත් වීමේ සිහිනය බොද වීමෙන් අනතුරුව පැහැදිලි හේතුවකින් තොරව වියානා නගරයේ තව දුරටත් රැදීසිටි හිට්ලර් ගේ අග හිඟකම් දිනෙන් දින ඉහල ගියේය. විටෙක පාන් ගෙඩියක් ගැනීමටවත් අත මුදල් නොවූ ඔහු නිතර කුසගින්නේ පසු වේ. හාමතින් ක්ලාන්ත වුවද සිය මිතුරාගෙන් හෝ පාන් පෙත්තක් වත් ගැනීමට ඔහු සූදානම් නැත. කුබිසෙක්ට මෙය තව දුරටත් බලා සිටිය නොහැකි විය. සිය මිතුරා හාමතින් සිටියදී තමා පමණක් කන්නේ බොන්නේ කෙසේද? මීට පිළිතුරු සොයමින් සිත වෙහෙසවූ ඔහුට සංගීත විදුහලේ කැන්ටිම ඉතා සහන මිලකට සිසුන්ට ආහාර පාන සපයන වග සිහි වූයේ හදිසියේය. තමා හා එහි යාමට එන ලෙස ඔහු කළ යෝජනාවට හිට්ලර් ද අකැමති නොවීය. කැන්ටිමේ කොනක අසුන් ගත් හිට්ලර් වටපිට බැලීමට ඉස්පාසුවක් ලද්දේ තමා ඉතා ආශා කල කජු කේක් කැබලි කිහිපයක් ඉතා ගිජු ලෙස ගිල දැමීමෙන් අනතුරුවයි. ඉක්බිතිව ඔහුගේ මුහුණ අමනාපයෙන් අඳුරු විය. බහු වාර්ගික අධිරාජ්ය යේ සියළු ජාතීන්ට අයත් සිසු සිසුවියෝ අවට ඔබ මොබ සරති. ඔවුනතර යුදෙව්, චෙක්, පෝලිෂ්, මැග්යාර්, ස්ලෝවැක්, බොස්නියන්, රුතේනියන් ආදී එකී නොකී සියල්ලෝය. “මේ වගේ තැනක ඉඳගෙන මනුස්සයෙකුට කන්න පුළුවන්ද?” තොල කට ලෙවකමින් ඔහු කෝපයෙන් පිම්බේය. යුදෙව්වන් හා ස්ලාව් ජාතිකයන් හිට්ලර්ට නයාට අඳුකොල මෙනි. ඔහු නැවත කිසි දිනෙක එහි ගියේ නැත.

කුබිසෙක් පවසන පරිදි හිට්ලර්ගේ දේශපාලන පිබිදීමේ ආරම්භය වූයේ මේ යුගයයි. සමාජ විෂමතා වඩාත් නිර්දය ලෙස විවේචනය කල හේ කල් යත්ම පාර්ලිමේන්තු මහජන ගැලරියේ නිත්‍ය ප්‍රේක්ෂකයෙක් බවට පත් විය. ඔහුගේ සිත තුලින් නැගී එන අදහස් මුදාලීමේ එකම මාධ්‍යය වූයේද අහිංසක කුබිසෙක්මය. දිනපතා නින්දට පෙර දේශනයකට සවන් දීම ඔහුගේ දින චර්යාවේ එක් අනිවාර්ය අංගයකි. “මියැදෙමින් පවතින පාර්ලිමේන්තු ක්‍රමයේ වියැකී යන නාඩි ස්ඵන්දනය හඟිමින් ඇඩොල්ෆ් සතුටු උනා...” මේ අතරතුර ඔහුට අළුත් අදහසක් පහල විය. ඒ රට පුරා නගර ගම් දනව් ඔස්සේ සංචාරය කරමින් මහජන රසාස්වාදය පිණිස ප්‍රසංග පවත්වන ජංගම වාදක කණ්ඩායමක් සැලසුම් කිරිමයි. එය මුළුමනින්ම සෛද්ධාන්තික අභ්‍යාසයකි. එහි වාදකයෝ සිය දෙනෙකුගෙන් සමන් විතය.. මෙය කුබිසෙක් පරිණත දැනුමක් ඇති ක්ෂේත්‍රයක් වූ හෙයින් ඔහුගේ අදහස් වලට වැඩි ඉඩ කඩක් තිබිණ. එහෙත් තිබිය යුතු සංගීත භාණ්ඩ හා වාදකයන්ගේ ඇඳුම පිළිබඳ එකඟත්වයකට ඒම අපහසු විය. මනඃකල්පිත අදහස වෙනුවෙන් ගැටවරයෝ දෙදෙනා තියුණු ලෙස අදහස් හුවමාරු කොට ගත්හ. සෑම නගරයකම රඟහල් නොමැති බැවින් මෙම ප්‍රසංගය හිට්ලර් පවැත්වීමට අදහස් කළේ පල්ලි තුලය. ඒ සඳහා අවසර දෙනු ඇත්දැයි පවා ඔහු රදගුරු කාර්යාලයෙන් විපරම් කොට බැළුවේය. ඒ කුබිසෙක් සම්බන්ධවූ හිට්ලර්ගේ අවසන් ‘මනෝ රාජික’ වැඩසටහන විය. එක් දහස් නවසිය නවයේ නොවැම්බරයේ ඔස්ට්‍රියන් හමුදාවේ අනිවාර්ය යුද පුහුණුව අවසන් කොට යලි වියානාවට පැමිණි කුබිසෙක් දුටුවේ සිය මිතුරා තවදුරටත් ස්ටම්පර්ගැසේ වීථියේ අංක විසි නවය දරණ ස්ථානයේ නොමැති බවයි. ‘හර් හිට්ලර්’ නියමිත පරිදි කුලිය ගෙවා බඩුබාහිරාදිය රැගෙන නික්ම ගියද ලිපිනයක් නුදුන් වග නිවෙස් හිමි කාරිය කීවාය. ඔහු ගැවසෙන්නේ යැයි සිතිය හැකි සුපුරුදු ස්ථාන වල කුබිසෙක් දින ගණනාවක් සැරිසැරුවද ඉන් ඵලක් වූයේ නැත. විසි ලක්ෂයක් ජීවත් වූ වියානා නගරය තුල හිට්ලර් පිදුරු ගොඩක ඉඳිකටුවක් මෙන් අතුරුදන්ව සිටියේය. “කාමර කුලිය ගෙවා ගැනීමට වත් වත්කමක් නැති හෙයින් මගේ මිතුරා මට වත් නොකියා මහ මඟට බැසීමට තීරණය කොට තිබූ වග මා දැනගත්තේ තවත් තිස් අවුරුද්දකට පසුවය…” කුබිසෙක් තම කෘතියේ සඳහන් කරයි. එහෙත් ඒ මොහොතේ පැදුරටත් නොකියා යන්නට ගියේ අත මිට හිඟවූ හෙයින් යැයි ඔහු පසුව කල හේතු දැක්වීම හුදෙක්ම ‘දේශපාලන’ නිදහසට කරුණකි. මෙම ‘නික්ම යාම’ ට වඩාත්ම හේතුවූයේ මේ වනවිට ඔහු ඔස්ට්‍රියන් හමුදාවේ අනිවාර්ය යුද පුහුණුව මඟ හැරීම නිසා හමුදා බලධාරීන් තමා සොයා එනු ඇතැයි ඔහු සැකයක් ඇති කොටගෙන තිබීම විය හැක. ස්ටම්පර්ගැසේ වීථියේ අංක විසි නවය දරණ ලිපිනය ලින්ස් නගරයේ ඥාතීන් මෙන්ම කුබිසෙක්ගේ දෙමාපියෝද දනිති. බොහෝ ජර්මන් ජාතිවාදීන් මෙන් හිට්ලර් ද හැබ්ස්බර්ග් වරුන්ට සේවය කිරීම පිළිකුල් කළේය.

අනතුරුව ගතවූ සිව් වසර තම ජීවිතයේ දුෂ්කරම සමය බව හිට්ලර් ‘මගේ සටන’ කෘතියේ කළ සඳහන අතිශයෝක්තියක් නොවේ. “කුසගින්න හා සීතල මාගේ සමීප සගයෝ වූහ…” බොහෝ විට ඔහු රැය පහන් කළේ තාවකාලික ලැගුම් හල් තුලය. නැතහොත් එළිමහනේ රැය පහන් කළේය. එය සැබෑ ‘බොහිමියානු’ ජීවිතයකි. මේ කාලය අතරතුර වරින් වර ඔහු මැල්ඩමාන් වීථියේ අංක විසි හත දරණ පිරිමි නේවාසිකාගාරයක විසූ බවට සාක්ෂි ඇත. දිවි ගැට ගසාගැනීමට හිට්ලර් කළේ ගොඩනැගිලි හා භූමි දර්ශන සිතුවම් තැපැල් පත් වල දිය සායමෙන් කොට විකිණිමලු! සxචාරකයන් නොපැමිණි ශීත කාලයේ තමාට කම්කරුවකු ලෙස හිම ශුද්ධ කිරීමට සිදුවූ වග ඔහු ‘මගේ සටන’ කෘතියේ ආවර්ජනය කරයි.

මැල්ඩමාන් වීථියේ පිරිමි නේවාසිකාගාරයේ දී මේ කාලයේ හිට්ලර් දැන හැඳින සිටි බව කියැවුන තවත් පුද්ගලයෙකු වූයේ රයින්හෝල්ඩ් හැනිෂ් නැමති සංක්රමමණික නගරංකාරයාය. කලක් ඔහු හිට්ලර් අඳින සිත්තම් හා පින්තූර තැපැල්පත් ඔහු වෙනුවෙන් විකුණා දුන්නද හැනිෂ් විසින් මුදල් වංචා කිරීමේ සැකයක් මත පසුව දෙදෙනා පසුව අමනාප වූහ. විවිධ චෝදනා ලබා කිහිප වතාවක්ම සිර ගතව සිටි හැනිෂ් තමා දුටු හිට්ලර් අලසයකු බවත් කිසි දිනෙක කම්කරුවකු ලෙස වැඩ නොකල බවත් පවසයි. එහෙත් ඔහුගේ ප්රසකාශයන් බොහොමයක් සාවද්යබ බවත් සද්භාවයෙන් තොර බවත් දැන් හෙලිවී ඇත. චිත්ර් ශිල්පය ගැන යම් හැකියාවක් තිබූ හැනිෂ් නව සිය තිස් ගණන්වල දී තමා විසින්ම දිය සායමින් කළ සිතුවම් ජර්මන් චාන්ස්ලර් තරුණ කාලයේ අඳින ලද චිත්රම ලෙස පවසා වියානා නුවර අලෙවි කොට හසුවී සිර දඬුවම් ලැබ ඔස්ට්රිඳයාවේ බන්ධනාගාරයකදී හෘදයාබාධයකින් මියගියේය. බොහෝ දෙනා සැක කළේ මරණය පසුපස වූයේ හිට්ලර්ගේ අදිසි හස්තය බවයි. ඔස්ට්රියයන් බලධාරීන් දිගින් දිගටම තමා පසුපස හඹා එතැයි පෙනීගිය නිසාදෝ එක්දහස් නවසිය දහතුනේ මැයි මස හිට්ලර් ජර්මනිය බලා නික්ම යාමට තීරණය කළේය. සොයුරිය ඥාතීන් යටතේ ඇති දැඩි වූ හෙයින් ඔහුට අන් වගකීම් හෝ බැදීම්ද නොවීය. ඒ වන විට ටිකට් පතක් ගැනීමට වත් අත මුදල් නොතිබූ ඔහු රාත්රී දුම්රියට පස්සා දොරකින් ඇතුළු වූ බවටත් සැල්ස්බර්ග් දේශ සීමා කපොල්ලේදී රේගු නිළධාරීන් බලපත්රු පරීක්ෂා කරන විට වැසිකිලිය තුල සැඟවුන බවටත් මතයක් ඇතත්, මේ වන විට ඔහුට පිය උරුමයෙන් කිසියම් මුදලක් හිමිව තිබූ බවට ලිපි ලේඛණ වලින් තහවුරු වී ඇති හෙයින් ඔහු ඔය කියන තරම් අග හිඟ කම් වලින් පෙළුනේ යැයි සිතීම අසීරුය. ටිකට් පතක් ඇතිව හෝ නැතිව හෝ ඔහු පසු දින දකුණු දිග ජර්මන් ප්‍රාන්ත රාජ්‍යයක් වූ බැවේරියාවේ මියුනික් නුවරට සේන්දු වීය. ඒ ඔහු නිතර සිහිනෙන් පවා දුටු සුන්දර ජර්මන් නගරයයි. ඒ පොළොවේ ඇවිදීම වඩාත් පහසුය; හමන මඳ නල ගතට සිසිලස ගා සිතට සුවය ගෙන දේ. හිරු එළියෙන් ආලෝකමත් වූ වීථි ඔස්සේ නිදහස් ලෙස මිනිස්සු ඇවිද යති. මියුනික් හි ෂ්ලයිස්හයිමර් වීථියේ අංක තිස් හතර දරණ ස්ථානයේ වූ නිවෙසක තෙවැනි තට්ටුවේ කාමරයක් කුලියට ගත් හිට්ලර් දිය සායම් චිත්රස ඇඳීම තවදුරටත් සිය ජීවනෝපාය කොට ගත්තේය. ජෝසෙෆ් පොප් නැමති නිවෙස් හිමිකරුවා සන්නාලියෙකි. විනීත ගති පැවතුන් ඇති නව කුලී නිවැසියා ඔහුගේ බිරිඳට හා දරු දෙන්නාටද බොහෝ ප්රිතයය. තම කාමරය තුලට වී ලියමින්, කියවමින්, අඳිමින්, දවස ගත කරන ඔහු ගෙහිමි පවුල සමඟ රෑ කෑමට කරන ආරාධනය පමණක් නොපිළිගනී. නිශ්චිත අරමුණකින් තොර වුවද හිට්ලර්ගේ ජීවිතය දැන් වඩාත් සුව පහසුය. එවකට ජර්මනියේ පිටුවහල් ජීවිතයක් ගත කල ව්ලැදිමීර් ඉල්යීච් ලෙනින් නැමති රුසියන් ජාතික විප්ලවාදියාද එම වීථියේම මඳක් ඔබ්බෙන් වූ ගොඩනැගිල්ලක පදිංචිව සිටි වගක් ඔහු ඒ වන විට දැන නොසිටියේය. ෂ්ලයිස්හයිමර් වීථිය අඥාදායකයන්ට විපතේදී සෙවණ දුන් ක්ෂෙම භූමියකි! ගතවූයේ එකොලොස් මසකි. අවාසනාවකට මෙන් ඔස්ට්‍රියන් බලධාරීහූ හිට්ලර්ගේ මියුනික් නුවර ලිපිනය අනාවරණය කොට ගත්හ. දිනක් සවස ෂ්ලයිස්හයිමර් වීථියට ඔහු සොයා ආ මූසල පෙනුමක් ඇති පොළිස් භටයෙක් වහා කොන්සල් කාර්යාලයට වාර්තා කරන මෙන් නියෝගයක් අත්පත් කොට ඔහු අත්ඩංගුවට ගත්තේය. යුද සේවය මඟ හැරීමේ වරදට දඩයක් හා සිර දඬුවමක් ඔහුට හිමි වීමට බොහෝ දුරට ඉඩ තිබිණ. එහෙත් දෛවය නීති රීති හෝ රෙගුලසි මගින් වෙනස් කොට නොහේ. වාර්තා කිරීමේ නියෝගය බොහෝ පමා වී භාරදීම හේතුවෙන් එය ඉටු කිරීම සඳහා හිට්ලර්ට ප්‍රමාණවත් කාලයක් ඉතිරිව තිබුණෙ නැත. යුද සේවය පැහැර හැරීම වෙනුවෙන් ඔහු ඉදිරිපත් කල බැගෑපත් පෞද්ගලික නිදහසට කරුණු අසා අනුකම්පා කල කාරුණික කොන්සල්-ජනරාල් තැන අවාසනාවත් තරුණයා දඬුවමකින් තොරව යුද පුහුණුව සඳහා යොමුකරවන මෙන් ඔස්ට්රිනයන් බළධාරීන්ට රෙකමදාරුවක් ලියා යැවීය. එහෙත් හමුදා පාසලේ පරීක්ෂණ‍යේදී ඔහු යුද සේවයට නුසුදුස්සෙක් සලකා ලෙස අසමත් කරන ලදී; හරියටම ඉබ්බා දියේ දමන විට ඇන්නෑවේ කීවාක් මෙනි. මියුනික් නගරය බලා හිට්ලර් යලි පැමිණියේ නිදහස් ඔස්ට්‍රියන් පුරවැසියෙකු ලෙසය. ඔහු ‘චිත්‍ර ශිල්පියකු හා ලේඛකයකු’ ලෙස ෂ්ලයිස්හයිමර් වීථියේ ලියාපදිංචි ව සිටියේය. වෙලාවට කලාවට ගෙවල් කුලී ගෙවන ඔහු පොප් පවුලේ සාමාජිකයකු මෙනි. ඔහුට වෙනත් මිතුරන් නොවීය. ඉඳහිට ඔහු ලිපියක් ලැබුන බව පොප් මහත්මිය සිහිපත් කළාය. ඒ ලින්ස් නගරයේ විසූ මේ වනවිට දහඅට හැවිරිදි එකම සොයුරිය වූ පෝලා ගෙන් විය හැක. එහෙත් ඔහුගේ දෛවය කණපිට හැරවූයේ ඊලඟ වසරේ හටගත් පලමු ලෝක යුද්ධයයි...

thumb|වම|හිට්ලර් විසින් අඳින ලද දිය සායම් චිත්‍රයක් (1910)

thumb|මධ්‍යය|හිට්ලර් - 1905 (අදින ලද්දේ කවරකු විසින්දයි පැහැදිලි නත)

thumb|දකුණ|හිට්ලර්ගේ සොයුරිය පෝලා. විවාහ නුවූ ඇය 1960 මිය යන තුරුම අප්‍රකටව සිටියාය.

හිට්ලර් නම් සොල්දාදුවා (1914-1919)

පලමු ලෝක යුද්ධයට තුඩු දුන් අරුම හේතුව වූයේ 1914 ජුනි 28 දා බොස්නියාවේ සංචාරයක යෙදී සිටි ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් කුමාරයා සහ එම දේවිය සරාජිවෝ අගනුවරදී සර්බ් අන්තවාදියෙකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීමයි. කලක් මුලුල්ලේ සර්බියාවට පහර දීමට හේතුවක් හොයමින් සිටි ඔස්ට්‍රියාවට මෙම සිදිධිය අඬන්න හිටි මිනිහාගේ ඇසට ඇඟිල්ලෙන් ඇනීමකට සමාන විය. ජුලි 28 දා ඔස්ට්‍රියන් හමුදා බෙල්ග්‍රේඩ් නුවරට කාලතුවක්කු වලින් පහර දුන් අතර මින් කුපිත වූ රුසියාව සර්බියාවට පක්ෂව හමුදා රැස් කිරිමට නියෝග කලාය. ස්ලාව් වරුන්ගේ හිරිහැර වලින් මිදීමට ඔස්ට්‍රියාවට ඇති අවශ්‍යතාව තමාට හොදින් වැටහෙන බව පැවසූ ජර්මනියේ දෙවන කයිසර් විල්හෙම් තුමා රුසියාවටත් ඇගේ මිතුරා වූ වරදට ප්‍රංශයටත්, ප්‍රංශය ආක්‍රමණය කිරීම සඳහා කොරිඩෝරයක් ඉල්ලා මධ්‍යස්ථ රටක් වූ බෙල්ජියමටත් අවසන් නිවේදන යැවීය. බෙල්ජියමේ මධ්‍යස්ථ භාවය උල්ලංඝනය කිරීම මත මහා බ්‍රිතාන්‍යයද යුද්ධයට සම්බන්ධ විය. ප්‍රංශයේ හා බෙල්ජියමේ ස්වාදධීනත්වය ඈ තම ජාතික ආරක්ෂාවේ මුදුන් මල් කඩ කොට තැකුවාය. බ්‍රිතාන්‍ය විදේශ ඇමති සර් එඩ්වඩ් ග්‍රේ සොබා දමට දැඩි ලෙස ආදරය කල ගැමියෙකි. එදින සවස ලන්ඩන් නුවර විදේශ කාර්යාලයේ කවුළුව අසලට වී දුක්මුසු ලෙස කල්පනාවේ යෙදුන හේ දුක්මුසු ලෙස මෙසේ මුමුණනු ඇසිණ... “යුරෝපය පුරා පහන් නිවී යමින් පවතී. ඒවා අපේ ජීවිත කාලය තුල යලි නොදැල්වෙනු ඇත...”

මියුනික් නුවර ෂ්ලයිස්හයිමර් වීථියේ සිට මේ සියල්ල ඇසූ හිට්ලර් උදම් ඇනුවේද ග්‍රේ පශ්චත්තාපයට පත් වීමට හේතු වූ කරුණම අරබයාය. ජර්මනිය ‍විසින් යුද්ධයකදී ප්‍රංශය පරාජය කරනු දැකීම ඔහුගේ එකම පැතුමය. කුඩා සන්දියේ පවා 1870 ප්‍රසියන්-ප්‍රංශ යුද්ධය පිළිබධ ඉතා ආශාවෙන් කියැවූ ඔහු ලොරේනයට කඩා වදින ප්‍රසියන් අසරුවන් කෙතෙක් මනැසින් දුටුවේද? අනික මෙම යුද්ධය තවදුරටත් ඔස්ට්‍රියාව හා සර්බියාව අතර එදිරිවාදි කම් පිරිමසාගැනීමක් නොව ජර්මනියේ අනාගතය වෙනුවෙන් කෙරෙන අරගලයකි. එහෙයින් ඊට සභාභාගි වී සියැසින් දැක ඇත්නම් නම් එය වඩාත් මැනවයි හිට්ලර් කල්පනා කලා විය හැක. ගෙයක් දොරක් ලමා ලපටි හෝ නෑ හිත මිතුරෙක් නැති තනි ඔහුට කවර බැදීමක් ද? යුද්ධයට සහාය පළකරමින් ඕඩියොන්ස් පෙදෙසේ පැවති දැවැන්ත උද්ඝෝෂණ රැළියකට සහභාගී වූ ඔහු තමා ජර්මන් හමුදාවේ බැවේරියන් රෙජිමේන්තුවට බඳවා ගන්න මෙන් ඉල්ලා පසුදිනම පෙත්සමක් ඔප්පු කළේය.

ස්වේච්ඡා භටයෙක් ලෙස ජර්මන් හමුදාවට එක් කොට ගනු ලැබූ ඔස්ට්‍රියන් පුරවැසි හිට්ලර් කෙටි යුද පුහුණුවකින් අනතුරුව 16 වැනි බැවේරියානු සංචිත රෙජිමේන්තුවේ දූත-සෙබළෙකු ලෙස බටහිර පෙරමුණට අනුයුක්ත කෙරිණ. ඔහු ගේ කාර්යය වූයේ ඉංග්‍රීසි-ප්‍රංශ හමුදාවන්ට එරෙහිව සටන් වැදුන උතුරු බෙල්ජියමේ ෆ්ලැන්ඩර්ස් පෙදෙසේ මූලස්ථානය හා ජර්මන් පෙරමුණ අතර සම්බන්ධීකරණයයි. පියාඹන වෙඩි උණ්ඩ මැද බඩගා යමින් තමා කල අන්තරාකාරී මෙහෙය ඔහු පසුව සිහි කලේ ආඩම්බරයෙනි. ජර්මනියේ සෙසු දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ වනවිට ඇදහූවාක් මෙන් ඔහු තුලද ජයග්‍රහණය පිළිබඳ අබමල් රේණුවක හෝ සැක සංකාවක් නොවීය.

එහෙත් සිතුවක් නොසිදුවේ; නොසිතුවක්ම සිදුවේ. ජර්මන් යුද සලැසුම පිලියල කල හිටපු සෙනෙවි මණ්ඩල ප්‍රධානී දිවංගත ඇල්ෆ්රවඩ් වොන් ශ්ලීෆන් සිටුවරයාගේ අභිප්‍රාය වූයේ බෙල්ජියම හරහා ප්‍රංශයේ හිසට ‘මිටි පරහක්’ එල්ල කොට පැරිසිය අල්ලා ගැනීමය. අනතුරුව ආපිට නැගෙනහිර බලා ගොස් රුසියානුවන් පැරදවිය හැකි වනු ඇතයි සිතූ ඔහු එතෙක් රුසියානුවන් මෙල්ල කොට ගෙන සිටීමට ජර්මනියේ මිතුරා වූ ඔස්ට්‍රියාව සමත් වනු ඇතයි කල අවදානම් සහගත උපකල්පනය මත සමස්ත සැලැස්මේ සාර්ථකත්වර රැඳිණ. එහෙත් බෙල්ජියමේදී මුහුණ පෑමට සිදුවූ අනපේක්ෂිත ප්‍රතිරෝධනය හේතුවෙන් ජර්මන් ආක්‍රමණය කාලසටහනට වඩා බොහෝ පමා වූ අතර අගෝස්තු අවසානයේ ගැලීෂියාවේ ඔස්ට්‍රියන් ගැරිසනය පරාජය කල රුසියානුවෝ නැගෙනහිර ප්‍රසියාව දෙසට ගමන් ගත්හ. ජර්මන් සෙනෙවි මණ්ඩලයේ නව ප්‍රධානී ජනරාල් හෙල්මුත් වොන් මෝල්ට්කේ ‘ජුන්කර්’ (නැගෙනහිර ‍ ප්‍රසියන් ඉඩම්හිමි ප්‍රභූ) වරයෙකි. යුද පෙරමුණ තම උපන් බිමෙන් ඈත් කොට තැබීමෙහි ලා විශාල ආශාවක් ඔහු තුල විය. බටහිර සටනේ ඉලක්ක සපුරා ගැනීමට පෙර විශාල වශයෙන් බළඇණි ඉවත් කරමින් නැගෙනහිර පෙරමුණට යැවීමට ඔහු උත්සුක වූයේ මේ නිසාය. අවසන් ප්‍රතිඵලය වූයේ වොන් ශ්ලීෆන් සිටුතුමා අපේක්ෂා කල ක්ෂණික ජයක් වෙනුවට යුද අගල් තුල දීර්ඝ කාලයෙක් පුරා ඇදී ගිය අතිශය වෙහෙසකර යුද්ධයකි. මහා බ්‍රිතාන්‍ය විසින් පණවා තිබූ නාවුක අවහිරය තුල ආයත සීමාවීම හේතුවෙන් ඉහල යමින් පැවති ආහාර හිඟය මඟ හැරවීම පිණිස සලාකයක් හඳුන්වා දීමෙන් නොනැවතී ගොවිපොළවල් සිටි ඌරන් පණස් ලක්ෂයක් මස් කිරීමට පවා ජර්මනියට සිදු වීමෙන් පෙනී යන්නේ ජර්මන් ආර්ථිකය සතුව දීර්ඝ යුද්ධයක් සඳහා අවැසි පෙර සූදානමක් නොතිබූ බවය. විසිවන සියවසේ තාක්ෂණික පුනරුදයත් සමඟ ප්‍රහාරක හා ආරක්ෂක උපක්‍රම වල හටගෙන තිබූ දියුණුව යුද්ධය වඩාත් අසීරු හා හිංසාකාරී වීමට ඉවහල් වූ තවත් හේතුවකි. කටු කම්බි බාධක හා මැෂින් තුවක්කු පාබල හමුදා වල ඉදිරි ගමන සීමා කල අතර වාර්තා වූ ජීවිත හා දේපොල හානිය අන් කවරදාටත් වඩාත් වැඩි වූයේ දෙපාර්ශ්වයම විනාශකාරී අවි නිපදවීම හා භාවිත කිරීම නිසාය. මෙවන් යුද්ධයක වැඩි වාසිය අත්වූයේ සූරා කෑම සඳහා ඇති තරම් යටත් විජිත ඇති මහා බ්‍රිතාන්‍යට හා ප්‍රංශයට වීම අරුමයක් නොවේ.

මුලින්ම යුද්ධයෙන් හති වැටුනේ රුසියාවය. 1916 කොකේසස් කඳුකරයේදී ඔටෝමන් තුර්කිවරු පරාජය කිරීමෙන් අනතුරුව ඈ සතු අවසන් ශක්තිය ද සිඳීණ. සෙබළුන් පන්ලක්ෂයක් මිය යාමෙන් අනතුරුවද ලද ප්‍රතිලාභයක් දැක්විය නොහැකි වූ නොකොලස් සාර් තුමා ගෙන් බලය පැහැර ගත් සෝවියට් වරු සාමය ඉල්ලා සිටියද, අවසන් මොහොතේ ජර්මනිය ඉන් ලද වාසියක්ද නැත. 1918 ආරම්භ විට ජර්මනිය පුරා යුද විරෝධි වැඩ වර්ජන හා හර්තාල් හට ගත්තේය. කයිසර් තුමා සිහසුන හැර යා යුතු යයි විරෝධතා කරුවෝ උද්ඝෝෂණය කලහ. රට තුල ‘සෝවියට්’ පන්නයේ විප්ලවයකින් රාජ්‍ය බලය පැහැරගනු ඇතයි බියවූ ‘ජුන්කර්’ පෙලපතට නියෝජනය කරන ජර්මන් හමුදා ජනරාල් වරු වහා යුද්ධය අවසන් කිරීම මැනවයි කයිසාර් තුමාගෙන් උදක්ම ඉල්ලා සිටියහ. 1918 නොවැම්බරයේදී ජර්මනිය අවිබිම තබා යටත් විය. කයිසර් තුමා සිහසුන හැර රටින් පලා ගියේය. ජර්මනිය ජනරජයක් බවට පත් විය. දින කිහිපයකට පෙර බ්‍රිතාන්‍ය විෂ වායු ප්‍රහාරයකට ලක්වූ හිට්ලර් ඒ වන විට සිටියේ හමුදා රෝහලක ප්‍රතිකාර ලබමිනි. ජර්මනිය යටත් වූ බව ඇසූ ඔහු හඬා වැලපුනේය. හමුදාවේ නිල නොලත් නිලධාරියෙක් ලෙස ඔහුට හැඟුනේ නියත වශයෙන් ජයගත හැකිව තිබූ යුද්ධ ‍ව්‍යායාපාරය යුදෙව්-කොමියුනිස්ට් බලවේග විසින් විරෝධතා හා වර්ජන තුලින් අඩපණ කොට පරාජය කරවූ බවය.හමුදාවේ පිටට පිහියෙන් අනින ලද්දේ දේශපාලඥයන් විසිනයි ඔහු කේවේ එබැවිණි. බිස්මාර්ක්ගේ මහා දෙවන ජර්මන් රයික් අධි රාජ්‍යය ඇද වැටුනේ කඩදාසි ගෙයක් ලෙසය. ජාතීවාදීන් අඩ සියවසක් කුල්මත් කල සර්ව-ජර්මන් සිහිනය බොඳ විය. එමපණක් නම් මදෑ! ජයග්‍රාහී මිත්‍ර බලවතුන් විසින් ලෙස ‘වර්සෙල්ස්’ හිදී අත්සන් කිරීමට බල කෙරුන දුෂ්ඨ ශමත ගිවිසුම ගහෙන් වැටුන ජර්මනියට ගොනා ඇනීමකි. නිරායුධ කොට අවමන් කරන ලදුව ඈට තවත් තහංචි බොහෝ පැනවන ලදී. දුර්භාග්ය කදී පාලකයන්ට දොස් නැඟීම මිනිස් වර්ගයාට පොදු ස්වභාවයක් විය යුතුය. හිට්ලර් ඇතුළු ජාතිවාදීහූ මෙහිදීද ජනරජයෙහි දොස්ම දුටූහ. සේවය කල හමුදා ඒකකයේ අණ දෙන නිළධාරියා දිනක් හිට්ලර් මියුනික් නුවර අඳුරු බීර හලකට පිටත් කොට හැරියේ එහි රැස් වන බවට තොරතුරු ලත් ජර්මන් කම්කරු පක්ෂ නම් කල්ලියක් පිලිබද සොයා බලා කරුණු වාර්තා කිරීමටය. පරාජයේ අපේක්ෂාභංගත්වය තුලින් හටගත් දැවැන්ත දේශපාලන රික්තය තුල හතු පිපෙන්නාක් මෙන් බිහිවූ අන්තවාදී කණ්ඩායම් ගැන හමුදාව ඇස ගසාගෙන සිටියේය. පමණට වඩා වමට බර ජනරජය කොන්සර්වේටිව් වාදී හමුදා නායකත්වයටද රුචි නැත.

කල්ලියේ නායකයා වූයේ යතුරු ශිල්පියෙකු වූ ඇන්ටන් ඩ්‍රෙක්ස්ලර් ය. ඇල්ෆ්‍රඩ් රොසෙන්බර්ග් නම් උපාධිධාරී වාර්ගික බෝල්ටික්-ජර්මන් සංක්ර්මණිකයකු ඇතුළු සාමාජිකයන් හතලිස් දෙනෙකුගෙන් සමන්විත ජර්මන් කම්කරු පක්ෂයේ මුළු අරමුදල මාර්ක් හතයි ශත පණහකට සීමා විය. කමිටු සාමාජිකයන් හය දෙනා රැස්වූ කුඩා බීර හල අපවිත්‍රය. දැලි වැකුන බිත්ති සහිත ශාලාව අඳුරුය. ඈතින් වූ බංකුවක් මත හිඳගත් බේබද්දන් කිහිප දෙනෙක් ද සංවාදයට කන් දෙති. ඔවුහු අන්ත දක්ෂිණාංශිකයෝ වූහ; සර්ව-ජර්මන් වාදය පරමාදර්ශ කොට ගත්තෝ, යුදෙව්වන්ටත්, කොමියුනිස්ට් වාදයටත්, ජනරජයටත්, වර්සෙල්ස් ගිවිසුමටත් එක සේ වෛර කළෝය. හිට්ලර්ට තමා පෙර අත් නොවිඳි හුරු පුරුදු බවක් හා පහසුවක් දැණින. ඒ අඳුරු බීරහල තුලින් නැගුනේ ඔහුගේ අධ්‍යාත්මයේ දෝංකාරයයි. ආ කාරණය ගැන දැනටමත් නිනව් නැතිව සිටි හිට්ලර් ගේ දැහැන බිඳී ගියේ ඒ වාග් මාලාවේ මාධුර්යය සුණු විසුනු කරමින් සෘතියෙන් එපිට ගැයුන පිටස්තර ස්වරයක් නිසාය. කට ගොන්නක් බීගෙන එතැනට කඩා වැදී තමා මහාචාර්ය වරයෙක් ලෙස හඳුන්වාගත් එක්තරා අන්තවාදියෙක් බැවේරියාව ජර්මනියෙන් වෙන්වී ඔස්ට්‍රියාව හා එක්විය යුතු යැයි උදක්ම කියා සිටියේය. මේ ඇසූ ඔත්තු බලන හමුදා කෝප්‍රල් තැනට උන් හිටි තැන් අමතක විය. වහා අසලවූ මේසයක් මත නැගගෙන ඔහු වේගවත් පිළිතුරු කථාවක් කළේ ජර්මනියෙන් තොර දෛවයක් බැවේරියාවට නොමැති බව අවධාරණය කරමිනි. කට උත්තර නැති වූ අන්තවාදී මහාචාර්ය තැනට බීර හලේ ආලින්දය දක්වා පසුබැසීමට සිදු විය. කථාව අවසානයේ ඉමහත් සේ පැහැදුන ඩ්‍රෙක්ක්ස්ලර් තම කණ්ඩායම හා එක්වන ලෙස හිට්ලර්ට විවෘතව ආරාධනාවක් කරමින් තමා විසින් ලියන ලද පොත් පිංචක්ද තෑගි කලේය. ජර්මන් කම්කරු පක්ෂය හිට්ලර්ගේ සිත් ගත්තේය. මියුනික් නගරයේ බීර හල් තුල ගැවසුන බේබද්දන් අතලොස්සක් හා හමුදාවේ දේශපාලන ඔත්තු ඒකකය හැරුන කොට සෙස්සෝ තවමත් මෙම අපූරු දේශපාලන පක්ෂය පිලිබඳ හාංකවිසියක් නොදැන සිටීයහ. පැවති සියළු දේශපාලන කණ්ඩායම් අතුරින් ජර්මනියට වඩාත්ම හිතකර ව්‍යාපාරය විය හැක්කේ ජර්මන් කම්කරු පක්ෂයට බව හමුදා ඔත්තු සේවා ඒජන්ත තැන්පත් ඇඩොල්ෆ් හිට්ලර් සිය වාර්තාවේ සඳහන් කළේ එහෙයිනි. ඔවුන් හා එක්වන මෙන් ඩ්‍රෙක්ස්ලර් තමා ලද ආරාධනය පිළිබඳවද සිය ඉහල නිළධරයා නොවලහා දැනුවත් කල ඔහු පොත් පිංච ද ඇමුණුමක් ලෙස ඉදිරිපත් කළේය. හිට්ලර්ගේ ප්‍රධානියා වූ කපිතන් කාර්ල් මේයර් ද උග්‍ර ජර්මන් ජාතිවාදියෙකි. යුදෙව්වන් ද වහ කදුරු මෙන් තිත්තය. ඩ්‍රෙක්ස්ලර් ගේ ආරාධනය පිළිගෙන ජර්මන් කම්කරු පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට තම සහායකයා ධෛර්යමත් කළේ ඔහු විසින් බව පැවසේ. පසු කලෙක මේයර් කියා සිටියේ හිට්ලර් ඒජන්තයකු ලෙස මියුනික් නුවර දක්ෂිණාංශය තුලට ඇතුළු කරවීම හමුදා ඔත්තු සේවයේ උපාය මාර්ගික පියවරක් වූ බවත් එහිදී තමා ඉහල නිළධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කළ බවත් ය. එහි සත්‍යාතවතාව අපි නොදනිමු. එහෙත් දින කිහිපයකට පසු හිට්ලර් හත් වැනි කොමිටි සාමජිකයා ලෙස ජර්මන් කම්කරු පක්ෂයට එක් වූ බවට නම් සාක්ෂි ඕනෑ තරම් ඇත .

ඒ 1919 සැප්තැම්බර් මාසයයි.

පළමු ලෝක යුද්ධයට පෙර යුරෝපය

thumb|මධ්‍යය|හිට්ලර් 1920 (පෞද්ගලික ඡායාරූප ශිල්පී හයින්රිච් හොෆ්මන් ගේ එකතුවෙනි) thumb|දකුණ|හිට්ලර් 1915-1916 (දිනය නිශ්චිත නැත) thumb|මධ්‍යය|කුමාරයා හා දේවිය මරා දැමීම ගැන පලවූ සිරස්තලයක් (29.06.1914

හිට්ලර් නම් විප්ලව වාදියා (1920-1924)

1919 හිට්ලර් හත්වැනි කමිටු සාමාජිකයා ලෙස ජර්මන් කම්කරු පක්ෂයට එක් වන විට රාජාණ්ඩුව බිඳ වැටීමෙන් හටගත් අභිනව ‘වයිමර්’ ජනරජය තිබුනේ මධ්‍යස්ථ වාමාංශය අතය. එහෙත් 1920 අන්ත වාමාංශය බැවෙරියාවේ බලය පැහැර ගැනීමට දැරූ අසාර්ථක උත්සහය නිසා බිය වූ ආණ්ඩුව දක්ශිනාංශයට සන්නද්ධ වීමට ඉඩ හලේ වර්සෙල්ස් ගිවිසුම මගින් දුර්වල වී සිටි හමුදාවට විප්ලවයකට මුහුණ දීමේ නොතිබූ බැවිනි. හිට්ලර් ජර්මන් කම්කරු පක්ෂය අඳුරු බීරහල් වලින් එලියට මහ ජනයා අතරට ගෙන ගියේය. මෙතෙක් සෛද්ධාන්තික සැලසුම් වලට සීමා වූ ඔහුගේ අදහස් රඟ දැක්වීම සඳහා එය අගනා අවස්ථාවක් විය. උද්යෝගයෙන් ඔද වැඩුන හිටපු කෝප්රල් වරයා බෙහෙවින් කඩිසරය. පවුලක් පන්සලක් නැති ඔහුට වැඩ කිරීමේ දී වෙලාවක් කලාවක් නැත. වසර ගනනාවක් කුබිසෙක්ට හුදෙකලා දේශන පවත්මනින් සිටි ඔහු තමා අති දක්ෂ කථිකයෙකු වග ද නොපමාව අවබෝධ කොට ගත්තේය. ඔහුගේ දේශන වලට සවන්දී පක්ෂයට එක්වූවන් අතර අනාගත න්‍යාචාර්ය හා නියෝජ්‍ය නායක රුඩොල්ෆ් හෙස් ද, හමුදා කපිතන් වරයකු වූ අර්න්ස්ට් රොම් ද වූහ. පක්ෂයේ පුවත් පත සඳහා බංකොලොත් මුද්‍රණාලයක් මිලදී ගැනීමට හමුදාවේ රහස් අයවැයකින් මුදල් සපයා දුන්නේද පක්ෂයේ ජිම්නාස්ටික් අංශය තුල එස්. ඒ. (කඩාපනින භටයන් යන අර්ථය දේ) නම් සටන් කාමී කල්ලියක් ගොඩ නැංවීමට මුල් වූයේ ද, රාජ්‍යතන්ත්‍රයේ ඉහල තනතුරු හෙබවූ දක්ෂිණාංශිකයන් හිට්ලර්ට අඳුන්වා දුන්නේද රොම්ය. දිනෙක ජර්මනිය තුල හමුදාවට විකල්ප යුද සංවිධානයක් ගොඩ නැඟීමට සිහින දුරු ඔහු නාසි පක්ෂය ඒ සඳහා කදිම තෝතැන්නක් ලෙස දුටුවේය. පක්ෂය පුර්ණ ප්‍රතිසංවිධානයට ලක් කල හිට්ලර් යුදෙව්-කොමියුනිස්ට් විරෝධී විසි පස් වැදෑරුම් වැඩපිළිවලක් යටතේ ‘ජාතික සමාජවාදී ජර්මන් කම්කරු (නාසි) පක්ෂය ලෙස යලි නම් කලේය. වර්සෙල්ස් ගිවිසුම අහෝසි කිරීම, යලි සන්නද්ධ වීම හා ජර්මනියේ අහිමි වූ ප්‍රෞඬත්වය යලි ලබා ගැනීම එහි මූලික ඉලක්ක විය. අනතුරුව පක්ෂයේ පූර්ණ බලතල සියතට ගත් හිට්ලර් නොහොත් ‘නායක තුමා’ විසින් ඒ වනවිටත් අකර්මන්‍ය සිටි ඩ්‍රෙක්ස්ලර් ඇතුළු විධායක කමිටුව විසුරුවා හරින ලදී. 1922 වන විට බැවෙරියාවේ දක්ෂිණාංශ්ක ඉහල සමාජයේ එක් සන්ධ්‍යා විලාසිතාවක් වූයේ දේශපලන සංවාද වලට සහභාගී වීමයි. පලමු ලෝක යුද්ධයේ පදක්කම් ගැසූ ගුවන් නියමුවෙක් වූ විසි නව හැවිරිදි කපිතාන් හර්මන් ගෝරින් දිනක් ‘හර් හිට්ලර්’ ගේ දේශනයකට සවන් දීමට පැමිණියේ තම ස්විඩන් ජාතික බිරිය වූ සුරූපී කැරින් ද සමඟය. වර්සෙල්ස් ගිවිසුම මගින් ජර්මනියට යුද ගුවන් යානා නිපදවීම තහනම් කිරීම ගැන ඔහු පසුවූයේ තද කේන්තියෙනි. ගෝරින් ට සිය සවන් අදහා ගත නොහැකි විය... ඒ නාඳුනන මිනිසාගේ කටින් පිටවූයේ ඔහුගේම අධ්‍යාත්මයේම දෝංකාරය බව ඔහුටද වැටහිණ. පසුවදා කෙලින්ම හිට්ලර් හමුවූ ඔහු නාසි පක්ෂයට තම සේවය පිරිනමා සිටි යේය. “වර්සෙල්ස් ගිවිසුම යකාට යද්දෙන් කියල කියන්න හයියක් තියෙන්නෙ ඒ මිහිහට විතරයි,” ගෝරින් සිය බිරිදට පැවසීය. ඔහුගේ සිහිනය වූයේ ජර්මන් අහසේ යලි ගුවන් යානා පැදවීමයි. ගෝරින් ගේ ආගමනය හිට්ලර්ට මහත් ශක්තියකි. කපිතන් වරයාගේ සංවිධාන ශක්තිය හා අණදීමේ හැකියාව ගන බොහෝ පැහැදුන ඔහු ගෝරින්ට එස්. ඒ. සංවිධානය භාර කලේය. එස්. ඒ. භටයන්ට කිසියම් විනයක් ආරෝපනය කොට නිල ඇඳුමක් ලබා දුන්නේ ද, මාණ්ඩලික කාර්යාලයක් යටත පත් කොට වෘත්තිමය භවයක් ලබා දුන්නේද ගෝරින්ය. මාස කිහිපයකට පසු පැවති මහා රැලියකදී දුඹුරු ඇඳුම් හැදි එස්. ඒ. භටයන් අට සියයක ආචාර පෙළපාලියක් පිළිගත් හිට්ලර් ප්‍රීතිියෙන් ඔකඳවී සිටි ගෝරින් ප්‍රසිද්ධියේ බදා වැළඳ ගත්තේය. එවන් පෙළපාලියක් අපේක්ෂා කල හැකිවූයේ රාජ්‍ය නායකයකුට හෝ මහා ජනරාල් වරයෙකුට පමණි. “ මම ගෝරින්ට මීට වඩා ප්‍රසංශා කරන්නෙ නෑ, එයාගෙ ඔළුව තෝන්තු වන නිසා…” ඔහු අසල වූ කැරින් ගෝරින්ට ඉඟි මැරීය. “මගේ ඔළුවත් තෝන්තු වෙලා වගේ, නායක තුමනි” කැරින් විනීත ලෙස පිළිතුරු දුන්නාය. එහෙත් හිට්ලර් විරුද්ධ විය. “නැහැ. නැහැ. වෙන්න බැහැ. ඔබතුමිය වගේ කාන්තවක ගෙ ඔලුව කවදාවත් තෝන්තු වෙන්න බැහැ.” ඉතා අචාර ශීලී ලෙස සිටුවරිය ගේ අත සිපගත් හිට්ලර් යන්නට ගියේය. හිට්ලර් ලෞකික සැප උසස් කොට තැකූ අයෙකු වී නම් 1923 වන විට ඔහු ලඟා කොටගෙන සිටි තත්වය ගැටවරයකු ලෙස වරක් කුබිසෙක් සමඟ ගොඩ නැඟූ අහිංසක ප්‍රාර්ථනා හා සසදන කල ඉහටත් උඩින්ය. මියුනිච් හි විශාල පුස්තකාලයක් සහිත කදිම තට්ටු නිවසක් ද ගමනට බිමනට මෝටර් රථයක් ද ඔහුට තිබිණ. ඔහුගේ චිත්‍ර අගැයීමට රසිකයෝ පක්ෂය තුල පොර කෑහ. බැවේරියාවේ සියලු ලොක්කෝ ඔහු නමින් හඳුනති. ආරක්ෂක ඇමති ගුට්නර් මෑතදී හිට්ලර් කැඳවා ‘කුපිත කරවන සුලු’ කතා පැවැත්වීමෙන් වැලකී සිටින ලෙස අවවාද කලේ ද මේ කදිම තරුණයාට වරදක් වනු දකීමට ඔහු තුල වූ අකමැත්ත වූ නිසා විය යුතුය. එහෙත් විකල්ප හමුදාවක් ගොඩනැගීම අරමුණූ කොට ගත් රොම් හෝ නැවත ගුවනේ පියාසර කිරීමට සිහින දුටු ගෝරින් හා සසඳන කල හිට්ලර් ගේ අපේක්ෂා වඩාත් පුළුල්ය; දුරස්ථය. ඔහු වර්සැල්ස් ගිවිසුම බිඳ දමා ජර්මනිය යලි සන්නද්ධ කිරීමටත්, තුන්වන රයික් අධි රාජ්‍යයක් ගොඩ නැගීමටත් පෙරුම් පුරමින් සිටියේය.

ඔරොත්තු නොදෙන තරම් විශාල යුද වන්දි ගෙවීමට සිදුවීම නිසා 1923 ජර්මනියේ උත්සන්න වූ උද්ධමනය හේතුවෙන් සමස්තය අර්ථිකය කඩා වැටින. මේ හේතුවෙන් රට තුල ඇතිවූ දැඩි අසහනයට මුවා වී බැවෙරියානු ප්‍රාන්තය ජර්මනියෙන් වෙන්වී ස්වාධීන රාජ්‍යක ලෙස ප්‍රකාශයට පත් කිරීමට දක්ෂිණාංශිකයෝ කුමන්ත්‍රණය කලෝය. හිට්ලර් මූලිකත්වය ගත් එහි සෙසු හවුල් කරුවන් වූයේ ප්‍රාදේශීය රජයේ නායකයන් තිදෙනා හා පලමු ලෝක යුද්ධයේ කීර්තිමත් ජනරාල් වරයකු වූ හා ප්‍රකට ප්‍රතිගාමී දක්ෂිණාංශිකයකු වූ එරිච් ලුඩොන්ඩොර්ෆ්ය. එහෙත් අවසන් මොහොතේ ප්‍රාදේශීය නායකයන් තිදෙනා මඟ හැරියේ චකිතය නිසා විය හැක. එහෙත් ඔවුන් තමා මඟ හැර තනිව කුමන්ත්‍රණය කිරීමට සැරසේ යයි සැක කල හිට්ලර් කලේ වහා ගෝරින් ප්‍රමුඛ එස්. ඒ බල ඇණියක් සමඟ ප්‍රාදේශීය නායකයන් රැස් වීමක් පවත්වමින් බීර හලකට කඩා වැදී ඔවුනටද අඩන්තෙට්ටම් කොට බැවෙරියානු ස්වාධීනත්වය ප්‍රකාශයට පත් කිරීමයි. ලුඩොන්ඩෝර්ෆ් ද එක්වූ මේ කැරැල්ල සදහා ඔහු තෝරා ගත්තේ රාජාණ්ඩුව බිඳ වැටීමේ පස් වන සංවත්සරය යෙදුන නොවැම්බර් 9 දාය. පොලිසිය පෙලපාලි කරුවන්ට අනුකම්පා රහිතව වෙඩි තැබුවේය. ඇද වැටීම නිසා උරහිස විසන්ධිවී සිටි හිට්ලර් වාහනයක නංවාගත් ආරක්ෂකයෝ වහා එතැනින් ඔහු ඉවතට රැගෙන ගියහ. වෙඩි පහරකින් කලවය පසාරු වූ ගෝරින් සිය බිරිඳගේ උදව්වෙන් එදාම දේශ සීමාව හරහා ඔස්ට්‍රියාවට පලා යාමට සමත් විය. තවත් එස්. ඒ. කණ්ඩායමක් සමඟ යුද යාමාත්‍යංශ ගොඩ නැගිල්ල අත්පත් කොට ගැනීමට ගිය රොම් යටත් වූ අතර ලුඩොන්ඩොර්ෆ් සිර භාරයට ගන්නා ලදී. දෙදිනක් සැඟවී සිටි හිට්ලර්ද අනතුරුව පොලිසියට භාර විය. රාජද්‍රෝහී චෝදනා මත යුදඅධිකරණයක් හමුවට ඉදිරිපත් කරනු ලැබූ හිට්ලර් සිද්ධියේ සම්පූර්ණ වගකීම භාර ගත්තේය. සෙස්සන් කලේ තම අණ පිළිපැදීම පමණක් බව හේ පැවසීය. ජනරාල් ලුඩොන්ඩෝර්ෆ් ද සිය අණ යටතේ ක්‍රියා කල බවට හැඟවීමෙන් ලද අවස්ථව නිසා ඔහු මහත් ප්‍රමෝදයක් ලද බවට සැක නැත. එහෙත් ප්‍රාදේශීය නායකයන් තමාම මුල්වූ ‘විප්ලවයට’ ද්‍රෝහී වූ බවත් ඔවුන් අධිකරණය හමුවට කැඳවිය යුතු බවත් හේ ඉල්ලා සිටියේය. සිනාව මැඩගත් හමුදා විනිසුරෝ එකිනෙකා ලෙස යටැසින් බලමින් ඉඟි මැරූහ. කියන කතාව සැබෑවකි. මෙම කදිම තරුණයාට වරදක් වනු දැකීමට ඔව්න්ද අකැමැතිය. ජනරජය වෙනුවෙන් පැමිණීලි ගොනු කල පොලිසිය ඔස්ට්‍රියන් පුරවැසියෙකු වන විත්තිකරු රටින් නෙරපන මෙන් ඉල්ලීමක් කලද හිට්ලර් පලමු ලෝක යුද්ධයේ ජර්මනිය වෙනුවෙන් ලේ හලා සටන් කල යකඩ කුරුස පදක්කම් ලාභියකු වන හෙයින් එසේ අකෘතඥ විය නොහැකි බව ඔවුන් පෙන්වා දුන්නෝය. එස්. ඒ සංවිධානය තහනම් කෙරුනද මරණ දඬුවම පවා ලබා දිට හැකි රාජ ද්‍රෝහී චෝදනාවට හිට්ලර්ට ලබාදෙන ලද්දේ පස් අවුරුදු ලිහිල් සිර දඬුවමකි. ලුඩොන්ඩෝර්ෆ් නිදහස් කරන ලදී. බල කොටුව්ක සුව පහසු කාමරයක සිර කරන ලද ඔහු බැලීමට දවසේ ඕනෑම වේලාවක අමුත්තන්ට පැමිණිය හැකි විය. ඔහුට පුස්තකාල පහසුකම් හා ව්‍යායාම ගැනීමේ පහසුකම් පවා ලබා දෙන ලදී. පිටිවහලේ කෙමෙන් සුවය ලබමින් සිටි සිය ස්වාමියාගේ සුභ පැතුම් ද රැගෙන කැරින් ගෝරින් සිටුවරිය ද ඔහු බැලීමට පැමිණීයාය. මෙතෙක් සටන්පාඨ ඔස්සේ සමාජ ගත කෙරුන නාසිවාදය න්‍යායාත්මකව හැඩ ගැන්වීමකට බඳුන් වූයේ මෙම කාලයේදීය. ඊට වැඩිම දායකත්වය සැපයුනේ හිට්ලර් සමඟ දැන් එකට සිරබත් කෑ මියුනික් සරසවියේ හිටපු භූ දේශපාලන සිසු රුඩොල්ෆ් හෙස් විසිනි. ජර්මන් ජාතියේ අනාගත පැවැත්ම සඳහා නැගෙනහිර භූමි අත්පත් කොටගෙන යුතුයයි හිට්ලර් සිර මැදිරියේ සිට රචිත නාසි වාදයේ බයිබලය ලෙස සැලකිය හැකි ‘මගේ සටන’ කෘති මගින් ඉදිරිපත් කල අපූරු න්‍යායේ මුල් අයිතිකරු වන්නේ විශ්ව විද්‍යාලයේ හෙස්ගේද ඇදුරාය. ඉහල යන ජනගහනය පෝෂණය කිරීමට අන් මඟක් නොමැති බවත්, උපත් පාලනය තුලින් වන්නේ ජාතිය දුර්වල වීම බවත්, අනිත් විකල්පය වූ යටත් විජිත වෙළඳාම ජර්මනියට තරම් නොවන බවත් හිට්ලර්ගේ මතය විය. “ජර්මනිය කොහොමටත් සාප්පුකාර ජාතියක් නෙවි.” ඔහු ලීවේය. හිට්ලර් සිරගතව සිටියදී නාසි පක්ෂය භේද බින්න විය. ඇතැම්හු සංවිධානයෙන් ඈත් වූහ. තමා නොමැතිව පක්ෂය ඉදිරියට යාමට වඩා දුර්වල වීමට ඉඩ හැර තමා විසින්ම පසුව ප්‍රතිසංවිධානය කිරීම වඩා ගුණදායක බව හිට්ලර් දැන සිටියේය. හය මසකට පසුව විශේෂ සමාවක් මත ඔහු නිදහස් කරන ලදී. 1924 දෙසැම්බරයේ සිය නායකයා රැගෙන යාම සඳහා හිම කුණාටු අතරින් ලෑඩ්ස්බර්ග් බලකොටුවට ඇදී ආ මෝටර් රථයකි. මහත් ආත්ම විශ්වාසයෙකින් යුතුව ඊට නැඟුනේ නොමේරූ විප්ලවවාදියෙක් නොවේ. තිස් පස් වියේ පසුවූ පරිණත දේශපාලඥයෙකි.

thumb|වම|විශේෂ සමාවක් මත නිදහස ලැබූ හිට්ලර් සිර ගත කොට සිටි බලකොටුවෙන් නික්ම යාමට පෙර (1924 දෙසැම්බර් thumb|මධ්‍යය|හිට්ලර් හා රුඩොල්ෆ් හෙස් (මැද) සිට මැදිරියේ සිට 'මගේ සටන' කෘතිය ලියන අතරතුර (1924)

ගොනුව:USA News paper.jpg
USA News paper

thumb|මධ්‍යය|හිට්ලර් (1922)

හිට්ලර් නම් දේශපාලකයා (1925-1933)

රජයේ වියදමින් ලද ප්‍රීතිමත් නිවාඩුවකට සම කොට හැකි සිර දඬුවම අතරතුර සිය ගමන් මග ආවර්ජනය කිරීමටද හිට්ලර්ට මහඟු අවස්ථාවක් උදා විය. ඇතමුන් මෙහිදී බොරදියේ මාළු බෑමට තැත් කරනු ඔහු නුදුටුවා නොවේ. තහනම් කරන ලද එස්. ඒ. සංවිධානය වෙනත් නමකින් යලි රැස් කිරීමට රොම් දැරූ උත්සහාය වැලැක්වූ ඔහු, විප්ලවයකින් බලය අත්පත් කොට ගැනීමේ අදහස එපමණකින් අත් හලේය. දීර්ඝ වුවද ප්‍රජාතන්ත්‍රවාදී ගමන් මඟ වඩාත් හිතකරය. එදා බීර හලකට කඩා වැදී තමා කරගත්තේ මහ මෝඩ කමකැයි ඔහුට දැන් සිතේ. ඒ සියල්ල නිවරද කොට ගැනීමට කාලය එලඹ ඇත. තමා රජයට විරුද්ධ නැති බවත් තම අරමුණ කොමියුනිස්ට් උවදුරට එරෙහිව බවත් සහතික වෙමින් පක්ෂයට පැනවී තිබූ තහංචි ඉවත් කරවා ගත් හිට්ලර් දෙවනුව ලුඩොන්ඩෝර්ෆ් ප්‍රමුඛ ජාතිවාදි බලවේග වලින්ද තරමක් දුරස්ථ විය. කටින් බතල කොල හිටවීම ඇර අන් යමක් ඔවුන්ට කල නොහැකි බවද, ඔවුන් තමා කරත්තයෙහි හිඳුවා ලූ බවද ඔහු පසක් කොට ගත්තේය. නාසි පක්ෂය අළුත් ගමනක් යා යුතු බවට ඒත්තු ගත් ඔහු එස්. ඒ. සංවිධානය ද අතේ දුරින් තබා ගැනීමට ඉටා ගත්තේය. දැන් ඔහුට ආරක්ෂාව සැපයූවේ ද එස්. එස්. (ආරක්ෂක කණ්ඩායම යන අරුත දේ) නැමති කළු නිල ඇඳුම් හැඳගත් අළුත පිහිටවූ විශේෂ බල ඇණියක් විසිනි. අමනාපයට පත් කපිතන් රොම් ඉල්ලා අස්විය. “ඉන්න බැරි අය යන එක හොඳයි,” එය ඇසූ හිට්ලර් කීය. පසු දා නාසි පුවත්පත් වල එක් අප්‍රධාන තීරුවක සඳහන් වූයේ කපිතාන් රොම් සෞඛ්‍ය හේතූන් මත තනතුරු වලින් මුදා හරින ලෙස නායකතුමාගෙන් ඉල්ලීමක් කොට ඇති බවයි. හිට්ලර් ඇතුළු දකුණේ ජාතිවාදින් සිරගතව සිටි අතරතුර බලවත් වූ ග්‍රෙගෝ ස්ට්‍රැසර් ඇතුළු පක්ෂයේ උතුරු දිග කණ්ඩායම ද මහා ඉඩම් හිමියන්ගේ පෞද්ගලික දේපොල අයිතිය පිළිබඳ හිට්ලර්ගේ නව ප්‍රතිපත්ති නිසා පසු වූයේ නොපහන් සිතිනි. ප්‍රොතස්තන්ත උතුරු ජර්මනිය කවදත් වමට බරය. එහෙත් ඔවුන්ගේ ප්‍රධාන කථිකයා වූයේ දර්ශණය පිළිබඳ විශ්ව විද්‍යාල උපාධිධාරියකු වූ පෝල් ජෝසොප් ගොබ්ල්ස් නම් පුළුල් නලලකින් හා ගිරා ගොටක් බඳු නාසයකින් යුත් කෙසෙඟ තරුණයෙකි. බටහිර රයින්ලන්ත වැසියෙක් වූ ඔහුගෙන් පලවූ ලතින් ශෛලිය අතිශය තියුණුය. සුළු ධනපති හිට්ලර් පක්ෂයෙන් නෙරපා දැමිය යුතු යයි ඔහු තරයේ කියා සිටියේය!

මෙවැනි උඩඟු ගැටවරයන්ට පිළිතුරු බඳින්නෙක් නෙවේ දැන් හිට්ලර්. ඔහු කලබල නොවී සියළු පක්ෂ සංවිධායකයන්ගේ රැස්වීමක් කැඳවූයේ උතුරේ සංවිධායකයන් සහභාගී වීමට අපහසු දිනයකය. ඔවුන්ට මුලින් සංග්‍රහ කොට අනතුරුව ඔහු තම වැඩපිළිවෙල නිවිහැනහිල්ලේ පැහැදිලි කලේය. ඉඩම් හා කර්මාන්ත හිමියන් අමනාප කොට ගත නොහේ. පක්ෂයට අරමුදල් සපයන්නේ ඔවුන්ය. එහෙත් තමාටද ඒ දිනවල වැන්දඹු ආදිපාදවරියකගෙන් මසකට මාර්ක් එක්දහස් පන්සියයක දීමනාවක් ලැබෙන බවක් ඔහු හෙළි නොකලේය. උතුරේ වාමාංශිකයන්ගේ හඬ හිට්ලර්ට සහය පල කරමින් මොර දුන් දකුණේ ජාතිවාදීන්ගේ සටන් පාඨ හමුවේ යටපත් විය. “නායක තුමා නිවැරදි බව මට තේරුම් ගියා. අපි එතුමාට සහයෝගය දෙමු.” උපාධිධාරී ජෝසොප් ගොබ්ල්ස් ද හදිසියේම පිල් මාරු කළේය. එතැන් පටන් හිට්ලර් අසලින් හෙල්ලුනේ වත් ඔහු නොවේ. බහුතරය හිට්ලර්ගේ පැත්ත ගත්තෝය. එදා ගොබෙල්ස් රැස්වීම අවසන්ව දුම්රිය පොලට හැරලන ලද්දේ හිට්ලර්ගේ මොටෝ රථයෙනි. ආපසු ගොස් නායකතුමා තමාට සැලකූ අන්දම පිළිබඳ පුර සාරම් දොඩමින් සිටි ගොබ්ල්ස්ට තමා පක්ෂයේ ප්‍රධාන ප්‍රචාරක නිළධාරියා ලෙස පත් කොට ඇතිබව අසන්නට ලැබිණ ... ඉතිරිය අනවශ්‍යය. කලවයකට වෙඩි වැදී රටින් පලා ගොස් සුවය ලබා සිටි හර්මන් ගෝරින් රජය විසින් ප්‍රදානය කෙරුන පොදු සමාවක් යටතේ යලි ජර්මනිය කරා පැමිණ බර්ලින් නුවර තට්ටු නිවෙසක පදිංචි වුනේ මේ අතරය. ඔහුට තම සිටුවර බිරිය හේතුවෙන් ඉහල සමාජය හා බොහෝ දැන හැඳුනුම් කම් තිබිණ. බොහෝ දුරට මඬ්‍යම හා පහල පංති අතර පමණක් ව්‍යාප්ත වූ පෙරලිකාරී නාසි පක්ෂයට ප්‍රභූ සමාජය තුල ශක්තිමත් පදනමක් ගොඩ නැගුනේ ගෝරින්ගේ මෙම සබඳතා ඔස්සේය. සිය දකුණත බඳු සගයාගේ ආගමනය හිට්ලර්ට ලොකු හයියකි. එහෙත් තහනම ඉවත් කරනු ලැබූ එස්. ඒ. සංවිධානය භාර ගැනීමට ගෝරින් මැලි විය. හිට්ලර් සමඟ ගෝරින් ගේ ඇති ඇයි හොඳයියට කැරින් හෝ සිටු පවුල තුල එතරම් මනාපයක් නැත. එහෙව් එකේ විනයක් නැති මැර කල්ලියක නායකයා ලෙස ස්වීඩනයේ තමාට ලැබෙන බිහිසුනු ප්‍රසිද්ධිය සිය පවුල පවා දෙදරා යාමට හේතු විය හැකි වග නුවණැති ගෝරින් දත්තේය. පක්ෂය පාර්ලිමේන්තු ක්‍රමයට නැඹුරු වීම නොරිසි එස්. ඒ. භටයන්ට උවමනා කළේ විප්ලවයකි. ඡන්දයට ඔන්න මෙන්න තිබියදී වැඩි වැටුප් ඉල්ලා කලබළ කල ඔවුහු පක්ෂ මූලස්ථානයටද හානි කළහ. එන පොට හොද නැති බව තැරුම් ගත් හිට්ලර් තකහනියක්ම විදුලි පුවතක් යවා බොලිවියාවේ යුද උපදේශකයකු ලෙස සේවය කල සිය පැරණි මිතුරා වන රොම් ආපසු ගෙන්වා ගත්තේය. රොම්ට පැවරුන වගකීම වූයේ එස්. ඒ. බලඇණිය ප්‍රතිසංවිධානය කිරීමය. මොන ගැටළු තිබුනද රොම් කවදත් හිට්ලර්ගේ හිතවත් මිතුරෙකි. 1928 දී රයික්ස්ටැග් හෙවත් ජර්මන් පාර්ලිමේන්තු ගැබට නාසි සභිකයෝ 12ක් තේරී පත්වූහ. හිට්ලර් පාර්ලිමේන්තු නොගියේය. චාන්ස්ලර් තනතුරින් මෙපිට අසුනක් ඔහුට ඔට්ටු නැත. මංත්‍රී කණ්ඩායම් නායකත්වය ඔහු ගෝරින් ට භාර කලේය. මේ අතර යුද වන්දි ගැටළුව යලි ඉස්මතු විය. මෙහි පෙරමුණ ගත්තේ දක්ෂිණාංශික ජාතිවාදියෙකු වූ ඇල්ෆ්‍රඩ් හියුජන්බර්ග් නම් ධන කුවේරයාය. පුවත්පත් ඒජන්සි ගණනාවකට හිමි ඔහුගේ ජාතිකවාදී පක්ෂයට යහමින් මිල මුදල් තිබුනද කථිකයන් හෝ ජනතා සහායක් නැත. නාසි පක්ෂය හරහා සෙනඟ එක් රැකල හැකි බව සිතූ ඔහු උද්ඝෝෂණ මාලාවක් දියත් කිරීම සඳහා තමා හා එක්වන මෙන් හිට්ලර්ට ආරාධනා කළේය. බීර හලේ විප්ලවයෙන් පසු සෙසු පක්ෂ හා වැඩි ඇඟෑළුම් කමට නොයන හිට්ලර් මීට එකඟ වූයේ හියුජන්බර්ග් සතු දැවැන්ත දේශපාලන අරමුදල හා ප්‍රචාරක ජාලය දුටු නිසාය. අනිත් අතට හිසරදයක් වෙමින් පැවති එස්. ඒ. භටයන් යෙදවිම සඳහා කාර්යයක් හා ඔවුන්ගේ නඩත්තුවද එමගින් ආවරණය විය. ස්වස්තික ධජ සහිත එස්. ඒ. භටයන් පෙරටු කොටගත් විරෝධතා රැලි පුරා හය මසක් පවතිණ. ඒ සෑම ස්ථානයකම ප්‍රධාන කථිකයා වූයේ හිට්ලර්ය. සිය වියදමින් හා මාධ්‍ය හරහා හිට්ලර් පුද්ගලික ප්‍රචාරයක් ලබා ගත් බව හියුජන්බර්ග් අවබෝධ කොට ගන්නා විට බොහෝ ප්‍රමාද වැඩිය. ආධාර කිරීමට බොහෝ ව්‍යාපාරිකයන්ද ඉදිරිපත් වීම හේතුවෙන් නාසි පක්ෂයේ අරමුදලද නොසිතූ ලෙස තර විය. පැරණි මාලිගාවක් මියුනික් නුවරින් මිලට ගත් හිට්ලර් එය පිළිසකර කොට (එය සිය පෞද්ගලික නිවස ලෙස යොදා නොගෙන) එහි නව පක්ෂ මූලස්ථානය පිහිටවීය. මින් ඉදිරියට ඔහු අමුත්තන් පිළිගත්තේ මහා ෆෙඩ්රිාක් රජුගේ රුව එල්ලූ විශාල ශාලාවක සිටයි. උද්ඝෝෂණය අවසන් වන විට මෙතෙක් බැවෙරියාවේ ප්‍රාදේශීය දේශපාලඥයෙක් පමණක් වූ හිට්ලර් දැන් රටම දන්නා ජාතික තලයේ චරිතයකි. 1930 ලෝක ආර්ථික අවපාතය ජර්මනියට තදින් බලපෑවේය. විරැකියාව උත්සන්න විය. කෘෂි මිල පහත වැටිණ. උද්ධමනය ඉහල ගියේය. මධ්‍යම පංතියට සිය ඉතුරුම් අහිමි විය. දේශපාලන අර්බුද හේතුවෙන් මැතිවරණයක් ද කැඳවා තිබිණ. “ මේ පාර ආසන 50 ක් වත් දිනා ගන්න බැරි උනොත් වැඩක් නැහැ,” හිට්ලර් ගෝරින් සමඟ කීය. නාසි ඡන්ද ව්‍යාපාරය සෙසු සියළු දේශපාලන පක්ෂ වලට වඩා සිත්ගන්නා සුළුය. යෝධ ස්වස්තික ධජ දසත ලෙළදේ. එස්. ඒ. භටයෝ අචාර පෙළපාලියේ ගමන් කරති. බිත්ති පෝස්ටර් හා සටන් පාඨ වලින් වැසී ගොසිණි. මහජනයාගේ ආකර්ෂණය දිනා ගැනීමට කරුණු පැහැදිලි කිරීමට වඩා ප්‍රදර්ශනය වැදගත් බව හිට්ලර් දැන සිටියේය. මැතිවරණ ප්‍රතිඵලය අවසානයේ නිකුත් විය. මොන 50ක් ද? නාසි පක්ෂයට ආසන 107ක් හිමි විය. එහෙත් විටෙක අභාග්‍ය කඩා පාත්වෙන්නේ වැහි නැති අකුණු මෙනි. හිට්ලර් අතිශය ඇළුම් කල සුළු ලේලියක් වූ විසි හැවිරිදි ගෙලී රවුබාල් මියුනික් නුවර ඔහු නැවතී සිටි මහල් නිවසේ කාමරයක ඔහුගේම පිස්තෝලයෙන් දිවි නසාගෙන සිටියාය. ඉගෙනීමේ කටයුතු සඳහා මියුනික් නුවරට පැමිණ සිටි ඈ කලෙක පටන් නතර වී සිටියේ එම නිවසේය. පසු කාලයේ බොහෝ විට ඈ සිය මාමා සමඟ ප්‍රසිද්ධ ස්ථාන වල පෙනී සිටියාය. ඔවුන් අළලා කට කතා ඇතිවීමට මෙය එක් හේතුවකි. ඔවුනතර සම්ප්‍රදායික ඥාති බැම්මෙන් තොර කිසියම් චමත්කාරී සමීප බවක් තිබූ වග පැහැදිලි මුත් එය ඔහුගේ සතුරන් පැවසූ අන්දමේ අසම්මත දීගයක් යැයි නිගමනය කිරීමට තරම් සාධක නොමැත. ගෙලී රවුබාල් විනෝදකාමී හා සමාජශීලී තරුණියක් වූ බවත් ඇගේ නිදහස හිට්ලර් ඉතා නිර්දය ලෙස සීමා කළ බවත් ඇතැම්හු පවසති. මෙය සත්‍යක් විය හැක. ඈ කොතෙක් ආශා කලද වියානාවේ සංගීත පාසලට යාමට ඔහු ඈට ඉඩ නුදුන්නේය. මරණය සිදුවූ දා දහවල් කිසියම් හේතුවක් මත දෙදෙනා දබර කරනු ඇසුන බව සේවිකාවෝ රහස් දෙඩුවද, එය හුදෙක්ම විනය ගැටළුවක් වීමට ඉඩ තිබේ. නැතහොත් හුදු ඕපාදූපා විය හැක. ඒ කොයි හැටි වෙතත් ගෙලී ගේ මරණය හිට්ලර් තුල දැඩි කම්පනයක් ඇත කල බව සැබෑය. ඇගේ අවමඟුලට පවා සහභාගී නුවූ ඔහු කාමරය තුලට වී දින ගණනාවක් වැලපුනේය. ඔහු ද දිවි නසාගනු ඇතැයි බිය වූ සමීප අනුගාමිකයෝ අසලින් මොහොතකට හෝ නොසෙල්වුනහ.

විශේෂ සාකච්ඡාවක් සඳහා ජර්මන් ජනාධිපති පෝල් වොන් හින්ඩන්බර්ග් හමුවීම සඳහා පැමිණෙන්නයි හිට්ලර්ට කැඳවීමක් ලැබුනේ මේ අතර වාරයේදීය. පළමු ලෝක යුද්ධයේ ෆීල්ඩ්-මාෂල් වරයකු හා ඉඩම් හිමි ‘ජුන්කර්’ වරයකු වූ අසූ හතර හැවිරිදි හින්ඩන්බර්ග්ට නාසි පක්ෂය නොරිසි වුවද ඔවුන් සතු පාර්ලිමේන්තු ආසන 107 අගය නොතකා හැරිය නොහැකි වගද, ඔවුන්ගේ සහායෙන් තවත් ජනාධිපතිවරණයකින් තොරව ධුර කාලය දීර්ඝ කොට ගත හැකි බවද ඔහුගේ කපටි උපදේශකයා වූ මේජර් ජනරාල් කර්ට් වොන් ශ්ලයිකර් පෙන්වා දුන්නේය. මේ කැඳවීම ලද හිට්ලර් කලබල විය. ප්‍රභූ වරුන් හා සාකච්ඡා වලට සහභාගී වීමේදී ගෝරින් ලඟම සිටිය යුතු අත්‍යවශ්‍ය පුද්ගලයෙකි. එහෙත් ගෝරින් සිටියේ ස්වීඩනයේ සිය දයාබර බිරිඳට ඇප උපස්ථාන කරමිනි. හිට්ලර් ගේ විදුලි පුවත ගැන ඇසූ නිව්මෝනියා රෝගයෙන් ඔත්පොල ව සිටි කැරින් ගෝරින් සිටුවරිය වහා එහි යන මෙන් සිය ස්වාමියාට බල කොට සිටියාය. ගෝරින් තමා අසලට වී තැවී තැවී සිටීම ඈට දරාගත නොහැක. එහෙත් සාකච්ඡා සාර්ථක වූයේ නැත. හිට්ලර් කෙරේ පැහැදීමක් ඇති කොට නොගත් ජනාධිපති හින්ඩන්බර්ග් ඔහුට හිඳ ගැනීමට පුටුවක් පවා පිරි නොනැමුවේය. හිට්ලර් පිටව ගිය පසු සාකච්ඡාවේ කපුවා වූ මේජර් ජනරාල් ශ්ලයිකර්ට අසන්නට සිදුවූයේ කුණු බැනුම් ය. “ මේ වගේ පිස්සො ගේනවද සාකච්ඡා වලට? අනික කවදාවත් චාන්ස්ලර් වෙන්න පුළුවන් මිහිහෙකුත් නෙවෙයි. වැඩිම උනොත් ඕන නම් තැපැල් ඇමති කම දෙන්න පුළුවන්...” හින්ඩන්බර්ග් කෝප වීමට හේතු වූ අනෙක් කරුණ වූයේ නාසි පක්ෂය දැක්වූ ගරු සරු නැති ආකල්පයයි. දක්ෂිණාංශය තමාට කොන්දේසි පැනවීම ඔහුට නොරිසිය. එහෙයින් ඔහු ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමේ අභියෝගය භාර ගැනීමට තීරණය කළේය. නාසි පක්ෂයෙන් නාම යෝජනා භාර දුන්නේ හිට්ලර්ය. ගොබ්ල්ස් විසින් මෙහෙයවන ලද ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය එතෙක් මෙතෙක් ජර්මනිය නොදුටූ විරූ අත් දැකීමකි. රට පුරා ජනරැලි සංවිධානය කෙරිණ. හිට්ලර්ගේ කථාවක් ඇතුලත් තැපෑලෙන් යැවිය හැකි ග්‍රැමෆෝන් තැටියක් පවා නිර්මාණය කරන ලදී. සතියක ප්‍රචාරක වියදම පමණක් මාර්ක් දෙලක්ෂය ඉක්මවීය. එස්. ඒ. සංවිධානය ද බරටම වැඩ කලේය. පක්ෂය බලයට පත්වීමෙන් තමාටද කලක් යනු ඇති බවට රොම් පොරොන්දු වූවා නොවේද? හිට්ලර්ගේ කොමියුනිස්ට් විරෝධී අදහස් කෙරේ පැහැදුන කර්මාන්ත හිමියෝ ද නොමසුරුව ආධාර කළහ. වෘත්තිය සංගම් හිසරදය හා කම්කරු අරගලට හොඳම බෙහෙත හිට්ලර් බව ඔවුන් සිතයි. මේ අතර ‘පියා සලන හිට්ලර්’ යනුවෙන් ගොබ්ල්ස් නව ප්‍රචාරක තේමාවක් හඳුන්වා දුන්නේය. හිට්ලර් ජර්මනියේ නගරයක් පාසා ගමන් කලේ ගුවන් යානයකිනි. ඔහු සතියක් තුල යෝධ රැස්වීම් විස්සක් හරහා කෝටියකට වැඩි ජනකායක් ඇමතීය. අයහපත් කාලගුණය නිසා ගුවන් ගමන් අත්හිටවූ එක්තරා දිනෙක පවා ඔහු බටහිර ජර්මනියේ රැස්වීමක් ඇමතීම සඳහා වැහි කුණාටුවක් මැද පියාසර කළේය. ජර්මනියට අවශ්‍යම පුද්ගලයා පහල වී ඇතැයි නාසි පුවත් පත් මොර දුන්හ. මේ අතර ඔත්පොල වූ කැරින් ගෝරින් සිටුවරිය අවසන් හුස්ම හෙළුවාය. ස්වීඩනයේ පැවති ඇගේ අවසන් කටයුතු වලා සහභාගී වීමට හිට්ලර්ට නොහැකි වූයේ කාර්ය බහුල වූ නිසාය. අසරණ ගෝරින් ඒ දින වල පසුවූයේ ඇඬු කඳුලෙනි. ජනාධිපතිවරණයෙන් පැහැදිලි බහුතරයක් සහිතව හින්ඩන්බර්ග් තේරී පත්විය. හිට්ලර් ගේ ඡන්ද පදනමද විසි ලක්ෂයකින් ඉහල ගොස් තිබිණ. සිය ප්‍රතිවාදියා සුළු පටු චරිතයක් නොවන වග හින්ඩන්බර්ග්ට දැන් දැන් පෙනේ. එහෙත් එස්. ඒ. හමුදාවේ නොහික්මුන හැසිරීමත් ඔහුට කොහෙත්ම රුචි නැත. හිට්ලර්ට හීන් දාඩිය දැම්මේ හදිසි අවස්ථාවක බලය අල්ලා ගැනීම සඳහා කෙරුන සැලසුමක් එස්. ඒ. කාර්යාලයක තිබී පොලිසිය විසින් සොයා ගත් බව ඇසූ විටය. ඔහු හාංකවිසියක් ඒ ගැන නොදැන සිටියේය. ජනාධිපතිවරණයට දින හතරකට පසු එස්. ඒ. බල ඇණිය නැවතත් තහනම් සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. මෙවැනි පුද්ගලික හමුදා රටක් තුල පවත්වාගෙන යාමට ඉඩදීම තුලින් සිවිල් යුද්ධයක් හටගත හැකි බව බලධාරීන්ගේ අදහස විය. රජයේ තීරණය පිළිගත් හිට්ලර් සියළු එස්. ඒ. සාමාජිකයන් වීථි වළින් ඉවත් වී පක්ෂ කාර්යාල වලට වාර්තා කළ යුතු යැයි නියම කළේය. මෙය රොම් ගේ සතුටට හේතු නොවුවත් හිට්ලර් එය ගණනකට ගත්තේ නැත. දුඹුරු කමිස කරුවන්ගේ වගකීමෙන් තොර ක්‍රියා ඔහුට දැන් හිසරදයකි. හිට්ලර්ගේ මතය වූයේ වීථි සටන් වලින් ඉවත් වී පරිණත දේශපාලනයට පිවිසිය යුතු මොහොත එළැඹ ඇති බවයි. මැතිවරණය ක්‍රමය තුල පැහැදිලි අනාගතයක් දැකිය හැකිව තිබියදීත් නිකරුණේ මහමග චණ්ඩි කම් පා පොළිස් පොතේ නම ලියවා ගන්නේ මන්ද? අවසන් දෝෂාරෝපණය එල්ල වනු ඇත්තේ තමාටය. එහෙත් ඔහු තම ශරීරාරක්ෂක බල ඇණිය වූ එස්. එස්. සංවිධානය වඩාත් පුළුල් කිරීමට අදහස් කලේය. ඒ වගකීම පැවරුනේ උද්යෝගිමත් තරුණ නායකයකු වූ හයින්රිච් හිම්ලර්ටය. රජයේ කම්කරු අණ පණත් හේතුවෙන් ඉඩම් හිමියෝ හා කර්මාන්ත අධිපතීහූ අමනාපයෙන් පසු බන හෙයින් ඉල්ලා අස්වන ලෙස සිය තනතුරින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති හින්ඩන්බර්ග් විසින් චාන්ස්ලර් බෲනින් ට දැනුම් දුන්නේ 1932 මැයි මාසයේදීය. නව චාන්ස්ලර් ෆ්‍රාන්ස් වොන් පැපේන් හිටපු අසරු හමුදා නිළධාරියෙකි. කතෝලික වංශාධිපතියකි. හේ ධනවත් කර්මාන්ත හිමියෙකුගේ දුවක් හා විවාහ වී සිටියේය. ඒ හේතුවෙන් ඔහුට ජර්මනියේ පමණක් නොව ප්‍රංශයේ පවා ඉහල සමාජය සමඟ සම්බන්ධතා තිබිණ. එහෙත් පැපේන්ගේ නව රජයට පාර්ලිමේන්තු බහුතරය ලබා ගැනීමට නාසි පක්ෂයේ සහයෝගය උවමනාය. හිට්ලර් කොන්දේසි ඉදිරිපත් කළේය. එස්. ඒ. හමුදාවේ තහනම ඉවත් කළ යුතුය; නව මැතිවරණයකට යා යුතුය. අන් කළ හැකි දෙයක් නොවූයෙන් වොන් පැපේන් එකඟ විය. නව මැතිවරණය තුලින් තමාට සහාය දෙන පක්ෂ වලට බහුතරය දිනා ගත හැකි වනු ඇතැයි ඔහු විශ්වාස කළේය. හිට්ලර් නැවතත් ජනාධිපතිවරයා හමුවට කැඳවන ලදී. ඔහු ගෝරින් ද පෙරටු කොටගෙන එහි ගියේ හවස් වරුවේය. එය ඉතා කෙටි හමුවකි. සම්පූර්ණ හමුදා නිළ ඇඳුමෙන් සැරසී සිටි යෝධ සිරුරක් සහිත මහල්ලා හදිසි බවක් පළ කළේය. “මම හිතන් ඉන්නෙ චාන්ස්ලර් පදවියට හර් වොන් පැපේන් පත් කරන්න. එයාට පාර්ලිමේන්තුවේ බහුතරය ගන්න උදව් කරන්න ඔහේ කැමති උනා කියන්නෙ හැබෑද, හර් හිට්ලර්?” “එහෙමයි උතුමාණනි.” හමුව අවසන් විය. නාසි නායකයෝ දෙදෙනා සතුටු සිතින් පෙරළා පැමිණියහ. වීනීත අචාර පැවතුම් ඇති ගෝරින් හින්ඩන්බර්ග්ට ද ප්‍රියය.

මෙවර ගොබ්ල්ස් ගේ ඡන්ද ප්‍රචාරක වැඩපිළිවෙල වඩාත් ආකර්ෂණීයය. සුපුරුදු පරිදි හිට්ලර් ජර්මනියේ නගරයක් පාසා පියාසර කළේය. එක් රැස්වීමකට ඔහු පැමිණෙන විට අළුයම දෙකත් පසුවී තිබිණ. එහෙත් ඔහු එනතුරු දහස් ගණනක් මහ වැස්සේ තෙමෙමින් මඟ බලා සිටියහ. මැතිවරණයෙන් නාසි පක්ෂයට ආසන 230ක් හිමිවිය. මෙය බහුතර රජයක් පිහිටුවීම සඳහා ප්‍රමානවත් නුවුවද ජනවරම අතින් ජර්මනියේ බලවත්ම දේශපාලන නායකයා වූයේ හිට්ලර්ය. චාන්ස්ලර් කමෙන් මෙහා කිසිවකට දැන් ඔහු සූදානම් නැත. “හිට්ලර් අතට බලය දෙන්න? හොඳට හිටී. අනික මේ ඊයෙ පෙරේදා උඩින් පහත් උන විනයක් නැති පක්ෂයකට රටක් භාර දෙන්න පුළුවන්ද?” ඒ ඇසූ හින්ඩන්බර්ග් කෝපයෙන් මොර දුන්නේය. තමාගේ සාමාන්‍ය පවුල් පසුබිම, අඩු‍යාධ්‍යාපන සුදුසු කම් හා පහළ හමුදා නිළය නිසා මේ වංශාධිපති ප්‍රභූන් තමාට ගරහන බව හිට්ලර් දනී. ඔහු මීට පිළිතුරු දුන්නේ පළමු සැසියේ දීම වොන් පැපේන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරි පත් කොට හදි කිරීමෙනි. ඒම නිසා තවත් මැත්වරණයක් කැඳවීමට සිදු විය. එහිදී නාසි පක්ෂය සතු ආසන ගණන 196 ක් දක්වා අඩු වුවද. හිට්ලර්ගේ සහායෙන් තොරව ආණ්ඩු පිහිටුවීමට කිසිවෙකුට නොහැක.

තකහනියේ පණිවුඩයක් යැවූ ජනාධිපතිවරයා නැවත වරක් හිට්ලර් ගෙන්වා ගත්තේය. මෙවර විශේෂත්වය වූයේ ඔහු නාසි නායකයාට හිඳගැනීමට අසුනක් පැනවීමයි. දැන් හින්ඩන්බර්ග් ගේ සැර මඳක් බාල වී ඇත. “හොඳයි, නාසි ව්‍යාපාරය තමුන්ගෙ නායකත්වය ඇති ආණ්ඩුවක සේවය සඳහා විතරක් යොදා ගන්නව කියල ඔහේ දෙන පොරොන්දුව මම පිළිගත්ත කියමු. පාර්ලිමේන්තුවේ සහාය ගන්න පුළුවන්ද?” තමාට බහුතරයක් නැති බව කී හිට්ලර් යන්නට ගියේය. ජනාධිපතිවරයා චාන්ස්ලර් ධුරය සිය කපටි උපදේශකයා වූ මේජර් ජනරාල් ශ්ලයිකර්ට පැවරීය. පාර්ලිමේන්තුවේ බලයක් නොවූයෙන් ශ්ලයිකර් ඉඩම් බෙදාදීම හා කම්කරු හිතෛශී අණ පණත් මගින් මහ ජනයා අතර ජනප්‍රිය වීමට උත්සහ ගත්තේය. ඉන් සිදුවූ එකම සන්තෑසිය නම් ජුන්කර් වරුන් හා කර්මාන්ත හිමියන් උරණ වීමයි. දේශපාලනයේ සදාකාලික සතුරන් නැතැයි යන කියමන යලි ඔප්පු කරමින් 1933 ජනවාරි අග වොන් පැපේන් තම මිතුරෙකු ගේ නිවසේ හිට්ලර් හා රහස් හමුවක් යොදා ගත්තේය. ධනවත් වයින් ව්‍යාපාරිකයෙකු වූ මිතුරා දා අළුත් නාසි පාක්ෂිකයෙකි. ඔහුගේ නම ජෝකිම් වොන් රිබන්ට්‍රොප්ය; මෙම හමුවට ජනාධිපති ගේ නිළ ඇජුටන්ට් වරයා වූ ඔහුගේ එකම පුත් කල්නල් ඔස්කා වොන් හින්ඩන්බර්ග් ද පැමිණ සිටියේය. කතා බහ යසට සිදුවිය. හිට්ලර්ට චාන්ස්ලර් ධුරය පිරිනැමීමට ජනාධිපති දැන් විරුද්ධ නැති බව ඔස්කා හින්ඩන්බර්ග් කියා සිටියේය. එහෙත් කැබිනෙට්ටුව පත් කරන්නේ ජනාධිපති ය. අනතුරුව පවැත්වුනේ ඔස්කා හා හිට්ලර් අතර පුද්ගලික සාකච්ඡාවකි. එහි කතාබහ වූයේ කුමක්දැයි දන්නේ ඔවුන් හැරුනු කොට දෙවියන් පමණි. එහෙත් එය අවසන් වූ මොහොතේ පටන් ඔස්කා හැමවිටම හිට්ලර්ගේ පැත්ත ගත් වග නම් සෙස්සෝ මැනවින් දුටූහ. ඔස්කා හින්ඩන්බර්ග් විපතට පත් ඉඩම් හිමියන්ට ආධාර කිරීමේදී වූ එක් අයථා ගණුදෙනුවට පැටලී සිටියේය. සිය පියාගේ අසූවන ජන්ම දිනය වෙනුවෙන් ජුන්කර් වරු විසින් තෑගි කල ඉඩම් අක්කර පන්දහසක් ලියා පදිංචි කොට ඇත්තේ ඔහුගේ නමිනි. එහෙත් ඒ වෙනුවෙන් ශතයක් හෝ ආදායම් බදු ගෙවා නොමැත. පිළිකා රෝගයෙන් පීඩා විඳින ජනාධිපති හින්ඩන්බර්ග් ද මෑතක සිට නිතර නිතර අසනීප වෙයි. කපටි උපදේශක ශ්ලයිකර්ට චාන්ස්ලර් තනතුර පිරිනැමීම වරදක් බව ඔහුට වැටහෙන්නේ දැන්ය. පාර්ලිමේන්තු බලය නැති හෙයින් හමුදාවේ සහායෙන් රජය කරගෙන යාමට ශ්ලයිකර් තැත් කරන වගක් ඔහුටද හැඟී ගොස් ඇත. මෙය සිවිල් යුද්ධයකට පවා තුඩු දිය හැකි තත්වයකි. මෑතදී සේවයෙන් ඉවත් වී ස්විට්සර්ලන්තයේ වාසයට ගිය කීර්තිමත් හමුදා නිළධරයකු වූ ජෙනරල්ෆීල්ඩ්මාෂල් වර්නර් වොන් බ්ලොම්බර්ග්ට පණිවුඩයක් යැවූ ජනාධිපතිවරයා වහා පැමිණ යුද ඇමති තනතුර භාර ගන්නැයි දන්වා සිටියේය. හමුදාව බ්ලොම්බර්ග්ට අවනතය. 1933 ජනවාරි තිස් වැනිදා දහවල් හිට්ලර් නැවත ජනාධිපති මන්දිරයට කැඳවන ලදී. යමන් සිදුවෙන බව ඉවෙන් මැන් හැඟුන පාක්ෂිකයෝ ගොඩනැගිල්ල අවට රැස් කති. සිය අසනීප ගතිය මොහොතකට මැඩගත් හින්ඩන්බර්ග් තේජාන්විත ලෙස උඩු රැවුල නැටවීය. “තේරෙනවනෙ තියන තත්වෙ? චාන්ස්ලර් පදවිය එක්ක ඕන නම් තව කැබිනට් ඇමති කම් දෙකක් දෙන්නම්. ඒකත් ඔය ගෝරින්ල වගේ අයට” කැබිනෙට්ටුවේ ඉතිරි අය තෝරන්නෙ මම. ආරක්ෂක ඇමති දැනටම පත් කරල ඉවරයි. අපේ මේ හර් වොන් පැපේන් උප චාන්ස්ලර් හැටියට ඉඳගෙන වැඩ ටික හෙමින් කියා දේවි...” වොන් පැපේන් ද අසලක සිට වැදගත් ලෙස හිස සලයි. කතාව ඇත්තය; හිට්ලර්ට ගම් සභා මන්ත්‍රීවරයකු ලෙස හෝ පළ පුරුද්දක් නැත. “ඔබතුමා කැමති විදිහක් …” හිට්ලර් පැවසීය. මොන දේටත් පටන් ගැන්මක් තිබිය යුතුබව ඔහු ද දනී. හිටපු හමුදා කෝප්‍රල් ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ නව චාන්ස්ලර් වරයා ලෙස දිවුරුම් දුන්නේය. සෙස්සෝ ජනාදධිපති විසින් පත් කරනු ලැබූහ. උප චාන්ස්ලර් හා ප්‍රසියාවේ සභාපති වොන් පැපේන්ය. ‘ප්‍රභූ කැබිනෙට්ටුවේ’ විදේශ ඇමති ලෙස කොන්ස්ටන්ටින් වොන් නියුරාත් බැරන් වරයා තෝරා ගැණින. මුදල් ඇමති වූයේ වොන් ක්‍රොසිග්ක් සිටුවරයාය. හිට්ලර්ගේ පැරණි අනුග්‍රහාකයා වූ ගුට්නර් අධිකරණ ඇමති ධුරය දරයි. නාසි පක්ෂයෙන් කැබිනට් නියෝජිතයන් දෙදෙනෙකි; කාර්ය නියමයක් නොමැති ඇමති ලෙස ගෝරින් නම් කෙරිණ. හිටපු පොළිස් නිළධාරියෙකු වූ විල්හෙල්ම් ෆ්‍රික් අභ්‍යන්තර ඇමති ලෙස දිවුරුම් දුන්නේය. නොවිය හැකි දෙයක් සිදුව ඇත. ඔස්ට්‍රියාවේ උපත ලබා තරුණ වියේ වියානා නුවර අරමුණකින් තොරව රස්තියාදු වූ සුළු රේගු මුළාදෑණියකුගේ පුතෙක් ජර්මන් චාන්ස්ලර් පුටුවේ හිඳ ගෙන සිටී. එදා බොහෝ දෙනාගේ පැණය වූයේ මහජන චාන්ස්ලර් වරයෙක් හා සිටුවර කැබිනෙට්ටුවකින් සමන්විත මේ අපූරු රජය කොතෙක් කල් අල්ලා සිටිනු ඇත්ද යන්නයි.

thumb|වම|හිට්ලර් ජර්මනියේ චාන්ස්ලර් පදවියට පත් වෙයි (31.01.1933) thumb|මධ්‍යය|අභ්‍යන්තර ඇමති ෆ්‍රික් (වමේ) චාන්ස්ලර් හිට්ලර් (මැද) හා කාර්ය නියමයක් නොමැති ඇමති ගෝරින් thumb|දකුණ|පැරණි ජර්මන් සම්ප්‍රදායට අනුව ජනාධිපති හින්ඩන්බර්ග් ට ආචාර කරන නව චාන්ස්ලර් හිට්ලර් thumb|මධ්‍යය|ගෙලී රවුබාල් හ හිට්ලර් (1927)

හිට්ලර් නම් ඒකාධිපතියා (1933-1934)

ඉහල තනතුරකට පත්වන තරුණ වියේ මිතුරෙකුට සුභ පතුම් යැවීම ශිෂ්ඨ සමාජයේ සිරිතකි. එහෙත් එදා මෙදා පත්වූ ජර්මන් චාන්ස්ලර් වරුන්ට සුභ පැතුම් එව්වේ එක්කෝ ඉඩම් හිමි වංශාධිපතියෙකි; නැතහොත් සිටු වරයෙකි; බාග විටෙක විදෙස් ප්‍රභූ වරයකු වීමටද බැරි නැත. එහෙත් හිට්ලර්ට සුභ පැතුම් එවූ එකම පැරණි මිතුරා වූයේ ඉහල ඔස්ට්‍රියාවේ නාගරික ලිපිකරුවෙකි. හේ නමින් ඕගස්ට් කුබිසෙක් ය. කලින් ලිපි වලින් විස්තර කැරුන පරිදි 1909 වියානා නගරයේ දී පැදුරටත් නොකියා හිට්ලර් අතුරුදන් වීමෙන් අනතුරුව නැවත සිය මිතුරා කුබිසෙක්ගේ නෙත ගැටුනේ නවසිය විසි ගණන් වලදී කඩ පිලක විකිනීමට තබා තිබූ පොත් පිංචක පිට කවරෙයක් මත වූ ඡායා රූපයක් හරහාය. ‘ජාතික සමාජවාදී දේශක ඇඩොල්ෆ් හිට්ලර්’ යනුවෙන් එහි සඳහන් විය. තම මිතුරා ජර්මනියට ගිය වගක් හෝ මියුනික් නුවර දේශපාලනයේ යෙදෙන වගක් හෝ ඒ වන දැන නොසිටි ඔහු හිට්ලර් මිය ගොස් නැති බව දැනගැනීමෙන් බොහෝ සැනසීමට පත් විය. අනතුරුව පුවත් පත් හා සඟරා ඇසුරින් ඔහු හිට්ලර්ගේ ඉදිරි දේශපාලන ගමන ගැන කියැවූයේ ඉමහත් අභිරුචියෙන් යුතුවය. හිට්ලර් ජර්මනියේ චාන්ස්ලර් ධුරයට පත් කෙරුන බව කුබිසෙක් දැනගත්තේ ගුවන් විදුලියෙනි. ඔහු කුඩා සුභපැතුම් සටහනක් ලියා තැපැල් කළේය. එහෙත් නැවත වතාවක් ජර්මන් පාර්ලිමේන්තුව විසිරුවා හැර මැතිවරණයකට සූදානම් වෙමින් සිටි හිට්ලර්ට ලියුම් බැලීමට ඉස්පාසුවක් තිබුනේ නැත. සියළු බලතල සියත තබාගෙන හිට්ලර්ට දුන්නේ චාන්ස්ලර් පුටුව පමණක් හෙයින් ඡන්ද ප්‍රතිඵලය කුමක් වුව ඔහු අල්ලේ නැටවිය හැකි වනු ඇතයි උප චාන්ස්ලර් හා ප්‍රසියාවේ සභාපති වොන් පැපේන් කල්පනා කළේය. එහෙත් ප්‍රසියාවේ උප සභාපති පදවියට පත්ව වූයේ ගෝරින් බව පැපේන් ට අමතක විය. ගෝරින් පොලිසියේ ඉහල තනතුරු වලට එස්. ඒ. හා එස්. එස්. නායකයින් රැසක් පත් කළේ වොන් පැපේන් තුට්ටුවකට මායිම් නොකරමිනි. “තමුන් පියවරක් ගන්නකොට හිතන්න ඕන තමුන්ගෙ රාජකාරිය ගැන මිසක් විපාක ගැන නෙවෙයි. එහෙම අය මම ආරක්ෂා කරනව. හැබැයි විපාක නිදහසට කරුණක් කරගෙන රාජකාරිය පැහැර හරින අය අහු උනොත් මම තදින් දඬුවම් කනව…” ඔහු පොළිස් නිළධාරීන් අමතා පැවසීය. ඊලඟ සතියේ ඔහු තවත් එස්. ඒ. හා එස්. එස්. සාමාජිකයන් හතලිස් දහසක් පොළිසියට බඳවා ගත්තේය. පසු කලෙක ‘ගෙස්ටපෝ’ නමින් එස්. එස්. සංවිධානයට අනුයුක්ත කරන ලද්දේ ද ගෝරින් විසින් එදා ප්‍රසියන් පොලිසිය තුල ගොඩනැඟූ මේ විශේෂ විමර්ෂණ අංශයයි. මේ අතර බර්ලින් නුවර කොමියුනිස්ට් මූලස්ථානය වැටලූ පොළිසිය රජය පෙරළීමේ සැලැස්මක් එහි තිබී හමුවූ බව ගෝරින් ට සැල කල අතර තෙදිනකට පසු ජර්මන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ හදිසි ගින්නක් හට ගත්තේය. මේ පිළිබඳ සැකපිට අත් අඩංගුවට ගනු ලැබූ තරුණයා ද විය යුතු පරිද්දෙන්ම කොමියුනිස්ට්වාදියෙක් විය. තවත් අටුවා ටීකා කුමටද? වහා ගොස් ජනාධිපති හමුවූ හිට්ලර් තත්වය පැහැදිලි කළේය; රත්තෝ කැරල්ලකට සූදානම් වෙති. පාර්ල්මේන්තුවට ගිණි තැබීමට තැත් කොට හසු වූයේ දැන්ය. පෙනෙන අන්දමට නම් මෙම ගින්න කැරලි ගැසීම සඳහා කෙරෙන සංඥාවක් විය හැක. කැරැල්ලක් මැඩ පැවැත්වීමට වඩා කැරැල්ල ඇතිවීම මැඩ පැවත්වීම පහසු නොවේද? හින්ඩන්බර්ග් වහා එකඟ විය. හිට්ලර් මීට පෙර චාන්ස්ලර් ධුරයට පත් නොකලේ මන්දැයි ඔහු දැන් පසු තැවේ. ජනාධිපති විසින් පසු දිනම අත්සන් කොට දුන් නව රෙගුලාසියක් යටතේ පුද්ගලයන් සැක පිට රඳවා ගැනීමේ හා දුරකථන වලට සවන් දීමේ පුළුල් බලතල පොළිසියට පැවරුන අතර පුද්ගල හා පුවත් පත් නිදහස සීමා කෙරුණි. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ වලට දඬුවම මරණයයි. මෙම නීති ක්‍රියාත්මක කෙරුනේ ගෝරින් බව අතින් බව ඇසූ ජනාධිපතිගේ හිත තවත් හොඳය! ගෝරින්ට ජනරාල් තනතුරක් ප්‍රදානය කිරීමට ඔහු කලෙක පටන් සිතාගෙන සිටී. 1933 තීරණාත්මක මාර්තු ඡන්දය අතර තුර ජර්මනියේ පැවතුනේ මෙවන් තත්වයකි. එය වසරක කාලයක් තුල පැවැත්වූ පස් වන මැතිවරණයයි. ඕනෑම නැගිටීමක් උපරිම බලය යොදා මර්දනය කරන බවට ගෝරින් දේශපාලන වේදිකාවේ සිට විවෘතවම කොමියුනිස්ට් වරුන්ට තර්ජනය කළේ සෙසු විරුද්ධවාදීන් ද ඉන් ගම්‍ය වන ආකාරයටය. හිංසාව හා ප්‍රචාරණය සඳහා රාජ්‍ය බලය උපරිම ලෙසින් භාවිතා කළ නාසි පක්ෂය මංත්‍රී ආසන 288ක් ම ලබා ගත්තේය. මේ සියල්ල ජනාධිපතිතුමාගේ අවබෝධයේ හා දුරදක්නා ඥානයේ ඵල යැයි කියමින් මාර්තු 21 දා නව පාර්ලිමේන්තු සැසිය විවෘත කිරීමේ උලෙලීදී හිට්ලර් සිය කථාවෙන් හින්ඩන්බර්ග් බොහෝ පැසසුවේය. දෙදිනකින් නව පණතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. ‘බල ගැන්වීමේ පණත’ නම් එය හරහා යෝජනා කෙරුණේ පාර්ලිමේන්තුවේ සම්මත කොට නොගෙන ඕනෑම අණ පණතක් පැනවීමේ හෝ විදෙස් රටවල් හා ගිවිසුම් වලට එලැඹීමේ අයිතිය රජයට පැවෙරෙන වගයි. එම සියළු අණ පණත් කෙටුම් පත් කළ යුත්තේ චාන්ස්ලර් තුමාය. මීට එරෙහි වීමට කොමියුනිස්ට් පක්ෂ සභිකයන් කිසිවෙක් පාර්ලිමේන්තුවේ නොවූහ. එක්කෝ ඔවුන් සිර මැදිරි වලය; නැතහොත් පොළිස් අත්ඩංගුවට පත් වීමට පෙර තුමුම සැඟව ගියාහ. මෙතෙක් ජනාධිපති අතවූ නීති සම්පාදනය කිරීමේ බලතල ද හිට්ලර් සියතට ගත්තේය. සියළු ප්‍රාන්ත රාජ්‍ය වලට ඇතිකෙරුණ පුළුල් බලතල සහිත ආණ්ඩුකාර පදවිය හේතුවෙන් ප්‍රසියාවේ සභාපති ලෙස වොන් පැපේන් ගේ තනතුර ඉබේම අහෝසි විය. නව ආණ්ඩුකාරයා වූයේ ගෝරින් ය.

ජුලි මාසයේ නිකුත් වූ තවත් අපූරු ආඥාවකි. ඉන් කියැවුනේ මින් ඉදිරියට රටේ එකම හා වලංගු දේශපාලන ව්‍යාපාරය ජාතික සමාජවාදී ජර්මන් කම්කරු (නාසි) පක්ෂය පමණක් බවයි. සෙසු සියළු වෘත්තිය සමිති හෝ සංවිධාන තහනම් වූ අතර නව පක්ෂ හෝ කණ්ඩායම් ගොඩනැංවීමට තැත් කිරීම සිර දඬුවමකට යටත් විය හැකි වරදක් විය. සියළු දක්ෂිනාංශික සන්නද්ධ කණ්ඩායම්ද විසුරුවා හරින ලදී. දේශපාලන තරඟකාරීත්වය රටේ ස්ථාවරත්වයට බධාවක් බව චාන්ස්ලර් විසින් ජනාධිපතිට කරුණු පැහැදිලි කොට දුන්නේය. උප චාන්ස්ලර් වොන් පැපේන් දැන් නිකම්ම නිකමෙකි. රැකියා ගැටළුව විසඳීමට හිට්ලර් යෙදූ උපායද අපූරුය. යුදෙව් පෙළපතකින් පැවතෙන හෝ කොමියුනිස්ට් දේශපාලනයට සම්බන්ධව සිටි හෝ ජනරජයට හිතවත්ව කටයුතු කළ ඕනෑම පුද්ගලයෙක් රාජ්‍ය සේවයෙන් පහ කිරීමේ නව නීතියක් ඔහු ගෙන ආවේය. එමඟින් පුරප්පාඩු වූ දස ශහස් ගණනක ඇබෑර්තු වලට පත් කරන ලද්දේ නාසි හිතවතුන්ය. සියළු මුද්‍රිත මාධ්‍ය ගුවන් විදුලිය හා සිනමාව ගොබෙල්ස් යටතට පත් කෙරිණ. ඉහල ඔස්ට්‍රියාවේ නාගරික ලිපිකරු ඕහස්ට් කුබිසෙක් පුදුමයෙනුත් පුදුමයට පත් වූයේ පුවත් පත් වලින් දුටු මෙම වාර්තා නිසා නොවේ. බලාපොරොත්තු රහිත ලෙස දිනක් සීඝ්‍රගාමී තැපෑලෙන් ඔහු ලද ලිපියක් නිසාය. ‘ඉතා හදිසියි’ දාතම යටතේ ජර්මන් චාන්ස්ලර් කාර්යාලයේ මුද්‍රාව සටහන් කවරයක් සහිත එහි පහත සඳහන් ලිපිය බාහා තිබිණ; “ඕගස්ට් කුබිසෙක් මහතා වෙත නාගරික ලිපිකරු, එෆර්ඩින් නගරය, ඉහල ඔස්ට්රි්යාව. මගේ දයාබර කුබිසෙක්, පෙබරවාරි 02 දා දාතම දරණ ඔබේ ලිපිය මා හට පෙන්වන ලද්දේ මේ දැන් ය. ජනවාරියේ පටන් ලැබෙමින් ඇති දස දහස් ගණනක් පණිවුඩ නිසා මෙය පුදුමයට කරුණක් ද නොවේ. වසර බොහෝ ගණනකට පසු ඔබ ගෙන අසන්නට මෙන්ම ඔබගේ ලිපිනයද ලැබීම මට මහත් ප්‍රීතියකි. මාගේ අරගලයේ අසීරුතම දවස් වල මතකයන් ඔබ හා එක්ව අවදි කිරීමට මා අතිශය කැමැත්තෙන් පසුවෙමි. හැකිනම් මා දැකීමට පැමිණෙන්න. ඔබටත් ඔබගේ ගරු කටයුතු මවටත් සුභ පතමි. පැරණි මිතුදමේ මතකයන් සමඟ මින් නවතිමි. ඇඩොල්ෆ් හිට්ලර් 1933 අගොස්තු 04 දා, මියුනික් හි ‘දුඹුරු මැදුරේ’ සිටදීය.”

ලිපිය කියැවූ කුබිසෙක්ට හැඟුනේ සිය පැරණි මිතුරු ඇඩොල්ෆ් මඳකුදු හෝ වෙනස් වී නොමැති බවයි.

එහෙත් දැන් හිට්ලර්ට විශාලම හිසරදය වී ඇත්තේ ඇතැම් අළුත් මිතුරන් ය. බොලිවියාවේ සිට රොම් තකහනියක් ගෙන්වා නොගත්තේ නම් මැනවයි ඔහුට සිතෙන වාර අපමණය. එස්. ඒ. හමුදාව ජාතියේ එකම අවි දරන්නන් විය යුතු යැයි රෝම් කරන ඉල්ලීම හමුදාවට එල්ල කෙරෙන සෘජු අභියෝගයකි. එපමණක් නොවේ. රොම්ගේ බසින් ඇවිස්සුන එස්. ඒ. භටයෝ ‘දෙවන විප්ලවයක්’ ඉල්ලා වීථි බැස කෝලාහල කරති. මිනී මැරුම් පහරදීම් කොල්ලා කෑම් දසත සිදුවේ. හිංසනය කිසිදා නුදුටූ විරූ තරම්ය. මෙය එවන් ඉල්ලීම් සඳහා අවස්ථාව නොවන බවත්, හමුදාව සමඟ ඝට්ටනයක් ඇතිකොට ගැනීම අණුවන කමක් බවත් රොම්ට ඉතා ඉවසීමෙන් කරුණු පැහැදිලි කළ හිට්ලර් ඔහුට කාර්ය නියමයක් නොමැති කැබිනට් ඇමති ධුරයක් ද පිදුවේය. එහෙත් රොම්ට පුද්ගලික හමුදා භාර ඇමති පදවිය ඕනෑවිය. එවන් පදවියක් ඇතිකිරීමෙහි ලා හමුදාව කොහෙත්ම කැමති නැත. එස්. ඒ. සංවිධානයේ නොපණත් කම් නිසා ජනාධිපති, ඔහුගේ ‘සිටුවර කැබිනෙට්ටුව’ හා හමුදාව ඉදිරියේ හිට්ලර් ගේ හා නාසි පක්ෂයේ රෙදි ගැලවී හියේ වරක් දෙවරක් නොවේ. “බලතල ගත්තෙ නම් කොහොමද? නීතිය හා සාමය ඇතිකරන්න කියල. දැන් බලනකොට කළබල කරන්නෙ කොමියුනිස්ට් කාරයො නෙවෙයි එස්. ඒ. කාරයො.” වොන් පැපේන් ජනාධිපතිට ගතු කියයි. කතාව බොරුවක්ද නොවේ. මේ සියළු හැල හැප්පිලි මත හිට්ලර් තකහනියක්ම ඉතාලිය බලා ගියේ මුසෝලිනි හමුවීමටය. ඔස්ට්‍රියාවේ අනාගතය පිළිබඳ ඉතාලිය දැක්වූ උනන්දුව පිළිබඳ කරුණු කිහිපයක් බේරුම් කර ගැනීමට ද ඔහුට උවමනාය . මහ වැසි ඇද හැළුන 1934 ජුනි මසයේ දිනෙක දෙදෙනා වැනිසියේ දී හමුවූහ. එහෙත් සාකච්ඡා සාර්ථක නොවීය. මනාව ඇඳ ජේත්තුවට සිරියක්ද පැලඳ සිටි මුසෝලිනි කතා කලේ පරණ වැහි කබායක් ලා ගත් හිට්ලර් දෙකේ කොළේට දමමිනි. ජර්මනිය ඔස්ට්‍රියාවට ඇඟිලි නොගැසිය යුතුයයි ඔහු දැඩිව කීය. අනතුරුව වාමාංශික කණ්ඩායම් මැඩලන අන්දම ගැන විවිධ උපදෙස් දුන්නේය. හිට්ලර් ආපසු ආවේ සඟවා ගත් කේන්තියෙනි. හින්ඩන්බර්ග් මරණාසන්නව සිටින බව පණිවුඩයක් ඔහුට ලැබුණේ ඒ අතරය. කොයි මොහොතේ ජනාධිපති ධුරය පුරප්පාඩු වේ දැයි කිව නොහේ. එහෙයින් හිට්ලර් ආ පයින්ම ලෙඩා බැලීමට ගියේය. ඔහු රෝගියා ගේ සුවදුක් විමසූයේ දේශපාලනය පිළිබඳ වදනකු නොදොඩාය. පිටත ශාලාවේදී යුද ඇමති බ්ලොම්බර්ග් ඔහුට වැදගත් ආරංචියක් දුන්නේය. එනම් හමුදාව රොම් කෙරේ දැඩි අමනාපයෙන් පසු වන බවත් රටේ පවතින නොසන්සුන්තාව ඉදිරි දින කීපය තුල සමනය නොවන්නේ නම් යුද නීතිය පැණවිමට ජනාධිපති තුල අදහසක් ඇති බවත්ය. මෙය ඇසූ හිට්ලර්ට හීන් දාඩිය වැටිණ. හමුදාව මැදිහත් වුවහොත් එය මේසා දුක් විඳ ගොඩ නැඟූ රජයේ අවසානය විය හැකි බව ඔහු දනී. එවන් තත්වයක සෙසු අතුරු ප්‍රථිඵල මේ යයි කිව නොහැක. සියල්ල කෙළවර වනු ඇත්තේ විනාශයකිනි. වහා ගෝරින් ට පණිවුඩයක් යවා ගෙන්වා ගත් හිට්ලර් ඉතා දුෂ්කර තීරණයකට එලැඹුනේය...

1934 ජුනි 30ට එළි වෙන්නට හිට්ලර් ඇතුළු සන්නද්ධ එස්. එස්. භටයින් පටවාගෙන මියුනික් සිට බෑඩ්-වයිසී කරා පවනට බඳු වේගයෙන් ඉගිල ගිය පොලිස් මෝටර් රථ පහකි. පිස්තෝලයක් අතැතිවය රොම් නැවතී සිටි තානායමට කෙලින්ම කඩා වැදුන හිට්ලර් සිය මිතුරා පුද්ගලිකවම සිර භාරයට ගත්තේය. මේ හා සමගාමීව සෙසු විරුද්ධවාදීන්ගේ නිවෙස් හා කාර්යාල වලට කඩා වැදුන ගෝරින්ගේ ‘ගෙස්ටාපෝ’ භටයෝ ලබා දී තිබූ ලයිස්තු පිළිවෙලට පුද්ගලයන් මරා දැම්මේ කිසිදු වග විභාගයලින් තොරවය. මේ කටයුතු සියල්ල සම්බන්ධීකරණය කලේ කළු නිල ඇදුම් ලා ගත් එස්. එස්. සංවිධානයේ නායක හා නාසි පක්ෂයේ නැග එන තරුව වූ හයින්රිච් හිම්ලර් විසිනි. 'පක්ෂපාතීත්වය මගේ ගෞරවයයි' යන අත් පටිය පැලඳ සිටි ඔහු ඇතුළු එස්. එස්. භටයෝ මරණය දක්වා හිට්ලර් වෙනුවෙන් සටන් වැදීමට දිවුරා ප්‍රොන්දු වී සිටියහ. ‘දිගු පිහියා රාත්‍රිය’ [Night of Long Knives] නමින් ඉතිහාසයේ ප්‍රකට මෙම මහා අභ්‍යන්තර පවිත්‍රකරණය අතර තුර මරා දමන ලද පිරිස දෙසීයකට අධික බව විශ්වාස කෙරේ. ඔවුන් අතර බීර හලේ විප්ලවය පාවා දුන් බව හිට්ලර් විසින් චෝදනා කෙරුන ප්‍රාදේශීය නායකයකුවූ ගුස්තාව් වොන් ක්හාර් ද, ජනාධිපතිගේ කපටි උපදේශක හා හිටපු චාන්ස්ලර් මේජර් ජනරාල් ශ්ලයිකර් මෙන්ම නාසි වාමාංශයේ හිටපු නායක ග්‍රෙගෝ ස්ට්‍රැසර් ද වූහ. අත් වැරදීම් ද මේ අතර සිදු නොවුනා නොවේ. සංගීත විචාරකයකු වූ ආචාර්ය විලී ස්මිත්ඩ් ගේ නිවසට කඩා වැදුන සන්නද්ධ එස්. එස්. භටයෝ අඹු දරුවන්ගේ විලාප මැද ඔහු කුදලා ගොස් මරා දැමුවේ චෙලෝව වාදනය කරමින් සිටින අතරතුරදීය. ඒ වැරදි පුද්ගලයා බවත්, එස්. එස්. සංවිධානයට අවශ්‍යව සිටියේ ඒ නමින් සිටි වෙනත් අයෙක් බව හෙලිවූයේ පසුවය. ඔවුහු ස්මිත්ඩ් මහත්මියගෙන් සමාව අයැද මළ සිරුර භාර දුන්හ. ඈට දුරකථනයෙන් කතා කළ හිම්ලර් වන්දියක් ගෙවීමට සූදානම් වුව ඈ එය ප්‍රතික්ෂෙප කළාය. එවිට නාසි පක්ෂයේ නියෝජ්‍ය නායක රුඩොල්ෆ් හෙස් ඈට කථාකොට විශ්‍රාම වැටුපක් ගෙවීමට සැලැස්වීය. “ඔබේ ස්වාමියාගේ මරණය ශ්‍රේෂ්ඨ ව්‍යාපරයක සුභ සිද්ධිය වෙනුවෙන් කළ ජීවිත කැප කිරීමක් කියල අපි හිතමු...” රොම් ගේ අවසානය වඩාත් හැඟුම් බරය. ඔහු රඳවා සිටි සිර කුටියට උණ්ඩ පිරවූ රිවෝල්වරයක් යැවීමට හිට්ලර් නියම කළේය. අතීත සේවාව හා මිතුදම වෙනුවෙන් ගෞරවනීය ලෙස සිය දිවි නසා ගැනීමට අවස්ථාවක් ඔහුට ලබා දීම එහි අදහසයි. එහෙත් රොම් එය ප්‍රතික්ෂෙප කළේය; “මාව මරන්න ඕන නම් ඇඩොල්ෆ් ම ඒක කරපු දෙන්...” එස්. එස්. නිළධාරියෙක් රිවෝල්වරයේ උණ්ඩ සියල්ල නිම වනතුරු රොම්ට වෙඩි තැබුවේය. රොම් ඇද වැටුනේ සුපුරුශු ලෙස අත ඉහලට ඔසවා ‘හිට්ලර් දිනේවා’ යි කෑ ගසමිනි. මේ වග ඇසූ හිට්ලර් මිතුරා සිහි කරමින් බොහෝ වේළාවක් කඳුළු සැලීය. “රොම් මහ මෝඩයෙක්. මම වෙන මොනවා කරන්නද?” උප චාන්ස්ලර් වොන් පැපේන් ගේ දිවි ගැලවුනේ ද අනූ නමයෙනි. වැඩි පරෙස්සමට හිට්ලර් ඔහු කල් ඇතිවම නිවාස අඩස්සියේ තැබුවේ තම අනුගාමිකයන් අතින් අනතුරක් වෙතැයි සිතා විය යුතුය. ගෝලයාට හිරිහැර කොට ලෙඩ ඇඳේ සිටින ජනාධිපති නිකරුණේ තරහ කොට ගැනීමට ඔහු අකමැතිය. එසේ වුවදු එස්. එස්. භටයෝ පැපේන් ගේ සහායකයින් කිහිප දෙනෙක් මරා දමා කාර්යාලයද කුඩු පට්ටම් කළහ. දින කිහිපයකින් තත්වය සමනය වූ පසු චාන්ස්ලර් මැදුර ගිය වොන් පැපේන් දුටුවේ හිට්ලර් හා සෙසු ඇමතිවරු හිඳගෙන සිටි කැබිනට් මේසයේ තම පුටුව ඉවත්කොට ඇති බවය; මරණාසන්නව සිටින ජනාධිපති මේ කිසිත් නොදනී. වොන් පැපේන් උප චාන්ස්ලර් තනතුරින් ඉල්ලා අස් වී ගෙදර ගියේය. ගතවූ දින කීපයේ සිදුවීම් දෙස බලන විට පණ බේරා ගැනීම තනතුරු වලට වඩා කෙහෙකැයි ඔහු සිතන්නට ඇත.

එක ගලෙන් කුරුල්ලන් දෙදෙනා මරන මිනිස්සුන් ගැන අප අසා ඇත; එහෙත් හිට්ලර් පවිත්රමකරණය හරහා එක ගලෙන් කුරුල්ලන් කිහිපදෙනෙක් මැරුවේය. චාන්ස්ලර් ලෙස සිය දේශපාලන අපක්ෂපාතී භාවය ජනාධිපති හමුවේ තහවුරු කෙරිණ; පක්ෂය ද පිරිසුදු විය; බාහිර විරුද්ධ වාදීන් ද මැඩලන ලදී; හමුදාවේ හොඳ හිත ද දිනා ගත්තේය. හමුදාවේ සහාය මේ වේලාවේ ඔහුට නැතුවම බැරිය. ලෙඩ ඇඳේ සිටි ජනාධිපති හින්ඩන්බර්ග් බැරි මරගාතේ පණිවුඩයක් එවමින් චාන්ස්ලර් තැන ගේ නොසැලෙන ශක්තිය මුව නොසෑහෙන පැසසීය. ඔහු දැන් හිට්ලර්ට සිහිනෙනුදු පරිභව නොකරයි. දින කිහිපයකින් පැණවුන ‘රජයේ ආත්මාරක්ෂක පියවර පිළිබඳ නීතිය’ යන නව කෙටුම්පතක් මගින් ‘මහා පවිත්‍රකරණයට’ පූර්ණ සුජාත භාවය හිමිවිය. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිසිවෙකුටත් නන් දෙඩවිය නොහේ. අණ පණත් සම්මත කර ගැනීම හිට්ලර්ට දැන් කජු කනවාක් මෙන් ලෙහෙසි වැඩකි.

තෙසතියකින් ඔස්ට්‍රියාවේ ජර්මන් විරෝධී චාන්ස්ලර් වරයා වූ ඩොලෆස් ඝාතනය කරන ලදී. ඔස්ට්‍රියන් නාසි පක්ෂය බලය පැහැර ගැනීමට කල තැතක් ව්‍යවර්ථ කල බව එරට රජය කීය. සියළු දෙනා ඇහි බැම රැලි කොට බැළුවේ හිට්ලර් දෙසය. ජර්මන් මැදිහත් වීමක් සිදු කලහොත් ඉතාලි හමුදා එවන බවට මුසෝලිනි අනතුරු ඇඟවීය. තමා මේ ගැන කිසිත් නොදන්නා බව කියා සිටි හිට්ලර් ඇඟ බේරා ගත්තේය. වියානා රජය පෙරළීමේ කිසිදු අදහසක් ජර්මනිය තුල නැත. අනතුරුව ඔහුට කදිම අදහසක් පහල විය. එස්. එස්. කණ්ඩායමක් වොන් පැපේන් ගේ දොරට තඩි බාන විට එදා පාන්දර ජාමේ තුනට ආසන්නය. බියෙන් ගැහෙමින් දොර විවෘත කළ පැපේන් ට තම සැකය හේතු රහිත වග ඉක්මනින්ම පෙනී ගියේය. “සමාවෙන්න පැපේන් මහත්මයා, ඔබේ දුරකථනය වැඩ කරන්නෙ නැහැ. නායකතුමාට ඔබ සමඟ ඉක්මනින්ම කථා කරන්න අවශ්‍යලු.” නිළධාරියෙක් පැවසුවේ ගරු සරු ඇතිවය. මොහොතකින් හිට්ලර් දුරකථනයෙන් සම්බන්ධ විය. “තමුසෙ දන්නවා නේද වියානාවෙ වෙලා තියන දේ, හර් වොන් පැපේන්? ඉක්මනට එහේ ගිහින් හොයල බලල මේක පිළිවලක් කරල දාන්න.” තමා වියානාවේ සිදුවී ඇති කිසිවක් නොදන්නා බව පැපේන් කීවේය. “මට තේරෙන්නෙ නැහැ එහේ ගිහින් කරන්න තියෙන්නෙ මොනවද කියල” ඔස්ට්රිෙයන් චාන්ස්ලර් ඩොල්ෆස් කිසිවෙකු මරා දමා ඇති බවත්, එරට නාසි පක්ෂයේ නම සිද්ධියට ගෑවී ඇති අන්දමත් හිට්ලර් ලහි ලහියේ විස්තර කළේය. ඔහුගේ කට හඬ වෙව්ලයි. දැන් ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික නියෝජනයක් අවශ්‍යය. “තමුසෙට තමයි මේ වැඩේට කියාපු මිනිහා. අනෙක තමුසෙත් කතෝලිකයෙක්.. ඔන්න බැහැ කියන්න විතරක් හෙම ලැහැස්ති වෙන්න එපා තේරුනාද?” “තේරුනා!” වොන් පැපේන් තානාපති පදවිය භාර ගත්තේය. ජර්මනියේ හිඳ නිකරුනේ මැරුම් කනවාට වඩා එය දාහෙන් සම්පතකි. අති විශේෂ දූත මෙහෙයක් සඳහා වොන් පැපේන් උප චාන්ස්ලර් ධුරයෙන් ඉවත් වී වියානාව බලා ගිය බව ඇසූ ඔත්පොලව සිටි ජනාධිපති හින්ඩන්බර්ග් සතුටු කඳුළු වැගිරුවාට නිසැකය. දින කිහිපයකින් ඔහු මිය ගියේ චාන්ස්ලර් තැන ගැන උපදවාගත් පහන් සිතිනි. හිස් වූ ජනාධිපති පදවිය චාන්ස්ලර් ධුරය හා ඒකාබද්ධ කිරීමේ විශේෂ ආඥාවක් හිට්ලර් විසින් නිකුත් කරන විට හින්ඩන්බර්ග් ගේ මළ සිරුරේ උණුසුම වත් පහව ගොස් තිබුනේ නැත. හමුදාවද ඊට එරෙහි නොවීය. දෙවසක් තුල ජනාධිපතිවරණ දෙකකට හා පාර්ලිමේන්තු මැතිවරණ තුනකට මුහුණ දී සිටි හිට්ලර් තවත් ජනමත විමසුමක් කැඳවූයේ වැඩි හොදටය. මත විමසුමට පෙර දින දිවංගත ජනාධිපතිවරයාගේ පුත් ඔස්කා වොන් හින්ඩන්බර්ග් ගුවන් විදුලියෙන් රටට කියා සිටියේ ‘නායක තුමා’ කෙරේ සිය පියා තුල විශාල විශ්වාසයක් තිබූ බවයි. නොකියූ හේතු රැසක් ඊට තිබිණ. පවිත්‍රකරණය අතරතුර දී පරලොව යැවුන කපටි උපදේශක ශ්ලයිකර් පැරණි කුණු ගොඩවල් අවුස්සද්දී, හිට්ලර් අතීතයටද බලපාන පරිදි හින්ඩන්බර්ග් පවුලම බදු ලැයිස්තුවෙන් නිදහස් කලේය. එයම මඳෑ! එපමණක්ද? අවුරුද්දකට පෙර හමුදා කල්නල් වරයකු වූ ඔස්කා වොන් හින්ඩන්බර්ග් දැන් මේජර් ජනරාල් තනතුර දරයි.

ජනමත විචාරණයේදී ඡන්ද දායකයෝ 90% ක් හිට්ලර්ට ජානධිපති ධුරය ද බලතල පැවරීම අනුමත කළහ. විපක්ෂව අදහස් දැක්වීමට කිසිවෙකුත් සිටියේ නැත. ජනාධිපති-චාන්ස්ලර් තැන්පත් ඇඩොල්ෆ් හිට්ලර් හෙවත් ‘නායක තුමා’ එතැන් පටන් ජර්මනියේ ‘ව්‍යවස්ථානුකූල ඒකාධිපතියා’ ය. නාසි විප්ලවය සම්පූර්ණ විය.

thumb|වම|රෝම් ඝාතනය පිළිබඳ පලවූ බටහිර පුවත් වාර්තාවක් ( 1934 ජුලි ) thumb|මධ්‍යය|එස්. එස්. සංවිධනයේ නායක හෙයින්රිච් හිම්ලර්. thumb|දකුණ|චාන්ස්ලර් හිට්ලර් සිය දකුණත බඳු ගෝරින් සමඟ. (1934) thumb|මධ්‍යය|ජනාධිපති හින්ඩන්බර්ග් සහ චාන්ස්ලර් හිට්ලර් (1933 මාර්තු)

හිට්ලර් නම් සැලසුම් ශිල්පියා (1934-1935)

අධිකරණය සිය අභිමතය බල ගන්වන ආයතනයක් බවට පත් කොට ව්‍යවස්ථාදායකය හා විධායකය සියතට ගත් ජනාධිපති-චාන්ස්ලර් තැන්පත් ඇඩොල්ෆ් හිට්ලර් ගේ සිහිනය බලයෙන් අග තැන්පත් ප්‍රෞඩ ජර්මනියකි. ගැටවර වියේ ලින්ස් හා වියානා නගර දෙකම කොල මත ප්‍රතිනිර්මාණය කරමින් තනිව සැලසුම් ශිල්පය ප්‍රගුණ කල ඔහුට විශේෂඥයන් නොරිසිය. තම පටු ක්ෂෙත්‍රය හැරුන කොට මෙලෝ හසරක් නොදත් ඔවුන් ප්‍රායෝගික නැතැයි ඔහු කල්පනා කලේය. එවැන්නෝ නිළධාරිවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් වෘත්තිය අරමුණු කැප කිරීමට වුව පසුබට නොවෙති. ද්වීතික පාසලෙන් ඔබ්බට ඉගනීමක් ලබා නොතිබුනද පොත පත කියැවීම හා අත් දැකීම් ඇසුරින් පශ්චාත් උපාධි කිහිපයක දැනුම හිට්ලර් සතු විය. තුන්වන රයික් අධිරාජ්‍යයේ සිහිනය සැබෑ කර ගැනීමට නම් ජර්මනිය දේශපාලන සාධක මෙන්ම ආර්ථික අරමුණු ද ඉලක්ක කොට ගත් යුද්ධයක් තුලින් භූමිය දිනා ගත යුතු බව ඔහු දත්තේය. අභියෝගය වූයේ පැවති සීමාවන් තුල ඉලක්ක සපුරා ගැනීමෙහිලා සමත් සුදුසු උපාය මාර්ග තෝරා ගැනීමත් ඒ සදහා සුදුසු යාන්ත්‍රණයක් ගොඩ නැගීමත්ය. මෙය ප්‍රතිපත්ති, ශ්‍රම බලකාය, නිෂ්පාදනය, කර්මාන්ත හා යටිතල පහසුකම්, සන්නද්ධකරණ හා නඩත්තු පිරිවැය, සිවිල් පරිපාලනය, බලශක්තිය, ආනයන අපනයන හා රාජ්‍යතාන්ත්‍රික උපාය උපාය ආදී සියළු අංශ ආවරනය වන සේ පිළියල කෙරුණ යෝධ සැලැස්මක් විය යුතුය. මෙවන් දැවැන්ත වැඩසටහනක් තුල කිසියම් විෂයක් පිළිබඳ තම සෛද්ධාන්තික දැනුමින් ඔබ්බට ගිය සහභාගීත්වයක් හා දායකත්වයක් සැපයීමට ධාරිතාවයෙන් පොහොසත් පුද්ගලයන් ජර්මන් ඉහල නිළධාරී තන්ත්‍රය තුල දුර්ලභ බවද, වර්සෙල්ස් ගිවිසුම බිඳ දැමීමට ඇවැසි ධෛර්යය විදේශ සේවය තුල හෝ සූදානමක් හමුදාව තුල හෝ නොමැති බවද ඔහු වටහා ගත්තේය. දැනුම් තේරුම් ඇත්තෙකුට සිටියේ ගෝරින් පමණි. එහෙත් ගෝරින් පසුවූයේ තම දයාබර සිටු බිරිඳ වූ කැරින්ගේ අකල් වියෝව ගැන තවමත් සිත් තැවුලිනි. ඈ සිහි වීම පිණිස ‘කැරින් ශාලාව’ නමින් හැඳින් වුන දැවැන්ත ගම්බද මාලිගයක් තැනවූ ඔහු ස්වීඩනයේ සුසාන භූමියක තෙවසරකට පෙර මිහිදන් කොට තිබූ ඇගේ සිරුර ගොඩගෙන විශේෂ දෙනක බහා ගෙනැවිත් මේ ‘ටජ් මහල’ තුල තැනවූ භූගත සමාධියක් තුල තැන්පත් කලේය. ඒ ගරු ගාම්භීර අවමගුල් උත්සවයට හිට්ලර්ද සහභාගී විය. අනතුරුව සැනසුන ගෝරින්ට මාස කිහිපයකින් එමී සොන්මන් නම් සුරූපී නිළිය හා විවාහ වීමේ සිතක් පහල විය. අදහසට හිට්ලර් ද කැමති වූයේ එක පයිනි. ගෝරින්ට ද යන කල දවසක් තිබිය යුතු බව ඔහු නිතර කියයි. කසාදයේ දෙවන මනමාලයා වූයේද යහපත් හිට්ලර් ය!

තුන්වන රයික් රාජ්‍යයේ මූලික අඩිතාලම ඒ වන විටත් දැමෙමින් තිබිණ. බොහෝ දුරට ශ්‍රම බලකායෙන් ඉවත් කරන ලද කාන්තාවන් සැමියා දරුවන් සහ නිවෙස සිය ලෝකය කොටගනු දැකිම තම පැතුම බව හිට්ලර් කීය. ඊට අමතරව සියළුම යුදෙව්වන් හා ‘දේශපාලන වශයෙන් අවිශ්වාස’ලෙස වර්ග කෙරුණ පුද්ගලයන් දස දහස් ගණනක් රජයේ සේවයෙන් පහ කිරීම නිසා නව රැකියා අවස්ථා රැසක් ඇතිවිය. යුදෙව්වන් හා ‘අලසයන්’ ලෙස වර්ග කරනු ලැබුවෝ ‘සෝදිසි කඳවුරු’ තුලට අතුරුදන් කරවීම ආර්ථික හා පරිපාලන වශයෙන් වාසිදායකය. මෙම ‘සෝදිසි කඳවුරු’ වල අරමුණ වූයේ තුන්වන රයික් අධිරාජ්‍යයට අනර්ථකාරී ‘මානව’ සාධක අවම වෑයමක් හා පිරිවැයක් තුලින් විනාශ කර දැමීමයි. ඔවුන් පෝෂණය කිරීමට හා නඩත්තුවට වැය වන මාක් කෝටි ගණනක ධනය මෙන්ම ඔවුන්ගේ රාජසන්තක කල දේපලද ආර්ථිකයේ වඩාත් වැදගත් අංශ තුලට එමගින් යොමු කල හැකි විය. මෙම අතිශය වගකීමකින් හා සැලකිල්ලකින් යුතුව ඉටු කල යුතු වූ භාරධූර කාර්යය සඳහා හිට්ලර් තොරා ගත්තේ තමාට පෞද්ගලිකව පක්ෂපාතීත්වය දිවුරා ඇති එස්. එස්. සංවිධානයයි. ‘විශ්වාසදායක හයින්රිච්’ හෙවත් කවදත් හිතවත් හිම්ලර් කාර්යක්ෂම විධායකයෙක් මෙන්ම දක්ෂ සංවිධායකයකුද විය. ගෝරින් විසින් ඔහුට භාර කටන ලද ‘ගෙස්ටාපෝ’ පොලිසියද දැන් එස්. එස්. ශාඛාවකි. රයින්හාර්ඩ්ට් හයිඩ්රිච් නැමති ඔහුගේ කදිම සහායකයා සිරකරුවන් ගාල් කරවීමේ හා අතුරුදන් කරවීමේ ක්‍රමෝපාය පිළිබඳ විශේෂඥ මට්ටමේ දැනුමැත්තෙකු වූයේය. නව රැකියා අවස්ථා රැසක්ද සලසමින් සන්නද්ධකරණ වැඩපිළිවෙල සඳහා ආයෝජනය කිරීමට කුවේර කර්මාන්ත හිමියන් ඉදිරිපත් වුවද ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමට ජර්මන් රජයට මුදල් නොවීය. ‘මෙෆෝ’ බිල්පත් නැමති රජයේ පොරොන්දු නොට්ටු විශේෂයක් මගින් ගෙවීම් කල හැකි බව මෙහිදී හිට්ලර්ට කියා දුන්නේ මහ බැංකු අධිපති ජල්මාර් ෂාච්ට් ය. පස් වසරකින් කල් පිරීමට නියමිත එම පොරොන්දු නෝට්ටු මගින් ගෙවීම් ලබන කාර්මාන්ත කරුවන්ට ඔවුනොවුන් අතර ගණුදෙණු කිරීමට හැකිවන සේ සැලසුම් කොට තිබීම එහි විශේෂත්වයකි. සෙසු ජාතීන් ජර්මනියේ මට්ටමට නිරායුධ වීමට සූදානම් නැත්නම් නම් තවත් සාකච්ඡා පැවැත්වීමෙන් ඵලක් නැතැයි කී ජර්මනිය ජාතීන්ගේ සංගමයෙන් හා ජිනීවා නිරවිකරණ සමුළුවෙන් ද ඉවත් වූවාය. තම දෑත් බැඳ තබා ගැනීමට හිට්ලර් අකමැතිය. මේ පිලිබඳ ඔහු ජන මත විමසුමක්ද කැඳවීය. එහි ප්‍රථිඵලය වර්සෙල්ස් ගිවිසුම කෙරේ ජර්මන් මහජනයාගේ පිළිකුල පිළිබිඹු කෙරුණු කැඩපතක් බඳු විය. ජනතාවගෙන් 95% ක් හිට්ලර්ගේ ප්‍රතිපත්තිය අනුමත කලහ. සම්පත් හා කාලය යන සාධක අතින් බැලූ කල සිය ඉලක්ක සපුරා ගැනීමට හැක්කේ කෙටි යුද ක්‍රියා දාමයක් හරහා සතුරා මුළුමනින් විනාශ කිරීමෙහිලා සමත් අතිශය ජංගමශීලී හමුදාවක් ගොඩ නැඟීම තුලින් බව හිට්ලර් අවබෝධ කොට ගත්තේය. සන්නද්ධ කල යුතු වූයේ උපාය උපක්‍රම වලට අනුකූලවය. එහෙත් මෙම වගකීම භාර දිය හැකි ජනරාල් වරයෙක් හමුදාව තුලද සිටියේ නැත. තවමත් පළමු ලෝක යුද්ධයේ රාමු අතර කොටුවූ පොතේගුරු සෙනෙවි මණ්ඩලය බොහෝ පසුගාමී විය. නව අදහස් සලකා බැලීමේ ධෛර්යයක් හෝ උනන්දුවක් ඔවුන් තුල නොවීය. එහෙයින් සියල්ල සොයා බැලීමට සිදුවූයේ හිට්ලර්ටය. සාම කලය සඳහා ඩිවිෂන විසි එකක් සෑහුන බව පැවසුනද කෝකටත් කියා තිස් හයක්ම ගොඩ නැඟීමට ඔහු නියම කළේ හමුදාවේ වෘත්තිය ඇස්තමේන්තු ගැන ඔහු තුල වූ අවිශ්වාසය පමණක් නොව එහි දි පලලද මැනවින් විදහා දක්වමිනි.

එහෙත් හමුදාවේ කණිෂ්ඨ නිල අතර දක්ෂයන් සිටි බව හිට්ලර් සිය අත්දැකීමෙන් දත්තේය. 1934 අගෝස්තුවේ පැවැත්වූ යුද අභ්‍යාසයකදී ජර්මන් හමුදාවේ තාක්ෂණික අංශය විසින් නිර්මාණය කල ජර්මන් සන්නද්ධ රථයක මුල් ආකෘතියක් දුටු හිට්ලර් මවිතය්ව්න් කෑ ගැසීය. “ආන්න හරි! මෙන්න මේව තමයි මට ඕන.” එහි නිර්මාතෘ මෙන්ම හමුදාවේ යාන්ත්‍රික යුද ශිල්පය පිළිබඳ දැනුමැත්තා වූයේ හයින්ස් ගුඩේරියන් නැමති හමුදා කල්නල් වරයෙකි. බර යුද ටැංකි විශාල කණ්ඩායම් ලෙස යෙදවීම වඩාත් ඵලදායී බවත්, එමගින් කුඩා හමුදාවක් යොදා ගනිමින් තීරණාත්මක ලෙස සතුරු පෙරමුණ බිඳ දැමිය හැකි බවත් ගුඩේරියන් එහිදී පෙන්වා දුන්නේය. එම නව සිද්ධාන්තය හිට්ලර්ගේ සිත් ගති. නිළධාරීන් පුහුණු කිරීම හා යුද ටැංකි නඩත්තුව පිළිබඳව ඔහු ගුඩේරියන් ගෙන් බොහෝ කරුණු විමසීය. මේ සියල්ල අතර තුර ජර්මනියේ නුදුරු ප්‍රතිපත්තිමය වෙනස්කම් සධාරණීකරණය කෙරෙන කිසියම් රාජ්‍යතාන්ත්‍රික පෙරහුරුවක් ද තිබිය යුතුය. ගහෙන් ගෙඩි එන්නාක් මෙන් සන්න්ද්ධ කරණ වැඩපිළිවෙලක් දියත් කොට හැකි නොවේ. සිය ආත්මාරක්ෂාව පිණිස ප්‍රතිසන්නද්ධ වනු හැර වෙනත් විකල්පයක් ජර්මනිය හමුවේ නැතැයි 1935 දී හිට්ලර් ‍ ප්‍රකාශ කොට කොට සිටි‍යේය. ආත්මාරක්ෂාව යනුවෙන් ඔහු අදහස් කළේ කුමක්දැයි පැහැදිලි නැත. ජර්මනියට අඩන්තේට්ටම් කරමින් සටනට කැඳවූ සතුරෝ කිසිවෙක් ද නුවූහ. නව ගුවන් හමුදාවක් ප්‍රතිෂ්ඨාපනය කළ වග ද නිල වශයෙන් පිළිගත් ඔහු යුද හමුදාව ද භටයන් පන් ලක්ෂයක් දක්වා වැඩි කිරීම තම අපේක්ෂාව බව කීය. වර්සෙල්ස් ගිවිසුම මගින් හමුදාව ලක්ෂයකට සීමා කොට තිබූ අතර ගුවන්යානා, යුද ටැංකි, සබ්මැරීන හෝ බර අවි නිපදවීම තහනම් කොට තිබිණ. නව ගුවන් හමුදාපති වූයේ හිටපු ප්‍රහාරක නියමු ජනරාල් ගෝරින්ය. අනතුරුව හමුදා සෙනෙවි මණ්ඩලයේ පොතේගුරු වාදීන් මතු කල සැක සංකා අළුයම කෙළ පිඬක් සේ ඉවත ලූ හිට්ලර් කල්නල් ගුඩේරියන්ගේ යුද ටැංකි හෙවත් ‘පැන්සර්’ සටන් න්‍යාය ඇතුලත් කරමින් ජර්මන් හමුදා අත්පොත සංශෝධනය කිරීමට නියම කළේය. යුද අගල් තුලට වැදී සටන් වදිනු වෙනුවට යාන්ත්‍රික බලඇණි යොදවා පෙරමුණ දෙපසින් ‘කකුළු අඬු’ හැඩයට ගැඹුරට කාවැදීම මගින් සතුරා වටකොට විනාශ කිරීම ගුඩේරියන්ගේ උපක්‍රමයයි. කෙටි කලකින් තීරණාත්මක ජයක් අත්පත් කොට ගැනීමෙහිලා සමත් කුඩා ජංගමශීලී හමුදාවක් යෙදවීමේ සංකල්පයටට මෙම උපාය අතිශය සුදුසු විය. 1935 ඔක්තෝබරය වන විට ජර්මන් හමුදාවේ පෙරටු බලය වූයේ පෙර මෙන් පාබල හෝ අශ්වාරෝහක කණ්ඩායම් නොව දැවැන්ත ‘පැන්සර්’ හමුදා තුනකි; දෙවන ලෝක යුද්ධය ආරම්භයේ හිට්ලර් ලද කැපී පෙනෙන ජයග්‍රහණ මාලාව පිටුපස වූ එක් රහසක් වූයේ ගුඩේරියන්ගේ මේ නව ‘පැන්සර්’ යුද කලාවයි. ප්‍රතිවාදීන් සතුව යුද ටැංකි තිබුනද ඒවා ඵලදායී ලෙස මෙහෙයවීමට ඔවුහු නොදත්හ. සෙසු සියළු රටවල හමුදා යුද ටැංකිය ඒ දක්වාත් යොදා ගත්තේ හුදෙක් පාබල හමුදාවේ සහයක උපකරණයක් ලෙසටය. මෙම වරද අවබෝධ කොට ගැනීමට ඔවුන්ට බොහෝ කලක් ගතවූ අතර ඒ වෙනුවෙන් ගෙවීමට සිදුවූ වන්දිය අති විශාල විය. එහෙත් ඒ සමඟම ගුඩේරියන් දැරූ සන්නාහ සන්නද්ධ බල ඇණි වල ප්‍රධාන මාණ්ඩලික නිළධාරී තනතුරින් ඔහු ඉවත් කොට ‘පැන්සර්’ බල ඇණියක අණදීම සඳහා පත් කොට යැවීමට සෙනෙවි මණ්ඩලය කටයුතු කලේය. මෙය ඔහු ප්‍රතිපත්ති සම්පාදන කටයුතු වලින් බැහැර කරවූ අතර හිට්ලර් ඒ වගක් දැන සිටියේ නැත.

පනින රිළවුන්ට විදුලි සෝපාන තබන්නාක් මෙන් සමස්ථ ටොන් බරින් තමාට වඩා සියයට පණහකට අඩු නැව් කණ්ඩායමක් ජර්මනියට පවත්වාගෙන යාමට ඉඩ දීමට මේ අතර වාරයේ මහා බ්‍රිතාන්‍යය ද කැමති වූවාය. ලන්ඩනය මේ වනවිට සිටියේ ජර්මනිය නිරායුධ කොට තැබිය නොහැකි නම් යටත් පිරිසෙයින් ඈ ප්‍රතිසන්නද්ධ වීම සීමා කිරීමට හෝ උත්සහ දැරිය යුතුය යන ස්ථාවරයේය. පළමු ලෝක යුද්ධයේ අමිහිරි මතකයෙන් හා නවසිය විසි නවයේ ලෝක ආර්ථික අවපාතයේ බලපෑමින් තවදුරටත් පීඩා විඳි මහා බ්‍රිතාන්යයේ එකම උත්සාහය වූයේ යටත් පිරිසෙයින් නුදුරු අනාගතයේ හෝ යුරෝපයේ තවත් විශාල යුද්ධයක් ඇතිවීම වැලක්වීමයි. හමුදා බලය තර කිරීමේ ජර්මන් වෑයම හමුවේ සංත්‍රාසයට පත් ප්‍රංශය තමාට මහා බ්‍රිතාන්‍යයේ සහයෙන් තොරව තනිවම ජර්මනිය හා සටන් වැදීමට සිදුවේයැයි බියෙන් පසු වූවාය.

ගැටවරයෙකු ලෙස එදා ලින්ස් හා වියානා නගර වෙනස් කිරීමට දැවැන්ත සැලසුම් පිලියල කල හිට්ලර් අද බර්ලිනය යලි ඉදි කිරීමට නොසිතුවේද? මොහොතකටවත් එසේ නොසිතන්න. මන්ද තවමත් හිට්ලර්ගේ කාලය වඩාත් වැයවූයේ ඔහුගේ පුද්ගලික විනෝදාංශය වූ මෙම කාර්යය සඳහා බැවිණි. ගීසා හි පිරමිඩ පාරාවෝ වරුන්ගේ යසස කියා පාන්නක් මෙන් දහස් වසරක් පවතින ‘මහා ජර්මනියේ’ විභූතිය එහි ජ්‍යාමිතික මාණයන්ගෙන් නිරූපණය විය යුතු බව හිට්ලර් විශ්වාස කලේය. ඒ සඳහා හරියටම හරියන පුද්ගලයා හමුවීම ඔහුගේ වාසනාවකි . කුබිසෙක්ට පසු හිට්ලර්ට සිටි සමීපතම පුද්ගලික මිතුරා ඇල්බර්ට් ස්පීර් යයි පැවසීම වරදක් නොවේ. උතුරු ජර්මනුවෙකු වූ තිස් හැවිරිදි ස්පීර් මුළින්ම හිට්ලර්ගේ අවධානයට ලක්වුනේ බර්ලින් හි චාන්ස්ලර් භවන අළුත් වැඩියාව භාරව කටයුත් කරන අතරතුරදීය. කොපමන රාජකාරී බහුල වුවද දිනපතා වැඩ බිමට පැමිණෙන හිට්ලර්ට සෑම ඇද කුදයක්ම පෙනේ. ඔහුගේ හිතට නෑල්ලීම නිසා දැවැන්ත කිරිගරුඬ සිවිලිමක් කිහිප වරක්ම ගලවා සවි කිරීමට සිදු විය. තෙමේම නිර්මාණ ශිල්පියෙක් වූ හිට්ලර් මෙම අවස්ථාවන්හි අත්දුටු ස්පීර් ගේ ආකල්ප හා රුචිය කෙරේ විශාල උනන්දුවක් දැක්වූ අතර තමා මෙතෙක් සෙවූ පුද්ගලයා හමුවූ බව ඔහුට වැටහිණ. එතැන් පටන් සියළු යටිතල පහසුකම් ඉදි කිරීමේ වගකීම ස්පීර්ට භාර කල ඔහු මෙම තරුණ නිර්මාණ ශිල්පියා තම පුද්ගලික මිතුරෙකු ලෙස ලා සැලකුවේය. ස්පීර් පසුකාලීනව හෙලි කල ආඥාදායකයා සමඟ සිය අත්දැකීම් හිට්ලර් ගේ තරුණ විය පිළිබද කුබිසෙක් කරන විස්තරය තරම්ම අපට වැදගත්ය.

යුද්ධයට පෙර ඒ සොඳුරු දින වලදී එදිනෙදා දේශපාලනයේ විඩාව වඩාත් දැඩි වූ විට ඔහු කලේ ‘දේශපාලන-නොවන’ හිතවතුන් කිහිපදෙනෙකු හා සමීපතම මිතුරිය වූ ඊවා බ්රෝන් මෙනෙවිය ඇතුළු කණ්ඩායමක් සමඟ ඔබර්සැල්ස්බර්ග් හි ‘බර්ග්හොෆ්’ බංගලාවට වැදී අතුරුදන් වීමයි. මෙම බංගලාව ඔහු විසින් මිලදී ගන්නා ලද්දේ ‘මගේ සටන’ කෘතියෙන් ලද ආදායමෙන් බව පැවසේ. චාන්ස්ලර් මැදුරේ ගාලගෝටිටිය තුල සලකා බැලිය නොහැකි තරම් විශාල ගැටළු කෙරේ ඔහු සිත යොමුකරන්නේ සැහැල්ලු බැවේරියානු ගොවි ඇඳුමක් හැඳගෙන ඇල්ප්ස් කඳුකරයේ ඔබමොබ ඇවිදිමිනි. කුඩා තානායමක් අතරමඟ දුටුවහොත් ඔහු එහි නොවැරදීම ගොඩ වැදෙයි. ‘ලොව හොල්ලන තීරණ’ ගැනීම සඳහා අවශ්යඔ සන්සුන් බව හා ආත්ම විශ්වාසය එවැනි ස්ථානයකදී ඔහු තුල ඇතිවේලු! එමෙන්ම ලද අවසරයකින් සිත්තම් හා ගොඩනැගිලි සැලසුම් නිර්මාණයේ යෙදෙන ඔහු සවස් යාමයේ දොඩමළු වෙයි. එතැනදී ඔහු දේශපාලනයේ වෙහෙසින් මිදේ; දෑස් දීප්තිමත් වී ප්ර තික්රිඔයා ප්රසතිචාර ඉක්මන් වේ; තීරණ ගැනීමේ අශාව යලි පිබිදේ. ජීවිතය පිලිබඳ දැක්ම ලිහිල් ය. සංග්‍රහශීලි ඔහු දයාබරය. හිට්ලර් ගේ මෙම සරල හැසිරීම හා ඇඳුම තම ජනයා අතර ඔහුට කීර්තිය ගෙන දීමට හේතු විය. ඔහු මස් මාංශ අනුභව නොකළේය; මත්පැන් නෑල්ලීය; ඔහු අසලක දුම් පානය කිරීම කිසිවෙකුට අවසර නැත. විශේෂ උත්සව අවස්ථාවක් නොවී නම් සිය ලේකම් වරියන් හා නිර්මාංශ කෝකියා ඇතුළු පුද්ගලික කාර්ය මණ්ඩලය සමඟ කෑමට වාඩිවීම ඔහුගේ සිරිතය. ඊවා බ්රෝ න් හෝ වෙනත් අමුත්තෙක් සිටී නම් බොජුන් සැසිය වඩාත් දීර්ඝ වේ. බොහෝ විට හිට්ලර්ගේ ආහාරය වූයේ සුප් හා එලවළු සලාදයක් සමග සැන්ඩ්විච් ය; නැතහොත් බත් හෝ වෙනත් ධාන්‍ය වර්ගයකි. එහෙත් සෙස්සන් වෙනුවෙන් ඕනෑම වර්ගයක මස් මාංශ හා වයින් පිළිගන්වනු ලැබේ. හිට්ලර් අතුරු පසට කෑවේ කේක් හෝ පළතුරු පුඩිමකි; කෙටි ආහාර ලෙස ඔහු වඩාත් ප්‍රිය කලේ බිස්කට්, චොකලට් රෝල් හෝ නිර්මාංශ පේස්ට්රික වර්ගය. ඉන්පසු ඔහු ඔසු පැන් හෝ පිරිසිදු ආසෘත ජලය පානය කරයි. සුරා සූදුව, අනාචාරය ආදී යනාදී දුසිරිත් ඔහුට නොරිසිය. ඇවිදීමය හිට්ලර් ගේ එකම ව්‍යායාමයයි. බොහෝ විට ඔහු කල්පනා කරන්නේ හා වැදගත් තීරණ වලට එලඹෙන්නේ නැගෙනහිර ප්‍රසියාවේ 'ඩෘක ලෙන' නැමති මූලස්ථානය අවට වන ලැහැබක් තුල හෝ බර්ග්හොෆ් බංගලාව අවට වූ කඳු මත සක්මන් කරන අතරතුරය. ස්පීර් එහි සිටී නම් නොවැරදීම ඔහුද තමා හා කැටුව යාම හිට්ලර් ගේ සිරිතකි. එදාට ගමන අවසන් වනතුරු නගර මංමාවත්, ගොඩනැගිලි හෝ පාලම් ඉදි කිරීම පිළිබඳ සැලසුම් පිළිබඳ කතා බහ වේ. තුන්වන රයික් රාජ්‍යයේ සෑම වැසියෙකුටම මෝටර් රථයක් තිබිය යුතු වග හිට්ලර් තුල බොහෝ කලකට පෙර සිට පැවති අදහසකි. වැඩිහිටියන් දෙදෙනෙක් හා ළමයින් තිදෙනෙකු සහිත පවුලක් පැයට සැතපුම් 60 ක වේගයෙන් ගෙන යායුතු එම රථයේ හැඩය හා ඇතැම් උපාංග ඔහු පෞද්ගලිකවම සැලසුම් කොට තිබිණ. මාර්ක් 990 කට මිල කෙරුන එම රියට ඉතුරුම් සැලැස්මක් හරහා මුදල් ගෙවිය හැකි විය. මෙම උත්සාහයේ අග්‍ර ඵලය වූයේ ‘මහජන රථය’ යන අරුතැති සුප්‍රකට ‘වොක්ස්වැගන්’ බීට්ල් මෝටර් රථයයි. එහෙත් මාර්ක් 990 ක මිලකට එම රථය ලබා දීම නිෂ්පාදකයන්ට අපහසු වීම නිසා ව්‍යාපෘතියේ අපේක්ෂිත අවසන් ඉලක්කයට ලඟ වීමට නොහැකි වුවද, බොහෝ මධ්‍යම පංතිකයන්ට ඉන් සෙත අත් වූ බව කිව යුතුය. එහෙත් අද ‘වොක්ස්වැගන්’ සමාගම 1950ට කලින් ඉතිහාසය ගැන කථා කිරීමට අකැමතිය.

මෙම දැවැන්ත දේශපාලන, ආර්ථික, රාජ්‍යතාන්ත්‍රික හා හමුදාමය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුල සංස්කෘතික අංශය පිළිබඳ වගකීම පැවරුණේ හිට්ලර්ගේ ප්‍රධාන ප්‍රචාරක නිළධාරී හා ‘මහජන ප්‍රබෝධන’ ඇමති ආචාර්ය ජෝසොෆ් ගොබ්ල්ස්ටය. සියළු ජනසන්නිවේදන ආයතන ඔහුගේ සෘජු පාලනයට නතු විය. රජ‍යේ අනුග්‍රහය නිසා සංගීතය සිනමාව හා කලාවට නම් එය යහපත් කාලයකි. එහෙත් යුදෙව්වෝ තව දුරටත් මඩින ලද්දෝය. පුරවැසි භාවය පවා අහෝසි කෙරුන ඔවුන් හා ආර්යයන් අතර විවාහ බන්ධනද තහනම් කෙරින. නෙසේවීනම් ජර්මන් සංස්කෘතිය විනාශ වනු ඇතැයි ගොබ්ල්ස් බිය විය. නාසි පක්ෂයේ එකම වෘත්තිය ප්‍රබුද්ධයා ලෙස සැලකිය හැකි ගොබ්ල්ස් බොහෝ දෙනා නොදත් කරුණක් ද අවබෝධ කොට ගත්තේය. එනම් අවස්ථවෝචිතව ස්වාර්ථය තකා සුළු මුසාවකින් තෘප්තිමත් වන පොදු ජනයා මහා පරිමාණ‍යේ බේගල් ඇද බෑමට සිය නායකයන්ට හැකියාවක් ඇතැයි කිසිසේත්ම නොසිතන බවය. එමන්ම නිරන්තරව අසන්නට ලැබෙන යමක් කල් යාමේදී නිතැතින්ම වැඩි දෙනා අතර සැබෑවක් ලෙස පිලි ගැනෙනු ඇත. සත්‍යය විනිවිද දැකීමෙහිලා සමත් බුද්ධියකින් යුත් ඔහු එය විකෘති කරන අන්දමද මැනවින් දැන සිටියේය. මේ අන්දමින් 1935 අග වන විට ජර්මනිය පූර්ණ පරිවර්තනයක පෙර ලකුණු පල කරමින් සිටියාය. ‘සෝදිසි කඳවුරු’ වලට යවන ලද්දෝ පරිපාලන වශයෙන් පොත්පත් වලින් කපා හරිනු ලැබ තිබීම නිසා සංඛ්‍යා ලේඛණවල සැලැකිය යුතු ප්‍රගතියක් දක්නය විය. ගතවූ වසර කිහිපය හා සැසඳීමේදී ජීවන වියදම ද තරමක් අඩුය. ජන ජීවිතය සන්සුන්ය. නව බලාපොරොත්තුවක අරුණලු බොහෝ දෙනා දකිති.... නැතහොත් කරුණු එසේ බව ආචාර්ය ගොබෙල්ස් ඔවුන්ට නිසැක ලෙස ඒත්තු ගැන්වීය... බහුතරය ගොබෙල්ස් හා එකඟ වූහ. ප්‍රශ්න නැඟූ අමාරුකාරයන් සුළු කොටස බලා කියා ගැනීම හිම්ලර් ප්‍රමුඛ එස්. එස්. සංවිධානයට පැවරිණ. භාවිතයේ දී කෙතෙක් නරුම වුවද, හිට්ලර්ගේ තුන්වන රයික් අධිරාජ්‍යය සෛද්ධාන්තිකව ගත් කල විචක්ෂණ සැලැස්මකි. එය අකාරුණික සොබාදහමේම දෝංකාරක් දැයි විටෙක සිතේ. .


හිට්ලර් නම් ඔට්ටු තබන්නා (1935-1936)

වර්සෙල්ස් ගිවිසුම එල්ලා හැලේ. එහි නිර්මාපකයෝ හා ඇප කරුවෝ නිහඬය. මහා බ්‍රිතාන්‍යය ඉවසීම ප්‍රගුණ කිරීමේ ධ්‍යානයට සම වැදී සිටියදී තමා අනාථ වෙතැයි බියවූ ප්‍රංශය බොල්ෂෙවික් රුසියාව සමඟ අන්‍යොන්‍ය ආරක්ෂක ගිවිසුමකට එලැඹියාය. අනෙත් අතට පංති සතුරා සමඟ තාවකාලික සන්ධානයකට එළැඹීමට සිදුව ඇතයි සෝවියට් ආඥාදායක ජෝසොෆ් ස්ටැලින් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පැහැදිලි කලේ ද හිට්ලර්ගේ ‘මගේ සටන’ පොතේ පිටපතක් අතැතිව විය යුතුය. ජර්මන් ජාතිය සඳහා ‘ජීවත් වීමේ ඉඩකඩ’ දිනා ගත යුත්තේ නැගෙනහිර භූමි ප්‍රදේශ තුලින් බව ‘නාසි බයිබලයේ’ පැහැදිලිවම සඳහන් කොට ඇත. “ඔන්න දැක්ක නේද කට්ටියම අපිට විරුද්ධව එකතු වෙන ලස්සන? හැමෝටම ඕන ජර්මනිය පාගගෙන ඉන්න.” හිට්ලර් කෑ ගෑවේය. මේ අවස්ථාවේ ඔහුගේ අවධානය යොමුව වර්සෙල්ස් ගිවිසුම තුලින් අවි මුක්ත කලපයක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබූ බටහිර ජර්මනියේ රයින්ලන්තටය. පොලිස් බල ඇණියක මට්ටමට නිරායුධ කරනු ලැබ සිටි ජර්මන් හමුදාවට තම රටේම කොටසකට ඇතුළු වීමට අවසර නොදීම සිතා මතා කෙරුන අවමානයක් නොවේද?

හිට්ලර් ආරක්ෂක ඇමති බ්ලොම්බර්ග් සහ හමුදා ප්‍රධානීන් තමා හමුවට කැඳවීය; “රයින්ලන්තයට යවන්න පාබල හමුදා කණ්ඩායම් තුනකුයි කාලතුවක්කු කණ්ඩායමකුයි ලේස්ති කරන්න දවස් කීයක් ඕනද?” “දවස් තුනක් හොඳටම ඇති,” හමුදාපති වර්නර් වොන් ෆ්‍රිට්ෂ් කීය. “ඒත් ප්‍රංශය හමුදාවක් එව්වොත් මොකද වෙන්නෙ? අපිට යුද්ධයක් කරල දිනන්න නම් බැහැ.” ජර්මන් හමුදා නායකයන් එදා පටන් දේශපාලඥයන් ඉදිරියේ අදහස් දැක්වීමේදී ස්වාධීනය. “ඒක හරි, අපිට තවම සතුරු ප්‍රහාරයකින් ආරක්ෂා වෙන්න තරම් හයියක් නැහැ.” කුරුළු හොටක් වැනි නහයක් ඇති ප්‍රධාන මාණ්ඩලීය නිළධාරී ලුඩ්විග් බෙක් හූමිටි තැබුවේය. ඔහුගේ මුහුණ බිත්තරයකට සමානය; මුහුණේ දුෂ්ඨ බැල්මකි. හිට්ලර්ගේ කඩිමුඩිය බෙක්ට නුරුස්සයි. “හරි.එහෙම උනොත් ඒක ඒ වෙලාවට බලාගමු. ඔක්කොම සූදානම් කරලා මට කියන්න...” හිට්ලර් ට කතා කර කර ඉඳීමට වෙලා නැත. ඔහු වෙන මොකද්දෝ වැඩකට යන්නට ගියේය. “ ප්‍රංශය ඕකට අත දාන්න එන එකක් නෑ,” සියල්ල නිවිසැනසිල්ලේ ඇසූ විදේශ ඇමති කොන්ස්තන්තීන් වොන් නියුරාත් බැරන් වරයා කීය.

1936 මාර්තු 07 වනදා වේලපහින්ම අවදි වූ හිට්ලර් මුහුණ කට සෝදා වර්සෙල්ස් ගිවිසුම දැඩි ලෙස හෙලා දුටුවේය. අනතුරුව ප්‍රංශ-සෝවියට් ගිවිසුම මඟින් ජර්මනියේ ආරක්ෂාව අනතුරට පත්ව ඇතැයි කියමින් රයින්ලන්තයට ඇතුළු වීමට හමුදාවට නියම කලේය. එය අපේක්ෂාවෙන් ජර්මන් භටයෝ තිස් දහසක් පෙල ගැසී උන්හ. සේනා ශක්තිය වඩාත් ඉස්මතු කොට දක්වනු වස් එක් ඩිවිෂනය කොටස් වලට බෙදා ස්ථාන කිහිපයකින් ඇතුළු කරවන ලෙස ද, ප්‍රංශ හමුදා මැදිහත් වුවහොත් සටන් නොකර ඉවත් වීමට සූදානමින් සිටින ලෙසද සෙනෙවි මණ්ඩලයට ඔහු දුන් වැඩිදුර මෙහෙයුම් උපදෙස් වල සඳහන් විය. සෙනසුරාදාවක් වූ එදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව රැස් වූයේ නැත. “අපේ ඉංග්‍රීසි ඉහල සමාජය සති අන්තෙට රට තොට බලන්න ඇවිදිනව. එදාට හිට්ලර් රටවල් අල්ලනව.” ඒ වනවිටත් බ්‍රිතාන්‍යයේ අගමැතිව නොසිටි වින්සන්ට් චර්චිල් පැවසුවේ ඉහවහා ගිය කෝපයෙනි. මේ අතර ප්‍රංශ හමුදා දේශසීමාව අසල රැස් වෙතැයි ආරංචියක් ලැබිණ. එය ඇසූ සැණින් දිව ආ යුද ඇමති වොන් බ්ලොම්බර්ග් ජර්මන් භට කණ්ඩායම් ආපසු කැඳවන්නැයි අයැද සිටියේය. “කලබල නොවී මෙන්න මෙහෙන් ඉඳ ගන්නව. ප්‍රංශ කාරයො ඉන්නෙ ගඟ එහා පැත්තෙ ඉවුරෙ ලු...” හිට්ලර් ඔහු අස්වසමින් කීය. තත්වය ලිහිල් නොවුවහොත් අතිරේක හමුදා ඩිවිෂන හයක් රයින්ලන්තයට යවන බව පැරිසියට ඇහෙන සේ හඬ ගා කීවද ඔහු සන්තකයේම වූයේ ඩිවිෂන හතරකි. අපේක්ෂා කළ පරිදිම මහා බ්‍රිතාන්‍යය නොමැතිව යුද්ධයකට මුල පිරීමට ප්‍රංශය පසුබට වූවාය. ජර්මන් භටයන් තුන් ලක්ෂකක් රයින්ලන්තයට ඇතුළු වී ඇති බවට ඈට වැරදි තොරතුරු ලැබී තිබිණ. නව ජර්මන් යුද අත්පොතට අනුව දුර්වලතා මඟහැර ගැනීමේ පහසුම විකල්පය වූයේ සතුරා ‘නොමඟ යැවීමේ’ උපායයි. හිට්ලර් සූදුව ජයගත්තේය. රයින්ලන්තයට හමුදා යැවීමෙන් පසු ගතවූ පළමු පැය හතලිස් අට තම ජීවිතයේ පීඩා කාරීම කාලපරිච්ඡේදය වූ බව සිද්ධිය සිහිපත් කරමින් පසුව ඔහු පැවසීය. “හැබැයි වැරදිලවත් එදා ප්‍රංශ කාරයො සටනට ආව නම් අපිට දුවන්න වෙන්නෙ වලිග පස්ස පැත්තෙ ගහගෙන...” ඔහු මහ හඬින් සිනාසුනේ සිය දනිස්සට අතින් පහරක් ගසමිනි. එහෙත් ඔහු තුල වූ දැඩි ආත්මවිශ්වාසය ඔහුගේ සාර්ථකත්වයට හේතු වූ වග නොකිවයුතු මනාය. ඇතමෙක් එය ඇට්ටර කම ලෙසද හඳුන්වති. ඒ කවරක් වුව තීරණාත්මක සාධකය වූ මහා බ්‍රිතාන්‍යයේ ජනමතය තමාට වාසි සහගත බව හිට්ලර් දත්තේය. වර්සෙල්ස් ගිවිසුම තුලින් සීමාව ඉක්මවා කොන්දේසි පනවා ඇතැයි හැඟීමෙන් පසු වූ ඉංග්‍රීසීහූ හිට්ලර් ජර්මන් භූමියක් වූ රයින්ලන්තයට හමුදාව යැවීමේ ඒ හැටි අරුමයක් නුදුටූහ. රයින්ලන්ත මෙහෙයුම තුලින් හිට්ලර් තේරුම් ගත් වැදගත් කරුණු දෙකකි; පළමුවැන්න නම් යල්පැන ගිය වර්සෙල්ස් කඩදාසිය වෙනුවෙන් යුද්ධයක පැටලීමට අදහසක් බටහිර බලවතුන් තුල නොමැති බවයි. දෙවැන්න නම් ජර්මන් හමුදා නායකත්වය තමා අපේක්ෂා කලාටත් වඩා බොහෝ පසුගාමී බවයි. හිට්ලර් සිය ප්‍රතිපත්තිය පිළිබඳ තුන් වන වරටද ජනමත විමසුමක් කැඳවීය. සියයට 98% ඡන්දදායකයෝ රයින්ලන්තයට හමුදා යැවීම අනුමත කළහ. “පේන්නෙ නැද්ද? මේක තමයි ජර්මන් ජනතාවගෙ කැමැත්ත. නැතුව මට ඕනැවට කරන දේවල් නෙවෙයි…” හිට්ලර් පැවසීය.

සීමාවන් බිඳ දමා යලි සන්නද්ධවීම හා රයින්ලන්තයට බලාත්කාරයෙන් ඇතුළුවී වාඩි ලා ගැනීම තුලින් වර්සෙල්ස් ගිවිසුම 1919දී ජර්මනියට සිදු වී යැයි හැඟුන අවමානය බොහෝ දුර වියැකී ගියේය. නායකතුමා නිවැරදි බව දැන් දැන් සෙනෙවි මණ්ඩලයටද පෙනේ. එහෙත් නිළධාරිවාදය අවබෝධයට වඩා ලොකුය. සිය වරප්‍රසාද ලත් පැලැන්තියේ ඕනෑ එපාකම් වලට මැදිහත් නොවන තාක් හිට්ලර්ට සහාය දීමට ඔවුන් සූදානම්ය.

කෙසේ වුවද හිට්ලර් තුන්වන රයික් රාජ්‍යයේ නිළධාරී පැලැන්තිය තුලින් අපේක්ෂා කලේ උගත් රැඩිකල් ජාතික සමාජවාදීන් මිස බූෂුවා ගතානුගතිකවාදීන් රොත්තක් නොවේ. මේ අතින් ඔහුගේ සිත් දිනා ගත්තේ හිම්ලර් විසින් පුහුණු කල විනය ගරුක, දේශපාලන දැනුමින් පිරිපුන්, නිර්භීත, පක්ෂපාතී හා පෙලපතින් පිරිසිදු එස්. එස්. නිළධාරීන්ය. එස්. එස්. ආදර්ශයව අනුව හැඩගැස්වීම සඳහා සමස්ත ජර්මන් පොලිස් පද්ධතිය හිම්ලර් යටතට පත් කිරීමට හිට්ලර් තීරණය කලේ එහෙයිනි. මේවන විට අධිකරණයට පවා ඉහලි සිටි එස්. එස්. සංවිධානය අතිශය බලවත් විය. රොම් ඝාතනයේ පටන් හිම්ලර් යටතේ දිගින් දිගටම දේශපාලන රාජකාරී වල නියැළුන ගෙස්ටාපෝවට අමතරව සිවිල් අපරාධ මැඩලන ක්‍රිපෝ නම් රහස් පරීක්ෂක අංශයක්ද, ඔත්තු සේවා ඒජන්සියක්ද පමණක් නොව ආර්ථික දෙපාර්තමේන්තුවක් හා පර්යේෂණ ඒකකයක් පවා එය සතුව තිබිණ. ඔවුන්ගෙන් අපේක්ෂා කෙරුණේ අනාගත පොලිස් රාජ්‍යය සඳහා ජර්මන් සමාජය සූදානම් කරවීමයි. සියළු ඉදි කිරීම් කටයුතු ඇල්බට් ස්පීර් විසින් බලා කියා ගත් හෙයින් මේ කාලයේ හිට්ලර් ගේ අවධානය වඩාත් යොමුවූයේ විදෙස් පිළිවෙත හා හමුදාව කෙරෙහිය. මේ ආයතන දෙකම ගැන ඔහු තුල වූයේ අඩු විශ්වාසයකි. ඒවායේ නායකත්වය දැරුවෝ සැබෑ පෞරුෂයන්ගෙන් තොර කුහක නිළධාරී වාදීන් යැයි හේ සැක කලේය. යුද්ධයක් සඳහා රට සූදානම් කිරීමේ ‘සිවු අවුරුදු මහා සැලැස්ම’ භාරවූයේ ‘රයික් ආර්ථික පරිපාලක’ ලෙස පත් වූ ගෝරින්ටය. සමස්ත ජර්මන් ආර්ථිකය හැසිරවීමේ පමණක් නොව නීති සම්පාදනය කිරීමේ බලතල පවා ඔහු සතු විය. සිවිල් යුද්ධයක පැටලී සිටි ස්පාඥ්ඥයේ ජනරාල් ෆ්‍රැන්කෝට අධාර පිණිස ගුවන් බළඇණියක් යැවීමට ද ජර්මනිය ඉදිරිපත් විය. ආඥාදායකයෝ සහෝදරයෝය. දේශපාලන නෑ කම් මොක වුවත් සජීවී යුද අභ්‍යාස වල යෙදීමටත්, නවක ගුවන් නියමුවන්ට පුහුණු කිරීමටත් එය මහඟු අවස්ථාවක් බව හිට්ලර්ට පෙන්වා දුන්නේ ගෝරින්ය. දෙවන ලෝක යුද්ධය ආරම්භයේ ගෝරින්ට මහත් කීර්තිය අත්කොට දෙමින් ජර්මන් ගුවන් හමුදාව පෑ දස්කම් වලට එක් හේතුවක් වූයේ ස්පාඥ්ඥයේදී ලද මේ අගනා අත්දැකීම් සම්භාරයයි. එදා වැහිකබායක් ඇඳ වැනිසියට ආ හිට්ලර් එසේ මෙසේ පුද්ගලයකු නොවන බව ඉතාලි ආඥාදායක මුසෝලිනිට දැන් දැන් වැටහේ. . එහෙයින් ඔහු අර්බුදයට හේතුව වන ඔස්ට්‍රියාව අතේ දුරින් තබා ගැනීමට පරෙස්සම් විය. හිට්ලර් තරහ කොට ගැනීමට තරම් බලවත් වැඩි වග ඔහුට මැනවින් පෙනේ. තම විදේශ ඇමති මෙන්ම බෑනා වූ සියානෝ සිටුවරයා හිට්ලර් බැහැ දැකීමට ජර්මනියට පිටත් කොට හැරියේ එහෙයිනි. සාකච්ඡා බොහෝ සාර්ථක විය. නාසි ජර්මනිය හා ෆැසිස්ට් ඉතාලිය අන්‍යොන්‍ය යුද ගිවිසුමකට එලැඹුනෝය. ඔස්ට්‍රියාව ජර්මනියේ කරුණාවට හැර දැමීමට ඩුෂේ තුමා එකඟ වූ අතර මධ්‍යධරණී පෙදෙසේ ඉතාලියේ අධිරාජ්‍යවාදී ආශාවන්ට ගරු කිරීමට නායකතුමා කැමති විය. බර්ලින්-රෝම අක්ෂය’ වටා යුරෝපයම කැරකෙනු අතැයි මුසෝලිනී කියා සිටියේය. දේශපාලනයේ හැටි එහෙමය. මේ අතර විදේශ කාර්යාලයට පරිබාහිරව පත් කෙරුන හිට්ලර්ගේ අති විශේෂ ‘පෞද්ගලික’ තානාපති තැන්පත් ජෝකිම් වොන් රිබන්ට්රො‘ප් ජපානය සමඟ කොමියුනිස් විරෝධී ගිවිසුමකට එලැඹියේය. හිට්ලර්ගේ ඉල්ලීම පරිදි ඉතාලිය හා ස්පාඥ්ඥය ද එහි පාර්ශ්වකරුවෝ වූයේ ප්‍රචාරක වාසිය තකාය. 1936 ඔලිම්පික් උළෙල පැවතියේ ජර්මනියේය. එය හිට්ලර්ට තුන්වන රයික් රාජ්‍යයේ විභූතිය ලොවය විදහා දැක්විමට මහඟු අවස්ථාවක් විය. දැවැන්ත ඔලිම්පික් ක්‍රීඩාංගණය අවට සුර පුරයක් මෙනි. එහෙත් මෙය ඉදි කිරීම අති දුෂ්කර කාර්යයක් වූයේ හිට්ලර් ගේ නිමක් නැති ඇඟිලි ගැසීම් නිසාය. පිලිගත් ආයතනයක් විසින් සැලසුම් කෙරුන මුල් ආකෘතිය සිතට නෑල්ලීම නිසා මහත් සේ කේන්ති ගත් ඔහු සම්ස්ථ ඔලිම්පික් උළෙල අවලංගු කරන බවටද තර්ජනය කලද ඇල්බට් ස්පීර් විසින් වහා ඉදිරිපත් කල විකල්ප සැලැස්මක් නිසා යලි සැනසුනේය. ඔලිම්පික් උළෙල අතර තුර වර්ක් ඔහු මෙන්ම ආරක්ෂක නිළධාරීන්ද අන්ද මන්ද වූයේ විශේෂ අමුත්තන්ගේ වෙදිකාවට හදිසියේ දිව ආ අමෙරිකානු ජාතික කතක් විසින් හිට්ලර් සිපගනු ලැබීම නිසාය. ජර්මන් කම්හල් ටොන් 17 බර ‘පැන්සර් 4’ යුද ටැංකි දුසිම් ගනනින් නිපදවූ එම වසරේ අග භාගයේදී එහි නිර්මාතෘ වූ කල්නල් ගුඩේරියන් සිටියේ සිය අත් දැකිම් අලලා පොතක් ලියමිනි. ‘අවවාදයයි ! යුද ටැංකි ඉදිරියෙන් ’ නමින් පල වූ එමගින් ඔහු හිට්ලර් නොඅඩුව වර්ණනා කලේය. එහෙත් පළමු ලෝක යුද්ධයේ පරාජයට හේතුව යුදෙව්-මාක්ස්වාදී බලවේග බව හිට්ලර් ගේ මතය වුවද, ගුඩේරියන් තම කෘතියෙන් කියා සිටියේ බ්‍රිතාන්‍ය හා ප්‍රංශ යුද ටැංකි විසින් ජර්මන් හමුදා පරදවන ලද බවයි. එමෙන්ම ජර්මන් යුද ශිල්පයේ අනාගතය මනා යාන්ත්‍රික බල ඇණි භාවිතය මත රැඳී බවට ඔහු තර්ක කලේය. ගුඩේරියන් මේ වන විට හිට්ලර්ගේ ‘මගේ සටන’ පොත කියවා තිබුනේදයි පැහැදිලි නැත. එහෙත් සංඛ්‍යාත්මක දර්ශක අනුව විශාලතම යුද බලය හිමි රුසියානුවන් සතුව යුද ටැංකි 17000 ක පමණ සංචිතයක් තිබිය හැකි බව තම කෘතිය තුලින් ඔහු අනතුරු ඇඟවීය. ප්‍රකාශක බලධරයා ඔහුට දැනුම් දුන්නේ මුද්‍රණය කිරීමට පෙර මෙම ඉලක්කම 10000 දක්වා සංශෝධනය කල යුතු බවය. ගුඩේරියන් ද කැමති විය. ජර්මනිය තුල අලෙවි වාර්තා තැබූ මෙම පොතේ කතෘ භාගයෙන් ලද මුදලින් ඔහු මෝටර් රථයක් මිලදී ගත්තේය. 1937 ජනවාරි 30 වැනිදා නාසි රජය බලයට පත්වීමේ හතරවැනි සංවත්සරය සමරමින් හිට්ලර් ලොවට කියා සිටියේ ‘පුදුම සහගත’ සිදුවීම් මින් ඉදිරියට සිදු නොවනු ඇති බවයි. සම තත්වයේ සහකරුවෙක් ලෙස සෙසු රටවල් හා එක්ව යුරෝපීය ගැටළු වලට සාමකාමී විසඳුම් සෙවීම තම අරමුණ බව හේ සහතික කොට කීය. අරුමය වූයේ ඒ අසා වඩාත්ම සැනසීමට පත් වූයේ අන් කිසිවෙකු නොව ජර්මන් හමුදාව හා විදේශ සේවය වීමයි.

thumb|වම|හිට්ලට් විසින් ;ඩේලි මිරර්' පුවත් පතට දුන් සම්මුඛ සාකච්ඡාවක් (1936) thumb|මධ්‍යය|හිම්ලර් (මැද) තම බිහිසුනු සහායකයා වූ රයින්හාර්ඩ් හයිඩ්රිච් (දකුණේ හිම්ලර් අසල) thumb|දකුණ|ඔලිම්පික් උළෙල අතරතුර අනපේක්ෂිත ලෙස හිට්ලර් සිපගත් ඇමෙරිකානු ජාතික කත (1936 අගෝස්තු) thumb|වම|ජර්මන් හමුදාවේ යුද ටැංකි විශේෂඥයා වූ හයින්ස් ගුඩේරියන් විසින් රචිත අවවාදයයි යුද ටැංකි ඉදිරියෙන් කෘතිය. (1937) thumb|දකුණ|1936 යුරෝපය

හිට්ලර් නම් පරිපාලකයා (1937-1938)

කරුණු කිහිපයක් හැරුන කොට සිය ප්‍රධාන ඡන්ද පොරොන්දු සියල්ලම පාහේ 1937 වන විට හිට්ලර් විසින් ඉටු කොට අවසන්ය. අඩු වියදම් මෝටර් රථ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පෞද්ගලික අංශය අසමත් බව පෙනුන හෙයින් ඒ සඳහා ‘වොක්ස්වැගන්’ නම් රාජ්‍ය කර්මාන්ත ආයතනයක් පිහිටුවනු ලැබින. ගොබ්ල්ස් ගේ ප්‍රචාරණයෙන් වල්මත්ව සිටි නිසාදෝ මහ ජනයාගෙන් පළවූයේ ද තෘප්තිමත් බවකි. අනිත් අතට අසන්තෝෂයෙන් පසුවන්නන් ගැන ගෙස්ටාපෝව ඇස ගසාගෙන සිටි‍යේය. මේවන විට හිට්ලර්ගේ සතුරන් පවා පිළිගත් කරුණක් වූයේ ජර්මනියට නායකත්වය දීම සඳහා ඔහු හැරුණ කොට අන් සුදුස්සෙක් නොමැති බවයි. මේ අතර ප්‍රධාන ආර්ථික පරිපාලක ගෝරින් සන්නද්ධකරණය සඳහා අත දිගහැර වියදම් කරන්නට ගත්තේය. 1940 වන විට යුද ආර්ථිකයක් දක්වා කෙරෙන පරිවර්තනය සම්පූර්ණ විය යුතු බවට හිට්ලර් විසින් ඔහුට නියැම කොට තිබිණ. ජීවන දර්ශකය පහත හෙලීමෙන් තොරව සන්නද්ධකරණ වැඩපිළිවෙල තව දුරටත් පවත්වාගෙන යා නොහැකි බව ආර්ථික ඇමති ජල්මාර් ෂාච්ට් කිහිප විටක්ම පෙන්වා දුන්නේය. එහෙත් ගෝරින් නිතර මුදල් ඉල්ලා කලහ කරයි. ෂාච්ට් මේ අවනඩුව පිළිබඳ හිට්ලර් ට පැමිණිලි කලද ඉන් ඵලක් වූයේ නැත. “ඕව මට කියන්න එන්න එපා,” හිට්ලර් ඔහු පන්නා ගත්තේය. “ගිහින් ගෝරින් එක්කම බේර ගන්නවා.” ෂාච්ට් ආර්ථික ඇමති තනතුරින් ඉල්ලා අස් විය. “ හ්ම්. කමක් නෑ. හැබැයි කාර්ය නියමයක් නැති ඇමති කෙනෙක් හැටියට රටට ලෝකෙට පේන්න හරි කැබිනට් එකේ ඉන්න ඕන.” ලිපිය අතට ගත් හිට්ලර් කීය. ෂාච්ට් නිවැරදි බව හිට්ලර් මුල සිටම නොදැන සිටියා විය නොහැක. එහෙත් ඔහු මැසිවිලි නුරුස්සයි. භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගැනීම සඳහා අවශ්‍ය නම් ෂාට්ච් ට පිස්තෝලය හෝ එල්ල කිරීමට සූදානම් ගෝරින් ට ඔහු කැමති එබැවිනි. . මේ අතර මිත්‍රත්ව සංචාරයක් සඳහා සැප්තැම්බරයේ ජර්මනියට පැමිණී ඉතාලියේ මුසොලිනී තමා ඇසූ දුටු දෙයින් මවිත විය. දැවැන්ත ගොඩනැගිලි මහා මාර්ග හා පාලම් රැසකි; කර්මාන්ත සංකීර්ණ මී වද මෙන් කඩිසරය. දැවැන්ත හමුදා ආචාර පෙළපාලිය සිත් වසඟ කරවයි. හිට්ලර් හා මුසෝලිනි උරෙනුර ගැටී අට ලක්ෂයක් ජනයා ඇමතූහ. රැස්වීම අවසානයේ හටගත් මහා වැහි කුණාටුව නිසා මුසෝලිනි තෙමී හෙම්බත් විය. 1937 නොවැම්බරයේ එක් අඳුරු සැන්දෑවක තමා හමුවන මෙන් හිට්ලර් ආරක්ෂක ඇමති බ්ලොම්බර්ග් ඇතුළු හමුදා ප්‍රධානීන්ට දැනුම් දෙන විට ඒ කුමක් සඳහා දැයි කිසිවෙකු දැන සිටියේ නැත. “මේ අවි ආයුධ වියදම අපිට ඔරොත්තු තවත් දෙන්නෙ නෑ. සන්න්ද්ධකරණය නවැත්තුවොත් වෙන්නෙ වැඩි කල් නොගිහින් බ්‍රිතාන්‍යයි ප්‍රංශයයි අපිව පහුකරන එක. තියන එකම විසඳුම කෙටි යුද්ධ මාලාවක් හරහා ඔස්ට්‍රියාවයි චෙකොස්ලෝවැකියාවයි අත්පත් කර ගන්න එක විතරයි... විශේෂයෙන්ම චෙකොස්ලෝවැකියාවෙදි අපි යුද්ධ කරන විදිහ අනුව තමයි පෝලන්තය එක්ක ජර්මනියෙ අනාගත සම්බන්ධතා කොහොමද කියන එක තීරණය වෙන්නෙ. ශක්තිමත් ජර්මනියක් එක්ක හැප්පෙන්න රුසියාවට උනත් දෙපාරක් හිතල බලන්න වෙනවා ..” “එකඟයි නායක තුමා. බ්‍රිතාන්‍යයි ප්‍රංශයයි අපේ සතුරු පාර්ශ්වයේ නැති තාක් කිසිම ගැටලුවක් නෑ. ඒත් එහෙම නොවුනොත් ?” හමුදාපති ෆ්‍රිට්ෂ් ඇසුවේය. “අපේ බටහිර පෙරමුණත් යුද්දෙකට තාම කොහෙත්ම සූදානම් නෑ.” යුද ඇමති බ්ලොම්බර්ග් ද කීය. ඔහු කවදත් කොරහේ තුල කිඹුලන් දකින්නෙකි. විදේශ ඇමති කොන්ස්ටන්ටීන් වොන් නියුරාත් බැරන් වරයා ද හිට්ලර්ට දැනමුතු කම් දෙයි. අඥාදායකයාගේ කෝපය ඇවිස්සේ. විරුද්ධ මත ඔහුට රිසි නැත. “නෑ! නෑ!! එංගලන්තෙ මේකට අත දාන්න එන්නෙ නෑ. ප්‍රංශෙත් තනියම යුද්දෙට එන්න බයයි. කබල ටිකක් රත් වෙන්න ඇරල වෙලාවට රොටිය පුච්ච ගන්න එක අපේ වැඩක්...ඒකට හැමෝම ලේස්ති වෙන්න! ” සම්මන්ත්‍රණය එතැනින් අවසන් විය. යුද ඇමති බ්ලොම්බර්ග් මෑතක සිට සොඳුරු සිහින ලොවකය. සිය කාර්යාලයේ සේවයට පැමිණි තරුණ ලේකම් වරියක් කෙරේ බැඳුන සිතැති හැටට කිට්ටු වැන්දඹු බ්ලොම්බර්ග්ට ඈ විවාහ කර ගැනීමට සිත් පහල විය. පෙම් සිතින් ඔකඳ වූ ඔහු තමා දත් නොදත් ඇගේ සියළු පෙර වැරදි වලට සමාව දුන්නේය. එහෙත් පරහකට හිටියේ ඇගේ පැරණි ආදරවන්තයා තව දුරටත් ඇගේ අත පැතීමයි. තමාට වඩා සමාජ තත්වයෙන් බොහෝ අඩු කතක් විවාහ කොට ගැනීමෙන් නිළධාරී පැළැන්තිය අතර මහා කළබගෑනියක් ඇති වන බවද බ්ලොම්බර්ග් සක් සුදක් සේ දනී. දින ගණනාවක් දහ අතේ කල්පනා කල ඔහු සහෝදර නිළධාරියෙකු ලෙස පිහිටක් පතා හැරුනේ ගෝරින් වෙතටය.

බ්ලොම්බර්ග් ට උදවු කිරීමට ගෝරින් ඉදිරිපත් වුනේ එක පයිනි. තර්ජනයෙන් හා අල්ලසින් පැරණි ආදරවන්තයා දකුණු ඇමරිකාව බලා නැව් නැංවීමට ලහි ලහියේ කටයුතු පිළියෙල කෙරිණ. මෙවන් ‘විශේෂ ව්‍යාපෘති’ පිලිබඳ සම්භාවනීය විශේෂඥයකි අපේ ගෝරින්. සිය පෙම්බරිය චාන්ස්ලර් මන්දිරයටද කැටුව පැමිණි බ්ලොම්බර්ග් ඈ හිට්ලර්ට දුන්නේ ‘ජනතාව අතරින් ආ කෙල්ලක්’ ලෙසය. විවාහය සඳහා හිට්ලර් ගේ දේශපාලනඅනුමැතිය හා ගෝරින්ගේ පෞද්ගලික අනුග්‍රහය හිමිවේ නම් නිළධාරී පැලැන්තිය කටක් නොහොල්ලනු ඇත. 1938 ජනවාරියේ වැඩි හාවක් හූවක් නැතිව කසාදය ලියා පදිංචි කෙරිණ. යහපත් වැඩට කවදත් අත හිත දෙන හිට්ලර් සාක්ෂි කරුවෙක් ලෙසද අත්සන් තැබීමට ඉදිරිපත් විය. යුවතිපතීහූ මධුසමය සඳහා නික්ම ගියා පමණි; හදිසියේම මතුවූ පොලිස් ලිපි ගොණුවක් මගින් හෙලිදරව් කෙරුනේ අර්නා බ්ලොම්බර්ග් මැතිණිය අශෝභන අතීතයක් සහිත කතක් බවයි. අවස්ථා කීපයකදී ඈ අසැබි ඡායා රූප වලට පෙනී සිටීම සම්බන්ධව වැරදි කාරිය වී සිටියාය. මේ වග ඇසූ හිට්ලර් තුෂ්නිම්භූත විය. “මොනවා? එතකොට ජර්මන් ෆීල්ඩ්-මාෂල් කෙනෙක් කසාද බැඳගෙන තියෙන්නෙ නන්නත්තාරෙ ගිය ගෑනියෙක්ද? ඒ මදිවට මේ මිනිහ මගෙනුත් සාක්කියට අත්සන් ගත්ත. දැන් මම කොහොමද රටට ලෝකෙට මූන දෙන්නෙ? ” ඔහුගේ කෝපය නිම්හිම් නැත. කසාදය අවස්ථාවේ මනාලිය ගේ අත සිඹීමෙන් තමාට ඇති වූ කිළුට පහ වනු වස් එදින ඔහු කිහිප වරක්ම ස්නානය කලේය. පසුදාම බ්ලොම්බර්ග් ගෙන්වූ හිට්ලර් පොලිස් ලිපිගොණුව ඔහුට පෙන්වීය. “ඔන්න! පේනව නේද තමුසෙ ජනතාව අතරින් ගෙනාපු කෑල්ලගෙ වැඩ? ආයි නොකිව්වයි කියන්න එපා. අදම මේ කසාදෙ කටුගෑවෙන්න ඕන!” එහෙත් පවු සමා කොට සිටි සිය ප්‍රිය බිරිඳ එසේ හැර දැමීමට බ්ලොම්බර්ග්ට සිත් නොදේ. “මොනවද අයිසෙ මේ වැඩ? අපරාදෙ නිකම් මාත් ගෑවුනා උදව් කරන්න ගිහින්. හ්ම්, දැන් නායකතුමා කියන විදියට වැඩ කරොත් හොඳයි. නැත්නම් මේව්ව පත්තර වලත් වැටෙන්න පුළුවන්,” ගෝරින් ද බැන වැදුනේය. තනතුරින් ඉල්ලා අස්වූ බ්ලොම්බර්ග් ස්විට්සර්ලන්තය බලා නික්ම ගියේ කුරිරු ලෝකයෙන් මිදී අප්‍රකට පවුල් ජීවිතයක් ගෙවනු සඳහාය.

1938 ජනවාරියේ පෙර වැරදි චෝදනා එල්ල වූයේ යුද ඇමතිගේ බිරිඳට පමණක් නොවේ. හමුදාපති ජනරාල් වර්නර් වොන් ෆ්‍රිට්ෂ් සම්බන්ධවද තවත් පොලිස් ඒ හා සමාන ලිපිගොණුවක් ද එස්. එස්. සංවිධානය හිට්ලර් ට ඉදිරිපත් කළේය. එහි කියැවුනේ හමුදාපතිට විරුද්ධව එක්තරා තරුණයකු විසින් බරපතල සමලිංගික චෝදනාවක් එල්ල කොට ඇති බවය. චූදිතයා හා චෝදකයා යන දෙදෙනාම තමා වෙත ගෙන්වූ හිට්ලර් පුද්ගලිකවම කරුණු විමසීය. ෆ්‍රිට්ෂ් තම නිර්දෝෂී භාවය දිවුරා ප්‍රකාශ කළද හිට්ලර් සෑහීමකට පත් වූයේ නැත. ඔහුටද ඉල්ලා අස්වීමට සිදු විය. නව හමුදාපති ලෙස පත් වූ ජනරාල් වොල්තර් වොන් බ්රෝචිෂ්ට් මොනවා නැතත් තමාගේ පාඩුවේ වැඩ කරන කරන පුද්ගලයෙකි. එවැන්නන් සමඟ වැඩ කිරීම පහසුය. ගෙස්ටපෝ නිළධාරීන් ගේ බල කිරීම නිසා ෆ්‍රිට්ෂ්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමට සිදු වූ වග බව තරුණයා පසුව පැවසුවද ඉන් දෙදෙනාටම සිදුවූ යහපතක් නැති. ඒ වන විට ෆ්‍රිට්ෂ් ට විය යුතු හානිය සිදුවී හමාරය. තම අවිචාර හෙළිදරව්ව නිසා ජීවිතයෙන් වන්දි ගෙවීමට තරුණයාට ද සිදුවිය.

මේ වනවිට ගෝරින් ගේ නෙත සිත යොමුව තිබුනේ හිස් වූ යුද ඇමති පුටුවටය. එහෙත් තමා හා හමුදාව අතර යුද ඇමති ධුරයක් තිබීම හිට්ලර්ට හිරිහැරයකි. එහෙයින් ගෝරින් ජනරාල්ෆීල්ඩ්මාෂල් තනතුරට උසස් කොට ඔහුගේ සිත සැනසූ හිට්ලර් යුද‍ අමාත්‍යාංශය මුළුමනින් අහෝසි කළේය. ඒ වෙනුවට සන්නද්ධ හමුදාවන්ගේ සියළු ශාඛා ආවරණය වන සේ ‘මහ සෙනෙවි මණ්ඩලය’ නමින් පිහිටවවූ නව ආයතනයේ ප්‍රධානියා ලෙස ඔහුගේ හිතෛශියකු ලෙස සැලකුන ජනරාල්ෆීල්ඩ්මාෂල් විල්හෙල්ම් කයිටල් පත් කරන ලදී . තනතුරින් ඉවත් කෙරුන අනිත් පුද්ගලයා වූයේ විදේශ ඇමති වොන් නියුරාත් බැරන් වරයාය. ඔහු අත්දැකීම් ලත් රාජ්‍යතාන්ත්‍රිකයකු වුව නායක තුමෝ පණ්ඩිතයන් නොඉවසති. නව විදේශ ඇමති වූයේ හිට්ලර්ගේ ‘අති විශේෂ තානාපති’ තැන්පත් ජෝකිම් වොන් රිබන්ට්‍රොප් මෑතකදී නාසි පක්ෂයට එක්වී හිට්ලර්ගේ විශ්වාසය දිනාගත් අයෙකි. ධනවත් වයින් ව්‍යාපාරිකයකු වූ ඔහුට සෙස්සෝ ඊර්ෂ්‍යා කළහ. රිබන්ට්‍රොප් ගේ දියුණුවේ රහස වූයේ හිට්ලර් ඇසීමට කැමති දේ සිය අදහස් ලෙස පල කිරීමට ඔහු තුල වූ හැකියාවය. තමාට ඉංග්‍රීසි ඉහල පන්තිය හා සමීප මිතුදම් ඇති වග ඔහු ආඥායකයාට ඒත්තු ගැන්වීය. ඔහු විදේශ කාර්යාලය නොතකා හිතුවක්කාර ලෙස කටයුතු කරන බවට කොතෙකුත් චෝදනා එල්ල වුවද හිට්ලර් නොවේ ඒ කිසිවක් ගණනකට ගත්තේ. “කවුරු මොනව කිව්වත් රිබන්ට්‍රොප් මිනිස්සු ටිකක් අඳුනනව,” හිට්ලර් ගෝරින් සමඟ පැවසුවේ නව විදේශ ඇමති දිවුරුම් දීමෙන් අනතුරුවය. . ගෝරින් ගේ පිළිතුර උපහාසාත්මක විය. “මිනිහ මිනිස්සු අඳුනනවා ඇති නායක තුමනි, ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිස්සුත් දන්නවා රිබන්ට්‍රොප් කවුද කියලා.” හිට්ලර් ඉදිරියේ මෙතරම් නිදහස් ලෙස සිය අදහස් පළකලේ ගෝරින් පමණි. ඒ ඇසූ හිට්ලර් හඬ නඟා සිනාසුනේය.

හෙට අනිද්දාම ඔස්ට්‍රියාව ඈඳා ගැනීමට හිට්ලර් තීරණය කොට අවසන් වුවද තවමත් හරි හමන් සැලැස්මක් ඔහු සතුව නැත. කෙසේ වුවද මේ මොහොතේ තානාපති සබඳතා තිබීම හිරිහැරයක් බව ඔහුට අවබෝධ විය. රිබන්ට්‍රොප් දිවුරුම් දුන් රෑ වියානා නුවර ජර්මන් තානාපති කාර්යාලයේ සිටි වොන් පැපේන් ට බර්ලින් විදේශ කාර්යාලයෙන් දුරකථනය පණිවිඩයක් ලැබිණ. එමගින් කියවුනේ ඔහු තානපති ධුරයෙන් පහකොට ඇති බවයි. "සමාවෙන්න හර්, වොන් පැපේන්. හේතුවක් කියන්න අපි දන්නෙ නැහැ" වොන් පැපේන්ට හේතු කියා දිය යුතු නැත. වියානාවේ නාසි කාර්යාලය වටලා බලය අල්ලා ගැනීමේ සැලැස්මක් හා අවි ගබඩාවක් පොළිසිය විසින් අනාවරණය කරගත් බව ඔස්ට්‍රියන් ආණ්ඩුව කියා සිටියේ මේ ඊයේ පෙරේදාය. හිට්ලර් එන්නේ මොකාටදැයි ඔහුට මැනවින් වැටහේ. “එක පාරට හමුදා යවන්න එපා. සමහර විට කතා කරල බේරුමක් කරගන්න බැරි වෙන එකකුත් නැහැ.” වියානාවේ සිට ආපසු පැමිණි වොන් පැපේන් හිට්ලර් ට කීවේය. මොන දේටත් කාලය උවමනාය; තමාටත් රැකියාවක් තිබිය යුතු නොවේද? “එහෙනම් මෙතන ඉඳන් මොනවද කරන්නෙ? එහෙ ගිහින් කතා කර ගෙන එනව!” පැපේන් නිළයෙන් පහ කොට අත ගත් හැටියේම වග අමතක කල හිට්ලර් මොර දුන්නේය. ඔස්ට්‍රියන් චාන්ස්ලර් කර්ට් වොන් සුෂ්නිග් ටද අවශ්‍ය ගැටළුව ගොඩින් විසඳා ගැනීමට මිස වසුරු කිරීමට නොවේ. පෙබරවාරියේ එක් සීතල උදෑසනක ඔහු තම විදේශ ලේකම් අචාර්ය ෂ්මිඩ්ට් සමඟ හොර රහසේම දුම්රියෙන් සැල්ස්බර්ග් කරා පැමිනි‍යේ එහෙයිනි. ඔවුන් පිළිගැනීමට පෙර මගට පැමිණ සිටියේ කපුකම කතා කල වොන් පැපේන් ය. පිරිස කල් වේලා නොයවා හිට්ලර්ගේ ‘බර්ග්හොෆ්’ බංගලාවට සේන්දු වූහ. පඩි පෙල අසල සිටි නායක තුමා තෙමේම අමුත්තන් සාදරයෙන් පිළිගත්තේය. ඒ අසල හමුදා ජනරාල් වරු කිහිප දෙනෙක් ද පෙනී සිටි බව ඔස්ට්‍රියානුවන් දෙපල නුදුටුවා නොවේ. සකච්ඡාව පැවැත්වුනේ උඩුමහලේ වූ ශාලාවක් තුලයි. පුළුල් වීදුරු ජනේලය හරහා දිස්වූ ඇල්ප්ස් කඳු වැටිය මැනවින් පෙනේ. කථාවට ප්‍රස්තූතයක් ලෙස සුෂ්නිග් විනීතව සොබා අසිරිය වැනීමට ගත්තා පමණකි; හිට්ලර් අනපේක්ෂිත ලෙස කඩා පැන්නේය. “ඔහෙලව මෙහෙට ගෙන්නුවේ සොබා සෞන්දර්ය වත් කාලගුණය ගැන වත් කතා කරන්න නෙවෙයි...” පැය දෙකක් තිස්සේ කෙරුන ගෝරනාඩුව තුල සුෂ්නිග් ට කටක් හොල්ලන්නට ඉඩක් නැත. “මිත්‍රශීලී ප්‍රතිපත්තියකට තිබුන හැම ඉඩ කඩක්ම නැති කරේ ඔහෙලා,” හිට්ලර් ගේ හඬ කෙමෙන් උස්වේ. “ඔස්ට්‍රියාවේ ඉතිහාසෙ ගත්තත්, ඒක තනිකරම ද්‍රෝහි කම් මාලාවක් විතරයි. එදත් උනේ ඒක අද වෙන්නෙත් ඒක. මම ඔහේට දැන් කියන්නම් සුෂ්නිග් මහත්තයෝ මේවයි සීමාවක් තියෙන්න ඕන. මම දැන් මේකෙ ඉවරයක් දකින්න හිතලා ඉවරයි. ජර්මනිය මහා බලවතෙක්. අපේ දේශසීමා ගැටළු අපි නිර්ණය කර ගන්න එක කාටවත් ඒක නවත්තන්න බෑ...” විමතියට පත් සුෂ්නිග් සාමකාමී ලෙස සවන් දුන්නේය. “කොහොම උනත් ජර්මන් සංකෘතියෙන් ඔස්ට්‍රියන් දායකත්වය වෙන්කරන්න බැහැ නේද රයික් චාන්ස්ලර් තුමනි? නිකම් උදාහරණයකට අරන් බලන්න...” “නිකම් උදාහරණ මෙතෙන්ට වැඩක් නෑ. මම කියන්නම්, දායකත්වය බිංදුවයි! ඔස්ට්‍රියාව අන්තිමට දෙරට අතරෙ සහෝදර ජාතික හැඟීමත් නැති කළා. ඔන්න ඕක තමයි හැස්ප්බර්ග් රජ පවුලයි කතෝලික පල්ලියයි කරේ.” හිට්ලර් කෑ ගෑවේය. “මම අයිමත් කියන්නෙ නෑ. මේ විදියට තවත් වැඩ සිද්ධ වෙන්න බෑ. මට ඉටු කරන්න දෛවයෙන් නියම උන ඓතිහාසික මෙහෙවරක් තියනවා. මම ඒක කරන්න ඕන. ජර්මන් ඉතිහාසෙ වෙන කවුරුවත් නොකරපු දේවල් මම කරා. ඒත් මතක තියා ගන්න, මේ වෙනකම් මම බලය පාවිච්චි කරල නෑ. මම වැඩ කරන්නේ මගේ ජාතිය වෙනුවෙන්. මාව නවත්තන එක කෙසේ වෙතත් එක පැය බාගෙකට පරක්කු කරන්න හරි පුළුවන් වේවි කියල ඔහේ හිතනවද?” රාජ්‍යතාන්ත්‍රිකව හුදෙකලාව සිටින ඔස්ට්‍රියාවට නාසි ආක්‍රමණයට මුහුණ දීමට නොහැක. “මොකද අනිත් රටවල් උදව්වට එයි කියලද බලන් ඉන්නෙ? ඉතාලිය? මුසෝලිනි කවදාවත් එන්නෙ නෑ මගේ මූන බලාගෙන ඕවට පැටලෙන්න. එංගලන්තෙ? එක ඇඟිල්ලක් හොල්ලන්නෙ නෑ ඔස්ට්‍රියාව වෙනුවෙන්. එදා අල්ලපු වැටේ රයින්ලන්තෙට තනියම එන්න බය උන ප්‍රංශය දැන් කොහෙද ජර්මනිය එක්කෙ හැප්පෙන්න එන්නෙ?” අවසානයේ සුෂ්නිග්ගේ ඉවසීම සිඳිණි. “හොඳයි, ඔබතුමාම කිව්ව නම් මොකද්ද දැන් වෙන්න ඕන කියල?” හිට්ලර් අලස ලෙස ඉවත බැලුවේය. “ඒව සප්පායම් වෙලා හෙම කතා කර ගන්න බැරිය. සුෂ්නිග් මහත්තයා මම ඔහෙට එක අවස්ථාවක් දෙන්නම්. හැබැයි හොඳට හිතල බලල තීරණය ගන්න. අද හවස් වෙනකම් විතරයි මම බලන්නෙ.” කෑම මේසයේදී හිට්ලර් යලිත් ඉතා ප්‍රිය මනාප පුද්ගලයෙකි. එහෙත් හතලිස් එක් හැවිරිදි සුෂ්නිග් දස වසකින් මහළු ව සිටියේය.

දෙපැයකින් යලි සාකච්ඡාව ඇරඹිණ. අභිනව විදේශ ඇමති තැන්පත් වොන් රිබන්ට්‍රොප් ටයිප් කරන ලද කඩදාසි පිටු දෙකක් ඔස්ට්‍රියාවනුවන් අතට පත් කලේය. එහි වූ ඉල්ලීම් දුටු සුෂ්නිග් ක්ලාන්ත නොවූවා පමණි. එය අවසාන නිවේදනයක සමාන විය; වැදගත් කැබිනට් තනතුරු රැසක් බර්ලිනය විසින් නම් කෙරෙන නාසි හිතවතුන්ට ලබා දිය යුතුය; ඔස්ට්‍රියාවේ ආර්ථිකය ජර්මන් ආකෘතියට අනුව යලි සැකසිය යුතුය; නාසි පක්ෂයට පැනවූ තහනම ඉවත් කොට සියළු නාසි සිරකරුවන් නිදහස් කල යුතුය. එහි අරුත වූයේ හිට්ලර් ඔස්ට්‍රියාවේ ස්වාධිපත්‍යය පිළිගනු ඇත්තේ ඔස්ට්‍රියාව ස්වකැමැත්තෙන් සිය ස්වාධීනත්වය අවසන් කිරීමට එකඟ වන්නේ නම් පමණක් බවයි!

මෙයට වඩා යමක් නායකතුමා ගෙන් අපේක්ෂා කළ නොහේ යැයි විදේශ ඇමති රිබන්ට්‍රොප් කණගාටු විය. සුෂ්නිග් නැවතත් සිය අධ්‍යනාගාරය තුලට කැඳවන විට හිට්ලර් සිටියේ එහි ඔබමොබ සක්මන් කරමිනි. “මෙතන ආයිමත් කතා කර කර ඉන්න දෙයක් නෑ. මේ ටික කරන්න දවස් තුනක් කල් දෙන්නම්. නැත්නම් ඉතින් මම හමුදාව එවනවා.” සුෂ්නිග් සහනයක් පිලිබඳ සියළු බලාපොරොත්තු අතහැර දැමීය. එහෙත් ඔහු කරුණු පැහැදිලි කිරීමට තැත් කලේය. “මම අකමැතිවට නෙවෙයි, ඔස්ට්‍රියන් ව්‍යස්ථාව අනුව මේකට අත්සන් කරන්න බලය තියෙන්නෙ ජනාධිපතිට විතරයි. මික්ලස් මේකට මොනව කියයිද දන්නෙ නැහැ.” හිටපු පාසල් ගුරෙකු වූ ජනාධිපති විල්හෙල්ම් මික්ලස් මීට එරෙහි වනවාට සැක නැත. “ඒ කතා හරි යන්නෙ නෑ. මට මොටද මික්ලස් ගෙ වගක්? වැඩේ කෙරෙනව කියල ඔහේ මෙතන සහතික වෙන්න ඕන.” හිට්ලර් යලිත් පුපුරා ගියේ බෝම්බයක් මෙනි. “ඒක නම් කරන්න අමාරුයි රයික් චාන්ස්ලර් තුමනි!” සුෂ්නිග් ද බැරි වැඩ බාර ගන්නේ නැත. හිට්ලර් කෑගෑවේය; “ෆීල්ඩ්-මාෂල් කයිටල්! මෙහෙට එනවා.” අනතුරුව සුෂ්නිග් වෙන හැරුන ඔහු මෙසේද කීය. “මම කතා කරනකම්ලන්න අරෙහෙට වෙලා ඉන්නවා.” ඔස්ට්‍රියානුවන් දෙදෙනා තාවකාලිකව යාබද කාමරයට පිටමන් කරන ලදී. සැනෙකින් පෙනී සිටියේ ඊයේ පෙරේදා පිහිටවූ ‘මහ සෙනෙවි මණ්ඩලයේ’ ප්‍රධානී විල්හෙල්ම් කයිටල් ය. “නියෝග තියනවද නායක තුමනි?” හිට්ලර් විරිත්තුවේය; “නියෝග මොනවත් නෑ. ඔන්න ඔය හරියෙන් පේන්න හිටියම හොඳටෝම ඇති.” “මේ යන විදියට මේ මිනිහ අපිව සිර භාරයට නොගත්තොත් තමයි පුදුමෙ” යාබද කාමරයේ බියෙන් ගැහෙමින් සිටි ඔස්ට්‍රියානුවන් දෙදෙනා එකිනෙකාට කොඳුරා ගත්හ. පැය බාගයකට පසු හිට්ලර් යලිත් සුෂ්නිග් අධ්‍යනාගාරය තුලට කැඳවූවේය. “ඔන්න මම ජීවීතේ පළවෙනි පාරට වෙනසක් කරා. හැබැයි මීට වැඩි දෙයක් නම් මගෙන් බලාපොරොත්තු වෙන්න හෙම එපා. මික්ලස් ට කරුණු පහදලා යෝජනා ක්‍රියාත්මක කරන්න අතිරේක දවස් තුනක් දෙන්නම්.” සුෂ්නිග්ට දැන් උවමනා වී තිබුනේ හිට්ලර් පෙන්වන තැනක අත්සන තබා මේ මර උගුලෙන් ගැලවී යාමටය. ඔවුන් කැටුව දේශ සීමාව දක්වා ආ පැපේන් තුෂ්නිම්භූතව සිටි ඔස්ට්‍රියානුවන් දෙදෙනා සැනසීමට උත්සාහ කලේය. “ඕව ගනන් ගන්න එපා. නායක තුමා සමහර වෙලාවට ඔහොම තමයි. ඒ වුනාට කෝටියකින් හොයන්න බැරි මනුස්සයා.” පැපේන් බොහෝ දුරට නිවැරදිය. වාසනාවකට මෙන්, හිට්ලර් වැනි පුද්ගලයන් ලොව පහල වන්නේ දස කෝටියකින් එකකි.

සුෂ්නිග් අපේක්ෂා කළ පරිදිම ඔස්ට්‍රියන් ජනධිපති මික්ලස් සිර කරුවන් මුදා හැරීමට අකැමැත්තෙන් එකඟ වුවද නාසි හිතවාදීන් කැබිනෙට්ටුවට වැද්දා ගැනීමට නම් කොහෙත්ම සූදානම් නැත. එහෙත් ජර්මන් හමුදා දේශ සීමාවට ඉතා සමීපව අභ්‍යාස වල යෙදෙන වගක් වාර්තා වූ හෙයින් ඔහු ආතර් සෙයිස්-ඉන්ක්වාර්ට් නම් නාසි නීතීඥයාට පොලිස් ඇමතිධුරය පැවරීමටද අවසානයේ හිත අහදා ගත්තේය. ඔස්ට්‍රියන් නාසි වාදීහූ සිය රට පුරා සිය ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න කරති. එහෙත් සෙයිස්-ඉන්ක්වාර්ට් ගේ පොලිසිය නොවේ ඔවුන්ට එරෙහිව ඇඟිල්ලක් හෝ එසවූයේ. නිෂ්පාදන ඇණ හිටියේය. කඩ සාප්පු වැසිණ. සංචාරකයෝ නික්ම ගියහ. ජර්මනියේ ඉල්ලීම් වඩාත් දැඩි වේ. ඔස්ට්‍රියාව නාසි පාලනයට නතු වීම වලැක්වීම සඳහා සුෂ්නිග් අන්තිම උත්සාහයද දැරීය. ජර්මනියෙන් ස්වාධීන ව පැවතිය යුතුද නැද්ද යන කරුණ සඳහා ජන මත විචාරණයක් කැඳවීමට ඔහු තීරණය කලේය. මෙය සෘජු අභියෝගයකි. දණ්ඩෙන් පහර ලත් පොළඟකු සේ කිපුන හිට්ලර් කලේ ජනමත විචාරණයට පෙර ඔස්ට්‍රියාව ආක්‍රමණය කිරීමට හමුදාවට අණ කිරීමයි. ඉතිරිව තිබුනේ දින තුනකි. මාර්තු එකොලොස් වන දා ඔහු ඔස්ට්‍රියාවට අවසන් නිවේදනයක් කලේය. එක්කෝ එදින දවල් දෙකට පෙර සුෂ්නිග් ඉල්ලා අස්වී රජය නාසීන්ට භාර කල යුතුය; පොලිස් ඇමැති සෙයිස්-ඉන්ක්වාට් නව චාන්ස්ලර් ලෙස පත් කල යුතුය. නැතහොත් ජර්මන් ආක්‍රමණයට මුහුණ දිය යුතුය. ඔස්ට්‍රියාව පැතූ සහයෝගය බටහිර බලවතුන් ගෙන් ලැබුනේ නැත. මෙම ගැටළුවට මැදිහත් වීමට අදහසක් නැතැයි ඉතාලි ආඥාදායක බෙනිටෝ මුසෝලිනි එදින දහවල් සුෂ්නිග් ට දැනුම් දී තිබිණ. සහාය වීමට හැකියාවක් නොමැති වීම ගැන කණගාටුව පළකරමින් ලන්ඩනයෙන් එවන ලද විදුලි පුවත වියානාවට ලඟා වූයේ පස්වරුවේය. එහෙයින් ජනමත විචාරණය අවලංගු කොට දැමූ සුෂ්නිග් එදින සවස ඉල්ලා අස් විය. එහෙත් ජනාධිපති මික්ලස් පොලිස් ඇමැති සෙයිස්-ඉන්ක්වාට් ට චාන්ස්ලර් පදවිය පැවරීම තවදුරටත් ප්‍රතික්ෂේප කරයි . හිට්ලර් සමඟ බර්ලිනයේ සිටි ගෝරින් ගෙන් සවස 5.30ට සෙයිස්-ඉන්ක්වාර්ට් ට දුරකථන ඇමතුමක් ලැබිණ. ඔහු උරණ වී සිටියේය. “මේ අහනවා. මෙතන සෙල්ලම් කර කර ඉන්න වෙලා නෑ කියල දැන්ම ගිහින් මික්ලස් ට කියනවා. ආයෙ ආක්‍රමණය නවත් වන්න නම් හතයි තිහ ට කලින් තමුසෙව චාන්ස්ලර් හැටියට පත් කරල කියල අපිට දැනුම් දුන්නොත් විතරයි. තේරුනාද? කෝ රටේ ඉන්න ජාතික සමාජවාදියො? හරිනම් දැන් ඒ අය ඉන්න ඕන වීථි වල. විරුද්ධ වෙන ඕනම කෙනෙක් ඉන්නවනම් ආක්‍රමණික හමුදාවෙ යුද්ධාධිකරණයකට මුහුන දෙන්න ලේස්ති වෙන්න කියන්න. මික්ලස් ට මේක පැය හතරකින් තේරුම් ගන්න බැරි නම් විනාඩි හතරෙන් තේරුම් කරල දෙන්නත් අපිට පුළුවන්.” ඔස්ට්‍රියාවේ හමුදාව බැරැක්ක තුල ගාල් කොට සිටියදී එස්. ඒ. හා එස්. එස්. කණ්ඩායම් රජයේ ගොඩනැගිලි එකිනෙක අත්පත් කොට ගත් හ. ආක්‍රමණය ඇරඹීමේ නියෝගයට හිට්ලර් රාත්‍රී 8.45ට අත්සන් තැබීය. මෙය සාධාරණියකරණය කිරීමට ජර්මන් හමුදා එවන ලෙස වියානාවෙන් ඉල්ලීමක් තිබිය යුතුය. 8.48 ට ගෝරින් යලි වියානාව අමතන විටත් සෙයිස්-ඉන්ක්වාර්ට් චාන්ස්ලර් ලෙස පත් කොට තිබුනේ නැත. තමා බලාත්කාරකම් හමුවේ නොනැමෙන බව ජනාධිපති මික්ලස් තව දුරත් කියා සිටියේය. “ඒකට කමක් නෑ. සෙයිස්-ඉන්ක්වාර්ට් ට කියන්න තමන් චාන්ස්ලර්ය කියල හිතාගෙන ඔතන ලේ වැගිරීමක් ඇතිවීම වැලක්වීමට හමුදා ආධාර ඉල්ලලා බර්ලිනයට විදුලි පුවතක් එවන්න කියලා.” ගෝරින් දුරකථනයට පිළිතුරු දුන් තානාපති නිළධාරියාට පැවසීය. “විදුලි පුවතක් නේව්වත් කමක් නෑ. ‘එකඟයි’ කියල එව්වත් ඇති.”

රෑ මැදියම එළැඹෙත්ම ජනාධිපති මික්ලස් සිය හුදෙකලා සටන අත් හැර දැමීමට තීරණය කළෙය. නාසි පාක්ෂික පොලිස් ඇමති සෙයිස් ඉන්ක්වාර්ට් ඔස්ට්‍රියාවේ චාන්ස්ලර් ධුරයට පත් කල බවට නිවේදනය අළුයම් භාගයේ නිකුත් විය. ඒ වන විටත් ප්‍රමාද වූවා වැඩිය. ජර්මන් හමුදා දේශසීමාව කරා ආසන්න වෙමින් සිටියහ. මහා ජර්මනිය තුල ඔස්ට්‍රියාව තම කතෝලික අනන්‍යතාව රැකගත යුතුය යන පුද්ගලික මතය දැරූ සෙයිස්-ඉන්ක්වාර්ට් පවා අවසන් මොහොතේ හෝ ආක්‍රමණය නවතා ගැනීමට උත්සහ දැරුවද එය සාර්ථක වූයේ නැත.

වියානාවේ ජර්මන් තානාපති කාර්යාලයේ දුරකථනය නොකඩවා නාද වේ. ඇමතුම බර්ලිනයෙනි. “ඉක්මනට විදුලි පුවත එවන්න. හදිසියි.” අමතන්නා කළබල කලේය. “ජෙනරාල්ෆීල්ඩ්මාෂල් ගෝරින් ට කියන්න චාන්ස්ලර් සෙයිස්-ඉන්ක්වාර්ට් ‘එකඟයි’ කියලා...”

1938 මාර්තු 12 දා ජර්මන් හමුදා ඔස්ට්‍රියාවට ඇතුළු වූහ. එය නිහඬ වසන්ත හිමිදිරියකි. එදින අරුණොදයට පෙර බෲක්නර්ගේ හත්වැනි සිම්ෆනි සංගීත ඛණ්ඩයට සවන් දෙමින් බොහෝ වේලාවක් කල්පනාවේ හුන් හිට්ලර්, හිටි වනම ප්‍රීතියෙන් කෑ ගෑවේය. “කවුද කියන්නෙ ඔස්ට්‍රියාව ජර්මන් නෙවෙයි කියල? අපේ පිරිසිදු ඔස්ට්‍රියන් හිතකට වඩා වැඩි ජර්මන් කමක් තවත් තියනවද...?”

thumb|වම|ජයට ඇඳ පැලඳ ගෙන ඔපෙරා ශාලාවට යාමට සූදානම් වන ගොබ්ල්ස් හා හිට්ලර් (1937-1938) thumb|මධ්‍යය|හිට්ලර් හා මුසොලිනි (1937 සැප්තැම්බර්) thumb|දකුණ|හිට්ලර් තම විදේශ ඇමති ජෝකිම් වොන් රිබන්ට්‍රොප් හා ඔහුගේ බිරිද සමඟ (1938)

හිට්ලර් නම් ඔස්ට්‍රියන් පුත්‍රයා

ලේ වැගිරීමක් වැලැක්වීම සඳහා කෙරෙන ජර්මන් හමුදා හමුදා මැදිහත් වීමකට ‘එකඟ’ බවට ඔස්ට්‍රියාවේ නව චාන්ස්ලර් ආතර් සෙයිස්-ඉන්ක්වාර්ට් ගෙන් ගෝරින් විසින් ගෙන්වා ගත් විදුලි පුවතට අනුව 1938 මාර්තු 12 දා උදෑසන දේශ සීමාව හරහා ගමන් ඇරඹූ ජර්මන් බල ඇණියේ ඉදිරියෙන්ම ගමන් කලේ හයින්ස් ගුඩේරියන්ගේ 2 වන ‘පැන්සර්’ ඩිවිෂණයයි. සටනක අපේක්ෂා නොකලද හුදෙක්ම කල එලිය පිණිස හෝ යාන්ත්‍රික බල ඇණි ද ගමනට සහභාගී වීම මැනවයි හිට්ලර් සිතූ බව පෙනේ. රයික් රාජ්‍යයේ නව දේශ සීමාවේ යුද ටැංකිිතිබිය යුතුය. තම මිත්‍රශීලී ආකල්ප අවධාරණය කරනු වස් යුද ටැංකි කොළ අතු වලින් සැරසීමට ගුඩේරියන් කල යෝජනාවට හිට්ලර් වහා එකඟ විය. කොළ අතු කුමටද? නායකතුමාගේ රට වැසියන් වූ බහුතර ඔස්ට්‍රියන්-ජර්මානුවන් මහ මඟට බැස ගුඩේරියන් ගේ යුද ටැංකි පිලි ගත්තේ ප්‍රීති ඝෝෂා නඟමිනි. ඔවුහු ජර්මන් භටයෙන්ට අතට අත දෙමින්ද ඔවුන් සිප වැළඳ ගනිමින්ද සිය සංග්‍රහ භුක්ති විඳින ලෙස බල කළහ. ඔස්ට්‍රියාව හා ජර්මනිය එක් වීම සර්ව-ජර්මන් අධ්‍යාත්මයේ අති පැරණි සිහිනය සැබෑ වීමකි. 1871 ජර්මනිය එක්සත් කල ‘අයෝමය චාන්ස්ලර්’ යැයි විරුදාවලි ලත් ඔටෝ වොන් බිස්මාර්ක් කුමාරයා පවා සිතා මතාම ඔස්ට්‍රියාව දෙවන රයික් අධිරාජ්‍යයෙන් බැහැර කලේ එකල හංගේරියාවේ මැග්යාර් වරු සමඟ ද්විත්ව රාජාණ්ඩුවක් අටවාගෙන සිටි හැප්ස්බර්ග් රජ පවුල සමඟ හවුලේ කැඳ පිසීමට නොහැකි නිසා විය යුතුය. එහෙත් හැප්ස්බර්ග් වරු තව දුරටත් නොමැත. ඉන්න සුෂ්නිග්ලා හා මික්ලස්ලාට හිට්ලර්ලා හා ගෝරින්ලා සමඟ හැරෙන්නට වත් නොහැක. මොක තැතත් ඔස්ට්‍රියාව හිට්ලර්ගේ නිජ බිමයි.

ජර්මන් හමුදාවට පසුපසින් විවෘත මෝටර් රථයක නැඟී තම පියා වරක් රේගු නිළධරියකු ලෙස සේවය කල පැසෝ දේශසීමා කපොල්ල තරණය කල හිට්ලර් තම උපන් ගම වූ ලින්ස් නගරයට සැපත්වූයේ එදින සවස 3 ටය. නගර වැසියෝ ඔල්වරසන් දුන්හ. වරක් හැම්බෝල්ඩ්ට් වීථියේ අංක 31 දරණ ස්ථානයේ වූ මහල් නිවසක විසූ හිට්ලර් පවුල පිළිබද තමාට මතක බව තැන තැන කියමින් ඇවිදීන විශාමික මධ්‍යම පංතිකයෝ ඒ දිනවල බොහෝය. හිට්ලර් මහා ජනකාය ඇමතුවේ නගර ශාලාවේ බැලකනියේ සිටය. ඊට ආරක්ෂාව සපයන ලද්දේ ලින්ස් හි කොල්ලන් ඉමහත් ආස්වාදයට පත් කරමින් නගරය ඇතුළුවන සියළු මාර්ග හරස් කොට වසා දැමූ ගුඩේරියන්ගේ යුද ටැංකි විසිනි. අවාසනාවත් දේශපාලනය විසින් බෙදා වෙන් කල ජාතියක් දෙවියන් විසින් යුග මෙහෙවරක් වෙනුවෙන් තෝරා ගැනුන ලින්ස් තරුණයකු විසින් යලි එක්කොට ඇතැයි පැවසූ හිට්ලර්ගේ උගුර හිර විය. දෑසින් කඳුළු රූරා හැළුනේය. කතෝලික ඔස්ට්‍රියානුවෝ දෙවියන්ට ස්තුති කොට කුරුසියේ ලකුණ ඇඳ ගත්හ. සියල්ල පල්ලියේ ඉරිදා පූජාව අතර ඇසෙන බයිබල් කථාවක් මෙනි. එදා රෑ හිට්ලර් නවාතැන් ගත්තේ තිස් වසරකට පෙර අඩක් හාමත් වූ දෛනික කම්කරුවකු ලෙස තමා ඉස්කෝප්පයකින් උයනේ හිම ශුද්ධ කල වියානාවේ ‘ඉම්පීරියල්’ හෝටලයේය. මතභේදාත්මක පියවරක් අවසානයේ ජනමතය විමසීමේ වැදගත් කම හිට්ලර් දනී. එය තමාට අකුල් හෙලන බලවේග වලට දිය හැකි අගනාම පිළිතුරයි. එහෙයින් ඔහු හතරවන වරටද මත විමසුමක් කැඳවීය. ජර්මනියේ 90% ක් දෙරට එක්වීම අනුමත කළහ; ඔහුගේ නිජ බිම වූ ඔස්ට්‍රියාවේ එය 99.7% කි.

සටනකින් තොරව වියානාව ගිය බලා ගිය ‘විනෝද චාරිකාව’ අනාගතය ජර්මන් හමුදාවට වැදගත් පාඩම් රැසක් කියා දුන්නේය. පැය හතලිස් අටක් තුල සතපුම් හාරසියයක් ගමන් කල යුද ටැංකි වලින් තුනෙන් එකකට ආසන්න කොටසක් කාර්මික දෝෂ වලට ගොදුරු වීමෙන් පෙනී ගියේ පැවති නඩත්තු පහසුකම් ප්‍රමාණවත් නොවූ බවය. ඉන්ධන සැපයුමද වඩාත් විධිමත් යුතු බව පෙණින. බොහෝ කලක් සෙනෙවි මණ්ඩලයේ සෛද්ධාන්තික සැලසුම් ශිල්පීන් තුල බිය දුරලමින් යාන්ත්‍රික ඩිවිෂන කිහිපයක් එකම මහා මාර්ගයක් ඔස්සේ අපහසුවකින් තොරව ධාවනය කල හැකි බව ද හෙලි විය. අනිත් අතට වියානාවේ වීථි තුල විදහා දැක්වූ යුද බලය ජාත්‍යන්තරය තුල ජර්මන් හමුදාවේ වරක් අහිමි වූ කීර්තිය ස්ථාපිත කිරිමටද නොමඳ පිටිවහලකි. එහෙත් ගුඩේරියන් පසුව පැවසූ පරිදි වැදගත්ම කරුණ වූයේ මෙතෙක් විකාරයක් ලෙස සැලකුණ යුද ටැංකි සංකල්පය මතුවට සෙනෙවි මණ්ඩලය තුල පිළිගැනීමට ලක් වීමයි. සමථයක් වශයෙන් ගත් කල ලද ප්‍රථිපලය ගැන සෑහීමකට පත් හිට්ලර් අඩුපාඩු සම්පූර්ණ කොට තවත් ‘පැන්සර්’ ඩිවිෂන දෙකක් ගොඩ නැගීමට නියම කළේය. හිට්ලර් ආපසු ගියද ජර්මනියට අනුබද්ධ වීමේ සංකීර්ණ පරිපාලන සංක්‍රාන්තිය තුල සිර වී සිටි ඉහල ඔස්ට්‍රියාවේ නාගරික ලිපිකරු ඕගස්ට් කුබිසෙක්ට තම මිතුරා දැක ගැනීමේ අවස්ථාවක් ලැබුනේ නැත. එහෙත් ලංකාවේ කොහා සිංහල අවුරුද්දට හඬ ගාද්දී හිට්ලර් නැවත ලින්ස් බලා යාමේ සිතක් පහල විය. නිතර ගමට යන එන නායකතුමාට නවාතැන් දීම සඳහා විසි හතර පැයේ සෑදී පැහැදී සිටින වෙනම හෝටලයක් ද දැන් නගරයේ තිබේ. එවර හිට්ලර් නැවතී සිටි හෝටලයට ගොස් හමුවීමට කිබිසෙක් කල්පනා කලේය. වයස් ගත මව ද ඔහු උනන්දු කර වූවාය . ඉස්සර නිතර දෙවේලේ තම නිවසට යනෙන යහපත් ඇඩොල්ෆ් ඈට කෙසේ නම් අමතක වේද? 1933 දී හිට්ලර් තමාට එවූ පිළිතුරු ලිපිය බලපත්‍රයක් ලෙස අතැතිව ගිය කුබිසෙක්ට නායකතුමා හමුවූම තමා හිතූ තරම් පහසු නැතිබව වැටහුණි. ලිපිය බැලූ බුද්ධිමත් එස්. එස්. නිළධාරිහූ ඔහුගෙන් බොහෝ කරුණු විමසූහ. නායකතුමා සමඟ කුබිසෙක්ගේ ඇතැයි කියවුන මිතුදමේ දිග පලල නිර්ණය කිරීමට බොහෝ වේලාවක් ඔවුන් ගත කලේ මෙසේ පැමිණෙන අමුත්තන් නිසා ඔවුන් හිට්ලර්ගෙන් බැණුම් අසා ඇති වාර ගඅන අනන්ත නිසා විය හැක.තානතුරුව දෙවන මහලේ විශාල ශාලාවකට ඔහු කැඳවාගෙන යන ලද්දේ එස්. එස්. මේජර් ජනරාල්වරයෙක් විසිනි. දැන් මෙන් එකලද නායක තුමා විහිළු තහළු වලට අකැමති දැයි අතර මගදී මේජර් ජනරාල් තැන කුබිසෙක් ගෙන් විමසා සිටියේය.

ශාලාව කඩි ගුලක් මෙනි. නිළ ඇඳුම් ධාරීහූ කළබලයෙන් ඔබ මොබ දිව ගියහ. අතොරක් නැතිව දුරකථන නාදවේ. කුබිසෙක් මෙතෙක් ඡායා රූප වලින් පමණක් දැක තිබූ මැති ඇමැත්තෝ, තානාපති වරු හා හමුදා නායකයෝ තැන තැන රංචි ගැසී පහත් හඬින් කතා කරති. ඉතා හදිසි රාජකාරි රැසකට පැමිණි මෙම වගකිවයුතු නිළධාරීන් රැස මැද සිටින එකම එක නිකමා තමා බව අවබෝධ කොටගත් කුබිසෙක්ට ඇති වූයේ මහත් ලැජ්ජාවකි. නැඟිට පළා යාමට කිහිප විටක්ම සිත් වුවද දැන් ප්‍රමාද වැඩිය. එහෙයින් තම වාරය මැමිණි විට වැඩිවේලා නොගෙන වහා හිට්ලර්ට අතදී ශුභපතා නික්මයාම මැනවයි ඔහු තීරණය කළේය. ඇඩොල්ෆ් කෙසේ තමාට ප්‍රතිචාර දක්වනු ඇත්ද? කුබිසෙක්ට නම් සිතාගත නොහැක. මඳ සිනාවකින් යුතුව ඔහු තමාට අතට අත දෙනු මැවී පෙනේ. ඇතැම් විට පිටට තට්ටුවක් දැමීමටද බැරි කමක් නැත. එක්වරම අඩි ශබ්ද සමඟ කට හඬවල් කිහිපයක් ඇසිණ. කොරිඩෝරයේ ඈත කෙළවරින් ජනාධිපති-චාන්ස්ලර් ඇඩොල්ෆ් හිට්ලර් සිය පරිවාරකයන් සමඟ මතුවිය. ඔහු හමුදා කබායක් හා කළු කළිසමක් හැඳ සිටියේය. ඉදිරියෙන් මඟ හෙලි කල ඇජුටන්ට්වරුය. උපදෙස් සටහන් කර ගැනීමට සූදානමින් ලේකම් වරියෝ පසුපසින් ලහි ලහියේ පිය නගති. කුබිසෙක් හුනස්නෙන් නැගිටුනේ තමා නොදැනුවත්වමය. එදිරියට එමින් සිටි හිට්ලර් ඔහු දුටුවේ එවිට විය යුතුය. හිට්ලර් නැවතුනේය. පරිවාරකයෝද නැවතුනෝය. කිසියනම් අසාමාන්‍ය යමක් වන බව ඉවෙන් මෙන් හැඟුන ආරක්ෂක නිළධාරීහූ විමසිලිමත් වූහ.

“ගස්ට්ල්!” හිට්ලර් මොර දුන්නේ ශාලාව දෙවනත් කරමිනි. අනතුරුව සෙස්සන් නොතකා ඉදිරියට දිවවිත් කුබිසෙක් ගේ දෑතින්ම අල්ලා ගත්තේය. “ගස්ට්ල්!! මේ තමුසෙමද?” නායකතුමා මෙතරම් උණුසුම් ලෙස පිළිගත් අභිරහස් සිවිල් වැසියා කවරෙක් දැයි තේරුම් ගැනීමට අපොහොසත් වූ ශාලාවේ සිටි සිටි ගරු කටයුතු ප්‍රභූවරු විමතියෙන් එදෙස බැලුවේ ඇහිබැම රැලි ගන්වමිනි. “නායකතුමාගෙ පරණ යාළුවෙක්,” එස්. එස්. මේජර් ජනරාල්වරයා පහත් හඬින් කිසිවෙකුට කීය. කුබිසෙක් කට පාඩමින් කියැවූ නිළ සුභ පැතුම නෑසුනාක් මෙන් හිට්ලර් ඔහුගේ වැලමිටෙන් අල්ලා ඇද්දේය. “එනව එනව, ටිකක් කතා බහ කරන්න.” ඔවුහු කොරිඩෝරය දිගේ ආපසු ඇවිද ගොස් සෝපානයට ගොඩ වූහ. හිට්ලර්ගේ කාමර පෙල තිබුනේ ඉහල මාලයේය. කඳවුරු භාර නිළධාරියෙක් ඉදිරියෙන් යමින් ඔවුන් වෙනුවෙන් දොරවල් විවෘත කලේය. “තමුසෙ පොඩ්ඩක් වත් වෙනස් වෙලා නැහැ කුබිසෙක්. ටිකක් වයසට ගිහින් විතරයි,” මඳ වේලාවකින් සිය කාර්යාල කාමරයේ තමා ඉදිරියේ පුටුවක කුබිසෙක් හිඳවූ හිට්ලර් පැවසුවේ සිනාසෙමිනි. අන් කිසිවෙකුත් කාමය තුල නැත. හිට්ලර් තම හෑල්ල පටන් ගත්තේය. එදා කුබිසෙක් ගේ සුභ පැතුම් සටහන දැක තමා කෙතරම් ප්‍රීති වීද? ඒ දුෂ්කර අතීතයට කුබිසෙක් හැර වෙනත් සාක්ෂි කරුවන් නොමැත. “ඒත් මට දැන් ඉස්සර වගේ නිදහසක් නැහැ.” සුසුමක් හෙළූ හිට්ලර් ජනේලය අසලට ගියේය. ඔහුගේ නෙත ගැටුනේ තමා ගැටවර වියේ පටන් යලි ගොඩ නැගීමට සැලසුම් කළ ඩැනියුබ් නදිය හරහා දිවෙන දැවැන්ත යකඩ පාලමයි. ඔහු ස්ටෙෆනි හා දිවි නසා ගැනීමට සිතුවේද මෙතැනදීය. “අන්න! අර කැත පාලම තාම ඒ විදියටම තියනව,” ඔහු අමනාපයෙන් කෑ ගෑවේය. “හැබැයි වැඩි දවසකට නම් නෙවෙයි. මගේ එක එක සැලසුම් තියනව කරන්න හිතාගෙන” අන් හැමට වඩා හොඳින් ඒ සැලසුම් ගැන දන්නේ කුබිසෙක්ය. ඩැනියුබ් ගඟ හරහා ඉදි කෙරෙන නව පාලම පිළිබඳ තොරතෝංචියක් නැතිව විස්තර කළ හිට්ලර් එහි ආරුක්කු වල හැඩය විශේෂයෙන් අවධාරණය කළේය. ලින්ස් නගරයට නව ඔපෙරා ශාලාවක් තිබිය යුතුය. ඇයි රඟහලක්? නොඑසේ නම් එය ‘බෲක්නර් ගේ නගරය’ ලෙස හඳුන්වන්නේ කෙසේද?

අනතුරුව කතා බහ වඩාත් පුද්ගලික ස්වරූපයක් ගත්තේය. “තමුසෙත් එහෙනම් අන්තිමට සිවිල් සේවකයෙක් උනා? පෑන් කුරුට්ටෙක්? ඒක තමුසෙට හරියන්නෙ නෑ. අම්මට කොහොමද? සංගීතයට මොකද උනේ?” හිට්ලර් ඇසීය. යුද්ධය විසින් සියල්ල කාබාසිනියා කොට දැමූ බව කුබිසෙක් අවංකවම කීවේය. වෙන කුමක් කරන්නද? අවසානයේ නාගරික ලිපිකරු රැකියාව තෝරා ගැනීමට සිදුවිය. වයස්ගත මව ගෙදර සිටී. “ඔව් අපි පැරදුන ඒ යුද්ධය....” හිට්ලර් කල්පනාකාරී ලෙස කීවේය. “ ඒත් තමුසෙ පෑන් කුරුට්ටෙක් වෙන්න ඕන නෑ කුබිසෙක්. මට වෙලාවක එන්න ඕන තමුසෙගෙ ඔය එෆර්ඩින් නගරෙ බලන්න. අපි නිදහසේ කතා කරමු. දැන් සංගීතය ගැන උනන්දුවක් ඇත්තෙම නැද්ද?” තමා නගරයේ පැවැත්වෙන සංගීත සැසි වලට ඉඳහිට සිම්ෆනි වාදනය කරන බව කුබිසෙක් පැවසීය. ලොව හොල්ලන ගැටළු රැසක් සමඟ දවස ගෙවන තම මිතුරා ගේ වටිනා කාලය ඉතිරි කිරීම සඳහා ඔහු විස්තර කළේ කෙටියෙනි. “මොනවා? තමුසෙ ඔය පුංචි නගරෙ සිම්ෆනි වාදනය කරනවා? ෂා… අනර්ඝයි! මොනවද තමුසෙ වාදනය කරපු සිම්ෆනි?” හිට්ලර්ට කිසිදු හදිසියක් නැති සේය. වාදක කණ්ඩායමේ විශාලත්වය හා යොදාගත් සංගීත භාණ්ඩ පිළිබඳ සියළු විස්තර පැවසීමට කුබිසෙක් ට සිදුවිය. “හ්ම්..පුද්ගලික තත්වෙ කොහොමද? තමුසෙට එහෙම සල්ලි ඕනද?” තම රැකියාවෙන් ලැබෙන ආදායම පුතුන් තිදෙනෙකුගෙන් යුත් පවුලට ජීවත්වීම සඳහා ප්‍රමාණවත් යැයි කුබිසෙක් පැවසුවේ අවංකමය. “පුත්තු තුන් දෙනෙක්!” හිට්ලර් විස්මයෙන් කෑ ගෑවේය. “මොන තරම් හොඳද?” ඔවුන්ගේ වයස, නම්, හැඩරුව, විනෝදාංශ ආදී සියළු තොරතුරු දැන ගැනීමට ඔහුට ඕනෑ විය; තිදෙනාම සංගීතයට දක්ෂතා දක්වන බව අසා බොහෝ ප්‍රීති වූයේ, එකෙනෙහිම දොර අසල සිටි ඇජුටන්ට් වරයෙක් කැඳවා ළමුන් තිදෙනාම ලින්ස් හි බෲක්නර් සංගීත විදුහලට ඇතුලත් කරන ලෙසත් විය හියදම් සිය පුද්ගලික ගිණුමින් ගෙවන ලෙසත් නියම කළේය. පැයක පිළිසඳරකින් අනතුරුව දෙමිතුරන් සමු ගත්තේ නැවත හමුවීමට ගිවිස ගැනීමෙන් අනතුරුවය. ලින්ස් නගරය යලි ගොඩ නැගීමට හැකි පමණින් ‘උදවු’ වීමට කුබිසෙක් පොරොන්දු විය. යුරෝපයේ දක්ෂතම නිර්මාණ ශිල්පීන් පිරිවරාගෙන සිටි ඇඩොල්ෆ්ට අවශ්‍ය් තම අදහස් පල කිරීමට සමාගමයක් බව කුබිසෙක් අත් දැකීමෙන් දනී. පෙරලා ජර්මනියට පැමිණී හිට්ලර් තම නිර්මාණ ශිල්පී ස්පීර්ට පැවසුවේ ලින්ස් නගරය තවත් ‘බුඩාපෙස්ට්’ පුරවරයක් විය යුතු බවයි. එහි ගොඩනැගිලි ප්‍රෞඩ ජර්මන් සංස්කෘතියේ කැඩතක් විය යුතු හේ අවධාරණය කළේය. හිට්ලර් ලින්ස් නගරයේ ඔලිම්පික් ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට පවා අවශ්‍ය විය. ඊලඟ වසරේ හටගත් දෙවන ලෝක යුද්ධය නොවන්නට මෙම සිහිනය යථාර්ථයක් වීමට බොහෝ දුරට ඉඩ කඩ තිබිණ…

thumb|වම|විවෘත මෝටර් රථයකින් මහත් උත්සවාකාරී ලෙස ලින්ස් නගරයට ඇතුළු වන හිට්ලර් (1938 මාර්තු 12) thumb|මධ්‍යය|ජර්මන් හමුදා ඔස්ට්‍රියවට ඇතුළු වීම ගැන පුවත් සිරස්තලයක් (1938 මාර්තු) thumb|දකුණ|ජර්මනිය හා ඔස්ට්‍රියාව (1938)+

හිට්ලර් නම් ව්‍යාප්තවාදියා (1938 මාර්තු-ඔක්තෝම්බර්)

පළමු ලෝක යුද්ධයෙන් සිසී කඩ විසිරී ගිය හැප්ස්බර්ග් අධිරාජ්‍යයට අයත්ව තිබූ මොරේවියාව, බොහිමියාව හා ස්ලෝවැකියාව එක්කොට තැනූ චෙකොස්ලෝවැකියාව වර්සෙල්ස් ගිවිසුමේ සංකේතයයි. ස්වභාවික ආරක්ෂාවන් ගෙන් හා බැර කර්මාන්ත වලින් පොහොසත් ඈ නැගෙනහිර යුරෝපයේ ශක්තිමත් රාජ්‍යයක් වූවාය. ඩිවිෂන 42න් යුත් ඇගේ හමුදාවට යුද ටැංකි 350 ක් තිබුණද ප්‍රාග් හි රජය ද නිතර ඇහැ කණ ඇරගෙන සිටියේ චෙකොස්ලෝවැකියාව ජර්මනියෙන් මායිම් වන සුදේතන්ලන්තය නම් පිටස්තර කඳුකර ආවරණය තුල බහුලව ජීවත් වූවෝ තිස් ලක්ෂයක් වූ වාර්ගික ජර්මන් වරු නිසාය. ඔවුන්ගේ දුක් ගැනවිලි ද නිමක් නැත. හා ඔස්ට්‍රියාව සමඟ එක්වීමට පැතූ ඔවුන් වර්සෙල්ස් ගිවිසුම මගින් චෙක් පාලනයට නතු කරවනු ලැබ සිටියද හිට්ලර් ඔස්ට්‍රියාව ඈඳා ගැනීමෙන් කුල්මත් වී හිංසා කාරී ක්‍රියාවල යෙදෙමින් එම ප්‍රදේශ වල කලබල ඇති කලහ. ඔවුන්ගේ නායකයා වූයේ කොන්රාඩ් හෙනලින් නම් හිටපු ජිම්නාස්ටික් ගුරෙකි. මෑතක සිට හිට්ලර් ද ඔවුන්ගේ දුක් කම්කටොළු ගැන නිතෙර දෙවේලේ විස්සෝප වේ. “සුදේතන් වරුන්ට තියෙන්නෙත් ජර්මන් ලේ. ඉතින් අපි ඇරුණම වෙන කව්ද ඉන්නෙ ඒ මිනිස්සු වෙනුවෙන් අනේ අපොයි කියන්නවත්?” එන පොට හොඳ නැති වග අවබෝධ කොටගත් චෙක් රජය සුදේතන් ජර්මන් වරුන්ගේ ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කොට විසඳුම් ලබා දීමට තම කැමත්ත පල කොට සිටියේය. එහෙත් හිට්ලර් විසින් උසි ගන්වනු ලැබූ හෙනලින් ස්වයං නිර්ණ අයිතියට මෙපිටින් කිසිවක් භාර ගැනිමට අකමැතිය. චෙක් වරු එවැන්නක් සලකා බැලීම පවා ප්‍රතික්ෂෙප කරති.

සුදේතන් ගැටළුව මොහොතකට පසෙක ලූ හිට්ලර් රෝමයේ සංචාරයක නිරත විය. 1934 පලහිලව්වෙන් පසු ඔහු මේ වනතුරුත් ඉතාලියට ගොස් නැත. දූත පිරිසට රිබන්ට්‍රොප්, ගොබ්ල්ස් හා හිම්ලර් ඇතුළු 500 ට ආසන්න නිළධාරීන් පිරිසක් අයත් වූ අතර ඔවුන් පිළිගැනීම සඳහා මුසෝලිනි දුම්රිය පොලට පැමින සිටියේය. රට තොට බලමින් ඒ සතිය හිට්ලර් ගත කලේ ඉතාලියේ රජුගේ විශේෂ අමුත්තා ලෙසය. ඔස්ට්‍රියාව ගැනීමේදී කැපී පෙනීමට අවස්ථාවක් නොලද රිබන්ට්‍රොප් සිටියේ අමනාපයෙනි. මෙවර නම් ගෝරින්ට ඇඟිලි ගැසීමට ඉඩක් නොතබන්නෙමැයි හේ අදිටන් කොටගෙන සිටියේය. විදේශ ඇමති තමාය. ජර්මනිය හා ඉතාලිය අතර බටහිර විරෝධී යුද ගිවිසුමක් අත්සන් කිරීමට ඔහු ඒ දින කිහිපයේ කොතෙකුත් යෝජනා කර සිටියද එය එතරම් සාර්ථක වූයේ නැත. “ආයෙ මොනවද ලෝකෙට පේන්න ගිවිසුම් ගහන්න යන්නෙ? අපේ ප්‍රතිපත්තිය ගැන ඩුෂේ තුමයි නායකතුමයි එකඟවෙලා ඉවරයි” ඉතාලි විදේශ ඇමති සියානෝ ඇඟ බේරා ගත්තේය. “ඔය රිබන්ට්‍රොප් කියන ඒව ඒ තරම් ලොකුවට ගනන් ගන්න එපා,” ඒ ඇසූ මුසෝලිනි සියානෝට කීය. “මිනිහ යුද්ද කරන්න කතා කරන්නෙ හතුර කව්ද කියල වත් දැනගෙන නෙවෙයි. කෝකටත් හිට්ලර්ගෙන් හරි හමන් වචනයක් එනකම් බලමු.” මේ අතර සුදේතන්ලන්තයේ කැරලි කෝලාහල උත්සන්න විය. එය ජර්මන් මැදිහත්වීමක පෙර සංඥාවක් යැයි සිතූ චෙක් රජය වහා හමුදා කැඳවීය. තම රට ජර්මන් ජාතිවාදය හමුවේ දණ නැමිය යුතු නැත. වර්සෙල්ස් ගිවිසුම මගින් ස්ථාපිත කෙරුන චෙකොස්ලෝවැකියාවේ ආරක්ෂාව යුරෝපයේම වගකීමකි. ප්‍රංශය හා රුසියාව ජර්මන් පහරදීමකදී සහාය වීමට ගිවිසුම් මගින් ද බැදී සිටිති. සියළු දෙනා බලා සිටියේ ජර්මනියේ ප්‍රතිචාරය කුමක් වේද යන්නයි. මේ යන විදිය තමාට හිතකර නොවන වග වටහා ගත් හිට්ලර් තැතනුවේය. චෙකොස්ලෝවැකියාව අස්ථාවර කිරීමේ සැලස්මක් තමාගේ නැතයි හේ නැවත සහතික විය. එහෙත් සුදේතන් ගැටළුව විසඳිය යුතුය. යුරෝපා වාසීහූ සැනසුම් සුසුම් හෙළූහ. හිට්ලර් ඔය කියන තරම් නරක මිනිහෙක් නොවේ. දුර දිග නොබලා කටයුතු කොට යුද්ධයක් ඇති කිරීමට තැත් කලේ යයි අවසානයේ දොස් ඇසීමට සිදුවූයේ චෙකොස්ලෝවැකියාවටය. සුදේතන් චෙක් වරුන්ගේ ඉල්ලීම් සාධාරණ බවත්, හිට්ලර් නැවැත්විමට නම් මුලින් ඔහුට යමක් දිය යුතු බවත් ලන්ඩන් රජය පවා පිලිගත්තේය. “නිකම් යුද්ධ ඇති කරල අපිවත් පටලවන්න හදන්නෙ නැතුව ජර්මනියට සුදේතන්ලන්තෙ දීල මේක බේරුමක් කරගන්න” චෙක් රජයට මිතුරෝ අවවාද කරති. එහෙත් හිට්ලර්ට උවමනා සුදේතන්ලන්තය පමණක් නොවේ. එහෙයින් ඔහු ජාත්‍යන්තරය හමුවේ නොසෑහෙන කේන්තිය පල කලේය. “මේ ඊයෙ පෙරේද හැදුන ජාතියක් ජම්මයක් නැති පොඩි රටකට පුළුවන්ද ජර්මනියට කොකා පෙන්නන්න? කාගෙ හයිය අරගෙනද?” හේ ගුගුරයි. දැන් කබල නිසි පදමට රත්වී ඇත. සෙනෙවි මණ්ඩලය කැඳවූ හිට්ලර් ආක්‍රමණයකට සූදානම් වන ලෙස නියම කලේය. එහෙත් ප්‍රධාන මාණ්ඩලීය නිළධාරී ලුඩ්විග් බෙක් ඊට තරයේ විරුද්ධය. “චෙකොස්ලෝවැකියාවෙ ආරක්ෂක වළලු ශක්තිමත්. එහෙව් එකේ දැම්ම යුද්ධයක් පටන් ගන්න එක මෝඩකමක්. අනික බටහිර රටවල් අහක බලා ගෙන ඉඳීවි කියල නායක තුමා හිතනවද?” “තමුසෙට භය නම් පැත්තකට වෙලා ඉන්නවා අපිට මේක කරගන්න දීල. එහෙමත් ඉන්න බැරි නම් අස්වෙනවා” හිට්ලර් කීය. මුල් යුගයේ නාසි පක්ෂයට දුන් අගනා සහාය ගැන බෙක් කෙරේ විශාල ගෞරවයක් තිබුනද දැන් නම් ඔහු තුල මේ නිළධාරිවාදියා කෙරේ ඇතිවෙන්නේ කේන්තියකි. “අපි ඔක්කොම විරෝධය පළ කරල ඉල්ලා අස්වීමෙ ලිපි දෙමු. එතකොට බලමු එයා කොහොමද යුද්ද කරන්නෙ කියල. මොකද කට්ටිය කියන්නෙ?” බෙක් සහෝදර නිළධාරීන්ට යෝජනා කළේය. සෙස්සෝ අතීරණයෙන් පසු වූහ. බෙක් ගේ මතය සමඟ එකඟ වූවන් පවා ඔහු හා කල්ලි ගැසීමට කැමති වූයේ නැත. “මම සොල්දාදුවෙක්. මගේ රාජකාරිය අණ පිළිපදින එක,” නව හමුදාපති වොල්තර් වොන් බ්රෝචිෂ්ට් පැවසීය. හිටපු යුද ඇමති බ්ලොම්බර්ග් ට වඩා වයසින් යන්තමින් බාල ඔහුද මේ දින වල ලහි ලහියේ තම දෙවන විවාහය සඳහා සූදානම් වෙමින් සිටී. ඔහුගේ මනාලිය වූ චාර්ලට් රුයිෆර් නාසි දේශපාලන රසිකාවියක් වීම හමුදාපති කාර්යාලයේ රාජකාරී තීරණ වලට කොතෙක් බලපෑවේදැයි අපි නොදනිමු. අවසානයේ තනිවූ බෙක් ඉල්ලා අස්විය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ජනරාල් ෆ්‍රාන්ස් හැල්ඩර් ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි ප්‍රසියන් වරු මෙතෙක් මුලසුන හෙබවූ ජර්මන් සෙනෙවි මණ්ඩලයට පත් වූ පළමු රෝමානු කතෝලිකයාය. බෙක්ගේ ද ගෝලයාය; ඔහුගේ නිජ බිම වූයේ ද බැවේරියාවයි. බෙක්ගේ අනතුරු ඇඟවීමේ ගත යුත්තක් ඇති බව ඔහුටද නොසිතෙනවා නොවේ. “මොන පිස්සුද? එංගලන්තෙ දැම්ම යුද්දෙක පැටලෙන්න කැමති නෑ. ප්‍රංශය තනියම අත පුච්ච ගන්න එන්නෙත් නෑ.” හිට්ලර් කැට පෙන්වයි. “වැඩිම උනොත් ඕන්නම් රුසියාව ඉදීවි. ඒත් වැඩක් නෑ. ඕන උනත් එයාලා කොහොමද චෙකොස්ලෝවැකියාවට ආධාර කරන්නේ? පෝලන්තය හරි රොමේනියාව හරි කැමති වෙනවද තමන්ගෙ රට මැදින් රතු හමුදාවට යන්න එන්න දෙන්න? ඒව කෙරෙන වැඩ නෙවෙයි.”

අගෝස්තු අගදී ජර්මනියේ බටහිර ආරක්ෂක මුරකාවල් නිරීක්ෂණය කරනු පිණිස හිට්ලර් රයින්ලන්තයේ සංචාරයක යෙදුනේය. බටහිර අණදෙන නිළධාරී ජනරාල් විල්හෙල්ම් ඇඩම්ස් ද බෙක්ගේ ගෝලයෙකි. නැගෙනහිර මෙහෙයුම් සඳහා හමුදා ඉවත් කොට ගතහොත් පසු තමාට ඉතිරි වන ඩිවිෂන 12ට ප්‍රංශය හා සති තුනකට වඩා සටන් වැදීමට නොහැකි බව ඔහු ද කියා සිටියේය. හිට්ලර් උරණ විය. “එහෙමද? එහෙනම් තමුසෙගෙ හමුදාවෙන් වැඩක් නැහැ.” හමුදාවේ ඇතැම් නිළධාරීන් තම වැඩපිළිවෙල අවුල් කිරීමට තැත් කරන බවට ඒ වන විට හිට්ලර් තුල සැකයක් විය. එහෙත් නාසි පාලනය පෙරලා දැමීම සඳහා බටහිර රටවල සහාය ලබා ගැනීමේ අරමුණින් ‘ඇබ්වියර්’ හෙවත් හමුදා ඔත්තු සේවයේ නිළධාරියෙක් ඒ වන විටත් ලන්ඩනය බලා ගොස් සිටි බවක් ඔහු දැන සිටියේ නැත. එහෙත් බෙක් හෝ ජර්මන් සෙනෙවි මණ්ඩලය බටහිර බලවතුන්ට හිට්ලර් තරම් වත් විශ්වාස නැත. කුමන්ත්‍රණකරුවන්ගේ නියෝග හමුදාව විසින් පිළිගනු ඇතැයි ඇති සහතිකය කුමක්ද? එස්. එස්. සංවිධානය හිට්ලර් වෙනුවෙන් අවසානය තෙක් සටන් වදිනු ඇත. අපේක්ෂා කොට හැකි එකම ප්‍රතිඵලය වනු ඇත්තේ සිවිල් යුද්ධයකි‍යමේ හේතුවෙන් ජර්මනිය සමඟ ‘ගණු දෙනු’ එකඟතාවයක් හරහා යුද්ධය වැලැක්වීම වඩා මැනවයි සිතූ බ්‍රිතාන්‍ය අගමැති නෙවිල් චෙම්බර්ලේන් පෞද්ගලිකවම හිට්ලර් හමුවීමට කල්පනා කලේය. ඔහු හිට්ලර්ගේ ‘බර්ග්හොෆ්’ කඳුකර බංගලාවට පැමිණියේ සැප්තැම්බර් 15 දාය. අමුත්තා සාදරයෙන් පිළිගෙන සුෂ්නිග් බිය ගැන්වූ කාමරයේම හිඳවූ හිට්ලර්, චෙම්බර්ලේන්ට යන්තම් හති අරින්නටත් පෙර තම හෑල්ල පටන් ගත්තේය. තරුණ කාලයේ පටන් තමා පැතුවේ බ්‍රිතාන්‍යය හා ජර්මනිය අතර මිත්‍රත්වයකි. නමුත් හැට ලක්ෂයක් ඔස්ට්‍රියන් ජර්මන් වරු මෙන්ම චෙකොස්ලෝවැකියාවේ තිස් ලක්ෂයක් සුදේතන් ජර්මන් වරු ද අයත් ජර්මන් රයික් රාජ්‍යයටය. ඔවුන් මෙහි ගෙන එන්නද? කළ යුතුව ඇත්තේ එම භූමිය ජර්මනියට එක් කිරීමයි. “හොඳයි. මට මේක කියන්න. ඔබට ඕන සුදේතන්ලන්තය විතරද? සමහරු කියනවා ඔබට ඕන චෙකොස්ලෝවැකියාව කෑලි වලට කඩන්න කියලා...” චෙම්බර්ලේන් සෘජුවම ඇසුවේය. “මට චෙක් කාරයො මොකටද? මට ඕන සුදේතන් ජර්මන් වරු.” චෙම්බර්ලේන්ට පිළිතුර පැහැදිලි මදිය. එහෙයින් ඔහු තව දුරටත් හාරා ඇවිස්සුවේය. චෙකොස්ලෝවැකියාවේ කෝලාහල වලින් තව තවත් ජර්මන්වරු මිය ගිය බවට වාර්තා ලැබේ. හිට්ලර් කුපිත විය. “ඕව සෛද්ධාන්තික ගැටළු. මට ඕන යථාර්ථය. සුදේතන් වරු තුන්සීයක් අරෙහෙ මරල දාල. ඒව තව දුරටත් වෙන්න දෙන්න බෑ. මම මේක හොඳින් බැරිනම් නරකින් විසඳනවා. ලෝක යුද්ධයක් ආවත් එකයි නැතත් එකයි.” “නායකතුමා බලය පාවිච්චි කරන්න තීරණය කරල ඉවරනම් ආයෙ අහවල් එකකටද කථා කරන්න එන්න කිව්වෙ? අපරාදෙ නෙ මගේ කාලෙත් නාස්ති කරේ?” චම්බෙර්ලේන්ගේ ද ස්වරය උස් වේ. “හොඳයි, ඔබතුමා පිළිගන්නවද සුදෙතන්ලන්තය අයිති ජර්මනියට කියල? ඉස්සෙල්ලම ඒක කිව්වනම් බලන්න?” හිට්ලර් විමසීය. “නායක තුමා මේ අහන්න, සුදේතන්ලන්තය ජර්මනියට පැවරෙන්න ඕන කියන එකට මමත් පුද්ගලිකව එකඟ වෙනව. ඒත් හැම දේම කෙරෙන විදියක් තියනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ සුදේතන්ලන්තෙ ඉන්න ජර්මන් වරු තිස් ලක්ෂය විතරක් නම් ඒකට යුද්ධයක් ඕන වෙන එකක් නැහැ. මම මේ ගැන කතා කරල උත්තරයක් දෙන්නම්. එතකන් මොනවත් කරන්න යන්න එපා...” ආපසු එන පොරොන්දුව මත චැම්බර්ලේන් සමු ගත්තේය. සුදේතන් ප්‍රදේශ ජර්මනියට පවරන මෙන් බ්‍රිතාන්‍ය හා ප්‍රංශය ප්‍රාග් නුවරට බලපෑම් කරන අතරතුර හන්ගේරියාවේ නායක අද්මිරාල් මික්ලෝස් හෝර්ති ජර්මනියට පැමිණ හිට්ලර් බැහැ දුටුවේය. චෙකොස්ලෝවැකියාවෙන් කොටසක් ඩැහැ ගැනීමට මාන බලමින් සිටින හන්ගේරියාව තවදුරත් වැට උඩ සිටියේ පෙරළෙන පැත්ත අවිනිශ්චිත නිසාය. “ඔහොම බලන් ඉඳල හරියන්නෙ නෑ. මේසෙට වාඩි වෙන්න ඕනෙ නම් කුස්සියේ වැඩට වත් ටිකක් උදවු වෙනවා...” හිට්ලර් හන්ගේරියාවට දොස් නැගීය. පැය තිස් හයකට වඩා සටන් කිරීමට උණ්ඩ නොතිබූ හන්ගේරියන් හමුදාව මේ මොහොතේ පෙනුමට හෝ සිටිය යුතුය. සැප්තම්බර් 21 රෑ දෙගොඩ ජාමේ චෙකොස්ලෝවැකියාවේ ජනාධිපති එඩ්වාර්ඩ් බෙනස් නින්දෙන් ඇහැරවූ ප්‍රංශ තානාපති අපූරු පණිවුඩයක් දුන්නේය. ඒ සුදේතන්ලන්තය ජර්මනියට භාර නොදෙන්නේ නම් හිට්ලර් හා තනිව සටන් කිරීමට සූදානම් වන ලෙසයි; එය පැරිසියේ අවසන් තීරණය බවද එමගින් වැඩිදුරටත් කියැවිණ. බටහිර මිතුරන් විසින් මෙසේ අත හැර දමනු ලැබීම හිට්ලර්ට අභියෝග කිරීමට සූදානමින් සිටි චෙක් රජයට මරු පහරකි. දියේ ගිලෙන්න යන මිනිසා පිදුරු ගසේ පවා එල්ලේ. අන් කල හැකි දෙයක් නුවූ ජනාධිපති බෙනෙස් මහ රෑම රුසියන් තානාපති හමුවිය; දෙරට අතර ගිවිසුමට අනුව රුසියාව යුද්ධයකදී චෙකොස්ලෝවැකියාට ආධාර කිරීමට පොරොන්දු වූවා නොවේද? එය සැබෑවකි, කපටි රුසියානුවෝ යලි සහතික වූහ. ස්ටාලින් සහෝදරයාගේ විශේෂ නියමයෙන් රතු හමුදා ඩිවිෂන 38ක් සහිත සන්නාහ සන්නද්ධ යුද්ධ දුම්රිය කිහිපයක් දැනටමත් සීරුවෙනි. එහෙත් ගිවිසුමට අනුව රුසියාවට සටනට එලඹීම සඳහා අවසර ඇත්තේ ‘ප්‍රංශය සමඟ’ යන පූර්ව කොන්දේසිය මතය. කණගාටුවට කරුණ පැරිසියෙන් තවමත් ප්‍රතිචාරයක් නොමැති වීමයි!

පසුදා ජර්මනිය බලා පියාසර කල චෙම්බර්ලේන් එදා සවස හිට්ලර් හමුවූයේ රයින්ලන්තයේදීය. සාමය වෙනුවෙන් චෙකොස්ලෝවැකියාව ජර්මනියට කැප කිරීමේ ඔහුගේ සැලැස්ම බ්‍රිතාන්‍ය රජය තුලද එතරම් ජනප්‍රිය නැත. එහෙත් තම උත්සාහය හා එහි ප්‍රතිඵලය ගැන ඔහු අවංකවම සතුටු විය. “ඔන්න නායක තුමා ඉල්ලපු ඔක්කොම අරගෙනයි ආවෙ. මේක ලේසි උනා කියල නම් හිතන්න එපා. දැන් හැමෝම කැමතියි. ජනමත විචාරණ ඕන නැහැ. සුදේතන්ලන්තය ජර්මනියට පැවරෙනවා. එච්චරයි ජනගහනය මිශ්‍ර ප්‍රදේශ ගැන තීරණයක් ගන්න පස්සෙ කොමිසමක් පත් කරමු...ආ අනිත් එක, චෙකොස්ලෝවැකියාවට ප්‍රංශයයි රුසියාවයි එක්ක තියන ගිවිසුම් නෙ ඔබතුමා ගෙ ඊලඟ ගැටළුව? ඒ දෙකම අවලංගු වෙනවා. අපි චෙකොස්ලෝවැකියාවට ඒ වෙනුවට හදිසි පහර දීමකට එරෙහිව ජාත්‍යන්තර ආරක්ෂණ සහතිකයක් දෙනවා...” හිට්ලර් මඳක් තැතනුවේය. “ඒ කියන්නේ සුදේතන්ලන්තය ජර්මනියට පවරලා දෙන්න චෙක් වරු කැමතියි?” “නැතුව!” චෙම්බර්ලේන් සතුටින් සිනාසෙයි. “මට සමා වෙන්න අගමැති තුමා... පහුගිය දවස් ටිකේ උන දේවල් වල හැටියට මේ විසඳුමෙන් නම් දැන් වැඩක් වෙන්නෙ නෑ..” චෙම්බෙර්ලේන් පුටුවෙන් නැගිට්ටා නොව උඩ වීසි විය. මෙවර නම් ඔහු නොසෑහෙන කෝපය වූයේය. “මොකද්ද ඒ කතාවෙ තේරුම? තමුසෙගෙ ඉල්ලීම් අරන් දෙන්න මගේ දේශපාලන ජීවිතෙත් ඔට්ටුවට ඇල්ලුවා. මට එහේ පාරට බහින්න බැහැ. මොකද්ද පහු ගිය දවස් දෙක තුනට උන ඔයතරම් ලොකු දේ?” චෙම්බර්ලේන්ට එමගින් මුහුණදීමට සිදුවන පුද්ගලික අපහසුතාවය හා දේශපාලන නින්දාව ගැන හිට්ලර්ට වගක් නැත. “මේකනේ. මෙන්න මේ පෝලන්තයෙයි හන්ගේරියාවෙයි භෞමික ඉල්ලීම් වගයකුත් තියනවලු. ඒවා අහක දාන්නත් බෑ. දැන් කරන්න තියෙන්නෙ තව බල බල ඉන්නෙ නැතුව ජර්මන් හමුදාව වහාම සුදේතන් ප්‍රදෙශ අත්පත් කර ගන්න එක. ජනමත විචාරණ තියන ඒවා පස්සෙ පුළුවන්...” චෙම්බෙර්ලේන් රයින් ගඟේ එහා ඉවුරේ තමා නැවතී සිටි හෝටලයට ගොස් හිට්ලර්ට ලිපියක් ලිවීය. ප්‍රාග් නුවර දැනුවත් කිරීම සඳහා ජර්මන් ඉල්ලීම් සිතියමක් ද සහිතව ඔහු ඉල්ලා සිටියේය. ගඟ දෙපස ලියුම් කිහිපයක් හුවමාරු විය. ප්‍රථිඵලය වූයේ පසුදා සවස චෙම්බර්ලේන් හා හිට්ලර් අතර තවත් හමුවකි. “මාසෙ අන්තිමට කලින් මෙන්න මේ ප්‍රදේශ වලින් ඉවත් වෙන්න කියල චෙක් වරුනට කියන්න,” හිට්ලර් සලකුණු කල සිතියමක් දුන්නේය. “මේක අවසාන නිවේදනයක්ද? චෙක් වරු කීයටවත් මේක පිළි ගන්න එකක් නැහැ.” චෙම්බර්ලේන් ඇසුවේ කෝපය මැඩ ගනිමිනි. “ඒක සිතියමක්. පේන්නෙ නැද්ද?” චාරිත්‍රානුකූලව කාමරයට ඇතුළු වූ ඇජුටන්ට් වරයක් ‘හදිසි’ පණිවුඩයක් ගෙන ආවේය. යලිත් වරක් හමුදා රැස් කිරීමට චෙකොස්ලෝවැකියානු ජනාධිපති බෙනස් නියෝග කොට ඇත. “ඔය මන් කිව්වෙ? කවුරු මොනව කිව්වත් චෙක් කාරයො සුදේතන්ලන්තය හොඳින් නම් දෙන්නෙ නෑ නරකෙන් ගත්තොත් මිසක්” “ඉස්සෙල්ලා හමුදා රැස් කරේ ඔහෙලා…’ චෙම්බර්ලේන් කෑ ගෑවේය. අනුන්ගේ හබ වලට මැදිහත් වූ ඔහුට මොන පැත්තකින් වත් සහනයක් නැත. “නෑ චෙක් කාරයො!” “නෑ ජර්මනිය!!” “නෑ චෙක් කාරයො!!! හොඳට ඇස් දෙක ඇරල බලනව ඔය පණිවුඩය දිහා.” විවාදය රෑ මැදියම පසු වන තුරුත් පැවතිණ. අවසානයේ චෙම්බර්ලේන් හුන්ස්නෙන් නැගිට්ටේය. මේ මිනිසා සමඟ තවත් කථා බහ කොට කාලය කා දැමීමෙන් ඵලක් නැත. “හ්ම්. මෙහෙට දෙනව ඔය සිතියම. මේක ඔහේගෙ අන්තිම වචනෙද නැත්නම් මේකත් වෙනස් වේවිද තව මොකක් හරි උනා කියල?” “වෙන මොනව වෙනස් වෙන්නද? ඔය ලියලම දුන්නෙ දැන්?” චෙම්බර්ලේන් යන්නට ගියේය. ආක්‍රමණ නියෝගය නිකුත් කල වහාම තමා සිර භාරයට ගෙන අධිකරණයකට ඉදිරිපත් කිරීමට බෙක් හා හැල්ඩර් ඇතුළු පිරිසක් රහසේ කතිකා කොට ගෙන සිටින බවක් හිට්ලර් නොදනී. එහෙත් තමාගේ තේමාව ඉශ්ඨ සිද්ධ ව ඇති මොහොතක නිකරුණේ යුද මෙහෙයුමක් ඇරඹීම සාධාරනීකරණය කළ නොහෙන වග ඔහුට යසට වැටහිණ. ප්‍රාග් නුවරට තවමත් ඔහුගේ අත දිග මදිය. එදාම චෙම්බර්ලේන්ට නැවත ලිපියක් ලියූ ඔහු, ඔක්තෝබර් 01 දාට සුදේතන්ලන්තය ජර්මන් හමුදාවට අත්පත් කර ගැනීමට ඉඩ සැලසේ නම් තමා ඉතිරි චෙක් භූමියේ දේශසීමා සහතික කිරීමට තමා සූදානම් බව සඳහන් කලේය. කරකියා ගැනීමට දෙයක් නැතිව හුන් චෙම්බර්ලේන්ට මෙය ද හොඳටම ප්‍රමාණවත්ය. එහෙත් ඔහු හිට්ලර්ගේ අතිජාත මිතුරා වූ ඉතාලි ආඥාදායක බෙනිටෝ මුසෝලිනි සමග ද මේ ගැන කතා බහ කලේ තනිවම අත පුළුස්සා ගන්නට බැරි නිසා විය යුතුය. ගැටළුව නිරාකරණය කිරීම සඳහා සමුළුවක් කැඳවීමට මුසෝලිනි කල යෝජනාවට සියල්ලෝ කැමති වූහ. සප්තම්බර් 29 දා සවස ජර්මනියේ මියුනික් නුවර පැවති සමුළුව පසුදා අළුයම වන තුරු පැවතිණ. බ්‍රිතාන්‍ය ප්‍රංශය ඉතාලිය හා ජර්මනිය සහභාගී වූ මෙයට රුසියාවට ආරාධනා කෙරුනේ නැත. සිය රට බෙදනු දැකීමට පැමිණ සිටි චෙක් නියෝජිතයන් දෙදෙනා සහභාගී කරවා ගැනීමට හිට්ලර් විරුද්ධ වූයෙන් ඔවුන් කාමරයට පිටතින් හිඳුවීමට සිදු විය. හිට්ලර් සිරභාරයට ගැනීම සඳහා බලා සිටි හැල්ඩර් මෙ සියල්ල ඇසුවේ ඇටිකෙහෙල් ගිල දැමූ උගුඩුවෙක් මෙනි. යුද්ධයක් ඇති නොවන්නේ නම් තවත් අවදානම ගෙන ආණ්ඩු පෙරලන්න යන්නේ අහවල් කාරියකටද? පමාවී හෝ ඥාණය පහල කොටගත් හැල්ඩර් පස්සා දොරෙන්ම කාර්යාලයට රිංගා ගත්තේ මින් මත්තට තමන්ගේ වැඩක් බලා ගැනීම මැනවයි සිතමිනි. ඔක්තෝබර් 03 දා ජර්මන් හමුදා සුදේතන්ලන්තයට ඇතුළු විය. ගමනේ පෙරමුණ ගත් 1 වන පැන්සර් ඩිවිෂනයට මෙවරද අණ දුන්නේ ගුඩේරියන්ය. ඔහුගේ කොළ අතු එල්ලූ යුද ටැංකි දුටු සුදේතන් වරු ප්‍රීති ඝෝෂා නංවන අතරතුර චෙක් සුළුතරය පැදුරටත් නොකියා පලා ගියේ හුදෙක්ම සිය පණ බේරා ගනු පිණිසය. පළමු දෙදින හිට්ලර් ගත කලේ හමුදාව සමඟය. දහවල් කෑමට ඔහු සෙබළුන් සමඟ හිඳ ගත්තද එදිනට නියමිත ක්ෂේත්‍ර. සලාකය වී තිබුණේ උකුවට තැනූ ඌරුමස් ස්ටූවකි. මස්මාළු නොකන හිට්ලර් ඇපල් ගෙඩි කිහිපයකින් කුස පුරවා ගත්තේය. . යුද්ධය වැලැක්වීමේ මිල ලෙස මියුනික් හිදී බටහිර මිතුරන් විසින් සදාචාර විරෝධී ලෙස පාවාදීමට ලක් වීමෙන් දුර්වල වූ චෙක් රජයට ඒ ඔක්තෝබරයේදී අහිමි වූයේ සුදේතන්ලන්තය පමණක් නොවේ. කල් යල් බැලූ හන්ගේරියානුවෝද ස්ලෝවැකියාවෙන් කොටසක් ඩැහැ ගත්හ. පෝලන්තය සොල්සී කලාපය ඈඳා ගත්තාය. තවත් මාස කිහිපයකින් සිතියමින් අතුරුදන්ව යාමට නියමිතව සිටි ඈ දැන් චෙකෝ-ස්ලෝවැකියාව නම් වූවාය. ජනාධිපති බෙනස් ඉල්ලා අස්විය. “යාළුවො ටිකම එකතුවෙලා චෙකොස්ලෝවැකියාව කපලා බන්දේසියෙ තියලා දේවි කියල කව්ද හිතුවෙ?” හිට්ලර් පැවසීය. ඔහුට උවමනා වී තිබුනේ ගිණිකෙළි සහිත යුද්ධයකි. එහෙත් ඒ හෝරාව තවමත් එලැඹී නැත. “ෂිහ්! අර මනුස්සය මට ප්‍රාග් නුවරට ඇතුල් වෙන්න තිබුන අවස්ථාව කෑව!” හිට්ලර් චෙම්බර්ලේන්ට එරෙහිව එසේ ගතු කීවේ සිය එස්. එස්. ආරක්ෂකයන් සමඟය. බ්‍රිතාන්‍යය අධිෂ්ඨානශීලී ලෙස ජර්මනියේ ව්‍යාප්තියට බාධා පමුණුවයි. සිය නැගෙනහිර ප්‍රතිපත්තිය නිදහස් ලෙස ක්‍රියාත්මක කිරීමට නම් කල් නොයවා බටහිර යුද්ධය අවසන් කල යුතු වගද ඔහු දැන් පසක් කොට ගත්තේය. හමුදාපති වොන් බ්රෝචිෂ්ට් ඊලඟ මාසයේ ගුඩේරියන් කැඳවූයේ ඔහු ජර්මන් හමුදාවේ ජංගමශීලී බල ඇණි වල ප්‍රධානියා ලෙස ඔහු පත් කොට ඇතිබව දැනුම් දීමටය. එහෙත් ගුඩේරියන් අකැමති විය. පැන්සර් බල ඇණි සෙසු හමුදා අංශ අතර විසුරුවා හැරීමට සෙනෙවි මණ්ඩලය තුල බලගතු කණ්ඩායමක් තවමත් තැත් කරති. එවන් උත්සාහයන් වැලැක්වීමෙහි ලා තරම් ප්‍රමාණවත් අධිකාරියක් නොමැතිව නව තනතුර භාර ගැනීම නිශ්ඵලය. “ඕක මට කියල වැඩක් නැහැ. පත්වීම කරල තියෙන්නෙ බර්ලින් වලින්. නරකද නායකතුමා එක්කම කතා කරල බැළුවොත්?” කී හමුදාපති ඔහු හිට්ලර් වෙත යැවීය. පුරා විනාඩි විස්සක් ගුඩේරියන්ට සවන් දුන් හිට්ලර් ජර්මන් යන්ත්‍රික යුද ශිල්පය මෙහෙයවීමේ හා ප්‍රතිපත්ති සැකසීමේ පුළුල් බලතල ලබා දීමට පොරොන්දු විය. කිසිවෙකු හෝ ඔහුගේ වැඩ පිළිවෙලට බාධා කරන බවක් හැඟේ නම් වහාම ඒ පිළිබඳ තමාට වාර්තා කල යුතුය. “අපි දෙන්නා එකතු වෙලා කල යුතු දේ ගැන ඉතා හොඳින් හොයා බලමු. ඒ නිසා මේ නව තනතුර භාර ගන්න කියලා මම තමුසෙට අණ කරනවා. ඉස්සරහට අපට හුඟක් වැඩ තියනවා කරන්න.” ගුඩේරියන් ද කැමති විය...

thumb|වම|කිහිපයකින් සෑහීමකට පත්වීමට සිදු විය (03.10.1938). thumb|මධ්‍යය|මියුනික් සම්මේලනය (වමේ සිට) මුසෝලිනි, හිට්ලර්, ඩයිඩ්ලර් හා චැම්බර්ලේන් (30.09.1938) thumb|දකුණ|රිබන්ට්‍රොප් හා හිට්ලර් සමඟ මුසෝලිනි

ලෝක ඉතිහාසයේ 'ව්‍යවස්ථාදායක කුමන්ත්‍රණ' - ජර්මනිය 1932


(මෙම ලිපිය දැනට මුද්‍රණයේ පවතින 'අහිමි රජ දහන' නම් කෘතියේ 3 වන පරිච්ඡෙදයේ සංක්ෂිප්තයකි. මෙය පළ කරනු ලබන්නේ රටේ පවතින තත්වයට සාපේක්ෂව තිබිය හැකි අදාලත්වය සැලකිල්ලට ගනිමින් ලෝක දේශපාලනය තුල ව්‍යවස්ථාදායක අර්බුදයන් ඇතිවීම පිළිබඳ උදාහරණයක් ලෙස විනා කිසිදු පුද්ගල චරිතයක් හෝ ජනවර්ගයක් සඳහා උපමාවක් හෝ ආදේශකයක් ලෙස සලකා නොවන බවද වෙසෙසින් සැලකුව මැනවි ) ...ජර්මනියේ දේශපාලන තත්වය සැලකිල්ලට ගත් රුසියානුවෝ ජුලි 25 දින කලින් පොදු සතුරා ලෙස සැලකුන පෝලන්තය සමඟ ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹුනහ. ඔවුන්ගේ සැකය සනාථ කරමින් දින හයකට අනතුරුව එලැඹි මැතිවරණයෙන් නාසි පක්ෂයට ආසන 230 ක් ම හිමි විය. මෙය බහුතර රජයක් පිහිටුවීම සඳහා ප්රමාණවත් නුවුවද, පාර්ලිමේන්තුවේ දැන් වැඩිම බලය හිමිවූයේ ජාතික සමාජවාදීන්ටයි. රජයක් පිහිටුවීමේ අදහස එතැකින් අත් නොහල පැපේන් තමා යටතේ උප චාන්ස්ලර් පදවිය භාරගෙන රජයක් පිහිටුවීමට යෝජනා කලද හිට්ලර් නොවේ ඊට කැමති වූයේ. චාන්ස්ලර් පුටුවෙන් මෙපිට කිසිවක් ඔහුට ඔට්ටු නැත. “මොනවා? හොඳට හිටී ඔය බොහිමියන් කෝප්රල්ට චාන්ස්ලර් පදවිය දුන්නොත්. මේ ඊයෙ පෙරේදා උඩින් පහත් උන විනයක් නැති පක්ෂයකට රටක් භාර දෙන්න පුළුවන්ද?” මේ වග ඇසූ හින්ඩන්බර්ග් ගිගුරුවේය. පසු දා සවස හිට්ලර්ට නැවතත් ජනාධිපති මන්දිරයට කැඳවීමක් ලැබිණ. මෙවර ඔහු සමඟ එහි ගියේ කපිතන් රොම් හා හිටපු පොලිස් නායකයකු වූ විල්හෙල්ම් ෆ්රික්ය. චාන්ස්ලර් පැපේන් හා ආරක්ෂක ඇමැති හා පුරෝහිත ජනරාල්-මේජර් ශ්ලයිකර් ද එහි වූහ. සැරයටියට බරදී හිටගත් අසූ පස් හැවිරිදි හින්ඩන්බර්ග් පලකලේ විහිළු කල හැකි මනෝ භාවයක් නොවේ. අවස්ථාවේ ස්වාමියා කවරැක්දයි හේ නොවලහා පල කලේය. “හර් හිට්ලර්, මට අහන්න තියෙන්නෙ එක දෙයයි. හර් වොන් පැපේන්ගෙ කැබිනෙට්ටුවකට සහාය දෙන්න ඔබ කැමතිද?” “පවතින රජයට සහාය දීමක් ගැන කතා කිරීමේ තේරුමක් නැහැ උතුමාණෙනි. මම ඉල්ලන්නෙ ජාතික සමාජවාදී ව්යාපාරයේ වැදගත් කම ගැන සැලකිල්ලට ගෙන සම්පූර්ණ රාජ්ය බලය මගේ පක්ෂයට පවරන්න කියලයි.” හිට්ලර් කීය. “මගේ පැහැදිලි පිළිතුර බැහැ කියන එකයි. වෙනස් මත නොඉවසන පක්ෂයකට බලය පැවරීම මට දෙවියන් ඉදිරියේ වගේම මගේ හෘදය සාක්ෂිය හමුවේත් සාධාරණීකරණය කරන්න බැහැ. තව හේතු තියනව රට ඇතුලෙ නීතිය හා සාමය පවත්වගෙන යාමේ ගැටළුව හා විදේශ සබඳතා වලට වෙන බලපෑම වගේ දේවල්. ඒව ඔක්කොම මම මෙතෙන්දි විස්තර කරන්න යන්නෙ නැහැ.” “වෙනත් විසඳුමක් ගැන සලකා බලන්න නම් මටත් අමාරුයි.” “ඒ කියන්නෙ ඔබ විපක්ෂයට යනවා?” ජනාධිපතිගේ ඇහි බැම හැකිලේ. “වෙන විකල්පයක් මට ඉතුරු වෙලා නැහැ.” කෝප්රල් ගෙන් පලවූ අවිනීත සෘජු බවත් ගරුසරු නැති ආකල්පයත් විසින් කුප්පනු ලැබූ හින්ඩන්බර්ග් වඩාත් ගැඹුරින් කරුණු කාරණා පැහැදිලි කිරීමට වන. පොලිසිය සමඟ ඇති කොටගන්නා නිරන්තර ගැටුම්, වෙනස් මතධාරීන්ට කෙරෙන බලපෑම් හා යුදෙව්වන්ට කෙරෙන හිංසා පීඩා තුලින් නාසි පක්ෂය තුල විනයක් නැති පිරිස් සිටිනා බව නොවේද? විදෙස් රටවල් හා ගැටුම් ඇති කොට ගත නොහේ. එහෙයින් හොඳම දෙය වන්නේ සම්පූර්ණ බලය ඉල්ලා සිටීමෙන් වැලකී සෙසු පක්ෂ සමඟ එකව කටයුතු කිරීමයි. හින්ඩන්බර්ග් යෝජනා කරන්නේ පරිවාස කාල සීමාවක් බව වටහා ගැනීමට හිට්ලර්ට අපහසු නොවීය. එවැන්නක් සලකා බැලීමට හෝ ඔහු සූදානම් නැත. චාන්ස්ලර් පදවිය හිට්ලර්ට පැවරීම ජනාධිපති විසින් ප්රතික්ෂෙප කල බවත් වඩාත් වගකීමකින් යුතුව විපක්ෂයේ සිට කටයුතු කරන ලෙස වැඩිදුරටත් අවවාද කල බවත් පසුදා පුවත් පත් වල පළවී තිබිණ. කොන්සර්වේටිව් වරු විසින් හිතා මතාම හිට්ලර්ට එල්ල කලේ යැයි සිතිය හැකි එම සමච්චලය තුලින් පැපේන් රජයේ අවසන් ඉරණම තීන්දු විය. එන පොට හොඳ නැති බව වටහාගත් (කොන්සර්වේටිව් චාන්ස්ලර්) පැපේන් සැප්තැම්බර් 12 දා පාර්ලිමෙන්තුවට පැමිණියේ ජනාධිපති ලවා අත්සන් කරවා ගත් විසුරුවා හැරීමේ ආඥාවක්ද අතැතිවය. සැසිය ආරම්භයේ ජාතික සමාජවාදීහූ විශ්වාස භංග යෝජනාවක් සභාගත කොට චාන්ස්ලර්ට හදි කිරීමට කතිකා කොට ගත්හ. වහා නැඟී සිටි චාන්ස්ලර් පැපේන් පාර්ලිමේන්තුව විසුරුවා හරින බව කියා සිටියද කථානායක තැන්පත් හර්මන් ගෝරින් කපිතන් තැන ඒ වගක් නෑසුන විලසින් විශ්වාස භංගය සඳහා ඡන්ද විමසීම කැඳවීය. සභිකයන් 512ක් අතරින් පැපේන්ට විශ්වාසය පල කලේ 42 ක් පමණි. තම මේසය කොනක වූ විසුරුවීමේ ආඥාව කියැවීමට ඉන් අනතුරුව ගෝරින්ට ඉස්පාසුවක් ලැබිණ. රජය පරාජය වී ඇති හෙයින් එය දැන් ඵලක් නැති ලියැවිල්ලක් යැයි හේ කියා සිටියේය. විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවක් විසින් ප්රකාශ කරන ලද ඡන්දයක් වලංගු නොවන බවට කෑගසමින් කෝපයෙන් රතුවූ පැපේන් සභා ගැබෙන් පිටවිය. නීතිමය අර්ථකථනය කුමක් වුවද යථාර්ථය වූයේ වසරක් තුල සිවු වන වතාවටත් මහ මැතිවරණයක් කැඳවීමට සිදුවූ බවයි. ජර්මනියේ විරැකියාව මේ වනවිට පණස් එක් ලක්ෂයකි. “තවත් ඡන්දයක්! මට පේන විදියට මේකෙ ඉවරයක් නැහැ. සතුරො බලා ඉන්නෙ අපි හති වැටෙන කම්…” සන්තාපයට පත් ගොබ්ල්ස් දිනපොතේ සටහන් කළේය. සාර්ථක ප්රචාරක ව්යාපාරයක් මෙහෙයවීමේ රඟ දන්නේ ඔහුය. සුපුරුදු පරිදි ගුවන්ගතවූ ‘පියාසලන හිට්ලර්’ රට පුරා රැස්වීම් 50ක් ඇමතීය. විටෙක ජීවිතයේ අතීත සිද්ධීන් යලි පිටපත්වේ. බොහෝ විට ඒවා අමිහිරි අත්දැකීම්ය. ඡන්දයට දින පහකට පෙර ඊවා බ්රෝ න් සිය පියාගේ පිතෝලයෙන් ලයට වෙඩිතබා ගත්තාය. කලට වෙලාවට වෛද්යර ප්රගතිකාර ලැබීම නිසා ඇගේ ජීවිතය ගැලවිණ. සිද්ධිය ඇසූ හිට්ලර් පැය කිහිපයකට ඡන්ද ප්රචාරක ව්යාපාරයෙන් ගැලවී මල්පොකුරක් ද රැගෙන ලහි ලහියේ රෝහලට ගියේ තම ඡායාරූප ශිල්පියා හා ඇගේ හාම්පුතා වූ හයින්රිච් හොෆ්මන් ද සමඟිනි. ඇගේ සුවදුක් බැලීමෙන් අනතුරුව ඔහුට දිවි තොරකොර ගැනීමට ඈ දැරූ වෑයමේ සැබෑ පසුබිම පිළිබඳ කරුණු පැහැදිලි කොටගැනීමෙහි ලා උවමනා විය. ලෙඩා භාරව සිටි ශල්‍ය වෛද්ය්වරයා හොෆ්මන්ගේ මස්සිනාය. අනූ නවයෙන් ඇගේ දිවි ගලවාගත් අන්දම විස්තර කල සැත්කම් වෙදා ගේ අදහස වූයේ නායක තුමා විසින් නොසලකා හරිනු ලැබ ඇතැයි යන හැඟීමෙන් ඈ වෙඩි තබාගන්නට ඇතැයි තමාට හැඟෙන බවයි. ඒ ඇසූ හිට්ලර් කල්පනා බරවිය. “හොෆ්මන්, ඔන්න තමුසෙට පේනව නේද? ඈ මම හන්ද පණ නහගන්න හැදුවට මම ඈ වෙනුවෙන් කරපු දෙයක් නැහැ. සත්තකින්ම ඈ ගැන මීට වඩා හොයල බලන්න වටිනවා,” ආපසු එන අතරතුර ඔහු ඡායාරූප ශිල්පියාට කීය. ගෙලීගේ මරණයෙන් පසු තවත් එවැනිම ලෝකාපවාදයකට මුහුන දීමේ තත්වයක ඔහු සිටියේද නැත. මැතිවරණ ක්‍රීඩා වලින් හෙම්බත්වූ මහජනයාගේ අඩු සහභාගීත්වයෙන් පැවති ඡන්දය සිතූ තරම් නාසි පක්ෂයට යහපත් වූයේ නැත. ඔවුන්ගේ පාර්ලිමේන්තු නියෝජනය ආසන 196 දක්වා පහත වැටුන අතර සියළු දෙනාගේ නොසන්සුන් බවට හේතුවූයේ කරවමින් කොමියුනිස්ට් වරු මන්ත්රීට ධුර 100ක් දිනා ගැනීමයි. මෙය ජාතික සමාජවාදීන්ට පමණක් නොව කොන්සර්වේටිව්වරු ප්රමුඛ සමස්ථ ජර්මන් දක්ෂිණාංශය වෙත කෙරුන අනතුරු හැඟවීමකි. කෙසේ වුවද නාසි පක්ෂයේ සහායෙන් තොරව තවමත් කිසිවෙකුට ආණ්ඩු පිහිටවිය හැකි නොවේ. පැපේන් යලිත් අලි අමාරුවක වැටුනේය. තමාට රජයක් පිහිටුවිය නොහැකි බව පැපේන් ජනාධිපති හමුවේ කියා සිටි බව හිට්ලර්ට සැලවූයේ නොවැම්බර් 17 වැනිදා සවසය. “කෝ මේ ගෝරින්?” හේ මොර දුන්නේය. ගෝරින් සිටියේ රෝමයේ රජබොජුන් මඟුලක මුසෝලිනි හා හරි හරියට සවුදිය පුරමිනි. උත්සවයේ ආරාධිත ගරු අමුත්තා ලෙස ඔහු ෆැසිසිට් ආඥාදායකයාට යාබද අසුනේ හිඳ සිටියේය. සිද්ධිය ඇසූ හේ ‘ජර්මන් ෆැසිස්ට් ව්යාපාරයේ නාමයෙන්’ තමාට හැකි ඉක්මනින් සියරට බලා යාමට උපකාර කරන මෙන් මුසෝලිනිගෙන් ඉල්ලා සිටියේය. ඊලඟ පියාසැරිය මඟ නොහැරෙනු පිණිස මුසොලිනි විසින් සූදානම් කල විශේෂ ගුවන් යානයකිනි ඔහු වැනිසියට යැවුනේ. හපැයකින් ගෝරින් බර්ලිනයට සේන්දු විය. 1929 හිට්ලර් සමඟ යන්ග් සැලසුමට එරෙහිව හවුලේ උද්ඝෝෂණ මෙහෙයවා පාඩම් උගෙන සිටි මහා ව්‍යාපාරික ඇල්ෆ්රඑඩ් හියුජන්බර්ග් එදින සවස ජනාධිපති බැහැ දුටුවේය. ඔහුගේ ජාතිකවාදී පක්ෂය සතුව තිබුනේ ආසන 52ක් පමණක් වුවද, දෙදෙනා හොඳ මිතුරෝ වූහ. “මට පේන විදියට හිට්ලර්ට නායකත්වය බාර දෙන්න බැරි හේතුව තමයි මිනිහ වැඩ කරන විදියට හැමදේම අවුල් වෙනව.” කෝටිපති පුවත් ඒජන්සි හිමියා කීවේ දෙවුර සලමිනි. “හරියට හරි යාළුවා,” හින්ඩන්බර්ග් එකඟ විය. “බිස්මාර්ක්ගෙ පුටුවෙ පින්තාරු බාස් කෙනෙක් වාඩි කරවන්න බැහැ.” පසුවදා හිට්ලර්ට නැවත ජනපති මැදුරට කැඳවීමක් ලැබිණ. වෙනස වූයේ මෙවර හින්ඩන්බර්ග් ‘පින්තාරු බාස්’ට හිඳ ගැනීමට අසුනක් පැණවීමයි. එපමණක් නොව පුරා පැයක් ඔහු හිට්ලර්ගේ හෑල්ලට ඉවසීමෙන් සවන් දුන්නේය. සාමාන්යි පංතියෙන් පැමිණි මේ මිනිසා හිතූ තරම් ලේසිපාසු චරිතයක් නොවන බව ඔහුට ද දැන් හැඟේ. පැපේන් යටතේ උප චාන්ස්ලර් පදවිය ලබා දී තම ‘සිටුවර’ කැබිනෙට්ටුවට නාසි නායකයාගේ සහාය ලබාගැනීමට මහල්ලා සමත් නොවීය. කිසිදු අණ පණතක් තවදුරටත් පාර්මේන්තුවේ සම්මත කොට ගත නොහැකි වාතාවරණයක් උදාවූයෙන් පාලනය පවත්වාගෙන යාම පැපේන්ට දැන් වඩාත් අසීරුය. රට තුල යුද නීතිය පණවා මාස කිහිපයක් ජනාධිපති ආඥාවකින් රට කරවීමට ඔහු සිතුවේ එහෙයිනි. එහෙත් ආරක්ෂක ඇමති ශ්ලයිකර් ඊට එරෙහි විය. “ඕකෙන් වෙන්නෙ රටේ සිවිල් යුද්ධයක් ඇති වෙන එකයි. එහෙම තත්වයක් ආවොත් හිට්ලර්ගෙ මිලිෂියා කණ්ඩායම් වල මුළු බලය එක්ක හැපෙන්න දැන් හමුදාව පුළුවන්ද කියන එක සැක සහිතයි. ඔබතුමාට බැරිනම් චාන්ස්ලර් පදවිය මටදෙන්න. බහුතරය ගන්න මට පුළුවන්. ” ශ්ලයිකර් ගේ බස් අසා බෙහෙවින් මහළු හින්ඩන්බර්ග් බෙහෙවින් කලබල විය. “සමාවෙන්න හර් වොන් පැපේන්. මම ලෙඩෙක්. මෙ වයසෙදි සිවිල් යුද්ධයකට මුහුණ දෙන්න හයියක් හත්තියක් නම් මට ඇත්තෙ නැහැ. දෙවියන්ගෙ නාමෙට හර් වොන් ශ්ලකර්ට තමන්ගෙ වාසනාව උරගා බලන්න ඉඩ දෙන්න.” තම දීර්ඝ උත්සාහය මල් ඵලගන්වමින් චාන්ස්ලර් ධුරයට පත් කරනු ලැබූ ශ්ලයිකර්ගේ උපාය වූයේ හිට්ලර් නම්මා ගත නොහැකි නම් නාසි පක්ෂය දෙකඩ කොට ඔහුගේ ප්රතිවාදී චරිත ආකර්ෂණය කොට ගැනීමයි. ශ්ලයිකර් ගේ රජයකට සහාය විය යුතු බවට (නාසි පක්ෂයේ වාමාංශික පිලේ නායක) ග්‍රෙගෝ ස්ට්රැසර් ඒ වනවිට විටත් මතවාදයක් ගොඩ නඟමින් සිටියේය. ඔහුගේ චෝදනාව වූයේ චාන්ස්ලර් ධුරය තමාට ලබා ගැනීමේ පටු අරමුණ වෙනුවෙන් ප්රමාණවත් දේශපාලන බලයක් ලබා ගැනීමෙහිලා පක්ෂයට ඇති සියළු අවස්ථා හිට්ලර් අවහිර කරමින් සිටින බවයි. වාමවාදී කල්ලියෙන් ප්රමාණවත් නාසි නියෝජිතයන් පිරිසක් (80 ක්) සමඟ එක්වන්නේ නම් තමා යටතේ ස්ට්රැීසර්ට උප චාන්ස්ලර් පදවිය ලබා දෙන බවට ශ්ලයිකර් පොරොන්දු වූ බවට නොබෝ දිනකින්ම තැන තැන කසුකුසුවක් ඇසිණ. සියළුම වාමාංශිකයන් මෙන් ස්ට්රැේසර්ද ද්රෝහියෙක් බවද ශ්ලයිකර් හා එක්වී තමාගේ පිටුපසට පිහියෙන් අනින බවත් කියමින් මහා කළහයකට මුල පිරූ හිට්ලර් පක්ෂය දෙකඩ වුවහොත් තමා වෙඩි තබාගෙන මිය යන බවට තර්ජනය කළේය. සෙස්සෝ ස්ට්රැසර්ට එරෙහිව නැගී සිටියහ. “උද්දච්ච ගෝරින්ට තමට සෙතක් වෙනව නම් රටට හෙන ගැහුවත් කාරි නෑ; නොන්ඩි ගොබ්ල්ස්ට දිව දෙකයි. රොම් ඌරෙක්. ඔන්න වගේ උපදේශකයො ටිකක් තමයි නායකතුමාගෙ වටේ ඉන්නෙ!” තමා දැරූ සියළු නිල තල වලින් ඉල්ලා අස් වෙමින් ස්ට්රැසර් කීවේලු. පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වීමට ශ්ලයිකර් තුලවූ එකම අපේක්ෂාවද ඒ සමඟ බොඳවී ගියේය. ජනරාල් මේජර් ශ්ලයිකර් එතැකින් අධෛර්යයට පත් නොවීය. පාර්ලිමේන්තුවේ සහය ලබා ගත නොහැකි නම් රට තුල ශක්තිමත් පදනමක් ගොඩනඟ ගැනීමට සිතූ හේ රැකියා අවස්ථා ඇතිකිරීමේ නව ව්යාතපෘති පවා සැලසුම් කළේය. එසේ වුවද ඔහුගේ බදු පිළිවෙත වැවිලි කරුවන්ගේ අමනාපයට හේතු වූ අතර ඇතැම් ගොවි අණ පණත් අහෝසි කිරීම ඉඩම් හිමියන් ගේ කෝපයට හේතුවිය. මෑත කාලයේ සිදුවූ බවට චෝදනා නැඟුන මහා පරිමාණයේ දූෂණ පිළිබද ලිපි ගොනු හාරා ඇවිස්සීමට ශ්ලයිකර් ගත් උත්සාහය ඉහල පන්තියේ ඇතමුන් තුල ඇති කලේ චකිතයකි. 1933 ජනවාරි 31 දින රැස්වීමට නියමිතව තිබූ පළමු සභා සැසියෙන් එපිට ආයුෂ ඔහුගේ රජයට නොමැති බව හිට්ලර් හා හිටපු චාන්ස්ලර් පැපේන් ද මැනෙවින් දුටූහ. නව වසරේ ඔවුනතර රහස් සාකච්ඡා කිහිපයක්ම ඇතිවූයේ දේශපාලනයේ සදාකාලික සතුරන් හෝ මිතුරන් නැති බව යළි සිහිපත් කොට දෙමිනි. තීරණාත්මක හමුව සිදුවූයේ ජනවාරි 19 දා පැපේන්ගේ මිතුරෙකු මෙන්ම නාසි පාක්ෂිකයෙකු වූ ජෝකින් වොන් රිබන්ට්රොප් නැමති ධනවත් වයින් වෙළෙන්දාගේ නිවසේදීය. විශේෂත්වය වූයේ ජනාධිපතිගේ පුත් කල්නල් ඔස්කා වොන් හින්ඩන්බර්ග්ද එහි දක්නට ලැබීමයි. හිට්ලර් පැමිණ සිටියේ ගෝරින් හා ෆ්රික් සමඟය. සාකච්ඡා අගේට සිදු විය. ජනාධිපතිගේ පුතාට යසට කරුණු පැහැදිලි කල ගෝරින් සෙසු දක්ෂිණාංශික පක්ෂ වලද සහභාගීත්වයෙන් ඇති කෙරෙන ජාතික පදනමක රජයක් දැකීමට ෆීල්ඩ්-මාෂල් තුමා තුලවූ කැමැත්ත මෙහිදී යලි සිහිපත් කල අතර තමා පෞද්ගලිකව හියුජන්බර්ග් හා ඒ ගැන සාකච්ඡා කරන බව එතුමාට දැනුම් දෙන මෙන් ඉල්ලා සිටියේය. අනතුරුව හිට්ලර් හා ඔස්කාර් අතර වැසුන දොර පියන් තුල කෙරුන කතා බහකි. එහි කුමක් කතබහ වී දැයි දෙවියෝ දත්හ. දැනගැනීමෙහි ලා අවශ්යදතාවක් ද නුවූයේ ප්‍රතිපලයද එතරම්ම පැහැදිලි නිසාය. කාමරයෙන් එලියට බට මොහොතේ පටන් ජනාධිපතිගේ පුතා හැමවිටම හිට්ලර්ගේ පැත්ත ගත් බව පැපේන්ට ද නොපෙනී නොගියේය. එහෙම නැතුව පුළුවන්ද? සිය පියාගේ අසූවන ජන්ම දිනය වෙනුවෙන් නැගෙනහිර ප්රසියාවේ ජුන්කර් වරු විසින් තෑගි කරනු ලැබ තමාගේ නමින් ලියාපදිංචි කෙරුන ඉඩම් අක්කර 5000 සඳහා ඔස්කාර් වොන් හින්ඩන්බර්ග් එක මාර්ක් කාසියක් හෝ මේ දක්වා බදු වශයෙන් ගෙවා නොමැත. හිට්ලර්ගේ නොවෙනස් අවම ඉල්ලීම වූයේ චාන්ස්ලර් ධුරය ඇතුළු කැබිනට් තනතුරු දෙකකි. අභ්‍යන්තර ඇමති ලෙස මේ ඉන්න විල්හෙල්ම් ෆ්රික් පත් වනු ඇත. ඔහු හිටපු දේශපාලන පොලිස් නායකයෙකි. එතකොට අනිත් ඇමැතියා? සත්තකින්ම ඔව්, ඒ අන් කිසිවෙකු නොව කපිතාන් ගෝරින්ය. එය සාධාරණ හා පිළිගත හැකි විධි විධානයක් බවට පැපේන් පවා එකඟ විය. “නාසීන් රජය ඇතුලට ගන්න සිද්ද වෙනවා. ඒක වලක්වන්න බැහැ,” ආපසු යන අතරතුර ඔස්කාර් වොන් හින්ඩන්බර්ග් ජනාධිපති ලේකම්ට කල්පනා බරව කීවේය. ජනවාරි 27 වැනිදා චාන්සර් ශ්ලයිකර් කැඳවූ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු බහුතරය පැන්වීමට අපොහොසත්වී ඇති ඉල්ලා අස්වන ලෙස ඔහුට දැනුම් දුන්නේය. නව සැසිය සඳහා ඉතිරිව තිබුනේ තව දින 5කි. තාවකාලික වශයෙන් යුද නීතිය පණවා ජනාධිපති ආඥාවකින් පාලනය පවත්වා ගෙන යාමට ජනරාල්-මේජර් තැන කල ඉල්ලීම ද මහල්ලා ඉවත දැමීය. “ගිය මාසෙ පැපේන් ඕක කරන හදනකොට තමුන්ම නේද කිව්වෙ සිවිල් යුද්ධයක් ඇති වෙන්න පුළුවන් කියල?” පුරෝහිතයාගේ සැබෑ ස්වරූපය ඔහුට වැටහෙන්නේ දැන්ය. “මම කරන දේ හරිද කියල මම දන්නෙ නෑ ශ්ලයිකර්. නමුත් ඉක්මනටම දැන ගන්න පුළුවන් වෙයි එහෙදි,” හින්ඩන්බර්ග් ඉහලට අත දිගු කොට පෙන්වීය. “මම දැන් වල පයයි ගොඩ පයයි. ගන්න තීරණ ගැන ස්වර්ගයෙදි මට පසු තැවෙන්න බෑ.” ඉතා අකමැත්තෙන් චාන්ස්ලර් ධුරයෙන් ඉල්ලා අස්වීමට කර්ට් වොන් ශ්ලයිකර් ට සිදුවිය. හිට්ලර් යටතේ පැපේන් උප චාන්ස්ලර් ලෙස පත් කරනු හැර අන් විකල්පයක් නොමැති බව හින්ඩන්බර්ග්ට ඒ වනවිට අවබෝධ වී තිබිණ. ජනවාරි 29 දා සවස හිට්ලර් පුල පුලා සිටි ඒ ආනන්දජනක පුවත අසන්නට ලැබිණ. තවත් සගයන් කිහිප දෙනෙකු සමඟ කයිසර්හෝෆ් හෝටලයටවී ඔහු කජු කේක් ගිල දමමින් උණු කෝපි බොමින් සිටියදී හති හලමින් එහි කඩා වැදුන ගෝරින් පසුවදාට නායකතුමා චාන්ලසර් වශයෙන් දිවුරුම් දීමට නියමිත බවට සැලකොට සිටියේය. සැබවින්ම එහි කීර්තිය අත් විය යුත්තේද ගෝරින්ටය. ඔහුගෙන් පලවූ රාජ්ය තාන්ත්රික භාවය පෞරුෂය හා පක්ෂපාතීත්වය නොවන්නට එය වඩාත් අසීරු අරගලයක් වනු ඇති බව ගොබ්ල්ස් පවා පිළිගත් කරුණකි. “ළමයෙකුගේ හදවතක් සහිත ඒ සෘජු සොල්දාදුවා හැම විටම තමාගේ වගකීමට අවංක උනා. ඒ පුවත ගේන්න ඔහුට වඩා සුදුස්සෙක් වෙන නැහැ.” හේ දිනපොතේ ලිවීය. මේ අතර ජනාධිපතිවරයා ජීවග්රහයෙන් ප්රසියාවට ගෙන ගොස් බලාත්කාරයෙන් ආඥාවක් ලබා ගැනීමේ සැලැස්මක් ආරක්ෂක ඇමති ශ්ලයිකර් තුල ඇතැයි කථාවක් පැතිරිණ. මෙය හින්ඩන්බර්ග් ගේ කණේ තැබුවේ පැපේන්ය. පෙණහළු පිළිකාව සමඟ අසීරු සටනක නියැලී සිටි මහල්ලා ඒ අසා නොසෑහෙන කලබල විය. තමා මෙහිදී ගන්නා හෝ නොගන්නා තීරණය ගැනද වැඩිකල් නොගොස්ම දෙවියන්ට වග උත්තර බැඳීමට සිදුවන බව හේ දනී. එකෙනෙහිම ජිනීවා නුවරට පණිවිඩයක් යැවූ ජනාධිපති වරයා එහි ජර්මනිය වෙනුවෙන් නිරායුධකරණ සමුළුව නියෝජනය කරමින් සිටි කල්නල්-ජනරාල් වර්නර් වොන් බ්ලොම්බර්ග්ට වහා කැඳවා ඔහු නව ආරක්ෂක ඇමති ධුරයට පත් කලේය. ශ්ලයිකර්ගේ පරම සතුරාවූ බ්ලොම්බර්ග්ට හමුදාව අවනතය. 1933 ජනවාරි 30 දා උදෑසන පැපේන් ගේ නිවසට හිට්ලර් සැපත් වූයේ තම පිරිවර සමඟය. හියුජන්බර්ග් ඇතුළු කැබිනෙට්ටුවේ සෙසු සාමාජිකයෝද එහි වූහ. අල්ලපු වත්තේ වූ ජනාධිපති මන්දිරයට යන විට මද්දාහන දොලහ පසුවී තිබිණ. පාක්ෂිකයෝ ගොඩනැගිල්ල අවට වීථිවල දහස් ගණනින් රැස් කති. පැපේන් විසින් කෙරුන නිළ හඳුන්වාදීමෙන් අනතුරුව ‘වයිමාර්’ ජනරජයේ 15 වන චාන්ස්ලර්වරයා ලෙස ජනාධිපති හමුවේ දිවුරුම් දුන් හිටපු හමුදා කෝප්රල් ඇඩොල්ෆ් හිට්ලර් තමා ව්යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටින බවත් ස්ථාවර පාලනයක් පවත්වාගෙන යාම සඳහා හැකි සෑම පියවරක්ම ගන්නා බවත් කියා සිටියේය. උප චාන්සර් හා ප්රසියාවේ සභාපති ලෙස පැපේන් පත්වූ අතර ගෝරින් හා ෆ්රික් හින්ඩන්බර්ගේ ප්රභූ ඇමති මණ්ඩලයට එක්වූ දුඹුරු සිටුවරුන් දෙදෙනාය. හිට්ලර්ගේ පැරණි අනුග්‍රාහකයා වූ ෆ්රාන්ස් ගුට්නර් අධිකරණ තවදුරටත් ඇමති ධුරය දරයි. බර්ලිනය පෙර නොවිරූ උත්සව ශ්‍රීයකින් අලැලී ගියාක් මෙනි. එස්. ඒ. භටයෝ 25000 ක් බ්රැන්ඩන්බර්ග් පිවිසුම හරහා පෙරෙට්ටුවේ ගියහ. නගරය දුඹුරු ස්වස්තික ධජ වලින් වැසී ඇත. ආධාර කරුවෝ ප්රීතී ඝෝෂා පවත්වති. ඔස්ට්රි යාවේ උපත ලබා තරුණ වියේ වියානා නුවර රස්තියාදු වූ සුළු රේගු මුළාදෑණියකුගේ පුතෙක් ප්රභූ පැලැන්තියේ බූදලයක් වූ ජර්මන් චාන්ස්ලර් පුටුවේ හිඳ සිටියේය. මැදහත් විචාරකයන් බොහෝ දෙනා නොනැඟූ පැනය වූයේ මහජන චාන්ස්ලර් හා සිටුවර කැබිනෙට්ටුව අතර මේ අපූරු බන්ධනය කොතෙක් කල් අල්ලා සිටිනු ඇත්දැයි යන්නයි... පසු සටහන: දේශපාලනයේ සදාකාලික සතුරන් හෝ මිතුරන් නැත (C) Chamara Siriwardene

හිට්ලර් නම් නපුරු පාලකයා (1938-1939)

ඉල්ලා සිටි දොල පිදේනිය පුදා ඇති බැවින් දැන් හිට්ලර් අඩු තරමින් කාලයට හෝ නිහඬ වනු ඇතැයි සිතමින් බ්‍රිතාන්‍ය අගමැති චෙම්බර්ලේන් මියුනික් සමුළුව නිමවා පෙරලා පැමිණීයේ සතුටු සිතිනි. එහෙත් ලන්ඩනයේ ඔහුගේ දේශපාලන ප්‍රතිවාදියා වූ අද්මිරාල්තියේ ප්‍රථම සාමි වින්ස්ටන්ට් චර්චිල් ගේ විශ්වාසය වූයේ එම ‘කාලය’ අතිශය කෙටි විරාමයක් වනු ඇති බවයි. සිය ‘සන්නාහ ආවරණය’ වූ කඳුකර සුදේතන්ලන්තය අහිමි චෙකොස්ලෝවැකියාවට දැන් ඉතිරි වූයේ ‘මදය’ වූ බොහිමියාව හා මොරේවියාව ත් ෆෙඩරල් රාජ්‍යයක් තවදුරටත් සන්ධානගතව සිටි ‘වලිගය’ වූ ස්ලෝවැකියාවේ කොටසකුත් පමණි. චෙකෝ-ස්ලෝවැකියාව ලෙස ලෙස යලි නම් කෙරුනේ චෙක් පාලනය යටතේ ශේෂ වූ මෙම බිම් කොටසටය. දෙදිනක් සුදේතන්ලන්තයේ ජර්මන් හමුදා වාඩිලා ගැනීම පිරික්සූ හිට්ලර් ‘මදය’ වූ චෙක් ප්‍රදේශ අත්පත් කොට ගැනීමට සුදෙතන්ලන්තයේ සිටින ජර්මන් හමුදාවට අතිරේක බලඇණි කොපමණ අවශ්‍ය වේදැයි මහ සෙනෙවි මණ්ඩල ප්‍රධානී ජනරාල්ෆීල්ඩ්මාෂල් විල්හෙල්ම් කයිටල් ගෙන් විමසා සිටියේ නිකමට මෙනි. කයිටල් ගේ මතය වූයේ දැනට යොදවා සිටින ජර්මන් ඩිවිෂන 24 ඒ සඳහා හොඳටම ‍ප්‍රමාණවත් බවයි. එහෙත් ලෝක යුද්ධයක වැඩ ඇති හිට්ලර්ට අවාසනාවත් චෙකො-ස්ලෝවැකියාව මත්තේම නැසිය නොහේ. මරණාසන්න වර්සෙල්ස් ගිවිසුමේ එක් අවසන් රුධිර නාලයක් තවමත් ඉතිරිව ඇත. ඒ පළමු ලෝක යුද්ධයෙන් පසු නිදහස් නගරයක් ලෙස නම් කොට පෝලන්තයට පවරා දුන් ඩැන්සිග් වරායයි. ඔහුට දැන් වුවමනා කලේ සැබෑ යුද්ධයකි; “රයින්ලන්තෙ ඔස්ට්රියයාවෙ චෙකොස්ලෝවැකියාවෙ වගේ ‘රෝස මල්’ යුද්ධ වලින් වෙන්නෙ හමුදාවෙ හැකියාවන් මොට වෙන එක විතරයි. යුද්ධයක් උනාම ලේ වැගිරෙන්න ඕන; ලබන ජයග්‍රනයක උනත් වටිනකමක් තියෙන්නෙ අන්න එතකොටයි... ” හිට්ලර් කයිටල්ට කීවේය. කලාකාමි හිට්ලර් නාට්‍යමය දර්ශන ප්‍රිය කරයි. මියුනික් සමුළුව පිළිබඳ කතා බහ රාජ්‍ය නායක මට්ටමෙන් සිදුවූ හෙයින් අපේක්ෂා කල තරම් සභාව හමුවේ දුව පැන රඟ දැක්වීමට අවස්ථාවක් හිමිනොවීම විදේශ ඇමති රිබන්ට්‍රොප් ගේ බලවත් සිත් වේදනාවට හේතු විය. එහෙත් නායක තුමාට අවශ්‍යව ව ඇත්තේ යුද්ධයක් බව ඔහුට යසට වැටහිණ. හිට්ලර්ගේ හොඳහිත සිය හිත සුව පිණිසම හේතුවන බව නුවනැති රිබන්ට්‍රොප් දනී. මෑත දී පක්ෂයට එක්වී ඉහලම තනතුරක් ලද ඔහුට සතුරෝ ද බොහෝ වෙත්. එහෙයින් තම කාරිය විය යුත්තේ හිට්ලර්ට අවැසි අන්දමේ යුද්ධයක් ලබා දීම මිස එය වැලැක්වීම නොවන වගද හේ අවබෝධ කොට ගත්තේය. ඔක්තෝබර් 24 වෙනිදා ඔහු පෝලන්ත තානාපතිට දහවල් කෑමට ආරාධනා කලේ මේ වග දැඩිව සිත් තබාගෙන විය යුතුය. ආ ගිය තොරතුරු කථාවෙන් පසු ඔහු කෙලින්ම කාරණයට බැස්සේය. මෙම හමුව අතිශය රහසිගත විය යුතු යැයි රිබන්ට්රොෙප් මුලදීම අවධාරණයය කොට සිටියේය ; වර්සෙල්ස් ගිවිසුම මගින් ‘නිදහස් නගරයක්’ ලෙස ප්‍රකාශයට පත් කෙරුන ඩැන්සිග් වරාය පිළිබඳ පෝලන්තය හා අදහස් හුවමාරු කිරීමට ජර්මනිය අපේක්ෂා කරයි. නැගෙනහිර ප්‍රසියාව දක්වා ජර්මනිය තනන අනාගත මහා මාර්ගය හා ද්විත්ව දුම්රිය මාර්ගය දිව යනු ඇත්තේ මේ ඩැන්සිගය හරහාය. මේ වෙනුවෙන් ඉදිරි විසි අවුරුද්ද සඳහා පෝලන්තයේ දේශසීමාව සහතික කිරීමට ජර්මනිය එකඟ වේ. මේ කාරණාව පිළිබද ‘සිතා බලන’ මෙන් ජර්මන් රජය පෝලන්තයෙන් ඉල්ලා සිටී. සියල්ල සාවධානව අසා සිටි පෝලන්ත තානාපතියා හොඳ හැටි කා බී පණිවුඩය වොර්සෝ අගනුවරට යවන බවට පොරොන්දු විය. පෝලන්ත විදේශ ඇමති කල්නල් ජෝසොෆ් බෙක් ඒ අසා බොහෝ කලබල විය. මොහු හිට්ලර්ගේ හිටපු ප්‍රධාන මාණ්ඩලික නිළධාරී ලුඩ්විග් බෙක් සමග පටලවා නොගත යුතුය. ජෝසොප් බෙක් පැවසුවේ ඩැන්සිග් වරාය ජර්මන් රයිකය තුල ඈඳා ගැනීමට කරන කවර හෝ තැතක් අර්බුදයකට තුඩු දිය හැකි බවයි. මේ ඇසූ රිබන්ට්‍රොප් බොහෝ කණගාටු විය. ‘වඩාත් හොඳින් සිතා බලන’ මෙන් අවවාද කලේය. ඉන් පසු ඇති වූයේ භයානක නිහඩතාවයකි. මෑත කාලයේ යුරෝපයේ ජර්මන් කල්කිරියාව යහපත් නොවන නිසා සිදුවූ බව කියවෙන සාකච්ඡාව වොර්සෝ රජයේ බොහෝ දෙනෙකුට එතරම් ඇල්ලුවේ නැත. 1939 ජනවාරියේ කල්නල් බෙක් තකහනියක් හිට්ලර් බැහැ දැකීමට ‘බර්ග්හොෆ්’ කඳුකර බංගලාවට පැමිනියේ හිතේ වූ කුකුස් දුරු කර ගැනීමටය. හිට්ලර් ඔහු සාදරයෙන් පිලිගත්තේය. සැප දුක විමසීය. මනාව සංග්‍රහ සත්කාර කලේය. පෝලන්ත ඇමතිතුමාගේ පැමිණීමට හේතුවූ ‘කිසියම් විශේෂ කරුණක්’ ඇත්දැයි පිළිවිසියේ ඉන් අනතුරුවය. වොර්සෝ රජයට ඩැන්සිග් නගරය ගැන කිසියම් කරුණු පැහැදිලි කර ගැනීමක් ඕනෑ වී ඇතැයි ජෝසොෆ් බෙක් සැල කලේය . “ඩැන්සිග් කියන්නෙ ජර්මන් නගරයක්. ඒක එදත් එහෙමයි; ඉදිරියටත් එහෙම වේවි. වෙන පැහැදිලි කරන්න දෙයක් නෑ, ඒකෙ සැකයක් තියාගන්න එපා.” නැගෙනහිර ප්‍රසියාව කරා දිවෙන මහා මාර්ගය හා දුම්රිය මාර්ගය සඳහා තමාට කොහොමටත් ඩැන්සිගය අවශ්යරය. පැරණි අදහස් ඉවත ලා නව දෘෂ්ඨියකින් ගැටළුව දෙස බලන්නේ නම් දෙරටටම යහපතක් වනු ඇතයි හිට්ලර් වැඩිදුරටත් කීය. ගොනා හැරෙන්නේ පොල් පැලයට බව අවබෝධ කරගැනීමට ජෝසොෆ් බෙක් ට වෙනත් අටුවා ටීකා වුවමනා නැත. නායක තුමා සමඟ කළ සාකච්ඡාවෙන් පසු තමා කණස්සල්ලට පත්වූ බව ඔහු පසුවදා පිටත්ව යාමට පෙර රිබන්ට්රොලප් සමඟ පැවසූවේ එහෙයිනි. රදළවාදී පෝලන්ත ලීජනය නාසි ජර්මනියට අකමැතිය. ඈට රුසියාවද නයාට අඳුකොළ මෙනි. ප්‍රංශය ද අවිශ්වාසය. මේ සිද්ධියෙන් පසු ජෝසොෆ් බෙක් නිතර නිතර බ්‍රිතාන්‍ය තානාපති නිළධාරීන් හා කසු කුසුවේ යෙදෙන බව බර්ලිනයට සැලවිය. පෝලන්තය යුද ‍ක්‍රියාදාමයක් අත්පත් කොට ගැනීමට හිට්ලර් තීරණය කොට හමාරය. එය යුද්ධයකට හේතු වන්නේ නම් වඩාත් මැනවි. ප්‍රමාද වීමෙන් සිදු වන්නේ ප්‍රතිවාදියාට සූදානම් වීම සඳහා කාලය ලැබීම පමණක් බවත් එය ජයග්‍රහණය සඳහා ඇති අවස්ථා අඩු කරන බවත් මේ වන විට ඔහු පසක් කොටගෙන සිටියේය. ඩැන්සිග් වරාය පිළිබඳ ගැටළුව එවන් යුද්ධයකට කදිම හේතුවක් සපයන බව ද ඔහුට පෙණින. එමගින් ඔහුගේ අවසන් ඉලක්කය වූ නැගෙනහිර පිහිටි දැවැන්ත භූමියට ‘ගේට්ටුව’ විවෘත වනු ඇත. එහෙත් ගෝරින්ගේ ‘සිවු අවුරුදු මහා වැඩපිළිවෙල’දැඩි සම්පත් හිඟයෙන් පෙලෙන හෙයින් සන්න්ද්ධකරණ වැඩපිළිවෙල තවමත් අතර මගය. අවි කර්මාන්ත හිමියන් අතැති කල් පිරෙන ‘මෙෆෝ’ බිල්පත් වලට මුදල් ගෙවිය යුතු බව හිට්ලර් දනී. මේ සියල්ල විසඳිය හැක්කේ චෙකෝ-ස්ලෝවැකියාවේ අමුද්‍රව්‍ය වලින් පමණී. කපටි චෙම්බර්ලේන් මියුනික් සමුළුව තුලින් ජර්මනියට අහිමි කලේ ඒ අවස්ථාවයි. සුදේතන්ලන්තය යනු සටන් පාඨය මිස හිට්ලර්ගේ ඉලක්කය නොවේ. චෙකෝ-ස්ලෝවැකියාවේ ද කැරළි කෝලාහළ නිමක් නැත. ජර්මනිය විසින් උසිගන්වන ලද ‘වලිගය’ වූ ස්ලෝවැකියාවද සිය ෆෙඩරල් තත්වය ප්‍රතික්ෂෙප කරමින් ස්වාධීනත්වය ඉල්ලා සිටියාය. මින් නොකැලඹුන චෙක් වරු යුද නීතිය පණවා ස්ලෝවැකියාවේ අගමැති ජෝසෙෆ් ටිසෝ නෙරපා දැමූහ. ස්වාධීනත්වය ලබා ගැනීමට උපකාර කිරීමෙන් චෙක් වරු අසරණ කොට හිතවත් ගණුදෙණු කාර රජ්‍යයක් මෙන් බලයේ තබා හැකි වග හිට්ලර් දුටුවේය. අඬුව තිබියදී අත පුළුස්සා ගන්නේ මන්ද? නැගෙනහිර අහසේ පියාසර කිරීමට ගුවන් හමුදාවට ස්ලෝවැකියාව කදිම ධාවන පථයකැයි ගෝරින්ද නිතර කියයි. වහා බර්ලිනයට පැමිණ නායකතුමා හමුවන මෙන් ස්ලෝවැකියාවේ හිටපු අගමැතිට පණිවුඩයක් ලැබුනේ මේ අතර වාරයේදීය. රටේ ස්වාධීනත්වය හා තමා බලයේ සිටීම යකාට ගියද, හිට්ලර් සමඟ වැඩ කිරීමද ලේසි පාසු නැති බව අසා ඇති ටිසෝ මඳක් පරීක්ෂාකාරී විය. මිටි තරබාරු පැසිස්ට්වාදියෙක් වූ ටිසෝ කතෝලික පූජකයෙකි. 1939 මාර්තු මැද ඔහු හිට්ලර් බැහැ දැකීමට පැමිණියේ යකා සමඟ කෑම මේසයේ අත්දැකීම් ලත් ඔස්ට්‍රියාවේ ආතර් සෙයිස්-ඉන්ක්වාර්ට් ගෙන්ද ගුරුහරු කම් ලැබීමෙන් අනතුරුවයි. “මම ආයෙ ඔය වෙන මිනිස්සු වගේ නෙවෙයි. හිත කළබල උන ගමන් කරන්නෙ හැම් රාත්තල් භාගයක් ගිලදාන එක. එතකොට හිත නිකම්ම නිවෙනවා..” ටිසෝ පූජක තැන හිට්ලර් ගේ භාෂා පරිවර්තකයා සමඟ පැවසීය. හිට්ලර් සිටියේ අසතුටිනි. ස්වභාවය සැර පරුෂ විය. “ස්ලෝවැකියාවත් හරියට වැඩක් කරන්නෙ නෑනේ? තමුසෙල දැන් කෙලින් තීරණයක් ගන්න ඕන නිදහස් රටක් වෙනවද නැද්ද කියන එක. ඕනෙ නම් විතරක් අපි උදවු කරනවා. ඔය කාපේතියන් කඳු බෑවුම් වලින් මට ඇති වැඩක් නෑ. හැබැයි හන්ගේරියාව නම් අන්න බලාගෙන ඉන්නවලු එහෙන් තව කෑල්ලක් කඩා ගන්න. ඕවට කතා කරල නිකම් ජර්මනියෙ යාළුවො තරහ කරගන්නෙ මොකටද?” හිට්ලර් පැවසීය. “හැබැයි මේකට දවස් ගනන් ගන්න බෑ. පැය ගානකින් උත්තරයක් ඕන නැත්නම් අපිත් පැත්තකට වෙලා අපේ වැඩක් බලා ගන්නවා. …” මඳකට සමාව ඉල්ලූ විදේශ ඇමති රිබන්ට්රො ප් මේ දැන් ලද පුවතක් හිට්ලර් අතට පත් කලේය. හන්ගේරියන් හමුදා ස්ලෝවැක් දේශසීමාව අසල පෙල ගැසෙති. “පේනව නේද? මොකද කියන්නෙ?” හිට්ලර්ට අවශ්‍ය කවර ආකරයෙන් හෝ චෙකො-ස්ලෝවැකියාව බිඳ දැමීම බව ටිසෝට මනාව වැටහේ. අපායට වුව වේලාසනින් යා යුතු බව ද ඔහු අසා ඇත. “කැමතියි නායකතුමා….” “එහෙනම් මෙතන තව පුටු රත් කර කර ඉන්නෙ නැතුව දැම්ම ගිහින් කටයුතු ටික එකලාසයක් කරල දානවා, හ්ම්… නාස්ති කරන්න වෙලාවක් නෑ.” ආපසු බ්‍රැටිස්ලාවා අගනුවර බලා ගිය ටිසෝ පූජක තැන ස්වාධීන ස්ලෝවැක් ජනරජයක් ප්‍රකාශයට පත් කළේය. මේ වැඩ කටයුතු කරන අන්දම ගැන පලපුරුද්දක් නැති ඔහුට සියල්ල කියා දුන්නේ ඔස්ට්‍රියාවේ ආණ්ඩුකාර තැන්පත් ආතර් සෙයිස්- ඉන්ක්වාර්ට්ය. ස්ලෝවැකියානු ‘වලිගය’ ද නෂ්ඨ වූ ප්‍රාග් රජයේ පාලනය බොහිමියාව හා මොරේවියාව යන ‘මදය’ ට සීමා වෙද්දී, වැලේ වැල් නැතිවූ අභිනව චෙක් ජනාධිපති ආචාර්ය එමිල් හැචා බර්ලිනයට විදුලි පුවතක් යවමින් හිට්ලර් හා ‘මුහුණට මුහුණ ලා’ සාකච්ඡාවක් ඉල්ලා සිටියේය. පැවති තත්වය යටතේ ජර්මන් ආක්‍රමණයක් නියත බවත්, ඊට එරෙහිව බටහිර මිතුරන්ගෙන් සහායක් අපේක්ෂා කොට නොහැකි වගත් ඔහු දත්තේය. විශ්‍රාම ලත් නඩු කාරයෙකු වූ මහළු හැචා තම විදේශ ඇමති ෆ්රැරන්ටිසෙක් ච්වොල්කොව්ස්කි සමඟ එදා රෑම බර්ලිනයට සේන්දු වූයේ දුම්රියෙනි. කැඳවීමක් ලබෙන තෙක් පුරා පැය තුනක් ඔවුනට ඇල්ඩන් හෝටලයට වී රිබන්ට්රොලප් ගේ සම්ප්‍රලාප වලට කන්දෙමින් කාලය කා දැමීමට සිදු විය. බොහෝ රෑ බෝ වන තුරු චිත්‍රපටයක් බලමින් සිටි හිට්ලර් අවසානයේ චෙක් නියෝජිතයන් හමුවූයේ පෙරවරු 1 ත් පසුවීමෙන් අනතුරුවයි. හිට්ලර් අභිමුවට පමුණුවනු ලබන විට හැචා බොහෝ වෙහෙසට පත් ව සිටියේය. අත එකදු තුරුම්පුවක් වත් නුවූ ඔහුගේ ස්වරය බැගෑපත්ය.. “මම ජීවිතේම නඩුකාර කම් කරා මිසක් දන්න දේශපාලයක් නැහැ. චෙකොස්ලෝවැකියාවෙ ඉරණම තියෙන්නේ තමුන්නාන්සෙගෙ අතේ. මටත් කාලෙක ඉඳල මේව තේරිල තිබුනෙ. මේ පොඩි රටේ වෙනස් ජාතීන් ගණනාවක් ජීවත් වෙන්නෙ කොහොමද? මම නියෝජනය කරන්නෙ අළුත්ම ආණ්ඩුවක්; නමුත් තවම සමහර ඉහල තැන් වල හිටපු ජනාධිපති බෙනෙස් ගෙ මිනිස්සු ඉන්නවා...” හැචා ගේ දුක්බර ආයාචනය අවසන් වූයේ කුඩා චෙක් දේශය වෙනුවෙන් දැන නොදැන සිදුවූ පමනක් නොව මතුවට සිදුවීමට ඉඩ ඇති සර්වප්රතකාර වැරදි සියල්ලට ක්ෂමාව අයදිමිනි. සියල්ල නිහඬව අසා සිටි හිට්ලර් හිස සැලීය; “මට කනගාටුයි ඔබ තුමා මේ තරම් දුරක් ගෙන්නන්න සිද්ධ උන එකට. ඒත් මට හිතෙනවා ගමන අපතෙ යන එකක් නෑ කියලා. අපිට චෙක් වරු එක්ක එහෙම විශේෂ තරහක් නෑ. නමුත් චෙක් වරුන්ට හැමදාම තිබුනෙ ජර්මනිය ගැන සතුරු ආකල්පයක්. ගිය සරත් කාලෙ මම චෙකොස්ලෝවැකියාව සිතියමින් මකන්න හිතුවෙත් බෙනස් ගෙ ඔන්න ඔය වැඩ පිළිවෙල නිසා. මෙන්න මේ හර් ච්වොල්කොව්ස්කිට සලකලා ඒත් මම නිකම් හිටිය.” චෙක් විදේශ ඇමති එය අනුමත කරමින් හිස සලන්නේ හිට්ලර් කියන්නේ බොරුවක් වග දැන දැනය. “අනික අළුත් ආණ්ඩුව ආවයි කියලත් මොකද්ද උන වෙනස? මේව මෙහෙම ගියොත් වැඩිකල් නොහිගින් හිටපු තැනටම යනවා. හමුදාව අඩු කළේ නැත්තෙ මොකද? යුද්ධයක් එනකම් බලා ගෙන ඉන්න නිසා. චෙක් හමුදාවෙ ආකල්පය මට කොහොමටත් අල්ලන්නෙ නෑ…” ගෝරින් හා කයිටල් ද මේ අතර වාරයේ එහි කැඳවන ලදහ. “බොරු නම් අහන්න මේ ගොල්ලන්ගෙන්…හෙට උදේ හයට ජර්මන් හමුදාව රටට ඇතුළු වෙනවා. චෙක් ජනතාවටයි හමුදාවටයි පුළුවන් කැමති නම් සටන් කරන්න. එහෙම උනොත් හැබැයි එයාලට ඒක අමතක නොවෙන පාඩමක් වේවි. නැත්නම් ජර්මන් හමුදාවට ඉඩ දීල පැත්තකට වෙන්නත් එයාලට පුළුවන්. එහෙම උනොත් චෙක් වරු වනුවෙන් කරන්න පුළුවන් සාධාරණයක් තියනවද කියල මම සලකා බලන්නම්...අනික යුද්ධයක් ආව කියල ඔය ඉන්න එක රටක් කටක් හොල්ලන්නෙ නෑ. දවස් දෙකෙන් චෙක් හමුදාව ඉවරයි.” “නායක තුමාට කෙරෙන්න ඕන චෙක් හමුදාව නිරායුධ කරන එක නම් ඒකට තව විධි තියනවා…” හැචා ගේ තොල කට වියැලී ඇත. ලෝකය ඔහු වටා භ්රනමණය වන සැටියකි; සහනයක් වෙනුවෙන් ඔහු තව දුරටත් දුක්බර ලෙස ආයාචනය කළේය. “නෑ නෑ, ගත්ත තීරණ වෙනස් කරන්න බෑ දැන්.” හිට්ලර් සැර විය. ගෝරින් ද මැද්දට පැන්නේය. “මොන පිස්සුද? ගුවන් හමුදාව එළිවෙන කොට ප්‍රාග් නුවර. දැන් කොහේ නවත්තන්නද? ” තමාගේ එකම වෑයම ලේ වැගිරීමක් වැලැක්වීම බව හැචා පැවසූයේ දහදිය පිසිමිනි. ගණනකට නොගත් හිට්ලර් යන්නට ගියේය. ඒ සමඟම ‍රිබන්ට්‍රොප් කඩදාසි කිහිපයක්ද අතැතිව වහා කරලියට එළඹියේ ගෝරින් හා තරඟයට මෙනි. හැචා හා ච්වොල්කොව්ස්කි අතට බලාත්කාරයෙන් පෑන් දෙමින් යටත් වීමේ නිවේදනයක් අත්සන් ගැනීමට ඔහු තැත් කලේය. චෙක් වරු දෙදෙනා මෙම මැර ක්‍රියාවට විරෝධ පළ කලහ. රිබන්ට්‍රොප් ට සිය ලියැවිල්ලත් සමඟ පසු බැසීමට සිදුවිය. පමණ ඉක්මවා යාම හේතුවෙන් ඔහු අනාගත් බව කාටත් පෙනින. “මේවට අස්සන් කරොත් හෙම ඊලග පරම්පරාවත් අපිට සාප කරාවි,” හැචා මැසිවිලි කියයි. “හා, එහෙමද? අපිත් ඒවට ලෑස්තියි.” ගෝරින් මිටි මොළවා ම්සයට පහරක් ගැසූ ගුගුලේය. “මට කණගාටු අර ලස්සන නගරෙ හෙට උදේම බෝම්බ දාල සමතලා කරන්න වෙන එක ගැන. පැය දෙකයි. එක ගොඩනැගිල්ලක් ඉතුරු වෙන්නේ නැහැ! අපරාදෙ.” හැචා මේසය මත සිහි මූර්ඡා වීය. “හැචාට සිහි නැති උනා!” කිසිවෙක් කෑ ගැසි‍ය. එකෙනෙහිම එහි දිව ආවේ හිට්ලර් ගේ වෛද්ය වරයා වූ තියඩෝර් මොරෙල්ය. ඔහු කිසියම් බෙහෙතක් එන්නත් කිරීමෙන් පසු මොහොතකින් යලි පණ ගසා නැගී සිටි රෝගියා වතුර උගුරකටත් පෙර අසලම වූ කයිටල් ගෙන් ඉල්ලා සිටියේ දුරකථනයයි. “ජනරාල්, මට කරුණා කරල ටැලිපෝනයක් දෙනවද” මහල්ලාට අනුකම්පා කල කයිටල් අසල වූ දුරකථනයකින් හැචා ප්‍රාග් නුවර හා සම්බන්ධ කොට දීමට ඉදිරිපත් විය. චෙක් කැබිනෙට්ටුවට තත්වය පැහැදිලි කල හැචා තමා යටත්වීමේ කොන්දේසි අත්සන් කරන වග දැනුම් දුන්නේය. ඔහු චෙකො-ස්ලෝවැකියාවේ මරණ වරෙන්තුව අත්සන් කිරීම පිණිස ඒ වන විටත් චිත්‍රපට බලමින් සිටි ආඥාදායකයා හමුවට යවනු ලැබුවේ වෛද්‍ය මොරෙල් විසින් දෙන් දෙවන එන්නතකින් ද පසුවය. හිමිදිරි උදෑසන හතරට බර්ලිනය අවට කුකුලන් හඬලද්දී බියගන්වනු ලැබූ චෙක් වරු දෙදෙනා කඩදාසියට අත්සන් තැබූහ . එයින් කියැවුනේ ‘චෙක් ජනාධිපතිතුමා විසින් අති මහත් විශ්වාසයෙන් යුතුව තම රටත් ජනතාවත් නායක තුමාගේ දෑතට භාර කල’ වගයි. දෙපැයකින් ගමන් ඇරඹූ ජර්මන් හමුදා සටනකින් තොරවම බොහිමියාව හා මොරේවියාව අත්පත් කොට ගත්හ. මෙවර ගුඩේරියන් වෙනුවට පැන්සර් බල ඇණියට අණ දුන්නේ ඔහුගේ සගයකු වූ එරිච් හෝප්නර් විසිනි. “මගේ ළමයිනේ! මාව ඉඹපල්ලා!!” හිමිදිරි පාන්දර හිට්ලර් බෙරිහන් දෙමින් තම ලේකම් වරියන් රොත්තම එකවර බදා ගත්තේය. “මේ කම්මුලට එකයි! මේ කම්මුලට එකයි!! අද මගේ ජීවිතේ සතුටුම දවස. සියවස් ගණනාවක් කාටවත් බැරි උන දේ මම කරා! බොහිමියාවයි මොරේවියාවයි ආපහු රයික් රාජ්‍යයට ඈඳා ගත්තා. මම ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ජර්මන් ජාතිකයා වේවි! ” එදින සවස ඔහු ප්‍රාග් නුවරට ඇතුළු වූයේ රෝම අධිරාජයකු මෙනි. ඒ චෙම්බෙර්ලේන් විසින් මියුනික් සමුළුව මගින් ඔහුට අහිමි කල අවස්ථාවයි. යුරෝපයේ අනගිතම අවි නිපදවුන ස්කෝඩා-වර්ක්ස් සංකීර්ණය ජර්මනුන් අතට පත් වූයේ නිපදවා තිබූ රයිෆල් දස ලක්ෂයක් හා උණ්ඩ සිය කෝටියක් ද සමඟය. චෙක් යුද අවි ගබඩාව ජර්මන් හමුදාවෙන් අඩක් යලි සන්නද්ධ කිරීමට ප්‍රමාණවත් විය. ගුඩේරියන්ද අතිශය ප්‍රීති වූයේ චෙක් හමුදාව සතු විශාල යුද ටැංකි සංචිතය නිසාය. 1939 මාර්තු 15 දා චෙකො-ස්ලෝවැකියාව ලෝක සිතියමින් අතුරුදන් වූවාය. සිව් අවුරුදු මහා සැලැස්මට ඉන් ලද ද්‍රව්‍යමය ප්‍රතිලාභය තරම්ම ගෝරින්ට වැදගත් වූයේ ස්ලෝවැකියාවේ ධාවන පථ තම ගුවන් හමුදාවට විවෘත විමයි. නායක තුමාගේ අවසන් ඉලක්කය මේ කිසිවක් නොව රුසියාව බවත් දැන් සිදුවන්නේ එහි පෙර සූදානමක් පමණක් බවත් ඔහු දැන සිටියේය.

(c) Chamara Siriwardene

හිට්ලර් නම් ආක්‍රමණිකයා (1939 මාර්තු-සැප්තැම්බර්)

ඔස්ට්‍රියාව ඈඳා ගනිමින් ද, චෙක් මොරේවියාව හා බොහිමියාව බලාත්කාරයෙන් අත්පත් කොට ගනිමින්ද, ඉතාලිය හා ජපානය සමඟ සන්ධාන ගත වෙමින්ද, රොමේනියාව, බල්ගේරියාව, හා හන්ගේරිය මත සිය බලය පැතිරවූ ජර්මනිය 1939 වසන්තය වන විට යුරෝපා මහාද්වීපයේ බලගතුම රාජ්‍යය වුවාය. එසේ වුවදු ගණුදෙණු ප්‍රතිපත්තියක් තුල හිට්ලර් සිර කොට තබා ගැනිමට හැකි වනු ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති චෙම්බෙර්ලේන් තව දුරටත් සිතීය. හිට්ලර්ගේ තර්ජනයට ලක්ව සිටි පෝලන්තයේ ස්වාධීනත්වය වෙනුවෙන් තමා හමුදාමය වශයෙන් මැදිහත් වන බව මාර්තු අගදී මහා බ්‍රිතාන්‍යය හා ප්‍රංශය කියා සිටියහ. මෙය ජර්මනියට කෙරුණ විවෘත අභියෝගයකි. එහෙත් මෙම ආරක්ෂක ගිවිසුමේ අගය අඩු වීමට හේතු වූයේ කල්නල් බෙක් බටහිර රාජ්‍යතාන්ත්‍රිකයන් අතර එතරම් ජනප්‍රිය පුද්ගලයෙකු නොවන වගද කිසිවෙකුටත් රහසක් නොවූ නිසාය. ඔහු පෙනුමින් සමාන වෙන්නේ ‘ප්‍රංශ පුවත්පත් වල පළවන ළමා අපචාර සැකකරුවකුට’ බව ඉතාලි රජුගේ දියණිය පැවසුවේ එහෙයින් විය යුතුය. මෙය හේතුවක් කොටගනිමින් හිට්ලර් කලේ පෝලන්තය සමඟ කලින් එලැඹී තිබූ අන්‍යොන්‍ය ආක්‍රමනය නොකිරීමේ ගිවිසුම හා මහා බ්‍රිතාන්‍ය සමග වූ නාවුක ගිවිසුම අහෝසි කොට දැමීමයි. මේ පැරණි දේශපාලන ඇස්බැන්දුම් දැන් ඔහුට කරදරයකි. 1939 මැයි මාසයේ හිට්ලර් නැවතත් හමුදා ප්‍රධානීන් ඇතුළු ජනරාල් වරු දහ හතර දෙනෙක් කැඳවීය. “මහා බ්‍රිතාන්‍යයඉ ප්‍රංශයයි මැදිහත් උනත් නැතත් අපි පෝලන්තය ආක්‍රමණය කරනවා. අපේ ප්‍රශ්නය ඩැන්සිග් වරාය නෙවෙයි. අපිට අහාර ඕන; අමුද්‍රව්‍ය ඕන; ‘ජීවත්වීමේ ඉඩකඩ’ ඕන...හැබැයි හිතන්න නම් එපා මේක චෙකොස්ලෝවැකියාවෙ වගේ ලේසි වේවි කියල; සෑහෙන සටනක් කරන්න තියනවා...” ජර්මනියට එරෙහිව පෝලන්තයට සහාය වීමට බටහිර බලවතුන්ට සැබවින්ම අවැසි වුවද, භූගෝලීය හේතූන් මත එය අපහසුය. ඔවුනට ඇති එකම විකල්පය ඒ සඳහා ජර්මනිය තනි කරමින් රුසියාව හා එකඟත්වයක් ඇති කොට ගැනීමයි. එහෙත් හේතූන් දෙකක් නිසා මෙය අවිනිශ්චිත විය. පළමුවැන්න ජර්මන් ආක්‍රමණය හමුවේ වුව රතු හමුදාවට රට තුලට පිවිසීමට ඉඩ දීමට ධවල පෝලන්තය අකැමතිය. දෙවැන්න ‘රදළ ධනපති’ පෝලන්තයේ විනාශය පතන රුසියාව එහි ආධාරයට ඒම සැක සහිතය. යම් හෙයකින් ජර්මනිය රුසියාවේ සහය දිනා ගැනීමට සමත් වී නම් පෝලන්තය වෙනුවෙන් සටන් වදීම බටහිර බලවතුන්ට සිහිනයක් පමණක් වනු ඇත. හමුදා නිළධාරීහූ නිහඬව සවන් දුන්හ. හිට්ලර්ගේ තර්කය ඉතා පැහැදිලි විය. ඔවුනට වටහා ගත නොහැකි වූයේ යෝජිත හමුදා මාඅක්‍රමණයේ පෙර කොන්දේසියක් වූ මෙම අසීරු රාජ්‍යතාන්ත්‍රික ඉලක්කය ජය ගන්නේ කෙසේද් යන්නයි. රුසියානුවෝ නාසි වාදයේ දෘෂ්ඨිමය සතුරෝ වූහ. එහෙත් ජුලි අග වන විට අමනාපකම් අමතක කොට රුසියානුවන් සමග මිතු දමක් ගොඩ නඟා ගැනීමට කපටි රිබන්ට්‍රොප් සමත් වෙතෙයි ඔවුන් නිසිතන්නට ඇත. මූලික සාකච්ඡා සාර්ථක වූයෙන් තීරණාත්මක එකඟත්වයක් ඇතිකර ගැනීම සඳහා හැකි ඉක්මනින් මොස්කොව් බලා පැමිනීමට තමා කැමැත්තෙන් පසුවන බව රිබන්ට්‍රොප් ජර්මන් තානපති කාර්යාලය හරහා මොස්කොව් නුවරට දැනුම් දුන්නේය. සරත් වැසි ඇද වැටීමෙන් ගමනා ගමනයට බාධා ඇති වන හෙයින් අගෝස්තු අග පෝලන්තයට පහර දීම හිට්ලර්ගේ සැලැස්මයි. ඒ සඳහා සියල්ල සූදානම්ය; හමුදාව සීරුවෙනි. රුසියානුවන් සමඟ එකඟත්වයට එලැඹීමට හැකි නම් පෝලන්තයට ලැබී ඇති බටහිර ආරක්ෂණ සහතිකය පුස්සක් වනු ඇත. අගෝස්තු 16 වැනිදා රිබන්ට්‍රොප් ගේ පණිවුඩයට පිළිතුර ලැබුණි. එහෙත් එය තරමක් දැඩිය. ජර්මන් රජයේ ආකල්පමය වෙනස සුභදායී ලෙස දකින සෝවියට් රජය සබඳතා වැඩි දියුණු කර ගැනීමට කැමැත්තෙන් සිටින බවත්, එහි සංකේතය ලෙස අන්‍යොන්ය ආක්‍රමණය නොකිරීමේ ගිවිසුමකට එලැඹීමට අපේක්ෂා කරන බවත්, ජර්මන් විදේශ ඇමති තුමා වැඩිදුර සාකච්ඡා සඳහා මොස්කොව් බලා පැමිනෙන්නේ නම් එය ගෞරවයක් කොට සකලන බවත් එහි සඳහන් විය. ඔවුන්ට කිසිදු හදිසියක් නැති සේය . එහෙත් හිට්ලර්ට ඉතා හදිසිය. අන් කළ හැකි දෙයක් නුවූයෙන් ඔහු මෑතක් වන තුරුම සිය පරම සතුරා කොට තැකූ සෝවියට් ආඥාදායක ජෝසොප් ස්ටැලින්ට පුද්ගලික හා ‘අතිශය රහසි ගත’ විදුලි පුවතක් යැවීය. පෝලන්තය අර්බුදය උත්සන්න ඇතිවී හෙයින් යුද්ධයක් අපේක්ෂා කරන බවත් ඊට පෙර රුසියාව හා ඉක්මන් එකඟත්වයක් තම අභිලාශය බවත් එමඟින් ඔහු අන්‍යොන්ය ආක්‍රමණය නොකිරීමේ ගිවිසුම අත්සන් කිරීම සඳහා අගෝස්තු 23 වනදා මොස්කොව් නුවරට ‘හර් රිබන්ට්රොරප්’ එවන්නදැයි එමගින් විමසා සිටියේය. හිට්ලර් ගේ එන්නේ මොකාටදයි ස්ටැලින් මැනවින් දනී. තාවකාලිකව කවර ගිවිසුම් අත්සන් කළද කවදා හෝ ජර්මනිය රුසියාවට පහර දෙන බවද හේ සක් සුදක් සේ දත්තේය. රතු හමුදාව ද තවමත් ඊට සූදානම් නැත. එහෙයින් නොවැලැක්විය හැකි අනාගත යුද්ධයට සූදානම් වීමට අවැසි කාලය ලබා ගනු වස් සතුරා සමග තාවකාලික සාමයකට එළැඹීම නුවණට හුරු යැයි ඔහු කොමියුනිස් පක්ෂ මධ්‍යම කාරක සභාවටද පෙන්වා දුන්නේය. හිට්ලර්ට ඉවසිල්ලක් නැත. “බලනවකො මේ මනුස්සය මේකට ගන්න වෙලාව?” ඔහු රිබන්ට්‍රොප් සමඟ ආඩපාලි කියයි. තවත් ටිකක් එකල මෙකල වූ ස්ටාලින් අවසානයේ අගෝස්තු 23 වැනිදා ගිවිසුම අත්සන් කිරීමට එකඟ විය. විදුලි පුවත කියැවූ හිට්ලර් බිත්තියට මිට මෙලවූ දෑතින් තඩි බෑවේ වියරුවෙන් මෙනි; “දැන් යුරෝපය මගේ සාක්කුවේ!” පසුදින මොස්කොව් බලා ගිය රිබන්ට්‍රොප් ක්‍රෙම්ලින් මන්දිරයේදී මහත් හරසරින් පිළි ගන්නා ලදී. දෙරට අන්‍යොන්‍යව ආක්‍රමණය නොකිරීමටත්, වෙළඳ සබඳතා තර කොට ගැනීමත්වැකඟ වූ බව ප්‍රකාශ කෙරුන මෙම ගිවිසුමට රුසියන් පාර්ශ්වයෙන් අත්සන් තැබුවේ විදේශ කටයුතු පිළිබඳ මහජන කොමිසාර් හෙවත් සෝවියට් විදේශ ඇමති ව්යාචෙස්ලාව් මොලොටොව් ය; රිබන්ට්රොිප්ගේ අළුත්ම මිතුරාය. වැඩ වැරදී ඇති බව පසක් කොට ගත් පෝලන්තයේ කල්නල් බෙක් ජර්මනියට එරෙහිව රුසියන් යුද ආධාර ලබා තමා කැමති බව එදා රෑම ලන්ඩනයට දැනුම් දෙන විට ප්‍රමාද වැඩිය. එදින රාත්‍රියේ ක්‍රෙම්ලිනයේ රිබන්ට්‍රොප් වෙනුවෙන් පැවැත්වුන මහා බාලකි. රුසියන් පන්නයට අනුව ස්ටැලින් සමඟ හරි හරියට සවුදිය පිරූ ඔහු කටගොන්නක් වොඩ්කා බීගෙන දොඩමළු විය. කා බී ගම රට බලා පැමිණි තම විදේශ ඇමති ගැන හිට්ලර් ද පාරෙට්ටු කලේ මහ ඉහලිනි; “අයිසෙ, මම කිව්වෙ නැද්ද? කවුරු මොනව කිව්වත් රිබන්ට්රොැප් දක්සය!” විශාලතම හිරි හැරය වූයේ මේ ටික දොහේ තමාට ඔරොත්තු නොදෙන තරම් දෙස් විදෙස් වල බුහුමනට පාත්‍ර” වීමෙන් උඩඟු වූ රිබන්ට්‍රොප් ද කට මැත දෙඩවීමට විමය. “හප්පා... අම්ම මුත්ත කාලෙ දක්කෙ නෑ එහෙමත් බාලක්! නොයෙක් කෑම ජාති. ජෝර්ජියන් වයින් වර්ග මග ගොඩක් තිබුනා. කොමියුනිස්ට් කාරයො මට සැලකුවෙ එයාලගෙ පරණ පක්ෂ සහෝදරයෙකුට වගේ.” එය ඔහු සිය සගයන්ට එල්ල කල ඇණුම්පදයක් බව සියල්ලන්ට පැහැදිලිය. සෙසු නාසි නයකයෝ මෑතක පක්ෂයට එක් වූ රිබන්ට්‍රොප් පිටස්තරයකු ලෙස ලා කොන් කරති. සෝවියට්-ජර්මන් ගිවිසුම තම පුද්ගලික ජයග්‍රහණයක් ලෙස රිබන්ට්‍රොප් සැලකුවේය. “බටහිර බලවත්තු කොහේද එන්නෙ ආයෙමත් ඉතින් ජර්මනිය එක්ක හැප්පෙන්න? ආවත් ඒක බටහිර යුද්ධයක් විතරයි.” කිසිවෙක් ඔහු හා විරුද්ධ නොවූහ. අවාසනාවට මෙන් ජර්මනිය විසින් පෝලන්තයට පහර දෙනු ලැබුවහොත් ඇගේ ආරක්ෂාව වෙනුවෙන් සටන් වදින බව නාසි-සෝවියට් ගිවිසුමට ප්‍රතිචාර දක්වමින් මහා බ්‍රිතාන්‍යය මාර්තු 25 දා ප්‍රකාශ කලාය. “එංගලන්තෙ යුද්දෙට එන්නෙ නෑ කියල කිව්ව නේද?” එය ඇසූ හිට්ලර් රිබන්ට්රෝප්ගේ ඇඟට ගොඩවිය. “දැන් තමුසෙ මොකද කියන්නෙ?” අසරණ රිබන්ට්‍රොප් කුමක් කියන්නද? හේ මොට්ට ලෙස සිනාසුනේය. අගෝස්තු 25 වැනිදා දහවල් චාන්ස්ලර් මන්දිරයට රෝමයෙන් හදිසි පණිවුඩයක් ලැබිණ. පෝලන්තය හා යුද්ධයකට ඉතාලිය සම්බන්ධ නොවනු ඇති බව එහි සඳහන් විය. හිට්ලර් එය එතරම් ගණනකට ගත්තේ නැත. රුසියාව තම නැගෙනහිර දේශසීමාව ආරක්ෂා කරන්නේ නම් කවුරු නැතත් මොකද? එහෙත් එදින සවස හමුවූ බර්ලිනයේ බ්‍රිතාන්‍ය තානාපති නෙවිල් හෙන්ඩර්සන්ට තමාගේ එකම අරමුණ එංගලන්තය හා සාමය ඇතිකර ගැනීම යයි හිට්ලර් නැවත නැවතත් කියා සිටියේය. අපේක්ෂා සහගතවූ හෙන්ඩර්සන් තෙදිනකින් යලි පැමිණියේ ලන්ඩනයෙන් හිට්ලර් වෙත ලිපියකුත් සහිතවය. පෝලන්තයට කොන්දේසි පැණවීමේදී වඩාත් යුක්ති සහගත විය යුතු බව ඉංග්රීිසීහූ එමඟින් යලි කියා සිටියහ. ලිපිය කියැවූ හිට්ලර් එය පසෙක ලා පෝලන්තයට දොස් නගන්නට විය. ඔවුන් කවදත් සට කපටය; බටහිර පිහිටෙන් සියල්ල ජය ගැනීමට සිතති. “අපි මෙහෙම හිතමු නායක තුමා...” හෙන්ඩර්සන් මැදිහත් විය; “ අපි දෙගොල්ලන්ගෙ අරමුණ දෙරට අතර සමීප මිත්‍රත්වයක් ගොඩනැගීම නම් අපි එකිනෙකා අවබෝධ කර ගන්න ඕන. අපි ඉල්ලන්නෙ පෝලන්තය ගැන මීට වඩා ලිහිල් ව කටයුතු කරන්න කියල විතරයි. මේ වගේ වෙලාවක හැමෝම යම් යම් කැප කිරීම් කරන්න ඕන නේද?” “ඔක්කොටම කලින් මගේ මිනිස්සු කියන එක මම අහන්න ඕනනේ; අරෙහෙ හමුදාව ලේස්ති වෙලා බලාගෙන ඉන්නවා නියෝග එනකම්. අනික පෝලන්ත කාරයොන්ගෙ මේ අරියාදු තව ඉවසන්න බැහැ.” “හොඳයි, නායක තුමා කැමතිද මේ ගැන පෝලන්ත නියෝජිතයෙක් එක්ක සෘජුවම කතා බහ කරන්න? ජනගහනය මාරු කිරීම ගැන සලකා බලන්න සූදානම්ද?” දෙවැන්නට හිට්ලර් එකඟ විය. එහෙත් ඒ මොහොතේ පවා ඔහුගේ සිත යොමු කලේ ජනගහනය වෙනුවට දේශසීමා වෙනස් කිරීම කෙරෙහි වග අත්දැකීම් ලත් රාජ්‍යතාන්ත්‍රිකයකු වූ හෙන්ඩර්සන් ට වැටහිණ. පෝලන්තය සමග සෘජු සාකච්ඡා පැවැත්වීම ගැන මේ අවස්ථාවේ කිසිවක් කීමට තමාට නොහැක; ඊට පෙර බ්‍රිතාන්‍ය රජය එවා ඇති ලිපිය ‘මැනවින්’‍

අධ්‍ යනය කළ යුතුය.     

“ජෙනරල්ෆීල්ඩ්මාෂල් ගෝරින් ට එන්න කියන්න මාව හම්බු වෙන්න,” ඔහු රිබන්ට්‍රොප් වෙත හැරී උපදෙස් දුන්නේය. “සේරටම කලින් එයා එක්ක මේ ගැන කතා බහ කරන්න ඕන.” ඔස්ට්‍රියාව ඈඳා ගැනීමේ මුළු බර කරට ගෙන වැඩ කල තමා නොතකා මේ ඊයේ පෙරේදා විදේශ ඇමති වූ රිබන්ට්‍රොප් දැන් දැන් මුදුනා වීම ගෝරින් ගේ සිතට මහ මදි කමය. එහෙයින් ඔහු තම ස්වීඩ්න් ජාතික මිතුරෙකු වූ බ්‍රිතාන්‍ය ඉහල සමාජය හා කිට්ටු සබඳතා ඇති බීගර් ඩලේරස් නම් ව්‍යාපාරිකයා හිට්ලර් මුණගැස්වූයේ තමාටත් යමක් කල හැකි පෙන්වීමට විය යුතුය. සාමයට මෙන්ම බ්‍රිතාන්‍යය මිතුදමකට ද තමා තුල ඇති උනන්දුව අවබෝධ කොට ගැනීමට ලන්ඩනය අසමත්ව ඇතයි හිට්ලර් මැසිවිලි නැගුවේය; ජර්මනියට ඩැන්සිග් වරාය භාර දී ආරවුලට බඳුන් වන පෝලන්ත ‘කොරිඩෝරය’ සඳහා ජන මත විමසුමක් කැඳවීමෙන් ගැටළුව නිරාකරණය කරගත හැකි වෙතත් එයට ඉඩක් නොදෙන්නේ පෝලන්තයයි. වහාම ලන්ඩන් ගොස් චෙම්බෙර්ලේන් හමුවූ ඩලේරස් හිට්ලර්ගේ පණිවුඩය භාර දුන්නේය; “ගෝරින් මට බොරු කරන්නෙ නැහැ,” හේ පැවසීය. එහෙත් බැටකා සිටි චෙම්බෙර්ලේන් දැන් ලෙහෙසියෙන් අහු වෙන්නේ නැත. “පෝලන්තෙ ඕකට කැමති වෙන්නෙ නැහැ කියල හිට්ලර්ට කියන්න.” ඔහු ඩලේරස් හරවා යැව්වේය. මේ අතර දෙසතියකට පෙර පිහිටවූ නව ස්ලෝවැක් ජනරජයේ ජනාධිපති තැන්පත් ජෝසෙෆ් ටිසෝ ට ඔස්ට්රි්යාවේ සෙයිස්-ඉන්ක්වාර්ට් ගෙන් ඇමතුමක් ලැබිණ. “කියන කම් බලන් ඉන්නෙ නැතුව බර්ලින් වලට දැම්ම ටැලිග්රෑයම් එකක් යවනවා...” “අර අහවල් එකකටද?” හැම් රාත්තල් භාගයකින් හිත සනසා ගත හැකි පූජක තැන ඇසි‍ය. ඔස්ට්රි්යන් නීතීඥයා දැන් ඔහුගේ ගජ මිතුරාය. “වහාම ජර්මන් හමුදා එවන්න කියනවා ස්ලෝවැක් ජනරජයේ ආරක්ෂාවට. ඕව හිතල බලල කරන්න එපැයි.” නො එසේනම් හිට්ලර් පෝලන්තයට දකුණින් පහර දෙන්නේ කෙසේද? ස්ලෝවැක් කාරයන් කමකට නැතැයි හිට්ලර් බනින්නේ නිකමට නොවේ. සාමය සඳහා අවසන් මොහොත තෙක් දැරුන රාජ්‍යතාන්ත්‍රික උත්සාහන්ට ද ජර්මනිය ප්‍රතිචාර දැක්වූයේ සුපුරුදු කපටි කමිනි. බ්‍රිතාන්‍යයේ ‘ඉල්ලීමට’ ගරු කිරීමක් ලෙස පූර්ණ බලැති පෝලන්ත නියෝජිතයෙකු හා පමණක් සාකච්ඡා කිරීමට හිට්ලර් සූදානම් බව 29දා ජර්මනිය ප්‍රකාශ කළාය. එහෙත් මෙම දූතයා 30 දා දහවල් වන විට පැමිණිය යුතු වගට ඉටු කිරීමට අසීරු කොන්දේසියක් විය. “මේක අවසාන නිවේදනයක්ද?,” හෙන්ඩර්සන් විරෝධය පළ කළේය. නැත, අවසාන නිවේදනයක් නොවේ, හිට්ලර් හා රිබන්ට්‍රොප් ඔහුට සහතික කළහ; එසේ වුවදු පෝලන්තයට කාලය සමග සෙල්ලම් කිරීමට ඉඩ දිය නොහැක; ඔවුන්ගේ නියෝජිතයකු වහා බර්ලින් නුවරට පැමිණිය යුතුය. සාමයක් කෙරේ බලාපොරොත්තු තැබිය නොහැකි හෙයින් ‘ගණුදෙණුව’ ඉහල මට්ටම් වලින් බේරා ගැනීමට ඉඩ හැරීම වඩාත් සුදුසු බව දැන් දැන් හෙන්ඩර්සන් ද පෝලන්ත තානාපතිට නොකියා කියයි. කෙසේ වුවද හිට්ලර් 31දා මධ්‍යාහේනය වන තුරුද ලන්ඩනයෙන් හෝ වොර්සෝවෙන් කිසියම් ප්‍රතිචාරයක් අපේක්ෂාවෙන් සිටියේය; හිටිවන දසතම නිහඬය. සියල්ලෝම යුද්ධය සඳහා හිත හදාගත් සේය. හිට්ලර්ටද ඕනෑ වූයේ යුද්ධය නොවේද? එය තරු සහිත පැහැදිලි සරත් රැයකි. යුද ටැxකි 2750 ක් පෙරටු කොට ගත් ජර්මන් හමුදා ඩිවිෂන 60ක් පහර දීමට අණ ලැබන තුරු පෝලන්ත දේශ සීමාවේ පෙළ ගැසී සිටියහ. 1939 සැප්තැම්බර් 01 දා පෙරවරු 4.45 ටබෝල්ටික් මුහුදේ සිට ‘ෂ්වෙල්ස්විග් හොල්ස්ටයින්’ නැමති ජර්මන් නෞකාවේ කාලතුවක්කු පෝලන්ත කොරිඩෝරයට ප්ර්හාර එල්ල කරමින් දෙවන ලෝක යුද්ධයේ මංගල වෙඩි මුරය තැබීය. ඒ සමඟම ස්ලෝවැකියාවේ සිට අහසට නැඟුන ගෝරින්ගේ ජෙට් යානා සිය ගණනක් පෝලන්ත ගුවන් පථ බෝම්බ හෙළා සුනු විසුණු කලෝය. අනතුරුව බටහිරින් උතුරින් හා දකුණින් දේශසීමා තරණය කල දැවැන්ත ජර්මන් හමුදා පහක් යුද ටැංකි පෙරටු කොටගෙන පෝලන්තයට ඇතුළු වූහ. දශක දෙකක් තුල නැවත වතාවක් යුරෝපය මහා පරිමාණ යුද්ධයකට මැදි විය. එය පළමු ලෝක යුද්ධය මෙන් සිය දහස් වාරයක් බිහිසුණුය; ප්‍රචණ්ඩය; අමානුෂිකය...

(c) Chamara Siriwardene

හිට්ලර් නම් යුද කාමියා (1939 -1940)

හිට්ලර්ගේ ව්‍යාප්තාවාදී අරමුණු හමුවේ නොවැලැක්විය හැකි සංසිද්ධියක් වූ දෙවන ලෝක යුද්ධය ප්‍රමාද කරවීමට 1939 සැප්තැම්බරයේදී මහා බ්‍රිතාන්‍යය දැරූ තැත අසාර්ථක වීමට එක් හේතුවක් වූයේ පෝලන්තය දැරූ දැඩි ස්ථාවරයයි. ඈ සතුව ඌන සන්නද්ධ හමුදා ඩිවිෂන 17ක්, පාබළ හා අසරු බ්‍රිගේඩ 9ක්, පැරණි යුද ටැංකි 660ක්, හා යල් පැන ගිය යුද අහස් යානා 800ක් විය. බටහිර බලවතුන්ගේ සහායෙන් ජර්මනියට පාඩමක් ඉගැන්වීමට ඈ කල්පනා කළ සැටියකි. දෙදිනකට පසු, එනම් සැප්තැම්බර් 03 වැනිදා පෝලන්තයේ ස්වාධීනත්වය වෙනුවෙන් බ්‍රිතාන්‍යය හා ප්‍රංශය ජර්මනියට විරුද්ධව නිල වශයෙන් යුද්ධ ප්‍රකාශ කළෝය. එහෙත් එහි ප්‍රායෝගික වැදගත් ගමක් නොවූයේ පෝල් වරු අපේක්ෂා කල පරිදි ඔවුන් බටහිර දෙසින් ජර්මනියට පහර නුදුන් බැවිනි. ඒ වන විට සිය ගුවන් හමුදාව මුළුමනින් විනාශ වී සිටි පෝලන්තයට බටහිර මිතුරන්ගේ සහායෙන් තොරව තනිව සටන් වැදීමට සිදු විය. ඈ මෙහිදී බරපතල වැරදි දෙකක් කළාය. ඉන් පළමුවැන්න සමස්ත දේශ සීමාව ආරක්ෂා කිරීමට උත්සාහ කිරීමයි. තුනීවූ ආරක්ෂක වළල්ල ඉතා පසුවෙන් සිදුරු කළ ජර්මන් යුද ටැංකි බළඇණි රට අභ්ය න්තරයට අතිමහත් වේගයෙන් කඩා වැදුනාහ. මෙවර 19 ‘පැන්සර් කෝර්ප්ස්’ හමුදාවට අණදුන් ගුඩේරියන් යටතේ 3 පැන්සර් ඩිවිෂනය හා 2 හා 29 වැනි යාන්ත්‍රික පාබල ඩිවිෂන සටන් කලහ. පෙරමුණ පහසුවෙන් බිඳ වැටුන අතර තැන් තැන් වලට කොටු වූ පෝලන්ත හමුදා පිටුපසින් ආ ජර්මන් පාබල හා කාලතුවක්කු කණ්ඩායම් විසින් ඉක්මනින්ම විනාශ කොට දැමිණ. බොහෝ පමා වී තම තත්වය අවබෝධ කොටගත් පෝලන්තය සැප්තම්බර් 06 වැනිදා රුසියාවෙන් යුද ආධාර ඉල්ලා සිටියද ඉන් වැඩක් වූයේ නැති. උදව් දීමේ අදහසක් තමා තුල නැතයි සෝවියට් වරු සෘජුවම පැවසූහ. යුද්ධය නොවලැක්විය හැකි බව ඒ වන විට අවබෝධකොට ගෙන සිටි ස්ටැලින්, පළමුව හිට්ලර් පෝලන්තයට පහර දීම ගැනද, ඒ අතර තුර සූදානම් වීම සඳහා තමාට කාලය ලබා ගැනීමට හැකිවීම ගැනද බොහෝ ප්‍රීති විය. “මේක කවුරු කාව ගොනාට අන්දවනවද කියන සෙල්ලමක් වගෙයි” ඔහු ක්‍රෙම්ලිනයට වී වොඩ්කා බොමින් හේ කොක්සන් දුන්නේය. “මම නොදන්නවයැ හිට්ලර් එන්නෙ මොකාටද කියල? හිතන් ඇති මම රැවටුනා කියල. මිනිහ මගේ උගුලෙ අහු උනා...” පෝලන්තය කළ දෙවන වරද වූයේ අගල් තුල කෙරෙන යුද්ධයක් අපේක්ෂා කිරීමයි. එහෙත් තැනිතලා භූමිය ජර්මන් යුද ටැංකි සඳහා අතිශය යෝග්‍ය වූ අතර හා ගුවනින් බෝම්බ හෙලීම හේතුවෙන් පෙරමුණේ පිටුපස මහා මාර්ග පලායන සරණාගතයන් ගෙන් අතුරු සිදුරු නැතිව පිරී ගියේය. මෙය ගුඩේරියන් ගේ එක් ‘පැන්සර්’ සිද්ධාන්තයකි; එනම් මාර්ග තද බදය තුලින් සතුරාට අතිරේක හමුදා හා සැපයුම් ලැබීම අවහිර කිරීමයි. මෙය ජර්මන් හමුදාවට ගැටළුවක් නොවූයේ රීතියක් ලෙස සරණාගතයන් හ පලා යන්නන් අක්‍රමණික හමුදාව මඟ ඇරීමට උත්සහ දරන නිසාය. මේ අතර පෝලන්තය තුල විසූ විසි ලක්ෂයක් වාර්ගික ජර්මානුවෝ විවිධ කඩාකප්පල් කාරී කටයුතු වල නිරත වෙමින් ජර්මන් වික්‍රමයන් හා විස්මිත ප්‍රහාර පිළිබඳ කට කතා පැතිරූහ. මෙය පෝල් වරුන්ගේ ධෛර්යය හීන වීමට හේතු විය. මුල් වරට අත් හදා බලන ලද නිළධාරීන් යුද පෙරමුණේ ඉදිරිපස සිට යුද ටැංකි වලට අණදීමේ උපාය ජර්මන් හමුදාවට බොහෝ වාසි උදා කළේය. එහෙත් ගුඩේරියන් ගේ ජංගම අණදෙන රථය පෝලන්ත ෂෙල් වෙඩිල්ලකින් බේරුනේ අනූ නවයෙනි. දෙවැනි දිනයේ ඔහුගේ 3 පැන්සර් ඩිවිෂනය විස්ටුලා ගංගාවට ලඟා විය. ‘පොමොර්ස්කා’ නම් පෝලන්ත අසරු බල ඇණිය ඉතා අඥාන ලෙස කඩු හා පලිහ ගෙන ජර්මන් යුද ටැංකි හා සටන් වැදීමට තැත් කොට බරපතල අලාභ හානි ලද බව ගුඩේරියන් සිහිපත් කරයි. ජර්මන් ඉදිරි ගමන අධීක්ෂණය කරමින් යුද බිම පුරා සැරිසැරූ හිට්ලර් 19 වැනි ‘පැන්සර් කෝර්ප්ස්’ හමුදාව වෙත පැමිණියේ සැප්තැම්බර් 04 දාය. විනාශ කරන ලද සතුරු කාලතුවක්කු රෙජිමේන්තුවක නෂ්ඨාවශේෂ දුටු ඔහු මෙසේ විමසීය; “අපේ ගුවන් හමුදාවේ වැඩක්ද මේ?” “නැහැ මගේ නායකතුමනි. අපේ යුද ටැංකි වල වැඩක්.” ගුඩේරියන් ගේ පිළිතුර විය. හිට්ලර්ට අදහා ගත නොහැක. ඔහු වඩාත් වඩාත් මවිත වූයේ ගුඩේරියන්ගේ හමුදාවේ ඒ වන විටත් මිය ගොස් සිටියේ භටයන් 150 පමණක් මනණක් බව ඇසීමෙනි. “පළවෙනි ලෝක යුද්දෙ පටන් ගත්ත දවසෙ විතරක් අපේ රජිමේන්තුවේ 2000ක් මැරුනා!” “යුද්ධ ටැංකිය හොඳ ජීවිත ආරක්ෂක ආයුධයක් මගේ නායක තුමනි...” එහෙත් එය ප්‍රහාරකයන් ගේ ජීවිත පමණි. ඔවුන් හා සටනට ආ පෝලන්ත හමුදා ඩිවිෂන කිහිපයක් හා අසරු බ්‍රිගේඩය ඒ වන විට මුලුමනින් විනාශ වී හමාරය. මේ අතර දකුණෙන් පහර දුන් 4 වන ‘පැන්සර්’ ඩිවිෂනය සැප්තැම්බර් 08 වෙනිදා වොර්සෝ අගනුවර තදාසන්න ප්‍රදේශ වලට ඇතුළු විය. ජර්මන් ඉදිරිගමන නොසිතූ තරම් වේගවත් වූයෙන් අතිරේක හමුදා කැඳවා ගැනීමට හෝ නගරාරක්ෂක බාධක තැනීමට පවා පෝල් වරුන්ට කාල වේලාවක් ඉතිරිව තිබුන් නැත. මේ හේතුවෙන් නගරයට කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීම අනව්ශ්‍ය බව හැඩර් කියා සිටියේය. මේ ඇසු හිට්ලර් යක්ෂාවේෂ විය. කාල තුවක්කු ප්‍රහාර නොමැතිව එය සැබෑ යුද්ධයක් වන්නේ කෙසේද? හැල්ඩර්ට බැණ වැදුන හිට්ලර් තමාට අවශ්‍ය දර්ශන එකිනෙක විස්තර කලේය; අහස් කුස අඳුරු වේ... ෂෙල් වෙඩි ඇද වැටෙන්නේ වර්ෂාවක් මෙනි... ගොඩනැගිලි වලින් බුර බුරා නගින ඉණි දැල් ය... හැල්ඩඏඅ හැඟුනේ කලා කාමී හිට්ලර්ට නාට්‍ය මය දර්ශණයක් ඉලා සිටින බවයි සැප්තැම්බර් 17 වෙනිදා රුසියානුවෝ නැගෙනහිර දෙසින් පෝලන්තය අක්‍රමණය කළහ. එහි වෙසෙන වාර්ගික රුසියන් වෙනුවෙන් ගේ සුභසිද්ධිය තකා මෙම මැදිහත් වීම කෙරෙන බව ක්‍රෙම්ලිනය පැවසුවද සති කිහිපයකට පෙර අත්සන් කෙරුන නාසි-සෝවියට් ගිවිසුමේ අති විශේෂ රහස් ඇමුණූමක් මගින් මගින් රුසියාව හිට්ලර්ගේ පෝලන්ත ප්‍රහාරයට දේශපාලනික හා රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සහාය වීමටත් ඊට හිලව් වශයෙන් විස්ටුලා නදියෙන් මෙපිට නැගෙනහිර පෝලන්තය රුසියාවට ලබා දීමටත් හිට්ලර් එකඟ වූ බවත් ලෝකයා දැන ගත්තේ එවිටය. එස්ටෝනියාව, ලැට්වියාව හා ෆින්ලන්තය සෝවියට් බල ක්ෂෙත්‍රයට අයත් බව පිළිගැනීමට ද ජර්මනිය කැමති වූ අතර රොමේනියාවට අයත් බැසරේබියාව පිළිබඳ තමා තුල ඇති උනන්දුව වසන් කිරීමට මෙහිදී ස්ටැලින් උත්සහ නොකලේය. මෙම ප්‍රදේශ සඳහා මතු දිනෙක යලි එකිනෙකා සමග සටන් වැදීමට සිදුවන බව දෙපාර්ශවයටම රහසක් නොවුවද හිට්ලර්ට දැනට අවශ්‍යය වූයේ එකඟතාවකි. ඔහු සියල්ල තම වාසියට හරවාගත්තේය. “අන්න දැක්කද? අපි ජර්මන් වරු වෙනුවෙන් ඉදිරිපත් වුනා වගේ රුසියාවටත් බලන් ඉන්න බැහැ නැගෙනහිර පෝලන්තෙ ඉන්න ස්ලාව් ජාතිකයන්ට වෙන කෙනහිලි කම්. එංගලන්තෙටයි ප්‍රංශෙටයි දැන් ඇස් වල කටු අනින්න වගේ ඇති. ප්‍රජාතන්ත්‍රවාදී බටහිරට බැරි උනා බොල්ෂෙවික් වරු එක්ක සන්ධානෙකට එන්න. නමුත් නාසි ජර්මනිය ඒක කරා. ධවල පෝලන්තය අයිමත් ඔළුව උස්සන්නෙ නෑ; ඒක ජර්මනිය විතරක් නෙවෙයි දැන් රුසියාවත් සහතික කරනවා...” ගිවිසුමේ මෙම රහස් ඇමිණුම පිළිබඳ හමුදාව දැන ගත්තේද බ්‍රෙෂ්ට්-ලිටොව්ස් බලකොටුව අත්පත් කොට ගෙන සිටි ගුඩේරියන්ගේ 19 වැනි පැන්සර් කෝර්ප්ස් හමුදාවට නගරය රතු හමුදාවට භාර දී පසු බැසීමට අණ ලැබීම නිසාය. "රුසියන් කාරයොන්ට ඉඩ දීල අපේ හමුදාවට ගඟෙන් මෙගොඩට ආපහු එන්න කියන්න." හිට්ලර් කයොටල්ට නියම කලේය. නාසි-සෝවියට් ගිවිසුමට අනුව ඔවුන් අතර නව දේශ සීමාව වූයේ බග් නදියයි. යටත් වීමට පෙර වොර්සෝ අගනුවර තවත් දින 11ක් අසීරුවෙන් සටන් කළාය.එය පෝලන්තයේ අවසානය විය. ආක්‍රමණය සම්පූර්ණ කිරීම සඳහා ගතව තිබූ කාලය සති හතරකි. ජර්මන් භටයෝ 16,000ක් මිය ගොස් 30,000 තුවාල ලදහ. පෝලන්ත පාර්ශ්වයට භටයින් 900,000 ක් අහිමි විය. නොබෝ දිනකින් බර්ලින් නුවරට කැඳවනු ලැබූ ලුතිනන්-ජනරාල් හයින්ස් ගුඩේරියනට ‘නයිට් වරයාගේ කුරුසිය’ නැමති උසස් සම්මානය පුදන ලදී. “රුසියාව එක්ක අපේ ගිවිසුම ගැන හමුදාවෙ ප්‍රතිචාරය කොහොමද?” එදින දහවල් කෑම මේසයේ දී යාබද අසුනේ සිටි හිට්ලර් ඔහුගෙන් විමසුවේය. “හැමෝම සතුටු වෙනවා නායක තුමා. පෙරමුණු දෙකක සටන ජර්මනියට කවදත් එතරම් සුභ දායක උනේ නැහැ…” මොහොතකට හිට්ලර්ගේ මුහුණ කළුවිය. ගුඩේරියන්ට වැටහී ගියේ ඔහු අපේක්ෂා කළ පිළිතුර එය නුවූ වගයි. ඔස්ට්‍රියාව චෙකොස්ලෝවැකියාව හා පෝලන්තයද ලෝක සිතියමින් මෙසේ මකී යද්දී බටහිර බලවතුන් තවමත් නිහඬය. බ්‍රිතාන්‍යය හා ප්‍රංශය සටන් කරනු වෙනුවට ජර්මනියට එරෙහිව වෙළඳ සම්බාධක පැනවුවද, ඉන් කිසිදු ඵලක් නොවූයේ නාසි-සෝවියට් ගිවිසුම හරහා රුසියන් අහාර හා අමුද්‍රව්‍ය නොඅඩුව දැන් සැපයුන නිසාය. ලද විරාමය පෝලන්තයේ උගත් පාඩම් සමාලෝචනය කිරීම සඳහා ජර්මන් හමුදාවට කදිම අවස්ථාවකි. විවිධ යුද රථ හා වෙනත් හමුදා ඒකක එක් කොට තැනූ සැහැල්ලු ඩිවිෂන සටනේදී ඵලදායී නොවූ වග පෙනී ගියෙන් ඒවා පැන්සර් ඩිවිෂන ලෙස ප්‍රතිසංවිධානය කළ යුතු බවට තීරණය විය. වඩාත් වැඩි ජංගමශීලීත්වයක් ලබා දෙනු වස් යාන්ත්‍රික පාබල ඩිවිෂන රෙජිමේන්තු තත්වයට කුඩා කල යුතු වගද පෙනී ගියේය. හිට්ලර්ගේ ඊලඟ ඉලක්කය ලෙස පෙනී ගියේ ප්‍රංශයයි. පෝලන්ත ආක්‍රමණය මත පැරිස්‍ රජය දැනටමත් යුද ප්‍රකාශ කොට සිටි හෙයින් ඔහුට හේතු සෙවීමට අවශ්‍ය නොවීය. බටහිර සටනට සූදානම් වන ලෙස හිට්ලර් හමුදාවට නියෝග කළේ 39 ඔක්තෝබරයේදීය. කෙටි යුද්ධයක් හරහා බෙල්ජියම නෙදර්ලන්තය ලක්සෙම්බර්ගය හා ප්‍රංශයේ වෙරළ බඩ කොටස අත්පත් කොට ගැනීම මඟින් ජර්මනියට ගුවනින් පහර දීමට බ්‍රිතාන්‍යයට ඇති හැකියාව සීමා වනවා පමණක් නොව පහසුවෙන් ලන්ඩනයට පෙරලා පහර දීමට ද අවස්ථාව උදා වනු ඇත. පළමු ලෝක යුද්ධය සඳහා භාවිත වූ ‘වොන් ශ්ලීෆන්’ සැලැස්ම (හිට්ලර් නම් සොල්දාදුවා කොටසේ මේ පිළිබඳ විස්තර කොට ඇත) ඉවතට ගත් හමුදා සෙනෙවි මණ්ඩලය එහි දූවිලි පිසලා හැර යලි දිග හැරියේය. එහෙත් එය 1914 දී ජර්මනියට තීරණාත්මක ජයග්‍රහණ ලබා දීමට අපොහොසත් වූ අතර සතුරා එවැන්නකට මුහුණ දීමට සූදානමින් ද සිටියේය. ඒ හා සමාන්තරව හැල්ඩර් ඉදිරිපත් කල විකල්ප සැලැස්ම ද හිට්ලර්ට රුචි වූයේ නැත. එහෙයින් හේ තවදුරටත් අතීරණයෙන් පසුවිය. මේ අතර ප්‍රංශ යුද කේතය බිඳ දමා ඔවුන්ගේ ගුවන් විදුලි පණිවුඩ වලට සවන් දුන් ජර්මන් හමුදා ඔත්තු සේවය බෙල්ජියන් දේශසීමාවේ මියුස් නදිය අසබඩ ආරක්ෂක විධි වීධාන දුබල එක් ස්ථානයක් හඳුනා ගැනීමට සමත් විය. කීර්තිමත් ජර්මන් ජනරාල් වරයකු වූ එරිච් වොන් මැන්ස්ටයින් ගේ අදහස වූයේ යුද ටැංකි මගින් අර්ඩ්න්ස් වනය හරහා පහර දී පහසුවෙන්ම ප්‍රංශ පෙරමුණ බිඳ දැමීමට හැකි බවයි. ප්‍රමාණවත් තරම් යුද ටැංකි සටනට යොදවන්නේ නම් ප්‍රහාරය සාර්ථක කොට හැකි බව ගුඩේරියන් ද කියා සිටියේය. එහෙත් හැල්ඩර් ප්‍රමුඛ හමුදා සෙනෙවි මණ්ඩලයට තවමත් ‘වොන් ශ්ලීෆන්’ සැලැස්මෙන් තොර ලෝකයක් නැත. තව දුරටත් ප්රි යය. ඔවුහු මැන්ස්ටයින් ගේ අදහස සැලකිල්ලට නොගෙනම ඉවත ලූහ. එපමණක් නොව යුද සැලසුම් සඳහා තවදුරටත් මැදිහත් වීමට නොහැකි වන සේ මැන්ස්ටයින් තනතුරින් ඉවත් කොට පාබල කෝර්ප්ස් හමුදාවකට අණ දීම සඳහා පත් කොට යැවීමට ද හැල්ඩර් වග බලා ගති. යුද ටැංකි පෙරමුණ ලා කෙරෙන පහර දීමකට හැල්ඩර් විරුද්ධය. “ඔය පෝලන්තෙ කරා වගේ ප්‍රංශ හමුදාවට වෙට්ටු දාන්න ගියොත් අන්තිමට වෙන්නෙ තියන යුද්ද ටැංකි ටිකත් නැති වෙන එක විතරයි.” ඔහු කීවේය. හිට්ලර්ට සිද්ධිය ආරංචි වුනේ දින කිහිපයකට පසුවය. මැන්ස්ටයින්ගේ සැලැස්ම එක් වරම ඔහුගේ සිත් ගත්තේය; ප්‍රධාන ප්‍රහාරය ආර්ඩ්න්ස් වනය හරහා යුද ටැංකි යොදවා එල්ල කල යුතුය. එමගින් ජර්මන් දේශසීමාව හරහා ප්‍රංශය විසින් ඉදි කොට දැඩි ලෙස මුරකාවල් යෙදූ ‘මැගිනට්’ ආරක්ෂක සීමාව මඟ හැරිය හැක. මැන්ස්ටයින් කැඳවා පුද්ගලිකව කරුණු සාකච්ඡා කල හිට්ලර්, ඔහුට බොහෝ පසසා, ඒ අනුව ආක්‍රමණය සඳහා සූදානම් වෙන ලෙස හමුදා සෙනෙවි මණ්ඩලයය නියෝග කලේය; “තමුසෙලට වැඩක් කරගන්නත් බෑ. පුළුවන් මිනිහෙකුට කරන්න දෙන්නෙත් නෑ.” අවසානයේ දොස් ඇසීමට සිදුවූයේ හමුදා පති වොන් බ්රෝනචිෂ්ට් ටය. 1940 පෙබරවාරියේ පවැත්වූ යුද ක්‍රීඩා තුලින් තවදුරටත් සනාථ වූයේ මැන්ස්ටයින් ගේ උපක්‍රමය බටහිර පෙරමුණේ ජර්මනියේ අරමුණු සඳහා ඉතා උචිත බවයි. ප්‍රංශ ආක්‍රමණය සඳහා ඩිවිෂන 135ක් හා යුද ටැංකි 2400 ක් හමුදා කණ්ඩායම් තුනකට ගොනු කෙරුන අතර අහස් යානා 5000 සැපයීමට ගෝරින් සමත් විය . අර්ඩ්න්ස් වනය හරහා එල්ල කරන ප්‍රධාන ප්‍රහාරය කල්නල්-ජනරාල් ගර්ඩ් වොන් රන්ස්ටඩ්ට් අණදුන් ‘ඒ’ හමුදා කණ්ඩායමට අයත් ගුඩේරියන්ගේ 19 වැනි පැන්සර් කෝර්ප්ස් හමුදාවටය. ජර්මන් අක්‍රමණයට මුහුන දීම සඳහා ප්‍රංශය සතුව මහාද්වීපය තුල ඩිවිෂන 141ක් හා යුද ටැංකි 3,300ක් ද, අහස් යානා 2,900 ක්ද තිබුණද පළමු ලෝක යුද්ධයේ සිතුම් පැතුම් රටාව අනුව යමින් ඔවුන් සිය යුද ටැංකි සංචිතය පාබල හමුදාවේ සහායක උපකරණයක් ලෙස සමස්ථ බලඇණිය තුල තවදුරටත් විසුරුවා හැර තිබුන අතර වෙනම සංවිධානය කල යුද ටැංකි බලඇණි යොදවා පෙරමුණ සිදුරු කොට කරන ක්ෂණික වැටලීමකින් සතුරා ගේ සංඛ්‍යායාත්මක ශක්තිය නිෂ්ඵල කිරීම ජර්මන් උපාය විය. සතුරාගේ විමතියේ වාසිය උපරිමයෙන් භුක්ති විඳීමට හැකි වන පරිදි පැන්සර් කෝර්ප්ස් හමුදාවන්ට නොනැවතී ඉදිරියට යාමේ නිදහස දීමට ගුඩේරියන් යෝජනා කළද හැල්ඩර් ඊට එකඟ වූයේ නැත. ඔහුගේ දැඩි තීරණය වූයේ සටනේ පස් වන දිනයේ දී පාබල හමුදා එනතුරු සන්නාහ සන්නද්ධ බල ඇණි මියුස් නදිය අසල නැවතිය යුතු බවයි. ප්‍රංශ ආක්‍රමණයට පෙර අවසන් යුද සම්මන්ත්රුණය සඳහා සියළු ක්ෂේත්‍ර අණදෙන නිළධාරීන් හිට්ලර් තමා අභිමුවට කැඳවීය. පැමිණි සියළු දෙනා තම තමන්ගේ කාර්යභාරය ඉටු කරන අන්දම විස්තර කොට යුතු විය. ගුඩේරියන් කථා කලේ අවසානයටය. ලක්සෙම්බර්ගය හරහා අර්ඩ්න්ස් වනය ඔස්සේ බෙල්ජියන් දේශ සීමාව තරණය කොට හතර වන දිනයේදී තම පැන්සර් කෝර්ප්ස් බලඇණි මියුස් ගංගාවට ලඟා වන බව ඔහු පැවසීය; ඊලඟ දිනයේ ගඟ තරණය කොට එහා ඉවුරේ ස්ථානගත වනු ඇත. “හොඳයි, ඊට පස්සෙ මොකද කරන්නෙ?” හිට්ලර් විමසීය. මේ ඩොලර් හැට හතර දහසේ පැනයයි. වැරදි පිළිතුරකින් හට ගත හැකි අනර්ථයන් බොහෝය. පාබල හමුදා එන තුරු ගුඩේරියන්ගේ යුද ටැංකි නතර වී සිටිය යුතුයයි ප්‍රධාන මාණ්ඩලීක නිළධාරී හැල්ඩර් තදින් අණකොට ඇත. “මගේ නායක තුමනි, ප්‍රති විරුද්ධ නියෝගයක් නොලැබුනොත් මම දිගටම බටහිර දෙසට යාමට බලාපොරොත්තු වෙනවා. එහි දිශාව තීරණය කල යුත්තෙ උත්තරීතර නායකත්වය විසින්. නමුත් මගේ දැනුමෙ හැටියට නම් නිවැරදි තෝරා ගැනීම වෙන්න ඕන ඉංග්‍රීසි ඕඩය දක්වා වැටෙන මග...” හිට්ලර් අනුමැතිය පල කරමින් හිස සැලුවේය. එහෙත් කිසිත් නොකීය. බ්‍රිතාන්‍යය ආක්‍රමණය කිරීමක් ගැන ඔහු තවමත් වචනයකුදු සඳහන් කොට නැත. සෙසු හමුදා නායකයෝ විමතියෙන් එකිනෙකා දෙස බැලූහ. හැල්ඩර් නිහඬය. ඔහු තමා ඉදිරියේ වූ ලිපි ගොණුවේ ඇති කඩදාසියක් ඉතා සැලකිල්ලෙන් පරීක්ෂා කරන්නේ එය ජීවිතයේ පළමු වර දුටුවාක් මෙනි. “ඔය කිව්වට මම නම් හිතන්නෙ නෑ මියුස් ගඟ පහු කරගන්න වත් පුළුවන් වේවි කියලා,” පාබල හමුදා ජනරාල් වරයකු හා හැල්ඩර්ගේ ගෝලයකු වූ අර්න්ස්ට් බුෂ් සෙමින් පැවසූයේ විරිත්තමිනි. එය හිට්ලර් ට ඇසිණ. ඔහු පිළිතුරක් අපේක්ෂාවෙන් වහා ගුඩේරියන් දෙස බැලීය. “ඇත්ත, ඒක ඔහේ වගේ කෙනෙකුට නම් අමාරු වැඩක්.” ගුඩේරියන් උපහාසාත්මකව පවසනු ඇසූ හිට්ලර්ගේ මුවඟට මඳ සිනාවක් නැගිණ. 1940 මැයි 10 වැනිදා හිමිදිරි උදෑසන ප්‍රංශ ආක්‍රමණය ආරම්භ විය. එහි පළමු අතුරුඵලය වූයේ හිට්ලර් සමඟ ගණුදෙණු ප්‍රතිපත්තියක් සදහා දැරූ තැත ඇර දැමූ බ්‍රිතාන්‍ය අගමැති නෙවිල් චෙම්බෙර්ලේන් සිය තනතුරින් ඉල්ලා අස්වීමයි. එම තනතුරට පත්වූයේ හිට්ලර් ‘සුරා සොඬෙකු’ ලෙස හෙලා දුටු ඉංග්‍රීසි අද්මිරාල්තියේ ප්‍රථම සාමි වින්සන්ට් චර්චිල්ය. ජර්මන් හමුදා අතුරු අන්තරාවකින් තොරව ලක්සෙම්බර්ගයට බෙල්ජියමට හා නෙදර්ලන්තයට ඇතුල් වූහ. ගුවනේ සම්පූර්ණ බලය ජර්මන් අහස් යානා විසින් අත් පත් කොට ගෙන තිබිණ. යුද්ධෝපායික වශයෙන් වැදගත් ස්ථානවලට තම කොමාන්ඩෝ භටයන් කල් ඇතිවම ගුවනින් හෙලීමට ගෝරින් කටයුතු කොට තිබීම ජර්මන් හමුදාවට මහත් වාසියක් විය. අර්ඩ්න්ස් වනය හරහා වේගයෙන් ඉදිරියට ආ ගුඩේරියන්ගේ යුද ටැංකි අපේක්ෂිත පරිදි මියුස් ගඟ අසබඩට පැමිනියේ කිව යුතු තරමේ අතුරු අන්තරාවකින් තොරවය. මනාව සම්බන්ධීකරණය කෙරුන ගුවන් සහාය නිසා ගංගා තරණය හිතුවාටත් වඩා පහසු විය. රයිෆල් භටයන් සමඟ පළමු ප්‍රහාරක බෝට්ටුවට නැගුනේ ගුඩේරියන් ආරම්භක වාසිය අපතේ නොහැරීමට පිණිස පැන්සර් කණ්ඩායම් තවදුරටත් ඉදිරියටම මෙහෙයවීය. මීලඟ ඉලක්කය වූ සෙඩන් නගරයට සැතපුම් පණහක් මෙපිටදී ඔහුට හමුදා සෙනෙවි මණ්ඩලයෙන් නැවතුම් නියෝගයක් ලැබිණ. එහෙත් ඔහුගේ ප්‍රධානියා වූ ‘ඒ’ හමුදා කණ්ඩායමේ අණදෙන නිළධාරී වොන් රන්ස්ටඩ්ට් මැදිහත් වී සතුරු බිමේ ‘පිරික්සුම් චාරිකා’ වල යෙදීමේ අවසරය ඔහුට ලබා දුන්නේය. ගුඩේරියන් ගේ උපාය යුද බිමේ සිටින රන්ස්ටඩ් ට මැනවින් වැටහේ. එහෙත් කාර්යාලයේ සිටින හැල්ඩර්ට නොවැටහේ. එහෙයින් තම පෙරමුණු අණදෙන රථය හා මූලස්ථානය අතර දුරකථන රැහැනක් පවත්වාගෙන ගැනීමට ගුඩේරියන් සැලකිලිමත් විය. එමගින් තමා තවදුරටත් මූලස්ථනයේ රැඳී සිටින්නේය යන හැඟීම සැනෙවි මණ්ඩලය තුල ඇතිකල අතර හැල්ඩර්ගේ ගුවන්විදුලි ග්‍රාහක මඟ හරිමින් පෙරමුණ සමඟ සන්නිවේදනය කිරීමටද ඔහුට හැකි විය. මැයි 19ව වැනිදා 1 වන පැන්සර් ඩිවිෂනය සොම් නදිය තරණය කලේය. එහි ඉදිරි ගමන කෙතරම් වේගවත් වීද යත් කියතොත් ඒවා සතුරු යුද ටැංකි විය යුතු යැයි වරදවා වටහා ගත් ජර්මන් අහස් යානා බලඝණයක් ගුවනින් පහර දුන්නෝය. ගුවන් යානා දෙකක් බිම හෙලන ලදී. යුද සිරකරුවන් වීමට සූදානමින් පැරචුට් මගින් බිමට බට ගුවන් නියමුවන් දෙදෙනා පිළි ගනු ලැබුවේ කෝපයෙන් පිපිරෙන පැන්සර් ජනරාල් වරයෙක් විසිනි! ප්‍රථමයෙන් තරුණ ජර්මානුවන් දෙදෙනාට දෙකන් වල ඇඟිලි ගසා ගැනීමට දෙසූ ගුඩේරියන්, පසුව ඔවුන්ට චැම්පේන් වලින් සංග්‍රහ කලේය. ගොහොරු බිම් වනාන්තර තරණය කොට පැමිණි ජර්මන් යුද ටැංකි එදා රෑ පෙරළී ගියේ අත්ලාන්තික් වෙරළේ රන්වන් වැලි මතය. පමණය වඩා වේගයෙන් ඉදිරියට ගිය පැන්සර් බල ඇණි සතුරාට කොටුවනු ඇතැයි බිය වූ හිට්ලර් මැයි 24 වනදා යලිත් වරක් නැවතුම් නියෝගයක් නිකුත් කරන විට ගුඩේරියන්ගේ යුද ටැංකි තිබුනේ ඩන්ක්‍රික් වරාය එළිපත්තේය. තුන් ලක්ෂයක ඉංග්‍රීසි හමුදාවක් එහි කොටුවී සිටිති. තවමත් මඟ එමින් සිටින පාබල හමුදා වල සහයෝගය නොමැතිව මෙම තීරණාත්මක ප්‍රහාරය ඇරඹීම අවදානම් යැයි සිතූ හිට්ලර් ගුඩේරියන්ගේ අභියාචනය ඉවත දැමුවේ නිළධාරීන් පමණක් නොව ජර්මන් සෙබළු පවා අමනාපයට පත් කරවමිනි. තත්වය සියැසින් දැකීමට වරාය අසලට ගිය ගුඩේරියන් හිට්ලර්ගේ පුද්ගලික එස්. එස්. ඩිවිෂනය වූ ‘ලයිබ්ස්ටැන්ඩර්ට් ඇඩොල්ෆ් හිට්ලර් ’ බල ඇණිය නැවතුම් නියෝගය නොතකා තවදුරටත් ඉදිරියට ගමන් කරන බව දුටුවේය. ඉදිරියේ ඇති අඩි දෙසිය තිස් පහක් උස ‘වැටන්’ කන්ද අත්පත් කොට ගන්නා තුරු තමා නොනවතින බව එහි අණදෙන නිළධාරී හා හිට්ලර්ගේ හිටපු ප්‍රධාන ආරක්ෂක නිළධාරී ස්ටෙප් ඩයිට්‍රිච් ගුඩේරියන් සමඟ පැවසීය. හමුදාමය වශයෙන් එම තීරණයේ ඇති තර්කාවින්ත භාවය දුටු ගුඩේරියන් ඒ සඳහා එස්. එස්. භටයන්ට සහය වෙන ලෙස තම 2 වන පැන්සර් ඩිවිෂනයට නියම කළේය. පුරා දෙදිනක් එකල මෙකල වැමින් සිට අවසානයේ හිත හදාගත් හිට්ලර් යලි ගමන් අරඹන ලෙස නියෝග කලද දැවැන්ත ජයක් අත්කොට ගැනීම සඳහා ඒ වන විට ප්‍රමාද වූවා වැඩිය. ලද අවසරයෙන් කොටුවී සිටි මිත්‍ර පාක්ෂික භටයන් වැඩි පිරිසක් ගුඩේරියන් ගේ භටයන් බලා සිටියදීම බෝට්ටු වලින් පලා ගියහ. එසේ වුවදු යුද ටැංකි වල හපන් කම් දුටු හිට්ලර් ගුඩේරියන් යටතේ පැන්සර් හමුදා කණ්ඩායමක් ගොඩ නැඟීමට මැයි 28 දා තීරණය කළේය. . ජුනි 05 වැනිදා ෆෙඩෝර් වොන් බොක් අණදුන් ‘බී’ හමුදා කණ්ඩායම පැරිසිය බලා දකුණට ගමන් ඇරඹීය. සටන පෙරට වඩා අසීරු වූයේ ඒ ප්‍රංශ හමුදාවේ සැපයුම් හා සන්නිවේදන මාර්ග වඩාත් කෙටි ව තිබූ නිසාය. එහෙත් ජර්මන් ගුවන් ප්‍රහාර විසින් සතුරාගේ ශක්තිය බිඳ හෙලනු ලැබීය. සිව් දිනකට පසු ‘ඒ’ හමුදා කණ්ඩායම උතුරේ සිට නැගෙනහිර දක්වා යොමුවූ අඩකවයක හැඩයට පහර දුන්නේය. එහි අරමුණ වූයේ ජර්මන් බටහිර දේශ සීමාව හරහා වූ ‘මැගිනට්’ ආරක්ෂක සීමාවේ ප්‍රංශ බල ඇණි වැටලීමයි. ජුනි 14 වැනිදා පැරිසිය අවි බිම තමා ජර්මන් හමුදාවට යටත් වූවාය. ‘කාන්තාර හිවලා’ යන විරුදාවලි ලත් අර්වින් රොමෙල් විසින් අණදුන් හත් වන පැන්සර් ඩිවිෂනය සයින් නදිය හරහා නෝර්මැන්ඩියට ඇතුළු විය. දෙදිනකට පසු ප්‍රංශ රජය බිඳ වැටිණ. දැඩි ලෙස රැකවල් කොට තිබූ ‘මැගිනට්’ ආරක්ෂක සීමාව ඉදිරියෙන් හා දෙපසින් බිඳ හෙලීමට ජර්මන් හමුදා තැත් කරන අතරතුර, පසුපසින් පැමිණි ගුඩේරියන්ගේ යුද ටැංකි ජුනි 17 වැනිද සියළු සැපයුම් මාර්ග කපා හරිමින් ‘මැගිනට්’ පේලිය සම්පූර්ණයෙන් වටලනු ලැබීය. තම 29 වැනි යාන්ත්‍රික පාබල ඩිවිෂනය ස්විස් දේශසීමාවට ලඟා වූ බව ඔහු හමුදා සෙනෙවි මණ්ඩලයට වාර්තා කලේය. එහෙත් හිට්ලර් එය විශ්වාස කිරීමට මැලි විය. "ඔබේ පණිවුඩය වැරදි රේඩියෝ සංඥාවක් මත පදනම් වූවක් විය යුතු යැයි උපකල්පනය කරමි." හිට්ලර්ගේ මුලස්ථානයෙන් විදුලි පුවතක් ද ලැබිණ. "සංඥාව නිවැරදිය. මම දැන් සිටින්නේ එතැනය" ගුඩේරියන්ගේ සාඩම්බර පිළිතුර විය. ප්‍රංශ භටයෝ 360,000 මිය ගොස් හෝ තුවාල ලබා සිටියහ; තවත් 1.900.000 ක් යුද සිරකරුවන් වශයෙන් ජර්මනියට යටත් විය. නව රාජ්ය9 නායක යුද මාෂල් පෝල් පැටේන් ජර්මනියෙන් සාමය ඉල්ලා සිටියේය. මියගිය ජර්මන් භටයින් ගණන 28,000කි. යුද ටැංකි 800ක් හා ගුවන් යානා 1200ක් සටනේදී විනාශ විය. ලද ජය හා සසඳන විට හිට්ලර්ට එය නොගිනිය හැකි තරම් කුඩාය. හත් දිනකට පොරොතුව ඇපෙන් ගැලවීමට මෙන් ප්‍රංශයට විරුද්ධව යුද ප්‍රකාශ කොට මෙතෙක් හොර ගල් අහුලමින් සිටි හිට්ලර්ගේ සගයා වූ ඉතාලියේ මුසෝලිනි, ඇල්ෆයින් කපොල්ල හරහා සීමිත ආක්‍රමණයක් දියත් කලේ ඊටත් පසුවයි. . “හිට්ලර් යුද්දෙ දිනාගෙන ඉවරයි. මට ඕන දෙතුන් දාහක් මැරිල අපිත් යුද්දෙට සම්මාදම් උනා කියන්න. නැත්නම් දන්නවනෙ මිනිහගෙ හැටි?” මුසෝලිනි තම මාණ්ඩලික ප්‍රධානියා වූ මාෂල් පියෙට්‍රෝ බැඩෝග්ලියෝ ට පැවසීය. පසුදා හිට්ලර් තමා බැහැ දැකීමට පැමිණි ඉතාලි අඥාදායකයාට පැවසුයේ ප්‍රංශයට දැඩි භෞමික කොන්දේසි පැනවීමට තමා අදහස් නොකරන බවය. “එංගලන්තෙ එක්ක එකතුවෙලා නටන්න බැරි ගානට එයාලා හිර කරල තිව්වම ඇති. ප්‍රංශයේ උතුරු කොටසයි, ස්පාඥ්ඥ දේශසීමාවට වෙනකම් බටහිර තීරුවකුයි අපි තියා ගන්නවා. ඉතුරු ටිකේ පරාජිත ආණ්ඩුවක් පවත්වා ගෙන යන්න ඉඩ දෙන එක අපිට ලේසියි. නැත්නම් පරිපාලන කටයුතු අපි කරන්නද? හැබැයි හමුදාව නම් අවම කරනවා, අපේ යුද වියදමත් එයාල ගෙවන්න ඕන දවසට ෆ්‍රෑන්ක් කෝටි 40 ගානෙ. බෙල්ජියමයි නෙදර්ලන්තෙයි දිගටම ජර්මන් හමුදා ඉන්නවා...දැන් එංගලන්තෙට ඉතුරු වෙලා තියෙන්නෙ සමාදානෙකට එන එක විතරයි...” මුසෝලිනි ද එය අනුමත කළේය. “අපිත් ඔන්න ඔහෙ අල්ල ගත්ත ටික විතරක් තියාගෙන නිකම් ඉන්නවා, වැඩිපුර දේවල් ඉල්ලන්න යන්නෙ නැහැ. මේ ටිකටත් අත ගැහුවෙ අර අපිත් නායකතුමා එක්ක ඉන්නවා කියල රටට ලෝකෙට පෙන්නන්න ඕන නිසා මිසක් මේ වෙලාවෙ හැටියට පුළුවන් කමකට නෙවෙයි.” 1942ට පෙර යුද්ධයක පැටලීමට මුසෝලිනි කැමති නැත. ප්‍රංශයේ යටත් වීම භාර ගැනීමට හිට්ලර් තෝරා ගත්තේ ද 1918 පරාජය අභිමුව මිත්‍ර ජාතීන් ජර්මනියට අසීරු කොන්දේසි පැණවූ ස්ථානයමය. එදා තාවකාලික සාම කොන්දේසි අත්සන් කල මාෂල් ෆර්ඩිනන්ඩ් ෆෝච් ගේ දුම්රිය මැදිරිය එය සුරැකිව තිබූ කෞතුකාගාරයෙන් ඉවත් කොට කොම්පයින්ග් වනාන්තරයට ගෙන එන ලද්දේ ප්‍රතිවිරුද්ධ අතට පුනරාවර්තනය වෙමින් තිබූ ඓතිහාසික දර්ශනය සම්පූර්ණ කිරීම සඳහාය.

ජුනි 21 වැනිදා සවස හිට්ලර් එහි ලඟා විය. දුම්රිය මැදිරිය තුල එදා ෆෝච් ගේ අසුනේම හිඳගත් ඔහු තම සාම කොන්දේසි වලට සවන් දෙමින් සිටි ප්‍රංශ නියෝජිතයන් දෙස බැලුවේ උපහාසය, වෛරය, කෝපය, පලිගැනීම, හා තෘප්තිය මුසු හැඟීමෙනි. හරියටම එදා ෆෝච් ජර්මන් නියෝජිතයන්ට කලාක් ඔහුද ඔවුන්ට අවඥා කොට වැඩිදුර සාකච්ඡා කිරීම මහ සෙනෙවි මණ්ඩලයේ  ප්‍රධානී කයිටල්ට පවරා පිටව ගියේය. 

1918 ජර්මනියට කළ කෙණෙහිලිකම් වලට සරිලන සේ පොළියත් සමඟම අවමන් ලැබූ ප්‍රංශය පසුදින සවස වඩාත් නින්දා සහගත සාම කොන්දේසි මාලාවකට අත්සන් තැබුවාය. ඉදිරි සිව් වසර තුල ඈ ලෝක සිතියමේ නියෝජනය වූයේ ප්‍රමාණයෙන් කුඩා කරන ලද දෙවන පෙළ රාජ්‍යයක් ලෙසයි. සිය මිතුරන් ගේ ඛෙදජනක ඇද වැටීමෙන් තනිවූ මහා බ්‍රිතාන්‍යයට ඉතිරි වූයේ පටු මුහුදු තීරයක රැකවරණය පමණි. ජුලි මාසයේ යුරෝපයේ පොදු පැණය වූයේ ප්‍රංශය මෙතරම් පහසුවෙන් යටපත් කරනු ලැබුවේ කෙසේද යන්න නොව ජර්මන් හමුදා ඉංග්‍රීසි ඕඩය හරහා ලන්ඩනයට පහර දෙනු ඇත්තේ කවදාද යන්නයි. එහෙත් හිට්ලර් සිය සැබෑ අභියෝගය ලෙස දුටුවේ දැවැන්ත සෝවියට් රාජ්‍යය මිස කුඩා වේල්ස් දූපත් සමූහය නොවේ. මහා බ්‍රිතාන්‍යය කල් නොගොස්ම පරාජය පිලිගනු ඇතැයි ඔහු මුසෝලිනි ට පැවසුවේ එහෙයිනි. නවසිය 1940 දෙවන භාගය එළැඹෙන විට යුරෝපයෙන් අඩකට වඩා සිය අණසක යටතට ගත් ජර්මනියට ඉතිරිව සිටි එකම ප්‍රකාශිත සතුරා මහා බ්‍රිතාන්‍යය පමණි. ජුලි 16 දා ‘එංගලන්තයට හමුදා ගොඩ බැස්වීම’ පිළිබඳ අතිශය රහසිගත මාර්ගෝපදේශක මාලාවක් හමුදා සෙනෙවි මණ්ඩලයට නිකුත් කල හිට්ලර් මහ සෙනෙවි මණ්ඩලයේ මහ සෙනෙවි මණ්ඩල ප්‍රධානී කයිටල්, හමුදා පති වොන් බ්රෝිචිෂ්ට් ඇතුළු තවත් ජනරාල් වරු එකොලොස් දෙනෙක් ජෙනරල්ෆීල්ඩ්මාෂල් (Generalfeldmarschall) තනතුරට උසස් කළේ ඔවුන්ගේ සේවයට උපහාරයල් ලෙසය. “යුද්දෙ දින්න ගමන් ඔක්කොටම දෙනව වතුයායවල් නැගෙනහිර පැත්තෙන්” ඔවුන් වෙනුවෙන් චාන්ස්ලර් මැදුරේ පැවති රාත්‍රී භෝජනය අතරතුර ඔහු ඉඟි මැරීය. නැගෙනහිර ප්‍රසියන් ජුන්කර් වරු කවදත් වතුපිටි වලට කෑදර බව ඔහු නොදනිත්ද? මෙහිදී උසස්ම සම්මානය ලැබුවේ අන් කිසිවෙකු නොව හිට්ලර්ගේ අනුප්රාප්තිකයා ලෙස ඒ වන විටත් නම් කොට ලැබ සිටි ගුවන් හමුදාපති තැන්පත් ජෙනරල්ෆීල්ඩ්මාෂල් හර්මන් ගෝරින් ය. ශුද්ධවූ රෝම අධිරාජ්ය්ය සමයේ පමණක් අසන්නට ලැබුන ජර්මන් සන්නද්ධ හමුදා වල එතෙක් මෙතෙක් පැවති ඉහලම නිළය වූ ‘රයික්මාෂල්’ (Reichmarshall) ධුරයට උසස් කෙරුන ඔහුට හිට්ලර් සිය කථාවේදී බොහෝ පැසසුවේය. හිසේ මලක් පිපුන ගෝරින් උත්සවය පුරා සිය අසුනට වී තමා ලද රන්වන් උර පදක්කම ඒ මේ අත හරවමින් ප්‍රීති වූයේ ක්‍රීඩා භාණ්ඩයක් ලද කුඩා දරුවකු මෙනි.

(c) Chamara Siriwardene

හිට්ලර් නම් අධිරාජයා (1940-1941)

මේ වන විට හිට්ලර්ගේ සිහිනය වූ තුන් වැනි රයික් අධිරාජ්‍යයේ පලමු අදියර සම්පූර්ණය. වර්සෙල්ස් ගිවිසුම ඉරා දමනු ලැබ තිබිණ. උඩඟු පෝලන්තය විනාශ කොට සම්ප්‍රදායික සතුරා වූ ප්‍රංශයද දණ ගැස්වූ ජර්මනිය සිය දේශසීමා නැගෙනහිරින් බග් නදියේ සිට බටහිරින් අත්ලාන්තික් වෙරළ දක්වා පුළුල් කොට ගත් අතර මහා බ්‍රිතාන්‍යය මහද්වීපයෙන් පිටුවහල් කරනු ලැබ සිටියාය. විශාලතම හිසරදය වූයේ රුසියානුවන් ය. ගතවූ ශිත සෘතුවේ ෆින්ලන්තයට පහර දුන් සෝවියට් වරු ලැගෝඩා විලට උතුරින් විශාල භූමි ප්‍රමානයක් ඩැහැ ගත්හ. අනතුරුව බෝල්ටික් රටවල් වූ එස්ටෝනියාව, ලිතුවේනියාව හා ලැට්වියාව බලාත්කාරයෙන් සෝවියට් සංගමයට ඇතුලු කොට ගත් ස්ටාලින් රොම්නියාවට අයත් බැසරේබියාව හා උතුරු බුකොවිනාවද ඈඳා ගත්තේය. හිට්ලර් කලබල විය. මොනවා නැතත් ඔහුට රොම්නියාවේ තෙල් ආකර අවශ්‍යය. නාසි-සෝවියට් ගිවිසුම මගින් තමා රුසියාවට බුරුල දුන්නා වැඩි යැයි ඔහුට දැන් සිතේ. මේ අතර ඔස්ට්‍රියාවේ සිටි කුබිසෙක්ට ජර්මන් චාන්සලර් කාර්යාලයෙන් ලිපියක් ලැබිණ. එහි වූයේ බේරූත් නගරයේ පැවැත්වෙන මහා ‘වැග්නර්’ ඔපෙරා ප්‍රසංගය සඳහා පලමු පංතියේ ටිකට් පතක් හා ගමන් බලපත්‍රයකි. කුබිසෙක් ප්‍රසංගය නැරඹීමට ගියද යුද්ධය නිසා බෝහෝ කාර්ය බහුල හිට්ලර් ඊට නොපැමිණෙනු අතැයි සිතීය. එහෙත් ඔහුට වී තිබුනේ විශාල වැරදීමකි. ඔපෙරා ශාලාවේදී ඔහු සොයා පැමිණි එහි ප්‍රධාන සංවිධායිකව මෙන්ම දිවංගත මහා සංගිතඥ රිචර්ඩ් වැග්නර් ගේ ලේලිය වූ විනිෆ්‍රඩ් වැග්නර් මහත්මිය නායකතුමා දුරකථනෙන් අමතා ‘හර් කුබිසෙක්’ පිළිබඳ විපරම් කල බවත්, ප්‍රසංගයට පැමිණෙන බවත්, විවේක කාලයේ ඔහු හමුවීමට අදහස් කරන බවත් තැනුම් දුන්නාය. වැග්නර් පවුල සමඟ හිට්ලර් බොහෝ හිතවත්ය. විවේක කාලයේ කුබිසෙක් සොයා පැමිණි හිට්ලර්ගේ පොලිස් අතවැසියා වූ එස්. එස්. ලුතිනන් ජනරාල් ජුලියස් ෂෝබ් දැවැන්ත ශාලාවේ වෙනත් මහලකට ඔහු කැඳවා ගෙන ගියේය. එහි තැන තැන අමුත්තන් ය. වසා ඇති දොරක් අසල සිටින නිලධාරියක් ඔවුනට සන් කරයි. එක අතකින් දොර විවෘත කල ෂෝබ් සීරුවට පැමිණියේය. “මගේ නායක තුමනි. හර් කුබිසෙක් පැමිණ සිටී” අනතුරුව පිටතට ගොස් දොර වැසීය. කුබිසෙක් ඇතුලේය. විධායක රයික් චාන්ස්ලර් තැන ඔහුට අතට අත දුන්නේ සිනාසෙමිනි. ඔස්ට්රියාවේ සිට ආ තම ගමන හා නගරයේ බැලීමට ගිය ස්ථාන පිළිබඳ සියළු තොරතුරු පැවසීමට කුබිසෙක්ට සිදු විය. අනතුරුව රිචර්ඩ් වැග්නර් ගේ ඔපෙරා සංගීතය රසවිඳීමට සෑම ජර්මානුවෙකුටම අවස්ථාව සලසා දීමේ තම සැලසුම් පිළිබඳ හිට්ලර් විස්තර කළේය. ඒ ඇසූ කුබිසෙක්ට දැනුනේ තමා වියානා නුවර ස්ටම්පර්ගැසේ වීථියේ අංක 29 කාමරයේ හිඳගෙන සිටින සැටියකි. “මේ අවුරුද්දෙ මට බලන්න වෙන්නෙ මේ ප්‍රසංගය විතරයි. ඒත් කරන්න දෙයක් නෑ. ” ඔහු මැසිවිලි නැගුවේය. “බලනව, මේ යුද්දෙ නිසා ඔක්කොම ඉදි කිරීම් වැඩ කල් ගියා. මේක මහ ලැජ්ජාවක්. මට ඕන යුද්ධ කරන්න නෙවෙයි. ඒත් මේක නොකර බෑ.” මේ ඊයේ පෙරේදා ප්‍රංශයේ ජය කෙහෙළි නැංවූ ඇඩොල්ෆ් මෙසේ කතා අරන්නේ මන්දැයි කුබිසෙක් ට නම් නොවැටහේ. “ තමුසෙ හොඳටම දන්නව මගේ සැලසුම් මොන තරම් තියනවද කියල..” කුබිසෙක් තරම් හොදින් අන් කිසිවෙක් ඒවා නොදනී. “මේ යුද්දෙට මගේ හොඳම කාලය වැය වෙනව. අන්තිමට ඉතුරු වෙන ටික මදි කරන්න තියන වැඩ කන්දරාවට. යුද්දෙ ඉවර උනාම පණිවිඩයක් එවන්නම්. හැබයි ඒ වැඩ පටන් ගන්නකොට තමුසෙ මා එක්කම ඉන්න ඕන.” ඒ කුබිසෙක් ට හිට්ලර් හමුවූ අවසන් අවස්ථාවයි. සෙසු කෝටි සංඛ්‍යායාත පිරිසක් මෙන් යුද්ධය අවසන් වෙමින් ඇතැයි යන හැගීමෙන් පසු වූ කුබිසෙක්ද, ඉදි කිරීම් කටයුතු කෙසේ වෙතත් ඇඩොල්ෆ් දැන්දැන් මහා බ්‍රිතාන්‍යය දණ ගැස්වීමට අර අදීමින් සිටින බවක් නොදත්තේය. බ්‍රිතාන්‍ය‍ය අක්‍රමණය අතිශය පරීක්ෂාකාරීව සකස් කල යුතු සැලසුමක් වූයේ රාජකීය නාවික හා ගුවන් හමුදා බලය ශක්තිමත් වී නිසාය. හමුදා ගොඩ බැස්විය යුත්තේ ‘පරාජය කරන ලද’’ දූපතකට බව සෙනෙවි මණ්ඩලයේ මතය විය. ‍ක්‍රමාණුකූල ප්‍රහාර මාලාවකින් ඉංග්‍රීසීන්ගේ ගේ යුද හා ආර්ථික ශක්තිය විනාශ කර දමන්නෙ මැයිගෝරින් ඉදිරිපත් වූයේ මෙහිදීය. ඔහු අගෝස්තුවේ දකුණු ලන්ඩනයට මහ දවාලේ බෝම්බ දැම්ම වීය. පෙරදිග සිය ඔද තෙද පතුරුවන හිරු නොබසින අධිරාජ්‍යයේ හදවතටම එල්ලවූ ඒ පහර උඩඟු ඉංග්රීීසීන් කෙසේ නම් විඳ දරා ගන්නද? එහෙත් සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තිබිය යුතු බව අයිසැක් නිවුටන් ඔවුනට කියාදී තිබුනේ දහසය වැනි සියවසේදීය. ඒ අනුව අහෝස්තු 24 දා රෑ රාජකීය ගුවන් හමුදාව ජර්මන් නගර කිහිපයකට බෝම්බ හෙලුවේ ගෝරින්ගේ කීර්තියට නොමැකෙන කැලලක් එක් කරමිනි. ඉන් සිදුවූ භෞතික හානිය ඉතා අල්ප මුත් රට තුල ඇති කල දේශපාලන කැලඹීම සුළුපටු නැත. ජය ඝෝෂා නඟමින් සිටි ජාතියක් තිගැස්සී ප්රිකෘතියට පැමිණියාක් බඳුය. මෙතෙක් මහජනයාගෙන් යුද්ධය පිළිබඳ පලවුන ප්‍රීතිමත් සුභවාදය ගොළු විනීත බවට හැරී ඇතයි රට පුරා සිටින එස්. එස්. ඔත්තුසේවා ඒජන්ත වරු හිම්ලර්ට වාර්තා කලෝය. ගෝරින්ගේ තත්වය වඩාත් නරක් වූයේ සතුරු ගුවන් යානා කිසි දාක ජර්මනියට ඉහලින් පියාසර නොකරන ඔහු තැන තැන කට මැත දොඩා තිබීම නිසාය. “ බැරිවෙලාවත් එහෙම දෙයක් උනොත් හෙම ආයෙ ඉතින් මම ගෝරින් නෙවෙයි! මට ඉජුඃ කියල කතා කරන්න!” මහත් අපහසුතාවට පත් ඔහු සිය කීර්තිය රැක ගනු වස් බ්‍රිතාන්‍යයට එරෙහි මහා ගුවන් ක්‍රියාන්විතයක් දියත් කිරීමට යෝජනා කලේය. කෝපයෙන් සිටි හිට්ලර් ඊට අනුමැතිය පල කලේ ගෝරින්ට ද නොසෑහෙන දෙහි කැපීමෙන් අනතුරුවයි. ඒ අනුව සැප්තැම්බර් 07 දා ජර්මන් අහස් යානා 300 ක සහභාගීත්වයෙන් ඇරඹුන මෙම ගුවන් මෙහෙයුම පුරා දෙමසකට ආසන්න කාලයක් ක්‍රියාත්මක විය. දිනකට ගුවනින් හෙලන ලද පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 100 ට අඩු නැත. ප්‍රතිඵලය ලන්ඩන් ඇතුළු ප්‍රධාන නගර ගණනාවක ජන ජීවිතය මුළුමනින් අඩාල වූ වීමයි. ඒ ටික දොහේ නිකම් නොසිටි විදේශ ඇමති රිබන්ට්‍රොප් ද බොහෝ දුව පැන ඇවිද්දේය. ඔහුගේ මහන්සිය අපතේ ගියේ නැත. සැප්තැම්බර් 27 දා ජර්මනිය ජපානය හා ඉතාලිය ත්‍රෛපාක්ෂික යුද ගිවිසුමකට එළඹුනහ. ඒ අනුව එක් ජර්මනිය හා ඉතාලිය යුරෝපයේ ‘නව ආඥාවක්’ පිහිටුවීමට එකඟ වූ අතර මහා පෙරදිග ආසියාව තුල බලවතා ජපානය බවද හදූනා ගැනිණ. තව දුරටත් රුසියානුවන් ගෙන් හිරිහැර වෙතැයි බියවූ රොමේනියාව ජර්මන් හමුදා සිය රට තුලට එවන මෙන් ඉල්ලා සිටියේ 1940 ඔක්තෝබරයේදීය. ඒ සඳහා ජර්මන් හමුදාවට සිය රට මැදින් යාමට ඉඩ දිමට හන්ගේරියාව එකඟ විය. ජර්මන් හමුදා රොමෙනියාවේ ප්ලෝස්කි තෙල් නිධි ප්‍රදේශයේ වාඩිලා ගන්න බවට හිට්ලර් ලිපියකින් මුසෝලිනිට දැනුම් දුන්නේ එදා උදේය. “නොකියම හිටිය නම් මීට වඩා හොඳයි.” කෝපවූ මුසෝලිනි තම විදෙශ ඇමති සියානෝට කීය. එකටෙක කිර්මක් ලෙස ඔහු හිට්ලර්ට නොකියාම ඒ මාසයේ ග්‍රීසිය ආක්‍රමණය කලේ තමාද ජර්මනියට ඒ හැන්දෙන්ම බෙදන්නෙමැයි යන අදිටනිනි. එමගින් හිට්ලර්ගේ අවුල් වූ කාල සටහන තවත් වියවුල් කලේය. ජර්මන් ගුවන්යානා දිනපතා බ්‍රිතාන්‍ය නගර වලට බෝම්බ ටොන් ගනන් හෙලද්දී ගෝරින් ටික දොහක් ගත කලේ ‘කැරින් ශාලාව’ නම් වනගත මාලිගයට වී විවේකයෙනි. වනාන්තර දඩබිම් හා ජලාශ වලින් සමන්විත ‘කැරින් ශාලාව’ ඔහු තම අකාලයේ මියගිය පළමු බිරිඳ වූ කැරින් සිහිවීම පිණිස තැනවූ ‘ටජ් මහලයි’. ඕඩය තරණය කිරීමට පෙර ඉංග්‍රීසීන් දණ ගැස්වීමට නම් වත්මන් ප්‍රහාරය මෙන් හතර ගුණයක ගුවන් ශක්තියක් යෙදිය යුතු බව ඔහුට දැන් පෙනේ. එහෙයින් නිවාඩුව අවසන් කොට පැමිණි වහා ඔහු හිට්ලර් හමුවී ලන්ඩනයට එල්ල කරන ප්‍රහාර දැඩි කිරීමටද ගුවන්-නාවුක මෙහෙයුමක් මගින් ඉංග්‍රීසීන්ගේ ජීවනාලිය වූ පෙරදිග සැපයුම් මාර්ගය කපා දැමීමටද යෝජනා කොට සිටියේය. එහෙත් හිට්ලර් එතරම් උනන්දුවක් දැක්වූයේ නැත. “ඔන්න ඕක අල්ලල දානවා. එංගලන්තෙ ටික දොහකින් කොහොමටත් වැටේවි,” ඔහු ගෝරින්ට කීවේය. “දැන් ඊට වඩා වැදගත් වැඩ තියනවා කරන්න.” ඉතාලිය අඥාණ ලෙස ග්‍රීසිය ආක්‍රමණය කිරීම වේලාවේ හැටියට කඩාපාත් වූ අනවශ්‍ය ප්‍රශ්නයකි. ෆින්ලන්තය සමඟ ජර්මනිය එලැඹි ගිවිසුම ගැනත් රොමේනියාවට ජර්මන් හමුදා යැවීම ගැන රුසියානුවෝ බොහෝ කලබල වී සිටිත්. ගෝරින් නිහඬව අසා සිටියේය. දෙරට අතර මෑතක වෙමින් වර්ධනය වෙමින් පවතින ආතතියට හේතු වූ කරුණු කීපයක්ම පැහැදිලි කර ගැනීම සඳහා සෝවියට් අගමැති හා විදේශ ඇමති ව්යාචෙස්ලාව් මොලොටොව් ඇතුළු දූත පිරිස බර්ලිනය බලා පැමිණියේ 1940 නොවැම්බර් 12 දාය.ජර්මන් විදේශ කාර්යාලයේ ලේකම් තැන පසුව සදහන් කලේ අපිලිවෙලට හැඳ පැලඳගත් රුසියානුවන් පිරිස ත්‍රාසජනක චිත්‍රපටයක මැර කණ්ඩායමක් සිහිපත් කරවූ බවය. පාර දෙපස අලස ලෙස සුලඟට ලෙලදෙන ස්වස්තික හා දෑකැති-මිටි සහිත කොඩි වල දසුන තතු දත් අය තුල දැනවූයේ අවිනිශ්චිත භාවයකි. සපුරුදු පරිදි හිට්ලර් තම යාං හෑල්ල දිග හැරියේය. ඔහු රුසියානුවා වශී කිරීම්ට තැත් කරයි. “ ගැටුම් වලට තුඩු දෙන්නෙ පෞද්ගලික කරුණු. අපි සෑම උත්සහයක්ම ගන්න ඕන ගැටුම් නවත්තන්න. තමන්ගෙ රටවල් ස්ථිර දිශාවකට ගෙන යාමට තරම් අධිකාරි බලයක් සහිත නායකත්වයක් ඇති ජර්මනියට හා රුසියාවට මෙය විශේෂයෙන් යථාර්ථයක්…” මොලොටොව් නිහඬව එකඟ විය. “මේ ජාතීන් දෙකටම තමන්ගෙ ප්‍රාර්ථනා කවදාවත් සියයට සියයක් ඉටු කරගන්න බැරි වෙයි. ඒත් දේශපාලනෙදී නම් හතරෙන් එකක් දිනාගත්තත් ඇති කියල මම කියන්නෙ. දෙගොල්ලො එකතු උනොත් දෙපැත්තටම ප්‍රයෝජනයි. හැබැයි හැප්පුනොත් නම් වාසිය ගන්නෙ පිට අය…” එහෙත් ලෝකෙ කා වතුර බී සිටි මොලොටොව් තැම්බීමද ලෙහෙසි නැත. “ ඒව ඔක්කොම හරි නායක තුමා. අපිට තියන ප්‍රශ්න මෙන්න මේව; මොකද්ද මේ ජර්මනිය ඊයෙ පෙරේද ෆින්ලන්තෙ එක්ක ගහපු ගිවිසුම? අක්ෂ හවුලේ ‘නව ආඥාව’ කියන්න මොකද්ද? ඒක පැහැදිලි මදි. අනික මේ රොමේනියාවට දුන්න කියන දේශ සීමා සහතිකේ. මේ ඔක්කොම අපේ 39 ගිවිසුමට විරුද්ධයි…” විස්මයට පත් හිට්ලර් තැතනුවේය. කිසිදු රාජ්‍යතාන්ත්‍රිකයෙක් ඔහු ඉදිරියේ මෙසේ ප්‍රශ්න කොට නැත. “දැන් රෑ වෙලත් වැඩියි. ගුවන් ප්‍රහාර පටන් ගන්න පුළුවන්. හෙට උදේ කතා කරමු.” හිට්ලර් යන්නට ගියේය. පසුවදා වේලපහින්ම මොලොටොව් හිඳුවාගත් හිට්ලර් උගුරේ රැල් බුරුල් හෙම හැරියේ රුසියානුවා කෙසේ හෝ දමනය කරන්නෙමැයි අටියෙනි. “39 ගිවිසුමට අනුව ෆින්ලන්තය අයිති සොවියට් වැයික්කියට. ඒකෙ විවාදයක්නෑ. ඒත් අපට මේ වෙලාවෙ ෆින්ලන්තෙ දැව හා නිකල් අවශ්‍යයි. රොමේනියාවෙ තෙල් නිධි අවශ්‍යයි. අනික 39 ගිවිසුමේ නැති ප්‍රදේශ රුසියාව අල්ලගෙන නැද්ද? කාට උනත් හොඳක් වෙනව නම් කමක් නෑ කියල ජර්මනිය ඒ වෙලාවෙ නිකම් හිටිය. මේ ප්‍රශ්නෙදි රුසියාවත් ඒ වගේ කල්පනා කරන්න ඕන.” ““එහෙනම් ෆින්ලන්තෙ ජර්මන් හමුදාවක් ඉඳන් මොකද කරන්නෙ? ගස් කපනවද, නැතිනම් පතල් හාරනවද” මොලොටොව් ද ඊයේ නවත්තපු තැනින් ම පටන්ගත්තේය. හිට්ලර් කෝපවිය. “ඇයි? ෆින්ලන්තෙ ආක්ර්මණය කරන්න හෙම ඔහෙලා හිතන් ඉන්නවද?” “ඒකත් තිරණය කරන්න ඕන ෆින්ලන්තයම තමයි” මොලොටොව් කීවේ ඇඟට නොදැනීය. “ෆින්ලන්තෙ එක්ක මේ වෙලාවෙ ආරවුල් ඇති කරගන්න එපා. ඒක කාගෙ කාගෙත් නරකට හිටින්න පුළුවන්” හිට්ලර් කලේ අනතුරු ඇඟවීිමකි. “ඒක එවෙලෙට බලා ගන්න බැරිය” මොලටොව්ද එකටෙකම කියයි. “මොනව උනත් රුමේනියාවට දීපු සහතිකේ නම් අවලංගු කරන්න බැහැ.” හිට්ලර් අවධාරනය කලේය. “හොඳයි, අපි බල්ගේරියාව ඒ වගේ සහතිකයක් දුන්නොත් එතකොට ජර්මනිය මොකද කියන්නෙ?” “බල්ගේරියා එකෙම එකක් ඉල්ලා තියනවද?” “මගේ ප්‍රශ්නෙට උත්තරේ ඒක නෙවේ නායකතුමා!! ” මේ නම් හිට්ලර් කිසිම ජර්මානුවෙකුට සමාව නොදෙන වරදකි. කෝපයෙන් කළුවී සිටි ඔහු මදක් ගොත ගැසීය. “බල්ගේරියාව ගැන අපිට තියෙන්නෙ අනියම් උනන්දුවක්. හැබයි ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් අපේ ඉතාලි සහකරුවො එක්ක මේ ගැන කතා කරන්න ඕන.” මොලොටොව් විසින් රුසියන් තානාපති කාර්යාලයේ එදා රෑ පැවැතූ භෝජන සංග්‍රහයට හිට්ලර් පැමිණ සිටියේ නැත. ඒ අතරතුර බ්‍රිතාන්‍ය ගුවන් යානා බර්ලිනයට බෝම්බ දැමු හෙයින් සාදය මඳකට නවතා ආරක්ෂක බිම්ගෙයක් තුලට යාමට සියළු දෙනාට සිදුවිය. රුසියාව නමට හෝ අක්ෂ හවුලට එක් කොට ගැනීමේ උත්සාහය රිබන්ට්‍රොප් තවමත් අත් හැර නැත. " ඉංග්‍රීසී කාරයො පරාද වෙල ඉවරයි. අපට තියෙන්නෙ උන්ගෙ බංකොලොත් වතුයාය බෙදා ගන්න එක විතරයි". “එහෙනම් අර මොනවද උඩ පුපුරනව අහෙන්නෙ?" මොලොටොව් ඇසුවේය. සතියකට පසු හංගේරියාව හා රොමේනියාව ද ත්‍රෛපාක්ෂික ගිවිසුමට අත්සන් තැබූහ හිට්ලර් තුල වූ විශාලතම සැකය මොලොටොව් ගේ සංචාරයෙන් පසු නිරාකරණය විය. 1940 දෙසම්බරයේ ඉහලම හමුදා ප්‍රධානීන් රැස් කරවූ ඔහු ‘නැගෙනහිර ගැටළුව' උග්‍ර වී ඇති හෙයින්, ඊලඟ ගිම්හානයේදී ‘ක්ෂණික’ යුද ක්‍රියාදාමයක් හරහා රුසියාව විනාශ කිරීමට සැලසුම් සකස් කරන මෙන් අඥා කලේය. අරුමය වූයේ නාසි-සෝවියට් මිත්‍රත්වයේ කපුවා ලෙස තෙමේම නම් කොට ගනු ලැබ සිටි රිබන්ට්‍රොප් නායකතුමාගේ මේ තීරණය තෙසතියක් යනතුරුම දැන නොසිටීමයි.

(c) Chamara Siriwardene

හිට්ලර් නම් දාර්ශනිකයා (1941 ජනවාරි- මැයි)

විද්‍යා පුනරුදයේ අතුරුඵලයක් ලෙස ආයු අපේක්ෂාව හා ජීවන මට්ටම් ඉහල යාම හේතුවෙන් විසිවන සියවස ආරම්භය වන විට ලෝකයේ බලවත් ජාතීන් හමුවේ වූ එක් ආසන්න ගැටළුවක් වූයේ සීඝ්‍රයෙන් ඉහල යන තම ජනගහනය පෝෂණය කිරීමට තිබෙන සම්පත් ප්‍රමාණවත් නොවීමය. යුරෝපීය බලවතුන් මෙම ගැටළුවට එක් විසඳුමක් ලෙස දුටුවේ යටත් විජිත දේශපාලනයයි. වඩාත් අඩු ජනගහනයක් සහිත මහා බ්‍රිතාන්‍යය සතු ඈත පෙරදිග හා අප්‍රිකානු යටත් විජිත ප්‍රමාණයෙන් වර්ග සැතපුම් කෝටියකි. හිරු නොබසින අධිරාජ්‍යයේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට පණස් අටකටම දායක වූයේ යටත් විජිත රාජ්‍යයන්ය. ලංකාව ද දළ වශයෙන් ඉස්තරම් ගණයේ තේ මෙට්රිලක් ටොන් ලක්ෂයක් පමණ වාර්ෂිකව නැව් ගත කලාය. ඉන් අඩක්වත් යටත් විජිත සතු නොවූ ප්‍රංශයට ජනගහණ වර්ධන ගැටළුවට මුහුණ දීමේදී අර්ධ වශයෙන් උපත් පාලනයේ පිහිට පැතීමට සිදු විය. ජර්මනිය සතුව පැහැදිළි වැඩ පිළිවෙලක් තිබුනේ නැත. මහා බ්‍රිතාන්‍යය හා ප්‍රංශය සමඟ තරඟ කිරීම අරමුණු කොටගත් පළමු ලෝක යුද්ධය කෙළවර වූයේ මහා විනාශයකිනි. එහෙත් හිට්ලර් නම් දාර්ශනිකයා මෙම තත්වය දුටුවේ වෙනම ඇසකිනි. “නිදහස් ආර්ථිකය කියන්නෙ මොකද්ද? විදේශ වෙළඳ පොළේ භාණ්ඩ විකුණල ලැබෙන ආදායමෙන් රටේ ජීවන වියදම අඩුකරන්න හදනවා. එංගලන්තෙ මේක කරන්නෙ යටත් විජිත සූරා කාල. පෙරදිගින් කොල්ල කන සම්පත් හා බටහිර වෙලඳ පොලේ විකුණල. ඔය මහත්තුරු වගේ දැන් හිටියට වහල් වෙළඳාමත් කරපු මිනිස්සු. ජර්මන් වරු අනුන්ට බඩු විකුණන ජාතියක් නෙවෙයි…” ඔහු කීවේය. “ප්‍රංශ කාරයො උදාහරණයට අරගෙන උපත් පාලනයෙන් ජනගහන වර්ධනය කෘතිමව පාලනය කරොත් වෙන්නෙ ජාතිය දුර්වල වෙන එක. අපිට අවශ්යි ජාතිය ශක්තිමත් කරන්න. අනිත් එක උපත් පාලනය මහ නින්දිත වැඩක්. ස්වභාවධර්මයාට වංචා කිරීමක්...” “ප්‍රජාත්න්ත්‍රවාදී ආර්ථික විශේෂඥයො කියනව තියන සම්පත් කළමනාකරණය කරන්නලු! ඒකෙ තේරුම අපි විසින් අපේම රට ප්‍රාදේශීය පදනමකින් සූරා කෑම. මතක තියාගන්න, නිෂ්පාදනයටත් උපරිම සීමාවක් තියනවා. ජනගහනය වැඩි වෙන රටාවට නිෂ්පාදනය ඉහල දාන්න බැහැ. අනිත් එක ජර්මන් වරු තම පවැත්මේ අයිතිය වෙනුවෙන් ශ්‍රමයෙන් ගෙවිය යුතු නැහැ...” “නමුත් ප්‍රමාණවත් තරම් ‘අතිරේක භූමි ප්‍රදේශ' අත්පත් කොටගෙන කරගෙන ඒවායේ ස්වයංපොෂිත ජර්මන් ජනපද ඇති කලොත් පමණක් මේ අභියෝගය ජය ගන්න පුළුවන්. ඉදිරි දහස් වසර තුල ජාතියේ පැවැත්ම සුරක්ෂිත කිරීමට නම් නැගෙනහිර දෙසට ව්‍යාප්ත වෙන්න ජර්මනියට සිද්ධ වෙනවා. අපට මේ ‘ජීවත් වීමේ ඉඩකඩ’ ලබා ගන්න පුළුවන් නැගෙනහිරින් විතරයි... යුක්රේනයේ තිරිඟු, දොන් පෙදෙසේ ආකර, වොල්ගා ඉවුරු වල සරුසාර ගොවි බිම් හා කොකේසස් කඳු වල තෙල් නිධි නැතුව ඉදිරි දහස් වසර තුල ජර්මන් ජාතියේ පැවැත්ම සුරක්ෂිත කරන්න බැහැ...” “සොබා දහමෙ අයෝමය රීතිය මෙතනටත් පොදුයි; බලවතා විසින් දුර්වලයා ජය ගන්නවා. ඒක අපේ වරදක් නෙවෙයි.” “අනිත් කරුණ තමයි මිහිතලය මත ඇති මේ සීමිත සම්පත් නැගෙනහිර ප්‍රදේශ වල වාසය කරන අර්ධ-මනුෂ්‍ය ගෝත්‍ර වල පැවැත්ම වෙනුවෙන් විනාශ කිරීමට ඉඩ දීම අපරාධයක්. සීඝ්‍රයෙන් බෝවන මෙම ස්ලාව් වර්ගය නුදුරු අනාගතයේම යුරෝපය ගිල ගන්නවා…” චාල්ස් ඩාවින් කතා කරේ වඳුරාගෙන් මිනිසා පරිණාමය වීම ගැනය. එහෙත් හිට්ලර් කියා සිටියේ පරිණාමයට ලක්වූ හෝමෝ සේපියන් කුලය තුල ජාතීන් ලෙස වෙන්වූ ප්‍රබේධ යනු තවදුර්ටත් කෙරුන පරිණාමයේ විවිධ අවස්ථා නියෝජනය කරන බවයි. පූර්ණ පරිණාමයට ලක්වූ උසස්ම ජන වර්ගය ජර්මනිය හා ස්කැන්ඩිනේවියන් කලාපය ඇතුලත් උතුරු යුරෝපීය නෝර්ඩික් වරු බව හේ තරයේ ඇදහුවේය. පහත්ම හෝමෝ සේපියන් කුල නියෝජනය කල යුදෙව්වන් මෙන්ම රුසියන් වරු ප්‍රමුඛ ස්ලාව් ගෝත්‍රිකයන්යෝ ද අර්ධ මනුෂ්‍යයෝ වෙත්. ඔවුන් අශීලාචාරය; අපිරිසිදුය. බොල්ෂෙවික් වාදය ඔවුන්ගේ ම්ලේච්ඡ දහමයි! සංඛ්‍යාත්මකව වැඩෙන ඔවුන් අනාගතය ජර්මනියට නියත තර්ජනයකි. නොවැලැක්විය හැකි මෙම නොවැලැක්විය හැකි ගැටුම තුලින් ජය ගන්නා වඩා ශක්තිමත් ජනවර්ගයට අනාගතය හිමිවනු ඇති බව ඔහුගේ විශ්වාසය විය. අද යුක්‍රේනයේ පුටින්ගේ කෙරුම් හා මැදපෙරදිග ඊශ්‍රායල් චණ්ඩිකම් දකින විට හිට්ලර් තුල වූ මෙම බිය සාධාරණ නැතැයි කියාද නොසිතෙනවා නොවේ. හිට්ලර් ඉදිරිපත් කල ‘තුන්වන රයික්’ පැකේජය තුල වූ සුවිශේෂී ලක්ෂණය වූයේ හඳුනා ගත් සෑම ගැටළුවකටම විසඳුම් එතුල ගැබ්වී තිබීමය. එනයින් බලන කල හිට්ලර්ගේ රුසියන් ආක්‍රමණය සමකල හැක්කේ ‘ටූ ඉන් වන්’ විකල්පයකටය. අනාගත ජර්මන් ජනගහනය පෝෂණය කිරීමේ මාර්ගයකට අමතරව අනාගත රුසියන් තර්ජනයක් මැඩලීමද එමගින් අපේක්ෂා කෙරිණ. පැවැත්ම මෙන්ම නිවාරණයද එහි සම ඉලක්ක විය. මෙම සංකීර්ණ අරමුණු එම යුද්ධයේ ස්වභාවයටද බලපෑවේය. 1939 නාසි-සෝවියට් ගිවිසුම හරහා රුසියාව හිට්ලර් අපේක්ෂා කලාට වඩා බොහෝ ඉක්මනින් බටහිර දෙසට ව්‍යාප්ත වීම හේතු කොටගෙන ඉක්මන් නිවාරන යුද්ධයක අවශ්‍යතාව අවධාරණය කෙරුණේ නොඑසේවීනම් අනිත් ඉලක්කය වූ පැවැත්මද තර්ජනයට ලක්විය හැකි බවට අනතුරු ඇඟවීමක්ද සමඟය. එහෙයින් 1940 දෙසැම්බරය වන විට ‘විදුලි වේග’ යුද ව්‍යාපාරයකින් රුසියාව විනාශ කොට දැමීමේ ප්‍රමුඛතාව හමුවේ සෙසු සියළු ඉලක්ක- උදාහරණයක් ලෙස මහා බ්‍රිතාන්‍යය තීරනාත්මකව පරාජය කොට බටහිර යුද්ධයේ අවසානයක් දැකීම පවා-නොවැදගත් ලෙස සැලකීමට හිට්ලර් පෙළඹුන බව පෙනේ. මහා බ්‍රිතාන්‍යයට එරෙහි චෝදනාව වූයේ ඈ නාවුක බලවතෙකු ලෙස සෑහීමකට පත් නොවී මහාද්වීපයේ ජර්මන් ආධිපත්‍ය සීමා කිරීමෙහිලා අධිෂ්ඨාන පූර්වකව කටයුතු කිරීමය. හිට්ලර්ට‍ උවමනා වූයේ ඉංග්‍රීසීන් දේශපාලනික වශයෙන් නිශ්ක්‍රිය කිරීම මිස යටත් කොට ගැනීම හෝ විනාශ කිරීම නොවේ. තම මහද්වීපික ප්‍රතිපත්තියට මැදිහත් නොවීමේ හිලව්ව්වක් ලෙස බ්රියතාන්ය අධිරාජ්ය යේ පැවැත්ම සහතික කිරීමට හිට්ලර් සූදානමින් සිටියේය. මීට හරහට හිටියේ චර්චිල් ඇතුළු බේබද්දන් නඩයකි. ඊට හිලව් ලෙස ගෝරින් ගේ ගුවන් යානා ලන්ඩනයට කරන හදිය දැනට හොඳටම ප්‍රමාණවත් යැයි ඔහුට සිතේ. ප්‍රංශයේ වරද වූයේ සියවස් කිහිපයක් මුළුල්ලේ ජර්මනියට එරෙහිව නැගෙනහිර යුරෝපීය සන්ධාන නැගීමේ එදිරිවාදී ප්‍රතිපත්තියය. ඈ හමුදාමය වශයෙන් පරාජය කොට නින්දාවට පත් කරනු ලැබුවේ එහෙයිනි. එසේ වුවදු පරාජිත දෙවන පෙල රටක් ලෙස යුරෝපය තුල තවදුරටත් පැවතීමට හිට්ලර්ගෙන් ප්‍රංශයට බාධාවක්ද නැත. එහෙත් රුසියාව වෙනුවෙන් එවන් සහනශීලී විසඳුම් නොවීය. රුසියාවේ වරද වූයේ ඇගේ පැවැත්මයි. අනාගතයේ ජර්මනියට අභියෝගයක් වීමට ඈ සතුවූ දෘෂ්ඨිමය හා ද්‍රව්‍යමය මය විභවයයි. එහෙයින් විනිශ්චය වූයේ සමුලඝාතනයයි. වෙනත් වචන වලින් කිවහොත් නාසි වාදය යනු මුළුමනින් හිට්ලර්ගේ රුසියන් යුද්ධය පිළිබධ කෙරෙන සාධාරණීකරණයකි. එහි සෑම මූලික තේමාවක්ම තුලින්ම කිසියම් පැති කඩක් හරහා පල කරනුයේ එතුල කැකෑරෙන රුසියන් විරෝධ‍යයයි. ස්ලාව් ගෝත්‍රයට සාපේක්ෂව ජර්මන් වරු වැඩිදුර පරිණාමය මගින් ලද්දේ යැයි කියැවුන වාර්ගික උත්තරීතර භාවය 'වර්ග වාදය' නම් විය. 'භූ දේශපාලනය' හෝ ‘ජීවත්වීමේ ඉඩකඩ’ ලෙස අර්ථ දක්වන ලද්දේ ජර්මන් පැවැත්ම වෙනුවෙන් ස්ලාව් වාස භූමි පැහැර ගැනීමේ අයිතියයයි. ජර්මනියේ ආර්ථික ප්‍රතිලාභ තකා ඔවුන් වහල්කරණය කිරීම ‘නව ආඥාව’ හෝ ‘ස්වාමි ජන වර්ගයේ පාලනය’ ලෙස හැදින්විණ. බටහිර පෙරමුණේ ප්‍රංශය හා මහා බ්‍රිතාන්‍යය සමඟ සටන රාජ්‍යතාන්ත්‍රික අරමුණු හා සීමාසහිත ඉලක්ක පෙරදැරි කොට ගත් , ජාත්‍යන්තර සම්මුතීන්ට යම්තාක් හෝ ගරු කෙරුනා වූද සම්ප්‍රදායික යුද්ධයක් (conventional war) ලෙස සැලකිය හැක. හිට්ලර්ගේ බටහිර ප්‍රතිපත්තිය වූයේ නැගෙනහිර මූලික ගැටලුව අවහිරයකින් තොරව නිරාකරණය කර ගැනීමේ නිදහස තහවුරු කර ගැනීමයි. එහෙත් නැගෙනහිර පෙරමුණේ රුසියාවට එරෙහි හිට්ලර් ගේ සටන ‘කුරුස යුද්ධයකි’ (crusade). සියළු සම්මුතීන් නොසලකා හැරුන දෘෂ්ඨිමය අරගලයකි. එහි අරමුණ වූයේ විනාශයයි. එහි ඉලක්කය නොදැකිය හැකි තරම් දුරස්ථය, අපැහැදිලිය.

“මතක තියා ගන්න ‘බාබරෝසා’ මෙහෙයුම වෙනස්ම යුද්ධයක්. ඔය හමුදා ඇකඩමියෙදි ඉගෙන ගත්ත යුද සම්මුතීන් ආචාර ධර්ම වගේ දේවල් මේකට ගාගෙන බෑ,” හිට්ලර් හමුදා නායකයින්ට පැහැදිලි කළේය. 

“බොල්ෂෙවික් කොමිසාර්ලට දැක්ක තැන වෙඩි තියන්න. කාගෙන්වත් අහ අහ ඉන්න දෙයක් නෑ. අනිත් එක ඔය සුළු දේවල් වලට හමුදා සෙබළු යුද්ධාධිකරණයට ඉදිරිපත් කරන්න ඕනත් නෑ. මෙතන ඉන්න කවුරු හරි හිතනව නම් අපි ජාත්‍යන්තර සම්මුතීන් කඩ වෙනව කියල එහෙම දෙයක් මෙත වෙන්නෙ නෑ. මොකද රුසියාව හේග් ගිවිසුමට අත්සන් කරළ නෑ!” ‘කුරුස යුද්ධය’ සඳහා සුදුසු ධර්ම යුදකාමීන් මිස වෘත්තිය සෙබළුන් නොවන වග ද හිට්ලර් දැන සිටියේය; මන්ද යත් එහිදී වඩා වැදගත් වන්නේ පුහුණුව හෝ විනය නොව භක්තියයි. හිට්ලර්ගේ ‘නව ආඥාවේ’ ගුප්ත හා වඩාත්ම අන්තගාමී ‘නිකාය’ වූ එස්.එස්. සංවිධානයේ සැබෑ මෙහෙවර ඉස්මතු වන්නේද නාසිවාදයේ මෙම අධිෂ්ඨානශීලී රුසියන් විරෝධය හමුවේ ජර්මන් හමුදාව දක්වන පැකිලිම තුලය . ‘වර්ගවාදය’ හා ‘ජිවත්වීමේ ඉඩකඩ’ ඝෝර ලෙස දේශනා කලේද, සමූලඝාතනය හා දාසකරණය ප්‍රායෝගිකව අභ්‍යාස ගත කරන ලද්දේ ද ජර්මන් හමුදාව නොව කළු නිළ ඇඳුම් හැඳගත් මෙම එස්. එස්. භටයන් විසිනි. විදේශ රටවල වාර්ගික ජර්මන් වරුන් ගෙන් සමන්විත රුසියන් විරෝධී බලඇණි පවා සංවිධානය කරමින් හිට්ලර්ගේ ‘කුරුස යුද්ධය’ අර්ථවත් කලෝ ඔවුහු වෙති. මෙහිදී හිට්ලර් ටත් වඩා සාහසික වූයේ ඔහුගේ අතිශය හිතවත් සගයා වූ එස්. එස්. සංවිධානයේ ‘අග්‍ර පුජක’ හයින්රිච් හිම්ලර්ය. “බොල්ෂෙවික් කොමිසාර්ල මරණ කොට ඔළුවට හානි කරන්න එපා කියලත් සෙබළුන්ට විශේෂයෙන් නියම කරන්න,” මේ සියල්ල අසා අන්දමන්ද වී සිටි හමුදා නිළධාරීන් ගෙන් හිම්ලර් ඉල්ලා සිටියේය. “මොකද අපේ පරීක්ෂණ වලට මේ ‘යුදෙව්-බොල්ෂෙවික්’ අර්ධ මානව ගණයේ හිස් කබල් බොහොම ඕනෑ කරල තියනව.” නිවුන ගති පැවතුම් ඇති ඉතා සන්සුන් පුද්ගලයකු වූ හිම්ලර් රවුම් ඇස් කණ්ණාඩි පැළඳ සිටී. පෙනුමින් ඔහු පොලිස් නායකයකුට වඩා පාසල් ගුරුවරයකුට සමාන විය. කලින් ගොවිපොලක් පවත්වාගෙන ගිය ඔහු රුධිරය හා පොළොව අතර ගුප්ත සම්බන්ධයක් ඇතැයි ඇදහූ අතර කුඩා කල ඔහුගේ සිහිනය වූයේ අතීතයේ ග්‍රීක යුද කාමීන් මෙන් සතුරු භූමි අත්පත් කොටගෙන එහි පදිංචි වී ගොවිතැන් බත් කරගෙන ජීවත් වීමයි.

රුසියාව හා යුද්ධයක පැටලීමේ අදහසට සෙනෙවි මණ්ඩලය දැක්වූ අකැමත්තට බොහෝ හේතු තිබිණ. 

ඉතිහාසය පුරා රුසියාව කවදත් ආත්මාරක්ෂාවෙහි ලා වඩාත් දක්ෂ වූවාය. ඇගේ යුද අත්පොතේ සම්ප්‍රදායික උපක්‍රමය වූයේ හදිසි ආක්‍රමණයක් හමුවේ පසුබැස යාමත්, අනතුරුව රට තුලට ඇතුළු වූ සතුරා වටකොට විනාශ කිරීමත්ය. රුසියාවේ දැවැන්ත භූගෝලීය විශාලත්වයත් විෂම දේශගුණයත් මෙම ආරක්ෂක සැලැස්ම සඳහා අතිශය උචිත විය. වසර මැද කෙටි ගිම්හානයෙන් පසු එක දිගට ඇද හැලෙන සරත් වැසි තාර නොදැමූ මාර්ග ගොහොරු බවට පත් කරයි. එවිට ඒවා වාහන ගමනා ගමනයට නුසුදුසුය. ඉන් අනතුරුව දරුණු හිම කාලය පැමිණේ. 1812 රුසියාව ආක්රොමණය කිරීමට තැත් කල ප්‍රංශයේ නැපොලියන් බොනපාට් අධිරාජයාගේ හමුදාවට මොස්කොව් අගනුවර අසලදී අත් වූ ඛේදජනක ඉරණම හමුදා ශාස්ත්ර යට අනුව රුසියාව සමඟ යුද වැදීමේ අවදානම ගෙන හැර දක්වන අගනා උදාහරණයකි. අනෙක් අතට රුසියාව යනු සෙනෙවි මණ්ඩලයට අරක් ගත් නැගෙනහිර ජර්මන් ‘ජුන්කර්’ පැලැන්තියේ ඓතිහාසික මිතුරාය. බොල්ෂෙවික් විප්ලවය මෙම අපූරු සන්ධානයට බලපෑමක් සිදු නොකලා පමණක් නොව සෝවියට් වරු සමඟ ඇතිකොටගත් රහස් සහයෝගීතාව නොවන්නට පළමු ලෝක යුද්ධයේ පරාජයෙන් පසු උදාවූ ඒ අඳුරු දිනවල දී ජර්මනිය තුල ‘සෙවනැලි හමුදාවක්’ පවත්වාගෙන යාම ඔවුනට සිහිනයක් පමණක් වීමට ඉඩ තිබිණ. මුලදී ජනරාල් වරු බැගෑපත්ව හිට්ලර්ට උපදෙස් දුන්හ; රුසියන් යුද්ධය තම ශිල්පිය දැනුමටද ගෝචර නැත; තම දේශපාලන සිතුම් පැතුම් වලට ද පටහැනිය. එහෙත් ඒ කිසිවකට කන් දුන්නේ හිට්ලර් නොවේ. ඔවුන්ගේ ඉල්ලීම් නොසලකා හැරිණ. උවදෙස් ප්‍රතික්ෂෙප විය. “ජර්මනියට තියන සම්පත් වලින් යුද්ධ කරන්න පුළුවන් උපරිම තව අවුරුදු දෙකයි. තුන්වෙනි අවුරුද්දේ ඉඳලා රුසියාවෙ අමුද්‍රව්‍ය නොලැබුනොත් යුද්ධෙ ඉදිරියටත් පවත්වාගෙන යන්න බෑ. තේරුණාද? තමුසෙලාට තියෙන්නෙ අනම් මනම් හිතන්නෙ නැතුව ඉස්සරහ දොරට පයින් අනින්න විතරයි. එකපාරට මුළු ගේම කඩාගෙන වැටේවි” නිහඬව කරබාගත් ජනරාල් වරු සැලසුම් පිලියල කිරීමට වන්හ. මේ අතර විදේශ ඇමති රිබන්ට්‍රොප් ගේ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස යුගොස්ලාවියාව 1941 මාර්තුවේ අක්ෂ පිලට එක් වූවද ඊට එරෙහිවූ එරට හමුදාව ජර්මන් පාක්ෂික රජය පෙරළා දැමීය. මෙය හිට්ලර්ට ගසන ලද අතුල් පහරක් හා සමානය. “මා එක්ක ඒ සෙල්ලම් බෑ!” කෝපයෙන් වියරු වූ හේ මොරදුන්නේය. ලද හදිසි කැඳවීම මත චාන්ස්ලර් මන්දිරයට ගෝරින් හා රිබන්ට්‍රොප් ද කයිටල් හා හමුදා ප්‍රධානීන්ද වහ වහා පැමිණියහ. “ඔක්කොම පැත්තක තියල වහාම යුගොස්ලාවියාව අල්ලන්න ඕන. අළුත් ආණ්ඩුව මොකක් කිවවත් මට එකයි. සර්බ් කාරයො විස්වාස නෑ. බෝල්කන් කලාපෙ සුද්ද කරගත්තෙ නැතුව මුකුත් කරල වැඩක් නෑ….” කී ඔහු ඊලඟට හැරුනේ ගෝරින් වෙතය. “ අර ඉතාලි කාරයො ග්‍රීසිය ආක්‍රමණය කරන්න ගිහින් සේරම අනාගෙන ඉන්නෙ. ඒ ගමන් එහෙටත් කණ්ඩායමක් දෙකක් යවල ඉක්මන්ට ඉවර කරල දාන්න. නැත්නම් ඉංග්‍රීසි කාරයො බලන් ඉන්නෙ ඕවැයි පහ ගහගන්න. හැබැයි ඇතන්ස් වල පෞරාණික ගොඩනැගිලි වලට එක බොම්බයක් වත් වැටිල තිබුනොත් හෙම බලාගතෑකි.” “හමුදාව දැන් ‘බාබරෝසා’ මෙහෙයුමට සූදානම් කරල නම් ඉවරයි මගේ නායක තුමනි,” කයිටල් මතක් කළේය. “ඕවයින් මටක් වැඩක් නෑ. වැඩේ කරන විදියක් හොයාගන්න එක තමුසෙගෙ වැඩක්,” හිට්ලර් පුපුරන්න දැන් ඔන්න මෙන්නය. රිබන්ට්රෝප් කට ඇරියා පමණි “මගේ නායක තුමනි, රාජ්‍යතාන්ත්‍රික මට්ට්මින් යම්කිසි…” “තමුසෙ මගෙන් මොකුත් අගහන්න එපා!” හිට්ලර් එවර නම් පුපුරා ගියේය. “සති ගණන් බෙල්ග්‍රේඩ් වල සාකච්ඡා කර කර ඉන්නකොට තේරුනෙ නැද්ද කුමන්ත්‍රණයක් වෙන්න යනව කියල? තමුසෙ මොන ලෝකෙද හිටියෙ? තව එනව ‍රාජ්‍යතාන්ත්‍රික විසඳුම් ගැන කතා කරන්න. යනව යන්න මෙතනින් මගෙ දෑහැට නොපෙනි…” අසරණ රිබන්ට්රොප් ට මුළු ලෝකයම කඩා වැටුනාක් මෙනි. බලවත් සිත් තැවුලට පත් ඔහු හැදු කඳුලින් නිවසට ගොස් පුරා සතියක් නොකා නොබී සයනයට වැද හොත්තේය. ඒ අප්‍රේල් මාසයේ ගෝරින්ගේ කලදසාවද ඒ හැටි යහපත් වූයේ නැත. බ්‍රිතාන්‍ය ගුවන් යානා බර්ලින් නගරයට යලි බෝම්බ හෙළූහ. “රයික් රාජ්‍යයයේ අගනුවර ආරක්ෂා කරගන්න බැරි නම් තමුසෙගෙ ගුවන් හමුදාවෙන් ඇති වැඩේ මොකද්ද?” හිට්ලර් දෙහි කැපුවේ ගෝරින් ටය. ඔහු මෙතරම් කෝපවී සිටියේ රාජ්‍ය ඔපෙරා ශාලාවට හානි වී තිබීම නිසාය. ගෝරින් වහා සිය ගුවන් නැවියන් ලවා ලන්ඩනයේ ශාන්ත පෝල් දෙව් මැදුර බෝම්බ හෙලුවද, හිට්ලර් සන්සුන් වූයේ නැත. ඔහු ඔපෙරා ශාලාව අළුත්වැඩියා කිරීම ප්‍රමුඛතා කාර්යයක් ලෙස ස්පීර්ට භාර කලේය. මැයි මාසයේ තවත් මහ විපතක් සිදු විය. කරදර විටෙක එන්නේ ජෝබ්ගේ පණිවුඩකරුවන් මෙන් පෝලිමටය. නාසි පක්ෂයේ නියෝජ්‍ය නායකයා වූ හිට්ලර් සමඟ 1924 එකට හිරබත් කෑ රුඩොල්ෆ් හෙස් කිසිවෙකුටත් නොදන්වා ස්වේච්ඡා සාම දූතයෙකු ලෙස තමාම ගුවන් යානයක් පදවාගෙන යානයකින් බ්‍රිතාන්‍යය බලා පිටත් ව යෑමයි. දේශපාලන වශයෙන් අවංක අහිංසකයෙකු වූ හෙස් සෙසු නායකයන් මෙන් නොව බල පොරයෙන් ඈත් වී සිටි අතර දෙරට අතර මිත්‍රර‍ත්වයක් ඇතිවනු දැකීමේ අවංක චේතනාවෙන් පසු විය. යුරොප්යේ බලවත්ම ජාතීන් දෙක එකිනෙකාට සතුරු වීම හෙස්ට මහත් වේදනාවකි. නක්ෂත්ර ය තදින් ඇදහූ ඔහු මෙම උම්මත්තක පියාසැරියේ යෙදුනේ ද මහළු ශාස්ත්‍ර කාරියක් කී අනාවැකියක් ඇසීමෙන්ලු! තම පියාසැරිය පිළිබද දන්වා හෙස් පිටත් විමට පෙර ලියූ ලිපිය හිට්ලර්ට ලැබුනේ සවසය. බොහෝ දෙනාගේ අදහස වූයේ හෙස්ගේ යානය ගමනාන්තයට පෙර මුහුදට කඩා වැටෙනු ඇති බැවින් සිද්ධිය ප්‍රසිද්ධ කිරීමට පවා අනවශ්‍යය බවය . එහෙත් ගුවන් නියමුවෙකු ලෙස හෙස් ගේ හැකියාව පෞද්ගලික දැන සිටි හිට්ලර් තවදුරටත් සැකයෙන් පසු විය. හෙස් ගේ සිහිවිකල් වී ජර්මනියෙන් පලා ගොස් ඇතැයි නිවේදනය කිරීමට ඔහු ගොබ්ල්ස් ට අණ කලේ එබැවිනි. හිට්ලර් ගේ සැකය නිවැරදි විය. හෙස් නිරුප්‍රදිතව පැරෂුටයක ආධාරයෙන් ස්කොට්ලන්ත ගොඩ බැස්සේය. එහෙත් ඉන් කිසිදු පලක් නොවූයේ හෙස්ගේ යෝජනා වලට සවන් දුන් ලන්ඩන් අධිකාරීන් ඔහු සිරභාරයට ගත් නිසාය. හිට්ලර් ඒ කිසිවකින් නොසැළුනේය. ඔහුගේ ගත සිත දැන් මුළුමණින්ම යොමුව ඇත්තේ එකම එක අරමුණක් කෙරෙහිය. ඒ නාසි වාදයේ මුලික ඉලක්කය සපුරා ගැනීමයි. දෙවියන් වහන්සේ ‘මෝසෙස්’ තෝරා ගත්තාක් මෙන් ජර්මන් ජාතිය පොරොන්දු වූ (නැගෙනහිර) දේශයට කරා කැඳවා ගෙන යාමේ ඓතිහාසික කාර්ය භාරය සඳහා දෛවය විසින් තමා තෝරාගෙන ඇති වගක් ඔහුට හැඟේ. ලද සාර්ථකත්වයෙන් කැලඹී, මහා උපාය ශූරයා යැයි තමා වැනුන ප්‍රචාරණයෙන් මෝහනය වූ හිට්ලර් 1941 ගිම්හානයේ දී සූදානම් වූයේ ඊට එකසිය තිස් වරසකට පොරොතුව ප්‍රංශයේ නැපොලියන් බොනපාට් අධිරාජයා කල ඓතිහාසික වරද පුනරාවර්තනය කිරීමටයි. එය යලි ආපස්සට හැරවිය නොහෙන පියවරක් විය. 'බාබරෝසා' ක්‍රියාන්විතය ගැනත් ඊට තමා ද තෝරාගෙන ඇති වගත් සෙනෙවි මණ්ඩලයෙන් ඇසූ ජනරාල් හයින්ස් ගුඩේරියන් පුදුම විය. රුසියාව සමඟ යුද වැදීම අඥාන කමකැයි හේ සිතීය.

(c) Chamara Siriwardene

හිට්ලර් වලස් දඩයමට සැරසේ (1941 ජනවාරි- ජුනි)

ජර්මනියේ වෘකයා සහ චීනයේ මකරා මෙන් රුසියාවේ ලාංඡනය වූයේ වලසාය. දැවැන්ත ප්‍රමාණය හා ශක්තිය මෙන්ම මහද්විපයේ ඈ පසුවූ තරමක් අලස හුදෙකලාව හේතුවෙන් මෙම ලද අනවර්ථ නාමය ලද්දා යයි සිතිය හැක. ඔක්තෝම්බර් විප්ලවයෙන් අනතුරුව මුහුණ දීමට සිදුවූ මෘග සිවිල් යුද්ධයෙන් ළදරු සෝවියට් රාජ්‍යය උගත් එක් පාඩමක් වූයේ ධනපතින් ගෙන් එල්ල විය හැකි නියත ඉදිරි තර්ජන වලට මුහුණ දීමට නම් ‘රතු ආරක්ෂක’ මිලිෂියාව වෘත්තියමය දේශපාලන හමුදාවක් බවට පත්කොට යුතු වගයි. එහෙත් මෙම රතු හමුදාව ගොඩ නැගීමට පක්ෂය තුල සිටි වෘත්තිකයන් ප්‍රමාණවත් නුවූ හෙයින් ‘නිර්ධන පංතික’ රජයට සේවය කරන මෙන් සාර් හමුදාවේ හිටපු නිළධාරීන්ට නියම කිරීමට බොල්ෂෙවික් පාලනයට සිදුවිය. පංති සතුරන් වූ ඔවුන් ද්‍රෝහී වීමේ අනතුර වැලැක්වීම සඳහා සෝවියට් වරු අනුගමනය කල අපූරු උපාය නම් නව හමුදාවේ අණ දෙන ව්‍යුහය පක්ෂය හා අනුබද්ධ ද්විත්ව-අධිකාරියක් බවට පත් කිරීමයි. මේ හේතුවෙන් රතු හමුදාවේ සෑම ඒකකයකම අණදෙන නිළධාරියා හා සමාන බලතල සහිත කොමිසාර්වරයෙක් විය. . ජර්මනිය සමඟ යුද්ධයක් නොවැලැක්විය හැකි බව දත් ස්ටාලින් තිහේ දශකයේ මැද සිට රතු හමුදාව ලක් කල දැවැන්ත ප්‍රතිසංවිධාන මාලාවේ එක් අංගයක් වූයේ පැරණි සාර් හමුදාවේ නිළධාරීන් ඇතුළු දේශපාලනිකව සැක සහිත සාධක මුලිනුපුටා දැමීමයි. හිට්ලර් සමඟ ඇති කොටගත් ගිවිසුම යුද්ධය සඳහා සූදානම් වීමට ඉස්පාසුවක් ලබා ගැනීම ස්ටාලින්ගේ අරමුණ වූ අතර ඔහු බෝල්ටික් කලාපයේ හා නැගෙනහිර යුරෝපයේ කල අකල් අතපෙවීම් නොවන්නට එය සාර්ථක වීමට ද ඉඩ තිබිණ. 'පවිත්‍රකරණය' ට පසු රතු හමුදාවේ අණදෙන නිල වලින් හතරෙන් තුනක්ම හෙබවූයේ දක්ෂ, අවංක එහෙත් අත් දැකීම් අඩු තරුණ නිළධාරී කණ්ඩායමකි. 1939 ශීත සෘතුවේදී ෆින්ලන්තයට පහර දීම්දී ඔවුන් පලකල අදක්ෂතා දකිමින් හිට්ලර් එලැඹි නිගමනය නම් රුසියාව අත්පත් කොට ගැනීමට සති හතරකට වඩා ගත නොවන බවය. මෙතෙක් ලොව දුටු දවැන්තම යුද ක්‍රියාන්විතය වූ බාබරෝසා සැලැස්ම නොහොත් හිට්ලර්ගේ ‘වලස් දඩයමේ’ ප්‍රධාන ලක්ෂණය වූයේ දැඩි රහස්‍ය භාවයයි. නිළධාරීන් පවා දැනුවත් කෙරුණේ දතයුතු පදනම මතය. සන්නද්ධ සේවා වල ඉහලම නිළධාරීන් හා හිට්ලර්ගේ සමීපතමයන් අතලොස්සක් හැරුනකොට අන් කිසිවෙක් රුසියාවට පහර දීමට ඇති සූදානම පිළිබද නොදත් හ. එහෙත් දැවැන්ත ප්‍රහාරක බල ඇණි කිහිපයක් රයික් රාජ්‍යයේ නැගෙනහිර දේශසීමාවේ ස්ථාන ගත කිරීම රහසේ කල හැක්කක් නොවේ. සැඟවිය හැකි වූයේ ඔවුන්ගේ පැමිණිම නොව පැමිණි කාරණාව බව හිට්ලර් වටහා ගත්තේය. ලන්ඩනය එල්ල කරන ගුවන් ප්‍රහාර දැඩි කරන මෙන් ඔහු ගෝරින්ට පැවසූවේ එබැවිනි. අතිරේක හමුදා විවිෂණ 12 ක් ‘පෙනුමට’ මෙන් අත්ලන්තික් වෙරලට යැවූ හේ ඉතිරි වැඩ කටයුතු ගොබ්ල්ස්ට භාර කලේය. ඉංග්‍රිසි විරෝධී ගුවන් විදුලි වැඩසහන් රැල්ලකින් වැඩ ඇරඹූ ගොබ්ල්ස් ‘කිසිදු දිවයිනක් ආරක්ෂා සහිත නැත,’ යන මැයෙන් ලිපියක් ලිවීය. එය අඩංගු පුවත් පත නිකුත් කොට විදේශ මාධ්‍යවේදීන්ගේ හා තානාපති නිළධාරින්ගේ අතට යාමට තරම් ප්‍රමාණවත් වේලාවක් ගතවීමෙන් පසු වෙළඳ සැල් වලට කඩා වැදුන එස්. එස්. භටයෝ පුවත් පත් සියල්ල රැගෙන ගියහ. ‘රහස්’ හෙලිවීම ගැන මහ සෙනෙවි මණ්ඩලයේ විරෝධය නිසා පුවත් පත මෙසේ වෙළඳ පොලෙන් ඉවත් කෙරුන බවට කට කතාවක් බර්ලින් නගරය පුරා පැතිර ගියේ නිමේෂයෙනි. මඳකට ගොබ්ල්ස්ගේ කීර්තිය අඳුරු වූ වගක් පෙනින. මේ සියල්ලෙන් ඇඟවුනේ බ්‍රිතාන්‍යය හා යුද්ධයක් අත ලඟ බවයි. හිට්ලර් බාබරෝසා මෙහෙයුම පිලිබඳ හමුදා අණදෙන නිළධාරින් හා සිය අවසන් සාකච්ඡාව පැවැත්වූයේ අක්‍රමණයට කලින් සතියේය. අවධානයට ලක් නොවනු පිණිස ඔවුහු එදින කැඳවනු ලැබුවේද කණ්ඩායම් වශයෙනි. “රුසියාව වැටුන ගමන් එංගලන්තෙ නිකම්ම දණ ගහනවා. හැබැයි මේක ලේසි වෙයි කියල හිතන්නත් එපා. ගුවන් හමුදාව බොහෝ දුරට මඟ එලි පෙහෙලි කරල දේවි. එස්. එස්. එක පෙරමුණ පිටුපස ගෙන බලා ගනීවි. හැම සෙබළම දැගන්න ඕන තමන් සටන් කරන්නෙ මොකක් සඳහා ද කියන එක. මතක තියා ගන්න ප්‍රංශෙදි වගේ නිකම් යුද ජයග්‍රහණයක් නෙවෙයි අපිට රුසියාවෙ ඕන. අපි විනාශ කල යුත්තේ බොල්ෂෙවික්වාදය…” සහභාගී වූවන් අතර ජනරාල් හයින්ස් ගුඩේරියන්ද විය. කිසිවෙක් කිසිවෙක් කටක් නොහෙල්ලූහ. සිරකරුවන්ට හා සිවිල් වැසියන්ට එරෙහි සීමාන්තික ක්‍රියා සම්බන්ධයෙන් සෙබළුන් යුද්ධාධිකරණ හමුවට නොපැමිණවිය යුතු යයි නියෝගයක් ඔවුනට ලැබුනේ ඒ අතරය. එහෙත් විනය හේතූන් මත ගුඩේරියන් ඇතුළු බෝහෝ අණදෙන නිලධාරීන් එය සෙසු නිලයන් අතර ප්‍රසිද්ධ කලේ නැත. රතු හමුදාව යුදමය වශයෙන් පරාජය කිරීම මිස ‘පවිත්‍රකරණයක්’ සඳහා ජර්මන් හමුදාව සුදුසු නොවන හිට්ලර් දත්තේය. එහෙයින් එම කාර්යය පැවරුනේ ඔහුට කවදත් හිතවත් හිම්ලර් ගේ එස්. එස්. සංවිධානයටයි. ඒ අනුව හමුදාව පසුපසින් ගමන් කරන විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් විසින් අල්ලගන්න ප්‍රදේශවල කොමියුනිස්ට් පක්ෂ නායකයන් ඇතුළු බොල්ෂෙවික් රජයේ සියළු නියෝතයන් අතුරුදන් කිරීමටත්, ප්‍රතිරෝධී බලවේග මැඩලීමටත්, යුදෙව් ජනගහණය විනාශ කිරීමටත් හිම්ලර් සකස් කල සැලසුම ගෝරින් අනුමත කලේය. ගෝරින් කරදර වූයේ මේ කිසිවක් ගැන නොව රුසියාවේ අප්‍රමාන සම්පත් තම ‘සිවු අවුරුදු මහා සැලැස්මට’ තුල යොදා ගත හැකි අන්දම ගැනය‍. අමුදව්‍ය හා බලශක්තියට අමතරව දේශීය පරිභෝජනය සඳහා ආවශ්‍ය අවමයෙන් ද කොටසක් පමණක් ඉතිරි කොට සෙසු සියළු ආහාර ද්‍රව්‍ය ජර්මනියට එවිය යුතුයයි ඔහුගේ නියමය විය. නො එසෙනම් ජර්මනියට දීර්ඝකාලීනව යුද්ධයට ඔරොත්තු දෙන්නේ කෙසේද? . “මේකෙන් රුසියාවෙ සාගතයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක ජර්මනියෙ ගැටළුවක් නෙවෙයි,” හේ පැහැදිලි කලේය. ඊයේ පෙරේදා ග්‍රීසියට හමුදා ගොඩ බැස්වීමේදී ත්‍රිවිධ හමුදාවටම අණදුන් ගෝරින් ගේ කල දවස දැන් යලි යහපත් වී ඇත. එහෙත් වෙනදා නිතර ප්‍රීතියෙන් සිටින ඔහු දැන් දින කිහිපයක සිට බර කල්පනාවක පසු වන බව කාට නැතත් ඔහුගේ කාර්ය මණ්ඩලයට නම් යසට පෙනේ. අරුමය වූයේ හොඳට කන බොන තරබාරු ගෝරින් ගේ ආහාර රුචියද පිරිහී යාමයි. බාබරෝසා මෙහෙයුමේ තම කාර්ය භාරය සාකච්ඡා කිරීම සඳහා ‘කැරින් ශාලාව’ට කැඳවන ලද ජ්‍යේෂ්ඨ ගුවන් හමුදා නිළධාරීහූ ඔහුගේ පෙනුම පිළිබඳ මවිත වූහ. සාකච්ඡාවට ඉදිරිපත් වූ සියළු සැලසුම් නිදි වැරීම නිසා ඉදිමුන සිය ඇස් වලින් අකුරට පරීක්ෂා කොට තෘප්තිය පල කල ගෝරින් ඕලන්දයේ ඇති යුද ගුවන් යානා වලින් භාගයක් ද නැගෙනහිරට යැවීමට නියම කළේය. එහෙත් එහි අණදෙන නිළධාරී ජනරාල් ජනරාල් ජෝසොෆ් කැම්හියුබර් පෙන්වා දුන්නේ එවිට තමාට ඉතිරි වන යානා රාජකීය ගුවන් හමුදාවට එරෙහිව යෙදවීමට ප්‍රමාණවත් නොවන බවයි. සෙස්සන් පුදුමයට පත් කරමින් තම දනිස්සට වේගවත් පහරක් ගැසූ ගෝරින් ජනරාල් වරයාගේ ඇඟට ගොඩ විය. “මෙහෙ බලනවා කැම්හියුබර්,” ඔහු සන්සුන්ව සිටීමට විශාල ආයාසයක් දරණ බව පෙණින. “තමුසෙ හිතනවද රුසියාවත් එක්ක මේ යුද්දෙ මට ඕනවට කරනව කියල? දැනගන්නවා මම තරම් මේකට විරුද්ධ කෙනෙක් වෙන කොහෙවත් නෑ! මේක ලොකු වැරදීමක්. මම පුළුවන් තරම් උත්සහ කලා නමුත් කවුරුවත් අහන්නෙ නෑ. නමුත් මට පුළුවන්දේ මම කරනවා. තමුසෙත් නිලධාරියෙක්. තමුන්ට කරන්න පුළුවන් දේ උපරිමෙන් කිරීමයි තමුසෙගෙ රාජ කාරිය. දැන් ගිහින් කිව්ව දේ කරනවා.” බළලා මල්ලෙන් එලිය පැන්නේ එවිටයි. ජනරාල්වරු පමණක් නොව ගෝරින් පවා රුසියන් යුද්ධය පිටු දැකීමට කැමැත්තෙන් සිටියේය. එහෙත් එතැනදී හිට්ලර් තම සමීපතම සගයාගේ බහට වත් සවන් දුන් වගක් නොපෙනේ. රතු හමුදාවේ අණදෙන නිළධාරීන් ද පමණට වඩා තරුණ අත් දැකීම් අඩු අය වුවද මෝඩයෝම නොවූහ. බටහිර දේශසීමා ප්‍රදේශයේ ජර්මන් හමුදා අසාම්න්‍ය ලෙස ලෙස ක්‍රියාකාරී වී ඇති බව ස්ටැලින්ට ජුනි 21 දා සවස සාකච්ඡාවේදී ඔවුන් නැවත නැවතත් අනතුරු අඟවා සිටියේ ඒ නිසාය. “බටහිර පෝලන්තෙ ඉන්න අපේ ඔත්තු කාරයොත් කියන්නෙම ජර්මන් ආක්‍රමණයක් අත ලඟ කියල, ස්ටාලින් සහෝදරයා,” රතු හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ජෝර්ජි කොන්ස්තන්තීනෙවිච් සුකොව් පැවසීය. ස්ට්‍රෙල්කොව්කා නැමති ගම්මනයේ ගොවි පවුලක උපන් ඔහුට සිය ප්‍රතිවාදියා වීමට නියමිත ජර්මන් සෙනෙවි මණ්ඩල ‍ප්‍රධානී හැල්ඩර් තරම් ශාස්ත්‍රීය දැන උගත් කම් නැතත් වැඩකට අත ගැසූ පසු පස්ස බලන ජාතියේ පුද්ගලයෙක් නොවේ. “ඕව චර්චිල් ගෙ බොරු ප්‍රචාර වෙන්නැති. මිනිහට ඕන අපිවත් කොහොමහරි යුද්දෙට පටලවගන්න.” ස්ටාලින් කීය. අනිත් අතට මෙම සැකය සැබෑවක් නම් තමා ගන්නා ක්‍රියා මාර්ගයක් හිට්ලර්ට යුද්ධයක් සඳහා හේතුවක් කොට ගත හැකි බවද ඔහු දනී. . “අඩු තරමෙ දේශසීමා මුර භටයන් හරි දැනුවත් කලොත් නරකද හදිසි තත්වෙකට සූදානමින් ඉන්න කියල?” සුකොව් නැවත යෝජනා කලේය. මඳක් කල්පනා කල ස්ටාලින් ඊට එකඟ විය. මේ අතර රෝමයේ සිය නිල නිවසේ සුවසේ නිදාසිටි මුසෝලිනි ඇහැරවූ ඉතාලි විදේශ ඇමති සියානෝ හිට්ලර් විසින් එවන ලද අති විශේෂ හදිසි ලිපියක් දෙන විට 22 දා අළුයම 3 ට ආසන්නය. රුසියාව කුමන මොහොතක හෝ ජර්මනියට පහර දීමට ඉඩ ඇති හෙයින් තමාට පූර්ව ආරක්ෂක පියවර ගැනීමය සිදු ඇතැයි එමගින් හිට්ලර් කියා සිටියේය. “එමෙන්ම රුසියාව සමඟ මෙතෙක් වූ ගිවිසුම අධ්‍යාත්මික වශයෙන් මා තුල වූ පැල්ලමකි. මෙම නව තත්වය තුල එය මැකීයාම ගැන මා අතිශය සතුටු වෙමි”. ලිපිය කියැවූ මුසෝලිනි එය සියානෝට දුන්නේ අමනාපයෙනි. “ මාව තහනියක් නැගිට්ටවල තියෙන්නෙ එයා අද රුසියාවට ගහනව කියන්න. ඔය වගේ නල්ල මලේ යාළුවො ටිකක් තමයි අපිටත් ඉන්නෙ” මුසෝලිනි මෙසේ තම කෝපය පිට කරන අතරතුර රිබන්ට්‍රොප් බර්ලින් විදේශ කාර්යාලයේ වූ බිස්මාර්ක් කුමාරයාගේ දැවැන්ත මේසය පුටුපස ඒ මේ අත ඇවිදිමින් සිටියේ වහා කැදවනු ලැබ සිටි සෝවියට් තානාපති ගෙ පැමිණිම අපේක්ෂාවෙනි. “නායක තුමා ගත්ත තීරණය හරියටම හරි. තව පොඩ්ඩෙන් රුසියන් කාරයො අපිට ගහන්න තිබුනා.” ඔහු නැවත නැවතත් තමාටම අවධාරණය කොට ගත්තේ සිය හෘදය සාක්ෂිය එය නොපිලි ගනු ඇතැයි බිය වූ නිසා විය යුතුය. මඳ වේලවකින් එහි ලඟා වූ රුසියානුවෝ විදේශ කාර්යාලයේ දොරටුව අසල අවේලාවේ හුන් ගොබෙල්ස් ගේ වාර්තා කරුවන් හා ඡායාරූප ශිපීන් දැක පුදුම වූහ. රිබන්ට්‍රොප් ඔවුන් පිළිගත්තේ බුම්මා ගත් මුහුණින් යුතුවය. රුසියානුවන් මොස්කොව් නුවරින් එවන ලද පණිවුඩයක් භාර දීමට සූදානම් වුවද හේ ඔවුන් නැවතීය. “දැන් ඕවයින් වැඩක් නෑ. සෝවියට් රජයේ සතුරු ආකල්ප නිසා අපට මෙතැනින් ඉදිරියට හමුදාමය ක්‍රියාමාර්ගයකට යන්න වෙලා තියනවා.” අනතුරුව ඔහු විසින් සන් කරනු ලැබූ භාෂා පරිවර්තකයා ඊට හේතු වී යැයි කියවෙන සිද්ධීන් ලයිස්තුවක් කියන්නට විය. රුසියානු තනාපති සිය හිස දෙපසට සැළුවේ දෙවන් අදහා ගත නොහැකි විලසිනි. “මට කණගාටුයි. හරිම කණගාටුයි.” “ඔහෙට නෙවෙයි මටත් කණගාටුයි. රුසියාවත් එක්ක එකඟත්වයකට එන්න ගත්ත උත්සහය අන්තිමට ගඟට ඉනි කැපුව වගේ උන එක ගැන.” රිබන්ට්රොාප් කලේ චෝදනාවක්ද නැතහොත් පාපොච්චාරණයක්ද යන්න පැහැදිලි නැත. නාසි-සෝවියට් ගිවිසුම ගැන එකල වැඩියෙන්ම උදම් ඇනුවේ ඔහුය. “ඒක උනේ සම්පූර්නයෙන්ම ඔහෙලගෙ වැරැද්ද නිසා. ඔහෙල මුල ඉඳලම කිසිම සහයෝගෙකින් නෙවෙයි කටයුතු කරේ” රුසියන් තානාපති ද කෝපවිය. “මෙයාලට ඕන යුද්දෙ නම් දැන් තවත් මෙහෙ කාලෙ නාස්ති කරල වැඩක් නෑ. අපි යන් යන්න.” ඔහු අනතුරුව කීවේ තම සගයාටය. රුසියානුවන් නික්මගියේ රිබන්ට්‍රොප් ට අතදීමෙන් පවා තොරවයි. දශක හතකට පොරොතුව රුසියාව සමඟ මිත්‍රත්වයක් වෙනුවෙන් පෙනීසිටි බිස්මාර්ක් කුමාරයා ගේ ඒ ඓතිහාසික මේසය අභිමුව සිටම රුසියාවට එරෙහිව යුද ප්‍රකාශ කිරීමට සිදුවීම දෛවයේ සරදමක් විය යුතුය. රිබන්ට්‍රොප් යලි කිසි දිනෙක එම කාමරය තුලට නොගියේය. ජර්මන් යුද ටැංකි විශේෂඥ හයින්ස් ගුඩේරියන් බර් නදියට සැතපුම් පහක් මෙපිට වූ තම අණදෙන කාර්යාලයට පැමිණීයේ ජුනි 21 දා අළුයම 3.15ටය. හාත්පස නිහඬ තාව බිඳිමින් ඔහුට ඇසුනේ ගෝරින්ගේ අහස් යානා පේලි නැගෙනහිර දෙසට පියසර කරන හඬයි......

(c) Chamara Siriwardene

හිට්ලර්ගේ නැගෙනහිර වීර චාරිකාව (1941 ජුනි-නොවැම්බර්)

1941 ජුනි 22 දා අළුයම 3.30ට ජර්මන් අහස් යානා සිය ගණනක් විසින් රුසියන් හමුදා මූලස්ථාන, සැපයුම් ගබඩා, සන්නිවේදන මධ්‍යස්ථාන, ධාවන පථ පාලම් හා ප්‍රධාන නගර ඉලක්ක කොට ගනිමින් බෝම්බ හෙළීමත් සමඟ හිට්ලර්ගේ ‘බාසරෝසා’ ක්‍රියාන්විතය ආරම්භ විය. කාලතුවක්කු 11,000 ක් විසින් එල්ල කල වෙඩි මුර කිහිපයකින් පසු අනතුරුව යුද ටැංකි හා සන්නද්ධ වාහන 6000ක් පෙරටු කොටගත් භටයන් 32 ලක්ෂයකින් සමන්විත දැවැන්ත ජර්මන් හමුදා 3ක් සැතපුම් 1800 ක පෙරමුණක් ඔස්සේ රුසියාව තුලට කඩා වැදුනේ සියළු බාධක සුනු විසුනු කරමිනි. ජර්මන් හමුදාව සතු ඩිවිෂණ 240 න් 153 ක්ම යොදවා තිබුනේ බාබරෝසා මෙහෙයුම සඳහාය. මේ කිසිත් නොදත් බර්ලින් වැසියෝ තවමත් නින්දේ පසු වෙද්දී රුසියාවට පහර දීමේ නිල ප්‍රකාශය කියවීම පිළිබඳ ගොබ්ල්ස් හා රිබන්ට්‍රොප් අතර මහා දබරයක් ඇති විය. උදෑසන 5.30ට ගොබ්ල්ස් විසින් හිට්ලර්ගේ ප්‍රකාශය කියැවීමටත්, පැය බාගයකට අනතුරුව රිබන්ට්‍රොප් විසින් තවත් ‘විශේෂ නිවේදනයක්’ කිරීමටත් එකඟ වූයේ දෙදෙනා බොහෝ වේලාවක් කලහ කිරීමෙන් අනතුරුවයි. ආරම්භය හිට්ලර් අපේක්ෂා කල පරිදිම අතිශය සුභදායී විය. යුද්ධයක් කිසිසේත්ම අපේක්ෂාවෙන් නොසිටි රුසියන් දේශ සීමා භටයන් සිදු වන්නේ කුමක් දැයි වටහා ගන්නා විට සතුරා සමන්විත පළමු ආරක්ෂක වලල්ල පසු කොට ගොස් ඉදිරියට ගොස් හමාරය. දස දහස් හණනක් ආරම්භක වෙඩි මුරයේදීම මිය ගියෝය. තුවාල ලද්දෝ පසු පසින් පැමිණි එස්. එස්. භට කණ්ඩයායම් විසින් ඝාතනය කරනු ලබූහ. පතොරම් අවසන්ව වල්මත් වී සිරභාරයට පත් වූවන් වඩාත් ඛේදජනක ඉරණමක් සඳහා ‘පිරික්සුම් කඳවුරු’ වලට යැවිණ. යුද්ධයේ පළමු දිනයේදීම රතු හමුදාවේ අණදෙන ව්‍යුහය වියවුල් වී ගියේය. සටනකින් තොරව අංගන වල නවතා තිබියදීම විනාශ වූ සෝවියට් ගුවන් යානා ගණන 1800කි. ලෙනින්ග්‍රාඩ් දෙසට යොමු වූ ජර්මන් උතුරු දිග පෙරමුනේ ආරම්භක වේදිකාව වූයේ ප්‍රසියාවයි. හිට්ලර්ගේ නැගෙනහිර මූලස්ථානය ද එහි පිහිටා තිබිණ. යුක්රේයනය බලා ගිය දකුණු දිග පෙරමුණ හා ගුඩේරියන් අණදුන් 2 වන පැන්සර් කණ්ඩායම අයත් මොස්කොව් බලා ගිය මධ්‍යම පෙරමුණ ගමන් ඇරඹුවේ පෝලන්තයෙනි. බ්‍රෙෂ්ට්-ලිටොව්ස්කි හි රතු හමුදා ගැරිසනය අවසන් භටයා හා උණ්ඩය දක්වා සටන් කිරීමට ඉදිරිපත් වූ බැවින් බලකොටුව අත්පත් කොට ගැනීමේ කටයුත්ත පිටිපසින් එන පාබල බල ඇණි වලට ඉඩහල ගුඩේරියන් සිය යුද ටැංකි ඉදිරියටම මෙහෙයවීය. දුම්රිය ගමනාගමනය ඇණ හිට සැපයුම් වලට බාධා ඇතිවූයේ රුසියානුවන් පුරා මසක් එහි සටන් වැදුන නිසාය. පෙරමුණ පුරා තැනින් තැන ගමන් කල ගුඩේරියන්ගේ අණදෙන රථය වරක් සතුරු භටයන්ගේ වෙඩි පහරට ලක්වීම නිසා ඔහුගේ ජීවිතය ගැලවුනේ යන්තමිනි. අනතුරුව නිකුත් කෙරුන රුසියන් පුවත් නිවේදනයක ඔහු මිය ගියබව ද සඳහන් විය. තමා යහතින් ජීවත් වන බව ගුවන් විදුලිය පණිවුඩයක් මගින් දැනුම් දෙමින් ඔහු ඔවුන්ගේ වරද නිවරද කොට දුන්නේය. පස් දිනෙකින් උතුරු දිග බලඇණියේ 4 වන පැන්සර් කණ්ඩායම ලැට්වියාවේ ඩ්වීනා නදිය තරණය කරන අතර 2 වන පැන්සර් කණ්ඩායම හා අසල්වැසි 3 වන පැන්සර් කණ්ඩායම මින්ස්ක් නගරයට බටහිරින් මුණ ගැසුනාහ. පාබල හමුදා පිටුපස කොටුවී සිටි රුසියානුවන් විනාශ කරමින් තවදුරටත් පමා වුවද ගුඩේරියන් හා ඔහුගේ අසල්වැසි පැන්සර් කණ්ඩායම් නායක කල්නල් ජනරල් හොත් ඊලඟ ඉලක්කය වූ ස්මොලෙන්ස් කරා ගමන් ඇරඹූයේ නගරය වටා ජර්මන් වලල්ලේ ශක්තිය ගැන සෑහීමකට පත්වූ නිසාය. රතු හමුදාවට යුද ටැංකි 3000 ක් හා කාල තුවක්කු 1800ක් සටනේ දී අහිමිවිය. කම්පනය නිසා මානසිකව ඇද වැටුන ස්ටාලින් යලි ධෛර්යය උපදවා ගත්තේ ජුලි 3 වන දාය. පුරා සතියක් නොකා නොබී කුටියට වී සිටි ඔහු එදින හදිසියේ කල එලි බැස පසු බැසීමේදී සතුරාට ප්‍රයෝජනවත් වන කිසිවක් ඉතිරි නොකොට දවා හළු කරන මෙන් රටවැසියන් ගෙන් ඉල්ලා සිටියේය. ජෝර්ජි සුකොව් ඇතුළු ඉහල රතු හමුදා නායකයන් සියළු දෙනා පෙරමුණ බලා ගොස් සිටි හෙයින් මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කලේ බොරිස් ෂැපොෂ්නිකොව්ය. මෙතෙක් අත් නුදුටු රුසියන් ටී-34 යුද ටැංකි වල ප්‍රහාරයකට මුහුණ දීමට එදින ගුඩේරියන්ට සිදුවිය. ඇල වූ ඉදිරි සන්නාහය, මි.මී 76 තුවක්කු කට, පුළුල් රෝද පටි හා පැයට සැතපුම් 35 වේගය හේතුවෙන් මෙම යුද ටැංකි ඒවායේ ජර්මන් ප්‍රතිවාදීන්ට වඩා ගුණාත්මක බවින් උසස් බව ඔහු වටහා ගත්තේ පහර කෑ 18 වන පැන්සර් ඩිවිෂනය ලද හානිය දැකීමෙනි. සිය අණදෙන නිලධාරියා වූ වොන් ක්ලූග් ගේ අසතුට නොසලකමින් ගුඩේරියන් ඉදිරියටම ගියද ඩ්නීපර් නදිය තරණය සිතූ තරම් පහසු වූයේ නැත. වඩාත් හොඳින් සංවිධානය වී සිටි රුසියානුවෝ දැන් වඩා දැඩිවත් නිතර නිතරත් පහර දුන්හ. රතු හමුදාව ලබා තිබූ හානිය ඛේදජනයකය. බටහිර හමුදා දිස්ත්‍රික්ක තුල වූ ඩිවිෂන 164න් 89ක් ද ගුවන් යානා 7500ක්ද ඒ වනවිට විනාශ වී තිබිණ. යාන්ත්‍රික ඩිවිෂන 29 කින් හොඳ ක්‍රියාකාරී තත්වයේ ඉතිරිව තිබුනේ ඩිවිෂණ 9කි. මේ හේතුවෙන් හිට්ලර් ඉක්මන් ජයග්‍රහණයක් ගැන වඩ වඩාත් බලපොරොත්තු සහගත විය. “අගෝස්තු 01 ද වෙනකොට අපි මොස්කොව් වල! සැප්තැම්බර් ඉවර වෙනකොට රුසියන් යුද්දෙ ඉවරකරතෑකි.” ඔහු ජුලි මස මැද හරියේ විශ්වාසය පල කලේය. “ දැන් තියෙන්නෙ අපිට මේ යෝද කේක් ගෙඩිය කොනක ඉදන් කෑලි වලට කප කප භුක්ති විඳින එකයි.” හේ ගෝරින්ට පැවසීය. අනපේක්ෂිත රුසියන් ප්‍රහාර නිසා ස්මොලෙන්ස්ක් වැටලීම ජුලි 26 දා තෙක් සම්පූර්ණ වූයේ නැත. මේ අතර හිට්ලර් සිය අදහස වෙනස් කොට ගත්තේය. මොස්කොව් කරා යාමට පෙර යුක්‍රේනය හා ක්‍රිමියාව අත් පත් කොටගැනීමට ඔහුට ඕනෑ විය. එහෙයින් ගුඩේරියන් ගේ 2වන පැන්සර් කණ්ඩායමට දකුණ බලා හැරීමට ඔහු නියම කලේය. ගුඩේරියන් මෙම නියෝගයට විරුද්ධ විය. යුක්රේනය හා මොස්කොව් යන ඉලක්ක දෙකම ජය ගැනීමට ශක්තියක් තම හමුදා කණ්ඩායමට නැත. “ඕක නායකතුමාටම කියන්න,” ඒ ඇසූ හමුදාපති වොන් බ්‍රෝෂිච්ට් කීය. දින කිහිපයක අනතුරුව ගුඩේරියන් හිට්ලර්ගේ නැගෙනහිර මූලස්ථානය වූ ප්‍රසියාවේ ඝන වනාන්තරයක් තුල පිහිටි ‘වෘක ලෙන’ ට කැඳවන ලදී. හිට්ලර් යුද ටැංකි ජනරාල්වරයාට සාවධානව සවන් දුන්නේය. එහෙත් යුක්රේ නය පසුවට තබා මොස්කොව් කරා යාම මැනවයි ගුඩේරියන් කල යෝජනාව ඇසූ හේ කෝප විය. “ඔන්න ඕකනේ කියන්නෙ? තමුසෙලාට මේ යුද්ධෙ ආර්ථික පැත්ත තේරෙන්නෙ නෑ. අපිට යුක්‍රේනයෙ තිරිඟු ඕන. ක්‍රිමියාවෙ ඉඳල රතු ගුවන් හමුදාවට පුළුවන් රොමේනියාවෙ තෙල් නිධි වලට බෝම්බ දාන්න. තමුසෙල හදන්නෙ පොතේ හැටියට වැඩ කරන්න...” කරබාගත් ගුඩේරියන් නියෝගය පිලිපැද්දේය. අගෝස්තු 24 දා සෝවියට් තාක්ෂණයේ ඉහලම ජයග්‍රහණය ලෙස සැලකිය හැකි වූ ද්නීපර් නදිය හරහා වූ දැවැන්ත ජල විදුලි බලාගාරය පසු බසින රුසියානුවන් විසින්ම පුපුරවා හරින ලදී. ඉදිරි ගමන වඩාත් අසීරු වූයේ සරත් වැසි ඇද හැලිම නිසාය. ජලාශ පිටාර ගැලීම නිසා මහා මාර්ග යට විය. ගුඩේරියන්ගේ 2 වන පැන්සර් කණ්ඩායම මේ සියළු බධක මැඩලමින් මොල්දාවියාව හරහා පැමිණි දකුණු දිග හමුදා කණ්ඩායම හා එක්වූ සැප්තැම්බර් 15 දාය. මෙම සටනේදී අලංකාර කියෙව් නගරය රතු හමුදාවට අහිමි වූයේ භටයන් 665,000 ක්ද සමඟය. ගුඩේරියන් පසුව පැවසුවේ මෙම පහසු ජයග්‍රහණය නිසා හිට්ලර් පමණක් නොව ජර්මන් සෙනෙවි මණ්ඩලය පවා වඩාත් මුලා වේ වැටුන බවය. එය උපාය මාර්ගිකවිනාශයකි. මේ දිනවල ඔත්තු බලන ජර්මන් ගුවන් යානා වලට මහත් කුහුලක් ඇතිකරමින් උතුරේ හා දකුණේ පෙරමුන පිටුපස සිට එකකට පසු එකක් වශයෙන් දිනපතා නැගෙනහිර බලා ගමන් කරන දුම්රිය පෙලකි. මැදිරි 8000 ක් පමණ සඳහා යොදවා තිබිණ. කොමියුනිස්ට් නායකයන් සිය වස්තුවද රැගෙන පලා යතැයි ගෝරින් සැක කලේය. එහෙත් රුසියානුවන් තර්ජනයට ලක් වූ පෙදෙස් වල් සිය කර්මාන්තශාලා ඉවත් කොට ඒවා ‍යූරල් කඳු අවට ආරක්ෂිත කලාප වල යලි සවිකල බව ජර්මන් ඔත්තු සේවා අවබෝධ කොට ගැනීමට කලක් ගත විය. තම පොලිස් කණ්ඩායම් විසින් කෙරෙන පවිත්‍රකරණ කටයුතු සොයා බැලීම සඳහා හිම්ලර් ද යුද පෙරමුණට පැමිණියේය. මින්ස් හි අළුතින් පිහිටවූ එස්.එස්. මූලස්ථානයට ලඟා වූ ඔහු ‘කඩා කප්පල් කාරීන් හා ඔත්තු කරුවන්’ ලෙස චෝදනා ලත් යුදෙව්වන් 200ක් වෙඩි තබා ඝාතනය කරනු නැරඹීමටද ඔහු සහභාගී වූයේ කැමැත්තෙනි. සමූහ ඝාතනයක් ඔහු ඊට පැර දැක තිබුනේ නැත. ඔවුන් ලවාම කප්පවන ලද සමූහ මිනී වලක් තුල එස්. එස්. භටයන් විසින් සිරකරුවන්ට වෙඩිතබන විට ආසන්නයේම සිටි හිම්ලර් ගේ මුහුණට හා කබායට මොල කැබලි විසි විය. “මේ වැඩේට මීට වඩා හොඳ ක්‍රමයක් හොයා ගන්න වෙනවා…”. ලේන්සුවක් ගෙන නිහඬව ලේ පිසලා ගත් හේ අපරාධ පොලිසියේ (ක්‍රිපෝ) ප්‍රධානී ආතර් නෙබ්ටඋපදෙස් දුන්නේය. හිම්ලර්ගේ විසඳුම වූයේ ගෑස් කුටි හා ආදාහනාගාර සෑම පිරික්සුම් කඳවුරක් තුලම පිහිටුවීමයි. උතුරු දිග බල ඇණිය ෆින්ලන්ත හමුදාවේ සහායද ඇතිව ලෙනින්ග්රාවඩ් වැටලීම සම්පූර්ණ කරන අතරතුර ගුඩේරියන් දැන් සූදානම් වූයේ මොස්කොව් බලා යාමටයි. එ සඳහා හිට්ලර් ඔහුට අළුත් යුද ටැංකි 100 ක් එවා තිබුණි. ඔක්තෝබර් 01 දා ඇරඹුන එම ප්‍රහාරය ද සාර්ථක වල ලකුණු දස දෙසින් පෙණින. එදින 2 වන පැන්සර් කණ්ඩායමේ ඉදිරි ඒකක සැතපුම් 85ක් ගමන් කලෝය. පස් දිනකින් ගුඩේරියන්ගේ 17 වන පැන්සර් ඩිවිෂණය බ්‍රියන්ස්ක් නගරය හා දෙස්නා නදිය හරහා වැටෙන දුම්රිය පාලම අත්පත් කොට ගත්හ. සැපයුම් අතින් බලන කල මෙය විශාල වාසියක් වූ අතර ජයග්‍රහණය පෙනෙන නොපෙනෙන මානයේ ඇති බව ගුඩේරියන් පවා මොහොතකට සිතීය. එහෙත් එදා රෑ හිම කුණාටු ආරම්භ විය… කාලගුණය වෙනස් වන්නට වූයේ ආදරවන්තියක් මෙනි. කෙමෙන් වැඩි වෙන හිම පතනය නිසා මහා මාර්ග අවහිර වූ අතර රෝද සහිත වාහන වලට ගමනා ගමනය වඩාත් අපහසු විය. කොරේ පිටට මරේ කියන්නාක් මෙන් රුසියන් ප්‍රහාර දිනෙන් දින උත්සන්න වේ. බලගතුම සතුරා වූයේ ටී-34 යුද ටැංකි කණ්ඩායම්ය. හමුදා සෙනෙවි මණ්ඩලයට විශේෂ වාර්තාවක් ලියමින් මෙම බිහිසුනු යුද ටැංකිය පිළිබඳ වැඩිදුර හැදෑරීම සඳහා නියෝජිතයෙක් යුද බිමට එවන මෙන් ඉල්ලසිටි ගුඩේරියන්, එය විනාශ කිරීමේහිලා සමත් යුද ටැංකි නාශක අවියක් නිපදවීමේ වැදගත් කමද අවධාරණය කලේය. සෝවියට් රාජ්‍යය ඉතිහාසයේ දුෂ්කරම පරීක්ෂණයට මුහුණ දෙමින් සිටියාය. සතුරා ඇගේ අගනුවරට කිසිදිනෙක මෙතරම් සමීප නොවීය. කර්මාන්ත ශාලා, දෙපාර්තමේන්තු, පරිපාලන ඒකක හා තානාපති කාර්යාල සැතපුම් 350ක් නැගෙනහිරින් පිහිටි කුබිෂොව් නගරය කරා ගෙන යනු ලැබුවද, කොම්යුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා රතු හමුදාවේ ඉහල අණදෙන මූලස්ථානය හෙවත් ‘ස්ටාව්කා’ ව මොස්කොව් හිම රැඳිණ. විශේෂ දුම්රියක් සූදානමින් තිබුණද, නගරය හැරයාම ප්‍රතික්ෂෙප කල ස්ටාලින් ක්‍රෙම්ලිනයේ සිට තවදුරටත් සටන මෙහෙයවීය. රුසියන් විප්ලවයේ 24 වැනි සංවත්සරය නොවැම්බර් 07 දා රතු චතුරස්‍රයෙදී සතුරු තර්ජන නොතකා මහ ඉහලින් සමරණ ලදී. මොස්කොව් සගරය සතුරාගෙන් රැක ගන්නෙමැයි ශපථ කරමින් නගරාරක්ෂක බල ඇණි ලෙනින් සමාධිය අභියස ආචාර පෙලපාලියේ යෙදුනහ. රතු හමුදාවේ හා නගර වැසියන්ගේ ධෛර්යය රැක ගනු වස් ලෙනින්ගේ සිරුර නගරයේ තිබීම තමා රැදී සිටීම තරම්ම වැදගත් බව ස්ටාලින් දැන සිටියේය. මොස්කොව් නුවර පමණක් නොව රට පුරා මේවන විට ක්‍රියාත්මක වූ පාටිසාන් (සැඟවී සටන් කරන දේශප්‍රේමීන්) කණ්ඩායම් සමන්විත වූයේ මහල්ලන් හා දැළි රවුල්වත් නොවැඩුන ගැටවරන් ගෙනි. මෙම අපූරු ‘බැටෑලියන’ වල කුස්සි අම්මලා හා හෙදියන් වූවෝ එඩිතර මැහැල්ලෝ හා දැඟලිල්ල සහිත ගැටිස්සියෝය. ජර්මන් ආක්‍රමණයට මුහුණ දීමේදී සෙසු රටවල් වලට සාපේක්ෂව රුසියාව සතු වූ විශාලතම වාසිය නම් ස්ටාලින්ගේ නායකත්වය හා රතු හමුදාවේ අමිල කැපවීම පමණක් නොව සෝවියට් සාමුහික කරණය යටතේ ලෙනින් සිවිල් යුද සමයේ වරක් පෙරහුරු ගත කොට තිබූ ‘යුද-කොමියුනිස්ට්වාදී’ සංස්කෘතියකට නතුවීමට මහජනයා තුල වූ සූදානමයි. ආරක්ෂක සටනේදී කවදත් දස්කම් පෑ රුසියාවේ සම්ප්‍රදායික උපාය වූයේ ආක්‍රමණය හමුවේ පසු බැසීමය. දැවැන්ත භූමිය හා විෂම දේශගුණය ඈට මේ සඳහා කදිම පිටිවහලකි. සීත සෘතුව ඇගේ සදාකාලික මිතුරාය. වඩා තීරණාත්මක වූයේ ටෝකියෝහි සිටි එන්.කේ.වී.ඩී (කේ.ජී.බී. සංවිධානයේ පූර්වගාමියා) ඔත්තු කරුවන් විසින් ජපානය නියත වශයෙන්ම රුසියාවට පහර නොදෙනු අති බවට මොස්කොව් නුවරට තහවුරු කිරීමයි. මේ හේතුවෙන් ඈත පෙරදිග ස්ථාන ගත තිබූ බලඇණි වලින් කොටසක් වහා බටහිරට ගෙන ඒමට රතු හමුදාවේ ඉහල අනදෙන මූලස්ථානයට හෙවත් ‘ස්ටාව්කාව’ ට අවස්ථාව ලැබිණ. එහෙත් දැඩි ලෙස සන්නද්ධ වූ රතු හමුදා ඩිවිෂන දුසිම් ගණනක් පටවා ගත් යුද දුම්රිය පෙලක් ට්‍රාන්ස්-සයිබීරියන් මාර්ගය ඔස්සේ මොස්කොව් දෙසට ලඟා වෙමින් සිටි බව ජර්මන් ඔත්තු සේවා හාංකවිසියක් හෝ දැන සිටියේ නැත...

(c) Chamara Siriwardene

හිට්ලර් ‘වලස් ලෙන’ තුල කොටුවේ (1941 නොවැම්බර්)

මහත් පරිශ්‍රමයකින් බ්‍රියාන්ස්ක් හි සෝවියට් පෙරමුණ බිඳ දැමීමට ජර්මන් හමුදා සමත් වුවද, දකුණු දිශාවෙන් තව දුරටත් පහර දුන් ගුඩේරියන්ගේ 2 වන පැන්සර් කණ්ඩායමට මොස්කොව් කරා ගමනේ තම අවසන් බාධකය වූ ටූලා නගරය අත්පත් කරගැනීමට හැකි වූයේ නැත. නගරය රැකවල් කල සෝවියට් 50 වන හමුදාව ඔහුට මුරණ්ඩු ලෙස බාධා කලේය. මිදී යාම නිසා ගලක් මෙන් දැඩි වූ පොලොව දැන් වාහන ගමනා ගමනයට තරමක් සුදුසු වුවද දැඩි ශීතල නිසා දැන් එන්ජින් යට බොහෝ වේලාවක් පුරා ගිණිමැල දැල්වීමෙන් තොරව යුදටැංකි පණ ගැන්වීමට නොහැක. ලිහිසි තෙල් මිදී ගිය කාලතුවක්කු බැරල් තුල වෙඩි උණ්ඩ හිරවූ අතර ලීවර පද්ධති අක්‍රිය වීමෙන් සැහැල්ලු අවි පවා නිසි ලෙස ක්‍රියා කලේ නැත. විශාලතම ගැටලුව වූයේ සෙබළුන්ට හිම ඇඳුම් සපයා නොතිබීමයි. හිමපතනයට පෙර බාබරෝසා මෙහෙයුම අවසන් වනු ඇතැයි අපේක්ෂා කල හෙයින් සැලසුම්කරුවෝ සිසිර මෙහෙයුමක් අපේක්ෂා නොකලහ. දුම්රිය මගින් හදිසියේ සැපයුම් යැවීම අසීරු වූයේ රුසියානු රේල් පීලි යුරෝපීය සම්මතයන්ට වඩා අඟලක් පළල් වූ නිසාය. මේ හේතුවෙන් භටයන්ට උණ්ඩ හා ආහාර පාන පවා හිඟ වෙතැයි ගුඩේරියන් බියෙන් පසු විය. දරුණු කාලගුණය හේතුවෙන් ගුවනින් සැපයුම් අපේක්ෂා කල නොහැක. මීට සෙනෙවි මණ්ඩලයේ විසඳුම වුයේ සැතපුම් 250ක් ඈතින් වූ ගෝර්කි නගරය අත්පත් කොට ගැනීමයි. මේ දිනවල හිට්ලර් පමණක් නොව ඔහුගේ ප්‍රධාන හමුදා අතවැසියන් පවා පෙරමුණේ යථා තත්වය අවබෝධ කොට නොගත් බව ගුඩේරියන් සිහිපත් කලේ කණගාටුවෙනි. මේ අතර මොස්කොව් නගරයට බටහිරින් වූ ආරක්ෂක වළල්ල බිඳ දැමීමේ අරමුනින් ජර්මන් මධ්‍යම බල ඇණියේ සෙසු හමුදා නොවැම්බර් 15 දා තවත් අවසන් උත්සාහයක් දැරූහ. මොෂයිස්ක් නම් මෙම ආරක්ෂක වලල්ල වඩාත් ඝනකමින් යුත් වූ අතර රතු හමුදාවේ ප්‍රතිරෝධය මෙහි කිහිප ගුණයක් දැඩි විය. හොඳින් කා බී උණූසුම් ඇඳුම් ඇඳ සිටි නවක රුසියන් භටයන් සතු අයුධ වල ගල්වා තිබුනේ මිදී නොයන ලිහිසි තෙල් වර්ගයකි. ඔවුන්ගේ නායකයෝ පස් මසක් යුද බිමේ දුෂ්කර අත්දැකීම් ලද්දෝ උහ. තමා දැන් දැන් මුහුණ දෙමින් සිටියේ ගිම්හානයේ අත්දුටු අන්දමේ ව්‍යාකූලත්වයෙන් අසරණ වූ ප්‍රතිවාදියෙකුට නොව අධිෂ්ඨානශීලී හා සංවිධානාත්මක සතුරෙකුට බව බොහෝ ජර්මන් අණදෙන නිළධාරීන් පමණක් නොව සෙනෙවි මණ්ඩලය පවා ඒ වන විට ප්‍රත්‍යක්ෂ කොටගෙන සිටියද ඒ වගක් හිට්ලර් කොහෙත්ම නොපිළිගත්තේය. තව ‘එක පිම්මකින්’ මොස්කොව් අල්ලාගත හැකි වනු ඇති බවද, ඉදිරි ගමනේ වේගය අඩාල වීමට එකම හේතුව ජනරාල්වරු නියෝග හරි හැටි පිලි නොපැදීම බවද ඔහුගේ මතය විය. පහුගිය ටික දොහේ මියුනික් නුවරට වී සිටි හිට්ලර් කාලය මිඩංගු කලේ ක්‍රිමියාව හා කොකේසස් දක්වා දවැන්ත මහා මාර්ගයක් තනා ඒ දෙපස ජර්මන් ජනපද පිහිටුවන අන්දම සැලසුම් කිරීමටය. රුසියන් අමුද්‍රව්‍ය හා වහල් ශ්‍රමය ඇති පදමට තිබේ. “අපි ආසියාතික ස්ටෙප්ස් බිමට යුරෝපීය මුහුණු වරක් දෙනවා. මේ මාර්ගය දෙපැත්තෙ හැදෙන ජනාවාස වල ජර්මන් ජාතිකයො කෝටියකට විතරක් නෙවෙයි යුරෝපීය හා අමෙරිකාවෙ මිනිස්සුන්ටත් ඕනෙනම් ඇවිත් පදිංචි වෙන්න පුළුවන්. සුද්දො ගිහින් ඇමෙරිකාවෙයි ඔස්ට්‍රේලියාවෙයි ගිහින් ඕකම කරල ඇවිත් තමයි දැන් ඔය සිල් රෙදි ඇඳගෙන නවගුණවැල ගනන් කරන්නෙ… අපරාදෙ, තව අවුරුදු දහයක් පහලවක් වත් තරුණ උනා නම් මට ඒ ටිකත් සිද්ධවෙන හැටි බලලම නිස්කලංකෙ ඇහැ කණ පියාගන්න තිබුනා” ඔහු අවි ආයුධ ඇමති ෆ්රි ට්ස් ටොඩ්ට් ට කීය. මේ අතර ගෝරින්ට සිදුවූයේ මහ විපතකි. පළමු ලෝක යුද්ධයේ ඔහුගේ නියමු සගයා වූ ගුවන් හමුදාවේ උපකරණ පිළිබද අධ්‍යක්ෂ ජනරාල් අර්න්ස්ට් යූඩට් සිය දිවි නසා ගත්තේය. මෑතක සිට දැඩි ලෙස බීමට ඇබ්බැහි වී සිටි සිය පැරණි මිතුරා රාජකාරී පැහැර හරින බවට කොතෙකුත් එල්ල වුන චෝදනා සියල්ල නෑසූ කනින් සිටියද, ගුවන්යානා 1500 ක් වැඩියෙන් භාරදුන් බවට යූඩෙට් කල මහා වංචාවක් හසුවීම නිසා ගෝරින් ඔහු කැඳවා නොසෑහෙන බැන වැදුනේ ඊයෙ පෙරේදාය. “තමුසෙ කරන වැඩ වලින් මගෙ බෙල්ලත් ගහල යනව.” යූඩෙට් ගේ බල තල ඉවත් කෙරුනද දින කිහිපයක් ඔහු තම ගම්බද මාලිගයේ නවතාගෙන දඩයමේ යමින්ද, ඔරු පදිමින් ද, උත්සව පවත්වමින්ද ගෝරින් විනෝද වූයේ පැරණි මිතුරාට පෞද්ගලිකව හෝ උදව් කරන අටියෙනි. එහෙත් ගෝරින් බැන වැදීම හේතුවෙන් දැඩි සිත්වේදනාවෙන් සිටි යූඩෙට් සිය නිවසට පැමිණි දා හිසට වෙඩි තබා ගත්තේය. බලවත් ශෝකයට පත් ගෝරින් හිට්ලර් සමඟ ද කතිකාකොට ගෙන යූඩට් වෙනුවෙන් රාජ්‍ය අවමගුලක් සූදානම් කලේය. හිට්ලර්ද ඊට කැමතිවූයේ සැබෑ සිද්ධිය එළිදරව් වීමෙන් ඇති විය හැකි කැළල නිසා විය යුතුය. කල්නල්-ජනරාල් යුඩෙට් නව ගුවන් යානයක් අත්හදා බලමින් සිටියදී වූ අනතුරකින් මිය ගිය බව ජර්මන් ගුවන්විදුලිය කීය. තම හොඳම මිතුරා අහිමී වීයයි ගෝරින් අවමඟුල් උත්සවය අමතා කඳුළු සලන අතර වියැකී ගිය තම පැන්සර් කණ්ඩායම හැකි පමනින් සංවිධානය කොට ගෝර්කි නගරය දෙසට ගමන් කිරීමට තැත් කල ගුඩේරියන් ගේ 2 වන පැන්සර් කණ්ඩායමේ 17 වන ඩිවිෂනයට ටී-34 යුද ටැංකි විසින් එල්ලකල දැවැන්ත ප්‍රහාරයකට මුහුණ දීමට සිදුවිය. තම සතුරා ක්‍රීඩාවේ නීති රීති කෙමෙන් ප්‍රගුණ කරමින් සිටින බව ගුඩේරියන් පවා අමනාපයෙන් වුව පිළිගත්තේය. ඔහු දුටුවේ සටනේ මෙහෙයුම් හා උපායමාර්ගික වාසිය තවදුරටත් තමා සතු නොවන බවය. ජර්මන් ඉදිරි ගමන අතිශය සෙමින් සිදු වුවද දැන් මොස්කොව් නගරය හා ඔවුනතර දුර සැතපුම් 50 ක් පමණි. එහෙයින් නොවැම්බර් 23 දා මධ්‍යම බල ඇණියේ 3 වන පැන්සර් කණ්ඩායම ක්ලින් නගරය අත්පත් කොටගත් බව ඇසූ ස්ටාලින් පෙරමුණ භාර සෝවියට් ආඥාපති ජෝර්ජි කොස්තන්තිනෙවිච් සුකොව් දුරකථනයෙන් ඇමතීය. “සුකොව් සහෝදරයා, මට කණගාටුයි මෙහෙම අහන්න වීම ගැන. නමුත් තමුසෙට විශ්වාසද අපට මොස්කොව් රැකගන්න පුළුවන් කියලා? කොමියුනිස්ට් වාදියෙක් වගේ අවංකව පිළිතුරු දෙනවා! ” ස්ටාලින් තම විශ්වාසවත්ම ජනරාල් තැනට අණ කලේය. “පුළුවන් ස්ටාලින් සහෝදරයා. නමුත් අපට තව හමුදා කණ්ඩායම් දෙකකුත් අතිරේක යුද්ද ටැංකිත් උවමනායි.” “තමුසෙගෙ ආත්ම විස්වාසයට ස්තුතියි,” ස්ටාලින් මිතුරු ලෙස කීය. “සෙනෙවි මණ්ඩලයට කතා කරල සංචිත වලින් උවමනා හමුදා කණ්ඩායම් ඉල්ල ගන්නවා. නමුත් තමුසෙට තවම යුද්ද ටැංකි දෙන්න පුළුවන්කමක් නැහැ.” දැඩි ශීතලේ ඉබි ගමනින් ගෝර්කි නගරය දෙසට ගාටන ගුඩේරියන් ගේ පැන්සර් කණ්ඩායමට නොවැම්බර් 27 වැනිදා රුසියානුවෝ යලි පහර දුන්හ. එය කෙතෙක් ප්‍රබල වීද යත් 17 වන පැන්සර් ඩිවිෂනයට ටූලා නගරයේ වැටලීම හැර දැමීමට සිදුවිය. ගුඩේරියන් යලි ඉදිරියට යාමට තැත් කලද එය සාර්ථක වූයේ නැත. ඔහුගේ භටයෝ දුර්මුඛව සිටියහ. දැවැන්ත උගුලක් තුල සිරවී ඇතැයි යන හැඟීම බොහෝ ජර්මන් නිළධාරීන් තුල විය. එදිනම මධ්‍යම බල ඇණියේ 4 වන පැන්සර් කණ්ඩායම අගනුවරට සැතපුම් 22ක් දුරින් වූ මොස්කොව්-වොල්ගා ඇල මාර්ගය හරහා වැටෙන පාලම අත්පත් කොට ගත්තද රුසියානුවෝ මෙහා ඉවුරේ සිට තදින් පහර දීම නිසා යලි පසු බැසීමට සිදුවිය. නොවැම්බර් 29 දා නැවතත් නැගෙනහිර ප්‍රසියාවේ සිය මූලස්ථානයට පැමිණි මොහොතේ පටන් හිට්ලර්ට අසන්නට ලැබුන පුවත් එතරම් සුභදායී ඒවා නොවේ. ජර්මන් හමුදා රස්ටොව් නගරයෙන් පසුබසිමින් සිටින බව ඔහුට අසන්නට ලැබිණ. ඔවුනතර තම පෞද්ගලික එස්. එස්. ඩිවිෂනය වූ ‘ලයිබ්ස්ටැන්ඩර්ට් ඇඩොල්ෆ් හිට්ලර්’ බල ඇණියද වීම ඔහුගේ විශේෂ කෝපයට හ්තු වූ බව නොකිවමනාය. ඔහු ප්‍රතිචාර දැක්වුයේ ජර්මන් දකුණු දිග බල ඇණිය භාරව සිටි ජනරාල්ෆීල්ඩ්මෂල් ජෙරාඩ් වොන් රන්ස්ටඩ්ට් තනතුරෙන් පහ කරමිනි. දෙසැම්බර් 01 දා තෙමේම පෙරමුණට ගොස් සියැසින් තත්වය දැක බලා ගත් පසු රස්ටොව් නගරයෙන් පසු බැසීම සාධාරණ බවට හිට්ලර් එකඟ වුවද ඔහු රන්ස්ටඩ් යලි තනතුරේ පිහිටවූයේ නැත. මෙ වනවිට මොස්කොව් හි උෂ්ණත්වය හිමාංකයට පහලින් අංශක 40කි. උතුරේ හා දකුණේ දැඩි රුසියන් ප්‍රතිරෝධනය හමුවේ ඉදිරි ගමන ඇණහිට තිබූ හෙයින් මින්ස්ක්-මොස්කොව් ප්‍රධාන මාර්ගය ඔස්සේ 4 වන පැන්සර් කණ්ඩායම යොදවා නැවත නගරයට පහර දීමට එදින තවත් උත්සාහයක් දැරිණ. එයද සාර්ථක වූයේ නැත. සැතපුම් 18ක් තරම් අගනුවර සමීප වූ එක් ඔත්තු බලන කණ්ඩායමක් තම ක්ෂෙත්‍ර දුරදක්න තුලින් ක්‍රෙම්ලිනයෙන් නිකුත්වන ආරක්ෂක වෙඩි මුර වල දීප්තිය තමා දුටු බව වාර්තා කලද ඔවුන්ට පසු බැසීමට සිදුවූයේ දැඩි හිමකුණාටු හා පාටිසාන් වරුන්ගේ තර්ජන හේතුවෙනි. ඉදිරි ගමන මුළුමනින් ඇණ හිට තිබූ සමස්ත ජර්මන් පෙරමුණ දෙසැම්බර් 04 වැනිදා ආරක්ෂක අඩියකට පිවිසියේය. එහෙත් තව පැය ගනනකින් උදා වීමට නියමිත ඒ මහා ව්‍යසනය දැඩි ශීතෙන් හා සැපයුම් හිඟයෙන් පෙලෙමින් සිටි සෙබළුන් වත් ඔවුන්ගේ නිළධාරීන් වත් සිහිනෙනුදු අපේක්ෂා කළ තත්වයක් නොවේ…

(c) Chamara Siriwardene

වලසා හිට්ලර්ට පහර දේ (1941 දෙසැම්බර් -1942 මාර්තු)

ගිම්හානයේ සිට පුරා පස් මසක් නොකඩවා පහර දෙමින් මොස්කොව් නගරයේ ගේට්ටු අභියසටම ලඟාවූ ජර්මන් පෙරමුණ සතු ප්‍රහාරක ශක්තිය 1941 දෙසැම්බර් මුල වන විට සිඳී ගියේය. දරුණු රුසියන් සිසිරය කෙමෙන් උත්සන්නවේ. උෂ්ණත්වය සෘනාංක 40 පසුකොට තව දුරටත් පහල වැටිණ. පොළොව මත වූ හිම තට්ටුවේ ඝනකම මීටරයකි. මේ වන විට පෙරමුණු අණදෙන නිළධාරීන්ගේ සිතට වද දුන් ගැටළුව වූයේ සැතපුම් කිහිපයක් එපිට පෙනෙන නොපෙනෙන මානයේ ඇති සතුරු අගනුවර අත්පත් කරගැනීම නොව කටුක දේශගුණය පහවී ප්‍රමාණවත් සැපයුම් ලැබෙන තෙක් වඩාත් ආරක්ෂිත සීමාවකට පසු බැසීමය. එහෙත් පෙරමුණේ සැබෑ තත්වය ගැන අවබෝධයක් නොතිබූ හිට්ලර් ගේ දැඩි නියමය වූයේ හමුදාව අඩියක් හෝ පිටුපසට නොගත යුතු බවයි. අර්ධ මානව ගෝත්‍රිකයන් පිරිසක් හමුවේ මෙසේ දෙවැනි වීම ආර්යන් වරුන්ට තරම් නොවේ. ජර්මන් සෙනෙවි මණ්ඩලයේම ගනන් මිමි ප්‍රකාර සිය අවසන් සංචිතයෙන් සටන් වදින රතු හමුදාව සතුව තවත් භටයන් 90,000 කට හා යුද ටැංකි 150 ඉක්මවන ශක්තියන් තිබිය නොහැක. “රුසියන් කාරයො තවත් ඉතුරු වෙලා නැහැ!” හිට්ලර් ගුගුලේ මේසයට මිටින් ගසමිනි. අනතුරුව ඔහු මෝල්ගස් ගිල්ලාක් මෙන් සීරුවෙන් සිටින ජනරාල් වරුන් දෙස පිළිකුල් සහගත බැල්මක් හෙලයි. ජුන්කර් වරු වන මොවුන් රුසියාව සමඟ යුද වැදීමට යටි සිතින් අකැමැති බව ඔහුට රහසක් නොවේ. එහෙයින් නැගෙනහිර යුද්ධයෙන් කර ඇරීමට ඔවුන් තැත් කරන්නේය යන සැකය ඔහු තුල ඇත. මේ කිසිත් නොදත් ලෝකයා අකැමැත්තෙන් වුව සූදානම් වූයේ හිට්ලර් රතු චතුරස්‍රයේ ජයපැන් බොනු දැකීමටය. හාස්කමකින් මිස අන් ලෙසකින් දැන් රුසියන් වලසා විනාශයෙන් මුදා ගනු බොරු යැයි කියමින් බටහිර පුවත්පත් මුර ගෑහ. ඉතිහාසය පුනරාවර්ථනය වන්නේ එකම මුහුණුවරින් නොවේ. 1759 සත් අවුරුදු යුද්ධයේදී රුසියානුවෝ බර්ලිනයේ ගේට්ටුව දක්වා පැමිණි මොහොතක නොසිතූ ලෙස යුද්ධය අවසන් වූයේ සාර් රැජිණිය හදිසි‍යේ මිය යාම නිසාය. පරාජය අභිමුව සිටි ප්‍රසියාවේ මහා ෆ්‍රෙඩ්රික් එය ‘බ්‍රැන්ඩන්බර්ග් හි හාස්කම’ ලෙස හඳුන්වමින් එකල බොහෝ උදම් ඇනීය. 1941 මොස්කොව්හි එවන් හාස්කමක් සිදු වූයේ නැත . හිට්ලර් වෙනදාටත් වඩා යහතින් සිටියේය. එහෙත් අරුමය වූයේ මරණාසන්නව පණ අදිමින් සිටින්නේ යැයි කියනු ලැබූ වලසා එක්වර හිම ගසා දමා නැගී සිටීමයි. දෙසැම්බර් 05 දා හිමපතනය උච්චාවස්ථාවේ දැවැන්ත රුසියන් ප්‍රතිප්‍රහාරය ආරම්භ විය. ආර්ක්ටික් දේශගුණය යටතේ පුහුණුව ලැබූ අති දක්ෂ සයිබීරියන් කොමන්ඩෝ භටයන් පෙරටු කොට ගත් මෙම ප්‍රහාරයට රතු හමුදා ඩිවිෂන 100ක් යුද ටැංකි 3000ක් හා ගුවන්යානා 1000 සහභාගී වූහ. සෝවියට් යුද යන්ත්‍රයේ සැබෑ මානයන්ට පමණක් නොව ජර්මන් ඔත්තු සේවයට සිදුවී තිබූ වරදේ පරිමාණයටද එය කදිම උදාහරණයක් විය. වඩාත්ම කලබල වූයේ සෙනෙවි මණ්ඩලයයි. රුසියන් යුද්ධය සිය ශිල්පීය ඥානයට ගෝචර නොවන වග ඔවුන් කල් ඇතිවම හිට්ලර්ට අනතුරු ඇඟවූවා නොවේද? මොස්කොව් නගරය වටා එලූ ජර්මන් වලල්ල ස්ථාන රැසකින් සිදුරු කොට තිබූ හෙයින් සමස්ථ පෙරමුණ වඩා ආරක්ෂිත සීමාවක් කරා පසු පසට ගැනීම මැනවයි අණදෙන නිළධාරීහූ එකා මෙන් කියා සිටියහ. දැඩි ශීතලට හසුව ගල් වී සිටි ජර්මන් භටයන් බඩ කට පුරා කා, වොඩ්කා බී, ලෝම හිම කබා හැඳගත් සයිබීරියානුවන් හා කොසාක් වරු සමග කෙසේ නම් සටන් වදින්නද? ටූලා නගරයේ සිටි සෝවියට් 50 වන හමුදාව තම 2 වන පැන්සර් කණ්ඩායමෙන් කොටසක් වට කිරිමට තැත් කිරීම නිසා ගුඩේරියන් සිය පෙරමුණත් රැගෙන මරුකටින් ගැලවෙනු පිණිස ගිණිකොණ දෙසට පසු බැස්සේය. මධ්‍යම පෙරමුණේ 3 වන හා 4 වන පැන්සර් කණ්ඩායම්වල තත්වය ද ඒ හා සමාන විය. පසුදා හවායි දූපත් හි පර්ල් වරායේ පිහිටි සිය යුද කඳවුරට බෝම්බ දැමීමේ සිද්ධිය මත එක්සත් ජනපදය ද යුද්ධයට පසුදා සම්බන්ධ වූවාය. විස්මයට පත් හිට්ලර් ලහි ලහියේ බර්ලිනයට ගොස් පපර්ලිමේන්තුව රැස් කොට අක්ෂ ගිවිසුම ප්‍රකාර එක්සත් ජනපදය විරුද්ධව යුද ප්‍රකාශ කලද තම ආරම්භක මෙහෙයුම් ඈත පෙරදිගට සීමා කල වොෂින්ටනය 1944 වනතුරුම යුරෝපීය වේදිකාවට සක්‍රියව දායක වූයේ නැත. “දැන් ඉතින් බයවෙන්න දෙයක් නෑ. අපි මේ මිත්‍රකම් කම් පවත්වන්නෙ අවුරුදු 3000ක් අපරාජිත ජාතියක් එක්ක..” එහෙත් නැගැනහිර යුද්ධය සඳහා නම් ඔහු මේ අපරාජිත ජපනුන්ගෙන් ලද සහායක් නැති.

බර්ලින‍යේ දින කිහිපයක් ගත කිරීමෙන් අනතුරුව නැගෙනහිර පෙරමුණේ ‘ප්‍රශ්නයක්’ ඇතිවි ඇති වග ගොබ්ල්ස්ට පැවසූ හිට්ලර් දෙසැම්බර් 16 දා නැවත ‘වෘක ලෙන’ බලා පිටත් විය. 

හිට්ලර් එන තුරු මඟ බලා සිටි හමුදාපති වෝල්තර් වොන් බ්‍රෝරෝෂිච්ට් අයැද සිටියේ මධ්‍යම පෙරමුණේ සාමුහික පසු බැසීමක් සදහා අවසර දෙන ලෙසයි “මොනවා? පහු බහින්න? පස් කාල මළත් එක අඩියක් හොල්ලනව නෙවෙයි කවුරුවත් හෙම තේරුණාද?” හිට්ලර් සැර විය. හමුදාපති සිය තට්ටය අත ගෑවේය. නොවැම්බරයේ සිට හෘදයාබාධයකින් පෙළෙන ඔහුට මෙම ආතතිය තවදුරටත් ඔරොත්තු නොදේ. “මගේ නායක තුමනි සමහර කණ්ඩායම් දැනටමත් පසු බසිමින් ඉන්න නිසා…” ඔහුට අහවර කිරීමට ඉඩක් නොලැබිණ. “කොහොමද එහෙම පහු බහින්නෙ? කාගෙන් අහලද? ” හිට්ලර් මධ්‍යම පෙරමුණේ ආඥාපති ෆෙඩෝර් වොන් බොක් එකෙනෙහිම තනතුරින් පහ කලේය. “බැරි නම් තමුසෙත් අස්වෙනවා.” ඔහු අසරණ හමුදාපතිට සත්තම දැමීය. පසු නොබසින ලෙස හිට්ලර් කල නියෝගය පෙරමුණු මූලස්ථානයට යැවූ වොන් බ්‍රෝරෝෂිච්ට් දෙසැම්බර් 19 දා ‘සෞඛ්‍ය හේතූන්’ මත ඉල්ලා අස් වූ බව වාර්තා විය. හිට්ලර් හමුදාපති ධුරය සියතට ගත්තේය. “මේක මහ ලොකු දෙයක් නෙවෙයි. මේ වෙනකනුත් වැඩ ටිකෙන් බාගයක් කලේ මම.” ඔහු කීවේ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී හැල්ඩර් ටීය. එය සත්‍යයකි. වොන් බ්‍රෝරෝෂිච්ට් තැපැල් පියුන් කෙනෙක් තරමටවත් නොතැකූ හිට්ලර් පෙරමුණට සෘජුව අණදෙන්නේ සති කිහිපයක පටන්ය. “හමුදාපතිගෙ කාර්යභාරය වෙන්නෙ මූලස්ථානෙට වෙල සිතියම් අත ගගා ඉන්න එක නෙවෙයි නියම ජාතික සමාජවාදී පන්නයට හමුදාව පුහුණු කරන එක. මට ඕන විදියට ඒ වැඩෙ කරන්න පුළුවන් කිසිම ජනරාල් කෙනෙක් නැහැ.” ගුඩේරියන් ‘වෘක ලෙන’ ට කැඳවන ලද්දේ පසුවදාය. සෙනෙවි ම්ණ්ඩලයේ සහායක් තමාට අපේක්ෂා කල නොහැකි බව දැන සිටි ඔහුට හිට්ලර් ගේ ආකල්පය පෙර මෙන් අනුග්‍රහශීලී නොවන බවද පෙණින. එහෙත් හේ පසුබට නොවීය. තම හමුදාව මුහුණ පා සිටි ඛේදජනක තත්වය පැහැදිලි කල ගුඩේරියන්, සූෂා සහ ඕකා ඉවුරු ඔස්සේ පිළියෙල කරන වඩාත් ආරක්ෂිත සීමාවක් දක්වා පෙරමුණ පසුපස ගෙන යාමට යලිත් අවසරය පැතුවේ අන් විකල්පයක් නැතිබව පැහැදිලි කරමිනි. . “බෑ බෑ. තව ඒක අඟලක් වත් පස්සට යන්න තහනම්. දැනට ඉන්න තැන්වල වහාම ස්ථානගත වෙන්න ඕන.” ශීතල නිසා පොළොව මීටර් 2 පමණ යටට මිදී ගල්වී ඇති හෙයින් කැනීම් කල නොහැකි බව ගුඩේරියන්ගේ පිළිතුර විය. “එහෙනම් හොවිට්සර් වෙඩි දාල පුපුරවනවා. පලවෙනි ලෝක යුද්දෙදි අපි කරෙත් එහෙම තමයි.” තමා සතුව ප්රරමාණවත් උණ්ඩ නොමැති බවත් රුසියාවේ දේශගුණය බටහිර යුරෝපයට සමකොට නොහැකි බවත් ගුඩේරියන් පෙන්වා දුන්නේය. එහෙත් හමුදාව දැන් සිටිනා ස්ථාන වල වාඩිලා ගතයුතු බව හිට්ලර්ගේ තීරණය විය. ගුඩේරියන් ද අත හැරියේ නැත. නුසුදුසු භූමියක සටන් වැදීම මගින් කනිෂ්ඨ නිළධාරීන් හා භටයන් විශාල පිරිසක් අහිමිවිය හැකි බව හේ කීය. පලමු ලෝක යුද්ධයේද සිදු වූයේද එයම නොවේද? එවන් හානි පිරි මැසීම අසීරුය. “තමුසෙ හිතන්නෙ මහා ෆ්‍රෙඩ්රික් ගේ හේවායොත් මැරෙන්න බය උනා කියලද? ” හිට්ලර් ඇසීය. “නෑ. ඒ මිනිස්සුන්ටත් ජීවිත ආසාව තියෙන්න ඇති. ඒත් රජ්ජුරුවො ඔවුන්ට අණ කලා තමගේ ජීවිත පරිත්‍යාග කරන්න කියල. ඒ වගේ මටත් පුළුවන් ඕනම සොල්දාදුවෙකුගෙන් ඒ වගේ ඉල්ලීමක් කරන්න.” ගුඩේරියන් යලි විරුද්ධ විය. රට වෙනුවෙන් දිවි පිදීම හොඳය. නමුත් නිස්සාරනේ ජීවිත කැප කිරීම අපරාධයකි. මේ අසා කෝපවූ හිට්ලර් ගුඩේරියන් පමණට වඩා සෙබළුන්ට සමීප වීම නිසා මේ තත්වය ඇති වී ඇති බවට බවට චෝදනා කලේය. “ මිනිස්සු අතේ දුරින් තියාගන්නවා. එතකොට තමුසෙ ඔයිට වඩා හොඳින් දේවල් පෙනේවි.” “මගේ නායක තුමනි, මම කොහොමද එහෙම කරන්නෙ? දවසට සෙබළු කී දෙනෙක් හීතලට අහුවෙල මැරෙනවද?” “ ඒ බොරු!” හිට්ලර් බෙරිහන් දුනි. “මුළු හමුදාවටම ඕන ශීත ඇදුම් නිකුත් කරලයි තියෙන්නෙ!” නිකුත් කල බව සැබෑවකි, ගුඩේරියන් කීය. එහෙත් එකක් වත් පෙරමුණට නම් ලැබී නොමැත. “එවන්න කෝච්චි නෑ කියල ඔක්කොම වොර්සෝ නගරයේ අන්න ගොඩ ගහල තියනවලු” “තමුසෙගෙ හමුදාවෙ සටන් කරන්න මිනිස්සු නෑ. වැඩි හරියක් ඉන්නෙ සැපයුම් අංශ වල” හිට්ලර් ද චෝදනා කලේය. ගුඩේරියන් කීවේ තම හමුදාවේ වාහන වැඩි හරියක් අක්‍රිය වී තිබීම ඊට හේතුව බවයි. එකම විසඳුම දුම්රිය ගමනාගමනය යථා තත්වයට පත් කිරීමය. “අනිත් එක මම දැක්කා පුවත් පටයක (newsreel) මම දැක්කා නැගෙනහිර පෙරමුණේ සෙබළුන්ට නිකුත් කරල තියන උපකරණ. ඒ එකක්වත් අපිට ලැබිල නෑ. අනිත් එක මම ඉල්ලීමක් කරන්න කැමතියි සෙනෙවි මණ්ඩලයට රුසියන් පෙරමුණේ අත්දැකීම් ඇති නිළධාරීන් කිහිප දෙනෙකුත් පත් කරන්න කියලා. අපි එවන පණිවුඩ සමහර වෙලාවට වැරදි විදියට අර්ථ කථනය වෙන්න හේතුව සැබෑ තත්වය පිළිබධ අවබෝධයක් නැති නිසා..” “එහෙම කරන්න බැහැ!.” හිට්ලර් කොටින් කීය. පැය පහක නිශ්ඵල ඉදිරිපත් කිරීමකින් පසු පෙරලා පෙරමුණට පැමිණි ගුඩේරියන්ට හිට්ලර් නියම කල අන්දමට ආරක්ෂක සීමා ඉදි කිරීමට අවස්ථාවක් ලැබුනේ නැත. නත්තලට පෙර දින යලි පහර දුන් රුසියානුවෝ චර්න් නගරය අත්පත් කොට ගත්තෙන් ඔහුගේ 10 වන යාන්ත්‍රික පාබල ඩිවිෂණය වැටලීමේ තර්ජනයට මුහුන පෑවේය. එහෙයින් හිට්ලර්ගේ නියෝගයට විරුද්ධව යමින් කලින් සිතූ අන්දමට සූෂා සහ ඕකා ඉවුරු දක්වා ඔහු පසු බැස්සේය. එහි ප්‍රථිපලය කුමක් වනු ඇත්දැයි නොකිවයුතු මනාය. ජර්මන් හමුදාවේ යුද ටැංකි විශේෂඥයා වූ ගුඩේරියන් තනතුරින් පහ කෙරුණ බවට රේඩියෝ පණිවුඩයක් පසුදා ලැබිණ. නිදහසට කරුණු විමසන ලද්දේ ඔහුගෙන් පමණක් නොවේ. පරාජයට හේතුව ‘සිවිල් නායකත්වය’ යැයි පැවසූ දක්ෂ යුද ටැංකි අණදෙන්නෙකු වූ එරිච් හොප්නර් ඔහු දැරූ ජනරාල් නිළයෙන් ද පහකල හිට්ලර් ඔහුට යලි නිළ ඇදුම් ඇදීමේ හා විශ්‍රාම වැටුප් ලැබීමේ හිමිකම් පවා තහනම් කලේය. සැතපුම් 100-250 දක්වා පසුපසට තල්ලු වූ ජර්මන් පෙරමුණ අවසානයේ 1942 මාර්තුවේ ස්ථාවර වූයේ රුසියානුවන්ගේ ප්‍රහාරයේ ගාමක ශක්තිය සිීඳී ගිය විටයි. ඒවන විට මොස්කොව් නගරයට එල්ලවී තිබූ හදිසි තර්ජනය පිසලා අවසන්ය. බාබරෝසා මෙහෙයුම නිසා ජර්මන් හමුදාවට අහිමිවූ භටයන් ගණන දහතුන් ලක්ෂයකි. වල්මත් ව තැන තැන සැඟව සිටියදී නගර වාසින් විසින් අල්ලා ගත් ජර්මන් භටයන් පිරිසද සුළුපටු නැත. රුසියන් භටයන් අට ලක්ෂයක් මියගොස් තිස් අටලක්ෂයක් සිරකරුවන් බවට පත් වූහ. එම සංඛ්‍යාලේඛණ පවා පරස්පරය. වියවුල්ය. එහෙත් ජර්මන් හමුදාව තවදුරටත් රුසියාව අභ්‍යන්තරයේ සිටියේය. ඒ දරුණු සිසිරය තුල ජර්මන් පෙරමුණ රැකුණේ තම ‘අයෝමය අධිෂ්ඨානය’ නිසාවෙන් යැයි කී හිට්ලර් 1942 නැගෙනහිර යුද්ධය අවසානයක් කිරීම තම ඉලක්කය බව ගෝරින්ට කීය. මේ දිනවල ඔහු සිටියේ තවත් යෝධ ප්‍රහාරයකට අර අඳිමිනි. මේවා බලමින් තවදුරටත් බර්ලිනයේ විසීමෙන් ඵලක් නැතැයි සිතූ ගුඩේරියන් පදිංචිය පිණිස ඔස්ට්‍රියාව කිට්ටුවෙන් ඉඩමක් බැලූ බව හිට්ලර්ට ආරංචි විය. “ගුඩේරියන් මොකටද එහේ යන්නෙ? එයා යන්න ඕන තමන්ගෙ ගම් පලාතට.” අපරාදේ නොකියන්න ගුඩේරියන්ට නැගෙනහිර ප්ර්සියාවෙන් ගොවිපොලක් ප්‍රදානය කිරීමට ද ඔහු කටයුතු කලේය. තම ක්ෂෙත්‍ර නිළ ඇඳුමට සමු දුන් ජර්මන් යාන්ත්‍රික යුද උපාය ශිල්පී කල්නල්-ජනරාල් හයින්ස් ගුඩේරියන් ‘ගොවි මහත්මයෙක්’ බවට පත් විය...

(c) Chamara Siriwardene

හිට්ලර් නම් නොපසුබට මිනිසා (1941 මාර්තු-ජුනි)

බාබරෝසා ක්‍රියාන්විතය රුසියානුවන්ට බොහෝ පාඩම් ඉගැන්වීය. ඉලක්කය දිනාගැනීම සඳහා ප්‍රමාණවත් තරම් බලයක් නාභි ගත කිරීමෙන් තොරව සතුරු පෙරමුණ තුලට ගැඹුරට කාවැදීමට තැත් කිරීම අනර්ථකාරී බවත්, පාබල හමුදා ප්‍රහාර වලදී පෙරටු බලය ලෙස කම්පන හමුදා (Shock troops) ඒකක යෙදවීම වඩා ඵලදායී බවත්, ව්‍යාකූල අණදෙන ව්‍යුහය වඩාත් සරල කිරීමෙන් බල ඇණි මෙහෙයවීම වඩාත් පහසු වන බවත් ඔවුහු නොපමාව උගත්හ. ස්ටාලින් පවා සිය ඉහල අණදෙන කෙරේ කිසියම් විශ්වාසයක් ඇති කොට ගත්තේය. හිට්ලර් උගත්තේ වෙනම පාඩමකි. “අපරාදෙ අපිට තිබුනෙ මුලින් ලෙනින්ග්‍රාඩ් පැත්තයි යුක්රේනෙයි අල්ලන්න…” ඔහු තම අජුටන්ට් තැන හා කියමින් පසු තැවිලි විය. “ඊට පස්සෙ ඒ දෙපැත්තෙන්ම ගහලා ලේසියෙන් මොස්කොව් අල්ලන්න තිබුනා.” යුද්ධයේ බර දැන් ජර්මනියට වැඩි වැඩියෙන් දැනේ. සතුරා සමූලඝාතනය කොට සති අටෙන් අහවරක් කිරීමට සිතූ යුද්ධය දැන් තවත් වසරකට දික් ගැසී ඇත. ඊට අමුද්‍රව්‍ය, ඉන්ධන මිනිස් බලය හා ආහාර‍ පාන උවමනා වනවා පමණක් නොව හිතකර දේශපාලන වාතාවරණයක්ද පවත්වාගෙන යා යුතුය. අක්ෂ පාක්ෂික මිතුරන්ගෙන් යුද්ධයට ඒ හැටි ලැබෙන සහායක් ද නැත. පෙරමුණු තුනම ඔස්සේ නැවත පහර දීමට තරම් හැකියාවක් හමුදාවට තවදුරටත් නොමැති බව ද ඔහුට වැටහිණ. බාබරෝසා ක්‍රියාන්විතය සඳහා යොදාගත් ඩිවිෂන 153 න් මේ වන විට සටන් කිරීමට සූදානම් තත්වයක සිටියේ 60කි. හමුදාපති, පෙරමුණු ආඥාපතිවරු, කෝර්ප්ස් හමුදා හා ඩිවිෂණ මට්ටමේ අණදෙන නිළධාරීන් ඇතුලු 35 දෙනෙක් තනතුරු වලින් ඉවත් කරනු ලැබ සිටියහ. තවත් අක්ෂ හමුදා ඩිවිෂණ කිහිපයක් ඉල්ලා හංගේරියාවට හා රොමේනියාවට ජනරාල්ෆීල්ඩ්මාෂල් කීටල් පිටත් කල හේ පැවති තත්වය යටතේ සමස්ථ ශක්තිය දකුණු දිග පෙරමුණ ඔස්සේ නාභි ගත කොට 1942 වසර තුල කොකේසස් හි තෙල් ආකර ටික අත්පත් කොට ගැනීම මැනවයි සිතීය. ජනවාරි අග ඔහු ගෝරින් රෝමයට පිටත් කොට හැරියේ මොස්කොව් හි පසු බැසීම නිසා මුසෝලිනි තුල ඇතිවූ කිසියම් බියක් හෝ සැක සාංකාවක් ඇති වීනම් එය දුරලීමටය. ගෝරින් එවැනි වැඩට දක්ෂයෙකි. හේ දින කිහිපයක්ම ඉතාලියේ සාප්පු සවාරි ගියේය. මුසෝලිනිට හිසරදයක්ව තිබූ මෝල්ටාවේ බ්‍රිතාන්‍ය කඳවුරු වලට ‘අද හෙටම’ බෝම්බ දැමීමටද ඔහු පොරොන්දු විය. නැගෙනගිර පෙරමුණේ සැලසුම් කෙරෙන නව ප්‍රහාරය සම්බන්ධ සාකච්ඡාවක් සඳහා අවි ආයුධ හා කර්මාන්ත ඇමති ආචාර්ය ටොඩ්ට් හිට්ලර් හමුවීමට ‘වෘක ලෙන’ට පැමිනියේ ඒ අතරය. හිට්ලර් සිටියේ තම නිර්මාණ ශිල්පී ඇල්බර්ට් ස්පීර් සමඟ ක්‍රිමියාව හා කොකේසස් දක්වා දිවෙන අනාගත මහා මාර්ගය සැලසුම් කරමිනි. ආ කාරණය නිමවා පෙරලා බර්ලිනය බලා යාමට පෙර ටොඩ්ට් තමා සමඟ ගමනට එකවන මෙන් ස්පීර්ටද ආරාධනා කලේය. ඔව්හු මිතුරෝ වූහ. විටෙක වාසනාව එන්නේ හිරිහැරයක වෙසිනි. වෙහෙසට පත්ව සිටි ස්පීර් අවසන් මොහොතේ තම ගමන කල් දැමුවේය. ආපසු යන අතර ගුවන් යානය අනතුරට පත්වීමෙන් ටොඩ්ට් මරුමුවට පත්විය. ටොඩ්ගේ මරණය හිට්ලර්ගේ වැඩ පිළිවෙලට මරු පහරකි. හේ බොහෝ දුක් විය. එහෙත් වාසනාව තවමත් තමා හඹා එන බව 36 හැවිරිදි ස්පීර්ට වැටහුනේ අබෑර්තු වූ කැබිනට් මට්ටමේ තනතුරට හිට්ලර් විසින් තමා පත්කොට ඇති වග දැනගත් විටය. දක්ෂ සංවිධායකටකු වූ ඔහු කෙරේ හිට්ලර් තැබූ විශ්වාසය අපතේ නොගියේය. ස්පීර් ගේ කාර්ක්ෂම බව හා කැපවීම නොවන්නට ජර්මනිය වඩාත් ඉක්මනින් යුද්ධය පරාජය වීමට ඉඩ තිබිණ. මොස්කොව් අසලින් පසු බැස ගියද බටහිර රුසියාව තවමත් තිබුනේ ජර්මන් පාලනය යටතේය. මේ හේතුවෙන් එස්. එස්. නායක හයින්රිච් හිම්ලර්ට ත් වඩා බොහෝ වැඩ වැඩි ඔහුගේ කදිම සහායකයා වූ රයින්හාර්ඩ්ට් හයිඩ්රිච් ටය. ‘යුදෙව් ගැටළුව සඳහා අවසන් විසඳුම’ යන වැඩසටහන යටතේ රයික් රාජ්‍යයේ දේශ සීමා තුල වෙසෙන සියළු යුදෙව්වන් පිටුවහල් කොට විනාශ කොට දැමීමට සැලසුම් සකස් කල ඔහු සිත්පිත් නැති පුද්ගලයෙකු ලෙස ප්‍රකට වුවද බුද්ධිමතෙකි. ජර්මනිය මුහුණ දෙන අභියෝහ හමුවේ මිනිස් බලය නිකරුණේ විනාශ කිරීම අපරාධයක් බවත්, යුදෙව්වන් අතර දක්ෂ ශිල්පීන් සිටින බවත් ඔහු දත්තේය. එහෙත් යුදෙව්වන්ට කිසිදු ‘වටිනාකමක්’ ලබා දීමට හිට්ලර් හා හිම්ලර් විරුද්ධ වූ හෙයින් ඔහු ගේ උපාය වූයේ සිරකරුවන් තම ජීවන පිරිවැය සඳහා ශ්‍රමයෙන් ගෙවිය යුතුය යන මැයෙන් ඔවුන්ගේ සේවය ලබා ගැනීමයි. ඒ සඳහා ලැට්වියාවේ රීගා, පෝලන්තයේ ඔෂ්විට්ස් ඇතුළු ස්ථාන 22 ක රඳවනු ලැබූවෝ එස්. එස්. සංවිධානයට අයත් කම්හල් හා වැඩ බිම් වල සේවයේ යොදවනු ලැබූහ. එහෙත් හයිඩ්රිච් ගේ දැක්ම නොතිබූ ඔහුගේ කනිෂ්ඨයෝ හිම්ලර්ගේ නියෝග අකුරටම පිළිපදිමින් නිකරුනේ සිරකරුවන් මරා දැමූ බව සත්‍යයකි. ඇතැම් කඳවුරු වල මිය ගියවුන්ගේ සම් ගා හිසකෙස් පවා විවිධ නිෂ්පාදන වලට යොදා ගත්බවට සාක්ෂි ඇත. මෙ අතර හිම්ලර්ට සිදු වූයේ මහත් අකරතැබ්බකි. ඔහුගේ අනියම් බිරිඳ වූ හෙඩ්විග් පොටෑෂ් නම් තරුණිය පුතෙකු වැදුවාය. මවට හා දරුවාට පදිංචියට නිවසක් අවශ්‍ය වුවද ඒ සඳහා ඔහුට අතේ මුදල් නොතිබුනේය. සෙසු නාසි නායකයන් මෙන් නොව හිම්ලර් මුදල් ගණුදෙනු අතින් අතිශය විනයානුකූල පුද්ගලයෙකි. එස්. එස්. සංවිධානය සතු බිලියන ගණනක වත්කම් ඔහුර රිසි සේ පරිහරණය කිරීමට අවස්ථාව තිබුනද ඔහු කිසිවක් පෞද්ගලික ප්‍රතිලාභය සඳහා යොදා නොගත්තේය. ඔහු වඩාත්ම බිය වූයේ හිට්ලර් මේ පිළිබඳ දැන ගනු ඇතැයි සිතූ නිසාය. වරක් ගොබ්ල්ස් චෙක් ජාතික නිළියක් සමඟ පැටලී ඇති බවට ඔහුගේ බිරිඳ මැග්ඩා කල පැමිනිල්ල ඇසූ හිට්ලර් මැග්ඩා ගේ පැත්ත ගෙන එම සබඳතාව නතර නොකලහොත් නිලයෙන් පහ කරන බවට ගොබ්ල්ස්ට තර්ජනය කල බව ඔහු දනී. එහෙයින් හොර රහසේම පක්ෂ ලේකම් බෝමන් හමුවූ හේ මාසිකව වැටුපින් කපා ගැනීම සඳහා මාර්ක් 80,000 ක ණයක් ගෙන සිය පෙම්වතියට හා දරුවාට නිවසක් රැගෙන දුන්නේය. මාර්තුවේ ගොබ්ල්ස් කැඳවූ හිට්ලර් මහජනයා තුල යුද්ධය පිළිබඳ අසහනකාරී මානසික තත්වයක් ඉඩ ඇතැයි අනතුරු අඟවමින් එම තත්වය පිටුදැකීමට අවශ්‍ය ප්‍රචාරක වැඩපිළිවෙලක් සූදානම් කරන මෙන් උපදෙස් දුන්නේය. එහෙත් කර්මාන්ත ශාලා වලින් හමුදාවට මිනිස් බලය මුදා හල හැකි වනු පිණිස කාන්තා ශ්‍රමය නිෂ්පාදනයට දායක කොට ගැනිමට ගොබ්ල්ස් කල යෝජනාවට ඔහු අකැමැති විය. ජර්මන් කාන්තාව දරුවන් රැක බලාගෙන නිවසේ සිටිනු දැකීම තම අභිප්‍රාය බව ඔහු බොහෝ වතාවක් කියා ඇත. ඒ වෙනුවට ජර්මන් කාන්තාවට දරුවන් කෙරේ වැඩි කාලයක් ගත කල හැකි වනු පිණිස අත්පත් කොටගත් නැගෙනහිර පෙදෙස් වලින් නිරෝගී ගැහණු ලමුන් පන් ලක්ෂයක් ගෘහ සේවිකාවන් ලෙස ගෙන්වන ලෙස ඔහු ගොබ්ල්ස්ට නියම කලේය. කොකේසස් හි තෙල් ආකර ඉලක්ක කොට ගෙන දකුණු රුසියාවේ එල්ල කරන නව මෙහෙයුම පිළීබඳ ඔහු සෙනෙවි මණ්ඩලය හා සකච්ඡා කලේ අප්‍රේල් මාසයේය. දැන් වෙනදාට වඩා හෝදිසියෙන් සිටින මාණ්ඩලික ප්‍රධානී හැල්ඩර්ට මැයි මාසයේ යුක්රේකනයේ හාර්කොව් දිස්ත්‍රික්කයේ සෝවියට් ඉහල අණදෙන මූලස්ථානය හෙවත් ‘ස්ටාව්කා’ ව තවත් මෙහෙයුමක් සඳහා සැරසෙන බවට හමුදා ඔත්තු සේවා වාර්තා කොට තිබිණ. යෝජිත ජර්මන් ගිම්හාන මෙහෙයුමේ මුල් අදියර ලෙස පෙර මෙම රුසියන් ප්‍රහාරය උකහා ගෙන සතුරා මවිතයට පත් කිරීමත්, 1942 වසරේ ද ජර්මනුන් මොස්කොව් නුවරම ඉලක්ක කොට ගනු ඇතැයි ස්ටාලින් මුලාකරමින් දකුණු දිග කලාපය අත්පත් කොට ගැනීමත්, හැල්ඩර් ප්‍රමුඛ සෙනෙවි මණ්ඩලයේ මෙවර උපාය විය. එය 'නිල් මෙහෙයුම' (Operation Blue) ලෙස නම් කෙරිණ. දෙසැම්බරයේ ලද සාර්ථකත්වයෙන් කැලඹී සිටි ස්ටාලින් මෙහිදි රතු හමුදාවේ ශක්තිය පමණට වඩා තක්සේරු කල බව සෝවියට් ආඥාපති ජෝර්ජි සුකොව් පවසයි. තමා තවදුරටත් සටන් වදින්නේ ශීත සෘතුවේ අත් දුටුවාක් මෙන් වියැකී ගිය ජර්මන් ඒකක සමඟය යන වැරදි උපකල්පනයේ ස්ටාලින් මෙන්ම ‘ස්ටාව්කාව’ ද පසු වීම මීට හේතුවිය. මැයි මාසයේ ඇරඹුන ඒ ඌන සම්බන්ධිත මෙහෙයුම සඳහා රුසියානුවන්ට තවත් බොහෝ දේ ඔවුන් උගත යුතුව තිබූ බව පෙනී ගියේ ඇතැම් භට කණ්ඩායම් පෙරමුණට ලඟා වන විට මුල් ප්‍රහාරය ඇරඹී දින දෙකක් ඉකුත්ව ගොස් තිබූ නිසාය. මැයි 17 වැනිදා ඔවුනට වට කොට පහර දුන් ජර්මන්නු පස් දිනකින් පෙරමුණ මුළුමනින් වට කල අතර එය අවසන් වූයේ රතු හමුදාවට රයිෆල් බල ඇණි 3ක් යුද ටැංකි බල ඇණියක් ඇතුළු අණදෙන නිලධාරීන් රැසක් නිකරුණේ අහිමි කරවමිනි. එය ‘ස්ටාව්කාව’ උගත් තවත් මිල අධික ශාස්ත්‍රිය පාඩමකි. එහෙත් හාර්කොව් ජයග්‍රහණයේ ප්‍රීතිය හරිහැටි භුක්ති විදීමට හිට්ලර්ට අවස්ථාවක් ලැබුනේ ද නැත. මැයි අගදී ‘යුදෙව් ගැටළුව සඳහා අවසන් විසඳුම’ පිළියල කල හිම්ලර්ගේ සහකරුවා වූ එස්. එස්. ලුතිනන් ජනරාල් රයින්හාර්ඩ් හයිඩ්රිච් ප්‍රාග් අගනුවරදී පාතාල චෙක් සටන්කාමීන් විසින් එල්ල කල වෙඩි ප්‍රහාරයකින් මාරක තුවාල ලැබීම ඊට හේතුවයි. දින කිහිපයකින් හේ ජීවිතක්ෂයට පත් විය. බොහිමියාවේ ආන්ඩුකාර ජනරාල් පදවිය දැරූ හයිඩ්රිච් යුදෙව්වන් හා ජර්මන් විරෝධීන් අනුකම්පා විරහිතව මැඩළුවද, සාමාන්‍ය නිකරුනේ හිරිහැර නොකලේය. ඒ වෙනුවට චෙක් කම්කරුවන් අතර ඔහු වඩා ජනප්‍රිය වූයේ නිෂ්පාදනය ඉහල දැමිමට හිංසාව වෙනුවට දිරි දීමනා ක්‍රමයක් හඳුන්වා දීම නිසාය. හයිඩ්රිච් හේ වැඩ පිළිවෙල නිසා බොහිමියානුවන් නාසි පාලනය කෙරේ පැහැදෙනු ඇතැයි බිය වූ බ්‍රිතාන්‍ය ඔත්තු සෙවය ඔහු ඝාතනය සඳහා චෙක් පාතාලයට උපකාර කල බවට මතයක් ඇත. තුන්වන රයික් රාජ්‍යයේම ආරක්ෂාව භාරව සිටි හයිඩ්රිච් සිය පෞද්ගලික ආරක්ෂාව ගැන කොහෙත්ම සැලකිලිමත් නොවූ අයෙකි. ඝාතනය වන විටද ඔහු ගමන් කරමින් සිටියේ විවෘත මෝටර් රථයක ආරක්ෂක භටයන් නොමැතිවය. ඔහුට සුළු තුවාල ලබා ගැලවීයාමට අවස්ථාව තිබුනද, සිය වාහනය නවතා ප්‍රහාරකයන් සමඟ පිස්තෝලයෙන් සටන් කිරීමට ඔහු සිතීය . “ සුළු පටු මිනිහෙක්ද අපිට නැතිඋනේ? මේ මිනිහට පිස්සුද මේ තරම් නොසැලකිලිමත් වෙන්න?” සිද්ධිය ඇසූ හිට්ලර් කෝපයෙන් කෑගසද්දී හිම්ලර් සිය මිතුරා සිහි කරමින් කඳුළු සැලීය. හයිඩ්රිච්ගේ මරණය මහත් ප්‍රීතියෙන් සැමරූ ඔහුගේ සතුරෝ එමගින් බොහෝ අසරණ සිර කරුවන්ට සෙත සැලසුන බව කීහ. එහෙත් සත්‍යය නම් බොහෝ යුදෙව්වන්ට සිය හැකියාවන් මත නිළ නොවන මට්ටමින් ජීවත්වීමට තිබූ අවස්ථාව එමගින් අහිමිවූ වගයි. එමෙන්ම බොහිමියාව තුල වූ සාමකාමී ජන ජීවිතයද එතැකින් අවසන් විය. හයිඩ්රිච් ගේ මරණයෙන් වියරු වැටුන එස්. එස්. සංවිධානයේ පලි ගැනීමට ලක් වූයේ අසරණ සිවිල් වැසියන් මිස ඝානකයන් හෝ ඔවුන්ගේ විදේශීය අනුග්‍රාහකයන් නොවේ. මේ අතර පැණී වරකා ගසටද හෙණ ගැසුවාක් මෙන් ගෝරින්ගේ කල දවසද අයහපත් වූයේ නොසිතූ විලසිනි. රාජකිය ගුවන් හමුදාවට අයත් යානා ‘සිය ගණනක්’ මැයි 31 දා කොලොන්ග් නුවරට බෝම්බ දැමීම නිසා නිවාස 45000 ක් විනාශ වූ බවට ප්‍රාදේශීය ආණ්ඩුකාරයා හිට්ලර්ට වාර්තා කිරීම ඊට හේතුවයි. වැල්ඩන්ස්ටයින් බලකොටුවේ පිහිටි තම මහ ගෙදරට වී මේ දිනවල සිටි ගෝරින් කේන්තියෙන් පුපුරන හිට්ලර් ගෙන් ලද ඇමතුම නිසා පුදුම විය. “අන්න අරෙහෙ කොලොන්ග් නුවරට සුද්දො බෝම්බ දානවා. තමුසෙ ඔහාට වෙලා ඉන්නවා. වෙලා තියන හානිය වත් දන්නවද? ” “මගේ නායක තුමනි, ආපු බ්‍රිතාන්‍ය ගුවන්යානා 70න් 44ක්ම බිම හෙළුවා කියලා මට ගුවන් හමුදාව වාර්තා කලා. ඔය කියන තරම් හානියක් වෙන්න බැහැ. ඔය ආණ්ඩුකාරයගෙ බොරු !” “බොරු? බොරු කියන්නෙ තමුසෙගෙ ගුවන් හමුදාව. හොයල බලනවා හරියට.” හිට්ලර් රිසිවරය තැබුවේය.

ගෝරින් කලේ ප්‍රාදේශීය  ආන්ඩුකාරයාට දුර ඇමතුමක් ගෙන ලුණුඇඹුල් ඇතිව දෙසීමයි. “තමුසෙ කොහොමද නායක තුමාට වාර්තා කරන්නෙ ගුවන් යානා සිය ගණනක් කියල? තමුසෙ ගණන් කරාද එලියට බැහැල? වහාම නිවැරදි වාර්තාවක් නායක තුමාට දෙනවා!”  හේ ගුගුලේය. ඉන් ඵලක් වූයෙ නැත.“ගුවන් හමුදාවත් දැන් හරියට වැඩක් කරන්නෙ නැහැ,” හිට්ලර් ගෝරින්ට බොහෝ දොස් තැබීය. 

එහෙත් පසුවදා සියල්ල අමතක කල හිට්ලර් තමාට ගෝරින් තෑගි කල ගුවන් යානයේ නැගී යුක්රේනයේ දකුණු දිග පෙරමුණු මූලස්තානය බලා ගියේ දින කිහිපයකින් ඇරඹීමට නියමිත ‘නිල් මෙහෙයුමේ’ සූදානම පිළිබඳ සොයා බැලීමටය. සියළු කටයුතු මනා ලෙස සිදුවෙමින් තිබිණ. හිට්ලර්ගේ මනෝ භාවය ඉතා යහපත් විය. පසුදා වෘක ලෙනට පැමිණි ඔහු දහවල් කෑම ගන්න අතර තුර තම ලේකම් වරියන් හා විහිළු කලේ යුක්‍රේනයේ දුටු නිල් පැහැති ඇස් සහිත කහ කොණ්ඩකාරියන් දැකීමෙන් තම වාර්ගික අදහස් තරමක් දෙදරා ගිය බව කියමිනි...

(c) Chamara Siriwardene

හිට්ලර් ගේ 'වොල්ගා' චාරිකාව (1942 ජුනි - නොවැම්බර්)

නොසිතූ ලෙස වැදගත් ඇමති පදවියෙකට පත් කරනු ලැබූ හිට්ලර් ගේ නිර්මාණ ශිල්පී ඇල්බර්ට් ස්පීර් දිවා රෑ නොබලා වෙහෙසුනේ බාබරෝසා මෙහෙයුමෙන් උගත් පාඩම් අනුසාරයෙන් ජර්මන් අවි සංචිතය ගුණාත්මක හා ප්‍රමණාත්මක බවින් ඉහල නැංවීමටය. රුසියන් ටී-34 යුද ටැංකිය හා කරට කර සිටීමෙහිලා සමත් යන්ත්‍රයක් සැලසුම් කිරීම ඔහුගේ ප්‍රමුඛතා ඉලක්කයක් විය. සතුරු යුද ටැංකියේ සෘජු අනු පිටපතක් නිපදවෙන ලෙස ක්ෂෙත්‍ර අණදෙන නිළධාරීන් ඉල්ලා සිටියද ඔහුට ඉක්මනින්ම පෙනී ගියේ පැවති අමුද්‍රව්‍ය හිඟය හා සසදන විට ටී-34 මොඩලයේ ලෝහමය සංයුතිය මෙන්ම එහි ඇළුමිනියම් ඩීසල් එන්ජිම ද මහා පරිමාණයෙන් නිපදවීම අපහසු බවයි. එහෙයින් ඒ වනවිටත් සැලසුම් කොට තිබූ ‘පැන්තර්’ නම් යුද ටැංකියට හැකිතාක් දුරට ඒ හා සමාන ලෙස නිපදවීමටද, තවමත් කම්හල් තුල වූ ‘ටයිගර්’ නම් ටොන් දහසේ බර යුද ටැංකියේ පලමු කාණ්ඩය හැකිතාක් කලින්පෙරමුණට ලබාදීමටද ස්පීර් කටයුතු කලේය. හිට්ලර් තම නැගෙනහිර පෙරමුණේ දෙවන ක්‍රියාන්විතය වූ ‘නිල් මෙහෙයුම’ (Operation Blue) දියත් කිරීම සඳහා තෝරාගත්තේ බාබරෝසා මෙහෙයුමින් හරියකට වසරකුත් දින 6ක් ඉකුත් වූ 1942 ජුනි 28 දාය. යුක්‍රේනයේ හිස් ස්ටෙප්ස් බිම ඉස්සේ දකුණු දිග ජර්මන් පෙරමුණ ආයාසයකින් තොරව ඉදිරියට ගියේ සම්ප්‍රදායානුකූලව රුසියානුවන් දැඩි සටන් කරමින් පසු බැස ගිය නිසාය. ගුවනේ බලය අත්පත් කොටගත් ගෝරින්ගේ නියමුවෝ දවසට ගමන් වාර 3000ක් වාර්තා කලහ. එය රතු ගුවන් හමුදාව මෙන් දස ගුණයකි. 4 වන පැන්සර් හමුදාව හා 6 වෙනි හමුදාව නව වන දිනය් දොන් නදිය අසබඩ වොරොනෙස් නගරයෙදී හමුවූහ. එහෙත් කලින් වසරේ මෙන් සෝවියට් ඒකක විශාල වශයෙන් වටලා යටත් කොට ගැනීමට ජර්මන් හමුදාවට මෙවර නොහැකි විය. හමුදාවේ මාණ්ඩලික හැල්ඩර් ජුලි 12 දා සිය දින පොතේ සටහන් කොට තිබුනේ රුසියානුවන් සිරභාරයට පටත් නොවී පසු බැසීමේ කලාව ප්‍රගුණ කොට ඇති වගක් දිස් වෙන බවයි. ‘නිල් මෙහෙයුමේ’ මුල් සැලසුමට අනුව ප්‍රධාන හමුදාව කොකේසස් බලා යන අතරතුර එහි ඇලය ආරක්ෂා කරමින් ජර්මන් 6 වන හමුදාව වොල්ගාව ඔස්සේ ආරක්ෂක අඩියක ස්ථානගත වීමට නියමිත විය. බටහිර ඉවුරේ කල එලියට ඇති දැවැන්ත කාර්මික සංකීර්ණයක් වූ ස්ටාලින්ග්‍රාඩය වෙත ජයෙන් මත්ව සිටි හිට්ලර් ගේ නෙත් සිත් යොමු වූයේ මේ අතරදීය. කලින් වසරේ මොස්කොව් හි පසුබැසීමෙන් සිදුවූ ලැජ්ජාව මකා ගැනීමේ ආශාවෙන්ද දැඩිව පෙළුන ඔහුට රුසියන් ආඥාදායකයාගේ නමට ඈඳුන මෙම නගරයේ සංකේතාත්මක වැදගත් කම පෙනෙන්නේ දැන්ය. තවත් පමා වන්නේ කිම? දකුණු දිග හමුදා කණ්ඩායම දෙකඩ කොට ‘ඒ’ කණ්ඩායම කොකේසස් දෙසට යැවූ හේ, ‘බී’ කණ්ඩායමට ස්ටාලින්ග්‍රාඩ්ය යටත් කොට ගැනීමට නියම කලේය. ඊට විරුද්ධවූ ‘ඒ’ කණ්ඩායමේ ආඥාපති හා දෙසැම්බරයේ නිවාඩු යවා නැවත සේවයට කැඳවා සිටි ෆෙඩෝර් වොන් බොක් නැවතත් තනතුරින් පහ කෙරිණ. වාද කිරීමෙන් ඵලක් නොමැති බව හමුදාවේ ප්‍රධාන මාන්ඩලික නිලධාරී හැල්ඩර් අත් දැකීමෙන් දනී. අනික හිට්ලර් සේනා විධායකයා පමණක් නොව ගිය දෙසැම්බරයේ සිට හමුදාපති ධුරයද හොබවයි! එහෙව් එකේ කළු ගසේ ඔළුව ගසා ගන්නේ අහවල් කාරියකදයි සිතූ ඔහු නිහඬ විය. ජුලි 16 දා හිට්ලර් තම නැගෙනහිර මූලස්ථානය බටහිර යුක්රේනයට මාරු කලේ පෙරමුණට හැකිතාක් ආසන්නව සිටීමේ පහසුව තකාය. ගෝරින්ද ‘ඒෂියා’ නැමති තම පෞද්ගලික දුම්රියේ නැගී ඊට හූවක් මෙපිටින් නැවතී සිටියද, බර්ලිනයට නිතරම ගුවනින් ආවේය ගියේ කොකේසස් ප්‍රදේශයේ නිධි අත්පත් කොටගැනීමෙන් පසු ඒවා තම සිවු අවුරුදු මහා සැලැස්ම තුල ප්‍රයෝජනයට ගන්නා ආකාරය පිළිබඳ සැලසුම් සකස් කිරීම සදහාය. සෝවියට්වරු පසු බැසීමේදී ඒවා විනාශ කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ඔහුගේ උපදේශකයන්ගේ මතය විය. ‘බී’ කණ්ඩායම ස්ටාලින්ග්‍රාඩ් බලා ගමන් කරද්දී ජුලි 23 දා ‘ඒ’ කණ්ඩායම කොකේසස් හි දොරටුව වූ රොස්ටොව් නගරයට ඇතුලු වූයේ සැලකිය යුතු සටනකින් තොරවය. එහෙත් එතැනින් ඉදිරියට ගමන තරමක් අසීරු වූයේ රුසියානුවන් අඟලක් පාසා සටන් වැදීම නිසා නොව ජර්මන් හමුදාව ඉන්ධන හිඟයකට මුහුණ දීමට සිදුවීම හේතුවෙනි. දාම් අදින්නාක් මෙන් සිතියම මත හිට්ලර් හිතුමතයේ සැලසුම් වෙනස් කිරීමේ ආනිසංස ඒවාය. තීරණ ගැනීමේ දී ඔහු සැපයුම් මාර්ග හා යටිතල පහසුකම් නොතකයි.ඒවා හැල්ඩර් විසින් පෙන්වා දිය යුත්තේ ජනරාල් වරු ‘පහසුව තකා’ සිය සැලසුම් අවුල් කිරීමට තැත් කරන බවට ඔහු නඟන නියත චෝදනාවට මුහුණ දීමේ සූදානමක් ඇතිවය. තවදුරටත් පැහැදිලි කිරීමට තැත් කරන අණදෙන නිළධාරියෙක් වෙතොත්, හිට්ලර් විසින් කරුණු වටහා ගැනීම කෙසේවෙතත් ඔහුගේ තනතුර අහිමි වීමේ නම් ඉතා ඉහල අවදානමක් තිබූ බව දෙසැම්බරයේ හයින්ස් ගුඩේරියන්ට ද, මේ ඊයේ පෙරේදා ෆෙඩෝර් වොන් බොක්ට ද සිදු වූ හදියෙන් පෙනේ. අගෝස්තු 9 දා ‘ඒ’ කණ්ඩායමේ 4 වන පැන්සර් හමුදාව සැතපුම් 300ක් දුරු කතර ගෙවා කොකේසස් කඳු පාමුල පිහිටි මයිකෝප් නගරය සේන්දු විය. එහි වූ තෙල් ලිං සියල්ල පසු බසින රුසියානුවන් විසින් විනාශ කොට තිබිණ. දුෂ්කර උත්සාහකින් පසු තවත් තෙදිනකින් කොකේසස් වැටියේ උසම ස්ථානය වූ එල්බ්රුස්ට් කඳු මුදුනේ ජර්මන් කොඩිය එසවූ ජර්මන් කඳුකර කොමාන්ඩෝ භටයෝ ඒ බව හිට්ලර්ට වාර්තා කලේ හදපිරි බැතියෙනි. මේ දිනවල අවිවේකයෙන් පසුවූ නායක තුමාගේ සිතට එය මහත් සතුටක් වනු ඇතැයි ඔවුන් සිතූ බවට සැක නැත. එහෙත් සිදුවූයේ අනිකකි. පණිවිඩය ලද හිට්ලර් කිසිවෙකු නොසිතූ ලෙස කෝපයෙන් වියරු විය. “මුන්ට පිස්සුද? යන ගමන නවත්තලා දවස් තුනක් තිස්සෙ කඳු නගින්න? පරක්කුවට හේතු ඇහුවම නම් කියන්නෙ එක්කො තෙල් නෑ නැත්නම් සැපයුම් මදි කියල. මම මේ තරම් කියනව තියන හැම දේම යුද්දෙට යොදවන්න කියල. මුන්ගෙ මෝඩ කමක හැටි! ඔක්කොම පැත්තක තියල ගියා මළ ඉලව් කන්දක් නගින්න. මේක විනෝද ගමනක් කියල හිතුවද? හරි නම් මුන්ව යුද්ධාධිකරණෙකට ගෙනියන්නයි වටින්නෙ… ” ඔහු මොර දුන්නේ කඳු තරණය නිසා සමස්ත සැලස්මම විනාශ වී ඇතිවාක් මෙනි. එහෙත් ඊලඟ සතියේ ඔහු බැහැදකීමට පැමිණි ගොබ්ල්ස්ය හැඟුනේ හිට්ලර් දැඩි ආත්ම විශ්වාසයකින් පසුවූ බවය. “කොකේසස් මෙහෙයුම සාර්ථකයි. පුළුවන් තරම් අපි තෙල් ලිං අල්ලනවා. බැරි ටික විනාශ කරනවා රතු හමුදාවට ආපහු පාවිච්චි කරන්න බැරි වෙන්නම. සෝවියට් දේශසීමාවට ආපු ගමන් ඒ ගමන්ම පලස්තීනෙට වෙන කම් මැදපෙරදිග ටිකත් අල්ලගන්නයි මම හිතගෙන ඉන්නෙ. ගෝරින් එක්කත් ටිකක් කතා කරලම එකලාසයක් කරන්න ඕන…” මේ අතර අගෝස්තු 23දා ‘බී’ හමුදා කණ්ඩායම වොල්ගා ඉවුරු වෙත ලඟා විය. ස්ටාලින්ග්රාාඩ් නගරය අත්පත් කොට ගැනීම පැවරුණේ ජර්මන් 6 වන හමුදාවටය. එහි අණදෙන නිළධාරී ජනරාල් ෆ්‍රෙයිඩ්රිච් වොන් පෝලස් ප්‍රභූන් විසින් අරක්ගත් ජර්මන් හමුදා නායකත්වය තුල සිටි මධ්‍යම පංතියෙන් ඉහලට නැඟී ආ පුද්ගලයෙකි. මේ හේතුව නිසා හිට්ලර්ද ඔහුට තරමක් මනාප වු බව සිතිය හැක. පෙරමුණ පිටුපස සිට සිතියම් ඔස්සේ අණ දුන් මෘදු පුද්ගලයෙකු වූ ඔහු මොන වැඩ තිබුනද දිනපතා ස්නානය කොට නිළ ඇඳුම් මාරු කිරීමට සැලකිලිමත් වූ අයෙකි. අහස කඩා වැටුනද වොන් පවුලිස් නම් වෙලාවට කෑවේය බිව්වේය. කොකේසස් හි සිටි ‘ඒ’ කණ්ඩායමේ ඉදිරි ගමන දැන් වඩාත් අසීරුය. රුසියානුවන් හමුදා දෙකක් ස්ථානගත කොට පිහිටුවන ලද උතුරු-ට්‍රාන්ස් කොකේසස් පෙරමුණ එල්ල කල දැඩි ප්‍රතිරෝධය නිසා අගෝස්තු 25 දා ග්‍රොස්නි නගරයට උතුරෙන් නැවතීමට ඔවුනට සිදු විය. කෝපයට පත් හිට්ලර් මහ සෙනෙවි මණ්ඩලයේ මෙහෙයුම් ප්‍රධානී ඇල්ෆ්‍රඩ් ජෝඩ්ල් ‘ඒ’ කණ්ඩායම වෙත යැව්වේ වහා ගමන් අරඹන ලෙස නියෝගයක්ද සමඟිනි. එහෙත් ආපිට පැමිණි ජෝඩ්ල් වාර්තා කොට සිටියේ කොකේසස් කපොළු අතරින් තවදුරටත් ඉදිරියට යාමට තරම් ශක්තියක් ඔවුන් සතුව නොමැති බවයි. හිට්ලර් වියරු විය. “මම තමුසෙව එහෙට යැව්වෙ අණදෙන නිළධරිය කියන දේ මට කියන්න නෙවෙයි. මගේ නියෝගය ඒ මිනිහට දෙන්න. තමුසෙත් මිනිහගෙ බහට නතු උනාද?” “මගේ නායක තුමනි. අණදෙන නිළධාරියා ඔබතුමාගෙ නියෝග හරියට ක්‍රියාත්මක කරල තියනවා. ඔහුගෙ වරදක් නැහැ.” “මගේ නියෝග? මම මිහිහට කඳු නගින්න කිව්වද? තමුසෙල එකතුවෙලා දැමන් මගේ වචනත් නොපිට පෙරලන්න හදනවද?” හිට්ලර් හුන්ස්නෙන් නැගිට්ටේ බෙරිහන් දෙමිනි. ඔහු කාමරයෙන් පිටව ගියේ ජෝඩ්ල්ට අතදීමෙන් පවා තොරවය. ‘ඒ’ කණ්ඩායම භාරව සිටි විල්හෙල්ම් ලිස්ට් එකෙනෙහිම තනතුරින් ඉවත් කල හේ අණ දීමේ වගකීම පුද්ගලිකවම සියතට ගත්තේය. දෙදිනකින් බර්ලිනයේ එහි ලඟා වූයේ ලඝු ලේඛිකාවන් කණ්ඩායමකි. ඔවුන්ගේ කාර්ය භාරය වූයේ සියළු යුද සාකච්ඡා වාර වල සභා වාර්තා පිළියල කිරීමයි. “එයාලට තවත් මගේ වචන අල්ලන් දඟලන්න හම්බුවෙන්නෙ නැහැ.” හිට්ලර් කීය. ටික දොහක් ගතවන තුරු ඔහු මණ්ඩලීය නිලධාරීන් සමඟ කෑමට හිඳ ගත්තේද නැත. . මේ කලබල අස්සේ අළුත්ම පැන්තර් යුද ටැංකි 600ක් හා ‘ටයිගර්’ කාණ්ඩයේ බර යුද ටැංකි 50 ක් පෙරමුණට නිකුත් කිරීමට ස්පීර් සමත් විය. මෙම නව අවි දෙකම අත්හදා බැලීම සඳහා ප්‍රමාණවත් අවකාශයක් නොලැබුන අතර දෝෂ හඳුනා ගැනීමට හා නිරාකරණය කිරීමට හා ප්‍රමාණවත් සංඛ්‍යාවක් නිපදවීපමට පෙර ඒවා භාවිතයේ යෙදවීම ද තීරණාත්මක අවාසියකි. ස්පීර් උභතෝකෝටික තාක්ෂණික ගැටළු විසඳමින් සිටින අතරතුර රුසියන් කර්මාන්තශාලා එක් සාර්ථක නිෂ්පාදනයක් නොකඩවා තම පෙරමුණට සැපයීය. ඒ ටී -34 නම් අනර්ඝ යුද ටැංකියයි. සැප්තැම්බර් 13 දා ජර්මන් 6 වන හමුදාව ස්ටාලින්ග්‍රාඩයට පහර දුන්නේය. වොන් පෝලිස් ගේ ප්‍රතිවාදියා වූ රුසියන් ගැරිසනයේ ආඥාපති ජනරාල් වැසිලි චිකොව් ඔහුගේ චරිතයේ විරුද්ධ පැතිකඩ ලෙස හැඳින්වීම නිවැරදිය. දුගී ගොවි පවුලක ඉපිද වයස 19 දී විප්ලවය වෙනුවෙන් සටන් කරමින් රතු හමුදාවේ ඉහලට ආ ඔහු වෙලාවක් කලාවක් නොබැලූ රළු දිවිය ප්‍රිය කල අයෙකි. මුහුණේ කැලැල් ගහන හේ මහ රෑ පවා ඇවිදිමින් ද නිදි කිරන අලස සෙබළුන්ට තර්ජනය කරමින් පෙරමුණු අගල් පරීක්ෂා කලේය. චිකොව් මුහුණේ කැලැල් ගහණය. පරණ නිල ඇඳුම දූවිලි වැකිලාය. සිත්ගනා සුළු පුද්ගලයකු වූ ඔහු ‘එග්සීමා’ රෝගයෙන් පෙළුනද එය නොතකා සෙසු සෙබළුන් මෙන් නිතර බූට් සපත්තු පැලඳ සිටියේය. සෝවියට් ඉහල අණදෙන මූලස්ථානය හෙවත් ‘ස්ටාව්කා’ව විසින් උදවු පිණිස අතිරේක හමුදා එවන තෙක් තමා සතු කුඩා බල ඇණියෙන් නගරය ආරක්ෂා කිරීම ඉතා අපහසු කාර්යයක් බව චිකොව් දනී. ජර්මන් පෙරමුණ සතු කාලතුවක්කු යුද ටැංකි හා අහස් යානා සමඟ සටන් කිරීමට තරම් අවි ආයුධ ඔහු සතුව නොවීය. වොල්ගාව හරහා සැපයුම් මේ වන විට වඩාත් අසීරු වූයේ ගෝරින්ගේ ගුවන් යානා දියඹේ යාත්‍රා කල රුසියන් සැපයුම් නැව්වලට නිතර පහර දුන් හෙයිනි. එහෙයින් ඔහු තම ඉදිරි සීමාව හා ජර්මන් පෙරමුණ අතර පරතරය හැම විටම හැතාක් සමීපව තබා ගැනීමට තැත් කලේය. දින කිහිපයකින් නගරය තුල සටන් ඇවිලී යද්දී සතුරු පාර්ශවයන් අතර වූයේ පටු වීදියක් හෝ ගොඩනැගිලි පංතියකි. නොඑසේනම් තාප්පයකි. චිකොව් ගේ මෙම සතුරා ‘සිප ගනිමින්’ සටන් කිරීමේ උපාය නිසා පෝලිස් ට තම භටයන්ට අනතුරු සිදුවීමේ අවදානමින් තොරව කාලතුවක්කු යොදා ගැනීම හෝ ගුවන් සහාය බගින් ලැබිය හැකිව තිබූ තීරණාත්මක වාසිය අහිමිවි විය. එහෙයින් එය එය ඉතා සෙමින් සිදුවූ ලේ වැකුණ වේදනා කාරී යුද්ධයකි. සෑම ගොඩනැගිල්ලක්ම, සෑම වීථියක් සඳහාම දරුණු සටන් ඇවිලී ගියේය. රතු හමුදාවේ කණිෂ්ඨ නිළධාරීහූ අතිශය නිර්භීත ලෙස සටන් කලහ. පුරා දින 58ක් තම ප්ලැටූනට සමඟ සිවුමහල් ගොඩනැගිල්ලක් ජර්මන් ප්‍රහාර වලින් ආරක්ෂා කල සෝවියට් 13 වන ආරක්ෂක ඩිවිෂනයේ සාර්ජන්ට් යාකොව් පැව්ලොව්ට සෝවියට් සංගමයේ වීරයා යන උසස්ම පදක්කම පවා හිමි විය. විසිපස් හැවිරිදි තරුණයාට සුභ පතමින් වැසිලි චිකොව් හාස්‍යයෙන් යුතුව පැවසුවේ ජර්මන් හමුදාවට පැරිසිය අත්පත් කොට ගැනීමට වඩා වැඩි භට සංඛ්‍යාවක් ‘පැව්ලොව්ගේ නිවස’ අත්පත් කොට ගැනීනමේ උත්සහය නිසා අහිමිවූ වගයි. ඔත්තු සේවා වාර්තා ගැන නිතර හෝදිසියෙන් පසුවන මාණ්ඩලික ප්‍රධානී හැල්ඩර් ස්ටාලින්ග්‍රාඩයට උතුරින් රුසියානුවන් දැවැන්ත හමුදාවක් රැස් කරන බවටත තොරතුරු ලැබී ඇතැයි හිට්ලර්ට සැල කලේ සැප්තැම්බර් 24 දා පැවති යුද සාකච්ඡාවේදීය. රුසියන් කම්හල්වල මසකට යුද ටැංකි 1200ක් නිපදවන බව ඔහුගේ වාර්තාවේ සඳහන් විය. මෙය ඇසූ හිට්ලර් උදහස් විය. “කව්ද ඔය පරාජිතවාදී ඉලක්කම් හදන මෝඩය? අද මම ඔය දෙපාර්තමේන්තුව වහල දාලයි පස්ස බලන්නෙ!” දත්මිටි කමින් යටි ගිරියෙන් කෑ ගෑ ඔහුගේ කට දෙපසින් කෙල විසි විය. දැවෙන කෝපය නිසා වචන පිට කොට ගත නුහුනු හේ හැල්ඩර්ට තර්ජනය කලේ සිය මිටි මෙලවූ අත උරුක් කොට ඔසවා පෙන්වමිනි.

“හිට්ලර් හැසිරුනේ සිහි බුද්ධිය ඇති කෙනෙක් හැටියට නෙවෙයි... එතනින් එහාට කරුණු සාකච්ඡා කරන්න පුළුවන් වාතවරණයක් එතන තිබුනෙ නෑ...” හැල්ඩර් පසුව සිහිපත් කලේය.  

සාකච්ඡාව අවසානයේ හැල්ඩර් තමා වෙත කැඳවූ හිට්ලර් සන්සුන්ව කරුණු පැහැදිලි කලේය. “මේ දවස් ටිකේ මගේ හිත ටිකක් කලබලයි. ඒකෙන් බාගයක්ම තමුසෙ නිසා. මේ වැඩේ තවත් හරියන්නෙ නැහැ. අපිට දැන් ඕන ජාතික සමාජවාදී අනුරාගය මිසක් පොතේගුරු කම් නෙවෙයි. තමුසෙ වගේ පරණ තාලෙ නිළධාරියෙක්ගෙන් ඒක බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා තමුසෙ යනවා…” හිට්ලර්ගේ හමුදා අජුටන්ට් වරයා කල නිර්දේශයක් අනුව ඒ වෙනුවට පත් කෙරුනේ භක්තිමත් නාසිවාදියෙකු වූ ජනරාල් කර්ට් ස්යිට්ස්ලර්ය. ඔක්තෝබරය පුරා නගරයේ සෑම අඟලක්ම සඳහාම යහමින් ලේ හැලූ ජර්මන් 6 වන හමුදාව ස්ටාලින්ග්‍රාඩයෙන් සියයට අනූවක්ම අත්පත් කොටගෙන සිටියේය. රුසියන් පෙරමුණ බටහිර වොල්ගා ඉවුරට මීටර් 200ක් තරම් ආසන්න වුවද රතු කොඩස් හතරකට කැඩී සිටි රතු හමුදා ගැරිසනය තවදුරටත් ධෛර්යමත්ව සටන් වැදුනේ ආධාර ලඟ ලඟම එන බව දැන සිටි බැවිනි. ශීත සමය උදාවීම ඔවුනට අතිරික්ත වාසියක් විය. රුසියන් පෙරමුණ රැක ගැනීම සඳහා දායක වූවන් අතර ගුවන් ප්‍රහාර මැද වැඩ කරමින් නොකඩවා නගරාරක්ෂකයන්ට අවි ආයුධ සැපයූ කාන්තාවන් මෙන්ම අන්තරාකාරී සැරියකින් ගඟ හරහා සැපයුම් පෙරමුණයට ගෙන යාමට ඉදිරිපත් වූ නිර්භීත නැවියන් ද පෙරමුනේ සිටි බව සඳහන් නොකලේ නම් එය විශාල අඩුපාඩුවක් වනු ඇත. ශීත සෘතුවේ කෙරෙන නාගරික සටනක් සඳහා 6 වන හමුදාව සූදානමක නොසිටි හෙයින් ආරක්ෂිත සීමාවකට පසු බැසීම වඩාත් නුවණට හුරු නොවේදැයි නව මණ්ඩලික ප්‍රධානී ස්යිට්ස්ලර් ද හිට්ලර්ට මතක් කලේ වරක් දෙවරක් නොවේ. උතුරේ විශාල වශයෙන් රුසියන් හමුදා රැස්වන බවට ගුවන් ඡායාරූප වලින් පවා තහවුරු වී තිබෙනවා නොවේද? එහෙත් හිට්ලර් කණකට නොගත්තේය. “මොනවා? නගරෙන් සීයට අනූවක් අල්ලගෙන දැන් අයිමත් පස්සට යන්න කතාකරන්නෙ තමුසෙට පිස්සුද? පෝලිස්ට කියනවා හති අරින එක පැත්තක තියල නගරෙ ඉතුරු ටික අල්ල ගන්න කියල. රුසියන් ප්‍රතිප්‍රහාරයක් එනෝ එනෝ කිය කිය මෙතෙන්ට වෙලා ලත වෙවි ඉන්නෙ නැතුව ගිහින් ඒකට සූදානම් වෙනව…” රුසියානුවන් ශීත සමයේ පහර දෙනු ඇතයි දැන් දැන් හිට්ලර්ටද සිතේ. එහෙත් ඔහු කෝපවූයේ සෑම ගැටළුවකටම සෙනෙවි මණ්ඩලයේ පළමු හා එකම විසඳුම වූයේ පසු බැසීම නිසාය. ඇරත් රුසියානුවන්ට එපමණ බිය විය යුත්තේ ඇයි? මෙය දෘෂ්ඨිමය සටනකි. එවැනි අරගලයක් ලේ ගංගාවක් පිදීමෙන් තොරව අවසන් කොට නොහේ. වඩා ශක්තිමත් ජාතියට අනාගතය හිමිවනු ඇත….

(c) Chamara Siriwardene

හිට්ලර්ගේ බොඳවූ සිහිනය නොහොත් ස්ටාලින්ග්‍රාඩ් සටන

     (1942  නොවැම්බර් -1943 පෙබරවාරි) 

නොවැම්බරයේදී ජනරාල් බර්නාඩ් මොන්ට්ගොමරි ගේ අණ දීම යටතේ මිත්‍ර පාක්ෂික හමුදා උතුරු අප්‍රිකාවට ගොඩ බැසීම කොහෙත්ම අපේක්ෂා නොකල විපතකි. තම ප්‍රියතම ජනරාල් වරයා වූ අර්ව්න් රොමෙල් පිළිබඳ තැබූ බලාපොරොත්තු කඩ වුවද හිට්ලර් මෙහිදී වරද දුටුවේ සටනේදී පසු බෑ තම ඉතාලි සහකරුවන් තුලය. මොසෝලිනිද තමා මුලින් සිතූ ආකාරයේ පුද්ගලයෙක් නොවේ යැයි ඔහුට දැන් සිතේ. උතුරු අප්‍රිකාවේ අර්බුදය නිසා මතුවූ බරපතලම නව ගැටළුව වූයේ රාජ්‍යතාන්ත්‍රික හා පරිපාලන හේතූන් මත රූකඩ රජයක් විසින් පාලනය කෙරුන දකුණු ප්‍රංශයේ ආරක්ෂාවය. එය මිත්‍ර පාක්ෂික ප්‍රහාරයකට ඔනෑම මොහොතක ඉලක්ක වීමට ඉඩ තිබිණ. යුද්ධය තුල රාජ්‍යතාන්ත්‍රික කටයුතු සීමා වීම නිසා විදේශ ඇමති රිබන්ට්‍රොප් මේ ටික දොහේ ඉන්නා නොඉන්නා ගානය. එහෙත් මිත්‍ර පාක්ෂික ගොඩබැසීමේ පුවත ඇසූ හේ දනි පනියේ හිට්ලර් බැහැ දැකිමට ගියේ අපූරු යෝජනාවක්ද සමඟිනි. උද්ගතවූ ව ඇති නව තත්වය යටතේ ‘අධි අවදානම් යුද ක්‍රියාන්විතයන් ගෙන්’ මිදී සිටීම වඩා සුදුසු යැයි කියා සිටි හේ ස්ටොක්හොල්ම් නුවර සෝවියට් තානාපති කාර්යාලය හරහා වහා මාෂල් ස්ටාලින් ට පණිවුඩයක් යවා සාකච්ඡා ඇරඹීම සඳහා හිට්ලර්ගේ අවසර ඉල්ලා සිටියේය. නැගෙනහිර සාමයේ උපරිම මිල වශයෙන් අල්ලා ගත් ප්‍රදේශ දැමීමට සිදුවනු ඇත. එපමණකි. හිට්ලර් කෙලින් ප්‍රකාශ නොකලද ඔහු යටි හිතෙන් අපේක්ෂාවෙන් සිටියේ එයම බව කිසිදු සැකයක් නොවූ රිබන්ට්‍රොප් යටහත් ලෙස හිස හරවා බැළුවේ නායක තුමාගෙන් කලකින් නොලද පැසසුමක් සහිත ආශීර්වාදයක් අපේක්ෂාවෙන් බවට සැක නැත. අසරණ විදේශ ඇමති ගේ බලවත් විමතියට හේතු වූයේ හිට්ලර් උමතුවෙන් මෙන් එක්වරම අසුනින් පැන නැඟී ප්‍රචන්ඩ ලෙස සිය ඇඟට කඩා පැනීම නිසාය. “මට ඕන අප්‍රිකාව ගැන කතා කරන්න. තමුසෙගෙ ඔය බහුබූත නෙවෙයි.” පරාජිතවාදය නිල වශයෙන් තහනම් ජර්මනිය තුල විමතියට කරුණ වන්නේ රිබන්ට්රො‍ප්ට ඉන් කිසිදු අගතියක් සිදු නොවීමය. හමුදා ජනරාල්වයෙක් එම තත්වයට මුහුණ පෑවේ නම් ඒ මොහොතෙම ඔහු රැකියාවෙන් දොට්ට දමනු ලැබීමට බෙහෙවින් ඉඩ කඩ තිබිණ. මුහුදින් එල්ලවිය හැකි තර්ජනයක් වැලකීමේ අටියෙන් දකුණු ප්‍රංශය අත්පත් කොට ගන්නා ලෙස ජර්මන් බටහිර පෙරමුණට හිට්ලර් අණ කලේ 1918 පරාජයට සූවිසි වසක් සපිරෙන නොවැම්බර් 11 දාය. විශේෂ ප්‍රකාශයක් මඟින් ඔහු රූකඩ රජය හා ජනතාව ඒ පිළිබඳ දැනුවත් කල අතර කිසිවෙක් ඊට විරුද්ධත්වය පෑමට ඉදිරිපත් වූයේද නැත. “1940 ආක්‍රමණය කලෙත් අපෙන් අහලද?” සරදම් සහගතලෙස සිනාසුන ප්‍රංශ ජාතිකයන් තමුන්ගේ වැඩක් බලාගත් බවට සැක නැත. උෂ්ණාත්වය සෘණාංක 30ක් වූ 1942 නොවැම්බර් 19 දා හිමිදිරියේ නැගෙනහිර වොල්ගා ඉවුරු වල සිට රතු හමුදාව නොකඩවා කාලතුවක්කු වලින් වෙඩි තැබීය. හිරු උදාවී හෝරාවකින් සැරට එල්ල වූ ‘කත්යූෂා’ රොකට් මුර කිහිපයකට පසු යුද ටැංකි පෙරමුණු කොටගත් සෝවියට් නිරිත දිග පෙරමුණ විසින් නගරයට වයඹ දෙසින් රොමේනියානු හමුදා විසින් රැකවල් කැරුන පෙරමුණේ දුර්වල ඇලය බිඳ දමන ලදී. මේ ටික දොහේ ඇල්ප්ස් කඳුකරයේ තම බංගලාවට වී විවේකයෙන් සිටි හිට්ලර්ට දුර ඇමතුමක් ගත් හමුදාවේ මණ්ඩලික ප්‍රධානී සයිට්ස්ලර් රුසියන් යුද ටැංකි ‘සිය ගනනක්’ නායකතුමා කලින් ‘සැක කල’ ස්ථානයටම පහර දෙන බවත් රුමේනියානුවන් හිස් ලූලූ අත පලා යන බවත් කැලඹුන හඬින් යුතුව සැල කොට සිටියේය. හිට්ලර් කලබල වූයේ නැත. “48 වන පැන්සර් කෝර්ප්ස් හමුදාව යොදවල පහර දෙනවා. එතකොට රුසියානුවන් පසු බසීවි.” හිට්ලර් පමණක් නොව ජර්මන් සෙනෙවි මණ්ඩලය පවා රුසියන් ප්‍රතිප්‍රහාරයේ සැබෑ මානය පිළිබඳ අවබෝධයකින් තොරව පසු වීමෙන් පෙනීගියේ සෝවියට් ‘නොමඟ යැවීමේ’ උත්සාහය සාර්ථක වූ බවය. පසුවදා රතු හමුදාව දකුණින්ද පහර දුන්නේය. දැඩි හානි ලද 48 වන පැන්සර් කෝර්ප්ස් හමුදාවට නිරිත දිගට පසු බැසීමට සිදුවූ වග ඇසූ හිට්ලර්ගේ ප්‍රතිචාර වූයේ එහි අණදෙන නිළධාරියා නිලයෙන් පහ කිරීමයි. අඩියක් හෝ පසුපසට ගැනිම සපුරා තහනම් විය. ඔහු පසු වූයේ කලින් වසරේ මොස්කොව්ව් හිදී අත්දුටුවාල් මෙන් අණදෙන නිළධාරීන්ට හිතුමතයේ පසු බැසීමට ඉඩ නොදෙමැයි අදිටනිනි. ඇල්ප්ස් කඳුකරයේ සිට ලහි ලහියේ ගමන් ඇරඹූ හිට්ලර්ගේ පෞද්ගලික දුම්රිය නැගෙනහිර ප්‍රසියාවට ලඟා වූයේ 23 දාය . ඒ වනවිටත් 'වෘක ලෙනට' ලැබෙමින් තිබූ වාර්තා එතරම් සුබ වූයේ නැත. රුමේනියානුවන් පලවා හරිමින් නගරයට දෙපසින් කකුළු අඬු හැඩාකාරව ගමන් කල දැවැන්ත රුසියන් බල ඇණි දෙක සොවෙට්ස්කි නැමති ගම්මානයේදී හමු වීමත් සමඟ.ජර්මන් 6 වන හමුදාව ඇතුළු ඩිවිෂණ 22 ක් හා බටෑලියන 150ක් බටහිර වොල්ගා ඉවුරේ වර්ග සැතපුම් 750ක බිම්කඩක් තුල කොටු වූහ. හිට්ලර් දුරකථනයෙන් ගෝරින්ට කතා කලේය. ගෝරින් සිටියේ ‘කැරින් ශාලාව’ නම් තම ගම්බද මාලිගයේ ඛණිජ තෙල් විශේෂඥයන් පිරිසකට බැන වදිමිනි. මයිකොප් ප්‍රදේශයේ පසුබසින සෝවියට් වරු විසින් විනාශ කොට දමා තිබූ තෙල් ලිං යථා තත්වයට පත් කිරීමට ඔවුන් අසමත් වීම ඊට හේතුවයි. “වොන් පෝලස් ගෙ 6 වෙනි හමුදාව වට කරලලු. හැම ගුවන්යානයක්ම යොදවල ස්ටාලින්ග්‍රාඩයට ගුවනින් දවසකට දාන්න පුළුවන් සැපයුම් ප්‍රමාණය කොච්චරද?” “ටොන් 500ක් බැරිවෙන එකක් නෑ නායක තුමා.” ගෝරින්ට ඒ බව තහවුරු කලේ ගුවන් හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිළධාරී හෑන්ස් ජෙෂොනෙක් ය. හිට්ලර්ට එපමණක් සෑහේ. වැටලීමට ලක්වූ කලාපය අවට හමුදා ‘දොන් පෙරමුණ’ ලෙස යලි ව්‍යුහගත කල ඔහු උතුරු රුසියාවේ සිටි ජෙනරල්ෆීල්ඩ්මාෂල් එරිච් වොන් මැන්ස්ටයින් එහි අණදෙන නිළදාරියා ලෙසට පත් කලේ රුසියන් වැටලීම බිඳ ස්ටාලින්ග්‍රාඩයට සැපයුම් කොරිඩෝරයක් විවෘත කරන ලෙස නියම කරමිනි. එහෙත් මණ්ඩලික ප්‍රධානී සයිට්ස්ලර් තවදුරටත් 6 වන හමුදාවට පසුබැස යාමේ අවසරය ඉල්ලා සිටියේය. “හය වෙනි හමුදාව ඉන්න තැනින් අඩියක් හෙල්ලෙන්නෙ නැහැ! ස්ටලින්ග්රානඩ් නගරය බලකොටුවක්. බලකොටුවක රාජකාරිය වැටලීමකට ඔරොත්තු දෙන එක. තේරුනාද? ” හිට්ලර් ඔහුට සැරවිය. "තමුසෙ ඔය ජනරාල් ල කියන දේවල් ඔලුවට දාගෙන මෙතන නිකම් කබල කරන්න ලැහැස්ති වෙන්න එපා." පසුවදා ඔහු පෝලිස්ට ගුවන්විදුලි පණිවුඩයක් යවමින් ආධාර පිණිස අතිරේක හමුදා එනතුරු ‘තාවකාලික වැටලීමේ තත්වයට’ මුහුණ දීම සඳහා ගුවනින් සැපයුම් හෙලනු ඇති බවත් 6 වන හමුදාව එතෙක් ආරක්ෂිත ඉරියව්වක හිඳිමින් දිගටම සටන් කලයුතු බවට නියෝග කලේය. වැඩිදුර කරුණු පැහැදිලි කොට දීමට කිසිවෙක් ඉදිරිපත් නොවූයේද පුද්ගලයා කවරෙක්දැයි සියල්ලන් දැන සිටි බැවිනි. දිනකට ගුවන් හමුදාවට හැලිය හැකි වූ සැපයුම් උපරිමය ටොන් 300කි. අයහපත් කාලගුණය හා ඉහල යන සතුරු ප්‍රහාර හමුවේ දෛනික සැපයුම් සාමාන්‍යය වූයේ ඉන් භාගයකත් අඩු ප්‍රමාණයකි. 'ස්ටාලින්ග්‍රාඩ් බලකොටුව' අවි ආයුධ, හිම ඇඳුම්, ඉන්ධන හා ආහාර හිඟයෙන් පීඩා වින්දේය. දිනෙන් දින සතුරා නගරය වටා තොණ්ඩුව තද කිරීම හේතුවෙන් 6 වන හමුදාවේ ගෙල වඩ වඩාත් සිර විය. ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ඉතාලිය දැනුවත් කිරිමේ දූත මෙහෙවරක යෙදී දෙසැම්බර් 11 දා පෙරළා පැමිණි ගෝරින් ජර්මනිය රුසියාව හා එකඟත්වයකට එනු දැකීම දැන් දැන් මුසෝලිනිගේ ගැකම අභිප්‍රායය බව හිට්ලර්ට දැනුම් දුන්නේය. උතුරු අප්‍රිකාවේ මිත්‍ර පාක්ෂික ගොඩ බැසීම හේතුවෙන් මුසෝලිනි පසුවූයේ සිත් කලබලයෙනි. ස්ටාලින් හා සාමය ඇති කොටගෙන සමස්ථ ශක්තිය බටහිරට යෙදවීමට හැනම් මැනවයි ඔහු කල්පනා කලා විය යුතුය. මුසෝලිනිට අනුව නම් සැබෑ සතුරා රුසියාව නොව බ්‍රිතාන්‍යයයි. සතියකට පසු 'වෘක ලෙනට' පැමිනි ඉතාලි විදේශ ඇමති සියානෝ ඩුෂේ තුමාගේ පණිවුඩය පෞද්ගලිකවම නායකතුමාට භාර දුන්නේය. එහෙත් සටන් විරාම ගැන කතා කිරිම පවා හිට්ලර්ට දැන් අරහංය. ස්ටාලින්ග්‍රාඩයට සැපයුම් කොරිඩෝරයක් ලබාදිමේ අවසන් උත්සහයක් දරමින් 4 වන පැන්සර් හමුදාව පසුවදා මිෂ්කෝවා නදිය අසලින් රුසියන් වැටලීම කඩා දැමීමට උත්සහ කලේය. ඔවුන් නගරයට සැතපුම් 30 ආසන්නවුවද, රතු හමුදාව අතිරේක බලඇණි එවා ගමන හරස් කල බැවින් එම උත්සාහය සාර්ථකවූයේ නැත. බරපතල හානි ලද 4 වන පැන්සර් හමුදාවටද දෙසතියක් තුල ආරම්භක ස්ථාන වලට පසු බැසීමට සිදුවූ අතර කොකේසස් හි සිටි ‘ඒ’ කණ්ඩායමද ආපසු කැඳවනු ලැබුවේ රුසියන් ක්‍රියාන්විතය තුල එයද කොටු වීමේ තර්ජනයට මුහුණ පෑමට ඉඩ ඇති බවට පෙනී ගිය හෙයිනි. 1942 වසර ජර්මනියට දුක්බර නත්තලක් විය. ගොබ්ල්ස් කෙතරම් බේගල් ඇද බෑවද 6 වන හමුදාවේ ඉරණම අවිනිශ්වචිත බව ජර්මන්වරු මේ වනවිට දැන සිටිම ඊට හේතුවයි. ජනවාරි 22 වනවිට අවසන් ගුවන් පථයද අහිමිව සිටි 6 වන හමුදාවට ශීත ඇඳුම් හා වෙඩි උණ්ඩ පමණක් නොව ආහාර පාන පවා හිඟ වූයෙන් යටත් වීමට හිට්ලර් ගෙන් අවසර ඉල්ලා සිටීමට වොන් පෝලිස්ට සිදු විය. එහෙත් හිට්ලර් එය තරයේ ප්‍රතික්ෂේප කළේය. “මේක ගෞරවය පිළිබඳ ප්‍රශ්නයක්. යටත් වීමක් ගැන කතා කරන්නවත් එන්න එපා,” තව දුරටත් ඇවිටිලි කල වොන් මැන්ස්ටයින්ට ද ඔහු කීය. වොන් පෝලිස් එදා සවස හිට්ලර්ගෙන් ලද පිළිතුරු රේඩියෝ පණිවුඩයේ කියැවුනේ ජාතියේ දැවැන්තම අරගලය තුල 6 වන හමුදාව සිය ඓතිහාසික යුතුකම් කොටස ඉටුකොට ඇති බවයි. එහෙයින් ජර්මනියේ මහිමය වෙනුවෙන් ස්ටාන්ලින්ග්‍රාඩ් ගැරිසනය අවසාන උණ්ඩය හා අවසාන සෙබළා දක්වා සටන් වැදී ඇද වැටිය යුතු යැයි ඔහු ඉල්ලා සිටියේය! එය අතිශය වේදනාකාරී අවසානයක් විය. කිසිදු හව් හරණක් රහිත 6 වන හමුදාව ඉදිරි දින කිහිපය තුල ශීතලේ ගැහෙමින් ගතකලේ මරණය අපේක්ෂාවෙනි. අඩක් හාමතින් සිටි ඔවුනට තව දුරටත් සටන් වැදීමේ හැකියාවක් නොවීය. ජනවාරි 30 වන දා හිට්ලර් බලයට පත්වීමේ නව වන සංවත්සරය ජර්මනිය තුල සැමරුනේ ඉතා නිහඬවය. ගොබෙල්ස් විසින් කියවන ලද හිට්ලර්ගේ ප්‍රකාශයේ ස්ටලින්ග්රාටඩ් ඛෙදවාචකය පිළිබඳ එකම එක වගන්තියකි. “වොල්ගාවේ ජර්මන් සෙබළුන් කල ඒ මහා කැපකිරීම ජාතියේ නිදහස හා අනාගතය වෙනුවෙන් වඩාත් කැපවී කටයුතු කල බවට කෙරුන අනතුරු ඇඟවීමක් ලෙස සැලකිය හැක…” එදිනම වොන් පෝලිස් ජනරාල්ෆීල්ඩ්මාෂල් නිළයට උසස් කරන ලදදේ හිට්ලර් විසින් නිකුත් කරන ලද විශේෂ ආඥාවක් මගිනි. ජර්මන් ෆීල්ඩ් මාෂල්වරයෙක් කිසිදිනෙකත් සතුරාට යටත් වී නොමැති හෙයින් එමඟින් ව්‍යංගාර්ථයෙන් කියැවුනේ වොන් පෝලිස් ද අතීත යුද විරුවෙකු මෙන්අවසානය දක්වා සටන්කොට යුද බිමේ දිවි තොරකොට ගනු දැකීම හිට්ලර්ගේ අභිලාෂය වූ බවය. පසුවදා ජර්මන් පෙරමුණ මුළුමනින් ඇද වැටිණ. නගරයට ඇතුළු වූ රුසියානුවෝ වොන් පෝලිස් ඇතුළු නිළධාරීන් හා භටයන් 113,000 ක් සිරභාරයට ගත්හ. රතු හමුදාවේ දීප්තිමත් ජයග්‍රහනයෙන් කෙලවර වූ පුරා දින 200ක් වොල්ගා ඉවුරේ කෙරුන ස්ටාලින්ග්‍රාඩ් සටන දෙවන ලෝක යුද්ධයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් ලෙස ඉතිහාසඥයෝ සලකති. ස්ටාලින්ග්‍රාඩ් සටන සෝවියට් යුද ශිල්පය ලබමින් සිටි සීඝ්‍ර ප්‍රගතියට කදිම කැඩපතකි. එය රතු හමුදාව තුල සැඟවී තිබූ දස්කම් මතුකොට ඔප මට්ටම් කලේය. ස්ටාලින්ග්‍රාඩ් සටන අතර තුර සතුරු භටයන් 225ක් මරා දැමූ සුප්‍රසිද්ධ සෝවියට් ස්නයිපර් වරයකු වූ වැසිලී සේට්සෙව් එවැන්නන්ට උදාහරණ කොට ලා දැක්විය හැක. අක්ෂ පක්ෂයට වූ එකම සන්තෑසිය නම් තවත් භටයන් 800,000 ක් අහිමිවිය. සතුරාට යටත් වූ ප්‍රථම ජර්මන් ෆීල්ඩ් මාෂල වරයා ලෙස ඉතිහාසගත වූ වොන් පෝලිස් යුද සිරකරුවෙකු ලෙස මොස්කොව් රැගෙන ගිය බව ඇසූ හිට්ලර් දැඩි පිළිකුලෙන් යුතුව බැන වැදුනේය. “මං අහන්නෙ තමන්ගෙ සෙබළු දහස් ගණනක් වීරයො වගේ සටන් කරල මැරෙනව තන්ගෙ ඇස්දෙකට දැකපු මිනිහෙක් රෙද්දක් ඇදගෙන කොහොමද අන්තිමෙදි සතුරාට යටත් වෙන්නෙ?” සුදුමැලි ව සිටි හේ බෙරිහන් දුන්නේ කේන්තියෙනි. වෙඩිතබා ගැනීම වෙනුවට යටත් වීම තෝරාගන්නා නිළධාරියෙක් කෙරේ තමාගේ කිසිදු විශ්වාසයක් නැත. “අන්තිමට එයාලට ඉන්න වෙන්නෙත් ලුබ්යන්කා හිර ගෙදරම තමයි. එක මිනිහෙක්ගෙ නිවට කම නිසා මැරුණ තව දහස් ගණන් සෙබළුන්ගෙත් වීරත්වත් නිකම් අපරාදෙ කෙලෙසිලා ගියා… එක වෙඩි උණ්ඩෙකින් ජාතික අධ්‍යාත්මය තුල සදාතනික වෙන්න තිබුන අවස්ථාව අත ඇරල මේ මිනිහා මොස්කොව් ගියා! මොන කසිකබල් තෝරා ගැනීමක්ද?” 6 වන ජර්මන් හමුදාවේ නිළධාරීන් හා සෙබළුන් අවසන් උණ්ඩය දක්වා සටන් කොට ස්ටාලින්ග්‍රාඩයේ දී ඇද වැටුන වග ජර්මන් ගුවන්විදුලිය ඉතා සංවේගයෙන් නිවේදනය කලේය. “ඔවුන් මිය ගියේ ජර්මනිය ජීවත් කරවිම සඳහාය.” හමුදාමය පරාජය තුල ගැබ් වූ මානුෂීය ඛේදවාචකය අත්දුටු දස දහස් ගණනක් වූ ඔවුන්ගේ සමීපතමයන්ට එවදන් සැනසිම ගෙන දුන්නේ නැත.

(c) Chamara Siriwardene

හිට්ලර් ‘දුර්ග මෙහෙයුම’ ට සැරසේ (1943 මාර්තු- ජුනි)

ස්ටාලින්ග්‍රාඩ් පරාජය විසින් හිට්ලර්ට අහිමි කලේ කොකේසස් හි තෙල් ආකර ටික පමණක් නොවේ. සංචිතයේ වූ හමුදා ඩිවිෂන 80ක් මෙන්ම යුද ටැංකි 3100 ක් ක්ෂෙත්‍ර තුවක්කු 11,000ක් හා ගුවන් යානා 1500ක් ද එක්කෝ සටනේදී විනාශ විය. නැතහොත් සතුරා අතට පත්විය. රතු හමුදාව තමා අපේක්ෂා කලාට වඩා බලගතු ප්‍රතිවාදියෙකු බව ද උපායමාර්ගික අවාසි සහගත තත්වයක් ඇතිවී ඇත්තේ යුද සිතියම මත පමනක්ම නොවන බව දැන් දැන් ඔහුටද පෙනේ. ඉතාලියද දැන් එතරම් විශ්වාස කටයුතු නැත. රුසියාව සමඟ සාමය ඇති කොට ගන්නා මෙන් මුසෝලිනි කල ඉල්ලීම ඔහු තුල ඇති කලේ කෝපයකි. යුද බිමේදී රුමේනියානුවන් තරම් වත් දක්ෂ කම් නොපෑ ඉතාලි ඩිවිෂන කිසිදු වැදගැම්මකට නැති හන්ගේරියානුවන්ට වඩා පමණක් මඳක් යහපත් වූහ. අක්ෂ පාර්ශ්වයේ ඇබිත්ත රටවල් වාසිය පතා ඕනෑම මොහොතක පිල් මාරු කිරීමට ඉඩ ඇති බව හේ දනී. එය වැලැක්විය හැක්කේ කැපී පෙනෙන සාර්ථකත්වය තුලින් පමණි. කවුරු කුමක් කීවද නැගෙනහිර යුද්ධයෙන් තොරව නාසි වාදයේ මූලික ඉලක්ක සැපිරිය නොහැක. අමුද්‍රව්‍ය, වහල් ශ්‍රමය හා ජීවත් වීමේ ඉඩකඩ නොමැතිව ජර්මන් ජාතියේ අනාගතය සුරක්ෂිත වන්නේ කෙසේද? ලිඳට වැටුන මිනිසා ලිං කටින්ම ගොඩ ආ යුතුය. “ස්ටාලින්ග්‍රාඩ් සිද්ධියේ සම්පූර්ණ වගකීම මම ගන්නවා,” ඔහු දකුණු දිග පෙරමුණ භාර ආඥාපති වොන් මැන්ස්ටයින් සමඟ කීය. “ගුවන් හමුදාව හරියට සැපයුම් ටික දැම්ම නම් 6 වෙනි හමුදාව බේරගන්න තිබුනා. ඒත් මට ගෝරින්ට දොස් කියන්න බැහැ. කොච්චර උනත් ඒ මගේ දෙවැනියා.” ස්ටාලින්ග්‍රාඩ් පරාජය මෙන්ම දැන් දැන් ජර්මන් නගර වලට නිතර එල්ල වන බටහිර ගුවන් ප්‍රහාර නිසා ගෝරින් ද සිටියේ හිට්ලර්ට මුහුණදීගත නොහැකි තත්වයකය. මුවින් නොබිනුවද නායකතුමා නොසතුටින් සිටින වග ඔහු දනී. එහෙයින් ඔහු මේ දිනවල පෙනී සිටියේ වඩාත් අඩුවෙනි. ගුවන්යානා නිෂ්පාදකයන් තමා හමුවට ගෙන්වූ ඔහු ඔවුනට ද නොසෑහෙන දෙහි කැපුවේය. “1938 දී ඔහෙල පොරොන්දු උනා අළුත් දිගු දුර ප්‍රහාරක යානාවක් හදනව කියල. ඒක තාමත් නෑ. බලන්න මිත්‍ර පාක්ෂිකයන්ගෙ තාක්ෂණය දිහා. අපේ තියන රේඩාර් පද්ධති කිසි කමකට නෑ.” රුසියානුවෝ තවදුරටත් දොන්බාස් ප්‍රදේශයට පහර දුන්හ. එහෙත් වසන්තයේ හිම දියවීමත් සමඟ පෙරමුන ක්‍රම ක්‍රමයෙන් නිහඬ වූයේ ඔවුන්ගේ ශක්තිය සිඳී ගිය බැවිනි. රතු හමුදාව ගිම්හානයේ තවත් ආක්‍රමණයක යෙදෙනු ඇතැයි සිතිය හැකි වූ හෙයින් ඊට සූදානම් වීම සුදුසු බව වොන් මැන්ස්ටයින් ගෙ අදහස විය. එහෙත් හිට්ලර් කියා සිටියේ ආරක්ෂක අඩියක්ට මාරු වීම ‘දේශපාලන හේතූන්’ මත කිසිසේත් කල නොහැකි දෙයක් බවයි. මොස්කොව් පසු බැසීම නිසා තනතුරෙන් පහ කරනු ලැබ අනතුරුව නැගෙනහිර ප්‍රසියාවේ ගොවිපොලක් කරගෙන දැහැමෙන් සෙමෙන් දිවි ගෙවමින් සිටි ජර්මන් යුද ටැංකි විශේෂඥ හයින්ස් ගුඩේරියන් ස්ටාලින්ග්‍රාඩ් පරාජය පිළිබඳ තොරතු දැනගත්තේ පුවත් පත් හරහාය. සිය සගයන්ට සිදුවූ විපත ගැන කල්නල්-ජනරාල් තැන අවංකවම කණගාටු වූ අතර සිය සැමියා වත්ත පිටිය කොටාගෙන කිරි බිත්තර ටිකක් විකුණා නිවසට වී සිටීම ගැන ගුඩේරියන් මහත්මිය නම් අවංකවම සන්තෝෂ වූවාය. එහෙත් පෙබරවාරි 17 වැනිදා දහවල් ගොවි නිවසේ දුරකථනය නාද වනවිට සිය සාමකාමී දිවිය අනපේක්ෂිත අවසානයකට එලැඹෙනු ඇතැයි ඈ සිහිනෙනුදු නොසිතන්නට ඇත. පණිවුඩයෙන් කියැවුනේ නායකතුමා සමඟ හදිසි හමුවක් සඳහා ගුඩේරියන් යුක්රේඈනයේ දකුණු දිග හමුදා මූලස්ථානය වෙත වහා කැඳවනු ලැබ ඇති බවයි. ඔහු ගුවන්තොටුපොලට රැගෙන යාම සඳහා මෝටර් රථයක් ස්වල්ප වේලාවකින් ගොවිපොලට පැමිණෙනු ඇති බවද අමතන්නා දැන්වීය. මූලස්ථානයේදී ගුඩේරියන් සාදරයෙන් පිළිගත් හිට්ලර්ගේ හමුදා අජුටන්ට්වරයා වූ ජනරාල් රුඩොල්ෆ් ෂ්මුන්ඩ් තත්වය පිළිබඳ ඔහු දැනුවත් කලේය. සන්නද්ධකරණ අමාත්‍යාංශය හා සෙනෙවි මණ්ඩලය පිළිබඳ යුදටැංකි නිපදවීම පිළිබඳ මත භේදයක් ඇතිවී ඇත. කරුණු කාරණා නිරාකරණය කොට ගැනීම සඳහා දැනුම හා පලපුරුද්ද ඇති නිළධාරියෙකුගේ මැදිහත් වීම අවශ්‍යයව තිබේ. මේ සඳහා අළුතින් ඇති කෙරුන ‘සන්නාහ සන්නද්ධ බල ඇණි භාර’ ඉන්ස්පැක්ටර්-ජනරාල් තනතුරට නායකතුමා විසින් තෝරාගෙන ඇත්තේ ගුඩේරියන් ය. සෙනෙවි මණ්ඩලයට පරිබාහිරව හිට්ලර්ට සෘජුවම වාර්තා කිරීමේ අවසරය හා ත්‍රිවිධ හමුදාවේ සියළු යාන්ත්‍රික ඒකක හා පුහුණු පාසැල් වල පාලනය ලබා දෙන්නේ නම් පමණක් තනතුර භාර ගැනීමට ගුඩේරියන් කැමති විය. ඔහු හිට්ලර් හමුවට කැඳවන ලද්දේ සවස් කාලයේය. ඉල්ලා සිටි සියළු බලතල එකෙනෙහිම ලබා දුන් හිට්ලර් පත්වීම ස්ථිර කලේය. අනතුරුව දෙදෙනා හිට්ලර්ගේ අධ්‍යනය කුටියට ඇවිද ගියහ. එහි මේසය මත වූයේ ගුඩේරියන් 1937 ලියන ලද ‘අවවාදයයි! යුද ටැංකි!!’ නැමති ග්‍රන්ථයයි. (ලිපි පෙලෙහි 9 වන කොටසේ මේ පොත සම්බන්ධව විස්තර කොට ඇත) තමා ගුඩේරියන් යුද්ධයට පෙර ලියූ දෑ ගතවූ දින කිහිපයේදී කියැවූ බව හිට්ලර් පැවසීය. “ඔන්න දැන් තමයි වෙලාව තමුසෙගෙ ඔය න්‍යායන් සේරම අත්හදා බලන්න.” ජර්මනියට ගොස් අළුත්ම තත්වය සියැසින් දැක බලාගත් ගුඩේරියන් සිය ප්‍රතිසංවිධාන සැලැස්ම සමඟ නැවත හිට්ලර් හමුවට පැමිණියේ මාර්තු 9 දාය. පැවති තත්වය පිළිබඳ දීර්ඝ විග්‍රහයක් කල හේ හීන ශක්තියෙන් යුත් යාන්ත්‍රික ඒකක රැසක් නඩත්තු කිරීමට වඩා ඒවා පූර්ණ ලෙස සන්නද්ධ කල යුද ටැංකි ඩිවිෂන කිහිපයක් දක්වා සංඛ්‍යාවෙන් අඩුකිරීම සැපයුම් හා මෙහෙයුම් අතින් ගත් කල වාසිදායක බව පෙන්වා දුන්නේය. මෙම නව ඩිවිෂණයක් යුද ටැංකි 400කට නො අඩු විය යුතුය. එමෙන්ම රුසියන් ටී-34 යුද ටැංකිය තාක්ෂණික වශයෙන් අනුකරණය කිරිම අපහසු නම් ඊලඟ විකල්පය වන්නේ ඊට පහර දෙන නාශක අවි නිපදවීමයි. තවද නිපදවන නව යුද ටැංකි සටන් කෙලින්ම පැන්සර් ඩිවිෂන වලට අනුයුක්ත කරන මෙන් ඔහු උදක්ම ඉල්ලා සිටියේය. පාබල හමුදාවට සහායට යොදාගැනීම වැනි ද්වීතීක කාර්යයන් සඳහා අත්පත් කොටගත් සතුරු වාහන භාවිතා කල නොහැක්කේ මන්ද? මෙම අවශ්‍යතා සම්පූර්ණ කරන්නේ නම් 1944 වසරේ රුසියාවේ තවත් සටන් ව්‍යාපාරයක් ඇරඹිය හැකි වනු ඇත. අවසාන නිගමනයට හැර සෙසු සියළු යෝජනා වලට හිට්ලර් එකඟ විය. රුසියාවේ මෙහෙයුම ඊලඟ වසර දක්වා කල් දැමීමටනොහැක. එය 1943 වසරේ දී ඇරඹිය යුතුය. ටයිගර් යුද ටැංකියේ සැලැස්මද ගුඩේරියන්ගේ සිත් නොගත්තේය. මිලි මීටර 88 දැවැන්ත තුවක්කුව හැරුණ කොට කෙටි දුර සටන් සඳහා මැෂින් තුවක්කුවක් එහි සව්කොට නොතිබීම විශාල අඩුපාඩුවකි. කෲප් ආයතනය නිපදවූ ‘ගුස්තාව්’ නම් දුම්රිය කාලතුවක්කුවේ මුල් ආකෘතිය නැරඹීමට ඔහු හිට්ලර් සමඟ එක්විය. “තමුසෙ දන්නවද? මේකෙන් යුද ටැංකි වලටත් වෙඩි තියන්න පුළුවන් කියල මේ හර් මියුලර් කියනවා.” මියුලර් කෲප් ආයතනයේ ඉංජිනේරුවාය. “ඔව් පහර දෙන්න පුළුවන්,” ගුඩේරියන් දෙවුර නැටවීය. “ඒත් වෙඩිල්ල ඉලක්කෙට වදින එක ටිකක් සැක සහිතයි.” මීට විරුද්ධත්වය පලකරමින් දීර්ඝ සෛද්ධාන්තික විස්තර කථනයකට මුල පිරූ මියුලර්ට හේ බාධා කලේය. “මට කියන්න, උන්ඩ පුරවන්න විනඩි 45ක් ගතවෙන තුවක්කුවකින් යුද ටැංකි එක්ක සටන් කරන්නෙ කොහොමද?” හිට්ලර් කිසිත් කීවේ නැත. බටහිර මිත්‍ර පාක්ෂික හමුදා ගොඩබැසීමකට සූදානම් වීම සඳහා අත්ලන්තික් වෙරල තිරයේ ආරක්ෂක කපොළු පරීක්ෂා කරමින් සිටි ගුඩේරියන් අප්රේරල් මාසයේ යලි කැඳවනු ලැබුවේ රුසියාවේ ගිම්හාන මෙහෙයුම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාය. හමුදා මාණ්ඩලික ප්‍රධානී සයිට්ස්ලර් පිළියල කල ‘දුර්ග මෙහෙයුම’ (Operation Citadel) නැමති ක්‍රියාන්විතයේ මෙවර ඉලක්කය වූයේ මොස්කොව් සිට සැතපුම් 300ක් බටහිරින් වූ කුර්ස්ක් ප්‍රදේශයයි. මෙහිදී රුසියන් ඉදිරි ආරක්ෂක සීමාව මොල්ලියක් මෙන් නෙරා තිබූ බැවින් ‘බෙල්ල දෙපසට’ පහරදී ‘හිස’ වෙන් කොට එතුල වූ සෝවියට් හමුදා 5 ක් වටකොට විනාශ කිරීම ජර්මන් උපාය විය. ආක්‍රමණය සීමිත වූ අතර ඉලක්කය පැහැදිලි හා කෙටි කාලීන වීම හේතුවෙන් එය හමුදාමය දෘෂ්ඨි කෝණයකින් ගත්කල අගනා සැලැස්මකි. එකම වරද වූයේ ප්‍රහාරයක් අපේක්ෂාවෙන් රුසියානුවන් ප්‍රදේශයේ ශක්තිමත් ආරක්ෂක සීමා ඉදි කොට ඇති බව ගුවන් ඡායා රූප වලින් පෙනී යාමයි. නව ටයිගර් හා පැන්තර් යුද ටැංකි පිළිබඳ බොහෝ බලාපොරොත්තු තබා සිටි සයිට්ස්ලර් එය බරපතල කොට නොතැකීය. හිට්ලර් නොදැන සිටි සත්‍යය වූයේ සතුරු සීමා තුල ක්‍රියාත්මක වන පාටිසාන් වරු හරහා සෝවියට් ඉහල අණදෙන මූලස්ථානය හෙවත් ‘ස්ටාව්කාව’ ජර්මන් හැසීරීම් පිළිබඳ ඉතා සෙවිල්ලෙන් පසුවූ බවයි. බුද්ධි තොරතුරු එක්‍ රැස් කිරීම මෙන්ම ඒවා විෂ්ලේෂණය කිරීමද දැන් රතු හමුදාව මනාව ප්‍රගුණ කොට සිටියේය. සයිට්ස්ලර්ගේ ලඟ එන ‘දුර්ග මෙහෙයුම’ පිළිබඳ බොහෝ දුරට කරුණු අවබෝධකොටගෙන සිටි ස්ටාලින් හා රුසියන් පෙරමුණේ නියෝජ්‍ය‍ අග්‍ර සේනාධිනායක ජෝර්ජි සුකොව් මෙවර සතුරාට යස පාඩමක් උගැන්වීමට කතිකා කොට ගත්හ. ජර්මන් ඔත්තු බලන ගුවන් යානා වලට දැකිය හැකි පරිදි ඉදි කල ආරක්ෂක සීමාවක් මඟින් ජර්මන් ප්‍රහාරයේ මිම්ම ලබා ගත් සුකොව් තවත් විශාල හමුදා බල ඇණි කිහිපයක් කර්ක්ස් නෙරුව අවට ප්‍රහාරක අඩියක ස්ථාන ගත කළේ හොර රහසේය. ඔවුන්ගේ කාර්යය වූයේ ආරක්ෂක සීමා බිඳ හෙලීමෙන් හති වැටෙන ජර්මන් හමුදාව විස්මයට පත්කරමින් දැවැන්ත ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමයි. ස්ටාලින්ග්‍රාඩ් සටනේ දී අත්දුටු තාක්ෂණික දෝෂ තවමත් මුළුමනින් නිරාකර්ණය කොට නොමැති හෙයින් ටයිගර් හා පැන්තර් යුද ටැංකි වල ඵලදායීතාව පිළිබඳ විශාල අපේක්ෂා තැබිය නොහැකි බව මෙහිදී ගුඩේරියන් හා ස්පීර් දෙදෙනාම පෙන්වා දුන්හ. “අපි 1943 දිම පහර දිය යුත්තෙ ඇයි?” ගුඩේරියන් විමසීය. “ඒකට දේශපාලන හේතු තියනවා.” මහ සෙනෙවි මණ්ඩල ප්‍රධානී කයිටල් කොටින් කීය. හිට්ලර් කෝප ගන්වන මාතෘකා සාකච්ඡාවට ගැනීමට ඔහු අකැමතිය. එහෙත් ගුඩේරියන් වඩාත් ස්වාධීන විය. “කර්ස්ක් නෙරුව තියෙන්නෙ කොහේද කියලවත් ලෝකෙ මිනිස්සු දන්නෙ නෑ. එහෙව් එකේ ඒක අපි අල්ල ගත්තද නැද්ද කියන එක දේශපාලන වශයෙන් වැදගත් වෙන්නෙ කොහොමද?” සභාවට මීයට පිම්බාක් මෙන් නිහඬය. හිට්ලර් දැන් දැන් පුපුරා යනු ඇතැයි සියල්ලෝ සිතූහ. එහෙත් සියලු දෙනා පුදුම වූයේ ඔහුගේ පිළිතුරටය. “ගුඩේරියන් ගෙ කතාව හරි. නැගෙනහිර මෙහෙයුම් ගැන හිතනකොටත් මගේ බඩ නිකම් පෙරලෙනව වගේ… ඒත් මේක නොකරත් බැහැ.” අවසානයේ ‘දුර්ග මෙහෙයුම’ අනුමත කලද, එහි ආරම්භක දිනය ගැන හිට්ලර් තවදුරටත් අතීරණයෙන් පසුවිය. ඊට වඩාත්ම ඉවහල් වූයේ උතුරු අප්‍රිකාවේ මිත්‍ර පාක්ෂික අක්‍රමණය නිසා උදාවී තිබූ අයහපත් වතාවරණයයි. මුසෝලිනි බෙහෙවින් අධෛර්යමත්ව සිටියේය. හන්ගේරියානුවන් හොර රහසේ රුසියාවට සාම දූතයන් යවා ඇති බවද මේ අතර හෙලිවිය. “කුණාටුව මැද බෝට්ටුවෙන් පනින්න හැදුවොත් ගිලිල මැරෙන්නයි වෙන්නෙ” ඒ ඇසූ හිට්ලර් බුඩාපෙස්ට් රජයට අනතුරු ඇඟවීය. දීර්ඝ් සටනකින් අනතුරුව උතුරු අප්‍රිකාවේ පෙරමුණද මැයි මාසයේ ඇද වැටිණ. අක්ෂ පාක්ෂික භටයෝ දෙලක්ෂ පණස් දහසක් යටත් වූහ. ඉන් අඩක්ම ජර්මන් සෙබළුන්ය. “කොකේසස් අල්ලගන්න බැරි උනේ අපේ ඉතාලි මිත්‍රයන්ගෙ වරද නිසා. එයාල කෙලින් හිටිය නම් උතුරු අප්‍රිකාවෙත් මෙහෙම වෙන්නෙ නෑ” හිට්ලර් ගොබ්ල්ස් ට කීය. 'දුර්ග මෙහෙයුමේ' පිළිබද අණදෙන නිළධාරීන් හා කෙරුන අවසන් සාකච්ඡාව සඳහා හිට්ලර් යුක්‍රේනයේ දකුණු දිග මූලස්ථානයට පැමිණියේ ජුලි 01 දාය. වොල්ගාවේ හා අප්‍රිකාවේ පසුබැසීම් හමුවේ අක්ෂ පාක්ෂික කඳවුරේ මෙන්ම රටවැසියන් තුලද හටගෙන ඇති සැක සංකා දුරු කිරීම අරමුණු කොටගත් නැගෙනහිර පෙරමුණේ ක්‍රියාන්විතය සිවු දිනකින් ඇරඹෙන බව එහිදී ඔහු පැහැදිලි කලේය. එහෙත් තම සැලැස්ම සඳහා රුසියානුවන් කෙතෙක් සූදානමකින් පසුවීද යන වග දැන සිටියේ නම් හිට්ලර් කිසිදා එම මෙහෙයුම නොඇරඹීමට ඉඩ තිබිණ.

(c) Chamara Siriwardene

හිට්ලර්ගේ අවසන් කුරුස යුද්ධය (1943 ජුලි)

දෙවන ලෝක යුද්ධය අතරතුර ජර්මන් සෙනෙවි මණ්ඩලයට පත් වූ දෙවන මාණ්ඩලික ප්‍රධානියා වූ ජනරාල් කර්ට් ස්ලයිට්ස්ලර් විසින් මහත් බලාපොරොත්තු සහිතව පිළියෙල කරණ ලද ‘දුර්ග මෙහෙයුම’ ආරම්භ කිරීමට නියමිත වූයේ 1943 ජුලි 05 දා හිමිදිරියේය. ඊට පැය එකහමාරකට පෙර ජර්මන් ඉදිරි පෙල ස්ථාන වෙත සෝවියට් කාලතුවක්කු 600ක් විසින් වෙඩි තැබීමෙන් පෙනී ගියේ රතු හමුදාව ප්‍රහාරය සිදුවන නිශ්චිත දිනය පමණක් නොව ආසන්න වශයෙන් වේලාව පවා දැන සිටි බවය. අතරින් පතර එල්ලවූ ‘කත්යූෂා’ රොකට් මුර නිසා පෙළ ගැසීම ප්‍රමාද විය. විස්මය නැමති සාධකය තවදුරටත් වලංගු නොවන බව දැන සිටි ස්ලයිට්ස්ලර් මෙම අවාසියට මුහුණදීමට අපේක්ෂා කලේ සන්න්ද්ධකරණ ඇමති ස්පීර් අපමණ වෙහෙසක් දරා නිපදවූ ටයිගර් හා පැන්තර් යුද ටැංකි යොදා ගැනීම තුලිනි. නෙරුව වටා වූ රුසියන් ආරක්ෂක පටි තුන සෑහෙන ශක්තිමත් වූ හෙයින් සැතපුම් 30ක පෙරමුණක් ඔස්සේ උතුරින් යාන්ත්‍රික ඩිවිෂන 9ක් යොදා පහර දුන් ජර්මන් 9 වන හමුදාව පලමු සතියේ ගමන් කල දුර සැතපුම් 10ට අඩු විය. වරින් වර රුසියානුවෝ අතිරේක කණ්ඩායම් යොදවමින් පහර දුන්හ. ඒ වන විට සැතපුම් 2 ක් දක්වා පටුව තිබූ ජර්මන් පෙරමුණේ ඉදිරි ගමන ඔල්ක්හොව්ත්කා නැමති ගම්මානයේදී ගොඩනෙගිල්ලෙන් ගොඩනැගිල්ලට අවිලී ගිය දරුණු සටන් මාලාවකින් අනතුරුව මුළුමනින් ඇණ හිටියේය. දකුණු දිශාවෙන් යාන්ත්‍රික ඩිවිෂණ 11ක් යොදවා පහර දුන් 4 වන පැන්සර් හමුදාව දෙවන දිනයේ එක් ආරක්ෂක පටියක් බිඳ දැමීය. එහෙත් බිම්බෝම්බ වලලා තිබීම හේතුවෙන් එතැන් සිට ඉදිරි ගමන වඩාත් අසීරු විය. ඇතැම් පැන්තර් යුද ටැංකි අතහැර දැමීමට සිදු වූයේ කාර්මික දෝෂ හේතුවෙනි. ජුලි 08 දා වනවිට දෙවන වලල්ලද සිදුරු කොට සැතපුම් 18 සතුරු සීමාව තුලට ගමන් කල එස්. එස්. 2 වන පැන්සර් කෝර්ප්ස් බල ඇණිය අනතුරුව හැරී ඊසාන දිශාවට ගමන් කිරීමට තැත් කලේය. එහෙත් රතු හමුදාව සිය අසීමිත සංචිත තුලින් දිගින් දිගටම ක්ෂේත්‍ර ගත කල අතිරේක බලය හමුවේ ඒ සඳහා ඔවුනට වැය කිරීමට සිදු වූ ශක්තිය අති විශාලය. 1941 බාබරෝසා මෙහෙයුමේ පළමු සතියේ ගමන් කල සැතපුම් 200 ට සාපේක්ෂව මෙවර ජර්මන් හමුදාව ගමන් කල උපරිම දුර සැතපුම් 20කි. ගතවූ දෙවසර තුල රතු හමුදාව ආරක්ෂක ක්ෂේත්‍රය තුල ලබා තිබූ ප්‍රගතියේ සැබෑ පරිමාණයට එය උදාහරණයකි. මේ සියල්ල අතරේ හටගත් තවත් මහ විපැත්තියකි. උතුරු අප්‍රිකාවේ සිට යාත්‍රා කල මිත්‍ර පාක්ෂික හමුදා ජුලි 9 දා රාත්‍රියේ ඉතාලියේ සිසිලි දූපත් වලට ගොඩ බැස්සෝය. ඇමෙරිකානු-බ්‍රිතාන්‍ය ගුවන් ප්‍රහාර හමුවේ ඉතාලි ඩිවිෂන පලා යන බවට වාර්තා ලැබිණ. එහෙයින් සටනේ බර දැරීමට සිදුවූයේ වෙරල තීරය ආරක්ෂා කිරීමට යොදවා සිටි මුළු අක්ෂ හමුදාවෙන් හතෙන් පංගුවක් වූ ජර්මන් භටයන්ටය. බටහිර පෙරමුණේ ජර්මන් ආඥාපති, ජෙනරල්ෆීල්ඩ්මාෂල් ඇල්බර්ට් කැසල්රින්ග් ගේ මතය වූයේ මෙම තත්වය තුල සිසිලි දූපත් දීර්ඝ කාලීනව ආරක්ෂා කොට ගත නොහෙන බවයි. බටහිර මිත්‍ර හමුදා ගොඩ ඇති වග ඇසූ රුසියානුවෝ නැගෙනහිර පෙරමුණේ ප්‍රතිප්‍රහාරයටද කල් එලැඹ ඇතැයි සිතූහ. එහි පළමු පියවර වූයේ කර්ක්ස් හි දකුණු නෙරුව සිදුරු කල සතුරු බලඇණිය විනාශ කිරීමයි. ඊසාන දිශාවට ගමන් කරමින් සිටි එස්. එස්. 2 වන පැන්සර් කෝර්ප්ස් බල ඇණියේ මග හරස් කිරීම පැවරුනේ පාවෙල් රොට්මිස්ට්රොෙව් ගේ සෝවියට් 5 වන යුද ටැංකි හමුදාවටයි. ඉතිහාසයේ දරුණුම යුද ටැංකි සටන ජුලි 12 වෙනිදා ප්‍රොහොරොව්කා නම් ගම්මානයේ දී ආරම්භ විය. ප්‍රතිවිරුද්ධ දිශාවලින් පැමිණි ප්‍රතිවාදී යුද ටැංකි 800ක් විවෘත තැනිතලාවක මුහුණට මුහුන ලා කෙරුන මෙම සටනේද රුසියන් උපාය වූයේ හැකිතාක් සමීපයේ සිට සටන් කිරීම මඟින් සිය නාශක තුවක්කු වල ඵලදායී සීමාවින් එපිට සිට පහරදීමේ ටයිගර් යුද ටැංකිය සතු වාසිය අහෝසි කිරීමයි. ගුඩේරියන් පෙන්වා දුන් පරිදි කෙටි දුර සටන් සඳහා මැෂින් තුවක්කුවකින් ටයිගරයා සන්නද්ධව නොසිටීම නිසා එය රතු හමුදා පාබල භට කණ්ඩායම් වල සමීප ප්‍රහාර වලට ලක්වීම සටනෙදි අත්දුටු තීරණාත්මක අවාසියකි. අනිත් අතට හැසිරවීම හා වේග පාලනයේදී වඩාත් සුනම්‍ය හා හුරුබුහුටි රුසියන් ටී -34 යුද ටැංකි සටනේදී බොහෝ දස්කම් පෑවෝය. එක් ජර්මන් නිළධාරියෙක් පැවසුවේ දවස අවසානයේ තවමත් දුම් දමන ලෝහ කොටස් දසත විසිරුන ප්රොුහෝරොව්කා ගම්මානය යුද ටැංකි ‘සුසාන භූමියක්’ සේ දිස්වූ වගයි. යුද ටැංකි 320ක් අහිමි වූ එස්. එස්. 2 වන පැන්සර් කෝර්ප්ස් බල ඇණිය ආරක්ෂක අඩියකට මාරුවිය. එදිනම සවස ක්ෂෙත්‍ර අඥාපති වරු ‘වෘක ලෙන’ ට කැඳවූ හිට්ලර් ‘දුර්ග මෙහෙයුම’ අත් හිටුවන මෙන් නියෝග කලේය. එස්. එස්. පැන්සර් කෝර්ප්ස් බල ඇණිය වහා බටහිර පෙරමුණට යැවිය යුතු විය. එහෙත් දෙදිනකින් රුසියානුවෝ සමස්ත පෙරමුණ ඔස්සේ මහා ප්‍රතිප්‍රහාරය ඇරඹූහ. වටවීමේ තර්ජනයට මුහුණ පෑ නෙරුවේ ‘බෙල්ල’ අසල වූ ජර්මන් ඒකක පසු බැසීමෙන් වූයේ පෙරමුණ වඩාත් බටහිර දෙසට තල්ලු වීමයි. එය අක්ෂ පාර්ශ්වයට වචනයේ පරිසමාප්තියෙන්ම කළු ජූලියකි. 19 දා හිට්ලර් ලහි කලියේ ඉතාලිය බලා ගියේ ගෝරින්ද කැටුවය. සිසිලියට සතුරු හමුදා ගොඩ බැසීම නිසා මුසෝලිනි බෙහෙවින් අධෛර්යමත්ව සිටියේය. කතාබහ ඇරඹී මිනිත්තු කිහිපයකින් ලද තවත් පුවතක් නිසා ඔහු වඩාත් කණසල්ලට පත් වූයේ ඊට මඳ වේලාවකට පෙර රෝමයට මිත්‍ර පාක්ෂික ගුවන්යානා බෝම්බ හෙලා ඇති බව එහි සඳහන් වූ නිසාය. අසනීප ගතියෙන් පෙළුන ඔහු හිට්ලර්ගේ පම්පෝරි වලට එතරම් සැලකිල්ලකින් සවන් නුදුන්නේය. “අපි අළුත් ආයුධයකුත් හදල තියෙන්නෙ. සතියෙන් ලන්ඩනය ඉවර කරන්න පුළුවන්,” දහවල් කෑම අතරතුර ද හිට්ලර් අතොරක් නැතිව දෙඩවූයේ සිය සහකරුවා තුල බලාපොරොත්තුවක් ඇති කරන අටියෙනි. මුසෝලිනි ඇසුන නෑසුන ගානය. කොටියාගේ පිට උඩ නැගුන ඔහුට ගැලවීමක් නම් නැත. පෙබරවාරියේ ස්ටාලින්ග්‍රාඩයේ ඉතාලි හමුදා කිහිපයක් මුළුමනින්ම විනාශ වීමත්, උතුරු අප්‍රිකාවේ පරාජයත්, යුද්ධය දකුණු ඉතාලියට ලඟා වීමත් නිසා රටේ ඇතිවී තිබූ නොසන්සුන්තාවත්‍රෝමයට එල්ලවූ ගුවන් ප්‍රහාරයත් සමඟ කැළබඹීමක් බවට පත් විය. ජුලි 25 වනදා රැස් වූ ෆැසිසිට් මහා මණ්ඩලය මුසෝලිනි බලයෙන් නෙරපා හැරියේය. රජුගේ නියමයෙන් සිර භාරයට ගනු ලැබූ හේ පොන්සා දූපතේ රඳවන ලදී. හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මාෂල් පියෙට්‍රෝ බැඩෝග්ලියෝ යටතේ පත් කෙරුන නව පාලනය මිත්‍ර ජාතීන් සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කරන බවද වාර්තා විය. හිට්ලර් සිද්ධිය දැන ගත්තේ එදින දහවල්ය. එකෙනෙහිම දුරකථනය ගත් හේ රිසිවරයට බෙරිහන් දුන්නේය. ‘ගෝරින් මෙහෙ එනවා!”. හිම්ලර්, ගොබ්ල්ස් හා රිබන්ට්රොකප් ද වහා එහි කැඳවන ලදහ. ජර්මන් හමුදාව යවා රෝමය අත්පත් කොට ගැනීමට ඔහුට ඔනෑ විය. එහෙත් සෙස්සෝ ඔහු සන්සුන් කලහ. මේ එවැන්නකට අවස්ථාව නොවේ. සිසිලි දූපත් වලින් හමුදා ඉවත්කොට ගැනීම වඩා මැනවයි ඇමතිවරුද හමුදා නනායකයෝද එකා මෙන් කියා සිටියෝය. හිට්ලර් මඳක් මෙල්ල විය. “හොඳයි එහෙනම් මුසෝලිනි හිරකරල ඉන්නෙ කොහේද හොයල බලනවා.” ඔහු හිම්ලර් ට කීය. ජුලි මස අවසන් දින කිහිපයේ නොකඩවා බෝම්බ හෙලූ මිත්‍ර පාක්ෂික ගුවන් යානා ජර්මනියේ දෙවැනි විශාලතම නගරය වූ හැම්බර්ග් පුරවරය සුන්බුන් ගොඩක් බවට පත් කලහ. ඉන් සාමාන්‍ය වැසියන් 30,000ක් මිය ගිය අතර අවතැන් වූ පිරිස දස ලක්ෂයකි. හිට්ලර් සුපුරුදු ලෙස බැන වැදුනේ ගෝරින්ටය. “මිනිස්සුන්ට දැන් ඕන කරන්නෙ මේකට සෑහෙන පලිගැනීමක්. ඒත් තමුසෙට බෑ එක පාරක් වත් හරියට ලන්ඩන් වලට බෝම්බ දාන්න. …” එහෙත් යුද්ධය නිසා බොහෝ කලක් මිනිසුන්ගෙන් ඈත් ව සිටි ඔහු නොදත් දෙයක් තිබිණ. එනම් මේ වන විට ජර්මන් වැසියන්ගේ පැතුම වී තිබුනේ පලිගැනීමක් නොව යුද්ධයට ඉක්මන් අවසානයක් බවයි. දිනපතා එස්. එස්. ඔත්තු සේවා වාර්තා කියවන හිම්ලර් මේ වග දැන සිටියද ඒ බව හිට්ලර්ට පැවසීමට ඔහු බියවිය.

(c) Chamara Siriwardene

හිට්ලර් පෙරමුණු දෙකක සටන් වදියි (1943 ජුලි- සැප්තැම්බර්)

හැම්බර්ග් නුවරට එල්ල වූ මාරක ගුවන් ප්‍රහාරය සෙසු සියල්ලන් මෙන්ම ගෝරින් තුලද ඇති කලේ මහත් කම්පනයකි. සිදු වූ දැවැන්ත විනාශය දුටු හේ අවංකව කනගාටු විය. වහා ගුවන් හමුදා සෙනෙවි මණ්ඩලය රැස්කොට විසි හතර පැයේ ජර්මන් ගුවන ආරක්ෂා කිරීමේ වැඩසටහනක් පිළියල කෙරුනේ ඒ නිසාය. සැලැස්ම රැගෙන චාන්ස්ලර් මන්දිරයට ගිය ගෝරින් ඊට අනුමැතිය පැතුවද හිට්ලර් ඔහු පන්නා ගත්තේ නොසිඳුන කෝපයෙනි. “ඕවයින් ඇති වැඩක් නැහැ අයිසේ. භීෂණයට උත්තර දෙන්න ඕනෑ භීෂණයෙන්. ලන්ඩනයට රිදෙන්න ගහන්න ගුවන් හමුදාවට තව එක අවස්ථාවක් දෙන්නම්. හ්ම්. යනවා යනවා” අන්දමන්ද වූ ගෝරින් ආපසු ගුවන් අමාත්‍යාංශයට පසුබැස ගොස් නායකතුමා තුල තමා කෙරේ වූ විශ්වාසය පළුදු වී ඇතැයි නිළධාරීන් හා පවසමින් වැලපුනේ කඳුළු සලමිනි. අනතුරුව මඳක් සැනසී හොටු පිහිදාගත් හේ විස්මයෙන් තමා දෙස බලා හුන් සෙනෙවි මණ්ඩලයට මෙසේ නියම කලේය. “ඉතින් ඔන්න ඔහොමයි උනේ. ඒ නිසා වහාම ලන්ඩනයට බෝම්බ දාන්න ලේස්ති වෙන්න ඕන. හ්ම් යනව යනවා.” බටහිර බලවතුන් හා ගුවනේ තරඟ වැදීමට ජර්මනියට තව දුරටත් හයියක් නොමැති බව අවබෝධ කොටගෙන සිටි ගෝරින් පලිගැනීමේ ප්‍රහාර වලින් මිත්‍ර ජාතීන් බිය ගැන්විය නොහැකි බවද දැන සිටියේය. ඒ අතර ජුලි අග භාගයේ නැගෙනහිර පෙරමුණේ දරුණු ලෙස සටන් වැදුන රතු හමුදාව අගෝස්තු 03 දා ඕරෙල් නගරයට ඇතුළු වන විට ජර්මන් අණදෙන නිළධාරීන් විස්මයට පත්ව සිටි එක් හේතුවක් වූයේ කර්ක්ස් හි ආරක්ෂක සටනකින් පසුවත් ක්ෂණිකව ප්‍රහාරක අඩියකට මාරු වීමට රුසියානුවන් පෙන්වූ හැකියාවය. ඒ සතිය තුල වඩාත් ඉදිරියට ගිය සෝවියට් 1 වන යුද ටැංකි හමුදාව 11 වන දා ක්හාර්කොව් නගරයට සැතපුම් 20ක් වයඹ දිගින් වූ තැනිතලාවේදී එස්. එස්. 3 වන පැන්සර් කෝර්ප්ස් බල ඇණියට පහර දුන් විට වහා ආරක්ෂක අඩියකට පිවිසීමට ජර්මන් පෙරමුණට සිදු විය. සිසිලියෙන් ද ජර්මන් හමුදා ඉවත් කොට ගැනීම එදිනම ආරම්භ වූයේ වඩාත් ඉදිරියට ආ ජනරාල් බර්නාඩ් මොන්ට්ගොමරිගේ ඉංග්‍රීසි 8 වන හමුදාව දූපත හා ප්‍රධාන භූමිය අතර වූ මෙසිනා සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට තැත් කල නිසාය. 17 දා වනවිට සතුරු ගුවන් ප්‍රහාර මැද සමස්ථ බලැණිය හා යුද උපකරණ මෙගොඩට ගෙන ඒමට හැකිවීම විශාල ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි වුවද, එදිනම රාජකීය ගුවන් හමුදාව බෝල්ටික් ප්‍රදෙශයේ රොකට් පර්යේෂනාගාරටද බැවේරියාවේ ගුවන් යානා කම්හලටද බෝම්බ දැමූහ. සතුරු ගුවන් යානා 60 බිම හෙලනු ලැබුවද එමඟින් ජර්මන් නිෂ්පාදනයට සිදු වූ හානිය සාධාරණිකරණය කොට හැකි නොවීය. ගෝරින්ගේ දෝෂාරෝපණ ඉවසිය නොහැකි වූ ගුවන් හමුදාවේ මාන්ඩලික ප්‍රධානී කල්නල්-ජනරාල් හෑන්ස් ජෙෂනොක් පසුදා සිය දිවි නසාගත්තේය. අගෝස්තු 20 දා නිකුත් වූ විශේෂ ආඥාවක් මඟින් එස්. එස්. නායක හයින්රිච් හිම්ලර් අභ්‍යන්තර ඇමති තනතුරට පත් කෙරිණ. ඒ ජර්මනිය අනාගත පොලිස් රාජ්‍යයක් බවට පත්වීමේ පළමු පියවර විය. ඉතාලියේ හටගත් තත්වය බරපතල ලෙස සැලකිල්ලට ගත් හිට්ලර් පෙර සූදානම කෝකටත් ඇඟට ගුණ බව සිතූ බව පෙනේ. මෙතැන පටන් එස්.එස්. සංවිධානයට අනුයුක්ත කරනු ලැබූ ජර්මන් පොලිසිය කටයුතු කලේ එහි සහායක අංශයක් ලෙසටයි. නැගෙනහිර පෙරමුණේ වරම අතට ගෙන සිටි රුසියානුවෝ හිට්ලර්ට ඉස්පාසුවක් නුදුන්භ. 23 දා රතු හමුදාව ක්හාර්කොව් නගරය අත්පත් කොට ගත්තේය. ඩොනෙට්ස්ක් නිම්නයේ සරුසාර ගල් අඟුරු ආකර කෙරේ ඇති කොටගත් අශාව අත හැර දැමීමට ඔහුට සිදුවිය. ජර්මන් යුද ටැංකි යුද බිමේ රැඟූ කාලය අහවර යැයි ගුඩේරියන්ට පවා නොසිතුනා නොවේ. එහෙත් එදා රැයේ බර්ලින් නුවරට බෝම්බ හෙළිමට පැමිණි රාජකීය ගුවන් හමුදාවට ප්‍රහාරක යානා 62ක් අහිමි වූයේ ගෝරින් හඳුන්වා දුන් නව උපායක් හේතුවෙනි. ඒ රේඩාර් වල මඟ පෙන්වීමෙන් තොරව නිදහසේ පියාසර කරමින් සතුරාට වෙඩිතැබීමයි. මෙය සෑහෙන අනතුරුදායක වුවද තරුණ ජර්මන් ගුවන් නියමුවෝ සතුටින් එම අභියෝගය භාර ගත්තෝය. මේ හේතුවෙන් ඉදිරි දින කිහිපය තුල බටහිර ගුවන් ප්‍රහාර වල සැර වඩාත් බාලවිය. සිය ගුවන්යානා අහිමි වීමේ වේගය ඔවුනටද ඔරොත්තු නුදුන්නා විය යුතුය. ගෝරින්ට විශාල කීර්තියක් අත්කොට දෙමින් සැප්තැම්බර් 03 දා සිට ජර්මනියට බෝම්බ හෙලීම අත් හිටවනු කැබුවද, එය රාජකීය ගුවන් හමුදාව තාවකාලිකව ගත් පියවරකි. එහෙත් ගෝරින්ගේ කල දවස මොහොතකට සුභ විය. සැප්තම්බර් 08 වැනිදා දෙසතියක් තුල දෙවන වරටද හිට්ලර් දකුණු දිග ආඥා මූලස්ථානයට පියාසර කලේ නැගෙනහිර පෙරමුණේ උද්ගතව තිබූ තත්වය නිසාය. රුසියානුවන් ස්ථන කිහිපයකින්ම පෙරමුණ බිඳ තිබූ හෙයින් ආරක්ෂිත සීමාවක් කරා පසු බැසීම හැර අන් විකල්පයක් නොවීය. අනතුරුව ඔහුට අසන්නට ලැබුනේ ඉතාලියේ බලයට පත් බැඩෝග්ලියෝ ගේ රජය මිත්‍ර පාක්ෂිකයන් හා ගිවිසුමකට එලැඹී ඇති බවට බී.බී.සී. පුවත් සේවය වර්තා කල බවයි. “ගෝරින් ඉක්මන්ට එනවා,” ඒ ඇසූ හිට්ලර් රිසිවරය ගෙන මොර දුන්නේය. “මේ වගේ වෙලාවකට ලඟ ඉන්නම ඕන පුද්ගලය තමා රයික්මාෂල්. ආයෙ ලෝකෙ කඩා වැටුනත් කලබල වෙන මිනිහෙක් හෙම නෙවෙයි,” හේ තමා වටේ හුන් ජනරාල් වරුන්ටද පැහැදිලි කලේ හිටි වනම ගෝරින්ගේ ගුණ වනමිනි. හිම්ලර්, ගොබ්ල්ස්, රිබන්ට්‍රොප් ඇතුළු සෙස්සෝ ද කැඳවන ලදහ. එහෙත් මෙවැනි තත්වයක් අපේක්ෂාවෙන් සියළු සැලසුම් කල් ඇතිවම සකස් කොට තිබූ හෙයින් කලබල වීමට කාරියක්ද නොවීය. හිට්ලර් ගේ පෞද්ගලික එස්. එස්. ඩිවිෂණය වූ ‘ලයිබ්ස්ටන්ඩර්ට් ඇඩොල්ෆ් හිට්ලර්’ බලකාය පෙරමුණ ගත් ඉතාලිය අත්පත් කොට ගැනීමේ මෙහෙයුම සඳහා අණ දෙන ලද්දේ උතුරු අප්‍රිකාවේ සටන් නිසා ‘කාන්තාර හිවලා’ යන විරුදාවලි ලැබ සිටි ජනරාල්ෆීල්ඩ්මාෂල් අර්වින් රොමෙල් විසිනි. එහෙත් තම ‘ප්‍රියතම’ ජනරාල්වරයා පවා මේ වනවිට තමා කෙරේ රහසින් සිත් බිඳගෙන සිටි බවක් හිට්ලර් නොදත්තේය. සැප්තැම්බර් 10 දා ඉතාලිය තම හිටපු අක්ෂ සහකරු විසින් අත්පත් කොටගනු ලැබුවාය. සැලකියයුතු විරෝධයකින් තොරව ජර්මන් හමුදා රෝමයට ඇතුළු විය. ඉතාලි රජ පවුල, බැඩෝග්ලියෝ ඇතුළු රජයේ ප්‍රධානීන් අතඩංගුවට ගෙන සිර ගත කිරීම හිට්ලර්ගේ අභිප්‍රාය වුවද, ඔවුන් මෝටර් රථ 7ක නැගී දකුණට පලා ගොස් පණ ගලවා ගත්තේ හමුදාවට නියෝග දීමෙන් පවා තොරවයි. හිට්ලර්ගේ සිතට වඩාත් වද දුන්නේ මුසෝලිනිගේ ඉරණමය. බැඩෝග්ලියෝගේ සාමගිවිසුම අනුව ඔහු නඩු විභාගයක් සඳහා මිත්‍ර ජාතීන්ට භාර කිරීමට නියමව සිටි අතර මධ්‍යම ඉතාලියේ මේ වෙන විය සිර කොට සිටින බව හිම්ලර් විසින් වාර්තා කොට තිබිණ. දෙදිනකින් මුසෝලිනි රඳවා සිටි කඳුකර හෝටලයට කඩා වැදුන එස්. එස්. කොමාන්ඩෝ භට කණ්ඩායමක් ඔහු මුදවාගෙන ගුවන් යානයකින් වෘක ලෙන වෙත රැගෙන ආවෝය. කළු කබායකින් හා කලිසමකින් සැරසී කුදු ගැසී සිටි හිටපු ෆැසිස්ට් නායකයාගෙන් ගෙන් පළවූයේ බලාපොරොත්තු සුන් වූ පෙනුමකි. ඉතා උණුසුම් ලෙස සිය අමුත්තා පිලිගත් හිට්ලර් පවා ඔහුගේ සෘනාත්මක ආකල්ප නිසා අමනාපයට පත්විය. අනතුරුව මුසෝලිනි උතුරු ඉතාලියට පිටත් කොට යැවුනේ ජර්මන් හමුදා පරිපාලනය යටතේ පිහිටුවනු ලැබූ නව ‘සමාජ ජනරජයේ’ රූකඩ පාලකයා ලෙසය. යක්ෂයාගෙන් සුළු කාලයක් ජීවිත වරම් ලද මුසෝලිනි ඒ වෙනුවෙන් සිය ස්වාමියාට සේවය කල යුතු වග දැන සිටියේය... (c) Chamara Siriwardene

වලසා හිට්ලර් ලුහු බැඳ එයි... (1943 සැප්තැම්බර්-දෙසැම්බර්)

හිට්ලර් සති අටෙන් අවසන් කරන්නෙමැයි සිතා අත ගැසු නැගෙනහිර යුද්ධයට එකසිය අට සතියක් ගත වීමෙන් අනතුරුවද නිමාව පේන තෙක් මානයක නැත. ඔහුට අනුව නම් 1941 අත ලඟ තිබූ ජයග්‍රහණය මඟ හැරී ගියේ ජනරාල්වරුන්ගේ හෝන්දු මාන්දු ගතිය නිසාවෙනි. දැනුදු ඔහු කණගාටු වූයේ ස්ටාලින්ග්‍රාඩයේදී 6 වන හමුදාව අහිමි වීම ගැන නොව ඔවුන් රුසියානුවන්ට යටත් වීමෙන් හටගත් කැළල ගැනය. භෞතික ආත්මාර්ථය හමුවේ මධ්‍යම පන්තියෙන් නැඟී ආ වෘත්තිය නිළධාරීන් නොහොත් ‘පෑන් කුරුට්ටන්’ ජාතික අභිමානය දෙවැනි තැන ලා තකන බව වොන් පෝලිස් ට ෆීල්ඩ්-මාෂල් තනතුර දීමට පෙර ඔහු විසින් සිතිය යුතුව තිබිණ. ජර්මන් වරුන්ට සුදුසු වීරෝදාර අවසානයක් මිස දීන ලෙස සතුරාගෙන් අභය පැතීම නොවන වග වැග්නර්ගේ ඔපෙරාවක් රසවිදීමට නොදත්තෝ කිසිදා නොදනිති. අනිත් අතට අවමානයට ලක්ව සිටි ජර්මන් හමුදා නායකයන් මේ පිළිබඳ පල කල අප්‍රකාශිත මතය වූයේ නොකල යුතු යුද්ධයක් නැගෙනහිර පෙරමුණේ ඇරඹීම මේ සියල්ලට මුල බවයි. ප්‍රසියන් වංශක්කාරයෝ වූ ඔවුන් වර්සෙල්ස් ගිවිසුම බිඳ දැමීමට ආශා කලද, බිස්මාර්ක්ගේ සම්ප්‍රදාය ගරු කරමින් රුසියාව සමඟ යුද වැදීමට අකැමති වූහ. පෙරමුණූ දෙකක යුද්ධය කවදත් ජර්මනියට බියකරු සිහිනයකි. මහා ව්‍යසනයට තුඩු දුන් හේතු සාධක කවරක් වුවද, ජර්මන් යාන්ත්‍රික බල ඇණි භාර ඉන්ස්පැක්ටර්- ජනරාල් තැන්පත් ගුඩේරියන්ට නම් හැඟි ගියේ කර්ක්ස් නෙරුවේදී තමා සටන් වැදුනේ දෙවසරකට පෙර ලුහු බැඳ ගොස් වැටලූ සතුරා සමඟ නොවන බවය. ප්‍රායෝගික කුසලතා මැනවින් ප්‍රගුණ කරමින් සිටි රතු හමුදාව, නව සෛද්ධාන්තික ක්‍රමවේදයන්ද අත් හදා බලමින් සිටින බව හේ දිටීය. ‘දුර්ග මෙහෙයුම’ මැඩපවත්වමින් එය ප්‍රතිප්‍රහාරයක් බවට පෙරලීමට රුසියානුවන්ට හැකිවීම ඔවුන් අණදීම, සංවිධානය, සැපයුම් අතින් පමණක් නොව න්‍යායාත්මකවද අත්පත් කොට ගනිමින් සිටි ප්‍රගතියට උදාහරණයක් ලෙස සැලකිය හැක. යුද්ධයේ මුල් වසර දෙක තුල මුහුණ පෑ විශාලම අභියෝගය වූ මෙහෙයුම් අතරතුර සහායක ඒකක මනා ලෙස සම්බන්ධීකරණ ගැටළුව සෝවියට් සාමුහීකරණ සංකල්පය තුල විසඳීමට අවසානයේ කොමියුනිස්ට් පක්ෂය සමත් විය. කර්ක්ස් හි සටන වනාහී රතු හමුදාවේ පාබල, යාන්ත්‍රික හා සැපයුම් බල ඇණි පමණක් නොව රතු ගුවන් හමුදාව, හමුදා ඔත්තු සේවය, එන්.කේ.වී.ඩී සංවිධානය, පාටිසාන් ව්‍යාපාරය හා ‍රටේ නිෂ්පාදන අංශය යන සියළු පාර්ශ්ව දැරූ ඒකාබද්ධ වෑයමකි. ‘දුර්ග මෙහෙයුම’ මැඩලමින් ඉදිරියට ආ රුසියානුවන්ගේ 1943 සැප්තැම්බරයේ ඉලක්කය වූයේ පෙරමුණූ කිහිපයකින් ද්නීපර් ඉවුරු වෙත ලඟාවී ජර්මන් මධ්‍යම පෙරමුණ කොටු කිරීමය. ඊට පෙර නදිය තරණය කොට වම් ඉවුරේ ආරක්ෂක අඩියක ස්ථානගත වීමට පසුබසිමින් සිටි ජර්මන් හමුදාව තැත් කලේය. කර්ක්ස් හා ක්හාර්කොව් හි සටන් වලින් රතු හමුදාවේ ජංගම බලඇණි වියැකී ගොස් තිබූ වගක් ඔවුන් දැන සිටියේ නැත. පාවෙල් රට්මිස්ට්රෝව් ගේ 5වන සෝවියට් හමුදාව සතු යුද ටැංකි 500න් ඉතිරිව තිබුනේ 50කි. එහෙත් රුසියානුවෝ අවදානම ගෙන ඉදිරියට ගියහ. අනපේක්ෂිත පසු බැසීම් හා සිදුවූ අලාභ හානිද එමටය. 23 දා රෑ කියෙව් නගරයට ආසන්නව ද්නීපර් ඉවුරට භටයින් ගුවනින් හෙලීමට තැත් කිරීමේ මෙහෙයුම එවැන්නකි. තෝරාගත් ප්‍රදේශයේ ජර්මන් භට කණ්ඩායම් වල ගමන් පිළිබඳ කලට වේලාවට තොරතුරු නොලැබීම හේතුවෙන් ලද මැනවින් පුහුණු කෙරුන රුසියන් පැරචුට් භට කණ්ඩායම් කිහිපයක් විනාශ විය. ස්ටාලින් බලවත් කණස්සල්ලට පත් වුවද දෙදිනකින් අනතුරුව රතු හමුදාව උතුරින් ගඟ තරණය කොට ස්මොලෙන්ස් නගරය අත්පත් කොට ගත් බව අසා සැනසුනේ එය දැවැන්ත උපායමාර්ගික ජයක් වූ නිසාය. දැන් හිට්ලර්ට ලෙහෙසියෙන් මොස්කොව් නුවරට තර්ජන එල්ල කොට හැකි නොහේ. ඔක්තෝබරයේදී කොන්ස්තන්තීන් රොකොසොව්ස්කි අණදුන් සෝවියට් මධ්‍යම පෙරමුණ ගොමෙල් නගරයට දකුණින් එතෙර වී එතැනින් ජර්මන් සීමාව බිඳ දැමීය. තවත් දක්ෂ අණදෙන නිළධාරියෙකු වූ නිකොලායි ෆෙඩ්රෝවිච් වටුටින් ගේ ‘වොරොනෙස්’ පෙරමුණ විසින් කියෙව් නගරයට හොර රහසේ කල පහරදීම සෝවියට් ‘නොමඟ යැවීමේ’ කලාව ලද ඉදිරි ගමනේ එක් අග්‍ර ඵලයකි. නොවැම්බර් 3 වනද හිමිදිරියේ කාලතුවක්කු 2000ක් හා ‘කත්යූෂා’ රොකට් යන්ත්ර් 500 ක් එකවර වෙඩි තබන විට ජර්මන් දකුණුදිග පෙරමුණ එවැන්නක් කොහෙත්ම අපේක්ෂාවෙන් නොසිටියේය. තෙදිනකින් සෝවියට් 38 වන හමුදාව නගරයට ඇතුළු විය. අනතුරුව පහත සඳහන් රේඩියෝ පණිවුඩය මොස්කොව් වෙත කේතය රහිතව සම්ප්රේටෂණය කරන ලදී. “යුක්‍රේන සෝවියට් ජනරජයේ අගනුවර වන අලංකාර කියෙව් නගරය 1 වන යුක්‍රේනිනයන් පෙරමුණ විසින් නොවැම්බර් 06 දා පැය 16.00 නාසි සතුරාගෙන් මුළුමනින් මුදවා ගෙන ඇතිබව වාර්තා කරමු.” ජර්මනියට තම ‘පාන් මල්ල’ (Bread Basket) අහිමි විය. මේ අතර ජර්මන් නගර වලට එල්ලවූ බටහිර ගුවන් ප්‍රහාර නිසා ඇතිවූ අවමානයත්, හිට්ලර්ගේ දෝෂාරෝපන නිසාත් කලක් මුළු ගැන්වි සිටි ගෝරින් නැවත කළ එලි බැස්සේය. හිට්ලර් ද මෙය අනුමත කලේ ‘රයික් මාෂල්’ වරයාට නැවත ජනතාව අතර ජනප්‍රිය වීමට කාලය එළැඹ ඇතැයි පවසමිනි. මොනදේ වුවද, ඔහු තම අනුප්‍රාප්තිකයාය. ඉදින් ගෝරින් සම්පූර්ණ නිළ ඇඳුමින් සැරසී වැසියන්ගේ සැප දුක විචාරමින් බර්ලිනයේ කඩපිල් හා වීථි ඔස්සේ සැරිසරන්නට විය. තම ගෙවල් දොරවල් විනාශ වීම නිසා අමනාපයෙන් සිටියද නගර වැසියෝ ඔහු මිතුරු ලෙස පිළිගත්හ. එහෙත් ඒ සියල්ල ඉතා අවාසනාවත් ලෙස අවසන් වූයේ නොවැම්බරයේ රාජකීය ගුවන් හමුදාව නැවත බර්ලිනයට බෝම්බ හෙලීම නිසාය. සතුරාට සෑහෙන ලෙස බැට දීමට ගෝරින්ගේ නියමුවන් සමර්ත වුවද හිට්ලර් නැවතත් ඔහු කැඳවා ලුණු ඇඹුල් ඇතිව බැණ වැදුනේ චාන්ස්ලර් මන්දිරය ඇතුළු රජයේ දිස්ත්රිගක්කයට හානි වී තිබීම හේතුවෙන් හටගත් කෝපය නිසාවෙනි. බලවත් සිත්තැවුලට හා අධෛර්යයට පත් අසරණ ගෝරින් දින කිහිපයක්ම තම ගම්බද මාලිගයට වී හුදෙකලා විය. 1943 අවසානයේ ජර්මන් මධ්‍යම හා දකුණු දිග පෙරමුණු සැතපුම් 200ක් පසුපසට තල්ලුකොට දැමූ රතු හමුදාව ද්නීපර් ගංඉවුරේ වාඩිලා ගත්තේය. 1941 බබරෝසා මෙහෙයුමේ ආරම්භයේ සිට මේ වන විට ජර්මන් ඩිවිෂන 160 කට සැලකිය යුතු හානිවී තිබූ අතර සිරභාරයට පත්වූ සංඛ්‍යාවේ එකතුව ඩිවිෂන 40 කට ආසන්නය. දෙසැම්බර් 01 දා ටෙහෙරානයේදී බ්‍රිතාන්‍ය ඇමෙරිකානු හා රුසියන් නායකයෝ හමු වූහ. නාසි ජර්මනිය කොන්දේසි විරහිතව යටත් වනතුරු සටන ඉදිරියටම ගෙනයාමට එහිදී තීරණය විය. නැගෙනහිර පෙරමුණේ රතු හමුදාවේ දීප්තිමත් ජයග්‍රහණයට පින්සිදු වන්නට සමුළුවේ මුල්තැන නිතැතින් හිමි වූයේ ස්ටාලින්ටය. බ්‍රිතාන්‍ය අගමැති චර්චිල් තමා සමඟ ඊර්ෂ්‍යාවෙන් පසු වෙතැයි සැක කල හේ රෑ කෑම මෙසයේදී ඉංග්‍රීසි ජාතිකයා කෝප ගැන්වීමට තැත් කලේය. “ජර්මන් හමුදාවෙ නිළධාරින් 50, 000ක් විතර මැරුවනම් හරි. ආයෙ එයාලට මේ කපේට යුද්ද කරන්න හම්බු වෙන්නෙ නෑ.” හේ කීවේ මහ හඬින් සිනාසුනේ ඇමෙරිකානු ජනධිපති රූස්වෙල්ට් දෙස ඉඟි මරමිනි. “සමහර විට 49,000ක් ඇති වේවි,” රූස්වෙල්ට් එය විහිළුවක් හැටියටම ලෙස්සා යැවීමට තැත් කලද බීමතින් සිටි චර්චිල් දබර කිරීමට ඉදිරිපත් විය. “ මොනව? යටත් වෙන සොල්දාදුවො නිකම් මරන්න? ඕව සහ ගහන යුද අපරාද !” හේ විරෝධය පලකොට මේසයෙන් නැගිට ගියේය. සමුළුව නිමවා පැමිණි ස්ටාලින් සිටියේ තෘප්තියෙනි. “ අපේ බටහිර මිත්‍රයො නම් පොරොන්දු උනා 1944 දි බටහිරින් ජර්මනියට පහර දෙනව කියල. එහෙම උනොත් අපේ බර සැහැල්ලු වෙනව. ඒත් ඉතින් ඕව කෙරෙන කම් විස්වාස නෑ. දැන් නම් එයාල නැතත් කමක් නෑ වගේ අපිට පුළුවන් තනියම මේක ඉවරයක් කරන්න… ” හේ සෙනෙවි මණ්ඩලයට කීවේය.

(c) Chamara Siriwardene

හිට්ලර් අහස පොළොව ගැටලයි...(1944 ජනවාරි-මාර්තු)

1943 නත්තල මර බියෙන් සිටි ජර්මන් වැසියන් ගත කලේ විමුක්තිදායකයාණන් සාමයේ පණිවුඩය ලොවට ගෙන ආදා කිතුණු ඉංග්‍රීසීන් තම හිස් මතට බෝම්බ නොහෙලනු ඇතැයි බලාපොරොත්තුවෙනි. එය එසේම සිදු විය. එහෙත් විඥාණය නොතැකූ බොල්ෂෙවික් වරු ද්නීපර් ඉවුරු වල සිට තම ‘සිසිර ක්‍රියාන්විතය’ ඇරඹුවේ ඊට දින දෙකකට පෙරය. තම අත් දැකීම් උරගා බැලීමෙහිලා නො ඉවසිලිමත් වූ තරුණ රතු හමුදා ජනරාල් වරුන්ට අවසානයේ ස්ටාලින් සිය අනුමැතිය දුන්නේය. නැගෙනහිර පෙරමුණ ආරක්ෂා කල ඌන සූදානමින් යුත් ජර්මන් පාබල ඩිවිෂන 170 ක් හා යාන්ත්‍රික ඩිවිෂන 26කට එරෙහිව රුසියානුවෝ එමෙන් දෙගුණයක් වූ දැවැන්ත යාන්ත්‍රික-පාබල ඒකාබද්ධ හමුදා 60ක් හා යුද ටැංකි හමුදා 6ක්, හා කම්පන හමුදා (Shock Armies) 5ක් යෙදවූහ. ප්‍රථිඵලය වූයේ මෙතෙක් නොදුටූ විරූ දැවැන්ත ගිණිකෙලි සංදර්ශනයකි. හිට්ලර්ගේ අවධානය දැන් වැඩි වශයෙන් යොමුවූයේ බටහිර පෙරමුණ දෙසටය. මුසෝලිනි ට පක්ෂ පාතී නොවූ ඉතාලි හමුදා නිරායුධ කෙරුන හෙයින් සමස්ත බර දැරීමට ජර්මනියට සිදුවී තිබිණි. මිත්‍ර පාක්ෂික ආක්‍රමණයක් ආසන්න වග රහසක් නොවූ මුත් කුමන ස්ථානයකින් එම ගොඩ බැසීම සිදුවේදැයි කිව නොහැකි විය. අත්ලාන්තික් වෙරල ආරක්ෂා කර ගැනීම සඳහා තිබුනේ ඩිවිෂන 60කි. හිට්ලර් තම ප්‍රියතම ජනරාල් වරයා වූ අර්වින් රොමෙල් එහි ආරක්ෂක රැකවල් පරීක්ෂා කිරීමට පිටත් කොට හැරියේ ඒ නිසාය. රොමෙල්ගේ මතය වූයේ සොම් නගරයට උතුරින් මිත්‍ර පාක්ෂිකයන් ගොඩ බසිනු ඇති බවයි. බ්‍රිතාන්‍යය දණගැස්වීමේ හිට්ලර්ගේ අවසන් බලාපොරොත්තුව වූ ‘විස්මිත ආයුධය’ ලෙස ඔහු පාරම් බෑ ඒ වන විට නිපදවෙමින් පැවති ‘වී’ කාණ්ඩයේ රොකට් විදීම සඳහා තෝරා ගෙන තිබූ ස්ථානය මෙය වීම ඊට හේතු වූවා විය හැක. ජනවාරි 20 දා ඇමෙරිකානුවෝ මහ දවාලේ ජර්මනියට බෝම්බ හෙළූහ. ඔවුන්ගේ ඉලක්කය වූයේ කර්මාන්ත ශාලාය. මින් වැඩි හරියක් අයත්වූයේ ගුවන් හමුදාවටය. සිය ගුවන් නියමුවන් රාජකීය ගුවන් හමුදාවට එරෙහිව දැක්වූ සාර්ථකත්වය දුටු ගෝරින්ගේ සැලැස්ම වූයේ 1944 වසරේ ප්‍රහාරක ගුවන් යානා නිෂ්පාදනය වැඩිකොට සතුරු ගුවන්යානා වැඩි වැඩියෙන් විනාශ කිරීම මගින් ජර්මනියට බෝම්බ හෙලීමට ඉංග්‍රීසීන්ට ඇති හැකියාව අහෝසි කිරීමය. මෙය ආරක්ෂක පියවරකිි. එහෙත් ලන්ඩනයට බෝම්බ දමා ආණ්ඩු මට්ටු කිරීමට හිට්ලර්ට ඕනෑ විය. එනම් සටන් වැදීමට ඉංග්‍රීසීන් තුල ඇති අදිටන මැඩලීමයි. අවසන් අරමුණ එක වුවද උපාය මාර්ග හාත් පසින් ප්‍රතිවිරුද්ධය. ගෝරින් හා කලහ කල හිට්ලර්, ප්‍රහාරක යානා වෙනුවට බෝම්බ හෙලන දිගු දුර ගුවන්යානා නිපදවිය යුතු යැයි ස්පීර් කැඳවා අණ කලේය. ගහෙන් ගෙඩි එන්නාක් මෙන් නිෂ්පාදන ප්‍රමුඛතා වෙනස් කිරීම තුලින් විශාල කර්මාන්ත තුල ඇති වන වියවුල ගැන කිවයුතු නොවේ. එහෙත් හිට්ලර්ට ඒවායේ වගක් නැත. එපමණක් නොව ගුවන් ප්‍රහාරයක් අතර තුර සිර කඳවුරකින් පලා යාමේදී පොලිස් අතඩංගුවට පත් මිත්‍ර පාක්ෂික ගුවන් නියමුවන් පණස් දෙනෙක් මරා දමන මෙන් හිට්ලර් එස්. එස්. සංවිධානයට නියෝග කලේ ගෝරින්ට දැනුම් දීමෙන් පවා තොරවය. ඒ අසා දෙලොව රත් වූ ගෝරින් තකහනියක් හිම්ලර් ගෙන් කරුණූ විමසීය. “මමත් නායකතුමාට කිව්වා ඕක තේරුමක් නැති වැඩක් කියල. අන්තිමට ලෝකෙ පුරා ප්‍රචාරය යන්නෙ එස්. එස්. එක හිරකාරයො මරණව කියල. කෝ එත් ඉතින් නායක තුමා අහන එකක්යැ? බේරෙන්නම බැරි තැන ඔන්න ඔක්කොම ටිකට වෙඩි තියල දැම්මා...” හිම්ලර් කීය. අනතුරුව වාර්තා වූයේ ජර්මන් ප්‍රතිප්‍රහාර වලට ලක්වී විනාශ වෙන සතුරු යානා වල සිට පැරචුට් මගින් බිමට පනින මිත්‍ර පාක්ෂික ගුවන් නියමුවන්ට කෝපයට පත් මහජනයා විසින් පහරදීමේ හා මරාදැමීමේ සිද්ධි මාලාවකි. පොලිසිය ඊට මැදිහත් වූයේ නැත. ජර්මනිය නැවත ම්ලේච්ඡ යුගයට යමින් සිටිතැයි කණගාටු වූ ගෝරින් නැවත වරක් හිට්ලර් බැහැ දැකීමට තීරණය කළේ බලා සිටිමට නොහැකු වූ බැවිනි. “මෙහෙම ගියොත් ලන්ඩනයෙදි පැරචුට් වලින් පනින අපේ ගුවන් නියමුවන්ට වෙන්නෙත් ඔය සන්තෑසියමයි. දැනමත් අපේ කීපදෙනෙකුටත් ඒ රටවල් වල මිනිස්සු හොඳටම ගහලලු. ඒ ගැනත් අපි හිතන්න ඕන නායක තුමා ” “එතකොට රුසියාවෙදි බිමට පනින තමුසෙගෙ ගුවන් නියමුවො එහේ මිනිස්සු මල් තියල පිළි ගන්නවද?” හිට්ලර් හරස් විය. “ඒක වෙනම දෙයක් නෙ නායකතුමා. ඒ ම්ලේඡ්චයො කියමුකො. නමුත් අපි ශිෂ්ඨ ලෝකය එක්ක ඒ විදියට කරයුතු කරන්න ඕනද?” “මට පේන්නෙ ගුවන් හමුදා දෙක මොකක් හරි නිවට එකඟතාවෙකට ඇවිත් වගේ. නැත්නම් තමුසෙට හතුර ගැන ඇති රුදාව මොකද්ද ඔය තරම්?” ඉවසීමේ සීමාව සිඳුන ගෝරින්ට තව දුරටත් සාකච්ඡා කිරීමෙන් ඵලක් නැති බව වැටහිණ. “එහෙම කතා කරන්න එපා නායක තුමා. මොන තරම් යුද්ධ කරත් සියළුම ගුවන් නැවියො අතරෙ සහෝදරත්වයක් තියනවා. ඒක නිවට කමක් නෙවෙයි…” හිට්ලර්ගේ මුහුණටම කී හේ තම ගම්බද මාලිගය කරා නික්ම ගියේ දැඩි සිත් වේදනාවෙනි. එහෙත් ගෝරින් කලාතුරකින් ඇති කරන හැඟුම් බර ආරවුල් හිට්ලර්ද ඉවසුවේය.

‘අත්ලාන්තික් පවුර’ නිරීක්ෂණය කිරීමට ගිය ගුඩේරියන් මිත්‍ර පාක්ෂික ගොඩ බැසීමකට ඔරොත්තු දීමට එය සතු හැකියාව හා අවස්ථාව අඩු බව දුටුවේය. ඔහුගේ මතය වූයේ ආ‍ක්‍රමණය සිදුවන ස්ථානය නිශ්චිතව නොදත් හෙයින් සංචිත පැන්සර් බල ඇණි ගොඩ බැසීම් සිදුවිය හැකි බවට සැක කෙරෙන ඕනෑම ස්ථානයකට කෙටි කාලයකින් ගමන් කල හැකි වන සේ රට ඇතුලත මධ්‍යස්ථානයක රැඳවිම සුදුසු බවය. එහෙත් ඒවා සියල්ල ගොණු කොට තිබුනේ රොමෙල් ගොඩ බැසීම අපේක්ෂා කල උතුරු පලාතේය. ගුඩේරියන්ගේ රාජකාරිය පැන්සර් බලඇණි සූදානම් කිරීම මිස ඒවා ස්ථානගත කිරීම නුවුවද ඔහු අවස්ථාවක් බලා හිට්ලර් හා නිකමට මෙන් ඒ ගැන කතා බහ කලේය. 

“කොහෙන් ගොඩ බහීවිද කියන්න බෑනෙ නායක තුමා. ඔහොම එක තැනකට ගොඩ ගහල තිව්වම වෙන්නෙ හදිසියකදි වෙන තැනකට ගෙනියන්න බැරි වෙනවා.” ගුඩේරියන් පෙන්වා දුන්නේය. හේතුව නොදනිතත් ඒ මොහොතේ හිට්ලර් පසුවූයේ තැන්පත් මනෝභාවයක විය යුතුය. එහෙයින් තමාගේ වැඩක් බලා ගන්නැයි හේ ගුඩේරියන්ට සැර වූයේ නැත. හිටපු යුද ටැංකි ජනරාල් වරයා ‘පැන්සර්’ යුද කලාවේ කෙල පැමිණියෙකු වග හේ දත්තේය.

“ඔය විදියට සැලසුම හැදුවෙ රොමෙල්. මට එකපාරම මේක වෙනස් කරන්න බැහැ. ඒ හන්දා ගිහින් ෆීල්ඩ්-මාෂල් එක්කම කතා කරන්න.” හේ ගුඩේරියන් පැරිසිය බලා පිටත් කොට යැවිය. 

නැගෙනහිර පෙරමුණේ තත්වය දිනෙන් දිනම අහයපත් විය. ජර්මන් උතුරු දිග පෙරමුණට පහර දුන් රුසියානුවෝ පෙබරවාරියේ ලෙනින්ග්රාෙඩ් නගරයේ දින 900 ක වැටලීම බිඳ දැමූහ. කියෙව් නගරයට ඉහලින් නිරිත දිග බලා ගමන් කල නිකොලායි ෆෙඩ්රෝවිච් වටුටින් ගේ 1 වන යුක්රේනියන් පෙරමුණත්, දකුණින් වයඹ දෙසට ආ ඉවාන් කොනෙව් අණදුන් 2 වන යුක්‍රේනිනියන් පෙරමුණත් අනතුරුව ජර්මන් 42 වැනි කෝර්ප්ස් බල ඇණිය වට කලෝය. වටලෑම බිඳ පලා යාමට සමත් වූයේ සුළු පිරිසකි. ජර්මන් භටයන් 55,000 ක් මියගොස් 18,000ක් සිර භාරයට පත් විය. පස් වනක් ප්‍රීතියට පත් ස්ටාලින් පසුවදා මොස්කොව් හි කාලතුවක්කු වෙඩි මුර පත්තු කලේ පෙරමුණු දෙකට ආචාරය පුද කිරීමටයි. එහෙත් සෑම ජයග්‍රහණයක් තුලම දුක්බර ඛෙදවාචකයන්ගෙන් නැතුවා නොවේ. දින කිහිපයකට පසු පෙරමුණු බල ඇණි පරීක්ෂාවේ යෙදී සිටි කීර්තිමත් අණදෙන නිලධාරී නිකොලායි ෆෙඩ්රෝවිච් වටුටින් දක්ෂිණාංශික යුක්‍රේනියන් බෙදුම්වාදියෙක් විසින් ඈත සිට තැබූ වෙඩි පහරකින් මාරක තුවාල ලැබීය. (ඔවුන්ගේ අනුප්‍රාප්තිකයෝ අද යුක්‍රේනය පාලනය කරති.) වහා නගරය කරා ගෙන යනු ලැබුවද ප්‍රමාදය තුල සිදුවූ අධික ලේ වහනය නිසා නිර්භීත යුද ටැංකි ජනරාල් තැන මිය ගියේය. ද්නීපර් ගඟ අසබඩ රමණීය මිටියාවතක මිහිදන් කිරීමට පෙර පැවති අවමගුල් පෙරහැරේ හද කම්පා කරවන දසුන වූයේ මිනී පෙට්ටිය පිටුපස සිට වැරහැලි හැඳගත් ඔහුගේ මව ලතෝනි දුන් අන්දමයි. හද්දා පිටිසර අන්ත අසරණ ගෙවිලියක වූ ඇගේ වැඩිමහල් පුතුන් දෙදෙනාද යුද්ධයට බිලි වූයේ මෑතකදීය. අවමගුල් උත්සවය ආවරණය කිරීමට කියෙව් නගරයට පැමිණි බටහිර වාර්තා කරුවෝ එකිනෙකා දෙස බලූයේ තරු හතරේ රතු හමුදා ජනරාල් වරයකුගේ මව මෙතරම් දිලිඳු කතක් වූයේ මන්දැයි විමතිය පල කරමිනි. අසලක වූ පළමුවන පංතියේ දේශපාලන කොමිසාර් කෙනෙක් ඒ අසා අපූරු පිළිතුරයක් දුන්නේය. “ඔබ බලන්නෙ වැරදි කෝණෙකින්. ඔබ අහන්න ඕන ප්‍රශ්නය මේ තරම් දිළිදු අම්ම කෙනෙකුගෙ පුතෙක් ජනරාල් කෙනෙක් උනේ කොහොමද කියලයි. අන්න ඒක තමයි ඔබේ රටත් සෝවියට් සංගමයත් අතරෙ වෙනස...” ඒ කොමිසාර් වරයාද එසේ මෙසේ පුද්ගලයෙක් නොවේ. ඔහුගේ නම නිකිතා සර්ජියෙවිච් කෘෂෙව් ය. රුසියන් පෙරමුණේ තත්වය ඉතා අසතුටු දායකය යන සත්‍යය හිට්ලර් පවා තවදුරටත් ප්‍රතික්ෂේප කලේ නැත. එසේවුවද හේ බලාපොරොත්තු සහිත විය. “මේ බටහිර ආක්‍රමණයත් ඉක්මන්ට සිද්ධ උනොත් හොඳයි. මිත්‍ර ජාතීන්ට වෙන්නෙ තමුන්ගෙම ලේ සාගරේක පීනන්න. ඊට පස්සෙ තව ඩිවිෂන 40ක් විතර නැගෙනහිරට යවල රුසියන් පෙරමුණ ස්ථාවර කරන්න පුළුවන්. ඒත් ඔක්කෝටම වඩා මට මේ හන්ගේරියාවයි රුම්නියාවයි ඒ තරම් විස්වාස නෑ,” ඔහු ගොබ්ල්ස් ට කීවේ කල්පනා බරවය. බුද්ධිමත් ගොබෙල්ස් ඉන් වටහා ගත්තේ යමක් සිදු වීමට ආසන්න බවයි...

(c) Chamara Siriwardene

අක්ෂ පාක්ෂිකයෝ හිට්ලර්ට කොකා පෙන්වති (1944 මාර්තු-ජුනි)

මාර්තු මැද වන විට නැගෙනහිර පෙරමුණේ ජර්මන් ඩිවිෂන 25 ක් මුළුමනින් විනාශ කොට දැමූ රතු හමුදාව බග් නදිය තරණය කොට වසන්තයේ හිම දිය වනතුරු රුමේනියන් දේශසීමාව අසල වාඩිලා ගත්තේය. තුන් වසරක ඉතිහාසයේ නොදුටූ විරූ දැවැන්ත සටනකින් අනතුරුව හිට්ලර් නැවතත් සිටියේ බාබරෝසා මෙහෙයුමේ ආරම්භක ස්ථානයේය. ඉතාලියේ හටගත් පෙරළියත් රුසියානුවන් කාර්පේතියානු තැන්නට පිවිසීමත් නිසා අක්ෂ කඳවුරේ ඇබිත්ත සාමාජිකයන් අතර විචිකිච්චාවක් ඇතිවී ඇති වග ඔහු දනී. නැව ගිලෙන වග පෙනෙන විට මීයෝ පනිති. ගතවූ දෙසැම්බරයේ ටෙහෙරානයේදී මහ බලවතුන් තිදෙනාගේ හමුවේදී එලැඹි එකඟත්වය පරිදි නැගෙනහිර යුරෝපය අයත් වන්නේ රතු හමුදාවේ බල ක්ෂෙත්‍රයට බව ඔවුනට රහසක් වූයේ නැත. පාලකයන්ට කෙතෙක් උවමනා කලද කලාපය තුල බහුල ස්ලාව් ජාතිකයන් වැඩිමහල් සහෝදරයාට එරෙහිව සටන් වැදීමට ඉදිරිපත් වෙතැයි සිතිය නොහේ. (2017 වසරේ පැවති නේටෝ යුද අභ්‍යාස අතරතුරදී ද බල්ගේරියන් සෙබළු රුසියන් කොඩියේ වර්ණ පින්තාරු කොට තිබූ ඉලක්ක වලට වෙඩි තැබීම ප්‍රතික්ෂෙප කලහ) එහෙයින් තමා හමුවීමට පැමිණෙන මෙන් හිට්ලර් හංගේරියාවේ ආඥාදායක අද්මිරාල් මික්ලොස් හෝර්ති ට පණිවුඩයක් පිටත් කලේය. මාර්තු 18 දා තම විදේශ ඇමති හා යුද ඇමති සමඟ පැමිණි හෝර්ති සැල්ස්බර්ග් නුවරදී දුම්රියෙන් බැස්සේ මෙවර නැගෙනහිර පෙරමුණෙන් හන්ගේරියන් භට කණ්ඩායම් ඉවත් කරවා ගැනීමේ අදිටන ඇතිවයි. එහෙත් තමා පා තැබුවේ උගුලකට බව ඔහුට වැටහුනේ සාකච්ඡාව අතර තුර දීය. “මට ආරංචියි මිත්‍ර පාක්ෂිකයො එක්ක ගිවිසුමක් ගහන්න කට්ටිය හොර ගල් අහුලනව කියල. මතක තියාගන්නවා ඒ සෙල්ලම් බෑ මා එක්ක. දැක්කනෙ ඉතාලියට වෙච්චි දේ? අනිත් එක හන්ගේරියාව යුදෙව්වන්ට විරුද්ධව ගන්න ක්‍රියාමාර්ග ගැන අපිට කොහෙත්ම සෑහීමකට පත් වෙන්න බෑ. දැන් කරන්න දෙයක් නෑ. ජර්මන් හමුදා යවල හංගේරියාව අත්පත් කර ගන්න සිද්ධ වෙනවා…” ඔහු කඩදාසියක් හෝර්ති අතට දුන්නේය. “ඔය තියෙන්නෙ හන්ගේරියන් රජය ජර්මනියෙන් ඒ සඳහා කරන ඉල්ලීම. ඕකට අත්සන් කරනවා.” පළමුවෙනි ලෝක යුද්ධයෙන් හංගේරියාවට අහිමිවූ දවැන්ත භූමිය යලි ලබා ගැනීමේ අටියෙන් අක්ෂ පිලට එක්වූ අද්මිරාල් හෝර්ති ආර්ථිකය යුදෙව්වන් ගෙන් උදුරා ගැනීමට සිහින දුටුවද එය පරම්පරාවක් තුල ක්‍රමානුකූලව සිදු විය යුතු පරිවර්තනයක් බව විශ්වාස කලේය. එමෙන්ම ඔස්ට්රිනයාවේ සුෂ්නිග් හා චෙකොස්ලෝවැකියාවේ හැචා මෙන් තර්ජන වලට නතුවීමටද ඔහු අකැමැති විය. “තමුසෙට අත්සන් නොකලත් ආක්‍රමනය සිද්ධ වෙනවා. හන්ගේරියාවට විරුද්ධව හමුදා එවන්න රුමේනියාවයි ස්ලෝවැකියාවයි මගේ වචනෙ එනකම් බලන් එන්නෙ.” තමා ඉල්ලා අස්වන බව හෝර්ති කියා සිටියේය. “ආ එහෙමද? එහෙනම් තමුසෙගෙ පවුලෙ ආරක්ෂාව ගැන අපි වගකියන්නෙ නැහැ කියලත් මතක තියාගන්නවා.” “නායකතුමා ඔක්කොම තීරණය කරල ඉවර නම් මට තවත් මෙතන කරන්න දෙයක් නැහැ. කරුණාකරල මාව දුම්රියට ඇරලවන්න කටයුතු කරන්න…” හෝර්ති කාමරයෙන් පිටතට ආවේ අමනාපයෙනි. තම සගයන් රිබන්ට්රොාප් හා පිටත ශාලාවට ඔහු ඇතුල් වනවාත් සමඟ එකවර ගුවන් අනතුරු සංඥා නාද විය. “දැන් ඉතින් එලියට ගිහින් හමාරයි. කීයට නවතීද කව්ද දන්නෙ?” රිබන්ට්‍රොප් කීය. හංගේරියන් දූත පිරිස සරණාගත තත්වයට පත් වූහ. තමාට බුඩාපෙස්ට් නුවරට දුර ඇමතුමක් ගැනීමට උවමනා බව හෝර්ති කියා සිටියේය. “කණාගටුයි අද්මිරාල් තුමනි. ගුවන් අනතුරු සංඥාව නිසා ටැලිපෝන් සම්බන්ධතා බිඳ වැටිල.” හෝර්ති කඩදාසියට අත්සන් තබන තුරු ඒ අපූරු ගුවන් අනතුරු සංඥාව පහව නොගියේය. අවසානයේ ඔහුට පෙරලා සිය රට බලා යාමට ඉඩ ලැබුනේද තනිව නොවේ. සියල්ල නිවැරදිව සිදුවන බවට සැක හැර තහවුරු කොට ගැනීම පිණිස දෝ එස්.එස්. ජනරාල් අර්න්ස්ට් කැල්ටන්බෲනර් ද දුම්රියට ගොඩ විය. පසුදින ජර්මන් හමුදා හන්ගේරියාව අත්පත් කොට ගති. අද්මිරාල් හෝර්තිද එතැන සිට මුසෝලින් මෙන් ජර්මන් හමුදා පරිපාලනයට වගකිව යුතු රූකඩයක් බවට පත් විය. හිම්ලර් නොපමාව බුඩාපෙස්ට් නුවර සිටි ‘ශාඛාව’ විවෘත කලේය. ඊලඟ මාස කිහිපය තුල හාර ලක්ෂයක් යුදෙව්වෝ ගවයන් ප්රතවාහනය කරන දුම්රිය මැදිරි තුල ‘පොරොන්දු දේශය’ බලා නික්ම ගියෝය. නැගෙනහිර පෙරමුණේ තත්වයට පෙරමුණු භාර ෆීල්ඩ්-මාෂල් වරු වන ගුන්තර් වොන් ක්ලූග් හා එරිච් වොන් මැන්ස්ටයින් දෙපල පුද්ගලිකව වගකිව යුතු යයි දෝෂාරෝපණය කල හිට්ලර් දෙදෙනාම තනතුරු වලින් පහ කලේය. ඒ වෙනුවට ඔහු පත් කලේ ජෙනරාල්ෆීල්ඩ්මාෂල් ෆර්ඩිනන්ඩ් ෂෝනර් හා ජනරාල් වෝල්ටර් මොඩ්ල් ය. එහෙත් ඉන් ඵලක් නොවීය. අප්‍රේල් මුල උපාය මාර්ගික ඔඩෙස්සා වරාය රුසියානුවෝ අත්පත් කොට ගත්හ. රතු හමුදාවේ යුද ටැංකි සිට දේශසීමාවට ආසන්න වීම නිසා බියපත් වූ රුමේනියාවද දැන් දැන් පස්ස ගසයි. මැයි මාසයේ ක්‍රිමියාව අත් හැර දමා පසු බැසීමට සිදු විය. හිට්ලර් සෙබස්ටෝපෝල් ගැරිසනයේ අණදෙන නිළධාරියා යුද්ධාධිකරණයක් හමුවට පමුණුවනලද්දේ ඔහුගේ ‘පරාජිත වාදී’ ආකල්ප හේතුවෙන් ව්‍යසනය සිදුවූ බව චෝදනා කරමිනි. ගුඩේරියන්ගේ මැදිහත් වීම නොවන්නට චූදිතයාට වෙඩි තබා මරා දැමීමට පවා බෙහෙවින් ඉඩකඩ තිබිණ. තම ගුවන් යානා විසින් නිරතුරුව සෝදිසියේ පසුවූ සතුරු නැවු කණ්ඩායම් වල ගමන් මග අධ්‍යනය කිරීමෙන් මිත්‍ර පාක්ෂික ආක්‍රමණය නෝර්මන්ඩිය හරහා සිදුවිහ හැකි බවට ගෝරින් ඉතා නිවැරදිව උපකල්පනය කලද හිට්ලර් සිතුවේ එය සතුරාගේ නොමඟ යැවූමේ උපායක් විය හැකි බවය. නිසි බුද්ධි තොරතුරු නොලැබීම විශාල පාඩුවකි. එහෙයින් මැයි මාසයේ හිට්ලර් ‘අබ්වියර්’ හෙවත් හමුදා ඔත්තු සේවය හිම්ලර් යටතට පත් කලේය. එය තමාගේම විදෙස් ඔත්තු සේවයක් ගොඩ නැගීමට සිහින මවමින් සිටි හිම්ලර් ලද සුවිශාල ජයග්‍රහණයක් විය. ඔහු එහි ප්‍රධානයා ලෙස පත් කලේ ගෙස්ටාපෝ විමර්ෂණ පුස්තකාලයේ නවකතා තුලින් බ්‍රිතාන්‍ය ඔත්තු සේවය පිළිබඳ මනා දැනුමැත්තෙක් ලෙස පෙනී සිටි එස්. එස්. මේජර්-ජනරාල් වෝල්ටර් ෂෙලන්බර්ග්ය. ජුනි මුලදී ඉතාලියේ ජර්මන් ආරක්ෂක සීමාව බිඳ දැමූ මිත්‍ර හමුදාවෝ උතුරු දෙසට ගමන් කලහ. පූජනීය රෝමය නිදහස් පුරවරයක් ලෙස ප්‍රකාශයට පත් කල හිට්ලර් ජර්මන් හමුදාවට ඉවත් වන ලෙස නියෝග කලේය. ඇමෙරිකානු හමුදා කිසිදු බධාවකින් තොරව නගරයට ඇතුළු විය. 05 වනදා සවස සිය නායකයා බැහැදැකීමට ආ බර්ග්ඩෝර්ෆ් බංගලාවට ආ ගොබ්ල්ස් දුටුවේ හිට්ලර් ඉතා සන්සුන් මනෝභවයකින් පසු වූ බවය. “බටහිර ආක්‍රමණය පරාද කරන්න අමාරු නැහැ. මුලින් ටිකක් කන් කෙදිරි ගෑවට රොමෙල්ටත් දැන් තේරිල බය උනේ නිකම් බොරුවට කියල. මොනව උනත් තව දවස් කීපෙකින් අපි ලන්ඩන් වලට ‘විස්මිත ආයුධෙන්’ පහර දෙනවා…” දෙදෙන කේක් කා තේ පානය කරන අතරතුර හිට්ලර් කීය. ඔහුගේ විස්මිත ආයුධය වූයේ ටොන් එකක යුද හිසක් සහිතව පියාසර කරන නියමුවකු රහිත ගුවන් යානයකි. එය වර්තමාන කෲස් මිසයිලයේ ආදි පියා ලෙස සැලකිය හැක. ඒ පිළිසඳර 06 දා අළුයම 2.00 පමණ වනතුරු අවසන් වූයේ නැත. හිට්ලර් තොරතෝන්චියක් නැතිව ඉතිහාසය, සිනමාව ආදී එකී නොකී දෑ සියල්ල ගැන තොරතෝංචියක් නැතිව දොඩවයි. ඊවා බ්‍රෝන් මෙනෙවියද එහි වූවාය. හිට්ලර් නින්දට ගියේ ගොබ්ල්ස් පිටත්ව ගොස තවත් පැකකට පමණ අනතුරුවයි. පාන්දර ජාමය වන තුරු අවදිව සිටීම ගැටවර සන්දියේ සිටම ඔහුගේ පුරුද්දකි. ඇල්ප්ස් කඳුකරයට මහ වැසි ඇද හැලෙද්දී ඊට සැතපුම් 750ක් බටහිරින් වූ නෝර්මැන්ඩියට තව පැය කිහිපයකින් මිත්‍ර හමුදා ගොඩ බැසීමට සූදානම් වන බව ඔහු නොදත්තේය…

(c) Chamara Siriwardene

හිට්ලර් නිදි සුව විඳින අතර මිත්‍ර ජාතීහූ නෝර්මැන්ඩියට ගොඩ බසිති (1944 ජුනි)

1944 ජුනි 06 දා හිමිදිරියේ මිත්‍ර හමුදා නෝර්මැන්ඩි වෙරලට ගොඩ බැස ඇති බවට පණිවුඩය බර්ග්හෝෆ් බංගලාවට ලැබෙන විට හිට්ලර් සිටියේ තද නින්දේය. සති කිහිපයක පටන් ආක්‍රමණය අපේක්ෂාවෙන් සිටියද, පළමු ගොඩබැසීම සතුරාගේ නොමඟ යැවීමක් විය හැකි යයි රුසියන් පෙරමුණේ බැටකා ලද අත්දැකීම් අනුසාරයෙන් ඔහු අනුමාන කරමින් සිටි බව දත් ඇජුටන්ට් වරු එකවර නායකතුමා ඇහැරවීමට මැලි වූහ. යහපත් ගුඩේරියන් අපමණ දුෂ්කරතා මැද සූදානම් කල නව පැන්සර් ඩිවිෂන 10ක්ම ඒ වන විටත් තිබුනේ පැරිසිය අසලය. එම සතිය තුල ආක්‍රමණය සිදු නොවනු ඇතැයි මහත් විශ්වසයෙන් පසුවූ ප්‍රදේශය භාර ආඥාපති රොමෙල් සිටියේ සිය පවුලේ සාමජිකයන් සමඟ නිවාඩුවක් ගත කරමිනි. අත් දැකීම් සහිත අණදෙන නිළධාරීන් එහි නොවූයෙන් රාජකීය නාවුක හමුදාවට පහර දිය හැකි දුරින් සටන් කල පෙරමුණු යුද ටැංකි ඒකක මුල් පැක කිහිපයේදීම බරපතල අලාභා හානි ලදහ. පළමු පැය කිහිපය තුල ජර්මන් අණදෙන ව්‍යුහයේ පැවති ව්‍යාකූ‍ලත්වයේ වාසිය ලද ඇමෙරිකානු බ්‍රිතාන්‍ය හා කැනේඩියානු සේනා විශාල ආයාසයකින් තොරව මුහුදු වෙරලේ ජර්මන් ආරක්ෂක වැටි බිඳිමින් ස්ථානගත වූවෝය. මිත්‍ර පාක්ෂික හමුදාව සතු ගුවන් යානා 7500 කට මුහුණ දීමට නෝර්මැන්ඩිය අවට තිබුනේ ජර්මන් ගුවන් යානා 80 කි. එහෙත් මෙය නොමඟ යැවිම් මෙහෙයුමකැයි තවමත් විශ්වාස කල හිට්ලර් ජර්මනියේ තිබූ සෙසු ගුවන් යානා පෙරමුණට යැවීමට පසුදා වන වනතුරුත් ගෝරින්ට අවසර නුදුන්නේය. ඒ වන විටත් ප්‍රමාද වැඩි වූයේ වෙරලාශ්‍රිත ජර්මන් ගුවන්පථ සතුරා විසින් විනාශ කොට තිබූ නිසාය. ගොඩ බැසීමකට ඉඩ නොතබා ආක්‍රමණිකයා මුහුදටම තල්ලු කොට දැමීම පිළිබඳ වූ සිහිනය වියැකිණ. තම ‘විස්මිත ආයුධය’ අත් හදා බැලීමට හිට්ලර් දැන් තීරණය කලේය. රාත්තල් එක්දහස් අටසියයක ස්ඵෝටක යුදහිසක් සහිතව නියමුවෙකු රහිත ගුවන්යානයක් වූයැහි ඉන්ධන සැතපුම් 150 ක් පියාසර කිරීමට ප්‍රමානවත් විය. ජුනි 15 දා ඕලන්තදයේ සිට එල්ල කල එල්ල කල මෙම ආදී ‘කෲස්’ මිසයිල 244ක් ලන්ඩනයට ඇද වැටීමෙන් මහත් ව්‍යසනයක් හටහත් බව සැබවි. එහෙත් එය ව්‍යාකුලත්වයක් බවට පත් නොවීය. මීලඟ නවමස තුල මෙම 'වී' බෝම්බ' දස දහසක් පමණ එල්ල කලද, අපේක්ෂා කල පරිදි මිත්‍ර ජාතීන්ගේ අධිෂ්ඨානය එමගින් බිද හෙලීමට හිට්ලර්ට නොහැකි විය. ජුනි 16 දා හිට්ලර් බටහිර පෙරමුණේ සංචාරයක නිරත වූයේ තත්වය සිතූ තරම් සතුටු දායක නුවූ බැවිනි. ජර්මන් අහසේ නිරතුරු සැරිසැරූ මිත්‍ර හමුදා බෝම්බ දැමීම් නිසා යුද සාකච්ඡාව පැවතුනේ කුඩා බිම් ගෙයක් තුලය. උපැස් යුවලක් පැලඳ කුඩා ස්ටූලයක් මත කුදු ගැසී වාඩි වී හුන් සුදුමැලි ව සිටි හිට්ලර් වටා ජනරාල් වරු තදබද වී සිට ගත්හ. බටහිර භාර ආඥාපති ජනරාල්ෆීල්ඩ්මාෂල් ජෙරාඩ් වොන් රන්ස්ටඩ් තත්වය වාර්තා කලේය. “දැන් නම් මිත්‍ර හමුදා ප්‍රංශ වෙරලෙන් අයින් කරන්න අමාරුයි වගේ නායක තුමා. ” “සම්පූර්ණ වැරැද්ද අණදෙන නිලධාරීන්ගෙ. සතුරු හමුදා වෙරලෙ ස්ථාන ගත වෙනකම් උඩ බලාගෙන හිටියද?” “මිත්‍ර පාක්ෂික ගුවන්බලය එක්ක හැරෙන්නවත් බෑ නායකතුමා” රොමෙල් ද කීය. “මේ යුද්දෙ තීරණය වෙන්නෙ ඒ එකකින්වත් නෙවෙයි, අපේ ‘වී’ බෝම්බ වලින්. තේරුනාද? අන්න අරහෙ එංගලන්තෙ දැනටමත් සාමය ගැන කතා වෙනවලු.” “අපිට ඔය අයුධයෙන් මිත්‍ර පාක්ෂිකයො ඉන්න වෙරළට ගහන්න බැරිද?” ජනරාල් වරයෙක් ඇසීය. එය කල නොහැකි බව පැවසුවේ බෝම්බ ප්‍රක්ෂේපණය භාරව සිටි ජනරාල් එරිච් හයින්මන්ය. ජර්මන් පෙරමුණට එතරම් ආසන්න ඉලක්ක වලට පහර දීමට තරම් ඒවායේ නිරවද්‍යතාව තාමත් ප්‍රමාණවත් නැත. දහවල් කෑමෙන් පසු පැවති පුද්ගලික සාකච්ඡාවේදී තත්වය බලාපොරොත්තු රහිත බව පවසා සිටි රොමෙල් දේශපාලන විසඳුමක් පිළිබඳ සලකා බලන මෙන් හිට්ලර්ගෙන් උදක්ම ඉල්ලා සිටියේය. පවතින තත්වය යටතේ බටහිර පෙරමුණ වැඩි කලක් අල්ලා සිටිය නොහැක. “ඒව ගැන මම බලාගන්නම්. තමුසෙට බාර දීල තියන රාජකාරිය හරියට කරනවා,” රොමෙල්ට සුද්ද ජර්මන් බසින් පිළිතුරු ලැබිණ. හිට්ලර් පෙරලා පැමිණියේ කේන්තියෙනි. “රොමෙල් ටත් පරාජිතවාදී විසබීජෙ ඔළුවට වැටිල වගේ. බාර දීපු කිසිම වැඩක් මිනිහ හරියට කරල නැහැ,” ඔහු ඇජුටන්ට් වරු සමඟ පැමිණිලි කලේය. මේ ටික දොහේ වැඩකටයුතු සිදු වූ විදිය ගොබ්ල්ස් ගේ ද හිතට එතරම් ඇල්ලුවේ නැත. ඔහු 21 දා බර්ග්හෝෆ් බංගලාවට පැමිණියේ හිට්ලර් සමඟ කතා කිරීමට බොහෝ දේ සිත්හි ඇතිවයි. හිට්ලර් හමුවීමට පෙර බටහිර පෙරමුණේ සංචාරය පිළිබඳව ද ඇජුටන්ට් වරු ඔහු දැනුවත් කලහ. ගොබ්ල්ස් නායකතුමාගේ අතිජාත හිතවතා බව ඔවුහු දනිති. ඉඳහිට කාන්තාවන් හා ඇති කොටගත් පැටලිල්ලක් දෙකක් සම්බන්ධව ඔහුගේ බිරිඳ විසින් කරන පැමිණිල්ලකදී හැරුන කොර අන් කිසිවිටෙක හිට්ලර් ඔහුට දොස් නොපවරයි. බර්ලිනයට දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල වූ බවට අසන්නට ලැබුනේ ඒ අතරතුරදීය. නගරයේ මැද කොටසට හා රජයේ ගොඩනැගිලි වලට සෑහෙන අලාභ වූ බව වාර්තාවල සඳහන් විය. ගොබ්ල්ස් තම නායකයා හමුවූයේ දහවල් කෑමෙන් පසුවය. දැවැන්ත ජනේලයෙන් එපිට මනරම් ඇල්ප්ස් කඳු වැටිය හිරු රැසින් බබලයි. “මේ විදියට වැඩි කලක් දුවන්න බෑ නායකතුමා. හැම තැනම මහ අවුලක්. සර්ව සුභවාදයෙන් ඔක්කොම විසඳන්න අමාරුයි. රට සමස්ත යුද සූදානමකට ගේන්න ඕන. මිනිස් බලය කලමණාකරණය කරල පුළුවන්තරම් සොල්දාදුවො යවන්න ඕන පෙරමුණට. මහ සෙනෙවි මණ්ඩලය නම් සම්පූර්ණයෙන් ප්‍රතිසංවිධානය කරන්න වේවි. කයිටල් ල මේ තත්වෙට හරියන්නෙ නැහැ. අන්න මේ දැනුත් බර්ලිනයට බෝම්බ දාලලු. ඒත් අපේ රයික් මාෂල් තුමාට නම් ඒ වයෙ වගක්වත් නෑ. දැන් උනත් හරියට බැළුවොත් ලක්ෂ 10ක් තව පෙරමුණට යවන්න පුළුවන්. හැබැයි මේව පරක්කු කරල බෑ නායකතුමා.” හිට්ලර් හමුවේ නිදහස් ලෙස අදහස් පල කිරිමේ වරප්‍රසාදය ඇති අතලොස්සකින් එක් අයෙකි අපේ මේ ගොබ්ල්ස්. එහෙත් ගැටළුව වූයේ හිට්ලර් උපදෙස් පිළිගත්තේ ඉතා කලාතුරකින් වීමය. “ඕව එකක්වත් මේවෙලාවෙ කරන්න පුළුවන් දේවල් නෙවෙයි. සෙනෙවි මණ්ඩලයෙ දුර්වලකම් තියනව තමයි. ඒත් මේ යුද්ධයක් අස්සෙ ප්‍රතිසංවිධානයක් කරන්න පුළුවන්ද? කෝ දාන්න අළුත් මිනිස්සු. මේ යුද්දෙන් හරි හමන් නිළධාරී පරම්පරාවක් බිහි වෙලා නෑ. මොනව උනත් කයිටල් හොඳ මනුස්සයා ..” හිට්ලර් සෙනෙවි මණ්ඩලය ආරක්ෂා කලේය. “හැබැයි ගුවන් හමුදාව නම් සම්පූර්ණයෙන් හදල ගන්න වෙනවා. ගෝරින්ගෙ වැඩ දැන් කමකට නෑ. රටේ මිනිස්සු තැලිල ඉන්න වෙලාවෙ සමස්ත යුද සූදානම වගේ සීමාන්තික පියවර ගැලපෙන්නෙ නෑ. ඒකට වෙලාවක් ඒවි. අන්න ඒ වෙලාවට මම තමුසෙට කතා කරල අවශ්ය බලතල දෙන්නම්. එතකන් ඉවසල ඉන්නවා…” ගොබ්ල්ස් අසන්තෝෂයෙන් යන්නට ගියේය. නායකතුමා කියන දෙයක් නොඅසයි. පසුදින සවස හිට්ලර් තවත් ජනරාල් වරු පිරිසක් ඇමතුවේය. “මතක තියාගන්න මේක ශක්තිවන්තයාට ජය අත්වෙන ජාතියේ පැවැත්ම පිළිබඳ සටනක්. යුදෙව්වො දැන් නෑ. ඒ නිසා 1918 වගේ අභ්‍යන්තර වියවුල් ඇති වෙන්නෙ නෑ. ආවත් ඒවටත් මම ලේස්තියි. කඩාකප්පල්කාරී ක්‍රියා වලට කවුරු හරි ලේස්ති උනොත් අලගිය මුලගිය තැන් වල ඉඳල සුද්ද කරනවා. මේ අළුත් ජර්මන් රාජ්‍යය කවදාවත් කිසිම සතුරෙකුට යටත් වෙන්නෙ නෑ…” හේ සහතික විය. අවිශ්වාසයේ හෝ සැකයේ අබමල් රේණුවක් හෝ ඔහුගෙන් පලවූයේ නැත. මිත්‍ර හමුදා බටහිර ඉදිරි ආරක්ෂක පෙරමුණ බිඳ දැමුවද සටන අතිශය වේදනා කාරී හා දුෂ්කර වූ හෙයින් ඔවුන්ගේ ඉදිරි ගමන සිදුවූයේ ඉතාමත් සෙමිනි. එහෙත් ඒ වන විය ඔවුහු මහාද්වීපයේ ස්ථාවර ලෙස ස්ථාන ගතවී සිටියහ. ටෙහෙරාන් සමුළුවේ දී බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන්ට් චර්චිල් විටින් විට කෝප ගන්වමින් විනෝදයක් ලැබූවද ජෝසොෆ් ස්ටාලින් තමා එහිදී දුන් පොරොන්දුව විහිළුවට ගත්තේ නැත. ඒ බටහිර සටනට 'උපකාරයක්' ලෙස පසුදින රුසියානුවෝ නැගෙනහිර පෙරමුණේ තම දැවැන්ත ගිම්හාන මෙහෙයුම ආරම්භ කල බැවිනි. (c) Chamara Siriwardene

කුරුස යුද්ධය හිට්ලර්ට පාරා වළල්ලක් වේ (1944 ජුනි 22- ජුලි 19)

රතු හමුදාව තම ගිම්හාන මෙහෙයුම ඇරඹීම සඳහා තෝරාගත්තේ ‘බාබරෝසා’ ක්‍රියාන්වුතයට තෙවසරක් පිරෙන 1944 ජුනි 22 දාය. එදිනට ප්‍රහාරයක් එල්ල වීමට ඉඩකඩ ඇති වග සාමාන්‍ය දැනීම ඔස්සේ හිට්ලර් දැන සිටියේය. එහෙත් සෝවියට් නව යුද කලාව තුල රතු හමුදාව හැඩ ගැසී තිබූ ‘මස්කිරොව්කා’ හෙවත් නොමඟ යැවීමේ උපාය නිසාද, ගුවන් බලය ගිලිහී ගොස් තිබූ නිසාද එහි පරිමාණය පිළිබඳ අදහසක් ඇති කොටගැනීමෙහි ලා ජර්මන් සෙනෙවි මණ්ඩලය අසමත් විය. රුමේනියාව හා හංගේරියාව ගැන අවධානයෙන් පසුවූ හිට්ලර් අතිරේක බල ඇණි අනුයුක්ත කොට තිබුනේ දකුණු දිග පෙරමුණය. එහෙත් රතු හමුදාවේ ඉලක්කය වූයේ තම පැරණි ‍ප්‍රතිවාදියා වූ ජර්මන් මධ්‍යම පෙරමුණේ කොටසක් මෙවර වටකොට විනාශ කොට තම ‘බෙලෝරුසියානු’ බැල්කනිය නිදහස් කොට ගැනීමය. කල් ඇතිව තොරතුරු දැන සිටියද ඉන් ඵලක් නොවන බව පෙනී ගියේ සැතපුම් 800 දිග පෙරමුණු හතරක් ඔස්සේ පෙල ගැසුන යුද ටැංකි 3800 ක් හා කාලතුවක්කු හා ‘කත්යූෂා’ රොකට් විදින 32,000 කට එරෙහිව කල හැකි වූදේ අතිශය සීමා සහිත වූ නිසාය. එය මධ්‍යම පෙරමුණ සතු ක්‍රියාකාරී වෙඩි හා යාන්ත්‍රික බලය මෙන් පස් ගුණයකි! ජර්මන් පෙරමුණ දැන් දැන් මුහුණ දෙන වඩාත් බිහිසුණු අත්දැකීම වූයේ එය නොව හිම්ලර්ගේ එස්. එස්. සංවිධානය රුසියාවේ සිදු කල භීම අපරාධ හේතුවෙන් සතුරා ඇති කොට ගෙන තිබූ ආකල්පමය එදිරිවාදී කමයි. ද්වේශයෙන් කැකෑරෙමින් සිටි රතු හමුදාව විසින් සිරභාරයට ගනු ලැබීමට වඩා මිය යාම යෙහෙකැයි සිතූ බොහෝ සෙබළු වූහ. වෘත්තියමය රුසියන් අණදෙන නිළධාරීන්ගේ පවා අනුගමනය කලේ සිය එක් වත්කමක් ආරක්ෂා කොට ගැනීම සඳහා සතුරු සෙබළුන් කෙතෙක් මියගියද කම් නැතය යන පිළිවෙතය. එය නෝර්මැන්ඩියේ වෙරලබඩ පෙදෙස් වල කෙරුන සාම්ප්‍රදායික ශීලාචාර සටන මෙන් නොව වචනයේ පරිසාමාප්ති අර්ථයෙන්ම පැවැත්ම පිළිබඳ අරගලයකි. නාසි වාදයේ මූලික න්‍යාය හිට්ලර්ට පාරා වලල්ලක්ම බවට පත් විය. ස්ථාන කිහිපයකින් පෙරමුණ සිදුරු වීම නිසා වඩාත් ආරක්ෂිත සීමාවකට පසු බැසීමට අවසර දෙන මෙන් මධ්‍යම පෙරමුණ භාර ආඥාපති අර්න්ස්ට් බුෂ්ච් ඇයැද සිටි‍යේය. “ආ..තමුසෙත් පෙරමුණට පස්ස හරවගෙන සටන් කරන ජනරාල් කෙනෙක්ද?” වැටලීමේ තර්ජනයට ලක්වූ ස්ථාන සියල්ල හිට්ලර් ‘බලකොටු-පුරවර’ ලෙස ප්‍රකාශයට පත් කලේය. බලකොටුවක වගකීම වැටලීමකට මුහුණ දීමයි. ඒවාට ගුවනින් සැපයුම් හෙලීමට ගෝරින්ට නොහැක්කේ මන්ද?. හිට්ලර් සුපුරුදු ලෙස චෝදනා කලේ අණදෙන නිළධාරීන්ටය. ජුනි 28 දා භක්තිමත් නාසි වාදියෙකු වූ බුෂ්ච් ද නිලයෙන් පහ කරන ලදී. ඒ වෙනුවට ‘හිට්ලර් ගේ වෙඩික්කාරයා’ ලෙස ප්‍රසිද්ධව සිටි අළුත උසස් කෙරුණ ජනරාල්ෆීල්ඩ්මාෂල් වෝල්ටර් මොඩ්ල් මධ්‍යම පෙරමුණේ ආඥාපති ලෙස පත් කෙරිණ. මේ වන විට තහවුරු වූ කරුණක් නම් ප්‍රහාරක ශිල්පයේ දස් කම් පෑ හිට්ලර් ආරක්ෂක යුද්ධයේ අදක්ෂයෙක් බවය. සෑම බිම් අඟලක්ම ආරක්ෂා කිරීමට ඔහුට ඕනෑ විය. තාවකාලික පසුබැසීම් තුලින් ප්‍රතිප්‍රහාර වලට ඉඩ සලසා ගැනීමේ සම්ප්‍රදායික යුද උපාය මෙතැනදී භාවිත කිරීමට ඇති ඉඩකඩ ඔහු නිරපරාදේ අහෝසි කලේය. . සන්නාහ සන්නද්ධ බලඇණි භාර ඉන්ස්පැක්ටර්-ජනරාල් තැන්පත් හයින්ස් ගුඩේරියන්ටද කල නොහැකි එක් දෙයක් වූයේ තමාගේ වැඩක් බලාගෙන සිටීමය. තත්වය බිහිසුණු බව දුටු හේ දිනක් උදේ රැයින්ම බර්ග්හෝෆ් බංගලාවට ගියේ කතා කිරීමට බොහෝ දෑ සිත්හි ඇතිවය. හිට්ලර් සමඟ උදෑසන හීල ගැනීමට කෙරුණ ඇරියුමද පිළි ගත්තේ ඔහු ඉත සිතිනි. සප්පායම් වන අතරතුර ආගිය තොරතුරු කතාවිය. නැගෙනහිර පෙරමුණ ස්ථාවර කිරීමට හොඳම පුද්ගලයා-ෆීල්ඩ්මාෂල් මොඩ්ල්-එහි යවනු ලැබ ඇතයි කියමින් හිට්ලර් බොහෝ බලාපොරොත්තු සහගත බවක් පෙන්වීය. “නරකද නායක තුමනි පැරණි දේශසීමාව හරහා ‘පෙරදිග පවුරක්’ ඉදි කරොත්? ජර්මනිය ආරක්ෂා කරන්න තියන හොඳම විදිය ඒකයි. ” “මේ අහනවා. බටහිර පවුර හැදුව කව්ද? අත්ලාන්තික් පවුර හැදුවෙ කවුද? තමුසෙද? ආරක්ෂක සීමා හදන්න මට උගන්නන්න එන්න එපා. දැනටත් පෙරමුණට උවමනා සැපයුම් ටික යවා ගන්න කෝච්චි පාරවල් මදි. එහෙව් එකේ නැගෙනගහිර පෙරමුණට ආරක්ෂක තාප්ප ගහන්න බඩු සපයන්නෙ යවන්නෙ අහවල් එකෙන්ද?” “එහෙම වෙන්නෙ නෑ නායක තුමා. ඔය කියන තදබදය තියෙන්නෙ බ්‍රෙෂ්ට්-ලිටොව්ස්කි දුම්රිය මංසන්ධියේ විතරයි. නමුත් පෝලන්තයෙ මිනිස් බලයයි ගොඩනැගිලි ද්‍රව්‍යයි දෙකම තියනවා ඕනතරම්.” “නෑ නෑ එහෙම කරන්න බෑ” අකමැත්තට සැබෑ හේතුව පෙරදිග පවුරක් තැනූ විගස තම අණදෙන නිළධාරීන් සියළු දෙනා වහා ඊට පසුබසිනු ඇතැයි යන සැකයයි. “මට තේරුම් ගන්න බැරි ලඟකදි ඉදන් කරන ඔක්කොම වරදින්නෙ ඇයි කියල. මෙතන මොකක් හරි තියනව.” “ඔබතුමාගෙ ඔය ක්‍රමය වෙනස් කරන්න.” ගුඩේරියන් කීය. එහෙත් හිට්ලර් බලාපොරොත්තු වූ පිළිතුර එය නොවේ. ඔහුට අනුව වරද ජනරාල් වරු අතය. ජුලි 01 වන දා බර්ග්හෝෆ් බංගලාවට පැමිණි හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ජනරාල් කර්ට් සයිට්ස්ලර් පසුබැසීමට අවසර ඉල්ලා සිටීමෙන් කෝපයට පත් හිට්ලර් ඔහු යුද සාකච්ඡාවෙන් දොට්ට දැමුවේය. සෙසු ජනරාල් වරු මුහුණින් මුහුන බලා ගත්හ. මහත් වේදනාවත් අපහාසයත් නිසා පස්සා දොරින්ම පිට වූ සයිට්ස්ලර් එදාම සවස ගිලන් වූයේ මානසිකව ඇද වැටීම නිසාය. දෙදිනකින් මින්ස්ක් නගරය රුසියානුවන් විසින් වටලනු ලැබූ අතර ජර්මන් හමුදාවට ඩිවිෂණ 25ක් අහිමි විය. වහා අතිරේක බල ඇණි පෙරමුණට සූදානම් කරන්නැයි හිට්ලර් සංචිත හමුදාවේ අණදෙන නිළධාරී කල්නල්-ජනරාක් ෆ්රියිඩ්රිච් ෆෝම් ට නියම කලේ එහෙයිනි. රුසියන් ඉදිරි ගමන වැලැක්විය නොහැකි හෙයින් එස්ටෝනියාවෙන් හා උතුරු ලැට්වියාවෙන් හමුදා ඉවත් කොටගැනීම හැර අන්විකල්පයක් නොමැති බව ‘හිට්ලර්ගේ වෙඩික්කාරයා’ වූ මොඩ්ල් ටද වැටහේ. 12 වෙනිදා මෙ පිළිබඳ කතා කිරීමට ගොස් ඔහුද සිදුවූයේ බැනුම් ඇසීමටය. පසුවදා රතු හමුදාව ලිතුවේනියාවට ඇතුළු විය. එහෙත් හිට්ලර් නොවේ අඩියක් හෝ පස්සට ගැනීමට සූදානම් වූයේ. ජර්මන් ජාතිය ඉතිහාසයේ පරීක්ෂණය අසමත් වන්නේ නම් ඔවුන් විනාශවී යාම යෙහෙකැයි ඔහු ජනරාල් වරුන්ගේ මුහුණටම කීය. විශිෂ්ඨයෝ සටනේදී ඇද වැටුන පසු ඉතිරි වන්නේ කමකට නැතිවුන්ය. බැනුම් අසා මානසිකව ඇද වැටුන සයිට්ස්ලර් තවමත් ලෙඩ ඇඳේ සිටි හෙයින් ජුලි 14 වෙනිදා හිට්ලර් ‘වෘක ලෙන’ බලා පියසර කලේ නැගෙනහිර පෙරමුණේ කටයුතු ගැන සොයා බැලීමටය. සිදුවිය යුතු පරිද්දෙන්ම තත්වය ඉතා අයහපත් ය. රුසියානුවෝ සැතපුම් 100ක් පලල පෙරමුනක් ඔස්සේ සැතපුම් 200ක් ඉදිරියට පැමිණියෝය. ඔවුන්ගේ ඉලක්කය වූයේ බෝල්ටික් කලාපය හා පෝලන්තයයි. ජුලි 17 දා බටහිර පෙරමුණේ ආරක්ෂක විධි විධාන පරීක්ෂා කොට පැමිණෙමින් සිටි රොමෙල් ගේ මෝටර් රථය අනතුරට ලක් විය. හිසට බරපතල තුවාල සිදුවූ ඔහු රෝහල් ගත කරන ලදී. ගුවනට නොපෙනෙන අන්දමට ‘වෘක ලෙන’ මුළුමනින්ම ඝන කැලයෙන් ආවර්ණය වී ඇති හෙයින් ඒ ග්‍රීෂ්ම ජුලි මාසයේ හිට්ලර් වැඩි වශයෙන්ම යුද සාකච්ඡා පැවැත්වූයේ කොන්ක්‍රීට් බංකර තුල නොව ස්පීර් විසින් ඉදි කරවූ ගිම්හාන පැල තුලය. ආරක්ෂක විධිවිධාන කෙතෙක් දැඩි වීද යත් එහි නායකතුමාගේ නැගෙනහිර මූලස්ථානය තිබූ බව දත්තේද අතලොස්සකි. එහෙත් අරුමය වූයේ දින හයකට පසු එහි බෝම්බයක් පුපුරවා හිට්ලර් මරා දැමීමට තැත් කරන ලද්දේ සතුරන් විසින් නොව යුද්ධයේ අවසානයක් දැකීමට රිසි වූ ජර්මන් හමුදාවේම නිළධාරින් පිරිසක් විසින් වීමයි. රෝහල් ගත කොට සිටි රොමෙල් ඒ ඝාතන ප්‍රයත්නය පිළිබඳ දැන සිටියේය!

(c) Chamara Siriwardene

හිට්ලර් ඝාතනය කිරීමට ජනරාල්වරු තැත් කරති (1944 ජුලි 20)

පලමු ලෝක යුද්ධයේ සොල්දාදුවෙකු වූ හිට්ලර් මෑතක් වනතුරුම තමා එකල ඉතා කැපවීමෙන් යුතුව සේවය කල ජර්මන් හමුදාවේ භක්තිමත් රසිකයකු විය. 1924 ‘මගේ සටන’ කෘතිය රචනා කරමින් පවා ඔහු සෙනෙවි මණ්ඩලය (General Staff) ආවර්ජනා කලේ ‘එතෙක් මෙතෙක් ලොව දුටු බලවත්ම සංවිධානය’ හැටියටය. එහෙත් 1933 බලයට පත්වී නොබෝ කලෙකින් ඔහු පිළිකුලෙන් යුතුව වටහා ගත්තේ එය තමා අපේක්ෂා කල අන්දමේ බලගතු සංවිධානයක් නොවන බවයි. 1918 පරාජය හා වර්සෙල්ස් හි ලද අවමානය නිසා අධෛර්යමත්ව සිටි උඩඟු ප්‍රසියන් ජනරාල් වරු පලමු ලෝක යුද්ධයේ සෙනෙවි මණ්ඩලයට වඩා බොහෝ පසුගාමී බව හේ දිටීය. රටේ වරප්‍රසාදලත් ස්වාධීන ආයතනයක් වූ හමුදාවට කවදත් තමාගේම වූ පිළිවෙතක් තිබිණ. පළමු ලෝක යුද්ධයේදී කයිසාර් අධිරාජයාගේ ප්‍රතිපත්ති මෙහෙයවන ලද්දේ යම් සේද, ඒ අයුරින්ම නායකතුමාද හැසිරවීමට ඔවුහු අපේක්ෂා කල බවට සැක නැත. හිට්ලර් මේ සියල්ල ඉවසා සිටියේ ඒකාධිපති බලතල සියතට ගන්නා තුරු පමණි. අනතුරුව ඔහු හමුදාව ප්‍රතිසංවිධානය කිරීමේ අවසරයෙන් එහි කටයුතුද සියතට ගත්තේය. හමුදාවේ දේශපාලන අධිකාරිය වූ යුද ඇමති ධුරය අහෝසි කොට ඒ වෙනුවට හමුදාව වෙනුවෙන් තමාට වගකියන මෙහෙයුම් කමිටුවක් ලෙස මහ සෙනෙවි මණ්ඩලය (Oberkommando der Wehrmacht – OKW) පිහිටුවීය. සම ලිංගික චෝදනාවක් මත එවකට හමුදාපති ප්‍රිට්ෂ් තනතුරෙන් පහ කෙරිණ. 1938 චෙකොස්ලෝවැකියානු අක්‍රමණයට එරෙහි වූ මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ලුඩ්විග් බෙක්ට සිය තනතුරින් ඉල්ලා අස් වීමට සිදුවිය. එහෙත් ජර්මනියේ අභිමානයට පහරක් වූ වර්සෙල්ස් ගිවිසුම බිඳ හෙලීමෙන්ද, රාජාණ්ඩු දේශ සීමා පවා ඉක්මවමින් ජර්මනිය 1940 වන විට මහද්වීපික බලවතා බවට පත් කිරීමෙන් ද හිට්ලර් පෑ 'යුරෝපයේ ආශ්චර්යය' හේතුවෙන් සෙනෙවි මණ්ඩලය ඔහු කෙරේ විශාල ගෞරවයක් පවා ඇති කොටගත්තේය. නාසි පාලනය කෙරේ අසතුටින් පසුවූ ජනරාල් වරු පවා ඔවුනොවුන් අතර රහසේ එකඟ වූ එක් කරුණක් වූයේ හිට්ලර්ගේ නායකත්වයෙන් තොර විකල්පයක් ජර්මනිය හමුවේ නොමැති බවයි. බෙක් ප්‍රමුඛ විරුද්ධ මත ධාරීහූ අතලොස්ස එහෙයින් තාවකාලිකව නිහඬ වූහ. එහෙත් 1941 නැගෙනහිර ක්‍රියාන්විතය ආරම්භවීමත් සමඟ මේ තත්වය වෙනස් විය. ප්‍රංශය හා පෝලන්තය අත්පත් කොටගැනීමෙහිලා සතුටු වූ ජනරාල් වරු රුසියන් යුද්ධයට අකැමැති වූහ. රුසියාව වනාහී සෙනෙවි මණ්ඩලය තුල බලවත් ‘ජුන්කර්’ හෙවත් නැගෙනහිර ප්‍රසියන් ඉඩම් හිමි ‍ප්‍රභූ පැලැන්තියේ සාම්ප්‍රදායික මිතුරාය. දෘෂ්ඨිමය වශයෙන් ජුන්කර් පන්තිය පිළිකුල් කල සෝවියට් වරු පවා දෙපාර්ශ්වය අතර තිබූ ඓතිහාසික බැඳීම් කඩා බිඳ දැමුවේ නැති. වර්සෙල්ස් ගිවිසුම මඟින් නිරායුධ කොට අවමානය ලක් කරනු ලැබූ පරාජිත ජර්මනියට සෝවියට් සංගමය කළණ මිතුරෙකු ලෙස පිහිට නොවන්නට එකල ජර්මනියට හොර රහසේ කුඩා ‘සෙවනැලි හමුදාවක්’ හෝ පවත්වාගෙන යාමට නොහැකි වීමට ඉඩ තිබිණ. (2015 දී ක්‍රිමියානු අර්බුදය අවස්ථාවේ පවා යුරෝපා සංගම් කොමසාරිස් ජේන්-ක්ලෝඩ් ජන්කර් පැවසුවේ රුසියාව සමඟ ඇති තම සබඳතා තීරණය කිරීමට වොෂින්ටනයට ඉඩදිය නොහැකි බවය) අනිත් අතට රුසියන් යුද්ධය ඔවුන්ගේ ශිල්පීය ඥානයට ගෝචර වූයේ ද නැත. බටහිර යුරෝපයේ බූට් සපත්තු වලට ආගන්තුක තුන්ද්‍රා තත්වයන් යටතේ කෙරෙන සටනකට මෑත කාලීන හොඳම උදාහරණය වූයේ නැපෝලියන් බොනපාට්ය. නොදුටූ විරූ රුසියන් සිසිරය ඔහුගේ ‘මහා සේනාව’ (Grand Armee) විනාශ කල අතර අසුපිට නැගී පලා ඒමට නැපෝලියන්ට සිදු විය. ජනරාල්වරුන්ගේ දේශපාලන හැඟීම් නොතැකූ හිට්ලර් ඔවුන් නොදන්නා වලස් දඩයමක යෙදවූවා පමණක් නොව සිතූ පරිදිම වලසා හැරී පහර දෙන අතරතුර තමා දත් ආත්මාරක්ෂක ශිල්ප හෝ භාවිත කිරීමෙන්ද ඔවුන් වැලැක්වීය. 6 වන ජර්මන් හමුදාව වොල්ගා ඉවුරු අතර විනාශ වෙද්දී ‘නම්බුව පිළිබඳ ගැටළුව’ මත පසු බැසීමට අවසර නුදුන් හේ සටනින් ජය ලැබිය නොහැකි නම් ඔවුන් පුරාණ රණ කාමීන් ලෙස යුද බිමේ ඇද වැටෙනු දැකීමට අපේක්ෂා කලේය. එය ජර්මන් ජාතියේ වීරෝදාර බව පෙන්වන සටනක් ලෙස ඉතිහාසයේ ලියවෙනු දැකීම ඔහුගේ ආශාව විය. ‘ගෞරවනීය මරණය’ ජර්මන් හමුදාව තුලද ජනප්‍රිය සංකල්පයක්වූ මුත් තේරුමක් නැති ජීවිත විනාශය ඔවුනට නොරිසිය. ආරම්භක ජයග්‍රහණ කටුක පරාජයන් බවට පත් වෙද්දී හිට්ලර් තවදුරටත් බලයේ රැදී සීටීමෙන් ජර්මනියට යහපතක් නොවේය අප්‍රකාශිත අදහස බොහෝ ජනරාල්වරු තුල කෙමෙන් වර්ධනය වුවද ක්‍රියාත්මක වීමට තරම් ධෛර්යයක් ඇතවුන් සිටියේ අතලොස්සකි. ඔවුන්ගේ නඩේගුරා වූයේ හිටපු මාන්ඩලීය නිළධාරී ලුඩ්විග් බෙක්ය. කුමන්ත්‍රණකරුවන්ගේ ගේ මුල් අදහස වූයේ හිට්ලර් ජීවග්‍රහයෙන් සිරභාරයට ගෙන අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීමයි. එහෙත් එස්. එස්. සංවිධානයේ බලපෑම එවැන්නකට ඇති ඉඩ කඩ ඇහිරීය. ඊලඟ විකල්පය වූයේ ආඥාදායකයා ඝාතනය කිරිම වුව ඒ සඳහා පැහැදිලි වැඩපිළිවලක් ඔවුනට තිබුනේ නැත. බෙක් තම සගයා වූ හෙනින් වොන් ට්‍රෙස්කොව් නම් තවත් හමුදා නිළදාරියෙකු සමඟ එක්වී සමඟ කලින් වතාවක් හිට්ලර්ට වෙඩිතැබීමට සැලසුම් කලද එය සාර්ථක වූයේ නැත. එස්. එස්. භටයන් විසින් විසිහතර පැයේ ආරක්ෂා කරන හිට්ලර්ට කිට්ටු වීම ලෙහෙසි පසු කාර්යයක් නොවීය. අවසානයේ නායකතුමාගේ මූලස්ථානයට සිය ලියකියවිලි බෑගයේ බාහා කාලබෝම්බයක් ගෙනයාමට ඉදිඉපපත් වූයේ රහසිගත කවයේ ක්‍රියාකාරියෙකු හා තරුණ කල්නල් වරයකු වූ ග්‍රාෆ් වොන් ස්ටෝෆන්බර්ග් සිටුවරයාය. අප්‍රිකාවේ සටන් වලින් දකුණත වමැස හා වමතේ ඇඟිලි දෙකක් අහිමිව සිටි ඔහු සංචිත හමුදාවේ (Reserve Army) මණ්ඩලික ප්‍රධානියා ලෙස මෑතක පත්වීම් ලැබ සංඛ්යාලේඛණ සහිතව නිතර දෙවේලේ මේ දිනවල ‘වෘක ලෙනේ’ පැවැත්වෙන යුද සාකච්ඡා සඳහා කැදවනු ලැබූවේ පෙරමුණට අතිරේක භට පිරිස් නිතර ඇවැසි වූ නිසාය. වෘක ලෙන තුල දැඩි ආරක්ෂක විධි විධාන තිබුනද සාකච්ඡා සඳහා කැඳවන යුද නිළධාරීන් පරීක්ෂාවට ලක් කෙරුනේ නැත. හිට්ලර් මරා දැමීමෙන් අනතුරුව බර්ලිනයේ බලය අත්පත් කොට ගැනීම හා ගොබ්ල්ස් අත් අඩංගුවට ගැනීම සංචිත හමුදාවේ අණදෙන නිළධාරී ෆ්‍රයිඩ්‍රිච් ෆෝම් ට භාර කෙරිණ. හේ වැට උඩ සිටි කුමන්ත්‍රණකරුවෙකි. ජුලි 20 දා ස්ටෝෆන්බර්ග් ‘වෘක ලෙනට’ පැණියේ තම ලියවිලි බෑගය (Briefcase) තුල අසුරන ලද කාල බෝම්බයක්ද සමඟය. දහවල යුද සාකච්ඡාව ඇරඹිණ. හිට්ලර් සිය අසුනට පැමිණියේය. බෝම්බය ක්‍රියාත්මක කොට මේස කකුලකට හේත්තු කල ස්ටොෆන්බර්ග් ඇසිල්ලකින් කාමරයෙන් එලියට පැන ගත්තේ කිසියම් හේතුවක් දක්මිනි. පිටත අංගනය හරහා මාරු වෙද්දී ඔහුට පිපිරුම් හඬ ඇසින. ඒ ගැන සොයා බැලීමට සුනංගු නොවූ හේ තම අහස් යානයට නැගී කෙලින්ම බර්ලින් නුවර බලා පියාසර කලේ හිට්ලර් මිය යන්නට ඇතැයි මහත් විශ්වාසයෙනි. බර්ලිනයේ බලය අත්පත් කොට ගැනීම හා නව රජය පිහිටුවීම ඇතුළු කලයුතු වැඩ කටයුතු රාශියක් විය. අනතුරුව කුමන්තරණ කරුවෝ සතුරන්ගෙන් සාමය ඉල්ලා සිටීමට සැලසුම් කලහ. එහෙත් දෛවය නැවත හරස් විය. හිට්ලර් දිවි ගලවා ගත්තේ කෙසේදැයි අදටත් පැහැදිලි නැත. එක්කෝ ඔහු කල් ඇතිව හුන් තැනින් ඉවත් වන්නට ඇත. නොඑසේ නම් මේසයේ අසාමාන්ය හැඩය විසින් පිපිරීම ඔහු කෙරෙන් ඉවතට යොමුකලා විය හැක. පිපිරීමෙන් හටගත් ව්‍යාකූලත්වය හා දුමාරය තුනී වෙද්දී කුමන්ත්‍රණය අසාර්ථක වූ බව පැහැදිලි විය. කන්බෙර සිදුරු වී, දකුණත තැලී සීරී, නිළ ඇඳුම ඉරී වරැහැලි වූ හිට්ලර් මහ සෙනෙවි මණ්ඩලයේ ප්‍රධානී ජනරාල්ෆීල්ඩ්මාෂල් කයිටල් හේ විශ්වාසදායක දෑත් මත මුර්ඡා වී ඇද වැටුනේය. අවට හුන් සිවු දෙනෙක් මැරී වැටී හෝ මාරක තුවාල ලබා පණ අදිමින් සිටියදී ඔහු තවදුරටත් ජීවත් විය. යම්හෙයකින් සාකච්ඡාව සුපුරුදු කොන්ක්‍රීට් බංකරය තුල පැවත්වී නම් ඊට සහභාගී වූවන් කිසිවෙකු දිවි ගලවා නොගැනීමට ඉඩ තිබුණද දැඩි ග්‍රීෂ්මය හේතුවෙන් තමා ප්‍රිය කල ගිම්හාන මඩුව ඒ සඳහා යොදාගැනීමට හිට්ලර්ට එදින සිත් විය.

(c) Chamara Siriwardene

හිට්ලර් කුමන්ත්‍රණය මැඩපවත්වයි (1944 ජුලි 20)

බෝම්බය පුපුරා ගිය සැනින් ආරක්ෂකයෝ වහා දිව ආහ. කයිටල් විසින් වත්තම් කොටගෙන ඉමහත් භක්තියෙන් ඉවතට ගෙනයනු ලැබූ නායක තුමාට කන් බෙර සිදුරු වීම හැරුන කොට සිදුවී තිබුනේ සුළු සීරීම් තුවාල කිහිපයක් පමණකි. හිට්ලර් මුලින්ම ඉල්ලා සිටියේ දුරකථනයයි. “ගෝරින් මෙහෙ එනවා, මහ විපතක් වෙලා,” ඔහු රිසිවරයට මොර දුන්නේය. සන්සුන් සිතැති රයික් මාෂල් වරයා මේ අවස්ථාවේ ලඟ සිටිය යුතු පුද්ගලයෙකි. එදින ගෝරින් ‘වෘකලෙන’ ආසන්නයේ වූ තම මූලස්ථානයට පැමිණ සිටියේ දැන් ඉතාලියේ හිට්ලර්ගේ රූකඩ පාලකයා වූ මුසෝලිනි හිට්ලර් බැහැ දැකීමට එදින සවස එහි ලඟා වීමට නියමිතව තිබුණ බැවිණි. යූරල් කඳු වලට ඔබ්බෙන් රුසියානු බලාගාර විනාශ කිරීමට නොහැකිවීම ගැන උසස් ගුවන් හමුදා නිළධාරීන් කැඳවා බැන වදිමින් සිටි ඔහු දහවල් යුද සාකච්ඡාවට පැමිණියේ නැත. සිද්ධිය ඇසූ හිම්ලර් එකෙනෙහිම එස්. එස්. රහස් පරීක්ෂක කණ්ඩායමක් වෘක ලෙනට පිටත් කර එවීය. ඒ වනවිටත් ස්ටෝෆන්බර්ග් කෙරේ කිසිවෙකුගේ අවධානය යොමුවී නොතිබුනේය. ඒ අතර බර්ලිනයේ සෙනෙවි මණ්ඩල කාර්යාලයේ රැස්ව සිටි කුමන්ත්‍රණකරුවන්ට මූලස්ථානයේ ඔවුන්ගේ හිතවතෙකුගෙන් හිට්ලර් මියගොස් නැති බවට දුරකථන පණිවුඩයක් ලැබි තිබිණ. එහෙත් අනතුරුව බර්ලිනයට ලඟාවූ ස්ටෝෆන්බර්ග් ගුවන් තොටුපලේ සිට කාර්යාලයට දුර ඇමතුමක් ගෙන මහත් විශ්වාසයෙන් යුතුව තහවුරු කොට සිටියේ පිපිරීම තමා සියැසින් දුටු බවත් සියළු දෙනා ඉන් නිසැකවම මිය යන්නට ඇති බවත් ය. මනා සම්බන්ධීකරණක් හා සන්නිවේදනයක් නොතිබීම සැලැස්මේ වූ ප්‍රධානතම දුර්වලතාවය විය. ස්ටෝෆන්බර්ග් ගේ උපකල්පිත තහවුරුව මත නැංවුන සැලැස්මේ ඊලඟ පියවර වූයේ නගරයේ සන්නිවේදන හා යටිතල පහසුකම් සියතට ගැනීම නොව ප්රුචාරක ඇමති ගොබ්ල්ස් අත්ඩංගුවට ගැනීමයි. එය භාර වූයේ සිදු වන්නේ කුමක්දැයි හාංකවිසියක් නොදත් ඔටෝ-අර්න්ස්ට් රෙමර් නම් හමුදා මේජර්වරයාටය. මේ අතර ඉතාලි දූත පිරිස රැගත් විශේෂ දුම්රිය රස්ටන්බර්ග් කරා ලඟා වූයේ එදිනම සවස් වරුවේය. මුසෝලිනි පිලිගැනීම සඳහා කර්දාසියක් මෙන් සුදුමැලිව සිටි හිට්ලර් සමඟ ගෝරින්ද, විදේශ ඇමති ජෝකිම් වොන් රිබන්ට්‍රොප් හා නාවුක හමුදාපති මහා-අද්මිරාල් (Grand-Admiral) කාර්ල් ඩොනියෙට්ස් ද වේදිකාවේ වූහ. පිරිස දුම්රිය පොලෙන් නික්ම යද්දී මීට පැය කිහිපයකට පෙර තමා හාස්කමකින් මෙන් දිවි ගලවාගත් අන්දම පුළුන් කැබලි ගසා දෙකන් ආවරණය කොටගෙන සිටි හිට්ලර් සිය මිතුරාට විස්තර කළේය. ‘වෘක ලෙනට’ ලඟාවීමෙන් අනතුරුව හේ අමුත්තන්ට සිද්ධිය වූ ස්ථානය දැක බලා ගැනීමට සැලැස්විය. පිපිරීමෙන් පසු බිත්ති වලට ගිනි ඈවිලී සිවිලිම ඇද වැටී තිබුන හෙයින් ශාලාව ඒ වන විටත් එකම සුන්බුන් ගොඩකි. ඇද වැටුන දැව කඳන් තවමත් දුම් රොටු නඟයි. මඳ වේලාවක් ඒ මේ අත සැරිසැරූ ඔවුන් අනතුරුව නික්ම ගියේ තේ පානය සඳහාය. සවස 5.00 ට පමණ තේ පැන් සංග්‍රහය ආරම්භ විය. මුසෝලිනි තමා පැමිණි මූලික කරුණ වූ ජර්මන් සිර භාරයේ සිටි ඉතාලි සෙබළුන් යලි සේවයේ යෙදවීම පිළිබඳ ගැටළුව සාකච්ඡා කරන අතරතුර සෙසු නාසි නායකයන්ගේ සංවාදයේ මතෘකාව වූයේ නායකතුමා පිපිරීමෙන් දිවි ගලවා ගැනීමේ හාස්කමයි. නමුත් එය අන්‍යොන්‍ය දෝෂාරෝපණයෙන් පිරි ඝෝෂාවක් බවට පත් වීමට වැඩි වේලා ගත්වුනේ නැත. ඇමතිවරු හා හමුදා නිළධාරීන් අතර උණුසුම් වාද විවාද ඇති විය. යුද්ධය තවමත් ජයගෙන නොතිබීම පිලිබඳ සියල්ලෝ එකිනෙකාට චෝදනා එල්ල කොට ගත්හ. ජර්මනිය එංගලන්තයට පාවා දී ඇතැයි කියමින් විදේශ ඇමති රිබන්ට්‍රොප් හා නාවුක හමුදාපති කාර්ල් ඩොනියෙට්ස් ජනරාල් වරුන්ට චෝදනා කල අතර හමුදා නිළධාරීහූද සිය පක්ෂපාතීත්වය පලකරමින් බෙරිහන් දුන්හ. මේ මුළු කාලය තුලම හිට්ලර් හා මුසොලිනි දර්ශනය දෙස ප්‍රේක්ෂකයන් සේ නිහඬව බලා සිටියා මිස වචනයකුදු තෙපලූවේ නැති. වාතවරණයේ හරගත් ආතතිය සමනය කිරීමට මෙන් දෝ මුසෝලිනි ගේ ආරක්ෂක ඇමති වරයා වූ මාෂල් රොඩොල්ෆෝ ග්‍රැසියානි තම අප්‍රිකානු වික්‍රමයන් පිලිබඳ කතාන්දර කීවේය. නාසි ඉතිහාසයේ මීට පෙර හටගත් කුමන්ත්‍රණය වූ ‘රොම් ගේ කැරැල්ල’ පිළිබඳ කිසිවෙක් සඳහන් කලේ මේ අතරතුරයි. එක්වරම හිට්ලර් වියරුවෙන් මෙන් නැගී සිටියේය. ඔහුගේ තොල් දෙපසින් කෙල වැගිරිණ. සියලු ද්‍රෝ‍හීන්ගෙන් පළිගන්නා බව ශපථ කරමින් හේ මොර දුන්නේය. තමා ලෝක ඉතිහාසය වෙනස් කිරීම සඳහා තෝරාගෙන ලැබ ඇති බව දෛවය විසින් නැවත වතාවක් පෙන්වා දී ඇත! අනතුරුව කුමන්ත්‍රණ කරුවන්ගේ පවුල් වලට පමුණුවන බිහිසුනු දඬුවම් පිලිබඳ නන්දෙඩවීය. සියළුදෙනා වධ කඳවුරු වලට යැවෙනු ඇත; ඇසකට ඇසක්ය, දතකට දතක්ය. උත්තරීතර දෛවයට එරෙහිව වූ කිසිවෙකුටත් සමාවක් නැත! පුරා පැය භාගයක් නායකතුමා කෝපයෙන් ගුගුරද්දී රාජ සභාව මීයට පිම්බාක් මෙන් නිහඬය; ඔහු ගේ සිහි විකල්ව ඇතැයි අමුත්තෝ සිතූහ. අපහසුතාවට පත් මුසෝලිනි කිසිවක්ම කීවේ නැත; කයිටල් සමග තක්ෂණික සාකච්ඡාවකට මුල පුරමින් වාතාවරණය බිඳ දැමීම සඳහා ග්‍රැසියානි මාෂල් තැන තවදුරටත් තැත්කරන අතර තුර සුදෝ සුදු වස්ත්‍රයෙන් සැරසුන සේවකයෝ අමුත්තන් ඉදිරියේ වූ කෝප්ප වලට දුම් දමන පෝච්චි වලින් නොකඩවා තේ වතුර වත් කලහ. ගොබ්ල්ස සිර භාරයට ගැනීම සඳහා යැවුන මේජර් ඔටෝ-අර්න්ස්ට් රෙමර්ට නව පරපුරේ භක්තිමත් තරුණ නාසිවාදියෙකි. ඔහුට කුමන්ත්‍රණකරුවන් පැවසුවේ නායකතුමා නැගෙනහිර මූලස්ථානයේ බෝම්බ පිපිරීමකින් ඝාතනය කොට ඇති බවත්, හිම්ලර් ප්‍රමුඛ එස්. එස්. සංවිධානය බලය අත්පත් කොට ගැනීමට තැත් කරන බවත්ය. එමපණකින් සිය රාජකාරියේ භාරධූර බව ඒත්තුගත් ඔහු සිය බැටෑලියනය සමඟ ප්‍රචාරක අමාත්යාං ශය වටලන විට බර්ලිනයේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවන බව හිට්ලර් විසින් ගොබ්ල්ස්ට අනතුරු අඟවා තිබිණ. සන්නද්ධකරණ ඇමති ආ හිට්ලර්ගේ නිර්මාන ශිල්පී ඇල්බර්ට් ස්පීර් ද එහි සිටියේය. සිදු වීමට යන දේ වටහාගත් ගොබ්ල්ස් (ස්පීර් කියන පරිදි) කළබල නොවීය. සිය කෝට් සාක්කුවට පොටෑසියම් සයනයිඩ් සහිත වීදුරු කරල් කිහිපයක් හා පිස්තෝලයක් රුවා ගත් හේ භට කන්ඩායමේ නායකයා වූ රෙමර් තමා හමුවට කැඳවීය. විනයගරුක නිළධාරියෙකු වූ රෙමර් තමාට ලැබී ඇති නියෝගය පිළිබඳ ගොබ්ල්ස් දැනුවත් කලේ ආචාරශීලී ලෙසය. “කණගාටුයි ඇමතිතුමා. මට ඉහල නිළධාරීන්ගේ අණ ක්‍රියාත්මක කරන්න වෙනවා.” “කොහොමද එහෙම කරන්නේ? ඒක නීති විරෝධී වැඩක්. තමුසෙ පක්ෂපාතීත්වය දිවුරල තියෙන්නෙ නායකතුමාට. මේක හමුදාවෙ ජනරාල්ල කීපදෙනෙක්ගෙ කුමන්ත්‍රණයක්.” ගොබ්ල්ස් නොසැළුනා පමණක් නොව සිය අධිකාරිය නොසඟවා පළ කලේ තමා අත්ඩංගුවට ගැනීමට ඇති හැකියාව ‘දුරස්ථ සම්භාවිතාවක්’ මිස ‘ආසන්න තර්ජනයක්’ ලෙස තමා නොසලකන බව රෙමර්ට නොවළහා ඒත්තු ගන්වමිනි. ඉන් මෙතෙක් රෙමර් තුල වූ ආත්ම විශ්වාසය දෙදරා ගිය අතර තමා ලද නියෝගය පිළිබඳ කිසියම් සැකයක සේයාවක්ද ඔහු තුල ඇතිවිය. “ටිකක් කල්පනා කරනවා. තමුසෙ මේජර් කෙනෙක්. නිකම් ශිෂ්‍යභටයෙක් නෙවෙයි. නායකතුමා ජාතික සමාජවාදියෙක්ගෙන් බලාපොරොත්තුවෙන්නෙ ඕකද?” “නමුත් නායකතුමා දැන් ජීවතුන් අතර නැහැ, ඇමතිතුමා. ඔබ නොදන්නවා වෙන්න බැහැ.” ගොබ්ල්ස්ට එතැනදී පොට අහුවිය. “තමුසෙ දන්න කෙහෙල් මල. මොනවද මේ දොඩවන්නෙ? ඉන්නව මම පෙන්නන්න තමුසෙට.” එකෙනෙහිම ඔහු වෘක ලෙනට ඇමතුමක් ගෙන හිට්ලර්ට සිද්ධිය විස්තර කොට රිසිවරය රෙමර් අතට දුන්නේය. “ඔන්න කතා කරනවා තමුසෙට සැක නම්…” කම්බිය හරහා ගලා ආ නොවරදින සුළු ගෝරනාඩුව ඇසූ සැනින් රෙමර් සීරුවට පැමිණියේ අඩිය වැරෙන් පොලොවේ හප්පමිනි. “එහෙමයි, මගේ නායක තුමනි!” . වහාම කුමන්ත්‍රණය මැඩලා සියළු ද්‍රෝහීන් තාරාතිරම නොබලා සිර භාරයට ගන්න ලෙස හිට්ලර් මේජර් වරයාට නියෝග කළේය. ඔහු මෙතැන් සිට නියෝග ලබා ගත යුත්තේ ගොබෙල්ස් හා හිම්ලර්ගෙන් පමණි. රෙමර් එතැනදීම කල්නල් පදවිය උසස් කරන ලදී. රිසිවරය තැබූ හිට්ලර් ගිගුරුවේය. “මගේ උසස් පරමාදර්ශ සඳහා ජර්මන් ජනතාව සෑහෙනවද කියලත් මට දැන් වෙලාවකට සැකයි මේ වෙන දේවල් වල හැටියට. දැන්නම් එකෙක් වත් විස්වාස නෑ වගේ මට...” මෙම වදනත් සමගම මෙතෙක් සභාවේ රජකල නිහඬතාවය යලි බිඳී ගියේ දෙබර වදයකට ගලක් ගැසූ පරිද්දෙනි. සියල්ලෝ එකා මෙන් තම පක්ෂපාතීත්වය ශපථ කරමින් එකිනෙකා පරයා කෑ ගැසීම නිසා මහා ගාලගෝට්ටියක් ඇතිවිය. මහ අද්මිරාල් ඩොනියෙට්ස් බයාදු ලෙස නාවුක හමුදාවේ ගුණ වනන අතර තුර දැන් සියල්ල පරයා නැගුනේ රිබන්ත්‍රොප් ගේ හඬය. “කට වහපන්, තක්කඩි වයින් වෙළෙන්දා” ඒ ඇසූ ගෝරින් මොර දුන්නේ හුනස්නෙන් නැඟිටිමිනි. “උඹ හිතුවෙ මේක තැබෑරුමක් කියලද?|” දැවැන්ත කලහයකට මුල පිරූ ඔහු තම අතවූ බරැති රයික්-මාෂල් බැටන් පොල්ල ප්‍රතිවාදියා දෙසට වීසි කරමින් පහරක් එල්ල කලේය. අවමානයට පත් රිබන්ට්‍රොප් පසුබසින බව පැහැදිලි විය. “මතක තියාගන්නවා, තවමත් විදේශ ඇමති මම; මගේ නම වොන් රිබන්ට්‍රොප්.” හදිසියේ භූමිකාවන් වෙනස් වූ ඔපෙරාවේ කණ්ඩායම සෘතියෙන් බැහැරව ගයද්දී පොතේ ගුරා නිහඬය. හිට්ලර් ගලක් මෙන් අසුනේ නිසලව සිටියේය; අතෙහි වූයේ බෙහෙත් නලයකි; එතුල වූ වෛවර්ණ පෙති ඔහු නොකඩවා සූප්පු කරයි. ඒ අතර තුර විටින් විට පුපුරා දුම් රොටු නගන ගිනි කන්දක් සේ ඔහුගේ වැය නොවූ කෝපයේ ශේෂයන් පිටකරමින් ලේ වැගිරීම්, දෛවය හා වධ කඳවුරු පිලිබඳ ඉඳහිට රෞද්ර ලෙස තොල් මතුරනු ඇසේ. වැට උඩ සිටි කුමන්ත්‍රණකරුවා වූ සංචිත හමුදාවේ අණදෙන නිළධාරී ෆ්රෝම්ට ‘වෘක ලෙනේ’ සිට ඇමතුමක් දුන් මහ සෙනෙවි මණ්ඩල ප්‍රධානී ජනරාල්ෆීල්ඩ්මාෂල් කයිටල්, කල්නල් වොන් ස්ටෝන්ෆබර්ග් කොහිි සිටින්නේදැයි විමසා සිටියේ සවස 6.00 ටය. ෆ්රොම් තමා නොදන්නා බව කියා සිටියේය. එපමනකින් සියල්ල අවසන් බව වටහාගත් හේ එතැන් පටන් උත්සහ කලේ තමාගේ වරද වසා ගැනීමටය. හදිසියේ හිට්ලර්ට පක්ෂපාතීත්වය පල කරමින් ඔහු බෙක් හා ස්ටෝෆන්බර්ග් ඇතුළු පිරිස හෙලා දුටුවේය. කුමන්ත්‍රණකරුවෝ පාවාදෙන්නා කාමරයක් තුලට දමා ඔහුට වයින් බෝතලයක් හා සැන්විච් පිඟානක්ද තබා පිටතින් දොරගුළු ලෑහ. සුලු පිරිසක් විසින් දියත්කල බලය පැහැර ගැනීමේ තැතක් මැඩපවත්වන ලද බවත්, ඔවුන් තැබූ බෝම්බයකින් හාස්කමකින් මෙන් දිවි ගලවාගත් නායකතුමා මඳ වේලාවකට පෙර මුසෝලිනි පිළිගත් බවත් ගුවන්විදුලිය හරහා නිවේදනය කරන ලදී. මේ අසා සැබෑ තතු අවබෝධ කොටගත් සෙනෙවි මණ්ඩලය කාර්යාලයේ සිටි කණිෂ්ඨ නිළධාරීන් බෙක් හා ස්ටෝෆන්බර්ග් ප්‍රමුඛ කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව නැගී සිටියෝය. ඔවුන්ගේ ආධාරයෙන් දොරගුළු හැරගත් ෆ්‍රෝම් තම හිටපු සහයන් මැඩපැවැත්මට තැත් කරද්දී කෙටි වෙඩි හුවමාරුවක් ඇතිවිය. එක උණ්ඩයක් වැදුනේ ස්ටෝෆන්බර්ගේ දකුණතටය. තම නායකත්වයෙන් යුද්ධාධිකරණයක් වහා කැඳවූ ෆ්‍රොම් දඩි බිඩියේම කුමන්ත්‍රණකරුවනට මරණ දඬුවම නියම කලේය. අනතුරුව හේ වෘක ලෙනට විදුලි පුවතක් යැවූයේ බලය පැහැර ගැනීමේ තැත මැඩපැවැත්වූ බවත්, තමා එහි නායකයන්ට මරන දඬුවම නියම කල බවත් තහවුරු කරමිනි. තම ඉරණම වටහා ගත් ලුඩ්විග් බෙග් පිස්තෝලයෙන් හිසට වෙඩි තබගති. එහෙත් එල්ලය වැරදී බරපතල තුවාල ලත් ඔහු මඳ වේලා පණ අදිමින් සිටියේය. ෆ්රෝ්ම් ගේ නියමයෙන් සෙබළුන් දෙදෙනක් විසින් ඔහුගේ ගෙලට වෙඩි තබා මරා දමන ලදී. අනතුරුව සෙනෙවි මණ්ඩල කාර්යාලයේ මිදුලට දක්කාගෙන යනු ලැබූ තුවාල ලබා සිටි ස්ටෝෆන්බර්ග් ඇතුළු සෙස්සන් ට වෙඩි තබන ලද්දේ වාහනයක දල්වන ලද විදුලි ලාම්පු එළියෙනි. ඒ වනවිට මධ්‍යම රාත්‍රියට ආසන්නය. ස්ටෝෆන්බර්ග් හිස කෙලින් කොටගෙන උදාර ලෙස උණ්ඩයට මුහුණ දුන්නේය. “ජර්මනිය සදාකල් දිනේවා” යි ඔහු මරනයට පෙර කෑ ගසා කීවේලු. (c) Chamara Siriwardene (සටහන: මෙම තොරතුරු මූලාශ්‍ර කිහිපයක සංකලනයක් බැවින් ඇතැම් අවස්ථාවන්හිදී සිදුවීම් අනුපිළිවෙල හා ස්වභාවය ඒවා වඩාත් කලාත්මක ලෙස පෙලගස්වා ඇති චිත්‍රපටි හා සර්ව සම නොවීමට ඉඩ ඇත)

හිට්ලර් ගේ පළිගැනීම හෙවත් පොලිස් රාජ්‍යය සම්පූර්ණ වීම (1944 ජුලි 20 – 30)

සියළු කුමන්ත්‍රණකරුවන්ට මරන දඬුවම දුන් බවට එදා රැයේම ෆ්‍රෝම් 'වෘක ලෙනට' යැවූ විදුලි පුවත හිට්ලර් තුල ඇති කලේ සැකයකි. ඔවුන් මරා දැමීමෙන් තොරව ගත හැකි වූ ප්‍රයෝජනවත් ක්‍රියා මාර්ග එමට තිබිණ. මළ මිනිස්සු තම සෙසු හවුල්කරුවන්ගේ නම් ගම් නොකියති. එකෙනෙහිම ෆ්‍රෝම් තනතුරින් පහ කල හේ සියළු සැකකරුවන් එස්. එස්. සංවිධානයට භාර දිය යුතුයයි දැන් ගොබෙල්ස්ගේ නිවස තම මූලස්ථානය කොටගෙන සිටි කල්නල් රෙමර්ට සීඝ්‍රගාමී නියෝගයක් කලේය. හිමිදිරියේ සන්නද්ධකරණ ඇමති ස්පීර් තම ස්පෝර්ට්ස් මෝටර් රථයේ ඉදිරි පස රෙමර් ද හිඳුවා ගෙන සෙනෙවි මණ්ඩල කාර්යාලය අසලට එන විට ගේට්ටුවෙන් පිටත තුරු ගොමුවක් අසල භට කණ්ඩායමක් සමඟ සිටියේ එස්. එස්. ජනරාල් (SS Obergruppenfuehrer) අර්න්ස්ට් කැල්ටන්බෲනර් ය. “වැඩේ ඉවරයි වගේ. ඇතුලින් වෙඩි සද්ද වගයක් ඇහුනා. අපි පැත්තකට වෙලා ඉන්නවා. නැත්තන් අන්තිමට කියයි එස්. එස්. එක වෙඩි තිව්වෙ කියලා.” කැල්ටන්බෲනර් කීය. ස්පීර් හා රෙමර් ගේට්ටුවෙන් ඇතුළු වන විටත් ෆ්රොීම් හති දමමින් එළියට එමින් සිටියේය. “බලන්නකො, මුන් මාවත් හිරකරල හුඟක් හිරිහැර කරානෙ..” හේ දෑත් වනමින් මැසිවිලි නැඟීය. “යන්තම් එලියට පැනගෙන සටන් කරල තමයි ස්ටෝෆන්බර්ග් මෙල්ල කරගත්තෙ. බෙක් වෙඩි තියා ගත්ත. අනිත් අයට එවෙලෙම යුද්ධ අධිකරණයක් තියල මරණ දඬුවම දුන්න. කොහොමටත් මෙතන හිර කරල තියාගන්න අරක්ෂාව මදි…” හේ තම ක්‍රියාව සාධාරණීකරණය කිරීමට පමණට වඩා තැත් කරයි. “කරුණාකරල මාව ගොබ්ල්ස් ඇමති තුමා ලඟට ගෙනියන්න පුළුවන්ද? එතකොට මට පුළුවන් එතැනින් නායකතුමාට ඇත්ත සිද්ධිය කියන්න.” ෆ්‍රෝම් ගේ විස්තරය ඇසූ ගොබ්ල්ස් එකෙනෙහිම ඔහු අත්ඩංගුවට ගන්නා ලෙස නියම කලේය. ඒ උදාවෙමින් පැවතියේ පළි ගැනීමේ හෝරාවයි. හමුදාව යටතේ වූ සියළු සිර කඳවුරු වල පාලනය ද එතැන් පටන් පැවරුනේ සංචිත හමුදාවේ අණදෙන නිලධාරියා ලෙස වැඩ භාර ගත් එස්. එස්. ෆීල්ඩ්-මාෂල් (SS Reichsfuehrer) හයින්රිච් හිම්ලර්ටය. නොසිතූ මොහොතක හෝ සතුරා හිස එසවීම මැනවයි සිතූ හිම්ලර් නොපමාව අනාවරණය කොට ගත්තේ හමුදාවේ ‘ඇබ්වියර්’ ඔත්තු සේවය ඝාතන ප්‍රයත්නයට සහය දැක්වීමෙන් නොනැවතී බෝම්බය සඳහා පුපුරණ ද්‍රව්‍ය පවා සපයා ඇති බවය. එහි නායකයන් අකාර්යක්ෂම අලසයන් බවට චෝදනා කරමින් සිටි ඔහුට දැන් ඔවුන් ද්‍රෝහීන් බව ඔප්පු කොට පෙන්වීමටද අවස්ථාව උදා විය. ඒ වනවිටත් තනතුරින් ඉවත් කොට නිවාස අඩස්සියේ පසුවූ අද්මිරාල් කැනරිස් ට විරුද්ධ සාක්ෂි අවිනිශ්චිත වුවද, සිර කුටියක් තුලට අතුරු දහන් කෙරුණ ඔහු නව මසකට පසු එල්ලා මරා දැමුනේ මධ්‍යතන යුගයේ ම්ලේච්ඡත්වය සිහි ගන්වමිනි. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ කල්නල් හැන්සන් ටද නඩු විභාගයකින් පසු මරණ දඬුවම නියම විය. කුමන්ත්‍රණකරුවන්ට ප්ලාස්ටික් අධි ස්ඵෝටක සැපයූ ජනරාල් ෆ්රේනටැග් වොන් ලොරින්හෝවන් වඩාත් වේදනාකාරී මරණයක් පිටුදකිනු වස් සිය දිවි හානි කර ගත්තේය. හාස්කමකින් මෙන් නොනැසී ජීවත් වූ ඔහුගේ පූර්වගාමියා වූ කර්නල් ලෑන්හවුසන් ඇතුළු තවත් නිලධාරීහූ කිහිප දෙනෙකු 1946 නියුරම්බර්ග් යුද්ධාධිකරණය ඉදිරියේ තම කථාන්දරය පෑමට ඉදිරිපත් වූහ. ‘ඇබ්වියර්’ ඔත්තු සේවය පමණක් නොව කුමන්ත්ර්ණය සඳහා හමුදා සෙනෙවි මණ්ඩලය [Oberkommando der Heers- OKH] පුළුල් ලෙස දායක වූ බවට සැක කරන ලදී. සෙනෙවි මණ්ඩල නිලධාරීහූ පනහකට අධික පිරිසක් මරා දමනු ලැබූහ. තවත් සිය ගණනකට රැකියා අහිමි විය. හුදු සැකය මත වධ කඳවුරකට ගාල් කෙරුණ හිටපු ප්‍රධාන මාණ්ඩලික නිළධාරී හැල්ඩර් පුරා හාර මසක් හිරු එලිය නුදුටුවේය. ඔහුගේ පුර්වගාමියා වූද සියළු නාසි-විරෝධීන්ගේ පොදු නායකයා වූද ලුඩ්විග් බෙක් කල් ඇතිව සියදිවිනසා ගැනීම ඥානාවින්ත ක්‍රියාවක් වූ අතර ස්ටොෆන්බර්ග් ඇතුළු තිදෙනෙකුට එදිනම වෙඩි තබා මරා දැමීමෙන් ෆ්‍රෝම් නොදැනුවත්වම කලේ ඔවුනට යහපතකි. ෆ්‍රෝම් ද එල්ලා මරා ලදී. කුමන්ත්රණ කරුවන්ගේ නියෝග මත පැරිස් නගරයේ ගෙස්ටාපෝ නිලධාරීන් සිර අඩස්සියට ගැනීමට ඉක්මන් වූ ප්‍රංශයේ ජර්මන් අණදෙන නිලධාරී ජනරාල් කාර්ල්-හයින්රිච් වොන් ස්ටුප්නිගල් වර්ඩන් අසල වනාන්තරයකදී තම හිසට වෙඩි තබා ගත්තේය. ඉලක්කය වැරදී යාමෙන් අන්ධ වූ ඔහුට ද මරණ දඬුවම හිමි විය. බටහිර පෙරමුණේ ආඥාපති ගුන්තර් වොන් ක්ලූග් හා නැගෙනහිර පෙරමුණේ සේවයේ යෙදී සිටි බෙක් ගේ සහකරුවා වූ ට්‍රෙස්කොව් ද සිය දිවි නසා ගත්හ. දාර්ශනික ජනරාල් වරයකු වූ එරිච් ෆෙල්ගීබල් මනුශ්‍ය ආත්මයේ සදාතනික බව පිලිබඳ තම ඇජුටන්ට් වරයා සමග සකච්ඡා කරමින් සිය අවසන් හෝරා කිහිපය ගත කළේය. කුමන්ත්‍රණය හේතුවෙන් අන් කවරදාටත් වඩා බලවත් වූයේ හිම්ලර්ය. පොදු මතයට අනුව හිම්ලර් යනු මනුශ්‍යයෙක් නොව යක්ෂයෙකි; අසරණ සිරකරුවන් දස ලක්ෂ ගණනක් මරා දැමූ සිත්පිත් නැති රාක්ෂයෙකි; කවර යාඥාවකින් හෝ පිදේනියකින් හෝ තෘප්තිමත් කොට නොහෙන මාරයෙකි; අනුකම්පාව හා ක්ෂමාව නොදත් භූතාර්ථයකි. එස්. එස්. සිර කඳවුරු හා ආදාහානාගාර තුල කෙරුණ බවට කියැවුන අපරාධ වල හැටියට අන් කවරක් සිතන්නද? එහෙත් හිම්ලර් පරපීඩා කාමුකයකු නොවීය. ඔහු කෙරෙන් බිහිසුණු හෝ ප්‍රචන්ඩ චරිත ලක්ෂණ කිසිවක් පලවූයේ නැත. ඔහුගේ දරදඬු බව ප්‍රවණතාවයක් ලෙස සෘණාත්මකය; එහි අන්තර්ගත වූයේ ක්‍රෝධය නොව විරාගයයි. ඔහු කෲරත්වය තුලින් ආශ්වාදයක් නොලත් අතර බොහෝ උපේක්ෂා සහගත විය. හිම්ලර් දඩ කෙලිය පවා පිළිකුල් කලේ එය ‘අහිංසක හා අනාරක්ෂිත වන සතුන් අමු අමුවේ ඝාතන කිරීමක්’ ලෙස හෙලා දකිමිනි. “අර ලේ පිපාසිත යක්ෂයා, ගෝරින්, ඔක්කොම සත්තු ටික දඩයම් කරනවා. තණකොල ටිකක් කන මුවෙකුට වෙඩි තියන්නෙ මොන හිතකින්ද?" ඔහු තම කාර්ය මණ්ඩලය සමඟ ගෝරින්ට දොස් පැවරීය. තමා වටා ගොඩ නැගී තිබූ බිහිසුනු බාහිර ප්‍රතිරූපයේ ස්වභාවය හිම්ලර්ට කිසි දිනක අවබෝධ වූයේ නැත. එය වටහා ගැනීමේ අපේක්ෂාවද ඔහු අත් හලේය. මේ සියල්ල ඇද කුද හොයන කමකට නැති විදේශිකයන් කිහිප දෙනෙකුගේ සම්ප්‍රලාප හැර වෙන මොනවාද ? තම පුද්ගලික කවය තුල ඒ පිලිබඳ කරන පුංචි විහිළුවකින් දෙකකින් හිම්ලර් සෑහීමකට පත් වීයැයි ඔහුගේ බටහිර සාම දූත මෙහෙවරේ අතරමැදියා ලෙස ක්‍රියා කල ස්වීඩන් ජාතික ෆෝල්ක් බර්නාඩොට් සිටුවරයා ‘තිරය ඇද වැටේ’ [Fall of Curtain] නමැති තම කෘතියේ සඳහන් කොට ඇත. එසේ වුවද මිනිස් මනසේ විවිධත්වය පිලිබඳ අත්දැකීම් සහිත අයෙකුට නම් හිම්ලර්ගේ චරිතය තුල ඒ හැටි ගුප්ත බවක් නොපෙනෙනු ඇත. ශිෂ්ඨ සම්පන්න ලෝකය තුල එවන් චර්යාවන් නොඉවසන වග සැබෑය. එහෙත් සමාජයේ ව්‍යසනකාරී සමයන් දෙස ආපසු හැරී බලන කල, කැරලි කෝලාහල හා ප්‍රචණ්ඩ සමාජ පරිවර්තන තුල ඔහුගේ මූලාකෘතිය දැකිය හැක. මනුශ්‍යත්වය භාවාත්මක පරමාදර්ශයන් වෙනුවෙන් කැප කිරීමට නොපැකිලුන මධ්‍යතන යුගයේ ධර්මාධිකරණ විනිසුරන් ද එවන් ගුප්ත මත කරපින්නගත්තෝ වෙත්. ඉතිහාසයේ අප දකින නඩුකාර පූජකවරු සැඩ පරුෂ ගති ඇත්තෝ හෝ සුඛ විහරණයේ ඇලී ගැලුනෝ නොවේ. හෘද සාක්ෂියට එකඟව ඉතා කර්කෂ පුද්ගලික ජීවිත ගත කල ඔවුහු සතුන් කෙරේ අතිශය කාරුණික වූහ; රොබර්ට් බෙලර්මයින් ශාන්තුවරයා තම ලෝගුවේ වසා සිටි මැස්සන් එලවා දැමීම පවා ප්‍රතික්ෂේප කලා නොවේද? අධ්‍යාත්මික ප්‍රීතියක් අපේක්ෂා කළ නොහෙන ඒ අසරණ කෘමීන්ට ලද හැකි එකම ලෞකික සන්තර්පණයෙන් ඔවුන් වැලක්වීම නිර්දය ක්‍රියාවක් බව උන් වහන්සේ පෙන්වා දුන්හ! එහෙත් දෙවියන්ට නමස්කාර කිරීමේ හැකියාව තිබියදී නපුර තෝරා ගන්නා මිසදිටු මිනිසුන්ට නම් කවර දඬුවමක් වුව වැඩි නැත. ඉදින් දර කොටන් අසුරා දැල්විණ; මිසදිටුවන් හා ඔවුන්ගේ පොත් පත් පුළුස්සා දමන ලදී; සිල්වත් මහළු බිෂොප් වරු ආපසු නිවෙස් බලා ගියේ ලාභ එළවළු සමග සුදු මාළු අනුභව කොට, වේලාසනින් තම බලු බළලුන්ට අහාර දී, පසුතැවිලි වීමේ යාඥා තුල සම වැදීම පිණිසය. මේ අතර සිසු පූජක වරු ඒ ආදර්ශමත් පාදිලි වරුන්ගේ ශාන්තුවර ජීවිතත්, භක්තිය හා ශික්ෂාවත්, දානය හා සීලයත් මතුපරපුර වෙනුවෙන් ලේඛණ ගත කලේ (අති උත්තම නියුමන් කාර්ඩිනල් තුමා වදාල පරිදි) සුළු හෝ පවක් සිදුවීමට වඩා සමස්ත මානව සංහතිය සියළු දුක් වේදනා මැද විනාශ වී යාම යෙහෙකැයි හඟිමිනි. ඇතැම් විට මෙය මායාජනක සැසඳීමක් ලෙස පෙනී යාමට ඉඩ තිබේ; නමුත් මිනිස් මනස සැලසුම් කිරීමේදී සොබා දහමද අතිශය මායා ජනකය. ඉදින් 1944 ජුලි මස තමා මුහුණ පෑ අභ්‍යන්තර තර්ජනය හමුවේ හිට්ලර්ට වඩාත්ම අවශ්‍ය පුද්ගලයා බවට පත් වූයේ අන් කිසිවෙකු නොව මෙම ගුප්ත, විරාගික, පක්ෂපාතී හා මුග්ධ හිම්ලර්ය. ඉන් අදහස් වූයේ ජර්මනිය තුල තවදුරටත් කිසිදු පුද්ගලයෙක් ආරක්ෂිත නොවූ බවය. තාරාතිරම නොබලා ඔනෑම පුද්ගලයෙකුට දඬුවම් කිරීමේ බලය එස්. එස්. සංවිධානයට ලැබිණ. එහෙත් ඝාතන ‍ප්‍රයත්නයෙන් ඔහු රැක ගන්නා ලද්දේ දෛවය මිස පොලිසිය නම් නොවේ...

(C) Chamara Siriwardene

යුද්ධය අත් නොහැරිය හිට්ලර්... (1944 ජුලි-අගෝස්තු)

යුද්ධය අවසන් කිරීම අරමුණු කොටගත් ජනරාල් වරුන් කිහිප දෙනාගේ කුමන්ත්‍රණයද මෙසේ ඉතා අවාසනාවත් ලෙස අවසන් වෙද්දී සෙනෙවි මණ්ඩලයේ ප්‍රධානී කර්ට් සයිට්ස්ලර්ටද වූයේද නොසිතූ ඇබැද්දියකි. තුන් හිතකින් වත් හිට්ලර්ට ද්‍රෝහී වීමට නොපැතූ ඔහුද චෝදනා ලත් සෙසු සිය ගණනක් සමඟම තනතුරින් පහ කරණ ලදී. හමුදාවේ නව මාන්ඩලික ප්‍රධානියා ලෙස තෝරා ගැනුනේ කීර්තිමත් යාන්ත්‍රික සටන් උපා ශිල්පී කල්නල්-ජනරාල් හයින්ස් ගුඩේරියන්ය. එහෙත් ඔහුට බලතල කිසිවක් නුදුන් බැවින් සියළු තීරණ සඳහා හිට්ලර්ගේ පෞද්ගලික අනුමැතිය ගත යුතු විය. උරහිසේ තරු පටි පැලඳි කිසිවෙක් කෙරේ තවදුරටත් හිට්ලර්ගේ විශ්වාසයක් නැත. හමුදාව තුල නාසි ආචාරය අනිවාර්ය කරමින් නායක තුමාට හමුදාවේ පක්ෂපාතීත්වය සංකෙතවත් කිරීමට මහ සෙනෙවි මණ්ඩල ප්‍රධානී ජනරාල්ෆීල්ඩ්මාෂල් (Generalfeldmarschall) කයිටල් නොගත් උත්සාහයක් නැති මුත් එය සාර්ථක නොවූ බව ගුඩේරියන් කියයි. “හමුදාවෙ සැපයුම් නිළධාරියයි සංඥා ප්‍රධානියයි දෙන්නම කුමන්ත්‍රනේට සම්බන්ධයි. කණේ ඉඳන් අඟ කද්දි අහන්න දෙයක්ද නැගෙනහිර පෙරමුණ වැටෙන එක?” හේ ගොබ්ල්ස්ට කීවේ රට සමස්ත යුද සූදානමකට ගෙන ඒමට ප්‍රචාරක ඇමතිවරයා කලින් මස ඉල්ලා සිටි බලතල සියල්ල ප්‍රදානය කරමිනි. ෆ්‍රෝම් ගේ අණපරිදි මරා දැමුණ හා දිවිනසාගත් පිරිස හැරුන කොට සෙසු සැක කරුවන් වෙනුවෙන් පැවැත්වූ නඩු විභාගය ඔවුන්ට දඬුවම් දීමට පිණිස අනුගමනය කෙරුන හුදු නීති අවශ්‍යතා සම්පූර්ණ කිරීමක් පමණක් බව පෙනී ගියේ සිය නිදහසට කරුණු ඉදිරිපත් කිරීමේ හෝ අවස්ථාවක් ඔවුනට නොතිබීම නිසාය. කුමන්ත්‍රණකරුවන්ට සිය මතවාද පැතිරවීමට ඉඩ නොදෙනු පිණිස අප්‍රසිද්ධ නඩු විභාග පවත්වන මෙන් හිට්ලර්ට උපදෙස් දුන් හිම්ලර් ඔවුන්ගේ සමීප ඥාතින් පවා සිර ගත කිරීමට කටයුතු කලේ පුරාණ ජර්මන් නීතියක් වූ ද්‍රෝහීන් ගේ රුධිරය මැඩ පැවැත්විය කලයුතුය යන සංකල්පය අනුවය. සර්පයාගේ පැටවුන්ද සර්පයින් බව ලංකාවේ උදවිය පවා කියති. චූදිතයන් නඩු ශාලාවට ගෙන එන ලද්දේ පිරික්සුම් කඳවුරු වල සිරකරුවන් අඳින පරන ඇඳුමිනි. තමා හැඳ සිටි විශාල කලිසමට බඳ පටියක් නුවූයෙන් හැලීම වැලැක්වීම පිණිස එය එක් අතකින් ඉහලට ඔසවාගෙන සිටි කලින් සැපයුම් භාර විශ්‍රාමික ෆීල්ඩ්-මාෂල් වරයාට නින්දා කරමින් ‘කැකිල්ලේ විනිසුරා’ බැණ වැදුනේය. “නීචයා. උඹ මොකද කලිසම අල්ලගෙන කරන්නෙ. අත් පහල දාල සීරුවෙන් ඉදපන්.” ඔවුන් එල්ලා මරන ලද්දේ පියානෝ කම්බි වල එල්ලීමෙන් බවත්, එම දර්ශණ පරිගතකොට හිට්ලර් ඒවා නැරඹූ බවට මතයක් ඇතත් එය ස්ථිර වශයෙන් සනාථ වී නොමැත. වෘක ලෙනේ හිට්ලර් ගේ අධ්‍යනාගාරයේ මේසය මත එල්ලා මරා දැමුවන්ගේ ඡායාරූප තිබෙනු තමා දුටු බව ස්පීර් පසුව පැවසුවද එය වෙනත් ස්වාධීන සාක්ෂියකින් තහවුරු වී නොමැත. ස්පීර්ගේ සෑම හෙලිදරවු කිරිමක්ම ඒ ආකරයෙන්ම පිළිගත නොහැක්කේ මන්දැයි පාඨකයා පසුව වටහා ගනු ඇති. ජුලි මාසය තුල නොනවත්වා ක්‍රියාාත්මක වුන රතු හමුදාවේ ගිම්හාන මෙහෙයුම බටහිර ද්වීනා ඉවුරු වල සිට කළු මුහුද දක්වා සැතපුම් 1800ක් තුල පැලගැසුන ජර්මන් ඩිවිෂන 147ක් විනාශ කොට දමමින් පෝලන්තය හරහා ඉදිරියට එද්දී අගෝස්තු 01 දා වොර්සෝ අගනුවර ජර්මන් පාලනයට එරෙහිව සන්නද්ධ නැගී සිටීමක් හට ගත්තේය. ලන්ඩනයේ සිට මෙහෙයවුන විවාසික-පෝල් රජයේ අරමුන වී තිබුණේ රුසියන් හමුදා නගරයට ඇතුළු වීමට පෙර තුමුම මිත්‍ර ජාතීන්ගේ ගුවන් සහායෙන් ජර්මනුන් පරාද කොට එහි බලය අත්පත් කොට ගැනීමයි. පෝලන්තයේ බටහිරට හිතවත් රජයක් පිහිටුවීමේ අදහස ස්ටාලින්ට රුචි නොවීය. ජර්මන් හමුදා විසින් ලීජන්-වාදී පෝලන්ත කැරළි කරුවන් සමූලඝාතනය කරන අතරතුර විස්ටුලා ඉවුරේ වාඩිලා ගත් රුසියානුවන් නිවිහැනහිල්ලේ ඒ සටන නැරඹූවා මිස කිසිදු ආධාරයක් දීමට ඉදිරිපත් නොවූහ. ප්‍රතිවිප්ලවවාදී නපුරු ධවල පෝලන්තයට ඔවුහු වෛර කරත්. රතු හමුදාවේ සහායෙන් තොරව වෝර්සෝවට නාසි පාලනයෙන් විමුක්තිය උදාකොට නොහැකි බව ඉතා පැහැදිලි වුවද ඒ මුග්ධ අත්හදා බැලීම හේතුවෙන්මිය ගිය පෝල්වරුන්ගේ සංඛ්යා ව 200,000 ට අධිකය. හිට්ලර්ට දැන් අවශ්‍ය වූයේ සියල්ල නොපිට පෙරලන ජයග්‍රහණයකි. රුසියානුවන් විස්ටුලා ඉවුරේ නතර වීමට හේතුව ඔවුන්ගේ ශක්තිය සිඳීයාම යයි වරදවා වරහා ගත් ඔහු මේ සඳහා තෝරා ගත්තේ තවමත් සටනට කෝඩුකාර බටහිර පෙරමුණයි. මහා ප්‍රහාරයකින් මිත්‍ර පාක්ෂිකයන් පරාජය කොට අනතුරුව මුළු ශක්තිය රුසියානුවන්ට එරෙහිව යෙදවීම තම අරමුන බව ඔහු මෙහෙයුම් ප්‍රධානී ජනරාල් ඇල්ෆ්රාඩ් ජෝඩ්ල්ට පැවසූවේ ඊට පෙරදා පැවති යුද සාකච්ඡාවේදීය. “හැබැයි දැන්වත් හරියට නැගෙනහිර පෙරමුණ අල්ලගෙන ඉන්නවා. වැරදිලාවත් රතු හමුදාව කාර්පේතියන් කඳු හරහා කඩාගෙන වැදුනොත් දැන් හෙලෙත්තාඩුවට තියාගෙන ඉන්න රුමේනියාව, හන්ගේරියාව, බල්ගේරියාව ඔක්කොම අනිත් පැත්ත ගහනවා. එතකොට ඉතින් ජර්මනියට හුලං තමයි. ” තමා ජර්මනිය හා ඇති ගිවිසුමින් ඉවත් වන බව තුර්කිය ප්‍රකාශ කළාය. පස් දිනකින් ‘වෘක ලෙනට’ පැමිණ හිට්ලර් බැහැ දුටු රුමේනියාවේ අඥාදායක මාෂල් ඉයන් ඇන්ටනෙස්කෝ පැවසුවේ රට තුල යුද්ධයට එරෙහිව ඇති වී ඇති විරෝධතා පාලනය කිරීමට අපහසු බවයි. තවත් දෙසතියකින් බටහිර ආඥාපති ජනරාල්ෆීල්ඩ්මාෂල් ගුන්තර් වොන් ක්ලූග් තවදුරටත් පසුබැසීමට අවසර ඉල්ලා සිටියේය. කුමන්ත්‍රණකරුවන් සමඟ ඔහු පෑ ඇඟෑලුම් කම් මැනවින් දැන සිටි හිට්ලර්ට අගෝස්තු 15 දින දවසේම ඔහු සම්බන්ධ කොටගැනීමට හැකි වූයේ නැත. ක්ලූග් යටත්විම සඳහා අර අඳින්නේ යැයි සැක කල හිට්ලර් නැගෙනහිර පෙරමුණේ සිට කැඳවූ තම ‘වෙඩික්කරුවා’ වූ වෝල්ටර් මොඩ්ල් එම තනතුරට පත්කොට වහා ප්‍රංශයට යැව්වේ අතින් ලියන ලද සටහනක් ද සහිතව. තම රාජකාරි වහා මොඩ්ල්ට භාරකොර ජර්මනියට පැමිණෙන ලෙසට කුරුටු ගා තිබූ ඒ සටහනේ තමාගේ අනාගතය ෆීල්ඩ්-මාෂල් වරයා විසින්ම තෝරා ගත යුතු බවට සඳහන් විය. එය පැහැදිලි තර්ජනයකි. තමාටද වැරහැලි හැඳ නඩු විභාගයකට මුහුණ දී පියානෝ කම්බියක අවසන් ගමන් යාමට සිදුවන බව අවබෝධ කොටගත් ක්ලූග් අතර මඟදී මෝටර් රථය නවතන ලෙස රියැදුරාට අණකොට සයනයිඩ් කරලක් ගිල දමා සිය දිවි නසා ගත්තේ වඩාත් වේදනාකාරී හා නින්දා සහගත අවසානයක් පිටි දකිණු පිනිසය. . ක්ලූග් දිවි නසාගැනීමට පෙර හිට්ලර්ට ලියූ ලිපිය කුමන්ත්‍රණයට සහාය දැක්වූවන් තුලවූ දෙගිඩියාවට හ අවිනිශ්චිත බවට කදිම උදාහරණයක් සැපයීය. තම අවසන් වදන් තුලින් හිට්ලර්ගේ නායකත්වය බොහෝ ප්‍රශංසා කල ඔහු එය වඩාත් උදාරතර පරතෙරකට ගෙනයමින් නිෂ්ඵල යුද්ධය අවසන් කරන මෙන් ආයාචනය කොට සිටියේය. “මගේ නායකතුමනි, ඔබ සිතුවාට වඩා ඔබට බොහෝ ලෙන්ගතුව සිටි මා දැන් සමුගනිමි.” ලිපිය හිට්ලර් තුල ඇති කලේ කෝපයකි. ක්ලූග් දෙවරක් උසස් කල ඔහු ෆීල්ඩ්-මාෂල් වරයාගේ 60 වන උපන්දිනය දා පඩිය ද බොහෝ වැඩි කොට රයික් මාර්ක් 250,000 ක බද්දෙන් නිදහස් දීමනාවක්ද ගෙවීය. එහෙයින් ක්ලූග් තමාට එරෙහි වූ බව ප්‍රසිද්ධ විම තමාට හොඳ නැති බව ඔහු දත්තේය. ඉතා නිහඬව කෙරුන ක්ලූග් ගේ භූමදානයෙන් සතු දෙකක් ගතවන තුරුත් මරණය පිළිබඳ නිවේදනය කෙරුනේ නැත. අනතුරුව වාර්තා කෙරුනේ ජර්මන් බටහිර පෙරමුණේ ආඥාපති හෘදයාබාධයක් වැලඳී ස්වර්ගස්ත වූ බවය. අමෙරිකානු ජනරාල් ජෝර්ජ් පැටේන් ගේ යුද ටැංකි හමුදා ඒ වනවිටත් පැරිසියට ආසන්නව සිටියහ. ජර්මන් පාලනයට එරෙහිව පෝලන්තයේ මෙන් ප්‍රංශයේද දැවැන්ත මහජන නැගිටීමක් හට ගති. හිට්ලර් ගේ නියෝගය වූයේ පැරිසිය ආරක්ෂා කොටගත නොහේනම් එය මුළුමනින්ම දවා හලූ කොට දමන ලෙසය. යලි 1918 ක් උදාවන බව ඔහු ගේ එක් පොරොන්දුවකි. තමාට ජය ගත නොහැකි නම් ඔහු සියල්ල විනශ කොට දමනු ඇත...

(c) Chamara Siriwardene

රොමේනියාව හ බල්ගේරියාව හිට්ලර්ට ද්‍රෝහී වේ (1944 අගෝස්තු- සැප්තැම්බර්)

හිට්ලර්ගේ නොනිමි ගෝසාව නිසාම දෝ ලැට්වියාවේ සොවියට් 1 වන බෝල්ටික් පෙරමුණට පහර දීමට නව මාණ්ඩලික ප්‍රධානී හයින්ස් ගුඩේරියන් නිරර්ථක වෑයමක් දරන අතර රුසියානුවන් කල්යල් බලමින් සිටියේ ජර්මන් දකුණු දිග පෙරමුණට පහර දීමටය. රුමේනියාව තුලට කඩා වැදී මුලින්ම උපාය මාර්ගික වශයෙන් වැදගත් ඉයසී හා කිෂිනොව් නගර දෙක අත්පත්කොට ගැනීම මැනවයි කල්පනා කරමින් සෝවියට් ඉහල අණදෙන මූලස්ථානය (Stavka) විසින් සැලසුම් කල මෙම ක්‍රියාන්විතය දෙවන ලෝක යුද්ධයේ රතු හමුදාව පෑ තවත් උපායමාර්ගිකව ආශ්චර්යක් ලෙස ඉතිහාසය ගත වනු ඇත. ඉයසී-කිෂිනෙව් මෙහෙයුම ආරම්භවූයේ ලැට්වියාවේ දී ජර්මන් 3 වන පැන්සර් හමුදාව බොහෝ පාඩු විදීම නිසා ගුඩේරියන් සිය උත්සාහය අත හැර දැමූ අගෝස්තු 20 දාය. දකුණු දිග පෙරමුණේ ජර්මන්-රුමේනියන් මිශ්‍ර බල ඇණියට එරෙහිව රුසියානුවන් යෙදවූ යුද බලයේ සාමාන්‍ය ඝනත්වය දික් සැතපුමකට හමුදා බැටෑලියන 5ක්, කාලතුවක්කු 160ක් හා යුද ටැංකි 18 කි. බර අවි 16000 ක් යොදවා කල ආරම්භක වෙඩි තැබීම් මාලාවෙන් පෙරමුණ බිඳ වැටුන අතර අගෝස්තු 23 දා හිට්ලර්ගේ මිතුරා වූ රුමේනියාවේ ආඥාදායක මාෂල් ඉයන් ඇටනෙස්කෝ අභ්‍යන්තර කැරැල්ලක් බලයෙන් පහකරන ලදී. රුමේනියාව අක්ෂ හවුලෙන් ඉවත්වන බව ප්‍රකාශ කලාය. ඒ සමඟ දකුණු දිග පෙරමුණේ රොමේනියානු බල ඇණි ජර්මන්නුන්ට එරෙහිව තම තුවක්කු හරවමින් රතු හමුදාව හා එක් විය. 1942 සිසිරයේ වොල්ගා ඉවුරුවල විනාශ මුඛයට පත්වීමෙන් අනතුරුව අළුතින්ම යලි ගොඩ නඟන ලද ජර්මන් 6 වන හමුදාව ඩැනියුබ් ඉවුරේ යලි පැරණි සතුරාටම කොටු වූයේ රුමේනියානුවන් ඔවුනට පසුපසින් දේශසීමාව වසා දැමීම නිසාය. කතාන්දරය ලෝකයාට කීමට පණගලවා ගැනීමට සමත් වූයේ ගඟ හරහා පිහිනා ගොස් සැඟවුනෝ පමණෙකි. “කාලතුවක්කු හා ‘කත්යූෂා’ රොකට් ප්රපහාර වලින් පෙරමුණේ ඉදිරි පස බාධක විනාශ වන අතරෙ සතුරා ‘ඉල්යූෂින්’ ගුවන් යානා වලින් පහර දුන්නා. හිටි හැටියේ සෝවියට් යුද්ධ ටැංකි අපේ පිටුපසින් මතු උනා. ජර්මන් භටයො මැෂින් තුවක්කු පියාඹන උණ්ඩ ගොදුරු උනේ මස් අඹරන යන්ත්රා වලට අහුවුනා වගේ…” පන ගලවාගත්තෙක් සිය අත් දැකීම් පසුව සිහි කලේය. සටනේදී ජර්මන් ඩිවිෂණ 16ක් මුළුමනින් විනාශ විය. අගෝස්තු 25 දින ජර්මන් හමුදා හා දේශප්‍රේමීන් අතර ඒ වන විටත් වීථි සටන් ඇවිලෙමින් තිබූ පැරිසියට මිත්‍ර පාක්ෂික බල ඇණි ඇතුළු වූහ. තම ජනරාල් වරු බටහිර පෙරමුණේ යටත් වීමට කැමැත්තෙන් පසුවෙතැයි හිට්ලර්ට බොහෝ සැකය. නැගෙනහිර පෙරමුණේ යටත් වූවෝ තායිගා වනයේ ගස් කැපුවද බටහිර පෙරමුණේ භාර වූවන්ට යුද සිරකරුවන්ට හිමි මූලික වරප්‍රසාද සියල්ල හිමිවන බව හමුදාව දනී. කවුද ඊට අකැමැති? සැක සාධාරණ විය හැකි විවද වරද වූයේ පෙරමුණට සැතපුම් 1000ක් මෙපිටින් සිටිමින් සිතියම් අනුසාරයෙන් තෙමේම සටන මෙහෙයවන්නට ඔහු තීරනය කිරීමයි. ඉන් සිදු වූයේ විනාශය ඛෙදවාචකයක් බවට පත් වීමයි . දුර්වල අඩියක සිට පහර දීමට තැත් කල ජර්මන් පෙරමුණ මිත්‍ර පාක්ෂිකයන් විසින් පහසුවෙන් බිඳ හෙලන ලදින් ඉතිරි වූ එකම මඟ වූයේ පස්ස නොබලා පසු බැසීමයි. පලා යන සතුරා ලුහු බැඳ ගිය ජනරාල් බර්නාඩ් මොන්ට්ගොමරිගේ 2 වන ඉංග්‍රීසි හමුදාවේ ගමන වාසනාවකට මෙන් අඩාල වූයේ ඔවුන්ගේ සැපයුම් ප්‍රමාද වූ බැවිණි. මීලඟ ප්‍රහාරය කාලය පිළිබඳ ප්රථශ්නයක් පමනක් වුව ඊට මුහුණ දීමට තරම් ආරක්ෂක විධි විධාන හෝ බාධක කිසිවක් දේශසීමාවේ නොවීය. යුද්ධය මෙතරම් ජර්මනියට ආසන්න වෙතැයි හිට්ලර් කිසි දින නොසිතන්නට ඇත. ඔහු දැන් මුළු වීරිය දරමින් සිටියේ රොමේනියාවේ බලයෙන් පහ කෙරුන ආඥාදායක ඉයන් ඇන්ටනෙස්කෝ මුදාගෙන ජර්මනියට ගෙන ඒමටයි. ඒ සඳහා විශේෂ එස්. එස්. කණ්ඩායමක්ද යැවුන මුත් එය සාර්ථක නොවූයේ ජර්මනුන්ට බුකාරෙස්ට් නුවර හැර දැමීමට සිදුවූ නිසාත් සැප්තැම්බර් 01 දා නව රජය විසින් ඇන්ටනෙස්කෝ සිර කරුවෙකු ලෙස රුසියානුවන්ට භාර දීමත් හේතුවෙනි. දෙදිනකින් මිත්‍ර හමුදා බ්‍රසල්ස් නුවර අග්ත්පත් කොට ගත්හ. සිය නොමියෙන කීර්තියට හේතුවූ ඉයසි-කිෂිනෙව් ක්‍රියාාන්විතය සාර්ථකව සම්පූර්ණ කල රතු හමුදාව බල්ගේරියන් දේශසීමාවට ඇතුළු වෙද්දී වැඩිමහල් සහෝදරයාගේ පැමිණිම හේතුවෙන් සොෆියා අගනුවර හටගත් මහා කැලඹීමකි. එය ජන නැගිටීමක් බවට පත් වන වගට සැකයක් නොවීය. සැප්තැම්බර් 09 දා සෝවියට් හිතවාදී පාටිසාන් වරු පාලන බලය අත්පත් කොටගත් අතර නව රජය අක්ෂ හවුල හෙලා දකිමින් රතු හමුදාවට පක්ෂපාතීත්වය පලකොට සිටියාය. එහෙත් මේ සියළු අභාග්‍යයන් මධ්‍යයේ වුව එක් කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්පත් කොට ගැනීමට ජර්මන් හමුදාවට හැකි විය. රයින් ප්‍රදේශයට පැරච්ට් මගින් භටයන් හෙලීමට ෆීල්ඩ්-මාෂල් මොන්ට්ගොමරි දැරූ වෑයම ඔවුන් විසින් නිරර්ථක කරන ලද්දේ මිත්‍ර පාක්ෂිකයන්ට දැවැන්ත ජීවිත හානියක් සිදු කරමිනි. කිසියම් වරදක් හේතුවෙන් පැන්සර් ඩිවිෂණ 2ක් ආසන්නයේ ඉංග්‍රීසීහූ ගොඩ බැසීම් සිදු කලහ. ජර්මන් භටයන් කල යුතුව තිබුනේ ඉලක්කයට වෙඩි තැබීමයි. ඉන් මිය ගිය සංඛ්‍යාව 17,000ක් තරම් ඉහල විය. බටහිර සම්මතයන් අනුව මෙය අති බිහිසුනු ඉලක්කමක් වූයෙන් මොන්ට්ගොමරිගේ මෙහෙයුම මොහොතකට අඩාල විය. හුස්මක් කටක් ගැනීමට අවසානයේ හිට්ලර්ට කෙටි ඉස්පාසුවක් ලැබිණ. ඉන් ධෛර්යමත් වූ හේ දැන් අර ඇන්දේ තවත් මහා ‍ප්‍රහාරයක් සඳහාය. තවමත් ඔහු ගේ මතය වූයේ හොඳම ආරක්ෂක උපක්‍රමය ප්‍රහාරය බවයි.

(c) Chamara Siriwardene

හිට්ලර්ගේ අවසන් බටහිර ආක්‍රමණය (1944 ඔක්තෝබර්-1945 ජනවාරි)

කුමන්ත්‍රනයෙන් පසු බාහිර ලෝකයෙන් මුළුමනින් වෙන්වූ හිට්ලර් වෘකලෙන තුලටම වී සිටියේ සිය පුද්ගලික කාර්ය මණ්ඩලය ඇතුළු සමීපතයන් අතර හුදෙකලා විය. ඔහුගේ පෞද්ගලික ආවතේවකරුවා වූ එස්. එස්. ලුතිනන් කල්නල් ( SS Obersturmbannführer) හයින්ස් ලින්ග් ගේ දිනපොතට අනුව ඔහු දෛනික සාකච්ඡා සදහා පැමිණි යුද නිළධාරීන් හා සමීපතම ඇමතිවරු කිහිප දෙනා හැරුනකොට අති විශේෂ කරුණකින් තොරව සෙසු අමුත්තන් හමුවූයේ කලාතුරකිනි. හිට්ලර් මේ දිනවල පසුවූයේ තරමක් ලෙඩ ගානේය. නිතර ස්නායු ආතතියෙන් පෙළුන ඔහුටඋදරාබාධයක් වැළඳින. අනතුරුව උගුර බැරෑඬි විය. ඒ ගැන නම් ඔහු බොහෝ සේ කළබල වූයේ එය තම විශාලතම වත්කම වූ කථිකත්වයට සෘජුවම බලපාන නිසාය. උගුරේ ස්වර තන්තු ආශ්‍රිත සුළු ශල්‍යකර්මයකින් එය සුව වුවද, ඔහු ගේ වමත නොකඩවා වෙව්ලුවේය. හිට්ලර්ගේ එකම ව්‍යායාමය වූයේ වෘක ලෙන වටා වූ වන ලැහැබේ සැතපුමක් දෙකක් ඇවිදීමයි. හිම්ලර් ගේ සෘජු අධික්ෂණය යටතේ දැඩි ආරක්ෂක විධිවිධාන යොදා තිබූ ඔහුගේ ගමන් මඟ ඔස්සේ අදිසි වලල්ලක් සේ එස්. එස්. භට කණ්ඩායමක් ගමන් කරන්නේ ඉතා නිහඬවය. කිසිවෙකුටත් නොපෙනෙන සේය. අහම්බයෙන් හෝ එක් අවාසනාවත් භටයෙක් හෝ නෙත ගැටුනහොත් හිට්ලර්ට අසූහාරදාහට කේන්ති යයි. “තමුසෙල මොකටද පස්සෙන් එන්නෙ? බයද? බය නම් නම් තමුන් ආරක්ෂා වෙල ඉන්න එකයි ඇත්තෙ..” හේ බැණවදිනු ඇත. මේ දිනවල නායකතුමා ගේ මනෝභාවය අයහපත් බව සියල්ලෝ දනිති. දැන් වතුර උගුර පවා ඔහුට දෙන්නේ තවෙකෙක් විසින් රස මැලිමෙන් අනතුරුවය. බ්‍රිතාන්‍ය ඔත්තුසේවය නායක තුමාට වස දීමට උත්සහ කරනු ඇතයි හිම්ලර් බියෙන් පසුවේ. රුසියානුවන් දැනමත් නැගෙනහිර ප්‍රසියාවේ ශේශ සිමා උල්ලංඝනය කොට ඇති හෙයින් ‘වෘකලෙන’ හැර යාම මැනවයි මහ සෙනෙවි මණ්ඩල නායක ජනරාල්ෆීල්ඩ්මාෂල් කයිටල් ඉල්ලා සිටියේය. “යන්න? මම මෙතන හිටියෙ නැත්තම් තමුසෙල මේ වෙනකොටත් පහු බැහැල. මම දන්නැති සෙනෙවි මණ්ඩලය...” දේශපාලන වාතාවරණයද දිනෙන් දින අයහපත් වූයේ බලා සිටියදීය. තුර්කිය, රුමේනියාව හා බල්ගේරියාව පමණක් නොව ෆින්ලන්තයද අක්ෂ පක්ෂය හැර ගියහ. ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර පාක්ෂිකයන්ගේ ගුවන් සැපයුම් වලින් ජර්මනුන්ට එරෙහිව ප්‍රහාර උත්සන්න කල ජෝසිප් බ්‍රොස් ටිටෝ ගේ යුගොස්ලාව් පාටිසාන් වරු තමාට ආසන්න වෙමින් සිටින රතු හමුදාවෙන් උදව් පතමින් ගුවන් විදුලි පණිවුඩ යවති. සෝවියට් යුද ටැංකි කුමන මොහොතක බෝල්කන් එළිපත්තේ පෙනී සිටී දැයි කිව නොහැක. වයස දහසයත් හැටත් අතර යුද සේවයේ නොයෙදෙන සියළු පිරිමි පුරවැසියන් රැස් කොට ජර්මනිය ආරක්ෂා කොටගැනීමේ මහජන හමුදාවක් සංවිධානය කරමින් සිටි හිම්ලර් ඔක්තෝම්බරයේ වෘක ලෙනට පැමිණියේ රහස් ලිපි ගොණුවක්ද අතැතිවයි. එහි අන්තර්ගත වූයේ හදිසි අනතුරකිට මුහුන පා දැන් සුවය ලබමින් සිටි වරක් හිට්ලර්ගේ ප්‍රියතම සෙනෙවියා වූ අර්වින් රොමෙල් ජුලි ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ කල් ඇතිව දැන සිටි බවට සාක්ෂි රැසකි. මෑත කාලයේ රොමෙල් පරාජිතවාදයේ බලපෑමට හසුව ඇති බව හිට්ලර් දැන සිටියද ඔහු තමාට මේ අන්දමින් ද්‍රෝහී වෙතැයි හේ කිසි දා නොසිතුවේය. කාන්තාර හිවලුන්ට උසස්වීම් දුන් තමාටත් මේවා හොඳ පාඩම් ය. පෞද්ගලික වේදනාව කවරක් වුවද, යුද වීරයකු ලෙස වරක් තමා විසින්ම පදක්කම් පැළඳවූ රොමෙල් දැන් තමාට ද්‍රෝහි වීයයි හෙළි වුවහොත් රට්ටු යලි හිනා වෙන්නේ තමාටම වගද ඔහුට යසට වැටහිණ. හිට්ලර් විසින් වහා රොමෙල් ගේ නිවෙසෙට පිටත් කොට හැරුන තම හමුදා අජුටන්ට් තැන වූ ජනරාල් විල්හෙල්ම් බර්ග්ඩෝර්ෆ් දොරටු තට්ටු කලේ හිට්ලර් විසින් ලියන ලද පෞද්ගලික ලිපියක් අතැතිවය. එහි අන්තර් ගත වූයේ ඉතා කෙටි පනිවුඩයකි. අතීත සේවාවන් සලකා නිහඬව දිවි නසා ගැනීමට රොමෙල්ට අවස්ථාවක් ලැබෙනු ඇත. නො එසේනම් සෙසු කුමන්ත්රුණකරුවන් මෙන් නඩු විභාගයකට මුහුණ දිමට සූදානම් විය යුතුය. රොමෙල් විසින් කියැවීමෙන් අනතුරුව ලිපිය ආපසු ඉල්ලා ගන්නා ලදී. රොමෙල් දිවි නසා ගැනීමය කැමති විය. අනතුරින් සිදුවූ තුවාල හේතුවෙන් මිය ගිය බවට ප්‍රසිද්ධ කෙරුන ඔහුගේ රාජ්‍ය අවමංගල්‍යට සහභාගි නොවූ හිට්ලර් බටහිර ආඥාපති වොන් රන්ස්ටඩ් අත ශෝක පණිවුඩයක් පමණක් යැවීය. කාර්පෙතියානු තැන්නේ මෙතෙක් හොර ගල් අහුලමින් හංගේරියාවද තමා අක්ෂ ගිවිසුමින් ඉවත්වන බව අවසානයේ ප්‍රකාශ කොට සිටියාය. හිට්ලර් මෙය බලා පොරොත්තු නුවූවක් නොවේ. එහෙයින් ඊට සූදානමින් සිටියේය. වහා බුඩාපෙස්ට් නුවරට යැවුන කලින් වසරේ මුසෝලිනි මුදාගත් එස්. එස්. භට කණ්ඩායම විසින් හන්ගේරියානු නායක අද්මිරාල් හෝර්ති ගේ පුතා පැහැරගෙන ගෙන ගොස් පිරික්සුම් කඳවුරක සිර කරන ලදී. රුසියානුවන් සමඟ ඇති කොටගත් එකඟතාවය අහෝසි කරන බව ප්‍රකාශ කිරීමට හෝර්තිට සිදු වුයේ නොඑසේවීනම් ප්‍රාණ ඇපකරුවා මරා දැමෙන බවට කෙරුන තර්ජනය නිසාය. පුතෙකුගේ අගය දන්නේ පියෙක්ම පමණි. ඒ මානුෂීය හැඟීම හේතුවෙන්ම හන්ගේරියන් භූමිය තවත් සති කිහිපයක් භාවිත කිරීමේ අවකාශය උදා කොට ගැනීමට හිට්ලර් සමත් විය. රෙමින්ග්ටන් හි ඝන වනාන්තරක පිහිටි තම දඩයම් වාඩිය විනාශ කිරීමට ගෝරින් තීරණය කලේ ඉදිරියට එමින් සිටි රතු හමුදාව අතට එය පත්වීම වැලැක්වීම සඳහාය. එහි තිබූ වටිනා කියනා බඩු බාහිරාදිය සියල්ල ඔහු හිත මිතුරන්ට බෙදා දුන්නේය. අනතුරුව ගුවන් හමුදාව නිපදවූ නව රොකට් විශේෂයක් නැරඹීමට ගිය ඔහු පසුවූයේ කළකිරුණ ස්වභාවයෙන් බව මාණ්ඩලික ප්‍රධානී කාල් කොලර්ට මැනවින් පෙණින. වෙනදා තිබූ කෙලිලොල් ප්‍රීතිමත් බව රයික්මාෂල් තුමා කෙරේ ශක්නට නැත. අඩුවක් නුවූයේ විලාසිතා වල පමණි. අසුන්පිට යනවිට පළදින රතු පැහැති මොරොක්කෝ බූට් සපත්තු දෙකකින් සැරසී කදිම ලෝම උඩු කබායක් ඇඳ සිටි ගෝරින් කොපමන රොකට් ප්‍රමාණයක් මාසිකව නිෂ්පාදනය කලයුතු දැයි ඇසූ කල අතීරණයෙන් පසුවිය. ගෝරින්ගේ ශෝකය හේතු රහිත නොවීය. අවසානය ලඟ ලඟ එනබව දුටු ඔහුට හිට්ලර්ට මන් නොව හැරා යා නොහැකි තරම් අපමණ භෞතික සම්පත් මෙලොව තිබිණ. පරමාදර්ශ නුවූ හේ ජීවත් වීමට ආශා නොකලේ නම් ඒ අරුමයකි. 1944 වසරේ හිමපතනය වඩාත් පමා වූයෙන් ගුඩේරියන්ගේ මතය වූයේ රුසියන් සිසිර ක්‍රියාන්විතය නව වසර තෙක් ආරම්භ නොවනු ඇති බවය. ඊට පෙර බටහිර පෙරමුණේ දැවැන්ත ප්‍රහාරයක් එල්ලකොට මිත්‍ර පාක්ෂිකයන් මෙල්ල කොටගත යුතු යැයි හිට්ලර් උදක්ම කියා සිටියේය. “ඔන්න, තමුසෙටත් තව එක අවස්ථාවක් තියනව තමුසෙගෙ ඔය කියන යුද ටැංකි සිද්ධාන්ත අත්හදා බලන්න. මේ වෙලාවෙ නාහෙන් අඬ අඬ ඉඳල පස්සෙ එන්න එපා කෙස් පැලෙන තර්ක දාගෙන... ” බටහිර තමා ලබන එක් තීරණාත්මක ජයක් බටහිර රටවල් සාකච්ඡා මේසයට දක්කා ලීමට ප්‍රමාණවත් වනු ඇත. බටහිර පෙරමුණ ස්ථාවර වේ නම් රතු හමුදාව නැගෙනහිර යුරෝපයෙන් පලවා හැරීම මහ කජ්ජක් නොවේ. ප්‍රංශයේ ඇමෙරිකානු සැපයුම් කපාහැර බෙල්ජියමේ හා ඕලන්දයේ සිටින බ්‍රිතාන්‍ය බළ ඇණි කොටු කිරීම ඔහුගේ සැලැස්මයි. ඒ ඇසූ බටහිර පෙරමුණේ නව ආඥාපති ජනරාෆීල්ඩ්මාෂල් වොන් රන්ස්ටඩ් ගේ ඇස් උඩ ගියේය. සැපයුම් හා ඉන්ධන පමණක් නොව උණ්ඩද සීමා සහිත වූයෙන් කෙටි අරමුණු සහිත කුඩා මෙහෙයුමක් වඩා සුදුසු නොවේද? මියුස් ගඟ අසල නැවතී එතැනින් නැගෙනහිරින් වූ මිත්‍ර පාක්ෂික සේනා පරාජය කිරීම මැනවයි ඔහු පමණක් නොව හිට්ලර්ගේ ‘වෙඩික්කරුවා’ වූ වෝල්ටර් මොඩ්ල් ද කියා සිටියේය. “මොකද බැරි?” නායක තුමා උදහස් වේ. “ඉලක්කය සපුරා ගන්න අපේ යාන්ත්‍රික බල ඇණිවල ජංගම ශීලීත්වය ප්‍රමාණවත් නෑ නායක තුමා, ඒකයි.” ගුඩේරියන් කීය. “1940 අපි ප්‍රංශය ඇල්ලුවෙ යුද්ධ ටැංකි 2500කින්. අද අපිට යවන්න තියෙන්නෙ 1420යි. මිත්‍ර පාක්ෂික හමුදාව බලවත්‍. අහසෙ බලය ඔවුන්ගේ අතේ. ජර්මන් මිනිස් බලය හා සංචිත සිමා සහිතයි…” “තමුසෙට බැරි නම් කුද ගහ ගන්නවා.” හිට්ලර් තෙමේම සැලසුමේ සීමා මායිම් නිර්ණය කලේ පිළියල කලේ කිසිවෙකුගේ උපදෙස් නොතකමිනි. ප්‍රහාරය සඳහා තෝරාගෙන සිටි හිම්ලර් ගේ එස්. එස්. පැන්සර් ඩිවිෂන 4 කෙරේ ඔහු තුල විශාල අපේක්ෂා තිබිණ. නොවැම්බර් 20 දා හිට්ලර් ‘වෘකලෙන’ හැර ගියේ අවසන් වතාවටය. සයිලේසියානු දිස්ත්‍රික්කය රුසියාන් තර්ජනයට ලක්වීම මෙන්ම මිත්‍ර පාක්ෂිකයන් මෙල්ල කිරීමේ යෝජිත මහා ප්‍රහාරය පෞද්ගලිකවම මෙහෙයවීම සඳහා යුද පෙරමුණට වඩාත් ආසන්නයේ සිටීමට හිට්ලර්ට ඕනෑ විය. ඔහුගේ බටහිර මූලස්ථානය වූයේ ටෝනස් කඳුවැටියේ පිහිටි ‘රාජාලි පියස’ (Adlerhorst) නම් බලකොටුවයි. 1944 දෙසැම්බර් 16 දා ජර්මන් කාල තුවක්කු 2000ක් ආර්ඩ්න්ස් වනය හරහා බටහිර පෙරමුණේ පහර දුන්හ. ඒ දිනවල අයහපත් කාලගුණය නිසා මිත්‍ර පාක්ෂික ගුවන්යානා වලට අහස් ගත වීමට නොහැකි වීම අමතර වාසියක් වූ අතර ජර්මන් යුද ටැංකි අමෙරිකානු පෙරමුණ කඩාගෙන සැතපුම් 50ක් ඉදිටියට ගියේය. පෙරමුණ පසුපස ස්ථාන වල ඇමෙරිකනු නිල ඇදුම් හා අවි දරමින් ඉංග්‍රීසි කතා කල ජර්මන් ‘දිගු දුර විහිදුම්’ භටයෝ සංඥා පුවරු වෙනස් කරමින්ද, සැපයුම් වාහන වැරදි මාර්ග වල යවමින්ද නොයෙක් කඩාකප්පල් කාරී ක්‍රියා වල යෙදුනෝය. ඔවුන් මෙහෙයවන ලද්දේ මුසෝලිනි මුදා ගැනීමේ හා හෝර්ති ගේ පුතා පැහැරගෙන යාමෙ මහ මොලකරු වූ එස්. එස්. ලුතිනන් කල්නල් (SS-Obersturmbannführer) ඔටෝ ස්ක්‍රොසනි ය. හිට්ලර් මොහොතක ඔකඳ විය. “අන්න දැක්කද? මන් කිව්වෙ, මේව මහ ලොකු වැඩ නෙවේ ඔය ජනරාල්ල පස්ස ගැහුවට. අපි දිනනවා. මේක පැරදුනත් ආයි වැරදිලාවත් හිතන්නෙපා 1918 වගේ දෙයක් ආයෙමත් වෙන්න ඉඩ තියේවි කියල. ඔක්කොම සුනු විසුන කරලයි පස්ස බලන්නෙ අපිත් එක්කම. ආයෙ ජයග්‍රහකයෙක් ඉතුරු කරන්නෙ නෑ.” තෙදිනකින් මියුස් නදිය කරා ලඟා වීමෙන් අනතුරුව ජර්මන් 5 වන පැන්සර් හමුදාවවේ ජවය සිදී ගියේය. මෙය පෙරමුණු ආඥාපති වොන් රන්ස්ටඩ් හා මාණ්ඩලික ප්‍රධානී ගුඩේරියන් කල් ඇතිව බිය පල කල තත්වයකි. මීට විසඳුමක් ලෙස හිට්ලර් ගේ පුද්ගලික එස්. එස්. ඩිවිෂනය වූ ‘ලයිබ්ස්ටැන්ඩර්ට් අඩොල්ෆ් හිට්ලර්’ බල ඇණිය ඔවුනට සහාය පිණිස උතුරට යැවීමට වොන් රන්ස්ටඩ් යෝජනා කලද හිට්ලර් ඊට කැමති වූයේ නැත. එස්. එස්. භටයන් හමුදාවේ උපකාරක සේවා වල යෙදවීම ඔහු නුරුස්සයි. මේ අතර කාලගුණය යහපත් විය. ඒ අවසරයෙන් මිත්‍ර පාක්ෂික ගුවන්යානාවෝ අහස්කුසට යලි අරක් ගත්හ. මෙය බටහිර පෙරමුණේ ජර්මන් යුද අපරාධ වඩාත්ම වාර්තා උන සටනයි. සිර භාරයට පත් අමෙරිකානු භටයන් සිය ගනනක් සාපරධී ලෙස වෙඩි තබා මරා දමනු ලැබූහ. මෙමගින් අමෙරිකානුවන් සටනට පසුබට වනු ඇතියි හිට්ලර් අපේක්ෂා කලද ඉන් සිදුවූයේ ඔවුන්ගේ අධිෂ්ඨානය ඉහල යාම පමණි. මිත්‍ර පාක්ෂික හමුදා මත හදිසියේ එල්ල වූ ජර්මන් පීඩනය තුරන් කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍ය අගමැති චර්චිල් ගේ විශේෂ ඉල්ලීම පරිදි 1945 ජනවාරි 12 දා (නියමිත දිනට කලියෙන්) ඇරඹුන රතු හමුදාවේ සිසිර මෙහෙයුම හිට්ලර්ගේ බටහිර මෙහෙයුමේ අවසානය සනිටුහන් කලේය. ජර්මන් හමුදාවට අල්ලාගත් ප්‍රදේශ අතහැර මුල්ස්ථාන කරා යලි පසු බැස යාමට නැගෙනහිර පෙරමුණේ රුසියානු ප්‍රහාරය විසින් බල කෙරනු ලැබුවද ප්‍රථිඵලය ගැන සෑහීමකට පත් විය හැකි බව හිට්ලර් ගේ මතය විය. අමෙරිකානු භටයන් 81,000 කට මිය ගිය ජර්මන් භටයන් ගණන 10,000කි. නිගමනය සෛද්ධාන්තිකව නිවැරදි වුවද ප්‍රචාරක වාසිය හැර එහි කිසිදු ප්‍රායෝගික වටිනා කමක් නොවූයේ දරාගැනීමේ හැකියාව අතින් ගත්කල යුදබිමට පුරප්පාඩු යැවීම අමෙරිකානුවන්ට ඉතා පහසු කාර්යයක් වුවද ජර්මනියට දැන් එය තවදුරටත් මුහුණදිය නොහැකි මට්ටමේ අභියෝගයක් නිසාය. ඒ සඳහා කාලයක්ද ඉතිරිව නොතිබිණ, මන්ද උදා වෙමින් පැවතියේ අවසන් සටන බැවිනි.

(c) Chamara Siriwardene

හිට්ලර් බර්ලිනයට පැමිණේ (1945 ජනවාරි)

දෙසැම්බරයේ හිට්ලර් ‘රාජාලි පියසේ’ (Adlerhorst) හිඳ අර්ඩ්න්ස් වනයේ සටන් මෙහෙවන අතරතුර රුසියානු සිසිර මෙහෙයුම ලඟ ලඟ එන වග දත් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ගුඩේරියන් විකල්ප ආරක්ෂක සැලැස්මක් වහ වහා පිළියල කලේ සැතපුම් 725 ක් ඔස්සේ පමනට වඩා විහිදුන ඌන සන්නද්ධ ජර්මන් පෙරමුණ සතු ශක්තිය කොහෙත්ම ප්‍රමාණවත් නොවන වග දත් නිසාය. ප්‍රහාරය ආරම්භ වීමට පොරොතුව පෙරමුණට සැතපුම් 12 ක් පිටිපසින් අළුතින් ආරක්ෂා සීමාවක් ගොඩ නැගීමටද, සතුරාට හොර රහසේ එහි බල ඇණි ස්ථාන ගත කිරීමටද හේ කල්පනා කලේ රුසියානුවන් සුපුරුදු පරිදි ආක්‍රමණය ආරම්භයේ ඉදිරි ආරක්ෂක සීමාවට ආරම්භයේ එල්ල කරන කාලතුවක්කු හා ‘කත්යූෂා’ රොකට් වෙඩි මුර පෙරටු කොටගත් දැවැන්ත වෙඩි බලය එමගින් මුළුමනින් අපතේ හැරිය හැකි බැවිණි. අනතුරුව බිය සැක රහිතව ඉදිරියට එන සතුරාට මුළු ජවය යොදා පෙරලා පහරදී අන්දමන්ද කොට පසු බැස්වීම ඔහුගේ උපාය විය. “මොනවා? හැතැම්ම 12 ක් සටනක් නොකර නිකම්ම අතෑරල පස්සට යන්න? තමුසෙට පිස්සුද? ඕන්නම් හැතැප්ම 2 ක් පිටුපස්සෙන් තමුසෙගෙ ඔය සීමාව අටව ගන්නවා. ඒත් වැඩියි වගේ…” හිට්ලර් ඒ ඇසූ සැනින් කෑ ගෑවේය. ගුඩේරියන්ට හැඟුනේ නායකතුමා තවමත් පලමු ලෝක යුද්ධයේ මානසිකත්වයට කොටුවී සිටින බවය. කොහොම කොහොමින් හෝ ආරක්ෂක සීමාවේ ඉදි කිරීම් අවසන් කෙරුනේ යැයි කියමු. බටහිර පෙරමුණේ සංචිතයෙන් මුදා හැරුන එස්. එස්. පැන්සර් ඩිවිෂන කිහිපයක් එහි ගෙන ඒමට ගුඩේරියන් අදහස් කලේය. එහෙත් ඒවා හන්ගේරියාවට යැවීමට හිට්ලර්ට ඕනෑ විය. බුඩාපෙස්ට් නුවර සෝවියට් සතුරා විසින් වටලනු ලැබ ඇත. මේ අතර වාරයේ බටහිර පෙරමුණේ තවත් සටනකට මුල පිරිමට මහ සෙනෙවි මණ්ඩලයේ (OKW) මෙහෙයුම් නිළධාරියා වන ජොඩ්ල් තැත් කරයි. “වැරදිලාවත් ඉහල සයිලේසියාවට රතු හමුදාව ඇතුල් උනොත් ඔය කොයිකත් කොරල හමාරයි. අපේ ආයුධ කම්හල් ඔක්කොම තියෙන්නෙ එහේ. ” ගුඩේරියන් පෙන්වා දුන්නේය. “තමුසෙ ඔය උඩ පැන්නට රුසියානුවො මේ ශීත සෘතුවෙ පහර දේවිද කියලත් මට සැකයි…” හිට්ලර් කීය. අපේක්ෂිත රුසියන් මෙහෙයුමේ පරිමාණය ගුඩේරියන් පවා අවතක්සේරු කලද, සතුරාගේ ශක්තිය පිළිබඳ ඔහු ඉදිරිපත් කල තොරතුරු පවා පිළිගැනීමට හිට්ලර් සූදානම් වූයේ නැත. “කව්ද මේව තමුසෙට හදල දීපු බූරුවා? වහාම මිනිහව අතඩංගුවට ගෙන පිස්සන් කොටුවකට යවනවා.” හේ අණ කලේය. වාර්තාව පිළියල කරන ලද්දේ තමාගේ දක්ෂතම නිළධාරියෙක් විසින් බව කියමින් ගුඩේරියන් පින්සෙන්ඩු විය. “මම මේ හැම තොරතුරක්ම නැවත පරීක්ෂා කරලයි තියෙන්නෙ නායක තුමා.” “මොනව උනත් තවත් බල ඇණි නම් දෙන්න බෑ. මේ තරම් සංචිත නැගෙනහිර පෙරමුණට කවදාවත් තිබිල නෑ.” “නැගෙනහිර පෙරමුණ කඩදාසි ගෙයක් වගයි නායක තුමා. එක තැනකින් හෙල්ලුනොත් ඔක්කොම කඩාගෙන වැටෙනවා. ඩිවිෂන 12 ක සංචිතයක් නම් හොදටෝම මදි… ” “නැගෙනහිර පෙරමුණ දැනගන්න ඕන තියන විදියට පිරිමහ ගන්න,” හිට්ලර් කීවේය. 1945 ජනවාරි 12 වෙනිදා උදෑසන රුසියානු ප්ර්හාරය ආරම්භ විය. පුරා දෙපැයක් බර අවි වලින් පහර දුන් මාෂල් ඉවාන් කොනෙව් ගේ සෝවියට් 1 වන යුක්රේනියන් පෙරමුණට එකිනෙකට සතපුම් 2 ක පරතරයක් ඇතිව තිබූ ගුඩේරියන් ගේ ආරක්ෂක සීමා දෙකම බිඳ හෙලීමට ගත වූයේ පැය කිහිපයකි. අනතුරුව වොර්සෝවට උතුරින් හා දකුණින් උදම් රළක් මෙන් පෙරලී ආ මාෂල් ජෝර්ජි සුකොව් ගේ සෝවියට් 1 වන බෙලෝරුසියන් පෙරමුණට ජර්මන් පෙරමුණු ඒකක මෙන්ම සංචිත බලඇණියද එහෙම් පිටින් බිලි වූ අතර සෝවියට් යුද ටැංකි හමුදා දෙකකට කොටුවූ 16 වන හ 17 වන පැන්සර් ඩිවිෂන වලින් දිවි ගලවා ගෙන පලා යාමට සමත් වූවෝ සුළු පිරිසකි. අනතුරුව මාෂල් කොන්ස්තන්තීන් රොකොසොව්ස්කිගේ සෝවියට් 2 වන බෙලොරුසියානු පෙරමුණ වඩාත් උතුරින් පහර දුන්නේය. නැගෙනහිර ප්‍රසියාවේ සිට කාර්පේතියන් කඳු දෙසට සැතපුම් 350 ක් පලල් පෙරමුණක් ඔස්සේ ඔවුහු බටහිර දෙසට ගමන් කලහ. හිට්ලර් සම්පූර්ණ වරද පැටවූයේ ගුඩේරියන් මතය. “එදා මම තේරෙන ජර්මන් බාසාවෙන් කිව්ව හැතැප්ම 12 ක් පිටිපස්සෙන් දෙවන ආරක්ෂක සීමාව ගොඩ නගන්න කියලා. කව්ද මේව මේතරම් කිට්ටුවෙන් හදවපු මොට්ටයා?” නියෝගය නිකුත් කරන ලද්දේ හිට්ලර් විසින්ම බව ගුඩේරියන් පෙන්වා දුන්නද එය පිළි නොගත් ඔහු කලින් සාකච්ඡාවේ සභා වාර්තා ගෙන්වා ගත්තද කියැවූයේ එහි පෙලි මුල් පෙලි දෙක පමණි. හේ අමනාපයෙන් කඩදාසි ටික පැත්තකට විසි කලේය. නැවත දෝස්මුරයකට මුහුණ ඳිමට ගුඩේරියන්ට සිදු විය. “තමුසෙ මට උගන්නන්න එන්න ඕන නෑ. ජර්මන් හමුදාව පස් අවුරුද්දක් තිස්සෙ මෙහෙයවන්නෙ මම. ඔය සෙනෙවි මණ්ඩලේ ඉන්න මහත්තුරුන්ට හිතන්නවත් බැරි අත්දැකීම් මට තියෙන්නෙ. මම ක්ලවුස්විට්ස් ගෙ, මෝල්ට්කේ පොත පත විතරක් නෙවෙයි වොන් ශ්ලීෆන් ගෙ සටහන් හිටන් කියවල තියනව. තමුසෙට වඩා පැහැදිලිව මට දේවල් පේනවා තේරුනාද?” “මොනව උනත් වොර්සෝවෙ ජර්මන් ගැරිසනය දැම්ම ඉවත් කරගන්න වෙනව නායක තුමා. එතන ඉන්න අනුඛණ්ඩ 4ට කාලතුවක්කු කීපයක් එක්ක රතුහමුදාව එක්ක සටන් කරන්න බෑ.” අවසරක් බලා ගුඩේරියන් කීවේය. “අඩියක් පස්සට ගන්න තහනම්! ආයි නොකිව්වයි කියන්න එපා…” කරුණු සාකච්ඡා කිරීමට තරම් තත්වයක් එහි නුවූ බව අවබෝධ කොටගත් ගුඩේරියන් යන්නට ගියේය. තත්වය බරපතල බවද, බටහිර පෙරමුණේ ආරක්ෂක අඩියකට මාරුවෙමින් හෝ නැගෙනහිර සටන සඳහා බල ඇණි මුදා ගැනීම හැර අන් විකල්පයක් දැන් නොමැති බවද හිට්ලර්ට ද දැන් දැන් වැටහේ. ජනවාරි 16 දා ‘රාජාලි පියසෙන්’ නික්මුන ඔහු යලි බර්ලිනය කරා පැමිණියේ එහෙයිනි. වෙනදා මෙන් යෝධ ස්වස්තික ලෙලවමින් පාර දෙපස ඔල්වරසන් දීමට කිසිවෙකුත් නොවූහ. ගුවනින් ඇද වැටෙන බෝම්බ නිසා සුන්බුන් වූ ගොඩනැඟිලි වලින් පිරීගිය අගනුවර පෙනුම මූසලය. දොම්නස් සහගත සිතුවිලි දනවයි. මෙතැනින් ඔබ්බට හිට්ලර්ගේ වාසස්ථානය වූයේ හානි වී තිබූ චාන්ස්ලර් මන්දිරය නොව ඊට අඩි 50ක් ගැඹුරින් පොළොව යට මෑතක දී ඉදි කොට නිම කෙරුන ඝන කොන්ක්‍රීට් බංකරයකි. කුඩා කාමර 18කින් සමන්විත වූ එහි ඔහුගේ පුද්ගලික කාර්ය මණ්ඩලය හා ආරක්ෂකයන් සඳහා ද ඉඩකඩ වෙන් වූ අතර චාන්ස්ලර් මන්දිරයේ කුස්සිය මෙන්ම උද්‍යානය හරහාද ඊට ඇතුළු විය හැකි විය. මේ බංකරය තමාගේම වූ විදුලි උත්පාදක යන්ත්‍රයකින් හා ස්වාධීන දුරකථන පුවරුවකින් සමන්විතය. වෙනම ඒකකයක් ඊට වාතාශ්‍රය සපයයි. ඉහලින් අහසේ පාවෙන යෝධ බැලූනයක් ඇත. සැතපුම් 35ක් දුරින් වූ සෝසෙන් නගරයේ පිහිටි මහ සෙනෙවි මණ්ඩලයේ (OKW) මූලස්ථානය හා ඉහල සංඛ්යාත ඔස්සේ පණිවුඩ සම්ප්‍රේෂණය කිරීමේ පහසුකම් සපයන ලද්දේ එහි සවිකොට තිබූ රේඩියෝ දුරකථනය හරහාය. එහි සිට දිනපතා යුද සාකච්ඡා සඳහා බංකරයට පැමිණි හමුදා නිළධාරීන්ට ගමන සඳහා පැය 3ක් ගත විය. වඩාත් වැඩි ඉඩකඩින් යුතුවීම, නවීන සන්නිවේදන පද්ධතියකින් සමන්විත වීම, සමස්ත අණදෙන ව්‍යුහය එහි ස්ථානගතව තිබීම හා එහි පිහිටීම සතුරා දැන නොසිටිම නිසා මිත්‍ර පාක්ෂික ගුවන් ප්‍රහාර වලට ඉලක්ක නොවීම යන හේතුන් මත මහ සෙනෙවි මණ්ඩල මූලස්ථානය වාසයට වඩාත් සුදුසු වුවද, හමුදාවේ වහලක් යට සිටීමට තරම් විස්වාසයක් හිට්ලර් තුල තම ජනරාල්වරු කෙරේ නැත. ජනවාරි 17 දා රතුහමුදාව පෝලන්ත අගනුවර වූ වොර්සෝව අත්පත් කොට ගති. නගරයේ වූ ජර්මන් ගැරිසනය හිට්ලර්ගේ නියෝගයට එරෙහිව පසුබැස්සේ සතුරාට මුහුන දීමේ හැකියාවක් නුවූ නිසාය. මේ ඇසූ හිට්ලර් යක්ෂාවේෂ වූයේ, පසුබැසීමට වගකිව යුතු හමුදා සෙනෙවි මණ්ඩලයේ (OKH) නිළධාරින් තිදෙනෙක් සිර ගත කිරීමට නියම කලේය. සිද්ධියේ සම්පූර්ණ වගකීම භාර ගත් ගුඩේරියන් තමා අත්ඩංගුවට ගෙන සෙස්සන් නිදහස් කරන මෙන් අයැද සිටියද ඉන් වැඩක් නොවීය. ගෙස්ටාපෝ ඒජන්තයෝ ඔහුගෙන් දීර්ඝ කට උත්තරක් සටහන් කොට ගත්හ. පසුව දා හන්ගේරියාවේ බුඩාපෙස්ට් අගනුවර ද රුසියානුවන්ට යටත් විය. හිට්ලර් වහා 6 වන පැන්සර් හමුදාව එහි පිටත් කොට හැරියේය. හන්ගේරියාවේ තෙල් නිධි නොමැතිව යුද්ධ කොට නොහේ. එපමනක් නම් මදෑ! මින් මත්තට නැගෙනහිර පෙරමුණේ කෙරෙන ලොකු කුඩා සෑම යුද මෙහෙයුමක් පිලිබඳවම තමාට ‘කල් ඇතිව’ දැනුම් දිය යුතු බවටද ඔහු ගුඩේරියන්ට නියෝග කලේය. “එතකොට මට පුළුවන් වැරදි නිවැරදි කරන්න. නැත්නම් මේ පැන්සර් අණදෙන නිළධාරියො පිස්සු නටනවා.” ජනවාරි 24දා රොකොසොව්ස්කිගේ සෝවියට් 2වන බෙලෝරුසියන් පෙරමුණ විස්ටුලා ඩෙල්ටාව අත්පත් කොට ගත්තේය. ජර්මන් පොළොව මත රුසියානු බූට් සපත්තු දැන් පියවර නඟයි. ජර්මන් අණදෙන නිලධාරීන් දෙදෙනා වත් කරන ලද්දේ ඔවුන්ගේ කාර්ය මණ්ඩල සමඟමය. “ ඒ දෙන්නගෙ වැරැද්දක් නෑනෙ නායක තුමා. සෝවියට් සන්නාහ සන්නද්ධ බල ඇණි එක්ක අපිට හැරෙන්නවත් බෑ.” ගුඩේරියන් මැදිහත් විය. “තමුසෙ කට වහගෙන ඉන්නවා. හරිනම් දෙන්නම යුද්ධාධිකරනෙකට ඉදිරිපත් කරන්නයි තියෙන්නෙ.” හිට්ලර් ඔහුගේ ඇඟට ගොඩ විය. මධ්‍යම පෙරමුණේ නව අණදෙන නිළධාරියා ලෙස උග්‍ර නාසි වාදියෙකු ලෙස ප්‍රකට ජනරාල්ෆීල්ඩ්මාෂල් (Generalfelsmarschall) ෆර්විනැන්ඩ් ෂෝනර් ය. අධෙර්යයට පත් ගුඩේරියන් විදේශ ඇමති ජෝකිම් වොන් රිබන්ට්‍රොප් හමු විය. “යුද්දෙ මේ විදියට ගෙනියන්න අමාරුයි ඇමතිතුමා. බටහිර පෙරමුනේ වත් සාමයක් ඇති කරගන්න නායකතුමා කැමති කරගන්න උත්සහ කරොත් නරකද? බටහිරින් අතිරේක හමුදා ගෙන්න ගන්නෙ නැතුව රුසියානුවො නවත්තන්න දැන් නම් කොහොමවත් බෑ.” “පිස්සුද? නායක තුමා ඕකට කොහොමටවත් කැමති වෙන්නෙ නෑ.” රිබන්ට්‍රොප් ගත් කටටම කීවේය. නායකතුමා කේන්ති ගැස්වීමට ඔහු අකැමැතිය. “එහෙනම් ඉතින් තව සති තුන හතරකින් රුසියානුවො බර්ලින් නගරෙ ගේට්ටුව ලඟ ඉදිවී!” “ඇත්තටම එහෙම වේවිද කල්නල්-ජනරාල්? ඔහෙට හොඳටම විස්වාසද?” රොබන්ට්රොපප් ඇසුවේ ඇස් උඩ හිඳුවා ගනිමිනි. ඉක්මන් සාමයක් ඇති නොවන්නේ නම් එසේ විය හැකි බව ගුඩේරියන් නොවලහා කීය. “හැබයි මම කිව්ව කියල නම් කියන්න එපා. දන්නවනෙ? මෙතන විසුමක් වෙන්නෙ නෑ” මණ්ඩලික ප්‍රධානියාගේ වගක් ගැන කෙල බිඳක් නොහලන බවට දිවුරා පොරොන්දුවූ රිබන්ට්‍රොප් එදා හවසම සිද්ධිය හිට්ලර්ගේ කණේ තිබ්බේ කතාවේ ඉස්පිල්ලක් පාපිල්ලක් නෑරය. හදිසි කැදවීමක් ලැබ බංකරයට ගිය ගුඩේරියන් දුටුවේ හිට්ලර් කෝපයෙන් වෙව්ලන බවයි. “ආපහු සැරයක් මට ආරංචි උනොත් කවුරුහරි තව කෙනෙකුට කියල තියෙනව යුද්දෙ පරාදයි කියල, ආයෙ තාරාතිරම බලන්නෙ නෑ උපරිම දඬුවම් දෙනව. මේ තමුසෙට කියන අන්තිම වතාව. තේරුනාද?” “තේරුනා, මගේ නායක තුමනි,” ගුඩේරියන් කීය. හිට්ලර් තමා තනතුරින් පහ නොකීරීමට එකම හේතුව වූයේ ඇබෑර්තුව පිරවීමට සුදුස්සෙක් නොසිටීම බව ඔහු දත්තේය.

(c) Chamara Siriwardene

හිට්ලර් නම් විනාශයේ දේවතාවා (1945 ජනවාරි 27-30)

වොර්සෝවට උතුරින් හා දකුණින් විස්ටුලා ගඟ තරණය කොට බටහිර දෙසට පහරදෙමින් ආ මාෂල් ජෝර්ජි සුකොව් ගේ බලඇණි වල ඉදිරි ගමන නැවැත්වීමේ අවසන් උත්සාහය ලෙස නව හමුදා කණ්ඩායමක් ගොඩ නැගීමට හමුදා සෙනෙවි මණ්ඩලයේ (OKH) ප්‍රධානී ගුඩේරියන් පිළියල කල සැලසුම දැක පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය හිට්ලර් එය දුටු පමාවෙන් අනුමත කිරීමෙන් නොනැවතී එය ‘විස්ටුලා’ හමුදා කණ්ඩායම ලෙස නම් කලේය. අනතුරුව ඔහු අනතුරුව හිතුමතයේ මුල් සැලසුම වෙනස් කිරීමට වන. එහි අණ දෙන නිළධාරියා ලෙස ගුඩේරියන් යොජනා කලේ බෝල්කන් කලාපය භාර ආඥාපති ජනරාල්ෆීල්ඩ්මාෂල් ෆ්‍රෙයිහර් වොන් වයිච්ස් ය. “මොන පිස්සුද? විස්ටුලා කණ්ඩායමට අණ දෙන්නෙ වෙන කවුරුවත් නෙවේ අපේ හිම්ලර්!” එස්. එස්. නායක හා අභ්‍යන්තර ඇමති හිම්ලර්ට පොලිස් ප්‍රධානියකු ලෙස හැරුන කොට යුද බිමේ අනදෙන නිළධාරියෙකු ලෙස අත් දැකිම් නොවීය. ගුඩේරියන් මෙසේ කීය. “මේක බොහොම භාරදූර වැඩක් නායක තුමා. එස්. එස්. රයික්ස්ෆියුරර් තුමාට (SS Reichsfuehrer) තියන වැඩ රාජකාරි කන්දරාව අස්සෙ කොහොමද තවත් යුද පෙරමුණකටත් අණ දෙන්නෙ?” “තමුසෙ එස්. එස්. රයික්ස්ෆියුරර් තුමා දැන දන්නෙ නැතුව ඔහොම කතා කරන්නෙ. බොහෝම දක්ස සංවිධායකයෙක් වගෙම පරිපාලකයෙක්. හිම්ලර්ගෙ නම ඇහුනමත් ඇති පෙරමුණේ ‘මොරාල්’ නගින්න. අනික සංචිත හමුදාවෙ අනදෙන නිළධාරිය හැටියට හිම්ලර්ට විතරයි පුළුවන් කෙටි කාලෙකප්‍රෞවමනා කරන බල ඇණි ටික හරි සූදානම් කරන්න,” හිට්ලර් තරයේම කියාසිටියේය. “එහෙමන් ඉතින් අපි අඩුගානෙ අත් දැකීම් තියන හොඳ කාර්ය මණ්ඩලයක් වත් අලුත් හමුදා කණ්ඩායමේ මූලස්ථානයට පත් කරමු.” “ ඒ අහවල් එකකටද? හිම්ලර් තමන්ට හරියන මිනිස්සු එස්. එස්. එකෙන් හොයා ගන්නෙ නැතෑ.” මහත් ආශාවෙන් තනතුර භාරගත් හිම්ලර් තම මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කොටගත්තේ එස්. එස්. මේජර් ජනරාල් (SS Brigadefuehrer) හයින්ස් ලැමර්ඩින්ග් ය. ගුඩේරියන් පැවසූ පරිදි ඔහු නිර්භීත පැන්සර් අණදෙන්නෙක් වුවද, මාණ්ඩලිය නිළධාරියෙකුගේ කාර්යභාරය කවරක් දැයි හරිහැටි නොදත්තේය. එහෙයින් ආරක්ෂක අගල් ගොඩ නැගුනේ උතුරේ සිට දකුණට නොව නැගෙනහිර සිට බටහිරටය. නැගෙනහිර ප්‍රසියාව තුලට කඩා වැදුන රොකොසොව්ස්කිගේ සෝවියට් 2 වන බෙලෝරුසියන් පෙරමුණ ජනවාරි 27 දා මෑතක් වනතුරුම හිට්ලර්ගේ නැඟෙනහිර මූලස්ථානය වූ ‘වෘක ලෙන’ අත්පත් කොට ගත්තේය. පසුවදා ඉහල සයිලේසියාවට ඇතුළුවී කැටොවයිස් නගරයේ සිට සැතපුම් දොලහක් ගිණිකොන දෙසට ගමන් කොට දැඩි සටනකින් පසු පාළු දෙනියක පිවිසි ගොඩනැගිලි සංකීර්ණටකට ඇතුළුවූ කොනෙව් ගේ සෝවියට් 1 යුක්රේනියන් පෙරමුනේ 100 වන විශේෂ ඩිවිෂනයට සිය නෙත් අදහා ගත නොහැකි විය. ලහි ලහියේ පසුබැස ගිය එස්. එස්. භටයන් අතැර දමන ලද ඒ පිරික්සුම් කඳවුර තුල ඊට පෙර මරා දැමීමට කාල වේලාව මදිවීම නිසාම ජීවත්වීමේ වරම ලද මනුෂ්‍ය ප්‍රාණීන් 5000ක් තව දුරටත් සිර කරනු ලැබ සිටියෝය. ඇතමෙකුට ඇවිදීමට පවා නොහැකි තත්වයේ පසුවූයේ මන්දපෝෂන තත්වයේ සිටිමින් බර වැදෙහි යොදවනු ලැබ තිබූ හෙයිනි. අනතුරුව කල සොයා ගැනීම වඩාත් අනපේක්ෂිත හා සිත් සසල කරවන සුළුවිය. පිටු පස මඩු තුල ගැහැණු පිරිමි හා ලමා ඇඳුම් දොලොස් ලක්ෂයක් පමණ බෙදා වෙන්කොට ගොඩ ගසා තිබිණ. පසෙක වූ පාවහන්, ඇස් කන්නාඩි හා කෘතිම දත් ගොඩ කුඩා කන්දකට වඩා තරමින් නොඅඩුය. ගබඩා කොට තිබූ කාන්තා කෙස් වල බට ටොන් 7කි. මේවායේ හිමිකරුවන් තවදුරටත් ජීවතුන් අතර නුවූ බවට ඝාතකාගාර හා මිනිස් උදුන් කියා පෑය. මොස්කොව් සිය සැතපුම් දහසක් දුරුකත ගෙවමින් සටන් වැදුන රළු පරළු කොසෑක් භටයෝ පවා මේ බිහිසුනු දර්ශනයෙන් කම්පාවට පත් වූහ. නාසි රජය සංවිධානාත්මක සංහාරක කඳවුරු පවත්වා ගෙන යනබවට හාහෝවක් තිබුණද එවැන්නක් ලොව දුටු පලමු අවස්ථාවයි ඒ. මෙම බිහිසුණු ඝාතකාගාරය පිළිබඳ සියළු සාක්ෂි විනාශ කිරීමට හිට්ලර් හා හිම්ලර් අදිටන් කොටගෙන සිටි රතු හමුදාව නොසිතූ වේගයෙන් ඉදිරියට ඒම නිසා කඳවුරු ආරක්ෂක බල ඇණියට එම නියෝගය ක්‍රියාත්මක කිරීමට කාල වේලාව මඳ විය. නවසිය හැත්තෑවේ දශකයේ ලංකාව පවා (හදිසි නීති රෙගුලාසි යටතේ) නීතිගත කල මළ සිරුරු සාක්ෂි ඉතිරි නොවන සේ පුළුස්සා දැමීමේ පහසු රීතිය ලෝක පොලිස් අත් පොතට හඳුන්වා දීමේ ගෞරවය හිමි විය යුත්තේ එස්. එස්. ෆීල්ඩ්-මාෂල් (SS Reichsfuehrer) හයින්රිච් හිම්ලර්ට බව දුරු කතර රටවල අදද ඒ උපක්රමය සාර්ථක ලෙස භාවිත කරන්නෝ නොදනිති. එහෙත් රතු හමුදාවේ ආවේගශීලී ප්‍රහාාරයට මුහුණදීම නිරායුධ සිරකරුවන් ගාල් කොට අතුරුදන් කරවීමට වඩා බොහෝ අසීරු කාර්යයක් බව මෙම සීමාන්තික සර්ව-ජර්මන් වාදියා වටහා ගත්තේ තමා අණදුන් අභිනව ‘විස්ටුලා’ හමුදා කණ්ඩායම ඉතා පහසුවෙන් පසුබස්වමින් ඉදිරියට ආ සුකොව් ගේ සෝවියට් 1 වන බෙලෝරුසියානු පෙරමුණ ජනවාරි 29 දා ඔඩර් ඉවුරු වලට ලඟා වීමෙන් ද අනතුරුවය. දනි පනියේ අයිස් තට්ටු හරහා වම් ඉවුරට පැනගත් හිම්ලර්ගේ හමුදා පසුපස රුසියානුවන් තවදුරටත් ලුහු බැද ඒම වැලකී ගියේ හදිසියේ ඕඩර් නදියේ හිම දියවී යාම නිසාවෙන් මිස ඔහුගේ දස් කම් නිසා නිවේ. මිත්‍යාව ප්‍රිය කල හිම්ලර් මෙය දුටුවේ දෛවයේ හාස්කමක් ලෙසයි. “සමහර මිනිස්සු හිතන් ඉන්නෙ මම හිතක් පපුවක් නැති අසත් පුරුෂයෙක් කියල. ඒත් මම දෙවියන් හා දෛවය ගැන විශ්වාස කරනවා,” ඔහු තම ඔත්තු සේවා ප්‍රධානියා වූ එස්. එස්. මේජර් ජනරාල් (SS Brigadefuehrer) වොල්ටර් ෂෙලන්බර්ග් සමඟ කීවේය. “ගිය අවුරුද්දෙ ඝාතන කුමන්ත්රැනයෙන් නායකතුමාගේ ජීවිතය ගැලවුන එක හාස්කමක්. මේ වසන්තයේ කලින් හිම දියවීමත් ඒ වගෙ…” ෂෙලන්බර්ග්ටද යුද්ධය රිසි නැත. සිය ඔත්තු සේවා ජාලය තුලින් ගොඩ නඟා ගෙන තිබු සබඳතා හරහා බටහිර සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට ඔහු හොර රහසේ සිහින දකිනින් සිටී. ඇතැම් ඉහල පෙලේ එස්. එස්. හා පොලිස් නායකයන්ගේ මෙන්ම ඔහුගේ අප්‍රකාශිත මතය වූයේ ජර්මනිය වත්මන් තත්වයෙන් ගොඩ එමට නම් පාලන බලය හිම්ලර් අතට මාරුවිය යුතු බවය. හිට්ලර් වෙනුවෙන් මිය යාමට නිතර සූදානම් ව සිටි හිම්ලර්, තම සමීපතම අනුගාමිකයන් තුල වූ කසුකුසුව ගැන නොදැන සිටියේ යැයි සිතිය නොහේ. හේ ඔවුන්ව දිරිමත් කලේ නැති බව සැබවි. එහෙත් ඔවුනට තරවටු කලේ ද නැති. සමීපතම සගයෙක් ඉඟියක් කලගොත්දී හේ උවැසියෙක් මෙන් උපේක්ෂා සහගතය. “විහිළු කරා වගේ නෙවෙයි. ඕව උග්‍ර රාජද්‍රෝහී චෝදනා…” හේ අනතුරු හඟවයි. ගෝරින් මේ දිනවල කණස්සල්ලෙනි. බටහිර පෙරමුනේ වහා සාමයක් ඇතිකොට නොගතහොත් සුන්දර ජර්මනිය රුසියානුවන් විසින් අත්පත් කොර ගැනීම නොවැලැක්විය හැකි වග දුටු ඔහු හිට්ලර්ට ඒ බව කෙලින්ම පැවසීමට යාමෙන් සිදු විය හැක්කේ වඩාත් අගතියක් පමණක් බවද අවබෝධ කොටගෙන සිටි‍යේය. නායකතුමා පරාජය ගැන සඳහන් කිරීම පවා නුරුස්සයි. ලෝකෙ කා වතුර බී සිටි ගෝරින් අවසානයේ ප්ර ස්තූතියට එලැඹියේ දින කිහිපයක් පුරා හොරගල් අහුලමින් සිටිමෙන් අනතුරුවය. “බටහිර රටවල් බලාපොරොත්තු නොඋන තරමට රතු හමුදාව යුරෝපය ඇතුලට ඇවිත්. මෙහෙම ගියොත් නම් අද හෙටම ලන්ඩනයෙන් ටැලිග්රෑම් එකක් එන්න බැරි නෑ රුසියන් ඉදිරිගමන වලක්වන්න අත් වැල් බැඳ ගන්න අපට ආරාධනා කරල….” කල්යල් බලා යුද සාකච්ඡාවක් අතරතුර ඔහු ඇඟට පතට නොදැනී කීවේය. “බොහොම හරි, රයික්මාෂල්තුමා. බොල්ෂෙවික් කාරයොන්ට ජර්මනිය අල්ලගන්න ආයෙ සුද්දො ඉඩ තියනව බොරු...” මහ සෙනෙවි මණ්ඩලයේ මෙහෙයුම් ප්‍රධානී ජනරාල් ජෝඩ්ල් ද හූමිටි තැබුවේ කලින් කතා කර නොගත් ගානටය. “මට ඕක තේරිල දැන් හුඟක් කල්, ” හිට්ලර් කීය. “මම රිබන්ට්‍රොප් ලව්ව ලන්ඩනයෙ කර කතාවකුත් පතුරුවල තියෙන්නෙ කොමියුනිස්ට් කාරයො ජර්මනිය අල්ලන්නයි හදන්නෙ කියල. ඒත් ඕවයින් වැඩක් වෙන්නෙ නැහැ. චෙම්බර්ලේන් අගමැති වෙල හිටිය නම් ඔන්න හිතන්නවත් තිබුනා… ” හිට්ලර් තුල එක්වරම ඇතිවූ මේ සාන්ත දාන්ත බව සන්නද්ධකරණ ඇමති ඇල්බර්ට් ස්පීර් විසින් එදින එවන ලද ලිපිය නිසා හෝ නැතිවී ගියේ නැත. ඉහල සිලේසියාවේ කර්මාන්ත කලාප රතු හමුදාව අත්පත් කොට ගැනීමත් සමඟ පෙරමුණට තවදුරටත් අවි නිපදවීමට නොහැකි බැවින් යුද්ධය ආර්ථික හා හමුදාමය වශයෙන් තවදුරත් පවත්වාගෙන යා නොහැකියයි ලියූ නිර්මාන ශිල්පීයා තහනම් වචනය වූ පරාජය නොවැලැක්විය හැකි බව එමගින් ඉඟි කොට සිටියේය. “මෙතැනින් ඔබ්බට සතුරා සතු ද්‍රව්‍යයමය උත්තරීතරත්වය අපගේ සෙබළුන්ගේ නිර්භීත භාවය මගින් සපුරාලිය නොහැක.” ලිපිය සාක්කුවේ දාගත් හිට්ලර් පුරා දෙදිනක් ස්පීර් මුළුමනින් නොතකා හැර සිටියේ ඔහු ගැන ජීවිතයේ කිසිදා දැන නොසිටියාක් මෙනි. අනතුරුව හේ ස්පීර් තමා හමුවට කැඳවීය. “මෙන්න මේක හොඳට හිතට ගන්නව. කර්මාන්ත අංශය ගැන හරි නිෂපාදනය හරි ගැන වර්තා කරන එකයි තමුසෙගෙ කාර්යය. මේ අනිත් වල්පල් මොනවද? සමස්ත තත්වය නිගමනය කරන එක මගේ වැඩක්. ඒක මම කර ගන්නම් තමුසෙ පැත්තකට වෙල දීපු වැඩේ කරනව.” සිටලුම නාසි නායකයන් අඩු වැඩි වශයෙන් එක් පෙරමුණක සටන් විරාමයක් ඇති කොටගැනීමේ අපෙක්ෂාවෙන් පසු වුවද හිට්ලර් එය නොතකා හැරියේය. දුවර්ල තත්වයක හිඳ සාකච්ඡා පැවැත්වීමේ ආදිනව 1918 අත්දැකීම විසින් ඕනෙවටත් වඩා හොදින් උගන්වා ඇත. සාකච්ඡා නොකොට වෘත්තාන්තගත ඇල්ප්ස් කඳුකරය දක්වා පසුබැස පාටිසාන් සටනකට පසු බැසීමේ හැකියාව තිබුනද ඉන් පලක් නුවූයේ පරාජය පිළිබඳ සදහන් කිරීම පවා තහනම් වූ නිසාය. එසේ වුවද නැගෙනහිර පෙරමුණ පිළිබඳ ලබාදුන් දත්ත නිසා වරක් හිට්ලර් ගේ කෝපයට ලක්ව පිස්සන් කොටුවකට යැවීමේ තර්ජනයට ලක්වූ ගුඩෙරියන්ගේ ඔත්තු සේවා නිළධාරියා විසින්ම තහනම නොතකා ඒ සඳහා රහස් වැඩ පිළිවෙලක් සකසා නිබිණ. එහෙත් මේ පිළිබඳ හිට්ලර් සමඟ කතා බහ කිරීමේ අවදානම ගැනීමට නොසිතූ ගුඩේරියන් ඒ වෙනුවට හිම්ලර් සොයා ගොස් එම සැලැස්ම ඉදිරිපත් කලේ ඊලඟට සිටි බලවත්ම පුද්ගලයා ලෙස පෙනුනේ ඔහුවූ නිසාය. “අපෝ මට බෑ ඕවට අත දාන්න,” හිම්ලර් ගත් කටටම කීය. “ අන්තිමට ඕව ලුණු ඇඹුල් එක්ක නායකතුමාගෙ කණට ගියාම ජර්මනියෙ අංක එකේ පරාජිතය හැටියට හංවඩු ගැහෙන්නෙ මාවයි. මට පේන්නෙ සෙනෙවි මණ්ඩලයේ ඉහල මාණඩලික නිලධාරීයොත් යුද්දෙ කරන එක පැත්තකින් තියල ඊට පස්සෙ කරන ඒව ගැන සැලසුම් හද හද ඉන්නවා වගේ. ඒ අතින් නායක තුමා කියන කතාව සම්පූර්න ඇත්ත…” කිසිසේත්ම පිළි නොගත්තද ඉතා පැහැදිලිව පෙනුන නියත පරාජය හමුවේ හිට්ලර්ගේ ප්‍රතිචාරය වූයේ කුමක්ද? පිළිතුරු ලෙස 1945 පෙබරවාරියේ ඒ සාප ලත් බර්ලින් නගරයෙන් නැගුන නාසි වදයේ මේඝ ගර්ජනාව තුලින් යලි දෝංකාර දුන්නේ එහි බිහිසුනු මුල් සූත්‍රයයි; වෙනත් වචනයෙන් කිවහොහ ජයග්‍රහනහණයට ඇති විකල්පය ලෙස හිට්ලර් දුටුවේ විනාශය මිස පරාජය නොවන වගයි...

(c) Chamara Siriwardene

පරාජය අභිමුව සිටි හිට්ලර් සොයා ඉරණම්කාරිය පැමිණේ (1945 ජනවාරි - මාර්තු)

ජනවාරි 30 වැනිදා හන්ගේරියාවේ බටහිර කොටසටපසු බැස සිටි ජර්මන් 2 වන පැන්සර් හමුදාවට රුසියානුවෝ පහර දුන්හ. ස්කැන්ඩිනේවියාවේ හා බෝල්කන් ප්‍රදේශ වල ජර්මන් හමුදා යලි කැඳවා සම්ප්‍රදායික භූමි හෝ රැක ගැනීමේ අවසන් මහ සටනකට සූදානම් වීමට ගුඩේරියන් යෝජනා කලේ රතු හමුදාව හන්ගේරියාවෙන් පෙරමුණ බිඳ දැමූ නිසාය. ඕඩර් ගඟ තරනය කොට බටහිර ඉවුරේ පිවිසුම් රැකවල් පොලක් පිහිට වූ ස්ටාලින්ග්‍රාඩ් හි වීරයා වූ කල්නල්-ජනරාල් වැසිලි චිකොව් අණ දුන් සෝවියට් 8 වන ආරක්ෂක හමුදාව සිටියේ බර්ලිනයට සැතපුම් 40ක් මෙපිටිනි. එහෙත් බැරි මරගාතේ හෝ ප්‍රහාරයක් එල්ල කිරීමට හිට්ලර්ට ඕනෑ විය. ආරක්ෂක අඩියකට පිවිසීමක් ගැන ඇසීම පවා දැන් ඔහු කෝප ගන්වන හේතු දුසිම් කිහිපය අතුරින් ප්‍රධානතම එකකි. දෙදිනකින් අනතුරුව බර්ලිනය එදා මෙදා තුර එල්ලවූ දැවැන්තම මිත්‍ර පාක්ෂික ගුවන් ප්‍රහාරය ද අත් වින්දේය. ඇමෙරිකානු යුද ගුවන් යානා දහසක් විසින් නගරය මත පුපුරණ ද්‍රව්‍ය ටොන් දෙදහසක් හෙලන ලදී. චාන්ස්ලර් මන්දිරය හා ප්‍රචාරක අමාත්‍යාංශය සෘජු ඉලක්ක වෙද්දී බංකරයේ ‘භාරකරු’ හා හිට්ලර්ගේ රහස්‍ය ලේකම් වරයා වූ මාර්ටින් බෝර්මන් ඔබසැල්ස්බර්ග් නුවර සිටි තම ප්‍රිය බිරිඳට හෙවත් දරුවන් දස දෙනෙක් සිටි ‘අම්මි-කෙල්ලට’ (Mommy-Girl) ලිපියක් ලියුවේ එදින චාන්ස්ලර් මන්දිරයේ වතුර සැපයුම නැවතුන බවත් උද්යානයේ වැසිකිලි භාවිතා කරන ඇතැම් ‘කොමාන්ඩෝ ඌරන්’ වතුර බාල්දියක් රැගෙන යාමට පවා කරදර නොවන බවත් මැසිවිලි නගමිනි. ප්‍රහාරය අතර එකදු ජර්මන් ගුවන් යානයක් හෝ සතුරා හා සටන් කිරීම පිණිස අහසට නොනැඟුනේ ඒ සියල්ල ඕඩර් ගඟ බඩ අසබඩ රුසියානුවන් හා සටන් වැදීම පිණිස යොදවා තිබූ නිසාය. කෝපයෙන් වියරු වැටුන හිට්ලර් ගුවන් හමුදාව නිර්දය ලෙස හෙලා දුටු බව ඇසූ අවාසනාවත් ගෝරින් වහා වහා ‘හිම්ලර්ට සහාය වීම පිණිස’ යැයි කියමින් නැගෙනහිර පෙරමුණ බලා නික්ම ගියා පමණක් නොව විස්ටුලා හමුදා කණ්ඩායමේ භටයින් ඇමතීමට පවා ඉදිරිපත් විය. රාජ උදහසට මුහුණ දීමට ධෙර්යයක් නුවූ හේ, මේ අනතුරුදායක මොහොතේ බංකරයේ පෙනී නොසිටීම සඳහා නිදහසට කරුණක් කොටගත හැකි ඕනෑම කටයුත්තක නියැලීමට ඉදිරිපත් වනු ඇත. ඒ දින කිහිපයේ එහි නුවූ ගෝරින්ට හිට්ලර් ලුණු ඇඹුල් ඇතිව බැණ වැදුන බව කලින් සතියේ යුද්ධය පරාද යැයි ලිවීම නිසා තෙමෙම බැනුම් අසා සිටි සන්නද්ධකරණ ඇමති ඇල්බර්ට් ස්පීර් කියයි. නැව ගිලෙන විට මීයන් පනින බවට කතාවක් ඇත. තිහේ දශකය ආරම්භයේ දී හුදු ගෘහ නිර්මාන ශිපියෙකු පමණක් වූ ස්පීර් හිට්ලර්ගේ සිත් දිනාගත්තේ සිය දස්කම් හරහා බව සැබෑ වුවද ඒ වෙනුවෙන් නොවටනා තරම් විශාල වරදාන ලබන අතර තුර නුදුටූ බොහෝ වැරදි හේ දැන් දකිමින් සිටියේය. ඇතැම් විය එය නින්දිත කමක් නොව මිනිස් ස්වභාවය යැයි බටහිර සම්මතයන් විසින් අර්ථ දැක්වනු ඇත. තාක්ෂණික මිනුම් මත ජාතියක පැවැත්ම දකින්නෝ දාර්ශනික දේශපාලනය නොහඟිති. ‘බොහෝ කලකින්’ නුදුටු බව පවසමින් තමා බැහැ දැකීමට දිනක් කද මළු බැදගෙන ‘කැරින් ශාලාවට’ පැමිණි ස්පීර් දුටු ගෝරින් පුදුම වුවද, ඒ වගක් නොපෙන්වා අමුතාට බොහෝ සංග්‍රහ සත්කාර කලේය. බළලා මල්ලෙන් එලියට පැන්නේ දෙදෙනා ගිණි උදුනක් අසල හිඳ රෝස්ට් කල මුවමස් ගිලදමමින් ආගිය තොරතුරු කතා කරන අතරතුරදීය. “මම නම් දැන් බොහොම කලකිරිල ඉන්නෙ මේ නායක තුමාගෙ කෙරුවාවල් ගැන. මෙහෙම ගියොත් නම් ජර්මනිය සම්පූර්නයෙන් විනාස වෙල යනව…” ගොනා හැරෙන්නේ පොල් පැලයට බව ගෝරින් දත්තේය. හේ මෑතක සිට මෝර්ෆීන් නම් මත් ද්‍රව්‍යය වඩ වඩාත් වැඩියෙන් පාවිච්චි කරමින් අලසයෙක් හා වැඩ පැහැර හරින්නෙකු බවට පත්ව සිටියද ද්‍රෝහී කම් ඔහුට රිසි නැත. සුඛ විහරණය ප්‍රිය කල ගෝරින් දේශපාලන දර්ශන නොතැකුවද යුද නිළධාරියෙකු ලෙස සිය ආත්ම ගරුත්වය එලෙස නොතකා නොහැරියේය. “තමුසෙට ඊයෙ පෙරේද පක්ෂෙට එකතු උන නිසා ඔහොම කතා කරන්න පුළුවන්. ඒත් නායකතුමා එක්ක මගේ ඉතිහාසය එහෙම පිටුපාන්න පුළුවන් එකක් නෙවෙයි. වෙන දෙයක් වෙච්චදෙන්, බත් කාපු අතින් ගූ කන්න මට බැහැ.” ගෝරින් ගත් කටටම කීය. මේ අතර ක්‍රිමියාවේදී රැස්ව යුද්ධයේ ඉදිරි පියවර සකච්ඡා කල බ්‍රිතාන්‍ය අගමැති චර්චිල්, අමෙරිකානු ජනාධිපති රූස්වෙල්ට් හා සෝවියට් සභාපති ස්ටාලින්, ජර්මනිය සියලූ බලවතුනට කොන්දෙසි විරහිතව යටත් වනතුරු සටන පවත්වාගෙන යාමට එකඟ වූහ. සටනේ ‘කුසලානය’ වූ බර්ලින් අගනුවර අත්පත් කොටගැනීමේ ගෞරවය රතු හමුදාවට ලබා දීමට මිත්‍ර පාක්ෂිකයන් අකැමැති නොවීය. මේ හේතුවෙන් ඕඩර් ඉවුරු හිදිමින් මනාව ප්‍රතිසංවිධානය වීමටත් ඒ අතරතුර නැගෙනහිර පොමනේරියාවේ සිට හිට්ලර් එල්ල කිරීමට සැලසුම් කල ප්‍රහාරය මැඩ පැවැත්වීමටත් අවශ්‍ය කාල වේලාව සෝවියට් ඉහල අණදෙන මූලස්ථානයට හෙවත් ස්ටාව්කාවට (Stavka) ලැබිණ. “තමුසෙ බර්ලිනය අල්ලගන්න කලබල වෙන්න ඕන නැහැ. මිත්‍ර ජාතීන් මට බහ දීලයි තියෙන්නෙ. ඒ අතර වාරෙ සතුරාගෙ විස්ටුලා හමුදා කණ්ඩායම පොමනේරියාවෙදිම විනාශ කරන්න රොකොසොව්ස්කිගෙ පෙරමුණට උදව් වෙනවා.” ස්ටාලින් ඕඩර් ගඟ බඩ අසලටවී නොඉවසිල්ලෙන් සිටි නියොජ්‍ය අග්‍ර සේනාධිනායක ජෝර්ජි සුකොව්ට කීවේය. නොසිතූ තරම් වේගවත් ඉදිරි ගමනේ විපාකයක් ලෙස සැපයුම් හිඟයෙන් පීඩා විදිමින් සිටි සුකොව් ඉන් මහත් සහනයක් ලැබුවද, විස්ටුලා හමුදා කණ්ඩායමේ අණදෙන නිළධාරී එස්. එස්. ෆීල්ඩ් මාෂල් (SS Reichsfuehrer) හයින්රිච් හිම්ලර්ට නම් එය බියකරු පුවතකි. හිට්ලර් නියම කල පරිදි පොමනේරියාවේ සිට රතු හමුදාවේ උතුරු ඇලයට පහර දීමට පවා තවම ඔහු සූදානම් නැත. හැමදාම උගුරට හොරා බෙහෙත් ගිලීම නිසා මේ වන විට ඉවසීම සිඳී ගොස් සිටි හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී කල්නල්-ජනරාල් හයින්ස් ගුඩේරියන් පෙබරවාරි 13 දා බංකරයේ පැවති යුද සාකාච්ඡාවට පැමිණියේ අද නම් දෙකින් එකක් බේරා ගන්නා අදිටනින් යුතුවය. තත්වය පැහැදිලි කල ඔහු රොකොසොව්ස්කි ගේ 2 වන බෙලෝරුසියානු පෙරමුණට පොමනේරියාවේදී එල්ල කිරීමට යෝජිත ප්‍රතිප්‍රහාරය තව දෙදිනක් ඇතුලත ඇරඹිය යුතු යැයි තරයේම කියා සිටියේය. “දවස් දෙකෙන් කොහේ පටන් ගන්නද? පෙරමුණට තාම උණ්ඩ මදි. ඉන්ධන ලැබිලත් නෑ…” හිම්ලර් කීය. “එහෙම කියල හරියනවද? අපිට අන්තිම උණ්ඩයයි පැට්රල් ගැලුමයි නිකුත් කරල ඉවර වෙනකන් බලන් ඉන්න වෙලාවක් නෑ. එතකොට රුසියානුවො ස්ථානගත වෙලා ඉවරයි. අනිත් එක මට ජනරාල් වෙන්ක් ඕන විස්ටුලා හමුදා කන්ඩායමේ මාණ්ඩලික ප්‍රධානියා හැටියට. නැත්නම් මේ ප්‍රහාරය සාර්ථක වේවි කියල කිසිම විස්වාසයක් මට නැහැ…” හිට්ලර් පුටුවෙන් නැගිට්ටේය. “ ඔය කවුරුවත් නැතුවට එස්. එස්. රයික්ස්ෆියුරර් තුමාට තනියම පුළුවන් සටන අණදෙන්න.” එහෙත් ගුඩේරියන් විරුද්ධ විය. “එස්. එස්. රයික්ස්ෆියුරර් තුමාට ඒ වගේ දේකට ප්‍රමාණවත් තරම් අත්දැකීම් නැහැ, නායකතුමා.” “මොනවා? තමුසෙ කවුද එස්. එස්. රයික්ස්ෆියුරර් තුමා ගැන එහෙම කතා කරන්න?” “වැඩේ හරියට කෙරෙන්න ඕන නම් ජනරාල් වෙන්ක් මණ්ඩලික ප්‍රධානියා හැටියට පත් කරන්නම වෙනවා.” පුරා දෙපැයක් හිට්ලර් ගෝරනාඩු කලේය. දෑස් දොට්ට පැන තිබූ ඔහුගේ නලල මත නහර ඉලිප්පී තිබිණ. බැන වදිමින් ශාලාවේ ඒ මේ අත ඇවිදිමින් ඔහු වරින් වර ගුඩේරියන් ඉදිරියේ නැවතී තර්ජනය කලේ ඔහු කමකට නැති නිකමෙකු බව කියමිනි. එහෙත් අවසානයේ ඔහු සන්සුන්විය. “ඔන්න ඔහෙ වෙන්ක්ව පත් කරල දාමු මාණ්ඩලික ප්‍රධානියා හැටියට,” හේ මෙතෙක් නිහඩව සිටි හිම්ලර්ට කීවේය. එහෙත් තම ඔත්තු සේවා ප්‍රධානී එස්. එස්. මේජර් ජනරාල් (SS Brigadefuehrer) වෝල්ටර් ෂෙලන්බර්ග් ගේ සැලසුමක් පරිදි ස්වීඩන රතුකුරුස ප්‍රධානියා හරහා බටහිර බලවතුන් සමඟ රහසේ සාකච්ඡා කිරීමට තම ‘විශ්වාස දායක’ හිම්ලර් මේ වනවිටත් සූදානම් වෙමින් සිටි බවක් හිට්ලර් දැන සිටියේ නැත. තෙදිනකට පසු ඔහු මුණ් ගැසුන බර්නාඩොට් සිටුවරයා කියා සිටියේ අතීරණයෙන් පසු වූ එස්. එස්. නායකයා හිට්ලර් කෙරේ ඇති පක්ෂපාතිත්වයෙන් මිදීමට තවමත් අපොහොසත්ව සිටි වගයි. පොමනේරියාවේ ප්‍රතිප්‍රහාරය සාර්ථක කොට ගැනීම සඳහා ගුඩේරියන් දැරූ තැතද නිශ්ඵල වූයේ ශෝකජනක ලෙසය. විස්ටුලා හමුදා කණ්ඩායමේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස ඔහු විසින් ඉමහත් වෑයමකින් පත්කොට ගන්නා ලද ජනරාල් වෙන්ක් පෙබරවාරි 21 දා බංකරයේ පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව යලි පෙරමුණ බලා එමින් සිටියදී හටගත් රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ අතර පෙරමුණට ඔහුගේ නායකත්වය අහිමි වීම ප්‍රහාරය අඩාල වීමට හේතු විය. තෙදිනකින් රුසියානුවෝ පෙරලා පහර දුන්හ. හිට්ලර් නැවතත් සම්පූර්න වරද පැටවූයේ ජර්මන් 3වන පැන්සර් හමුදාව මෙහෙයවූ ජනරාල් රවුස් පිටය. චාන්ස්ලර් මන්දිරයට කැඳවා හොඳහැටි දෙහි කැපූ හේ අවාසනාවත් හමුදා නිළධාරියා තනතුරින් නෙරපා හැරීමට ගුඩේරියන්ට නියම කලේය. “ ආයෙ දෙකක් නැහැ එක්කො ඔය මිනිහ එක්කො බර්ලින් වැසියෙක්. නැත්තම් නැගෙනහිර ප්‍රසියන් කාරයෙක්. මට ඔය දෙගොල්ලොම විස්වාස නැහැ දැන්.” “ ඒ මිනිහ ඔස්ට්රිියන් කාරයෙක්. නායක තුමාගෙම රටේ මනුස්සයෙක්.” නැගෙනහිර ප්‍රසියානු ගුඩේරියන් සිහිපත් කලද ඉන් වැඩක් නොවීය. හිට්ලර් දැන් හේතු කාරණා වලට සවන් නොදේ. දක්ෂ පැන්සර් අණදෙන නිළධාරියෙකුවූ රවුස් ද නිලයෙන් පහ කරන ලදී. එන පොට හොඳ නැති බව දුටු හිම්ලර් වහ වහා රෝහල් ගතවූයේ තමාට උණ වැළදී ඇති බව පවසමිනි. ඔහු අමුත්තන් පවා දැකීමෙන් වැලකී සිටියේය. එහෙයින් මේ දිනවල හිට්ලර්ගේ සමීපතම හිතවතා වූයේ ගොබ්ල්ස්ය. අසීරු කාලයන්හිදී දිවැසි වරු පහල වෙත්. සෙසු නාසි නායකයන් සියළු දෙනා ඉක්මන් සාමයක් ගැන රහසේ සිහින දුටු මේ මොහොතේ හිට්ලර් ගේ සිත ධෛර්යමත් කිරීමට ඉදිරිපත් වූයේ ගොබ්ල්ස්ය. දහ හස් වන සියවසේ මහා ෆ්‍රෙඩ්රික් රජ දවසේ ද කොසාක් සතුරා මෙලෙසම බර්ලිනය වටකල අන්දමත්, සිය සෙන්පතීන් කැඳවූ ඒ මහා රණ දෙටුවා දෙසතියකින් ඔවුන් යුද පෙරමුණේ ප්‍රගතියක් දැක්වීමට අපොහොසත් වේ නම් තමා වස පානය කොට මිය යන වග ප්‍රකාශ කල අන්දමත් ඔහු ඉතිහාස පොතකින් හඬ නඟා කියවනු ඇසූ හිට්ලර්ගේ දෑසට කඳුලු ඉනුවේය. කතාවට අනුව දස දිනකින් අනතුරුව රුසියාවේ සාර් තුමිය මිය ගියාය. මේ හාස්කම නිසා සතුරා බ්රැුන්ඩන්බර්ග් ගේට්ටුව පිටත සිටියදී යුද්ධය අවසන් විය…. “අපිත් මේ තත්වයට මුහුණ දෙන්න ඕන මතු පරපුරට ආදර්ශයක් වන විදියට. නිකම් බිය ගුල්ලො වගේ නෙවෙයි,” ප්‍රමෝදයට පත් හේ ගොබ්ල්ස්ට කීය. විස්ටුලා පෙරමුණ බිඳවැටීම හේතුවෙන් වියරු වැටී සිටි හිට්ලර් මුණ ගැසීමට හිම්ලර් ධෛර්යය උපදවා ගත්තේ මාර්තු 15 දාය. ඒ වනවිට රුසියානුවෝ පෙරමුණු තුනකින් ඉදිරියට එමින් සිටි අතර බර්ලින් අගනුවර වට වීමේ තර්ජනයට මුහුණ පා සිටියාය. බයෙන් බයෙන් බංකරයට පැමිණි හිම්ලර්ට සිදුවූයේ ගෝරින්ට වූ සන්තෑසියමය. හිම්ලර්ද මේ ඊයෙ පෙරේදා පටන් සෙනෙවි මණ්ඩලයේ නිළධාරීන් මෙන් වැදගැම්මකට නැති නිකමෙකු බවට පත්ව ඇතැයි චෝදනා කල හිට්ලර් ඩැනියුබ් ඉවුරෙන් නින්දිත ලෙස පසුබැස ගිය තම පෞද්ගලික එස්. එස්. ඩිවිෂනය වූ 'ලයිබ්ස්ටැන්ඩර්ට් ඇඩොල්ෆ් හිට්ලර්' බල ඇණිය තම නිළ ඇඳුමේ වූ 'පක්ෂපාතීත්වය මාගේ ගෞරවය ය' යන අත් පටිය ගලවා දැමිය යුතු යයි අණ කලේ නියෝග කඩ කිරීමට දඩුවමක් ලෙසිනි. මේ ඇසූ හිම්ලර් බලවත් චිත්ත සන්තාපයට පත් වූයේ එදිනම යලි රෝහල් ගත විය. සෑම අඳුරු වලාවක්ම මැද රිදී රේඛාවක් ඇතැයි කියමනක් ඇත. පරාජය හමුවේ කැලඹීමට පත්ව සිටි සමීපම හිතවතුන් පවා රහසින් හිට්ලර්ට ද්‍රෝහී වෙමින් හෝ සිතින් ඔහු හැර යමින් සිටි ඒ අසීරු මොහොතේ ඔහු හා ඉරණම බෙදා ගැනීමට සතුටු සිතින් ඉදිරිපත් වූ එක් තරුණියක් එදින බංකරයේ පදිංචියට පැමිණියාය. ඒ දොලොස් වසරක ඔහුගේ සැබෑ මිතුරියක වූ ඊවා බ්රෝන් මෙනෙවියයි. දහහත් හැවිරිදි තරුණියක් ලෙස ඔහුගේ ඡායාරූප ශිල්පියාගේ සහායිකාව වශයෙන් සේවය කරමින් සිටියදී මුලින්ම හිට්ලර් දුටු ඈ එදා පටන් ඔහු වීරයකු ලෙස සලකා වන්දනා මාන කල අතර විශේෂත්වය වූයේ හිට්ලර්ද ඇගේ ඇසුරේ සිටීම ප්‍රිය කිරීමයි. බර්ලිනයෙන් ඈ පිටමන් කොට ආරක්ෂා සහිත ලෙස ඈ බැවේරියාවට යැවීමට හිට්ලර් නොදැරූ උත්සහයක් නැතත් මහ බඹා කෙටූ ඉරණම්කාරිය වූ ඈ ඒ අසීරු මොහොතේ නායකතුමා හැර දමා බංකරයෙන් පිටව යාම තරයේ ප්‍රතික්ෂෙප කලාය. යම්දිනෙක තමා හැර නොයනු ඇත්තේ තම සුනඛ ධෙනුව වන බ්ලොන්ඩි හා බ්රෝන් මෙනෙවිය පමනකැයි හිට්ලර් නිතර පැවසූ දෙයකි. අරුමය නම් එය එසේම සිදුවිමය.

(c) Chamara Siriwardene

හිට්ලර් කොරහ බිදීමට සැරසේ (1945 මාර්තු)

සහස්‍රයක් නොනැසී පවතිනු ඇතැයි වරක් හිට්ලර් උදම් ඇනූ තුන්වන රයික් අධිරාජ්‍යයේ අවසන් සති කිහිපය ඇස් පනා පිටම මෙසේ උදාවෙද්දී ඔහුට වඩාත් පීඩා කලේ අපේක්ෂාභංගත්වයේ වේදනාව නොව පරාජයේ අවමානයයි. ජනවාරියේ කෙරුන අනතුරු ඇඟවීම නොසැලකූ සන්නද්ධකරණ ඇමති ඇල්බර්ට් ස්පීර් මාර්තු 18 දා තවත් දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කරමින් ජර්මනිය සතු සම්පත් ප්‍රමාණවත් වන්නේ තවත් සති 4 සිට 8 දක්වා පමණක් බවද අනතුරුව යුද්ධය පවත්වාගෙන යාම සදහා හැකියාවක් නොමැති බවද දන්වා සිටියේය. එක් අතකින් සත්‍ය තත්වය සිය නායකයාට වාර්තා කිරීම ස්පීර්ගේ රාජකාරිය වූ අතර අනිත් අතට ස්පීර්ට වඩා මැනවින් සැබෑ තතු පසක් කොටගෙන සිටි හිට්ලර්ට යලි යලිත් ඇසීමට අවශ්‍යව නොතිබුනේද එම කටුක යථාර්ථයමය. යලි 1918 ට සමාන තත්වයක් උදා වීමට ඉඩ නොතබන්නෙමැයි දැන් නිතර දෙවේලේ වහසි බස් දෙඩූ ඔහු ඊට පිළිතුරු දුන්නේ සතුරු තර්ජනයට ලක්වූ ප්‍රදේශ මුළුමනින්ම විනාශ කොට දමන මෙන් විශේෂ නියෝගයක් නිකුත් කරමිනි. මෙය ‘නීරෝ ආඥාව’ නමින් ප්‍රචලිතය. “ඔන්න මම තමුසෙගෙ මැමය බොහොම සාවධානව අධ්‍යනය කරල සුදුසු පියවර අරගෙන තියෙන්නෙ. ඒ විදියට ඉදිරි කටයුතු කරනවා…” ඒ අනුව මෙතෙක් කල් නිෂ්පාදනය හා නිර්මාණ ශිල්පය භාරව සිටි ස්පීර්ගේ නව රාජකාරිය වූයේ සියළු ඉදිකිරීම් විනාශකිරීමය. තමාට ජය ලැබීමට නොහැකි නම් ජයගැනීම පිණිස සතුරාට ජර්මනියක් ඉතිරි නොකිරීමට හිට්ලර් අදිටන් කොටගෙන සිටී. “එත් නායක තුමා ජර්මන් ජනතාව? යුද්දෙ කොහොම අවසන් උනත් ඔවුන්ගෙ අනාගත පැවැත්ම ගැනත් අපි හිතන්න ඕන නේද?” ස්පීර් පෙන්වා දුන්නේය. ප්‍රශ්නය දෙස වඩා පෞද්ගලික මුහුණුවරකින් බලන ඔහුට අනුව පරාජිත ලෙස ජීවත් වීම සඳහා හෝ රටක් ඉතිරි විය යුතුය. මෙය හිට්ලර්ගේ මූලික දැක්මට පටහැනීය. කුමකින් කුමක් වුවද 1918 ක් නම් යලි උදා වීමට ඉඩ තැබිය නොහේ. “නෑ එහෙම දෙයක් ඕන නෑ. මේ යුද්දෙ පරාද නම් ජාතියත් එතනින්ම ඉවරයි. අනාගතය වඩා ශක්තිමත් නැගෙනහිර ජාතියට හිමි වෙනව නම් අයිමත් මේ ප්‍රාථමික යුගයේ පැවැත්මක් ගැන හිතල වැඩක් නෑ. නියම ජර්මන් වරු ටික යුද්දෙදි ඇද වැටුනම කොහොමත් අන්තිමට යටත් වෙන්න ඉතිරි වෙන්නෙ වැදගැම්මකට නැති උන් ටික… තමුසෙ ගිහින් කියපු දේ කරනවා” හිට්ලර් කොටින් කීය. අනතුරුව හන්ගේරියාවේ පසුබැසීම ගැන ලෙඩ ඇඳේ සිටි හිම්ලර්ට එරෙහිව බොහෝ වගාලාප කී ඔහු, ගෝරින් නිලයෙන් පහත හෙලා ගුවන් හමුදාව විසිරුවා හරින බවට තර්ජනය කලේය. අසරණ ගෝරින්ට කල හැකි වූයේ යාබද කාමරයට රිංගා සිත් වේදනාව පහවනු පිණිස බ්රැින්ඩි වීදුරු කිහිපයක් ගිල දැමීම පමණි. මාර්තු 20 දා හිම්ලර්ගේ ලෙඩ බැලීමට ඔහු නැවතී සිටි එස්. එස්. රෝහලට ගොඩ වැදුන ගුඩේරියන් දුටුවේ එස්. එස්. ෆීල්ඩ් මාෂල් තැනට තරමක් සැර හෙම්බිසාවක් හැරුණ කොට වෙනත් ඉහින් බහින රෝගයක් නොතිබූ බවය. එහෙත් නායකතුමාගේ විශ්වාසය පළුදු වීම හේතුවෙන් ඔහු සෑහෙන මානසිකව ඇද වැටී සිටි වග නම් යසට පෙණින. එ වගක් නිකමට හෝ නොහැඟවූ ගුඩේරියන් ලෙඩාගෙන් සුව දුක් විමසුවේ බොහෝ කුළුපග ලෙසය. “එක අතකට අහන්නත් දෙයක්ද ලෙඩ වෙන එක ඔබතුමාට තියන වැඩ කන්දරාවෙ හැටියට. මොකෝ රාජකාරි එකක් කියලද? එස්. එස්. එක, ජර්මන් පොලිසිය, සංචිත හමුදාව, අභ්‍යන්තර අමාත්‍යාංශය, විස්ටුලා පෙරමුණ… නරකද ඔබතුමා ඕවයින් එකක් හරි හරි අතැරියොත්? අඩුගානෙ සනීප වෙනකම් වත්? නිකමට හිතමු විස්ටුලා හමුදා කණ්ඩායම වගේ…?” හිම්ලර් මෙවර නම් එකපයින් යෝජනාවට කැමති විය. නොඑසේනම් පරාජයේ අවසන් වගකීම භාර ගැනීමට සිදුවන්නේ අහක සිටි තමාටය. මේ යන අන්දමට රුසියානුවන් වැඩි දොහක් යාමට පෙර බර්ලිනය අත්පත් කොටගනු ඇති බවද ඔහුට යසට වැටහිණ. කලින් වතාවේ නොවැදගත් කරුණු සාකච්ඡා කොට හරවා යැවූ ස්ටොක්හොල්ම් හි සිටි බර්නාඩොට් සිටුතුමා මගින් බටහිර බලවතුන්ට සාම පණිවුඩයක් යැවිමට ඔහුට සිත්වූයේ වරක් දෙවරක් නොවේ. රතු කුරුසය හරහා රහසිගත ලෙස සිරකරුවන් මුදා හරිමින් එස්. එස්. ඔත්තුසේවා ප්‍රධානී ෂෙලන්බර්ග් මිත්‍ර පාක්ෂික කඳවුර තුල හිම්ලර්ට කීර්තිනාමයක් ගෙන දීමට දැනටමත් උත්සහ දරමින් සිටියේ එහි අඩිතාලම ලෙසය. “අදහස නම් හොඳයි. ඒත් නායකතුමාට කොහොමද මම මේක කටක් ඇරල කියන්නෙ?” හිම්ලර් කීවේ මඳක් එකල මෙකල වෙමිනි. යහපත් ගුඩේරියන් උදව් කිරීමට නිතර සූදානම්ය. “මම නායකතුමාට කියන්නම් මගේ අදහසක් හැටියට.” අනතුරුව බංකරය බලා ගිය ගුඩේරියන් හිට්ලර් හමුවිය. “එස්. එස්. රයික්ස්පියුරර් තුමා බොහොම අසනීපෙයෙන් ඉන්නෙ නායක තුමා. අපි විස්ටුලා කණ්ඩායමට ඉක්මනින් අණදෙන නිළධාරියෙක් පත් කලොත් හොඳයි. අඩුගානෙ ට්ක දවසකට හරි. රුසියානුවො වේගයෙන් ඉදිරියට එනවා.” හේ පැහැදිලි කලේය. ඩැනියුබ් හි පසු බැසීම නිසා තවමත් හිම්ලර් කෙරේ නොසිඳුන කේන්තියෙන් පසුවූ හිට්ලර්ද වැඩි අඬහැරයකින් තොරව ඒ අදහස පිළිගත්තේය. විස්ටුලා හමුදා කණ්ඩායමේ නව අණදෙන නිළධාරියා ලෙස පත් කෙරුනේ කාර්පේතියන් කඳු වැටියේ ජර්මන් 1 වැනි පැන්සර් හමුදාව මෙහෙයවූ කල්නල්-ජනරාල් ගොතර්ඩ් හයින්රිසි ය. මුලදී හයින්රිසිගේ වංසය කබල් ගාමින් පත්වීමට විරුද්ධත්වය පල කල හිට්ලර් පසුව ඔහුගේ භාරයේ වූ නැගෙනහිර චෙකොස්ලෝවැකියාවේ පෙරමුණ සතුරා විසින් මේ දක්වාත් බිඳ දමා නොමැති බව ගුඩේරියන් විසින් පෙන්වාදීමෙන් අනතුරුව පමණක් කැමති විය. හදිසියේ ලද විදුලි පුවතක් මත සිය නව තනතුරේ වැඩභාර ගැනීමට තකහනියක් ආ කල්නල්-ජනරාල් හයින්රිසිට හමුදා කණ්ඩායමේ තත්වය පිළිබඳ විස්තරාත්මක පැහැදිලි කිරීමක් කිරීමට උනන්දු නොවූ හිම්ලර් ඒ වෙනුවට පෞද්ගලික සාධාරණීකරනයක යෙදුනේය. ඒ අතරතුර කර්ස්ට්රිින් ‘බලකොටු’ නගරයේ සටන් වදිමින් සිටි ජර්මන් 9 වන හමුදාවේ මූලස්ථානයෙන් ලද හදිසි දුරකථන පණිවුඩයකි. මොහොතක් රිසිවරයට සවන් දුන් හිම්ලර් අනතුරුව එය හයින්රිසි අතට දුන්නේය. “ඔබයි දැන් අණදෙන නිළධාරියා. මෙන්න ඇමතුම ඔබට.” එසැනින් රාජකාරි බාර දෙන ලදී. වැසිලි චිකොව් ගේ බල ඇණි තම පෙරමුණ බිඳ දැමූ බව එහා කෙලවරේ සිට කෑ ගසා වාර්තා කලේ ජනරාල් තියඩෝර් බුසේ ය. විස්ටුලා හමුදා කණ්ඩායමට ඉතිරිව තිබූ ඔළුගෙඩි ගණන පවා හයින්රිසි තවමත් හරි හැටි නොදත්තේය. එහෙත් කර්ස්ට්රින් පරාජයේ වගකීමෙන් ඇඟ බේරාගැනීමේ අරමුණින් පසුවූ හිම්ලර් ගෙන් වැඩිමනත් තොරතුරක් ලබා ගැනීමට වඩා ඉබ්බකුගෙන් පිහාටු ගැනීම පහසු වනු ඇත. දින කිහිපයකින් පසු සුපුරුදු ලෙස යුද සාකච්ඡාව සඳහා බංකරයට ගිය ගුඩේරියන්ට දැක ගත හැකි වූයේ චාන්ස්ලර් මන්දිර උද්‍යානයේ හිට්ලර් සමඟ ඉතා කුළුපග ලෙස පිළිසඳරේ යෙදෙමින් ඇවිදින හිම්ලර්ය. විස්ටුලා පෙරමුණේ හා එහි අළුත්ම පසුබැසීමේ වගකීමෙන් නිදහස් වූ සැනින් පුදුම ලෙස සුවය ලද හේ යලි කල එලි බැස සිටියේය. ගුඩේරියන් හිම්ලර් හමුවීමට හොර ගල් අහුලන වග දුටු හිට්ලර් ඔවුන්ට ඉඩ හැර බංකරය තුලට ගියේ එය විස්ටුලා පෙරමුණ භාරදීම සම්බන්ධ කරුණක් පිළිබඳ විය යුතුව යැයි අනුමාන කරමිනි. තමාට භාර දී ඇති රාජකාරියට අමතර වැඩි වැඩ කිරීමට යාමේ රෝගයෙන් එදා පටන් පෙළුන ගුඩේරියන් ගේ සාකච්ඡාවේ අරමුණ වඩාත් වෙනස් එකක් විය. “යුද්දෙ තවත් කරගෙන යන්න බැහැ රයික්ස්ෆියුරර් තුමා…” ගුඩේරියන් හඬ බාල කලේය. “හමුදාවට සැපයුම් නැහැ. තමුන්නාන්සෙ මේ තත්වය හොඳින්ම දන්න නිසා නායකතුමාට පැහැදිලි කරල දෙන්න පුළුවන්. ජර්මනිය සම්පූර්ණ විනාශයෙන් ගලවගන්න තියන එකම විදිය ඉක්මන් සාමයක් ඇති කරගැනීම විතරයි…” “මම කලිනුත් කිව්වනේ? මට බැහැ. දැන් ඕව කතා කරන්න ගියොත් නායකතුමා මට එතැනම වෙඩි තියල දාන්නත් බැරි කමක් නැහැ.” හිම්ලර් කසුකුසු ගෑවේය. පෙරමුණ භාර දීම ගැන හිට්ලර් හා සෘජුව කතා බහ කිරීමට බියවූ පුද්ගලයකුගෙන් තහනම් වචනය සාම යෝජනාවක් අපේක්ෂා කිරීම අණුවන කමක් මෙන්ම එවැන්නෙක් කෙරේ විශ්වාසය තැබීම තකතිරු කමක් බව ගුඩේරියන්ට වැටහුනේ එදා පස්වරුවේය. කර්ස්ට්‍රින් ‘බලකොටු’ නගරය ඇද වැටීම පිළිබඳ පුවතින් වියරු වැටී සිටි හිට්ලර් පුරා පැයක් ගුඩේරියන්ට බැණවැදී යුද සාකච්ඡාව ද වේලාසනින් අත් හිටුවන විට උදෑසන සිදුවූ වූ සතර කන් මන්ත්‍රණය ඒ වනවිටත් හිම්ලර් විසින් අටුවා ටීකා සහිතව හිට්ලර්ගේ කණේ තබා ඇති වගට සැකයක් තිබුනේ නැත. හිට්ලර් විසින් තමා හමුවෙට ගුඩේරියන් කැදවන ලද්දේ පෞද්ගලිකවමය. “තමුසෙට අසනීපයි කිව්ව නේද? නිවාඩු දාල ගිහින් බෙහෙත් ගන්නවා.” හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා මෙසේ බලාත්කාරයෙන් ලෙඩ නිවාඩු යවන ලදී. මාර්තු 28 දා සවස පොලිස් ආරක්ෂකයන් දෙදෙනෙක් පමණක් ඇතිව බර්ලිනයෙන් නික්ම ගිය ගුඩේරියන් එය හිට්ලර් දුටු අවසන් අවස්ථාව වූයේ සති හයකින් යලි සේවයට වාර්තා කරන විට යුද්ධය අවසන් ව තිබූ හෙයිනි. ජර්මන් හමුදාවේ අවසන් මාණ්ඩලික ප්‍රධානියා ලෙස තෝරා ගන්නා ලද්දේ මොස්කොව් නුවර ජර්මන් තානාපති කාර්යාලයේ හිටපු යුද මුලාදෑනියෙකු වූ ජනරාල් හෑන්ස් ක්‍රෙබ්ස්ය. පරාජය වෙනුවට විනාශය තෝරාගත් හිට්ලර් දැන් දැන් පෙනුනේ තමාගේම දොවොලේ සුන්බුන් මත උදම් අනන පුරාණ ම්ලේච්ඡ දේවතාවකු ලෙසිනි. නික්ම යන යකා කොරහ බිඳ දැමීම වැලැක්වීමට තමා පමනක් හුදෙකලා සටනක යෙදී සිටි බව ස්පීර් කියයි.

(c) Chamara Siriwardene

හිට්ලර් හාස්කමක් පතයි (1945 අප්‍රේල් 01-15)

ජනවාරියේ පටන් එක හුස්මට පෝලන්තයේ හා නැගෙනහිර ප්‍රසියාවේ ජර්මන් ආරක්ෂක වැට පෙල බිඳිමින් සැතපුම් 400ක් බටහිර දෙසට ආ රතු හමුදාව 1945 අප්‍රේල් මස මුල ඕඩර් හා නයිසී ඉවුරු ඔස්සේ පෙල ගැසුනේ හිට්ලර්ගේ බලකොටුව වූ බර්ලිනයට එරෙහි අවසන් මහා ප්‍රහාරය සඳහාය. නගරයට ඇතුළු වී එය අත්පත් කොටගැනීම මාෂල් ජෝර්ජි සුකොව් ගේ 1 වන බෙලෝරුසියන් පෙරමුනට ද, ඊට සහාය පලකරමින් නගරය දකුනින් වැටලීම මාෂල් ඉවාන් කොනෙව් ගේ 1 වන යුක්රේොනියන් පෙරමුනටද පැවරුන අතර උතුරින් වැටලීම සම්පූර්ණ කිරීම භාරව සිටි රතු සෙනෙවි මණ්ඩලයේ තරමක් ඇහැට කනට පෙනෙන මාෂල් වරයකු වූ කොන්ස්තන්තින් රොකොසොව්ස්කි ගේ 2 වන බෙලෝරුසියානු පෙරමුණ ඩැන්සිගය හරහා ලහි ලහියේ පහල ඕඩර් ඉවුරු කරා ලඟා වෙමින් සිටියේය. ඒ දෙමස තුල ඩිවිෂන 40ක් හා යුද ටැංකි 1300ක් ජර්මන් නැගෙනහිර පෙරමුණට අහිමි විය. රුසියානුවන්ගේ පෙර සුදානම අති දැවැන්තය. සැතපුම් දහසක් මඟ ගෙවා මේ දිනවල දිනපතා නැඟෙනහිර බලා දිව ගිය හමුදා දුම්රිය පෙලකි. දහස් ගණනක් වූ ගබඩා මැදිරි තුල අවිආයුධ, යුද ටැංකි හා උණ්ඩ පමණක් නොව වියලි සලාක, බෙහෙත්, නිළ ඇඳුම් හා රේඩියෝ ඉලෙක්ට්‍රොනික උපකරණද තිබිණ. කාලතුවක්කු හා යුද ටැංකි පෙල ගැස්වීම මෙන්ම ඒකක සථානගත කිරීමද කරන ලද්දේ රාත්‍රී කාලයේ වූ අතර ඉතා සැලකිලිමත් ලෙස වන ලැහැබ් තුල සඟවා තැබුන හෙයින් ක්‍රියාන්විතයේ සැබෑ පරිමානය පිළිබඳ අවබෝධයක් ඇතිකොට ගැනීම ජර්මන් සෙනෙවි මණ්ඩලයේ නව මාණ්ඩලික ප්‍රධානී ජනරාල් හෑන්ස් ක්‍රෙබ්ස්ට පහසු කාර්යයක් වූයේ නැත. බටහිර පෙරමුණේ පූර්ණ සන්නද්ධ මිත්‍ර පාක්ෂික ඩිවිෂන 91 කට මුහුණදීමට මේ වන විට සිටියේ ඌන සන්නද්ධ ජර්මන් ඩිවිෂන 60කි. ඔවුහු බොහෝ දුරට සටන මඟ හරමින් පසු බැස ගියේ ඇමෙරිකානු හමුදාවන්ට බර්ලිනයට මඟ එළි පෙහෙලි කරමිනි. හිට්ලර් හැරුන කොට සෙසු සියළු දෙනාගේ අප්‍රකාශිත මතය වූයේ මේ අවසන් මොහොතේ හෝ බටහිර බලවතුන්ට යටත් වීමෙන් අඩු තරමින් බර්ලිනය රතු හමුදාව විසින් අත්පත් කොට ගනු ලැබීමේ භයානක ඉරණමින් ගලවාගත හැකිවෙනු ඇති බවය. 1806 වසරේ අවසන් වරට සතුරා විසින් අත්පත් කොට ලැබූ නගර වාසීන්ට කොසැක් වරුන් ගේ පැමිණීම යනු තම අකීකරු දරුවන් බිය ගැන්වීම සදහා පමණක් සිහිපත් කෙරුන බියකරු සිහිනයකි. මෙය වඩාත් සමීප යථාර්ථයක් කරවමින් ඒ සතියේ උතුරේ කොනිග්ස්බර්ග් නගරය ඇද වැටුන අතර රුසියානුවෝ වියානාව බලා ගමන් ගත්හ. හමුදාව ඇතුළු සෙනෙවි මණ්ඩලයට දැන් වඩ වඩාත් චෝදනා කරමින්ද, තම දෙවැනියා වූ ගෝරින් ඇතුළු ගුවන් හමුදාව හෙලා දකිමින්ද, හිතෙෂියා වූ හිම්ලර් හා එස්. එස්. සංවිධානයට දඬුවම් කරමින්ද (හන්ගේරියාවේ පසු බැසීම නිසා තම පෞද්ගලික එස්. එස්. බල ඇණියට පක්ෂපාතීත්වයේ අත්පටිය නිළ ඇඳුමින් ගලවා දැමීමට හිට්ලර් විසින් නියම කිරීමෙන් වූ නින්දාව හිම්ලර්ගේ පමණක් නොව භටයන්ගේ ද කම්පාවට හේතුවිය), නිර්මාන ශිල්පී ස්පීර් හා විදේශ ඇමති රිබන්ට්රෝප් පිටු දකිමින්ද මේ දිනවල වඩ වඩාත් ගොබ්ල්ස් ගේ ඇසුරේ ගල් ගෙවූ හිට්ලර්, අභිරූපණයෙන් පොහොසත් ප්‍රචාරක ඇමතියා තමා අසල හිඳිමින් කියැවූ පැරණි ඉතිහාස කථා වලට ඉමහත් උනන්දුවෙන් සවන් දුන්නේ, වඩ වඩාත් මිත්‍යා විශ්වාසයන්හි එල්බ ගති. නක්ෂත්රය හා ග්‍රහ තාරකා වල බලපෑම ගැන නිතර කථා කල ඔහු මිත්‍ර පාක්ෂික සන්ධානයේ බිඳ වැටීමක් කෙරේ වඩාත් අපේක්ෂා සහගත වූයේ පරාජය වෙනුවට තමා දුටු එකම විකල්පය ලෙසය. එහෙත් පැවති තත්වයන් යටතේ ජයග්‍රාහී සතුරු කඳවුර දෙකඩ වීම හා එහි එක් පාර්ශවයක් මධ්යස්ථ වීම යථාර්ථවාදී පැතුමක් නොවන වග අවබෝධකොට ගත්තෝ ස්වල්පයකි. නොගත්තෝ රැසක් නාසි නායකයන් අතර වූවෝය. ස්වීඩන රතුකුරුසයේ බර්නාඩොට් සිටුතුමා හරහා බටහිර ජාතීන් සමඟ වෙනම සාමයක් ඇති කොට ගැනීමේ අවස්ථා හා ඉඩ ප්‍රස්ථා ගැන සිය ඔත්තු සේවා ප්‍රධානියා විසින් කරන ඉඟි බිඟි වලට දැන් වඩාත් උනන්දුවෙන් සවන් දෙන හිම්ලර් ඔවුන්ගෙන් අයෙකි. තම නායකයා වෙනුවෙන් කලින් පක්ෂපාතීත්වය දිවුරා සිටි ඔහු දැන් වැට උඩ සිටී. නිර්මාණය ජීවිතය කොටගත් නිර්මණ ශිල්පී ස්පීර් වෙත නිකුත් කරන ලද සියල්ල විනාශ කිරීමේ ‘නීරෝ අඥාව’ ද, වෘත්තිය මට්ටමින් ගත් කල හන්ගේරියාවේ අවාසනාවත් එස්. එස්. ඩිවිෂනය ලද පක්ෂපාතීත්වයේ අත්පටි ගැලවීමේ නියෝගයට සමානය. එය මුහුණ හා ඇති තරහට නාසය කපා දැමීමකි. සැබෑ ලෙසම ස්පීර් මේ දිනවල ඇප කැපවී සිටියේ නීරෝ ආඥාව ක්‍රියාත්මක කිරීම පිණිස නොව එය වැලැක්වීම සඳහාය. ප්‍රාදේශීය නියෝජිතයන් පෞද්ගලිකව හමුවූ ඔහු යටිතල පහසුකම් විනාශ නොකරන මෙන් ඔවුන්ගෙන් අයැද සිටියේය. අනතුරුව බර්ලිනයට සැතපුම් 40ක් එපිටින් වූ යුද පෙරමුණට ගොස් එහි ජර්මන් අණදෙන නිළධාරීන් හමුවූ තමා, සිවිල් වැසියන්ට තවදුරටත් පීඩා ඇතිවීම හා දේපොල හානිය වැලැක්වීම සඳහා නගරයට ඇතුළුවීමට රුසියානුවන්ට ඉඩ සලසා ඉතුරින් හා දකුණින් බටහිර දෙසට පසු බැස යන ලෙසත්, හිට්ලර් ඇතුළු බංකරය තුල වෙසෙන නඩය දෛවයට හැර දමන ලෙසත් ඔවුන්ගෙන් ඉල්ලා සිටි බව ස්පීර් කියයි. ඊට ජනරාල්වරු දැක්වූ ප්‍රතිචාරය පැහැදිලි නැතත්, එවැන්නක් සඳහා ඉතා කැමැත්තෙන් පසුවූ ඔවුන් ඉන් වලක්වන ලද එකම හේතුව සෙබළුන් සතුවූ හා නිර්මාන ශිල්පීන් සතුව නොතිබූ විනය නැමති සාධකය නිසා විය යුතුය. ස්පීර් බර්ලිනය විනාශයෙන් ආරක්ෂා කිරීමට කෙතෙක් උත්සහ දැරුවද ඉන් ඵලක් නුවූයේ නගරය දනින් හෙලීමට සතුරා තුල වූ උවමනාවද ඒ හා තරම්ම විශාල වූ නිසාය. ඒ අප්‍රේල් මාසයේ ඇරඹුන අමුතු මාදිලියේ වඩාත් බිහිසුනු ගුවන් ප්‍රහාර මාලාවක් බර්ලින් නුවරු අත්දුටූහ. තුරු මුදුන් වල ගෑවෙන නොගෑවෙන තරම් පහතින් පියාසර කරමින් එන සමූහ වශයෙන් ආ සතුරු අහස් යානා මැෂින් තුවක්කු වෙඩි වැල් දහස් ගනකින් පහතට වෙඩි තැබුවේ චලනය වන ඕනෑම දෙයක් ඉලක්ක කොට ගනිමිනි. එහි සැලසුම් කරුවන් අපේක්ෂා කල පරිදිම එන්ජින් සිය ගනනකින් සමීපව නැගෙන බිහිසුනු හඬ අසරණ නගර වැසියන් හැඬුම් බර කරවීමෙහි ලා සමත් විය. වයෝවෘද ඇතමෙක් විසඥ වූහ. ගැහැණුන් හා ලමෝ මරණ බියෙන් ලතෝනි නැඟූහ. වෙනදා මෙන් බටහිර දෙසින් නොව, බඳෙහි රතු තරුවක් සහිත නපුරු පෙනුමැති මෙම ගුවන් යානා පැමිණියේ නැඟෙනහිරිනි. මිත්ර් පාක්ෂික ගුවන් යනා මෙතෙක් සැරිසැරූ බර්ලිනයට ඉහල අහස මතුවට රතු ගුවන් හමුදාව විසින් භාරගත් වගට කෙරුන අයෝමය සංඥාවකි ඒ. ඔවුනතර පෙරමුණේම සිටියේ ලුතිනන්-කල්නල් යෙව්දෝකියා බර්ෂන්ස්කයාගේ සෝවියට් 588 වැනි ගුවන් රෙජිමේන්තුවයි. විශ්ව විද්යාල සිසුවියන් හා කොම්සොමෝල් සාමාජිකාවන්ගෙන් සමන්විත මෙම බලඝනයේ තරුණියන් ‘පොලිකාපොව්’ නම් සැහැල්ලු යානා වර්ගයක් පදවමින් කෙතෙක් බිහිසුනු ලෙස ගුවනේ සටන් වැදීමට ඉදිරිපත් වීද යත් ජර්මන් ගුවන් හමුදාව ඔවුන් හඳුන්වන ලද්දේ ‘අන්ධකාරයේ මායාකාරියන්’ (Night Witches) ලෙසටය. ගොබ්ල්ස් ගේ ඉතිහාස කියැවීම් වලට පමනට වඩා සවන්දීම නිසාදෝ මේ දිනවල හාස්කමක් අපේක්ෂාවෙන් සිටි හිට්ලර් අප්‍රේල් 12 දා පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියේ අමෙරිකානු ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩි රූස්වෙල්ට් හදිසියේ අභාවප්‍රාප්ත වූ බව ඇසීම නිසාය. මරණ කරු මිත්‍ර පාක්ෂික හවුල තුල බේදයක් ඇතිවීම වැලැක්වීමට මෙතෙක් වූ එකම හේතුව බව ඔහුගේ මතය විය. යෝල්ටාවේ කුමක් කතිකා කොට ගත්තද දැන් වඩා තීරණාත්මක වනු ඇත්තේ යුද්ධය පිළිබඳ අළුත් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තියයි. තමා මෙතෙක් අපේක්ෂාවෙන් සිටි හාස්කම එය නොවේද? එදින දහවල එල්ල වූ රුසියානු ගුවන් ප්‍රහාරයකින් බර්ලිනයේ ඇල්ඩන් හෝටලය වසා ගිණි දැල් බුර බුරා නැගෙද්දී , ප්‍රචාරක අමාත්‍යාංශයේ බිම්මහලේ සිට බංකරයේ හිට්ලර්ගේ පෞද්ගලික දුරකථනයට ඇමතුමක් ගත් ගොබ්ල්ස් ප්‍රතුවාදිටාගේ අභාවය පිළිබඳ නායකතුමාට උණුසුම් ලෙස සුභ පතා සිටියේය. “මන් කිව්වෙ නැද්ද? හත් අවුරුදු යුද්දෙදි රුසියාවෙ සාර් රැජිනි මැරිල යුද්දෙ නැවතුනෙත් ඔය වාගෙමයි. දැන් ඉතින් බයවෙන්න දෙයක් නැහැ නායක තුමා. මේක තමා හැරවුම් ලක්ෂය,” හේ තව දුරටත් උදම් ඇනීය. එහෙත් බියවීමට හේතු කාරණා තවත් එමට ඇති බව පෙනීගියේ පසුවදා රතු හමුදාව වියානාවට ඇතුල්වූ වග සැලවූ විටය. බර්ලිනය ඉලක්ක කොටගත් දැවැන්ත රුසියන් ප්‍රහාරය කුමන මොහොතක හෝ ඇරඹෙනු ඇති බවට ජර්මන් සෙනෙවි මණ්ඩලයට රහසක් නුවුවද, කණ්ඩායම් තුනකට සංවිධානයව සිටි 20 ලක්ෂයක සතුරු හමුදාව යුද ටැංකි හා හෝවිට්සර් අවි 6250ක්, කාලතුවක්කු 41,000 ක්, හා ගුවන් යානා 7500 කින් සන්නද්ධව සිටි බවක් ඔවුහු නොදත්හ. බර්ලිනය ආරක්ෂා කිරීම සදහා ඉතිරිව සිටියේ ඕඩර් ඉවුරේ ගොතාර්ඩ් හයින්රිසි අණ දුන් ජර්මන් 9 වන හමුදාව හා 3 වන පැන්සර් හමුදාව ඇතුළු ඩිවිෂන 25 න් යුත් විස්ටුලා හමුදා කණ්ඩායමත්, නයිසී ඉවුරේ ජර්මන් මධ්‍යම පෙරමුණට අයත් ඩිවිෂන 5 කුත්, අගනුවර ගේට්ටු රැකවල් කල 56 වන පැන්සර් කෝර්ප්ස් බල ඇණිය සතු ඩිවිෂන 6කුත්, ගොබ්ල්ස් විසින් අණ දුන් කබල් රයිපල් තුවක්කු ගෙන තම තාමගේ නිවාස අවට ආරක්ෂා කල මහල්ලන් හා යුද ටැංකි නාශක අවි රැගෙන පාපැදි වල නැගී හන්දි වලට වී සිටි ගැටවරයන්ගෙන් සමන්විත ‘මහජන මිලිෂියා’ අනුකණ්ඩ 50කුත් පමණි. අප්‍රේල් 14 දා ඕඩර් ගඟ තරණය කොට එහා ඉවුරේ පිවිසුම් මුරපොල පිහිටුවාගෙන සිටි රතු හමුදාවේ ඉදිරි පෙල බල ඇණි සීමිත ආක්‍රමණයක් දියත් කරන විට බොහෝ ජර්මන් අනදෙන නිළධාරීන් සිතුවේ ප්‍රධාන රුසියන් ප්‍රහාරය ඇරඹුන බවයි. කලින් තීරණය කොට තිබූ පරිදි දෙවැණි ආරක්ෂක වලල්ල දක්වා පසු බැසීමට පෙරමුණු අණදෙන නිළධාරී හයින්රිසි සිය පෙරමුණු බල ඇණි වලට අණකලේ එහෙයිනි. රුසියානුවන්ට ගඟ තරණය කොට ඉදිරියට ඒමට ඉඩ හැර සීලෝ උස් බිම් ප්‍රදේශයේදී සතුරාට පහර දිම ඔහුගේ උපාය විය. එහි සාර්ථකත්වය පිළිබඳ කිසිදු බලාපොරොත්තුවක් තැබිය හැකි නොවූයේ ප්‍රහාරක හා ආරක්ෂක කණ්ඩායම් අතර වූ ශක්තියේ දැවැන්ත අසමතුලිතතාව නිසාය. පසුවදා එනම් අප්‍රේල් 15 දා හිට්ලර් නැගෙනහිර පෙරමුණේ භට පිරිස් වලට තම අවසාන ආඥාව නිකුත් කලේය. “යුදෙව්-බොල්ෂවික් මාරක සතුරා අපට එහෙරි අවසන් සටන සඳහා අර අඳිමින් සිටී. ඔහුගේ අරමුණ ජර්මනිය විනාශ කිරිමත් එහි ජනයා වහල්කරණය කිරීමත්ය. අගනුවර සතුරාට යටත්වන්නෙ නම් එහි වැසියන්ගේ ඉරණම කුමක් විය හැකිදැයි අමුතුවෙන් කිවයුතු නැත. මහල්ලන් හා ලමුන් සයිබීරියාවට පිටමං කෙරෙනු ඇති අතර කාන්තාවන් බැරැක්ක වල අබිසරුලියන්ගේ තත්වයට හෙලනු ලැබෙනු ඒකාන්තය…මෙම තත්වය වැලැක්වීම අපේ සන්න්ද්ධ හමුදා වල වගකිම වන අතර මෙය ඉටුකිරීමට අසමත් වන ඕනෑම අයෙක් ද්‍රෝහියෙකු වේ. ජර්මන් අගනුවර ඉදිරියේ සතුරා තමාගේම ලේ ගංගාවක ගිල්වා දැමීම ඔබගේ කාර්යයි. බර්ලිනය සදා ජර්මන් පුරවරයක් වන අතර වියානාව නැවතත් අප සතු වනු ඇත….” හිට්ලර් ඔවුන්ගෙන් අවසන් වශයෙන් ඉල්ලා සිටියේ ජාතිය හා පීතෘ භූමිය වෙනුවෙන් පමණක් නොව තම තමන්ගේ ආදරණීයයන්ගේ ආරාක්ෂාව වෙනුවෙන් ද ඔවුන් සටන් කලයුතු බවයි. නාසිවාදය හා කොමියුනිස්ට්වාදය අතර අවසන් ද්වන්ධව සටන උදා වීමට වූයේ තව හෝරා කිහිපයකි.

(c) Chamara Siriwardene

හිට්ලර් අවසන් උපන්දිනය සමරයි (1945 අප්‍රේල් 16-20)

සිය අවසන් ආඥාව මගින් නැගෙනහිර පෙරමුණේ අවසාන භටයා දක්වා සටන්කරන මෙන් හිට්ලර් ඉල්ලා සිටි ඒ අප්‍රේල් 15 දා ස්ථාන කිහිපයකින් පෙරමුණ බිඳ දමා කුඩා කණ්ඩායම් ලෙස සතුරු භූමිය තුලට රිංගා ගෙන සිටි රුසියන් දිගුදුර විහිදුම් භටයන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියා අතරතුර වුව, සිය පෙරමුණු බල ඇණි සැතපුම් 15 ක් පසුපසින් වූ සීලෝ නම් උස්බිම් පෙදෙස හරහා ඉදි වුන දෙවන ආරක්ෂක පෙරමුණ හරහා ස්ථානගත කරවිමට ජර්මන් අණදෙන නිළධාරී කල්නල්-ජනරාල් හයින්රිසිට හැකි විය. එදින මැදියම් රැයේ සෝව්යට් 8 වන ආරක්ෂක හමුදාවේ ක්ෂෙත්‍ර අණදෙන මුරපොලට ගිය ආඥාපති ජෝර්ජි සුකොව් ට තම 1 වන බෙලෝරුසියන් පෙරමුණ අනුගතවීම අතින් අවරෝහණ කාල දර්ශකයට අනුව සලැස්මේ අවසන් මිනිත්තුව දක්වා නිවැරදි බව පෙනී ගියේය. කාලතුවක්කු 14,000 ක් හා ‘කත්යූෂා’ රොකට් යන්ත්‍ර 1600 පෙරමුණු කොටගත් රයිෆල් ඩිවිෂන 77ක් හා දිය ගොඩ එකසේ ගමන් කල රෝද සහිත මෝටර් බෝට්ටු විශේෂයකින් සන්නද්ධවූ ජලජ-යාන්ත්‍රික ඒකක සහිත යුද ටැංකි 3200 ක් ඔහුගේ අණ අපේක්ෂාවෙන් ඕඩර් ඉවුරේ නොඉවසිල්ලෙන් පෙළ ගැසී සිටියහ. බෝම්බ පුරවාගත් සිය යානා වලට නැඟී අසුරු සැනින් ගුවන් ගත වීමට ‘රාත්‍රී මායා කාරියන්’ නියමිත ස්ථානවල සූදානමිනි. ඇතැම් තැන්හිදී අඩි දහසක් පලල වූ ගඟ තරණය කිරීම සඳහා යුද-ඉන්ජිනේරුවන් විසින් තාවකාලික පාලම් හා පාරු-මාරු (Ferry-Crossings) 65ක් නිමවා තිබිණ. පෙරදිනයේ සතුරු ප්‍රදේශ තුල වල් වැදුන රතු හමුදාවේ සිය දිවි නසාගන්නා ඔත්තු සේවා භටයෝ ජර්මන් ඉදිරි පෙල බාධක හා පිරික්සුම් ස්ථාන වනසමින්ද, මුර සංචාරක කණ්ඩායම්වලට රැක සිට පහර දෙමින්ද යුද ටැංකි වල මඟ එලි පෙහෙලි කරති. 1941 තීරණාත්මක සටනේදී ජර්මනුන්ගෙන් මොස්කොව් නුවර රැකගත් සයිබීරියන් සිසිර රෙජිමේන්තුව පරමාදර්ශ කොටගෙන ගොඩ නැංවුන ස්පෙට්ස්නැස් (Spetsnaz) නැමති මෙම බල ඇණිය විසින් 2015 දී ක්‍රිමියා අර්ධද්වීපයේ දියත් කල ‘ගුප්ත ආක්‍රමණය’ හා දොන්බාස් නිම්නයේ ‘දෙමුහුම් යුද්ධය’ නූතන යුද ශාස්ත්‍රීය අත්පොතට එක්වූ අළුත්ම අත්දැකීම් ලෙස සැලකේ. දෙවන ලෝක යුද්ධය තුලින් රතු හමුදාව තම දරු මුණුපුරන්ට අගනා යාන්ත්‍රණයක් හා අත්දැකීම් සම්භාරයක් ඉතිරි කලේය. අප්‍රේල් 16 දා හිමිදිරියේ ප්‍රහාරය ආරම්භයේ ෂෙල් වෙඩි එකොලොස් ලක්ෂයක් යොදා ජර්මන් ඉදිරිටාඅරක්ෂක සීමාවට පහර දීමට සෝවියට් ඉහල අණදෙනමූලස්ථානය හෙවත් ස්ටාව්කාව සුකොව් ට අණකොට තිබුණි. සූදානම් සරීරය කෝකටත් යහපතැයි කල්පනා කල මාෂල් තැන ටිකක් යහමින් වෙඩි තැබීමට කාලතුවක්කු භාර ජනරාල් තැනට අණ කලේ වරදක් සිදුවීමේ සම්භාවිතාව අවම කරණු පිණිසය.ගඟ තරණය ආරම්භ වූයේ නැගෙනහිර ඕඩර් ඉවුරේ සිට එක පෙලට ඉහල ගිය වෛවර්ණ අහස් වෙඩි මගින් සංඥා කරනු ලැබීමෙන් අනතුරුවයි. ගුවන්යානා නාශක සෙවුම් ලාම්පු 143 ක් ඔවුනට මඟ පෙන්වීය. පැය කිහිපයකින් ජර්මන් ඉදිරි පෙරමුණ අත් කොට ගැනීමට ඉදිරි පෙල ඒකක වලට හැකිවීම නිසා සතුරා ගේ බලය අවතක්සේරු කිරීමට සුකොව් පවා පෙළඹුනේ එය ප්‍රතිවාදියා යෙදූ උපායක් බව නොදැනය. පළමු සැතපුම් 15 ඉතා පහසුවෙන් ගමන් කල රුසියානුවෝ අනතුරුව කිසිසේත්ම බලාපොරොත්තු නුවූ දෙය වූයේ සීලෝ නම් උස්බිම් පෙදෙස හරහා ඉදිවූ වූ තාප්පයක් බඳු දෙවන ආරක්ෂක වැටකි. තමා ඕඩර් ඉවුරේ සිට පුපුරන ද්‍රව්‍ය ටොන් 98,000ක් වැය කොට පහරදුන් ජර්මන් ඉදිරි පෙරමුණේ සිට විනශ වන්නට ඇතැයි සිතූ බලඇණි වලින් වැඩි කොටසක් යහතින් මෙහි ස්ථානගතවී සිටින වග සුකොව්ට අවබෝධ වූයේ එවිටය. කලබලයට පත් ඔහු සෝවියට් ඉහල අනදෙන මූලස්ථානය හෙවත් ස්ටාව්කාවට (Stavka) නොදන්වාම සංචිතයේවූ අතිරේක යුද ටැංකි හමුදා දෙකක් සටනට යෙදවූයේ බර්ලිනය අත්පත් කොට ගැනීමේ කාල සටහන ජර්මන් පෙරමුණු අණදෙන නිළධාරියාගේ මේ අවසන් කෛරාටික උපාය හමුවේ වියවුල් වනු ඇතැයි බියෙනි. එහෙත් ස්ටාලින් ඒ අසා කෝප විය. “අතිරේක යුද ටැංකි හමුදා ස්ටාව්කාවෙ අවසරයක් නැතුව සටනට යොදවල තමුසෙ කරේ වැරදි වැඩක්! නමුත් දැන් ඒක කරල ඉවරයි. හොඳයි, මට හරියට කියනවා තමුසෙගෙ පෙරමුණට හෙට වෙනකොට සීලෝ උස්බිම් අල්ලගන්න පුළුවන්ද? බැරිද? ” “හෙට දවස ඉවර වෙන්න කලියෙන් පුළුවන් ස්ටාලින් සහෝදරයා, මම කොමියුනිස්ට්වාදියෙකු හැටියට ඔබට පොරොන්දු වෙනවා. ඇරත් විවෘත භූමියක සතුරා පරදවන එක ජනාකීර්ණ නගරයක සටන් කරනවාට වඩා පහසුයි.” සුකොව් කරුණු දැක්වූයේ පෙරළුන අත හොඳ බව කියා පෑමට මෙනි. “එහෙමද? කමක් නෑ, කොනෙව් ගෙ 1 වෙනි යුක්රේනියන් පෙරමුණ නම් බොහොම ලේසියෙන් දැන් ඉස්සරහට යනවා. මම ස්ටාව්කාව එක්ක කතාකරල යුද්ද ටැංකි හමුදා දෙකක් එතැනින් යවන්නම් බර්ලිනයට දකුණෙන් පහර දෙන්න. ඒ අතරෙ රොකොසොව්ස්කි උතුරින් පහරදේවි.” 1 වන බෙලෝරුසියන් පෙරමුණ තරම්ම ශක්තියකින් හා සූදානමකින් යුතුව සිතියමේ මඳක් පහලින් වූ නයිසී ගඟ තරණය කල මාෂල් ඉවාන් කොනෙව් ගේ හමුදා ඒ වනවිට අගනුවරට වඩාත් ආසන්නව සිටියේ මෙම දකුණු අංශයේ ජර්මන් ආරකෂක විධි විධාන සාපේක්ෂ වශයෙන් ලිහිල් වූ නිසාය. අප්‍රේල් 18 දා රොකොසොව්ස්කි ගේ 2 වන බෙලෝරුසියන් පෙරමුණද උතුරින් ඕඩර් ගඟ තරණය කළේය. එදින සීලෝ උස්බිම් හරහා ජර්මන් ඩිවිෂන 5ක් විසින් රැකවල් කල දෙවැනි ආරක්ෂක සීමාව සිදුරු කල සෝවියට් 8 වන ආරක්ෂක හමුදාවට පෙනී ගියේ ඊට ඔබ්බෙන් කලින් නිරීක්ෂණය නොකල තුන් වැනි හා සිවු වැනි ආදී වශයෙන් තවත් තුනී ඇතුළු සීමා කිහිපයක් ද ඇති බවය. අප්‍රේල් 20 දා හිට්ලර්ගේ උපන් දිනයයි. විශේෂ ගුවන්දුලි විකාශයක් මගින් ජනතාවට කාරණාව සිහිපත් කල ගොබ්ල්ස්, මේ තීරණාත්මක මොහොතේ නායකතුමා වටා එක් රොක් වනමෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. නගරයේ පිවිසුම් අසල අටවාගත් වීථි බාධක තුලට වී රයිපල් තුවක්කු හා යුද ටැංකි නාශක අවි කිහිපයක් අතැතිව රුසියානුවන්ට මුහුන දීමට අපේක්ෂාවෙ සිටි සිවිල් වැසියන්ගෙන් සමන්විත ‘මහජන සේනාංකයට’ අණදුන් ඔහු, තෙමේම පත් කොටගනු ලැබූ ‘බර්ලිනයේ ආරක්ෂකයා’ය. එදිනද සුපුරුදු පරිදි පස්ස පැත්තට හිරු පෑයීමෙන් අනතුරුවද තව දෙතුන් පැයක් නිදා ගත් හිට්ලර්, උදේ හීල ගැනීමෙන් අනතුරුව මඳ වේලාවක් තම සුනඛයා සුරතල් කලේය. දහවල් වන විට ආයුෂ කෙටිවෙමින් පැවති සිය නායකයාට සුභ පැතීම පැතීම පිණිස විල්හෙල්ම් වීථියේ අඩක් සුන්බුන් වූ චාන්ස්ලර් මන්දිරය ගර්භයේ පිහිටි බංකරයට නන්දෙසින් ලඟාවූවන් අතර සිටි ඇදවැටෙමින් පැවති රයික්‍ රාජ්‍යයේ ඉහල පෙලේ බලධාරීන් රැසකි. වේදනාකාරී හා දුෂ්කර ඉදිරි ගමනකින් පසු එදින නැගෙනහිර තදාසන්න පෙදෙස් වලට ඇතුළු වූ සුකොව්ගේ 1 වන බෙලෝරුසියන් පෙරමුණට අයත් උපායමාර්ගික රොකට් බල ඇණි නගරයට දිඟු දුර වෙඩි ප්‍රහාර එල්ල කරන බව වාර්තා වීම නිසා හිට්ලර් තරමක් කලබලයෙන් පසුවූ අතර අමුත්තන් නොඉවසිල්ලෙන් සිටියේ හැකි ඉක්මනින් චාරිත්‍ර වාරිත්‍ර අවසන්කොට වැටලීමේ තර්ජනයට ලක්ව තිබූ නගරයෙන් පිට වීමටයි. චාන්ස්ලර් මන්දිර උයනේ නායකතුමාට උපන්දින ආචාරය පිළිගන්වන ලද්දේ ගතවූ දින කිහිපයේ රුසියන් යුද ටැංකි සමඟ නිර්භීත ලෙස සටන් කිරීම නිසා හිට්ලර් අතින් පදක්කම් පලඳවනු ලැබීමට නියමිතව සිටි ‘හිට්ලර් තරුණ කවයට’ අයත් ගැටවරයන් 20 දෙනෙකු විසිනි. මෙම තරුණ රණ ශූරයගේ නිර්භීත රංගනය යටපත් කිරීම සඳහා ආරක්ෂක භටයන් හැර වෙනත් වෘත්තිය සේවා සෙබළු එහි කඳවනු ලැබ නොසිටිහ. විශේෂ කෑම් බීම් හෝ ගැයුම් වැයුම් වලින් තොර උපන් දින සාදයේ ප්‍රධාන මාතෘකාව වූයේ ජර්මනියේ භෞමික ඒකාග්‍රතාව බිදීයාමේ තර්ජනයයි. බර්ලිනයට දකුණින් ප්‍රති විරුද්ධ දිශාවල සිට මුහුණට මුහුණ ලා පැමිණි අමෙරුකානුවන් හා රුසියානුවන් අතර වූ පටු බිම් තීරය උතුර දකුණ යාකෙරුන අවසන් ගොඩබිම් මාර්ගය විය. ඔහුගේ පැමිණිම වෙනුවෙන් දස දිනකට පෙර සූදානම් කෙරුන බාබරෝසා අධිරාජයාගේ වෘත්තාන්තගත පර්වත-ගුහාවේ සිට දකුණේ සටන් මෙහෙයවනු පිණිස එදින හිට්ලර් ද ඇල්ප්ස් කඳුකරය බලා පිටත් වීමට නියමිතව වුවද මේ වන විට ඔහු සිටියේ යම්දෝ නොයම්දෝ යන දෙගිඩියාවෙනි. යම් හෙයකින් සතුරු හමුදා ජර්මනිය දෙකඩ කොට බර්ලිනය කොටු කරනු ලබන්නේ නම්. උතුරට අණදීම පිණිස පූර්ණ හමුදා බලතල ඔහු තමාට අතිශය විශ්වාස නාවුක හමුදාපති කාර්ල් ඩොනියෙට්ස් වෙත පැවරීය. එහෙත් හමුදා ඒකක වැඩි කොටසක් සටන් වැදුන දකුණේ අණදුන් ගුවන් මාෂල් ඇල්බර්ට් කැසල්රින්ග් ට කිසියම් හේතුවක් නිසා පූර්ණ බලතල ලබා නුදුන් හේ තෙමේද දකුණට යන නොයන බවක් හරිහැටි නොකීවේය . රුසියානුවන් නගරයට සමීපව වෙමින් සිටි බැවින් අමුත්තෝ රෑ බෝ වීමටපෙර පිටව යාමට යුහුසුළු වූහ. මුලින්ම පිට වූයේ ගෝරින්ය. කලෙක සිටි තම හිතවත්ම මිතුරාට හිට්ලර් අතට අත දුන්නේ නිහඬවය. එය සීතල කෙටි සමුගැනීමකි. දෙදෙනා යලි හමු නොවූහ. අනතුරුව ‘සටන මෙහෙයවනු’ පිණිස ගුවන් හමුදාවේ සෙනෙවි මණ්ඩලයත් සමඟ මහා රථ පෙලකින් ඔහු දකුණ බලා ගියේ තම නියෝජිතයා ලෙස මාණ්ඩලික ප්‍රධානී කාර්ල් කොලර් බර්ලිනයේ රැඳවීමෙන් අනතුරුවය. සන්නද්ධකරණ ඇමති ස්පීර් බර්ලිනයට පැමිණියේ තමා සමඟ හිත් නොහොදින් පසුවූ නායකයාට සුභ පැතීමට පමණක්ම නොවේ. ගතවූ සති කිහිපය තුල කලින් මස හිට්ලර් නිකුත් කල ‘නීරෝ’ ආඥාව පරිදි යටිතල පහසුකම් විනාශ කිරීම හැකිතාක් දුරට අවම කරවීමට කටයුතු කල ඔහු, එදා බංකරයෙන් පිට වීමට පෙර ගොබ්ල්ස් හමුවූයේ නගරයට පිවිසෙන පාලම් 50ක් විනාශ කිරීමට නිකුත් කොට තිබූ නියෝගය අත් හිටුවන මෙන් ඉල්ලා සිටීමටය. එමඟින් නගරයේ අහාර සැපයුම මුළුමනින් අඩාල වනු ඇතැයි තර්ක කල ඔහු ඒ වෙනුවට ගොබ්ල්ස් ගේ ‘මහජන සේනාංක’ නගරයෙන් පිටත සිට සටන් කල යුතු යැයි යෝජනා කලේය. ගොබ්ල්ස් එකඟ විය. අනතුරුව ස්පීර් ගියේ හැම්බර්ග් නුවරටය. එහිදී ජර්මන් ජනතාවට සුදුසු මොහොතක විකාශය කරනු පිණිස තමා හඬ පටයක් සූදානම් කල බව ස්පීර් කියයි. සියළුම කම්හල් හා ගොවිබිම් ද, පිරික්සුම් කඳවුරු හා සිර ගෙවල්ද මිත්ර හමුදා අතට ඇති තත්වයෙන්ම භාර දෙන ලෙස ඔහු එමගින් ජනතාවට නියැම කොට සිටියේය. තම පක්ෂපාතීත්වයේ බැදීමෙන් තවමත් මුළුමනින්ම ගැලවීමෙහිලා අපොහොසත් වූ නිසාදෝ ස්පීර් මෙතැනදී පවා හිට්ලර් සෘජු ලෙස විවේචනයට ලක් කිරීමට සිතුවේ නැත. එහි අදහස් පෙල ගැස්වී තිබුනේ තිබුනේ ජාතියේ ද්‍රව්‍යමය උරුමය විනශය කිරීමට තැත් කරන ඔහු තවමත් නොදන්නා කිසියම් නාසි වාදියෙකුට එරෙහිවයි. අවසානයට බංකරයෙන් නික්ම ගිය හිම්ලර් රෑ බෝවී සෙයිතන් බල කොටුවේ සිය මූලස්ථානයට ලඟා වන විට ඔහු දුටුවේ තමා එන තෙක් ඔත්තු සේවා ප්‍රධානී එස්. එස්. මේජර් ජනරාල් (SS Brigadefuehrer) වෝල්ටර් ෂෙලන්බර්ග් නොඉවසිල්ලෙන් බලා සිටින බවය. ෂෙලන්බර්ග් ගෙනා ඔත්තුව සුළුපටු එකක් නොවේ. ස්වීඩන් රතු කුරුසයේ ෆොල්ක් බර්නාඩොට් සිටුතුමා ජර්මනියට පැමිණ සිටී. පෝල් ජාතික සිරකාරියන් පිරිසක් ගැන කතා බහ කිරීමේ මුවාවෙන් හිම්ලර් හා ඔහු හා සාකච්ඡාවක් පසුදා හිමිදිරියේ සූදානම් කොට ඇත. සාමය සඳහා ඇති අවසන් අවස්ථාව මෙය විය හැකි බවට කුටු කුටු ගෑ ෂෙලන්බර්ග්, හිර්ලර්ට ඕනෑ කුදයක් ගහ ගැනීමට ඉඩ හැර බටහිර ජාතීන්ගෙන් සාමය ඉල්ලා සිටින මෙන් උදක්ම අයැද සිටියේය. පණිවිඩය ගෙන යාමට සිටුතැනද අකැමති නැත. “හොඳයි එන හැටියකට බලමු,” හිම්ලර් කීය. හරියටම පසුවදා හිමිදිරි උදෑසන 6 ට හිම්ලර් ස්වීඩ්න් ජාතිකයා හමුවූයේ ෂෙලන්බර්ද සමඟය. තිදෙනාම උදේ හීලට වාඩි වූහ. ෂෙලන්බර්ග් ගේ සියළු බලාපොරොත්තු කඩකරමින් සිරකාරියන් නිදහස් කිරීමේ තාක්ෂණික කරුණු වලට පමණක් කතා බහ සීමාකල හිම්ලර් එතැනදී පවා හිට්ලර්ගේ පූර්ව අනුමැතිය ලබා ගතයුතු බව උදක්ම කියා සිටියේය. පැයකින් සාකච්ඡාව අවසන් වූයේ වැදගම්මකට ඇති දෙයක් කතා බහ වීමෙන් අනතුරුව නොවේ. බර්නාඩොට් සිටුතුමා යන්නට නැගිට්ටේ අසතුටිනි. ෂෙලන්බර්ග් තමාට කලින් කීවේ හිම්ලර් සාම කොන්දේසි ඉදිරිපත් කිරීමට බලා සිටින බවයි. “ඔය කෙලින්ම නොකිව්වට රයික්ස්ෆියුරර් තුමා යටි හිතෙන් කැමැත්තෙන් ඉන්නෙ ජනරාල් අයිසන්හවර් එක්ක කතා කරන්න. ඔහොම හිටියට හරිම හිත හොඳ මනුස්සයා. ආසයි බයයි. අපිට තියෙන්නෙ මැදිහත් වෙලා හමුවක් ලෑස්ති කරන්න විතරයි,” සිටුතුමා හැරලවීම පිණිස මඟට ආ ෂෙලන්බර්ග් තත්වය පැහැදිලි කිරීමට උත්සහ කරයි. “ඔඅය කිව්වට මේව සෙල්ලම් වැඩ නෙවෙයි. රයික්ස්ෆියුරර් තුමාගෙ හරි හමන් ලියුමක් වත් නැතුව මේකට අත ගහන්න බෑ. ජනරාල් අයිසන්හවර්ට මොනවද මම පෙන්නන්නෙ ඔප්පු කරන්න? මම හිතුවෙ ‘හර් හිම්ලර්’ දැන් වත් හිත හදාගෙන ඇති කියල. සමාවෙන්න මේජර්-ජනරාල් තුමා මට නම් මීට වඩා කරන්න දෙයක් නැහැ. ” බර්නාඩොට් සිටුවරයා යන්නට ගියේය. සාමය සඳහා තිබූ අවසන් අවස්ථාවද අහිමීවී යයි ෂෙලන්බර්ග් ලත විය. මේ අවසන් මොහොතේ පවා හිට්ලර් කෙරේ ඇති පක්ෂපාතීත්වයෙන් මිදීමට අසමත් ස්පීර් පමණක් නොවේ. මෝහය දුරු වෙමින් පැවතියද අනුගාමිකයන් හිට්ලර්ට ඇද බැඳ තැබූ අදිසි මායාබන්ධනය පහව නොගියේය...

(C) Chamara Siriwardene

හිට්ලර් ගේ ඔපෙරා දර්ශණය (1945 අප්‍රේල් 21-22)

උපන්දිනයට පැමිණි අමුත්තන් සුභ පතා නික්ම යාමෙන් අනතුරුව බංකරයේ හිට්ලර් සමඟ ඉතිරි වූයේ ඊවා බ්‍රෝන් හා ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයත්, ජනරාල් වරු හා අජුටන්ට් වරු කිහිපදෙනාද, එස්. එස්. ආරක්ෂක බල ඇණියකුත් පමණි. ආසන්නයේ සිටි සිය කාර්යාලවල බිම්මහල් තුල ජීවත් වූ හිට්ලර්ගේ විධායක ලේකම් හා නාසි පක්ෂයේ පරිපාලක මාර්ටින් බෝර්මන් හා ප්‍රචාරක ඇමති ගොබ්ල්ස් ද ගෝරින්ගේ නියෝජිත හා ගුවන් හමුදා මාණ්ඩලික නිළධාරී කාර්ල් කොලර් ද දිනපතා බංකරයට වාර්තා කලහ. සොසෙන් හි පිහිටි මූලස්ථානය රතු හමුදාව අතට පත් වීම නිසා හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී හෑන්ස් ක්‍රෙබ්ස් බංකරයේ රැකවරණ පැතූ අතර සරනාගත තත්වයට පත් මහ සෙනෙවි මණ්ඩලයේ නායක දෙපල වන විල්හෙල්ම් කයිටල් හා ඇල්ෆ්‍රඩ් ජෝඩ්ල් දකුණේ ඔබර්සැල්ස්බර්ග් හි ස්ථානගත වීමට කල්පනා කලේ නායකතුමා ඇල්ප්ස් කඳුකරයේ සිට අවසන් සටන මෙහෙයවනු ඇතැයි විශ්වාසයෙනි. එහෙත් අට දිනකට පෙර ඇමෙරිකානු ජනාධිපති රූස්වෙල්ට් මිය බව ඇසූ විට හිට්ලර්ගෙන් පලවූ උද්යෝගය තව දුරටත් ඔහු කෙරෙන් දක්නට වූයේ නැත. ගොබ්ල්ස් ඒ දිනවල ඉතිහාස පොත ගෙන ඔහුට ඇසෙන සේ නිතර කියැවූ 1762 ‘බ්‍රැන්ඩන්බර්ග්’ හාස්කම යලි හට නොගත් අතර ජර්මනිය කොන්දේසි විරහිතව යටත් වනතුරු සාමයක් උදා නොවන බව රූස්වෙල්ට් ගේ අනුප්‍රාප්තිකයා වූ හැරී ටෲමන් ද දුෂ්ඨ ලෙස කියා සිටියේය. සීලෝ හි අවසන් ආරක්ෂක වැටියද බිඳ දැමූ රුසියානුවෝ බර්ලිනයට ආසන්න වෙමින් සිටි හෙයින් නගරයෙන් පිටවන සියල්ලන් ඔහුගෙන් අයැද සිටියද, දැන් හතලිස් ලක්ෂයක් ජනයා විසූ බර්ලිනය හැරදමා යාමට ඔහුට නොහැකිවූ හේතුවද එයමය. වැග්නර්ගේ ඔපෙරා වේදිකාවේ රණ ශූරයෝ සතුරු තර්ජන හමුවේ සටන් වදිනු මිස පලා නොයති. එදින රැය පහන්වනතුරු බංකරයේ නාන ගෙයකට වඩා මඳක් තරමින් විශාල සාකච්ඡා කාමරයේ මේසය මත වූ විශාල සිතියමේ දාම් ඉත්තන් මෙන් විවිධ පාට බොත්තම් ඒ මේ අත මාරු කරමින් කල්පනාවේ යෙදුන හිට්ලර්, බර්ලිනයේ ගේට්ටුවට මෙපිටින් කොසැක් සතුරාට එරෙහිව අවසන් මහා ප්‍රහාරයක් එල්ල කිරීමට පසුදින නියෝග කලේය. මෙහෙයුම පෞද්ගලිකව සැලසුම් කල හිට්ලර් ගේ අපේක්ෂාව වූයේ බර්ලිනයට වයඹ දෙසින් ස්ථානගත කොට තිබූ විස්ටුලා පෙරමුණට අයත් සංචිත අනුඛණ්ඩ කිහිපයක් හා ජර්මන් 9 වන හමුදාවේ ඒකක දෙපසින් යොදවා සීලෝ ආරක්ෂක සීමාව බිඳගෙන නගරයේ නැගෙනහිර තදාසන්න සීමා තුලට ඇතුළු වෙමින් සිටි සුකොව් අංශයේ උතුරු ඇලයට පහර දීමය. මෙම තීරණාත්මක සටනට අණදීම සඳහා එස්. එස්. ජනරාල් (SS Obergruppenfuehrer) ෆීලික්ස් ස්ටයිනර් පත් කෙරින. යුද සංචිත අන්තිමටම සිදී තිබූ මේ මොහොතේ ලහි ලහියේ රැස් කෙරුන ස්ටයිනර්ගේ බල ඇණිය බොහෝ දුරට පොතට සීමාවූ අභ්‍යාසයකිි. ඊට අයත් ලෙස සලකුණු කෙරුන ඇතැම් අනුකණ්ඩ ඒ වනවිටත් ඔවුන් දැනට සටන් වදිමින් සිටි ස්ථාන වලින් ඉවත් කොට ගහෙන් ගෙඩි එන්නක් මෙන් යලි ස්ථාන ගත කිරීම සැපයුම් හිඟයෙන් පීඩා විඳිමින් පසුබසිමින් සිටින පෙරමුණකට ප්‍රායෝගික වශයෙන් දුෂ්කරය. අනිත් අතට සටනේදී වැහැරී ගිය ඒ සෑම ඒකකයකම ඵලදායී ශක්තිය දෙකෙන් පංගුවට වඩා අඩු වුවද හිට්ලර් ඒ කිසිවක් පිළි නොගත්තේය. “ආයි නෑ බෑ කතා තවත් බෑ. ඉතුරු වෙල ඉන්න හැම සෙබළම, හැම යුද ටැංකියක්ම මේකට යොදවන්න ඕන. මෙතනදි පස්ස ගහන්න හෙම කවුරු හරි ලැහැස්ති උනොත් පැය පහක් ඇතුලත එයැයිට තමන්ගෙ ජීවිතයෙන් වන්දි ගෙවන්න වේවි.” සීරුවෙන් සිටින ජනරාල්වරු නිහඬය. “විශේෂයෙන් මේක කියන්නෙ ගුවන් හමුදාවට,” හිට්ලර් එවර හැරුනේ ගෝරින්ගේ නියෝජිත කොලර් දෙසටය. “හැම ගුවන් යානයක්ම මේ ප්‍රහාරයට යොදවනව කියල තමුසෙ බෙල්ලෙන් ඇප වෙන්න ඕන, තේරුණාද?” “තේරුණා මගේ නායක තුමනි” කොලර් අසරණ කීය. ඔහුගේ අභිප්‍රාය වූයේ පණ බේරාගෙන එතැනින් පැන ගනීමයි. එදින සවස් වන විට සීලෝ උස්බිම් තරනය කොට බර්ලිනයට සැතපුම් 9ක් දක්වා ආසන්න වූ වැසිලි චිකොව් ගේ සෝවියට් 8 වැනි ආරක්ෂක හමුදාවේ ඉදිරි පෙල ඒකක නගරයට කාල තුවක්කු වෙඩි එල්ල කලහ. චාන්ස්ලර් මන්දිරය පිහිටි විල්හෙල්ම් වීදියට නිරන්තරව ෂෙල් වෙඩි ඇද වැටුන අතර බ්‍රැන්ඩන්බර්ග් ස්මාරකයේ එක් පියාපතක් කඩා වැටිණ. අඩක් සුන් බුන්ව තිබූ ජර්මන් පාර්ලිමේන්තුව යලි ගිනි දැලින් වැසී ගියේය. බංකරය ශබ්ද පරිවාරණය කොට තිබුනද පිපිරීම් වල දෙදරීම නිසාදෝ හිට්ලර් නැවතත් කොලර් ට දුරකථනයෙන් ඇමතුවේය. “රුසියන් කාල තුවක්කු නගරෙට වෙඩි තියද්දි තමුසෙ ඇඟිලි ඇට කඩනවද? කෝ තමුසෙගෙ ප්‍රහාරක යානා?” සතුරු කාලතුවක්කු විනාශ කිරීමට දැනටමත් අණකොට ඇතැයි කොලර් වාර්තා කලේය. ප්‍රමාදයට හේතුව ඉන්ධන හිඟ වීම හා රුසියන් ගුවන්යානා නාශක අවිවල ක්‍රියාකාරීත්වයයිි. “එහෙමද? එහෙනම් ගුවන් හමුදාවෙ සෙනෙවි මණ්ඩලයම අල්ලල එල්ලන්නයි තියෙන්නෙ.” බියෙන් ගැහෙන කොලර්ට අනිත් කෙලවරේ සිට තර්ජනය කල හිට්ලර් රිසිවරය වැරෙන් දුරකථනය මත තැබුවේ දඩාං හඬිනි. අප්‍රේල් 22 දා බංකරයේ සිට පෙරමුණේ විවිධ මූලස්ථාන ගණනකට ලැබුණ ඇමතුම් මාලාවකින් දිගින් දිගටම විමසා සිටියේ ප්‍රතිප්‍රහාරය ඇරඹී ඇත්ද යන වගයි. එය ඇරඹුන වග හිම්ලර්ගේ කාර්යාලය වරක් කීය. එසේ නොවන වගට ගුවන් හමුදා මූලස්ථානයෙන් කියැවින. දහවල වන තුරුද හරි හමන් තොරතුරක් දැනගන්නට නොවීය. කඩිමුඩියේ ඔබ මොබ යන ජනරාල් වරු කසුකුසු ගාමින් ඔවුනොවුන් හා රහස් දොඩති. සුපුරුදු ලෙස පාන්දර ජාමය තෙක් වල්පල් දොඩමින් සිටි හිට්ලර් කුකුල් නින්දකින් පසු අවදි වූයේ මද්දාහේනය ආසන්නයේය. ලහි ලහියේ ඇඳ පැලඳගත් ඔහු සාකච්ඡා කාමරයට පැමිණියේ හෝරා කිහිපයකට පෙර ඇරඹීමට නියමිත ප්‍රතිප්‍රහාරයේ ප්‍රගතිය දැන ගනු රිසියෙනි. බංකරයේම නේවාසිකව සිටින හමුදා මාණ්ඩලික ප්‍රධානී ක්‍රෙබ්ස් ද, මහසෙනෙවි මණ්ඩලයේ රයිගමයයි ගම්පොලයයි වැනි කයිටල් හා ජෝඩ්ල්ද, හිට්ලර්ගේ හමුදා ඇජුටන්ට් වන ජනරාල් බර්ග්ඩෝර්ෆ් හා පෞද්ගලික සහායක මාර්ටින් බෝර්මන් ද එහි වූහ. කැඳවීම මත පෙනීසිටීමට සූදානමින් සෙස්සන් සිටියේ පිටත කොරිඩෝරයේය. ක්‍රෙබ්ස් හා ජෝඩ්ල් හමුදාමය තත්වය සිතියම අනුසාරයෙන් විස්තර කලෝය. සටන සඳහා සලකුණු කෙරුණ ඒකක තවමත් නියමිත ස්ථාන වලට ලඟා වී නොමැති හෙයින් ස්ටයිනර් ප්‍රතිප්‍රහාරය අරඹා නැත! එහෙත් දැන් වඩාත් වැදගත් ගැටළුව වී ඇත්තේ ස්ටයිනර්ට සහාය පිණිස භට පිරිස් ඉවත් කරන අතරතුර රුසියානුවෝ දකුණින් අනපේක්ෂිත ලෙස ස්පීර් ගඟ තරණය කිරීමය. සෝවියට් යාන්ත්‍රික බල ඇණි වල ඉදිරි පෙල ඒකක දැන් බර්ලින් නගර සීමාවේ සටන් වදිත්. හිට්ලර් අසාමාන්‍ය ලෙස නිහඬය. ඉදිමී කහ පැහැ වී තිබූ ඔහුගේ මුහුණ සුදු මැලිවිය. අනතුරුව එය දම්පැහැයක් ගත්තේය. අධික වේගයෙන් ලේ ගමන් කිරීම නිසාදෝ නලල දෙපස වූ නහර ඉලිප්පිණ. හුනස්නෙන් නැගිටුන ඔහුගේ දෑස් නැටවුන අතර වමත වෙව්ලයි. තම ජනරාල් වරු ද්‍රෝහී, අදක්ෂ, නිවට ඔලමොට්ටලයන් රැලක් යැයි බෙරිහන් දුන් හිට්ලර් ඔවුනට දරුණු ලෙස ශාප කලේය. “ එස්. එස්. එකත් එහෙනම් මට බොරු කරා! යුද්දෙ පරාද වෙන එක අහන්නත් දෙයක්ද? මේක තමයි 41 ඉදලම උනේ. ” බොහෝ වේලා කෑ කෝ ගෑමෙන් පසු හිට්ලර් පුටුව මත ඇද වැටීන. හති අරින ඔහුගේ දෑත් දෙපසට කඩා හැළුනේය. සෙස්සෝ ඔහු වටා රොක් වූහ. සියල්ල අවසන් බවත්, තුන් වන රයික් රාජ්‍යය මායාවක් වූ බවටත් වගාලාප කී හිට්ලර් ද්‍රෝහී කම් හා පාවා දීම් හමුවේ තම මෙහෙවර ගඟට ඉනි කැපුවාක් මෙන් වීයැයි විලාප නැගුවේය. කල යුත්තේ කුමක් දැයි තමා තීරණය කොට අවසන්ය. “කැමති ඕන කෙනෙකුට බංකරෙන් පිට වෙන්න පුළුවන්. මම නෙවෙයි අඩියක් හොල්ලන්නෙ මෙතනින්. වෙන දෙයක් උනා දෙන්.” හැගුම්බර වූ ජනරාල්වරු එසේ නොකරන මෙන් අයැද සිටියෝය. එහෙත් හිට්ලර් ඔවුන සවන් දුන්නේ නැත. ඔහු ගොබ්ල්ස් එහි කැඳවූයේ තමා අවසානය දක්වා නගරයේ සිටින බවට මහජනයාට දැනුම් දෙන මෙන් නියම කිරීමටය. සෙසු සියළු දෙනා නගරයෙන් පිටවන ලෙස හිට්ලර් ගෙන් ඉල්ලා සිටිද්දී, එහි රැදී සිටීමට ඔහු පෙලඹවූ එක් පුද්ගලයෙකි ගොබ්ල්ස්. පලා යාම ගොබ්ල්ස්ටද රිසි නැත. පරාජය නියත නම් අඩු තරමේ එය මතු පරපුරට භාවාත්මක හා හැඟීම් දනවන සුළු උදාහරණයක් හෝ එමගින් සැපයිය යුතු වග ඔහු විශ්වාස කරයි. එදින ජර්මන් ගුවන් විදුලිය නිවේදනය කලේ නොබිඳිය හැකි ජර්මන් බලකොටුව වූ බර්ලිනයේ හිට්ලර් හා ගොබ්ල්ස්- නායක තුමා හා ආණ්ඩුකාර තුමා- අවසානය දක්වා ජනතාව සමඟ රැදෙනු ඇති බවය. මේ දක්වා ප්‍රචාරක අමාත්‍යාංශයේ බිම්ගෙයක විසූ ගොබ්ල්ස් මහත්මිය හා දරුවන් 6 දෙනාද එදින බංකරයට පැමිණීයෝය. ඔවුන් සාදරයෙන් පිලි ගත් හිට්ලර් තම තීරණය පිළිබඳ මැග්ඩා ගොබ්ල්ස්ට පැහැදිලි කලේය. තමන් දෙදෙනාද නායකතුමා සමඟ බර්ලිනයේම ඇද වැටෙන බව ගොබ්ල්ස් යුවලද කියා සිටියහ. එතකොට දරුවන් 6 දෙනා? තමා වෙනුවෙන් තීරණ ගැනීමට කුඩා වැඩි ඔවුන්ට ජාතික සමාජවාදයෙන් තොර ලොවක අනාගතයක් නැති බව පැවසූ මැග්ඩා ගොබ්ල්ස්, රුසියානුවන් අතින් හිරිහැරයට පත් නොවනු පිණිස ඔවුනටද වස දෙන බව කීවේ කඳුළු බරවය. සිදුවන්නේ කුමක්දැයි කිසිත් නොදත් පොඩිත්තන් ඉදිරියේ අමුත්තක් නොපෙන්වූ හිට්ලර් ඉදිරි දින කීපය පුරා උදෑසන උණු චොක්ලට් පානය කරමින් ඔවුන්ගේ පාසල් වැඩකටයුතු ගැන හිට්ලර් විමසුවද කුඩා කල සිට ඔහුගේ ප්‍රියතමයා වූ ගොබ්ල්ස්ගේ වැඩිමල් දියණිය වූ 13 වියැති හෙල්ගා ‘ඇඩොල්ෆ්’ මාමාගේ මේ වෙනස දුටු බවත්, වැඩිහිටියන් කොතෙක් සැඟවුවද තත්වයේ බරපතල කම වටහා ගෙන සිටි බවත් බංකරය තුල සිටි අවසන් දින 10 දී ඔවුන් බලා කියාගත් හිට්ලර්ගේ ලඝු ලේඛිකාව වූ ටෲඩ්ල් ජුන්ග් මහත්මිය පවසන්නීය. කුමකින් කුමක් වේදැයි නොදත් බංකර් වාසින් කලයුත්තේ කුමක් දැයි නොදැන විස්සෝප වෙද්දී පිටත කොරිඩෝරයට වී ඔළුවේ අත් ගසාගෙන සිටි කයිටල් හා ජෝඩ්ල් දෙපොල යලි සිතියම් කාමරය තුලට කැඳවන ලදී. “මම බර්ලිනය දාල යන්නෙ නෑ. ඒක ස්ථිරයි,” හිට්ලර් සන්සුන් ලෙස ඔවුනට පැහැදිලි කලේ තම ‘එකටෙක කිරීමේ’ තීරණය ප්‍රමාණවත් ලෙස අවධාරණය නුවූ බවක් සිතුන නියාවෙනි. ජනරාල් දෙදෙනා ඉදිරිපත් කල විරෝධතා යලි නොතකා හැරිය හේ ඔවුනටද බංකරයෙන් පියව යන මෙන් අණ කලේය. “මෙතනට වෙල ලත වෙවී ඉන්නෙ නැතුව ගිහින් අඩුගානෙ දකුණේ සටන වත් හරියට මෙහෙයවනවා.” “අපි යන්නෙ ඔබතුමා යන තැනකට විතරයි,” ඔවුන්ගේ ගේ පිළිතුර විය. “හමුදාව නොකරපු දේ මම හරි කරනවා. අන්තිම වෙනකම් බර්ලින ආරක්ෂා කරල නගරය ඇතුලෙම ඇද වැටෙනවා. හැබැයි මගේ බල්ලවත් යටත් වෙන්නෙ නෑ.” “හමුදාවෙන් තුන් කාලක් එක්ක සෙනෙවි මණ්ඩලයෙ ඉන්නෙ දකුණෙ. ඔබතුමා කොහොමද සටන මෙහෙයවන්නෙ බර්ලිනයෙ ඉඳන්? අපි එහෙට යමු. මොනදේ කරන්නත් කලියෙන් මෙතැනින් පිටවෙමු නායක තුමා. ඔබතුමා අග්‍රසේනාධිනායකය හැටියට අපිව මෙහෙම අතරමං කරන්න එපා.” ඔවුහු නියෝග නිකුත් කරන ලෙස වැඳ නොවැටුනා පමණි. හිට්ලර් සවන් නුදුන්නේය. “ගත්ත තීරණේ වෙනස් කරන්න දැන් බැහැ. දීපු නියෝග පිළිගන්න බැරි නම් තව මොකට නියෝග දෙන්නද? දැන් ඉතින් තවත් සටන් කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ. සාකච්ඡා කරන්න ඕනනම් ඒක ගෝරින් මට වඩා හොඳට කරන්නෙ නැතෑ.” “එහෙමනම් අපි බටහිර ජර්මනිය මිත්‍ර පාක්ෂිකයන්ට දැනට අත අරිමු. එල්බ් ඉවුරේ සටන් කරන 12 වන හමුදාව ගෙනත් බර්ලිනය රුසියානුවන්ගෙන් බේර ගමු,” කයිටල් යෝජනා කලේය. මදක් කල්පනා කල හිට්ලර් ඊට එකඟ විය. ජනරාල් වෝල්ටර් වෙන්ක් අණදුන් ජර්මන් 12 වන හමුදාව ඔහුගේ පෞද්ගලික නිර්මාණයකි. කයිටල් ඒ මොහොතේම වෙන්ක් හමුවීමට යාමට සූදානම් වුවද හිට්ලර් හරස් විය. “පිස්සුද? කෑම ටිකක් කාල යනවා.” ඔහු දැන් මුළුමනින්ම සන්සුන්ය. කයිටල් ආහාර ගෙන අවසන් වන තුරු අසලින් හිඳ බලා සිටි හිට්ලර් දුර ගමනක් යන ෆීල්ඩ්-මෂල් වරයාගේ ගමන් මල්ලට සැන්ඩ්විච් පාර්සලයක්, කොග්නැක් බෝතල් භාගයක් හා චොක්ලට් පලුවක් දමා ඇත් දැයි පෞද්ගලිකවම සොයා බැලූවේ බර්ග්ඩෝර්ෆ් බංගලාවේ සංග්‍රහශීලී ඔස්ට්‍රියන් ගෘහමූලිකයා යලි සිහි ගන්වමිනි. එහෙත් එක් ගැටළුවක් අපිට ඉතිරිව ඇත. හමුදා පති වරයා හා හමුදාවේ මාන්ඩලික ප්‍රධානීන් 4 දෙනෙක්ම හුදු නොකැමැත්ත මත පන්නා දැමූ හිට්ලර් එස්. එස්. ජනරාල් ස්ටයිනර් සිය නියෝගය සෘජුවම පැහැර හැර ඇති බව ඇස් පනා පිට පෙනෙද්දීත් ඊට කිසිදු පියවරක් නොගත්තේ ඇයි? පැය පහක් තුල සටයිනර්ට වෙඩි තැබුනේ නැත. ඒ වෙනුවට හිට්ලර් කලේ පලි ගසමින් බර්ලිනයේ නැවතී සිය දිවිනසා ගැනීමට තීරණය කිරීමයි. මෙම ලිපි පෙලට පාදක වූ මූලාශ්‍ර තුල එම සාධකය විග්‍රහයට ගෙන නැතුඉ අතර අතර ස්ටයිනර්ට එරෙහිව හිට්ලර් ගත්තේයයි කියැවෙන පියවරක් ගැන වාර්තා නොවේ. තමා පැවරූ රාජකාරියේ බරපතල බවත්, ස්ටයිනර්ට අනුයුක්ත කල හමුදා ඒ සඳහා ප්‍රමානවත් නුවූ බවත් හිට්ලර් නොදැන සිටියේ යයි සිතීම විහිළුවකි. වඩාත් සාධරණ උපකල්පනය වන්නේ අපේක්ෂා කල හාස්කම සිදු නුවූ බැවින්, මහා ෆ්‍රෙඩ්රික් රජු ගේ උදාහරණය අනුගමනය කරමින් ඉතිහාස ගතවීමට ඒ වනවිටත් අදිටන් කොටගෙන සිටි හිට්ලර් ඒ සඳහා ප්‍රවේශයක් ලෙස මෙම ඉටු කල නොහැකි නියෝගය යොදා ගත් බවය. ඒ ඔහුගේ ඔපෙරාවේ අවසන් ජවනිකාවේ තේමා ගීතය පමණි. රණ ශූරයෙකුට ගහෙන් ගෙඩි එන්නාක් මෙන් දිවි නසාගත නොහැක. කෙසේ වුවද බටහිර ජර්මනිය ඇමෙරිකානුවන්ට අතහැර දමා 12 වන හමුදාවට ගෙන ඒමේ කයිටල් ගේ යෝජනාව ඔහු තුල නව අපේක්ෂාවක් ජනිත කලාට සැකයක් නැත. එහෙත් මසකට හමාරකට පෙර හිටපු මාණ්ඩලික ප්‍රධානී ගුඩේරියන් ඉදිරිපත් කල මේ හා සමාන යෝජනාව එදා ඔහු පිළිගත්තේ නම් යුද්ධයේ අවසානය වඩාත් වෙනස් විය හැකිව තිබිණ.

(c) Chamara Siriwardene

හිට්ලර්ගේ සගයෝ රීති බිඳිති (1945 අප්රේලල් 22- 23)

අප්‍රේල් 22 දා සවස දුම්මල වරම අතට ගත් හිට්ලර් ජනරාල් වරුනට සුද්ද ජර්මන් බසින් දෙසද්දී, ප්‍රමණවත් භට පිරිස් නොමැති ස්ටයිනර්ට ප්‍රහාරය දියත් කිරීමට තරම් ශක්තියක් නැති බව කලින්ම දැන සිටි හිම්ලර් සිටියේ තම ඔත්තු සේවා ප්‍රධානියා වූ එස්. එස්. මේජර්-ජනරාල් (SS Brigadefuehrer) වෝල්ටර් ෂෙලන්බර්ග් සමඟ තේ පානය කරමිනි. “මම හිතන්නෙ තමුසෙ කියන දේ හරි. මට තීරණයක් ගන්න වෙනවා.” ඔහු කල්පනා බරව කීවේය. ෂෙලන්බර්ග්ට එපමණක් සෑහේ. ඔහු එකෙනෙහිම බර්නාඩොට් සිටුවරයා සොයා ඩෙන්මාර්ක් දේශසීමාව බලා ගියේය. බංකරයේ සිටි තම නියෝජිත එස්. එස්. ලුතිනන්-ජනරාල් (SS Gruppenfuehrer) හර්මන් ෆෙගලින් ගෙන් සිද්ධිය විස්තර කරමින් හදිසි දුර ඇමතුමක් ලැබෙන විට ඔහු ෂෙලන්බර්ග්ට සමුදී අතගත්තා පමණි. හරි නම් කලයුත්තේ තමා වහා බර්ලිනයට ගොස් නායකතුමා බැහැ දැකීම බව හේ දනී. එහෙත් ෂෙලන්බර්ග්ට අනුකූලත්වය දැක්වීම නිසා වරද කාරී හැඟීමෙන් පසුවූ ඔහු දැන් හිට්ලර් අභියසට යාමට බියවිය. ඇරත් ෂෙලන්බර්ග් දැනගත්තොත් මොනවා නොහිතාවිද? බැවේරියාවට යන අතරතුර හිම්ලර්ට වාර්තා කිරීමට ඔහුගේ සිර කඳවුරු භාර ප්‍රධානී එස්. එස්. ජනරාල් (SS Obergruppenfuehrer) ගොත්ලොබ් බර්ගර් පැමිණියේ ඒ අවස්ථාවේදීය. “තමුසෙට බැරිද මන් වෙනුවට ඔය ගමන් බර්ලිනයට ගිහින් නායක තුමා එක්ක ටිකක් කතා කරලම යන්න?” නිරිතදිග් ජර්මන් වාසී නිර්භීත ස්වැබියන් වරයෙක් වූ බර්ගර් ද ඊට කැමති විය. බංකරයට යලි දුර ඇමතුමක් ගත් හිම්ලර් නායකතුමාට සෘජුව කථා කරමින් බර්ලිනය අතහැර එන මෙන් උදක්ම ඉල්ලා සිටිය ද ඉන් ඵලක් වූයේ නැත. තමා බර්ලිනයේ ඇද වැටීමට ගත් තීරණය හා ඊට හේතු හිම්ලර්ට දීර්ඝ ලෙස විස්තරකොට දෙන ලදී. රිසිවරය තැබූ හිම්ලර් විස්මයෙන් කෑ ගෑවේය. “බංකරේ ඉන්න ඔක්කොටම පිස්සු! නායක තුමා කියනව එස්. එස්. එකත් බොරු කරා කියල. මම කියල මොනව කරන්නද?” චාන්ස්ලර් මන්දිරයේ ආරක්ෂාව සඳහා 600කින් සමන්විත තම පුද්ගලික ආරක්ෂක බල ඇණිය ද ගෙනගොස් හිට්ලර්ට භාර දෙන ලෙස ඔහු බර්ගර්ට නියම කලේය. අප්‍රේල් 22 රාත්‍රියේ බර්ගර් බංකරයට ලඟා වන විටත් අවට රුසියන් ෂෙල් වෙඩි ඇද වැටෙමින් තිබිණ. සාකච්ඡා කාමරය තුල හමුදා ජනරාල්වරු කිහිප දෙනෙක් සිටිති. හිට්ලර් පුටුවක් මත කුදු ගැසී හිඳ සිටියේය. බර්ගර්ගේ කෙටි වාර්තාවට සවන් දුන් ඔහු හිස වනා හිම්ලර් ගේ ආරක්ෂක භට කණ්ඩායම රැඳවිය යුතු තැන සිතියම මත දැක්වීය. ඔහුගේ මුහුණ කහ පහැ ගැන්වී තිබුන අතර වමත නොනවත්වා වෙවුලයි. අදාල නොවුවද, තමා බර්ලිනයේ නතරවීමට ගත් තීරණය පිළිබඳ බර්ගර්ටද විස්තර කොට දෙන ලදී. “හිම්ලර් නම් කියනව බර්ලිනයෙ නතර වෙන එක තේරුමක් නැහැ කියල.,” හිට්ලර් වැඩිදුරටත් කීය. නිර්භීත ස්වැබියන්වරයාද නායකතුමාගේ මෙම තීරණය ගැන මුළු හදින්ම එකඟ විය. “ඔබතුමා නිවරදියි, මගේ නායක තුමනි. මේ තරම් කාලයක් මේ තරම් පක්ෂපාතීව හිටි ජනතාවක් දාල යන්න කෙනෙකුට බැහැ!” හමුදා නිලධාරීන් මුහුනට මුහුණ බලා ගත්තේ යටැසිනි. හිට්ලර් නිහඬය. එක්වරම ඔහු යලි පුපුරා ගියේය. “හැමෝම මට කොලේ වැහුව. කවුරුවත් ඇත්ත කිව්වෙ නැහැ. හමුදාව මට කිව්ව තරමක් කිව්වෙ බොරු,” හිට්ලර් යටිගිරියෙන් බෙරිහන් දුන්නේය. තමා බර්ලිනයේ මිය යාමට සැබෑ හේතුව විය යුතුය ඔහු ඒ තම් වේදනාවෙන් යුතුව හෙලි දරව් කලේ. අඩු තරමින් අපට හැඟෙන්නේ එසේය. රුසියන් කාලතුවක්කු නොකඩවා බර්ලිනයට පහර දෙන අතර සිය මෙහෙවර නිමවා බැවේරියාව බලා යනු පිණිස හිම්ලර්ගේ එන්ජින් 4 ගුවන්යානයට බර්ගර් ගොඩ වන විට පසුදා අළුයම 1 පමණ වන්නට ඇත. කැමති ඕනෑම අයෙකුට බංකරයෙන් පිටවීමට හිට්ලර් අවසර දී තිබූ හෙයින් එදා රෑම දකුණ බලා යාමට යුහුසුළු තවත් බොහෝ දෙනෙකි. ඔවුනතර හමුදා හා නාවුක අජුටන්ට් වරු දෙදෙනා, බංකරයේ ලඝු ලේඛකයන් දෙදෙනා සහ ලේකම් වරියන්ගෙන් දෙදෙනෙක්ද වූහ. “ඕනනම් තමුසෙත් යනව. මට දැන් බෙහෙත් ඕන වෙන්නෙ නෑ,” එකල මෙකල වෙමින් සිටි තම වෛද්‍යවරයා වූ තියඩෝර් මොරෙල් දුටු හිට්ලර් කීය. ඔහු කොතෙක් ඉල්ලා සිටියද ඊවා බ්‍රෝන්ද, ඉතිරි ලේකම් වරියන් වූ ටෲඩ්ල් ජන්ග් හා ග්‍රේඩා ක්‍රිස්ටියන් ද, හිට්ලර්ගේ ඔස්ට්‍රියන් ජාතික නිර්මාංශ කෝකියා වූ කොන්ස්ටන්සා මැන්සියාර්ලි මෙනෙවියද බංකරය හැර යාම ප්‍රතික්ෂෙප කළෝය. අප්‍ර්ල් 23 දා එළිවෙන්නට බංකරය හැර ගිය අනිත් පුද්ගලයා වූයේ ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී කාර්ල් කොලර්ය. අඩුතරමේ හිට්ලර් ගේ අපමණ නින්දා අපහාස හා තර්ජන වලින් ගැලවී සිටීමට හැකිවීම ඔහුට මහත් සහනයකි. එසේ වුවද තම නියෝගය නොපිලිපදින අණ දෙන නිළධාරීන්ට පැය පහක් තුල තම ජීවිත වලින් වන්දි ගෙවීමට සිදු වෙතැයි කලින්දා අනතුරු අඟවා සිටි හිට්ලර්, අවසානයේ එස්. එස්. ජනරාල් (SS Obergruppenfuehrer) ස්ටයිනර් ට මරණ දඬුවම පැනවූයේ නැත. තමා නිකුත් කලේ ක්‍රියායාත්මක කොට නොහෙන නියෝගයක් බව බාගවිට ඔහු දැන සිටීම ඊට හේතුව විය හැකි වුවත් ඉන් වැඩි දුරටත් පෙනී යන්නේ බොහෝ විට ආවේගශීලී තත්වයන් යටතේ පල කෙරෙන අදහස් තුලින් හැම විටම එහි සැබෑ අරුත ගම්‍ය නොවන බවය. කෝපය පල කිරීමේදී සාමාන්‍ය ජනයා අසැබි වදන් යොදා ගැනීම මීට තවත් ප්‍රායෝගික උපහැරණයකි. එමඟින්ද අපහාසය මිස වචනයේ පරිසමාප්ති අරුත අභ්‍යාස ගත කිරීමක් අදහස් නොකෙරේ. ඒ ආකාරයෙන්ම බර්ලිනය හැරදා නොයාමට තමා හොදින් හිතා මතා ගත් තීරණයට විරෝධය පා මින් කරදර කල කයිටල් හා ජෝඩ්ල්ට “සාකච්ඡා කරන එක ගෝරින් මට වඩා හොඳෑට කරන්නෙ නැතෑ,” යනුවෙන් කියමින් හිට්ලර් අදහස් කලේ අපේක්ෂාභංගත්වය විය හැක. නොඑසේ නම් අමනාපය මුසු උපහාසය වීමටද බැරි නැත. එහෙත් බංකරයේ සිටි ගුවන් හමුදා අජුටන්ට්වරයා සිද්ධිය පිළිබඳ කල නොපැහැදිලි වාර්තාවෙන් කොලර් ඒත්තු ගත්තේ නායක තුමා සම්පූර්ණ බලතල ගෝරින්ට පවරා දිවි තොර කොටගැනීමට සූදානම් වන බවයි. කරුණු ජෝඩ්ල් ගෙන් වැඩිදුරටත් ටහවුරු කොටගත් ඔහු එදා රෑ බංකරයෙන් පිටවී ඔබර්සැල්ස්බර්ග් බලා ගොස් ගෝරින්ට නිල වශයෙන් සිද්ධිය දැනුම් දුන්නේය. පුවත ඇසූ ගෝරින්ගේ මවිල් කෙලින් විය. හේ වහා සිය උපදේශකයන් කැඳවීය. 1941 හිට්ලර් නිකුත් කල ආඥාව අනුව ඔහුගේ නිළ උරුමක්කාරයා වූයේ ගෝරින්ය. එහෙත් ඔහු ජීවතුන් අතර සිටියදී ගෝරින්ට බලතල පැවරෙන තත්වයක් එහි දක්වා නැත. එසේ නම් විදුලි පුවතක් හෝ නායකතුමා නේව්වේ මන්ද? උපදේශකයෝ දහසකුත් දේ සිතා බැලූහ. “සාකච්ඡා කරන එක ගෝරින් මට වඩා හොඳෑට කරන්නෙ නැතෑ.” මින් ගෝරින්ට හැඟුනේ අවසන් මොහොතේ තමා මැදිහත් වී බටහිර බලවතුන් සමඟ සාකච්ඡා පවත්වනු ඇතැයි නායකතුමා බලාපොරොත්තුවෙන් සිටින බවය. මේ නම් සංඥාවක් විය යුතුය. එවැන්නකට විදුලි පුවතක් බලාපොරොත්තු විය නොහේ. තමාගේ ප්‍රමාදය ඔහුගේ අමනාපයට හේතුවී ඇත්නම් සිදුවනු ඇත්තේ අලි ජංජාලයකි. බර්ලිනයට විදුලි පුවතක් යවා තත්වය තහවුරු කොට ගැනිම මැනවයි උපදේශකයෝ කියා සිටියහ. ඒ අනුව දළ සටහනක් වහා පිළියල කරන ලදී. අර්බුදයට තුඩු දුන්නේ එහි අන්තර්ගතයයි. බටහිර ජාතීන් සමඟ සාකච්ඡා කොට සාමය ඇතිකොට ගැනීමේ සිය කාර්ය භාරය පිළිබඳ පරිකල්පනයෙන් උණුසුම් සිතැති ගෝරින් විටින් විට එක් කල නුසුදුසු වගන්ති හේතුවෙන් විදුලි පුවත අන්තරාකාරී ලියවිල්ලක් බවට පත්විය. “ මගේ නායක තුමනි, බර්ලින් බලකොටුවේ රැඳී සිටීමට ඔබතුමා තීරණය කොට ඇති හෙයින් 1941 ආඥාව පරිදි රයික් රාජ්‍යයේ නායකත්වය දෙස් විදෙස් පූර්ණ බලත ඇතිව මවිසින් භාර ගනු ලැබීමට ඔබතුමා එකඟවෙන්නේද?” මීට පිළිතුරු අපේක්ෂා කිරීමේ අවසන් වේලාවක් නම් කලයුතු බව දැනටමත් සිහින ලොවක සිටි ගෝරින් උදක්ම කියා සිටියේය. සන්නිවේදනය බිඳ වැටුනහොත් තමාට කාල නියමයක් නොමැතිව බලා සිටීමට සිදු වනු ඇත. සිදුවීම් එසේ බලා නොසිටී. රුසියානුවන් දැනමත් බංකරය අවට පෙදෙස් වලට භටයන් ගුවනින් හෙලා නැතයි කිව හැක්කේ කාටද? එහෙයින් තවත් කොටසක් විදුලි පුවතට එක් කරන ලදී. “යම්හෙයකින් අද පැය 22.00 ට මීට පිළිතුරක් නොලැබෙන්නේ නම් ඔබතුමා අක්‍රිය තත්වකට මුහුණ පා ඇති බවටත් 1941 ආඥාවේ කොන්දේසි සම්පූර්ණ වී ඇති බවටත් උපකල්පනය කරමින් රටේත් ජනතාවගේත් උපරිම යහපතට කටයුතු කරමි. දෙවියන් වහන්සේ ඔබ ආරක්ෂා කරනු ලබත්වා, මීට හිතැති හර්මන් ගෝරින්…” මේ අපූරු විදුලි පුවතේ පිටපත් මහ සෙනෙවි මණ්ඩල නායක කයිටල්ට හා විදේශ ඇමති රිබන්ට්‍රොප්ට පමණක් නොව හිට්ලර්ගේ ගුවන් හමුදා අතවැසියා වූ කල්නල් නොකොලස් වොන් බේලෝ පවා යැවුනද, හිම්ලර්ට එහි පිටපතක් යැවුනේ නැති. පෙර දින තම පුද්ගලික ආරක්ෂක බල ඇණිය හිට්ලර්ට භාර කිරීම බර්ගර්ට පැවරූ හිම්ලර් මේ මොහොතේ සිටියේ උතුරු ජර්මනියේ ලියුබෙක් නගරයේ ස්වීඩන් කොන්සල් වරයාගේ කාර්යාලයේ බර්නාඩොට් සිටුවරයා සමග තීරණාත්මක සාකච්ඡාවක නිරත වෙමිනි. විදුලි බලය ඇණ හිට තිබූ හෙයින් කතා බහ කෙරුනේ ඉටිපන්දම් ආලෝකයෙනි. “නායක තුමාගෙ ශ්‍රේෂ්ඨ ජීවිතයෙ අවසානය දැන් කිට්ටුයි. වැඩිම උනොත් දවසකට දෙකකට වඩා බර්ලිනය අල්ල හිටින එකක් නැහැ…” ඔහු හෙලිකලේය. අනතුරුව ස්වීඩ්න් ජාතිකයා ‘සාක්ෂියක්’ ලෙස ඉල්ලා සිටි පරිදි ලිපියක් ද ලියා දුන්නේ බටහිර ජාතීන් හා තමා සාකච්ඡා කිරීමට සූදානම් බව එමගින් තහවුරු කරමිනි. අරුමය වන්නේ මෙතෙක් හිට්ලර්ට ඇද බැද තැබූ පක්ෂපාතීත්වයේ යදම එමඟින් බිඳ දැමූ හිම්ලර් තවදුරටත් තමා නායකතුමාට සේවය කරන්නෙය යන විශ්වාසයේ පසුවීමය. පසුකාලීන මතවාදීමය අමනාප කම් කවරක් වුවද හිට්ලර් බර්ලිනයේ ඇදවැටීමට තීරණය කොට ඇති බව ගුවන් විදුලියෙන් ඇසූ සන්න්ද්ධකරණ ඇමති ඇල්බර්ට් ස්පීර් තුල හට ගත්තේ මහත් සංවේගයකි. දක්ෂතා අගයමින් තමා තැනකට ගත්තේ හිට්ලර්ය. මෑතකද සිට තමා රහසේ කල විරුද්ධවාදීකම් දැන් යලි ආපසු හැරවිය නොහැකි වුවද ඔහුට ඇති එකම සහනය නම් අවසන් වරට බංකරයට ගොස් හිට්ලර් බැහැ දැක තමා කල කී දෑ සියල්ල පාපොච්ඡාරණය කිරීම බව ඔහුගේ හෘද සාක්ෂිය (එවැන්නක් ඔහුට තිබී නම්) වද දුන්නේලු. . අප්‍රේල් 23 දා මේ අදහස පෙරදැරි කොටගෙන ඔහු හැම්බර්ග් සිට බර්ලිනය කරා ලඟාවූයේ හතර වරින් රුසියන් ෂෙල් වෙඩි ඇද වැටෙන අතරතුරය. ඒ වන විට බංකරයේ හිට්ලර් සමඟ ගොබ්ල්ස්ද හා බෝර්මන්ද, රිබන්ට්‍රොප් හා ජනරාල් ක්‍රෙබ්ස් ද, අජුටන්ට් වරු ද, ලෙකම් වරියන් දෙදෙනා හා කෝකියාද, ඊවා බ්‍රෝන් හා මැග්ඩා ගොබ්ල්ස් ද, ඇගේ දරුවන්ද වූහ. ආරක්ෂකයන් හැර සෙස්සෝ පිටව ගොසිනි. කෙලින්ම හිට්ලර් හමුවූ තමා යටිතල පහසුකම් විනාශ කරන ලෙස මෑත කාලයේ තමා ලද නියෝග ක්‍රියාත්මක නොකල බව ඔහු හමුවේ පාපොච්චාරණය කොට සිටි බව ස්පීර් කියයි. සියල්ල සාවධානව අසා සිටි හිට්ලර් තරමක් කැලඹුන වගක් පෙනුනද කිසිවක්ම නොකීවේය. ස්පීර් අත්අඩංගුවට ගැනුනේ හෝ ඔහු බොහෝ විට සිදුවනු ඇතැයි අපේක්ෂා කල පරිදි වෙඩි තබනු ලැබීමට නියම කෙරුනේද නැති. සිද්ධිය එතැකින් සමාප්ත විය. ස්පීර් කරන විස්තරය සැබෑවක් නම් ඉන් පෙනී යන්නේ දේශපාලන කරුණු වලදී දරුණු ලෙස වෛර කිරීමෙහිලා සමත් හිට්ලර් පෞද්ගලික කරුණු වලදී අසීමිත ලෙස සමාව දුන් වගයි. පෙර පිනකින් මෙන් පණ බේරාගත් ස්පීර්ට අනතුරුව පැවති සුහද සාකච්ඡාවටද සහභාගී විය. සුපුරුදු පරිදි තත්වය වඩාත් බරපතල වූ අතර රුසියානුවෝ අංශ කිහිපයකින් ඉදිරියට පැමිණ සිටියහ. බර්ලිනය හැර දකුණ බලා යන්නැයි බෝමන් හා රිබන්ට්‍රොප් යලි යලිත් හිට්ලර් ගෙන් ඉල්ලා සිටියෝය. එහෙත් ගොබ්ල්ස් හා ඊවා බ්‍රෝන් සහාය පල කලේ බර්ලිනයේ රැදී සිටීමේ තීරණයටය. ස්පීර්ද කියා සිටියේ පරාජය නියත නම් ඊට බර්ලිනයේදී මුහුණ දීම වඩා සුදුසු බවය. අගනුවර ඇද වැටෙන විට තමා වෙඩි තබා ගන්නා බවත් මළ සිරුර විනාශ කොට දැමෙනු ඇති බවත් පිළිතුරු වශයෙන් හිට්ලර් කෙටියෙන් ස්පීර්ට විස්තර කලේය. ගෝරින් විසින් එවන ලද ඓතිහාසික විදුලි පුවත බංකරයට පැමිණියේ මේ අවස්ථාවේය. බෝමන් විසින් හඬනගා කියවන ලද ඊට හිට්ලර් නිහඬව සවන් දුන්නේය. මුලදී කිසිත් කීවේ නැත. බෝමන් විසින් උසි ගන්වනු නොලබන්නට ඔහු තවදුරටත් කුපිත නොවීමටද ඉඩ තිබිණ. “රෑ 10 ට කලියෙන් උත්තර ඉල්ලන්නෙ හරියට අවසාන නිවේදනයක් වගේ. සාම කතාබහට වෙන්නැති එයාට ඔය හදිස්සිය” බෝර්මන් ආඩපාලි නගන්නට වූයේ මැහැල්ලක මෙනි. “නායක තුමාට මතක නැද්ද මාස හය හතකට කලිනුත් පොඩි හා හෝවක් ගියා ගෝරින් මිත්‍ර ජාතීන් එක්ක ඉඟි බිඟි පානව කියල? ඔය ගරු සරු නැති ටැලිග්රෑොම් එවන්නෙ අනුමානයක් නෑ දැනටමත් සාකච්ඡා වට දෙක තුනක් පවත්වලත් ඇති… ” හිට්ලර්ගේ කෝපය ඇවිස්සින. “මම නොදන්නවයැ මිනිහ ගැන?” හේ බෙරිහන් දුන්නේය. “ද්‍රෝහියෙක් විතරක් නෙවෙයි, හොරෙක්, මැරවරයෙක්, කුඩ්ඩෙක්!.” ගෝරින් මෝර්ෆීන් භාවිතයට ඇබ්බැහිව සිටි බව ඔහු දැන සිටියා විය යුතුය. අනතුරුව හිට්ලර් යලි සන්සුන් විය. “එක්කො ඔන්න ඔහෙ සාකච්ඡා කරගත්ත දෙන්. දැන් ඉතින් ඕක කවුරු කරත් එකයි.” එහෙත් සිය පරම සතුරා වූ ගෝරින්ට එසේ ලෙහෙසියෙන් ගැලවීයාමට ඉඩ දීමට බෝර්මන් සූදානම් නැත. “නායකතුමා මිනිස්සු විස්වාස කරනව වැඩියි. මිනිහ ඔය හදන්නෙ බලය අල්ලන්න.” හිට්ලර් ගේ සැකය අවදි විය. නොයෙකුත් සිහිපත් කිරීම් ඔස්සේ ඔහු තුල ගෝරින් කෙරේ වූ අමනාපය වෛරයක් බවට පත් කරවීමට බෝර්මන්ට ඒ හැටි වේලාවක් ගත නුවූ බව ස්පීර් කියයි. ගෝරින් දැරූ සියළු තනතුරු වලින් වහා ක්‍රියාත්මක වන පරිදි නෙරපා හරින ලද බවට පිළිතුරු විදුලි පුවතක් යවන ලදී. ඔහුගේ ද්‍රෝහී ක්‍රියාවට දඬුවම මරණය වුවද අතීත සේවාවන් සලකා සමාව දෙන බවද වැඩිදුරටත් එහි සදහන් විය. එදින රැයේ ඔබර්සැල්ස්බර්ග් හි එස්. එස්. මූලස්ථානයට බංකරයෙන් දුන් නියෝගයක් පරිදි ගෝරින් හා කොලර් ඇතුළු ඔහුගේ සමස්ථ කාර්ය මණ්ඩලය නිවාස අඩස්සියට පත් කෙරිණ. පසු දින බර්ලින් ගුවන්විදුලිය නිවේදනය කලේ සෞඛ්‍ය හේතූන් මත රයික්-මාෂල් හර්මන් ගෝරින් තමා දැරූ සියළු තනතුරු වලින් ඉල්ලා අස් වූ බවයි. ජර්මනියේ දොලොස් වසක් අංක දෙක ස්ථානය දැරූ ගෝරින්ගේ ඇද වැටීමට ගත වූයේ පැය කිහිපයකි. වැටලීමේ තර්ජනයට මුහුණ පා සිටි නගරයක පොලොව යට බංකරය සිරවී තම අණදීමේ යාන්ත්‍රණය හා සන්නිවේදනය බොහෝ දුරට බිඳ වැටුන අවස්ථාවක පවා හිට්ලර්ට අභ්‍යාසගත කල හැකිව තිබූ බලය ඔහුගේ අධිකාරි බලයේ තරම කියා පායි.

(c) Chamara Siriwardene

හිට්ලර් බංකරය තුල කොටුවේ (1945 අප්‍රේල් 25-26)

ඇල්බර්ට් ස්පීර් අවසන් වතාවට බංකරයෙන් පිටවූයේ අප්‍රේල් 24 දා අළුයම 4 ට පමණය. ඒ වන විටවිටත් රිබන්ට්රොපප් පිටත්ව ගොසිනි. කලින් දින ජනරාල් වෙන්ක් ගේ 12 වන හමුදාව රැගෙන ඒමට පොරොන්දුවූ පිටව ගිය කයිටල් ගෙන් තවමත් ආරංචියක් නැත. අවතැන්වූ දස ලක්ෂ සංඛ්‍යාත ජනකායකට අහාරපාන, බේත් හේත් හා ඉඳුම් හිටුම් සැපයීමෙහිලා මඟක් නුදුටු උතුරේ එක්තරා ආණ්ඩුකාරයෙක් බංකරයේ වෙසෙන සිය හිතවතෙක් අමතා හානිය දෙගුණ වීම වැලැක්වීම පිණිස බටහිර පෙරමුණේ හෝ සාමයක් ඇති කොට නොගන්නේ මන්දැයි විමසා සිටියේලු. සඳට උඩු නොබුරලන ලෙස ඔහුගේ සගයා එවිට ඉල්ලා සිටියේය. සිය අවමංගල්‍යය ආලෝකමත් කිරීමටදෝ, හිට්ලර්ට දැන් උවමනා කලේ හැකිතාක් විනාශයයි. වැඩිවන තරමට වඩාත් මැනවි. නගරය වටා එලෙමින් පැවතුන රුසියන් වලලු වැසී යාමට ආසන්නව තිබූ හෙයින් වහා නගරයෙන් පිටවී බොහිමියානු කඳුකරයේ තවමත් අපරාජිත සිය හමුදා කණ්ඩායම හා එක්වන ලෙස එදින උදෑසන විදුලු පුවතක් එවමින් හිට්ලර්ගේ සමීපතමයෙකු වූ ජනරාල්-ෆීල්ඩ්මාෂල් ෆර්ඩිනන්ඩ් ෂෝනර් ඉල්ලා සිටියද, තමා බර්ලිනය තුල ඇද වැටීමට තීරණය කොට ඇතැයි ඊට පිළිතුරු වශයෙන් ඔහුට බංකරයෙන් සංඥාවක් ලැබිණ. අප්‍රේල් 25 දින ඉවාන් කොනෙව් ගේ 1 වන යුක්රේනියන් පෙරමුණට අයත් ඉදිරි පෙල භට කණ්ඩායම් අමෙරිකානු 1 වන හමුදාව හා මුණ ගැසුනහ. මේ ඓතිහාසික හමුව සිදුවූයේ එල්බ් නදියේ දකුණු ඉවුරේදීය. මේ සමඟ ජර්මනිය භෞමික වශයෙන් දෙකඩ වූ අතර බර්ලිනය එදින රුසියානුවන්ට මුළුමනින් කොටුවිය. අවසන් ගොඩබිම් මාර්ගයද වැසී ගියෙන් මෙතැන් පටන් නගරයටට ලඟාවිය හැකිව වූයේ අන්තරාකාරී ගුවන් ගමනකින් පමණි. ගුවන් හමුදාවේ කීර්තිමත් අණදෙන නිළධාරියෙක් වූ කල්නල්-ජනරාල් රොබර්ට් රිටර් වොන් ග්‍රයිම් එදින රැයේ ලහි ලහියේ බර්ලිනය බලා පිටත් වූයේ වහා බංකරයේ පෙනී සිටින ලෙස කෙරුන දනුම් දීමක් අනුවය. අවේලාවේ මෙවන් අණක් ලැබීම ගැන හේ පුදුම විය. බටහිර පොමනේරියාවේ රෙච්ලින් පුහුණු මූලාස්ථානයේ සිට රුසියන් ප්‍රහාර මධ්‍යයේ අප්‍රේල් 26 දා අළුයම බර්ලිනය බලා පියාසර ඔහුගේ ෆොකේ-වොල්ෆ් 190 ගුවන් යානය පියාපතකට වැදුන ගුවන් යානා නාශක වෙඩි පහරවල් කිහිපයක් පමණක් සහිතව ජර්මනුන් අත වූ එකම ගුවන් පථය වූ ගැටෝව කරා සේන්දුවීමට සමත් වුවද පරිවාර ප්‍රහාරක යානා 40න් ඉතිරි වූයේ කිහිපයකි. සියළු ගොඩබිම් මාර්ග ඇවිරී තිබූ හෙයින් එතැන් සිට ඉදිරියට යාමට ක්ර මයක් වූයේ නැත. ගුවන්පථයේ වූ සැහැල්ලු පුහුණු ගුවන් යානකින් නගරයට පියාසර කිරීමට ග්ර යිම් තීරණය කලේය. ඉතිරි වූ ප්‍රහාරක යානා කිහිපය පථය වටලා ගෙන සිටි රුසියනුවන් හා සටන් වදින අතරතුර පුහුණු ගුවන් යානය තෙමේම පදවමින් ඔහු රජයේ දිස්ත්රිණක්කය වෙත තුරු මුදුන් වල ගෑවී නොගෑවී පියාසර කරන අතරතුර ඔහුගේ නිර්භීත ගුවන් නියමු වරිය වූ ලුතිනන් හැනා රයිට්ෂ් මෙනෙවිය පුහුණු කරුගේ අසුනේ ගමන් කලාය. පහලින් වූ ගෲන්වෝල්ඩ් පෙදෙසේ ඒවන විටත් වීථි සටන් ඇවිලෙමින් තිබිණ. සෝවියට් ‘කම්පන’ භටයෝ (Shock detachments- කඩා පැන පහර දෙන කොමාන්ඩෝ ඒකක) ගොඩනැගිල්ලෙන් ගොඩනැගිල්ල අත්පත් කොටගනිමින් පසුපසින් එන යුද ටැංකි හමුදා වල මඟ එලි පෙහෙලි කලහ. ලුතිනන් ලුද්මිලා පැව්ලිචෙන්කෝ ගේ ස්නයිපර් සෙබළියෝ ඔවුන්ගේ ගමන ආවරණය කරති. රුසියන් ගුවන්යානා නාශක තුවක්කුවක් නිකුත් වූ වෙඩි වැලක් ගුවන්යානයේ බඳට එල්ල වූයේ ඒ මොහොතේය. උණ්ඩයක් විළුඹ පසාරු කොටගෙන ගොස් සිටි ග්‍රයිම්ගේ පාලනයෙන් ගුවන් යානය මොහොතකට ගිලිහී ගියද සිටි ඉරියව්වෙන්ම ඉදිරියට නැමී වහා පාලන පුවරුව සියතට ගත් රයිට්ෂ් මෙනෙවිය ජර්මන් පාලන පෙදෙස දක්වා පදවාගෙන ගොස් චාන්ස්ලර් මන්දිරයට නුදුරින් වූ මහා මාර්ගයට එය ආරක්ෂාකාරී ලෙස ගොඩ බෑවාය. මහ මඟ ගමන් කරමින් තිබූ මෝටර් රථයක් නවතා බංකරය වෙත ප්‍රවාහනය කරනු ලැබූ අධික ලෙස ලේ වහනය වෙමින් සිටි ග්‍රයිම් කෙලින්ම ගෙන යන ලද්දේ ශල්‍යාගාරයටය. වේලාව අප්‍රේල් 26 දා සවස 6 ත් 7 අතර විය හැක. රුසියන් වලලු හරහා අතිශය ත්‍රාසජනක ගුවන් ගමනකින් කල්නල්-ජනරාල් ග්‍රයිම් හා ලුතිනන් රයිට්ෂ් මෙනෙවිය නායක තුමා දැකීමට පැණියේය යන පුවත බංකරය පුරා පැතිර ගියේ නිමේෂයකිනි. තවත් එක් මොහොතකට ගුවන් හමුදාවේ කීර්තිය හිනි පෙත්තටම නැංගේය. නිර්භීත කම තරමටම කතාවෙහිද දක්ෂ රයිට්ෂ් මෙනෙවිය මුහුණ පෑ අන්තරායන් ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර විස්තර කලාය. “රෙච්ලින් කඳවුරේ නවතින්න කියල කල්නල්-ජනරාල් මට නියම කලා. මම කොහොමද ඒක පිළිපදින්නෙ? ඔහු බංකරයට ගෙන ඒම මගේ රාජකාරිය. ඉඩ නැති නිසා ගැටෝවට වෙනකම් ආවෙ (ෆෝකේ-වොල්ෆ් 190) ගුවන්යානෙ වලිග කොටසෙ. පරිවාර යානා නම් වැඩි හරිය විනාශයි…” තෙමේම ශල්‍යාගාරයට පැමිණි හිට්ලර් විළුඹ වෙලා හාන්සිකොට සිටි ග්‍රයිම් පිළිගත්තේ පැමිණීම පිළිබඳ තම කෘතඥතාව නොසඟවා පල කරමිනි. ක්‍රියාත්මක කොට නොහෙන අණක් පිළි නොපැද සිටීමේ අයිතිය සොල්දාදුවෙකුට ඇත. “දන්නවද තකහනියක් ගෙන්නුවෙ මොකද කියලා? හර්මන් ගෝරින් මාවයි රටයි ඔක්කොම පාවල දුන්නා. මට කොලේ වහල සතුර එක්ක සම්බන්ධකන් හදාගෙන. ඒ මදිවට තව ගරුසරු නැති ටැලිග්‍රෑම් එකකුත් මට එවල මට බර්ලින් ඉඳන් පාලනය කරන්න බැරි හන්ද එයා සියළු බල අතට අරගන්න සූදානම් ය කියල. රෑ 10ට කලින් උත්තරත් ඉල්ලනවා,” හිට්ලර් විදුලි පුවත ග්‍රයිම් අතට පත් කලේ වෙව්ලන අතිනි. ඔහු වේගයෙන් හුස්ම හෙලන්නට විය. “මේක නිවට අවසාන නිවේදනයක්! දැන් ඉතින් ඔක්කොම ඉවරයි. මට නොකරපු තුවාලයක් නෑ. කිසිම පක්ෂපාතීත්වයක් ඉතිරි වෙලා නෑ, කිසිම ගෞරවයක් පේන්න නෑ. නොකරපු කුඩුකේඩු කමක්, නොකරපු පාවාදීමක් නෑ. දැන් අන්තිමට මේක!!” අනතුරුව විදුලි පුවත උදුරාගත් හිට්ලර් ඒ මේ අත වැනීය. එහෙයින් ගෝරින් වෙනුවට ගුවන් හමුදාපති ලෙස ජනරාල්-ෆීල්ඩ්මාෂල් නිළය සමඟ ග්‍රයිම් පත්කෙරෙනු ඇත. පත්වීම සඳහාද විදුලි පුවතක් හොඳටම ප්‍රමාණවත් වුවද ග්‍රයිම් මේ සා දුරක් තහකහනියක් කැඳවනු ලැබු තිබුනේ හුදෙක්ම මේ නිළ ක්‍රියා පටිපාටිය සඳහාය. එසේ නොවන්නට ඔහුගේ පාදය මෙන්ම ජර්මන් ගුවන් යානා හා නියමුවන් රැසක් තවදුරටත් ආරක්ෂා කොට ගත හැකිව තිබිණ. “ගෝරිනුත් අන්තිමට මට ද්‍රෝහී උනා එහෙනම් ?..” යයි කී හිට්ලර්ගේ ඇස් වලට කඳුළු ආ බව රයිෂ් මෙනෙවිය පවසයි. එහෙත් ඇගේ විස්තර අතිශයෝක්තියෙන් ගහණය. එදින රැය පුරා චාන්ස්ලර් මැදුර මතට රුසියන් ෂෙල්වෙඩි පතිත විය. දැවැන්ත කොන්ක්‍රීට් තට්ටුව තම හිස් මතට කඩාවැටෙනු ඇතැයි බියෙන් බංකර්වාසීන් රැය පහන් කෙලේ නොනිදාය. ගොබ්ල්ස්ගේ දරුවෝ බොහෝ බියට පත්ව සිටියහ. හැනා රයිට්ෂ් තම කුටියට කැඳවූ හිට්ලර් ‘හදිසියකදී’ භාවිත කරනු පිණිස ඈට සයනයිඩ් අඩංගු කරල් දෙකක් දුන්නේය. ඈ රැය පහන් කෙලේ ග්‍රයිම් ගේ සයනය අසල රැකවලේ යෙදෙමිනි. රුසියානුවෝ කඩා වැදුනහොත් සයනයිඩ් අනුභව කොට ග්‍රෙනේඩයක් පුපුරවා ගැනීමට දෙදෙනාම කතිකා කොටගෙන සිටියෝය. මේ අතර ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී කොලර් වෙලූ විලුඹක් සහිතව බංකරයේ සිරවී සිටි නව අණ දෙන නිළධාරියාට දුරකථනයෙන් වාර්තා කලේය. “අපිට වැඩි කලක් එකට වැඩ කරන්න වෙන එකක් නැහැ ෆීල්ඩ්-මාෂල් තුමනි…” කොලර් දුක් විය.

“මොන පිස්සුද? යුද්දෙ අපි දිනනවා,”  ග්‍රයිම් දුන් ක්ෂණික පිළිතුර යි. “නායක තුමා ලඟට ආවම මගෙ සැක සංකා ඔක්කොම නැති උනා.” අසරණ කොලර්ට සිය සවන් අදහා ගත නොහැකි විය. හිට්ලර්ගේ පෞරුෂත්වයේ බලයට හසුවූ බොහෝ අය තුල එම විපර්යාසය සිදුවනු ඔහු මීට පෙර දැක නැතුවා නොවේ. එහෙත් පරාජය ඇස් පනාපිට දකිමින් එක් අතකින් මරණයට සූදානම් ව සිටි ග්‍රයිම් ගෙන් එවන් ඇදහිල්ලක් ඔහු අපේක්ෂා නොකලේය. නිතර ඇඟිලි ඇට කඩන අසරණ කොලර්ට ලෝකය යනු එකම පුදුමයකි. 

(c) Chamara Siriwardene

හිට්ලර්ට මිතුරෝ ද්‍රෝහී වෙති (1945 අප්‍රේල් 27-28)

හිට්ලර් ගේ අරුම පුදුම වශීකරණයේ අවසන් ගොදුර වූ අනූ නවයෙන් දි ගලවාගෙන දැන් විළුඹ වෙලා ඇඳක වැතිර සිටි නව ගුවන්හමුදාපති තැන ජයග්‍රහණය ගැන විශ්වාසයෙන් පසු වෙද්දී, පැරණි ගොදුර වූ ඊවා බ්රෝන් සිටියේ නායකතුමා අසලින් සංකේතාත්මකව ඇද වැටීමේ අපේක්ෂාවෙනි. නට්යකය හා සිනමාවට බොහෝ සේ ලොල් වූ ඈ තම අවසානය සංවේදී තිරය වැසීමේ දර්ශනයක් ලෙස ඉතිහාසයේ ලියැවෙනු ඇතැයි සිතුවාට සැක නැත. අසරණ ඈ අන් කවරක් අපේක්ෂා කරන්නද? එහෙත් නෑ කමින් ඇගේ නැගෙනියගේ සැමියා හා බංකරයේ හිම්ලර්ගේ නියෝජිතයාවූ වූ එස්. එස්. ලුතිනන් ජනරාල් (SS Gruppenfurhrer) හර්මන් ෆෙගලින්ට තුල එසේ බර්ලිනය තුල මිය යාමේ අපේක්ෂාවක් වූයේ නැත. නින්දිත අවස්ථාවාදියෙකු ලෙස ඔහු සහෝදර නිළධාරින් විසින් සැලකුවේ හේතු ගණනාවක් නිසාය. ෆෙගලින් විසින් තම ප්‍රධානියා වූ හිම්ලර් පාවා දුන් බවත්, දෙමසකට පෙර බුඩාපෙස්ට් හිදි පරාජය වූ එස්. එස්. ඩිවිෂණයේ අත්පටි ගැලවීමට යෝජනා කලේ ඔහු බවත් ඔත්තු සේවා ප්‍රධානී ෂෙලන්බර්ග් පවසයි. ෆෙගලින් බංකරයෙන් නික්ම ගිය වේලාව කිසිවෙක් දැන සිටියේ නැත. ඒ බව මුලින්ම හෙලිවූයේ අප්‍රේල් 27 දා දහවල හිට්ලර් කිසියම් කාරණයක් සඳහා ඔහු කැඳවනු ලැබූ අවස්ථාවේදීය. සලකුනදු නොතබා හේ අතුරුදන්ව සිටියේය. එහෙත් බංකරයට වරින් වර තත්වය විමසා ඔහුගෙන් දුන්නේ යැයි දුර ඇමතුම් වලින් කියැවුනේ නගරයෙන් පිටවීමෙහි ලා අපොහොසත් ඔහු මිනිත්තුවක් පාසා කුඩා වෙමින් පවතින බංකරය මැදි කොටගත් ජර්මන් කලාපයේ තවමත් සිටින බවය. හිට්ලර්ට සැකයක් ඇතිවිය. වහා අවට පීරා ෆෙගලින් සිටින තැනකින් ආපසු රැගෙන එන ලෙස ඔහු තම පෞද්ගලික ආරක්ෂක කණ්ඩායමේ එස්. එස්. මේජර් වරයකුට(SS Standartenfuehrer) ඔහු නියම කලේ එහෙයිනි. භට කණ්ඩායමක් සමඟ බර්ලිනයේ ෆෙගලින් ගේ නිවසට ගිය නිළධාරියා දුටුවේ සිවිල් ඇඳුමින් සැරසී තම ඇඳේ සුවසේ නිදන ලුතිනන් ජනරාල් තැනය. තමා බැවේරියාවට ගොස් නිස්කලංක පවුල් දිවියක් ගත කිරීමට අදහස් කරන බව හේ පැවසීය. මේජර් තැන කියා සිටියේ නායකතුමාගේ අවසරයෙන් තොරව කිවක් කොට නොහැකි බවය. ෆෙගලින් අධෛර්යමත් නොවීය. වහා දුරකථනය ගෙන බංකරයේ සිටි තම නෑනා වූ ඊවා බ්රෝන් ඇමතූ හේ කිසියම් වැරදි වැටහීමක් ඇතිවී ඇති බව පැහැදිලි කලේය. නායක තුමා සමඟ මේ පිළිබඳ කතා බහ කොට එකලාසයක් කිරීමට ඈට හැකි නොවේද? ඇගේ සොයුරිය ගැබ්බරිනි . ඒ ගැනත් සිතිය යුතුය. එහෙත් ඊවා බ්රෝින් ඔහුගේ බහට නොනැමුනාය. “ලැජ්ජ නැද්ද පැනල යන්න ඔහොම? වහාම ඇවිත් නායකතුමා හමුවෙන්න. අනිත් ඒව ඔක්කොම පස්සෙ!” ඈ නැගනියගේ සැමියාට දොස් පැවූ බව පැවසේ. අනතුරුව ඈ මෙසේ කීවේලු. “අය්යෝ අසරණ ඇඩොල්ෆ්! හැමෝම අත ඇරල යනව. තව දහදාහක් මැරුණත් කමක් නැහැ ජර්මනියට ඔහු නැති නොවී…” ගෝරින් දුෂ්ඨ ලෙස ඔහු පාවා දුන්නේය. දැන් ඔහුගේ විශ්වාස කටයුතු පැරණි සගයා වූ ෆෙගලින් ද එයම සිදු කොට ඇතැයි ඈ වැලපුනාය. බංකරය කරා ආපසු ඇවිදවනු ලැබූ ෆෙගලින් එකෙනෙහිම නිලයෙන් පහ කොට සිර ගත කරන ලදී. මේ අතර දින තුනකට ඉහත බර්නඩොට් සිටුවරයාට සාම කොන්දේසි ඉදිරිපත් කල හිම්ලර් ද උභතෝකෝටික ගැටළුවකට මුහුණ පා සිටියේය. මේ දින වල ඔහුගේ සිතට වද දුන්නේ ලඟ එන හමුවේදී තමා ජනරාල් අයිසන්හවර්ට හිස නමා ආචාර කල යුතුද නැතහොත් අතට අත දිය යුතුද යන කරුණ පිළිබඳය. අප්‍රේල් 27 දා දහවල් කලබලයට පත් හිට්ලර් ෆෙගලින් සොයන අතරතුර ඩෙන්මාර්කයේදී නැවත ෂෙලන්බර්ග් හමුවූ බර්නාඩොට් සිටුතුමා හෙලිකලේ සාකච්ඡා කිරීම සඳහා හිම්ලර් සුදුසු පාර්ශ්වකරුවකු ලෙස මිත්‍ර පාක්ෂිකයන් විසින් නොසලකන බවය. රුසියාව නොමැති ගිවිසුමක් සඳහා බටහිර බලවතුන් එකඟ වීම සැක සහිත බවද ස්වීඩන සාම දූතයා වැඩිදුරටත් කියා සිටියේය. ෂෙලන්බර්ග්ට මෙය කොහෙත්ම නොසිතූ විපතකි. ඔහු දැන් හිම්ලර්ට මුහුණ දෙන්නේ කෙසේද? සියල්ල යහතින් සිදුවන වගට ඔහු කැට පෙන්වා තිබිණ. හොර පාරේ සාම යෝජනා යැවීමට දෙගිඩියාවෙන් සිටි රයික්ස්ෆියුරර් තැන පොළඹවා ගන්නා ලද්දේ තමා විසිනි. ෂෙලන්බර්ග් ගේ බලවත් සහනයට මෙන් හිම්ලර්ට කරුණු පැහැදිලි කොට දීමට ඔහු සමඟ පැමිණීමට සිටු තැන ඉදිරිපත් විය. ඒ අනුව ඔහු හිම්ලර්ගේ කාර්යාලය ඇමතූවේ හමුවීම සඳහා වේලාවක් වෙන්කොට ගැනීමටය. කාරණය ඇසූ හිම්ලර් දැන් බර්නාඩොට් සිටුවරයා හමුවීම එකහෙලා ප්‍රතික්ෂෙප කලේය. “මට එයාව දැකල ඇතිවෙලා. තවත් හම්බුවෙන්න ඕන නෑ කියන්න,” ඔහු තම ලේකම්ට කීය. හිම්ලර්ගේ වඩාට් කෝපයට හේතුවූයේ තමා සුදුසු පාර්ශ්වකරුවෙක් නොවන බවට කොට තිබූ ප්‍රකාශයයි. එදින රැයේ චාන්ස්ලර් මන්දිරය මත ෂෙල් වෙඩි පතිතවීම එහි උච්චාවස්ථාවට ලඟා විය. සුපුරුදු ලෙස අළුයම තෙක් නොනිදන හිට්ලර් සෙසු පිරිස සමඟ පිළිසඳරේ යෙදුනේය. මූලික මාතෘකාව වූයේ තම තමා සියදිවි නසා ගන්නා අවස්ථාවයි. වීථි වල රුසියන් භටයන් දුටු වහා සැලසුම ක්‍රියාත්මක කොට යුතු වග සියල්ලෝ එකඟ වූහ. අනතුරු සෑම අයෙක්ම නායක තුමාට හා පීතෘභූමියට පක්ෂපාතිත්වය පල කරමින් කෙටි කථාවක් පැවැත්වූ වග අපට කියන්නේ ලුතිනන් හැනා රයිට්ෂ්ය. නමුත් සිද්ධි පිළිබඳ වැඩි දුර සොයා බැලූ විමර්ෂකයන් කියන්නේ ඇගේ කියුම් වල තාර බර ඉවත් කොට ගත යුතු බවකි. බර්ලිනයේ කාන්තාවන්ට හිරිහැර කිරීම ගැන බටහිර ඉතිහාසඥයන් රතු හමුදාවට දැඩි චෝදනා නඟා ඇත්තේ සටනේ මේ අවධියේදීය. එහෙත් දේශපාලන අරමුණු මත පදනම් වූ මේ පශ්චාත්-යුද චෝදනා ද බොහෝ විට රයිට්ෂ් මෙනෙවියගේ විස්තර තරම්ම අතිශයොක්තියෙන් ගහන බවද පෙනී ගොස් ඇත. මේ වනවිට පෙරමුණු බල ඇණිවල සටන් වැදුන සුකොව් ගේ යුද ටැංකි භටයන් දැඩි විනයකින් යුත් කොමියුන්ස්ට්වාදීන් වුවද, පසුපස බලඇණි නවක භටයන්ගෙන් යුක්ත වූ බවත්, වැඩිම චොදනා එල්ල වී ඇත්තේ ආසියාතික මොන්ගෝලියානු සෙබළුන්ට බවත් පෙනීයයි. මෙවන් චෝදනා වලට ලක්වූ සෙබලුන්ගේ තරාතිරම නොබලා මරණ දඬුවම පැනවූ සුකොව් ආරක්ෂක රාජකාරී වලට රතු හමුදා පොලිස් සෙබලියන් යොදවමින් මෙම තත්වය පාලනය කිරීමට උත්සහ කලේය. අප්‍රේල් 28 දා රුසියන් යුද ටැංකි බර්ලින් නගර මධ්‍යයේ සටන් වදින බවට වාර්තා ලැබිණ. වෙන්ක් ගේ 12 වන හමුදාව ගැන තවමත් ආරංචියක් වත් නැත. හිට්ලර් මරු විකාරයෙන් මෙන් කයිටල්ට විදුලි පුවතක් යැවීය. “හදිසියි! බර්ලිනය වහා මුදා ගැනෙනු ඇතයි බලා සිටිමි. වෙන්ක් නොඑන්නේ මන්ද? හයින්රිසි ගේ 9 වන හමුදාව කරන්නේ කුමක්ද? ඔවුන් එක් වන්නේ කවදාද?” එය දැන් ඇසෙන්නේ ආවේග ශීලී ප්‍රශ්න නැඟීමකට වඩා බලාපොරොත්තු රහිත ආයාචනයක් ලෙසය. සවස් වනතුරුත් ඊට පිළිතුරු නාවේය. ජනරාල්-ෆීල්ඩ්මාෂල් කයිටල් හා ජනරාල් වෙන්ක් ද අවසානයේ නායකතුමාට ද්‍රෝහී වී යැයි තැන තැන කොඳුරනු ඇසින. සැබවින්ම 12 වන හමුදාව නොපැමිණියේ මන්ද? ඇමෙරිකානුවන් විසින් පසුබස්වනු ලැබ සිටි එය පරාජිත හමුදාව වූ අතර නැගෙනහිර පෙරමුණේ ක්ෂණික යලි ස්ථානගත වී වැසිලි චිකොව් ගේ ‘කම්පන’ බලඇණි වලට මුහුණ දීමේ හැකියාවක් ඊට තිබුනේ නැත. අප්‍රේල් 22 දා බටහිරින් වෙන්ක් ගේ හමුදාව ගෙන්වීමට යෝජනා කල කයිටල් පවා ඒ සත්‍යය දැන සිටියේය. හිට්ලර් තාවකාලිකව සනසා එතැනින් පැන ගැනීම ඔහුගේ අභිප්‍රාය වීයේද විස්වාස නැත. එහෙත් මනඃකල්පිත බල ඇණි සිතියම් මත මෙහෙයවීමට ඇබ්බැහි වී සිටි හිට්ලර් එදා අවශ්‍ය වූයේ එල්ලෙන්නට මොකක් හෝ වැලකි . කයිටල් ගේ හා වෙන්ක් ගේ නිහඬතාවද තවත් පාවා දීමක් මිස අන් කවරේද? එදින රෑ 8 ට හිට්ලර්ගේ විධායක ලේකම් බෝර්මන් උතුරේ සිටි නවුක හමුදාපති ඩොනියෙට්ස්ට තවත් විදුලි පණිවුඩයක් යැවීය. “නගරය මුදා ගැනීමට ඉදිරියට එන මෙන් භට පිරිස් වලින් ඉල්ලා සිටිනු වෙනුවට අණ දෙන්නෝ නිහඬය. පක්ෂපාතීත්වය වෙනුවට ද්‍රෝහී බව ඉදිරියට පැමිණ ඇත. අපි බලා සිටිමු. චාන්ස්ලර් මන්දිරය දැනටමත් සුන්බුන් ගොඩකි.” ඒ මැසිවිල්ල වඩාත් දුක්බර විය. හිම්ලර්ගේ සාම යෝජනා පිළිබඳ ඓතිහාසික පුවත බංකරයට ලඟා වූයේ ඊට පැයකට අනතුරුවය. හිම්ලර් බටහිර පෙරමුණේ සියළුම ජර්මන් හමුදා වෙනුවෙන් සටන් නැවැත්වීමේ ගිවිසුමක් ඉල්ලා ඇති බවට බී. බී. සී. ලෝක සේවය මුලින්ම වාර්තා කරනු ඇසුවේ ප්‍රචාරක අමත්‍යාංශයේ නිළධාරියෙකි. අනතුරුව රොයිටර්ස් පුවත් සේවය විසින් ද එය වැඩි දුරටත් තහවුරු කෙරිණ. පුවත ඇසී හිට්ලර් සුදුමැලි විය. ගෝරින්ගේ හා ස්පීර්ගේ ද්‍රෝහී කම් ඔහුට දැරිය හැක. ඒත් මේ තරම් විශ්වාසවත් හිම්ලර්? ඔහුට එය ඇදහිය නොහැක. අප්‍රේල් 21 දා ප්‍රතුප්‍රහාරය සාර්ථක නුවූයේ මදැයි දැන් ඔහුට වැටහේ. හිම්ලර් ඊට අකුල් හෙලීය. ෆෙගලින් පලායාමට හේතුව ඔහුට සිතාගත හැක. එය එස්. එස්. කුමන්ත්රණයක් මිස අන් කුමක්ද? කෙටි නඩු විභාගයකින් පසු චාන්ස්ලර් මන්දිරයේ මිදුලට ගෙන යනු ලැබූ ෆෙගලින්ට වෙඩි තබා මරා දමන ලදී. හිට්ලර් එතරම් කලබල වූයේද නැත. එමඟින් ඔහු වටහා ගත් කරුණ නම් අවසානය සඳහා හෝරාව එලැඹ ඇති බවයි.

(c) Chamara Siriwardene

හිට්ලර් සිය මිතුරිය විවාහ කොට ගනී (1945 අප්‍රේල් 29)

අප්‍රේල් 28 දා මැදියම් රැයේ අවසන් ගුවන් යානය ද බර්ලිනයට ලඟා වූයේ තුවාල වූ පාදයක් සහිතව පුරා තෙදිනක් බංකරයේ සිරවී සිටි නව ගුවන් හමුදාපති රිටර් වොන් ග්‍රයිම් පොමනේරියාවේ පිහිටි මෙහෙයුම් මූලස්ථානයට ගෙන යාම සඳහාය. රුසියන් ගුවන්යානා නාශක වෙඩි මඟ හරිමින් මහා මාර්ගය මත ගොඩ බැස්වීම පිණිස අඩි 13,000 ක් ඉහල සිට පහලට රවුම් ගැසීමට එය පැදවූ නියමු-සාර්ජන්ට් තැනට සිදු විය. වාතාවරණය වඩාත් අයහපත් වෙමින් තිබිණ. නවතම වාර්ථා වල සඳහන් වූයේ රුසියන් යුද ටැංකි දැන් චාන්ස්ලර් මන්දිරයට නුදුරින් වූ පෝස්ට්ඩැමර් වීථිය ආසන්නයේ සටන් වදිමින් සිටින බවයි. ගුවන් යානය පැමිණි වග ඇසු හිට්ලර් මැදියම් රැයේ ග්‍රයිම් වැතිර සිටි කාමරයට තෙමේම පැමිණියේය. කර්දාසියක් මෙන් සුදු මැලි ඔහුගේ වමත වෙව්ලයි. ඇඳමත කොනක හිඳ ගත් ඔහු නව ගුවන් හමුදාපතිට කාර්යයන් දෙකක් පැවරීය. පළමුව ඉතිරි වී ඇති සියළු ගුවන් යානා යොදවා චාන්ස්ලර් මන්දිරයට පහර දෙන රුසියන් තුවක්කු නිශ්ක්‍රිය කළ යුතුය. දෙවනුව ‘ද්‍රෝහී හිම්ලර්’ සිර භාරයට ගත කලයුතුය. ඒ නම කියන විට පවා හිට්ලර් කෝපයෙන් වෙව්ලුවේය. “පාවා දෙන්නෙකුට කවදාවත් මගේ අනුප්රාප්තිකයා වෙන්න දෙන්න බැහැ, තේරුණා නේද? ” එහෙත් ගුවන් හමුදාපති ග්‍රයිම් මෙන්ම ඔහුගේ නිර්භීත නියමු වරිය වූ හැනා රයිට්ෂ් මෙනෙවියද හිට්ලර් හැරදමා යාමට කැමති වූයේ නැත. බර්ලිනයෙන් පිටවීමට දරණ උත්සාහය සාර්ථක නොවනු ඇතැයි පෙන්වා දුන් ඔවුහු බංකරයේ සිය සියදිවි නසාගැනීමේ ගෞරවය තමාට ලබාදෙන මෙන් අයැද සිටියහ. ඒ ඇසූ හිට්ලර්ගේ දෑසට කඳුළු ඉනුවේය. ඔවුන්ගේ පක්ෂපාතීත්වය හා නිර්භීත භාවය ඉමහත් සේ අගය කල ඔහු එසේ වුවද පීතෘ භූමිය වෙනුවෙන් ඔවුන් මෙම වගකීම ඉටු කල යුතු බව මෘදු ලෙස පැවසීය. මෙම අවසන් අවස්ථාව පවා අත් නොහැරිය යුතුය. ඇතැම් විට ගුවන් හමුදාවේ සහයෙන් බහරය වටා එලී ඇති රුසියන් වළලු බිඳ දැමීමට ජනරාල් වෙන්ක් ගේ 12 වන හමුදාවට හැකිවනු ඇතැයි ඔහු තවමත් රහසේ අපේක්ෂා කලා විය යුතුය. ඊට දෙදෙනාම මෙල්ල වූහ. බංකර් වාසීන් ලහි ලහියේ ලියූ ලිපි කිහිපයක් ද රයිට්ෂ් මෙනෙවිය ගෙන ගියාය. ඒ අතර බෝර්මන් ගේ නිළ වාර්තා මෙන්ම ඊවා බ්‍රෝන් විසින් ෆෙගලින් ගේ බිරිඳ වූ බැවේරියාවේ සිටි තම සොයුරියට ලියූ අවසන් පුද්ගලික ලිපියක්ද විය. අරුමය වූයේ ඒ වන වටත් රාජද්‍රෝහී චෝදනාව මත වෙඩි තබා මරා චාන්ස්ලර් උයනේ කොනක ලහි ලහියේ වළ දැමෙමින් තිබූ ෆෙගලින් ගැන කිසිදු සඳහනක් එහි නොවීමය. සිතූ පරිදිම ගුවන් හමුදාපති තැනට බර්ලිනයෙන් පිටවීමද එතරම් පහසු වූයේ නැත. සතුරු වෙඩි උණ්ඩ හා පිපිරීම් මැදින් යලි රවුම් ගසමින් යානය අඩි 20,000 ක් ඉහල නැඟුන යානයට බර්ලින නගරය ‘ගිණි දැලි වලින් වෙළුන සාගරයක්’ සේ පෙණුන බව හැනා රයිට්ෂ් පවසන්නීය. කෙසේ හෝ පොමනේරියාවේ රෙච්ලින් මූලස්ථානයට ලඟා වීමට ඔවුහු සමත් වූහ. කලට වේලාවට ප්‍රතිකාරයක් නොලැබීමෙන් පැසවා වණවී තිබූ කකුලේ තුවාලය නිසා කිහිලි කරු මත ගාටමින් සිටි ග්‍රයිම් තමාට පැවරුණ කාර්යයන් දෙකම ඉටු කිරීමෙහිලා අපොහොසත් විය. ග්‍රයිම් පිටත් කොට හැරීමෙන් අනතුරුව හිට්ලර් මරණය සඳහා සූදානම් විය. එහි ප්‍රාරම්භක පියවර වූයේ තමා සමඟ ඉරණම බෙදා ගැනීමට ස්වේඡාවෙන්ම ඉදිරිපත්වූ මිතුරිය ඊවා බ්රෝන් විවාහ කොට ගැනීමයි. අවට ගිගුම් දෙන රුසියන් ෂෙල් වෙඩි හඬ මැද හද කම්පාවන කරවන සුළු මංගල්ලය ලියා පදිංචි කෙරුනේ ගොබ්ල්ස් විසින් කොහෙන්දෝ සොයා ගෙන ආ වෝල්ටර් වැග්නර් නම් සිවිල් සේවකයා හමුවේය. නාසි විවාහ නීතියට අනුව තමා පිරිසිදු ආර්යන් පෙළපතින් පැවත එන බව ප්රකාශ කල කල හිට්ලර් හා ඊවා එකිනෙකා ගේ දුක සැප බෙදා ගන්නා බවට පොරොන්දු වූහ. සාක්ෂියට අත්සන් තැබුවේ ගොබ්ල්ස් හා බෝර්මන්ය. විවාහ ලේඛණයේ අත්සන් තැබූ මනාලිය පුරුද්දට මෙන් ඊවා බ්රෝන් ලෙස අත්සන් තැබීමට ගියද, සිය වරද වහා වටහා ගත්තී වහා තමා ඒ වන විටත් ලියා තිබූ ‘බී’ අකුර කපා හැර ‘ඊවා හිට්ලර්, විවාහයට පෙර බ්රෝින්’ ලෙස අත්සන් කලාය. මෙය විවාහ සහතිකයේ පැහැදිලිව දක්නට ඇත. නව යුවලට සුභ පැතීමට ජනරාල් වරු ලේකම් වරියන් ඇතුළු පෞද්ගලික කාර්ය මණ්ඩලය කොරිඩෝරයේ පෙල ගැසී සිටියහ. අප්රේල් 29 දා ට එළි වෙද්දී මගුල් මේසය සූදානම් කෙරුනේ හිට්ලර්ගේ පෞද්ගලික කමරයේය. ඊට බෝමන් ද, ගොබ්ල්ස් හා මැග්ඩා යුවලද, පෞද්ගලික ලේකම් වරියන් දෙදෙනා වූ ග්රේඩා ක්රිස්ටියන් හා ගර්ටෘඩ් ජුන්ග් මහත්මීන්ද සහභාගී වූහ. බැවෙරියානු තරුණියක් වූ ජුන්ග් මහත්මියට හිට්ලර් වෙසෙසින් ඇළුම් කරයි. හමුදාවේ මාණ්ඩලික ප්රධානී ජනරාල් හෑන්ස් ක්‍රෙබ්ස්, මහ සෙනෙවි මණ්ඩලයේ ස්ථිර නියෝජිත ජනරාල් විල්හෙල්ම් බර්ග්ඩෝර්ෆ්, හිට්ලර්ගේ පෞද්ගලික ඇජුටන්ට් එස්. එස්. මේජර් (SS Standertanfuehrer) ඔටෝ ගුන්චේ හා නිර්මාංශ කෝකියා වූ කොන්ස්ටස් මැන්සියාර්ලි මෙනෙවියද සිය රාජකාරී අතරතුර වරින් වර එහි පැමිණියෝය. කතා බහට තේමාවූයේ ඒ සුන්දර අතීතයේ හිට්ලර් විසින් සාක්ෂියට අත්සන් තැබූ ගොබ්ල්ස්ගේ හා මැග්ඩාගේ මංගල්ලයයි. ඒ ප්‍රීතිමත් දවස් වියැකී ගිසිනි. හොඳම මිතුරන් විසින් පාවා දී ඇති හෙයින් තමාට දැන් මරණය සැපතක් බව හිට්ලර් කියා සිටියේය. පාවාදෙනු ලැබූ වැග්නර්ගේ වේදිකා වීරයකු මෙන් ඔහුද ගෞරවනීය ලෙස දිවි තොර කොට ගනු ඇත. සෙස්සෝ නිහඬ වූහ. ලඟ එන සිය දරුවන්ගේ මරණය සිහිවීමෙන්දෝ මැග්ඩා ගොබ්ල්ස් හැඬුම්බර වූවාය. මගුල් මේසය හිටිවන මූසල ස්වභාවයක් ගත්තේය. හිට්ලර් ජුන්ග් මහත්මිය සමඟ යාබද කාමරය තුලට අතුරුදන් විය. ඔහු සිය අන්තිම කැමැත්ත සකස් කරමින් සිටියේය. චාම් මංගල්යයෙන් අනතුරුව එලැඹෙමින් පැවතියේ නව යුවලගේ බිහිසුනු අවමංගල්‍යයයි. හිට්ර්ල ගේ අන්තිම කැමැත්ත දේශපාලන හා පෞද්ගලික ලෙස කොටස් කෙරුන තෙස්තමේන්තු දෙකකින් සමන්විත විය. 1939 දී තමාට හෝ ජර්මනියේ අන් කිසිවෙකුට යුද්ධය අවශ්ය වී යැයි සිතිම මුලාවක් බව සිය දේශපාලන තෙස්තමේන්තුව තුලින් ඔහු කියා සිටියේය. ඊට මුල පුරන ලද්දේ යුදෙව් බලවේහ විසිනි. “සයවසරක යුද්ධයකින් පසු සිත් පිත් නැති යාන්ත්‍රික (රුසියන්) හමුදාවක් විසින් අපේ ශක්තිය විනාශ කොට ඇති මේ මොහොතේ මට රටේ අගනුවර හා ජනතාව හැර යා නොහැකි හෙයින් බර්ලිනයේ රැදීසිටිමටත්, චාන්ස්ලර් භවන තව දුරටත් රැක ගත නොහැකි යයි හැඟෙන විට ස්වේච්ඡාවෙන්ම මරණය තෝරාගැනීමටත් අදිටන් කොටගෙන සිටිමි…මේ යුද්ධයේදී නාවුක හමුදාව විදහා දැක්වූ උසස් පැවැත්ම අඩු තරමේ මතුවට හෝ ජර්මන් හමුදාව විසින් ආදර්ශයට ගත යුතුය…” පළමු ලෝක යුද්ධයේ සෙබලෙකු ලෙස 1918 දී දේශපාලඥයන් හමුදාව පාවා දුන් බව කියමින් එකල දොස් නැගූ හිට්ලර්, මෙමගින් ඉඟි කලේ දෙවන ලෝක යුද්ධය පරාජයට හේතුව හමුදා ජනරාල්වරු තමාට ද්‍රෝහී වීම බවයි. “මාගේ මරණයට පෙර හිටපු ගුවන් හමුදා පති රයික්-මාෂල් හර්මන් ගෝරින් ඔහු දැරූ සියළු තනතුරුවලින් නෙරපා හරිමි. ඒ වෙනුවට නව රයික් ජනාධිපතිවරයා ලෙස මහා-අද්මිරාල් කර්ල් ඩොනියෙට්ස් නම් කරමි…” හිට්ලර්ගේ තර්කය පැහැදිලිය. යුද හමුදාව, ගුවන් හමුදාව හා එස්. එස්. සංවිධානය තමාට ද්‍රෝහී වූ බැවින් සිය අනුප්රාප්තිකයා විය යුත්තේ නාවිකයකි. “එමෙන්ම මාගේ මරණයට පෙර හිටපු එස්. එස්. නායක හා පොලිස් ඇමති හයින්රිච් හිම්ලර්ද ඔහු දැරූ සියළු නිලතල වලින් පහ කරමි. රාජ්ය බලය පැහැර ගැනීමට තැත් කිරීම හරහා මෙන්ම මාගේ අනුදනුමින් තොරව සතුරා සමඟ කෙරුන රහස් ගණුදෙනු තුලින් ගෝරින් හා හිම්ලර් පීතෘ භූමියට හා ජනතාවට අවමන් කොට ඇත.” ගොබ්ල්ස් චාන්ස්ලර් වරයා ලෙසත්, බෝර්මන් පක්ෂ නායකයා ලෙසද නම් කෙරුන අතර බොහිමියාවේ තවමත් අපරාජිතව සිටින ෆීල්ඩ්-මාෂල් ශෝනර් නව හමුදාපති වරයා වනු ඇත. හිට්ලර්ගේ පෞද්ගලික තෙස්තමේන්තුව වඩාත් කෙටිය. “වසර ගණනාවක අරගලය විවාහය පිලිබද සිතීමට විරාමයක් මට නුදුන් මුත් වසර ගණනාවක සැබෑ මිත්රත්වය මාගේ ඉරණම බෙදා හදා ගැනීමට මේ නගරයේ රැදී සිටින ඒ නිර්භීත තරුණිය අවසන් මොහොතේ හෝ බිරිඳ කොට ගැනීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි. මාසතු යමක් වේ නම් එය අයත් වන්නේ පක්ෂයට. ඉන්පසු රාජ්යයටය.යැහෙත් ඒ සියල්ල ද විනාශ වී යා නම් ඉනික්බිති මාගේ කැමැත්ත පිළිබඳ වැඩිදුර උපදෙස් නොමනාය.” “එහෙත් මා විසින් ජීවිත කාලය මුළුල්ලේ රැස් කල චිත්‍ර එකතුව පොදු යහපත තකා ඩැනියුබ් ඉවුරේ පිහිටි මාගේ ගම වූ (ඔස්ට්රියාවේ) ලින්ස් හි කලාගාරයක තැන්පත් කෙරෙනු දැකීම මාගේ පැතුම වේ… මා සතු වෙනත් වටිනා කියනා යමක් වේ නම් ඒවා ඉල්ල සිටින විටෙක මාගේ බිරිඳගේ මවට හෝ මගේ කාර්ය මණ්ඩලයට බෙදා දීමේ වගකීම ද මාගේ හිතෛශී පක්ෂ සහෝදර මාර්ටින් බෝමන් ට පවරමි.” “සතුරාට යටත් වීමේ නින්දාව හා අවමානය පිටු දකිනු පිණිස මා හා බිරිඳ ස්වේච්ඡාවෙන් මරණය තෝරා ගෙන ඇත. මා විසින් පුරා දොලොස් වසරක් ජනතාවට සේවය කල මෙම ස්ථානයේදීම අපගේ මල සිරුරු කිසිවක් ඉතිරි නොවන සේ දවා අළු කරන මෙන් ඉල්ලා සිටිමු.” පිටපත් තුනකින් සමන්විත ලියැවිල්ලට අප්‍රේල් 29 අළුයම 4 වන විට අත්සන් තබන ලදී. අනතුරුව හිට්ලර් විවේක ගැනීම සඳහා නික්ම ගියේය. සිය කුටියට ගිය ගොබෙල්ස් ද නායක තුමාගේ තෙස්තමේන්තුවට ‘ඇමුණුමක්’ පිළියල කරන්නට විය. “කෙසේ හෝ අගනුවරින් පිටවී නව රජයක චාන්ස්ලර් වරයා ලෙස මා වැඩ භාර ගත යුතු යැයි නායක තුමා ආඥා කොට ඇත. එහෙත් ජීවිතයේ පලමු වරට එතුමාගේ නියෝගයකට අවනත නොවීමට මට සිදුව තිබේ. එතුමාට සේවය කිරීමට අවස්ථාවක් නොමති ජීවිතයකින් ඵල නැති බවත් සිදුව ඇති බිහිසුනු ද්රෝහී කම් හමුවේ එතුමා හා අවසානය තුරු සිටිමින් තමන් වෙනුවෙන් පෙනීසිටීමට තරම් කුඩා වැඩි අපගේ දරුවන් හය දෙනාද සමඟ බර්ලින තුලම ඇද වැටීමට මා හා බිරිඳ තීරණය කොට හමාරය…” ස්වර්ගය දෙවියන් සමඟම ගිනිගෙන දැවෙන විටෙක දේවොල තුල සිටින භක්තිමත් පූජකයා අන් කුමක් කරන්නද? තමාගේ ලෝකෝත්තර අරමුණු සුණු විසුනු වූ කලෙක ලෞකික පැවැත්මෙන් ඇත ඵලය කිම? හිට්ලර් මෙන්ම ගොබෙල්ස් ද අනුනට කෙසේ වෙතත් තම ඇදහිල්ලට නම් අවසානය දක්වාම අවංක විය. ඒ අතින් බලන කල හුදෙක් දේශපාලන බලය සඳහා සළු පිළි උනන්නාක් මෙන් ප්‍රතිපත්ති මාරු කරන තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදීන්ට නම් මෙම ෆැසිසිට් නායකයන් දෙදෙනා කදිම ආදර්ශයක් සපයයි. ජර්මන් ජනතාවට කෙරෙන ගොබ්ල්ස්ගේ අවසන් ගුවන් විදුලි විකාශනය උදෑසන 5.30 වන විට සුදානම් විය. එහි අන්තර්ගතට සවන්දෙන අයකුට හැඟුනේ අවසාන මොහොතේ පවා ඔහුගේ සාර්ථක්ත්වයට හේතු වූ ‘ලතින් ශෙලිය’ ඔහු කෙරෙන් නික්ම ගොස් නැති බවයි. හිට්ලර්ගේ තෙස්තමෙන්තු වල පිටපත් ද විවාහ සහතිකයේ පිටපත ද ගොබෙල්ස් ගේ ‘ඇමුණුම’ ද සහිතව නම් කරන ලද රයික්-ජනාධිපති ඩොනියෙට්ස් හා හමුදා පති ශෝනර් වෙත ගෙන යාමේ වගකීම බංකරයේ සිටි කණිෂ්ඨ හමුදා නිළධාරීන් තිදෙනෙකුට පවරන ලදී. එය අතිශය අවදානම් සහගත චාරිකවක් වූයේ ඔවුන් නගරය වටා වූ රුසියන් මුර වලලු තුනක් පසු කොට යා යුතු වූ බැවිනි...

(c) Chamara Siriwardene

හිට්ලර්ගේ මරණය (30.04.1945)

අප්‍රේල් 29 දා හිරු උදාවත් සමඟ බංකරයට ඉහලින් පා වෙමින් පැවති මහ සෙනෙවි මණ්ඩලයට අයත් රේඩියෝ-ටැලිපෝන් ඇන්ටෙනාව සවි කල වායු බැලුමට වෙඩි තැබූ රුසියානුවෝ එය බිම හෙලූහ. ඒ සමඟම හමුදා අණදෙන මූලස්ථනය හා බංකරය අතර වූ අවසන් ගුවන් විදුලි සබඳතාවද බිඳ වැටුනේ මාණ්ඩලික ප්රධානී ක්රෙබ්ස් හා මහ සෙනෙවි මණ්ඩලයේ මෙහෙයුම් නිළධාරී ජෝඩ්ල් අතර සංවාදය අතරමඟ ඇණ හිටුවමිනි. බංකරයේ සිටි කාර්ය මණ්ඩල නිළධාරීන්ට තව දුරටත් ඉටුකිරීමට රාජ කාරී නොවීය. එහෙයින් බංකරයෙන් පලා ගොස් දිවි ගලවා ගැනීමට අවසර දෙන මෙන් ලුතිනන්-කල්නල් වරයෙක් හා මේජර් වරු දෙදෙනෙක් තම ප්ර්ධානීන් ගෙන් අයැද සිටියහ. ඉල්ලීම නායකතුගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට බර්ග්ඩෝර්ෆ් එකඟ විය. දහවල් පැවති යුද සාකච්ඡාවට ක්රෙලබ්ස්, බර්ග් ඩෝර්ෆ් හා ඇජුටන්ට් වරු කිහිප දෙනා හැරුන කොට බෝර්මන් හා ගොබ්ල්ස් ද සහභාගි වූහ. ගෲන්වෝල්ඩ් පෙදෙස හරහා එන රුසියන් හමුදා තවත් තවත් දුම්රිය පොලක් අත්පත් කොටගෙන ඇති බවත් සැපයුම් ප්රමාණවත් නොවීම නිසා සටන අසීරු බවත් ක්රෙබ්ස් වාර්තා කලේය. කණිෂ්ඨ නිළධාරීන් තිදෙනා ගේ ඉල්ලීම ඉදිරිපත් කෙරුනේ ඉන් අනතුරුවය. වැඩි ගණනකට නොගත් හිට්ලර් ඊට එකඟ විය. “වෙන්ක්ගෙ හමුදාවට ඉක්මන්ට එන්න කියල පණිවිඩයකුත් යවන්න,” හේ ක්රෙබ්ස් ට කීය. පුරා අට වසරක් හිට්ලර්ගේ ගුවන්හමුදා අජුටන්ට් වරයා වූ කල්නල් නිකොලස් වොන් බෙලෝ ටද පණ බේරාගෙන පළායාමට විශාල ආශාවක් තිබිණ. අප්රේල් 23 දා හිට්ලර් සියළු දෙනාට පිටව යාමට අවස්ථාව දුන් මොහොතේ ඔහු නොගොස් නැවතුනේ හුදෙක්ම ගෞරවය පිළිබඳ ප්රශ්නය නිසා මිසෙක දිවිනසා ගැනීමට ඇති කැමැත්ත නිසා නොවේ. නායකතුමා මොනයම් හෝ උප්පරවැට්ටියක් යොදනු ඇතැයි යන විශ්වාසයක් ඔහු තුල වී නම් එයද වියැකී ගියේ හිම්ලර්ගේ පාවාදීම හෙලිවීමෙන් පසුවය. අනතුරුව ඔහු සියළු බලාපොරොත්තු අතහැර ගත්තේය. එහෙත් කණිෂ්ඨ නිළධාරීන් තිදෙනා පස්වරුවේ බංකරයෙන් පිට වූ මොහොතේ පටන් පණ බේරාගැනීමේ ආශාව ඔහුතුල දළු ලායි. ක්‍රෙබ්ස් හා බර්ග්ඩෝර්ෆ් බංකරය තුල දිවි නසාගන්නා බව ප්‍රකාශ කලද තම අජුටන්ට් වරුනට යාමට ඉඩ දුන්නා නොවේද? තමාටද එවන් අවස්ථාවක් උරගා බැලිය නොහැක්කේ මන්ද? බංකරයේ සෙසු කනිෂ්ඨයන්ද අවස්තාවක් ලදොත් පලා යාමට කැමැත්තෙන් සිටින බව ඔහු දනී. රුසියන් අත්යාවශ්ය ලයිස්තුවේ සිටින ලොක්කන් හැර සෙස්සන්ට සැඟවී පලායාමේ අවස්ථාවක් තවමත් තිබිණ. ක්රෙබ්ස් හා බර්ග්ඩෝර්ෆ් විසින්ද ධෛර්යමත් කරනු ලැබූ වොන් බේලෝ කල්නල් තැන කෙලින්ම හිට්ලර් බැහැ දැක තම ඉල්ලීම ඉදිරිපත් කලේය. හිට්ලර් එකවරම එකඟ විය. ඔහු සොයමින් සිටියේද තම අන්තිම කැමැත්තේ ඇමිණුමක් මහ සෙනෙවි මණ්ඩල මූලස්ථානයට යැවීමට ක්රමයකි. “හොඳයි රෑ සාකච්ඡාවෙන් පස්සෙ යන්න ලෙස්ති වෙනවා. ෆීල්ඩ්-මාෂල් කයිටල්ට දෙන්න ලියුමක් තියනවා. එකත් මතක ඇතිව ඉල්ලගෙන යනවා.” අප්රේල් 23 දා මෙන් එදිනෙද ඔහු ඉතා සන්සුන්ය. තීරණය ගෙන අවසන් බැවින් කලබල කිරීමට හේතුවක් නැත. රෑ 11.00 ට ඇරඹුන යුද සාකච්ඡාවට සුපුරුදු පිරිසට අමතරව නගරයේ අණදෙන නිළධාරී ජනරාල් හෙල්මුත් වීඩ්ලින්ග් ද පැමිණ සිටියේ තත්වය ඉතාම නරක අතට හැරී ඇති බව වාර්තාකිරීමටය. රුසියන් යුද ටැංකි දැන් සටන් වදිමින් සිටින්නේ ගුවන් අමාත්යාංශය අසලය. බටහිරින් බිස්මාර්ක් වීථිය අත්පත්කොටගෙන සෝවියට් ‘කම්පන’ බල ඇණි පිටුපසින්ද පහර දෙති. සිවු දිසාවෙන් ලඟාවන රතු හමුදාව තවත් පැය 24 ත් 48 ත් අතර චාන්ස්ලර් මන්දිර උද්යානයට ලඟා වනු ඇත. සේම මොහොතක් පාසාම බර්ලිනයේ ගෙල වටා තද වන රුසියන් තොණ්ඩුව මේ මොහොතේ කඩාගෙන එලියට පැනීමට කොටුවූ සිටින තම හමුදා උත්සහ නොකරන්නේ නම් තවත් අවස්තාවක් නොඑළඹෙනු ඇතැයි වීඩ්ලින්ග් කියා සිටියේය. “ඕක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි,” හිට්ලර් හිස දෙපසට සැලීය. “ඕනනම් කුඩා කණ්ඩායම් වලට රුසියන් වලලු අස්සෙන් රිංගන්න පුළුවන් වෙයි. ඒත් හරිහමන් ආයුද නැති ලොකු බල ඇණියකට වැටලීමක් කඩන්න බැහැ.” සැමවිටම මෙන් එහිදීද හිට්ලර්ගේ තීරණය අවසන් තීරණයයි. සාකච්ඡාවට පසුව වොන් බේලෝ කල්නල් තැන තම සහායකයාද සමඟ පිටවීමට සූදානම් විය. හිට්ලර් ඔහුට අතදී සමු දුන්නේ නිහඬවය. හැකියාවක් වෙතොත් තම සුභ පැතුම් පිරිනමන මෙන් ඉල්ලා තම බිරියගේ ලිපිනය ඔහුට දුන් ජනරාල් ක්රෙබ්ස්, ප්රධාන මෙහෙයුම් නිළධාරී ජෝඩ්ල්ට දෙනු වස් ලිපියක්ද අත්පත් කලේය. බර්ලින් සටන අවසන් වෙමින් පවතින බවත්, වෙන්ක් ගේ හමුදාවේ පැමිණිම තවදුරත් අපේක්ෂා නොකරන බවත් එහි සදහන් විය. බර්ලිනය දිනකින් හෝ දෙකකින් ඇද වැටෙනු ඇත. සියළු පෙරමුණු වල අවසන් භටයා හා උණ්ඩය දක්වා සටන් කල යුතු බවට නායක තුමා ඉල්ලා සිටී. හිට්ලර් විසින් කයිටල්ට යවන ලද තෙස්තමේන්තුවට අදාල ඇමිණුමේ සඳහන් වූයේද බර්ලින් ඇදවැටීමට ආසන්න බවත්, යටත් වීම වෙනුවට තමා සියදිවි නසා ගන්නා බවත්, ගෝරින් හා හිම්ලර් තමා පාවා දී ඇති හෙයින් ඩොනියස්ට් තම අනුප්රාප්තිකයා ලෙස පත් කල වගය. සිය අවසන් සටහන මගින් නාවුක හමුදාව මහත් සේ අගැයූ ඔහු ගුවන් හමුදාවට ද සමාව දුන්නේය. වරද ගෝරින් අතය. එහෙත් තම විශ්වාසයෙන් අයුතු ප්රයෝජන ගෙන ඇත්තෙ හමුදාවයි. “හමුදා සෙනෙවි මණ්ඩලය (පළමු) ලෝක යුද්ධයේ සෙනෙවි මණ්ඩලය හා සමකල නොහේ. ඔවුන් පෙරමුණු සෙබලුන්ටත් වඩා බොහෝ පසුගාමීය. ඒ යෝධ උත්සාහය අපතේ ගියේ යැයි මට විශ්වාස කල නොහැක. එහෙයින් අනාගතයේ හෝ නැගෙනහිර භූමි ප්රදේශ අත්පත් කොට ගැනීමට ජර්මන් ජාතිය අධිෂ්ඨාන කොට ගත යුතුව ඇත…” ලහිලහියේ ලියැවිලි ටික එකතු කොට ගත් වොන් බේලෝ කල්නල් තැන යන්නට ගියේය.ඒ හිට්ලර්ගේ මරණයට පෙර බංකරයෙන් පිටවූ අන්තිමයාය. අනතුරුව බාහිර ලෝකයෙන් පැමිණි අවසන් පුවතද හිට්ලර්ට පිළිගන්වන ලදී. පාටිසාන් වරු විසින් අල්ලා මරා දමනු ලැබූ ඔහුගේ සහකරුවා වූ මුසෝලිනි හා ඔහුගේ පෙම්වතිය ගේ සිරුරු මිලාන් නුවර ලාම්පු කණුවක ඔළු පහතට සිටිනසේ එල්ල ඇති බව ප්රචාරක අමාත්යාංශයෙන් ලද වාර්තාවේ සඳහන් විය. තමා ගත් තීරණය ඉතා නිවැරදි යයි හිට්ලර්ට හැඟුන බවට සැක නැත. තම සුනඛ ධෙනුව වන බ්ලොන්ඩිට විෂ ශරීර ගත කොට මරා දමන මෙන් ඔහු අණ කලේ ඉන් අනතුරුවය. ඒ සඳහා බර්ලින් නුවර බිම් ගෙයක ස්වේච්ඡාවෙන් තුවාල කරුවන්ට ප්රතිකාර කරමින් සිටි ඔහුගේ හිටපු පෞද්ගලික ශල්ය වෛද්යවරයා ලහිලහියේ බංකරයට කැදවන ලදී. ද්වේශයෙන් කැකෑරෙමින් සිටින රුසියන් හමුදා විසින් බ්ලොන්ඩිට වද හිංසා පමුණුවනු ඇතැයි හිට්ලර් තුල විශාල බියක් තිබිණ. බංකරය මිදුලේ ඇති කල බල්ලන් දෙදෙනාට වෙඩිතබන ලද්දේ උන් බලා කියාගත් සාර්ජන්ට් තැන විසින්මය. අනතුරුව හිට්ලර් කැඳවූයේ ලේකම් වරියන් දෙදෙනාය. ‘අවසාන හදිසියකදී’ භාවිත කරනු පිණිස පොටෑසියම් සයනයිඩ් පිරවූ වීදුරු කරල් දෙකක් ඔවුනතට දුන් ආඥාදායකයා වඩාත් හොඳ ‘වෙන්වීමේ තිලිණයක්’ ලබා දීමට තමාට නොහැකිවී යැයි බොහෝ කණගාටු විය. කාර්ය මණඩලයේ කවදත් සිය ප්රියතමයා වූ ජුන්ග් මහත්මිය කෙරේ හිට්ලර් කවදත් දයාබරය. හේ ඔවුන්ගේ ධෛර්යය බොහෝ පැසසීමටද අමතක කලේ නැත. “හමුදාවෙ ජනරාල් වරු ටිකත් ඔය දෙන්න වගේ මට විශ්වාසවන්ත උනා නම් මේව මෙහෙම කෙලවර වෙන්නෙ නෑ.” වතුර ගලා බසීන්නේ පහත් තැනකිනි. මේ පැය කිහිපයේ ඔහුට කිවිසුමක් පිට වුවද වරද සෙනෙවි මණ්ඩලය විසින් භාර ගත යුතුය. අළුයම දෙකට පමණ බාහිර කාර්ය මණ්ඩලය පහත මාලයට කැඳවන ලදී. සියළුදෙනාට හිට්ලර් නිහඬව අත දෙන විට බෝර්මන් ද පසෙකින් සිටියේය. ඇතමෙක් කිසිවක් කීවද ඔහු පිළිතුරු නුදුන්නේය. තරමක් කුදු ගැසී සිටි ඔහුගේ ඇස් වැසී ගිය තුනී පටලයකි. වමත වෙව්ලයි. ඔහු පැමිනියේ හීනෙන් ඇවිදන අන්දමට බව ඇතමෙක් පසුව කීහ. නායක තුමා දිවිනසා ගැනීමට ඉතා ආසන්න බවට කට කතාවක් සේවකයන් අතර පැතිර යාමට ගත්වූයේ නිමේෂයකි. සියල්ලෝ අහුමුළු වලට වූ කුටු කුටු ගෑමට වන්හ. බොහෝදෙනා විස්මයට පත්වූයේ එම පුවතත් සමඟ තමා තමා එක්වරම අත්දුටු සැහැල්ලුව නිසාය. හරියටම මෙතෙක් කල් හිසෙහි වූ විශාර බරක් එක්වරම ඉවත් වූවාක් සේය. අනතුරුව සෙබළුන් හා සුළු සේවකයන් අහාර ගත් චාන්ස්ලර් මන්දිරයේ භෝජන ශාලාව තුල නැටුමකි. ශබ්දය අඩු කරන මෙන් බංකරයෙන් පණිඩුඩයක් ලැබුනද ඒ ගැන තැකීමක් කෙරුනේ නැත. ලඟ ලඟ ඇසෙන රුසියන් වෙඩි හඬ ඔවුනට තාල සැපයීය. අප්රේල් 30 දා හිමිදිරි පාන්දර බංකරයේ සේවයට අනුයුක්ත කොට සිටි මියුලර් නම් ඇදුම් මසන්නාට සිය ඇස් කන් අදහා ගත නොහැකි වූයේ හිට්ලර්ට අරක්ෂාව සැපයූ පොලිස් කොමාන්ඩෝ බල ඇණියේ ප්රධානියා හා එස්. එස්. මේජර් ජනරාල් වරයෙක් ( SS Brigadefuehrer) වූ ජොහාන් රැටන්හියුබර් ඉතා උණුසුම් ලෙස සිය පිටට පහරක් ගසා තමාට සුභ උදෑසනක් පැතූ නිසාය. ඉහල නිළධාරියෙක් එසේ හැසිරෙනු ඔහු මීට පෙර දැක නැත. හිට්ලර් ගේ දිවි නසා ගැනීම ගැන ඇසීමෙන් සැහැල්ලුවක් ලද බව පෙනුනේ පහල නිලයන් පමණක්ම නොවේ. එදින නැවතත් බංකරයේ කොරිඩෝර හරහා ඇවිදීමට අවසර නොමැති හෙයින් දවසේ ආහාර සලාක සියල්ල ලබා ගන්නා මෙන් උදෑසන සියළුම මුර භටයන්ට අණ ලැබිණ අවසන් යුද සාකච්ඡාව පැවතියේ දහවලය. අවට උමං මාර්ග රැසක් මේ වන විට රුසියන් හමුදා අත පවතින බවත්, තවත් පැය 24කට වඩා අල්ලා සිටිය නොහැකි බවත් බංකරය ඇතුළු රජයේ ගොඩනැගිලි කලාපය භාර ආඥාපති එස්. එස්. මේජර් ජනරාල් (SS Brigadefuehrer) විල්හෙල්ම් මොන්කේ වාර්තා කොට සිටියේ. හිට්ලර් ඔහුට සවන් දුන්නේ හැඟීම් විරහිතවය. ඉන්ධන ලීටර් 200 චාන්ස්ලර් මන්දිරයේ මිදුලට එවන ලෙස පෞද්ගලික ඇජුටන්ට් එස්. එස්. මේජර් (SS Sturmbannführer) ඔටෝ ගුන්චේ ගෙන් ප්රවාහන අංශයට නියමයක් ලැබුනේ ඒ අතරය. මෙම අසාමාන්ය ඉල්ලීම ගැන පුදුමටය පත්වුවද මහත් වෑයමකින් අනතුරුව ලීටර 180 ක් එකතුකොට එවීමට රථවාහන භාර ප්රධානියා සමත් විය. එහෙත් චාන්ස්ලර් මන්දිර උයනේ සිටි පොලිස් ආරක්ෂයෙක් ඒවා ගෙන ආ කම්කරුවන්ගෙන් ප්රශ්න කරන්න වූයේ ඔහුට ඇතිවූ යම් සැකයක් ඇතිවූ නිසාය. වහ වහා එතැනට දිව ආ හිට්ලර්ගේ පෞද්ගලික ආවතේව කරු වූ එස්. එස්. ලුතිනන් කල්නල් (SS Obersturmbannführer) හයින්ස් ලින්ග් ඉන්ධන කෑන් සියල්ල සිය භාරය ගෙන පොලිස් ආරක්ෂකයා වහා පිටත් කොට හැරියේ ට සියල්ල හරිබව තහවුරු කරමින්ය. අනතුරුව බංකරයෙන් චාන්ස්ලර් මැදුරේ ආරක්ෂක කුටියට පැමිණි නියෝගයකින් කියැවුනේ සියළු ආරක්ෂකයන් නැවත දැනුම් දෙන තුරු අවට ප්රදේශයෙන් ඉවත්ව සිටිය යුතු බවයි. හිට්ලර් අවසන් ආහාරය ගත්තේ දවල් 2 ටය. ඊවා ට එදින බඩගිනි නොදැනුනා විය යුතුය. නැතහොත් ඈ සිය කාමරයේ සිට අනුභව කලා විය හැක. එහෙයින් කෑම මේසයේ සිටියේ ලේකම් වරියන් දෙදෙනා හා නිර්මාංශ කෝකි වරිය පමණි. හිට්ලර් නිහඬව කෑම කා සුපුරුදු පරිදි කෝකියාට ස්තුති කොට සිය කාමරයට වැදුනේය. අනතුරුව සමු ගැනීමේ අවසන් හෝරාව එලැඹියේය. කොරිඩෝරය දිගේ බෝමන් හා ගොබ්ල්ස් ද, ක්රෙබ්ස් හා බර්ග්ඩොර්ෆ් යන ජනරාල් වරුද, ලේකම් වරයන් දෙදෙනා හා කෝකි වරියද, ලින්ග් හා ගුන්චේ ද ඇතුළු පුද්ගලික කාර්ය මණ්ඩලය පෙල ගැසී සිටියහ. ලඟා වෙමින් පවතින සිය දරුවන්ගේ මරණය පිළිබඳ වැලපෙමින් සිටි නිසා දෝ මැග්ඩා ගොබෙල්ස් සිය කාමරයෙන් එලියට නොපැමිණියාය. නිහඬව අතදී සියළු දෙනාගෙන් ගෙන් සමු ගත් හිට්ලර් හා ඊවා ආපසු කෙලින්ම ගියේ හිට්ලර්ගේ කුටිය තුලටයි. දොර ද වැසී ගියේය. මඳ වේලාවකින් පිස්තෝල වෙඩි හඬක් ඇසින. මඳ විරාමයක පසු කාමරය ඇතුලූ වූ ගුන්චේ හා බෝමන් දුටුවේ ලෙයින් පෙඟුන සෝපාව මත වැටී සිටි හිට්ලර්ය. කට හරහා වෙඩි තබා ගෙන තිබු ඔහුගේ හිස සුනු විසුනුව තිබිණ. සෝපාවේ අනිත් කෙලවර ඊවා වැටී සිටියාය. වහනය වූ අමිහිරි ආමන්ඩ් සුවඳින් පෙනී ගියේ ඈ පොටෑසියම් සයනයිඩ් අනුභව කොට මිය යන්නට ඇති බවයි. ඒ වන විට අප්රේූල් 30 දා සවස 3 පසුවී විනාඩි 30 කි. නායක තුමාගෙන් සමුගැනීම සඳහා ‘හිට්ලර් යොවුන් කවයේ’ නායක ආතර් ඇක්ස්මන් එ මොහොතේ එතැනට පැමිණෙන විට ප්රකමාද වැඩිය. ගොබ්ල්ස් විසින් කෙලින්ම හිට්ලර්ගේ කුටියෙ තුලට කැදවාගෙන යන ලදී. ඇක්ස්මන් මඳ වේලාවක් මළ සිරුරු දෙක අසල තනිවී සිටින අතරතුර එහි පැමිණි ලුතිනන් කල්නල් ලින්ග් හා තවත් නිළධාරියෙක් හිට්ලර්ගේ මළ සිරුරේ හිස පෙදෙස බ්ලැන්කට්ටුවකින් එතූහ. අනතුරුව ඊට අඩි 50 ඉහලින් වූ චාන්ස්ලර් උද්යානයේ සෙස්සෝ අවමංගල්යවයට සූදානම් වූහ. බෝමන් පැමිණ ඊවා ගේ සිරුර ඔසවා ගත්තේය .ඇගේ මරනය වඩාත් පිරිසිදු වූ හෙයින් බ්ලැන්කට්ටු උවමනා වූයේ නැත. බංකරයේ සියළු කොරිඩෝර දොරවල් වසා දමා තිබුනේ මෙම ඝොර අවමඟුල අවශෙෂ කිසිවකුත් විසින් නොදකිනු පිණිසය. බංකරයේ දොරටුව ඉදිරිපිට චාන්ස්ලර් උයනේ තිබූ ෂෙල් වෙඩිල්ලකින් හෑරී තිබූ වලක තැන්පත් කෙරුනු මල සිරුරු දෙක මත පෙට්රාල් කෑන් කිහිපයක්ම හලන ලදී. කොහෙන්දෝ පැමිණි ආරක්ෂයෙක් බලා සිටිනු දුටු ගුන්චේ කෑ ගසා ඔහුට වහා එතැනින් ඉවත් වන ලෙස අණ කලේය. මෙම බිහිසුනු දර්ශනයේ ත්රාසය වඩාත් උත්සන්න කෙරුනේ අවට හෙන හඬ නංවමින් පුපුරා යන රුසියන් ෂෙල් වෙඩි නිසාය. කිසිවෙක් විසින් මල සිරුරු මතර පන්දමක් වැනි යමක් විසි කිරීමත් සමඟ සිරුරු දෙක මතින් දැවැන්ත ගිණි ජාලාවක් මතුවිය. අනතුරුව සීරුවට පැමිණි වැලපෙන්නෝ ආචාර කොට බංකරය තුලට වහ වහා නික්ම ගියෝය. ගුන්චේ පසුව පැවසුවේ හිට්ලර්ගේ සිරුර පිලිස්සීම සිය ජීවිතයේ ලද බිහිසුනුම අත් දැකීම බවයි. එහෙත් ගුන්චේ විසින් කලින් එලවා දැමුන ආරක්ෂකයා සිය නිරීක්ෂණ කුළුණින් බැස නැවත හොරෙන් හොරෙන් එබිකම් කලේ ඔහු තුල හටගත් කුතුහලය නිසාය. ඒ වනසිට සිරුරු බොහෝ දුරට දැවී අවසන් ය. හිට්ලර්ගේ දෙපා තවමත් පැහැදිලිව දකිය හැකි විය. පරිවාරයේ සිටි එස්. එස්. නිළධාරීන් වරින් වර බංකරය තුල සිට පැමිණ ඒ මත තව තවත් පෙට්රල් හැලනු ඔහුට පෙනින. එදින රෑ වැඩ මුරය අවසන් කොට නැවත වතාවක් එතැනට ගිය ඔහු දුටුවේ සිරුරු දෙක අතුරුදන්ව ඇති බවයි. එහෙත් බංකරයේ පිවිසුම අසල ඊයේ පෙරේදා ෂෙල් වෙඩිල්ලක් පිපිරීමෙන් හෑරී තිබූ වල පුරවා ඇති බව දුටු ඔහුට එය මිනීවලක් ලෙස යොදාගන්නට ඇති වග පසක් වූයේ කිසිදු පිපිරීමකින් මෙතරම් පරිපූර්ණ ජ්යාමිතික නිර්මානයක් ඇති නොවන නිසාය. රැයේ සිය නිළධාරීන් හා භටයන් කැඳවූ හිට්ලර් ගේ පෞද්ගලික ආරක්ෂක බලැණිය භාර මේජර් ජනරාල් රැටන්හියුබර් දවසේ සිදුවීම් ‘ශුද්ධවූ' රහසක් ලෙස රකින බවට ඔවුන්ගෙන් දිවුරුම් ගත්තේය. කටමැත දොඩවන ඕනෑම පුද්ගලයෙකුට තරාතිරම නොබලා වෙඩි තබා දමනු ඇත. බලවත් කම්පනයට පත්ව සිටි ලේකම් වරියන් දෙපලට ලුතිනන් කල්නල් ලින්ග් පැවසුවේ නායකතුමා නියම කල පරිදිම ‘කිසිවක් ඉතිරි නොවන’ සේ සිරුරු දවාලූ බවය. එහෙත් වැලි සහිත පොලොවේ සෙමින් දැල්වෙන තෙල් ලීටර් 180 ක් මාංශය අඟුරු කිරීමෙහිලා සමත් විය හැකි වුවද ඇට කටු එම තාපයට ඔරොත්තු නොදෙතැයි සිතිය නොහේ. විවිධ කටකතා ඕපාදූපා සහ වලංගු භාවය ඒත්තු නොගැන්වූ හුදෙකලා සාක්ෂි හැරුන කොට හිට්ලර් හා ඊවාගේ අවමගුල පිළිබඳ නිශ්චිතව දන්නා කරුණු මෙපමණකි. හිට්ලර් අවසන් මොහොතේ ගුවන් යානයකින් බර්ලිනයෙන් පලා ගිය බවට ඇතිවූ මතයට හේතුව තම ගුවන් යානා නාශක වෙඩි මධ්යයේ අප්රේල් 28 දා ගුවන් හමුදා පති ග්රයිම් හා රයිට්ෂ් මෙනෙවිය රැගෙන අඩි 20,000 ක් එක තැන රවුම් ගසා බර්ලිනයෙන් ඉවතට පියාසර කල ගුවන් යානය රුසියන් හමුදා විසින් නිරීක්ෂණය කොට තිබීමය. වාර්තාව කියැවූ ස්ටැලින් සිතුවේ මිත්ර ජාතීන්ගේ උදවු උපකාරයෙන් හිට්ලර් බර්ලිනයෙන් පැනගන්නට ඇති බවයි. මිත්ර ජාතීහූ මෙම චෝදනාව නිසා පුදුමයෙනුත් පුදුමයට පත් වූහ. ආචාර්ය ට්රේවෝ රෝපර් නැමති ඉංග්‍රීසි ඔත්තු සේවා නිළධාරියා මිත්‍ර පාක්ෂික හමුදා අධිකාරීන් විසින් පත් කරනු ලැබුවේද මෙම අභි රහස විසඳනු සදහාය. හිට්ලර්ගේ අවසන් දින 10 පිළිබඳ මෙම ලිපි පෙලෙහි අඩංගු කරුණු වලට පාදක වන්නේ ආචාර්ය රෝපර් විසින් මිත්ර හමුදා අත් අඩංගුවට පත් බංකර්වාසීන්ගෙන් ප්රශ්න කොට ලබාගත් වාර්තා වේ සාරාංශය අඩංගු The Last Days of Hitler නම් කෘතියයි. සියළු මතභේදයට තුඩු දෙන කරුණු ඉවත් කොට තහවුරු කොට ගන්නා ලද සාක්ෂි මත ආචාර්ය රෝපර් ගේ වාර්තා කෘතිය සමන්විත හෙයින ජනප්රිය මත වාද සමඟ මෙහි ඇතැම් කරුණු නොසැසදීමට ඉඩ ඇත. සත්‍යය මොක වුවද හිට්ලර් තම අවසන් අභිප්රාය නම් ඉටු කොට ගත්තේය. බුසෙන්ටෝ ගං පත්ලේ මිහිදන් කල රෝමය වැනසූ ඇලරික් මෙන් වත්මන් ලෝකයේ වැනසුම්කරුවා වූ හිට්ලර් චාන්ස්ලර් මන්දිරය මිදුලේ පිළිස්සී ගියේ අද දක්වාම බොහෝ වාද විවාද වලට තුඩු දුන් අභිරහසක් ඉතිරි කරමිනි. අවමඟුල් යාගයෙන් පසු නැවත බංකරය තුලට රැස්වූ සෙස්සෝ ඊලඟට කලයුත්තේ කුමක්දැයි සිතුවේ ඉන් අනතුරුවය. දෘෂ්ඨිමය වශීකරණය පහව යමින් තිබුනද විසදීමට ප්රායෝගික ගැටළු රැසක් නායක තුමා විසින් ඔවුනට ඉතිරි කොට ගොස් තිබිණ. බෝමන් නව ජනාධිපති ඩොනියෙට්ස්ට විදුලි පුවතක් යවමින් ‘තෙස්තමේන්තුව බල ගැන්වුන බව’ දැනුම් දුන්නද හිට්ලර්ගේ මරණය එමගින් හෙලිකලේ නැත. ඔහුගේ අදහස වූයේ නව රජයක් ලෙස රුසියානුවන් සමග සාකච්ඡා කිරීමට උත්සහ කිරීම ඵල දායක විය හැකි බවය. ජනරාල්වරු දුම් වළලු පිට කරමින් ඊට එකඟ වූහ. හිට්ලර් ජීවතුන් අතර සිටියදී ඔවුනට කිසිවිටෙකත් බංකරය තුල දුම් බීමට අවසර නැත. ගුරා නික්ම ගොස් ඇති හෙයින් ගෝලයෝ නීති කඩති. හිට්ලර් නොමැති පලමු සාකච්ඡාව සඳහා ඔවුන් රැස් වන අතර වීථි කිහිපයක එපිටින් වූ ජර්මන් පාර්ලිමෙන්තුව මුදුනේ දෑකැත්ත හා මිටිය සහිත රතු ධජය එසවීමට කල්නල් ජනරාල් වැසිලි කුස්නෙට්සොව් ගේ 3 වන සෝවියට් 'කම්පන' හමුදාවට අයත් භට කණ්ඩායමක් සමත් විය.

(c) Chamara Siriwardene

හිට්ලර්ගේ සගයෝ සීසී කඩ යති (1945.05.01)

අප්‍රේල් 30 දා සවස බංකරය තුල අවසන් සාකච්ඡාව ඇරඹෙන විටත් හිට්ලර්ගේ හා ඊවා බ්රෝ්න්ගේ සිරුරු දැවී අවසන්ව තිබුනේ නැත. ඒ මොහොතේ මළ සිරුරු ගැන සිතතූ යමෙක් වී නම් ඒවා විනාශ කොට දැමීමමට දිවුරුම් දී සිටි හිට්ලර්ගේ එස්. එස්. ඇජුටන්ට් වරයා වූ මේජර් (SS Sturmbannführer) ඔටෝ ගුන්චේ පමණි. සාකච්ඡාවට බෝමන් හා ගොබ්ල්ස් ද, ක්‍රෙබ්ස් හා බර්ග්ඩෝර්ෆ් යන ජනරාල් වරුද, ප්‍රමාදවී පැමිණි ‘හිට්ලර් තරුණ කවය’ භාර ආතර් ඇක්ස්මන්ද, ඇතැම් විට චාන්ස්ලර් මන්දිරයේ ආඥාපති එස්. එස්. මේජර් ජනරාල් (SS Brigadefuehrer) විල්හෙල්ම් මොන්කේ ද වූහ. මොන්කේ එහි සිටි බවට කිසිවෙකු තහවුරු නොකලත් ඔහු එහි නොසිටීමට හේතුවක් නැති බව ආචාර්ය ට්‍රෙවෝර් රෝපර් කියයි. රුසියානු මූලස්ථානය හා ගුවන් විදුලි සබඳතා ගොඩ නඟා ගනු ලැබූ අතර සාකච්ඡාවක් සඳහා ජර්මන් නියෝජිතයෙක් පිළිගැනීමට මාෂල් සුකොව් කැමති වෙත්දැයි විමසීමට සුදු කොඩි ගත් පණිවුඩ දූතයෙක් ද සතුරු සීමාවට යැවිණ. ප්‍රතිචාරය සුභදායක විය. මොහොතකට සියළු දෙනා තුල බලාපොරොත්තුවක සේයාවක් පැන නැංගේය. මේ ඔවුනට එල්ලීමට ඉතිරිව තිබූ අවසන් පිදුරු ගසයි. සාකච්ඡා සඳහා දූතයා ලෙස සඳහා ඒකමතිකව තෝරා ගනු ලැබුවේ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ක්‍රෙබ්ස්ය. කලක් මොස්කොව් නුවර යුද තානාපති මුලාදෑනියෙක්ව සිටි ඔහු රුසියානුවන් ගැන යමක් කමක් දත්තේය. චතුර ලෙස ඔවුන්ගේ බස වැහැරීය. යුද්ධයට පෙර සෝවියට් ආඥාදායක ස්ටාලින් විසින් ප්‍රසිද්ධියේ සිප වැළඳගෙන බුහුමන් ලැබුවෙකි මේ ක්‍රෙබ්ස්. ඉතින් තම රුසියානු මිතුරන් සමඟ සාම කොන්දේසි කතා බහ කර ගැනීමට ඔහුට වඩා අන් සුදුස්සෙක් කොයින්ද? අඩු තරමේ රුසියන් මූලස්ථානයේදී ඔහු අතුරුදන් නොකෙරෙනු ඇතැයි ගොබ්ල්ස්ට හා බෝමන්ට අපෙක්ෂා කල හැකි විය. සාම සාකච්ඡා සඳහා ක්‍රෙබ්ස් තම සහායකයා වූ කල්නල් තියඩෝර් වොන් ඩුෆ්වින් සමඟ බංකරයෙන් පිටවන විට මැයි 01 දා අළුයම එලඹෙමින් තිබිණ. රුසියානුවෝ නම් කල මාර්ග කිහිපයක ප්‍රහාර අත් හිටවා නිරවුල් කොට තැබූහ. සුන්බුන් වූ නගරය මැදින් ඔහු සතුරු සීමාව බලා ගමන් කරද්දී තවමත් ගිණිගෙන දැවෙන ජර්මන් පාර්ලිමේන්තුව මුදුනේ සෝවියට් රතු ධජය ලෙලදුනේය. ඔහු අත වූ ගොබ්ල්ස් විසින් මාෂල් සුකොව්ට ලියා දෙන ලද ලිපියේ හිට්ලර් මිය ගිය බවත්, නව ජනාධිපතිගේ අනුමැතියට යටත්ව සාම සාකච්ඡා ඇරඹීමට තමා යෝජනා කරන බවත්, ඒ සදහා ක්රෙලබ්ස්ට බලය පවරා ඇති බවත් සදහන් වූ අතර අවසන් කැමැත්තේ පිටපතක් ද ඊට අමුණා තිබිණ. ක්‍රෙබ්ස් සෝවියට් 8 වන ‘ආරක්ෂක’ හමුදාවේ මූලස්ථානයට සේන්දුවන විට වේලාව අළුයම 3.50 ලෙස රුසියන් වාර්තා දක්වයි. තමා පිළිගත් මුහුණේ කැලැල් ගහන උර හිසේ තරු 3ක් පැළඳි හැඩි දැඩි රතු හමුදා ජනරාල් වරයා ඔහු කලින් දැක තිබුනේ නැත. ඒ අන් කිසිවෙකුත් නොව ස්ටැලින්ග්රාඩ් සටනේ වීරයා වූ කල්නල්-ජනරාල් වැසිලි චිකොව් බවද ඔහු නොදත්තේය. “අද අපි දෙගොල්ලනටම බොහොම වැදගත් දවසක්,” ක්‍රෙබ්ස් කථාවට මුල පිරීය. “අපිට නම් උත්සව දවසක් තමයි. ඔබට කොහොමද කියලනම් දන්නෙ නෑ.” මුහුණේ ලප කැලැල් සහිත රුසියානුවාගේ ස්වරය නොසැලකිලිමත්ය. සුහද කතා වලට එහි ඉඩක් නැත. ගොබ්ල්ස් විසින් ලියා දුන් ලියුම ක්‍රෙබ්ස් ඉදිරිපත් කලේ චිකොව්ට හිට්ලර්ගේ විවාහය හා මරණය ගැනත්, නව රජය ගැනත් කෙටි හැඳින්වීමක් කරමිනි. ඒ කියනතුරාවට රුසියානුවෝ ඊවා බ්‍රෝන් පිළිබඳ හෝ චාන්ස්ලර් මැදුර යට පිහිටි බංකරය පිළිබඳ හෝ හාංකවිසියක් දැන නොසිටියහ. ඒ වගක් නිකමට හෝ නොහැඟවූ චිකොව් තමා ඇසූ දේ මාෂල් සුකොව්ට වාර්තා කලේ අළුයම 4.00 ටය. සුකොව් එකෙනෙහිම සෝවියට් ආඥාදායක ස්ටාලින් ඇහැරවා හිට්ලර්ගේ මරණය ගැනත් ගොබ්ල්ස් ගේ ලිපිය ගැනත් සැල කොට සිටියේය. විස්තරය ඇසූ ස්ටාලින් කෝපවිය. “ඌ එහෙනම් ඒකත් කරා, නීචයා! අපරාදෙ පනපිටින් අල්ලගන්නයි තිබුනෙ. කෝ මල සිරුර?” “ක්‍රෙබ්ස් කියන විදියට පැය කීපෙකට කලින් පිච්චුවලු, ස්ටාලින් සහෝදරයා” “කියනවා ක්‍රෙබ්ස් හරි වෙන කෙනෙක් එක්ක හරි කිසිම සාකච්ඡාවක් අපිට නෑ කියල. කැමතිනම් කොන්දෙසි විරහිතව යටත් වෙන්න පුළුවන්. වෙන විශේෂම දෙයක් නැත්නම් අයිමත් මට ඇහැරවන්න එපා. උදේම මැයි රැළියට යන්න තියනවා.” ස්ටාලින් රිසිවරය තැබීය. ක්‍රෙබ්ස් කියා සිටියේ නව රජය රැස් වන තුරු යටත්වීම ගැන සාකච්ඡා කිරීමට බල තල නැති බවයි. එහෙත් එය නොතැකූ රුසියානුවෝ යටත්විම සඳහා ‍මධ්‍යාහේනය වන තෙක් පමණක් කල් දී ඔහු පිටත් කොට යැව්වෝය. ජර්මන් නියෝජිතයන් තම සීමාවට ඇතුළු වූ පසු සියළු ඉලක්ක වලට දෙගුණයක් වැඩියෙන් බලය යොදා පහර දෙන ලෙස චිකොව් සිය නිළධාරීන්ට නියම කලේය. ආපසු බංකරයට පැමිනි ක්‍රෙබ්ස් සිදුවූ ඇබැද්දිය විස්තර කරන විට වේලාව පස්වරු 1.00ත් 2.00ත් අතර විය යුතුය. ඒ ඇසූ බංකර් වාසීන්ට තම හදවත් කිඳා බසින සෙයක් හැඟින. රතු හමුදාවෙන් බුරුලක් අපේක්ෂා කල නොහෙන බව පැහැදිලිය. රුසියානුවෝ දැන් නිතර නිතරත් වැඩි වැඩියෙනුත් පහර දෙති. බංකරය අවට ප්‍රදේශය දැන් නිරන්තර ෂෙල් ප්‍රහාරවල සෘජු ඉලක්කය වූයේ ක්‍රෙබ්ස් විසින් එහි පිහිටීම හෙලි දරව් කිරීම නිසා නිය යුතුය. දැන් දිවි රැක ගැනීමෙහි ලා ඉතිරිවූ එකම අවස්ථාව නම් ස්පීර් ගඟ තරණය කොට රුසියන් වලලු හරහා කුඩා කණ්ඩායම් ලෙස වයඹ දෙසට පලා යාමයි. “ඕන කෙනෙකුට පිටවෙලා යන්න පුළුවන්. හැබැයි මම ජීවතුන් අතර ඉන්නකම් යටත් වෙන්නෙ නැහැ.” නව චාන්ස්ලර් ගොබෙල්ස් කීය. සවස 3.30ට ඔහු සිය ප්‍රථම හා අවසන් විදුලි පණිවුඩයට අත්සන් කලේය. එය යොමු කොට තිබුනේ උතුරේ සිටි නම් කරන ලද ජනාධිපති වූ නාවුක හමුදාපති කාර්ල් ඩොනියෙට්ස්ටය. “අතිශය රහසිගතය - හදිසියි- අදාල නිලධාරියාගේ අවදානයට පමණි. මහා-අද්මිරාල් ඩොනියෙට්ස් වෙත, නායක තුමා ඊයේ සවස 3.30ට අභාවප්‍රාප්ත විය. අප්‍රේල් 29 දිනැති එතුමාගේ අන්තිම කැමැත්ත මඟින් ඔබ ජනාධිපති ලෙසත්, ආචාර්ය ගොබ්ල්ස් චාන්ස්ලර් ලෙසත් පත් කොට ඇත. පක්ෂ නායක බෝර්මන් අද ඔබ පැමිණ හමුවනු ඇත. මහ ජනයාට හා හමුදාවට කරන නිවේදනය කරන ආකාරය හා වේලාව ඔබට භාරය. -ගොබ්ල්ස්” ඊට බෝමන් අත්සන් තබා තිබුනෙ නැත. කලබලය අස්සේ තමාර බෝමන් ගේ නම සටහන් කිරීම අමතක වූ බව ඩොනියෙට්ස්ගේ සංඥා ලිපි කරුවා හෙලි කලේ බොහෝ පසුවය. අනතුරුව ගොබ්ල්ස් තම පෞද්ගලික කුටියට ගියේය. ‘හිට්ලර් තරුණ කවය’ භාර ආතර් ඇක්ස්මන් ඇතුළු හිතවත්තු වරින් වර පැමිණ ඔහුගෙන් සමුගත්හ. ඒ අතර කාලය තුල බෝර්මන් ඇතුළු සෙසු පිරිස යාබද චාන්ස්ලර් මන්දිරයේ බිම්ගෙයට රැස් වූයේ පලා යන්නන්ගේ පොදු ආරම්භක ස්ථානය වූ බැවිනි. දැඩි මානසික පීඩාවට ලක්ව සිටි ඔවුන්ට ඒ වන විටත් ලඟා වෙමින් පැවති ගොබ්ල්ස් පවුලේ අවසානය දැකීමට තරම් දහිරියක් සිතේ නුවූවා විය යුතුය. මැග්ඩා සිය දරුවන් හය දෙනාට විෂ ශරීර ගත කරන්නට ඇත්තේ රාත්‍රී 7.00 ත් 8.00 ත් අතර බව අනුමාන කල හැක. ඈට මේ සදහා වූ බව කියැවෙන හිට්ලර්ගේ පෞද්ගලික ශල්‍ය වෛද්‍යවරයා වූ එස්. එස්. ලුතිනන් කල්නල් (SS Obersturmbannführer) ලුඩ්විග් ස්ටම්ෆෙගර්ද ආගිය අතක් නොමැති බැවින් සිදුවූයේ කුමක්දැයි නිශ්චය කල නොහැක. පොදු පිලිගැනීම වන්නේ දරුවන් හය දෙනාට අධි සාන්ද්‍ර මෝර්ෆීන් මිශ්‍ර පැණි බීමක් පොවා සිහි නැතිවූ පසු සයනයිඩ් ශරීර ගත කල බවයි. එහෙත් වැඩිමලා වූ 13 හැවිරිදි හෙල්ගාට කිසියම් බරපතල දෙයක් සිදුවන බව වැටහී තිබූ බව හිට්ලර්ගේ ලීකම් වරියක් වූ ජුන්ග් මහත්මිය කියයි. එහෙත් කලින් දින හිට්ලර් සියදිවි නසාගත් බව හෙල්ගා දැන නොසිටියාය. රෑ 8.00ට ගොබ්ල්ස් තම ඇජුටන්ට් වරයා වූ එස්. එස්. කපිතන් (SS-Hauptsturmführer) ගුන්තර් ශ්වැගර්මන් කැඳවීය. “ෂ්වැගර්මන්, ඉතිහාසයේ නින්දිතම ද්‍රෝහී කම වෙලා ඉවරයි. ජනරාල්වරු නායක තුමා පාවා දුන්නා. මම දරුපවුල එක්ක දිවි නසා ගන්නවා. මගේ මළ සිරුර පුච්චන එක තමුසෙට කරන්න පුළුවන්ද?” කපිතන් වරයා එකඟ විය. ගොබ්ල්ස් සිය වෙන්වීමේ තිලිණය ලෙස තම මේසය මත වූ රිදී රාමුවක් සහිත හිට්ලර්ගේ පින්තූරය ඔහුට තෑගි කලේය. මැග්ඩා ගොබ්ල්ස්ද ඔහුගෙන් සමුගත්තාය. අනතුරුව තම රාජකාරී මේසයේ වාඩි වූ ඔහු ගොබ්ල්ස් යුවල පඩිපෙල නැඟ බංකරයෙන් පිටතට ඇවිද යනු දුටුවේ රෑ 8.30ටය. මද වේලාවකින් උද්‍යානය දෙසින් වෙඩි හඬ කිහිපයක් ඇසින. ශ්වැගර්මන් පඩිපෙල නැඟ ඉහලට යනවිට ගොබ්ල්ස් යුවල එහි මැරී වැටී සිටියහ. ගොබ්ල්ස් මැග්ඩාගේ ලයට වෙඩි තබා තමාගේ හිසටද වෙඩි තබා ගත් බව පෙණින. සැක හැර දැන ගනු වස් තවත් වෙඩි කිහිපයක් තැබූ ශ්වැගර්මන් අනතුරුව පෙට්රල් කෑන් කිහිපයක් වත්කොට මළ සිරුරු දෙකට ගිනි දැල්වීය. ගොබ්ල්ස් හා මැග්ඩා ගිණි ඡාලාවක් මැද මොහොතකට අතුරුදන් වෙද්දී ඔහු වහ වහා එතැනින් නික්ම ගියේ දැන් තම තමා ගේ ආරක්ෂාව තම තමාම සපයා ගත යුතුවූ නිසාය. එවිට වේලාව රෑ 9.00 ට ආසන්නය. උද්යානයේදී නැවත ඔහු නැවතූ චාන්ස්ලර් මන්දිරයේ ආඥාපති එස්. එස්. මේජර් ජනරාල් (SS Brigadefuehrer) විල්හෙල්ම් මොන්කේ පිටවීමට පෙර බංකරයට ගිණිතබන මෙන් ශ්වැගර්මන්ට නියෝග කලේය. නැවතත් බංකරය තුලට ගිය ඔහු සාකච්ඡා කාමරය තුල අවසන් පැට්රල් ගැලුමද හලා ගිණි දල්වා වහා ඉන් පිටවිය. ජීවිතයට ආශා කලවුන්ට නාස්ති කිරීමට කාලයක් ඉතිරිව නැත. ‘ඉතා බරපතල’ නිවේදයක් සඳහා සූදානම් වන ලෙස හැම්බර්ග් රේඩියෝව රෑ 9.30 ට තම අසන්නන්ට අනතුරු ඇඟ වීය. අනතුරුව වැග්නර්ගේ හැඟුම් බර ඔපෙරා කොටස් හා බෲක්නර් ගේ හත්වන සිම්ෆනි ඛන්ඩ අතරින් හිට්ලර්ගේ මරණය පිළිබඳ නිවේදනය විකාශය කරල ලදී. බොල්ෂෙවික් වාදයට එරෙහිව අවසානය දක්වා සටන් කල නායක තුමා යුද පෙරමුණේ ඉදිරියෙන්ම සිටිමින් ‘අද සවස’ ඇද වැටුන බව නව රයික්-ජනාධිපති මහා අද්මිරාල් ඩොනියෙට්ස් කියා සිටියේය. අසරණ ඔහු අන් කුමක් කියන්නද? කිසිදා රාජ්‍ය නායකයා වීමට නොසිතූ මෙම නැවියා පිට පාත් වී තිබුනේ නොසිතූ මහ මරාලයකි. චාන්ස්ලර් මන්දිරයේ බිම්ගෙයට රැස්වූ සෙස්සෝ පලායාම සැලසුම් කලහ. කුඩා කණ්ඩායම් ලෙස භූගත උමං මාර්ග ඔස්සේ රජයේ ගොඩනැගිලි කලාපයෙන් පිටවීමටත් අනතුරුව ස්පීර් ගඟ තරණය කොට රුසියන් වලළු හරහා නගරයේ වයඹ දිග තදාසන්න ප්‍රදේශවලට ලඟාවීමත් ඔවුන්ගේ උපාය විය. ඔවුන් හා එක්වීම ප්‍රතික්ෂෙප කල ජනරාල් ක්‍රෙබ්ස් හා ජනරාල් බර්ග්ඩෝර්ෆ් බිම්ගෙය තුල සිය දිවි නසා ගන්නා බව පැවසූහ. මැයි 01 දා රෑ 11.00 සිට කණ්ඩායම් ලෙස ඔවුන් චාන්ස්ලර් මන්දිර පරිශ්‍රයෙන් පිටවන විටත් ආචාර්ය ගොබ්ල්ස් ගේ හා මැග්ඩාගේ සිරුරු තවමත් දැවැමින් පැවතුන අතර කිසිවෙකුත් නොවූ බංකරය තුලින් දුම් රොටු අහසට නැගින. ගොබ්ල්ස්ගේ දරුවන් හයදෙනාගේ මළ සිරුරු බංකරයේ පහත මාලයේ කාමරයක වූ බව කිසිවෙකුටත් සිහිවූයේද නැත. රුසියානු පාබල සේනාංක දැන් පෙනෙන නොපෙන දුර සටන් වදිති. චිකොව් ගේ 08 වන සෝවියට් ආරක්ෂක හමුදා මූලස්ථානයට කෙටි සංඛ්‍යාත ඔස්සේ රේඩියෝ පනිවුඩයක් ලැබෙණ විට රෑ මැදියම පහුවී හෝරාවක් ගතවූයේ නැත. ඒ වන විට පරණ චාස්න්ලර් මන්දිරයට රතු හමුදාව ඇතුළු වී සිටි අතර 9 වන රයිෆල් කෝර්ප්ස් හමුදාවේ ඇනා නිකුනිනා නම් නිර්භීත මේජර් වරිය විසින් එහි වහලය මත නැඟී සෝවියට් ධජය එසවූ බව වාර්තාවූවා පමණි. “මේ 56 වන ජර්මන් පැන්සර් කෝර්ප්ස් බල ඇණි මූලස්ථානයයි! සෝවියට් හමුදා අධිකාරියට යටත් වෙන්න අපි සූදානම්! නැවත කියනවා සෝවියට් හමුදා අධිකාරියට යටත් වෙන්න අපි සූදානම්!!” අපැහැදිලි රුසියන් බසින් කිසිවෙක් ගුවන් විදුලියෙන් මොර දුන්නේය. 1945 මැයි 02 දා බර්ලින් ගැරිසනය රතු හමුදාවට යටත් විය. පෙරවරුවේ චාන්ස්ලර් මන්දිරය භූමියට ඇතුළු වූ ඔවුන් දුටුවේ තුවාල කරුවන් හා වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සමාජිකයන් කිහිප දෙනෙක් හැර සෙසු සියල්ලන් පලා ගොස් ඇති බවය. පෙරදිනයේ සාකච්ඡා කිරීමට පැමිණි ක්‍රෙබ්ස් හා බර්ග්ඩෝර්ෆ් සිරුරු බංකරය තුලද ගොබ්ල්ස් හා මැග්ඩාගේ අඩක් දැවුන සිරුරු මිදුලේ ද තිබුණද හිට්ලර්ගේ හෝ ඊවා බ්‍රෝන් ගේ සිරුරු කොටස් වලට සිදුවූයේ කුමක්දැයි දත් කිසිවෙක් නුවූහ. ගොබ්ල්ස්ගේ දරුවන් 6 දෙනාගේ සිරුරු බංකරයේ පහත මාලයේ තිබී හමුවූවේ ඉන් අනතුරුවය. සෝවියට් ආරක්ෂක නිළධාරීන්ගේ දැඩි කම්පනයට හේතු වූ ඒ දසුන නැරඹීම ඒ මොහොතේ ගොබ්ල්ස්ගේ සිරුර පරීක්ෂා කරමින් සිටි මාෂල් සුකොව් පවා ප්‍රතික්ෂේප කලේය. ඔහු මුහුන පා සිටි උභතෝකෝටික ගැටළුව වූයේ හිට්ලර්ගේ සිරුර වූයේ කුමක්දැයි තහවුරු කොට ගැනීමයි. බෙහෙවින් කෝප වී ස්ටාලින් හිට්ලර් අප්‍රේල් 28 දා බර්ලිනයෙන් පලා යන්නට ඇතැයි වඩ වඩාත් සැක කරන්නට විය. එහෙත් එදින රැයේ ගැටළුව ලෙහා ගැනීමේ පොට පෑදුනේ නොසිතූ ආකාරයටය...

(c) Chamara Siriwardene

හිට්ලර්ගේ සටනක අවසානය...

මැයි 02 දා චාන්ස්ලර් මන්දිර භූමියට ලඟාවූ රුසියානුවන්ට වැදගත් යමක් නොදත් වෛද්ය කණ්ඩායමක්, තුවාල කරුවන් කිහිප දෙනෙක් හා මළ සිරුරු දුසිමක් දෙකක් හැර හිට්ලර් හෝ ඔහුගේ සමීපයන් ගැන වෙනත් වැදගත් තොරතුරක් හමුවූයේ නැත. හිට්ලර් අතුරුදන්ව සිටියේය. අනිත් අතට හිට්ලර් දිවිනසා ගත් බවත් සිරුර පුළුස්සා දැමුන බවත් කලින් දින ක්‍රෙබ්ස් විසින් කල විස්තරය හැරුන කොට එය තහවුරු කොට ගැනීමෙහි ලා උපකාර විය හැකි වෙනත් කිසිදු සාධකයක් ද නොවීය. මේ අභිරහස හේතුවෙන් හිට්ලර් 28 දා අඩි 20,000 ක් එකතැන රවුම් ගසා ඉහලට නැංවූ ගුවන්යානයෙන් පලා යන්නට ඇතැයි සියල්ලෝ නැවත වරක් මොහොතකට සැක කලහ. එහෙත් මෙම ප්‍රදේශයේ සිට නගරයේ විවිධ දිශාවලට සම්බන්ධ වන උමං මාර්ග රැසක් ඇති බව දුටු සෝවියට් ආඥාපති මාෂල් ජෝර්ජි සුකොව් පලා යාමයකට ඇති සියළු ඉඩ කඩ අහුරමින් නගරය වටා වැටලිම වඩාත් දැඩි කරන මෙන් අණ කලේය. රුසියානුවන් චාන්ස්ලර් මන්දිර භූමියට ඇතුළු හෝරාවකට පෙර එතැනනින් පලා ගිය බංකර් වාසීන්ට සිදුවූයේ කුමක්ද? 50 දෙනෙකුගෙන් පමන සමන්විත වූ ඔවුන් කුඩා කණ්ඩායම් දහයකට බෙදී සිටියහ. හිට්ලර්ගේ අජුටන්ට් ගුන්චේ, ගුවන් නියමුවා වූ එස්. එස්. ලුතිනන් ජනරාල් (SS Gruppenfuehrer) හෑන්ස් බවර්, නාවික හමුදාවේ නියෝජිත අද්මිරාල් වොස්, ප්‍රධාන ආරක්ෂක නිළධාරී එස්. එස්. මේජර් ජනරාල් (SS Brigadefuehrer) රැටන්හියුබර්, ලේකම් වරියන් තිදෙනා හා කෝකියා වූ මැසියාර්ලි මෙනෙවිය ඇතුලත් වූයේ එස්. එස්. මේජර් ජනරාල් (SS Brigadefuehrer) විල්හෙල්ම් මොන්කේ අණදුන් පළමු කණ්ඩායමටය. කුඩා කම්බි පාලමක් හරහා ස්පීර් ගඟ තරණය කිරීමට සමත් වූයේ කල් ඇතිව බංකරයෙන් පිට වූ ඔවුන් පමනි. පසුදා එලිය වැටීමත් සමඟ ඔවුනට තවදුරටත් මහා මාර්ග ඔස්සේ ගමන් කල නොහැකි වූයේ සෝවියට් හමුදා පොලිස් බල ඇණී ඒ වන විට ගොඩනැගිල්ලෙන් ගොඩනැගිල්ලට සෝදිසි කිරීම් කරමින් සිටි නිසාය. අසලවූ බිම්ගෙයක් තුලට වහා වහා තම කණ්ඩායම රැගෙන ගිය මොන්කේ දුටුවේ අද්මිරාල් වොස් තවදුරටත් ඔවුන් සමඟ නැති බවය. රුසියානුවන් විසින් ඔහු සිර භාරයට ගෙන තිබිණ. අන් කල හැකි දෙයක් නුවූයෙන් එදින රෑ බෝ වන තුරු බිම්ගෙය තුලට වී සිටීමට මොන්කේ ඇතුළු පිරිස තීරණය කලෝය. ඔවුනට පසුව බංකරයෙන් පිටවූ බෝමන්, ආතර් ඇක්ස්මන් හා හිට්ලර්ගේ පෞද්ගලික ශල්‍ය වෛද්යවරයා වූ එස්. එස්. ලුතිනන් කල්නල් (SS Obersturmbannführer) ලුඩ්විග් ස්ටම්ෆෙගර්, දෙවන ගුවන් නියමුවා වූ එස්. එස්. මේජර් බීට්ල්, හා රියකරු එස්. එස්. මේජර් එරිච් කෙම්ප්කා ඇතුළු පිරිස අයත් වූයේ පසුව වෙනත් කණ්ඩායමකටය. ඔවුන් ස්පීර් ගඟ තරණය කිරීමට අදහස් කල වයින්ඩන්ඩැමර් පාලම අනිත් පස සිට රුසියාන් භටයන් දිගින් දිගටම වෙඩිතැබූ හෙයින් කොහෙත්ම ඉදිරියට යා නොහැකි විය.මාසලින් ගිය ජර්මන් යුද ටැංකි කණ්ඩායමක් ඔවුනට උපකාර කිරීමට ඉදිරිපත් වූයේ මෙතැනදීය . ඉදිරි පෙල යුද ටැංකි කිහිපයක් බධකය පසු කලද පලා යන්නන් එක් රොක්ව සිටි යුද පසුපස ටැංකියට නොසිතූ මොහොතක ෂෙල් වෙඩිල්ලක් වැදී පුපුරා ගියේය. බීට්ල් හා ඇක්ස්මන් ඇතුළු කිහිප දෙනෙක් තුවාල ලදහ. හිස බිම ඇනුන කෙම්ප්කා තාවකාලික අඳ භාවයට පත්විය. පිරිස සීසීකඩ වූහ. එතැනින් එහාට සියල්ලන්ගේ අභිප්‍රාය වූයේ තනි තනිව පන බේරා ගැනීමයි. උතුරු දිශාවට ඇවිද ගිය තුවාල ලබා සිටි ඇක්ස්මන්ට රුසියන් භට කණ්ඩායමක් මුලිච්චි වූයෙන් හේ වහා හැරී වෙනත් දිශාවකට ගියේලු. එවිට බෝමන් හා ස්ටම්ප්ෆෙගර් මුණින් අතට බිම වැටී සිටිනු ඔහු හඳ එළියෙන් දැක ඇත. එහෙත් ලඟාවී හොඳින් ඔවුන්දෙස බැලිමට ඔහුට වෙලාවක් තිබී නැත. මෙසේ කියන්නේ එදා කෙසේ හෝ පන බේරාගෙන පලාගොස් හය මසකට පසුව මිත්‍ර හමුදා අත් අඩංගුවට පත් ඇක්ස්මන්ය. ඔහු ගේ ප්‍රකාශය සත්‍යයක් ලෙස දැන් පිලිගැනී තිබුනද හිට්ලර් මෙන්ම බෝමන් ද එදා බර්ලිනයෙන් පලාගිය බවට පලවී ඇති මත වාද වල දිග පලලද සුළුපටු නැත. ව්‍යාකූලත්වය හා තොරතුරු දැන ගැනීමේ ඉඩකඩ ඇහිරුන තත්වයන් තුල විවිධ මතවාද ඇතිවීම අස්වභාවික නොවේ. මැයි 01 දා අඳුර වැටුන වහාම ජර්මන් යුද ටැංකි 20ක් වයඹ දිග දෙසට කඩා ගෙන යාමට තැත් කල බව දැක්වෙන රුසියන් වාර්තාවක් ඇත. එහෙත් මේ කියන වේලාව වන විට බෝමන් ඇතුළු පිරිස තවමත් චන්ස්ලර් මන්දිරයේ බිම්ගෙය තුලය. එම යුද ටැංකි පෙල විනාශ කරන ලද මුත් වැදගත් පුද්ගලයන් කිසිවෙක් එහි ගමන් කල බවක් එම වාර්තා වල සදහන් වන්නේ නැත. එහෙයින් මෙය වෙනත් ජර්මන් අනුකණ්ඩයක් විසින් දරන ලද හුදෙකලා උත්සාහයක් ලෙස සැලකිය හැක. මේ අතර ස්පීර් ගඟ තරණයකොට රෑ බෝවන තුරු බීර ගබඩාවක සැඟවී සිටි මොන්කේ ඇතුළු පිරිස මැයි 02 දා පස්වරුවේ සෝදිසි කිරීමට පැමිණි රුසියන් හමුදා පොලිස් භටයන් විසින් සිරභාරයට ගන්නා ලදී. හතලිස් අට පැයකට පළමුව දිවිනසා ගන්නා බවට දිවුරා සිටි පිරිස දැන් දෑත් ඔසවා යටත් වූහ. කාන්තාවන් 4 දෙනා එතැනදීම මුදා හරින ලදී. ප්‍රීතියෙන් ඔකඳවූ රතු හමුදාව බර්ලිනයේ ඇද වැටීම සමරන අතර තුර ඉන් තිදෙනෙක් මිත්‍ර පාක්ෂික හමුදා සීමා කරා පලා යාමට සමත් වූහ. ඔවුන්ගෙන් වෙන්වූ කෝකියාවූ මැන්සියාර්ලි මෙනෙවියට කුමක් වීදැයි කිසිවෙක් නොදනිති. හිට්ලර්ගේ ලේකම්වරියක් වූ ජුන්ග් මහත්මිය 1979 දී පැවසුවේ එදා තම කණ්ඩායමින් වෙන්ව ගිය ඈ තවත් ජර්මන් කතුන් පිරිසක් සමඟ මුහු වූ බවය. තමා ඩොයිනිට්ස්ට වාර්තාවක් රැගෙන එතැනින් නික්මගිය බව එදා ඈ කීවාය. ඇගේ කතාවට සවන්දුන් ප්‍රේක්ෂකයෝ බොහෝ දෙනෙක් රූපවාහිනී ලෝලයෝ මිස පර්යේෂන වාර්තා කියවූවෝ නොවූහ. රුසියානුවන් විසින් පලා යන අතරතුර අතඩංගුවට ගෙන අනන්‍යතාව නොවිමසා මුදාහරිනු ලැබූ ඈට ගෙනයාමට තිබූ වාර්තාව කුමක්දැයි ඇසීමට සිටියේ සුළු පිරිසකි. සැබවින්ම ඈ බටහිර ජර්මනියේ නව පරම්පරාව හමුවේ වීරවරියක් ලෙස පෙනී සිටීමට එදා තැත්කල බව අමනාපයට පත් ඉතිහාසඥයන්ගේ මතය විය. අනතුරුව 2002 දී වාර්තාව පිළිබඳ කතාව සංශෝධනය කල ඈ රතු හමුදාව තමා ඇතුළු පිරිස මුදා හල විට මැන්සියාර්ලි මෙනෙවිය රුසියන් සොල්දාදුවන් දෙදෙනෙක් සමඟ යනු දුටු බව 2002 වසරේදී කීවාය. එවිට ඈ බොහෝ වයස්ගතය. රතු හමුදාව බර්ලිනයේ කල අපරාධ පිළිබඳ වාර්තා වැඩසටහන් නිපදවන බටහිර ඉතිහාසඥයන් ඔවුනට අවශ්ය පන්නයේ තොරතුරු සඳහා හොඳින් ගෙවන බව ඇතමෙක් කීහ. ලංකාවේ අපි ඒවා නොදනිමු. එහෙත් 1947 දී ඇගෙන් ප්‍රශ්න කල ආචාර්ය රෝපර් ද ඈ එදා එසේ කිව් බවක් සඳහන් කොට නැත. එහෙත් තම වාර්තාවේ ඔහු සදහන් කල එක් කරුණක් වූයේ ද මිනිස් මනස සිය පෞද්ගලික අවශ්යතාවන් මත සිය ප්‍රකාශ වෙනස් කරන අන්දම ගැන තමා මෙම පරීක්ෂණයේදී මැනවින් අත්දුටු බවයි. ආචාර්ය රෝජර්ට අනුව ස්වාධීන සාක්ෂි දෙකක් නොමැති කිසිම ප්‍රකාශයක් හෝ කට උත්තරයක් පිලි ගැනීම අන්තරාකාරී බවය. යටත් වූවන් ද සිය සැබෑ අනන්‍යතාව සැඟවීමට සෑම උත්සාහයක්ම දැරූ බවට සැකයක් නැත. රුසියානුවෝ ද ඒබව මැනවින් දැන සිටියහ. අතඩංගුවට ගත් සිරකරුවන්ගේ ප්‍රකාශ එකිනෙක ගලපමින් ඒ වනවිටත් හිට්ලර්ගේ අවසන් දර්ශන පෙල යලි සකස් කරමින් සිටි සෝවියට් හමුදා ඔත්තු සේවය බිම්ගෙය තුල සිට ගෙන ආ සිරකරුවන් අතර සිටි හිට්ලර් ගේ ප්‍රධාන එස්. එස්. ආරක්ෂක නිළධාරී මේජර් ජනරාල් රැටන්හියුබර් හඳුනා ගත්තේ එලෙසිනි. ඒ අනුව මල සිරුර පිළිස්සීම භාරව සිටි එස්. එස්. මේජර් ගුන්චේ පමණක් නොව ඒව වල දැමූ එස්. එස්. භටයාටද ඇත්ත කීමට සිදු විය. ඔවුන් ගේ මග පෙන්වීම යටතේ චාන්ස්ලර් උයනේ එක් ස්ථානයක නොගැඹුරු ලෙස වලලා තිබූ හනු කොටස් ඇතුළු පිළිස්සුන සුන්බුන් කිහිපයක් ගොඩගන්නා ලදී. 1945 මැයි 07 දා ගෝරින් දකුණු ජර්මනියේදී අමෙරිකානු හමුදාවට භාර විය. බර්ලිනයෙන් පිට සිටි ස්පීර්, ඩොනියෙට්ස්, රිබන්ට්රෝප් ඇතුළු සෙස්සෝ ද මිත්‍ර ජාතීන් විසින් සිරභාරයට ගනු ලැබූහ. දෙදිනකට පසු ජර්මන් මහ සෙනෙවි මණ්ඩලය මිත්‍ර පාක්ෂික හමුදාවේ ප්‍රධාන අණදෙන නිළධාරියාට හා රතු හමුදාවේ ඉහල අණ දෙන මූලස්ථානයට යටත් විය. ලියැවිල්ලට ජර්මනිය වෙනුවෙන් අත්සන් තබන ලද්දේ ජනරාල්-ෆීල්ඩ්මාෂල් කයිටල් විසිනි. එදිනම සවස හිට්ලර්ගේ දන්ත වෛද්ය සහායිකාව වූ කැතී හියුසර්මන් ගේ බැවේරියාවේ නිවසට පැමිණි සෝවියට් ඔත්තු සේවා නිළධාරීහූ ඇය අත්ඩංගුවට ගත්හ. ඈ සතුව තිබූ හිට්ලර්ගේ හා ඊවාගේ දන්ත වාර්තා මල සිරුරුවල පිළිස්සුන හනු කොටස් හා සැසදීමේදී ඒවා සර්වසම වූ බව රුසියන් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ. මැයි 13 වන විට සියල්ල තහවුරු වී තිබුණද දේශපාලන හේතූන් මත එම වාර්තාව ප්‍රසිද්ධ නොකිරීමට ස්ටාලින් ගත් තීරණය හේතුවෙන් රුසියානුවන් දිගින් දිගටම කියා සිටියේ හිට්ලර් ගේ මල සිරුර හමු නුවූ බවත් හිට්ලර් බර්ලිනයෙන් පලා යන්නට ඇති බවත්ය. රතු හමුදාවට දිගින් දිගටම නැගෙනහිර ජර්මනියේ රැදී සිටීමට එය අවශ්‍ය තර්කයකි. මේ සියල්ල නිහඬව බලා සිටි හිම්ලර් දිනක් තම සහායකයින් කිහිප දෙනෙක් සමඟ පොලිස් නිළධාරීන් මෙන් සැරසී හොරට සෑදූ බලපත්‍ ඩද ගෙන දකුණ බලා ගමන් ඇරඹීය. ඔහුට අරමුණක් තිබුනේ නැත. හිම්ලර් එහෙමකට වෙස්වලාගෙන සිටියේද නැත. බ්‍රිතාන්‍ය හමුදා මුරපොලකදී ඔහු අත්ඩංගුවට ගෙන හඳුනා ගන්නා ලදී. එකෙනෙහිම ඔහු දත් කුහරක සඟවාගෙන සිටි වීදුරු සයනයිඩ් කරල් සපා මැරී වැටුනේය. අවසන් ගුවන් හමුදාපති රිටර් වොන් ග්‍රයිම් ද කිහිලි කරුවකින් තැනින් තැන යමින් සිටියදී අත්ඩංගුවට පත්ව දිවි නහ ගත්තේය. මිත්‍ර ජාතීන්ගේ සිරභාරයට පත් ගෝරින්, ස්පීර්, රිබන්ට්රොප්, කයිටල්, ජෝඩ්ල් හා කැල්ටන්බෘනර් ඇතුළු ප්‍රධාන පෙලේ නායකයන් 22 කට 1946 නිව්රම්බර්ග් හි පිහිටවූ විශේෂ අධිකරණයක මානුෂිකත්වයට එරෙහි අපරාධ වෙනුවෙන් නඩු පවරන ලදී. විනිශ්චය මණ්ඩලයේ රුසියානුවන් අසුන්ගෙන සිටීම නිසා ඔවුනට උපරිම දඬුවම් ලැබෙන බවට සැකයක් නොවීය. ස්පීර් පුනරුත්ථාපනය ලැබීමට කැමතිව සමාව ඇයද සිටියේය. ඔහුට හිමි වූයේ 20 අවුරුදු සිර දඬුවමකි. වැඩි වැරදි වැඩ කොට නොතිබූ නව ජනාධිපති ඩොනියෙට්ස් ට ද වසර 10ක සිර දඬුවමක් ලැබිණ. 1941 වසරේ සාම කතා සඳහා බ්රි්තාන්යවයට පියාසර කොට අත්ඩංගුවට පත්ව සිටි රුඩොල්ෆ් හෙස්ට සියල්ල ‘අමතක’ වී තිබිණ. පුද්ගලයන් හඳුනා ගැනීමට පවා ඔහුට නොහැකි විය. එහෙත් ජීවිතාන්තය දක්වා සිර දඬුවමකින් ඔහු මුදා ගැනීමට අසනීපය සමත් වූයේ නැත.

ප්‍රධාන චූදිත ගෝරින් පමණක් සමස්ථ අධිකරණ ශාලාව ග්‍රහණය කොට ගනිමින් තම සියළු  ක්‍රියාමර්ග ජාතියේ යහපත වෙනුවෙන් ගත් හෙයින් තමා කණගාටු නොවන බව කියා සිටියේය. “දෙවියන් වහස්සේගේ කැමැත්ත එසේ විය,” අනතුරුව ඔහු සාක්ෂි වශයෙන් දෑත් අහසට දිගු කොට කීය. හිට්ලර් කෙරේ ඔහු සිය පක්ෂපාතීතව සැඟවූයේ නැත.  රිබන්ට්‍රොප් පසු වූයේ ඇවිදින මල මිණියක් ගානේය. ජෝඩ්ල් හා කයිටල් තම වාරයන් හිදී ජර්මන් හමුදා සම්ප්ර්දායන්  ප්‍රදර්ශනය කිරීමට ගත් උත්සාහය ඔවුන්ගේ බල සම්පන්න විනිසුරන් කුපිත කලා පමණි. ගෝරින් හැර අන් සියළු දෙනා එල්ලා මරා දමන ලදී. ගෝරින් දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙරදා සවස සිය දිවි නසා ගත්තේය. ඔහුට සයනයිඩ් විෂ ඒ සදහා ලබා දෙන ලද්දේ කවුරුන් විසින්දැයි හෙලිවී නොමැත. ඇතැම් වාර්තා කියන්නේ ඔහු නහරයක් කපා ගත් වගය. කෙසේ වුවද ගෝරින් පමණක් සිය දිවි නසා ගැනීමට පෙර මනා ලෙස නඩු විභාගයට මුහුණ දුන් බව ඔහුගේ සතුරන් පවා අමනාපයෙන් යුතුව වුව එකඟවූ කරුණකි.
සියළුම ජර්මන් සොල්දාදුවන්ට පොදු සිර දඬුවමක් නියම කෙරුණද බොහෝ යුද අපරාධ වලට වගකිව යුතු යැයි සැක කෙරුන එස්. එස්. නිළධාරීහූ සැඟව පලා ගියහ.             

මේ අතර ඔස්ට්‍රියාවේ සිටි හිට්ලර්ගේ මිතුරා වූ කුබිසෙක් ද කාගෙදෝ ඔත්තුවක් මත ඇමෙරිකනු හමුදා අත් අඩංගුවට පත්විය. ඇඩොල්ෆ් දැකීමට ඔහු ඉඳහිට ජර්මනිට ගිය බවත් බීරූත් හි වැගනර් ප්‍රසංගයට දෙදෙනා එකට සහභාගී වූ බවත් ලින්ස් හි පුරවැසියෝ දනිත්. ඇමෙරිකානුවෝ ඔහුගෙන් විවිධ ප්‍රශ්න ඇසූහ. “තමුසෙ හිට්ලර්ගෙ යාළුවා? මොනවද තමුසෙට මිනිහ දුන්නෙ? සල්ලි, ගෙයක්, වාහනයක්, ලස්සන කාන්තාවො?” “මොනවත් නෑ” “මොනවා?” අමෙරිකානුවෝ මවිත වූහ. “තමුසෙ මිනිහ හම්බු උනේ තනියමද? ආරක්ෂකයො ලඟ හිටියද?” “කවුරුවත් හිටියෙ නැහැ” “මොනවා? තමුසෙ හුඟක් ලඟින් ද හිටියෙ?” “අපි එක ලඟ ඉඳන් කතා කරේ” “ඒ කියනන්නෙ තමුසෙට මිනිහව මරන්න අවස්ථාව තිබුනා? ඇයි මැරුවෙ නැත්තෙ ඒ වෙලාවෙම? “ඒ මගේ යාළුවා…” කුබිසෙක් දහසය මසක් සිරගතව සිටියේය. හිට්ලර්ගේ බලසම්පන්න තුන්වන රයික් රාජ්‍යය බිදී ගියේය. ඔස්ට්‍රියාව යලි වෙන්වූ අතර නැගෙනහිර ජර්මනිය සෝවියට් හමුදා පාලනයට නතු වූවාය. අතිශය බලවත් වූ රුසියාව සිය ඓතිහාසික සිහිනය සැබෑ කොට ගැනීමට සමත් විය. පෝලන්තය, රුමේනියාව, බල්ගේරියාව, හන්ගේරියාව, චෙකොස්ලොවැකියාව ආදී පරිවාර රාජ්‍ය වලින් සෑදුන බටහිර ආවරණ කලාපයක රැකවරනය ලැබීම කලක් මුළුල්ලේ ඈ තුල වූ සිහිනයකි. 1948 දී විපතට පත් යුදෙව්වන් වෙනුවෙන් ඊශ්‍රායලයක් බිහි කෙරුන අතර යුද්ධයේ බරින් හෙම්බත්ව සිටි මහා බ්‍රිතාන්‍යය ඉන්දියාව හා ලංකාව ඇතුළු පෙරදිග යටත් විජිතවලින් වලට නිදහස ප්‍රදානය කරමින් තොමෝද නිදහස් වූවාය. රුසියානු පෙරමුණ ජයගත් වහා ඉන්දියාවට නිදහස රැගෙන දෙන බවට වරක් තමා බැහැ දැකීමට පැමිණි ඉන්දීය නිදහස් සටන්කාමියෙක් වූ සුභාෂ් චන්ද්‍රා බෝස් ට හිට්ලර් පොරොන්දු වී සිටි බව ලන්ඩනය දනී. ඒ සැලසුම අඩාල වූයේ හිට්ලර් රුසියන් යුද්ධය පරාද වීම නිසාය. රතු හමුදාව නැගෙනහිර යුරෝපයේ කඳවුරු ලනු දැක වඩාත් බියවූ බ්‍රිතාන්‍යය 1949 දී අමෙරිකාව හා ප්‍රංශය ඇතුළු මිත්‍ර ජාතීන් හා එක්ව නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය පිහිටුවා ගත්තාය. හිට්ලර්ගේ දෙවන ලෝක යුද්ධය අවසන් කල යුරෝපය එමගින් තවත් සීතල යුද්ධයකට අවතීර්ණ විය. රහසිගත ස්ථානයක වල දමා තිබූ හිට්ලර්ගේ ඊවා බ්රෝවන් ගේ ගොබ්ල්ස් පවුලේ සුන්බුන් වැඩි යහපත තකා විනාශ කොට දමන ලෙස 1970 වසරේ එවකට කේ. ජී. බී නායක යුරී අන්ද්‍රපොව් නියම කල බව සෝවියට් ලේඛන කියයි. මේවා යම් දිනෙක වඩාත් රුසියන් විරෝධී නූතන නාසිවාදීන්ට උත්තේජනයක් වනු ඇතැයි හේ බිය විය. 1989 සෝවියට් කඳවුර බිද වැටීමත් සමඟ බෙදුන ජර්මනිය යලි එක්සත් වූවාය. හිට්ලර්ගේ මරණ පරීක්ෂණ වාර්තාව ප්‍රසිද්ධ කෙරුනේද විනාශ කල හිට්ලර්ගේ හිස්කබලේ ඉතිරි කොටගත් සාම්පලයක් 2000 වසරේ රුසියානුවන් විසින් මුල් වරට ප්‍රදර්ශනය කලේද ඉන් අනතුරුවයි....

(c) Chamara Siriwardene

හිට්ලර්ගේ කතාවට පසුවදන

පරම්පරා ගනනක් පුරා කටින් කට සම්ප්‍රේෂණය වූ වෘත්තාන්ත ඔස්සේ ලේඛණ ගතවූ ඈත ඉතිහාසයට සාපේකෂව දෙවන ලෝක යුද්ධය පිලිබධ ඇති විශේෂත්වය වනුයේ හිට්ලර්ගේ කතාව මුළුමනින්ම සජිවී සාක්ෂි මත පදනම් වීමත්, ඒ හේතුවෙන්ම නිවරද්‍යතාව අතින් සෙසු ඓතිහාසික වෘත්තාන්ත වලට වඩා ඉහල හා විනිවිද දැකිය හැකි වීමත්ය. එහෙත් නිරාකරනය කොට ගැනීමේ සියළු අවස්ථා තිබියදී පවා හිට්ලර් පිළිබඳ ප්‍රචලිතව ඇති හුදු කට කතා අසන කල එවන් අවස්ථා නොතිබූ ඈත ඉතිහාසයේ වෘත්තාන්ත වල අඩංගු දුර්මත වල ඝනත්වය හා සාන්ද්‍රණය කෙතෙක්දැයි සිතා ගත හැකි වනු ඇත. මෙම ලිපි පෙල මඟින් මූලික වශයෙන් අවධානය යොමු කෙරුනේ සිද්ධීන් හා ඉලක්කම් මත නොව හිට්ලර් ගේ චරිතයේ මුල් ස්වභාවයත්, එහි විකාශයත් නාසි වාදයේ මූලික ප්‍රතිපත්ති හා දෙවන ලෝක යුද්ධය කෙරේ එහි බලපෑමත්ය. එමෙන්ම මෙම තත්වයන් දහනව වන සියවසේ අග හා විසි වන සියවසේ මුල්භාගයේ යුරෝපයේ දේශපාලන පසුබිම තුලින් දැකීමටද විශේෂ උත්සහායක් දරා ඇත. මක්නිසාද යත් රුසියානු සාධකය බැහැර කොට නාසි වාදය අර්ථදැක්විය නොහැකිවා සේ සර්ව ජර්මන් වාදය පිළිබද නිසි අගැයීමෙන් තොරව හිට්ලර්ගේ චරිතය අවබෝධ කොටගැනීම තැත් කිරීම ද නිශ්ඵලය. හිට්ලර් ට ඉතිහාසයේ හිමිවන්නේ රෝමය වැනසූ ඇලරික් හා දෙවියන්ගේ ශාපය ලෙස හැඳින් වුන ඇටිලා ට යාබද අසුනක් මිස මහා ඇලෙක්සැන්ඩර්ට හෝ ජුලියස් සීසර්ට සමාන ස්ථානයක් නොවන බවට කිසිදු විවාදයක් නැත. එහෙත් ලෝක යුද්ධ දෙකේ හෝ වර්සෙල්ස් ගිවිසුමේ පාර්ශ්ව කරුවකු නොවීම හේතුවෙන් වඩාත් නිදහස් ලෙස ගැටලුව දෙස බැලීමේ හැකියාව ඇති අප හිට්ලර් අතින් පීඩාවට පත් ඔහුගේ සතුරන්ගේ ඇස් කණ්නාඩිය තුලින්ම ඔහු දෙස බැලිය යුතුද නැත. ජර්මන් හෝ යුදෙව් හෝ ස්ලාව් ජාතීන් ජීවත් නොවන අපේ රටේ වඩාත් නිදහස් ලෙස දෙවල් දැකීමේ හැකියාව අපිට තිබේ. එමෙන්ම අපේ රටේ මිනිසුන් හිට්ලර් එදා සටන් වැදුනේ 500 වසරක් අප යටපත් කොටගෙන අධිරාජ්‍ය වාදීන්ට එරෙහිව යැයි කියමින් හිට්ලර් වීරයකු ලෙස සැලකීමට තරම් පටු දෘෂ්ටියකින් යුත්තෝද නොවෙත්. ඕගස්ට් කුබිසෙක් ගේ Young Hitler I Knew, හිට්ලර් ගේ ‘My Struggle’ , මාෂල් සුකොව් විසින් රචිත Reminiscences and Reflections, ඉයන් කර්ෂෙව් ගේ Hubris සහ Nemesis, ඇන්තනි රීඩ් ගේ Devil’s Disciples, කොර්නේලිස් රයන් ගේ Last Battle හා ආචාර්ය රෝපර්ගේ Last Days of Hitler යන පොත් මෙම ලිපි පෙළට පාදක වී ඇතත් එම කරුණු පෙලගැස්වීමට උත්සහ දරා ඇත්තේ ඉහත සිද්ධාන්තයට අනුව හා හිට්ලර් යනු අද්භූත ප්‍රපංචයක් නොව තවත් එක් මිනිසෙක්ය යන ආකල්පය මතය. එහි සාර්ථකත්වය විනිශ්චය කිරීම කියවන්නා සතු කාරියකි. -නිමි

Chamara Siriwardene

ඉතිහාසයට තුල වැලලී ගිය ජර්මනියේ 'ටජ් මහල'

ස්වීඩ්න් ඉහල සමාජයේ ප්‍රභූ වරයකු මෙන්ම ගවේශකයකු හා ආචාර්ය වරයකු වූ එරික් වොන් රොසෙන් සිටුවරයා ට 1920 දිනෙක ස්ටොල්ක්හොම් නුවර වයඹ දිගින් පිහිටි තම බලකොටුවට යාම සඳහා පුද්ගලික ගුවන් නියමුවෙක් උවමනා විය. ඔහුට යාමට තුබුනේ හදිසි ගමනකි. බොහෝ වැහි සහිත කුණාටු දිනෙක පියාසර කිරීමට ඉදිරිපත් වන ගුවන් නියමුවෙක් සිටිත්ද? සිටු වරයාගේ ඉල්ලීමට සාවධානව ඇහුම් කන් දුන් Svensk Lufttrafik නම් ගුවන් සමාගමේ සේවය කල එක් වාණීජ ගුවන් නියමුවෙක් පියාසර කිරීමට ඉදිරිපත් විය. විනීත ගතිපැවතුම් ඇති හේ ඉතා කඩවසම් ය. වයස 28කි. ඔහු සිටු වරයා බොහෝ පරෙස්සම් ඇතිව මහ වැස්සේ රැගෙන ගිය පමණක් නොව බල කොටුව තුල වූ තණ පිට්ටනියකට ඉතා හුරුබුහුටි ලෙස ගුවන් යානය ගොඩ බැස්වූයේ මාලිගාවේ කවුළු තුලින් බලා සිටි සිටු පවුල මවිත කරවමිනි. බලවත් සේ පැහැදී සිටි සිටුවරයා එදින තම අමුත්තා ලෙස බලකොටුවේ ගත කරන මෙන් කඩවසම් ගුවන් නියමුවාගෙන් ඉල්ලා සිටියේය. එදා රෑ කෑම මේසය බොහෝ විනෝද ජනකය. අතිශය වැදගත් ලෙස හැසිරුන අමුත්තා තමා ජර්මන් ගුවන් හමුදාවේ හිටපු කපිතන් වරයෙකු බවත්, යුද්දයෙන් පසු පෞද්ගලික ගුවන් සමාගමක සේවය කරන බවත් තමාගේ නම හර්මන් ගෝරින් බවත් කියා සිටියේය. සිටුවරයාගේ නෑනා වූ කැරින් වොන් කැන්ට්සොව් බැරන් වරියට එදායින් පසු සිහිනෙන් පවා පෙනුනේ පදක්කම් ගැසූ පියසර ශූරී කපිතාන් ගෝරින්ය. ගෝරින්ට වඩා හතර අවුරුද්දක් වැඩිමහල් කැරින් ඒ වන විටත් ස්වීඩ්න් හමුදා නිළධාරියෙකු වූ නීල්ස් වොන් කැන්ට්සොව් සමඟ විවාහ වී සිටියද ඔවුහු වෙන්ව ජීවත් වූහ. ඈට වයස 7 ක පුතෙක්ද විය. ඕවා මොනවද? ඈ කඩවසම් ගුවන් නියමුවා හා පෙමින් වෙළුනාය. අතිශය බරපතල පුද්ගලයකු වූ තම පියාට වඩා කොල්ලාටද හිත ඇල්ලුවේ නිතර විනෝදයෙන් සිටින කපිතාන් ගෝරින් ය. එහෙත් කැන්ට්සොව් බැරන් වරිය වයසින් බාල ජර්මානුවෙකු හා හාද වී ඇති බව ස්ටොල්ක්හ්ම් ඉහල සමාජයේ ලැව්ගින්නක් මෙන් පැතිර යාමට වැඩි කලක් ගත වූයේ නැත. මේ මහ අපවාදය නිසා සිටුපවුලට විසුමක් නැති විය. එහෙයින් ගෝරින් තම පෙම්වතියද සමඟ සිය රට පැමිණ බැවේරියාවේ දඩ මැදුරක පදිංචි විය. " උඹට රටේ ලෝකෙ වෙන ගෑනියෙක් හිටියෙම නැද්ද?" ඒ ඇසූ ගෝරින්ගේ මව බෙරිහන් දුන්නාය. තරුණ ගුවන් නියමුවා කිසිවක් ගනනකට නොගත්තේය. 1922 වසරේ ගෝරින් බැවේරියාවේ කුඩා දක්ෂ්ණාංශික පක්ෂයක් හා එක්විය. එහි නායකයා වූයේ ලෝකයුද්ධයේ කෝප්‍රල් වරයකු වූ විසුළු උඩු රැවුලකින් යුත් හීන්දෑරි තරුණයෙකි. ඔහු ඇඩොල්ෆ් හිට්ලර් නම් විය. දෙදෙනා අඹ යහළුවෝ වූහ. හිට්ලර්ගේ දකුණත වූයේ ගෝරින්ය. නොබෝ දිනකින් සිය පළමු සැමියාගෙන් දික්කසාද වූ කැරින් ගෝරින් හා විවාහ වූවාය. 1923 අසාර්ථක නාසි විප්ලවයේදී හිට්ලර් අත් අඩංගුවට පත් විය. කලවයට වෙඩි වැදී වැටී සිටි ගෝරින් පොලි සියෙන් වසන්ව සැඟවී සිටියේ බෙලින් නැමති යුදෙව් ජතික ලීබඩු වෙලෙන්දෙකු ගේ නිවස තුලය. වහා එහි දිව පැමිණි කැරින් යුදෙව් පවුලට ස්තුති කොට රෑ බෝ වූ පසු දුර්වල වී සිටි සැමියාද රැගෙන දේශ සීමාව පැන ඔස්ට්රියාවට පලා ගියාය. ගෝරින්ට වරෙන්තු නිකුත් කොට ජර්මනියේ දේපොල ද රාජසන්තක වූයෙන් ඔවුනට උදාවූයේ අතිශය දුක්බර සමයකි. ගෝරින්ගේ බේත් හේත් සඳහා ඈ තම කණකර පවා විකුණා දැම්මාය. හමසකට පසු හිට්ලර් නිදහස් විය. කැරින් සිය සැමියාගෙන් ලිපියක්ද ජර්මනියට පැමිණ ඔහු හමුවූවාය. ලිපිය කියැවූ හිට්ලර් සේප්පුව හැර එහිවූ ජ්ර්මන් මාර්ක්, ඉතාලී ලීරා හා ඔස්ට්‍රියන් ක්‍රවුන් නෝට්ටු ගණන් නොකරම මල්ලකට දමා කැරින්ට දුන්නේය. නඩු හබ වලට පැටලී ණය තුරුස් වී සිටියද හිට්ලර් මුදලට ලෝබකම් කලේ‍ නැත. 1927 සියළු දේශපාලන චූදිතයන්ට ලබා දුන් පොදු සමාව යටතේ ගෝරින් හා කැරින් නැවත ජර්මනියට පැමිණ බර්ලිනයේ පදිංචි වූහ. ගුවන් සමාගම නියෝජිතයෙකු වශයෙන් රැකියාව ලද කපිතන් ගෝරින් දේශපාලනයෙන් ඈත් ව තමාගේ පාඩුවේ සිටියද මේ වනවිට ප්‍රමුඛ පෙලේ පක්ෂ නායකයකු වූ හිට්ලර්ගෙන් නොවේ ඊට ඉඩක් ලැබුනේ. 1928 චන්දයට නාම යෝජනා ලැබූ ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් විය. පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝරින් බර්කිනයේ සන්භාවනීය පුර වැසියෙකි. නැවතත් පෙම් යුවල ගේ කල දවස යහපත් විය. ඔවුහු බර්ලිනයේ සුඛෝපභෝගී නිවසක විනෝදයෙන් ජීවත් වූහ. හිට්ලර් අවිවාහකවූ බැවින් නාසි පක්ෂයේ පළමු කත ලෙස සැලකුනේ කැරින්ය. හොඳ කල වැඩි කලක් පැවතුනේ නැත. 1931 කැරින් බරපතල ලෙස රෝගාතුර වූවාය. ඈට නිව්මෝනියාව වැලඳින. එහෙත් හිට්ලර් විසින් තම සැමියාට තෑගි කල රතුපාට විල්ලුද අසුන් සහිත මර්සිඩීස් රියේ නැඟී සවාරි යාම නිසා අසනීපය තවත් වැඩිවිය. එ අතර වාරයේ තම මවගේ හදිසි මරණය අසා ඈ අවමඟුලට සහභාගී වීමට ස්වීඩනය බලා ගියේ වෛද්‍ය උපදෙස්ද නොතකාය. එහිදී ඇගේ අසනීපය උත්සන්න විය. බලවත් සන්තාපයට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝරින් ඇගේ ලෙඩ ඇඳ අසලින් නොසෙල්වී වී කදුළු සැලීය. ඒ වනවිටත් ජර්මනියේ විපක්ෂ නායකයා වූ හිට්ලර්ට ජනාධිපති වරයා හමුවට පැමිණෙන ලෙස කැඳවීමක් ලැබුනේ ඒ අතරය. කොන්සෙර්වේටිව් රදලයකු වූ ජනාධිපති හින්ඩන්බර්ග් තුල රැඩිකල් නාසි පක්ෂය ගැන හෝ සාමාන්‍ය පන්තියේ පුද්ගලයකු වූ ඔස්ට්‍රියාවේ උපන් හිට්ලර් ගැන මනාපයක් නැත. එහෙත් ඉහල සමාජය දන්නා හදූනන ස්වීඩ්න් සිටු පවුලකින් කරකාර බැඳගත් ප්‍රසියාවේ ගෝරින්ට ඔහු බොහෝ මනාපය. මේ හේතුවෙන් හින්ඩන්බර්ග් සමඟ සාකච්ඡා කිරීමට ගෝරින් නැතුවම බැරි පුද්ගලයකි. "තමුසෙ නැතුව ජනාධිපති ලඟට ගිහින් වැඩක් නැහැ," හිට්ලර් දුකථනයෙන් කතා කොට කීය. මේ ඇසූ මරණ මංචකයේ සිටි කැරින් වහා ජර්මනියට ගොස් සාකච්ඡාවට යන ලෙස බල කලාය. ගෝරින් ඊට එකඟ වූයේ කැමැත්තෙන් නෙවේ. එහෙත් ඈ පණ පිටින් දකින අවසාන වතාව එය වග හේ නොදැන සිටියේය. 1931 ඔක්තෝබර් 18 දා කැරින් අවසන් හුස්ම හෙළුවේ ගෝරින් ජර්මනියේ සිටියදීය. පිස්සෙක් මෙන් ස්වීඩනයට පැමිනි හේ පොළොවේ හැපී වැලපුනේය. ඇගේ සිරුර ස්වීඩනයේ පවුලේ සොහොන් බ්මේ තැන්පත් කරන ලදී. අවමඟුලින් පසු ආපසු ජර්මනියට පැමිණී ගෝරින්ට නිවසේ සිටිය නොහැකි වූයේ මොහොතක් පාසා කැරින් සිහි වීම නිසාය. ඔහු බර්ලිනයේ කයිසාර්හොෆ් හෝටලයේ කාමරයක නැවතී දේශපාලන කටයුතු වලට මුළු කාලය යෙදවීය. ඔහු මෝර්ෆීන් භාවිතයට තදින්ම ඇබ්බැහිවූයේ මේ කාලයෙදී යය් කියති. 1933 නාසි වරු ජර්මනියේ බලයට පත් වූහ. චාන්ස්ලර් හිට්ලර්ගේ කැබිනෙට්ටුවේ ගුවන් ඇමති වූයේ කපිතන් ගෝරින්ය. කොන්සෙර්වේටිව් ඉහල පැලැන්තිය තුල නාසි පක්ෂය නියෝජනය කල වූ ඔහුට ජනාධිපතිවරයා මේජර්-ජනරාල් පට්ටමක්ද පිරි නැමුවේය. එහෙත් ගෝරින්ට සිය බිරිඳ අමතකොට නොහැකි විය. ඊසාන දිග බර්ලිනයේ ශෝර්ෆ්හයිඩ් වනාන්තරයේ අක්කර ලක්ෂයක භූමි භාගයක දැවන්ත දඩ මැදුරක් ඉදි කලේ සිය සිතුවිලි එක්තැන් කොට ගනු පිණිසය. තෙමේම ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ හිට්ලර් ද මේ කටයුත්තට බොහෝ උනන්දු විය. එය 'සිටු වරිය' ගේ රුචියට අනුව සැලසුම් කලයුතු බවට හේ ගෝරින්ට බලකොට සිටියේය. අවසානයේ දැවැන්ත දඩ මැදුර 'කැරින් ශාලාව' [Carinhall] යයි නම යොදන ලදී. එය දැවැන්ත විල් දිය ඇලි වලින් වට වී ඇත. අවට වන සතුන්ගේ ක්ෂෙම භූමියකි. ඒ කැරින් ගෝරින් ආශා කල පරිසරයයි. ස්වීඩනයේ මිහිදන් කල බිරිඳගේ සිරුර ජර්මනියට ගෙනවිත් මෙහි තැන්පත් කිරීමට ගෝරින්ට සිත් වූයේ න් අනතුරුවය. ගෝරින් වැනි පුද්ගලයෙකුට සිතු දේ කීරීමට ගත වන්නේ නිමේෂයකි. කෙටි රාජ්‍යතාන්ත්‍රික දැනුම් දීමකින් පසු ඔහු එස්. එස්. කණ්ඩායමක් ස්වීඩනයට පිටත් කොට හැරියේය. ඔවුහු කැරින් ගේ මිනී පෙට්ටිය ගොඩ ගෙන ස්වස්තික ධජයකින් වසා මලින් සැරසූ බෝට්ටුවකින් මහත් ගරු සරු ඇතිව උතුරු ජර්මනියට රැගෙන ආහ. සිය මලගිය බිරිය පිළිගැනීමට ගෝරින් මේජර් ජනරාල් තැන ජැටියට පැමිණ සිටියේය. කැරින්ගේ තෙවසරක් දිරාපත් වූ සිරුර සහිත සින්ක් දෙනක් තුල බාහන ලද මිනීපෙට්ටිය රැගත් හමුදා දුම්රිය ශෝර්ෆ්හයිඩ් වනය තුලට ගමන් කරන අතර ප්‍රසියාව පුරා ශෝක කාලයක් ප්‍රකාශයට පත්කොට තිබිණ. දුම්රිය නැවතුමේ සිට 'කැරින්ශාලාවට' මිනී පෙට්ටිය රැගෙන ගියේ ජර්මන් හමුදා බෑන්ඩ් කණ්ඩායම සීග්ෆ්‍රීඩ් ගේ අවමඟුල් තනුව වයන අතරය. චාන්ස්ලර් හිට්ලර් පෙරහැර ඉදිරියෙන්ම ගමන් කලේය. අනතුරුව දේහය දඩ මැදුර ඉදිරිපිට විල් තෙරේ තැනූ විශේෂ සමාධිය තුල තැන්පත් කරන ලදී. ගෝරින් සැනසීමට පත්විය. ඔහු බොහෝ විට සමාධිය තුලට වැදී මිය ගිය බිරිය අසලට වී සිටියේය. තමා දැකීමට ආ රාජ්‍ය නායකයන් තානාපති වරුන් ඇතුළු අමුත්තන්ට කැරින් ශාලාවේ අසිරිය දක්වා අනතුරුව බිරිඳ ගේ සොහොනට කැටුව යාමටද අමතක කලේ නැත. 1935 ගෝරින් එමී සොනමන් නම් නිලිය හා නැවත විවාහ විය. එහෙත් කැරින්ගේ සොහොන තුලට වී සිටීමේ පුරුද්දෙන් ගෝරින් නොමිදුනේය. මියගිය බිරිඳ හා ඔහුගේ බැඳීම අවබෝඳ කොටගෙන සිටි අළුත් මනාලිය ඊට එරෙහි නොවූවාය. ඈ පසුව කීවේ සොහොන තුලට වී සිටීමෙන් කැරින්ගේ ලෙඩ ඇඳ අසලට වී සිටිනවා හා සමාන අත්දැකීමක් ගෝරින් ලද බවයි. ඔහුගේ මානසික සමතුලිතතාවට එය අවශ්‍ය විය. 1945 වන විට ජර්මනිය දෙවන ලෝක යුද්ධයෙන් පරාජය වෙමින් සිටියාය. රතු හමුදාව නැගෙනහිර ප්‍රසියාව ආසන්නයටම පැමිණ සිටි හෙයින් කැරින් ශාලාව පුපුරවා හරින ලෙස ගෝරින් නියෝග කලේය. සමාධියද මතු පිටින් සමතලා කොට දැමුනේ ද්වේශයෙන් කැකෑරෙමින් සිටි රුසියන් භටයන්ගේ අවධානයට ලක් නොවනු පිනිසය. අප්‍රේල් 30 දා හිට්ලර් දිවි නසා ගත්තේය. දස දිනෙකින් ඇමෙරිකානු සිර භාරයට පත්ව නියුරම්බර්ග් යුද අධිකරණය හමුවේ නඩු පැවරුන ගෝරින්ට මරණ දඬුවම හිමි විය. ඔහු ද සිර මැදිරිය තුලදී දිවිනසා ගත්තේය. ඊසාන දිග බර්ලිනය සෝවියට් හමුදා කලාපයට අයත් වූ බැවින් කැරින් ගේ සිරුරට වූ දෙයක් අසන්නට ලැබුනේ නැත. කැරින් ශාලාව ශෝර්ෆ්හයිඩ් වනාන්තරය තුල නටබුන් ව ගියේය. ඉහල ඇදුනුම් කම් ඇති ඇගේ පවුලේ අය ස්වීඩනය රජය හරහා සිරුර අබා දෙන ලෙස ඉල්ලීමක් කලද රුසියානුවෝ එය නොතකා හැරියෝය. 1991 දී සෝවියට් සංගමය බිඳ වැටීමෙන් අනතුරුව මෙම ස්ථානයේ කැනීම් කල පිරිසකට පොලොවේ ගැඹුරට වැලලී තිබූ සින්ක් ආවරණයක් සහිත මිනී පෙට්ටියක් හමුවිය. පරීක්ෂණ වලින් තහවුරු කෙරුනේ එය කැරින් ගේ බවයි. අනතුරුව ස්මාරකය මුළුමනින්ම විනාශ කොට දැමීමට ජර්මන් රජය කටයුතු කලේ එය නූතන නාසිවාදීන් ගේ වන්දනා ස්ථානයක් වනු ඇතැයි සැකයෙනි. අද ඉතිරිව ඇත්තේ මේ අපූරු ටජ් මහලේ ගේට්ටු කනු දෙක පමණි. හද කම්පා කරවන පෙම් කතාවක කථා නායිකාව වූ කැරින් තෙවැනි වතාවටත් ස්වීඩන්යේ පවුලේ සුසාන භූමියේම යලි සැතපී සිටින්නීය. (c) Chamara Siriwardene

ආශ්‍රිත

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; population නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. 2.0 2.1 2.2 2.3 "World Economic Outlook Database". International Monetary Fund. September 2011. සම්ප්‍රවේශය 17-November-2011. {{cite web}}: Check date values in: |accessdate= (help)
  3. "Human development index" (PDF). United Nations Development Programme. 2011. සම්ප්‍රවේශය 5 November 2011.
"https://si.wikipedia.org/w/index.php?title=ජර්මනිය&oldid=496081" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි