පෙරකෙළිය

විකිපීඩියා වෙතින්
(ලිංගික සංසර්ගයට පෙර උත්තේජනය වෙතින් යළි-යොමු කරන ලදි)
Martin van Maele's print Francion 15 depicts a couple engaging in foreplay outdoors

ලිංගික ව එක්වීමට අවශ්‍ය ආශාව සහ උද්යෝගය ඇතිකරගැනීම සඳහා සිදුකරන ශාරීරික සහ මානසික සමීපතාව හඟවන හැසිරීම් සමුදායක් පෙරකෙළිය (Foreplay) යනුවෙන් හැඳින්වේ. ඒ සඳහා ලෝලය එක් පාර්ශ්වකරුවකු වෙතින් වුව ද පළ විය හැකි අතර ඒ සඳහා උනන්දු වන්නිය විසින් ම ලිංගික ක්‍රියාවලිය තුළ දි ද සක්‍රීය සහභාගීත්වයක් සිදුවිය යුතු නැත. මෙ මගින් ඔවුන් තුළ ලිංගික උත්තේජනයක් ඇතිකිරීම, කෝලබව දුරුකිරීම, චිත්තවේගික එකමුතුවක් ගොඩනැගීම මෙන් ම සුරක්ෂිත හැඟීමක් සහ විශ්වසනීයත්වයක් ද ඇති කිරිම සිදු වේ. සත්ව ලිංගික චර්යාවේ දි හමුවන පූර්ව සංසර්ගික හැසිරීම් ද (precoital activity) මෙයට සුළු වශයෙන් සමානතාවක් දක්වයි.ලිංගික ආශාව පුද්ගලබද්ධ බැවින් යම්කිසි පුද්ගලයකු සමග ලිංගික ව හැසිරිමට කැමැති තැනැත්තාට හෝ තැනැත්තියට අනිකා තුළ ලිංගික ආවේගයක් ඇතිකිරීමට සිදුවෙයි. දෙදෙනා අතර පවතින සබඳතාවේ ප්‍රරූපය සහ තීව්‍රතාවය අනුව එම උත්තේජනය විසින් අනික් තැනැත්තාට හෝ තැනැත්තියට යම්කිසි සියුම් සහ රාගික ස්වරූපයකින් ඔහු හෝ ඇය තුළ ලිංගික ආශාවක් ඇති බව පෙන්නුම් කරයි. කෙනකු ලිංගික ව අවදි කළ හැකි බොහෝ ශාරීරික මෙන් ම මානසික උත්තේජයන් ද පවතින අතර උත්තේජයක් සමාජමය ලෙස උචිත ද අනුචිත ද යන වග යම්කිසි මොහොතක පවතින වාතාවරණය මත නිර්ණය වෙයි. අනෙක් අතට ඇතැම් හැසිරීම් අපේක්ෂිත තත්ත්වයට ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් ඇති කරයි. මෙබඳු හැසිරීම් බොහෝවිට පුද්ගල රුචිකත්වය මත නිර්ණය වෙයි. එමෙන් ම ලිංගික උත්තේජනයකට දැක්විය යුතු අනුග්‍රහය ලිංගික සදාචාරයේ බලපෑමට යටත් වියහැකිය.

අරඹන අයුරු[සංස්කරණය]

පෙරකෙළිය ඇතිවන්නේ යම්කිසි තැනැත්තකු හෝ තැනැත්තියක විසින් තවත් අයකුට ඔහු හෝ ඇය සමඟ ලිංගික ව හැසිරීමට ආශාවක් තමන් තුළ ඇති බව පෙන්නුම් කිරීම තුළිනි. ලිංගික සහකරුවකු තුළ ලිංගික ආශාව, ලැදියාව, උත්තේජනය හෝ උද්යෝගය ඇතිකිරීමට සහ වැඩිදියුණුකිරීමට දායක වන ඕනෑම ක්‍රියාවක් පෙරකෙළියට අයත් වේ. සිපගැනීම, පැහැසීම, වැළඳගැනීම හෝ සහායිකාව හෝ සහායකයා ව සුරතල් ලෙස සැපීම වැනි ශාරීරික ව කුළුපග බව හඟවන ක්‍රියාකාරකම් තුළින් මෙන් ම පෙම්බස් දෙඩීම, සාමීචිය, රහස් ස්වරයෙන් කථාකිරීම, සරදම් කිරීම වැනි චිත්තවේගික ව සමීපතාව පෙන්නුම් කරන ක්‍රියාකාරකම් තුළින් ද ලිංගික එක්වීමකට ඇති ලැදියාව පෙන්නුම් කළ හැකි ය. නිදසුනක් ලෙස ඇතැම්විට ශාරීරික ක්‍රියාවකින් තොර ව හුදු අභිනයකින් පවා ලිංගික හැසිරීමකට ඇති කැමැත්ත පැවසිය හැකි ය. නිරුවත්බව ද ප්‍රබල ලිංගික උත්තේජනයක් වේ. නිදසුන් ලෙස සහකාරියගේ ඇඳුම් උනා දැමීම, ලිංගික ව උත්තේජනය කළ හැකි ආකාරයේ විලාසිතාවන්ගෙන් හෝ රාගිකත්වය සහ සුහදත්වය මුසුවුණු මුළුමනින් ම ලිංගිකත්වය සපිරුණු වටපිටාවක් නිර්මාණය කිරීම තුළින් ද ලිංගික එක්වීමකට ඇති ලැදියාව පෙන්නුම් කිරීමට සහ ඇතිකිරීමට හැකිය. සහකාරියගේ සිරුරේ ශෘංගාරෝද්දීපක කලාපයක් මුවින් හෝ සියතින් උද්දීපනය කිරීම, එනම් මුව, ළැම, උදරය, තට්ටම්, පිට පෙදෙස සහ කලවහි ඉහත්තාව ළැදි ව සිපගැනීම තුළින් ද ලිංගික රුචිය විදහා දැක්විය හැකිය. කාමුක චුම්බනය හෙවත් ප්‍රංශ හාදුව (French kiss) ද සහකාරියක් ව නිරුවත් කිරීමක් තරමට ම ලිංගික ආවේගයක් ඇතිකිරීමට සමත්වන්නකි.වර්ණනය, දුරවබෝධමය වූ දෙපිට කැපෙන කියමන් සහ ළෙංගතු කතාබහ පෙරකෙළියට අයත් වාචික අංගයන් ලෙස සැලකිය හැකිය. ලිංගික ව පොළඹවනසුලු ඇඟලුම්, අනුබලශීලී ඉරියව් සහ හැසිරීම්, preening gestures (personnel grooming), නෙතින් ඉඟිකිරීම, සහකරුවාගේ දෙතොල් විකීම හෝ ලෙවකෑම, යමකුගේ තුරුල්ලේ සිටීම, සහ සාමාන්‍ය අවස්ථාවක දී බලාසිටිනවාට වැඩි උනන්දුවකින් ඔහු දෙස බලාසිටීම පෙරකෙළියට අයත් ආංගික අභිනයන් වෙයි.පෙරකෙළියට පසුබිම සැකසිමට නම් අනෙක් සහායිකාව විසින් ද ලිංගික එක්වීමකට ඇති ලැදියාව පෙරළා පළ කළ යුතුය. ඇතැම්විට සහකරුවකුගේ (සිපගැනීම හෝ වැළඳගැනීම වැනි) ක්‍රියාවකට විරුද්ධත්වයක් පළ නොකිරීම තුළ කියැවෙන්නේ ඇය තුළ ලිංගික ඇසුරක් සිදුවනු දැකීමට අප්‍රසාදයක් නැති බවයි. ශෘංගාරෝද්දීපක කලාපයක් ස්පර්ශ කිරීමට ඉඩ දීම හෝ ඇඳුම් උනා දැමීම තුළ ලිංගික ව එක්වීමකට ඇති එකඟත්වය පළ වෙයි. එමෙන් ම ඇය සිය අභිමතයට අනුව තවදුරටත් අනුබලශීලී ව හැසිරීම ද සිදු විය හැකි ය.

ක්‍රීඩාමය ක්‍රියාකාරකම්[සංස්කරණය]

භූමිකාවන් නිරූපණය හෙවත් නාට්‍යමය ක්‍රියාකාරකම් (sexual role play) හෝ ලිංගිකත්වය ඇසුරු කරන කෙළිසෙල්ලම් තුළින් ද ලිංගික ව එක්වීමට ලැදියාවක් ඇතිකරගත හැකිය. විවිධ වූ අවස්ථා රැසක් තුළ මෙවැනි කෙළිසෙල්ලම් යොදාගන්නා අතර මේවා නවීන තාක්ෂණයේ ද ආභාෂය ලබා ඇත. ඇතැම්විට හමුවීමට බලාපොරොත්තුවෙන් සිටින්නිය පිලිබඳ ව ෆැන්ටසිකරණය තීව්රේ කිරීමේ අරමුණින් කෙටි පණිවිඩ, දුරකතන ඇමතුම්, මාර්ගගත සල්ලාප, හෝ වෙනත් දුරස්ථ සන්නිවේදන ක්‍රමවේද ද පෙරකෙළිය තුළ භාවිත වේ. සහකරුවා තුළ ලිංගික ආශාවක් ඇතිකිරීමත් එය ක්ෂණික ව සපුරා නොගත හැකි වීමත් තුළ ලිංගික ආතතියක් ගොඩනැගීම මේ තුළ සිදු වේ.කාඩ්පත් හෝ පුවරු ආශ්‍රිත ක්‍රීඩාවක් ද පෙරකෙළිය සඳහා යොදාගත හැකිය. ක්‍රීඩාවේ අරමුණ වන්නේ සහකරුවන්ට සිය ෆැන්ටසීන් සපුරාගැනීමට අවස්ථාවන් ලබාදීමයි. එනම් පරාජිතයා පරාජයට දඬුවමක් ලෙස ජයග්‍රාහිකාවගේ අභිමතයක් ඉටුකළ යුතුය. (නිදසුන්: නිරුවත් වීම/සුවදායී ලෙස පා මිරිකීම‍ [sensual foot mssage] ). දල්වන ලද ඉටිපන්දම්, බීමවර්ග සහ පොළඹවනසුලු විලාසිතාවන් ද අනුරාගී මොහොතක් ඔප්නැංවීමට යොදාගතහැකිය.ඇතැම් පෙම්වතුන් ශෘංගාරාත්මක (erotic) සහ කාමෝද්දීපක (pornographic) වීඩියෝ දර්ශන නැරඹීමෙන් ලිංගික එක්වීමට ලැදියාව ඇතිකරගනිති.එමෙන් ම යුවළකට හවුලේ ලිංගිකමය කථා පුවතක් ගොඩනැගීම ද කළ හැකිය. එක් අයෙකු එක් වැකියක් පවසන අතර සහකාරිය සිය පරිකල්පනය තුළින් එය පූර්ණ අශ්ලීලත්වය කරා ගෙන යයි. මෙමගින් ඔවුන්ට එකිනෙකාට කියාගත නොහැකි ලිංගික ෆැන්ටසීන් වක්‍රාකාරයෙන් කියාපෑමට හැකිවෙයි.

තාන්ත්‍රික උපක්‍රම[සංස්කරණය]

තන්ත්‍ර මූළධර්මයන්ට අනුව තාන්ත්‍රික පෙරකෙළිය ප්‍රේමජනනාවස්ථාවේ මුල් ම පියවරයි. තන්ත්‍ර දර්ශනයට අනුව ලිංගික එක්වීම යනු ආත්මාර්ථකාමී ලෙස පුද්ගල ශරීරයක් සතුටු කරගැනීමක් නොවන බැවින් තාන්ත්‍රික පෙරකෙළිය අරමුණු කරගන්නේ ගැහැනියක සහ මිනිසකු අතර එක්වීමකට ශරීරය සහ මනස සූදානම් කිරීමටයි.

තාන්ත්‍රික රීතීන්හි කියැවෙන පරිදි පෙරකෙළිය ලිංගික සංසර්ගයට පූර්ව සූදානමක් ඇතිකිරීම කෙරෙහි යොමු විය යුතු ය. සංසුන් වටපිටාවක් තුළ සහකරුවන් දෙදෙනා අනුරාගී ව ස්නානය කර ගැනීම තාන්ත්‍රික පෙරකෙළියේ අංගයකි. සුගන්ධ තෛලයන් සහ ඉටිපහන් ද ඇතැම්විට මනෝභාවය සැකසිම පිණිස යොදාගැනේ.

තාන්ත්‍රික පෙරකෙළිය ඔවුනොවුන්ට ආධ්‍යාත්මික ව එක්වීමටත් සම්භෝගයට යොමුවීමටත් කාලවේලාව ලබාදීමත් පමණක් අරමුණු කරගනී. බද්ධපර්යංකගත ව එකිනෙකා දෙස දෙනෙත් දල්වා බලා සිටිමින් අනිකාගේ අත්ල ස්පර්ශ කිරීම ද තාන්ත්‍රික අභ්‍යාසකරුවන් අතර නිතර දැකිය හැකි පූර්ව-උත්තේජන ක්‍රියාකාරකමකි. සම්බාහනය ද තාන්ත්‍රික පෙරකෙළිය තුළ දැක ගත හැකි ය.

ප්‍රයෝජන[සංස්කරණය]

පෙරකෙළිය අවම වශයෙන් සාධක දෙකක් නිසා ප්‍රයෝජනවත් බව කිවහැකි අතර ශාරීරික උත්තේජනය ඉන් ප්‍රමුඛ වේ. ඊට අමතර ව ඒ විසින් එක්තරා ආකාරයක සුරක්ෂිත හැඟීමක් මෙන් ම සහකරුවන් අතර විශ්වසනීයත්වය සහ සමීපබවක් ඇතිකිරීම ද සිදුකරයි.මානසික වශයෙන් ගත්විට ඒ විසින් කෝල බව දුරුකිරිම සහ සහකරුවන් චිත්තවේගික ව ඒකාත්මික කිරීම සිදු වේ. කායික ව ගත්විට ඒ විසින් ලිංගික ව ඇවිස්සීමේ ක්‍රියාවලිය උත්ප්‍රේරණය කෙරේ.කාන්තාවන් කෙරෙහි ඇති සුවිශේෂී කායික සහ මානසික බලපෑම් හේතුවෙන් ද පෙරකෙළිය වැදගත් වේ. නිතර ම අසන්නට ලැබෙන ගැටලුවක් වන සුරතාන්තයට පත්වීමේ නොහැකියාව නිවැරදි පූර්ව සංසර්ගික උත්තතේජනයන් තුළින් විසඳා ගත හැකි බව කියැවේ.කෙසේනමුත් මේ විසඳීමට පෙරකෙළිය ඇත්තතෙන් ම සමත්වේද යනු විවාදාත්මක කරුණකි. නිදසුනක් ලෙස ලිංගික ක්‍රියාවක ආස්වාදනීයත්වය රඳාපවතින්නේ සංසර්ගයේ යෙදෙන කාලසීමාව (සාමාන්‍යයෙන් මිනිත්තු 16.2 වැනි කාලසීමාවක්) මත මිස පෙරකෙළිය මත නොවන බව යුරෝපියානු කාන්තාවන් 2300ක් යොදාගනිමින් සිදුකළ සමීක්ෂණයක් විසින් පෙන්වා දෙන ලදී.

සොයාගැනීම්[සංස්කරණය]

වයස, ආගම සහ සංස්කෘතික උපමාන මත පෙරකෙළියෙහි සිත්ගන්නාසුළු වෙනස්කම් පැවතිය හැකි ය. සුලබ නූතන ජනකතාවන් නොතකමින් ගැහැනියක් ශාරීරික ව ඇවිස්සීමට බොහෝසෙයින් පෙරකෙළියේ යෙදිය යුතු බවට සහ වැඩි කාලයක් ගතවන බවට පවතින මතය නවීන විද්‍යාත්මක පරීක්ෂණ විසින් මිත්‍යාවක් ලෙස බැහැර කර ඇත. කැනඩාවේ මොන්ට්‍රියල්හි මැක්ගිල් විශ්වවිද්‍යාලීය සෞඛ්‍යය කේන්ද්‍රය (McGill University Health Center) ලිංගික ව ඇවිස්සීම සඳහා ගතවන කාලය උදෙසා නිර්වචනයක් ලෙස ලිංගික ප්‍රදේශයේ සාමාන්‍යය උෂ්ණත්ව මට්ටමේ වෙනස්වීම යොදාගනිමින් තාප ප්‍රතිබිම්බනය ( thermal imaging) හරහා එය සටහන් කරගත්හ. පර්යේෂකයන් පුද්ගලයෙකුට ලිංගික ආවේගයේ උපරිමයට ළඟාවීමට ගතවන කාලය අධ්‍යයනය කළ අතර සාමාන්‍ය වශයෙන් ගැහැනුන් හා පිරිමින් එක හා සමාන ම කාලයක් (මිනිත්තු 10ක් පමණ) ලිංගික ව ඇවිස්සීම සඳහා ගතකරන බව නිගමනය කළහ. කෙසේනමුත් මානසික ව ඇවිස්සීම සඳහා ගතවන කාලය මේ විසින් අවධානයට ගෙන නැත. පෙරකෙළිය සරුබව වැඩිවීමට හේතුවක් බව කියැවුණ ද එය විද්‍යාත්මක ව තහවුරු වීමට නම් තවදුරටත් පර්යේෂණ සිදු කළ යුතු ව ඇත. 

ඉතිහාසය[සංස්කරණය]

පුරාණ භාරතීය රති උපදේශන ග්‍රන්ථයක් වන වාත්ස්‍යායනගේ කාමසූත්‍රය ආලිංගනයේ, චුම්බනයේ, හා නියවලින් සහ දත්වලින් සලකුණු තැබීමේ විවිධ ක්‍රමවේද ගැන සඳහන් කරයි. අතුල්පහරවල් එල්ල කිරීම සහ වැළපීම වැනි BDSM ප්‍රභේදයට අයත් ක්‍රියාකාරකම් ද කෙළිසෙල්ලම් ලෙස ඒ තුළ දක්වා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=පෙරකෙළිය&oldid=454941" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි