අප්‍රිකානු ඉතිහාසය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
 යටත් විජිත යුගයට පෙර අප්‍රිකානු රාජ්‍යයන්
ඊජීප්තුවේ ලක්සෝර් දේවස්ථානයේ ඇති ඔබෙලිස්කය (ආස. ක්‍රි.පූ. 1200)
බගියර්මි නයිට්වරයෙක් සම්පූර්ණ ගෙම්බසන් සන්නාහ ඇඳුමින්

අප්‍රිකාවේ ඉතිහාසය නැගෙනහිර අප්‍රිකාවේ හෝමෝ සේපියන්ස් ගේ නැඟී ඒමත් සමඟ ආරම්භ වන අතර විවිධ හා දේශපාලනික වශයෙන් වර්ධනය වන ජාතික රාජ්‍යයන් රැසකගෙන් අණ්ඩ දමන ලද සිතියමක් සේ දිස්වන වර්තමානය දක්වා පැවතේ. ශිෂ්ටාචාරයේ  වාර්තාගත ඉතිහාසය ඇරඹෙන ලද්දේ කුෂ් රාජධානියේ තුළ වන අතර ඉන් පසුව පුරාණ මිසරය, සහේලය, මාඝ්‍රෙබ්, හා අප්‍රිකා ශෘංගය තුළ ද වේ. මධ්‍ය යුගයේ (ක්‍රි.ව. 5-15 සියවස්) දී, ඉස්ලාමය අරබියාවෙන් බටහිර දෙස ඊජීප්තුවටත් මාඝ්‍රෙබ් හා සහේලය දෙසටත් පැතිරුණි. යුරෝපීය යටත් විජිතකරණයට පෙර වැදගත් අප්‍රිකානු රාජ්‍යයන් අතර අජුරාන් අධිරාජ්‍ය, දා'අමත්, ඇඩල් සුල්තානයවෝර්සැන්ගාලි සුල්තානය, න්රි (එරි?) රාජධානිය, නොක් සංස්කෘතිය, මාලි අධිරාජ්‍යය, සොන්ඝායි අධිරාජ්‍ය, අෂාන්තී අධිරාජ්‍යය,ඝානා අධිරාජ්‍යය, මොසි රාජධානි, මුතාපා අධිරාජ්‍යය, මපුන්ගුබ්වේ රාජධානිය, සයින් රාජධානිය, සෙන්නාර් රාජධානිය, සලූම් රාජධානිය, බෙයෝල් රාජධානිය, කෙයෝර් රාජධානියසිම්බාබ්වේ රාජධානිය, කොන්ගෝ රාජධානිය, කබූ අධිරාජ්‍යය, පුරාණ කාතේජය, නුමීදියාව, මෞරිටේනියාව, එක්සම් අධිරාජ්‍ය වේ.

7 වන සියවස මැද සිට රාශිදුන් කලීෆය හා මකුරියා රාජධානිය අතර ක්‍රි.ව. 652 දී දෙවන දොන්ගෝලා සටනට පසුව ඇති වූ සටන් විරාමයෙන් පසුව අරාබි වහල් වෙළඳාමෙහි දී මුස්ලිම් අරාබීන් විසින් අප්‍රිකානුවන් වහල්ලු ලෙස අල්ලා ගන්නා ලදී. ආසියාතිකයින් හා යුරෝපීයයන් ද සමඟ ඔවුන් රතු මුහුද, ඉන්දියානු සාගරය, හා සහරා කතර හරහා ප්‍රවාහනය කරන ලදී.

15 වන සියවස අග සිට, පෘතුගීසීන් අත්ලාන්තික වහල් වෙළඳාමේ කොටසක් වශයෙන් මුලින්ම වෙළඳාම හරහාත් පසුව බලහත්කාරයෙනුත් වහලුන් ලබා ගැනීමත් සමඟ යුරෝපීයයන් වහල් වෙළඳාමට එක් විය. ඔවුන් විසින් වහල් සේවයට අල්ලා ගන්නා ලද බටහිර, මධ්‍යම, හා දක්ෂිණ අප්‍රිකානුවන් එතෙර රටවලට ප්‍රවාහනය කරන ලදී.

19 වන සියවස අග හා 20 සියවස මුල, අප්‍රිකාව සඳහා පොර වැදීමත් සමඟ අප්‍රිකාවේ යුරෝපීය යටත් විජිතකරණය සීඝ්‍රයෙන් දියුණු විය. යටත් විජිතකරණයට පෙර අප්‍රිකාවේ විශේෂ්‍ය භාෂා හා ගති පැවතුම් සහිත විවිධ රාජ්‍යයන් හා ස්වාධීන ඒකක 10,000ක් දක්වා පමණ තිබූ බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. නිදහස සඳහා මහාද්වීපයේ විවිධ පැතිවලින් ඇති වූ අරගලත් දෙවන ලෝක යුද්ධයෙන් පසු දුර්වල වූ යුරෝපයත් නිසා 1960 අප්‍රිකාවේ වර්ෂයෙන් සංක්‍රාන්තියට පැමිණි යටත් විජිතහරණය සිදු විය.

මහාද්වීපයේ විශාල කොටසක ලිඛිත මූලාශ්‍ර හිඟ වීම හේතුවෙන්, විශේෂයෙන්ම වැදගත්ම ටිම්බක්ටූ අත්පිටපත් වලින් බොහොමයක් විනාශ වීම නිසා, අප්‍රිකානු අධ්‍යයන ක්ෂේත්‍රයේ අප්‍රිකාවේ ඉතිහාසය ගවේෂණය කිරීම අභියෝගාත්මක වී ඇත. එහි දී මුඛ ඉතිහාස වාර්තා, ඓතිහාසික වාග් විද්‍යාව, පුරාවිද්‍යාව, සහ ජාන විද්‍යාව වැනි උපක්ෂේත්‍රයන් තීරණාත්මක වේ.

ප්‍රාග් ඉතිහාසය[සංස්කරණය]

පුරාණ ශෛල (පැලියොලිතික) යුගය[සංස්කරණය]

හඳුනාගෙන ඇති පළමු හොමිනීඩයන් (මනුජයන්) අප්‍රිකාව තුළ විකාශනය විය. පාෂාණීය ධාතු විද්‍යාවට අනුව, මුල් හොමිනීඩයන්ගේ හිස් කබල ව්‍යුවහය, අප්‍රිකාව තුළම විකාශය වූ මහා වානරයන් වන ගෝරිල්ලන් හා චිම්පන්සීන්ගේ එම ව්‍යුවහයට සමාන වන නමුත් හොමිනීඩයෝ ඔවුන්ගේ දෑත් නිදහසේ තබා ගැනීමට ඉඩ ලබා දුන් දෙපා සංචරණ ක්‍රමයකට හුරු වී සිටියහ. අප්‍රිකාව වියැළී යමින් සවානා බිම් වනාන්තර අතික්‍රමණය කරමින් පැවති කාලයක, මෙය ඔවුන් හට වනාන්තර පෙදෙස් වල මෙන්ම විවෘත සැවානා වල ද වාසය කළ හැකි වන තීරණාත්මක වාසියක් සලසන ලදී. මෙය සිදුවන ලද්දේ අවුරුදු මිලියන 10ත් 5ත් අතර කාලයකට පෙරයි.

වසර මිලියන 4ක් පෙර වන විට, ඔස්ට්‍රලෝපිතකස් හොමිනීඩ විශේෂයන් කිහිපයක් දක්ෂිණ, නැගෙනහිර, හා මධ්‍යම අප්‍රිකාව පුරා විකසනය වී පැවතුණි. ඔවුන් මෙවලම් භාවිතා කරන්නන් වූ අතර මෙවලම් තනන්නන් ද විය. ඔවුන් මස් සොයමින් සැරිසැරූ අතර සර්ව භක්ෂකයින් විය.

ආසන්න වශයෙන් වසර මිලියන 3.3ක් වන විට, අනෙකුත් විලෝපිකයින් විසින් මරන ලද ගොදුරු පැහැර ගැනීමට හා ඒවායේ අස්ථිවලින් පුතිමාංස හා මිදුළු වෙන් කර ගැනීමට ප්‍රාථමික ගල් මෙවලම් පළමු වරට යොදා ගන්නා ලදී. දඩයම් කිරීමේ දී, හෝමෝ හැබිලිස් විශාල විලෝපිකයින් හා සටන් කරන්නට අසමත් වන්නට ඇති අතර දඩයම්කරු වනවාට වඩා තවදුරටත් බොහෝ විට ගොදුර බවට පත් වන්නට ඇත. හෝ. හැබිලිස් කැඳැලි වලින් බිත්තර සොරකම් කරන්නට ඇති අතර කුඩා සතුන් දඩමසට අල්ලා ගැනීමටත් දුර්වල වූ වඩා විශාල සතුන් (පැටවුන් සහ මහලු සතුන්) අල්ලා ගැනීමටත් සමත් වන්නට ඇත. එම මෙවලම් ඔල්ඩෝවන් ලෙස වර්ග කර ඇත.

වසර මිලියන 1.8කට පමණ පෙර, පළමු වරට හෝමෝ අර්ගෑස්ටර් අප්‍රිකාවෙන් ෆොසිල වාර්තාවේ දක්නට ලැබුණි. වසර මිලියන 1.5කට පෙර හෝමෝ අර්ගෑස්ටර්ගෙන් හෝමෝ ඉරෙක්ටස් විකාශනය විය. මෙම විශේෂයේ මුල් සාමාජිකයින්ගෙන් සමහරක්, හැබිලිස්ට වඩා සමීපතා දක්වමින්, තරමක් කුඩා මොළ සහිත වූ අතර ප්‍රාථමික මෙවලම් භාවිතා කරන්නන් විය. මොළය ප්‍රමාණයෙන් වර්ධනය වූ අතර, හෝ. ඉරෙක්ටස් ක්‍රමක්‍රමයෙන් ආශූලියන් ලෙස හඳුන්වන වඩාත් සංකීර්ණ ගල් ආයුධ තාක්ෂණයක් දියුණු කර ගන්නා ලදී. පළමු දඩයක්කාරයන් වන්නට ද ඉඩ ඇති, හෝ. ඉරෙක්ටස් ගින්දර නිපදවා ගැනීමේ කලාව මැනවින් ප්‍රගුණ කරන ලද අතර අප්‍රි-යුරාසියාවේ වැඩි ප්‍රමාණයක් ජනාවාස කිරීමට හා සමහර විට පසු කලෙක හෝමෝ ෆ්ලොරෙසියෙන්සිස් බිහි වීමට මූලික වූ අප්‍රිකාවෙන් පිටතට ගිය පළමු මනුජයා ද වේ. සමහර මෑත කාලීන රචකයන් හෝමෝ ජ්‍යෝර්ජිකස් අප්‍රිකාවෙන් පිටත විසූ පළමු හා වඩාත් ප්‍රාථමික මනුජයා ලෙස යෝජනා කරන නමුත් බොහෝ විද්‍යඥයන් හෝ. ජ්‍යෝර්ජිකස්,  හෝමෝ ඉරෙක්ටස් විශේෂයේ මුල් හා ප්‍රාථමික සාමාජිකයෙකු ලෙස සලකනු ලබයි.

පසු ගල් යුග කාලයට දාතම කර ඇති අප්‍රිකානු දෙපැති මෙවලමක් (හෙලිතුඩක්)

අවම වශයෙන් වසර 200,000-150,000කට පෙර හෝමෝ සේපියන්ස් දක්ෂිණ හා නැගෙනහිර අප්‍රිකාවේ විසූ බව ෆොසිල වාර්තාව පෙන්වයි. ("අප්‍රිකාවෙන් පිටතවාදය"ට අනුව ) වසර 40,000කට පමණ පෙර, අප්‍රිකාවෙන් පිටතට එම විශේෂයේ පැතිරීම නවීන මානවයා විසින් ලොව ජනාවාස කිරීම සඳහා මඟ පාදන ලදී. ක්‍රි.පූ. 10,000 වන විට හෝමෝ සේපියන්ස් අප්‍රි-යුරාසියාවේ බොහෝ පෙදෙස් වල පැතිර සිටියේය. ඔවුන්ගේ විසිරයාම භාෂාමය, සංස්කෘතීමය, සහ ප්‍රවේණි සාක්ෂි වලින් සොයා යා හැක. තාරකා විද්‍යාව කටයුත්තක වල මුල්ම සාක්ෂිය හමුවන්නේ ඉෂන්ගෝ කි.පූ. 23,000 හා 18,000 අතරට දාතම කරනු ලබන ලද ඉෂන්ගෝ අස්ථිය මත දිස්වන චන්ද්‍ර දින දර්ශනයෙනි.

මානවයාගේ ප්‍රාග් ඓතිහාසික අතීතය පුරාවටම රණකාමය නොතිබෙන්නට ඇති බවත් එය ඔත් ජීවන රටාව, ගොවිතැන, හා වඩාත් සංකීර්ණ දේශපාලනික පද්ධති නැඟී ඒමත් සමඟ ආරම්භ වුණු බවට විද්වතුන් තර්ක කර ඇත. කෙසේ වෙතත්, කෙන්යාවේ ටර්කානා පළාතේ නටාරුක් භූමියෙන් සොයා ගන්නා ලද, වසර 10,000කට පෙර වෙනත් කණ්ඩායමක් විසින් හිතාමතා කළ පහර දීමක් හේතුවෙන් මියගිය 27 දෙනෙකුගේ ශේෂ කොටස්, කණ්ඩායම් අතර ගැටුම් වලට වඩා දිගු ඉතිහාසයක් ඇති බව පෙන්වයි.

කෘෂිකර්මාන්තය පහළ වීම[සංස්කරණය]

ක්‍රි.පූ. 16,000ට ආසන්න කාලයේ, රතු මුහුදු කඳු වල සිට උතුරු ඉතියෝපියානු උස්බිම් දක්වා, ගෙඩි, තෘණ හා අල වර්ග ආහාර සඳහා රැස් කරන ලදී. ක්‍රි.පූ. 13,000-11,000 වන විට, මිනිස්සු කැලෑ ධාන්‍ය රැස් කිරීම ඇරඹූහ. මෙය බටහිර ආසියාව දක්වා පැතිරුණු අතර එහි දී එහි තිබූ කැලෑ ධාන්‍ය වර්ග වන තිරිඟු සහ යව ගෘහස්තකරණයට ලක් විය. ක්‍රි.පූ. 10,000 සහ 8,000 අතර, ඊසානදිග අප්‍රිකාව තිරිඟු සහ බාර්ලි වගා කරන්නට සහ නිරිතදිග ආසියාවෙන් ගෙනෙන ලද බැටළුවන් හා හරක් ඇති කරන්නට විය. අප්‍රිකාවේ පැවති තෙත් දේශගුණ අවධියක් විසින් ඉතියෝපියානු උස්බිම්, කඳුකර වනාන්තරයක් බවට හරවන ලදී. ක්‍රි.පූ. 6500-5500 ආසන්නයේ ඔමොටික භාෂා කතාකරන්නන් විසින් එන්සෙත් ශාකය ගෘහස්තකරණය කර ගන්නා ලදී. ක්‍රිතපූ. 7000 ආසන්නව, ඉතියෝපියානු උස්බිම් වල පදිංචිකරුවන් විසින් බූරුවන් ගෘහස්තකරණය කර ගන්නා ලද අතර ක්‍රි.පූ. 4000 වන විට ගෘහස්තකරණය වූ බූරුවන් නිරිතදිග ආසියාවට පැතිර තිබුණි. කුෂිටික් භාෂා කතා කරන්නන් ගව පාලනයෙන් තරමක් ඈත් වෙමින්, ක්‍රි.පූ. 5500 හා 3500 අතර ටෙෆ් හා කුරක්කන් ගෘහස්තකරණය කරගන්නා ලදී.

වයඹදිග අප්‍රිකාවේ සහේලය හා සහරා වල සැවානා හා ස්ටෙප්ස් (පතන?) තුළ, නයිලී-සහරීය භාෂා කතාකරන්නන් සහ මන්ඩේ ජනවර්ග ක්‍රි.පූ. 8000ත් 6000ත් අතර කැලෑ මෙදේරි (තණහාල්), අප්‍රිකානු වී, සහ ඉදල් ඉරිඟු එකතු කිරීම හා ගෘහස්තකරණය ඇරඹූහ. පසුව අලාබු, පත්තක්කා, එඬරු, සහ කපු ද එකතු කර ගෘහස්තකරණය කරන ලදී. මිනිසුන් කැලෑ හරක් වෘත්තාකාර කටුවැට වලින් වටකර තබන ලද අතර එමඟින් උන් හීලෑ (ගෘහස්තකරණය) විය. තවද ඔවුහු කුඹල් භාණ්ඩ සෑදීම හා ගලින් ජනාවාස (ටිෂිට් හා වලෙතා බලන්න) සෑදීම ද ඇරඹූහ. අස්ථි-තුඩැති මණ්ඩා භාවිතා කොට මසුන් ඇල්ලීම, වැඩි ව තිබූ වර්ෂාවෙන් සෑදුණු දියපහර හා විල් ගණනාවක් තුළම ප්‍රධාන කාර්යයක් විය.

බටහිර අප්‍රිකාව තුළ, තෙත් අවධිය සමඟින් සෙනෙගාලයේ සිට කැමරූනය දක්වා පැතිරුණු වැසිවනාන්තරය හා කැලෑබද සැවානා පරිසරයක් පහළ විය. ක්‍රි.පූ. 9000 හා 5000 අතර, නයිජර්-කොංගෝ භාෂා කථකයකින් අප්‍රිකානු තාල වර්ගයේ කටුපොල් හා රාෆියා ශාක ගෘහස්තකරණය කරන ලදී. පළමුව, බීජ ශාක වන කවුපි හා අප්‍රිකානු රටකජු යන දෙක ද පසුව බණ්ඩක්කා හා  කෝලා ද ගෘහස්තකරණයට ලක් විය. බොහෝ ශාක වැඩුණේ වනාන්තර තුළ වූ හෙයින් නයිජර්-කොංගෝ කථකයන් විසින් කැලෑ පැහැයීම සඳහා ඔපදමන ලද ගල් පොරොවන් නිපදවන ලදී.

දක්ෂිණ අප්‍රිකාවෙන් වැඩි කොටසක්, දඩයම හා රැස් කිරීමෙහි නිරත වූ පිග්මි ජනවර්ග හා ඛොයිසාන්වරුන්ගෙන් ජනාවාසව තිබුණි. පැරණිතම ගල් කලා වලින් සමහරක් ද ඔවුන් විසින් නිපදවන ලදී.

සහාරාව කාන්තාරකරණය වීමට යන්තම් පෙර, ඊජිප්තුවේ දකුණුදෙස (වත්මන් සුඩානය) වර්ධනය වූ ප්‍රජාවෝ නවශිලා විප්ලවයට පූර්ණව සහභාගී වූවෝ වූ අතර, ගෘහස්තකරණය වූ සතුන් හා ශාක සමඟ පදිංචි හා අර්ධ-එඬේර ජීවන රටාවක් අනුගමනය කළහ. නබ්තා ප්ලායා වලින් සොයාගෙන ඇති මහශිලාවන්, ස්ටොන්හෙන්ජ් ස්මාරකයට වඩා අවුරුදු 1,000ක් පමණ පෙර කලකට දිවෙමින් ලොව පැරණිතම පුරාතාරකාවිද්‍යා උපකරණ වලට උදාහරණ වන බව යෝජනා වී ඇත. නබ්තා ප්ලායාහි දක්නට ඇති සමාජය තුළ විවිධ මට්ටමේ අධිකාරීන් පැවතීම මඟින් දැක්වෙන සමාජසංස්කෘතීමය සංකීර්ණභාවය නිසා එය නවශෛලමය නබ්තා සමාජය හා පුරාණ ඊජීප්තු රාජධානිය යන දෙකෙහිම පදනම වන්නට ඇතැයි යෝජනා වී ඇත. ක්‍රි.පූ. 5000 වන විට, අප්‍රිකාව වියළි අවධියකට එළැඹි අතර සහරා පෙදෙසේ දේශගුණය ක්‍රමයෙන් වඩා වියළි විය. ජනගහනය සහාරාව අතහැර, ඔවුන් ස්ථිර හෝ අර්ධ ස්ථිර ජනාවාස තනාගත් නයිල් ගඟේ දෙවන දහර ඇල්ලට පහළ නයිල් නිම්නය ද ඇතුළුව, සෑම දෙසටම ගමන් කළහ. මධ්‍යම හා පෙරදිග අප්‍රිකාව තුළ තද හා අප්‍රපතන වර්ෂා අඩු කරමින් ප්‍රධාන දේශගුණික අවපාතයක් සිදු විය. එතැන් පටන්, පෙරදිග අප්‍රිකාව තුළ වියළි තත්ත්වයන් පැවත ඇත.

මධ්‍යම අප්‍රිකාව[සංස්කරණය]

මධ්‍යම අප්‍රිකාවෙන්, අවුරුදු 100,000කටත් පෙර කාලයට අයත් අයත් පුරාවිද්‍යා සොයාගැනීම් කර ඇත. චෑඩ් විලට කි.මී. 60ක් (සැත. 37ක්) පමණ නිරිතදිගින් වන චෑඩ්හි (ද්)සිලූම් වලින්, ක්‍රි.පූ. පළමු සහස්‍ර වර්ෂ කාලය දක්වා දිවෙන, විශාල ලෙස පැතිරී ඇති බිත්ති සහිත ඉදිකිරීම් කලාප හා ජනාවාස මෑතක දී සොයාගෙන ඇත.

 වෙළඳාම හා වැඩි දියුණු වූ කෘෂිකාර්මික ක්‍රම වඩාත් නවීන සමාජයන්ට රුකුල් දුන් අතර සඕ, කානෙම්, බෝර්නු, ෂිලූක්, බගියර්මි, සහ වදායි මුල් ශිෂ්ටාචාරයන්ට මඟ පාදන ලදී.

ක්‍රි.පූ. 1000 ආසන්නයේ, බන්ටු සංක්‍රමණිකයන් මධ්‍යම අප්‍රිකාවේ මහා විල් පෙදෙසට පැමිණ තිබුණි. ක්‍රි.පූ. පළමු සහස්‍රය මැද වන විට දී, බන්ටු ජනවර්ග වර්තමාන ඇන්ගෝලාව දක්වාම දකුණු දෙසට වන්නට පදිංචිව සිටියහ.

ලෝහ කර්මය[සංස්කරණය]

දඟර ගැසුණු සර්පයකුගේ ආකාර ගත් 9 වන සියවසේ ලෝකඩ යෂ්ටි හිස, ඉක්බෝ-උක්වු, නයිජීරියාව

අප්‍රිකාවේ ක්‍රි.පූ. 4 වන සහස්‍රය තුළ විරවනය කරන්නට යෙදුණු පළමු ලෝහ වනුයේ ඊයම්, තඹ, හා ලෝකඩයි.

පූර්වවාංශික කාලයේ දී, ඊජීප්තුවේ තඹ විරවනය කෙරුණු අතර අවම වශයෙන් ක්‍රි.පූ. 3000ට පසු වැඩි කලක් යන්නට මත්තෙන් ඊජීප්තුවේ හා නූබියාවේ ලෝකඩ භාවිතයට පැමිණියේ ය. නූබියාව තඹ මෙන්ම රත්රන් සඳහා ද ප්‍රධාන ප්‍රභවයක් විය. ඊජීප්තුවේ රත්රන් හා රිදී භාවිතය පූර්වවාංශික කාලය දක්වා දිවේ.

ඈයර් කඳු, වර්තමාන නයිජර්, තුළ ක්‍රි.පූ. 3000 හා 2500 අතර, නයිල් නිම්නයේ වූ වර්ධනයන්ගෙන් වෙන්ව ස්වාධීන ලෙස තඹ විරවනය කරන ලදී. එහි දී භාවිතා කරන ලද ක්‍රියාවලිය එම ප්‍රදේශයට ආවේණික වන්නේ එය ප්‍රදේශයට පිටතින් රැගෙන ආවක් නොවන බව දක්වමින් වන අතර එය ක්‍රි.පූ. 1500 පමණ වඩාත් පරිණත භාවයට පත්විය.

ක්‍රි.පූ. 1 වන සහස්වස වන විට, යකඩ කර්මාන්තවයඹදිග අප්‍රිකාව, ඊජීප්තුව, හා නූබියාවට හඳුන්වා දී තිබුණි. සන්ගේටෝ අන් හෝල්ට අනුව, මධ්‍යම අප්‍රිකා ජනරජයේ හා කැමරූන්හි,  ක්‍රි.පූ. 3000 සිට 2500 දක්වා අතර කලක පමණ විය හැකි, යකඩ විරවනය කළ බවට සාක්ෂි ඇත. ක්‍රි.පූ. 670 දී, ඇසිරියානුවන් විසින් යකඩ ආයුධ භාවිතයෙන් නූබියානුවන් ඊජීප්තුවෙන් ඉවතට තල්ලු කර දමනු ලැබුණු අතර ඉන් පසු නයිල් නිම්නයේ යකඩ භාවිතය පුළුල්ව පැතුරුණි.

මෙරෝඒ නූබියානු නගරය හරහා යටි-සහරීය අප්‍රිකාවට යකඩ පැතිරීමේ කල්පිතය තවදුරටත් බහුලව පිළි නොගනී. බටහිර අප්‍රිකාවේ ලෝහ කර්මාන්තය, නයිජර්හි ටර්මිට් වලින් බටහිරදෙස පිහිටි එගාරෝ වල ක්‍රි.පූ. 2500 තරම් පෙර කලකට දාතම කර ඇති අතර එහි යකඩ කර්මාන්තය ක්‍රි.පූ. 1500 වන විට එහි තිබී ඇත. මධ්‍යම අප්‍රිකාව තුළ, ක්‍රි.පූ. 3 වන සහස්වස තරම් පෙර කලක පවා යකඩ කර්මාන්තය තිබුණු බවට සාක්ෂි ඇත. යකඩ විරවනය ඊජීප්තුවට ළඟා වීමට පෙර ක්‍රි.පූ. 1000 හා 600 අතර කාලයේ චෑඩ් විල හා අප්‍රිකානු මහා විල් අතර පෙදෙසේ වැඩිදියුණු විය. ක්‍රි.පූ. 500ට පෙර, ජොස් නිම්නයේ නොක් සංස්කෘතිය ඒ වන විටත් යකඩ විරවනය කරමින් සිටියහ.

පුරාතන යුගය[සංස්කරණය]

උතුරු අප්‍රිකාවේ පුරාණ ඉතිහාසය වෙන් කළ නොහැකි සේ පැරණි ආසන්න පෙරදිග පුරාණ ඉතිහාසයට බැඳී පවතී. මෙය පුරාණ මිසරය හා නූබියාවට විශේෂයෙන් ම සත්‍ය වේ. අප්‍රිකා ශෘංගය තුළ එක්සුම් රාජධානිය විසින් වර්තමාන එරිත්‍රියාව, උතුරුදිග ඉතියෝපියාව, සහ අරාබි අර්ධද්වීපයේ බටහිරදිග කොටසේ වෙරළ ප්‍රදේශය පාලනය කරන ලදී. පුරාණ මිසර වැසියෝ පන්ට් (ප්වෙනෙට්?) දේශය සමඟ ක්‍රි.පූ. 2350 දී සබඳතා ඇති කර ගත්හ. පන්ට්, පුරාණ මිසරයේ වෙළඳ හවුල්කරුවෙක් වූ අතර එය වර්තමාන සෝමාලියාව, ජිබූටි හෝ එරිත්‍රියාවේ පිහිටා තිබෙන්නට ඇති බව විශ්වාස කෙරේ. කාතේජය වැනි ෆිනීෂියානු නගර මධ්‍යධරණී යකඩ යුගයේ හා සම්භාව්‍ය පුරාතන යුගයේ පාර්ශවකරුවන් විය. යටි-සහරීය අප්‍රිකාව එම කාලයේ අඩු හෝ වැඩි වශයෙන් ස්වාධීන ලෙස වර්ධනය විය.

පුරාණ ඊජීප්තුය (මිසරය)[සංස්කරණය]

මිසරයේ සහ එහි නෝමයන්ගේ සිතියම

සහරාව කාන්තාරීකරණයෙන් පසුව, ජනාවාස නයිල් නිම්නය වටා සංකේන්ද්‍රණය වූ අතර එහි පූජ්‍ය ප්‍රභූධානි ගණනාවක් ඇති විය. වඩාත්ම ජනගහන පීඩනයක් තිබූ කලාප පැවතියේ පහළ ඊජීප්තුවේ නයිල් ඩෙල්ටා කලාපයේ, ඉහළ ඊජීප්තුවේ, සහ නූබියාවේ නයිල් නදියේ දොන්ගෝලා පැතිරුමේ දෙවන හා තුන්වන දහර ඇලි පෙදෙස දිගටත් ය. මෙම ජනගහන පීඩනය හා වර්ධනය ඇති කරන ලද්දේ, තිරිඟු හා බාර්ලි ඇතුළු නිරිතදිග ආසියා භෝග වගා කිරීමත් බැටළුවන්, එළුවන්, හා හරක් ඇති කිරීමත් විසිනි. ජනගහන වර්ධනය වගා විම් සඳහා තරඟයක් සහ වගාවන් නිසි ලෙස නියාමනය කරගෙන යාමේ අවශ්‍යතාව මතු විය. පූජ්‍ය ප්‍රභූධානි අතර නිලතන්ත්‍ර ඇති කිරීමෙන් නියාමනය කිරීම සිදු කරන ලදී. ප්‍රභූධානි අතර පළමු සහ බලවත්ම ප්‍රභූධානිය, ටා-සෙටි, ක්‍රි.පූ. 3500 දී පිහිටුවන ලදී. පූජ්‍ය ප්‍රභූධානි සංකල්පය ඉහළ හා පහළ ඊජීප්තුව පුරාම පැතිර තිබුණි.

පැරණි මිසර ශිෂ්ටාචාරයේ සලකුණු වන ගීසා පිරමීඩ

පසු කාලයේ, ඉහළ හා පහළ ඊජීප්තුවේ, ප්‍රභූධානි වඩා පුළුල් දේශපාලනික දේහයන් බවට සම්පිණ්ඩය වීමට පටන් ගත් අතර, ක්‍රි.පූ. 3100 දී නාර්මර් (මීනීද්ස්) විසින් මිසරය එක් දේශපාලන දේහයක් ලෙස එක්සත් කිරීමත් සමඟ එය සංක්‍රාන්තියට පත් විය. පූජ්‍ය ප්‍රභූවරයෙක් ලෙස පෙනී සිටීම වෙනුවට ඔහු දිව්‍යමය රජෙකු ලෙස පෙනී සිටියේය. ඉහළ හා පහළ ඊජීප්තුවේ පූජ්‍ය ප්‍රභූධානි තුළ පැවති සමේෂ්වරවාදය හෙවත් බහුදේවවාදයක් තුළ එක් දෙවියෙක් පමණක් වන්දනා කිරීම, බහුදේවවාදී පුරාණ ඊජීප්තියානු ආගම බවට පත් විය. නිලතන්ත්‍ර පාරාවෝවරු වටා වඩාත් මධ්‍යගත බවට පත් වූ අතර විද්සියර්වරු, ආණ්ඩුකාරවරු, බදු රැස්කරන්නන්, ජෙනරාල්වරු, කලාකරුවන්, සහ තාක්ෂණ ශිල්පීන් විසින් මෙහෙයවනු ලැබුණි. ඔවුහු බදු එකතු කිරීම, ප්‍රධාන පොදු කටයුතු සඳහා ශ්‍රම සංවිධානය කිරීම, සහ වාරිමාර්ග පද්ධති, පිරමීඩ, පූජස්ථාන, ඇළ මාර්ග ඉඳිකිරීම යන කාර්යයන්හි නිරත වූහ. සතර වන වංශ කාලයේ (ක්‍රි.පූ. 2,620-2,480), නැගෙනහිර මධ්‍යධරණී කලාපය සමඟ දැව, නූබියාව සමඟ රත්රන් හා සම්, පන්ට් සමඟ කට්ටකුමංජල්, හා එමෙන්ම බටහිර ලිබියානු පෙදෙස් සමඟ ද දිගු දුර වෙළඳාම වර්ධනය විය. පැරණි රාජධානිය පුරාවටම ඊජීප්තුව ඇගේ මූලික පද්ධති, ආයතන, සහ සංස්කෘතිය, සෑමවිටම මධ්‍යගත නිලතන්ත්‍ර සහ පාරාවෝ දේවත්වය හරහා සංවර්ධනය කරන ලදී.

ක්‍රිස්තු පූර්ව සතරවන සහස්වසින් පසුව, ඊජීප්තුව ඇගේ දක්ෂිණදිග හා බටහිරදිග අසල්වැසියන් වෙත සෘජු යුධමය හා දේශපාලන බලපෑම් එල්ල කරන්නට විය. ක්‍රි.පූ. 2200 වන විට, පාරාවෝ ගේ බලයට අභියෝග කළ නෝමවල ආණ්ඩුකාරයන් අතර ප්‍රතිවාදී බව සහ නයිල් ඩෙල්ටාව තුළට ආසියාතිකයන්ගේ ආක්‍රමණ නිසා පැරණි රාජධානියේ ස්ථාවරත්වය අඩපණ ව තිබුණි. ඉන් දේශපාලනිකව බෙදීම සහ අස්ථාවර බව සහිත කාලයක් වූ පළමු අතරමැදි කාලය ආරම්භ විය.

ප්‍රාග් ඉතිහාසය[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අප්‍රිකානු_ඉතිහාසය&oldid=419055" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි